12 November 2009

මතකයන් අතරතුර.....

දීර්ඝ ලිපියක් ලියන්න තරම් හිතේ එකලාසයක් නැහැ. අද මම කල්පනා කලා වැඩියි. හවස් කාලය පුරාම ගේ ඉස්සරහ වෙල් යාය දිහාබලාගෙන (ගේ කිව්වට මගේ නෙවෙයි මම කුලියට අරගෙන ඉන්න ගේ. එකත් උඩ තට්ටුවක් හැබැයි නිස්කලංකයි.) පුරුදු විදියටම කල්පනා ලොකයේ කිමිදිලා හිටියා. හැබැයි වෙනදට ගන්න මගේ හීන් අඩිය අද ගත්තේ නැහැ. (මෙ පටලැවිල්ලට හේතුව ඒකද මන්දා?)අතීතයත් වර්ථමානයත් අතර සිද්ධ වෙන ඝට්ටනය වෙනදා වගේමයි.වෙනදාට මෙ ගැටුම මත් ගතියත් සමග මතු වීගෙන එන නිදිමතට අවස්ථාව සලසමින් නිමාවට පත්වෙනවා. පැය කිහිපයක නින්දෙන් පසු තමයි නැගිටලා ඉතිරි වෙලා තියෙන දෛනික රාජකාරිත්, බ්ලොග් ලිවීමත් සිදු කරන්නේ. හෙට දවස නම් අවුලක් නැහැ. වැඩට ගියාට පස්සේ දවස ගෙවිලා යනවා. ආයෙත් අනිද්දාට අද වගේම දවස ගෙවිලා යනවා.දවසක් ඇර දවසක් වැඩ කරන නිසා ජිවීතේ යම් තරමක වෙනසක් තියෙනවා.

ඔහොම තමයි ජීවිතේ...

ඇත්තටම මගේ හිත් යම් තරමක තිගැස්මක් තියෙනවා. ඒ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ.. එක අතකින් මෙ ලිවීම නිසා ජීවිතේ ටිකක් ගලාගෙන යනවා වගේ දැනෙනවා. පහු ගිය කාලේ නම් ලොකය වෙගෙන් යන හැටි මම මගේ පාඩුවෙ බලාගෙන හිටියා. සිංහල බ්ලොග් කියවනය බලන්න හුරු වෙලා දැන් ටික කාලයක් උනත් බ්ලොග් ලියන්න පටන් අරන් තාම දවස් දෙක තුනයි. ඒ දවස් දෙක තුනටම ජීවිතෙ තරමක් හෝ ගලා යන්න පටන් ගත්තා වගේ දැනෙනවා. ඒත් අනේ මන්දා... මම ඒකට අකමැතිය වගේ කියලා මට හිතෙනවා.
පාරෙ යන එන හැමෝටම පේන විදියට ගෙදර දොරවල් ජනෙල් ඇරලා දාලා වගේ... කාටවත් මාව පේනවට මම කැමති නැහැ. ලොකයේ උසම තැනක ඉදගෙන ලොකය දිහා බලාගෙන ඉන්නයි මම කැමති. පහු ගිය වසර ගනනාවක් තිස්සේ මම කලෙත් ඒකයි. එහෙම හිටපු මට මෙ මොකද වෙලා තියෙන්නේ.
පොඩි කාලේ ඉදලම මම පොත පත කියවන්න කැමතියි. ~අම්මා, පාලම යට, මනුතාපය~ වගේ පොත් මම මුලින්ම කියෙව්වෙ 4පන්තියේ ඉන්න කාලේ. 7වසරට එනකොට දවසට පොත් 2ක් කියවන තරමට මට පිස්සුවක් තිබුනා.10 පන්තියේ ඉන්න කාලේ ඉස්කොලේ පුස්ථකාලෙන් පොතක් අරගෙන එන ගමන් කිරිබත් ගොඩින් බැහැලා මම බැදිලා හිටිය පුස්ථකාලයක් තිබුනා ඒකෙනුත් පොතක් අරගෙන ආයෙත් බස් එකේ නැගලා ඇවිත් අපේ ගමට යන පාර ගාවින් බැහැලා, මගේ පුට් බයික් එකත් අරන් හැතැම්ම 2ක් පාගලා ගමට ඇවිත් ගමෙ ප්‍රජා ශාලාවෙ පුස්තකාලෙනුත් පොතක් අරගෙන ඇවිත් පහුවදා එලිවෙන කොට පොත් 3ම කියවලා ගිහින් බාර දෙනවා. මෙහෙම සතියට තුන් පාරක් වත් කරනවා.
ඒ වගේ පොත් කියෙව්වට මම ලියනවා අඩුයි. කවදා හරි මගේ ජීවිත අත්දැකීම් එකතු කරලා මොනවා හරි ලියන්න ඔන කියලා හිතාගෙන හිටියත් මට ඒක කරන්න හම්බ උනේ නැහැ. එකක් කම්මැලිකම,අනික පොඩි කාලේ ඉදලම ජීවිත සටනට උර දීපු නිසා පොත පත කියෙව්වත් ලියන්න කාලය හොයාගන්න බැරි වීම,දෙයක් ලියන්න තරම් තවමත් අත්දැකීම් මදි කියා තේරුම් ගැනීම, මගේ ලියන වෙගයට වඩා සිතන වෙගය ඉතාමත් අධික වීම. මෙ වගේ ප්‍රශ්න නිසා මගේ ලිවීම දවසින් දවස කල් ගියා.

