28 May 2010

පන්සලේ ජීවිතේ...පසුබිම...

දවසින් දවස මා පන්සල් දිවියට හුරු වෙමින් පැවතින..
කෙතෙක් අඩු පාඩු මැද වූවද සිතේ සහනයෙන් යුතුව දිවි ගෙවිය හැකි බව මා හට කෙමෙන් අවබෝධ වෙමින් පැවතිණි.
මෙතෙක් කලක් රැයක් දවාලක් නොමැතිව මුදල් පසු පස හඹා යමින් සිටි මා හට මෙය නැවුම් තත්වයක් විය..
ගිහි වාසය තුළ නොපෙනෙනා හෙට පිළිබඳව අපමණ බලාපොරොත්තු තබා නොවිඳිය යුතු දුක් විඳිමින් නොයෙක් අවශ්‍යතා සපුරා ගැනීම පිණිස අනන්ත දුක් ගැහැට විඳිමින් මාද ඇතුළුව බොහෝ දෙනෙක් දුවමින් සිටියදී..
තවත් තැනක හෙටක් පිළිබඳ කිසිදු අරමුණක් නැතිව හෝ ඉටු කර ගැන්මට අපහසු දේ පිළිබඳ ඔනවාට වඩා වෙහෙසෙමින් කටයුතු කිරීමට උත්සහ නොගෙන ලැඛෙනා දෙයක් ලැඛෙනා පරිද්දෙන් භුක්ති විඳිමින් ගෙවනා මෙ දිවිය ඇත්තෙන්ම සැනසිලි දායක විය..

පන්සල තිබුනේ ගම ප්‍රධාන මාර්ගය වෙත යා කරන අතර තුර විශේෂ ස්ථානයක වූවද එම පිහිටීමෙ කිසිදු ඵලයක් නොවූයේ මිනිසුන්ගේ සිත් සතන් තුළ සුවිශේෂී සබැදියාවක් පන්සල සමග නොවූ හෙයිනි.

කලකදී තරමක් තත්වයක තිබූ බවට යම් සලකුණු වෙතත් මෙ වන විට නම් ගම හා පන්සල අතර හොඳ සම්බන්ධතාවයක් නොවීමට මූලික වශයෙන් මෙහි විසූ හිමිවරුන්ගේ ක්‍රියාකලාපය මෙන්ම ඇතැම් නොහික්මුණු දායකයන්ගේද වැඩ කටයුතු හේතු වී තිබුණි..

පන්සල නිකාය වශයෙන් අයත්ව තිබූයේ සියම් නිකායටය..
ඒද..මල්වතු මහා විහාරයටමැ විය..

ගමෙහි විසූ දායකයින් අතරින් අඩක් පමණ දෙනා අඩුකුල යැයි සම්මත කුලයන්ට අයත් වීම ගොවිකුල පමණක් යැයි සම්මත මල්වතු මහා විහාරයට සම්බන්ධ පන්සල හා එක්ව කටයුතු කිරීමට බාධාවක් වූවද ඒ බව නොපෙන්වා සිටීමට දෙපසේම අය උත්සහ දැරූවද උගුරට හොරා ඛෙහෙත් බීම අතිදුෂ්කර ව්‍යායාමයක්ව තිබිණි.

අඩුකුල වලට සම්බන්ධ අය සමග එක්ව කටයුතු කිරීමෙදී ගොවිකුල අයගේ උදවු නොලැබී යාමත් යටි උගුල් ඇදීමත්, මෙන්ම ගොවිකුල සමග කටයුතු කිරීමෙදී අඩු කුල අයගේ කෙනෙහිළිකම්ද අඩුවක් නැති විය..

දෙපස එක් කර කටයුතු කිරීම දැලිපිහියෙන් කිරි කෑමක් විය..
පසු කාලීනව පන්සලේ භාරකාරත්වය දරමින් කටයුතු කල සමයේ මෙම අර්බුධය තුල කටයුතු කිරීමෙන්ම මා හට ඒ පිළිබඳව බොහෝ අත්දැකීම් හිමි විය..

තවත් ගැටළුවක් වූයේ ගොවි කුලයද ප්‍රධාන පරම්පරා දෙකක් අතර ඛෙදී ඒ පරම්පරා දෙක අතර වූ මහන්තත්වය පිළිබඳ ගැටළුවයි.

ඊ ළගට වූයේ දායක සභාව නම් වූ පිළිලයයි..
සභාවෙ නිලධාරීන් පත් කරගනු ලබන මහ සභාවට පමණක් පැමිණ බලයේ පවතින රජයට අයත් පිලට තනතුරු සියල්ල ලබා ගැනීමට වූ සීතල යුද්ධයද..
එසේ තනතුරු ලබා ගත්තවුන් ආයේ පන්සල පැත්ත පළාතේ නොඒමද..

