14 April 2014

සුභ නව වසරක් වේවා..!

ඩෝං පටෝං ඩෝං... හෙන ගහන්නැහේ හතර වටින් රතිඤ්ඥා පුපුරන සද්දේ මැද්දේ අළුත් අවුරුද්ද උදා උනේ මගේ ගුඩ් නයිට් එකත් හමාර කොරවන ගමන්ම තමා ඕං.. කොටින්ම කිව්වොත් අවුරුදු උදාවේ නැකතට ගහන රතිඤ්ඤා සද්දෙට තමා මට උදේ ඇහැ ඇරුනේ... :D මං හිතන්නේ නැකතට අවදි වීම බොහෝම හොද ඇති නේද..? 

රයිටෝ එහෙමනං ඔන්න අලුත් අවුරුද්ද..හුටා රේඩියෝව අහන ගමන් මේක කොට කොට හිටියේ.. මේ දැන් ප්‍රවෘත්ති වලට කිව්වා නෙව බීමත්ව රිය පැදවූ මෝටර් සයිකල් කරුවෝ එක් දහස් පන්සිය ගානක් අත් අඩංගුවට ගත්ත කතාවක්.. යකෝ මෝටර් සයිකල් කරුවෝ බීමත්ව හිටිය එක නෙවෙයි වැඩේ.. මුං රිය පදෝපු එක නෙව.. ඔන්න බලන්ටලා බීමත් උනාම මුංට තමුන් කොරන කියන දේ අමතක වෙනවා කියන්නේ බොරුවටද..? :D මොන එහෙකටද බීමත්ව මෝටර් සයිකල් පදින්නේ නැතිව රිය පදවන්න ගියේ.. අත් අඩංගුවට ගන්ටම ඕනෑ... ඔව් ඔව්.. ආ ඒ අස්සේ කිව්වා බීමත් බස් රියදුරෝ තුන් දෙනෙකුත් ඇල්ලුවා කියලා... මගේ අම්මේ මේ ටිකේ බස්වල නෙවෙයි මොන මගුලක ගියත් කමක් නැහැ මුලින්ම අහලා ඉන්න “ඩැයිබර් උන්නැහේ ඔහේ දෙකක් දාලාද ඉන්නේ“ කියලා.. ආයේ මොටද පස්සේ නිකං දුක් වෙන්නේ...

හුරේ.. මේ අවුරුද්දනං සුභම සුභ අවුරුද්දක් වෙනවා.. මේ දැන් මහින්ද අයියගේ සුභ පැතුමත් ආවා... මොනවා උනත් අයියා මට ආදරෙයි.. ඒකනේ මේ තරං වැඩ රාජකාරි තියෙද්දී උදේ පාන්දරම ෆෝන් එක අරං මට මැසේජ් එකක් කොටලා එව්වේ.. ඒකත් බාසා තුනෙන්ම.. දෙමලෙනුත් තියෙනවා හම්මේ මට දැනෙන සංතෝසේ.. :D මහින්ද අයියාටත් බාරියාව සහ පුත්තරයෝ තුන් දෙනා ඇතුළු මුළු පවුලටමත් සුභ අලුත් අවුරුද්දක්ම වේවා..!

හරි එහෙමනං වැල් බයිලා ඇති... අලුත් අවුරුද්දක් උදා වෙලා තියෙන්නේ.. මේකේ මොන අලුත්ද අනං මනං බයිලා කියව කියව ඉන්නේ නැතිව මේක අලුත් අවුරුද්දක්ය කියලා හිතාගෙන හොඳ හිතිං ඒක බාර අරගෙන ඔය පහුගිය අවුරුද්දේ කොරාපු මරි මෝඩ අමන වැඩ අමතක කොරලා දාලා.. අලුත් අවුරුද්දේ ෆිට් එකේ ජීවත් වෙනවා කියලා හිතා ගෙන වැඩට බහිමු...

රයිටෝ එහෙමනං මෙතෙක් දවසක් මාත් එක්ක මේ බ්ලොග් කටුව එක්කලා හිටිය සහෘද ඔබ සියළු දෙනාටමත් වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා..! උදාවන වසර සතුට සාමය සෞභාග්‍යය සපිරි සුපිරි වසරක් වේවා..!

උංගල් අනිවාරුක්කුම් පුත්තන්ඩු නල්වාල්තුක්කල්..! :D

13 April 2014

සේකර සමඟ මගේ වලිය... :D


රන්වන් රන්වන් ගත බබලනවා
හිනා කටින් කිරි පෙණ උතුරනවා
හිනා බුබුලු කට කොනින් පෙරෙනවා
ඒ දුටු තරමින් හිත මත් වෙනවා

ඒ කට මේ කට ළඟට අදිනවා
දෑස පියා එක හුස්මක් බොනවා
ඈත තියන්නට හිත නැති වෙනවා
බීගෙන බීගෙන ඉන්න හිතෙනවා

හීතලේම උඹ ළඟට ඇඳෙනවා
දෑත දෙපය ඇඟ උණුහුම් වෙනවා
වාත හන්දි කැක්කුම් දුරු වෙනවා
බූතයන්ට ඇති බය නැති වෙනවා

මේසේ අපි උඹ වටව සිටිනවා
දෑසේ නිදි මත මතට ඇරෙනවා
රාසේ කළ හැම දේම කියනවා
මාසේ පඩියම උඹට පුදනවා

නො තේරේය තම තරම පමාණේ
හිතේ දුකට බේතයි අනුපානේ
පොතේ කියන බණ වෙයි අඩමානේ
නැතේ නුඹට සම වෙන අන් පානේ

පෙරයම අපි උඹ ළඟට ඇදෙනවා
මද්දිම වනතුරු එකට සිටිනවා
අලුයම එක ළඟ වැටී නිදනවා
තුන්යමටම මට උඹ සිහි වෙනවා
 -------------------------------------
එහෙම කිව්වේ මං නෙවෙයි අපේ සේකර මහත්තයා...
හැබැයි එයින් පස්සේ කාලෙක මං මහත්තයත් මෙහෙම කියනවා...
 
-------------------
බියර් නොමැති ජීවිතයක් කුමක් වැනි...
රුවල නැතිව පාවෙන ඔරු කඳක් වැනී...
බියර් තිබෙන කල ජීවිතෙ කුමක් වැනි...
හැටට හැටේ යන ලැම්බෝගිනිය වැනී...

පසෙකින් සිහිල් සුළගින් පිරි ෆෑන් එක...
අනිත් පසින් බෝල වඩේ පීරිසිය...
ඒ මැද්දෙන් බැදපු මිරිස් කරල් ඇත...
මෙයිට වඩා තව සැපයක් කොයි ඇද්ද...

දුක සැප කුමක් වූවත් නිති ලගින් සිටී..
මිතුරන් ලෙසින් සැමදා තනි රැකිය හැකි..
දුක මෙන් සැපෙත් කිසිදා අත් නොම හරිතී..
නුඹ වන් තවත් කිසිවෙක් මේ ලොවම නැතී..

කලකින් සිහි උනේ නුඹගේ මිතුරු දම...
ලගින් සිටිය අය මට පිටු පාපු කල...
දුක සැප දෙකෙහි සැමදාටම ජීවකය.
බියර් වඩිය නුඹමය මගේ ජීවිතය...
----------------------------------
 
ඒත් මගේ හිතට මදි... යකා නැග්ග පාර මං මෙහෙම කියනවා...
 
-------------
සේකර උඹනං හරි වස නපුරා..
ලියන්න හිටි මං බොහොම හිතාගෙන..
හැම කවියක්මත් උඹ ඇත ලියලා..
ලියන්න දේවල් දැන් නැත ඒ හැර.
උඹ කල විපතක මහතක් මේ මට..

මීවිත ගෙනෙනා රස සුව අගනා..
ඒ ගැන දැනටත් උඹ ඇත ලියලා..
එතෙකින් නොනැවත මහ කිවි හතුරා..
බියර් ගැනත් ඇත කවි පද ලියලා..

මරණය නම් වූ අපූරු මිතුරා..
දිවියේ අවසන සැනසුම ගෙනෙනා..
ඒ ගැන ලියනට සිතු සිත සපුරා..
එකෙත් ඇති සුව උඹ ඇත ලියලා..

ඉතින් කියාපන් කරනෙම් මොනවා..
ලියන්න කිසිවක් දැන් මට නැතිවා..
මේ කල විපතට සරිලන විලසා..
නුඹට දෝස් මුර තබනෙමි මෙලෙසා..
 
---------------------------------------
 
 හැබැයි අවසානෙදි මං හොයා ගන්නවා සේකරට අතෑරුන තැනක්...

-----------------

සිටු මාළිගා රජ මැදුරේ රැඳී නැතී..
ධනවතුනගේ මුව පහසේ උරුම නැතී..
උගත් වියත් අය හට දැකුමත් නොමැතී..
එහෙත් බොහෝ දන නුඹ හා කල් යවතී..

විසිතුරු නේක කැටයම් කල ඇසුරුමක..
දිලිසෙන පැහැය ඇති හැඩ වැඩ පෙට්ටියක..
නොයෙකුත් හැඬැති මන බඳිනා මේසයක..
නුඹ සිටි බවක් නම් නැත මගේ මතකයක..

අවන් හලක මකරුන් සිටිනා තැනක..
ගිමන් හලක තරු පහ හය රැඳුන තැන..
විසල් ලැඟුම් හල් දිලෙනා ඇති නේක..
කිසිත් කලෙක එහි පහසක් නුඹට නැත..

වෙදුන් බනිති නුඹ ගැන කිසි හොඳක් නැත..
ලිපිත් ලියති නුඹටම එරෙහිව සැවොම..
පොලිස් අතත් ගෙන දෙන නුඹටම ගැහැට..
උතුම් නීතියත් නුඹටම කපයි වල..

කියනා කිසිත් අගයක් නැත නුඹ ගාව..
ප්‍රමිතිය ගැනත් ඇත සෑහෙන අවලාද..
මේ වන් ගැහැට විඳ අවමන් අපහාස..
තවමත් නුඹ සිටී නොසැලී අප ගාව..

දාහක් දෙනා හඬ නැගුවත් විරුද්ධව..
ලෝකයේ කිසිත් අගයත් නැතුවත් නුඹට..
ඒ කිසි දොසක් ගැන නොම වී අමනාප..
පොඩි මිනිහාගේ දුක නිවනා හැටි තාම..

වත්තේ කොනේ බඩ වැටීයේ සැග වීලා..
දොළ පහරේ ඇළ අයිනේ නිපදීලා..
සමහර විටක සති ගානක් පල් වීලා..
නුඹ ඉපදෙනා හැටි ඇත රහසක් වීලා..

යකඩ බැරලයක් පෙරලා පැත්තකට..
එහි උඩ පැත්තේ කට කපලා ගානකට..
සීනිත් සමඟ ඊසුත් මුසු කොට යසට..
වතුරත් යොදා පැසවති හොඳ පදමකට..

මහ ගණ වනේ හෝ නිවසේ කුස්සියක..
ලිං මිදුලේ සඳ ඇති දින මහ රැයක..
දර ගිනි ගොඩේ හෝ වෙනයම් හෝ ලිපක..
දැල් වෙන ගින්න මත රත්වනු ඇත දිනක..

තඹ බටයෙන් සැදි දඟරය තුලින් යවා..
ගිනි රස්නය සීතල වතුරෙන් නහවා..
හුමාලයන් පිණී බිඳු සේ යළි හරවා..
බිඳුවෙන් බිඳුව ඉස්පිරිතුව එක් කරවා..

