18 May 2010

පන්සලේ ජීවිතේ... ඇබිත්ත දිවියේ ඇරඹුම...

එළියේ වහිනවා හොඳටෝම...

දැන් තමයි නින්ද ගිහින් ඇහැරුනේ...
ඊයේ රෑ පුරාම හරි හැටි නින්දක් නැහැ.ඒ හින්දා උදේ ගෙදර ඇවිත් ජංජාලේ පැත්තේ චුට්ටක් ඇවිත් එහෙමම නිදා ගත්තා.
නිදා ගන්නකොට නම් පැහැපත් කාලගුණ තත්වයක් තමයි තිබුනේ ඒත් දැන් බලනකොට හිටු කියලා වහිනවා.

නිදා ගන්න කළිං හිතන් හිටියේ දවල් වෙලා කඩෙ ගිහින් උයන පිහන බඩු මුට්ටු ටික ගෙනත් දානවා කියලයි.
කොහේද දැන් ඉතින් ඒක කරන්නේ...?
ගෙදර තිබුන සියළුම කන බොන ජාති ඉවරවෙලා..ආ.. නැහැ... බොන ජාතියෙන් නම් තව බාගයක් ඉතිරියි.
ඒත් ඉතින් ඒකට ඔන කරන අඩුවැඩිය එහෙමත් ඉවරයි...

දැන් ඉතින් මක් කරන්නද..?
ඉතිරි වෙලා තිබුනේ හාල් මිටකුයි, පරිප්පු ටිකකුයි, ලුණූ, සුදු ළුණු, මිරිස්,කරපිංචා විතරයි.
මිරිස් කුඩු බෝතලෙත් අන්තිම ටික..

හාල් මිට හෝදලා ලිප තියලා පරිප්පු ටිකකුත් මිරිසට හදන්න ලක ලෑස්ති කරගත්තා..
අද ඉතින් දවල්ට පරිප්පුයි බතුයි විතරයි..
අවුලක් නැහැ. ලද දෙයින් සතුටු වීම හොදයි නෙව..

අනික මෙහෙම වත් කන්න නැතිව අද මෙ වෙන කොට කී දෙනෙක් මෙ ලෝකේ බඩගින්නේ ඉන්නවා ඇතිද..?

හවස් වෙලා පෑවුවොත් බැරියෑ රෑ කෑම වෙල ගැන බලන්න...

...................................................................................................................

මදැයි කොළා...
ලිය ලිය ඉද්දී විදුලි බලයට ඇණයක් හිටියා නෙව...
ඒ ගමන ඉවුම් පිහුම් අංශයට ගිහින් වැඩ කටයුතු ටික අවසන් කරලා හදා ගත්ත බත් මිට බංඩියට දාලා භාජන ටික හෝදලා දාලා ආවා.. බංඩියට සතුටුයි...ඔයාලටත් සතුටුයි නේද..?

..................................

හොඳයි දැන් ඉතින් අද දවසේ ලියමන...

මම මුලින්ම පන්සලට ගිය දවස ගැන මම කිවුවා මතක ඇතිනේ...

කොහොම හරි එදා රෑ රූපවාහිනිය එහෙම බලලා ආවාසයේ ඉස්සරහා කාමරයේ බිම එළා ගත් පැදුරක දිගා වෙලා නිදා ගත්තා...
අඩි දහයයි එකොළහ ප්‍රමාණයේ කාමරයක් උන එහි අබලන් ඇදන් දෙකක් තබා තිබුනු අතරම ඒවාට සිවුරු රෙදි එළා තිබිණි.
මා හට කාමරයේ නිදා ගන්නා ලෙස කී පොඩි හාමුදුරුවන් කැමති ඇඳක නිදන්නැයි කීවද.. එය මා හට කළ නොහැකි බැවින් බිම පැදුරක වැටී නිදා ගැන්ම හිතට මහත් සහනයක් විය.
ඒ තබා එදින රාත්‍රිය කොහේ හෝ අගුපිළක වැටී හෝ නිදා ගැනීමට සැරසී සිටි මාහට මෙය ඉහටත් උඩින් විය...

සිතේ අනන්ත අපමණ ගැටළු ඒ මෙ අත යමින් පුපුරු ගසමින් තිබුණි...
උපන්දා සිට දිවි ගෙවූ නිවස සදහටම අතහරින්නෙමැයි සිත තදින් තීරණය කර තිබුණි.
කලකිරීම එතරම් බලවත් විණි...
මා හට කළ හැකි උපරිම අන්දමින් එතෙක් කළ හැකි සියළු යුතුකම් ඉටුකරලු බව දන්නා නමුත් මෙතැන් පටන් එම සියළුම දේටත් වඩා මා ගෙදර හැර පියා ආ බව දැන ගත් පසු ගම්වැසියන් අතර මා පිළිබඳව ගොඩනැගෙන ප්‍රතිරූපය කෙබඳුදැයි මා හට සිතා ගත හැක...
නමුත් තව දුරටත් කළ හැකි අන් යමක් නොතිබුණි...
කටක් ඇර තවකෙකුට විස්තර කර දිය නොහැකි ක්‍රියාවන් රැසක් නිවස තුළ සිදු වී තිබුණි.

ඒ පිළිබඳව කා හටවත් පැහැදිලි කරදීමට මා හට කෙදිනකවත් නොහැකි වනු ඇත..
අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ මා නිවස හැර දා ගිය අසාධාරණ අයකු බව හන්වඩු ගැසීම පමණකි.
නමුත් එය සිදුවීමට ඉඩ දෙනු විනා වෙනත් කල හැකි අන් යමක් මා සතු නොවීය...

