19 April 2010

නින්ද අසළ නැති හින්දා...

දවසක අවසානය සටහන් කරන්නට තාමත් හිත හදා ගන්න අමාරුයි.
දැන් නිදා ගත්තොත් මම දන්නවා අද දවස ඉවරයි කියලා.
ඒ හින්දමද මන්දා මට නිදා ගන්න හිතෙන්නේම නැහැ.
පහු ගිය දවස් ටිකේම එක දිගටම වගේ රාජකාරී...

ඒ අතරේ යන්තම් පැය දෙක තුන පොඩි විවෙක ගත්ත වෙලාවලූත් තිබුනා.

14 වෙනිදා උදේ ගෙදරට ඇවිත් බ්ලොග් ටික කියවලා.. එහෙමම මගේ පරණ ගෝලයෙකුගේ ගෙදර ගියා.

මගේ හොඳම ගෝලයෙක් වගේම මිතුරෙක්, අග්‍ර දායකයෙක් වන මෙකට දැන් වයස 22ක් විතර වෙනවා.
මහණ වෙලා හිටි කාලය තුල මගේ දුක සැප හොයා බලපු හිතවත්ම එකා මෙකා තමා.

දහසකුත් එකක් ප්‍රශ්න නැග එද්දී පවා..
ඒ කිසිවක් ගැන මගෙන් නෑසූ එකම පුද්ගලයා...
හැමදාම උදේ ඉස්කෝලේ යන්න කළින් ඇවිත් උදේ දානය ලැබුනාද කියා විපරම් කළ එකා..
දානය නැත්නම් ඉක්මනට කඩෙට දුවලා මොනවා හරි ගෙනත් දීලා ඉස්කෝලේ දුවලා..
දවල් දානය පිළිබඳවත් විශ්වාසයක් නැත්නම් ඉස්කෝලෙන් හොරෙන් පැනලා ඇවිත් හරි කන්න ටික ගෙනත් දුන්න එකා..
මහ පාරක් මැද උනත් වරදක් දුටු විට මගෙන් ලැඛෙන දැඩි දඩුවම් ඉවසීමෙන් දරා සිටන මුත් ගෙදරදී නම් කිසිවකුටත් යටත් නැති ගමෙ සමහර උදවියට තරමක් නහර කාරයෙකු වූ පුද්ගලයා....
ඇත්තටම මෙ කොල්ලා ගැන කියන්න මට වචන නැහැ..
අම්මා සහ නංගිලා දෙන්නා කතෝලික වූවද.. මොහුත් පියාත් බෞද්ධයින්..
මට අදටත් මෙ ලෝකේ විශ්වාසවන්තයකුට කියා සිටිනවා නම් ඒ මෙකාම තමා.

ඉතින් එහෙ ගියා..
වෙලපහම මගෙන් හිමීට අහලා තිබුනේ බියර් එකක් ගෙනාවට කමක් නැහැ නේද කියලා...
මන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනයෑ..හ්ම් හ්ම් කමක් නැහැ...

ඉතින් දවාලේ එහෙට පැනලා සප්පායම් වෙන වෙලාවෙ මෙන්න දුරකථන ඇමතුමක්..
නාදුනන අංකයක්..?නාදුනන කටහඩක්...

තිස්ස අයියා.. (තිස්ස දොඩන්ගොඩ) මළ මගුලයි....

කොල්ලෝ ටික කෑ ගහන සද්දේත් ඇහිච්චී..
ඒ මදිවට අපි හතර දෙනෙක් බියර් බෝතල් හයක් ඉවර කරලා..මදි පාඩුවට හංගලා තිබිලා එළියට ගත්තු ගල් බාගයකුත් හමාර කොළා විතරයි... මාත් මොනවා දෙඩෙවුවද මන්දා...
එක අතකින් පුදුම සතුටුයි..අනිත් අතින් ලැජ්ජාවෙ පණ ගියා..
ඉදලා ඉදලා කතා කරන වෙලෙත් මට වෙරි.. මක් කොරන්නද...?

කොහොම හරි ඒ වැඩ පිළිවෙළත් හමාර කරලා වැඩට ආපි.අවුලක් නැහැ. මම නැති අතරෙ මුන් ටිකත් කොහෙන් හරි බඩු හොයාගෙන ගහලා...
මාත් ඉතින් සද්ද නැතිව හිටියා අවුරුදුනේ...
හැබැයි මමත් බීලා නැහැ වගේ ඉන්නවා..උනුත් බීලා නැතිව වගේ ඉන්නවා..
නියම රගපෑම.. හොද වෙලාවට සිහිය ඇති එකෙක්වත් නැති හින්දම හොදයි.