පදමට සරිලනා සේ වතුරත් මුහුව..
අඩු වැඩි නැතිව බූලිය තුල වී සිරව..
සඟවා තැනින් තැන බොහො රැකවල් ඇතිව..
අවසන විකුණනා අඩු මිලකට නිමව...

මිල අඩු උනත් නැත රසයේ කිසි අඩුවක්..
මොන තරමකින් හෝ නොවෙතිය දෙවැනි තැනක්..
රසවතුනගේ මන පිනවන බොහොම කලක්.
දුප්පතුනගේ සිත පිනවන දිව ඔසුවක්..

නසනා දුක සෝක ඇඟපත ඇති වෙහෙස..
නිවනා සිතේ ගිනි ගිනි වතුරෙන් සවස..
ගෙවනා ජීවිතේ රැ‍ඳෙමින් ළග ගැවස..
මිනිසුන් දුක නසයි නුඹ නැතිකර පවස..

රජවරු සිටුවරුන් අතරේ පමණක්ද..
දුප්පත් දනා හට මත්බව අකැපයිද..
සල්ලිය බාගේ නැති කම මහ වරදක්ද..
කසිප්පු බීම පමණක් තහනම් ඇයිද..
------------------------------------
 
අන්න එයින් පස්සේ තමා යන්තං මට සැනසිල්ලක් ලැබෙන්නේ.. යන්තං එකක් හරි හොයා ගත්තනේ.. :D
 
කාලෙකට පස්සේ පරණ යාළුවෙක් හම්බ උනා පරණ අවුරුද්දේ.. අපි බලමු යාළුවා මොනවා කරයිද කියලා...

12 April 2014

අඩෝ වෙනියා කියන පුද්ගලයා... හූ හූ.....


ඊයේද කොහේද අපේ සපතේරු උන්නැහේ බුකියේ දාපු පිංතූරයක් ඔය.. පිංතූරයක් කිව්වට ඉතිං අර අපි හිංගලෙන් කියන්නේ ඉස්කිරිං සොට් එකක් කියලා.. අන්න ඒකක්... වෙන බ්ලොග් අඩවියක තිබිලා උස්සං ඇවිත් අපිට පෙන්නුවේ... නිකනුත් නෙවෙයි වර්ගපූර්ණිකාවට කොමෙන්ට් කොල උන්දලව සිහිපත් වෙනවාය කියලත් තමා සපතේරු උන්නැහේනං කියැව්වේ.. ඒ කතාව සහතික ඇත්ත..

දැන් ඉතිං වර්ගපූර්ණීකාව ගැන නොදන්න ඈයෝ ඒ ගැන මගෙන් අහන්ට එපා.. වර්ගපූර්ණීකාව කියන්නේ මේ සිංහල බ්ලොග් අවකාශයේ එදා මෙදාතුර පහල වූ පස්ටම පස්ට බ්ලොග් එකක්... එකේ කොමෙන්ට් කල උදවිය අතර එයිටත් වඩා පස්ට බුවාලා හිටියා.. නැටි පාගගන්නවා කියන එකේ නියම අරුත බලන්ට තිබුනේ ආන්න ඒකේ කොමෙන්ට් අස්සේ තමා.. මට ඔය ගැන වැඩි විස්තර කොර කොර ඉන්ට බැහැ ඕන කෙනෙක් ඇත්තං මෙන්න මෙතැනින් ගෙහුං කියෝලා බලන එකයිලා ඇත්තේ.. හැබැයි මතක ඇතිව කොමෙන්ට් එහෙමත් කියවන්ට.. ඒ වගේම අග ලිපිවලින් පටන් ගන්නේ නැතිව මුල හිටන් කියවනවනං තමා හරියටම වැඩේ පත්තියං වෙන්නේ.. ඔන්න ආයේ නොකිව්වා කියන්ට එපා... වර්ගපූර්ණිකාව දන්න අයටනං ඉතිං ආයේ අහවල් එහෙකට කොල කඩාපාන්ටද නේද..?

පස්සෙං පහු මේ පිංතූරේ විස්තරේ ගැන ඇහුවම ඉතිං මං කියවීම අතැර දැමූ බ්ලොගයක කොමෙන්ටුවක් හැටියට තමා මේක වැටිලා තිබුනා කියන්නේ.. ඒත් ඉතිං ඒක නොබැළුවට මේක දැක්කම පොඩි අදහසක් ගතෑකිනේ කවුරු හරි කෙනෙක් සෑහෙන්න පරීක්ෂණ කොරලා සෑහෙන වටින කියන කාරණාවක් හොයාගෙන වග...

හරි හරි ඒ අටමගල් මොටද.. කාරණාවට බහිමුකෝ කෙලින්ම... වෙනී අයියා නොහොත් කවුරුත් දන්න ලියන්නා හෙවත් ප්‍රියන්ත වැනිවැල්පිටිය අයියා සහ සද්ගුණවත් (අපිට ඉතිං අපිම කියාගත්තොත් තමා ) මංතුමා අතර ඇති කේස් එක මොකක්ද..? හෙන වෛරක්කාරයෝද? 

අවංකවම කිව්වොත් මේනං මට ඇඩෙන අවස්ථාවක්.. ඒ කිව්වේ මේ අපේ බ්ලොග් කියවන සමහර පාඨකයෝ හින්දා මෙහෙම පැහැදිලි කිරීම් කරන්ට වෙන එක... ඇත්තටම මේ වගේ අසරණකොමක් තවත් නැහැ මටනං... දෙයියනේ මේවා මෙහෙම අකුරෙන් අකුරට පැහැදිලි කරලා දෙන්ට උනාම මේවා කියවන ඈයොන්ගේ බුද්ධිමත් මෙව්වා එක ගැන ඇඩෙන්නේ නැද්ද හා.. අර මං කලින් කිව්ව වර්ගපූර්ණිකාවේ ඇතැම් කොමෙන්ට් දැක්කමත් අපි බර ගානකට ඒ දවස්වල ඇඩුනා.. :D

ඒ කොහොම උනත්.. මං කොච්චර අසරණභාවයට පත් උනත් මේක පැහැදිලි හිංගලෙන්ම කියලා නොදැම්මොත් කවුරු හරි කෙනෙක් තව දුරටත් රැවටීමකට ලක් වෙන හින්දත්... තව තව අපි අතරේ තියෙන ඇරියස් එක මොකක්දෑ කියලා හිතලා වෙහෙසට පත් වෙන හින්දාත්.. ඒ උදවිය කෙරෙහි පතල වූ මහා කරුණාවෙන් මෙසේ ලියා තබම්හ...

යකුනේ වෙනිවැල් අයියයි මායි හොඳ යාළු මිත්තරයෝ... තරහක් ආරෝවක් මෙලෝ විදියක නැහැ. අනික මට තරහා වෙන්න ඕනකමක් ඇති උනත් ඔය නසරාණියා එහෙම මිනිහෙක් එක්ක තරහා වෙන එකෙක් නෙවෙයි.. ( ඒකනං කරුමයක්ම තමා ඕයිලා.. :D ) ඉතිං කොහොමද ඇරියස් පිරිමහන්නේ...

ඒත් ඉතිං අපි දෙන්නට දෙන්නා දෙන්නගේ බ්ලොග්වල ඒ මේ අතට මඩ ගහගන්න එකනං ඇත්ත.. ඒක ඉතිං මේ යාළු පිට් එකට කොරන දෙයක්.. දෙයියනේ යාළුවෝ යාළුවෝ ඔහොම මඩ ගහගන්නවා මිසක් යකුනේ මලාට තරහා කාරයොත් එක්ක එළිපිට ගහ මරාගන්නවද මිනිස්සු.. නැහැ මං කිව්වේ මේ මයේවත් උගේවත් ඇති අමුතු බුද්ධිමත්කොමකට නෙවෙයි.. ඒත් ඉතිං අහක ඉන්න හබන් කුකුල්ලුන්ට නිකං මගුල් ඉන්විටේසන් බෙදන්න අපිට පිස්සුයෑ.. තරහක් මරහක් තියේනං පොර ඉන්න තැනට ගිහින් පඩිපෙල බහින්න ආව වෙලාවක දානවනේ තල්ලුවක් පෙරලිලා දඩිං බිඩිං දොඩං වෙන්න.. :D හුහ්...

සාමාන්‍යෙයන් මං කාට හරි මඩක් ගහනවනං.. ලොවෙත් නැති තරමට විහිළු තහළු කොරනවනං ඒ බොහෝම විශ්වාසවන්ත... හිතවත්කං ඇති අයටම තමා... එහෙම නැතිව වැඩි ආස්සරයක් නැති උදවිය එක්ක ඔය වැඩි භජනෙට යන්නේ නැහැ... කවුරු හරි මට දිරවන්නේ නැති බුවෙක් ඉන්නවනං මං කරන්නේ ඒකට මඩ ගගහා ඇවිදින එකවත්... විහිළු කර කර ඉන්න එකවත් නෙවෙයි...  මට එපානං එපා.. එහෙම එකාව දුරින් දුරු කරලා දැම්මා.. ඒකා මහ රජ්ජුරුවෝ උනත්.. සක්කරයා උනත් එච්චර තමා.. මොකද කාගෙන්වත් කාලා ඇදලා ඉන්නේ නැති හින්දා මට ලොක්කා මං මිස වෙන එක එකාලා නෙවෙයි නෙව... ආයේ මොකටද කාට හරි අකමැතිනං ඒ උදවිය එක්ක එකට පෑහි පෑහි ඉන්නේ... මං වගේ සරල සාමාන්‍ය එකෙක් කතා බහ නොකලා ආස්සරේ නොකල කියලා කාටවත් පාඩුවක් වෙන්නේ නැති බව මං දන්නවා..  ඒ උනාට එහෙම චරිත ඈත් කරලා පාඩුවේ හිටියම හිතට සනීපයි නෙව... 

වෙනී අයියා කියන්නේ එහෙම තරහක් මරහක් තියෙන එකෙක් උනානං මං කරන්නේ තව තවත් ඔය එක එක කතා කිය කිය ඉන්න එක නෙවෙයි.. කෙලින්ම කතා කරන එක නැවැත්තුවා... බුකියේ ඉන්නවනං බ්ලොක් කරලා දැම්මා... සාමාන්‍ය සමාජයේ මුණ ගැහෙන එකෙක්නං ඌව මූණට දැක්කත් කතා නොකර මගේ පාඩුවේ හිටියා... කොටින්ම ඌ හෝ ඒකී කොරන කියන දේවල් ගැන බල බල ඉන්නවත් යන්නේ නැහැ. (හැබැයි ඉතිං කවුර හරි දිගින් දිගට හිරිහැර කරදර කොරන්ට එනවනං එව්වා බේරගන්න එක වෙනම දෙයක්... නයා උනාම ඉද හිටවත් පුප්පන්ට එපෑ... ) ඒ හින්දා ඔය වැරදි අදහසකින් ඉන්න ඇත්තා හෝ ඇත්තී හෝ දැන් හිටං ඒ අදහස නැති කොරගන්ට.. වෙනී අයියා කියන්නේ මගේ මෑත කාලීන ජීවිතයේ බොහෝම විශ්වාසවන්තව ආස්සරේ කරන විඩෙන් විඩේ හම්බු වෙලා කතා බහ කොරන.. කන බොන.. ගමන් යන බොහෝම කලාතුරකින් මනුස්සයෙකුට හම්බුවෙන ජාතියේ වටිනා කියන මිත්තරයෙක්... මේ සයිබරේ හරහා හදුනා ගත්ත මිනිස්සුන්ගෙන් හිතවත් කං හදගත්ත අය අතරේ මුල්ම දහ දෙනා අතරේ ඉන්න කෙනෙක්... මේ දැන් ටික දොහකට ඉස්සරවෙලත් මෑන්ගේ සාධර අනුග්‍රහයෙන් ආනන්ද විජ්ජාලේ කුලරත්න සාලාවේ පෙන්නාපු නාට්ටියක් එහෙමත් බලලා කොරලා ආවේ... ඔය සුප්‍රසිද්ධ වැල්පෙනෙල කතා වස්තුවට හේතු පාදක වෙච්චි මාකොල පැත්තේ පිරිත් ගෙදරට ගියෙත් අපි දෙන්නම තමා... 

