30 November 2009

හැරදා ගිය පසුවත්... නුඹෙ සුවඳ දැනේය මට

ඊයේ රෑ ඉදලා මම ආයෙත් අවුල්. මොනවා කරන්නද මන්දා? වසරක පමණ ප්‍රේමයකින් පසුව හිටි හැටියේ මා හැර දා ගොස් මගෙන් වසන් වී සිටි ඇය.. ඊට පෙර සමයේ මගේ ජීවිතය අළුතින් ලියන්නට දිරි දුන් ඇය.. මා හැර ගොස් කිහිප දිනකට පසු වෙනත් විවාහයක් කර ගත් බව අමු අමුවෙම පැවසූ ඇය.. අද නැවතත් මා අමතයි.

ඇත්තටම ජීවිතේ නොයෙක් කාල වලදී කිහිප විටක්ම පෙම් සබඳතා පටලවා ගත් මට ඒ හැම කෙනෙක්ගෙන්ම විවිධ වූ කාරණා නිසා වෙන් වෙන්නට සිදු වූවත් ඒ කිසිම කෙනෙක් අදටත් මාත් එක්ක තරහා නැහැ. මට හැමදාමත් උනේ ඔනවට වඩා සාධාරණ වෙන්න හදන නිසා විවිධ තත්වයන් උඩ එයාලාගෙ ප්‍රශ්න වලදී එයාලටම කැමති තීරණයක් ගන්න ඇරලා නිහඩවම විද දරා ගන්න උන එකයි. ප්‍රෙම සබඳතාවයක් බලහත්කාරයෙන් ගෙන යන එක මට මහා වදයක්. අනිකාගෙ අදහස මව්පියන්ගෙ විරොධතාවයන්ට අවනත වීම නම්, දෙදෙනාගේ සිතුම් පැතුම් නොගැලපෙන නිසා වෙන් වීම හොද බවනම්, ආදී ලෙස ප්‍රශ්න ගෙන එද්දී ඔවුනට නිදහස් තීරණයක් ගැනීමට ඉඩ හැර බලා ඉන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. ඒ වගේමයි මටද ඔවුන් කෙරෙහි අත් නොහැරිය තරමෙ මානසික බැඳීමක් තිබුනා යැයි කිව නොහැකි නම් අමනාප කම් කුමට සාදා ගන්නද?
ආදරය ගැන මහා ගැඹුරකින් සිතූ මට ඒ ආදරය කවදාක හො සම්බවෙයැයි සිතා විවධ අය ඇසුරු කලත් ඒ හැම තැනකම මා සොයන සාංසාරික බැඳීම නැති බව හැගෙද්දී තව දුරටත් අනෙකාගේ අකමැත්ත මත සම්බන්ධතාවයක් කුමට පවත්වා ගෙන යන්නද? ( නමුත් ඔවුන් මා සමගම රෑදෙන්නට උත්සහ කලා නම් විශ්වාසය කඩ කල නොහැකි නිසාවෙන් හො මා ඔවුන් අත හරින්නෙ නැති බවද කිව යුතුයි.)