අනාගතය පිළිබඳව සිත තුළ වූ සියළුම බලාපොරොත්තු තව දුරටත් මා හට හිමි නොවන ඒවා බව පසක් වෙන කල ...
මෙතෙක් කලක් ගොඩ නගාගෙන ආ සියළුම දේ මතකයන් තුළ පමණක් රැදෙමින් බොඳවී යන බව සක් සුදක් සේ පැහැදිලිව දක්නට තිඛෙනා කල...

අනාගතය තුළ අතීතයක් නොමැති ගන්දබ්භයකු සේ සරන්නට සිදුවන බව සිහිපත් වන කල...
මෙතැන් පටන් මා කාත් කවුරුවත් නොමැති අනාථයකු සේ දිවියේ ඉතිරි දුර ගෙවා දැමිය යුතු බව අවබෝධ වන සඳ...

සාමාන්‍ය මනුස්සයකු සේ හඩනවා හැර කුමක් කරන්නද..?

ශබ්දය අන් අයට ඇසීම වලක්වා ලීම සඳහා දෙතොල් තදින් පියා ගන්නට උත්සහ දරන අතරම මෙතෙක් කලක් දැනුම් තේරුම් ඇති කිසි කලෙක නොකළ අන්දමෙන් හඩා වැටෙනවා ඇර කළ හැකි අන් කිසිවක් නොවුණි...

හිස තබා සිටි පැරණි බැවින්ම කිළිටි වී ගිය කොට්ටයට උඩින් එළා ගත් තුවාය තෙත් වන තුරුම කඳුළු ගලා යන අතරම සිත හා ගත දෙකම සැහැල්ලූ වී නින්ද මා කරා පැමිණ තිබුණි...

සිහින් ආලෝකයක් සමගම අවදි වන විට වෙලාව උදෑසන පහයි හතලිස් පහට පමණ විය.

නිදා සිටි පැදුර අකුලා තබා බෑගය තුළ තිබූ කලමනා ටික එළියට ගෙන අවශ්‍ය කලමනා රැගෙන අන් අයට බාධා නොවන සේ දොර විවෘත කර ආවාසයෙන් එළියට විත් අවට සිසාරා බලනා අතරම මුහුණ කට සෝදා ගත්තෙමි.
බැළු බැළු සැම අතම දක්නට තිබුනේ පරිහානියේ ලක්ෂණ පමණකි.

ගරා වැටෙමින් තිබූ වහලට මුක්කු ගසා තිබූ තරමක් විශාල බණ මඩුව..
පොළව පුපුරා ගොස් කපරාරු තට්ටු කඩා හැලී තිඛෙන පැරණි බුදු මැදුර..
දිය සෙවල බැඳී දුර්වර්ණව පැවති මෙලෝ ලස්සනක් නැති හතරැස් බෝධි ප්‍රාකාරය..
අතීතයේ වරින් වර කිසිදු සැලැස්මක් නැතිව වරින් වර අණ්ඩ දමා සකස් කළ බව දක්නට ඇති ආවාසය..

මෙ සියල්ල මැද නව නිර්මාණයක් යැයි කියා කිව හැකි එකම දේ වූයේ කුඩා කඳු ගැටයක් මුදුනත සමතලා කොට ඒ තුළ සියළුම පන්සලට අයත් ගොඩ නැගිලි නිමවා තිබූ චතුරස්‍රාකාර සමතලා බිමක් වූ පන්සල් භූමිය හරි මැද පිහිටවා තිබූ ගණ්ඨා කුළුණ පමණකි...
බැළු බැළු තැන බල්ලන් විසින් ජරා කොට තිබුණි...

පන්සල් මිදුල මැද තැනින් තැන අගල් දෙක තුන උසැති තණකොල වැවී ඇත...
පන්සලේ හොඳ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සිටින බවට සලකුණු එම තණ පලස තැනින් තැන සුද්ද වී තිබූ අයුරින් පැහැදිලිව දැක ගත හැකිවිණි.
පෙර දින පන්සල් බිම අතු ගා තිබූ බව පැහැදිලිව දක්නට ඇත..
නමුත් මිදුල් කොන් වලට වන්න කඳු ගසා කුණු ගොඩවල් විණි.

මුහුණ සේදීමෙන් පසු මිදුලට බට මා මඩුවක් තුළ තිබූ ඉදලක් ගෙන ආවාසයට ආසන්නම පෙදෙස තෝරාගෙන අමදින්නට විය...

කුඩා කළ සිටම තිබූ පළපුරුද්ද නිසාම පොල් අත්තේ හැඩයට බිම හැමදීම මා හට අමුතු දෙයක් නොවිණි.

ටික වෙලාවක් යන විට ඉදිරිපස දොරින් එක් භික්ෂුවක් අදනකඩය සකස් කරමින්ම එළියට එමින් මා දෙස බලා...
ආ.. අතුගානවාද...? තාම දානේ අරගෙන කවුරුවත් ආවේ නැද්ද..යි.. අසමින්ම වැසිකිළිය දෙසට පිය මනින්නට විණි.
තවමනං කවුරුවත් ආවෙ නෑ හාමුදුරුවනේ..

එහෙනං අදත් බඩගින්නේ තමයි වගේ...කියමින් සිනා වෙමින්ම යන්නට විය...

මඳ වෙලාවකින් නැවතත් උන් වහන්සේ ආවාසයට වැඳුණි.

කාලය සෙමින් ගත වෙමින් තිබිණි.
වෙලාව උදෑසන හතයි තිහ පමණ වන්නට ඇත...