වැරදිලා හෝ ඔවුනට නොදන්වා යම් වැඩකට කවුරුන් හෝ අත ගසනු ලැබූවෙද වහ වහා දුවගෙන ඇවිත් එම වැඩය අකර්මන්‍ය කරලීම පිණිස කිසිදා කල නොහැකි යෝජනා මාලාවන් සැපයීමද මොවුන් අතින් අඩුවක් නැතිව සිදු විණි.

ඒ හැර අන් ප්‍රගතිශීලී යමක් සිදු නොවූවා සේය..

එකල වස් කාලය එළඹ තිබුණි.

වස් වැසීම සදහා භික්ෂුවක් නොවූ හෙයින්ම පන්සලේ තාවකාලික පදිංචියට පැමිණි නාරද හිමියන් වදෙන් පොරෙන් නුවර ගෙන ගොස් උපසම්පදා කොට තිබුණි.
මෙ සඳහා අවට පන්සල් වලින්ද සහය ලද නිසා එම හිමිවරුන් ගුරුවරුන් හැටියට යොදා උපසම්පදාව සිදු කොට නාරද හිමියන් වස් වස්සවා තිබුණද..

වස් ආරාධනාව කල තැනැත්තා මා පළමු වරට දුටුවෙ කඨින පිංකම දවසේය..
එතරම් හොඳින් ඔහු වස් ආරාධනා කල මොහොතේ පොරොන්දු වූ පරිදි සිවු පසයෙන් ඇප උපස්ථාන කොට තිබුණි..
( පන්සල් වත්තේ තිබූ තැඹිළි ගස් තුන හතරත් කොස් ගසත් ඒ අයුරින් බලනා කළ අනේ පිඩු සිටුතුමා වැනිය..)

වස් කාලය යනු කුමක්දැයි ඇත්තෙන්ම ඒ වන විටත් මා එතරම් දැන සිටි යමක් නොවෙ..
කඨින පෙරහැරෙ පිටුපසට වී පොඩි ආතල් එකක් ගනිමින් එහි ගමන් කර තිබුණා හැර ඒ පිළිබඳව මහා දැනුමක් මා සතු නොවිණි.

පන්සලේ වස් කාලය බව මා අහම්ඛෙන් දැන ගත්තේ එක් ඉරිදා සවස්වරුවක උපාසක අම්මලා හතර පස් දෙනෙක් පැමිණ හිටි හැටියේ බෝ මළුව අතුගාන්නට පටන් ගත් විට ඒ පිළිබඳව විමසීම නිසාය..

කෙසේ හෝ එදින සවස හය පමණ වන විට එක් උපාසිකාවක් පැමිණ කල ආරාධනාවක් අනුව නාරද හිමියන් ගොසින් පැය භාගයක පමණ බෝධි පූජාවක් තබා පැමිණි අතර..
එයින් පසු මා විසින් කල විමසීමට අනුව හිමිවරුන් තිදෙනාම වස් කාලයත් එහි ඉතිහාසයත්..
වර්ථමානයේ එම කාලය හා ඒහා සබැඳි වතාවත් හා චාරිත්‍ර විදිත්..
මෙහි එම කටයුතු කෙරෙන ආකාරයත් මා හට පහදා දෙන ලදි.

එයින් පසුවද සති දෙක තුනකට වරක් මෙවන් වූ බෝධි පූජා පැවැත් වූ අතර..
සමහර දිනවලදී උපාසක අම්මලා විසින් රුපියල් පහ දහය සම්මාදන් කර යම් මුදලක් නාරද හිමියන් වෙත දැහැත් වට්ටියක තබා පූජා කරන ලදි..
බොහෝ විට එහි රුපියල් පණහක් හැටක් විණි..

පන්සලට මෙ වන විට ලැඛෙනා ආදායම් පිළිබඳවද යම් සටහනක් කල යුතුවෙයි.

පාරම්පරික වශයෙන් වැදගත් කමක් ඇති මෙම පන්සල මල්වතු පාර්ශවයෙන් ආරම්භ වූ පහතරට සාසන පරම්පරාවක මූලස්ථානය විණි.
මෙයින් විහිද ගියා වූ භික්ෂූන් විසින් ඇති කරනු ලැබූ විශාල පන්සල් රාශියක් විය..
නමුදු එම කිසිදු පන්සලකින් මෙම මූලස්ථාන විහාරය රැක ගැනීම සදහා කිසිදු සහයක් නොවිණි..
යම් උත්සව අවස්ථාවකදී පමණක් පැමිණ මෙ අපේ මූලස්ථාන පන්සල යැයි ආඩම්බරයෙන් පවසා පිටවී යනවා හැර අන් යමක් දක්නට නොලැබුණි.

