10 December 2009

උඩුගං බලා පිහිනීමෙ අසීරුව..

අදත් ඉතින් ඔන්න මොනවා හරි ලියන්නයි කල්පනා කලේ. මොනවා ලියන්නද කියලා කල්පනා කලත් හරි හමන් දෙයක් ඔළුවට එන්නෙම නැහැ. අදහස් නැතුව නෙවෙ, ගැලපීමක් නැහැ. ආ ආව ආව.. මට හිතුනා ඊයේ උන දෙයක් ඇසුරින් යමක් ලියන්න. මම ජීවිත කාලේ පුරාම විවිධ රැකියා රාශියක් කරපු කෙනෙක් මම එක දිගට රැකියාවක් වැඩිම කාලයක් කරලා තියෙන්නෙ අවුරුදු 3යි. අනිත් හැම දේම ඊට වඩා අඩුයි. කොහොම උනත් ඒ හැම රැකියාවකින්ම මම තෘප්තියක් ලැබුවා. පහේ ශිෂ්‍යත්වෙ පාස් වෙලා කොළඹ ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපන වරම් ලැබුනත් ඒ සමාජය සහ පරිසරය මට ඔරොත්තු නොදුන් නිසාම ගමෙ පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යයකු වූ මා අවසානයේ නිකම්ම නිකං ඔපපාතිකයකු ලෙස අධ්‍යාපනය හමාර කලා.ඊට පසුව ආරම්භ උනේ ජීවන සටන ගෙන යාමෙ අරගලය. මගේ වාසනාවට වගේ කුඩා කල ඉදන්ම මට ලොකු බලාපොරොත්තු තිබුනේ නැහැ. අතට අහුවෙන ඔනම දෙයක් රැකියාව වශයෙන් මම කලා. හැබැයි අනුන්ගේ දේ කඩා වඩා ගන්න ආකාරයේ කිසිම දෙයක් එදා මෙදා තුර මගේ අතින් වෙලා නැහැ. සාධාරණ රැකියාවක් නම් මහන්සියේ තරමට ආදායමක් තියෙනවනම් ඊට වඩා ලොකුකම් මට වැදගත් උනේ නැහැ. අපේ ඥාති පරපුර අතර මා හිතුවක්කාරයකු ලෙස හංවඩු ගැහෙන්නත් මගේ මෙ ජීවන රටාව හේතු උනා කියලා කිවුවොත් ඒක නිවැරදියි.
ගුවන් හමුදාව , පොලීසිය, රක්ෂණ සමාගම්, ලංගමය සහ පෞද්ගලික ප්‍රවාහන සේවය යන දෙඅංශයේම කොන්දොස්තර, වඩු වැඩ, මෙසන් වැඩ, ගරාජ්, ඉලෙක්ට්‍රිකල්, වයරිං වැඩ, ත්‍රිරොද රථ රියදුරු, කම්කරු, ආදී සාමාජයේ දුක් විදින පංතිය නියෝජනය කරන රැකියා රාශියක් ඒ තුල අඩංගුයි. ආ මගේ පළමු රැකියාව උනේ බයිසිකල් වින්කලේක හුළං ගැසීම. පසුව වැඩ ඉගෙන ගෙන වින්කල් බාස් දක්වා උසස් වෙන්නත් මට පුළුවන් උනා. දැන් කාලෙකින් නොකලා උනත් බයිසිකල් රොදයක් බකල් අරින එක තරම් ආස වැඩක් අදටත් මට නැති තරම්.කොයි තරම් සුන්දර කාලයක්ද ඒක..
ඔය රැකියා කිරීම මම ආරම්භ කලේ මට වයස 14 වගේ කාලේ ඉදලා. මම මත්පැන් පානය ආරම්භ කරන කොට වයස 16ක් විතර ඇති. අවුරුදු 19 විතර වෙන කාලේ මම කන පැලෙන්න බොනවා. හැබැයි ඔය හැම දේ අතරෙම කීය කීය හරි ඉතිරි කරන්නත් අමතක කලේ නැති නිසාම වයස 24 වෙන කොට කුඩා වෑන් රථයක සහ තුන් රෝද රියකත් හිමිකරු වෙන්න මට පුළුවන් උනා. අම්මා තාත්තගෙන් තල්ලුවක් නැතිව ඒ තරමට හරි ගමනක් යන්න