30 December 2009

පිල් මාරුවක්...

අද ටිකක් මට වැඩියි වගේ ඒත් මොනවා හරි ලියන්න හිතෙනවා. අනන් මනන් ඔන නැහැ. අද සිදුවීමක් ලියන්නන්. මගේ යටතේ මා ළගට ඉන්න නිලධාරියා අද තම දේශපාලන පක්ෂය එහෙමත් නැත්නම් තම මතවාදය මාරු කරලා. ඒක කිරීමෙ අයිතියට අපිට අභියෝග කරන්න බැහැ මොන විදියකටවත්. ඒ උනත් මම අද මිනිහත් එක්ක ඉතාමත් සුහදව සාකච්චා කලා එම තීරණයට හේතු පාදක වූ කරුණු මොනවාද යන වග.(සාමාන්‍යයෙන් මම මගේ යටතේ ඉන්න අයගේ දේශපාලන මතවාද වෙනස් කරන්න යන්නේ නැහැ)

ඔහුත් සමග කතා කිරීමෙදී මට දැන ගන්න ලැබුනේ හරි අපූරු තොරතුරු රැසක්. පසු ගිය දිනක ඔහුත් ඇතුළුව ක්‍රියාකාරී දේශපාලන සාමාජිකයින් පිරිසකට අත්තනගල්ලේදී හිටපු ජනාධිපතිතුමිය විසින් ප්‍රිය සම්භාෂනයක් පවත්වා තිඛෙනවා. එහිදී ඒ සදහා අපේ කථානායකයා සම්බන්ධ වී ඇත්තේ තම වැඩිමහළු සහෝදරයාගේ පුතණුවන්ගේ දැඩි ඉල්ලීම මතයි. එම පුත්‍රයා පසු ගිය සමයේ ගුවන් තොටුපලෙහි සිංහල භාෂාවෙන් දැන්වීම් කියවීම පිණිස පත් කරනු ලැබූ අයෙක්. අපේ කථානායක තුමා කිවූ පරිදිනම් එම රැකියාව හිටපු ජනපතිනිය ගේ මැදිහත් වීමකින් අළුතෙන්ම නිර්මාණය කරන ලද්දක්. කෙසේ නමුත් දැන් එම පුතණුවනුත් අපගේ ප්‍රධාන චරිතකරුගේ පුතණුවන්ගේද ඉල්ලීම මත අපේ බුවාටත් තම පක්ෂය අතහැර හංසයාට එකතු වීමට සිදු වී තිඛෙනව
කිසිම ජාතික වශයෙන් හෝ දෙශපාලන වශයෙන් වැදගත් කමක් නැති තමන්ගේ ගොඩවැඩිකර ගැනීමෙ චෙතනාවෙන්ම පමණක් මෙම තීරණය ඔහු විසින් අරගෙන තිඛෙනවා විනා අන් යමක් ඔහුගෙන් ප්‍රකාශ උනේ නැහැ..ඉදිරියට තව තවත් මෙවැනි දේ සිදු වෙවි... අපි බලා ඉදිමු...

28 December 2009

අද දවස...

මෙකත් දැන් දින පොතක් වෙලාද මන්දා..?? ඒත් ඉතින් කමක් නැහැ. අර ~වර්ෂා~ ලියනවා වගේ,, මගේ චූන් මටම චූන්.. වැඩ ඇරිලා ආපු ගමන් ගියා මගේ දඩු මොනර මල්ලිගේ වාර්ෂික ආදායම් බලපත්‍රය අරගෙන එන්න.(ඒකට මොකට ඒ නම දැම්මද මන්දා..? ඒකෙන් මට ලැඛෙන ආදයම් කොහොම වෙතත් වියදමෙ හැටියට ~වියදම් බලපත්‍රය~ කියලා දැම්මනම් තමයි හරි) ඉවර වෙන්න තව සති දෙකක් විතර තියෙනවා උනත් වෙලපහම ඔවා අරන් තියන එක තමයි මගේ පුරුද්ද නැත්නම් පස්සේ අමතක වෙලා ගියොත් ලෝක ලෙඩනේ..
මම දැනට ඉන්නේ අත්තනගල්ල ප්‍රාදේශීය බල ප්‍රදේශයේ උනත් මහරට තමයි ලියාපදිංචිය.. ඉතින් රන්මුතුගල කාර්යාලයට ගිහින් වැඩෙ කර ගත්තා. කිසි කරදරයක් නැහැ විනාඩි 4න් වැඩෙ ඉවරයි. (රාජ්‍ය සේවයට ජය වෙවා)
අද මම කාලෙකට පස්සේ මගේ ගම මැද්දෙන් ගියා.හුග කාලෙකින් තමයි ගියේ.. ඒ ගියත් කිසිම ගෙදරකට ගොඩ උනේ නැහැ. ගම දකින්න තියෙන ආසාව නිසාම පාරවල් දෙක තුනකම කැරකුනා. සමහර දේවල් එදා වගේමයි.. ඒත් සමහර ඒවා බොහොම වෙනස් වෙලා.. සමහර තැන් අළුත් වෙලා.. තවත් තැන් ගරා වැටිලා.. වටෙ පිටෙ බොහොමයක් පාරවල් අළුත් වෙලා,තාර දාලා, කොන්ක්‍රීට් කරලා.. ඒත් අපේ ගෙදරට යන පාර තනිකරම වල් වැදිලා.. ගන්න දෙයක් නැහැ ඉස්සර අපි සෙල්ලම් කල එක පොල් ඉඩමක්වත් අද නැහැ.. හැම තැනම ගෙවල්.. වෙල මැද්දෙන් පාර ගන්න දෙයක් නැහැ.. කුඹුකේ ලිද වටෙටම කැලෑව.. වැවෙ වතුර හිදිලද මන්දා පාරට පේන්නේ නැහැ. එතනට යන්න තිබුනු පාරවලුත් වැහිලා .. කොහොම තිබුනු ගමක්ද..
තාත්තා නැති අඩුව ගමට දැනෙනවා වගේ.. ඒ දවස්වල මොන තරම් මහන්සි වෙලාද අපි වැව අළුතින් හැදුවෙ.. මට මතකයි මගේ අත් දෙකම කොන්ක්‍රීට් වලට හිල් වෙලා තිබුනා.. ඒත් උදේට තාත්තා කහයි පොල් තෙලුයි රත් කරලා දුන්නහම මම ඒවා ගාගෙන ඇගිලි දහයෙම රෙදි පටි බැදගෙන ආයෙත් වැඩ කරනවා.. ටික වෙලාවක් යන කොට රෙදි පටි ලෙහිලා යනවා.. ඇගිලි පුපුරු ගහද්දී කොන්ක්‍රීට් තාච්චි අතින් අතට යනවා.. ටික වෙලාවකදී වෙදනාව ගාණක් නැතිව යනවා.. එහෙම හදපු වැව.. පපුවත් එක්ක පිච්චිලා ගියා.. කොයි තරම් නං ලස්සන කාලයක්ද ඒක..
දවස ගානේ අපි පැය කීපයක්ම වැවෙ නානවා. අහල පහල ගම් වලින් මොන තරම් සෙනගක් ආවද විනෝද වෙලා නාලා යන්න.. ඒ ආපු කිහිප දෙනෙක්ම ගිලෙන්න ගිහින් මම ගොඩ දාලා තියෙනවා. මායි මල්ලියි වැවෙ අයිතිකාරයෝ වගේ ඒ දවස්වල.. කුඹුරුවලට වතුර අරින්නේ අපි .. පායන කාලෙට ලිං වල වතුර රැදිලා තිබුනේ වැව නිසා.. කළුවර වැටුනම ඉදලා හිටලා ගැන්සිය සෙට් වෙලා අඩියක් ගැහුවෙ වැව් බන්ට් එකේ.. මිරිදිය මාළු බො කරපු වෙලාවෙ අනිත් අය කරන දිහා බලා ඉදල මාත් ආසාවට බිලී පිත්තක් දාගෙන හිටියත් එකම දවසයි මට මාළුවෙක් අහුඋනේ.. ඒ මගේ පළමු සහ අවසාන මාළුවා..
වැව පහළ කුඹුරෙ සෑහෙන දුරක් පලා ජාති වවලා.. ඉස්සර ඔක්කොම කුඹුරු වැපුරුවා.. මම සරුංගල් අරින්න නියරවල් දිගේ දිවුව හැටි.. දවසකට එක සරුංගලයක් හරි හදනවා.. ගේ පුරාම සරුංගල්.. සමහර ඒවා විකුණනවා.. ඒ සල්ලි වලින් අයෙත් කොල ගෙනත් ආයෙමත් හදනවා.. මල්ලිට සරුංගල් හදන්න බැහැ.. එකම එක දවසක් බට ලීයක් දෙකට පලලා මිනිහා හරි අපූරු සරුංගලයක් හැදුවා . මට මතක හැටියට ඒක තමයි එයාගේ පළමු සහ අවසාන එක.. කොහොම උනත් මගේ සරුංගල් උඩ යැවීමෙ රාජකාරය බාර එයාට තමයි.. තව දෙතුන් දෙනෙක්ම හිටියා මට ගෝල බාලයෝ.. අද උන් කොහෙද මන්දා..
කන්දේ ගලෙන් බාගයක් නැහැ වගේ .. ගල් වලවල් කාරයින්ගෙන් ඔක ඛෙරගන්න ඉස්සරත් ලේසි උනේ නැහැ.. දැන්නම් වැඩෙ හරි වගේ.. තවත් ගල් කදු දෙක තුනක් ඉතිරිවෙලා තියෙනවා.. කී දවසක් තියෙයිද මන්දා.. වෙලෙ වතුර වැඩි නම් ගල් උඩ තමයි සරුංගල් ඇරියේ.. දැන්නම් ඒ තැන් තියෙනවද මන්දා.. කැලේ මැදින් යන්න හිතුනත්.. මම ගියේ නැහැ.. ඉස්සර මොන තරම් කැලෑව තිබුනු තැන් තිබුනද.. අපි හන්ටර්.. රොබින්හුඩ්..හොරා පොලිස් කල තැන්.. අද ඒ එක තැනක් වත් නැහැ..
මට බයික් එකේ යන ගමන්ම තේරුනා ඇස් දෙකෙන් කදුළු ගලනවා.. හුළග වැදිලද.. දුකටද කියලා මටවත් තේරෙන්නේ නැහැ..
කිසිම දෙයක් වෙනස් කරන්න අද මට බැහැ.. ලොකුම දේ තමයි හමුබ උන කිසි කෙනෙක් මාව හදුන ගත්ත නැති එක.. රැවුල හින්දද?? නැත්නම් හෙල්මට් එක හින්දද?? අනේ මන්දා.. අඩුම තරමෙ අපේ අක්කාවත් (මහප්පලාගේ) මස්සිනාලවත් මාව ලගටම දැකලත් අදුරගත්තේ නැහැ.. අපේ ගෙදර කට්ටිය නම් පේන්න හිටියේ නැහැ.. ලගම නෑදෑ වෙන කිහිප දෙනෙක්ම පාරෙ යන අමුත්තකු දිහා බලන බැල්මට අමතරව වෙන කිසිම විදියකට බැළුවේ නැහැ.. ඔහොම තමයි කාලය හැම දේම වෙනස් කරනවා..
ඒත් මම එකක් දන්නවා මම බලන්න නොගියට මම ගමට ඇවිත් ගියා කියලා එක්කෙනෙක් අද දන්නවා.. මම ගිය පාරක ගියත් ඒබව එයාට දැනෙනවා.. දාහක් පිරිස අතරෙ උනත් මම ඉන්නවනම් එයා මම ඉන්න බව දන්නවා.. ඒ හැකියාව එයාට ලැබුනේ කොහොමද කියන එක මට හිතා ගන්නත් බැහැ.. ඉස්සර මම එයාලගේ ගේ ගාවින් පාන්දර ජාමෙට ගියත් එයා පහුවදාට මට කියනවා හරියටම මම ගිය වෙලාව.. සමහර දවස් වල මම එයා ඉන්න උඩ තට්ටුවෙ කාමරෙ දිහා බලාගෙන ඉදලා එනවා.. ඒත් එයා පේන්න නැහැ.. පහුවදාට තමයි අහන්නේ ඊයේ උඩ බලාගෙන මොකද කලේ කියලා..
ඒ වගේ ආදරනීය කෙනෙක් .. මා වෙනුවෙන් ජීවිතෙන් වැඩි කොටසක් කැප කරපු කෙනෙක් .. දෛවය අපිව අපිට අහිමි කලත් අදටත් මට ආදරෙ කරන කෙනෙක්.. වෙන නැහැ කියලා මම දන්නවා.. තාත්තයි මායි අතර තෝරා ගැනීමක් කරන්නට නොවුනානම්... අවසානයේ මගේ ම මිතුරකු පිළිබදව ගෙදරින් යෝජනා වූ අවස්ථාවෙ පවා මා නැවත නොපැමිණෙන බව දැන දැනත් මා ලගට පැමිණ අවසර ගෙන ගිය ඇය.. සදාදරනීය දයාබර මතකය..
ගම මැදින් ගමනේ අවසානය හිතේ මහා බර ගතියක් ඇති කලා.. ගෙදරට ආ සැණින් හුදකලාවෙ සහෘදයා.. සමග තද ඇසුරක් ඇති කරවන්නට එම හිසේ බර ගතිය ඉවහල් උනා කිවුවොත් නිවැරදියි.. වෙනදාටත් වඩා පදම ඉක්මවලා ගියා.. ගම.. තාත්තා.. ගෙදර.. ඇය.. මෙ හැම දෙයක්ම පිළිබද මතකය මා වට කරගෙන.. එක වෙලාවකට හිතෙනවා ආයෙමත් මම නවතපු තැනින් පටන් අරන් ගම වෙනුවෙන් තාත්තා කල වැඩ නැවත ඉදිරියට ගෙන යායුතුයි කියලා ඒත්.. සමහර දේවල් දැන් වෙනස් කරන්න බැරි බව සිහි වෙනකොට හිත අසරණ වෙනවා..

