31 May 2010

පන්සලේ ජීවිතේ.. විලී අයියා...

ඒ වන විට මොහුට වයස පනස් එකක් විය..
නමුත් ඒ තරම් වයස යැයි දන්නා කිසිවකුත් නැත..
නිතරම පාහේ අවුරුදු දහයකින් අඩු කොට වයස කීමට පුරුදු වී සිටි විලී අයියා.. දිනක් වැරදීමකින් මා හට තම හැදුනුම්පත පෙන්වීමෙදී නියම වයස මා දැන ගත් විට කිසිවකුටත් එය නොපවසන ලෙස මා ගෙන් ඉල්ලා සිටි අතර මෙ වයස සැගවීම කුමන අරමුණක් අරභයාදැයි එකල මාහට තේරුම් ගත නුහුණු කරුණක් විය..

අඩි හයක් පමණ උසින් යුතු මොහු උසට සරිලන ශරීරයකට උරුමකම් කිවූ අතර මුහුණ පුරා රැවුල වවා තිබුණේ ඔල්කට් තුමා සිහි ගන්වමිනි.

අවිවාහක අයකු වූ මොහු කොළඹ සිටි සුද්දකුගේ නිවසේ සේවය කල අතර මසකට වරක් අනිවාර්යයෙන්ම ලැඛෙන දින දෙක තුනක නිවාඩුව ගෙවා දැමීම පිණිස පන්සලට ආ අතර..
පන්සලේ සිට සැතැම්ම හතරකින් පමණ දුරින් පිහිටා තිබූ ඔහුගේ විවාහක වැඩි මහළු සොයුරියන් කිහිප දෙනා බැලීමටත් ඉන් එක් දිනක් වෙන් කර ගත් අතර අනිත් සියළුම කාලය පන්සලට වී ගෙවා දැමූ අතර..
මුලදි මුලදී මොහු මා හට ඇණයක් විය. නිකම්ම නිකං ඇණයක් නොව තදින් පොට කා වදින ඉස්කුරුප්පු ඇණයක්ම විය.

පන්සලේ සිටින කාලය තුලදී මෙලෝ වැඩක් නොකරන මොහු තම පැරණි පම්පෝරි වලින් අපගේ දෙසවන් පුරවමින් කාලය කා දමන අතර බැරි වීමකින් හෝ අපගේ යම් ප්‍රශ්න කිරීමක් නිසා ඔහුගේ කතාවට බාධා කිරීමක් වූවහොත් ඉතා තදින් කෝප වන බව ඔහුගේ මුහුණෙන් මතුවන ඉරියවු වලින් ප්‍රකාශ වෙයි.

නාරද හිමියන් හට මෙම පන්සල භාරදී ගිය නන්ද හිමියන් හා ඊට ප්‍රථමව පන්සලේ භාරකාරත්වය දරමින් සිටි නන්ද හිමියන්ගේ වැඩිමහළු පැවිදි සොයුරු සුභූති හිමියන් වැඩ සිටි සමයේ සිට මෙහි ආ ගිය හා ටික කලක් මෙහිම රැඳී සිටි පුද්ගලයකු වූ විලී අයියා.. පළාතේ බොහෝ දායකයින් විසින් හදුනනු ලැබූ අයෙකි.
එම පැරණි අයිතිය මත තවමත් පන්සලට ඇවිදින් යන මොහුගේ පැමිණීම නාරද ඇතුළු සියළුම හිමිවරුන්ට වදයක් වී තිබූ මුත් ඒ බව දැන දැනත් ඔහු මෙහිම ආවෙ යා හැකි අන් තැනක් නොමැති නිසාම වූවද නිතරම පවසන්නේ මෙහි ආවෙ නැතුවාට තමන්ට යන්නට ඔනෑ තරම් තැන් ඇති බවය..

මුලදි මුලදී මොහුගේ පැමිණීම මට ගැටළුවක් නොවූ අතර මොහු එනවාට නාරද හිමියන් අකමැති ඇයිදැයි යන්න වැඩි කලක් නොගොසින් මා හටම අවබෝධ වූයේ දෙතුන් වතාවක්ම එකම කතාවම අසන්නට ලැබුනු පසුවය..