පුළුවන් උනාට එයින් පසුව යම් යම් හේතු කාරණා උඩ ජීවිතය පිළිබද හට ගත් මහා කළකිරීමත් ජීවිතේ කඩා වැටෙන අවස්ථා වලදීත් වචනයකින්වත් සහයක් නොදෙන මගේම නිවසේ උදවියත් නිසා හැම වත්කමක්ම අතහැරලා නිවසින් පිටව යන්නට අවස්ථාවක් එළඹීමත් නිසා වයස 24 දී කාත් කවුරුවත් නැති අනාථයෙක් වගේ පිටව ගිය මා අදටත් තනිවම සැරිසරන්නෙක්.
ජීවිතයේ හෝ සංසාරයේ කල මහා පිනක් නිසා බෞද්ධ පරිසරයක් ආශ්‍රිතව වසර 5ක කාලයක් ගත කරන්නට වෙන්නෙ ඊට පසුවයි. ඒ කාලය තුල ජීවිතයට බොහෝ වටිනාකම් එකතු කරගන්න මට හැකි උනා. බෞද්ධ දර්ශනය පිළිබද ලබා ගන්නට හැකි වූ දැනුමත්, ජොතිෂ්‍යය පිළිබද දැනුමත් ඒ අතරින් විශේෂයි.ඒ වගේම කුඩා අවදියේ දවස් පහක්වත් දහම් පාසල් නොගිය මං දහම් පාසලක ගුරුවරයකු ලෙස ආරම්භය ලබා ගෙන එහි ප්‍රධානාචාර්ය තනතුර දක්වා ගමන් කරන්නේත් මෙ කාලයේදීයි. වයස 24 සිට 29 දක්වා කාලය තුල එලෙස ජීවත් වූ මා ඉන් අනතුරුව නැවතත් එම පරිසරයෙන් ඈත්වී නැවත වතාවක් පෞද්ගලික ආරක්ෂක අංශයට සම්බන්ධව රැකියාවක් තෝරා ගත්තේ ආරක්ෂක අංශය පිළිබද කොහොමටත් මගේ උනන්දුවක් තිබූනිසාම පමණක් නොව ඒ තුල යම් තරමක් නිදහස් දිවි පෙවතක් ගෙවීමට යම් අවකාශයක් වන නිසාවෙනි. ඒ අනුව දැනට මා පැය24ක සේවා කාලයකින් පසුව පැය 24ක විවෙක කාලයක් ලබමින් ඒ විවෙකය තුල මෙවැනි කටයුතුවල යෙදෙමින් නිදහස උපරිම භුක්ති විදිමින් කාලය ගත කරනු ලබනවා.
ඉතින් මම මුලින් සදහන් කලේ ඊයේ වූ සිද්ධියක් පිළිබදවයි . මගේ රාජකාරියට අනුව ඊයේ සවස් කාලයේ යම් වංචාවක් හසු කර ගන්නට මා හට හැකියාව ලැබීම නිසා ඒ අනුව කටයුතු කිරීමෙන් පසු යම් යම් අයගේ දෝෂාරෝපනයට ලක් වන්නට සිදු වීම නිසා තරමක සිතේ කනස්සල්ලක් හට ගත් බැවින් රැකියාව පවා නවතා දමන්නට සිත් වූ බව කිව යුතුය.මෙ වන කොට මා සේවය කරන ස්ථානයේ පාලනාධිකාරිය විසින් ආයතනයේ සේවයට එක් වන්නට පවා මා හට ආරාධනා කර තිබුනත් මා එම යෝජනාව බැහැර කලේ දැනට තිඛෙන නිදහස අහිමි කර ගන්නට ඇති අකමැත්තත්, මා යටතේ සේවය කරන අනිකුත් ආරක්ෂක නිලධාරීන්ගේ රැකියා සුරක්ෂිතතාවය ආරක්ෂා කර දීමත් සදහාය. මක් නිසාද යත් සාමාන්‍යයෙන් දැනට අප විසින් ආරක්ෂාව සපයන ආයතනයේ ප්‍රතිපත්ති අනුව ඔවුන් විසින් සාමාන්‍යයෙන් වසරකට අඩු කාලයකදී ආරක්ෂක සේවාව සපයන ආරක්ෂක සමාගම ඉවත් කර වෙනත් ආරක්ෂක සමාගමකට එය පැවරීම මෙ දක්වා කරගෙන ආ පිළිවෙත වූවත් මෙ වන විට අපගේ සේවය මාස 16ක් දක්වා පවත්වාගෙන ඒමට අප හට හැකියාව ලැබී තිඛෙනුයේ ආරක්ෂක අංශය තද ක්‍රියා මාර්ග ගනිමින් තම රාජකාරිය අකුරටම පවත්වා ගෙන ආ බැවිනි.