24 December 2009

වැපිරීම සහ නෙලා ගැනීම...

අද උදෑසනම සේවය නිමවෙලා ගෙදර එන්න හිතාගෙන හිටියත් ඒක හරි ගියේ නැහැ. එක් අයකුගේ අඩුවක් සදහා වෙනත් අයකු යොදවා ඔහුට අදා ල රාජකාරින් පිළිබදව තරමක් දැනුවත් කරලා වෙලාව බලන කොට10යි. මොනවා කරන්නද? උදේ ඉදලා වතුරවත් බීලා නෙවෙයි හිටියේ. ඉක්මනට ගෙදර ඇවිත් නාලා උදේට කෑවා. තව ටිකකින් දවල්ට මොනවා හරි උයන්න ඔන. රෙදි ටිකක් හෝදන්නත් තියෙනවා වෙනදා මෙ වෙන කොට මම මෙ වැඩ ඔක්කෝම කරලා ඉවරයි.හැමදාමත් මෙ වගේ අළුත් අයෙක් පුහුණු කරවන්න ගියහම දවස් තුන හතරක් යනකල් මට විවෙකයක් නැති වෙනවා. ඒකත් කමක් නැහැ. කාලා ඉවසන්න අමාරුම දේ තමා මම උගන්වන දේ තව ටික දවසකින් මටම උගන්වන්න සමහරු ලෑස්ති වෙන එක.මම දැනට සේවය කරන තැන වැඩ බාර අරගෙන දැනට අවුරුදු එක හමාරකට ආසන්න වෙනවා. මෙ ස්ථානයට මාත් මගේ කණ්ඩායමත් අළුතින්ම ආව දවසේ අපිට ස්ථානය පිළිබදව කිසිම පෙර දැනුවත් කිරීමක් නිසි පරිදි කෙරිලා තිබුනේ නැහැ. වැඩ බාර ගන්නා දවසට දින දෙකකට කලින් මම පෞද්ගලිකවම මෙම ස්ථානයට ඇවිත් සොයා බැලීමක් කලත් සෙනසුරාදා දිනයක් වූ නිසා වැඩි යමක් අධ්‍යයනය කරන්න ලැබුනේ නැහැ.

මාසයේ පළමු වැනිදාවක් වූ සදුදා දිනක හරියටම උදේ 7.30ට රාජකාරි හුවමාරුව සිදු උනා. හරියට කරකවලා අත හැරියා වගේ. නොදන්නා භූමියක, නොදන්නා මිනිසුන් සමූහයක් මැද, කල යුත්තේ කුමක්දැයි හරි හැටි නොදැන තවත් සහයක නිලධාරීන් 8 දෙනෙකුත් සමග මාව අන්දුන් කුන්දුන් වෙලා ගියා. පාලනාධිකාරියෙන් අපට ලැබුනේ නීති රීති මාලාවක් සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ලැයිස්තුවක් පමණයි.

අපේ කණ්ඩායමෙ භාරකාරත්වය මා හට පැවරුනත් එතැන සිටි ලාබාලම සාමාජිකයා උනේ මම නිසා වැඩිහිටියන් පාලනයේදී අලූතින් ඉගෙන ගන්නට දේවල් බොහෝමයක් තිබුනා. ඊටත් වඩා ආයතනයේ උසස් නිලධාරීන් සහ සේවකයින් පවා අප කෙරෙහි එතරම් විශ්වාසයක් ඇති බව පෙනෙන්ට තිබුනේ නැහැ. මීට ප්‍රථම සිටි සේවා සපයන්නන් රාශියකගෙ පූර්වාදර්ශ මත ඔවුන් අප කෙරෙහිද පූර්ව නිගමන වලට බැස ගෙන තිබූ බවක් දක්නට ලැබුනත්, මම වැඩ පටන් ගත්තා. පාලනාධිකාරියේ අවශ්‍යතාවයන් මත පදනම්ව නිලධාරීන් වර්ග කොට ඔවුන්ට නියමිත රාජකාරී ඛෙදා වෙන් කර දී සියළු දේම යථා තත්වයට ගන්නට සති දෙකක පමණ කාලයක් ගත වුණා. මුල් දවස් වල මම උදේට කනකොට 11යි,දවල්ට කන්නේ හවස 4ට විතර. රෑට කනකොට 11.30යි. කොහොම නමුත් අද වෙන කොට ආයතනයේ පාලනාධිකාරියට අප කෙරෙහි ඉමහත් විශ්වාසයක් ඇති කරන්නට පුළුවන් වී තිබීමත්, සේවකයින් අතර ගරුත්වයක් ඇතිව රාජකාරී කරන්නට හැකි පරිසරයක් නිර්මාණය කරන්නටත් අපට හැකි වී තිඛෙනවා.

මෙ වසර එක හමාරක කාලය තුලදී මා හට විවිධ අවස්ථාවන් වලදී නිලධාරීන් 20කට ආසන්න ප්‍රමාණයක් අළුතින් පුහුණු කරන්නට සිදුව තිඛෙනවා. රාජකාරයෙහි තිඛෙන අසීරුකම නිසාත් විනයක් ඇතිව රාජකාරි කිරීමට නොහැකි වීමත් යන කරුණු මතත් පෞද්ගලික හෙතූන් මතත් අපෙන් වෙන්ව ගිය පිරිස වෙනුවෙන් නිතරම නවක නිලධාරීන් පුහුණු කිරීමට වීම ඇත්තෙන්ම වෙහෙසකර කටයුත්තක්. එසේ පුහුණු කරවීමේදී ඒ සදහා මා යොදා ගන්නේ මාගේ විවෙක කාලයන් වන නිසා කිසිසේත්ම එම කටයුතු වෙනුවෙන් මා හට පෞද්ගලික හෝ ආර්ථික වාසියක් නොවුනද, උසස් සේවාවක් ආයතනයට ලබාදීමට හැකි වීමත් එමගින් කිහිප දෙනෙකුගේම රුකියා අවස්ථාවන් සුරක්ෂිත කරලීමටත්(මාගේත් ඇතුළුව) හැකි වීම තුලින් මා ලබන සතුට උපරිමයි.