ආන්න ඒ හින්දා මෙයින් පස්සේ තේරුං ගන්ට මිනිස්සු විහිළු තහළු කොරගන්නේ තරහට මරහට නෙවෙයි හොද හිතවත්කං විස්සාසකං තියෙනවනං විතරයි... මං ඉතිං මේ සයිබරේ මරාගෙන කන්න හදන උන් අතරේ මුලටම ඉන්න මෑන් දැන් මේ බ්ලොග් අස්සේ එච්චර නැහැ.. ඒ තමා අපේ තිස්ස දොඩංගොඩ උන්නැහේ... උන්දැට මං කියපු කොරපු කතාවල හැටියට තාම මේ වෙනියට දුක දුන්නෙම නැති තරං... ඌ දැන් මාත් එක්ක කතා කරන්නෙත් වචනෙන් වචනෙට කල්පනා කොර කොර.. (එහෙම කොරලත් ඔන්න ඊයෙත් මෑන්ට කෙල උනා.. ඒ කතා බහ පස්සේ දවසක කියන්ට බැරියෑ..)  තව ඉතිං ඔය මං විහිළු තහළු කොරන අයියලා අක්කලා නගාලා මලයලා.. හෙමත් තේරුං ගන්නවා හොදා ඒ විහිළු තහළු කොරන්නේ යම් කිසි විස්සාසයක් හිතවත්කොමක් තියෙන හින්දා මිස තරහකට මරහකට නොවන විත්තියත්.. ආයේ ඉතිං එක එක්කෙනාට වෙන වෙනම කියන්ට ඇහැකියෑ.. මේ ගමන්ම ඕං ඒකත් කිව්වා... 

හරි ඒ ප්‍රකාශ නිකුත් කිරීම ඒ ඇති.. මෙව්වා මෙහෙම දැම්මම අර අපූරුවට කරං ආව මඩ වියාපාරවලට හෙන පාඩුයි අප්පා.. ඒ කොහොම උනත්.. අඩෝ වෙනියා කියන පුද්ගලයෝ.. තෝ අහු වෙන්න එපා හරිද..?

11 April 2014

අවුලක් නැහැ...

රෙද්ද..බ්ලොග් එහෙකුත් තියෙනවා තමා.. ඒත් ඉතිං ලියන්ට හිත් දෙන්නේ නැතුවා... වෙන වෙන වැඩයි.. මදි පාඩුවට බුකියයි කොරං හිටියම ආයේ මේ පැත්ත බලන්ට දැන් දැන් හිත් දෙන්නේම නැති තරං...

ඒ අස්සේ ඔන්න මේ පාර අප්රේල් 20 සයිබොර් අවුරුදු උත්සවේ තියෙනවළු බත්තරමුල්ල බුද්දෙ අයියගේ පිට්ටනියේ.. 27 තියෙනවා ඔබා අයියා වෙනුවෙන් අන්තිම පේලියේ කුපාඩි ටික.. (මං හරි නේද..? :D ) කරවන ලේ දන්දීම. ඒකනං තියෙන්නේ රාජගිරියේ සිංහ සමාජ ශාලාවද මොකක්ද එහෙක කිව්වා... තැන හොයාගන්ට ඕන.. ඕනයා දැන් මාසෙකට වැඩියි මට දිනේ කියලනං.. තැන එදා උදේට ඒකට කතා කරලා අහං හොයාගත්තම මදෑ... බ්ලොග් ලියන කියවන කවුරු කවුරුත් ඔය දෙකටම පුළු පුළුහං හැටියට මංගච්චනවනං හොඳයි...

හරි ඉතිං වෙන අහවල් මංගල්ලයක් කියලා ලියන්නද..? මංතුමා ඉතාමත් හොදින්.. සැපෙන් ෂනීපෙන් වැඩ වාසය කොරනවා... :D

12 March 2014

මැලේෂියාව - ලංකාව - ගුවන් යානා අතුරුදන් වීම... තෙවන අවස්ථාව......

මනෝ පාරක් ගහං ඉද්දි හිතට එන ඒවා තමා ඉතිං.. මේ දවස්වල කෝකටත් තෛලේ වගේ හිතට එන හැම හරුපෙම ලියන්නේ බුකියේ වීම නිසා මේකත් ඒකෙම තමා කෙටුවේ.. ඒත් මෙහෙම දේවල් බුකිය තුල අකා මකා වෙලා යන්ට දෙන්ට නාක හින්දා සංරක්ෂණය පිණිස මෙතැනත් කොටලා තියන්ට ඕන... ඔන්න එහෙනං කතාව...
------------------------

1- උපාලි විජේවර්ධනගේ ලියර් ජෙට් යානාව...
2-වනජීවියගේ කේලමා...
3-මැලේසියානු ගුවන් යානය...
ඔය පළවෙනි කතාව සම්බන්ධව නොයෙකුත් මතවාදයන් තියෙනවා.. ඒ අතරේ තියෙන එක කථාවක් තමා කුඩුම්බිගල ආරණ්‍යයේ හිමි නමක් විසින් දුටුවා යැයි කියන නැගෙනහිර වෙරළ දෙසට වන්නට වූ අහසේ ගිනිබෝල කතාව. කුඩුම්බිගල කියන්නේ කුමන රක්ෂිතය තුල තියෙන ආරණ්‍යයක්.. ඒ වගේම උස තැනක් සෑහෙන හොඳ නිරීක්ෂණ ස්ථානයක්. යාල නැගෙනහිර කොටසට තමා අයිත් වෙන්නේ... මේකෙදී ලංකාව සහ මැලේෂියාව කියන රටවල් දෙක අතර තමා ගුවන් ගමන යෙදිලා තිබුනේ.. ඒ කියන්නේ මේ කතාවට මැලේෂීයාවත් සම්බන්ධයි...

දෙවැනි කතාවේ අතුරුදන් උන කේලමාත් දැන ගන්නට ලැබුන තොරතුරු අනුව යාලදී අතුරුදන් වී ඇත්තේ නැගෙනහිර දෙසට වන්නටයි... හරිහමන් නිශ්චිත තොරතුරක් නැත. ඔන්න වැදගත්ම කතාව තමා මේ කෙදීත් කියවුනා යානය ඇතැම් විට මැලේෂීයාව බලා පියාසර කරන්නට ඇති බව.. හේතුව තමා එය සාදා ඇත්තේ නියමිත සංඥා නැතිව ගියහොත් මව් රට වන මැලේෂියාව කරා යාමට සකස් කර තිබීම.. නමුත් මෙහිදි අදහස් කලේ මැලේෂීයාව දක්වා යන්නට ගියත් ඉන්ධන ප්‍රමාණවත් නොවන නිසා අතර මගදී කඩා වැටිය හැකි බවයි.. නමුත් ඔන්න අපිට මෙතනත් ලංකාව සහ මැලේෂියාව සම්බන්ධයක් එනවා...

රයිටෝ දැන් තුන් වැනි කතාව... මෙච්චර වෙලාවක් ලංකාව ගැන කතාවක් නොතිබුන මේ කතාවට මේ දැන් ලංකාවේ නම යන්තමට හෝ සම්බන්ධ කරන ලද පලමු පෝස්ටුව මං දැක්කා... ඒ සුජීව කොකාවලගේ කමෙන්ටුවක් තුල... (දැනට එය මා හට සොයා ගැනීමට අපහසු හෙයින් කරුණාකර මෙය දුටුවහොත් සුජීව විසින් එය ඉදිරිපත් කරනු ඇතැයි සිතමි. ) ඔන්න දැන් නැවතත් ලංකාවේ නැගෙන හිර වෙරළට එපිටින් මුහුද දක්වා කතාවක් අපිට තියෙනවා...

දැන් අපිට ආයෙමත් පොදු සාධක කිහිපයක් තියෙනවා...
ලංකාව.. මැලේෂියාව.. ගුවන් යානයක්... නැගෙනහිර වෙරළ කලාපය.. අභිරහස් අතුරුදන් වීම....
දැන් මෙතැනින් එහාට හිතන්න මට අමාරුයි.. දෙකක් දා ගත්තනං මං හිතන්නේ මට පුළුවන් වෙයි ඉතිරි ටික විසඳලා දෙන්න... ඒත් අවාසනාවට වගේ දෙකක් දා ගැනිල්ල කරන්න වෙන්නේ නැහැ...

--------------------------

පසු සටහන...
සුජීව විසින් අදාල පෝස්ටුව ලබා දෙන ලදි මේ එයයි...

//


මැලේසියානු ගුවන්යානය ගැන තවම කිසිදු ආරංචියක් නැත. මැලේසියාව විසින් සපයන තොරතුරු වල ඇති ව්‍යාකූලතාවය නිසා වියට්නාමය පරීක්ෂණ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. මේ දක්වා වැඩියෙන්ම වෙහෙසුනේ වියට්නාමයයි.
මැලේසියාව කිසියම් කාරණයක් වසන් කරන බවට සමහරු සැක කරති [http://blogs.crikey.com.au/planetalking/2014/03/11/mh370-logic-says-this-isnt-mystery-its-claimed-to-be/]. මැලේසියාව මේ සම්බන්ධයෙන් දක්වන අමුතු හැසිරීම හා කිසිම කාරනාවක් නිරවුල් වීමට ඉඩ නොදීම මීට හේතුවයි.
අද දින මැලේසියානු පුවත් පතක් පවසා තිබුනේ හමුදාවේ මූලික රේඩාර් වලින් [ලෝහ මතුපිටෙන් වෙන පරාවර්තන ඇසුරෙන් ක්‍රියාත්මක වන] පෙනෙන පරිදි යානය බටහිර දෙසට හැරී මලක්කා සමුද්‍ර සන්ධිය වෙත ගොස් ගමන් උස අඩු කළ බවයි. එහෙත් එය නිකුත් කළ හමුදා නිලධාරියා පසුව එය ප්‍රතික්ෂේප කළේ පුවත්පත තමාව වැරදියට තේරුම් ගත් බවක් කියමිනි. මෙම කාරණය ප්‍රතික්ෂේප නොකර පිළිගන්නේ නම් යානය ඉන්දියානු සාගරය දෙසට රේඩාර් මගහැර ගිය බවක් පෙනේ. තව සුලුදුරකින් ඇති සුමාත්‍රා වනගත කඳුපෙදෙස පසු කළ විට ලංකාවෙන් දකුණට පිහිටි රේඩාර් මුක්ත කලාපයකට ඇතුළු වේ. ඉන්පසු අප්‍රිකාව දෙසට, විශේෂයෙන්ම සෝමාලියාව දෙසට, යාමට හෝ එසේ යාමට යත්න දරා සුමාත්‍රාව හෝ ගැඹුරු මුහුදට කඩා වැටීමට ඉඩ ඇත. අවාසනාවකට මෙම සාක්කිය පසුව වෙනස් කර ඇත.
මගී දුරකථන නාද වන නිසා යානය ගොඩබිමකට බාගෙන හෝ කඩාවැටී ඇති බව සාධාරණ සැකයකි. මලක්කා කතාව සත්‍ය නම් උතුරු සුමාත්‍රා වනාන්තරය තුල සොයා බැලීම වටියි.
ඉහල අහසේ ක්ෂණික පිපිරුමක් හෝ කෙලින්ම මුහුදට කඩා වැටීමක් මූලික රේඩාර් වල සටහන් විය යුතු නිසා මෙතෙක් ප්‍රසිද්ධ කළ කතාව අනුව ඒවා ප්‍රතික්ෂේප වේ [කතාව වෙනස් කරන බවක් පෙනෙන නිසා මේවා නැවත පිළිගන්නට සිදුවිය හැකිය]. මෙතෙක් දුටු එකම තාත්වික කතාව මලක්කා දෙසට ක්‍රමයෙන් පහත කළ බව පමණි. එහෙත් එය නැවත එසේ නොවන බවක් කියයි.
මේ සියල්ලෙන් තැලෙන්නේ මගීන්ගේ පවුල් හා හිත මිතුරන්ය. ඔෆිස් එකේ වැඩකට ගිය තාත්තා එනකම් බලා ඉන්න චූටි උන්ට තාම කියා ඇත්තේ තාත්තා රසකැවිලි ගේන්නට ගිය බවය. පවුල් වල අයට මෙය මගියාගේ මරණයටත් වඩා වේදනාකාරී සිදුවීමකි.//

---------------------
පසු සටහනටත් පසුව...