දැනට මෙම විහාරයෙහි නීත්‍යානූකූල අයිතිය තිබුණේ විදේශගතව සිටි ලොකු හාමුදුරුකෙනෙකුටය..
එම හිමියන්ට අයත්ව මෙම පන්සලට යාබද නගර මධ්‍යයේ තැනූ නව විහාරයක්ද..
කුරුණෑගල සහ වාද්දූවෙ පිහිටි විහාරස්ථානයන් දෙකක්ද..
කොළඹ ඉතා ප්‍රසිද්ධ නගරයක වූ පන්සලක්ද, මෙම පන්සල පිහිටි ප්‍රාදේශීය ලේකම් වසමෙම වූ තවත් පන්සලක්ද ආදී වශයෙන් නිරවුල්ව පන්සල් හයක හිමිකාරත්වය තිබුණි.
ඊට අමතරව මෙම විහාරයට අයත් දායක සීමාවක කෙළවරෙහි බෝධියක් රෝපණය කොට අළුතින් පන්සලක් ආරම්භ කිරීම සදහා උත්සහ ගත් ස්ථානයක්ද තිබිණි.
පන්සල සතු ඉඩම් කිහිපයක්ම අවට තිබුණි..
ඒවායේ මුළු වපසරිය ආසන්න වශයෙන් අක්කර හත අටක් වුණි.
එයින් බොහෝ ඉඩම් මෙ වන විටත් සමහර ගිහියන් විසින් අල්ලාගෙන භුක්ති විඳිමින් තිබූ අතර..ඒවා පන්සල් ඉඩම් බව කියනවා ඇසීමටත් ඔවුන් අකමැති විය..

ඉතිරිව තිබූ ඉඩම් කිසිවක කිසිදු බව බෝගයක් හෝ ආදායම් ලද හැකි මාර්ගයක් නොවිණි.

එක් ඉඩමක පමණක් ගඩොල් පෝරණුවක් දමා ගත් අයෙක් සිටි අතර එයින්ද මෙම පන්සලට කිසිවක් නොලැබිණි.

ඉහත සඳහන් කල ලොකු හාමුදුරුවන් ජෙවීපී කලබල දවස්වලදී ජෙවීපී තර්ජන නිසාම රටින් පිටවී ගොස් තිබූ අතර එම හිමියන් මෙම ගම් වාසීන්ගේද අපමණ පිළිකුළට බඳුන් වී තිබූ අතර කිහිප දෙනෙක් පමණක් එහිමියන්ගේ පැත්තට කථා කරනු අසන්නට දකින්නට ලැබිණි.
එහිමියෝ විදෙස් ගතව වසර දහ තුනක් පමණ ගෙවී ගොස් තිබූ අතර එසේ විදෙස් ගත වන විට මහණ කරනු ලැබූ ගෝල හිමිවරුන් හත් අට දෙනෙකුම මෙම විහාරස්ථානයෙහි මෙන්ම නගරයේ වූ විහාරයෙහිද රඳවා ගොස් තිබූ අතර මෙ වන විට එයින් ගෝල හිමිවරු දෙදෙනකු හැර අන් සියල්ලන්ම සිවුරු හැර ගොස් තිබුණි.

එයින් ඉතිරිව සිටි හිමිවරුන්ගෙන් වැඩිමහල්ලා ආසන්න නගරයේ විහාරස්ථානයෙහි විසූ අතර...
අන් තැනැත්තා කොළඹ පිහිටි විහාරස්ථානයෙහි රැඳී සිටියේය..
එම කොළඔ සිටි හිමියන් විදෙස්ගතව සිටි ලොකු හාමුදුරුවන් සමග අති හිතවත් වූ අතර ආසන්නයෙහි වූ හිමියන් විරසකව සිටින ලදි..
මෙ හේතුව නිසාම කොළඹ රැදී සිටි හිමියන්ට වැඩිමහළු කම පසෙක තිබියදී වැඩි බලයක් හිමිව තිබුණි.

එසේම ආසන්න පන්සලේ සිටි හිමියන් මෙ වන විට කටයුතු කලේ සිවුරු හැරදා යෑමට මං සොයමිනි..
ඒ සඳහා ගත් උත්සහයේදී වංචනික පුද්ගලයකු හරහා විදෙස්ගත වීමට කල උත්සහයකදී ඒ හිමියන් අත තිබූ විශාල මුදලක් අහිමිව ගොස් තිබූ නිසා එම ගිහි වීමෙ කටයුත්ත තරමක් කල්ගත වී තිබිණි.

ළග පාත වූ ඉඩ කඩම්වලින් සුළු වශයෙන් හෝ ලැඛෙන ආදායම පවා එම හිමිවරුන් අතර ඛෙදී ගිය අතර කොළඹ පන්සලෙන් පෞද්ගලික පන්ති හරහා ලැඛෙන විශාල මුදලක් එහි රැදී හුන් හිමියන්ට හිමි විණී.
එයින් කිසිම කොටසක් නොලැබීම නිසා ආසන්න පන්සලේ රැඳී හිටි හිමියන් සිටයේ ඉතාමත් කේන්තියකින් බව ඒ හිමියන් වරින් වර කරනු ලබන කතා වලින් පැහැදිලිව දක්නට ලැබුණි.