මෙහිදී සිත කලකිරවන සුළු සිදුවීම් නැතුවාම නොවෙ. මා විසින් රැකියා ලබාදී මැනවින් පුහුණු කර සෙවයේ නිරත කරවූ ඇතමුන් පසුව මූසිලයින් ගේ තත්වයට පත්වීම හරහා යම් තරමක සිත් වෙදනාවන්ට ලක්වීමට සිදුවු වාර ගණනාවක්ම ඇතත් ඒ හැම වෙලාවෙම ලොකස්වභාවය පිළිබදව සිතා සැනසීම හැර අන් යමක් නැති බැවින් සිත හදාගෙන ඉදිරි කටයුතු කරගෙන යනවා විනා වෙනත් කල හැකි අන් කිසිවක්නැත.අදත් මා විසින් සුළු නිලධාරියකුට උසස්වීමක් ලබාදීමෙ බලාපොරොත්තුව ඇතිව පුහුණුවීම් ආරම්භ කලද තවත් මාස කිහිපයක් යන විට තත්වය කොයි අතට හැරෙවිදැයි කිව නොහැක..

කෙසේ නමුත් අන් අය කුමක් කලත් මාගේ කොටස මා විසින් ඉටු කල යුතුමය.. අඩුම තරමෙ මට මාගේ සිතට හෝ වංක නොවී සිටිය හැක... මෙ ජීවත් වන ටික කාලයට මීට වඩා වෙන කුමක් බලාපොරොත්තු වන්නද..?

19 December 2009

යසෝධරා මගහැරිලා...

සසර ගමන දිගුය.. නිමාවක් ඇවසි වූවද එය ලබා ගැන්ම පහසු නැත.. දනට පිනට නැඹුරු වෙමින් පිරිය යුතු පෙරුම් කොතෙක්ද.. එසේ හෙයින් අකමැත්තෙන් වූවද තව දුරටත් යා යුතුව තිබෙ.. දැනුම් තේරුම් ඇති වූ දා පටන් සෙව්වෙමි.. සොයන්නේ කුමක්ද යන වගවත් නොදැන සෙව්වෙමි.. වරෙක හමු විණි යැයි සිතිණි.. නමුත් එය එසේ නොවන බව පසක් වන විට නැවතත් දහස් ගණන් රූපකායන් අතර තුර විමසුම් දෑසින් බලා උන්නෙමි.. නමුදු තවමත් හමු වී නැත.. මා මග වරදවා ගත්තාදෝ.. නැතිනම් ඇය මග වරදවා ගත්තාදෝ..මට නොහැගේ.. කුමක් නමුත් වරදක් සිදුව ඇත.. පස් මහ බැළුම් බලන්නට හැකි විණිදෝයි නොදනිමි.. බාගදා නොහැකි වන්නට ඇත.. ඇය වෙනත් දේශයකද..දීපයකද.. කාලය වැරදුනාවත්ද.. නොදනිමි.. එක් දෙයක් පමණක් ඉදුරා දනිමි.. ඇය තවමත් මුණ ගැසී නැත..
සසර ගමනේ අතර මගදී .. මග හැරී ඇත කොතැනකදි හෝ..

16 December 2009

මංගලගේ මොන්ගල් අංක 02- මඥ්ඥං වීම..

ඉතින් නැවත වරක් මාගේ රට වැසි ජනයා වන ඔබ තමුන්නාන්සේලා අමතන්නට මා හට සිත් වූ බැවින් මෙසේ වූ සටහනක් තබමි.. මීට පෙරද මෙවැනිම වූ සටහනකින් ඔබ හමු වූවා මතක ඇතැයි සිතමි.(කාලීන දේශනා (අංක 1) මං ගලගේ මහා මොංගල් ජාතකය)
එදින මා විසින් ප්‍රකාශ කලා මෙන්ම මා විශ්වාස කල පරිදිම උන්ගේ සෙනෙවියා ( දිනනවා කියලා හිතපු දවස් වල නම් අපේ ) පැරදීමට තවත් අවශ්‍ය වන්නේ එක් කාරණයක් සම්පූර්ණ වීම පමණි. එම වැදගත් කරුණ නම් සිංහාසන සටන පැවැත්වීම පමණි. කරුමයට වාගේ ඒ සඳහා තවත් ටික කලක් තිඛෙනා බැවින් මෙ ටික කාලය තුලත් මොන මොනවා හෝ වැල් බයිලා ටිකක් කියමින් කාලය ගෙවා ගැනීමට මාහට සිදු වී ඇත.මෙය මෙසේ වෙවි යැයි මා දැන උන්නද මෙ තරම් ඉක්මන් වෙයැයි මා තබා මා මිතුරු රනිල විකුම්සිහ වත් සිහිනෙන්වත් නොසීතූවිරු මනාය. එනමුදු එම පරාජයේ මාවත මෙ වන විට පැහැදිලිව දක්නට ලැබී ඇති බැවින් ඉදිරියේ මා විසින් ගැලවීමට ඇවැසි කරුණු කාරණා සපයා ගත යුතුව තිඛෙ. මෙ ඒ සඳහා පළමු පියවර වන බව කරුණාවෙන් සැලකුව මැන.
අහෝ මා වැනි අසරණ නරපනුවකුට කෙසේවත් සැනසීමක් නොලැඛෙනා සැටි..

රජුගේ පා පහර වැදුනු මාගේ පශ්චාත් භාගය දැනුදු නලියන්නාසේය.. එම නලියෑම දැනෙන්නා වූ සෑම අවස්ථාවකදීම මාසිතේ බුර බුරා දැල්වෙන කෝපය සංසිදුවා ගැනීමට මගක් සොයනා මා හට මහත් වූ අස්වැසිල්ලක් ලබා දෙමින් සිංහාසන තරග බිමට වන් මහ සෙනෙවිරදුන් විසින් නා ගැනීම සහ ඇන ගැනීම මනා ලෙස කරනා කලට ජය ලබනු තබා තරග වැදීමට වත් හැකිවෙදෝයි කිව නොහැකි තත්වයක් දැන් උදා වී ඇත.දැන් සිදුව තිඛෙනුයේ රජු හා සටනක් නොව තරග බිමට පිවිස සිටින දමිළයාටත් පරදින තත්වයකි. දැනට සෙනෙවියාණෝ කරමින් පවතින කියුම් කෙරුම් දෙස බලනා කලට ඉතිරි දින කිහිපය තුලදී රජාට හෝ දමිළයාට පමණක් නොව පචබාහු ශූරීන්ටද පැරදීමට හොදටම අවකාශ ඇත්තේමය.

ඉතින් මා විසින් කවරක් කරන්නෙම්ද..?

ජනතාව පෝරකයට දක්කවමින් විමුක්තිය ලබා දෙන්නා වූ පෙරමුණේ වැව් කුමාර දිසානායකයන් සමග එක්ව සෙනෙවිරදුන් මැදින් තබාගෙන මාජ්ජ සාකච්චා පවත්වා හෝ ජාම ඛෙරා ගත නොහැක.අප කෙතරම් කොටා පෙවූවත් සෙනෙවියා අපද පච වී යන අන්දමෙ ප්‍රකාශ නිකුත් කරන කලට ඔළුව මෙසයක් යට හංගා ගන්නවා හැර අසරණ මා කුමක් කරන්නද..? සියල්ල මෙසේ වෙතොත් අවසානයේ වන්නේ වැව් කුමාරත් සමගම ගගේ මූදේ පනින්නටය.

අහෝ මාගේ මතු රජ වීමෙ අපවිත්තර චෙතනාව හිරු දුටු පිනි බිදු මෙන් වියැකී යන අන්දම...

දැන් ඉතින් සිදුවන්නේ පැරණි බයිලාවක් නැවත වාදනය කරන්නට නොවෙද..? මෙ සෙනෙවියා යුධයට තබා ගැලවීමෙ හමුදාවකටවත් සුදුසු නොවන බව මුලින්ම ප්‍රකාශ කල මා කෙතරම් නම් මතු අනාගතය පිළිබද අනා වැකි කියන්නට සමතෙක්දැයි ප්‍රකාශ කර මාගේ ජාමෙ ඛෙරා ගත යුතුමය. එසේ පැවසූ විට මෙ රටෙ බත් කන වෘෂභ රාජයින් කැල එයද පිළිගනු ඇත. ඇවැසි නම් ගුරු දින නිග්‍රහය කරනු ලබන බත් බැලයකුට සම්තින් පාරක් දී ඔහු ලවාද ලක්දීප වැනි පුවත් පතකින් පබ්ලිසිටියක් වූවද ලබා ගත නොහැකිද?

හහ් හා.. ආනාගතය කලින්ම දකිනා මොංගල් තුමා යන විරුදාවලිය මා හට ලබා ගත හැක..

ඉදින් එසේ කොට හෝ හැමදාමත් කරන්නාක් මෙන් මා පොරක් යැයි මා විසින්ම ලොවට හඩ ගා කිව යුතුය. මෙ සෙනෙවියා රජ කරවීම පසෙක ලා මා හට කරන්නට තව බොහො කාර්යයන් ඇත්තේය..මී ලග දියවන්නා තරණ සටනින් ජයගෙන අසුනකට හිමිකම් කීමට පොටක් පාදා ගත යුතු නොවෙද? නොඑසේ නම් මා හට නැවතත් සිදුවන්නේ අග නුවර සරන ස්ත්‍රීන්ට සළු පිළු අන්දවමින් දිවි රැක ගැන්ම නැවත ජීවිකාව වශයෙන් කරන්නටය. නමුත් එහිද කිසිදු රසයක් නොමැත්තේ දැන් ඉතින් මා සොයා විත් තම ශරීරය මා ලවා අත ගාවාගෙන සළු පිළී අන්දවා ගන්නට පැමිණෙතොත් ඒ රෝස නොනා හෝ චෞර රැජිනියන් විනා අන් කවර නම් අගනුන්ද..? අවම වශයෙන් විකුම් සිහගේ භාර්යා තොමොද මා වෙත පැමිනෙන්නේ නැති වග මා හට නම් සක් සුදක් සේ පැහැදිලිය. එවන් අගනුන් නැති වූවද කම් නැත.. තොල් රතු කොළු පැටවකු හො මා සොයා ඒ නම් සිත සනසා ගත හැක.