එහිදී ආයතන සේවකයින් සමග සමීපවීම අවම කර තද නීති රීති සමගින් ආරක්ෂක නිලධාරීන් පාලනය මවිසින් සිදු කිරීම පිළිබද ආයතනයේ පාලනාධිකාරිය සෑහීමකට පත් වී සිටීමයි. යම් හෙයකින් මා ආරක්ෂක අංශයේ සේවය අත හැර ආයතනයේ සේවයට බැදුන හොත් අනිවාර්යයෙන්ම ඉදිරි මාසය තුල ආරක්ෂක කොන්ත්‍රාත්තුව වෙනස් කරනු ලබයි. එවිට මා සමග සේවයේ යෙදී උන් සගයින් හට අත් වන ඉරණම වන්නේ තම රැකියාවන් අහිමි වීමයි. එම තත්වය කල්පනාවට ගෙන කටයුතු කිරීම නිසාම මෙ වන තෙක් රැකියාවෙ යම් වෙනසක් කිරීමට ම අදහස් කලේ නැත.නමුත් ඊයේ වු සිදු වීමත් සමගම ඇති වූ මත පළ වීමෙදී මා අසා සිටිනවා යැයි නොදැන අපේම ආරක්ෂක නිලධාරියකු විසින් ආයනයේ සේවකයන් සමග එක්ව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිඳව මාගේ ක්‍රියා කලාපය විවෙචනය කරන්නට වීමත් තවත් සගයකු එය අනුමත කරමින් සිටීමත් දුටු විට මසිතේ ඇති වූ කලකිරීම මෙ වන විටත් සිතෙන් පහව ගොස් නැත. සාමූහික වගකීම අමතක කර සේවකයින් සමග හොද හිත ආරක්ෂා කර ගෙන කටයුතු කිරීමට ඇවැසි විනි නම් මා හටද එසේ සිටීම අපහසු නොවෙ. නමුත් එහි ප්‍රතිඵලය වනුයේ අපගේ ආරක්ෂක සේවයේ ගුණාත්මක භාවය පහත වැටීම පමණක්ම වන නිසාත් ආයතන සේවකයින් හා සමීප ඇසුර ආරක්ෂක අංශයකට පවත්වාගෙන යාම ඉතා අසීරු දෙයක් වන නිසාත් මා එලෙස ක්‍රියා නොකර සෑම විටම ආයතනික සේවකයින් දැනුවත් කර සොරකම් හා වංචා වලට තිඛෙන අවස්ථා අවම කිරීම තුලින් ආයතන පරිපාලන කටයුතු වඩාත් විධිමත් කිරීමට කටයුතු කල නිසාම මාහා අමනාප සිටින පුද්ගයින් විශාල ප්‍රමාණයක් සියදීම මගේම සගයින් ඔවුන් ගේ පැත්ත ගෙන ඔවුන් ශුද්ධ වීමත් ඒ තුලින් මා තනි වීමත් පිළබදව නැවත වාරයක් සිතා බැලීමට මාහට සිදුව ඇත.
මා බොහො දුරට දැක ඇති දෙයක් නම් නිතරම ආරක්ෂක අංශ නිලධාරීන් සමග හිතවත් වීමට උත්සහ දරන පිරිස වඩාත්ම සොරකම් හා වංචා වලට සම්බන්ධ වූවන්ය. අවංකව කටයුතු කරන බොහෝ සේවකයින් ආරක්ෂක නිලධාරීන් සමග සිනහා වීම හැරුනු කොට අන් විශේෂයක් නොමැති අය බව අත්දැකීම් තුලින් මා හට පසක් වී ඇත.