20 March 2010

රොබින් හුඩ්...

ඔන්න මම ගෙදර ආවා.
දවස් තුනකට පස්සේ..
හෝදන්න රෙදි ගොඩයි.
මුලින්ම කලේ බත් චුට්ටත් උයලා කාලා හිටපු එක.
දවස් තුනක් තිස්සේ කඩෙන් කාලා බඩ නිකං ස්වාභාවික ජීව වායු නිපදවන ටැංකියක් වගේ වෙලා තිබුනේ.
ගෙදර ඇවිත් බලනකොට උයන්න කියලා හරි හමන් දෙයක් තිබුනේ නැහැ.
යන්තම් බත් ටිකක් උයලා.. ගෙදර තිබුනු සියළුම සම්පත් ප්‍රයෝජනයට ගනිමින් අලයි හාල්මැස්සොයි එකට දාලා උයලා දුම් දාද්දීම බත් කටවල් දෙක තුනක් කාලා හිටියා.
තව ටිකක් දවල් වෙලා පාර පැත්තේ ගිහින් මොනවා හරි කොළ මිටියක් හොයාගෙන ඇවිත් මැල්ලූම් පාරක් දාගත්තනම් මට ඒ ඇති. මදි උනොත් මිරිස් කරල් දෙක තුනක් බැද ගත්තම ඒ අඩුවත් හරි යයි.
මගේ ජීවිතේ ඉතින් ඔහොම තමා. ගෙදර ආව වෙලාවට සම්බෝලයක් එක්ක හරි බත් ටිකක් කෑවම තමයි පොඩි ෆිට් එකක් එන්නේ.
කොහොමත් මම උයන්න ගියහම වැඩිය මාළු පිණී හද හද ඉන්නේ නැහැ.
හැබැයි උයන එක දේ උනත් මට අල්ලලා යන්න තියෙන්න ඔන.
කොළ මැල්ලූම් නම් බත් එක වැහෙන්න තියෙන්න ඔන. ඒ පුරුද්ද ඇති කලේ අපේ තාත්තා තමා.
මගේ අම්මේ ඒ දවස් වල මට කවපු කොළ කන්දරාව..
හැබැයි ඉතින් දැන් මෙ බොන බීමට මම ඉතිරි වෙලා ඉන්නෙත් ඔය කොළ කන්දරාව නිසාදෝ කියලත් මට වෙලාවකට හිතෙනවා.
මගේ ආසම කෑම වෙල තමයි ඉතින් කොස් තම්බලා, කිරි හොදි හදලා, හාල් මැස්සනුයි මිරිසුයි බැදලා ගන්න එක.
හැබැයි දැන් සෑහෙන කාලෙකින් කන්න නම් බැරි උනා.
කොස් තියෙන දවසට මම නම් නෙවෙයි බත් කන්නේ..

ඔන්න ඔහොමයි ජීවිතේ...

මට අද උදේ එක පාරටම රොබින් හුඩ්ව මතක් උනා. මොකද මන්දා...
හැබැයි අර මෙ දවස් වල රූපවාහිනියේ ඉන්න හාදයා නම් නෙවෙයි.
අපේ පරණ යාළුවා..
ඇත්තටම මම කියවලා තිබුනු රොබින් හුඩ්ට වඩා වෙනස් උනත් ඉස්සර අපේ ටයි මාමා අපිට තෑගි දුන්න රොබින් තමා නියම රොබින්...
අර වේලන්ඩ්හී අසිපත් නවයෙන් එකක් වෙච්ච ඇල්බියන් කඩුව එහෙම දකිද්දී මගේ ඇගේ මයිල් ඉස්මයිල් වෙනවා..
එතකොට අපේ රුක් දෙවි මාමා හර්න් එහෙම මීදුම මැදින් මතු වෙද්දී... අම්මා දැනෙන සනීපේ.. හරියට නැන්දා මාමා දැක්කා වගේ සන්තෝෂයි.
මම ආසම නසියර්ට.. නිශ්ශබ්දව ඉදගෙන බොහෝ සටන් වලදී උපරිම වැඩ කොටසක් කල ඔහුට මගේ තිබුනේ පුදුම කැමැත්තක්.
විල් එක්කනම් වෙලාවකට මල පනිනවා..
මාච් පවු අහින්සක හිතවතා..
ජෝන්, ටක් අපූරු චරිත..
මැරියන් ගැන නම් මුකුත් කියන්න විදියක් නැහැ. අපේ මුචා දැක්කොත් මට බකට් එකක් දාන්න පුළුවන්.
ෂෙරිෆ් සහ ගයිත් නිකම් හොද්දට ගොරකා වගේ තමා.. ඇතුවත් බැහැ නැතුවත් බැහැ.