එසේත් නොවුන හොත් මෙ ජීවිතයෙන් කුමන පලක්ද..? මහා බියක් මසිත උපදී ... නැත නැත එවන් විපතක් වනවා තබා සිතන්නටද මා බිය වෙමි. එසේ හෙයින් නැවත වතා වක් අසුනක් දිනා දියවන්නාව තරණය සදහා හංසයාගේ පිට මතම නැගී යෑමට වැව් කුමාර මලයා ඇතුළු සිගාළ රැලට ඇරයුම් කල යුතුය. එවන් වූ යෝජනාවකට මා මෙන්ම උන් ටිකද එකග වන බව නම් මා හට විශ්වාසය. මක් නිසාද යත් තනිව තරග වැදීමට ගියහොත් මා හට මෙන්ම උන්ටද වන්නේ දියවන්නාව දෙස බලමින් ඒ ඉදිරිපිට ඇති මාවතෙහි සිගා කමින් ඇවිදින්නටය. සෙනෙවියා කරෙන් බිමට දමා ඒ සදහා දැන් පටන් ලක ලෑස්ති විය යුතුය..

ඉතින් අවසර දෙන්න මා හට.. හංසයාට හට පෙම් බඳින්නට...

14 December 2009

පාළුවට කියන බණ නොහොත් බණ කියන සැන්දෑව..

සුපුරුදු පාළු සෑදෑ සමයක්.. වෙනසකට තියෙන්නේ ඇදහැලෙන සිහින් වර්ෂාවෙ ශබ්දය. හුග දවසකට පස්සේ ආයෙමත් මගේ සටහන් සින්ඩියේ යනවා. පහු ගිය දවස් වල සටහන් තබනවාට වඩා කාලය ගත කලේ අන් අයගේ සටහන් කියවන්නටයි.
වර්ෂයක් ගෙවිලා තවත් වර්ෂයක් ලබන්නට ආසන්නයි. ගත වූ වර්ෂය දෙස ආපසු හැරී බැලීමක් කරන්න උත්සහ කලත් ඒ හැටි වැදගත් යමක් ඒ තුළ නැහැ. එකම දෙයයි තිබුනේ ඒ තමා මම මගේ ජීවිතේදී හුගක්ම ආදරෙ කල .....නි මගෙන් වෙන් වීම. මම මෙතන ` හුගක්ම ` කියන වචනේ යොදා ගත්තට එතනට හරියන නියම වචනය ඒක නෙවෙයි කියලා හිතෙනවා. එතනට එන්න ඔන `මගේ පණ වගේ `කියන වචනයක්. කොහොම උනත් ඒ දේ සිද්ධ උනා. ජීවිතේට නැවත ආදරයක් ලං කර ගන්නේ නැහැ කියලා හිතාගෙන වසර 6ක් විතර කාලයක් මගේ පාඩුවෙ ඉන්න කොට තමයි මට එයාව හම්බ උනේ.ඇත්තටම මම මගේ ලොකේ තනිවෙන්න පටන් ගත්තේ 2001 අවුරුද්දේ වගේ ඉදලා. ඒ කාලේ ඉදලාම මම එයාව දැන හැදිනගෙන හිටියා. ඒත් අපි අතරෙ සම්බන්ධයක් තිබුනේ නැහැ. අපි දෙන්නා වසර 6ක් පමණ අසල්වැසියන් ලෙස ඇසුරු කලා පමණයි. ඒ කාලය තුල ඇය විවහා උනා, ඒ විවාහය කඩාකප්පල් උනා. නැවතත් ඇය මගේ අසල්වැසියා උනා. අසල් වැසියන් උනත් ඇයත් මාත් අතර එතරම් හොද සම්බන්ධතාවයක් තිබුනේ නැහැ. වරින් වර පොදු වැඩ කටයුතු වලදී රණ්ඩු උනා හැර. නමුත් 2008 වසර වන විට අපි දෙන්නා නොහිතූ තරම් සමීප උනා. අපි දෙන්නා අපි දෙන්නාගේ අත්දැකීම් ඛෙදා හදා ගත්තා.තනි වෙලා හුන් අපි අපේම ලෝකයක් තනන්න පටන් ගත්තා. ජීවිතේ සුන්දරම සමයක් ගෙවිලා ගියා. අවසානයේ ඈ ඇගේ මවටත්, ඥාතීන්ටත් අවනත උනා. නොසිතූ මොහොතක ඈ නැවතත් විවාහ වූ පුවත අනුකම්පා විරහිතව දන්වා සිටියා. මගේ ලොකේ බිඳ වැටුනා. අදටත් ඇයව අමතක කරන්න හෝ ඇයට වෛර කරන්න මට බැහැ. දැන් ඇය රෝගී තත්වයක් නිසා බොහෝ සේ අසරණ වෙලා. ඒ පිළිබඳව මා හට කල හැකි යමක් ඉතිරිව නැතත් ඇය වෙනුවෙන් මගේ හිත පුරා පුපුරු ගසන දුක ඇයට කියන්නට වත් නොහැකි වීම මා තවත් අසරණ කරවනවා.ඒ අදුරු කාල පරිච්ඡෙදයේ ඇරඹුම සටහන් වූ වසර ලෙස වූ සැමරුම හැර අන් කිසිත් දෙයක් මෙම වසර තුල නොවූ තරම්. ආ තව එක දෙයක් තියෙනවා. 2001 දී නවතා ලූ මත්පැන් සමග නැවත ලගින් ඇසුරු කරන්නට ගත් වසරද මෙයයි.
උපන් දා සිට වසර 30ක් ගත වී ගොස් අවසානයි. එළඹෙනුයේ 31 වන වසරයි.. මෙතෙක් කාලයක් ජීවිතය ගලා ගෙන ගිය ආකාරය හරිම පුදුමාකාරයි. බුදු බණ කොතරම් සත්‍යය දැයි මා හට පසක් කර ගැනීමට මෙ අවුරුදු 30 ඇතුලත මට යම් තරමක හැකියාවක් ලැබුනා. මා සිතන අන්දමට එය තමයි මා ලද වටිනාම දේ. නමුත් වරදවා තේරුම් නොගන්න මා තවමත් පුහුදුන් මිනිසකු පමණයි. එනිසාම අවබොධ කරගත් ධර්මය පිළිපැදීමෙදී තවමත් මා ඉතාමත් ප්‍රාථමික අවස්ථාවකයි සිටින්නේ.කාලයේ වරදක් හෝ සමාජයේ වරදක් නොව බැදීම් වලින් මිදෙන්නට අප හට තිඛෙන උවමනාව අඩුකමත් තණ්හාව නැමැති අකුසල මූලය අප සිත් සතන් තුල දළුලා වැඩීමත් මෙයට හේතුවයි. එය දුරු කිරීම පහසු නැත. සිතත් සමග කල යුතු මහා සටනකි. තවමත් එම සටනෙහි ජය මාවත පාදා ගැනීමට මා හට නොහැකි වී ඇත.
මා හට පමණක් නොව මෙ සසර වසන බොහෝ දෙනෙකු මෙ ලොකය නැමැති මායාව තුල පැටලී ඒ තුලම සිරවී සිටී. මෙය මායාවක් බව හදුනා ගත් නමුත් එයින් ගැලවීමට නොහැකිව ලත වෙති.වරද තිඛෙනුයේ අවබෝධයේ අඩුවක් නිසා නොව පිළිපැදීමට තිඛෙන අකමැත්තයි. වීර්යය මඳ කමයි. හැකි නම් රෙරුකානේ චන්දවිමල නාහිමි විසින් රචිත ~පාරමිතා ප්‍රකරණය~ පොත සොයා ගෙන කියවන්න. එහි තුන් වැනුව එන ~නෙක්කම්ම පාරමිතාව~ කියන කොටසට යන්න. මා ද ඇතුළුව අප සියල්ලන්ම මෙ සසර හැරපියාලන්නට නම් අතහැරීම යන විෂය කොතෙක් දුරට ප්‍රගුණ කළ යුතුදැයි කියවා තේරුම් ගන්න. දැනට මා සතුව එම පොත නැති බැවින් එහි ඇති තොරතුරු උපුටා දක්වන්නට නොහැකි වීම ගැන සමා වන්න. ජීවිතයේ අරුත සොයන සෑම පුද්ගයකු විසින්ම කියවිය යුතු පොතක් ලෙස ~පාරමිතා ප්‍රකරණය~ හදුන්වා දිය යුතුය.~ තණ්හක්ඛයෝ නිරොධො නිබ්බාණං~ (තණ්හාව නොඑසේනම් සසරට ඇති ඇලීම, ආශාව දුරු කර ගනීමම නිවන ලෙස හැදින්වෙ.) කොයි තරම් දැන ගත්තත් ,අවබොධ කරගත්තත් තවම බැරි උනා පිළිපදින්න. ඒ තරමට මෙ ලොව විසිතුරු පෙනුමට මම රැවටිලා. අතහරින්න තියෙන අකමැත්තක තරම. මං වගේ කරුමක්කාරයෙක්.

නැවත පැමිණීමෙ සතුට..

ආයෙත් වතාවක් සින්ඩියට පැමිණෙන්නට ලැබීම හිතට පුදුම සතුටක් එකතු කල කරුණක්. ඒ සඳහා උදව් උපකාර කළ සියළු සහෘදයින්ට හද පිරි ස්තුතිය පිරිනමමි. දුක් පිරුනු සසර ගමනෙහි අවසානය අවිනිශ්චිත චාරිකාවක නියැලෙන අතර තුර තාවකාලිකව හෝ සතුටු වීමට අවස්ථාවක් ලද විට සතුටු නොවී බැහැ. ඉතින් කාලයකින් ලැබුණු සතුට මම භුක්ති විදිනාතුර ඒ සතුට ඹබ සෑම දෙනා සමගම ඛෙදා ගනිමි. ඉතින් අවසරයි නැවතත් ජීවිතය අකුරු කරන්නට..

10 December 2009

උඩුගං බලා පිහිනීමෙ අසීරුව..