ඔන්න ඉතින් අද පූර්ණ නිවාඩුවක් හම්බ උනා.
මගේ ගෝලයා ඇතුළු කිහිපදෙනෙක්ට එන්න කියලා උදෙන්ම කෝල් කලා..
දඩි බිඩි ගාලා ගේ අස් කරලා..දිවුවා යක්කලට..
කූල් බියර්...බයිට්...චිකන් ප්‍රයිඩ් රයිස්...වීදුරු... හා දැන් හරි..
කෙළින්ම ගෙදරට..
එකොළහ හමාර විතර වෙනකොට කස්ටිය ආවා.
ආව ගමන්ම පටාන් ගත්තා.හොද පදම කස්ටියට කන්නත් දුන්නා..
ටික වෙලාවක් පිස්සු කෙල කෙල ඉදලා කට්ටිය වැටිලා නිදි.
හවස පහට විතර නැගිට්ටව ගෙන නාවලා කරලා එක්කගෙන ගියා ගෙවල් පැති වලටම..
මම ඉන්න තැන ඉදලා කිලෝ මීටර 20ක් විතර ඇති.
ඒ යන ගමන්ම බිස්කට් ටින්,කේක් පෙට්ටි ටිකකුත් අරන් පරණ දායක නිවෙස් කිහිපයකටත් ගොඩ වෙලා ආපහු ආවා.පහු ගිය දවස්වල ඉරාකේ ඉදලා ආව හාදයෙක් මට කථා කරනවා ඇෆ්ගනිස්තානේ යන්න.
මෙ මාව...
එක්ක යයි කියලා තමයි බය...

එන ගමන් පුංචිලාගේ දිහාටත් ගිහින් ආවා.

ඔක්කෝමත් හරි මුක්කම නරකයි කිවුවා වගේ අළුත් අවුරුද්දෙත් පටන් ගත්තා නේද පරණ තැටියම වාදනය කරන්න.

දැන් වයස යනවා නේද..? කවදද පිළිවෙලක් වෙන්නේ..?
ඉඩං කෑල්ලක් ගත්තොත් හොඳයි නේද..?
ගෙයක් දොරක් හදන්නේ නැද්ද..?
හැමදාම ගෙවල් කුලී ගෙව ගෙව ඉන්න පුළුවන්ද..?
තමන්ට කියලා මොනවා හරි තියෙන්න ඔන නේද..?

කාලා වරෙංකෝ...
මාත් ඔහේ අහගෙන හිටියා...

එයා ඉවර කළා ...
මං පටන් ගත්තා....

වයස යන එක නවත්වන්න පුළුවන්ද..
ඇයි දැන් පිළිවෙලක් නැද්ද..?
කොහේ හරි ඉඩමක් ගන්නවා කියන්නේ මම ඒ පළාතට බැදෙනවා කියන එක..
අතට හම්බවෙන තුට්ටු දෙක ගෙවල් ඉඩංවලට යට කළහම මට හදිස්සියක් උනොත් සල්ලි කෝ.. මම යනවද කාගෙන්වත් ඉල්ලන්න..
මට දෙන්න කවුද බලන් ඉන්නේ...
තමන්ට කියලා දේවල් ගොඩ ගහ ගන්න හදන්නේ හැමදාම ජීවත් වෙන්නද..?
මට වැඩි ආයුෂක් නෑ...

මං ඉවර නොකලත්..
එයා පටන් ගත්තා...

ඔන්න කිවුවා කතාවක්.
කිවුවොත් මැරෙන කතාවක්.
මම දන්නේ නැහැ..
ඔයාට හොදයි කියලා හිතෙන විදියක් කරන්න..

එයා මුමුණනවා..
මාත් පටන් ගත්තා..

ඔවා ගැන ඒ හැටි හිතන්න එපා පුංචියේ..
වෙන්න තියෙන දෙයක් වෙවී.
මම හිතන විදිය ඔයාලා හිතන විදියට වඩා අමුතු ඇති.ඒත් ඒ මගේ හැටි.
ඔනවට වඩා අනාගතේ ගැන බය වෙලා පොදි ගහන්න මට අමාරුයි.
මොනවා කරන්නත් අද හොදට ඉන්න ඔන.
නොදන්න හෙටක් හින්දා මෙ හොදට තියෙන අදත් දුක් විදින්න මම කැමති නැහැ.
සමහර විට හෙට උදේට ඇවිත් පුංචියේ මම කසාද බැන්දා මෙන්න ගෑනි කිවුවත් පුදුම වෙන්න එපා.
ඒ වගේම තමා තව අවුරුදු ගාණකට පස්සේත් මම හිටියොත් ඔයා අද කියන බණේම මට කියාවි .
මම අහගෙන ඉදීවි.

