24 December 2009

වැපිරීම සහ නෙලා ගැනීම...

අද උදෑසනම සේවය නිමවෙලා ගෙදර එන්න හිතාගෙන හිටියත් ඒක හරි ගියේ නැහැ. එක් අයකුගේ අඩුවක් සදහා වෙනත් අයකු යොදවා ඔහුට අදා ල රාජකාරින් පිළිබදව තරමක් දැනුවත් කරලා වෙලාව බලන කොට10යි. මොනවා කරන්නද? උදේ ඉදලා වතුරවත් බීලා නෙවෙයි හිටියේ. ඉක්මනට ගෙදර ඇවිත් නාලා උදේට කෑවා. තව ටිකකින් දවල්ට මොනවා හරි උයන්න ඔන. රෙදි ටිකක් හෝදන්නත් තියෙනවා වෙනදා මෙ වෙන කොට මම මෙ වැඩ ඔක්කෝම කරලා ඉවරයි.හැමදාමත් මෙ වගේ අළුත් අයෙක් පුහුණු කරවන්න ගියහම දවස් තුන හතරක් යනකල් මට විවෙකයක් නැති වෙනවා. ඒකත් කමක් නැහැ. කාලා ඉවසන්න අමාරුම දේ තමා මම උගන්වන දේ තව ටික දවසකින් මටම උගන්වන්න සමහරු ලෑස්ති වෙන එක.මම දැනට සේවය කරන තැන වැඩ බාර අරගෙන දැනට අවුරුදු එක හමාරකට ආසන්න වෙනවා. මෙ ස්ථානයට මාත් මගේ කණ්ඩායමත් අළුතින්ම ආව දවසේ අපිට ස්ථානය පිළිබදව කිසිම පෙර දැනුවත් කිරීමක් නිසි පරිදි කෙරිලා තිබුනේ නැහැ. වැඩ බාර ගන්නා දවසට දින දෙකකට කලින් මම පෞද්ගලිකවම මෙම ස්ථානයට ඇවිත් සොයා බැලීමක් කලත් සෙනසුරාදා දිනයක් වූ නිසා වැඩි යමක් අධ්‍යයනය කරන්න ලැබුනේ නැහැ.

මාසයේ පළමු වැනිදාවක් වූ සදුදා දිනක හරියටම උදේ 7.30ට රාජකාරි හුවමාරුව සිදු උනා. හරියට කරකවලා අත හැරියා වගේ. නොදන්නා භූමියක, නොදන්නා මිනිසුන් සමූහයක් මැද, කල යුත්තේ කුමක්දැයි හරි හැටි නොදැන තවත් සහයක නිලධාරීන් 8 දෙනෙකුත් සමග මාව අන්දුන් කුන්දුන් වෙලා ගියා. පාලනාධිකාරියෙන් අපට ලැබුනේ නීති රීති මාලාවක් සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ලැයිස්තුවක් පමණයි.

අපේ කණ්ඩායමෙ භාරකාරත්වය මා හට පැවරුනත් එතැන සිටි ලාබාලම සාමාජිකයා උනේ මම නිසා වැඩිහිටියන් පාලනයේදී අලූතින් ඉගෙන ගන්නට දේවල් බොහෝමයක් තිබුනා. ඊටත් වඩා ආයතනයේ උසස් නිලධාරීන් සහ සේවකයින් පවා අප කෙරෙහි එතරම් විශ්වාසයක් ඇති බව පෙනෙන්ට තිබුනේ නැහැ. මීට ප්‍රථම සිටි සේවා සපයන්නන් රාශියකගෙ පූර්වාදර්ශ මත ඔවුන් අප කෙරෙහිද පූර්ව නිගමන වලට බැස ගෙන තිබූ බවක් දක්නට ලැබුනත්, මම වැඩ පටන් ගත්තා. පාලනාධිකාරියේ අවශ්‍යතාවයන් මත පදනම්ව නිලධාරීන් වර්ග කොට ඔවුන්ට නියමිත රාජකාරී ඛෙදා වෙන් කර දී සියළු දේම යථා තත්වයට ගන්නට සති දෙකක පමණ කාලයක් ගත වුණා. මුල් දවස් වල මම උදේට කනකොට 11යි,දවල්ට කන්නේ හවස 4ට විතර. රෑට කනකොට 11.30යි. කොහොම නමුත් අද වෙන කොට ආයතනයේ පාලනාධිකාරියට අප කෙරෙහි ඉමහත් විශ්වාසයක් ඇති කරන්නට පුළුවන් වී තිබීමත්, සේවකයින් අතර ගරුත්වයක් ඇතිව රාජකාරී කරන්නට හැකි පරිසරයක් නිර්මාණය කරන්නටත් අපට හැකි වී තිඛෙනවා.