අදත් ඉතින් ඔන්න මොනවා හරි ලියන්නයි කල්පනා කලේ. මොනවා ලියන්නද කියලා කල්පනා කලත් හරි හමන් දෙයක් ඔළුවට එන්නෙම නැහැ. අදහස් නැතුව නෙවෙ, ගැලපීමක් නැහැ. ආ ආව ආව.. මට හිතුනා ඊයේ උන දෙයක් ඇසුරින් යමක් ලියන්න. මම ජීවිත කාලේ පුරාම විවිධ රැකියා රාශියක් කරපු කෙනෙක් මම එක දිගට රැකියාවක් වැඩිම කාලයක් කරලා තියෙන්නෙ අවුරුදු 3යි. අනිත් හැම දේම ඊට වඩා අඩුයි. කොහොම උනත් ඒ හැම රැකියාවකින්ම මම තෘප්තියක් ලැබුවා. පහේ ශිෂ්‍යත්වෙ පාස් වෙලා කොළඹ ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපන වරම් ලැබුනත් ඒ සමාජය සහ පරිසරය මට ඔරොත්තු නොදුන් නිසාම ගමෙ පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යයකු වූ මා අවසානයේ නිකම්ම නිකං ඔපපාතිකයකු ලෙස අධ්‍යාපනය හමාර කලා.ඊට පසුව ආරම්භ උනේ ජීවන සටන ගෙන යාමෙ අරගලය. මගේ වාසනාවට වගේ කුඩා කල ඉදන්ම මට ලොකු බලාපොරොත්තු තිබුනේ නැහැ. අතට අහුවෙන ඔනම දෙයක් රැකියාව වශයෙන් මම කලා. හැබැයි අනුන්ගේ දේ කඩා වඩා ගන්න ආකාරයේ කිසිම දෙයක් එදා මෙදා තුර මගේ අතින් වෙලා නැහැ. සාධාරණ රැකියාවක් නම් මහන්සියේ තරමට ආදායමක් තියෙනවනම් ඊට වඩා ලොකුකම් මට වැදගත් උනේ නැහැ. අපේ ඥාති පරපුර අතර මා හිතුවක්කාරයකු ලෙස හංවඩු ගැහෙන්නත් මගේ මෙ ජීවන රටාව හේතු උනා කියලා කිවුවොත් ඒක නිවැරදියි.
ගුවන් හමුදාව , පොලීසිය, රක්ෂණ සමාගම්, ලංගමය සහ පෞද්ගලික ප්‍රවාහන සේවය යන දෙඅංශයේම කොන්දොස්තර, වඩු වැඩ, මෙසන් වැඩ, ගරාජ්, ඉලෙක්ට්‍රිකල්, වයරිං වැඩ, ත්‍රිරොද රථ රියදුරු, කම්කරු, ආදී සාමාජයේ දුක් විදින පංතිය නියෝජනය කරන රැකියා රාශියක් ඒ තුල අඩංගුයි. ආ මගේ පළමු රැකියාව උනේ බයිසිකල් වින්කලේක හුළං ගැසීම. පසුව වැඩ ඉගෙන ගෙන වින්කල් බාස් දක්වා උසස් වෙන්නත් මට පුළුවන් උනා. දැන් කාලෙකින් නොකලා උනත් බයිසිකල් රොදයක් බකල් අරින එක තරම් ආස වැඩක් අදටත් මට නැති තරම්.කොයි තරම් සුන්දර කාලයක්ද ඒක..
ඔය රැකියා කිරීම මම ආරම්භ කලේ මට වයස 14 වගේ කාලේ ඉදලා. මම මත්පැන් පානය ආරම්භ කරන කොට වයස 16ක් විතර ඇති. අවුරුදු 19 විතර වෙන කාලේ මම කන පැලෙන්න බොනවා. හැබැයි ඔය හැම දේ අතරෙම කීය කීය හරි ඉතිරි කරන්නත් අමතක කලේ නැති නිසාම වයස 24 වෙන කොට කුඩා වෑන් රථයක සහ තුන් රෝද රියකත් හිමිකරු වෙන්න මට පුළුවන් උනා. අම්මා තාත්තගෙන් තල්ලුවක් නැතිව ඒ තරමට හරි ගමනක් යන්න පුළුවන් උනාට එයින් පසුව යම් යම් හේතු කාරණා උඩ ජීවිතය පිළිබද හට ගත් මහා කළකිරීමත් ජීවිතේ කඩා වැටෙන අවස්ථා වලදීත් වචනයකින්වත් සහයක් නොදෙන මගේම නිවසේ උදවියත් නිසා හැම වත්කමක්ම අතහැරලා නිවසින් පිටව යන්නට අවස්ථාවක් එළඹීමත් නිසා වයස 24 දී කාත් කවුරුවත් නැති අනාථයෙක් වගේ පිටව ගිය මා අදටත් තනිවම සැරිසරන්නෙක්.
ජීවිතයේ හෝ සංසාරයේ කල මහා පිනක් නිසා බෞද්ධ පරිසරයක් ආශ්‍රිතව වසර 5ක කාලයක් ගත කරන්නට වෙන්නෙ ඊට පසුවයි. ඒ කාලය තුල ජීවිතයට බොහෝ වටිනාකම් එකතු කරගන්න මට හැකි උනා. බෞද්ධ දර්ශනය පිළිබද ලබා ගන්නට හැකි වූ දැනුමත්, ජොතිෂ්‍යය පිළිබද දැනුමත් ඒ අතරින් විශේෂයි.ඒ වගේම කුඩා අවදියේ දවස් පහක්වත් දහම් පාසල් නොගිය මං දහම් පාසලක ගුරුවරයකු ලෙස ආරම්භය ලබා ගෙන එහි ප්‍රධානාචාර්ය තනතුර දක්වා ගමන් කරන්නේත් මෙ කාලයේදීයි. වයස 24 සිට 29 දක්වා කාලය තුල එලෙස ජීවත් වූ මා ඉන් අනතුරුව නැවතත් එම පරිසරයෙන් ඈත්වී නැවත වතාවක් පෞද්ගලික ආරක්ෂක අංශයට සම්බන්ධව රැකියාවක් තෝරා ගත්තේ ආරක්ෂක අංශය පිළිබද කොහොමටත් මගේ උනන්දුවක් තිබූනිසාම පමණක් නොව ඒ තුල යම් තරමක් නිදහස් දිවි පෙවතක් ගෙවීමට යම් අවකාශයක් වන නිසාවෙනි. ඒ අනුව දැනට මා පැය24ක සේවා කාලයකින් පසුව පැය 24ක විවෙක කාලයක් ලබමින් ඒ විවෙකය තුල මෙවැනි කටයුතුවල යෙදෙමින් නිදහස උපරිම භුක්ති විදිමින් කාලය ගත කරනු ලබනවා.
ඉතින් මම මුලින් සදහන් කලේ ඊයේ වූ සිද්ධියක් පිළිබදවයි . මගේ රාජකාරියට අනුව ඊයේ සවස් කාලයේ යම් වංචාවක් හසු කර ගන්නට මා හට හැකියාව ලැබීම නිසා ඒ අනුව කටයුතු කිරීමෙන් පසු යම් යම් අයගේ දෝෂාරෝපනයට ලක් වන්නට සිදු වීම නිසා තරමක සිතේ කනස්සල්ලක් හට ගත් බැවින් රැකියාව පවා නවතා දමන්නට සිත් වූ බව කිව යුතුය.මෙ වන කොට මා සේවය කරන ස්ථානයේ පාලනාධිකාරිය විසින් ආයතනයේ සේවයට එක් වන්නට පවා මා හට ආරාධනා කර තිබුනත් මා එම යෝජනාව බැහැර කලේ දැනට තිඛෙන නිදහස අහිමි කර ගන්නට ඇති අකමැත්තත්, මා යටතේ සේවය කරන අනිකුත් ආරක්ෂක නිලධාරීන්ගේ රැකියා සුරක්ෂිතතාවය ආරක්ෂා කර දීමත් සදහාය. මක් නිසාද යත් සාමාන්‍යයෙන් දැනට අප විසින් ආරක්ෂාව සපයන ආයතනයේ ප්‍රතිපත්ති අනුව ඔවුන් විසින් සාමාන්‍යයෙන් වසරකට අඩු කාලයකදී ආරක්ෂක සේවාව සපයන ආරක්ෂක සමාගම ඉවත් කර වෙනත් ආරක්ෂක සමාගමකට එය පැවරීම මෙ දක්වා කරගෙන ආ පිළිවෙත වූවත් මෙ වන විට අපගේ සේවය මාස 16ක් දක්වා පවත්වාගෙන ඒමට අප හට හැකියාව ලැබී තිඛෙනුයේ ආරක්ෂක අංශය තද ක්‍රියා මාර්ග ගනිමින් තම රාජකාරිය අකුරටම පවත්වා ගෙන ආ බැවිනි.එහිදී ආයතන සේවකයින් සමග සමීපවීම අවම කර තද නීති රීති සමගින් ආරක්ෂක නිලධාරීන් පාලනය මවිසින් සිදු කිරීම පිළිබද ආයතනයේ පාලනාධිකාරිය සෑහීමකට පත් වී සිටීමයි. යම් හෙයකින් මා ආරක්ෂක අංශයේ සේවය අත හැර ආයතනයේ සේවයට බැදුන හොත් අනිවාර්යයෙන්ම ඉදිරි මාසය තුල ආරක්ෂක කොන්ත්‍රාත්තුව වෙනස් කරනු ලබයි. එවිට මා සමග සේවයේ යෙදී උන් සගයින් හට අත් වන ඉරණම වන්නේ තම රැකියාවන් අහිමි වීමයි. එම තත්වය කල්පනාවට ගෙන කටයුතු කිරීම නිසාම මෙ වන තෙක් රැකියාවෙ යම් වෙනසක් කිරීමට ම අදහස් කලේ නැත.නමුත් ඊයේ වු සිදු වීමත් සමගම ඇති වූ මත පළ වීමෙදී මා අසා සිටිනවා යැයි නොදැන අපේම ආරක්ෂක නිලධාරියකු විසින් ආයනයේ සේවකයන් සමග එක්ව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිඳව මාගේ ක්‍රියා කලාපය විවෙචනය කරන්නට වීමත් තවත් සගයකු එය අනුමත කරමින් සිටීමත් දුටු විට මසිතේ ඇති වූ කලකිරීම මෙ වන විටත් සිතෙන් පහව ගොස් නැත. සාමූහික වගකීම අමතක කර සේවකයින් සමග හොද හිත ආරක්ෂා කර ගෙන කටයුතු කිරීමට ඇවැසි විනි නම් මා හටද එසේ සිටීම අපහසු නොවෙ. නමුත් එහි ප්‍රතිඵලය වනුයේ අපගේ ආරක්ෂක සේවයේ ගුණාත්මක භාවය පහත වැටීම පමණක්ම වන නිසාත් ආයතන සේවකයින් හා සමීප ඇසුර ආරක්ෂක අංශයකට පවත්වාගෙන යාම ඉතා අසීරු දෙයක් වන නිසාත් මා එලෙස ක්‍රියා නොකර සෑම විටම ආයතනික සේවකයින් දැනුවත් කර සොරකම් හා වංචා වලට තිඛෙන අවස්ථා අවම කිරීම තුලින් ආයතන පරිපාලන කටයුතු වඩාත් විධිමත් කිරීමට කටයුතු කල නිසාම මාහා අමනාප සිටින පුද්ගයින් විශාල ප්‍රමාණයක් සියදීම මගේම සගයින් ඔවුන් ගේ පැත්ත ගෙන ඔවුන් ශුද්ධ වීමත් ඒ තුලින් මා තනි වීමත් පිළබදව නැවත වාරයක් සිතා බැලීමට මාහට සිදුව ඇත.
මා බොහො දුරට දැක ඇති දෙයක් නම් නිතරම ආරක්ෂක අංශ නිලධාරීන් සමග හිතවත් වීමට උත්සහ දරන පිරිස වඩාත්ම සොරකම් හා වංචා වලට සම්බන්ධ වූවන්ය. අවංකව කටයුතු කරන බොහෝ සේවකයින් ආරක්ෂක නිලධාරීන් සමග සිනහා වීම හැරුනු කොට අන් විශේෂයක් නොමැති අය බව අත්දැකීම් තුලින් මා හට පසක් වී ඇත.බොහො විට සොරකම් වලට සම්බන්ධ වූවන් තම අදහස මුදුන් පත් නොවූ විට ආරක්ෂක අංශය සමග අමනාප වන අයයි. එසේ ම සොරකමක් ඇල්ලූ විට බොහො පිරිස සොරකම සිදු කල තැනැත්තා නොව සොරකම ඇල්ලූ තැනැත්තා පිළිබඳව විවෙචනය කිරීමත් නිතර වන්නකි. මෙවන් සමාජයක කෙසේ ජීවත් වන්නදැයි මට නොතේරෙ. මනුතාපය (ලේමිසරාබ්ලේ) නව කථාවෙ ජොන් වැල් ජොන් වැන්නවුන්ගෙ පාන් සොරකමෙත්, පුරුද්දක් වශයෙන් අනුන්ගේ දෙයක් නිතරම සොරකම් කරන සොරකම වැදගත් දෙයක් කර ගත් අයගේත් අතර වෙනස මා හට නොතේරෙනවා නොවෙ.වර්ථමාන සමාජයේ ආර්ථික දුෂ්කරතා උපරිම බව අප කවුරුත් දන්නා සත්‍යයක් වූවත් එයින් මිදීමට මග සොරකම කියා කිසිවකු කියන්නේ නම් ඒ පිළිබදව සහ එම ප්‍රකාශය කරන පුද්ගලයා පිළිබද දෙවරක් සිතා බැලිය යුතු නොවෙද? අනික් අතින් බලන කල ආර්ථික දුෂ්කරතා නිසා පීඩා විදින බොහෝ දුප්පත් සේවකයින් මා හදුනා ගෙන ඇත. ඔවුන් කිසිම හේතුවක් නිසාවත් තමාගේ රැකියාව අහිමි කර ගැනීමට කැමති නැති නිසාම සොරකම් හා වංචාවන්ට පෙලඛෙනවා අඩුය. කරතත් කරනුයේ නොකරම බැරි වූ විට පමණි. නමුත් උපතින් ලද හො යම් යම් මාර්ග වලින් හරි හම්බ කරගත් සාමාන්‍ය මට්ටමෙ සේවකයින් අතර සොරකමට ඇති පෙලබීම වැඩි බවත් සමහර විට ඔවුන් සොරකම් කරනුයේ ආර්ථික වාසි වලට වඩා තම පුරුද්ද අත් හැර ගැනීමට ඇති නොහැකියාව නිසා බවත් මා නිරීක්ෂණය කර ඇත.අසරණකම නිසාම යම් සොරකමක් කර හසු වූ බව හැගුනු යම් යම් අවස්ථාවන් හීදී සොරකම අල්වා පාලනාධිකාරියට බාර දී පසුව ඔවුන් හට සමාව ලබා දෙන මෙන් පාලක පක්ෂයෙන් ඉල්ලීම් කර එවන් පුද්ගලයින් නිදහස් කර දී ඇති අවස්ථාද ඇත. එවන් අවස්ථාවලදී මා පිළිබඳ විශ්වාසය මත සහන ලබාදීමට ආයතනය කටයුතු කලේ එයින් පුද්ගලයකු නිවැරදි මාවතට ගැනීමට ඔවුන් තුලද අපේක්ෂාවක් ඇති බැවිනි. ඒ හැර යම් සොරකමක් හසු වූ විට එය මගේ මට්ටමින් අතහැර දැමීමට මට හැකියාවක් නැත. එසේ කලහොත් එය මා විසින් කරනු ලබන සොරකමක් වංචාවක් නොවන්නේද?බොහො විට සොරකමක් අල්වා ගත් විට සොරකම කල තැනැත්තා සහ අවට සිටින්නවුන් සිතන්නේ එය ගොඩින් ඛෙරා දීමට අපට හැකි බවය. එසේ නොකලහොත් සොරකම ඇල්ලූ නිලධාරීන් මහා වරද කරුවන්ය. නමුත් අල්ලා ගන්නට හො එම සොරකම නොකර සිටියේ නම් කොතරම් හොදදැයි ඔවුන් සිතන්නේම නැත. ඉතින් වැරදි කරු කවුරුන්ද..?
මෙම සිද්ධිය මෙසේ ලියා තබන්නට වූයේ මෙ වන විට රැකියාව අත හැර ආයතනය තුලින් ලබා දෙන්නට උත්සුක වූ තනතුර භාර ගම්දො නොගම්දොයි තවමත් මසිත අවුල් ජාලයක පැටලී ඇති හෙයිනි.. එය භාර ගෙන මාගේ නිදහස අවම කර ගන්නේද? මා පිළිබඳ නොසිතා කටයුතු කරන සහයක නිලධාරීන්ගේ රැකියාවන් අවදානමෙ හෙලා මා හට සැනසීමක් ලැඛෙද? තවමත් සිත අවුල් ජාලයක් පමණි...