මෙම පන්සලේ ඉතිහාසය ඉතා හොඳින් දන්නා වූ පුද්ගයකු වූ විලී අයියා..
මෙහි මෙන්ම මෙයට යාබඳ පන්සලේද කලක් නැවතී සිටි අතර එම පන්සලේ දහම් පාසලේ ආචාර්යවරයකු ලෙසද සේවය කොට තිබූ අතර එම දහම් පාසලේ පාලනය බලහත්කාරයෙන් මෙන් පවරාගෙන ඒ පවරා ගැනීමට සාධාරණයක් ඉටු කරමින් දහම් පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර තිබූ අතර පසුව ප්‍රධානාචාර්ය හිමියන්ද අභිබවා යෑමට ගත් උත්සහයේදී එල්ල වූ විරෝධතා නිසා දහම් පාසලෙන් ඉවත්ව තිබිණී.
එසේ වූවද දැනටද පැමිණි පසු එම පන්සලටද ගොස් පැය කිහිපයක් ගත කර ආපසු ඒම ඔහුගේ පුරුද්දකි.

පාසල් අධ්‍යාපනය අතින් ගත් කල සාමාන්‍ය පෙළත් අසමත් වූ අයකු වූ මුත් ඇවිදින පුස්තකාලයක් වැනි දැනුමක් සහිත වූ මොහු පසු කාලීනව මා විසින් මට ඇවසි පරිදි සකස් කරගෙන පන්සලේ ප්‍රයෝජනය සඳහා යොදා ගත් අතර පන්සලේ දියුණුව සඳහා ඔහුගේ සමහර අදහස් හා යෝජනා ඉමහත් පිටිවහලක් වූ බවද ඔහුහට ගරු කිරීමක් ලෙස මෙහි සටහන් කල යුතුමය..
නිතර පොත පත කියවීමටත්..
කා සමග හෝ කතා කරමින් සිටීමටත් රුචි වූ විලී අයියා..
කිසිදු වෙලාවක පන්සලේ වැඩකට පලකට උදවු නොවූ අතර ඔහුගේ ඇවතුම් පැවතුම් පිළිබඳව නොදැන අප විසින් යම් වෙනසක් වූවහොත් ඒ පිළිබඳව වහා කේන්ති ගනී..

මස් මාළු තබා උම්බලකඩවත් කෑම ඔහු විසින් නොකල අතර වැරදීමකින් හෝ ඔහු ආහාර ගැනීමට පෙර දාන භාජන වල හැන්දක් හෝ මාරු වී වෑංජන ඛෙදා තිඛෙන බව දුටුවහොත් ඒ පිළිබඳව ආඩපාලි කියන්නට පටන් ගනී.
පන්සලේ තිබුනේ තේ සෑදීමට හැන්දක් සහ බත් ඛෙදීමට හැන්දකුත්, වෑංජන ඛෙදීමට හැදි දෙකකුත් පමණි.
මාළු හෝ කරවල වෑංජනය ඛෙදූ හැන්දෙන් එළවළුවක් ඛෙදීමට ගියහොත් ඒ පිළිබඳව උරන වන ඔහු කිසිම විටක හැන්දක් සේදීමට හෝ දාන භාජනයක් සේදීමට ඉදිරිපත්වන අයකු නොවීය..

තේ හදන්නට ගිය විටත් එසේමය..
තේ හදන වෙලාවට එදෙසට එන මොහු ඒ පිළිබඳව උපදෙස් දීමට පටන් ගනී..
ආ.. වතුර ඔහොම ටිකක් නටලා මදි..
නටන්න ගත්තට පස්සේ විනාඩි පහක්වත් නටන්න ඔනෑයයි කියමින් හීටරය උණු වී වතුර ගොද ගොද ගා මෙසය මත ඉහිරෙද්දීත් එය නවතා දැමීමට ඉඩ නොදෙන ඔහු..
තේ කොල පොච්චියකට දමා රත් වූ වතුර දමා විනාඩි දහයක් පමණ තේ කොල තැම්බීමට තැබිය යුතු බවද අණ කරනු ලබයි.
ඉන් පසු තේ වතුර පෙරා ගත් පසු ඔහුගේ කෝප්පයට සීනී හැදි දැමිය යුතු ප්‍රමාණය කියා සිටින අතර මෙසේ ඔහුහට තේ සෑදීම මහා වනයක් විය.