බොහො විට සොරකම් වලට සම්බන්ධ වූවන් තම අදහස මුදුන් පත් නොවූ විට ආරක්ෂක අංශය සමග අමනාප වන අයයි. එසේ ම සොරකමක් ඇල්ලූ විට බොහො පිරිස සොරකම සිදු කල තැනැත්තා නොව සොරකම ඇල්ලූ තැනැත්තා පිළිබඳව විවෙචනය කිරීමත් නිතර වන්නකි. මෙවන් සමාජයක කෙසේ ජීවත් වන්නදැයි මට නොතේරෙ. මනුතාපය (ලේමිසරාබ්ලේ) නව කථාවෙ ජොන් වැල් ජොන් වැන්නවුන්ගෙ පාන් සොරකමෙත්, පුරුද්දක් වශයෙන් අනුන්ගේ දෙයක් නිතරම සොරකම් කරන සොරකම වැදගත් දෙයක් කර ගත් අයගේත් අතර වෙනස මා හට නොතේරෙනවා නොවෙ.වර්ථමාන සමාජයේ ආර්ථික දුෂ්කරතා උපරිම බව අප කවුරුත් දන්නා සත්‍යයක් වූවත් එයින් මිදීමට මග සොරකම කියා කිසිවකු කියන්නේ නම් ඒ පිළිබදව සහ එම ප්‍රකාශය කරන පුද්ගලයා පිළිබද දෙවරක් සිතා බැලිය යුතු නොවෙද? අනික් අතින් බලන කල ආර්ථික දුෂ්කරතා නිසා පීඩා විදින බොහෝ දුප්පත් සේවකයින් මා හදුනා ගෙන ඇත. ඔවුන් කිසිම හේතුවක් නිසාවත් තමාගේ රැකියාව අහිමි කර ගැනීමට කැමති නැති නිසාම සොරකම් හා වංචාවන්ට පෙලඛෙනවා අඩුය. කරතත් කරනුයේ නොකරම බැරි වූ විට පමණි. නමුත් උපතින් ලද හො යම් යම් මාර්ග වලින් හරි හම්බ කරගත් සාමාන්‍ය මට්ටමෙ සේවකයින් අතර සොරකමට ඇති පෙලබීම වැඩි බවත් සමහර විට ඔවුන් සොරකම් කරනුයේ ආර්ථික වාසි වලට වඩා තම පුරුද්ද අත් හැර ගැනීමට ඇති නොහැකියාව නිසා බවත් මා නිරීක්ෂණය කර ඇත.අසරණකම නිසාම යම් සොරකමක් කර හසු වූ බව හැගුනු යම් යම් අවස්ථාවන් හීදී සොරකම අල්වා පාලනාධිකාරියට බාර දී පසුව ඔවුන් හට සමාව ලබා දෙන මෙන් පාලක පක්ෂයෙන් ඉල්ලීම් කර එවන් පුද්ගලයින් නිදහස් කර දී ඇති අවස්ථාද ඇත. එවන් අවස්ථාවලදී මා පිළිබඳ විශ්වාසය මත සහන ලබාදීමට ආයතනය කටයුතු කලේ එයින් පුද්ගලයකු නිවැරදි මාවතට ගැනීමට ඔවුන් තුලද අපේක්ෂාවක් ඇති බැවිනි. ඒ හැර යම් සොරකමක් හසු වූ විට එය මගේ මට්ටමින් අතහැර දැමීමට මට හැකියාවක් නැත. එසේ කලහොත් එය මා විසින් කරනු ලබන සොරකමක් වංචාවක් නොවන්නේද?බොහො විට සොරකමක් අල්වා ගත් විට සොරකම කල තැනැත්තා සහ අවට සිටින්නවුන් සිතන්නේ එය ගොඩින් ඛෙරා දීමට අපට හැකි බවය. එසේ නොකලහොත් සොරකම ඇල්ලූ නිලධාරීන් මහා වරද කරුවන්ය. නමුත් අල්ලා ගන්නට හො එම සොරකම නොකර සිටියේ නම් කොතරම් හොදදැයි ඔවුන් සිතන්නේම නැත. ඉතින් වැරදි කරු කවුරුන්ද..?
මෙම සිද්ධිය මෙසේ ලියා තබන්නට වූයේ මෙ වන විට රැකියාව අත හැර ආයතනය තුලින් ලබා දෙන්නට උත්සුක වූ තනතුර භාර ගම්දො නොගම්දොයි තවමත් මසිත අවුල් ජාලයක පැටලී ඇති හෙයිනි.. එය භාර ගෙන මාගේ නිදහස අවම කර ගන්නේද? මා පිළිබඳ නොසිතා කටයුතු කරන සහයක නිලධාරීන්ගේ රැකියාවන් අවදානමෙ හෙලා මා හට සැනසීමක් ලැඛෙද? තවමත් සිත අවුල් ජාලයක් පමණි...