09 December 2009

එයයි මගේ පරම සුවය...

ගලා එමින් හද මඩලට - මලානිකව තිබුනු ලොවට..
එළියක් වී රෑ අහසට - පායා ආ සුපුන් සඳක..
විලසින් ගෙන දී ජීවය - විගසින් ඔබ ගියා ඉවත..
එහෙම උනත් සඳ මඩලට - තිඛෙන සෙනෙහෙ තාමත් ඇත..
හැමදාමත් වෙනස් නොවෙ - එයයි මගේ පරම සුවය..

08 December 2009

වෙන් කර සිටියද සිතුවිලි ගග ගලා බසී..

සමහර විට මෙ සටහන කාටවත් කියවන්න හම්බවෙන එකක් නැහැ. ඒත් පුරුද්දට වගේ මොනවා හරි ලියන්න හිතුන නිසා මෙ සටහන ලියන්න පටන් ගත්තා. ගෙවී ගිය දවස් කීපය තුළ ජීවිතය වෙනස් කරන යමක් නොවූවද තව තවත් නවමු අත්දැකීම් මෙන්ම නොයෙකුත් පුද්ගලයින් ඇසුරට ලැබුනා. ඒ වගේම විවිධ ආරංචි අහන්න දකින්න ලැබුනා. ඒ අතරින් එස්.බී. ගේ නැවත ගමන පිළිබඳව අහන්න ලැබීමත් විශේෂයි. ඒ පිළිබඳව taboo ත් ලියලා තියෙනවා මම දැක්කා. ඇත්තටම ඒ ලිපිය දැක්කම අනිත් අයට කොහොම උනත් මගේ නම් හදවත සසල උනා මොන වැරදි තිබ්බත් අපේ පංතියේ එකෙකුට අත් උන ඉරණම දුක්ඛිතයි. මට මතකයි අපේ තාත්තා මම දේශපාලනයට එන්න තිබුනු මාර්ග අහුරලා දාපු හැටි. එදා තාත්තා කළ දේ හරිද වැරදිද කියලා මට තාමත් හිතන්න අමාරුයි.නමුත් එදා ඒ ගමන යන්න ලැබුනානම් අපටද අත්වන්නේ අද එස්.බී.ට අත් වූ ඉරණමම මිස අන් කිසිවක් නොවන බව නම් පැහැදිලියි.ඒ පිළිබඳව ඊට වඩා කියන්න දෙයක් නැහැ.
ජනාධිපතිවරණය පිළිබඳවත් රටෙ තොටෙ කථා වෙනවා. මට නම් චන්දේ දාන්න වෙන්නේ නැහැ. මොකද මම දැනට ඡන්දය අහිමි පුරවැසියෙක් වන නිසා. මම මගේ කලින් පදිංචිව සිටි ග්‍රාම සේවා වසමෙන් මගේ පදිංචිය ඉවත් කර ගත්තත් දැනට කුලියට සිටින ප්‍රදේශයේ ලියා පදිංචි නොවූ නිසා. ඇත්තටම මෙ රට හරි අපූරු රටක් මම දැනට මෙ පළාතට ඇවිත් අවුරුද්දකට ආසන්න වූවත් තාම මෙ හරියේ ග්‍රාම සේවක උන්නැහෙ කවුද කියලා මම දන්නේ නැහැ. ඒ උන්නැහෙත් මං වගේ පුරවැසියෙක් තමාගේ රාජකාරි බල ප්‍රදේශයේ ඉන්නවද කියලා දන්නේ නැහැ. මෙතනට එන්න කලින් මම පදිංචි වෙලා හිටියේ පොලිසියකට ඉතාම ආසනන් ඉඩමක පිහිටි නිවසක. එතන මම මාස 6ක් හිටියා. එහෙම ඉදලා මම එතනින් එන්න සතියකට විතර කලින් තමයි මම කවුද කියලා අදුරන්නෙ නැති හින්දා අසල් වැසියන් විසින් කරපු පැමිණිල්ලකට අනුව පොලිසියෙන් ඇවිත් බලලා ගියේ. ඔන්න අපේ රට. මෙහෙ බින් ලාඩන් හැංගිලා හිටියත් ඔච්චර තමයි. සක්විති උනත් මෙ ලංකාවෙම ඇති කියලා මට හිතෙනවා.
ඉතින් චන්දය අහිමි වුවත් මගෙ පැතුම ජනාධිපති ලෙස නැවත වරක් මහින්දම පත්වෙවා කියන එක තමයි. ඒකෙන් මම කියන්නෙ පොදු පෙරමුණට බලය ලැඛෙන්න කියන එක නෙවෙයි. මහින්ද දිනන්න කියන එක විතරයි. මහින්දගේ කරෙන් පාර්ලිමෙන්තු යන්න ඉන්න හිපාටුවො ටිකටනම් කෙල වෙලා යන තරමට මම කැමතියි. කවුරු මොනවා කිවුවත් මහින්දගේ ක්‍රමයට මම කැමතියි. මිනිස්සු කරන ලොකුම චෝදනාව වන සහෝදර සමාගමට මම පක්ෂයි. මම උනත් ජනාධිපති උනානම් මට විස්වාස සහ මට වැඩ ගන්න පුළුවන් අය ලං කරගන්නවා ඇර එන එන හැම කෙනාම ලං කර ගන්නෙවත් ඔනවට වඩා බලතල දෙන්නෙවත් නැහැ. මහින්දගෙ පිනට එහෙම සහොදරයො ටිකක් ඉන්නේ. අනික දැන් විපක්ෂය සහ විපක්ෂයට පක්ෂ අය කරන දූෂන වංචා චොදනා කොයි රජයකට උනත් පොදුයි. ඔය කෑ ගහන හැම කෙනාම බලයට එනකල් විතරයි කෑ ගහන්නේ ආවට පස්සේ ඒවා මතක නැහැ. අනික ඔය කෑ ගහන හැමොටම බලය ලැබිලා තිබුනු කාලත් අපි දැක්කා . එ කාල වලදී ඒ අය හැසුරුණු විදිය අමතක වෙන්න තරම් මැරිලා උපන් අය මෙහෙ නැහැ. 48 ඉදලා මෙ රට පාලනය කල කොයි කාගෙත් හොදකමෙ තරම අපි තාමත් ගෙවනවා. එහෙව් එකේ රහතන් වහන්සෙලා ඇර වෙන කවුරු ආවත් ඔය ටිකම තමයි හැමදාමත් වෙන්නේ. මම දන්න තරමින් නම් මෙ චන්දෙටත් මාර්ගඵල ලාභී අය කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ. විශේෂයෙන් සරත් ෆොන්සේකා ගැන කථා කරලා වැඩක් නැහැ. මොකද මමත් පොලිසියෙත් ගුවන් හමුදාවෙත් සේවය කල අයකු නිසා, සරත් ෆොන්සේකා වැනි අණදෙන්නන් පිළිබඳව හොඳ වැටහීමක් තියෙන නිසා. වරදවා තේරුම් ගන්න එපා. සරත් ෆොන්සේකාගෙ යුධකාමීත්වය ගැන මම විවෙචන කරනවා නෙවෙයි, හමුදා පසුබිමක් තුළ තිඛෙන පාලන ක්‍රමයකින් තෙම්පරාදු උන අයකුට සිවිල් සමාජය තුළ ගැලපෙන්න තිඛෙන අපහසුව දන්නා නිසා යි එහෙම කිවුවෙ.
ඔහොම තමයි මම මෙ දවස්වල අහපු දැකපු දේවල් ගැන හිතන්නෙ. තව දේවල් තියෙනවා ඒත් දැන් ලියන්න කම්මැලියි. ඔන්න මම නැවැත්තුවා.