ඊළගට අපහසුම දේ ඔහුගේ කතා අසා සිටීමයි.
ඔහු කතා කිරීමට පටන් ගත් පසු අප විසින් එය සාවධානව අසා සිටිය යුතුය..
නැතහොත් ගෝරි ගොඩකි.
අසා සිටීම ප්‍රශ්නයක් නොවූවත් එකම කතාව පැමිණි සෑම වාරයේදීම කියන්නට පටන් ගත් පසු කෙසේ නම් අසා සිටින්නද..?

විලී අයියේ.. ඔය කතාව කලින් කියලා තියෙනවා.. බැරිම තැන කවුරුන් හෝ කියනු ලැබූවහොත්..ඔහු දෙස රවා බලමින්.. ආ ඒ උනාට තව තියෙනවා කියපු නැති හරියකුත්.. කියමින් පරණ සුපුරුදු කතාවම නැවත පුනරුච්ඡාරණය කරයි..
අවසානයේ අළුත් යමක් එහි නොවූ මුත් අසා සිටීමට අප සියල්ලන්ටම සිදු වෙ..

නාරද හිමියන් හෝ අන් කිසිවෙක් මොහු දමනය කරන්නට ඉදිරිපත් නොවූයේ මොහුගේ පන්සලට ඇති පැරණි සම්බන්ධයත් අවට පන්සල් සමග තිබූ සම්බන්ධයත් නිසාවෙන් මිස අන් යමක් නිසා නොවෙ..

නමුත් දිගින් දිගටම මෙ තත්වය ඉවසීමට මා කැමති නොවූයේ මොහුගේ වැඩ නිසා නිතරම වැඩියෙන්ම තැලෙන්නේ මා නිසා බැවිනි.

පසුව එක් දිනක් නාරද හිමියන් විසින් "අන්න අර යකා හෙට එනවළු" කියමින් එතෙක් වෙලා කතා කරමින් තිබූ උන්වහන්සේ සතුව තිබූ පැරණි ගඩොල් බාග සෙල්ෆෝනය පැත්තකින් තබමින් කියූ අවස්ථාවෙ..
"කවුද අපේ හාමුදුරුවනේ" යැයි මා විසින් විමසා සිටියෙමි.
"අන්න අර විලී කාරයා"..
"මහ ඇනේ ..දැන් ඉතින් දවස් දෙක තුනක් අහගෙන හිටපල්ලාකෝ දේශනාව.."
යි කියනු ලැබූ අවස්ථාවෙ
"ඔන්නං මම මිනිහව ටිකක් මට්ටු කරලා ගන්නම්" යැයි කිවූ විට
"අනේ ඔන මගුලක් කරනවා.. මට කමක් නැහැයි" පවසන ලදින්..
මා හට තරමක සහනයක් විණි.

විලී අයියා පැමිණෙන ලදි..
සුපුරුදු පරිදි වැඩ පිළිවෙල අනුගමනය කරන්නට පටන් ගත් අතර දිනය අවසාන වන විට යම් කිසි අමුත්තක් ඇති බව ඔහු හට තේරුම් යන්නට විය..
ආ මොහොතෙහි ලද තේ කෝප්පය හැරුනු කල ආයේ නම් ඔහු හට තේ දීම මා අතින් නොවිණි.
පසුව තේ සාදන තැනට පැමිණි විලී අයියා සුපුරුදු පරිදි ක්‍රමය කියා දෙන්නට වූ අතර..
ඔහු කියනා දේ නෑසුන පරිදි මා විසින් තේ සාදා හිමිවරුන්ට පිළිගැන්වූ අතර මොකද මට තේ හදන්නට අමතක උනාදැයි විලී අයියා විමසූ අවස්ථාවෙ..
ආ නැහැ නැහැ විලී අයියා බොන ක්‍රමෙ මෙක නෙවෙයිනේ ඔන්න හීටරේ තියෙනවා..
වතුර හොඳට රත් කරගෙන තේ කොළ තම්බලා විලී අයියාම ඔන විදියටම තේ එක හදා ගන්නකෝ..
මම හදන විදිය විලී අයියාගේ විදිය නෙවෙ නෙව කියමින් මාගේ තේ කෝප්පයද රැගෙන ඉන් ඉවත් වූයෙමි.
එසේ පළමු දිනයේ තේ බීම අහිමි වූ විලී අයියා පසු දින තනිවම තේ සාදා ගන්නා අයරු දක්නට ලැබිණි.
නමුත් තේ සෑදු භාජන සොදා තැබීම සිදු නොවී තිබිණි.
එයින් පසු එම භාජන සෝදා තේ වත් කල මා ඔහු තේ සෑදීමට පැමිණෙන විටද ඒවා එසේම තිඛෙන්නට හරින ලදි.