මේ ගැන සදහන් කරමින් සුජීව විසින් තව දුරටත් මෙසේද ප්‍රකාශ කරන ලදි..
//ලේසියාව කිව්වා එක කතාවක් ඇත්තනම් ඒක ඔය කියන දිහාට ඇවිත්. ඒත් හවස් වෙද්දී ඒ කතාව බොරුයි කිව්වා. ලොසේ ලොස්. අපි විතරක් නොවේ වියට්නාමයත්.//

---------------------
තුන් වැනි පසු සටහන ඈ.. (මේ පාර පසු සටහන් ලොකුයි පෝස්ටුවට වඩා..)

මෙන්න පළමු අවස්ථාව ගැන කියවුන ලිපිය...




මේ තියෙන්නේ අදාල කොටස...
//මේ අතර එදින රාත්‍රි 7 ත් 8.55 ත් අතර කාලය තුළ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි භික්‌ෂූන් වහන්සේ නමක්‌ ඈත අහසේ ගමන් කළ ගිනි බෝලයක්‌ දැක තිබිණි. එය මුහුදට කඩාවැටෙන ආකාරයක ගමනක යෙදුනු බවද උන්වහන්සේ කීහ. කුඩුම්බිගල පිහිටා ඇත්තේ කුමන වෙරළ තීරයේ සිට සැතපුම් 10 ක්‌ රට ඇතුළට වන්නට ය. ඉතා පහතින් ගමන් කළ ගුවන් යානයක්‌ ගින්දර පිටකරමින් මහ සාගරය දෙසට ගිය බව කුඩුම්බිගල ආසන්නයේ හේන් ගොවීන් පිරිසක්‌ද පසුව පැවැසූහ.//

08 March 2014

රාජාංගනේ ගොයිතැන් කල කාලේ...

ඔහෙලට කියන්න ඔන්න මං වංගියක් රාජාංගනේ හිටියනේ... මගේ යාළුවෙක් එහෙ වගාවක් කොලා නෙව.. මාත් ඉතිං බරක් පතලක් තියෙන එකෙක් කියලෑ.. ඌ දවසක් වරෙං කිව්වා.. මාත් ගියා.. ඒ ගෙහුන් ඔන්න මාත් දැන් ගොයිතැන් කොරං ඉන්නවා.. හප්පේ එහෙ වගාව නෙව වගාව... යකඩ හිටෙව්වත් පැල වෙනවා.. ඒ තරමට පොළවේ පලදාව..හම්මපා... ඔහෙලට මෙහෙම කිව්වට මේ සම්මජ්ජාතියට විස්සාස නොකරන හින්දා මං ඕවා වැඩිය කියන්න යන්නේ නැහැ.. ඒත් ඉතිං නිකමට වගේ කිව්වොත් මේ අපි මෙහෙ හිටෝන කොච්චි මිරිස් ගහක් උනත් එහෙ හිටෙව්වොත් මෙහෙ හිටෙව්වා වගේ නෙවෙයි.. ආයේ ඉතිං වැරදිලා හරි ඕකක් පාත්තියකට යන පාරකවත් පැල වෙලා ලොකු උනොත් පස්සෙන් පහු කැත්තෙන් හත් අට වංගියක් කොටලා තමා අහක් කොරන්ට වෙන්නේ ඒ තරමට මහත දෙහෙතට හැදෙනවා.. මං බොරුවක් කියනවනං ඔය අහං ඉන්න එහෙකුට හෙනයක් ගහන්ට ඕන... 

 ඉතිං ඔහොම ඉද්දි තමා අපේ අනුරාජපුරේ බාප්පගේ පොඩි දූ කොටහළු වෙලා මට පණිවිඩේ හම්බ උනේ... ඒකත් ඉතිං දහ අතේ ගෙහුනං අර කැලේ මැද්දෑවේ හේන් කොට කොට හිටිය මයේ කණට වැටෙද්දි කෙලීට වතුර වක්කොරන නැකත හෙටයි කියලා තමා දැන ගන්න උනේ... 

ඒත් ඉතිං මොන විදියකින් හරි නොගිහිං කොහොමද..? මොකද බාප්පලා කියලා සිය ගානක් ඉන්නවෑ... මං ඉතිං එදා හවහම පිටත් වෙන්ට කල්පනා කොලා.. ඒ කල්පනා කොලාට මොකද අතේ පිච්චිය නැහැ.. මොකද මේ ගොයිතැන් කොර කොර හිටියට මං කාසි බාගේ ගැන ඒ හැටි හිතුවේ නැහැනේ... ඒත් කාරණාව මං මගේ යාළුවට කිව්වා.. උන්දෑ ගාවවත් කීයක් හරි තිබුනොත් ඉල්ලං යන්ට බැරිවයෑ කියලා.. මොන.. ඌ අතෙත් තඹ දොයිතුවක් නැහැ... තාම වගාව පල දාරාගෙන එනවා උනාට අස්සැන්න විකුණන්න තරමට උනේ නැහැ නෙව... මනුස්සයටත් බොහෝම හිතට අමාරුයි... අන්තිමට හේනේ වැවිලා තියෙන බව බෝග මොන මොනවා හරි කාඩාගෙන ගෙහුං කඩ මණ්ඩියට දීලා පනං හතරක් හොයං පලයං  කියලා මට කියපි...

මොනවා කොරන්ටද.. මාත් ඉතිං ගෝනියක් පිරෙන්ට වට්ටක්කා.. කැකිරි.. වැටකොළු පතෝල බණ්ඩක්කා මෑ කරල්.. ඔය අතට අහු වෙන හැම එහෙකින්ම කඩාගෙන ගෝනියකුත් පුරෝගෙන එන්ට පිටත් උනා... ඒ එද්දි තමා මට කල්පනා උනේ.. ආයේ මේක මොකට විකුණනවද මේ තරං සාර සුබාවට හැදිලා තියෙන බව බෝග ටික උස්සාන කොටහළු ගෙදරට ගියාම පහුවදාට වතුර වක්කොරන මගුල ගන්ට බැරියෑ ජයට කියලා... ඒත් ඉතිං දැන් මේකත් කර තියාන පයින්ම අනුරාජපුරේ එන්ට කියලෑ... කෝච්චි ටිකට් එකක් ගන්ට කියලවත් පිච්චියක් නැහැ.. ඒත් ඉතිං මං ඔය කිසිම දේකට සැලෙන මනුස්සයෙක් නෙවෙයි නෙව... ඕන එකක් කියලා ගෝනියත් කර තියාන ගැටුවා රේල් පාර අහලට... මංම ඉතිං ඕක කර තියාන ගියා මිසක් මේ බොලාලා වගේ පඟර නැට්ටන්ටනං ඉතිං ඒ වගේ බරසාර ගෝනියක් කර තියං යන්ට මේ කපේට බැහැ.. ඒ තරමට ඒකේ බර.. එහ්නං...

කොහොමින් හරි රේල් පාරත් හම්බු උනා කියමුකෝ.. දැන් කෝ රේල්ලුවක්... මං ටිකක් කල්පනා කොලා.. මෙහෙම බාධාවල්ද මට හම්බු වෙලා තියෙන්නේ... පුහ්.. ඔන්න මට ආවා මසුරං වටින අදහසක්... ලිහුවා ගෝනි මල්ලේ කට.. ගත්තා හොදවැයින් බණ්ඩක්කා කරලක්... කරලක් කිව්වට ඉතිං මොකද ඒවා මේ අපි ඔහෙලා මේ ගමේ ගොඩේ දකින්නැහේ වියතක විතර කරල් නෙවෙයි.. හරියට නිකං මාළිගාවේ ඇතාගේ දලයක් විතර ඇති.. ඒ තරං විසාලයි.. දිගට දිගයි...

ඉතිං කෙහෙම හරි බණ්ඩක්කේ අරං රේල් පීල්ලක් උඩ තියාපු මං.. ගෝනි මල්ලත් කරට තියං.. ටිකක් ඈතට ගොහින්.. දූ...වගෙන...දූ..ව ගෙන  ඇවිදිල්ලා පැන්නා නේද බණ්ඩක්කා කරල උඩට... මෙන්න බොලේ මේක යනවා දැන් හැටට හැටේ ලිස්සලා.... මොකද ඔය පාරේ මහ ලොකු වංගු තියෙනවා කියලෑ.. මේක දැන් විදිල්ල වගේ යනවා.. මාත් බොහෝම අමාරුවෙන් සරීරේ සමබර කොරාන ගෝනි මල්ලත් අල්ලාන බොහෝම විමසිල්ලෙන් ඉස්සරහා බලාගෙන යනවා.. මට පේනවා ඔය අතරින් පතර ගෙවල් මණ්ඩි එහෙමත් පහු වෙනවා.. ඒවායේ ඉන්න ළමා ලපටි කට අරං මං මේ යන අරුම පුදුම ගමන දිහා බලං ඉන්නවා.. මං ඉතිං පුළුහං හැටියකට උන්ටත් අත වනාගෙන දැන් එනවා... එක තැනකදී රේල් පාර හරහා යන්ට ගිය අලි බොටෙකුගේ සද්දන්ත සරීරේ මං නොහැපි බේරුනේ පූරුවේ පිනකට.. නැහ්නං ඉතිං අද මේ කතාව කියන්ට මං මෙතන නැහැ ඕං... අලියටනං මං බයක් හැකක් නැහැ... මං දන්න අලි මංතර වලින් ඕකා දපනේ වට්ටන එක සුළු දෙයක්.. ඒත් මේ යන වේගෙට ඒකාගේ ඇගේ හැප්පුනානං හෙම අලියත් කුඩු.. මාත් කුඩු... එහෙව් වේගෙන් මේක යනවා නෙව.. මොනවද ඉතිං මෙහෙ තියෙන බන්ඩක්කා වගේයෑ.. මේවා මේ රාජාංගනේ සරුවට වැවුන බණ්ඩක්කා නෙව.. සෙවල එමට... හොඳට ලිස්සලා යනවා...

