10 April 2010

පුරුදු තැන...

හුග කාලෙකට පස්සේ අද ගෙදර ගියා.
තෑගි බෝග කර පින්නගෙන, අවුරුද්දට ගෙදර ගිහින් ආවා.
අම්මයි, මල්ලි බැඳපු නංගියි, මල්ලිගේ පොඩි එකයි විතරයි යන කොට හිටියේ..
පැයක් විතර යන කොට මල්ලී එනවා ඇහුනා, ඒත් එක්කම ආපහු මාරු වෙලා යනවත් ඇහුනා.
නංගී අසරණව බලා හිටියා. මම ගණන් ගත්තේ නැහැ.
පොඩි එකා නං එන්න දුන්නෙම නෑ.මාරයා වගේ අඩනවා..
බොහොම අමාරුවෙන් තමයි දාලා ආවෙ.

ගෙදර පරිසරය නං එදා වගේමයි.
වෙනසකට තියෙන්නේ මගේ කාමරය අම්මා පාවිච්චි කිරීමත්,අම්මාගේ කාමරය මල්ලිලා පාවිච්චි කිරීමත් පමණයි.
නෑනා ගේ හොඳ පිරිසිදුවට තියාගෙන ඉන්නවා දැක්කම සතුටක් දැනුනා.
කෑම කාලා යන්නකිවුවත් මම ආපහු එන්න ඔන කිවුවම නංගී කෙසෙල් කොලේක බත් එකක් බැඳලා මගේ බෑග් එකට දැම්මා. ඒ විතරක් නම් මදෑ දඩි බිඩි ගාලා.. කජු ගෙඩි සීයක් එකසිය පණහක් විතර කපලා සුද්ධ කරලාම දුන්නා.
කාලෙකින් තමයි කජු මද පාරක් දැම්මෙ.
ඒකිට පින් සිද්ධ වෙන්න ඔන.
බිලිං ගහේත් ගෙඩි හැදිලා ඒකෙනුත් ටිකක් කඩලා දුන්නා.
හෙට වැඩ හින්දා අනිද්දට තමයි උයන්න වෙන්නේ.

ඊයෙයි පෙරේදයි බාර් වහලා නිසා මම අමද්‍යප වෘතය ආරක්ෂා කර ගත්තට මොකෝ ඔන්න අද එන ගමන්ම බඩු ගෙනාවා.කජු මද ටිකකුත් බැදලා ලූනුයි මිරිස් කුඩුයි ඉහ ගත්තා..ආයේ ඉතින් තව මොනවද..?

සාමාන්‍ය දවසක්.
වැඩි වෙනසක් නැහැ.
ගමට ගියා කියලා අද නම් අමුතු දුකක්වත් සතුටක්වත් නැහැ. අනේ මන්දා..?
අහල පහළ තොරතුරු හුගාක් අම්මා කිවුවා.
ඒ අතරින් දෙකක් හිතට දැනුනා.
එකක් ගෙදරට කිට්ටුව අපේ නෑදෑ වෙන ගෑනු ළමයෙකුට පපුවෙ අමාරුවක් බව පැවසීම..
කිවූ හැටියට නම් තත්වය තරමක් බරපතළයි වගේ..
මම ගමෙන් යන කොට කෙල්ලට වයස 14ක් 15ක් විතර ඇති..
ලස්සනම ලස්සන රෝස පාට කෙල්ල..
මාත් එක්කත් සෙල්ලම් කරනවා.
මට හරි ආදරෙයි.
මාත් එහෙමයි. ඒ දවස්වල මගේ වාහන දෙක තුනක් තිබුනු කාලේ මෙකී පන්ති යද්දි එහෙම හම්බ උනහම යන ගමන වෙන අතක දාලා උනත් පන්තියටම ගිහින් බස්සනවා.
ඇත්තටම පවු. බලන්න යන්න ඔන උනත් ඒ පැත්තේ ගියොත් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියහම තියෙන කරදරෙ නිසාම ඒක හරි ගියේ නැහැ.

