28 April 2010

බට්ටිත්තෙක් මගෙ දුකට හඩනවා...

කාලයක් තිස්සේ හොය හොය හිටපු ගීතයක් හම්බ උනා..


හන්තාන කඳු පෙළ හඳට ආවඩා...
සරසවියට පිණි පොදක් වැටෙනවා...
මගෙ හද මැදුරට අඳුර ගලනවා...
බට්ටිත්තෙක් මගෙ දුකට හඩනවා...

කෝ ඈ..
කොහෙද මගෙ රන් කිරිල්ලී..
ඇයිදො ගියෙ ඉගිල්ලී...
මා මෙහි හැරදා...
ඈතයි...
ඔබ ගියෙ දුර ඈතයි..
නිවහන මගෙ සීතයි..
එන්න යළි පියඹා...

මා මෙන් තනි උන බට්ටිත්තෝ..
ගොම්මන් අඳුරට බිය වීදෝ..
විරහ ගීය මගෙ ගයනවදෝ..
මා සනසන්නට හඩනවදෝ..

පියඹා යන්නට මට නම් බෑ..
ඈ සරසවියට එන්නෙත් නෑ..
ගග ලග පෙම් තොට පාළු වෙලා..
මල් පෙති බොර දියෙ මලින වෙලා...

කෝ ඈ..
කොහෙද මගෙ රන් කිරිල්ලී..
ඇයිදො ගියෙ ඉගිල්ලී...
මා මෙහි හැරදා...
ඈතයි...
ඔබ ගියෙ දුර ඈතයි..
නිවහන මගෙ සීතයි..
එන්න යළි පියඹා...


ඔන්න ඔකයි ගීතය..
මා දන්නා පරිදි මෙහි පද වැල් මෙන්ම ගායනයත් "භද්‍රජී මහින්ද ජයතිලකයන්ගේයි.."
තනුවත් ඔහුගේම විය හැකි බව මතකයේ කොනක තිබුනද..
තනුවෙහි ක්ලැරන්ස්ගේ ස්පර්ෂයත් යාන්තමට දැනෙනවා..

ඇත්තටම මෙ ගීතය මට මුලින්ම අහන්න ලැබුනේ ඇමරිකාවෙ සිට දින කීපයකට "භද්‍රජී "මහත්මා ලංකාවට පැමිණි වෙලාවක ජාතික රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් ගායනා කල අවස්ථාවෙදීයි..
බොක්ස් ගිටාරය පමණක්ම භාවිතා කරමින් ඔහු එහිදී මෙ ගීතය ගයද්දී මම පුදුමෙන් බලාගෙන හිටි හැටි මට අදටත් මතකයි.
ඒ වන විට ඒ තරමටම ඔහු මාව විස්මයට පත් කරලයි තිබුනේ...

ගීතය ගැයීමට සුළු මොහොතකට පෙර ඔහු විසින් ඉතා කෙටි පැන්සල් පහරවල් කීපයකින් චිත්‍රයක් ඇද පෙන්වූවා..

පුදුමාකාර හැකියාවන් ගොන්නකින් සමන්විත ආශ්චර්යමත් පුද්ගලයෙක්...

මෙ සිදුවීම සිදු උනේ එක්දහස් නවසිය අනූ පහ හෝ අනූ හය වර්ෂයක වැනි කාලයකදීයි..
මෙ රූපවාහිනී වැඩසටහන බැලීමට වසර කිහිපයකට පෙර එනම් අනූදෙක අනූතුන වගේ වසරකදී මම කියවලා තිබුනා "පවුරු බැදි රාජ්‍යය" කියන චීන ඉතිහාසය ඇසුරින් ලියා තිබූ අපූරු නව කතාව.
එහි කතුවරයා ලෙස දක්වා තිබුනේ "භද්‍රජී මහින්ද ජයතිලක" කියන නමයි.
ඇත්තටම ඒ නම යම් සුවිශේෂී මතකයක් මා සිත තුල රඳවා තිබුනා.
එම සමය වන විට මා පිස්සුවෙන් වගේ පොත් කියවමින් සිටි කාලයයි.
දිනකට නවකතා හෝ කෙටිකතා පොත් දෙක තුනක් පමණ කියවමින් සිටි දවස්...