කෙසේ හෝ මෙ වන විට පන්සලේ රැඳී සිටි නාරද හිමියන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෝඩිංකාරයකු පමණක් විණි.

දානය නැති විට කඩාගෙන බීම නිසාම තැඹිළි විකුණා කීයක් හෝ ලැබීම දුෂ්කරය..
පන්සල් වත්තටම තිබුණේ පොල් ගස් හයකි.
එයිනුදු දෙකක්ම මහ පාරට බරවී තිබූ හෙයින් ඒවායේ ගෙඩියක් විකුණනු තබා ඇහැට දකින්නටවත් කවදාවත් නොහැකි විණි.
තවත් ගස් දෙකක් අහස උසට ගමන් කොට කණාටු වී තිබූ අතර ඉඳ හිට එයින් වැටෙන කුඩා පොල් ගෙඩිය ආහාර පිණිස ගැනීම සඳහා ගන්නවා ඇර අන් යමක් කල නොහැකි විය.
ඉතිරි පොල් ගස් දෙකින් ඉද හිට පොල් විකුණා රුපියල් සීයක් දෙසීයක් ලද හැක..
ඊට අමතරව දානය ගෙන එන උදවිය විසින් ඉඳ හිට විදුලි බිලට කියා දී යන රුපියල් දහය විස්ස එකතු කරන්නේ නම් එයද මාසයකට රුපියල් එකසිය පණහක් පමන විය හැක..

බුදු මැදුරෙ වූ පිං පෙට්ටියේ අගුලක් නොමැත.
ඉද හිට හෝ එයට වැටෙන මාරු කාසි කිහිපය ගන්නට ප්‍රමාද වූව හොත් ඉස්සරහා වත්තේ සිටින කොල්ලන්ගෙන් ඛෙරා ගැනීමට කිසිවකුට හැකිවන්නේ නැත..

මෙ ආදී වශයෙන් බලනා කල රුපියල් පන්සීයක් තරම ආදායමක් මාසිකව ලද නොහැකි මෙහි විහාරාධිපති කම යනු කටු ඔටුන්නක් විනා අන්යමක් නොවන බව කිව මනාද..?

....................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ..
"

50 comments:

  1. කතාව හොඳ වේගෙන එනවා.. දිගටම ලියන්න.....

    ReplyDelete
  2. ඇත්තටම අයියා මමත් අහලා තියන කතාවක් තමා පන්සල්වල කටයුතුවලට කුල භේදය ලොකුවට බලපානවා කියන එක. කුල භේද පිටු දකින්න කියලා දහමක් දේශනා කරපු ශාස්තෲවරයාගේ ගෝලයෝ කුල භේදයක් කර පින්නාගෙන කුල වශයෙන් බෙදිලා නිකාය හදාගෙන ඉන්න එක නම් හරිම ශෝචනීයයි.

    ඒ වගේම ඔයා කියන විදිහට පන්සලක නායක හාමුදුරු කෙනෙක් හැටියට කටයුතු කරන එකත් ලේසි නැහැ වගේ :)

    ReplyDelete
  3. හ්ම් හ්ම්... ඉලක්කම් වලින් මුදල් වල වටිනාකම හිතාගන්න බෑ. මේ මොන අවුරුද්දද?

    ReplyDelete
  4. හපොයි අම්මේ මේ කුලය කියන එක මිනිස්සුන්ට මනුස්ස කමට වඩා වටිනවද මාරයියේ...

    ReplyDelete
  5. කුල මල ප්‍රශ්නයනම් තදින්න්ම තියනවා මමත් දැකලා තියනවා.........එවා ගැනම් කවර කතාද....හැමොම බුදුරජානන් වහන්සේ ගේ දර්මය එඩිට් කරනවනේ ..එකයි..ඔය කුල මල ප්‍රශ්නය බිහිවෙලා තියෙන්නේ.....ඔක හින්දා නිකන් පින් කරගන්න් අකියලා ගිහින් අපාගතවෙනවා......සමහරු හිතන්නේ හමුදුරු වරුන්න්ට මුදල් ඔනෙ අනැහැ කියලා.....හාමුදුරුවරු ගමන් බිමන් යන්නේ...බෙහෙත්ක් හෙතක් ගන්නේ....කොහොමද කියලා කල්පනා කරන්න්රනේ නැහැ........පිරිවෙන් යන හාමුදුරුවරු ගොඩාක් හිටියොත්.....ඉගනගන්න පොත් පත්...තව කොච්ච්‍රක් දේවල්ද....?හුගක් මිනිස්සු කල්පනා කරන්නේ නැහැ....නේ..ඔවා.......