කිසිම දිනකදී තේ සෑදීමට ගන්නා කිසිම උපකරණයක් එවෙලේම සොදා තබන මා අතින් එය සිදු වූයේ මන්දැයි මනාව තේරුම් ගත් විලී අයියා පසුව භාජන සෝදා තැබීමද කරන ලදි.

දහවල් ආහාර ගැනීමෙදී වෙනදා මෙන් ඔහු ආහාර ගෙන අවසන් වන තෙක් බලා සිට භාජන සෝදනවා වෙනුවට පුරුදු පරිදිම ඔහුගේ බත් පත ඛෙදා තබා අන් සියළුම භාජන සෝදා දමන ලදි.

හැඳි මාරු වීම් ගැන පැමිණිලි එතකින් නිම විය..
මෙසේ දිගට හරහාට වැඩ කටයුතු සිද්ධ වන විට ඉඛෙම වාගේ දමනය වූ විලී අයියා එතෙක් පටන් මා හට කිසිම වැඩක් කීමට නොපැමිණි අතර..
පසු කාලීනව මා පැවිදි වූ පසුව මා කීවත් නොකීවත් පන්සලේ සියළුම කටයුතු සොයා බලා සියතින්ම කල අතර..
කිසිදා නොකල ඉවුම් පිහුම් වැඩද හරි අපූරුවට කරන ලදි.
ඔහුගේ දින චරියාවෙ සමහර දේවල් හැමදාමත් එක ලෙසම වූ අතර කිසිම විටක මවිසින් ඒ සම්බන්ධව වචනයකුදු නොකීවෙ ඔහුගේ කරදරයෙන් මිදීම විනා අන් දේවල් වලින් මට කාරි නැති නිසාය..

පසු කාලීනව මා පැවිදි වීමට තීරණය කල බව දැනගත් පසු මා හා ඉතා ලෙන්ගතුව කටයුතු කල ඔහු..එතැන් පටන් මා හට විශාල ශක්තියක් වෙමින් මා හා රැදී සිටි කළන මිතුරකු හා සම විය.

මොහු සම්බන්ධව තවත් කිව යුතු දෑ බොහෝය..ඒවා මතක් වන ආකාරයට ඉදිරියේදී කියවෙනු ඇත.
විශේෂයෙන්ම දෙවියන් පිළිබඳව වූ ඔහුගේ ආකල්ප පිළිබඳවද වෙනම ලිවිය යුතුය.

කෙසේ වෙතත් මා විසින් මෙ ලියනු ලබන අතීත ආවර්ජනා තුල මෙවන් අපූර්ව අන්දමෙ චරිත බොහෝ තිඛෙන අතර පන්සල් ජීවිතය නම් වූ මෙම ලිපි පෙළෙහි පසුව ලිවීමට බලා පොරොත්තුවන යම් යම් සිදු වීම් විස්තර කිරීමෙදී ඒවාට නිතර සම්බන්ධ වන චරිත පිළිබඳව මෙසේ ලියා තැබීම පසුවට පහසුවක් වන නිසාම මෙසේ සටහන් කර සිටිනා අතර.. මෙය කියවන ඔබලා හට හැකිනම් මෙම චරිත පිළිබඳව කෙටියෙන් හෝ මතකයේ තබා ගන්නේ නම් කතාව කියවා ගෙන යෑමෙදී එය තරමක් පහසුවක් වනු ඇත.

.........................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

32 comments:

  1. "පුද්ගලයන් දමනය කිරීම මාර රහස්" කියල පොතක් ලියන්න වටිනවා

    ReplyDelete
  2. Chanaka Aruna...

    ඒකත් නරකම නැහැ..

    ReplyDelete
  3. අද එක ලග කතා දෙකම කියවන්න පුලුවන් උනා,ඔයත් මාරබොස් මාර පොරවල් නේ අදුනගෙන තියෙන්නෙ, ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ

    ReplyDelete
  4. වෙන වැඩක් කරගන්න තිබ්බ කාලය කැප කරලා බ්ලොග් එක ලියන එකටනම් ස්තූතියි මාරයියේ :) හැම පොස්ට් එකටම කමෙන්ට් කරන්න හම්බවුණේ නැතත් දිගටම කියවනවා හොඳේ :)

    චරිත ගැන මතක තියාගන්නම් හැබැයි ඉතින් ඉතුරු කොටස ලියන්න තව සති 2ක් විතර ගන්නෙ නැත්තම් ඒවා මතක තියාගන්න උදව්වක් වෙයි. :)

    ReplyDelete
  5. පුදුම පොරවල් සෙට් එකක් තමයි පංසලෙ සෙට් වෙලා තියෙන්නේ. මිනිස්සු ඔහොමවත් කන්න බොන්න දෙනව වැඩිත් එක්ක, කියලයි මට හිතුනෙ! :P

    ReplyDelete
  6. ItalyDilan...