නමුත් අවසානයේ අතහැරිය නොහැකි දෙය මට සම්භ විණි. ඇය ටා.. නම් වූවාය. ජීවිතය පුරාවටම මා කිසි විටකත් එතරම් කැමැත්තක් නොදැක්වූ හැසිරීම් රටාවකට විවිධ පුරුදු වලට හැඩ ගැසී සිටි ඇය කෙසේ මාගේ ජීවිතයට ආවාදැයි මට අදටත් කීමට නොහැක. මෙ ජීවිත කාලය පුරාම තැනින් තැන යමින් ජීවත් වූ මා වසර කිහිපයක් (වසර 6ක් පමණ) ඇයගේ අසල් වැසියා වී සිටියත් අප අතර කිසිදු මිත්‍ර කමක් නොතිබිණී. වරින් වර නොයෙක් කටයුතු වලදී සමීපව කටයුතු කරන්නට සැලසුනත් අප අතර වූ රණ්ඩු ඇයගෙ මවගේ මැදිහත් වීමෙන් විසදුනා මිස අප දෙදෙනා කවදාවත් දෙන්නාට දෙන්නා එකගතාවයකට පැමිණියේ නැත.
නමුත් මා තුල ඇය කෙරෙහිත්, ඇය තුල මා කෙරෙහිත් යම් ගෞරවයක් වූ බව මට වැටහී තිබිණි.
එසේ කාලය ගලා යන අතරතුරදී ඇය විවහා වී යන අයුරුත් මා බලා සිටියේය. ඇය ගිය පසු ඇයගේ මවගෙ කටයුතුද සොයා බැලුනේ මා අතිනි. දියණිය ගිය පසු තනි වූ ඇය සිය දුක කියන විට අසන්නට සිටියේත් මා පමණි. ඉතා කෙටි කලක් තුලදී සිය විවහා දිවියට ආයුබොවන් කියූ ඇය නිවස කරා පැමිණියාය. එතැන් පටන් ඇයගේ කඩා වැටුණු ජීවිතය ගලා ගෙන යන අයුරු මා බලා සිටියා මට මතකය. යම් අවස්ථා වලදී ඇය මා වෙතින්ද යම් යම් උපදෙස් ලබා ගත්තාය.
ගරා වැටුනු යුග දිවියත් ,සිය සැමියා වූ ඇවැස්ස මස්සිනා වූ පුද්ගලයාගෙන් ඇයට වූ අපහාසත් පිළිබඳ මා තුලද යම් කම්පාවක් විය. එතැන් පටන් ඇයගේ අසීරු අවස්ථා වලදී දුක සැප ඛෙදා ගැනීමට මාද හවුල් වූ නමුත් ඊට එහා ගිය යම් දෙයක් අප අතර නොවූ බව මට ඉඳුරා කිව හැක. මෙසේ කාලය ගත වෙද්දී මාගෙ ජීවිතයටද විවිධාකාර වූ බාධකයන් ගලා එන්නටත් නින්දා ප්‍රසංසා අතර ජීවිතය දෝලනය වන්නට වූ සමයක් එළබිණ. ඒ වන විට සමාජයෙ සෑහෙන තරමක කීර්තියක් රඳවා ගෙන සිටි මට උහුලන්නට අපහසු තරමෙ කරදර ගලා එන්නට පටන් ගන්නා ලදි. මගේ කියා කිසිවෙකුත් නැති පෙදෙසක මට සරණට සිටියේ ඇයත් ඇයගෙ මෑණියනුත් පමණි. අවසානයේදී ඈ හා මා අතර වැරදි සම්බන්ධයක් ඇතැයි චොදනාවක් ද එල්ල විණි. කල හැක්ක වූයේ සිටි තැනින් පිටව යෑම පමණි. අවසානයේ දී සියල්ල හැර පියා යන්නට මොහොත එළඛෙද්දී වචනයකින් හො සිත දිරිමත් කරන්නට සිටි ඇය එතැන් පටන් මා පිළිබඳ සොයා බැලුවාය.මා හට අත් වු ඉරණමට ඇයද වැරදි කාරියක සේ සිතා දරුවකු මෙන් මා රැක බලා ගත්තාය. ඇසුරු කල සියළු දෙනා වෙන්ව සිටියදී, බලය තිබියදී ප්‍රයොජන ලැබූ සියළුදෙනා නොදන්නා සේ සිටියදී ඈ තව තවත් මා හට සමීප වූවාය. අප අපගේ ජීවන අත්දැකීම් ඛෙදා හදාගන්නට පටන් ගන්නා ලදි. ( මෙ සියල්ල සිදු වූයේ දුරකථන මාර්ගයෙන් විනා අන් අයුරකින් නොවන බව කිව යුතුය. එම කාලයේදී මාගේ මාසික දුරකථන ගාස්තුව මොනරු පහළව ඉක්මවා ගිය කාලයක් විය.)