ඒ සියළු පොත් හා ඒවා ලියූ කතුවරුන් පිළිබඳ මා තුල විවිධ ප්‍රතිරූප ගොඩනැංවී තිබුනත්..
භද්‍රජී මහින්ද ජයතිලක යන නාමය ඇත්තටම මට ඇති කර තිබුනේ කුතුහලයක් පමණයි..
ඊට හේතුව පොතෙහි තිබූ යම් පූර්ව හදුන්වා දීමෙ සටහනක් නිසාමයි..
ඒ සටහනට අනුව එම කතාව යම් කිසි ආකාරයකින් කතුවරයාගේම පූර්ව ජන්මයක ලද අත්දැකීම් මත රචනා වූවක් ලෙස දක්වා තිබුනා කියා මට මතකයි.

මෙවන් අපූරු මතකයක් මසිත රඳවා තිබූ භද්‍රජී මහින්ද ජයතිලක නම් වූ කතුවරයා එදින සජීවී ලෙස දැක ගන්නට හැකි වූ අවස්ථාවෙදී පුදුම සතුටක් සිත තුල ඉපදවීමට මෙ අපූරු පුද්ගලයාට හැකි උනා..

ඒ විතරක් නම් මදැයි..

මෙන්න ඔහු චිත්‍ර අදිනවා...
අපූරු කතා කියනවා..
සුන්දර ලෙස සිනහා වෙනවා...
ඒ මදිවට තනියම වාදනය කරමින් ගායනා කරනවා...

මට මගේ ලෝකේ තවත් වීරයෙක් හමුඋනා.

එදා ඉදන් මම ඒ ඔහු ගැයූ ගීතය සෙවීම සදහා වරින් වර උත්සහ කලත් අද මෙන් පහසුකම් මා වෙත නොතිබූ නිසා එම සෙවීම මට කළ නොහැකි වූවත් එයින් වසර පහළවකට පමණ කාලයකට පසු මට අද හැකි උනා එය සොයා ගැන්මට...

මෙය මා සොයා ගත්තේ "Sinhalajukebox" අඩවියෙන්.
මම උත්සහ කරනවා එය ඔබටත් රස විදීමට ලබා දීම සදහා.
නමුත් මා සතු තාක්ෂණික දැනුම ඒ සදහා ප්‍රමාණවත් වෙදැයි මා තවම දන්නේ නැහැ.
අපි උත්සහ කරලා බලමු.

39 comments:

  1. මම භද්‍රජී මහින්දගෙ කඩ හඩට හුගාක් ආසයි. දැන් ඔය රැල්ලට වචන ගොඩාක් තාලයක් නැතිව ඔහේ හලාගෙන යන අයනම් මේ වගේ සින්දු අහලත් නැතිව ඇති.ඒත් ගීයක රස කියන්නේ මොනාද කියලා දැනෙන්නේ මේ වගේ සින්දුවක් අහද්දී....

    එක පාරක් භද්‍රජී මහින්ද මහත්මයා ලංකාවට ආපු වෙලාවක මට කතා කරන්න ලැබුනා. පොත් දෙකකුත් ලැබුනා.ඔහුගේම පොත්. නවකතාවකුත් ඒ අතර තිබුනා.දැන් නම් ඒ පොත් මගෙන් කවුදෝ ඉල්ලගෙන ගෙනත් දුන්නෙත් නෑ.

    මේ සින්දුවෙ මම ආසම තැන අර විසිල් ගහන එක....

    ReplyDelete
  2. අඩේ මගේ අසම ගීතයක්.

    මේ ගීතය ගැනත් භද්‍රජී ගැනත් පෝස්ට් එකක් ලියන්න ඕන කිය කියා මම කාලෙක ඉඳන් හිත හිත හිටියේ . . කවුරු කාගෙන් උනත් කමක් නෑ ලියවෙච්චි එකම මදෑ . . .

    ReplyDelete
  3. උඹ ඒ කිවූ පොත වගේම තවත් අපූරු පොතක් තිබෙනවා භද්‍රජී රචනා කරපු (එකක් නෙමෙයි ඔහු පොත් බොහෝ ගනනක් ලියූ සුන්දර කලකරුවෙක් ලෙසයි මගේ ත් ඔහු ගන වැටහීම ) "ජෝතිමය චාරිකා" . . . හරිම අපූරු පොතක් පුලුවන් නම් හොයාගෙන බලපන්.

    ReplyDelete
  4. දිල්...

    ඔයා වාසනාවන්තයි.එහෙම මනුස්සයෙක්ව මොහොතකට හරි මුණ ගැසීමට..

    මාත් ඒ විසිල් පාරට ආසයි.
    හරියට කතා කරනවා වගේ දැනෙනවා...