අනේ ඉතින් ඒ දවස්වල රොබින් හුඩ් බලන්න අපි වින්ද දුකක්.
මුලින්ම පෙන්නන කාලේ අපිට කොයින්ද රූපවාහිනී..
ඉතින් කාගේ හරි ගෙදරකට ගිහින් දුක සේ බලලා එනවා.
ඒ අතරතුර නොයෙක් හේතු නිසා සමහර කොටස් බලන්න බැරි වෙනවා.
පුදුම දුකයි..
ඒත් ඉතින් ටයි මාමායි අතුල රන්සිරි ලාල් මාමායි බුදුන් දැක නිවන් දකින්න ඔන. නැවත නැවතත් කථාව පෙන්වීම සම්බන්ධව. කොහොමින් කොහොම හරි මම සාමාන්‍ය පෙළ කරන කාලේ විභාගෙට මාස කීපයකට කලින් තමයි අපිට විදුලිය සහ දෙයියනේ කියලා බලන්න රූප පෙට්ටියක් ලැබුනේ.
ඒත් එක්කම මෙන්න නැවත වතාවක් රොබින්හුඩ් අයියා පෙන්නනවා.
මම නේද ඉරිදාට යන්තම් ගිහින් හිටිය ගණිතය පන්තියත් කට් කර කර කොහොම හරි රොබින්හුඩ් බලන්න සෙට් වෙනවා.
ඒ අතරෙ නොගිහින්ම බැරි දවස්වල පන්තිය පැත්තේ ගියහම අපේ හිටිය ලක්රුවන් කියලා කොල්ලෙක් මම පන්ති එන්නැතිව රොබින් හුඩ් බලන වග දැනගෙන මට දම්වැල් රොබින් කියලා නමකුත් දාපි.
මාත් අකමැති උනේ නැහැ. මොනවා උනත් රොබින්නේ..
අන්තිමට ඉතින් රොබින්හුඩ් අයියට පින් සිද්ධ වෙන්න විභාගේ ප්‍රතිඵල ආවට පස්සේ දන්න කියන වැඩිහිටි අයගෙන් මම හුගාක් ජාති අහ ගත්තා..
ඒත් ඉතින් මට මොකද...? ගණිතය වගේද රොබින්..
අනික ඒ දවස්වල මම දුනු විදින්න එක්ස්පර්ට් පොරක්.
මා ළග හුගාක් අත්හදා බැලීම්වලට පස්සේ නිර්මාණය කරගත්ත කැප්පෙටියා ලීයක් හීනි කොහු ලණුවකින් බැදලා හදා ගත්ත අඩි 6ක් විතර උස දුන්නකුයි, දවට ගස්වල පැල වලින් හදා ගත්ත ඊතල ගොඩකුයිත් තිබුනා.
එක ඊතලයක් අඩි 3ක් විතර ඇති.
මෙනවද ඉතින් විදින්නේ ෂින් ෂින් ගාලා..
කොහොමත් මීටර් 100 කට ආසන්න දුරක් නියම ඉලක්කෙට විදින්න ඒ දුන්නෙන් පුළුවන්.
ඒ දවස් වල ඉතින් මම යන එන හරියේ තිබුනු කෙසෙල් ගස්වලට එහෙම පුදුම අපලයි.
හැමදාම හවසට දුන්න ලිහලා කැප්පෙටිය ලීයට පහුවදා වෙනකල් පොඩි රෙස්ට් එකක් එහෙම දෙනවා, එතකොට අනිත් දවසෙත් හොද තද ගතියක් දුන්නේ තියෙනවා.
මුලින් මුලින් එක එක ලී වර්ග පාවිච්චි කරලා, රබර් පටි දාගෙන හදපු දුනු වගේ නෙවෙයි මෙක.
නියම භාණ්ඩෙ.
දැන් ඉතින් මෙක කියවන අපේ තාත්තලා වෙලා ඉන්න සහ වෙන්න තාත්තලා ටික හොදට මතක තියාගෙන ඉදලා පැටවුන්ට නියම වයසේදී පුළුවන් නම් හොද දුන්නක් හදලා දෙන්න. දරුවෝ සතුටු වෙවී.