ජීවිතය නැවතත් පණ ගසන්නට විය.. වසර ගණනක් නිදා සිටි හදවත විවර වන්නට පටන් ගැණිනි. ඇයගෙ කවි සිත මාගෙ පැරණි සිතුවිලි අළුත් කරන්නට විය. වසර අටකට පමණ පසු මගේ ජීවිතයට වසන්ත සමයක් උදා වී තිබිණි. අප අළුතින් ජීවිතය සැලසුම් කරන්නට විය. ඇයගේ හැකියාවන් සමග ඇය නැවත නැගිටිමින් උන්නාය. එම හැකියාවන් සාර්ථක ව්‍යාපාරයක් දක්වා ගෙන යාමට ඇයට ඇවැසි ශක්තිය ලබා දෙමින් මමද මාගේ ජීවිතය ගොඩනංවා ගන්නට පටන් ගතිමි. හැකි සෑම විටකදීම ඇයගේ කටයුතු සදහා උදවු වෙමින් ගැටළු මතු වූ විට ඉදිරිපත්ව සොයා බලා එම ගැටළු විසදා දීම මවෙතින් ඉටු විණි. ඇයගෙ මවද අප දෙනොගේ මිතුරුකමක් සෙ දුටු සබඳතාවයට විරොධතාවයන් ඉදිරිපත් නොකළ අතර ඇය හමුවෙදී අපද හොදින් හැසිරුනෙමු. කාලය වසරක් පමණ ගත වූ කල කුණාටුව ඇරඹිණි.
අපගේ ඇසුරෙ යථා තත්වය මවට දැනී තිබිණි. පෙරදා වූ චොදනාව නැවත නැගේ යැයිද පෙර චොදනාව තහවුරු වෙ යැයිද ඇය බිය වී තිබුණි. පාරම්පරික ගතානුගතික කාන්තාවක් වූ ඇයට සිය දියණියගේ සතුටට වඩා පරපුරෙ වගාඩම්බරයත් සමාජ සේවා කටයුතු වලදී ලැඛෙන ප්‍රමුඛස්ථානයත් වඩා වැදගත් වූවා සේය. (දොස් කිව නොහැක. මිනිසා හුරු වී තිඛෙන අකාරය වෙනස් කිරීම එතරම් පහසු නැත.) අවසානයේදී දියණියගේ තිබූ ලොකුම දුර්වලතාවයෙන් ප්‍රයොජන ගැණිනි. මිය ගිය පියාට වූ අධික ආදරය දියණියගේ සිත වෙනස් කල හැකි ක්‍රමය විණි. දේවාල පසු පස යාමත් එමගින් පියා මෙ සබඳතාවයට කෝපව බලා සිටින අයුරුද මනසට ඇතුල් කරවන ලදි. වැඩි දිනක් ගත නොවී සිත දුර්වල වූ ඇය ගතින්ද රොගී වන්නට විය. ඇය මා හට දන්වා සිටි පරිදි මෙ වන විට ඇය ශරීරයේ රතු රුධිරානු විනාශ වී යෑමෙ දුර්ලභ රොගී තත්වයකින් පෙළෙන්නියක වූවාය. මා මග හැරීමත්, දුරකථන අංක වෙනස් කිරීමත් ඇරඹිණ.ආරක්ෂක කපොළු වැඩි විය. මා තනි විය. ඇය සැගවිණ.
අවසන මා හට ඇයගෙන් බැණ වැදීම් ලබන්නට තරම් මා අවාසනාවන්ත වු අතර ඇය සිටින අසලකින් ගියත් ලැඛෙන දොෂාරොපන තව දුරටත් දරා සිටින්නට අපහසු මට්ටමෙ පැවතිණි. එයට කම් නැත. ඉද හිට වෙලාවක ඇය සන්සුන් ලෙසින් කථා කලාය . ඇයගේ අසනීප තත්වයෙ බැරෑරුම් කම කියන ලදි. මා හට ඇය වෙනුවෙන් කල හැකි වකම දෙය වූයේ සිත සැනසෙන සේ කථා කිරීම පමණි. අඩුම තරමෙ ප්‍රතිකාර සදහා යම් ආකාරයකින් හෝ දායක වන්නට නොහැකි විණි. හේතුව මා සතු පෞද්ගලික ධනයක් නොවීමය. මා හරි හම්බ කල සියල්ල ඈ භාරයෙ තබා තිබූ අතර මාගේ මාසික වියදම පමණක් වරින් වර මා ලබා ගතිමි. අවසන එක් වරම කථා කල ඇය හදිසියේ විවහා වූ බව මා හට දන්වා සිටින ලදි.