06 December 2009

මාව කපලා..

මොන වරදක් කලාටද මන්දා මාව සින්ඩියෙන් කපලා. මම ලියපු සටහනක් වැරදියට තේරුම් අරගෙන කියලයි මම නම් හිතන්නෙ ලිපියේ අවසානය දක්වා කියවලා ගත්තු තීරණයක් නම් නෙවෙයි කියලා හොදටම තේරෙනවා. ඒත් ඉතින් දැන් මොනවා කරන්නද? පුළුවන් උනොත් ආපහු එන්න බලනවා. ඒ මොනවා උනත් එක දෙයක් මම තේරුම් ගත්තා. වාරණය කියන එක පිළිබඳව සැලකිල්ලක් නොදක්වා ලිවීම අනතුරුදායකයි.(අපිට මොන තරම් දේ කියන්න තිබුනා උනත් අදහස් ප්‍රකාශ කිරීමේදී නිර්මාණශීලීත්වයට වඩා කපන මණ්ඩලේ ගැන අවදානය යොමු කල යුතුයි.එයින් අපේ ප්‍රකාශන ශක්තිය මොට වෙනවා උනත්)

02 December 2009

අතීත සැමරුම් අංක 1- සංජීවනී සමග මාගේ ප්‍රථම එකතුවීම..

ජීවිතයේ එක් විරාමයක නැවතී සිටිනාතුර විටින් විට සිහියට නැගෙන මතකයන් අතර මා විටක අතරමං වන්නේය. සමහර මතකයන් ඉතා වෙදනාකාරී වන අතර තවත් මතකයන් සිතට මිහිරක් උපදවයි. සිහියට නගා ගත යුතු නොවන හා එතරම් විශේෂිත නොවූ මතකයන් සමුදායකුත් මෙ අතර ඇති බවත් කිව යුතුය. පාසල් සමය මෙන්ම අධ්‍යාපන කටයුතු වලට තිත තැබූ දා පටන් සමාජය අතර තුර විවිධ අවස්ථාවලදී මුන ගැසුනු විශේෂිත පුද්ගලයින් රාශියකි. (ඔවුන් පිළිබඳව පසුව ලිපි පෙළක් ලිවීමට බලා පොරොත්තු වෙමි.) එවන් වූ අතීතයක් සිහිපත් කරන කල මා හට සිහිපත්වූ තවත් එක් සොදුරු මතකයක් මෙහි සඳහන් කරමි. සංජීවනී .. අහා ඇය සමග වූ මාගේ ප්‍රථම එකතු වීම කෙසේ නම් මා අමතක කරන්නද..?
සංජීවනී මට මුලින්ම මුන ගැසුනේ මා දෙවන වරට ආරක්ෂක අංශයේ රැකියාවක් කරන සමයේ විය. මූලික යුධ පුහුණුවෙන් පසුව වෘතීය අභ්‍යාසයන් සඳහා අහස් යන්තර අංගනයකට යාබද පොල් අක්කර 250ක් පමණ වූ භූමි භාගයක වූ කඳවුරු බිමෙ රැදී සිටි කාල වකවානුවෙදීය.සංජීවනී මට හදුන්වා දුන්නේ මාගෙ බඩියා නොවුනත් බඩියාටත් වඩා මාහා බැච් ෆිට් එකෙන් සිටි මගේ හිතවතා වූ බණ්ඩා (බණ්ඩාර) විසිනි.ඊට ප්‍රථම අවස්ථා කිහිපයකදී සංජීවනී හා සමාන කිහිප දෙනෙකුම මා ඇසුරු කර තිබූ මුත් සංජීවනීගෙන් මා ලද මිහිරියාව ඒ කිසිවක් හා සමාන නොවන බව සංජීවනීට ගෞරවයක් වන සේ මා මෙහි සදහන් කල යුතුමය. නැතහොත් මා අකාරුණිකයකු බව මට හැගේ.
එදින සතියේ කවර දිනවයක්දැයි මා හට හරියටම කිව නොහැක. සති මැද බව නම් යන්තමින් සිහියට නගා ගත හැක. දවස පුරාම පුහුණුවීම් කටයුතු කර වෙහෙස වී සිටි අපට සවස හය පමණ වන විට මඳ ඉසුබුවක් ලැඛෙන්නෙ රාත්‍රී අහාරයට පෙර පිරිසිදු වී සූදානම් වීම සදහාය. උදෑසන සිට දෛනික රාජකාරී ලෙස පෙරට්ටු, නිවාස පරීක්ෂණ, වෘත්තීය පුහුණුව, ඉංග්‍රීසි භාෂා පුහුණුව, ශාරීරික අභ්‍යාස කදවුරු පිරිසිදු කිරීම් වැනි නොනවතින ක්‍රියාදාමයකින් හෙම්බත් වී සිටි අපට රාත්‍රි දහයේ කණිසම වන තෙක් ඉස්පාසුවක් නොවන්නෙ නින්ද අපේ පරම සුවය වූ බැවිනි. අන් සගයින් නින්දට ගිය පසුවත් මට නිදන්නට අවසරයක් නොවන්නෙ අපගේ බලඝණයේ දෛනික වාර්ථා සකස් කිරීමත් හෙට දිනට අඳාල පරිපාලන කටයුතුවලට අදාල ලිපි ගොනු සැකසීමත් මා අතින් සිදු වන හෙයිනි.එබැවින් බොහො දුරට මා පුරුදුව සිටියේ රාත්‍රි ආහාරයට නොයා සිටීමය. ( බඩගින්නෙ නම් ඉන්නෙ නෑ ) මාගේ ආහාර කාඩ් පත අන් සගයකු අත යවා ආහාර පිගානක් බිලට්ටුවටම ගෙන්වා ගැනීම නිතරම පාහේ සිදු වුනි. (මෙය වරදක් වූවත් මා ඇතුළු ජෙශ්ඨ පුර වැසියන්ට එම පහසුකම ලබා ගැනීමෙ හැකියාවක් තිබිණි) කොහොමටත් මා හට වැඩ කටයුතු තරමක් අධික වීම නිසා නිවාස භාර නිලධාරී තැනද ඒ සදහා තරමක බුරුලක් දක්වා තිබිණි. මට අමතරව එක් එක් වෘතීය අංශවල ජෙශ්ඨ සාමාජිකයින් තම වරප්‍රසාදයක් ලෙස මෙය භාවිතා කරති.
මෙසෙ වූ එක් සන්ධ්‍යා සමයක රාත්‍රී කෑම පිණිස යන සගයින්ට ප්‍රථමව අවස්ථාව දී අප කිහිප දෙනෙකු පසුව ස්නානය කර සිටියදී බණ්ඩා සුපුරුදු පරිදි සිදු කරනු ලබන හොරෙන් කඩෙ යෑමට සූදානම් විනි.( අනුමත වෙලාවන් ගෙන් බාහිරව කදවුරු භූමිය තුල සැරි සැරීම පුහුණු පාසල් සාමාජිකයින් වූ අපට අකැපය)කඩෙ යෑමට යන අතරතුරෙදී මා හට ඇවැසි යම් දෙයක් වෙදැයි මාගෙන් විමසීම ඔහු සතුව තිබූ අනිවාර්ය පුරුදුදක් වූයේ ඔහු විසින් දමා ගන්නා සියළුම බකට් වලින් ගලවා ගැනීම නිතරම සිදු වූයේ මා අතින් බැවිනි. (දවසකට අවස්ථා දහයක් හො ඊටත් වැඩි) මා හට ගෙන්වා ගැනීමට විශේෂ යමක් නොවුනද රුපියල් විස්සක් ඔහු අත තැබූ මා මොනවා හරි ගෙන එන ලෙස කීවෙ ටොෆී හො බිස්කට් වැන්නක් පිළිබද සිතමිනි.
මඳ වෙලාවකින් සිරිත් පරිදි හති දමමින් දිව ආ බණ්ඩා හැමදාමත් මෙන් ඉහල නිලදරුවකු අතින් ඛෙරී ආ අන්දම රසවත් කොට කියා මා අසලටම පැමිණ අඩෙ බං ....... (ඔවුන් මා ඇමතූ ආදර නාමය) මුකුත් තිබුනේ නැහැ බං ඉතින් මං උඹටත් එක්කම බඩුවක් ගෙනාවායි කී අතර ඔහු දෙස බැළු මා හට ප්‍රථම වතාවට සංජීවනී පෙන්වා සිටියේය. එක් විටම සංජීවනී දුටු මට බණ්ඩා සමග තරහා ගියත් සංජීවනී ගේ වූ හුරුබුහුටි පෙනුම නිසා එක් වරම බණ්ඩාට බැන වැදීමට සිත් නොවුනි. (දැන් බලමු සංජීවනී කවුද කියා..) ඉතා කුඩා සුදු පැහැති ඇගළුමකින් සැරසී සිටි ඇය ඇයගෙ වර්ගයේ අන් අය මෙන් ගොරහැඩි පෙනුමක් නොවූ බැවින් දුටු පමණින් මාගේ සිත යම් තරමකට ඇද බැද තබා ගැනීමට සමත් වූවාය. බණ්ඩාට බැන වැදීම පසෙක තබා මා සංජීවනී පිළිබද ඔහුගෙන් විස්තර අසා දැන ගත් අතර ඔහුත් ඒ පිළිබදව වැඩි විස්තර නොදන්නා බැවින් වැඩි කථා පසුවට තබා මා විසින් දෙවරකුත් බණ්ඩා විසින් තුන්වරකුත් වශයෙන් ඇයව පාවිච්චි කරන ලදි. (කොහොමටත් ඒ අංශයෙන් මට වඩා බණ්ඩා ඉදිරියෙන් සිටියා.) නමුත් මා ලද අමුතු සුවයක් නොවූ නිසා මා හට එම කාරිය එපා වූ අතර බණ්ඩාගේ තත්වයත් එයම විය. අවසානයේදී කලකිරුණු බණ්ඩාත් මාත් වෙනස් තීරණයක් ගන්නා ලදි. එනම් සංජීවනී පාවිච්චිය නවතා දමා රාත්‍රි ආහාරය ගන්නට භොජනශාලාව වෙත යන්නටයඉක්මනින් නිල ඇදුම් ලා ගත් අප, අපගේ නිවස්නයෙන් මීටර 350ක් පමන දුරින් වූ භොජනාගාරය වෙත යන්නට පිටත් වූයේ තවත් සාමාජිකයින් කිහිප දෙනෙකුත් පෙළ ගස්වා ගෙනය.කදවුරු තුල ඇති නීති ප්‍රකාරව පෙල ගැසී ගමනේ යෙදුනු අප භොජනාගාරය තුලට වන් විට කිහිප දෙනෙකුම අප දෙස විමසුම් සහගතව බැළුවෙ අන් යමක් නිසා නොව රාත්‍රී කාලයෙ අපගේ මුහුණු එහිදී දක්නට ලැඛෙන්නෙ ඉදහිට බැවිනි.