මෙ වසර එක හමාරක කාලය තුලදී මා හට විවිධ අවස්ථාවන් වලදී නිලධාරීන් 20කට ආසන්න ප්‍රමාණයක් අළුතින් පුහුණු කරන්නට සිදුව තිඛෙනවා. රාජකාරයෙහි තිඛෙන අසීරුකම නිසාත් විනයක් ඇතිව රාජකාරි කිරීමට නොහැකි වීමත් යන කරුණු මතත් පෞද්ගලික හෙතූන් මතත් අපෙන් වෙන්ව ගිය පිරිස වෙනුවෙන් නිතරම නවක නිලධාරීන් පුහුණු කිරීමට වීම ඇත්තෙන්ම වෙහෙසකර කටයුත්තක්. එසේ පුහුණු කරවීමේදී ඒ සදහා මා යොදා ගන්නේ මාගේ විවෙක කාලයන් වන නිසා කිසිසේත්ම එම කටයුතු වෙනුවෙන් මා හට පෞද්ගලික හෝ ආර්ථික වාසියක් නොවුනද, උසස් සේවාවක් ආයතනයට ලබාදීමට හැකි වීමත් එමගින් කිහිප දෙනෙකුගේම රුකියා අවස්ථාවන් සුරක්ෂිත කරලීමටත්(මාගේත් ඇතුළුව) හැකි වීම තුලින් මා ලබන සතුට උපරිමයි.

මෙහිදී සිත කලකිරවන සුළු සිදුවීම් නැතුවාම නොවෙ. මා විසින් රැකියා ලබාදී මැනවින් පුහුණු කර සෙවයේ නිරත කරවූ ඇතමුන් පසුව මූසිලයින් ගේ තත්වයට පත්වීම හරහා යම් තරමක සිත් වෙදනාවන්ට ලක්වීමට සිදුවු වාර ගණනාවක්ම ඇතත් ඒ හැම වෙලාවෙම ලොකස්වභාවය පිළිබදව සිතා සැනසීම හැර අන් යමක් නැති බැවින් සිත හදාගෙන ඉදිරි කටයුතු කරගෙන යනවා විනා වෙනත් කල හැකි අන් කිසිවක්නැත.අදත් මා විසින් සුළු නිලධාරියකුට උසස්වීමක් ලබාදීමෙ බලාපොරොත්තුව ඇතිව පුහුණුවීම් ආරම්භ කලද තවත් මාස කිහිපයක් යන විට තත්වය කොයි අතට හැරෙවිදැයි කිව නොහැක..

කෙසේ නමුත් අන් අය කුමක් කලත් මාගේ කොටස මා විසින් ඉටු කල යුතුමය.. අඩුම තරමෙ මට මාගේ සිතට හෝ වංක නොවී සිටිය හැක... මෙ ජීවත් වන ටික කාලයට මීට වඩා වෙන කුමක් බලාපොරොත්තු වන්නද..?

3 comments:

  1. ගොඩක් තැන් වල එහෙම තමයි. ගෙම ගහන්න දන්න එකා, ගෙම ගහනවා. වැඩ අවංකව කරද්දි ගැටලු ප්‍රශ්න එනවා. මම පුහුනුවට ගියොත් ලංකාවෙ ලොකුමයි කියලා කියන තැනකට. එකෙ ඇතුලෙ ඉන්න ලොකු ලොකු මිනිස්සුන්ගෙ පුංචි හදවත් වල තරම් දැක්කහම මට හිතුනෙ අපි ඔක්කොම මෙ බොරු නෙද කරන්නෙ කියලා. ඉංජිනෙරුවො කි දෙනෙක් නම් ලංකාවෙන් බිහිවෙනවද. නමුත් හැම කොටසක්ම වෙනත් රටකින් ගෙනල්ලා සවිකරන එක තමයි කරන්නෙ. කව්රු හරි දෙයක් පුංචියට හරි දෙයක් හොයාගත්තොත් එකෙ වැරදි පෙන්නලා එක වර්ධනය විම් වලක්වනවා හැරෙන්න. එක වර්ධනය කරන්නෙ නැහැ. මොකද Cost එක වැඩියිලු. හැම තැනම මුසිලයො ගොඩයි.

    ReplyDelete
  2. වටින අදහස් තියන සටහනක්

    ReplyDelete
  3. රවා said...
    ''ලොකු ලොකු මිනිස්සුන්ගෙ පුංචි හදවත් වල තරම් ''

    ඇත්ත යාළුවා හුගාක් ලොකුයි කියලා හිතන අයගේ හදවත් හරිම පුංවියි.

    malee_msg said...
    ස්තූතියි.

    ReplyDelete