කුමක් කියන්නදැයි මට සිතා ගත නොහැකි විය. පවසනුයේ සත්‍යයක් බව හැගිණි. තවදුරටත් කුමක් නම් කියන්නද..? මම නිහඩවීමි. වසර අටකට පමණ පෙර අතහැර දමා සිටි පැරණි මිතුරා නැවතත් මා හා මිතුරු විණි. රැකියාව කරන වෙලාවෙ හැර අන් සෑම විටම සිහිය වෙනස් වන තරමට මත් වීම තාවකාලික සහනයක් විය.ඉද හිට ඇයගේ ව්‍යාපාරික ස්ථානය අසලින් ගොස් ඇයව දුර සිටම දැක බලා ගෙන පැමිණෙනවා හැර වෙනත් කල හැකි යමක් නොවිණි. මාරයාගේ හෝරාව එළඛෙන තුරු බොහො වෙහෙසින් යුතුව බලා ඉදින්නට පටන් ගතිමි.
ඉද හිට කියවන පොතක් පතක් නොවිණි නම් මෙසෙ බ්ලොග් ලිවීමෙන් කාලය ගලා යන්නට පටන් ගැණිනි. ඇය වෙනුවෙන් තනිව සිටිනවා විනා නැවත සිත හදා ගැනීමක් ඇවැසි නොවිණි. පාළුව මනසට ඔරොත්තු නොදෙන තරම් විය. නිවාඩු දින ගත වන්නෙ පැය හො විනාඩි වලින් නොව තත්පර වලිනි.
නැවත මාස කිහිපයකට පසුව ඊයේ රාත්‍රියෙ ඇමතුක් ලැබිණි. අසනීප තත්වය බරපතළ බව කියවිණි. සියළු ව්‍යාපාර බිද වැටී අවසන් බවත් ණය වූ ප්‍රමාණය ගණනය කල නොහැකි බවත් හෙට දින සිට ප්‍රතිකාර නවතා දමන බවත් පැවසිණි. ඈ සතුව තිබූ මාගේ වත්කම් හැකි වූ විගස ගෙවා දමන බවත් කීවාය.(ඈ නැති කල මට වස්තුවෙන් කුමන ඵලයක්ද..?)ඇයගේ පෙර පැවති ආත්ම අභිමානය පහතටම වැටී තිබුණි. තව දුරටත් කිව හැකි හො කල හැකි යමක් මා සතුව නොතිබිණි. ආර්ථික වශයෙන් දුර්වල වීම අන් සැමටම වඩා ඇය කළඹා තිබුනි. ඇයගේ විවහය ගැන අසන්නට මම අකමැති වීමි. සිත නොරිදෙන ලෙස කථා කළෙමි. මා සතුව දැනට ඇති ගිණුම් ශේෂය පවසා ඇවැසි නම් එය ලබා දීමට කැමැත්ත පළ කළෙමි. එම ශේෂය පෙර දිනවලදී නම් ඇයට කඩසාප්පු ගානේ ඇවීදීමට උවමනා කරන මුදලටත් පහත තත්වයක පැවතිණි.එම මුදලද වැරදීමකින් මෙන් ඉතිරි වූවක් මිස මා විසින් උවමනා වෙන් කල ඉතිරියක් නොවිණි. පඩිපත ගත් පසු බැංකුවට දමා වියදම් කර අවසන ඉතිරිවන සොච්චම එසේ ශේෂ වී තිබුණි. ලැඛෙන දෙයින් වැඩි හරිය බීමටත්, ඉතිරිය ආහාර පාන සදහා සහ අනිකුත් වියදම් වලට ගියාට පසු තවත් කුමන ඉතිරියක්ද? අනික කුමක් සඳහා නම් මා ඉතිරි කරන්නද? ඒත් දුක සිතුණි. ඇයට ඇවසි වෙ යැයි කලින් දැන සිටියේ නම් නොකා නොබී හො කිසියම් මුදලක් ඉතිරි කරන්නට මට තිබුණි. අවසානයේදී එම ඉතිරි වූ සුළු මුදලද අද දින ඇයගේ ගිණුමට බැර කළ මා කිසිවක් නැති දුප්පතකු සේ පැමිණියෙමි. දැන් ඉතින් ලබන වැටුප් දිනය තෙක් පිරිමසාගෙන ජීවත් විය යුතුය. සමහර විට බ්ලොග් ලයන එකත් හත් වැනිදායින් පසු තාවකාලිකව හො නවතා දමන්නට සිදු විය හැක. mobitel 75 ඉවර වූ පසු වෙන මොනවා නම් කරන්නද?
ඉදින් කාලය ගලා යයි.. හිත තවමත් නොසන්සුන්..වඩාත්ම වෙදනාව ඇයට මීට වඩා උපකාරයක් කල නොහැකි වීමය.මෙය ලියා අවසන් වූ පසු තරමක සහනයක් ඇත. නමුත් හෙට දිනය ගැන බලාපොරොත්තුවක් නැතිව ජීවත් වීම හැර අන් යමක් මා හට කළ නොහැකිය..