ඊළග දේ තමා කඩු හරඹෙ..
මම රොබින් හුඩ්ට කැමති උනාට කඩු හරඹෙදී කැමති නසියර්ට.
මොකද මිනිහාගේ සටන් ක්‍රම හරිම ප්‍රායෝගිකයි.
ඉතින් හැමදාම හවසට සහ නිවාඩු දවස්වල මුළු දවස පුරාම මාත් මල්ලීත් අපේ නඩයත් මෙහෙම තමා ජීවත් උනේ.
ඇත්තටම රොබින්හුඩ් අමරණීයයි.
ආ ඒ වගේම තමා රොබින්හුඩ්ට කලින් මගේ වීරයෝ උන කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අයව අමතක කලොත් ලොකු අඩුවක් වෙවී.
යුනිකෝ
ටෝගා
හන්ටර්
පැන්ටම්
ස්කාගස් අනෙ අම්මෙ මෙන්න වැඩ කාරයෝ ටික.
ම් ම් තව පොරක් හිටියා යුනිකෝට සමාන මට මිනිහගේ නම මතක් වෙන්නේ නැහැනේ.
ඔක්කෝම චිත්‍රකථා වීරයෝ.
අතරින් පතර තව වීරයෝ හිටියා ඒත් දැන් අමතකයි.
ඔන්න මම ලොකු උන හැටි...
කජු ගස්, කොස් ගස්, වෙල් යායවල් මැද්දෙන්, කන්දෙ ගලෙන්, පහල ඇලේ බන්ට් එකෙන්, වැවෙන්, ගලා ගෙන ගිය ඒ මිහිරි කාලය අපි අතරට ආ ක්‍රිකට් නිසා මද දුරස් වීමකුත් උනා කිවුවොත් නිවැරදියි.
ශිෂ්‍යත්වෙන් පස්සේ වත්, කොළඹ ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ වත් මම නෙවෙයි ඔය මගේ ලෝකේ වීරයෝ අමතක කලේ..
අදටත් මම හිතන්නේ මම තරම් හොදින් පොඩි කාලේ ගත කල ළමයෙක් තවත් නැතිව ඇති කියලයි.
ඒ සදහා පූර්ණ අනුග්‍රහය දැක්වූ තාත්තා පිළිබදවත් මතක් නොකර ඉන්න බැහැ.
කොහොමත් මට අදටත් උයන්න පටන් ගත්ත ගමන් තාත්තව මතක් වෙනවා.
තාත්තා තරම් රසට කෑම උයන්න අපේ ගමෙ කාටවත් බැහැයි කියලා ඒ දවස්වල තාත්තාගේ අතින් හදපු කෑම ටිකක් කාපු කවුරුත් කීවෙ බොරුවට නෙවෙයි.
ඒ කාලේ අපේ තාත්තා අතින් පොළාස් උයලා කෙසෙල් කොලේ බැදපු බත් කටක් කාලා නැතිව කිසිම බඩ දරු අම්මා කෙනෙක් අපේ ගමෙ අහල පහල දරුවෙක් වදලා නැහැ.
ඒ තරමට ඒක ප්‍රසිද්ධයි.
මට මතකයි සමහර ගෑනු ළමයි විහිලූවටත් කියනවා, අපිට ඉතින් ..................... ගේ බත් ටිකක් කන්න ළමෙක් හම්බ වෙන්නම එපැයි කියලත්.
අදටත් මම අපේ තාත්තා අතින් තරම් රහ කෑම වෙන කොහේදිවත් කාලා නැහැ.
අම්මා උනත් උයන්න පුරුදු උනේ තාත්තගෙන්.
මාත් එහෙමයි.
අදටත් මම උයන කොට ඒ ඒ කෑම හදද්දී තාත්තා කරපු දේවල් ඒ විදියටම කරනවා.
තාත්තා තරමටම නැති උනත් මටත් සාමාන්‍ය ගානකට උයන්න පුළුවන්.
අපේ අම්මා උනත් මම හදන කෑම කන්න කැමතියි.
ඒත් මට එක දුකක් තියෙනවා,
ඒ තමයි තාත්තාට සිහි කල්පනාව තියෙන වෙලාවක ඒ කියන්නේ අංශබාගේ හැදෙන්න කළින් කෑම ටිකක් උයලා කන්න දෙන්න බැරි උන එක.
එහෙම දීලා තාත්තේ කෑම රසයිද කියලා නම් මම කවදාවත් අහන්නෙත් නැහැ.
මොකද තාත්තත් මම වගේම තමයි. ලේසියෙන් හොදක් නම් කියන්නේ නැහැ.
පැත්තකට වෙලා මට නොපෙනෙන්න හිනා වෙයි. එච්චරයි.
ඒත් ඉතින් පස්සේ වෙලාවක ලොක්කෝ උඹ අද උයපන් කියලා කිවුවොත් මම දන්නවා කෑම හොදයි තමයි කියලා.
ඒක තමයි තාත්තගෙයි මගෙයි හැටි.

41 comments:

  1. කියන්නේ නම් ලියන්න කම්මැලියි කියලා .. එත් ඔය ලියලා තියෙන්නේ යස අපුරැවට ..

    ReplyDelete
  2. හිතෙන්නම ඔන ඉතින්.
    මගේ කේන්දර බැලිල්ලත් ඔය වගේ තමයි.
    හිතුනු වෙලාවට තමා ඔනම දෙයක්.
    කම්මැලියි කියලා හිතුනම ම්හූ...

    ReplyDelete
  3. අම්මෝ..මෙන්න ඇවිල්ලා.... කොහෙ යනවද මන්ද උන්න හිටපු ගමන්.....

    මාරයියෙ ඔයාගෙ හාල්මැස්සො හොද්ද ගැන කිව්වම සත්තයි මගෙ කටට කෙල ඉනුවා. දැන්නම් හදන්න වෙලාවක් නෑ හැබැයි හැන්දෑවට හදනවාමයි. හාල්මැස්සො අලදාල හොදි & කතුරුමුරුංගා මැල්ලුම්.අම්මෝ...කොහොමද රස ?