9 comments:

  1. සල්ලි පස්සෙ යන්න එපා... ඔයා 14 දි ඉදන් එකතු කරලා තියනවනෙ.... ඉන්න තැන ඉන්න.නාස්ති කරන්න එපා... අපිත් එක්ක ඉන්න. අපි කැමතියි ඔයගෙ අත්දැකිම් වලට.

    ගමෙදී හිරො...ලා
    කොළඹදි සීරො වෙන්නෙ වෙනස් වෙන්න අකමැති උනාම. මමත් එ ආකාරයෙන් ම තමයි.
    මම දැනට ඉගෙනගන්න එක නවත්තලා ගොවිතැන කරන්නෙ. සතියෙ ආදායම 3500. මට CDB පුහුනූවකට ආවා. තාත්තා අදුරන දෙශපාලුවෙක් එක්කලා මාවා ඔබන්න හැදුවෙ. මම ගියොත් මාව විස්වාසකරලා ඉන්න යහලුවො දෙන්න අතරම්ං වෙනවා. අපි තුන් දෙනා එකට ඉන්න එක මම තනියම ආපහු කොළඹ යන එකට වැඩිය හොදයි...

    ReplyDelete
  2. මම සල්ලි පස්සේ යන්නෙ නැහැ. හම්බ කරපු හැම සතයක්ම මම ගෙදරින් පිට උන දවසේ මල්ලිට දීලා ආවෙ. වාහන 2යි, මගේ නමට තිබුනු ඉඩම පවා මම දීලා දැම්මා. ඊට පස්සේ මම කවදාවත්ම ඉතිරි කලේ නැහැ. අදටත් නැහැ. පහු ගිය ටිකේ උපයපු හැම සතයම මම වෙන කෙනෙකුට දීලා දැම්මා කියලා මීට කලින් ලිපි කියවපු ඔබ දන්නවා. නාස්ති කරනවා කියන වචනෙට මම එතරම් කැමති නැහැ. මම මගේ අවශ්‍යතා සදහා උපයන මුදල් වියදම් කරනවා කියන්නේ නාස්තියක් වෙන්නෙ කොහොමද? නොකා නොබී ඉතිරි කරන්න මට හිතෙන්නෙ නැහැ. ඔබගේ ජීවිත අත්දැකීම් සටහන් බවට හරවන්න. ගොවිතැන ඉතා හොද දෙයක්. මම අඩුවෙන් කරපු දෙයක්. අපිට කුඹුරු නොතිබූ නිසා ආසාවට අනුන්ගේ ගොයම් වැඩට ගිය කාලයක් තිබුනා. ඒ දවස් වල කුඹුරු වලට ගියහම එන්නේ සති දෙක තුනකට පස්සේ කුඹුරෙන් කුඹුරට මාරු වෙවී වැඩ කරනවා. ඒ ඇර මම කල අමුතු ගොවිතැනක් නැහැ.නමුත් ආසයි. රූපවාහිනියේ යන වැඩ සටහන් වලින් බලන්න කැමතිම කෘෂිකර්ම වැඩ සටහන් සහ ඉවුම් පිහුම් වැඩ සටහන් වලටයි. ඒක නෙවෙයි කොහොමද 3500න් ජීවත් වෙන්නේ මට මාසෙකට ගෙවල් කුලිය විතරක් 3000ක් වෙනවා. කාලා බීලා බයිත් එකට පෙට්‍රල් ගහලා එනකොට 14 පනිනවා. ආ හරි හරි දැනුයි දැක්කේ 3500 සතියටනේ නේද? ඒක මිසක්.