සිහින් කුස ගින්නක් මෝදු වෙමින් තිබුණි.
ආවාසය ඇතුළත යන්තම් ශබ්දයක් නැගෙමින් තිබිණි.
මිදුලේ සෑහෙන ප්‍රමාණයක් ඇමදීමෙන් පසු ඉදල පසෙක තබා අත පය සෝදා ගත් මා ආවාසය තුළට ඇතුළු වීමි...

අයියේ... මොකද කරන්නේ...? ඒ හඩ පොඩි හාමුදුරුවන්ගෙනි.
මුකුත් නෑ හාමුදුරුවනේ කියමින් හඩ නැගී ආ පෙර දින රූපවාහිනිය නැරඹූ කාමරයට පියමැන්න මා හට දිස් වූයේ.. එම කාමරය තුළ වූ ඇද මත දිග ඇදී සිටි එක් හාමුදුරු නමක්ද..
ඒ අසල බිම එලු පැදුරක සිටි උදෑසන අවදිව එළියට ගොස් පැමිණි හාමුදුරුවන් හා කාමරයේ බිත්තියට හේත්තු වී බිම වාඩි වී සිටි පොඩි හාමුදුරුවනුත් නැවතත් රූපවාහිනී නරඹන ආකාරයයි.

ආ අයියේ වාඩි වෙන්න..
ඉතින් කොහොමද...? නින්ද ගියාද..? පොඩි හාමුදුරුවන් ඉතා ප්‍රිය මනාපය..

නැවතත් අප සියළුම දෙනා කතා බහ කරන්නට විය...
මා පිළිබඳව මෙන්ම ඔවුන් ගැනද විහාරස්ථානය ගැනද කරුණු සාකච්ඡාවට බඳුන් වන අතරම පොඩි හාමුදුරුවන් මාද කැඳවාගෙන දාන ශාලාවට ගොස් තේ පිළියෙළ කලේය..
දාන ශාලාව කිවූ මුත් එය ආවාසයෙම පසුපසම වූ කුඩා කාමරයක් විණි.
පිටු පස දොරින් එපිට තිබූ පැරණි කුස්සිය තුල පමණක් වතුර කරාමයක් වූ අතර වරින් වර එහි ගොස් කෝප්ප සෝදා තේ සකස් කිරීම සෑහෙන කාලයක් ගතවන කටයුත්තක් විය.

උදෑසන තේ පානයෙන් පසු නැවත් වතාවක් සියළු දෙනාම මිදුලට ගොස් මිදුල අමදින්නට විය...
ඒ වන විට මා විසින් විශාල මිදුලින් අඩකට ආසන්න ප්‍රමාණයක් අතුගා තිබුනද ඉතිරි ටික ඇමදීමටත් සෑහෙන වෙලාවක් ගත වූයේ වැලි සහිත පොළොවෙ වැටී තිබූ කොහොඹ කොළ, බෝපත් අතු ගෑම ඉතා සීරු මාරුවට කළ යුතු කි්‍රයාවක් වූ නිසාය...

උදෑසන නවය පසුවන තෙක්ම අතුගෑමෙ නිරත වූ සියළු දෙනා එය හමාර වීමෙන් පසු මුහුණ කට සෝදා ගෙන ආවාසයෙහි ඉදිරිපස වූ සිමෙන්ති බැම්ම මත වාඩි වී කතා බස් කරන්නට වූ අතර මාද බිම වාඩි වී අසා සිටින්නට විය...

අද උදේට නම් දානේ නැහැ... චන්දවිමල තැඹිළි ගෙඩියක්වත් කඩමුද..?
වැඩි මහළු භික්ෂුව වූ සුමෙද හිමි අසන ලදි..

සුමෙද හාමුදුරුවන් යනු වයස තිස්පහක් පමණ වූ මුත් ඉතා කුඩා ශරීරයකින් හෙබි කරුණාවන්ත බොහෝ දුරට සංවර ගති ඇති හාමුදුරු නමකි.
උන්වහන්සේ කළුතර දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර පෙදෙසක කුඩා පන්සලක දිවි ගෙවූ අතර දැනට මෙම විහාරයේ වස් කාලය තුළ රැදී සිටියේ මෙම විහාරස්ථානයේ තාවකාලික භාරකාරත්වය පැවරී තිබූ නාරද හිමියන්ගේ දැඩි ඉල්ලීම මතය...
නාරද හිමියන් වයසින් මට වඩා වසරක් වැඩි මහළුවිය.
උපසම්පදා වී තිබුනේ මෙයට මාස දෙකකට පමණ කලින්ය..
වස් කාලයතුළ කල යුතු වත් පිළිවෙත් තනිවම කරගැනීමට අපහසු බැවින්ම තම පිරිවෙන් සගයකු වූ සුමෙද හිමියන්ගේ සහය පැතූ උන්වහන්සේ, තවත් තමා උගත් පිරිවෙනෙහි සිටි ඉගෙනුමට අකමැති කුඩා භික්ෂූවක වූ චනද විමල නම් වූ පොඩිහාමුදුරුවන්ද තම සහයට කැඳවාගෙන විත් තිබිණි.
චන්ද විමල හිමියන් ඒ වන විට වයස දහ අටකට ආසන්න වයසකින් හෙබි උසින් අප සියළුම දෙනාට වඩා වැඩි අයකු වූ අතර ලෝකය පිළිබඳව ඉතා අල්ප දැනුමකින් යුක්ත අයකු විණි.
දානයකදී පින් වාක්‍යය කීමටත්, යන්තම් පිරිස පන්චශීලයෙහි පිහිටවාලීමටත් හැර අන් යමක් කිරීමට උන්වහන්සේ සමත් නොවීය...
නමුත් මා එන තෙක්ම විහාරස්ථානයේ සියළුම කුදු මහත් කටයුතු ඉටු කරලුයේ උන්වහන්සේ විසිනි.

