28 December 2009

අද දවස...

මෙකත් දැන් දින පොතක් වෙලාද මන්දා..?? ඒත් ඉතින් කමක් නැහැ. අර ~වර්ෂා~ ලියනවා වගේ,, මගේ චූන් මටම චූන්.. වැඩ ඇරිලා ආපු ගමන් ගියා මගේ දඩු මොනර මල්ලිගේ වාර්ෂික ආදායම් බලපත්‍රය අරගෙන එන්න.(ඒකට මොකට ඒ නම දැම්මද මන්දා..? ඒකෙන් මට ලැඛෙන ආදයම් කොහොම වෙතත් වියදමෙ හැටියට ~වියදම් බලපත්‍රය~ කියලා දැම්මනම් තමයි හරි) ඉවර වෙන්න තව සති දෙකක් විතර තියෙනවා උනත් වෙලපහම ඔවා අරන් තියන එක තමයි මගේ පුරුද්ද නැත්නම් පස්සේ අමතක වෙලා ගියොත් ලෝක ලෙඩනේ..
මම දැනට ඉන්නේ අත්තනගල්ල ප්‍රාදේශීය බල ප්‍රදේශයේ උනත් මහරට තමයි ලියාපදිංචිය.. ඉතින් රන්මුතුගල කාර්යාලයට ගිහින් වැඩෙ කර ගත්තා. කිසි කරදරයක් නැහැ විනාඩි 4න් වැඩෙ ඉවරයි. (රාජ්‍ය සේවයට ජය වෙවා)
අද මම කාලෙකට පස්සේ මගේ ගම මැද්දෙන් ගියා.හුග කාලෙකින් තමයි ගියේ.. ඒ ගියත් කිසිම ගෙදරකට ගොඩ උනේ නැහැ. ගම දකින්න තියෙන ආසාව නිසාම පාරවල් දෙක තුනකම කැරකුනා. සමහර දේවල් එදා වගේමයි.. ඒත් සමහර ඒවා බොහොම වෙනස් වෙලා.. සමහර තැන් අළුත් වෙලා.. තවත් තැන් ගරා වැටිලා.. වටෙ පිටෙ බොහොමයක් පාරවල් අළුත් වෙලා,තාර දාලා, කොන්ක්‍රීට් කරලා.. ඒත් අපේ ගෙදරට යන පාර තනිකරම වල් වැදිලා.. ගන්න දෙයක් නැහැ ඉස්සර අපි සෙල්ලම් කල එක පොල් ඉඩමක්වත් අද නැහැ.. හැම තැනම ගෙවල්.. වෙල මැද්දෙන් පාර ගන්න දෙයක් නැහැ.. කුඹුකේ ලිද වටෙටම කැලෑව.. වැවෙ වතුර හිදිලද මන්දා පාරට පේන්නේ නැහැ. එතනට යන්න තිබුනු පාරවලුත් වැහිලා .. කොහොම තිබුනු ගමක්ද..
තාත්තා නැති අඩුව ගමට දැනෙනවා වගේ.. ඒ දවස්වල මොන තරම් මහන්සි වෙලාද අපි වැව අළුතින් හැදුවෙ.. මට මතකයි මගේ අත් දෙකම කොන්ක්‍රීට් වලට හිල් වෙලා තිබුනා.. ඒත් උදේට තාත්තා කහයි පොල් තෙලුයි රත් කරලා දුන්නහම මම ඒවා ගාගෙන ඇගිලි දහයෙම රෙදි පටි බැදගෙන ආයෙත් වැඩ කරනවා.. ටික වෙලාවක් යන කොට රෙදි පටි ලෙහිලා යනවා.. ඇගිලි පුපුරු ගහද්දී කොන්ක්‍රීට් තාච්චි අතින් අතට යනවා.. ටික වෙලාවකදී වෙදනාව ගාණක් නැතිව යනවා.. එහෙම හදපු වැව.. පපුවත් එක්ක පිච්චිලා ගියා.. කොයි තරම් නං ලස්සන කාලයක්ද ඒක..
දවස ගානේ අපි පැය කීපයක්ම වැවෙ නානවා. අහල පහල ගම් වලින් මොන තරම් සෙනගක් ආවද විනෝද වෙලා නාලා යන්න.. ඒ ආපු කිහිප දෙනෙක්ම ගිලෙන්න ගිහින් මම ගොඩ දාලා තියෙනවා. මායි මල්ලියි වැවෙ අයිතිකාරයෝ වගේ ඒ දවස්වල.. කුඹුරුවලට වතුර අරින්නේ අපි .. පායන කාලෙට ලිං වල වතුර රැදිලා තිබුනේ වැව නිසා.. කළුවර වැටුනම ඉදලා හිටලා ගැන්සිය සෙට් වෙලා අඩියක් ගැහුවෙ වැව් බන්ට් එකේ.. මිරිදිය මාළු බො කරපු වෙලාවෙ අනිත් අය කරන දිහා බලා ඉදල මාත් ආසාවට බිලී පිත්තක් දාගෙන හිටියත් එකම දවසයි මට මාළුවෙක් අහුඋනේ.. ඒ මගේ පළමු සහ අවසාන මාළුවා..