කොහොමින් කොහොමින් හරි අනුරාජපුරේ හරියෙදි මං අන්තිමට හිතේ වීරිය අරං බණ්ඩක්කෙන් අහකට පැන්නා... මංම හින්දා මිසක් වෙන එකෙක්නං තාමත් බණ්ඩක්කේ එක්ක ලිස්සලා යනවා.. අර ඉතිං මං විරිය වීරිය තියෙන හයිය හත්තිය තියෙන මනුස්සයා වෙච්ච හින්දා අච්චර වේගෙන් යන ගමන් බිමට පැන ගත්තා.. මං හිතන්නේ බණ්ඩක්කේ මහව හන්දියට යනකල්ද කොහේද ගිහින් තිබුනා... එතැනදී සිග්නල් නැති වෙලා පීල්ලෙන් අහකට පැනලා තිබුනා කියලා පස්සෙන් පහු ආරංචි උනා... කොහොම හරි ඔන්න එදා රෑ බතට මං බාප්පලගේ ගෙදර... හම්මේ බලන්ට එපෑ උන්දලගේ සංතෝසේ...  පහුවදා ඉතිං අර ගෙනාව  ගෝනි මල්ලේ තිබුන එලෝලු වලින්ම මගුල ජයට ගත්තා.. ඒ කරලා ඉතිරිය ගමටම බෙදලත් අහවර කරගන්ට බැරි උනා... ඔන්න ඔහොමයි ඉතිං මං රාජාංගනේ හිටිය කාලේ කතා...
------------------------

දැනට වරුස දහහතකට දහ අටකට එහා දී අපේ ගෙවල්වලට උඩහින් තිබුන කන්දේ ගල්වලක නාන්ට ගොහින් මියෑදුන පොඩිඅප්පුහාමි මාමාගේ මල ගෙදර පාළු කප කප හිටිද්දි එතැනට ආපු අමුතුම චරිතයක් විසින් කියන ලද කතා ගොන්නෙන් එකක් පමණි... පොර ආවේම නාගසංල වෙන්ට වැදිලාය... කටින් සද්ද කරමින් බයිසිකලයක් පැදගෙන එනවාක් මෙන් රඟපාමින්  පාර දිගේ දුවගෙන ඇවිත් අපි සිටි තැන පොල් ගහේ හැපී මලා සේ බිම වැටී.. පසුව කෙලින් කටින් වී ලග තිබූ ඇල්මේනියං පුටුවක් තමා දෙසට ඇද එහි පත බෑවී වෙරි මරගාතෙම කතා ගොන්නක් කියාගෙන ගිය මේ කියන පුද්ගලයා මට එයිට පෙර හමු වී තිබුනේ නැති අතර එයින් පසුවත් කිසි දිනක හමු නොවුනි... එහෙත් අදටත් ඒ රාත්තිරිය බොහෝම හොදින් මතකේ ඇත්තේ මේ කී කතා ගොන්න නිසාමය... මෙහි ගෞරවය ඔහුට යේවා...

24 February 2014

එල්ලෙන නංගිලාට මාරයාගේ අත හිත...

රයිටෝ...දැන් තුනයිනේ.. ඒ හින්දා මේක තව දිගට යයි වගේ.. ඒ හින්දා දන්න කියන අයව දැනුවත් කරන්න එපෑ... මොකද නංගිලා වැඩක් කරගන්න ගිහාම කොයි වෙලෙත් ඒ කරන්න යන වැඩේ ගැන කාගෙන් කාගෙන් හරි දැන කියාගෙන වැඩට බැස්සම වැඩේ සාර්ථකයිනේ... ඒත් ඉතිං මේකේ ඉන්න එකාලා මං වගේ නංගිලාට ආදරේ ඇති අයියලා නොවන නිසා මං හිතුවා මේ යුතුකම මගෙන්ම තමා ඉස්ට සිද්ධ වෙන්ට ඕන කියලා...

හරි අපි බලමු කොතැනින්ද මේක පටන් ගන්න ඕන කියලා... මුලින්ම වැඩේ කරන තැන පිළීවෙලක් කරන්න ඕන.. ඒ කියන්නේ මුලින්ම තමන්ගේ කාමරේ අස්පස් කරන්න.. මොකද පොලිසියෙන්.. පත්තර ටීවී වලින් ඇවිත් බලනකොට කාමරේ නිකං ඔය දැන් ඉන්න විදියට තිබුනොත් බල්ලොත් බත් කන එකක් නැහැ.. ඒ විතරක්යෑ ඔයාටමයි හොඳ නැත්තේ.. ටිකක් ලස්සනට කාමරේ හරි ගස්සලා... පුළුවන්නං අම්මට හරි තාත්තට හරි කියලා තීන්ත ටිකක් ගෙන්නවගෙන ඒකත් ගාලා කරලා.. හොඳලා නැති රෙදි එහෙමත් හෝදලා දාලා හැම දේම නීට් එකට තියලා වැඩේට බහින්න... බාගෙට වැඩ කරපු පොත් පත් එහෙම ගිනි තියලා දාන්න.. එහෙම නැත්තං පොත් පත්වල වැඩ හොදට කරලා ඒවා පිළිවෙලට තියන්න.. මොකද පස්සේ ටීවීවල පත්තර වල යන්න ඕන දක්ෂ දරුවෙක් කියලා මිසක් ගොං බඳින කනුවක් කියලා නෙවෙයිනේ... නංගිලට මං කියන්න ඕන නැහැනේ දැක්කනේ පහුගිය දවස්වල එක්කෙනෙක් උඩ යනකොට අනිත් කෙනා දෙකයි පණහට වැටුන වැටිල්ල... මං කැමති නැහැ මගේ නංගිලාට එහෙම තත්තයක් අත් වෙනවට... ඕ යේෂ්...

ඊ ළගට මතක ඇතිව හොඳට නා ගන්න... හොඳ මේකප් පාරක් එහෙම දාගන්න... විශේෂයෙන් අදින කරන සියළුම ඇඳුම් ගැන සැලකිලිමත් වෙන්න..උඩ යට හැම එකම ඈ... මොකද කී දෙනෙක් දකීද දන්නේ නැහැනේ.. නිකං මොකටද නෝන්ඩි වෙන්නේ නේද..?

මතක ඇතිව ටිකක් ලියුං ලියනවනං ටිකක් පැහැදිලි ලොකු අකුරු වලින් ලියන්න.. නැත්තං අපේ ඇස්වලට අමාරුයි ඕවා පොටෝ ගහලා ගොසිප් සයිට් වල දැම්මම ඒවා කියවන්න... අපිත් පව්නේ නේද..?

ආ මතක ඇතිව ඔයා ලියන ලියුමක ලියන්න මේකට මොන විදියකින් හරි බුකිය සම්බන්ධයි කියලා.. නැත්තං ඒකත් මේ දවසකට රටේ සිද්ධ වෙන දාහකුත් එකක් අවැදගත් මරණ අතරින් එකක් වෙයි... එහෙම වෙලා පුළුවන්ද නේද..? හොදට හේතුවක් පටලෝලා ලියන්න නංගි... ඒ ලියන හේතුවත් ලියන්න කලින් දෙතුන් පාරක් කල්පනා කරලා ලියන්න.. මොකද ඒක ඔයාටම දොස් පැවරෙන එකක් උනොත් විලි ලැජ්ජාවයිනේ.. අම්මා තාත්තා.. ගුරුවරු... අහල පහල උන්.. යාළු වෙලා හිටිය කොල්ලෝ බල්ලෝ.. හැම එකාවම කොහොම හරි ගාවන්න.. එකෙක් අතාරින්න එපා හරිය... 

ආ තව ටිකෙන් අමතක වෙනවා.. මතක ඇතිව වේල පහින්ම ලස්සන පොටෝ ටිකක් ගහලා දන්න කියන අයට දීලා තියන්න.. පුළුවන්නං බුකියට අප් කරලාම තියන්න.. එතකොට හැමෝටම ලේසියි.. පොටෝ ගන්නකොට ආවට ගියාට ගන්න එපා... හොද සැලුන් එහෙකට ගිහින් බියුටි කචල් එක හොඳට ඔප් නංවගෙන පළපුරුදු ඡායාරූප ශිල්පියෙකුට කියලා හොද වර්ගයේ කැමරාවකින් පොටෝ ටික ගන්න.. බාල පොටෝ දැම්මම ඔයාවත් බාල වෙයි.. හරි නැහැනේ නංගි.. මොකද හැමදාම කරනවා කියලෑ.. ජීවිතේටම එක පාරනේ... පොඩි ගානක් වියදං උනාට මොකද.. ඔයාලව උස් මහත් කරන්න අම්මලා තාත්තලා වියදං කරපු සල්ලි කන්දරාවයි මහන්සියයි එක්ක බලපුවාම ඔය තීන්ත ටිකකට.. පොටෝ එහෙකට.. සැලුන් එහෙකට දාහේ කොල හත අටක් ගියාම මක් වෙනවද..?


නිකං බාල සාරි වලින් ඕක කරන්න යන්න එපා... තත්තෙට හරි මදිනේ.. වටින කියන හයිය හත්තිය තියෙන එකක් තෝර ගන්න.. ටිකක් විතර සිනිදු වෙන එකත් වැදගත්.. මොකද අමු අමුවේ බෙල්ල ඕකට හිර වෙද්දි රිදෙන රිදිල්ල පොඩ්ඩක් හරි අඩු කරගන්න එපෑ... කොහොමත් වැඩි වෙලාවක් යන්න කලින් ඔයාලගේ උගුරු දන්ඩ කැඩෙනවා මොකෙන් එල්ලුනත්... ටිකක් රිදෙයි.. ටිකක් කිව්වට ඉතිං මල මුත්තරා පිටවෙන වේදනාවක් එක්කම තමා ඕක වෙන්නේ.. ඒත් ඉතිං එහෙමයි කියලා වැඩේ අතෑරියෑකියෑ.. නේද..?

ආ තව ඉතිං මෙහෙම ප්‍රසිද්ධියේ කියන එක හරි මදි උනත් මං නංගිලට තියෙන ආදරේ හින්දා මේ ටිකත් නොකියා බැහැනේ... මතක ඇතිව කලින් දවසේ විරේක බෙහෙත් එහෙම අරං හොඳට බඩ සුද්ද කරගන්න... වතුර බොන එක එහෙම අඩු කරලා ලෑස්ති වෙන්න.. මොකද කොච්චර කලත් ඔය වෙලාවට කාට උනත් මල මුත්තරා පහ වෙනවා... විරේක බෙහෙත් ගත්තත් ඉතිං ඒක නවත්තන්න බැහැ.. ඒත් ඉතිං ප්‍රමාණෙවත් අඩු වෙන එකත් මදෑ නේද... නැත්තං මුළු ගමම දකින කොට මල මුත්තරා පෙරාගෙන ඉන්නකොට කොහොමද ආතල් එක.. හරි නැහැනේ නේද..?

හරි දැන්නං ඕන්න තත්වේ ටිකක් විතර පිළිවෙලයි... වැඩක් කරනකොට වැඩේ වැඩක් හැටියට කරන්න ඉගෙන ගන්න කියලා වැඩිහිටියෝ නිතරම කියනවනේ.. ඒ හින්දා ඔන්න නංගිලත් මේ උපදෙස් හිතට අරං වැඩේට බහින්න... ආයේ මොකටද නිකං පුස් ගඳ ගහන.. කිසිම පිළිවෙලක් නැති අවුල් ජාලයක් උන කාමරයක.. කිසිම පිළිවෙලක් නැතිව හිටිය මෝඩ කෙල්ලෙක් වගේ එල්ලෙන්නේ.. අනික නිකං වැඳිරියෙක් මල මුත්තරා පෙරාගෙන ඇස් එළියට දාං ඉන්නවා වගේ මැරිලා යන්නේ.. පුල් පොෂ් විදියට එපෑ ඒක කරන්න නේද..? දැන් ඔයාලට පුළුවන් එහෙම නිකංම නිකං තුට්ටු දෙකේ මරණයක් වෙනුවට හරි ලස්සන පිළිවෙල එල්ලිල්ලක් අත්පත් කර ගන්න...