මෙම හිමිවරුන් තිදෙනාම කළුතර දිස්ත්‍රීක්කයට අයත් අය වූ අතර..
තම යහළු හිමිවරුන්ගේ මාර්ගයෙන් මෙම විහාරස්ථානයට පැමිණ තිබුණි.
විශේෂයෙන්ම මෙම විහාරස්ථානයේ සිටි නන්ද හිමියන් හට ජපානයට යෑමට ඇවසි වූ නිසා,
නන්ද හිමියන්ගේ මිතුරකු වූ නාරද හිමියන් මෙහි නවතා තබා නන්ද හිමියන් විදේශගතව තිබිණි.
ඒ මා විහාරස්ථානයට පැමිණීමට වසර දෙකකට පමණ පෙරය.

නාරද හිමියන්ට විහාරස්ථානය භාර දී ගිය මුත් එයින් පසු නන්ද හිමියන් විසින් නාරද හිමියන් පිළිබඳව කිසිදු සොයා බැලීමක් කර නොමැති අතර නොදන්නා පළාතක.. නොදන්නා මිනිසුන් සමූහයක් මැද.. එතරම් මුහුකුරා නොගිය භික්ෂූවක වූ නාරද හිමියන් ඉතා අපහසුවෙන් කල් ගත කරමින් සිටින ලදි.

වැඩි කතාබහක් නැති නිතර කල්පනා කරමින් සිටින නාරද හිමියන් මා ජීවිතයේ හමු වූ ඉතාමත් අනුකම්පාවට භාජනය විය යුතු අයකු විය...

පිටතින් දකින්නට නොහැකි වූවද ඒ වන විටත් උන්වහන්සේ පීඩනය දරාගත නොහැකිවීම නිසාම උමතුවූවකුගේ ආරම්භක ලක්ෂණ පෙන්නුම් කරමින් සිටින ලදි. සිවුරු හැරලීමට ඇවසි වූවද ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා පසුබිම සකස් කර ගත නොහැකි වීම නිසාම මෙම තත්වය උන්වහන්සේට අත්ව තිබිණි.

සුමෙද හිමියන් පමණක් කල හැකි අන් යමක් නොමැති වීම නිසාම දිගටම සිවුර දරා සිටීමට තීරණය කර තිබූ අතර එයට හැඩ ගැසෙමින් තිබුණි.
ඇත්තටම අද වන විටත් උන්වහන්සේ කළුතර දිස්ත්‍රික්කයේ ඈත දුෂ්කර පිහිටි තේ හා රබර් වතුවලින් සැදුම් ලත් සිංහල හා දෙමළ යන ජාතීන් දෙකොට්ඨාශයම සම සමව දිවි ගෙවන කඳු ආශ්‍රිත කුඩා ගම්මානයකට මායිම්ව කඳු මුදුනක සැදි කුඩා පන්සලේ දිවි ගෙවනවා විය හැක.

චන්දවිමල පොඩි හාමුදුරුවන්ද සිවුරු ඇරීම තම සිහිනය කරගත් නමුදු තවමත් ඒ සඳහා සූදානම්වී නොතිබිණි.

සුමෙද හාමුදුරුවන්ගේ ඉල්ලීමට අනුව කුඩා උණ ලීයක් ගෙන ආවාසය ඉදිරිපිට මිටි තැඹිළි ගසින් මාගේ උදවුද ඇතිව තැඹිළි ගෙඩි කිහිපයක් කඩා ගත් උන්වහන්සේ පිහියක් ගෙනවිත් තැඹිළි කපන්නට විණි.
උන්වහන්සේගෙන් පිහිය ඉල්ලාගත් මා තැඹිළි කපා දුන් අතර තැඹිළි පානය කරනා අතරතුරම දහවල් දානය පිළිබඳව සාකාච්ඡා කරන්නට විණි...

දවල්ට අල්ලපු පන්සලේ සාංඝිකයකට එක නමක් ඉල්ලලා තියෙනවා.
සුමෙද ඒකට වඩින්න..මායි චන්දවිමලයි මෙහෙ ඉන්නං.
එනකොට අපිටත් පාර්සල් තුනක් අරන් එන්න එහෙ ලොකු හාමුදුරුවන්ට කිවුවම බන්දවලා දෙයි.
නාරද හිමියන්ගේ යෝජනාව සභා සම්මත විණි.

ඊළගට මා දෙස හැරුනු උන්වහන්සේ ඔයා මොකද කරන්න හිතාගෙන ඉන්නේ...
පේනවානේ මෙහෙ තත්වෙ..
කැමතිනම් දිගටම මෙ තියෙන විදියකට අපිත් එක්ක ඉන්න පුළුවන්...
නැත්නම් කැමති දෙයක් කරන්න පුළුවන්... මොකද කියන්නේ... ?

......................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

53 comments:

  1. මේ කතාව කියවනකොට මට මම දහම්පාසල් ගියපු පන්සල ගැන මතක් උනා. තරුණ හාමුදුරු නමක් එක්ක පොඩි හාමුදුරු නමක් විතරක් වැඩ ඉඳපු ඒ පන්සලත් පවත්වගෙන ගියේ බොහොම අමාරුවෙන්. ඒත් ඒකෙ දහම්පාසල් ගියපු ළමයි ලොකු වෙනකොට පන්සලේ තත්වය ටිකක් විතර හොඳ අතට හැරුන.
    ඔයාගෙ කතාව බොහොම ආසාවෙන් කියවනව මාරයියෙ. ආයෙත් මගේ වයස 15, 16 කාලෙ මතක් වෙනව.