    ඔයාගෙ වීරයෝ ටිකනම් නියමයි. මාත් ඉතින් ඉස්සර රොබින් හූඩ් ට ලව් කරපු එක්කෙනෙක් තමා. හෙන ආසාවෙන් බලන්නේ....මම ආසයි ටක් ටත්. මනුස්සය ඉතින් බතල ගෙඩියක් නෙ. :)

    තව මම ආසවෙන් බලපු එකක් තිබ්බා " Monkey Magic " කියලා. මේ ලගදිත් Google SSearch කරලා බැලුවා හොයාගන්න බෑ. ඒකෙ ලස්සන සින්දුවක් තිබ්බා . මට ඒකෙ වචන තාමත් ඇහෙනවා වගේ....

    කොහොම හරි රවුමෙ ගිහින් ඇවිත් හෙන හෑල්ලක් ලියලා මදිවට හොද්දක් ගැනත් කිව්වට පිං

    ReplyDelete
  4. හම්මෙ නගෝ ඔයත් කරන්නේ මාර වැඩ තමයි.
    දැන් ඉතින් හොයපන්කෝ කතුරුමුරුංගා...
    හ්ම් හ්ම් දැන්ම යමි..
    ස්තූතියි මතක් කර දීමට සහ බලා සිටියාට...

    ReplyDelete
  5. මාත් ඉතින් කොළඹ කූඩු වෙලා ඉන්න එකෙක්නෙ. නුවර ඉද්දි නම් ගේ වටේට ඕන තරම් පලා වර්ග. මෙහෙ ඉතින් ඕන මගුලක් කඩෙන් නෙ.....ඒත් ඉතින් අදනම්කොජෙන් හරි හොයලා හදනවාමයි :0 පෙරේතකම කියන්නෙ එහෙම නෑ හොඳද

    ReplyDelete
  6. අනේ නැහැ කොහෙම කියන්නද මාත් ඔය විදියම තමයි.
    හැබැයි මම වැඩියම ආස කලවම් මැල්ලුම් වලට තමයි.
    එරබොදු කොළ,තෙබු,කර,කිරි මදුවැල්,ෆැෂන් පෘට්, ජපන් බටු, හීනියට ලියලා කලවමෙ හදන මැල්ලුම තරම් ඉතින්....

    ReplyDelete
  7. කියලා වැඩක් නෑ. නියමයි, එල, මැක්සා, උපරිමයි...
    උඹට නං පිං මචො, ආයි මොනවාද, මං කෙලිංම ගියේ අපේ ගමට.උඹට කෙලිංම අපායෙ හිටං දිවිය ලෝකෙට ග්‍රීන් කාඩ් එකක් හම්බවෙන්න ඕනෙ. හුටා, උඹ එහෙ ගියොත් සැක්කරයට බඩුම තමා. දේවින්වහන්සේගෙන් කොහුපාර කෑවත් පොරත් හැන්දෑවට හීනියට දෙකක් දාගෙන සොමියෙ ඉදීවි.

    කම්මැලිකම ගැනනං මුකුත් කියන්න බෑ. එව්වා ඉතිං අපට පරම්පරාවෙන් එන ඒවනෙ. ආ... තව එකක්, අර ඔයාට අමතක වෙච්ච පොර... එහෙට මෙහෙට කොල් කරලා නම හොයාගත්තා. ඔය කියන්නෙ, කොටි හමක් ඇදගත්ත, කලු කන්නාඩි දෙකකින් ඇස් වහගත්ත, හුලං ගහපු බැලුං බෝලයක් වගේ ඇගක් තියන කෙනෙක් නං, එයාගෙ නම වීරෝ

    ReplyDelete
  8. ඔය කෑම වට්ටෝරුත් එකක් දෙකක් ලිව්වානං තමා වටින්නෙ . හොඳට ලුණු ඇඹුල් තියෙන කට දන ගමේ කෑම වේලක් කාපු කාලයක් මතක් නෑ ආයිබෝං. යමක් නැතිකොට තමා ඒකෙ අගේ දැනෙන්නෙ.

    ReplyDelete
  9. මටනම් මේකෙදි හිතට හොඳටම වැදුනේ අවසාන ටික...මටත් අප්පච්චිව මතක් උනා...මම නම් උයන්න ඉගන ගත්තේ අම්මගෙන්...

    ReplyDelete
  10. Siribiris...
    අන්න හරි වීරෝ වෙන්න ඔන තමා...
    නිකංම නිකං ජීවිතේ ගලාගෙන යන මගේ තියෙන ලොකුම විනෝදාංශේ තමා ඉතින් උයා පිහා ගන්න එක..
    අප්පච්චියේ.. උයන හැටි නම් කියා දෙන්න බැරියෑ ගමකට.
    ඒත් ඉතින් අන්තිමට මටම ඒවා ගැන හිත හිත විදවන්න තමයි ඔං වෙන්නේ...