බලාගෙන ගිහාම මැරෙනවා කියන එකත් මහ පණ යන වැඩක්ම තමා නේද..? අවුලක් නැහැ.. නංගිලා තාමත් වැඩේට ෆිට් එකේ ඉන්නවා කියලා මං දන්නවා.. හරි එහෙමනං මේ ටික ලෑස්තිනං නංගි දැන් අභිමානවත් එල්ලිලා මැරිල්ලකට සූදානං... අතාරින්න එපා නංගි.. දැන් වැඩේට බහින්න... අම්මලා තාත්තලා රට්ටුන්ගෙන් බැනුං අහ ගන්න එකයි.. පවුලේ අවුල් එළීයට එන එකයි ගැන නංගි මේ වේලේ හිතන්න ඕනම නැහැ...
එව්වා එයාලා බලා ගනී.. ණය වෙලා හරි මරණේ කටයුතු කරලා දානෙත් එයාලා දී ගනී... නංගිට තියෙන්නේ ඔය උඩ කිව්ව ටික පිළිවෙලට කරන්න විතරයි...

රයිටෝ එහෙමනං අයියා කැපුනා.. නංගිලාට සුභ ගමන්...

-------------------------
මේ ටික ලියලා තියෙන්නේ දෙමාපියන්ට පමණක් පෙනෙනා විශේෂ තීන්ත වර්ගයකින් වන අතර මෙය කියවා බලා සද්ද නැතිව ඉන්නට දෙමාපියන් වග බලා ගත යුතුය... වැරදිලාවත් ළමයින්ට එහෙම කියන්න යන්න එපා... 
හරි මං මේ කියන්න ගියේ වෙන එකක් නෙවෙයි.. තමුන්ගේ ළමයා කාමරේ අස් කරලා.. තීන්ත ගාලා.. හැම දේම අස්පස් කරං ලස්සන වෙවී මොනවා හරි අමුතු හැසිරීම් රටාවක් පෙන්නුං කරනවනං මතක ඇතිව දන්න කියන කෙනෙකුගෙන් අත මාරුවක් ඉල්ලං හරි ලස්සයක් දෙකක් හොයාගෙන තියා ගන්න.. මොකද ඔයාලට තියෙනවා හෙටානිද්දට මල ගේකට ලෑස්ති වෙන්න... ආයේ හදිසියේ සල්ලි හොය හොය ඉන්නවට වඩා කලින් දැන ගන්න ලැබීමත් ලොකු දෙයක්නේ නේද..? ළමයින්ගේ හැසිරීම් රටාව ගැන හොයලා බලන්න වෙලාවක් නැති කාර්ය බහුල දෙමාපියන් හැටියට මෙහෙම දෙයක්වත් කලින් දැන ගන්න ලැබෙන එකත් මදිද මං අහන්නේ.. ඒ උදව්ව ඔන්න මං ගානේ ඔහෙලට...

20 February 2014

නංගිගේ රොටිය දැකලා වෙච්ච දෙයක් ඕං...


අද උදේ ඉතිං සුපුරුදු පදිරිද්දෙන් දවස ආරම්භ කොරන්ටය කියලා හිතාගෙන නමෝ විත්තියෙන් ලැප් ටොප් රාජයාට නමස්කාරය කියලා.. සුවද දුං අල්ලලා එහෙම ලොග් උනාය කියමුකෝ... අංග පිළිවෙලට ඉතිං මුලින්ම ඊමේල් කාරිය එහෙම බලලා කොරලා... උත්තර යවන්ට ඕන ඒවට උත්තර යවලා... වැඩක් නැති එව්වා මකලා... ඒ රාජකාරි අහවර කොරලා ඔන්න ගියා රීඩරේ පැත්තේ.. ඒ ගෙහුන් ඉතිං එක්කාසු වෙලා තිබුන බ්ලොග් පෝස්ට්ද.. ගොසිප් සයිට්වල නිව්ස් පඩංගුද.. අරවද මේවද ටිකත් උඩින් පල්ලෙන් බලා කියාගෙන ගෙහුන් අවසාන වශයෙන් මේ දවස්වල සදාතනික නවාතැන වෙලා තියෙන අභිමානවත් වීර වික්‍රමාන්විත පුරුෂයින්.. කාන්තාවන් සිය සිල්ප දක්වන්නා වූ මාක් සකරබර්ගයන්ගේ බුකී රාජයා වෙත පිවිසියා කියමුකෝ.. ආන්න එහෙම පිවිසිලා එහෙට මෙහෙට හක්කලං කොරන්න කියලා තනද්දිම තමා ඕන් මේක උනේ...

එක පාරටම අමුතුම අමුතු පිංතූරෙකට මයේ ඇහැ ගියා... පිංතූරෙටත් වැඩිය ඇහැ ගියේ ඒකේ උඩින් කොටලා තිබුනු අකුරු ටිකට.. “මයි බ්‍රේක්ෆස්ට්“ය කියලා කඩ්ඩෙන් තමා කොටලා තිබුනේ.. ඒත් හත් ඉලව්වේ මට මේ පිංතූරේ මහ අමුතු එකක් උනා... සුදු පාට පසුබිමක.. අදුරු පැහැ ලප සහිත රෑපයක්... බැළුවා බැළුවා මක් කොරලවත් හිතා ගන්ට බැහැ මේ මොන වදුරු කුණුහබ්බයක්දෑ කියලා... නංගිත් නිකං කොච්චි මිරිස් කරල වගේ හින්දා එක පාරට මොනවත් කියන්ටත් බයයි බයයි වගේ.. ඇයි උලව්වේ මයේ දෑසේ දෝසයක් එහෙම තිබිලානං එහෙම.. කෝකටත් කියලා බලලා මට මේක තේරුං ගන්ටම බැරි හින්දා බොහෝම බයෙන් බයෙන් වගේ... ( ගෑල්ලමයින්ට ඉතිං කතා කොරනකොට මං හරි කුලෑටියි නෙව.. ඕක ඉතිං මේ බ්ලොග් අවකාසේ ඉන්න ගෑණු දැරිවියෝ හොදාකාරවම දන්නවා.. හා හා දැන ගත්තම ඇති දැන් මෙතන සාක්කි දෙන්ට ඇවිල්ලා මයේ සායම යවන්නේ නැතිව හිටහල්ලා.. :D ) අවසානෙදි ඇහුවා මේ මක්කැයි කියලා...

හත් ඉලව්වේ එතකොටනේ කිව්වේ මේ කාලා ඉවර වෙලා ගත්ත පොටොවක් කියලා.. :D

බැලින්නං ළමයා උදේ පාන්දරම කුකුල් මස් හොද්දක් එක්කලා පරාටා වගයකට වග කියලා අවසානේ ඉතිරි වෙච්ච පොලිතීන් කොලේ තමා මේ පොටෝ ගහලා දාලා තියෙන්නේ... :D

 අනේ ඉතිං කාට කියන්නද මෙව්වා.. ඒ කොහොම උනත් එතැනින් පස්සේ එහෙට මෙහෙම කතා කොරද්දි මට මතක් උනේ මංතුමා කුරුළු හමුදාවේ ඉන්න සංධීයේ රත්මලාන කඳවුරු ජීවිත කාලේ.. ඒ කාලේ ඉතිං බුරහස්පතින්දා රාත්තිරියටද කොහේද අපිට කෑමට තිබුනේ පරාටා... අපි ඉතිං ඔය පරාටා කිව්වට මං හිතන්නේ ඒකේ හරිම නම ගෝදම්බ රොටීද කොහේද... පරාට කියන්නේ අර රවුං කරලා පොඩිවට හදලා දෙන ගෝදම්බ රොටියමනේ... ගෝදම්බ රොටිය කියන්නේ අර මහ විසාලෙට පැදුරක් වගේ හතරැහේට තියෙන ලේන්සු රොටී වලට.. ඉතිං අපිට ඒ කාලේ රාත්තිරියට මේ කියන රොටී එක්කලා බොහෝම රහට උයාපු කුකුල් මස් හොද්දකුයි.. අල කිරි හොද්දකුයි එක්කලා කෝපි එහෙමත් දෙනවා... කුරුළු හමුදා විධිවිධාන යටතේ කුකුල් මස් හදන කොට කුකුලා කෑලි අටකට වඩා කුඩාවට කපන්න තහනම් හින්දා පතරංග සයිස් කුකුල් මස් කුට්ටියක් හම්බ වෙන හින්දත්... මිරිස් රසට මිස කිරි රසට ඒ කාලේ ඒ හැටි මනාපයක් ඇත්තෙත් නැති හින්දා අල කිරි හොද්ද දිහා ඇහැක් ඇරලා බලන්නේ නැති අපිතුමාලා බුරිය උල් වෙන්නම රොටී පාරක් දාලා පහුවදා උදේට දෙයියන්නේම පිහිටයි කියලා හිතාගෙන ලොකුවෑයින් කෝපි ජොග්ගුවකුත් දමලා ඇරලා බැරැක්ක වලට මාරු වෙනවා... ඉතිං ඔය අතීතයයි.. නංගි පෙන්නුව රොටී කාලා හිස් කොරාපු කොලෙයි දැක්කම මටත් නිකං ඉන්න බැරිව හිතුනා අදනං පරාට පාරක් දාන්ට ඕනය කියලා..

ඒත් ඉතිං එහෙම හිතලා දහවලේ ගෙහුන් අඩුම කුඩුමත් උස්සං ඇවිත් හදාගෙන හදාගෙන යද්දි නිකංම පරාට කන අදහස මෙව්වා වෙලා අන්තිමට කොත්තුවක්ම හදන්ට හිතුනා නෙව.. හිතුනට පස්සේ ආයේ මක්කටද පස්ස ගහන්නේ.. හදලා දැම්මා ඕං... දහලා විතරක් නෙවෙයි කොටා බාලත් හමාර කොරලා තමා මේ ඉතිං මේක කොටන්ට ගත්තේ... 

ආයේ ඉතිං කොත්තු හදන හැටි අමුතුවෙන් කියා දෙන්ට ඕනයෑ..

රොටී ටික හදාගත්තා කෑලි කපා ගත්තා...
කුකුල් මස් කරියක් සැරට උයා ගත්තා...