    ReplyDelete
  2. මතක මංපෙත ...

    දහම්පාසල් ළමුන් කියන්නේ හොඳ ආයෝජනයක්..පන්සලට විතරක් නෙවෙයි,රටට ,සමාජයට..හැමෝටම..

    ReplyDelete
  3. ඒක නම් ඇත්ත.
    ඒත් ප්‍රශ්ණෙ තියෙන්නෙ දැන් කාලෙ ජනප්‍රිය පාසල් වගේම ජනප්‍රිය දහම් පාසල් සංස්කෘතියකුත් බිහිවේගෙන එන එක. ඒකෙන් වෙන යහපතට වඩා අයහපත වැඩියි කියලයි මට නම් හිතෙන්නෙ.

    ReplyDelete
  4. ජීවිතය විසින් නිර්මාණය කරන්නාවූ කතාන්දර වලට වඩා හොඳ කතන්දර තවත් නොමැති බව ගෝර්කි ද කියා ඇත.

    ReplyDelete
  5. ජින්දගී කිත්නේ රංග් හේ?

    ජීවිතයෙහි කෙතරම් වර්ණ (පැතිකඩ)ඇතිද?

    ReplyDelete
  6. අවුරුදු දාසයේදි මට ගන්න බැරිඋනු තීරණයක් අයිය අරං තියෙනව. මං අදටත් පසු තැවෙන එකම එක දේ ඒකයි.
    මට ඔයා ගැන ආඩම්බරයි.
    කොහොම උනත් සුදත්ත සාදු වගේ අපිව අතරමං කරන්න එපා කියන එක විතරයි මම ඉල්ලන්නෙ....

    ReplyDelete
  7. සත්‍යය සාහිත්‍යයට වඩා පුදුමාකාරයි.

    තක්දීර් කේ රංග් කිත්නේ අජීබ් හේ
    අන්ජානේ රිශ්තේ හේ පිර් භී කරීබ් හේ

    දෛවයේ පාට කොතරම් පුදුමද ?
    නාඳුනන සබඳකම් කෙතරම් ලඟද ?

    හින්දි පාඩමේ ඊලඟ කොටස ලියන්නත් ඕනෙ කියල මතක් උනේ ටැබූ කියපු එක දැක්කම

    ReplyDelete
  8. මතක මංපෙත...

    ලංකාවෙ සිද්ධ වෙන සමහර දේවල් ගැන ඇත්තටම කණගාටුයි.

    ReplyDelete
  9. කතන්දර...

    ගොර්කිගේ වගේ අපෙත් සරසවි වෙන්නේ මෙ සමාජයම විනා අන් යමක් නොවෙ...

    ReplyDelete
  10. Taboo Subjects...

    ඒ වර්ණ කී දෙනෙකු නම් හඳුනා ගනීද..?
    කී දෙනෙක් නම් ඒ වර්ණයන් පිළිබඳව අවබෝධයෙන් තොරවම මැරී යන්නේද..?

    ReplyDelete
  11. freedom...

    ඒ ගැන නම් මට හරියටම පොරොන්දුවක් දෙන්න අමාරුයි.
    මම මෙ ජීවාතේදී පොරොන්දු දෙනවා අඩුයි.
    මොකද පොරොන්දුවක් උනා නම් ඒක ඉෂ්ඨ කරන්නම වෙනවා.
    ඒ හින්දා පොරොන්දු වෙන්න කලින් ඒ ගැන දෙපාරක් හිතන්න වෙනවා.
    අපි බලමු නේද..?

    ReplyDelete
  12. තරිඳු...

    ඒක විතරමද මතක් වෙන්නේ..?
    ඇයි දින පොත...?

    ReplyDelete
  13. Maraya, digatama kotanna..., api blog ekak dapu dawasata sinhalenma setwenam. mama hamadama umbala set ekema blogs kiyawanawa. sirama sira math amaruwen jeewath wena minihek eka hinda umba kiyana dewal mata niyametama therenawa...digatama liyapan.

    ReplyDelete
  14. Anonymous...

    මෙහෙම කොටන්නේ නැතිව ඉක්මනටම සිංහලෙන් කොටන්න ලැඛෙවා.

    ReplyDelete
  15. මුකුත් ලියල ගියේ නැතිවට මාත් හැමදාම කියවනව අයියේ.........

    ලැජ්ජ උනත් කියන්න හිතුන මං නම් වැස්සකටවත් දහම් පාසලකට ගොඩ වෙලා නැහැ.... දහම් පාසලක් මොනවගේද, ඒකේ වැඩ කටයුතු වෙන්නේ කොහොමද කියලවත් දන්නේ නැහැ අයියේ...........
    අඩු ගානේ දැකලවත් නැහැ....

    ReplyDelete
  16. හා පැටික්කී...

    අනේ පුංචි හා පැටික්කී...
    ඒකට කමක් නැහැ..
    මෙහෙම යනකොට ඔයාට බලා ගන්න පුළුවන් වෙයි දහම් පාසලක් කොයි වගේද කියලා..

    ReplyDelete
  17. අනේ මංද........ පුලුවන් වෙයිද අයියේ?????

    ඔයාලත් මං ගැන දැනගත්තොත් අපේ අයිය කියන කතාවම කියයි සමහර විට........
    පන්සලකට අන්තිමටම ගියේ ගිය අවුරුද්දට උඩින් අවුරුද්දේ උපන්දිනේ දවසේ...... මාත් තාත්තගේ තාලෙට හැදෙනව කියලයි දන්න කියන නෑවෙන අය කියන්නේ.
    පුංචි කාලෙ ඉඳන් පුරුදු උන හැටියට පන්සල එක්ක එතරම්ම සම්බන්ධතාවක් නැහැ. ඒ වගේම මට පන්සල එපාම එපා උන එක ගැනත් කතාවක් තියෙනව.

