14 December 2009

පාළුවට කියන බණ නොහොත් බණ කියන සැන්දෑව..

සුපුරුදු පාළු සෑදෑ සමයක්.. වෙනසකට තියෙන්නේ ඇදහැලෙන සිහින් වර්ෂාවෙ ශබ්දය. හුග දවසකට පස්සේ ආයෙමත් මගේ සටහන් සින්ඩියේ යනවා. පහු ගිය දවස් වල සටහන් තබනවාට වඩා කාලය ගත කලේ අන් අයගේ සටහන් කියවන්නටයි.
වර්ෂයක් ගෙවිලා තවත් වර්ෂයක් ලබන්නට ආසන්නයි. ගත වූ වර්ෂය දෙස ආපසු හැරී බැලීමක් කරන්න උත්සහ කලත් ඒ හැටි වැදගත් යමක් ඒ තුළ නැහැ. එකම දෙයයි තිබුනේ ඒ තමා මම මගේ ජීවිතේදී හුගක්ම ආදරෙ කල .....නි මගෙන් වෙන් වීම. මම මෙතන ` හුගක්ම ` කියන වචනේ යොදා ගත්තට එතනට හරියන නියම වචනය ඒක නෙවෙයි කියලා හිතෙනවා. එතනට එන්න ඔන `මගේ පණ වගේ `කියන වචනයක්. කොහොම උනත් ඒ දේ සිද්ධ උනා. ජීවිතේට නැවත ආදරයක් ලං කර ගන්නේ නැහැ කියලා හිතාගෙන වසර 6ක් විතර කාලයක් මගේ පාඩුවෙ ඉන්න කොට තමයි මට එයාව හම්බ උනේ.ඇත්තටම මම මගේ ලොකේ තනිවෙන්න පටන් ගත්තේ 2001 අවුරුද්දේ වගේ ඉදලා. ඒ කාලේ ඉදලාම මම එයාව දැන හැදිනගෙන හිටියා. ඒත් අපි අතරෙ සම්බන්ධයක් තිබුනේ නැහැ. අපි දෙන්නා වසර 6ක් පමණ අසල්වැසියන් ලෙස ඇසුරු කලා පමණයි. ඒ කාලය තුල ඇය විවහා උනා, ඒ විවාහය කඩාකප්පල් උනා. නැවතත් ඇය මගේ අසල්වැසියා උනා. අසල් වැසියන් උනත් ඇයත් මාත් අතර එතරම් හොද සම්බන්ධතාවයක් තිබුනේ නැහැ. වරින් වර පොදු වැඩ කටයුතු වලදී රණ්ඩු උනා හැර. නමුත් 2008 වසර වන විට අපි දෙන්නා නොහිතූ තරම් සමීප උනා. අපි දෙන්නා අපි දෙන්නාගේ අත්දැකීම් ඛෙදා හදා ගත්තා.තනි වෙලා හුන් අපි අපේම ලෝකයක් තනන්න පටන් ගත්තා. ජීවිතේ සුන්දරම සමයක් ගෙවිලා ගියා. අවසානයේ ඈ ඇගේ මවටත්, ඥාතීන්ටත් අවනත උනා. නොසිතූ මොහොතක ඈ නැවතත් විවාහ වූ පුවත අනුකම්පා විරහිතව දන්වා සිටියා. මගේ ලොකේ බිඳ වැටුනා. අදටත් ඇයව අමතක කරන්න හෝ ඇයට වෛර කරන්න මට බැහැ. දැන් ඇය රෝගී තත්වයක් නිසා බොහෝ සේ අසරණ වෙලා. ඒ පිළිබඳව මා හට කල හැකි යමක් ඉතිරිව නැතත් ඇය වෙනුවෙන් මගේ හිත පුරා පුපුරු ගසන දුක ඇයට කියන්නට වත් නොහැකි වීම මා තවත් අසරණ කරවනවා.ඒ අදුරු කාල පරිච්ඡෙදයේ ඇරඹුම සටහන් වූ වසර ලෙස වූ සැමරුම හැර අන් කිසිත් දෙයක් මෙම වසර තුල නොවූ තරම්. ආ තව එක දෙයක් තියෙනවා. 2001 දී නවතා ලූ මත්පැන් සමග නැවත ලගින් ඇසුරු කරන්නට ගත් වසරද මෙයයි.
