31 January 2010

පිළිවෙලක් නැති පෙම් කතන්දර...

ඔන්න අද මම කියන්ඩ යන්නේ මගේ නරකම පැත්තක් ගැන.
දැන් වගේ නෙවෙයි මගේ ජීවිතේ ඒ තරම් බරක්පතලක් නැති පුංචි එකා සංදියේ ඉදන් මගේ තිබුනු නරකම පැත්තක් තමා මෙ පෙම් පටලැවිලි...
(දැන් නම් ඉතින් එහෙම නැහැ. )
මෙ ආදරෙ කියන එක මොකක්ද කියලා දන්නේවත් නැති කාලෙක උනත් මට ගෑනු ළමයි ගැන පුදුම බැදීමක් තිබුනා.
හැබැයි ඉතින් හැම කෙනා ගැනම නෙවෙයි. පුංචි කාලේ ඉදන් හම්බ උන සුවිශේෂී අය විතරයි.
මම කැමති ගෑනු ළමයින්ව දකින්න ,ඒ අයත් එක්ක කථා කරන්න, අමුතුම ආසාවක් පොඩි එකා කාලේ ඉදලා තිබුනා. ඒත් ඉතිං බයයි. මොනවා කරන්නද හිච්ච් එකා නෙව.
එතකොට ඔං මට වයස.. ම් ම් ම්... ඔව් අවුරුදු 8ක් විතර ඇති.
ඉස්කෝලෙ 2-3 පංති වල වගේ තමයි. මුලින්ම කියන්න ඔන ඒ වෙන කොටත් අපේ ගෙවල් ගාව මට වඩා මාස 6ක් විතර වැඩිමල් ,මාත් එක්කම හැදුනු වැඩුනු ළමයෙක් හිටියා.(මම එයා ගැන වෙනම පෝස්ට් එකක් ලියලා තියෙනවා)
ඉතින් එයායි මායි ගැන නෙවෙයි මෙ ලියන්න හදන්නේ. මගේ පංතියේ හිටපුඅපිට වඩා අවුරුද්දක් බාල ළමයි දෙන්නෙක් ගැන ලියන්න.
දැන් ඔයාලා බලයි අවුරුද්දක් බාල ළමයි අපේ පංතියේ කොහොමද ඉන්නේ කියලා නේද?

එච්චර හිතන්න එපා ඒ ගෑනු ළමයි දෙන්නගේම අම්මලා අපේ ඉස්කෝලෙ ටීචර්ලා. ඉතින් මෙ දෙන්නා ඉගෙන ගන්නත් දක්ෂයි. ඒ දවස්වල ඉතින් මගේ සුපිරිම කාලේ පළවෙනියා කියන එක මගේ නමටම ලියලා දීලා තිබුනේ සින්නක්කරෙටම. ඉතින් මම සියළු විෂයන්ට ලැබිය හැකි මුළු ලකුණු වලින් හත අටක් අඩුවෙන් අරගෙන පළවෙනියා වෙද්දී හැමදාම දෙවෙනියා උනේ ඒ දවස්වල මගේ පරම හතුරා වෙච්ච (පහු කාලෙක අපි සාමාන්‍ය මට්ටමෙ යාළුවෝ උනා) දි.... කියන ළමයා. ඔන්න ඊට පස්සේ අවුරුද්දක් බාල උනත් අපේ කථා නායිකාවෝ දෙන්නා වරින් වර මාරුවෙන් මාරුවට පිළිවෙලින් 3-4 ස්ථාන ගන්නවා.

ඉතින් මෙ දෙන්නගෙන් එක් කෙනෙකුට මගේ කැමැත්ත වැඩියි.

සුදුම සුදු හුරු බුහුටි පෙනුම, බළල් ඇස්, ලා තඹ පාට පෝනි ටෙල් කෙටි කෙස් කළඹ, හුරතල් කථාව.... මතක් වෙද්දී දැනුත් නිකං ඇගේ මයිල් ඉස්මයිල් වෙනවා...
ඒ අංක එක

මෙන්න අංක දෙක
සුදුයි, ඩයනා කට් කොණ්ඩෙ, අහිංසක කථාව, කථා කරන කොට ඇස් දෙක දිහාම කෙලින් බලාගෙන කරන කථාව... නරකම නැහැ.. ඔන්න ඉතිං එයාටත් මං ආසයි.

ඒත් ඉතින් අංක එකට තමයි මම කැමති. ඒ උනාට විශ්වාස කරන්න කවදාකවත් ඉස්කෝලෙ යන කාලේ අපි දෙන්නා සමගියෙන් එක වචනයක් කථා කරලා නැහැ...
ඔන වෙලාවක මරා ගන්න ලෑස්ති උන ගමන්. ඒකි අනිත් ඔක්කොමත් එක්ක හොදයි මාත් එක්ක කොයි වෙලෙත් කොක්ක...
මාත් ඉතින් සෙකන්ඩ් වෙන්න කැමති යකෙක්යෑ.. මාත් කොක්ක. ඒත් ඉතින් රණ්ඩු උනාට මොකද හිත කීරී ගැහිලා යනවා එයා බනින කොට.. එයාගේ යාළුවෝ එක්ක කථා කර කර ඉන්න කොට තියෙන හුරතල් ගතිය දිහා බලාගෙන හීන මවපු එක විතරයි මට කරන්න පුළුවන් උනේ... දුක තමයි...