    ReplyDelete
  18. හා පැටික්කී...

    ඒ මොකක්ද..?

    ReplyDelete
  19. ඔයා කියන්න යන කතාව හරියට වෙසක් කාලෙට ටීවී එකේ යන නාට්‍යක් වගේ...
    ඒත් මම ඒ නාට්‍ය මෙච්චර කල් විස්වාස කලේ නෑ. අතරමං වුනු කෙනෙක් පංසලකට ඈවිත් ඒක දියුණු කරනවා කාටද විස්වාස කරන්න පුලුවං.

    ඒත් ඔබ ඒක ඈත්තටම කරල වගේ....

    දිගමට කියෝනවා. ඔබ ලියලා තියන දේ හිතේ මැවෙන්න ලියලා තියෙනවා....

    අර ​ෆීඩම් කියනවා වගේ තරිදුව වගේ අතරමං කරන්න නං ඒපා අපිව....

    ReplyDelete
  20. අමතක උනා මං එදා මුකුත් කිව්වේ නැහැ ඔයා දැහැමියි කියල කියල තිබුන එකට. ඔයා දැහැමියි කිව්වේ ඔන්න ඔය වගේ කෙනෙක්ට......

    ඒක කියල වැඩක් නැහැ අයියේ.ඒක මතක් වෙනකොට අදටත් හිතේ උපදින්නේ මහ තරහක්.......

    ReplyDelete
  21. බුද්ධි...

    ලංකාවට ඇවිල්ලා වගේ...

    මගේ ජීවිතෙත් නිකං චිත්‍රපටයක් වගේ තමයි.

    හැබැයි ඒක චිත්‍රපටවල වගේ දුක හෝ සතුට කියන සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයට කැපඋන දෙයක් නෙවෙයි.
    ඒ තුළ බොහෝ දේවල් අඩංගුවෙලා තියෙනවා.
    පන්සල ගොඩ ගැනීම ඉන් එකක් පමණයි.
    තරිඳු නැවැත්තුවෙත් කොයි දේටත් සීමා මායිම් තිඛෙන නිසා විය යුතුයි.

    ReplyDelete
  22. හා පැටික්කි ...
    "අමතක උනා මං එදා මුකුත් කිව්වේ නැහැ ඔයා දැහැමියි කියල කියල තිබුන එකට. ඔයා දැහැමියි කිව්වේ ඔන්න ඔය වගේ කෙනෙක්ට......"

    මට තේරුනේ නැතෝ...

    මම හිතන්නේ ඒ කතාව කව යුතු සුදුසුම කෙනා මං විය යුතුයි.

    ReplyDelete
  23. අයියට මතක නතුව ඇති කාලක්ක්‍රියා කොරල ඉන්නැත්තේ ඒක කියද්දි.එදා ඔයා මට අර මොකද්ද එක බලල කියල එවල තිබුනේ මං දැහැමි කෙනෙක් කියල. ආන් ඒක.

    අප්පොච්චියේ එහෙමත් හිතෙනවද......?????

    ReplyDelete
  24. හා පැටික්කී...

    මම ඉතින් ඔය කාලක්කිරියාව ඔන වෙලාවක කොරපු ගමන් නෙව...

    ඒත් මතක තියාගන්න
    මම එහෙම කිවුවෙ කේන්දරයට අනුව බව..
    ඒ වගේම කෙනෙක් දැහැමියි කියන්නේ පන්සල් යන එකෙන් නෙවෙයි.

    ඔයාට දැන දැන සතෙක් මරන්න පුළුවන්ද..?
    කාගෙන් හරි දෙයක් හොරකම් කරන්න..?
    කාට හරි කරදර කරන්න..?
    හිතක් රිද්දන්න..?
    කාගේ හරි කකුලෙන් අඳින්න..?
    අනුන්ට රිද්දලා සතුටු වෙන්න..?
    අසාධාරණ විදියට ජීවත් වෙන්න..?

    එහෙම පුළුවන් නම් මම කියන්නේ නැහැ ඔයා දැහැමියි කියලා...

    ඔය කිවුව දේවල් කරන්න හිත හදාගන්න බැරිනම් මම වැරදි නැහැ..

    දැන් ඔයා තීරණය කරන්නකෝ මම හරිද වැරදිද කියලා..?

    ReplyDelete
  25. විශ්ලේෂනය

    නොදැනත් බැරිතරම්
    මට ඕනමදේත් අනුන්ට දෙනව(දුන්නා)
    පුලුවන් ඔයාටත් කරේ
    මගේ හිත නම් ඕනතරම් පුලුවන්
    ම්ම්ම්.... බලල නැහැ
    මට රිද්දගෙන සතුටු වෙන්න නම් පුලුවන්
    මේ ජීවිතේ කොහෙද සාධාරණයක්
    (විහිලුවට උත්තර ටික ලියල බැලුවෙ තරහ ගන්න එපා)

    අයියගේ නිර්නායක අනුව නම් හරි. ඒත්.....
    ම්ම්ම්ම්ම් හරි අයිය හරි......

    ReplyDelete
  26. හා පැටික්කී...

    ආ එහෙනම් ඔයාගේ නිර්නායක ටික කියන්නකෝ දැහැමි බව මනින්න පුළුවන්..?

    ReplyDelete
  27. මගේ නෙමෙයි මං දන්න බොහෝ අයගේ.....