භාජනයක් ලිප තියලා ඒක රත් වෙද්දි ඒකට තලා ගත්ත අමු ඉගුරු සුදුළුණූ ටිකක් එක්කලා  කපා ගත්ත ළුණු/අමුමිරිස්/කරපිංචා .. පොඩි කරගත්ත කරාබු නැට්ටක් කරඳමුංගු ඇටයක් එහෙම දාලා ඒ ටික පොඩ්ඩක් රත් වේගන එද්දිම තෙල් ටිකක් වක්කරලා.. ඒ තෙල් වලින් දාපු කලමනා බැදෙන කොටම ඒ උඩට බිත්තරයක් දෙකක් කඩා දාලා හොදින් කෑලි කැඩෙන විදියට කලවං කොරන ගමන් සිහිනියට කපා ගත්ත එළවළු (කැරට්/ලීක්ස්/ගෝවා... තියෙනවනං මාළු මිරිසුත් හොදා..) ටික දාලාහොදට මිශ්‍ර කරමින් විනාඩියක් විතර හිටලා.. ඒකට ලුනු කුඩු.. කෑලි මිරිස්.. ගම්මිරිස් කුඩු ටිකක්.. සීනි ස්වල්පයක් දාලා කලවං කරලා.. අවසානෙට කපා ගත්ත රොටී ටික එක්කාසු කොරලා ඒ උඩට  තියෙනවනං සෝයා සෝස් ටිකක් යහමින් දාලා තවත් තියේනං තක්කාලි සෝස් පොඩ්ඩකුත් දාලා උයා ගත්ත කුකුල් මස් එකේ හොදි වලිනුත් තමන් කැමති ප්‍රමාණයක් යොදලා හොදින් කලවං කරලා ගන්නයි තියෙන්නේ.. 

ඔය කිව්ව අවසාන හරියෙදී ලිපේ ගින්දර තරමක් වැඩි කරලා වැඩි රස්නයකින් සුළු වේලාවක් පිස ගන්න එක තමා සාර්ථක.. අඩු ගින්දරේ වැඩි වෙලා තියන්න ගියොත් කොත්තුවට දාලා තියෙන එළවළු අනං මනං තැම්බිලා ඒවායේ යුෂ එකතු වෙන්න අරං කොත්තුව දියාරු වෙන්න පුළුවන්.. ඒ හින්දා වැඩි ගින්දරේ අඩු වේලාවක් කියන එක මුල හිටලාම මතක තියාගෙන වැඩේ කොලොත් ගේමක් නැහැ... ඒ කියන්නේ උවමනා කරන කලමනා ලගට අරං මිස වැඩේට අත ගහන්න එපා...

ඔය කියාපු විදියට කරලා හදා ගත්ත කොත්තුව තමා මේ තියෙන්නේ... ඔන්න මුල හිටං පින්තූර ටිකක් තියේ... තනියම උයන්න පිහන්නයි.. පොටෝ ගන්නයි දෙකක් බැරි හින්දා හැම පියවරක්ම නැති එක ගැන සමාව භාජනයකට දාලා ඒකත් පැත්තකින් තියාගෙන කොත්තුව කන්න තමා තියෙන්නේ...

ටටා වේවා.. මං ගියා.. :D


 රොටී වැඩුවේ ප්ලාස්ටික් ට්‍රේ එකක් උඩ...

 රොටී පිච්චුවේ පොඩි තෝස තැටියක් උඩ...

 රොටී හැදීගෙන එනවා...

 රොටී ටික කපා ගන්නයි තියෙන්නේ... අනිත්වා රෙඩී...

 හදා ගත්ත රොටී ටික...

 හරි.. රොටී ටික කපා ගත්තා.. මස් එකත් ලෑස්තියි... දැන් ඉතිං තියෙන්නේ වැඩේ දෙන්න බාස් සෙට් වෙන එක තමා....

ගේම ෆිනිෂ්... දැන් තියෙන්නේ කන්න තමා... :D

14 February 2014

වේලෙන්න කලින් බඩු... බ්ලොග් කරුවෙකුගේ පොටෝ ඇල්ලිල්ල.. :D


මුලින්ම කියන්ට ඕන ඉතිං මේක බ්ලොග් එකේ මේ හදිසියට ලිව්වට මොකද සිංහල බ්ලොග් කාලයක් තිස්සේ කියවන කරන අයට තමා මේක මීටර් උනොත් වෙන්නේ.. එහෙම නැත්තං ඉතිං මේක මෙලෝ රහක් නැති කේස් එකක් විතරයි... ඔන්න මෑතකදී බ්ලොග් කියවන්න ආව... පරණ බ්ලොග් ලියන කියවන කට්ටිය ගැන ඒ හැටි අවබෝධයක් නැති උදවිය මාත් එක්කලා අමනාප වෙන්ට කාරි නැහැ...



ඉතිං මෙන්න මේකයි නිව්ස් එක...


අපේ ප්‍රවිණ බ්ලොග් කරුවකු වූද... ඉතා දස්ස පොටෝ සිල්පියෙකු වූද... අග්‍රගණ්‍ය සිත්තරකු වූද... බොහෝම බුද්දිමත් බ්ලොග් කරුවකු විසින් මේ දැන් සුළු මොහොතකට පෙර... (ඔව් ඔව් තාම මෑන් කන්ද බහිනවා..) සිය දරු පවුලත් රැගෙන මේ නිවාඩු දින කිහිපය සුවසේ ගත කිරීම පිනිස කන්ද උඩරට රාජධානියක ගොස් සිටිනා අතරතුරේ... කන්ද උඩ රට සුපතල බහිරව කඳු මුදුනට බඩ ගා ගොස් සිය හොම්බ දිග කැමරා රාජයාණන් ගෙල මත එල්වාගෙන... බොහෝ ගාම්භීර ලෙසින් ඒ මේ අත ඇවිද බලා... සිය පොටෝ සිල්පයෙහි කෙල පැමිණී සියළුම අංග ලක්ෂණ එක් පොටෝවක් තුලින් විදහා පෑමෙහි අභිප්‍රායෙන් යුතුව.. සිය කැමරාවට සුදුසු කෝණයක් සොයමින් ඒ මේ අත ඇවිද බලා.. එයට සුදුසු යැයි සිතුනු තැනක නැවති හරි බරි ගැහී සිය කැමරාව මහත් වූ භක්ත්‍යාදරයෙන් යුතුව දරුවෙක් දෝතට වඩනා වූ මවක් පරිද්දෙන් මනාව සිය දෑතට ගෙන..  මෙම ගමනෙහි සිය පළමු සේයා රුව ගැනීමට සූදානම් වූ මොහොතේ...



“හුටා බැටරිය කාර් එකේ දාලා ඇවිල්ලා නේද..?“


යනුවෙන් හඩ නගා ප්‍රකාශ කොට වහ වහා සිය රථයේ ඇති බැටරිය ගෙන ඒම පිණිස වේගයෙන් පල්ලම් බසිමින් සිටිනු ලබයි... :D



කරුමයකි හිතවතුනි.. මෙම පෝස්ටුව කොටමින් සිටිනා සඳ මෙම කතාවේ දෙවැනි කොටසද එහි සිටින මා මිත්‍ර අදාල බුද්ධිමත් බ්ලොග්කරුවානන්ට අද දවසේ ගමන් උපදේශයකයකු ලෙසින් කටයුතු කරන කොලුවා විසින් මේ දැන් දන්වන ලදි...

මහත් වූ වෙහෙසින් යුතුව සිය රථය වෙත දුව ගොස් කැමරාවෙහි බැටරිය ගෙන හති හලමින් නැවතත් කදු මුදුනට දිව ආ මානවක තෙමේ... බැටරිය දමා සිය කැමරාව පණ ගන්වා දෙවැනි වතාවටද අදාල පොටෝව ගන්නට සූදානම්ව තවත් කිසිවක අඩුවක් දැනී පරීක්ෂා කරන කල්හී...

“හුටා.. ඒ පාර චිප් එක ගෙනත් නැහැනේ“ 
යි පවසමින්... ආන්න නැවතත් එය ගෙන ඒම පිණිස සිය රථය වෙත දිව යනවා “ළු“ පින්වතුනි...



---------------------

තමා පසුපස හඹා ආ කොටියකු උපායෙන් ගස් දෙබලක සිර කොට කොටියාව අපහරණයට ලක් කරන ලද නරියකු පසුව ගොස් ගම ගෙදරක සැඟවී පත්‍රයක් බලනා නියාවෙන් සිටිනා කල නරියා සොයමින් කෝපයෙන් එතැනින් යන්නට ආ කොටියා පත්‍රය බලමින් සිටින්නේ ගම ගෙදර ගමයා යැයි සිතා...

“මෙතැනින් නරියකු යනවා දකින ලද්දේදැ“යි පත්‍රයෙන් මුහුණ වැසී සිටි නරියාගෙන්ම ඇසූ කල...

“මෙතැනින් නරියෙක් ගියේ නම් නැත.. එහෙත් නරියකු විසින් කොටියකුව අපහරණයට ලක් කරන ලදැයි පත්‍රයේ පුවතක් ඇතැයි“ පැවසූ කල...


“යකෝ අපහරණයට ලක් වී පස්සා පැත්ත වේලෙන්නටත් කලියෙන් ඒක පත්තරේත් ගියා දැයි“ 
කියමින් විස්සෝප වූ කොටියා එතැනින් මාරු වූ බව සඳහන් කතාව මා හිතවත් පාඨකයින් විසින් මින් පෙර අසා කියවා ඇතැයි සිතමි... :D

08 February 2014

ළමයි හැදිල්ල...

මේක මේ අතුරු කථාවක්...
පහුගිය දවසක අර ගෑණු ළමෙක් එල්ලිලා මැරිච්ච සීන් එකක් යනවනේ.. මොකක්ද මංදා ෆේස්බුක් එකේ දාපු පොටෝවකට ප්‍රින්සිපල් බැන්නය කියලා... ඔය සිද්ධිය කොහොම උනත් දැන් ඒ ගැන යන වාද විවාද ගොසිප් සයිට් වලයි.. බුකියෙයි කොයි වෙලෙත් බලා කියා ගන්න පුළුවන්.. ඕවා බලං ඉද්දි තමා මට මේවා කල්පනාවට එන්නේ...

මේ ඊයේ පෙරේදා මං අර කලින් ලිපියේ කිව්වා වගේ අර සුනාමියට හදාපු ගේ බලන්න ගිය වෙලේ තව අපූරු දෙයක් දැක්කා... ඒ තමා පොඩි ළමයෙක්... ළමයා හිටියේ මං අර ගිය ගෙදරම තමා.. 

එයාලා ගේ ඉස්සරහා පොඩියට කඩයක් කරනවා... ගෙ පිටිපස්සේ වෙනම ගෙදරක සුද්දන්ට නවාතැන් දෙනවා වගේ වැඩත් කෙරෙනවා... සුද්දන්ට නවාතැන් කිව්ව ගමන් අපිට හිතෙන්නේ හෙන පිරිසුදු පට්ට පොෂ් පොට් කියලනේ.. හැබැයි ඉතිං මේ තැන්නං එහෙම නෙවෙයි... මොකද සුද්දෝ මෙහෙ එන්නේ කාමරවල වැටිලා දොයියන්න නෙවෙයිනේ... ඇවිදින්න.. අවුව තපින්න.. මුහුදේ නාන්න වගේ දේවල්වලටනේ.. අපේ අය නෙව ඔය බර ගණන් වියදං කරං රටේ අනිත් කෙලෝරටම ගෙහුං හොඳ සැප පහසු කාමරයක් අරං කාමරේට වෙලා නිදාගෙන ඉඳලා ආපහු එන්නේ... අඩුම ගානේ හෝටලේ නාන තටාකෙටවත් බහින්නේ නැතිව...:D

මේ වගේ තැන් ඉතිං එහෙම ඒවා නෙවෙයි... මං හිතන්නේ නිදා ගන්නයි ඇඳුමක් මාරු කරගන්නයි වගේ සරල දේවල් වලට විතරක් ඉඩ පහසුකං තියෙන තැන්...