12 comments:

  1. ඔබගේ සං‍වේදී සටහන කියව්වෙමි. එහෙත් මට පෙනෙන්නේ ඔබ ප්‍රේම කරන තැනත්තිය ඔබ ඇයගේ අවශ්‍යතාවන් සඳහා ඔබ පාවිච්චි කරන බවකි. ඇය ඔබ හා සැබෑ ප්‍රේමයක් ඇති නම්, සියලු දේ අත්හැර ඔබ පසුපස එනු ඇත. විවාහය බිඳි ඇති වූ පාළුව මකා ගැනීමටත්, සිතේ කාන්සිය හා පාළුව සඳහාත්, අනෙකුත් අනෙනකවිධ අවශ්‍යතාවන්යත්, ඔබ සොයා එන ඈ, අවැසිවිට සම්පූර්ණයෙන් ඔබ හැරයන බැව් පෙනේ. එයින් ප්‍රකට වන්නේ, ඇයගේ වූ චපලත්වය යි (තද වචන භාවිතය ගැන සමා වන්න). එහෙත් ඔබේ අක්‍රීය/ අනියම් පෞෂත්වය (තිරණයක් නොගැන සිඳුවීම සඳහා ඉඩ හැර ජීවත් වීමේ ප්‍රතිපත්තිය) සමහර විට ඇය ඔබ සුරක්ෂිතයකු ලෙස සිතන්නටත් ප්‍රමාද කරනවි විය හැකි ය. විරහව අධික වේදනාවක් බව මා දනිමි. ඔබ එය නිර්වින්දනය කොට මොට කරන පිණිස ඔබ මත්පැන් යොදා ගන්නවා විය හැකි ය; එහෙත් පිළිතුර රැදී ඇත්තේ, මත්පැනේ හෝ ප්‍රශ්න මග හැරීමේ ප්‍රතිපත්තියක සිට ආවේගික ලෙස හා ආර්ථික ලෙස පරිහානියට ලක් වීම නොවේ. ඇමරිකානුවෝ කියන පරිදි "පිරිමියකු" ලෙස කෙලින් තීරණක් ගෙන, ඈ හා විවාහ වී ජීවිතය සොදුරු කරගැනීම හෝ එසේ නොමැති නම් ඈ අත්හැර, අතීතය අමතක කොට, නව පිටුවක් ජීවිතයේ ඇරඹිම යි. එසේ නොමැති ව, ඈයගේ ජීවිතයත් (ඇගේ ජීවිතය ඈ විසින් ම විනාශ කරගෙන ඇත), ඔබේ ජීවිතයත් (ඈ ගැන නිශ්ඵල බලාපොරොත්තු මළු පොදි බැද ගෙන)නිකරුනේ නාස්ති යාමට ඉඩ හැරීම නොවේ. ඉක්මන් තීරණයක් ‍හා ක්‍රියාවක් නොගතහොත් ඇය ලිය්‍යුකෙමියාවෙන් ද, ඔබ මත්පැනීන් ද, දිය වී වැනසි යනු ඇත.