    පන්සල සමග සමීප ඇසුරක් තිබීම
    අඩුම තරමේ පෝයටවත් පන්සල් යාම
    සාමන්ය කෙනෙක්ට තිබිය යුතු දහම් දැනුම තිබීම
    අවුරුද්දට දෙතුන් වරක් වත් අඩුම තරමේ සිල් ගැනීම

    තව මතක් වෙන්නැහැ මට. ඔය ඔක්කොම නම් මට නැහැ.

    ReplyDelete
  28. මාරේ ... ඔයාගෙ මේ කතාව නම් හොඳයි වගේ ...කතාවෙ සමහර තැන් ගැළපෙනව අඩුයි වගේ.. ඒකනම් ඉතින් අපට හදාගෙන බලන්න පුලුවන්...
    දිගටම ලියන්න .. සුබ පැතුම්.....

    ReplyDelete
  29. ගමේ උන් ඇයි පන්සලට දානේ ගෙනාවේ නැත්තේ.....

    ඉට කලින් හිටිය හාමුදුරුවා හරි හොද ඇති නේද?.....

    පංසල දියුනුවෙනවා බලන්න අසයි...බලමුකො...

    ReplyDelete
  30. හා පැටික්කී හරි අපූරු නිර්නායක නෙව...

    ඒවායින් කමක් නැහැ මීට පස්සේ ඔය මං කළින් කියාපු ටික එක්කවත් බලන්නකෝ...

    ReplyDelete
  31. kumaraya...

    මොනවගේ තැන්ද ඒ..?
    අනේ මන්දා උන දේ ලියනවා ඇර අමුතුවෙන් ගලපන්න නම් මට බැහැ..

    ReplyDelete
  32. ඉලංදාරියා...

    අනේ මන්දා...
    ගමෙ මිනිස්සුනං කිවුවා දියුණු උනාය කියලා..ඒත් මගේ හිතේ මොකක් නමුත් අඩුවක් ඉතිරිවෙලා තිබුනා...

    අන්තිමට මම සිවුරු ඇරලා එන්න තීරණය කරලා රැස්වීමක් තියලා ඒ බව කියපු වෙලාවෙත්..මගේ හිත වෙනස් කරන්න අමාරු බව දැන ගෙන උන්න සමහර ඇත්තෝ කිවුවෙ වෙන දෙයක් නෙවෙයි...
    මෙතුවක් කාලෙකට හිටි කිසිම කෙනෙක් නොකරපු තරම් වැඩ ටිකක් මෙ අවුරුදු පහට කරලා දුන්න පිනෙන්ම..කියලා තමයි.

    ReplyDelete
  33. මාරයියේ ඊයේ පොස්ට් එකට මං දිගම දිග comment එකක් දැම්මා ඒත් කෝ ඒක....ඒක නෑ....
    කතාව ඉක්මනට ලියන්න අයියේ කියවනකන් ඉවසිල්ලක් නෑ

    ReplyDelete
  34. මම...

    ඔයාගේ කමෙන්ට් එකට උනේ මොකක්ද කියා නම් දන්නේ නැහැ.
    ඒක ඒ වෙලාවෙ වැටුනාද..?

    හදිසි වෙන්න එපා තාම පටන් ගත්තා විතරයිනේ..

    ReplyDelete
  35. හ්ම්... හ්ම්...... අහ් නෑ..... එහෙමයි....... ;)
    ඒක නෙමෙයි අයියේ ඔයා හවස බඩු ගෙනාවද????? නැත්නම් ගිඩබන්නේ නේද ඉන්න වෙන්නේ??????

    ReplyDelete
  36. මාර බොස් මම නම් ක‍තෝලිකයෙක් ඒත් පන්සල් එක්ක සම්බන්දකම් තියනවා,සාපෙ කරන කන් ඉස්කෝලෙ ගියේ බෞද්ධ ඉස්කෝලෙකට, ඒ කාලේ ඉස්කෝලේ හාමුදුරු දෙනමක් හිටියා,දෙන්නට දවල් දානේ ගේන රාජකාරිය කෙරුවේ ඉස්කෝලෙ හිටපු ක‍තෝලික ලමයි,ලග පන්සලෙන් තමා අරගෙන එන්නේ,ඉතුරු වෙන ටිකට වග කියන්නෙත් අපිම තමා,ඉතින් එක හාමුදුරු කෙනෙක් අපිට ගොඩක් එකතුවෙලා හිටියේ, එයාලා දෙන්නගේ තොරතුරුත් අපි හොදට දන්නවා, සමහර පන්සල් වල අපි හිතන දේවල් නෙමේ තියෙන්නේ, ඒත් මම විශ්වාස කරන දෙයක් තමා මේ රට ‍රැකෙන්නෙත් මේ කහ සිවුරෙන් තමා, ඒක කියලා තියෙන්න පන්සලේ පියතුමා නමින් හැදින් වු මර්සලින් ජයකොඩි කියන ක‍තෝලික පියතුමා.....

    ReplyDelete
  37. මාරයියා...
    ඉතින්... පංසලෙන් අහුලගත්තු දැ දිගහරිනවා... මටනම් ජිවිතෙ ගඟක් වගෙ තමයි පෙන්නෙ.. මට තරිදුගෙ බ්ලොග් එකට යන්න බැහැ.. මොකද්ද දන්නෙ නැහැ සිද්දිය.. මම බැලුවා කිප වතාවක් උත්සහ කරලා

    ReplyDelete
  38. හා පැටික්කී...