    ReplyDelete
  6. කුලය කියන්නෙ අපේ සමාජෙ පිටිපස්සෙ තියෙන බොහොම කැත දෙයක්......අපි අපේ ඉන්ස්ටිටියුට් රැග් එකේ දි කෑම බෙදාගෙන කන්න කියල අහඹු ලෙස තෝරගත්ත 4 දෙනෙකුට 1 කෑම 1ක් දෙනව....ඔය වෙලාවෙදි නොකා නහයෙන් හොටු පෙර පෙර ඉන්නව....සමහර ගෑනු ලමයි...මමත් ගොඩක් කල් ගියාමයි හේතුව දන්නෙ....කුල ප්‍රස්නයක්....මේ 2007දි,,,, දැන් ඒ අඬපු උන් තව ටික දවසකින් ඇසිස්ටන් ඉන්ජිනේරු නෝනල......

    ReplyDelete
  7. indi අයියාට
    තරුණ පරම්පරාවටත් මේ වගේ දේවල් දායාද වෙන එක ගැන නම් හරියට දුකයි.

    ReplyDelete
  8. බ්ලොග් අවකාශයේ මෑත දුටු ඉතාම හොඳ පෝස්ට් එකක්. සමාජ විශ්ලේෂණයට ඔබට ඇති හැකියාව විශිෂ්ඨයි. කලබල නැතුව, වෙලා අරගෙන මේ විදියට විස්තර ඇතුව ලියන්න. කවුරුත් කීවාට ඉක්මන් කරන්න ගිහින් ලේඛනයේ ගුණාත්මක භාවය අඩු කර ගන්න එපා. පසු දිනෙයක පොතකට ගොණු කරන්නට තරම් ඔබේ රචනා අපූරුයි. (තරිඳුගේ රචනා ශෛලිය සමාන්තර වුවත් ඔහු පවා මෙතරම් ගැඹුරු සමාජ විශේෂණයකට ගියේ නැහැ.)

    ReplyDelete
  9. සමාජ විශ්ලේෂණය... ටැබූ හරිම වචනේ කිව්වා. මටත් මෙහෙම සංයමයෙන් ලියන්න පුලුවන්නම්.... මම ඉතින් සමාජ විශ්ලේෂණය කරන්න ගියොත් අමු තිත්ත කුණුහරපෙන් බැනගෙන යන්න තමා වෙන්නෙ.

    අයියාගේ මේ ලිපි මට තදින්ම වැදෙන්නේ මේ විස්තර කරන දේවල් මමත් අත්දැකලා තියෙන නිසා..හැබැයි මෙච්චර දුකක් නම් මූල්‍යමය අතින් මම නම් විඳල නෑ.

    ReplyDelete
  10. කුල වලට බෙදුන පන්සල් තියනවා කියලා දැනගත්තේ අදයි මාරබොස්,හැබැයි අපේ රටේ කොහොම කිවුවත් කුල බෙදිල්ල නවතින එකක් නෑ තව සෑහෙන කාලෙකට , ආගම් අනුවත් බෙදිල්ල තියනවා නේ, පොඩියට පොඩියට බෞද්ධ ක‍තෝලික විවාහ තිබුනට අනිත් ආගම් එක්ක විවාහ තාම නොවෙන තරම්,ඊට එහා නේ කුල අතර විවාහ,මෙතෙන්ට විවාහ ගැන කිවුවට සොරි හොදේ,කුල ගැන කියද්දී මතක් උනේ

    ReplyDelete
  11. කුල ගැන කියනකොට, අපි කැම්පස් ඉන්න කාලේ අපේ කොල්ලේක් නුවර කෙල්ලේක් ගෙන් යාලු වෙන්න අහුවා. අපිත් බලන් හිටියා හා කියයිද, බෑ කියයිද කියලා. මෙන්න ටිකකින් මේ යකා එනවා "මාර වැඩේ බං.. ඒකි ගත් කටටම මගේ කුලය මොකක්ද කියලා ඇහුවා" කියාගෙන.
    අපේ යාලුවා ජීවිතකාලෙම කොලබ හැදිච්ච එකෙක්. පොර පොරට කුලයක් තියනවාද කියලාවත් දන්නේ නෑ.

    ReplyDelete
  12. kumaraya...

    ලියමින් පවතී...

    ReplyDelete
  13. Hasitha...

    මට පසුගිය දිනවල පෙනුනා වූ ආකාරයට ඔබද පන්සල් සමග සමීප සම්බන්ධතා ඇත්තකු විය යුතුය..
    ඒ එසේ නම් පන්සල් පිළිබඳව අමුතුවෙන් මා යමක් නොකීවද ඔබට වටහා ගත හැකිය..
    සමහර විට පන්සලේ තුන්සිය හැටපස් දවසම ගෙවූවද අභ්‍යන්තර තත්වය තේරුම් ගැනීමට නොහැකි වන අවස්ථාද ඇත.

    ReplyDelete
  14. budhajeewa...

    මා මෙ කියන්නේ 2002 වර්ෂයේ අග භාගයයි..