    ReplyDelete
  11. චමිදේවා...
    සන්තෝෂයි උයන පිහන කස්ටියේ කොල්ලෙක් දැන හැදින ගන්න ලැබීම.

    ReplyDelete
  12. අනික් වීරයෝ තමයි නීරෝ, මේඝ, ටෝගා...

    මේකත් බලන්න, හැබැයි, ඉස්සර විදියට අනිත්‍යය මෙනෙහි කරලා!

    http://kathandara.blogspot.com/2009/11/blog-post_06.html

    කතන්දරකාරයා

    ReplyDelete
  13. යුනිකෝට සමාන චරිත වගේම ටෝගාට සමාන චරිතත් ඒ කාලේ බොහෝම බිහි උනා.
    බලමු මෙ මොකක්ද දාලා තියෙන්නේ කියලත්..

    ReplyDelete
  14. කතන්දරකාරයා...

    නියමයි. ශ්‍රී සගරාවෙ චිත්‍ර කථාව විතරක් නෙවෙයි මහ දිග කතාව කියලා එකකුත් ගියා මම නොවරදවාම බලන එකක්.
    ඇයි දෙයියනේ ගජමෑන් විතරක්ද ගැටයා..

    ReplyDelete
  15. කොස් ටිකක් ගන්න හෙට පොලටවත් යන්න ඔනේ.

    ReplyDelete
  16. V...
    මතක ඇතුව මගේ පංගුවත් ඔන...

    ReplyDelete
  17. මමත් පන්ති යන්න කලින් ටිවි එක දානවා.. මොකද්ද යන්නෙ.. හිතට දැනෙන දෙයක් නම්.....ඉදලා බලනවා...
    " කොල්ලො පන්තියන්නෙ නැද්ද...?"


    " අම්මෙ පන්ති නම් ලබන සතියෙත් තියනවා... එත් මෙ කථාව අද විතරයි, ආපහු කවද හම්බෙයිද කියන්න බැහැනෙ.."

    එ පුරුද්දම කැම්පස් එකටත් ගියා...
    " ඇයි පුතෙ උබට විභාගෙ නෙද...?"
    "කමක් නැහැ අම්මෙ විභාගෙ නම් ලබන අවුරුද්දෙත් එනවා . එත් මට එ වෙලාවෙ එතන ඉන්න බැරුව ගියොත් ..."

    රොබින්හුඩ් ගහෙන් පනින විදියට පැනලා අතපය කඩාගත්තා. රොබින්හුඩ් දුන්නෙන් විදින විදියට අඹ ගහ උඩ ඉදන් අල්ලපුගෙදර මිනිහට තියලා තාත්තාගෙන් කැවා. ඔකා මහ පාවදෙන එකෙක් තියපන් තියපන් කියලා අයියයි කිව්වෙ... මම කැවෙ...airwolf තමයි අනිත් කතාව හෙලිකොප්ටරෙ කථාව... ඉතින් මුකුත් නැහැ මියුසික් එක දාගෙන තාප්පෙන් පනින්නෙ... වටෙ පිටෙ ගෙවල් වල් ඉන්න මහ උන් මහාම මහා කුම්මැයි ජාතියක් උන්ගෙ මල් පැල පොඩිවෙනවා කියලා අපිට සෙල්ලම් කරන්න දෙන්නෙ නැහැ. හැබැයි උන්ගෙ දරුවො ඇවිල්ලා අපෙ ගෙදර මල් පැල පොඩි කරලා යනවා..
    කියවද්දි ලමා කාලයට ගියා.....කොමට තාම රිප්ලයි එකක් හම්බ උනෙ නැහැ...

    ReplyDelete
  18. රවා ...

    මගේ මෙල් එඩ්රස් එක කියලා කොහේටද යැවුවෙ.
    මට නම් තාමත් ආවෙ නැහැ.

    ReplyDelete
  19. මාරයා උඹ මේක බැලුවද?
    මමනං කැමතිම කතන්දරෙ තමයි අර ඔලුවට බාල්දි නමාගෙන ආපු සෙට් එකට රොබින්ල දුන්නු ගේම. උඔට මතකද? නසියර් යන්තං එකෙක් මරා ගත්තේ. ඒ වෙනුවට මච් ව උන් අරං යනවා.
    ඔන්න ඔය සීන් එක අපි ඒ කාලේ කරන්න ගිහිං මට මාරම කේස් එකක් උනා. ඒක ලගදී මගේ පෝස්ට් එකක දාන්න හිතං ඉන්නෙ. කියෝලා බලපංකෝ දාපුවාම. උඔටයි මටයි ඒ කාලේ එකම වීරයෝ නේ ඉදලා තියෙන්නෙ. http://cyberyaya.blogspot.com/ ඔන්න ඔය ලින්ක් එකෙත් ඈති රොබින්ගගේ පොඩි කේස් එකක්.