කාරිය ඇරඹුනෙ මෙතැන් සිටය..

සුපුරුදු පරිදි පොලිමෙ ගොස් ආහාර වෙල ලබාගත් අප ඉඩ ඇති මෙසයකට වී ආහාර ගැනීම ආරම්භ කරන ලදි. වෙනසක් නැත තත්වය සාමාන්‍යය මට්ටමෙ පැවතිණි. පිගානෙහි වූ ආහාර ඉවර වූ මුත් තව ටිකක් බඩෙ ඉඩ ඇති බවක් දැනුනි.(සාමාන්‍යයෙන් පිගානට පලමු වටයෙ ඛෙදා ගන්නා ප්‍රමාණයෙන් මම හැමදාමත් සෑහීමකට පත්වන අයෙකි) කොකටත් කියා තව වටයක් ඛෙදා ගත් මා නැවත මෙසයට වාඩි වී ආහාර ගත් අතර තත්වයෙ අමුත්තක් දැනෙන්ට වූයේ මා තෙවන වරත් කල්දේරම අසලට ගොස් බත් ඛෙදා ගන්නා අයුරු දුටු සගයින් සිනාසෙන්නට වූ බැවිනි. එතැන් පටන් කී පාරක් බත් ඛෙදා ගත්තාදැයි මා හට මතකයක් නොවූ අතර බණ්ඩා පුරුදු පරිදිම අන් සගයින්ගෙ ආහාර පිගන් වලින් බදු අය කිරීම පටන් ගෙන තිබිණි. පසුව මෙදෙස බලා සිටි මා හිතවත් ~ධනයා~ පැමිණ ....... ඔය ඇති බන් අපි යන් කීවෙන් මෙසයෙන් නැගිට පිගාන සොදා වතුර බී නැවතත් නිවස්නයට පිටත්වීමි.

අමාරුම හරිය..
වෙලාව රාත්‍රී අට පසුවී තිබුණි. මාර්ගය දෙපස තැනින් තැන විදුලි ආලෝකය ඇතත් සෑහෙන තරමෙ අන්ධකාරයක්ද හාත්පස වෙලාගෙන තිබුනි. ''left'' right''left''right''..මගේ හඩට අනුව පාද තබමින් පිරිස ආපසු නිවස්නය කරා ඇදෙමින් තිබුනි. අඳොමැයි.. ගමනේ අවසානයක් නැත. එනවා එනවා ඉවරයක් නැත. ඈතින් අප නිවස්නයේ විදුලි බුබුලක එළිය පෙනෙන්නාක් මෙන් වූවත් තව ආලොක වර්ෂ කිහිපයක දුර ඇති බවක් හැගී යයි. වෙලාව කොතෙක් නම් ගත වූවාද මෙහි සිට යාපනයට වූවත් යාමට සෑහෙන කාලයක් ගත වී ඇති බවට නම් මට හැගුනි. ~මෙකෙ ඉවරයක් නැද්ද බං.. කවදද අපි බිලට් එකට යන්නෙ.. ~ ප්‍රශ්නය මගෙනි. ඒහා සමගම නැගෙන අවලං හිනාව මා විසින් රැනෙ එන බල පංතියෙ සිටින නවක සෙබළුන්ගෙනි. මුං කොහොමද මට හිනා වෙන්නෙ.. ඒත් කෙන්ති නොයයි. වෙන වෙලාවකදී නම් ඇදන් යටින් වටයක් යවන එක සිකුරුය. අපේම සෙට් එකත් නොන්ඩිය දමයි.. මොනවා නම් කරන්නද..? කරොල කටු කෑවා නම් විඳවාපන් බළලො කීවළු. මට සංජීවනී සිහිවිය. මෙ නම් ඈ හා එකතු වීමෙ ප්‍රතිඵයක්මැයි.කුමක් කරන්නද මට හැගුනු පරිදි දින ගනනාවක දිගු ගමනකින් පසුව යන්තම් නිවස්නයට පැමිණියෙමි. කෙසෙ හො අසීරුවෙන් අසීරුවෙන් රාත්‍රී පෙරට්ටු ලෙඛනයන් සකසා ගත් අතර සගයින්ගේ කර මතින් රාත්‍රී පෙරට්ටුවට ගියා මතකය සීරුවෙන් සිටින් .. පහසුවෙන් සිටින්.. සීරුවෙන් සටින් අතරක් නොතබා දකුණින් පෙළ..බලන්.. පෙරට ඇස්. යන්තම් ඇති කොල්ලො ටික කෙලින් ඉන්නවා. අංශක 180කින් ආපසු හැරී හොල්ට් එකක් ගැසූ අතර නොවැටී ඛෙරුනේ අනූනවයෙනි. නැවතත් අතරින් පතර හිනාව.. සාජන්ට් වරයාට තත්වය අවබොධ විනි. මුවෙ රඳවා ගත් මදහසත් සමගින් ~මොකද හු..... ලාට වෙලා තියෙන්නෙ.. හ්ම් ගැනපියවු කෙරවලේ ඉදලා.. කීයද ගණන..? හාරසිය..... (හරියටම මතක නැත.) හ්ම්..හ්ම් .. දුවපියව් බිලට් වලට . ........ තො මට අහුවෙය හෙට තොව පට්ට ගහනවා. පොල් වත්ත මැදින් නිවස්නයට වෙගවත් දිවීමක්.. යන්තම් ඇති නිවන් ගියා වගේ. මට මතක එච්චරයි. ආ පහුවදා උදේ මාව කට්ටිය හොයාගෙන තියෙන්නෙ අමාරුවෙන් තට්ටු ඇදන් වූ අපේ නිවාසයේ උඩ ඇදක හිමි කරු වූ මා පසු දින උදෑසන හමු වී තිබුනේ ඇඳ කකුලක් බදාගෙන බිම නිදා ගෙන සිටියදීය.. හපොයි මගෙ සායම ගියා...
ඔන්න ඔහොමයි සංජීවනී එක්ක එකතු වෙලා මම කාපු පරිප්පුව අවසන් උනේ..
(කවුද මෙ සංජීවනී .. නාහල්ලෙගේ ලොකු අයියගෙයි ශ්‍රීමත් පොඩි අයියගෙයි චූටි නංගි - මදන මොදකයක්)( මෙ ලිපියටත් ආණ්ඩුවෙන් තිත තියයිද දන්නේ නැහැ.