දෙවන කාරණය මගේ වෙන්න සිටි ඇය.. මගේ හොදම මිතුරාගේ නැගණිය..වසර දෙකක් පමණ යහළුවන් සේ ඇසුරු කරමින් සිට පසුව තවත් වසර තුනක් පමණ පෙම්වතුන් වී සිට.. තවත් වසර පහක් පමණ මා එතැයි මග බලමින් සිටි.. අවසානයේ නිවෙස් වල යෝජනාවක් මත මගේම තවත් මිතුරකු හා මගේත් ආශිර්වාදය සහ අවසරය මත දීග ගිය ඇය ..

ඈ පිළිබඳව අම්මා පැවසූ දෙය මා හට විශ්වාස කල නොහැකි බව අම්මා හට මා පවසන විට අම්මාගේ මුහුණ ඇකිලී යන අයුරුත්, නංගීගේ මුහුණ මත මා පිළිබදව ආඩම්බර වන්නාක් මෙන් වූ සිනාවක් ඇදී නොපෙනී යන අයුරුත් මා හොදින්ම දුටුවා.

මගේ වන්නට සිටි ඇය දැන් මගේ මිතුරකුගේ බිරිඳ වී ඇති අතර දැන් ඔවුනට දරුවකුද සිටී.
ඇගේ වෙනස්කම් නිසා ඇයගේ නැන්දා හා මාමා මහ ගෙදරින් වෙන්ව ගෙට පහළින් සාදා ගත් තවත් කුඩා නිවසක දිවි ගෙවන බව අම්මා කියා සිටි අතර අම්මා ඇය වැරදි කාරිය කර හමාරය..

නමුත් ඇගේ නැන්දනිය පිළිබඳව ඉතා හොදින් දැන සිටි මා.. ඒ පිළිබඳව කරුණු කියන්නට ගත් විට අකමැත්තෙන් වූවද ඒ කරුණුවලට එකග වීමට අම්මාට සිදු විණි. සමහර විට මා කතා කල අන්දමෙන් මා තවමත් ඇය පිළිබද ආදරයෙන් සිටින බව අම්මා සිතනවා විය හැක.
නමුත් අසාධාරණයේ ඇයට චෝදනා කරනු මා හට අසා සිටිය නොහැක.

ඇය ඇත්තෙන්ම රූප සුන්දරියක් නොවූවාය..
කළු පැහැ කුඩා කෙල්ලෙක් විය..
නමුත් මෙ ජීවිත කාලය තුල මා හට බඩ බැදගෙන ආදරය කල එකියන් අතර ඇය අදටත් අංක එකෙහි පසුවන බව මා දනිමි.

වත් පොහොසත් කම් අතින් ඉතා ඉහළ තලයක සිටියදී පවා.. ඈ දිළිදු මාහට පෙම් කළාය.. කිසි දින ඈ වෙනුවෙන් කිසිවක් නොකල මා හට ඈ නොකළ දෙයක් නැති තරම් විය.. අනන්ත අපමණ වැරදි කරන්නකු වූ මා හට ඈ කිසිදු නිදහසට කරුණු නැති විටක පවා පූර්ණ සමාව දුන්නාය..
මගේ මවගේ විරෝධය බලවත් වූ විටත් මවට විරුද්ධව වචනයකුදු නොකීවාය..
ඇගේ පියා විරුද්ධ වූ පසු ඈ අසරණ වූවාය.. මා එය තේරුම් ගතිමි.
ඇය ජීවිතයේ මා හට වඩා ආදරය කලා නම් ඒ පියාට පමණි.
අවසානයේ මා ඈත් වුනෙමි.
ඇගේ පියා නෑදෑ කමින් මා හට සහෝදරයකු විය ඒද ඉතා දුරිනි. ඒ හැර වෙනත් ආරවුලක් ඇගේ පියාත් මාත් අතර නොවිණි. ඔහුට සිටි විශ්වාසවන්තයින් අතරින් මාද එකෙකු විය.
ඔනෑම වෙලාවක ඔහුගේ නිවසේත් ව්‍යපාරික ස්ථානයේත් දොරගුළු මා හට විවෘත විය.
ඇගේ මවගේ හා මගේ පියාගේ කැමැත්ත අප දෙදෙනාට තිබුනද.. ඇගේ පියාගේ හා මගේ මව සහ සහෝදරයාගේ විරෝධය ප්‍රභල විය.
ඈත් ඇගේ පියාත් අතර පවුරක් වීමට මට නොහැකි විණි.
ඉතාමත් වෙදනාවෙන් වූවද මා තරමක් දුරස් වන්නට විණි.