    ReplyDelete
  20. කොටන්න බෑ කම්මැලි කීවට මේ ලියල තියෙන්නෙ ලස්සනට.......... Robinhood මමත් නොවරදවා බලනව...
    දැන් ආයෙත් nightRider යනව ඒකත් බලනව. තව අර ඉස්සර ගියේ සිංහල හඩ කවල "යවෙස්ලූ මිනිසා ", "සිටුවර මන්ත්‍රකිස්ට්‍රෝ " , "මනුතාපය" ඒව මම කොච්චර බැලුවත් ආයෙ ආයෙ බලනව. හා හා හරි හාවාත් එහෙමයි. දවසක් අපේ ගෙදර ආව කෙනෙක් ඇහුව මේ ගෙදර පොඩි ළමයි ඉන්නවද කියල. මොකද එයා අපේ ගෙදර එන වෙලාවෙ ටීවී දාලා කාටුන් තමයි ඒ වෙලාවෙ ගියේ....

    මමත් වයස 30ක අලි පොඩි ළමයෙක් තමයි....

    ReplyDelete
  21. අද ඉන්නව මාරයියා... අයියා තියා මාත් හා පැටික්කියෙක් ඇල්ලුවෙ නෑ කාලෙකින්. ඇතිකරන්න බෑ එක පාරක් හදල එයාලට කන්න දෙන්න ගිහිල්ලම ලොස්ට් උනා...
    අයියගෙ කොස් මෙනු එකනම් අපේ ගෙදර හැම ඉරිදම යනව.... කිරි කොස් තියෙද්දි බත් කන මෝඩය කවුද???
    මං නම් තාමත් වැඩිපුර කාටුන් තමා බලන්නෙ.(ඉස්කෝලෙ ප්‍රින්සිපලුත් දන්නව ඒක ලැජ්ජාවෙ බෑ) රොබින් හුඩ් බැලුවා බබා කාලෙ.එත් ලොකූ මතකයක් නෑ...

    ReplyDelete
  22. මමත් රොබින් හුඩ් කතාවේ කැමතිම නසියර් ලොක්කට තමයි. ඒ දවස් වල රොබින් හුඩ් මේනියාවක් වෙලා තිබ්බෙ. මට මතකයි අපිත් සෙල්ලම් දුනු හදාගත්තා හැබැයි ලුණුමිදෙල්ල කෝටු වලින්. ඊතල වලට ගත්තෙත් ඒවම තමයි.

    කොස් කිවුවම මතක් උනේ..ඉස්සර අපේ ‍ඇනෙක්ස් එකක නැවතිලා හිටිය පවුලක්. ඒ ගොල්ල සමහර දවස් වලට කොස් තම්බලා සැමන් එක්ක කිරි හොද්දක් හදනවා කොස් විතරක් කන්න.හප්පා..තාමත් මතකයි ඒ රහ.

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. බුද්ධි...
    මොකෝ මතක නැතුව ඒ බාල්දි කාරයා නසියර්ට වැඩ උගන්නපු එකානේ.

    ReplyDelete
  25. wath...
    වත්... සිටුවර මොන්තක්‍රිස්තෝ කථාව පුදුම ලස්සනයි. ඒත් ඔය චිත්‍රපටියේ තියෙන්නේ සංක්ෂිප්තයක් විතරයි.
    ඔය පොත වෙළුම් 6ක් තියෙනවා. පුළුවන් නම් හොයාගෙන කියවන්න. තනි පොතකත් තියෙනවා. ඒත් පොත් 6යේ කාණ්ඩය පුදුම ලස්සනයි.
    මම අන්තිමට ඔය පොත් 6ම කියෙව්වෙ 1997දී විතර ඒත් අදටත් සමහර කොටස් මට මතකයි. පුළුවන් නම් හොයාගෙන කියවන්න පුදුම හිතෙයි.

    ReplyDelete
  26. හා පැටික්කි (MS) ...
    ප්‍රින්සිපල් දැන ගත්තට නම් මොකෝ.
    මොකද එයා චණ්ඩියද?
    අපිත් තාම කාටුන් බලනවා.
    ඒත් දැන් ඉස්සර වගේ කාටුන් නැහැනේ නංගියෝ..
    අපේ තාත්තට හම්බ උනා මැප් එකක්. එකේ තියෙන්නේ නිධානයක් ගැන...
    ඔයා අහලා තියෙනවද මෙ කථාව..
    ඒ තමයි ගලිවර්ගේ සුවිසැරියේ ආරම්භය.
    මට ඇඩෙනවා ඔය වචන පෙළ යද්දී...

    ආ ඒක නෙවෙයි හාවෝ කොස් කනවැයි..?

    ReplyDelete
  27. Raven...
    අපේ මල්ලී නම් සීනිත් එක්ක කොස් කනවා, මට නම් හිතන්නවත් බැහැ.
    හැබැයි සැමන් හොද්ද හොදයි.