    ReplyDelete
  15. @මාරයාගේ හෝරාව: තැංකූ වේවා... දැං වටිනාකම් තේරුංගන්න ලේසියි! :)

    ReplyDelete
  16. මම...

    පෙනුනේ නම් ඒ විදියට තමා..

    ReplyDelete
  17. පළමු කතාවෙන් පස්සෙ අදයි ඉතිරි කතා කියෝල ඉවර කලේ. ඔබ ලේඛණ කලාවට උපන් හපනෙක්. දිගමට ලියන්න සුබ පැතුම්! මේ වගේ කතා කියවද්දි මටනං මහා කලකිරීමක් ඈති වෙන්නෙ. අපේ රටවල් හැමපැත්තෙන්ම කඩාවැටෙන්නේ අපේ මිනිස්සු මේ වැඩකට නැති කුලමල භේද වගේ දේවල් පස්සෙ යන හින්දද මන්දා?

    ReplyDelete
  18. ඉලංදාරියා...

    ඔබට ඉතින් අමුතුවෙන් කිව යුතු නැහැනේ..

    ReplyDelete
  19. මට නම් ඔය මුකුත් බේධ නෑ........ :) :) :)

    ඔය යන්නේ ලස්සනට වැඩේ.......
    අනුග්‍රාහක දැන්වීම් විතරයි අඩු.......

    ReplyDelete
  20. ඈත්තමට කියනවනං අපි මුලින්ම හිටපු ගම්මානේ පන්සලත් මේ වගේමයි! ගම්මු හැසිරෙන්නෙත් ඔය වගේ. ඒ පන්සලේ ලොකු හාමුදුරුවොත් මහා පීඩනයකින් හිටියේ. අර සමිති කාරයෝ පන්සල් වත්තෙ පොල් වල ආදායම පවා ගෙනියනවා. ''හාමුදුරුවන්ට සල්ලි ඕන් නැ'' කියලා. ''ඹ්න්නං පණිවිඩටක් එවන්න කියලා''

    ReplyDelete
  21. indi...

    මම දැකලා තියෙන දෙයක් තමයි අඩු කුල යැයි සම්මත අය අතරෙ සමහරුත් කිසි විටක අවස්ථාව ලැබුනත් ගොවි කුල අය අභිභවා යෑමට අකමැති වීම හා ඔවුන්ගේ දරුවන්ටත් එම දීන මානසිකත්වය බලහත්කාරයෙන් පැටවීමට උත්සහ කිරීමත්...

    ReplyDelete
  22. Taboo Subjects...

    ඔඛෙ වචන ටික මහත් ධෛර්යක් ජනිත කරනවා වගේම..
    එක් පැත්තකින් මහත් වූ පීඩනයක් එල්ල කරනු ලබනවා.
    මෙහි ගුණාත්මක භාවය රඳවා ගැන්ම අරමුණු කරගෙන ලියන්ට වැරදීමකින් හෝ සිතුවහොත් අනිවාර්යයෙන්ම මගේ නිදහස් රටාවට එයින් බාධා ඇති විය හැකි බැවින් මෙතෙක් කලා වගේම ඔහේ ලියාගෙන යෑමම වඩාත් යෙහෙකි.

    ReplyDelete
  23. Grey...

    අනේ බාං හෙළුවෙන්ම වනාපං..

    ReplyDelete
  24. තරිඳු...

    එක අතකින් එසේ නොවීමට ඔබ වාසනා වන්ත වූ අතරම..
    එසේ වීමට මා වාසනාවන්ත වූ බවත් කිව යුතුයි.
    නොඑසේනම් අද මට කියන්ට කතාවක් ඉතිරි වන්නේ නැත..

    ReplyDelete
  25. ItalyDilan...

    නැහැ ඔබ එසේ කිවීම වැරදි නැහැ..
    පන්සලේදී..මගුලෙදී..මරණෙදී..
    මෙ හැම තැනදීම කුලය ඉතා ප්‍රභල ලෙස ඉස්මතු වී එන බව රහසක් නොවෙ..
    ඉතින් ඒ පිළිබඳව වචනයක් ඔබ විසින් කීම නොගැලපෙන දෙයක් නොවෙ..

    ReplyDelete
  26. Ano...

    ඇත්තෙන්ම නුවර පළාතේ හාමුදුරුවරු පවා තමන්ගෙම නිකායේ උනත් පහතරට හාමුදුරුවන් වහන්සේලාට අඩු සැලකිල්ලක් තමයි දක්වන්නේ..

    ReplyDelete
  27. බුද්ධි...

    ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
    ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
    යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
    යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
    මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ..

    ReplyDelete
  28. හා පැටික්කී...

    ඇයි ඔයා වගේ නිල අනුග්‍රාහක භවතියෙක් ඉන්දැද්දී ආයේ අමුතුවෙන් වෙන අය මොටද..?

    ReplyDelete
  29. බුද්ධි...