    (මෙය ලියන මා, ඔබගේ තත්තවයන් අසංවේදී ලෙස කුරුටු ගානවා නොව, අවුරුදු 8 වැඩි ප්‍රේම සමබන්ධයක් බිඳ වැටි, ඔබ දැක් වූ ප්‍රශ්නය හා සමාන ප්‍රශ්නයක ඔහු ප්‍රේම කළ තැනැත්තය සිටි පුද්ගලයකි).

    ReplyDelete
  2. ඔබ කියන දේ මට වැටහෙනවා. නමුත් ලියූ දේට වඩා නොලියූ දේ වැඩි නිසා ප්‍රශ්නය හරියාකාරව නොපෙනෙන්න පුළුවන්. ආදරයක් නිසාම නොව ජීවිතය තුලදී ලත් බොහො අත්දැකීම් නිසා අද වෙන කොට මගේ සිතුවිලි ඔබලා කියන අන්දමට බොහො පසුගාමීයි. නමුත් මම හුගාක් වෙලාවට සතුටු වෙන්නෙ මොන දේ නැති උනත් කිසිවෙකුට වෛර නොකර ජීවත් වෙන්න මට පුළුවන් වෙලා තියන එක ගැනයි. අපි ප්‍රාර්ථනා කරන හැම දේම අපිට ලැඛෙන්නෙ නැහැ. ඒක ස්වභාවය නමුත් අවශ්‍ය දේ නැති වූ විට විකල්ප වලට යාමට මට අවශ්‍යතාවයක් නැහැ. මමත් සාමාන්‍ය මනුස්සයෙක් තමයි. ඒත් මට මෙ ලොකයට උවමනා විදියට ජීවත් වෙන්න හිතෙන්නෙ නැහැ. ( අද දවසේ මම ලියන කියන දේවල් එතරම් කල්පනා කරලා ලියන ඒවා නොවෙවි. එච්චර සිහියක් මට අද නැහැ.)

    ReplyDelete
  3. රවීන් අයියා ගේ අදහස් වල යම් සත්‍ය තාවයක් ඇති බව පෙනේ.ඔබ බොහෝ දුරට විරාගයේ අරවින්ද වැනියැයි මට සිතේ. තවමත් දැඩි ආදරයකින් බැදී නොමැති මට නම් සිතෙන්නේ නිරපරාදේ තැවීම පලකට නොමැති දෙයක් ලෙසයි. මිනිසුන් වූ අප පලමුව තමාට ප්‍රේම කළ යුතු බව මගේ අදහසයි. මධුවිත තොල ගෑමට එය කාරණාවක් කර ගැනීටමන් ඔඛේ සිතේ පවතින අස්ථිර බාවය පෙනේ. ජීවිතය කියන්නේ විදීමද නොමැතිනමි විහින් විදවීමද . තීරණය ගත යුත්තේ අපිමය.....

    ReplyDelete
  4. බොහොම සරල සිංහල ගීතයක් තියනවා...
    යුවතියකට ඔබ ආදරෙ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න
    ඔබ ඇය වෙනුවෙන් මහා පවුරක් සේ නැගී සිටියේ නම් කාරණය මීට වඩා වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තියෙන්නට ඇත.

    ReplyDelete
  5. විරාගයේ අරවින්දද
    මළගිය ඇත්තොහි දෙවොන්දරා සංද
    මගේ මකත සැමරුම් වල හිටි උදවිය උනත් මට එවැන්නකු වීමට උවමනාවක් නොවුනි. මා මෙහි නොලියූ මුත් සිදුවූ සියල්ල මීට වඩා බොහො සංකීර්ණ විය. සමහර විට ඔබට අවබොධ විය හැක. මන්ද මා කියා තිඛෙන දේවල් සමග කාලය ගලපන්න තරම් තොරතුරු ඔබ සතු නිසා.