ඇය නැවතත්...

ඒ උනාට වයසට යනකොට සලකන්නත් කවුරු හරි ඉන්න එපැයි.

මම..

ඒක ඇත්ත ඒත්.. දැන් තියෙන ආර්ථීක රටාවත් එක්ක ළමයින්ට තමන්ගේ ළමයින් හදන්ටයි අම්මලා තාත්තලා ගැන බලන්නයි ලේසි නැහැ.
ළමයින්ට බැනලත් වැඩක් නැහැ. ඇත්තටම උන්ට බැහැ.
මම කීයක් හරි ඉතුරු කර ගත්තොත් මට ගෙවන වැඩිහිටි නිවාසෙකවත් අන්තිම කාලේ ඉන්න බැරියෑ.

ඇය...

හ්ම් හ්ම්.. ඒකත් ඇත්ත තමයි............

ඉවර නැහැ.. නමුත් සාරාංශය ඔවැනියි.

රෑ 10ත් පහුවෙලා මම යනවා යන්න..
හොදයි පරිස්සමින් යන්න...

ඔන්න ඔහොමයි උනේ.

ඒ කතාව අතරේ තවත් කතාවක්

පොතක් ලදිමි.
පුරා හද..

පන්සල් ජීවිතය ගැන ජයතිලක කම්මැල්ලවීර විසින් රචිත හොද කෘතියක්.
එක හුස්මට කියවා ඉවර කරන ලදි.
ස්තූති කිරීම සඳහා දුරකථන ඇමතුමක් දීමට උත්සහ කලද..
දුරකථන මාර්ගය අවුල් ජාලයක් වී ඇත.
එබැවින්..

ස්තූතියි...

කතුවරයා පොත කාලෝ ෆොන්සේකාට පුදා ඇත.
පරිත්‍යාගශීලී ඇය පොත මට දී පිදුම පුර හඳටම දී ඇත..
මම නොදනිමි ඔවා...
(මට දැන් මුහුණේ තරම මැවී පෙනේ..)
දීලත් හොදක් නැති හැටි.

16 comments:

  1. කිවුවොත් මැරෙන කතාවක්.
    එක නෙ කියන්නෙ.. ජීවත්වෙන කතාවක් කියන්නකෝ....

    ReplyDelete
  2. මොනවා කරන්නද..?
    කියවෙන්නේම ඒකම තමයි...

    ReplyDelete
  3. අක්ක කියන කතාවත් ඇත්ත.
    උබ දීපු උත්තරෙත් ඇත්ත.

    අනේ මන්ද මචන්. මටත් ඔය තැටි අහල ඇති වෙලා.

    තැටියෙ වැයෙන දේත් හරි.. අපේ පැත්තෙන් අපිත් හරි.

    හික් හික් අවුරුද්දට නන්නත්තරයි වගේ

    ReplyDelete
  4. ඔබතුමා හිරලුවෙක්ද?

    ReplyDelete
  5. කියවලා මට හිනාත් ගියා. කෙල්ලෙක් විදියට අපි අවුරුද්දක් ලබද්දී
    සතුටින් ඉන්නේ කොල්ලෙක් ඉන්න විදියට නෙමේ. අනිත් අයට අපේ අතින් රසට යමක් හදලා ගෙදරට එන අමුන්තන්ට සංග්‍රහ කරලා ඒකෙන් ලබන්නේ පුංචිම පුංචි සතුටක්. ඒත් පිරිමියෙක් විදියට ඔයා ඒ සතුට විඳලා තියෙන්නේ හොඳටම මත් වෙලා.... :D

    මොන තරම් වෙනසක් ද නේද ?

    ඔයාට ඔයාගෙ ජීවිතේ එක දශමයක් වටින්නේ නැති උනාට..ඔයා වටේ ඉන්න අයට ඔයාගේ ජීවිතය වටිනවා කියලා මට හිතුනා. ඒ ඔයාගේ පුංචිගෙ කතාව නිසා...