    ReplyDelete
  28. ඔන්න තව එකක් දැම්මා...රයිට් ඔයගෙ බ්ලොගර් සෙටින්ග්ස් වල දාලා තියන gmail එකෙ ඇති ...

    ReplyDelete
  29. ඔන්න වත් අක්ක මතක් කරපු හින්දා මනුතාපය බාන්න දැම්මා...හරිම ලස්සන කථාවක්...

    ReplyDelete
  30. කොස් කෑවට් කොස් කිරනවා එහෙම නෙමෙයි ඔන්න....

    මේක කියවන කොට මට මතක් උනේ මම පොඩි කාලේ කොරපු වැඩක්.

    අපි ඉස්සර ඉදලෙන් කූරු දෙකක් කඩලා දෙපැත්ත ගැට ගලා හදාගන්නවා පොඩි දුන්නක්.
    ඊතල වෙන්නෙත් අර ඉදලෙන් කදා ගත්ත පොල් කූරටම තමා.
    දවසක් මමයි මල්ලියි මෙහෙම දුනු දෙකක් හදාගෙන ගියා ලොක්කයියව දඩයම් කරන්න.
    එයා දවල්ට කාලා නිදියනවා. මම ජනේලෙන් දුන්න දාලා ඊතලයක් විද්දා..
    මේ ක වැදුනේ නැතෑ අය්යගේ ඇහැ ගාව.
    මැට නිකං මුත්‍රා යන්න ආවා වගේ උනා.
    මම දිව්වා. මල්ලීත් දිව්වා.
    අපි ගිහින් ගෙදර ආවේ රෑවෙලා.
    බලනකොට වෙලාවට ඉරට්ට ඇනිලා තිබුනේ ඇහි බැමේ..
    තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම් බඩුම තමා...
    එදා රෑ අපි දෙන්නට හමබ් උනා ඇති වෙන්න...


    /බිඟුවා...!

    ReplyDelete
  31. @RAVA
    " මනුතාපය බාන්න දැම්මා" කොහෙන්ද? අපටත් ලින්ක් එක දුන්නා නං!

    ReplyDelete
  32. ආයිබෝං...මලේ මගෙත් විබාගය ඉවර වුනා... ගොඩ යන ගානට ලියාගත්තා... උඹත් එක්ක මල පැනලා ඉන්නේ හැබැයි තවම කුප්පියේ කතාවට... හම්බ වුන වෙලාවට ඉස්සෙල්ලම බේරගන්න තියන ගනුදෙනුව කරලා ඒක පැත්තකට තියමු....
    සිරිබිරිස් අයියේ අරූ නීරෝ නේද...? මම පොඩි කලේ අප්පච්චීත් එක්ක කඩු හටන් කරනවා මතකයි "නීරෝ කරමු ..." කිය කියා.... කිව්ව විස්තරය නම් හරියටම ගැලපෙනවා...
    බොක්කෙන්ම ලියන අපූරුව මූ මේ බ්ලොග් එක....

    ReplyDelete
  33. ඒ කේස් එක නෙමේ බං. අර සුදු අස්සයො පිටේ එන්නෙ බාල්දි දාගෙන සෙට් එකක්ම. සුදු ඈදුමේ තඩි රතු කුරුස ගහගත්තු සෙට් එකක්. අන්න ඒ කේස් එක මං කියන්නෙ.

    ReplyDelete
  34. ඔව් ඉතින් කොහොමටත් පවුල් අවුල් දික්කසාද කතා බලනව කිව්වට වඩා කොච්චර නම්බුද කාටූන්.....කාටූන් නෑ තමා ඒත් දෙරණෙ යන කවලම් කාටූන් කොච්චර බැලුවත් එපා වෙන්නෑ...මනුතාපය, රොබින්සන් අන්දරය ඒවට ආසයි. ගහගන්න ඒවට තමා අකමැති. ඇයි ඉතින් ඊට පස්සෙ මාත් ගුටි කන්නෙපයි ඒකෙ විදයටම.... අයිය ඕව ටෙස්ට් කරන්නෙ මාව භාවිතයෙන්නෙ.... එයා රෙස්ලින් බලපු දවසට මං ඉවරෙටම ඉවරයි...කොන්ඩෙන් අල්ලල අඳිනවා.....ඇද උඩ ඉද්දි එයා ව්ට්ටමට නැගල පනිනව... මට හරී.... සනීපයි....

    මං ඔය පාර නම වෙනස් කරනව... m ඇහුව හාවියො අමුඩ අඳිනවද කියල අයියා කොස් කනවද අහනව අහිංසක මට කොයින්ද ඕවට උත්තර.....

    ReplyDelete
  35. @Tissa
    අනේ මංදා. මං හිතන්නෙ, මට ටැපලුනා කියලයි. කොහෙද, මේ ඔක්කොමලගෙම නම් එක වගේනෙ. අකුරු දෙකයි, ඒකෙත් අන්තිම අකුර ඕ. හරියට මෙහෙ ඉන්න ඉතාලි කට්ටියගෙ වගේ.