වැව පහළ කුඹුරෙ සෑහෙන දුරක් පලා ජාති වවලා.. ඉස්සර ඔක්කොම කුඹුරු වැපුරුවා.. මම සරුංගල් අරින්න නියරවල් දිගේ දිවුව හැටි.. දවසකට එක සරුංගලයක් හරි හදනවා.. ගේ පුරාම සරුංගල්.. සමහර ඒවා විකුණනවා.. ඒ සල්ලි වලින් අයෙත් කොල ගෙනත් ආයෙමත් හදනවා.. මල්ලිට සරුංගල් හදන්න බැහැ.. එකම එක දවසක් බට ලීයක් දෙකට පලලා මිනිහා හරි අපූරු සරුංගලයක් හැදුවා . මට මතක හැටියට ඒක තමයි එයාගේ පළමු සහ අවසාන එක.. කොහොම උනත් මගේ සරුංගල් උඩ යැවීමෙ රාජකාරය බාර එයාට තමයි.. තව දෙතුන් දෙනෙක්ම හිටියා මට ගෝල බාලයෝ.. අද උන් කොහෙද මන්දා..
කන්දේ ගලෙන් බාගයක් නැහැ වගේ .. ගල් වලවල් කාරයින්ගෙන් ඔක ඛෙරගන්න ඉස්සරත් ලේසි උනේ නැහැ.. දැන්නම් වැඩෙ හරි වගේ.. තවත් ගල් කදු දෙක තුනක් ඉතිරිවෙලා තියෙනවා.. කී දවසක් තියෙයිද මන්දා.. වෙලෙ වතුර වැඩි නම් ගල් උඩ තමයි සරුංගල් ඇරියේ.. දැන්නම් ඒ තැන් තියෙනවද මන්දා.. කැලේ මැදින් යන්න හිතුනත්.. මම ගියේ නැහැ.. ඉස්සර මොන තරම් කැලෑව තිබුනු තැන් තිබුනද.. අපි හන්ටර්.. රොබින්හුඩ්..හොරා පොලිස් කල තැන්.. අද ඒ එක තැනක් වත් නැහැ..
මට බයික් එකේ යන ගමන්ම තේරුනා ඇස් දෙකෙන් කදුළු ගලනවා.. හුළග වැදිලද.. දුකටද කියලා මටවත් තේරෙන්නේ නැහැ..
කිසිම දෙයක් වෙනස් කරන්න අද මට බැහැ.. ලොකුම දේ තමයි හමුබ උන කිසි කෙනෙක් මාව හදුන ගත්ත නැති එක.. රැවුල හින්දද?? නැත්නම් හෙල්මට් එක හින්දද?? අනේ මන්දා.. අඩුම තරමෙ අපේ අක්කාවත් (මහප්පලාගේ) මස්සිනාලවත් මාව ලගටම දැකලත් අදුරගත්තේ නැහැ.. අපේ ගෙදර කට්ටිය නම් පේන්න හිටියේ නැහැ.. ලගම නෑදෑ වෙන කිහිප දෙනෙක්ම පාරෙ යන අමුත්තකු දිහා බලන බැල්මට අමතරව වෙන කිසිම විදියකට බැළුවේ නැහැ.. ඔහොම තමයි කාලය හැම දේම වෙනස් කරනවා..
ඒත් මම එකක් දන්නවා මම බලන්න නොගියට මම ගමට ඇවිත් ගියා කියලා එක්කෙනෙක් අද දන්නවා.. මම ගිය පාරක ගියත් ඒබව එයාට දැනෙනවා.. දාහක් පිරිස අතරෙ උනත් මම ඉන්නවනම් එයා මම ඉන්න බව දන්නවා.. ඒ හැකියාව එයාට ලැබුනේ කොහොමද කියන එක මට හිතා ගන්නත් බැහැ.. ඉස්සර මම එයාලගේ ගේ ගාවින් පාන්දර ජාමෙට ගියත් එයා පහුවදාට මට කියනවා හරියටම මම ගිය වෙලාව.. සමහර දවස් වල මම එයා ඉන්න උඩ තට්ටුවෙ කාමරෙ දිහා බලාගෙන ඉදලා එනවා.. ඒත් එයා පේන්න නැහැ.. පහුවදාට තමයි අහන්නේ ඊයේ උඩ බලාගෙන මොකද කලේ කියලා..
ඒ වගේ ආදරනීය කෙනෙක් .. මා වෙනුවෙන් ජීවිතෙන් වැඩි කොටසක් කැප කරපු කෙනෙක් .. දෛවය අපිව අපිට අහිමි කලත් අදටත් මට ආදරෙ කරන කෙනෙක්.. වෙන නැහැ කියලා මම දන්නවා.. තාත්තයි මායි අතර තෝරා ගැනීමක් කරන්නට නොවුනානම්... අවසානයේ මගේ ම මිතුරකු පිළිබදව ගෙදරින් යෝජනා වූ අවස්ථාවෙ පවා මා නැවත නොපැමිණෙන බව දැන දැනත් මා ලගට පැමිණ අවසර ගෙන ගිය ඇය.. සදාදරනීය දයාබර මතකය..
ගම මැදින් ගමනේ අවසානය හිතේ මහා බර ගතියක් ඇති කලා.. ගෙදරට ආ සැණින් හුදකලාවෙ සහෘදයා.. සමග තද ඇසුරක් ඇති කරවන්නට එම හිසේ බර ගතිය ඉවහල් උනා කිවුවොත් නිවැරදියි.. වෙනදාටත් වඩා පදම ඉක්මවලා ගියා.. ගම.. තාත්තා.. ගෙදර.. ඇය.. මෙ හැම දෙයක්ම පිළිබද මතකය මා වට කරගෙන.. එක වෙලාවකට හිතෙනවා ආයෙමත් මම නවතපු තැනින් පටන් අරන් ගම වෙනුවෙන් තාත්තා කල වැඩ නැවත ඉදිරියට ගෙන යායුතුයි කියලා ඒත්.. සමහර දේවල් දැන් වෙනස් කරන්න බැරි බව සිහි වෙනකොට හිත අසරණ වෙනවා..