    අනේ ඉතින් හා පැටික්කිට විතරයි මං කෑවද බිවුවද කියලා හරි මතක් උනේ ..
    ඒකත් මදෑ..
    මම බඩු ගන්න ඈත කඩෙට යන්න අමාරු නිසා ළග කඩෙකින් අදට විතරක් ඇතිවෙන්න ගෙනාවා.
    පස්සේ බැරියැ හැම දේම ගෙනත් දාන්න.
    කොහොමත් මෙ වැහි කාලෙට ලෑස්ති වෙලා ඉන්න ඔන..
    බොහෝම ස්තූතියි නගේ මතක් උනාට හොඳේ...
    (ඉතින් කියනවා දැහැමි නැතිළු)

    ReplyDelete
  39. ItalyDilan...

    මගේ අදටත් හොඳම ගෝලයා හැටියට මම සලකන ළමයත් මිශ්‍ර පවුලක ළමයෙක්...
    කොල්ලා අදත් ඊයේ රෑත් කතා කරලා මගේ දුක සැප ඇහැවුවා.
    මිනිහාගේ අම්මයි නංගිලා දෙන්නයි කතෝලික
    ඒකයි තාත්තයි බෞද්ධ

    පන්සලට මම ගිය කාලේ ඉඳන් වරදින්නේ නැතිව දානේ ගෙනාව පවුලක් තමයි ඒ.

    ඒ ළමයා ගැන මම වෙනම පෝස්ට් එකක් ලිවිය යුතු නිසා දැන් වැඩිය යමක් කියන්නේ නැහැ.

    ඔයා වගේම කතෝලික ළමයි සෑහෙන ගාණක් මට හිතවත්ව හිටියා..
    අදටත් ඉන්නවා.
    ඔබ සිතනා අන්දම ගැන සතුටක් ඇති උනා...

    ReplyDelete
  40. රවා...

    ආ මෙ ඇවිත් තියෙන්නේ...
    ඉස්සරනම් ඉතින් අපේ කොමෙන්ට්ස් තීරු බදු අරන් හිටිය හාදයා..
    දැන් දකින්නත් අමාරුයි.

    සමහර විට මලයයි,තරිඳුයි දෙන්නම පාවිච්චි කරන බ්ලොග් සේවය සමාන වර්ගයක් නිසා..ඒ සේවයේ අවුලක් වෙන්න ඇති නේද..?

    ReplyDelete
  41. ඔය ලියල තියෙන්නෙ. කතාව රසවත්. දිගටම යං.

    ReplyDelete
  42. ඕන් සේරම කි‍යෝගෙන ආවා. ඇවිත් මෙතන කියෙව්වා කියල කෙටුවා. මාර කතාවේ ඉතිරි ටිකත් අවසානය තෙක් ලියන්න ඔබට ශක්තිය ලැබේවා.

    ReplyDelete
  43. අම්මෝ, ඔන්න මේ කොටහත් කියෙව්වා.. දිගටම ලියමු නේ? අර තරිඳුවා කියන ගල් ආඳා වගේ නැතුව.
    :D :D

    ReplyDelete
  44. නෑ ඉතින් ඔයා කිව්වනේ ගේ දිහාවෙ අදට තිබුන අන්තිම ටිකෙන් ඉව්වෙ කියල ඒකයි ඇහුවෙ.... හවස කඩේ ගියෙත් නත්නම් උදේ බඩගින්නේනේ........ ඊටත් අයිය සැර එව්ව බොන එකේ බඩටත් මුකුත් නැති වෙන්න හොඳ නෑනේ........

    ReplyDelete
  45. Praසන්ன...

    හ්ම්.. හ්ම්.. යන්කෝ..

    ReplyDelete
  46. Ansh Lucky Sri Jay...

    හිහ්..හිහ්...

    තරිඳුට එහෙම කිවුවනං..
    මට මොනවා නොකියයිද මෙ ළමයි..

    ReplyDelete
  47. ගයාන් තාරක...

    ස්තූතියි මෙහෙ ආව එකට...

    ReplyDelete
  48. හා පැටික්කී...

    ඇයි නගේ බඩට මුකුත් නැත්තේ..
    අර සැර එවුවා තියෙනවා නෙව...

    ReplyDelete
  49. සැර එව්වයින් වෙන හානිය තව මොනව හරි කෑමක් බඩට වැටුනම යම්තම්වත් අඩු වෙන හන්ද තමා මං අයිය කන්න ගෙනාවද හෙව්වෙ.........

    ReplyDelete
  50. හා පැටික්කී...

    මෙ අයියා ගැන සොයා බැළු පිනින් නගාට උදුපියළියා යායකම අයිතිය ලැඛෙවා...

    ReplyDelete
  51. අපේ ගමේ පන්සලත් එක්ක සමීප ඇසුරක් තියෙන නිසා මමත් ඔයාගේ කතාවේ කරුණුවලට එකඟයි අයියා. හරිම ප්‍රශ්න ගොඩක් මැද්දේ තමා හාමුදුරුවරු තමන්ගේ කටයුතු කරන් යන්නේ. එහෙම හරි කටයුතු වෙන එක අපි අගය කරන්න ඕනේ. ඒත් වෙන්නේ අනිත් පැත්තනේ.

    ReplyDelete
  52. Hasitha...

    දෙපැත්තෙම වැරදි අඩුපාඩුකම් තියෙනවා මල්ලී..
    ඒත් හැමදාමත් දෙපැත්තට ඇගිළි දික්කර කර ඉන්නවා විනා
    ගැටළු විසදන්න කිසිම කෙනෙක් පියවර ගන්නේ නැහැ..

    ReplyDelete
  53. කතාවත් කමෙන්ට් ටිකත් ඔක්කෝම කියෙව්වා . . . . ෆිල්ම් එකක් හදන්න පුලුවන් වෙයි වගේ මේ කතාවෙන්

    ReplyDelete