අවසන අප නිවසේ ආරවුලක් මත මා නිවසින් පිටව ගොස් පසුව පැවිදි වීමි.
ඒත් ඇය මා ඒවි යැයි බලා පොරොත්තු වූවාය..
මගේ පියාගේ අවුරුද්දේ දානය සඳහා තවත් ස්වාමීන් වහන්සේලා කීප නමක් සමග නිවසට පැමිණි වෙලෙහි මා දුටු දසුනින් මා සැලී ගිය බව කිව යුතුය.
ඇය.. නිවසේ සුරතලිය සේ සැපසේ වැඩුනු ඇය..
ඊට පෙර කුමක්දෝ කාරණාවකට ඇගේ මවත් සමග එකම එක් වරක් පමණක් පැමිණි ඇති මුත් මා හා සම්බන්ධය ඇති වූ පසු කිසි විටකත් අප නිවසට පැමිණී නැති ඇය..
අප නිවස පිටු පස අනිත් උදවියත් සමග හරි හරියට වෙහෙසෙමින් සිටියාය.
දානය සදහා ඉවුම් පිහුම් වල මුල් තැනක් ගෙන ඇය වෙහෙසෙනු දුටු මා හට මගේ මුළු ලෝකයම කඩා වැටුනාක් මෙන් විය.
මට කුස රජු සිහි විය..

මා වැඩ සිටි පන්සලේ සිදු වන යම් යම් පින්කම් වලට දුර නොතකා ඈ හා ඇගේ දෙමවුපියන් කීප වරක්ම පැමිණ ගියාය..
මා ධර්ම දේශනාවක් සඳහා අපේ ගමට පැමිණි සෑම විටම ඇය මා පය පාමුල සිටියාය..

අවසන මා නොඑන බව පැහැදිලි වූ පසු විවහා යෝජනා රාශියක් අවසන තවදුරටත් බලා නොසිටිය හැකි තැන..
ඇය දීග ගියාය..
ඒද මා විසූ පන්සලට පැමිණ මගේ කැමැත්ත ඇතිවය...
ඉඳින්.. කුමක් කියන්නද..?
ඇය පිළිබඳව මට කවදාවත් අහිතක් සිතිය නොහැක...

මග වරද්දා ගත් මගියා මම වීමි..

මීට වඩා මෙ ලිපිය තව දුරටත් මා හට ලිවිය නොහැක...

29 comments:

  1. ගෙදර ගියා කියල දැන ගත්තම බොහොම සතුටක් දැනුනා.
    ඔයා ආද​රය කරපු ගැහැණු ළමයි අතරින් බොහොම ලෙංගතු ආදරයක් ලබන්න ඈය පිංකරල ඈති. බලන්න ඈගේ සිත කොයිතරම් පිවිතුරුද කියල. ඒ වගේම හරිම ශක්තිවන්තයි.
    හැම කෙල්ලකගෙම ලස්සනක් දකින ඔයා ඒ ගැහැණු ළමයගෙ ලස්සන දකින්නෙ වෙන විදිහකට. ඒ බව ඔයා කිහිපතැනකදිම කියල තියනව.
    ඒ වගේ සමීප කෙනෙක් නැති කර ගත්ත ඔයා නම් ඈත්තටම පාර වැරදුන මගියෙක්.
    ඒත් මොනා කරන්නද .... පාර වැරදුනයි කියල දැන ගත්තෙ ගොඩක් දුර ගියාට පස්සෙ නිසා ආපසු හැරිල එන්නත් බැහැ නෙ. එනිසා ඒ වැරදුන පාරෙම ඉදිරියට යන්නයි ,ආයෙත් පාර වරද්ද ගන්නෙ නැතිව ඉන්නයි හිතා ගත්තම හරි.
    ඔයාගෙ අර හොඳම යාළුව වුන බෝතලේ ඇර ඊලග හොඳම යාළ්ව වගේ ඉන්න මම
    ඔයාට ඉන්නව නේ.
    හැබැයි ඉතින් ඇයත් නොදන්නිය ඈය යන මාවත තමයි ....