15 comments:

  1. දුක් වෙන්න එපා මචං... හුගක් දෙනෙක්ට ජිවිතේ හැමදේම තමන්ට ඕන විදියටම ලැබෙන්න නැහැ. මතකය ලස්සනයි දුක්බරයි...

    ReplyDelete
  2. Prabath...
    මොනවා නම් කියලා කරන්නද..?

    ReplyDelete
  3. තනිකම කියන්නෙ බොහොම වින්දනීය දෙයක්, මමත් විදල තියෙනව වෙනස් විදියකට, කොහොම උනත් හරිම සුන්දර මතකයක්, මාව ආයෙමත් පාසල් කාලයට ගෙනගියාට තුති

    ReplyDelete
  4. BEAUTIFUL SRI LANKA...
    විදින විදිය වෙනස් උනත් තනිකම විදීම කියන්නේ පුදුමාකාර දෙයක්...

    ReplyDelete
  5. අනේ මන්දා අපිට නම් ඔච්චර ලස්සන අතීතයක් නොතිබ්බාට මටත් කවදාහරි දවසක් ඔය දේටම මුන දෙන්න වෙන බව හිතෙද්දි නම් හරිම කනගාටුයි. මම උසස් පෙල කරල අවුරුද්දයි. ඉන්නේ තාමත් ගමේ. ඒ ඉන්න ටිකෙත් හැමදාම දුක් වෙන්නේ අපි 9 වසරේදි දුවල පැනලා සෙල්ලම් කරපු තැන් වල මහා ආඩම්බරෙන් වැජබෙන ගෙවල් දැක්කම ඇති වන කාන්සියත් එක්ක ආයෙමත් මම අඟල් 15 කට කොටු වෙනවා. අය්යෝ ජීවිතෙ.