කොහොම උනත් මං දැකපු මේ ළමයා සුදුම සුදු ළමයෙක්.. ඔව් ඔව් සුද්දා පැටියෙක් තමා.. මං මුලින්ම හිතුවේ මෙහෙ ආපු සුද්දෙක් කාට හරි තනා වඩා දීලා ගිය ළමෙක්වත්ද කියලා.. එහෙම සීනුත් ඉතිං තියෙනවා නෙව.. ඒත් අහන්නත් කලියෙන් මට ළමයා ගැන විස්තරේ එයාලම කිව්වා...

“අපේ අක්කා මේ ළමෙක් බලා ගන්නවනේ“ කියලා.. 
බැලින්නං ඒ ළමයා ප්‍රංශ.. අම්මලා තාත්තලා මාස කිහිපයක නිවාඩුවට ඇවිත් ළමයා මෙයාලට බලා ගන්න දීලා එයාලගේ සංචාර කටයුතු ආදියේ නිරත වෙනවා... ටිකක් විතර අපිටනං මේක අමුතු දෙයක්නේ...

ඔය වගේ දෙයක් ගැන අපේ අයගේ අදහස් ඇහුවොත් ඉතිං කියයි දෙසවන් පිනවෙන්ටම...

“දරුවන්ට ආදරේ නැති දෙමාපියෝ“
“ළමයි ගැන සැලකිල්ලක් නැති උන්“
“මෙහෙමත් අනුන්ගේ තැනවල දාලා යනවද ළමයින්ව.. මූං අම්මලද..?“

ඔන්න ඔය වගේ එකි නොකී කතා බර ගානක් අහගතෑකි... හැබැයි ඉතිං මං දකිනකොට ළමයා හිටිය හැටි දැක්කනං ඔයිටත් වඩා කතා කියවෙන්න පුළුවන් අපේ උදවියගෙන්... මොකද පොඩි එකාව බලා ගන්නවා කියලා මෙලෝ දෙයක් ඒ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ.. ඒකා ඔහේ වත්ත පුරා තමන්ට ඕන තැනක ඇවිද ඇවිද ඉන්නවා.. හිටිය ගමන් කඩේ මැදින් පාර අයියනට ගිහිල්ලා බලලා ආපහු කඩේ හරහා ගේ පිටිපස්සේ වත්තට යනවා... එක පාරක් මං බලද්දී කොහෙන්ද මංදා ඉඳලකුත් අරං ළමයා මිදුල අතු ගානවා... වටේම තියෙන කුණු තමන් ගාවට ඇදලා අරං කුණුගොඩ මැද ළමයා හිටගෙන හරි අපූරුවට අතු ගානවා... දූවිල්ල නාලා.. ඒ මදිවට ගෝනි පඩංගුවකුත් ඇගේ පැටලිලා...  බොහෝම ක්‍රියාශීලී දරුවෙක්... හැබැයි විශේෂත්වය තමා දරුවට වයස අවුරුදු පහක්වත් නැති බව පෙනිල්ල.. අවුරුදු තුනක හතරක දරුවෙක්... ඉඳලේ ඉරටු වලට චුට්ටක් උඩින් අල්ලං තමා අතු ගාන්නේ... වැඩේ කියන්නේ දැන් මේකට සිංහලත් තේරෙනවා... අර කඩේ හිටිය අම්මා කියනවා... අපි දන්නවෑ ප්‍රංශ... අපි සිංහලෙන්ම කතා කරනවා.. දැන් එයාත් සිංහල දන්නවා කියලා... ළමයත් හිනා වෙවී ඉන්නවා... 

මං ඉතිං කල්පනා කලේ යකෝ අපේ අවුරුදු තුන හතරක නෙවෙයි අවුරුදු දහයක පාලොහක එකෙක්වත් ඔහොම තනියම දාලා යන්ට පුළුවන්ද කියලා තැනක... දාලනං ගියෑකි.. හැබැයි ඉතිං වරුවක් යනකොට එතැන මල ගෙයක් කරයි.. කෑ ගහලා විලාප තියලා... එක ගිනි විජ්ජුම්බරයයි... ළමයනං ඕන එකක් කියමුකෝ.. එහෙම ළමෙක්ව දාලා අපේ අම්මලා යයිද එහෙ මෙහෙ... වැඩිය ඕන නැහැ මං දනුවත්ව ඉස්සර අපේ දායක මහත්තයෙක් හිටියා අවුරුදු විසි පහක් විතර වෙන තමන්ගේ පුතාව බස් හෝල්ට් එකෙන් ගේ ගාවට ඇවිදං එන්න තියෙන මීටර් තුන් සීයක දුර තනියම එන්න දෙන්නේ නැහැ... ඒ ළමයගේ හැම එකටම ඇගිල්ලෙන් ඇන ඇන හොයනවා... ළමයත් ඒකටම හුරු වෙලා රෙද්දක් හෝද ගන්නේ නැහැ තනියම... ගමනක් ගියොත් කඩේකින් තේ එකක් බොන්නේ නැහැ.. 

අපේ ළමයි ගැනනං මං කියන්න ඕන නැහැනේ කවුරු කවුරුත් දන්නවා නෙව... ඔයිට කලියෙන් මං දවසක් පොලොන්නරුවේ ගෙහුං එහෙ තියෙන පුරාවිද්‍යා කෞතුකාගාරය බල බල ඉද්දි ඔන්න එතැනටත් ආවා සුද්දෙකුයි පොඩි ළමයි දෙන්නෙකුයි.. ඒ අය එක්ක ආව මග පෙන්වන සිරිලාංකිකයෙකුයි... ළමයි දෙන්නට වයස ඇති අවුරුදු 8 ක් සහ 12 ක් වගේ... මොනවද ඉතිං වැඩිහිටියන්ට වඩා හොඳින් කෞතුකාගාරය බලනවා.. නොදන්න තැනකදී මාර්ගෝපදේශකතුමාගෙන් ප්‍රශ්න කරනවා.. බොහෝම සංවරව පාඩුවේ වැඩේ කරං යනවා... අර සුද්දත් තමන්ගේ පාඩුවේ කෞතුකාගාරේ බල බල යනවා... ළමයි බලන්න කියලා මෙලෝ මහන්සියක් නැහැ... ළමයි ළමයි ගැන බලා ගන්නවා...

මට ඉතිං ඔය වගේ ඒවා දැක්කම තමා කල්පනා වෙන්නේ අපේ අය ළමයි හදන  ක්‍රමේ අවුලක්ද..? නැත්තං මේ සුද්දන්ට පිස්සුද කියලා... හැබැයි ඉතිං සුද්දන්ට පිස්සු වෙන්න ඇති... 


ඔය සිද්ධිය ගැන අපේ සුජීව කොකාවල ලිපියක් ලියලා තිබුනා... එකේ අවසානෙදී මෙහෙම කියනවා...



//අනික් වැදගත් කාරණය නම් ගැහැණු දරුවන් මල් මෙන් හදන කාලය අහවර කලයුතු බවයි. වේසි කිව්වම පරවෙන සුමට මල් වෙනුවට පල පොන්නයෝ යන්න කියා අනිත් පැත්තට කියන රළු පරළු කෙල්ලන් අවශ්‍යය. මෙතනත් අපි ඉන්නේ අතීත යුගයක සිරවෙලාය. වර්තමාන ලෝකයේ ඔය මල් ප්‍රභේද වලට අවශ්‍ය පාරිසරික තත්වයන් නොමැත. පාරේ යනකොට වේසි කියා කියන එක බොහෝ විට හෙට දිනයේ සාමාන්‍ය දෙයක් වනු ඇත.//




ඇත්තටම අපේ අයට මෙහෙම ළමයි හදන්න පුළුවන් වෙයිද..? සමහර පරිසර තත්වයන් යටතේ හැදෙන ළමයින්ටනං අමුතුවෙන් ඉගැන්නුවේ නැතත් දෙන්න ඕන උත්තරේ හැරෙන තැපෑලට දෙන තැන් මං දැකලා තියෙනවා උනත් මං මේ කියන්නේ ඒ අය ගැන නෙවෙයි.. සුජීවලත් ඇතුළු බහුතර සරල සාමාන්‍ය සිරි ලාංකීක දෙමාපියන් ගැන... 


අඩුම ගානේ ළමයා යනු තවත් එක නිදහස් සත්වයෙක්ය කියලා හිතලා ළමෙකුට නිදහසක් නොදෙන රටේ... රළු පරිසරයකදී එයට ඔරොත්තු දෙන්න ඇහැකි විදියේ දරුවන් අපේ අය හදාවිද..? ඕක ඇහුවොත්නං අපේ අය උත්තර දෙයි එලෝ කෝටියට... ඔය කිව්වම තව එකක් මතක් උනා...

 මේ ළගදී අපේ යාළුවෙක් ෆේස් බුක් එකේ දාලා තිබුනා එක් එක් මනුෂ්‍යයින්ව වර්ගීකරණය කරලා... ඒකේ හැටියට සත්තුන්ගේ නම් වලින් තමා වර්ගීකරණය කරලා තිබුනේ... අනේ ඉතිං ටිකක් වෙලා මේක දිහා බලං හිටියම මට ඇඩෙන්න වගේ ආවා.. එන එන එකා ඉත්තෑවෙක් වෙන්න යනවා.. මොකද ඉත්තෑවා එතැන හිටිය සත්තුන්ගෙන් ටිකක් බැලන්ස් සතෙක්.. තව තව අය එයිටත් වඩා හොඳ සත්තු වෙන්නත් හීනියට ට්‍රයි එකක් දෙනවා.. සමහරු හොඳ වුන් දෙන්නෙක්ව කලවං කොරං දෙමුහුං වෙන්නත් යනවා... බලං ගියාම අපේ සමාජේ ඉන්නේ හොඳ මිනිස්සු විතරමයි වගේ පේන්නේ ඒකේ කමෙන්ට් බැළුවාම... ඇත්තටම මට ඇඩුනා.. යකෝ මං විතරයි එතන ඌරෙකුටයි ගොනෙකුටයි බූරුවෙකුටයි හරියන ගති ලක්ෂණ පෙන්නුම් කරලා තියෙන්නේ කියලා... :D ඇයි ඉතිං මෙච්චර හොද මිනිස්සු කන්දරාවක් අස්සේ බෙහෙතකට නරක එකෙක්.. මෝඩ එකෙක්... හොයාගන්නම නැහැ... කොටින්ම නරක ගෑවිලාවත් නැති සුදුම සුදු චරිත තමා බුකියේ ඉන්නේ... 

ඉතිං එහෙම තැනක මෙහෙම කතා කියන්න ගිහාම අන්තිමට අපි පිස්සෝ අමනයෝ ගානට වැටෙන එක විතරයි නෙව වෙන්නේ.. :D

කොහොම උනත් ළමයි හැදිල්ලෙදී අපේ අය කොයිතරං දුරට සාධාරණද.. සාර්ථකද.. කියලා මට නිතරම හිතෙන එකනං වලක්වන්න බැහැ... පාරේ තොටේ යද්දි ළමයව වඩාගෙන යන ගමන් ළමයගේ සපත්තුවල තියෙන දේවල් අනිත් අයගේ ඇගවල් වල අතුල්ලගෙන ගානක් නැතිව යන එක... මිනිස්සු වාඩිවෙන බංකු.. පුටු ආදියේ කුණු වැකුණු සපත්තු සහිතව දරුවන් සිටවා තැබීම වගේ දේවල් ගැන කතා කරන්න ගියොත්නං මට තව තව දේවල් කියන්න හිතෙනවා.. එක්කෝ ඕන නැහැ... ළමයිත් හරි.. දෙමාපියනුත් හරි... බුකියත් හරි.. ප්‍රින්සිපලුත් හරි...  මේ රෙද්දවල් හිතන මං වැරදි...