    අනේ මන්දා අයියේ...මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. පීල්ලේ දියට කළයක් නැමූ වත්
    නොපිරෙයි කළේ සැටපයකින් බැලූවත්
    පින්මඳ එකා බණ දහමින් වෙලූ වත්
    උගේ ගතිය ඌ නොහරී මැරූ වත්

    නාන්න බොන්න ලැබෙන අවුරුද්දක් වේවා. එක හුස්මට පොත බැලූ එකට හරිම සතුටුයි.

    පුර හදට පිදුම ලීවෙ පුර හදක් වගේ වෙයි කියල හිතල. ඒත් තරහ වෙන්න එපා මෙහෙම කිවට ඔයා අමාවක දවසෙ නොපෙනෙන හඳ වගේ......

    ReplyDelete
  8. අප්පා මම නැති අතරෙ ලොකු ලොකු සීන් තොගයක් ම වෙලා.. හරි තිස්ස අයියාව මම අල්ලගන්නම් කො... මාරයා මාර ගොලයත් එක්කලා සෙට් වෙන එකෙ.. අපිත් එක්ක සෙට් වෙන්න තමයි අමාරු නෙද.. හරි හරි... බලමු..

    ජුනිවල මොකක් හරි වෙවි.. දෙකෙන් එකක්.. එදාට ඉතින් ඉවරයි.. මාරයියා.. මට දැන් මැවෙනවා හිතෙ... එදාට මම බොතලයක් කුඩු කරලා උඹෙ බඩට අනිනවා.. ( හිනා..) තිස්ස අයියා උඹට හෙල්ලෙන්න බැරි වෙන්න පොලිස් ගැටෙ දාලා.. වත් අක්කා දිමි ගොටු හොයලා ගෙනත් උඹෙ ඇඟට දානවා..

    උබ හයියෙන් කෑගහනවා " අයියො දිමිගොටු නම් දාන්න එපො..කියලා"

    ReplyDelete
  9. පිස්සා පලාමල්ල...
    නන්නා කියන්නේ මලේ
    නන්න නනා...

    ReplyDelete
  10. Ano...

    ආයෙත් අහලා ඔරිජිනල් හීරළුවෙක්...

    ReplyDelete
  11. දිල් ...

    ඇත්තටම මත් වෙලා එදා මම සතුටක් ලැබුවා කියලා කියන්නත් අමාරුයි.
    ඒත් කොල්ලෝ ටිකට පොඩි සතුටක් දෙන්න තමා මට ඔන උනේ..

    කෙල්ලෝ වගේ නෙවෙයිනේ දිල් අපි..
    අපි ඔටුවෝනේ...

    ReplyDelete
  12. Anusha Nadun Ranaweera...

    මල්ලී මොනවද කියන්න හදන්නේ කියලා නම් මට තේරුනේ නැහැ..
    කොහොම උනත් මෙ පැත්තේ මෙ විදියට හරි දකින්න ලැබීම ගැන මම සතුටු වෙනවා..

    ReplyDelete
  13. wath...

    හප්පේ කණට මී පැණි වත් කරනවා වගේ...

    බලු වලිගේ උණ පුරුකේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ..

    පුරා හදේ වටිනාකම තියෙන්නේ අමාවක සඳකුත් තියෙන නිසා කියන එක අමතක කරන්න එපා...

    ReplyDelete
  14. රවා...

    ජූනි වල අනිවාර්යයෙන් සෙට් වෙමු.
    ඒ ගැන ප්‍රශ්නයක් නැහැ.
    තව කල් තියෙනවනේ..

    මම මෙ ඇද යට ඉන්නේ උඹට අනින්න අපේ ලොකු තාත්තගේ නැති උන කිරිච්චිය හොය හොය...
    පොඩ්ඩක් ඉදපන්කෝ ඒක හම්බ වෙනකල්...

    ReplyDelete
  15. අන්තර්ගතයේ හැම දෙයම නොවුනත් ලිවීමේ විලාශය - නිදහස් ආර ගොඩාක් රසවින්ඳා

    රවා මල්ලියෝ: අපේ තරුණයින් උරන හැම දුම්වැටියකින්ම, තොලගාන "බීම" ජාතියකින්ම යම් මුදලක් ඒ නිෂ්පාදනයට අදාල බහුජාතික සමාගමකට ෆ්‍රන්චයිසීස් ෆී ලෙස අප රටින් නැව්ගත කරනවා

    ReplyDelete