    ReplyDelete
  3. මම ඔයා වගේ චරිත ගැන සමා‍ජේ අහලා තියෙන්නේ හරිම අඩුවෙන්..ඒ ටික දෙනා ගැනත් ගොඩක් අය කථා වෙන්නේ හරිම වැරදි විදියට..ඌට එක දෙයක් කරගෙන ඉන්න බෑ.. අනම් මනං.. ඉතිං ඔයා මේ ලියන දේවල් වලින් මම නොදන්න චරිත ගැන තවත් පැත්තක් එළිවෙනවා.. ඔයා වගේ අය ගැන මේ විදියට ඇත්ත දැනගන්න ලැබෙන එක සතුටක්.

    ReplyDelete
  4. උබත් මාර මනුස්සයෙක් මචන්.කවදාවත් වරදින එකක් නෑ.තලන්න තලන්න තමයි වානේ පන්නරය ලබන්නේ

    ReplyDelete
  5. ඔබේ ජීවිත කතාව බැලූ විට විවිධාකාර හැඟීම් ඇතිවුණි.
    මට හිතෙන හැටියට ඔබ කළ යුත්තේ යලිත් වැඩිදුර අධ්‍යාපනයට යොමුවීමයි.
    ඔබේ ජීවිත කතාව සහ අදහස් සලකා බලන විට ඔබ යම් දිනක මහාචාර්ය කෙනෙක් විය යුතු අයෙකු බව මට පෙනේ.
    රසික

    ReplyDelete
  6. අදහස් සහ ප්‍රතිවාර දැක් වූ සයළුම සහෘදයින් මුළු හදවතින්ම ස්තුති කරමි. විශේෂ යෙන්ම නැවතත් සින්ඩියේ පෙනී සිටීමට ලැබීම සතුටකි. එසේම ඒ සඳහා උපකාර කල සියළු දෙනාටත්, මා තනි නොකල සියළුම දයාබර මිනිසුන්ටත් නැවත වතාවක් තුති පුදමි.

    ReplyDelete
  7. මේ ලිපිය කියවද්දි පුදුම ශක්තියක් හිතට එනවා. ඔයගෙ ඔය ජීවන අත්දැකීම් වලින් හතරෙන් එකක්වත් මගේ ජීවිතේ ගෙවිච්ච අවුරුදු 22 ඇතුලත මන් ලබලා නෑ. ඒත් ප්‍රශ්ණ කියන දේ මට අමුතු දෙයක් නෙවෙයි. ප්‍රශ්ණ වල පතුලටම බැහැලා ගොඩ එන්න ඉනිමගක් හොය හොය මගෙ ජීවිතේ ගත වෙන්නේ. අද මේ ලිපිය කියවද්දි ඕන ප්‍රශ්ණයකට බය නතුව මුහුන දෙන්න පුලුවන් විදියේ ශක්තියක්, දහිරියක් හිතට අවා. ගොඩක් ස්තූතියි අයියේ.

    ReplyDelete
  8. අනුරාධ...
    සතුටුයි මල්ලී.
    ජීවිතේ සතුටින් ඉන්න අවශ්‍ය මූලිකම දේ තමයි ඔනම දෙයක් අතහරින්න පුළුවන් වෙන එක.

    ReplyDelete