    ආ ඒ වගේ අය හුගාක් ඉන්නවා..
    තවම මම එයාලාව කරළියට ගෙනාවෙ නැහැ..
    ඒ අයත් ළග ළගම එනවා..

    අන්න සැන් පවුඩර් දදා ලක ලෑස්ති වෙනවා..
    වෙදිකාවට ගොඩ වෙන්න..

    ReplyDelete
  30. හරි හරි ඉතින් අනිත් අය වගේ ඕවට විග්‍රහ දෙන්න මං දන්නැති නිසයි එහෙමවත් කිව්වේ.........

    අයිය ඉතින් මාව නෝන්ඩිම කරල කපල දැම්ම....... හ්ම්ම්ම්..... හ්ම්ම්ම්....... :'( :'(

    ReplyDelete
  31. හා පැටික්කී...

    අනේ නංගියේ එහෙම හිතන්න එපා..
    හා කියන්න බලන්න මම මොනවා ලිවුවත් ඒක ගැන හැමදාමත් වගේ ඉක්මනට මොනවා හරි ලියන එක ඔයාගේ පුරුද්දක් නෙමෙයිද..?
    ඉතින් එහෙනම් ඔයා මට ලියන්න අනුග්‍රහය දක්වන කෙනෙක්ද නැද්ද..?
    ඉතිං මම වැරදිද..පිස්සු පැටික්කී...

    ReplyDelete
  32. ඒකත් ඇත්ත බලපුවම........
    කොහේ නැත්තත් අයියගේ එවුවයි තව කීපදෙනෙකුයි මග අරින්නේ නෑ.......

    අනේ ඉතින් මගේ ඔය පිස්සුව තමා මට හෙනේට හිටල තියෙන්නෙත්........

    ReplyDelete
  33. හා පැටික්කී...

    හිහ් හිහ්..

    ReplyDelete
  34. මලේ....

    උඹේ මේ වචන ටික මාව කුල්මත් කළා...

    "ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
    ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
    යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
    යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
    මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

    මසුරං කියමන....

    සුලා...

    ReplyDelete
  35. සුලා...

    ආ ඒත් මම බැළුවා අද නැද්ද කියලා..

    ReplyDelete
  36. නියමයි මචං ආගම සහ පංසල ගැන මේ වගේ විස්තරයක් යන්නෙ ලංකාවෙ පළමු වතාව. මම මේ දකිනවාමයි. ස්තූතිය් ලිපියට.

    ReplyDelete
  37. මං දන්නව මාව මුරුන්ග අත්තෙ තිව් බව.......

    මොනවා කරන්නද
    දැනුමක් නැති කලට
    යහපත්ම දෙය මෙයට
    සිතට එනදේ නොකිය
    කියන කට වහ ගැනුම........

    ReplyDelete
  38. meepani...

    ස්තූතියි ඔබටත් මෙහි පැමිණියාට..

    ReplyDelete
  39. හා පැටික්කී...

    ඔකනේ කියන්නේ ඔයාට කියලා වැඩක් නැහැ...

    ReplyDelete
  40. ලස්නට ලියල තියෙනවා. දිගටම යං....

    ReplyDelete
  41. "මට පසුගිය දිනවල පෙනුනා වූ ආකාරයට ඔබද පන්සල් සමග සමීප සම්බන්ධතා ඇත්තකු විය යුතුය.."
    ඒ කතාව හරි අයියා. පන්සලේ එක්ක ඇත්තටම සමීප සම්බන්ධයක් මට තියෙනවා. පන්සලේ තියෙන දහම්පාසලේ මම උගන්වනවා වගේම පන්සලේ කරන හුඟක් වැඩවලට sup එකක් දෙන කෙනෙක් තමා මම.

    මොනවා වුණත් අපේ ගමේ පන්සලේ කුල භේදය එතරම් ලොකු ගැටළුවක් කරගෙන නැහැ. මොකද අපේ පන්සල අමරපුර නිකායේ පන්සලක්. ඒ වගේම අපේ පන්සල පිහිටලා තියෙන්නෙත් ගම්පහ දිස්ත්‍රික්කේ.අපේ ගම් පළාතේ හැම කුලේකම කට්ටියත් ඉන්නවා

    "සමහර විට පන්සලේ තුන්සිය හැටපස් දවසම ගෙවූවද අභ්‍යන්තර තත්වය තේරුම් ගැනීමට නොහැකි වන අවස්ථාද ඇත."
    ඒකත් සහතික ඇත්ත අයියා. අපිට නොපෙනෙන දේවල් වුණත් පන්සලේ සිදුවෙන බව දන්නවා. අපිට ඒවා නොපෙනුනත් කොහෙන් කොහෙන් හරි ආරංචි වෙනවා :)

    ReplyDelete
  42. හ්ම්ම්ම්ම්ම්! දිගටම ලියන්න අයියේ...පුළුවන් හැමවෙලාවෙම ඇවිත් කියවනවා