    ReplyDelete
  2. සඳ එලිය සේ අචින්ත්‍ය උත්තරීතර ආදරය හැම වෙලාවෙම අනෙකාගේ යහපත තකන්නක් . . . උඹ ඒ ආදරයට නියම අරුතක් එකතු කරලා කියලයි මම හිතන්නේ . . .

    ඉදිං තවදුරටත් ඒ පූජනීය අදරේ සුවඳ හදවතට තුරුලු කරගෙන උඹ උඹේ ඉරණම් කාරයා හෙව්ව නම් හොඳයි කියලයි මට හිතෙන්නේ මචං . . .

    ReplyDelete
  3. මෙය මා සම්පුර්ණව කියෙව්වා....
    සමහර ජිවිත තියනවා එවා චක්‍රයක පරිපූර්ණව ගලාගෙන යනවා.
    සමහර ජිවිත බාධක ,දුක් කම් කටොලු මතින් ගලාගෙන යනවා.
    වැදගත්ම දෙ හදවත ඉල්ලන දෙ..
    ඔයගෙ හදවතත් තවකෙනෙක් ගෙ හදවතක රැකවරනය, සහායොගය ඉල්ලනවා. ඔයාට එහෙම නැහැයි කියන්න බැහැ හදවතට එකඟව.

    ඔයා බයයි ආපහු ඔයාව බිමට ඇදන් වැටෙයිද කියලා එකයි ඔයා මෙහෙම ජිවත්වෙන්නෙ.. ඔයා මග වරද්දාගත් මගියෙක් තමයි.. හැබැයි ඔයා ගොඩක් පරක්කු වුණ මඟියෙක් නෙමෙයි. ඔයා ගොඩක් පරක්කු වුනොත් සමහර විට අන්තිමට අපි හැමොටම ගොඩක් දුක් වෙන්න වෙවි. මොකද මමත් දකිනවා ඔයාව. මමත් ඉගෙන ගන්නවා ඔයාගෙන්.
    ඔයා වගෙ කෙනෙකුට තවත් හදවතක ආදරයක් , සෙනෙහසක් හම්බ වෙලා දරුවෙක් මල්ලෙක් ඇති වුනාම ඔයාට ඇතිවන සුවය ගැන අපි කාටවත් වටහා ගන්නත් බැහැ. උත්සහා කරාට වැටහෙන්නෙත් නැහැ.. ඉතින් ඔයා දවසක මිට වැඩිය හදවතින් දුක් විඳිද්දි ඔයාගෙ අම්මාගෙ ඇහෙ විතරක් කඳුලු තියෙයි. ඔයගෙ අම්මත් අසරණයි. එයාව තවත් අසරණ කරන්නෙ නැතුව එයාටත් මෙ ලොකෙන් සැනසීමෙන් යන්න එයාව නිදහස් කරන එකත් ඔයාට බාරයි..මතක තියා ගන්න සංසාරෙ කල කී දැ හින්දා ඔයා අද මෙහෙම ඉන්නවා.. හැබැයි ඔයා තවත් කාටහරි හිතට දුක් දිදි තමුන් ඉපදුනු එකෙ අර්ථය නැති කරගන්න උත්සහා කරන්න එපා. මම හැමදාමත් කියනවා මොන ජගතෙක් උනත්, කොච්චර සල්ලි තිබුනත් වැඩක් නැහැ සතෙකුට ඌගෙම කියලා පැටියෙක් නැත්නම්..බය වෙන්න එපා තව එක පාරක් හදවතෙ දොර අගුල ඇරලා බලහන් මොනවද හම්බ වෙන්නෙ කියලා....ජිවිතෙ හැමදාමත් දුක හිටින්නෙ නැහැ..
    මාරයියා.. දුවද්දි වැටෙන මනුස්සයා නැගිටින්නෙ , නැගිටලා ආපහු දුවන්නෙ රේස් එක දිනන්න නෙමෙ, දිනුම් කණුව පසු කරන්න. එකයි අපිට දිනන කෙනාට වැඩිය වටින්නෙ

    ReplyDelete
  4. ගිය දේවල් ආපහු ගන්න බෑනෙ. ඒ ගැන දුක් වෙන්න එපා. අපි ජීවත් වෙන්න ඕනෙ වර්තමානයේ මිසක් අතීතයේ නෙවෙයි. අතීතයෙන් ගන්න ඕනෙ අත්දැකීම් විතරයි!