    ReplyDelete
  6. රාLa...
    කියලා වැඩක් නැහැ මලයෝ. 9 යේ ඉදලා දැන් ඔන්නං අවුරුදු පහක් ඇති නේද? ඒ ටිකට ඔහොම නම් හිතලා බලන්නකෝ තව 5කින් කොහොමද කියලා. මම ගෙදරින් ස්ථිර වශයෙන්ම පිටඋනේ 2001දී. අවුරුදු 8කදී හැම දේම වෙනස් වෙලා..

    ReplyDelete
  7. ජීවිතයක ඇති පාලුව කෙතරම්ද යන වග මට අමුතුවෙන් ඉගෙන ගැනීමට අවැසි නොවුවත් ඔබ ලියූ සමහර ලිපි කියවද්දී නෙතු අගින් සිසිල් වතුර බිංදු කීපයක් ගලා යන විට මට වැටහීගියේ තනිකම දෝතින්ම දරාගන මේ ලොව එලිය දුටු එකම පුද්ගලයා මා නොවන බවයි.

    මාරයගේ හෝරාවට තවත් එක් තත්පරයක් මෙසේ එකතු වූ බව නොකියාම බැරිය.

    දිගටම ලියන්න..... සුභ පැතුම් හදවතින්ම!!!!

    ReplyDelete
  8. Anonymous said...
    තනිකම දෝතින්ම දරාගන මේ ලොව එලිය දුටු එකම පුද්ගලයා මා නොවන බවයි....

    හ්ම්...
    ස්තූතියි.

    ReplyDelete
  9. රාජ්‍ය සේවය ඇත්තටම දැන් කාර්යක්ෂම වෙලා තියනව.රාජ්‍ය සේවකයෙක් විදියට මම ඒ ගැන අවංකව ආඩම්බර වෙනව.

    ඔයා අත්තනගල්ලට ඹයාගේ දඩු මොණරෙ trancer කරගන්න.
    එතකොට ගමේ යන්න ඕන නැහැ
    එතකොට දුක හිතෙන්නෙ නෑ
    හිතට දුක් දෙන දේවල් වලින් ඈත් වෙලා ඉන්න.
    මම එදා රෑ call කරාම කතා කරපු විදියෙන් තේරුනා මොකක් හරි අවුලක් තමයි කියල ...
    වාහනේ අත්තනගල්ලට හරව ගන්න...

    ReplyDelete
  10. ලස්සන අතීතයක සුන්දර මතකයක්, දයාබර ආත්මයක් ගැන ආදරණීය ආවර්ජනයක්. ගමේ කවුරු ඔබව අඳුනාගත්තේ නැතත් හැම ගහක් කොළක්ම ඔබව අඳුන ගන්න ඇති.ඒ ඔබ ගමට සැබවින්ම ආදරය කරපු නිසා. හරිය "ඇය" ඔබේ පැමිණීම හඳුනාගත්තා වගේ.

    ReplyDelete
  11. හරිම ලස්සනයි . . නෙතට කඳුලක් නංවන්න තරම් සංවේදීයි මේ ලිපිය නම් . . . බොහෝම සුන්දර අතීතයක් උඹටත් තිබිලා තියෙනවා . . . ඒත් අතීතයේ මතක සටහන් හදේ කොනක තියාගෙන සිහි කරලා සතුටු වෙන්න හැර ඒ මතකය පරනි තුවාලයක් ආපහු හාර හාර අළුත් වේදනාවක් විඳින දෙයක් කර ගන්න එක නම් හොඳ අදහසක් නෙමෙයි මචං . . . .

    උත්සාහ කරලා බලන්න අතීතය දිහා තුන්වෙනියෙක් සිනමා පටියකින් දකිනවා වගේ දකින්න . . . එතකොට වැරදීම් ගැන දැක්කාම නැවත ඒ වරද නොකර ඉන්න පුලුවන් වේවි . . . සාර්ථක වුනු දේවල් ඊට වඩා සාර්ථකව කරන්න පුලුව්න වේවි . . . .