    ReplyDelete
  5. දුකා...

    මම මෙ ගීතය සොයා යද්දී දැක්කා දුකා ලියපු මෙ ගීතයේ පදවැල් කිහිපයකුත්...
    මම ඉස්සර උනාට කමක් නැහැ.නැවත වතාවක් ලියන්න..
    කොච්චර ලිවුවත් ඉවර කරන්න බැරි තරම් දේවල් ඔහු සතුව තියෙනවා...

    ReplyDelete
  6. ඔය ගීතය තියෙනවා මෙතන, මගේ ප්‍රියතම ගීයක්.. ස්තූතියි මතක් කලාට...

    http://www.youtube.com/watch?v=jwi22uRP7lM

    ReplyDelete
  7. මේ සින්දුවෙ මම ආසම විසිල් ගහන එක....
    මගේ ප්‍රියතම ගීයක්..
    :D

    ReplyDelete
  8. ඕකෙ සංගීතයත් එයාගෙම තමයි බහුතරයක් ගීත වගේම.
    මගේත් වීරයෙක් ඉස්සර. දිල් ගෙ ප්‍රතිචාරය විතරක් තියෙද්දි තමයි මමත් මේකට මොනව හරි ලියන්න ඕන කියල පටන් ගත්තෙ. දැං තමා ඉවර උනේ. ඉතින් කොහොමද මෙතන දාන්නෙ. ඔන්න මට ආයෙම මගෙ බ්ලොග් එකේ දාන්න උනා. පුළුවන්නම් බනින්නෙ නැතුව ඒකත් කියවලම යන්නකෝ.
    http://freedomsl.wordpress.com/2010/04/28/bhadrajii/
    සමහර දේ ගැන බහුතරයක් එකඟ වෙන එකක් නෑ. ඒත් ඒ මගේ සිතුවිලි. ඔයා කියනව වගේ පූර්ව ජන්මය සහ ආධ්‍යාත්මික දේවල් නිසා තමයි මම කඩු පහර එල්ල කළේ.
    ඒත් සිතකින් නොවේ.

    අඩේ දුකා අයියට කලින් ඔන්න මාත් ලිව්වනෙ! සොරි වෙන්න ඕන.
    මාරයගෙ කතාව ඇත්ත. ලියනව නම් අනන්තවත් දේ තියෙයි.

    ReplyDelete
  9. නිශාචරයා ...

    හරි අහු උනා..

    ReplyDelete
  10. Ansh Lucky Sri Jay...

    බලාගෙන ගියහම අපි කවුරු කවුරුත් ආස කරන ගීතයක් නෙව..

    ReplyDelete
  11. මමත් කැමති සිංදුවක්...

    ReplyDelete
  12. මේ අර බටිටිච්චි ද?
    අනේ ඈත්තටම මම මේ ගීතය අහල තියනව .නමුත් කියන්න ලැජ්ජයි භද්‍රජී ගැන දන්නෙ නැහැ නෙව.කහක් නැහැ දැන් දන්නවනේ...

    ReplyDelete
  13. හෝ හෝ හෝ මේ CIC ග්‍රැමොක්සෝන් නේද...?
    ඔය එන්නේ බට්ටිච්චි එළියට...
    තෑන්ක්ස් වත්සලා for the reminder...!

    ReplyDelete
  14. භද්‍රජී මහින්ද ජයතිලක යනු හැකියාවන් අතින් පරිපූර්ණ වූ පුද්ගලයෙකි. ඔහු ගායකයෙකි, වාදකයෙකි, ගී පද රචකයෙකි, ගී තනු නිර්මාණය කරන්නෙකි, සංගීත අධ්‍යක්‍ෂවරයෙකි, චිත්‍රපට හා ටෙලිනාට්‍ය නළුවෙකි, චිත්‍ර ශිල්පියෙකි, ලේඛකයෙකි, ජනමාධ්‍ය වේදියෙකි මතක විදියට අවිවාහකයෙකි.

    ඔහු කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකි. ඔහුගේ පාසැල් සමයේ ඔහු සමග සිටි අතිජාත මිතුරන් වූයේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාත්, වසර කිහිපයකට පෙර දැයෙන් සමුගත් අනුර බණ්ඩාරනායක මහතාත්ය.