    ReplyDelete
  43. මාරෙ,

    උඹ මේ ලියන දේ දැකල අඩු තරමෙ අපේ රටේ උන් කීප දෙනෙක් හරි පන්සලටයි, හාමුදුරුවන්ටයි වෙලා තීන දේ අවබෝධ කරගෙන ප්රේක්ෂක තත්වෙන් එහාට ගිහින් යමක් කරනවනං අන්න එතනයි නියම ආගම බේරාගැනීමෙ වැඩේ සිද්ධවෙන්නෙ. එහෙම උනොත් ඒ පින උඹ සිවුරෙ ඉඳන් බොරුවට පිච්චමල් ලක්ෂ ගනන් පූජ කොරෝල, නැති රැස් පෙන්නල ලබන පිනට ( ඒව ඇත්තටම කාට හරි පින් ලැබෙන වැඩද ??) , කරන සේවයට වැඩිය කෝටියක් ඉහලයි. ඔය ඉන්න තැනම ඉඳන් දිගටම ලියපන් අර ටැබූ සර් කියන්නැහෙ.

    අපේ කතන්දර ශූරිගෙ ආශිර්වාදෙන් මාත් බ්ලොගක් ලියන්න ගත්ත. මට ආපු පොඩි පුරස්නයක් ගැන මං ඒකෙ අහල තීනව. ඉඩ තීන වෙලාවක අවිත් දන්න දෙයක් ලියල පලයන්...

    http://upashantha.blogspot.com

    ReplyDelete
  44. Praසන්ன...

    ඔබගේ වදන් මට සවියකි..
    මෙං යනවා..

    ReplyDelete
  45. Hasitha...

    මට තේරුණා..
    අනිවාර්යයෙන්ම දහම් පාසලේ සම්බන්ධයකුත් මට පෙනුනා.
    ඉතා හොඳයි.

    ඔබ වැනි තරුණ දූ පුතුන් කිහිප දෙනෙක්ම මා ඇසුරෙ හැදී වැඩුනා.
    හැබැයි ඒ අය පන්සලේ ඇතුළාන්තයත් හොඳින් තේරුම් ගත් අය..
    ඒ සඳහා මා ඔවුනට බොහෝ ඉඩක් සලාසා දී තිබුණා..
    හාමුදුරුවරුන් යනු තවත් මිනිසුන් කොටසක් යන වගත් ඔවුන් දිහා අමුතු සතුන් පිරිසක් දෙස බලන්නාක් මෙන් නොබැලිය යුතු බවත් ඔවුන් විසින්ම අවබෝධ කර ගන්නා තරමටම ඔවුන් දැනුවත්..
    අදටත් ඒ කොල්ලෝ කෙල්ලෝ ටික මා ගැන හොයා බලනවා..
    මා උපැවිදි වන්නට ගත් තීරණයේදී කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරවම ඔවුන් මා හා සිටියේත් යතා තත්වය අවබෝධ කරගෙන උන් නිසාම බව කිව හැකියි.
    ඇත්තටම මම තේරුම් ගත් දෙයක් තමා භෞතික දේ කොතරම් ගොඩ නැගුවත් ඊට වඩා දහස් වාරයක් වටිනා දෙයක් වන්නේ ඔබ වැනි දරුවන් දහ දෙනෙකු තනා සමාජයට ඉදිරිපත් කිරීම යන්නයි..

    ReplyDelete
  46. දිල්...

    මම නොදන්නවායෑ..
    ආ මම දැක්කා වැප්ගේ ලිපියකට ප්‍රතිචාර දැක්වීමෙදීත් ඔයා මා ගැන වනලා දීලා තිබුනා..
    "ඔබ වැනි මිතුරියන් ලද මා කෙතරම් නම් පින් කොට ඇද්දැයි මට හැගුණී.."

    ReplyDelete
  47. ඉන්දික උපශාන්ත...

    "පිච්චමල් ලක්ෂ ගනන් පූජ කොරෝල, නැති රැස් පෙන්නල ලබන පිනට ( ඒව ඇත්තටම කාට හරි පින් ලැබෙන වැඩද ??) ,"

    ඒවාත් පින් සිදුවන දේවල්.. හැබැයි චෙතනාව යහපත් නම් පමණක්..
    අර ඔබ මුලින් යෙදුවා වගේ 'බොරුවට' පමණක් නම්..
    නොඑසේනම් ප්‍රසිද්ධිය පිණිස හෝ තවකෙකු අභිබවා යෑම පිණිස කරන්නා වූ දෙයක් පමණක් නම් පවක් මිස කුසලයක් උපදින්නේ නැත..

    මම අනිවාර්යයෙන් ඇවිත් යනවා..

    ReplyDelete
  48. ස්තුතියි අයියා ඔයාගේ ප්‍රතිචාරයට. කියන්න සතුටුයි අපේ පන්සලෙත් පවතින්නේ ඔයා දක්වපු අකාරයට සමාන වටපිටාවක්. :)

    ReplyDelete