    මොනා වුනත් හිත වට්ට ගන්නේ නැතුව ඉන්න උත්සාහ කරපන් මචං . . .

    අපි බලා පොරොත්තු වුන හැම දේම අපිට ලැබෙනවා නම් සමහර විට මේ ලෝකේ මේ තරම් සුන්දර නොවෙන්නත් ඉඩ තිබුනා කියලා මට නම් වෙලාවකට හිතෙනවා . . .

    ReplyDelete
  12. ubata e mail ekak ewanna puluwan vidihak kiyala mata email ekak ewapan sathula@yahoo.com

    ReplyDelete
  13. සිරාවට උඹට මරු අතීතයක්නෙ තිබිල තියෙන්නෙ.. එළ සටහන..

    ReplyDelete
  14. wath...
    මොන තරම් දුකක් උනත්, ඉදලා හිටලා හරි ගම මැදින් යන්න ඒ සුවද විදින්න මම අදටත් ආසයි. ඒක හරියට තුවාලයක් පාරවලා සතුටු වෙනවා වගේ උනත්.. අඩුම තරමෙ තාත්තා වෙනුවෙන්වත් මම ගම දිහා බැලිය යුතුයි. අත්තනගල්ලට හරවගන්න මට මගේ කියලා ස්ථීර ලිපිනයක් නැහැ. අඩුම තරමෙ මටයි කියලා හැදුනුම්පතක්වත් නැහැ. හුග කාලයකට ඉහතදී ගත්ත රියදුරු බලපතකින් තමයි පාරෙ තොටෙ යන්නේ එන්නේත්... ස්තූතියි අදහසට.. ඒත් ගමට තියෙන සම්බන්ධය කොහොම අතහරින්නද..?

    ෆා ද බ්ලොගී...
    ඇත්ත නංගියේ ගමෙ පාරක් පාරක් ගානේ තියෙන හැම බොරළු කැටයක්මත් මාව හදුනනවා.. ඒත් ඒ බොරළු වලට උඩින් අද කොන්ක්‍රීට් දාලා..
    ගමෙ ගොඩෙ තිබුනු හැම ගහක් කොළක්ම මාව හදුනනවා.. ඒ ගසුත් අද නැහැ.. අම්බලම ලිද ගාව තිබුනු මහා කුඹුක් ගහ අද එතන නැහැ.. මම බට තුවක්කු හදපු බට පදුරු ගොන්න අද නැහැ.. බට තුවක්කුවලට දාපු කිරිල්ල ගස් අද කොහොද මන්දා.. අපේ ගේ පල්ලෙහා තිබුනු කජු ගස් විසි දෙකෙන් අද යන්තමට පෙනෙන්න තියෙන්නේ එකම එක ගහයි.. හැබැයි මම දන්නවා ගමෙ පොළව මගේ පා පහස ලබන්න බලන් ඉන්නවා කියලා.. ඒත් ඒ පොළවට මම අඩිය තිබ්ඛෙ නැහැ... මම අද ඉන්න තත්වෙත් එක්ක ගමෙ පොළව ස්පර්ෂ කරන්න මට උරුම නැහැ..

    දුකා...
    අතීතය විතරක් නෙවෙයි අද ගත කරන ජීවිතයත් තව ටික කාලෙකින් ආපසු හැරිලා බලන කොට ලස්සනට පෙනෙවී... කොහොමටත් ජීවිතය ගැන දුක් වෙලා වැඩක් නැති බව මම දන්නවා.. ඒත්... ඔළුව කියන දේ පපුව අහන්නේ නැත්නම් මොකද කරන්නේ...
    ස්තූතියි...
    මගේ ඊමෙල් ලිපිනය ඔබට එවන්නම්..

    ආගන්තුකයා...
    මගෙ විතරක් නෙවෙයි මිත්‍රයා අපි කාගෙත් අතීතය දිහා හැරිලා බලන විට සුන්දර ස්ථාන හුගක් හමුවෙනවා.. නමුත් අපි ආපහු හැරිලා බලන්නේ නැති විට ඒවා පේන්නේ නැහැ..

    ReplyDelete
  15. අවුරැදුගානකට පස්සේ මාත් බැලුවා

    ReplyDelete