    දැනට ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජීවත් වන ඔහු එහි ජීවිතයේ සැදෑසමය ගත කරන ඇමරිකානුවන්ට සැදෑසමය අර්ථවත්ව ගතකිරීම සඳහා තම හැකියාවන් ඔවුන්ටත් පුරුදු පුහුණු කරයි. මා දන්නා පරිදි සෑම වසර දෙකකට වරක් මව් රටට පැමිනෙයි.

    එලෙස ලංකාවට පැමිනි එක් අවස්ථාවක කිහිප වරක් ඔහු මුණගැසීම සඳහා මා හට භාග්‍ය උදාවිය. අවුරුද්ද නම් හරියට මතක නෑ. ඔහුගේ ගීත 12කින් සමන්විත වීඩියෝ තැටිය නිතුත් කල අවුරුද්දෙ තමයි හම්බවුනේ. එදා බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී වීඩියෝ තැටිය එළිදැක්වීම නිමිත්තෙන් පැවති උත්සවයටත් මම සහභාගී වුනා.

    කුඩා ළමයින් සමඟ සිටීමේදි කුඩා ළමයෙකු ලෙසත්, තරුණයින් සමඟ සිටීමේදී තරුණයෙකු ලෙසත්, මැදි වියේ පුද්ගලයින් සමඟ සිටීමේදී මැදි වියේ පුද්ගලයෙකු ලෙසත්, මහළු පුද්ගලයින් සමඟ සිටීමේදී මහළු පුද්ගලයෙකු ලෙසත් සිටිමින් සැමදෙනා සමඟම සුහදව සිටින මොහු සරළ ජීවිතයක් ගෙවන පුද්ගලයෙකි.

    පුංචි කාලෙ බට්ටිච්චගෙ සිංදුව ඇහුවට ගායකය කවුද කියලා දැනගෙන හිටියෙ නෑ. භද්‍රජී මහින්ද ජයතිලක මහතා ලියූ සක්වල වහල්ලු පොත කියවීමෙන් පසුව තමයි ඔහුගේ නම මගේ මතකයේ රැදුනෙ.

    ඔහු ගැන කථා කරනවා නම් ඉවර කරන්න බැරි තරම්. කෙසේ වෙතත් අපි ඔහුගේ රසිකයන් හැටියට ඔහුට දීර්ඝායුෂ පතමු෴

    ReplyDelete
  15. මාරයියේ මං නම් මේ සින්දුව අහලා නෑ.ඔය කියන ගායකයව දන්නෙත් නෑ.ඒත් මේ පද ටික කියෙව්වම මට හිතුනා තාලෙත් ලස්සන ඇති කියලා.ඉක්මනට දෙන්නකො අපිටත් මේක අහන්න.

    ReplyDelete
  16. මේ ගීතය නම් මමත් අහල තිබුනේ නෑ අයියේ...... ඒත් ඔය කියන භද්‍රජි මහින්ද ජයතිලක කියන නම නම් දැකලා තිබුනා පොත් පත් වලින්.... අපූරු ගීතයක්.... ස්තුතියි බෙදාගත්තට අපිත් එක්ක.......

    ReplyDelete
  17. Naya...

    ආදරයෙන් එකතු කර ගන්නවා මෙ ගීතයට..

    ReplyDelete
  18. wath...

    මෙ ඇය නොව..
    ඔහුගේ බට්ටිත්තායි..

    භද්‍රජී ගැන හොයන්න..
    ලස්සන පොත් ළෙක් ඔහු විසින් ලියලා තියෙනවා..
    හෙටම පටන් ගන්න..

    ReplyDelete
  19. තිස්ස දොඩන්ගොඩ...

    මොකක්...CIC...?
    අනේ අයියේ උඹ නම් මගේ පරණ තරහා කාරයෙක්ද කොහෙද..?
    මට ගහන්න අනුන්ට ආයුධ දෙන එකමයි කලොත් කරන්නේ.මං ගැන දුක නැද්ද අප්පා..

    ReplyDelete
  20. මහේෂ් කූරගම...

    සෑහෙන වටින විස්තරයක්...
    ඇත්තෙන්ම ඔබට ස්තූතියි මෙ කරුණු ටික කියා දුන්නට...

    පන්තියේ යාළුවෝ දෙන්නටම හරියන්න භද්‍රජීට දැනුම ලැබිලා තියෙනවා වගේ...

    ReplyDelete
  21. මම...

    ඇයි දෙයියනේ ඔය ළමයා තාමත් අර උඩ මගේ පෝස්ට් එකේ තියෙන
    Sinhalajukebox
    වචන ටික උඩ ඔබලා බැළුවෙ නැද්ද...?
    හැබැයි ගීතය අහන්න නම් Real player
    එක ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඔන.