    ReplyDelete
  6. මා ලියූ සටහන තද වැඩි ද මන් දා. එ‍සේ නම් මට සමාවන්න. එහෙත් කළ යුතු දේ දැඩි රැඩිකල් පියවරක් විය යුතු යි. ඒ නිසයි මා තදින් ලියුවේ-සැබෑම සංකීර්ණ බව මා දන්නවා. වත්සලා කියන දෙයත් සැබැ යි. එහෙත් නවතකාවක චරිතයක් වීමට ඔබට අවශ්‍ය නැත. වෙනස් වීමේ හැකියාව ඇත්තේ ඔබ අතේ ය. තද තිණ්දු ගන්නට මැලිවන්න එපා. මිනිසුන් අමාරුතැනට වැටුණු විට මුදලින් ශක්තියෙන් උදව් කිරීම ශ්‍රේෂ්ඨ කමක්. එහෙත් ජීවිතය නිරුනේ නාස්ති කර ගන්න එපා. ඔබ තරුණ යි-තරුණ අලංකාර ජීවිතයක් නාස්ති කිරීමට කවර සංකීර්ණ ප්‍රශ්නයක් වුවත් නිදහසට කරුණක් නොවේ. මා ලියූ සටහන ලියුවේ ඔබට ඇති සෙහෙස හා ලෙන්ගතු කම නිසා. විවේක ගන්න. ජීවිතය වෙහෙස යි. මා කිතුනුවෙක්-ඔබේ නම් වත් නොදන්න නමුත් මා ඔබ වෙනුවෙන් ශක්තිය ධෛරය සහ සිතට සැනසුම ලැබෙන පිණිස දෙවිඳුන් අයදින් නම්, මට මෙහි සිට කළ හැක්කේ සටහන් තැබීම හා යැදීම පමණි.

    ReplyDelete
  7. Ravin Caldera said...
    මා ලියූ සටහන තද වැඩි ද මන් දා.

    කිසිම තද වැඩිකමක් නොමැත. ඇත්තටම කිව යුත්ත කෙලින්ම කියන මිනිසුන්ට මා බොහො සේ ප්‍රිය කරමි. ස්තූතියි. මා වෙනුවෙන් දෙවිදුන්ට යැදීම පිළිබඳව. මාගේ ගැලවීම මා සතු දෙයක් බව දන්නා මුත් ගැලවීම ලබා ගැන්මට උවමනාවක් නැති කම විනා අන් යමක් නැත. ජීවිතය හා සටන් කාලයක් තිබිණි. එකල බොහො දුෂ්කරතා මැද විශාල ගමනක් ගියත් එක්තරා මං සන්ධියකදී ජීවිතය අතහැර දැමීමට විය. වරදවා වටහා නොගන්න එය ආදර පලහිලව්වක් නොවෙ. මගේ කියා සිතූ පවුලේ සාමාජිකයින් අතින්ම මාගේ සිත බිද දමනු ලැබීය. ඔවුන් වෙනුවෙන් කල බොහො දෑ නිරර්ථක විය. අවසන මාද ගිලන් විය. සියළු දේ හැරපියන්නට විය. සෑම දේම අතහැරීමෙන් ලද සහනය අපමණ විය. ජීවිතය සැහැල්ලුවෙන් ගලා යන්නට විය.නැවත කිසිදු ආකාරයේ හෝ බැඳීමක් ඇති නොකර ගන්නට පරිස්සම් වීමි. නමුත් දෛවය නැවත මා වෙනස් කරන්නට සමත් විය. අවසානය දුකක් විය. අනාගතය පිළිබද නිශ්චිත නොවුනත් දළ සටහනක් මා තුළ ඇත.ඒ තනිව සිටීමයි. මියෙන්නට පෙර ලොවට යමක් දී යන්නට කැමැත්තෙමි.එය මා පිළිබඳ සුන්දර මතකයකට වඩා එහා ගිය දෙයක් විය යුතුය.ලොවට සැමදා විනාශය ගෙනදුන් නව නිර්මාණයක් නොවිය යුතුය. මිනිසුන්ට ජීවය හා සමාදානය ඇති කළ හැකි යමක් විය යුතුය. ඊට වඩා අන් දෙයක් නොවෙ.

    ReplyDelete
  8. තනිව සිටීම හෝ එක්ව විසීම ඔබගේ තීරණයකි. තනිව වසනා සුන්දර පුද්ගලයන් කෙතරම් සිටීද. බොහොම ප්‍රසිද්ධ ගීත රචකයෙක් ඔබට මතකද මන්ද. ඔහුගේ ගීත කෙතරම් සිත් කාවදිනවද. හැබැයි සමාජයෙන් එන නින්දා අපහස වලටත් මූණ දෙන්න ශක්තිය ඕන.ඒව ටික දවසයි. වැදගත්ම දේ සතුටින් ජීවත් වීමයි.