උපන් දා සිට වසර 30ක් ගත වී ගොස් අවසානයි. එළඹෙනුයේ 31 වන වසරයි.. මෙතෙක් කාලයක් ජීවිතය ගලා ගෙන ගිය ආකාරය හරිම පුදුමාකාරයි. බුදු බණ කොතරම් සත්‍යය දැයි මා හට පසක් කර ගැනීමට මෙ අවුරුදු 30 ඇතුලත මට යම් තරමක හැකියාවක් ලැබුනා. මා සිතන අන්දමට එය තමයි මා ලද වටිනාම දේ. නමුත් වරදවා තේරුම් නොගන්න මා තවමත් පුහුදුන් මිනිසකු පමණයි. එනිසාම අවබොධ කරගත් ධර්මය පිළිපැදීමෙදී තවමත් මා ඉතාමත් ප්‍රාථමික අවස්ථාවකයි සිටින්නේ.කාලයේ වරදක් හෝ සමාජයේ වරදක් නොව බැදීම් වලින් මිදෙන්නට අප හට තිඛෙන උවමනාව අඩුකමත් තණ්හාව නැමැති අකුසල මූලය අප සිත් සතන් තුල දළුලා වැඩීමත් මෙයට හේතුවයි. එය දුරු කිරීම පහසු නැත. සිතත් සමග කල යුතු මහා සටනකි. තවමත් එම සටනෙහි ජය මාවත පාදා ගැනීමට මා හට නොහැකි වී ඇත.
මා හට පමණක් නොව මෙ සසර වසන බොහෝ දෙනෙකු මෙ ලොකය නැමැති මායාව තුල පැටලී ඒ තුලම සිරවී සිටී. මෙය මායාවක් බව හදුනා ගත් නමුත් එයින් ගැලවීමට නොහැකිව ලත වෙති.වරද තිඛෙනුයේ අවබෝධයේ අඩුවක් නිසා නොව පිළිපැදීමට තිඛෙන අකමැත්තයි. වීර්යය මඳ කමයි. හැකි නම් රෙරුකානේ චන්දවිමල නාහිමි විසින් රචිත ~පාරමිතා ප්‍රකරණය~ පොත සොයා ගෙන කියවන්න. එහි තුන් වැනුව එන ~නෙක්කම්ම පාරමිතාව~ කියන කොටසට යන්න. මා ද ඇතුළුව අප සියල්ලන්ම මෙ සසර හැරපියාලන්නට නම් අතහැරීම යන විෂය කොතෙක් දුරට ප්‍රගුණ කළ යුතුදැයි කියවා තේරුම් ගන්න. දැනට මා සතුව එම පොත නැති බැවින් එහි ඇති තොරතුරු උපුටා දක්වන්නට නොහැකි වීම ගැන සමා වන්න. ජීවිතයේ අරුත සොයන සෑම පුද්ගයකු විසින්ම කියවිය යුතු පොතක් ලෙස ~පාරමිතා ප්‍රකරණය~ හදුන්වා දිය යුතුය.~ තණ්හක්ඛයෝ නිරොධො නිබ්බාණං~ (තණ්හාව නොඑසේනම් සසරට ඇති ඇලීම, ආශාව දුරු කර ගනීමම නිවන ලෙස හැදින්වෙ.) කොයි තරම් දැන ගත්තත් ,අවබොධ කරගත්තත් තවම බැරි උනා පිළිපදින්න. ඒ තරමට මෙ ලොව විසිතුරු පෙනුමට මම රැවටිලා. අතහරින්න තියෙන අකමැත්තක තරම. මං වගේ කරුමක්කාරයෙක්.