අනිත් එක්කෙනා නං ඉතින් මාත් එක්ක වලි නැහැ. ඒත් ඉතින් වැඩි කථාවක් නැහැ. මගේ පුංචි කැමැත්තක් තිබුනට අරයාට වගේ නැති නිසා මම ඒ තරම් ගණන් ගත්තේ නැහැ.

කොහොම හරි පහේ ශිෂ්‍යත්වෙන් පාස් වෙලා මාත් කොළඹ ගියා.ඊළග අවුරුද්දේ එයලා දෙන්නත් පාස් වෙලා ගම්පහ ගියා. ඉදලා හිටලා දවසක පාරෙදි මුන ගැහිලා තියෙනවා. ඒත් කථා නැහැ. ඔහොම කාලය ගත වෙලා ගියා අංක එක ගෙදර අකමැත්තෙන් කසාදයකුත් කර ගත්තා කියලා ආරංචි උනා.

අංක දෙක ස්ථීර පදිංචියට ගම්පහ පැත්තේ ගෙදරකට ගියා. එකම එක පාරක් ගම්පහ මලගෙදරකදී දැක්කා.ඒ 1997 විතර ඊට පස්සේ අද වෙනතුරු දැක්කේ නැහැ.
අංක එක නම් තාමත් ගමෙ ඉන්නවා මගෙ හිතේ. එයා එක්ක එකම එක පාරක් 2000 විතර එක පාරක් කථා කරන්න හම්බ උනා. අපරාදේ කියන්න බැහැ එදා තමයි එයා ජීවිතෙටම මාත් එක්ක හොදින් කථා කල එකම සහ අවසාන අවස්ථාව... දැන් නම් මම එයාවත් අවුරුදු 9කින් විතර දැකලා නැහැ.

ඔන්න ඔහොමයි ඒ මතකය ඉතිරි උනේ...

මතක් වෙද්දීත් හිනහා යනවා වගේම හීන් දුකකුත් ඇති වෙනවා...
එදා අපි කොතනද හිටියේ?
අද අපි කොතනද ඉන්නේ?

අද එයාලා මොනවා කරනවාද කියලා මම දන්නෙත් නැහැ මම මොනවා කරනවාද කියලා එයාලා දන්නෙත් නැහැ.
මට එයාලව සිහි වෙනවා වගේ එයාලටත් මාව පුංචියට හරි මතක තියෙනවාද දන්නෙත් නැහැ..?

ජීවිතේක හැටි...

පුංචි රටක අප ඉපදී..
පුංචි සිතක පැතුම් මතින්..
පුංචිකමට පෙම් කෙරුවා..
පුංචි සන්දියේ...

පුංචි කාලේ ගෙවී ගොසින්..
පුංචි පැතුම් මැකී ගොසින්..
පුංචි රටෙ අප තනිවී..
පුංචි පැංචියේ..

පුංචි නැතත් ඒවාගේ..
පුංචි පැතුම් තවත් තියේ..
පුංචි රටෙ හමු වෙදැයි..
මෑත සංදියේ...

7 comments:

  1. ඔය විධියේ මතක නම් මගෙ ජීවිතෙත් ඕන තරම්... :(

    ReplyDelete
  2. ජිවිතෙ එහෙම තමයි. මම 3 වසරෙදි නදිත් එක්කමයි හිටියෙ ටිකක් ලොකු වෙද්දි ඇත් උනා එයාගෙ, මගෙයි අධ්‍යාපනය හෙතු කොටගෙන. ඉගෙන ගෙන ඉවර උනාම අහන්නම් කියලා ඉද්දි මෙන්න මෙකි අනුෂකව කිස් කරනවා AC බස් එකෙ. මෙ දෑස මක්කෙටයි හිතුන එ වෙලාවෙ. මෙ කෙල්ල ව සමහර දවස් වලදි දුම්රියෙ හම්බ වෙනවා. කොච්චියට පනින්න හිතෙනවා.... හික් .. හික්.. ආසයි මතක් වෙද්දිත් ....

    ReplyDelete
  3. ඕහ්... මේක තනිකරම ඒ විධියේ ලව් සීන් ගැන කතන්දරයක්ද?
    මගෙ නං රෙමෑන්ටික් ලව් පටන් ගන්නේ A/L කාලේ....

    ReplyDelete
  4. මට එයාලව සිහි වෙනවා වගේ එයාලටත් මාව පුංචියට හරි මතක තියෙනවාද දන්නෙත් නැහැ..?

    මං හිතන්නේ මතක් වෙනවා ඇති.. මොකද අපිට උනත් ඔය හිටි ගමන් වැඩි යාළුකමක් කතාවක් නැති අයව උනත් මතක් වෙන්නේ.. ඒ වගේ එයාලටත් මතක් වෙනවා ඇතිනේ

    ReplyDelete
  5. රවා said...

    කෝච්චිය ලං වෙන කොට අපි නැගිටිනවා...

    ReplyDelete
  6. shaakunthala.com said...

    ඔය ලිව්වෙ මගේ ආරම්භය විතරයි...
    ඉතිරි අය ගැනත් ඉස්සරහට ලියන්නයි හිතාගෙන ඉන්නේ...

    ReplyDelete
  7. malee_msg said...

    මාත් එසෙම හිතනවා...
    ඇත්තටම එයාලව තව එකම එක පාරක් හරි හම්බවෙලා කථා කරන්න තියෙනව නම්... එහෙම නම් මම කියනවා ඒ දවස්වල මම එයාලා ගැන හිතපු හැටි...
    එයාලටත් හිනායයි මට වගේම...

    ReplyDelete