    ReplyDelete
  9. පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ
    පූජාසනයේ ඔබ හිඳුවා

    ඉසුරින් කිත් යසසින් බබළනදා
    ඔබගේ බැණුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුණුදා
    සිනාසුණත් එය වරදක් වේ

    කිරියෙන් පැණියෙන් උතුරා යන කල
    ලොව ඔබ පාමුල හඬා වැටේ
    අත මිට හිඟ වී බෙල සුන් වන කල
    ලොව ඔබ හිස මත කඩා වැටේ

    ReplyDelete
  10. Thamuse Maha Moodayek Oi Echcharay Mata kiyanne thiyenne

    ReplyDelete
  11. මෙ ලොකෙ විවිධ ආකාරයෙ මිනිසුන් ජිවත් වෙනව. සමහරු තිරණ ගන්නෙ හදවතින්, සමහරු බුද්ධියෙන්. ඔයා කරන දෙ හරි හො වැරදි කියලා මම කියන්නෙ නැහැ. ඔයා තිර්ණ ගන්නෙ හදවතින් නම් එය වැරදුන විට කවදාවත් පසුතැවෙන්න එපා. ඔයට හම්බවෙලා තියන්නෙ ලස්සන ජිවිතයක්. ඔය ජිවිතය මත්පැනින් විනශ කරගන්න එපා.ඔය දෙ හිතෙ දරාගෙන පියවි සිහියෙන් ඉන්න ගොඩාක් අමාරුයි. එක මමත් හොදටම අත්විදලා තියනවා. ඔයා ඔය ආකාරයෙන් ගියොත් ඔයාව දන්න අදුරන මිනිස්සු කියයි " අර මොඩයා ගැනියෙක් හින්දා ජිවිතය කාලකන්නි කරගත්තා" කියලා. මට එ දෙ සිද්ද උන වෙලාවෙ මගෙ ලග හොඳ යහලුවෙක් හිටියා. හිතෙ තියන බරක් කාට හරි කිව්වහම එක අඩු වෙනවා. ඔයා ඔහොම ගියොත් මිනිස්සු ඔයට නිග්‍රහ කරනව. නමුත් ඔයට තවත් පාරක් තියනවා යන්න. එ දෙ කරොත් මිනිස්සු ඔයාට ආදරය කරයි. "බලන්න අර මනුස්සය දිහැ එ මනුස්සයට මෙච්චර දෙවල් වෙලත් එ මනුස්සයගෙ හිතෙ තියන දිරිය, හරිම පුදුම මනුස්සයෙක". මම පොඩි කාලෙ මගෙ යහලුක් මාව රවට්ටද්දි මම එයාට මුණට එක කිව්වෙ නැහැ. මොකද එයාට දුකක් හිතෙයි කියලා. පස්සෙ එයට වැඩිය ගොඩක් ඉස්සරහට මම ආවා. එක්කෙනෙක් නිසා තමුන්ව වට්ටගන්න එපා.කාටවත් තමුන්ගෙ සීමාවට පැනලා සෙල්ලම් දාන්න දෙන්න එපා. ජිවිතය විඳින්න, විඳවන්න එපා.ආදරය සුන්දරයි, විරහාවත් සුන්දරයි.ජිවිතයම සුන්දරයි. ඇයි විඳවන්නනෙ.....
    මෙ කවිය කියවන්න. තනියම ඉන්න එපා. සල්ලි හම්බකරතැහැකි නමුත් කාලය එ නිමෙෂය නැවත එන්නෙ නැහැ.ඒ මිනිසුන් අතරට අවිල්ලා එගොල්ලන්ගෙ හදවත් වලටත් එබිලා බලන්න. ඔයා තනියම නෙමෙ කියල ඔයටම දැනෙවී.
    බලන්න
    http://ravamrt.blogspot.com/2009/11/blog-post_7372.html

    ReplyDelete
  12. මා මෙය බැලූ බවට පමණක් සටහනක් තබමි .......

    ReplyDelete