5 comments:

  1. ආදරය කරපු කෙනෙකුට වෛර කරන්න බැහැ. හැබැයි මෙක දුකයි , මෙක ඇත්ත, මෙකයි හරි දෙ කියලා බුද්ධියට කොච්චර තෙරුනත් වැඩක් නැහැ. හදවත කියන්නෙ පුදුම දෙයක්. මිනිස්සු කියන්නෙ පුදුම නිමැවුමක්. ලස්සනම දෙ අපි අපිනෙ...
    කොච්චර දුක වුනත්, කොච්චර අනතුරුදායක උනත්, අපි පළගැටියා වගෙ ගින්නට පනිනවා නෙ... කොච්චර ලස්සනද නෙ....
    මෙකයි ලොකෙ නෙ.....
    හිනා වෙලා ලියන්න.....කමක් නැහැ මොකක් ලියුවත් නෙ...

    ReplyDelete
  2. ජීවිතේ කියන්නේ ලැබීම් නොලැබීම්, ජය පරාජය, දුක සතුට මේ හැම දේටම. ඔය කෝකෙදිත් එක විදියට ඉන්න කියලයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඒත් නිකම්ම නිකම් මිනිස්සු වෙන අපි අපිට සතුටු හිතෙන දේවල් වලදි ගොඩාක් සතුටු වෙන 1යි දුක හිතෙන දේවල් වලදි ගොඩාක් දුක හිතන 1යි තමා කරන්නේ. ඒක අපේ හැටි. රහත් වෙනවා තියා සෝවාන්වත් නොවිච්ච අපි ඒ තත්වෙට පත්වෙන 1 එක අතකට සාධාරණයි. කොටින්ම කියනවානම් ජීවිතේ ඔහොම තමයි. ඔය දේ විදින 1ට තමා ජීවත් වෙනවා කියන්නේ.

    තව 1ක්. බූට් තත්ව වලටනම් මචං බොන්න එපා. එහෙම බොන කොට මුලු ජීවිතේම විනාස වෙනවා. ඒක ලෝක අපරාධයක්.

    ඔබගේ ජීවිතේට ජයවේවා...

    ReplyDelete
  3. ඔබ අවසානයට සදහන් කල පරිදි මායාව බිද හෙලමින් යන ගමනට මගේ සුබ පැතුම්. ඒ සදහා යම්කිසි කැප කිරීමක් සිදු කිරීමට සිදුවන අතර, මත්පැන් පානයද ක්‍රමයෙන් නවතාලීම කෙරෙහි අවධානය යොමු කල යුතුය. මන්ද යත්, මත්පැන් තුලින් සිදුවන මත්වීම සිදුවන්නේ අන්කිසිවක් නිසා නොව එහි ඇති විෂරසායනයන් තුලින් ඔබගේ මොලය තුල පිහිටි නියුරෝන සෙල අඩපණ කිරීම හා විනාශකිරීම නිසාවෙනි.

    මෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත් ඔබට ඉදිරියේදී මෙම ලෝකය නැමැති මායාව බිද හෙලීම සදහා ප්‍රගුණ කල යුතු මූලිකම අංගය වන භාවනාව සාර්ථක කරගැනීමට කිසිදිනක නොහැකිවනූ ඇත.
    මන්ද යත් භාවනාව සදහා ඉහත නියුරෝන සෙල වලින් සිදුකෙරෙන දායකත්වය මිල කල නොහැකි තරම් නිසාවෙනි. එසේ හෙයින් මත්පැන් හරහා ඒවා විනාශකරගත් විට මිල කල නොහැකි දුර්ලභ මනූෂ්‍ය ජීවිතයේ වටිනාකම ඔබට කිසිදිනක අත්විදිය නොහැක. එහි සුන්දරත්වය අත්දැකිය නොහැක. එසේ හෙයින් මත්පැන් වලින් නොව භාවනාව තුලින්ම මත්වීමට උත්සාහ ගන්න.

    ඔබට යමක් දැනගැනීමට අවශ්‍යනම්
    http://ewabalawa.wordpress.com/
    යන මගේ කුලුදුල් බ්ලොග් සටහනට පිවිසෙන්න. තවමත් ආරම්භක අවස්ථාවේ ඇති එය අධ්‍යනය තුලින් ඔබට මද අස්වැසිල්ලල් හෝ ලද හැකිය.

    ReplyDelete
  4. අපි බුදු හාමුදුරුවෝ දේශනා කරපු කරණු කාරණා දැනගෙන හිටියත් ඒවා හරියට භාවිතයක් හරි ඒවා ප්‍රායෝගිකව යොදා ගැනීමක් හරි කරන්නේ නැහැ කියලයි මට නම් හිතුණේ.............

    ReplyDelete