    ReplyDelete
  5. මගේ සිත කම්පා වී ගියා. දුකක් ම නෙමේ මිශ්‍ර හැඟීමක්. දානේ ගෙදර සීන් එක, පන්සලේ දී අවසර දීම. සැබෑ ජීවන කතා කොච්චර උද්වේගකරද? සුන්දරද?

    ReplyDelete
  6. wath...
    උන් හිටි තැන් මතකයෙ අඩමානය..

    ReplyDelete
  7. දුකා...
    මා ඇයට යන්නට ඉඩ හැර අවසානය..
    මවගේ මතක් කිරීම නිසා ඇය අතීතය හරහා මගේ හදවතට ගොඩ වූවාය...

    ReplyDelete
  8. රවා...
    මල්ලී උඹ කියන දේවල් හැම දෙයක්ම හරිද වැරදිද කියලා මම කියන්න යන්නේ නැහැ...
    නමුත් මෙ දක්වාත් උඹට මාව තේරුම් ගැනීමට හැකි වී නැති බව නම් කිව යුතුයි...

    ReplyDelete
  9. nadeesthoughts ...
    ඇත්ත මම පිළි ගන්නවා.
    නමුත් මගේ සිත නිතර මා අතීතයට ගෙන යනවා...
    වර්තමානය මෙන්ම අතීතයද මා හට එක සේ වැදගත්..
    අනාගතය දෙස උපේක්ෂාවෙන් බලනවා හැර වැඩි යමක් මා තුලින් නොවනු ඇත...

    ReplyDelete
  10. කතන්දර කාරයා...
    කතන්දර තිඛෙන්නේ අප තුලමයි,අපේ අත්දැකීම් තුලමයි..
    එදා පන්සලේදී ඇය මගේ පා අල්වාගෙන අවසර පැතූ මොහොතේ..හිතේ ඇති වූ සියළුම හැගීම් යටපත් කරගනිමින්.. යන්නට ඉඩ ඇරියේ යළි කිසිදු දිනක ඈ මාහට හිමි නොවනා බව හොදින්ම අවබෝධ කර ගනිමිනි..
    ඒ අවස්ථාව කීමට වඩා එයට මුහුණ දීම ඉතා අසීරුයි...

    ReplyDelete
  11. මට නිකන් චිත්‍රපටියක් වගේ මැවිල පෙනුනා. ඉච්චිත අලාභෝ දුක්ඛං කියල ඉතින් මාර අයිය දන්නවනේ. අනේ මන්ද මොනා කියන්නද කියල.

    ReplyDelete
  12. අයියාට ජීවිතේ ගැන කියන්න තරම් මේ පුංචි සමනලී ජීවිතේ අත්දැකීම් ලබලා නෑ... ඒත් ජීවිතේ එක වරක් පාර වරද්දාගත් පමණින් හැමදාමත් වරදිනවාද අයියේ? සමනලී නම් හිතන්නේ නෑ එහෙම වේවි කියලා.... ජීවිතේ කියන්නේ කියවලා ඉවර නැති අපූර්ව කතා පොතක්ලු...තාමත් අයියා ඉස්සරහා පෙරලලා බලලාවත් නැති ඒ පොතේ පිටු හුඟක් ඇති.... ඉතින් අපි ඒ හෙට දවස ගැන සුභවාදී බලාපොරොත්තු තියමු නේද?
    අයියාට සුභ අලුත් අවුරුද්දක්...!!!

    ReplyDelete
  13. වැරදීමෙන් පසු යන මාවතේද ගිමන්හලක් නොතිබිය නොහැක.... එය සොයා යාම ඔබ සතුයි,

    ReplyDelete
  14. සම තැනිතලාවල හමුවෙයි අලසකම
    නිරසයි අතරමග අවහිර නොදුටු බිම
    (එච්. එම්. කුඩලිගම කිවිඳු)

    ReplyDelete
  15. අතීතය සිහිනයක් පමනයි සැබෑ සුවයක් නැහ කියල දිවුල්ගනේ මහත්තයත් කියනවනේ අය්යේ....