දැන් තමයි පටන් ගත්තේ.
බ්ලොග් ලියන්න පටන් ගත්ත හොදද නරකද මම දන්නේ නැහැ. ඒත් විශ්මය දනවන සුළු සමහර දේවල් නිසා ලියන දේවල් ගැන දෙපාරක් හිතන්න වෙලා...සමාන අදහස් තිඛෙන අය මුන ගැසීමද..?නොඑසේනම් මටත් වඩා හොදින් මාව තේරුම් ගැනීමට තවත් අයෙකුට හැකීවීමද..? අහඹු සිදුවීමක්ද..? මෙ කුමන ආකාරයෙන් සිදු උනත් මෙ දිනවල මගේ ලිපි වලට ප්‍රතිචාර දක්වන සහෘදයකු නිසා මම තරමක් වික්ෂිප්ත වෙලා කියලා නොකියාම බැහැ.ගෙදර දොරවල් ජනෙල් ඇරලා දාන එක හොදද, නරකද කියලා හිතා ගන්න අමාරුයි.

වදන්වල දැවටිලා - මුවින් ගිලිහී යනෙන..
සිතුම් වැල් වල තිබුනු- උනුහුමක් දැනුනේද...
හදේ රුහිරෙන් තනා- ජීවයට පණ පෙව්ව..
ඇය කොහේ සැගවුනිද- නොදන්නෙමි මා තවම...
කවදාක හෝ ඉතින්- ඒවි නම් මා සොයා..
එදින මල් පිබිදේවී-මුළු මහත් ලෝ තුලම...

8 comments:

  1. මගේ සුසුමට එන්න ඉඩ දෙන්න
    ඔබේ ගෙයි දොර කවුලූ හැර දමා ඉඩ දෙන්න
    කදු බිමේ ඉහලින්ම දැන් සිටියා ඇති නේද
    පුංචි සිත විවරකර මට ඉන්න ඉඩ දෙන්න

    සිතන්නට එපා තව ක්ෂීතිජයට එහා ලොව
    රිදවන්නෙ නෑ සබද දිවිය දෙමි උණුසුම්ව
    කවදාක හෝ ඒවි ඔබට හිමි ඔඛෙ කුමරි
    එතෙක් අවසරයි මට ඔඛෙ කවියෙ අග ඉන්න

    ReplyDelete
  2. මගක් නොදන්නා මගියකු විය මා
    ඉමක් කොනක් නැති ජීවන කතරක..
    තෙරක් නොපෙනෙනා මහ සයුරක් විය
    අගක් මුලක් තේරුම් ගත නොහෙනා...
    සයුරෙම ඉන්නෙද.. ගමනෙ යෙදෙන්නෙද..
    කියා දෙන්න කිසිවෙකුත් නොමැති සඳ..
    කිසිත් නොකර මා වෙරළෙ රැදෙන්නෙමි
    කවුරුන් හෝ විත් කියන තුරා මග...

    ReplyDelete
  3. ඔබ ආයෙත් යළි එනවා නම්..
    සිනහා පිරුනු ජීවිතයත් අරගෙන
    ඔබ ආයෙත් යළි එනවා නම්..
    මිලාන වී ගිය මල් යළි පබිදී
    ලොවට නැවත හිරු පායාවී..
    දෝර ගලා ගිය සෙනෙහයෙ ගග
    නැවතත් පෙර ලෙස උතුරාවී..
    ඔබ ආයෙත් යළි එනවා නම්..
    ඔබ ආයෙත් යළි එනවා නම්..

    ReplyDelete
  4. හිතේ හිරවෙලා දගලන සිතිවිලිවලට නිදහසේ පියඹන්න ඉඩ දෙන්න...

    ReplyDelete
  5. (කිසිත් නොකර මා වෙරළෙ රැදෙන්නෙමි
    කවුරුන් හෝ විත් කියන තුරා මග...)

    ඔබ වෙරළ මා සයුර
    හමුවේවි හැම දිනක
    ඔබ ඔහොම නවතින්න
    එපා ගමනේ යන්න...

    ReplyDelete
  6. ජීවිතේ මල් පිපී
    සුවද වී හමන්නම්
    දේදුන්නේ පාට හත
    ඔඛෙ ලග මවන්නම්

    පාලූ ලොව අතහැරා
    ඔබ නැවත ඒවි නම්
    ඔබේ ලොව පුරා මම
    දිවිපුරා රැදෙන්නම්

    ReplyDelete
  7. අද මම කොළඹ යනවා. ලියන්න දේ ගොඩක් තියේ.ඒත් ලියන්න වෙන්නෙ තව ගොඩක් කාලෙකින් තමයි.කවිලියන්න බැරි වේවි තරහ වෙන්න එපා හොදද.
    ඉක්මනින් එන්න බලන්නම්

    ReplyDelete
  8. දසුන් මධුසංඛ වානගුරු said...

    පුදුම සැහැල්ලුවක්... ඇත්තටම..

    ReplyDelete