    ReplyDelete
  22. විශ්මි...

    අහල බැළුවද නගේ...?

    ඉර බහින වෙලේට කලුවරත් එක්කම තමයි ගීතය හොදටම රස විදින්න පුළුවන්...

    ReplyDelete
  23. නිශාචරයා දුන්න ලින්ක් එකෙන් ඇහුවා අයියේ.... ක්ලැරන්ස්ගෙ ශෛලිය දැනෙනවා තමා.... විරහ ගීයක් වුනත් අමුතු හැඟීමක් හිතට දෙන්නෙ.....

    ReplyDelete
  24. භද්‍රජී හොඳ පොරක් බව ඔහු කල රේඩියෝ ඉන්ටරවීව් කීපයකින් තේරුණා.
    පොරගෙ අයිය නම් අමු වාතයා!

    ReplyDelete
  25. විශ්මි...

    ගීතයේ රිද්මයත් ඒ අමුතු ගතියට බලපානවා.

    ReplyDelete
  26. කතන්දරකාරයා ...

    කතන්දර කාරයා වගේ..ද?

    ReplyDelete
  27. අඩේ..ශ්‍රී රාවණ්නා පුවත රචනා කරල තියෙන්නෙත් මෙතුමා නේද?
    හැකියාවන් රැසක් තියෙන පුද්ග‍ලයෙක්නෙ.

    මේ ගීතය නිතර නෑහුනට මම මේක අහල තියනවා. පදපෙළ කියවද්දිවත් ඒක තේරුනේ නැහැ දැන් අහද්දියි හුරුපුරුදු බව දැනුනෙ.
    ස්තූතියි මාරයියා.

    ReplyDelete
  28. Raven...

    ආ ඒ ස්තූතියත් සතුටින් බාර ගන්නම්කෝ...

    ReplyDelete
  29. අයියෝ....අයියේ,ඒ මලදානේ මේකේ නැනේ.දැන් ඉතින් මොනාකරන්නත් කලින් ඒක install කරන්න ඉන්න එපැ.

    ReplyDelete
  30. මම...

    http://www.youtube.com/watch?v=jwi22uRP7lM

    ReplyDelete
  31. භද්‍රජී ගෙ සින්දු වගේම ලියල තියෙන පොතුත් හරිම රසවත්.

    ReplyDelete
  32. ස්තුතියි අයියේ....

    ReplyDelete
  33. http://www.anangaya.com/rythem/sinhala_mp3/songs/Badraji_Mahinda_Jayathilake/badraji_mahinda_jayathilake_hanthana_kandu_pela.html
    බාගෙන අහල බලන්න

    ReplyDelete
  34. මම...

    ඔන්න මෙ පහළ තියෙන ලින්ක් එකත් නියමයි.

    Ano...

    බොහෝම ස්තූතියි..

    ReplyDelete
  35. මේකත් බලන්න

    http://www.silumina.lk/2009/09/27/_art.asp?fn=av0909271

    ReplyDelete
  36. සෑහෙන්න පරණ පොස්ට් එකක්. මම මේ බට්ටිත්තාගේ පදමාලාව හොයන්න ගිහින් මෙතෙන්ට ආවේ. බද්‍රජීගේ නිර්මාණ රැසකට තෝතැන්න පේරාදෙණිය සරසවියයි. ඔහු එහි විධායක ලිපිකරුවෙකු ලෙස සේවය කර තිබෙනවා. සාමාන්‍යෙයන් ඔහු සෑම සැප්තැම්බර් මාසයකම ලංකාවට එනවා. ගායකයෙන්, පද රචයෙක්, ලේඛකයෙක් වගේම අති දක්‍ෂ චිත්‍ර ශිල්පියෙක්. සුවිශේෂි හැකියාවක් ඇති මේ කලාකරුවා මගේ ප්‍රියතම චරිතයක්.

    ReplyDelete
  37. හම්මේ ප්‍රියා..සෑහෙන කාලෙකින් පරන පෝස්ට් එහෙකට කොමෙන්ට් එකක් වැටුනහම මං මේ බැළුවේ..ආයෙමත් ලිපියයි කමෙන්ට් ටිකයි කියවලා බැළුවා පිළි වෙලකට...ස්තූතියි ප්‍රතිචාරයට වගේම මගේම ලිපි මටම කියවන්න ආයෙමත් මතක් කරනවාට...

    ReplyDelete