    ReplyDelete
  16. ඔන්න ඉතින් ආපහු හිටපු තැනටම ඇවිල්ලා..
    මමත් මුලින් හිතුවෙ කවුරු හරි මාව තෙරුම් ගනි කියලා.. එත් කට්ටියත් එක්ක ඉද්දි මට තෙරුනා.. කවුරුත් කාවවත් තෙරුම් ගන්නෙ නැහැ.. තෙරුම් ගන්නත් බැහැ.. රොදෙ කැරකි කැරකි ඉස්සරහාට යන එක විතරයි වෙන්නෙ.. කියලා.. එත් එකක් කියන්න ඔනා..

    ReplyDelete
  17. මේ මොකද්ද යකෝ මේ කියන්නේ...?
    "නමුත් මේ ජීවිත කාලය තුල මා හට බඩ බැදගෙන ආදරය කල එකියන් අතර ඇය අදටත් අංක එකෙහි පසුවන බව මා දනිමි" එතකොට අංක දෙක තුන ගැන දුකක් නැද්ද...?

    ReplyDelete
  18. ත‍රිඳු...
    ඇයි මල්ලියේ ප්‍රිය විප්ප යෝගයත් එහෙම නෙව..

    ReplyDelete
  19. punchisamanalee...
    පුංචියි කියලා නැහැ සමනළියේ..ඔයාත් දැන් ලොකු කතා තමයි කියන්නේ..
    ඇත්ත ජීවිත පොතේ පිටු තාමත් හුගාක් ඉතිරියි..
    නංගියාටත් සුභ අළුත් අවුරුද්දක් වෙවා..!

    ReplyDelete
  20. චේජනා...
    සදාකාලික ගිමන් නිවන ගිමන් හලක්..?

    ReplyDelete
  21. ප්‍රිය විප්පයෝගයට වඩා හපන් අප්‍රිය සම්පයෝගය :-)

    ReplyDelete
  22. sansarasidu...
    කතාව නම් ඇත්ත සහෝ..
    ඒත් එක දිගටම කටුක බිම්වල ඇවිදලා ඇවිදලා..ඇති වෙලා..

    ReplyDelete
  23. පිස්සා පලාමල්ල...
    මගේ මුවෙ නිතර රැදුනු ගී පද වැල..

    ReplyDelete
  24. ත‍රිඳු...
    අම්මපා ඇත්ත..

    ReplyDelete
  25. රවා...
    කොහොම කැරකුනත් ආයේ එකම තැනට තමා එන්නේ..

    ReplyDelete
  26. තිස්ස දොඩන්ගොඩ...
    ඇත්තටම ඒ කියමන වෙනස් විය යුතුයි.
    "නමුත් මේ ජීවිත කාලය තුල මා බඩ බැදගෙන ආදරය කල එකියන් අතර ඇය අදටත් අංක එකෙහි පසුවන බව මා දනිමි"
    "ඒ අතරතුර මා හට බඩ බැදගෙන ආදරය කල එකම එකිය ඇ වූවාය..."

    ReplyDelete
  27. ජීවිතේ මේ වගෙයි....... හ්ම්....

    ReplyDelete
  28. monawa kiyannada kiyala therenne na.mama ada thamai me blog eka kiyeuwe.mama meka okkoma mula idan kiyawanawa.kohoma unath oyaata hodata liyanda puluwan.eka hariyata ganata tune karapu guitar ekak hari violin ekak hari lassanata play karanawa wage.godak lassanai.

    ReplyDelete
  29. ටිකක් කාලෙකට කලින් ලිය වෙච්ච ලිපියකට කොමෙන්ටුවක් වැටුනහම මටත් ආයෙමත් මේක කියවල බලන්න හිතුනා...

    මේ ජීවිතේ හුගක්ම අමාරු දවස් කිහිපයක් මා'තින් ලිය උන ලිපි..බොහෝම ස්තූතියි අගය කිරීම පිළිබඳව..

    ReplyDelete