    මාරයගෙ තාත්තාගෙ, බඩ දරු අම්මලෑ දානේ කිව්වාම මතක් වුනේ පරණ කතාවක්.
    ඔය සුද්දො රට කොරවන කාලෙ, වැඩිහරියක් බර බඩු ප්‍රවාහනය කෙරිලා තියෙන්නෙ ගගවල් දිගේ, පාරු වලින්. ඔය සමහර තැන්වල ගග අයිනෙ කෑම කඩත් තිබුනාලු, මේ පාරු කාරයින්ට කෑම කන්න. මං හිතන්නෙ කෂ්ටිය පාරු ඉවුර අයින පාක් කරලා, කුඩා බඩවැල් දිග ඇරෙන්න ඉදිආප්ප, ආප්ප එහෙම දෙසාබාන්න ඇති. ඔය පාරු කාරයො බොහොම හැඩි දැඩි මිනිස්සුලු. සල්ලි මඩිස්සලේත් පිහියකුත් ඉනේ ගහගෙන ඉන්න පාරු කාරයෙක් ලගට, කොලඹ අයියා කෙනෙක් වත් කිට්‍ටු වෙන්න බයයිලු. ඔය පාරුවල උයන පාරු බත බොහොම ප්‍රසිද්දයි, පලාතටම සුවද ගහනවාලු.

    ඔය පාරු බතේ සුවදට අම්මලාට දොලදුක හැදෙනවාලු. කොච්චර කර්කශ මිනිස්සු වුනත්, එහෙම අම්මාකෙනෙකුට තමන්ගෙ බත් පංගුව හරිදෙන්න ඒඅය පැකිලෙන්නෙ නෑ කියලයි කියන්නෙ.

    ReplyDelete
  36. @Siribiris ට
    මනුතාපය හැබැයි ටොරන්ට් ලින්ක් එකක්, සිරසෙ ගියා හඬකවලා ලස්සන කතාව...

    http://torrents.thepiratebay.org/4115355/Les.Miserables%5B1998%5DDvDrip%5BEng%5D-Toxic3.4115355.TPB.torrent

    ReplyDelete
  37. @මාරයා මලේ + රවා මල්ලී: අපේ සිරිබිරිස් අයියා බොහොම සොඳුරු රසවතෙක්... ලොකු පරාසයක රසවින්ඳනයක් තියන, ඇසූ පිරූ තැන් ඇත්තෙක්... ඒ වාගේම හරිම නිහතමානී මනුස්සයෙක්... ඒ නිසා එතුමාට ඔය මනුතාපය හොයලා හරියටම තියන තැන කියලා දුන්න එක බොහොම හොඳා... සිරිබිරිස් අයියේ බටර් ගෑවා නෙමේ හොඳේ... හොඳ රසිකයෝ ඊලඟ පරපුරටත් හඳුන්වාදීමක් කලේ ....

    ReplyDelete
  38. රවාටයි, තිස්සටයි ස්තුතියි. මාරයා ඇතුලු සියලුම බ්ලොග් ලියන යම පල්ලන්ටත් ස්තුතියි , අපිට මෙහෙමවත් බලන්න ලියනවාට.

    ReplyDelete
  39. මම පොත් set එකම කියවල තියනව. පුස්තකාලෙට මම කියලම පොත් ටික ගෙනාව ඒ දවස් වල. බොරු කියන්න ඍ්න නැහැනෙ . මම ඔයාට එවන්න කියල පොත් 3 ක් සැරින් සැරේ ගත්තා. ඒත් ගත්තට පස්සෙ මම ඒව කියවනව. ඊට පස්සෙ දෙන්න ලෝබයි. ඊට පස්සෙ හිතනව ඒ ජාතියෙම පොත් 3ක් අරන් ඔයාට එවනව කියල. ආයෙ පොත් කඩේට ගියහම ගත්ත පොත්ම ගන්න මෝඩය කවුද කියල හිතල වෙන පොත් ගන්නව. ආයෙත් කැරකිලා හිටපු තැනම තමයි. ඔන්න වැෙඩි.

    ReplyDelete
  40. අපූරුවට ලියල තියෙන්නෙ මේ කම්මැලියි කිව්වට.. මටත් පොඩි කාලේ පුදුම රොබින් හූඩ් පිස්සුවක් තිබුනෙ. එත් රුපවහිනියෙ එක යද්දි මම හුගාක් පොඩියි. රොබින් හුඩ් හරියටම බැලුවෙ ස්වර්ණවාහිනියෙ සෙනසුරාදා හවසට පෙන්නපු කාලේ. එතකොට මම 7 වසරෙ

    ReplyDelete
  41. මමත් කැමති පරණ රොබින්ට.මතක ඇති කාලෙ ඉඳන් ටීවී එකෙ ගියපු හැම පාරම බැලුවා..

    ReplyDelete