    ගහ යටත් නැහැ..

    ReplyDelete
  7. roylyfernando...

    නැහැ සති දෙකක් නම් යන එකක් නැහැ.
    ඔළුවෙ පණ තිබුණොත්..

    ReplyDelete
  8. budhajeewa...

    මල්ලී තීරණ ගන්න ටිකක් ඉක්මන් වැඩියි..
    ඒ වගේම මම ඔයාගේ ලිපි තැනින් තැන කියවලා තියෙනවා.
    ඒවායෙදීත් මට පෙනුනා ඔයා කුමක් නමුත් හේතුවක් ඇතිව හෝ නැතිව..
    සමහර විට හරියට සොයා බලා හෝ නොබලා..
    ඇතිකරගත් පූර්ව මතයක පිහිටලා කටයුතු කරනා වග..
    කලින් වතාවක මම දාපු දෙයක් මම යටින් නැවත දාන්නම්..
    මෙක මෙහෙම දාන්න කියලා "සුලා" ත් මට කලින් කිවුවා..

    "ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
    ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
    යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
    යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
    මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

    ReplyDelete
  9. අය්යෙ, කමෙන්ට් නොකලට කියවනව මමත් ගොඩාක් අවධානයෙන්..
    ඔයාම ලියල තියෙනව වගේම ය්ථාර්තය තේරුම් ගන්න තරමට අනිත් අයගෙ අත්දැකීම් තේරුම් ගන්න තරමට තමන්ගෙ ජීවිතය ගැන සංහිඳියාවකිනුත් විචක්ශණශීලීවත් බලන්න අවබෝධය ලැබෙන නිසා, ජීවිතාවබෝධය ලබාගන්න කරන උදව්වක් වගේ මේ කතාව..

    Chejana

    ReplyDelete
  10. චෙජනා...

    අද මොකද මෙ Ano කෙනෙක් වෙලා..
    ජීවිතය කියන්නේ කවදාවත් කියවලා ඉවර කරන්න බැරි මහා දිග නව කතාවක් වගේ දෙයක්..
    අපි සමහර විට හිතනවා හුගාක් කියවලා ඉන්නේ කියලා..ඒත් පස්සේ තමයි තේරෙන්නේ තාම පටුන කියවලා ඉවරවත් නැති වග..
    ඒත් කියවලාම බලමු..
    මොනවා හරි යමක් ලැඛෙන්නේ නැතෑ..

    ReplyDelete
  11. මේ පන්සලත් හරියට අම්බලමක් වගේ තැනක් නේ අයියා [අපහාසයක් නෙමෙයි] එක එක්කෙනා කඩන් පාත් වෙනවා. කොහොම නමුත් සමාජය ගැන හොඳ අවබෝධයක් මේ නිසා ඔයාට ලබාගන්න පුලුවන් වෙන්න ඇති :)

    ReplyDelete
  12. ඔබේ මෙවන් අත්දැකීමක් අප හා බෙදා ගැනීම පිළිබදව නැවත වරක් ඔබට ස්තුතිය පලකරමු.

    ReplyDelete
  13. මාර අය්යේ මම ඔක්කොම පොස්ට් කියවනවා උබේ... කොමෙන්ට් නම් කරන්න වෙන්නේ නැත්තේ හුඟාක් ම කියවන්නෙ මොබයිල් එකෙන් කියවන නිසා.
    පන්සලේ ජීවිතේ නම් නියමයි වගේ... ඔයාට ජීවිතේ මාරම අත්දැකීම ගොඩක් ලැබිල තියෙනවනේ....

    ReplyDelete
  14. ද්වේශයක් අපහාසයක් නැතිව ලියන මේ ලියවිල්ලට මම හරිම ආසයි... ජීවිතේ අත්දැකීම් එකතු වෙන්නේ හෙමින් නේද මලයෝ...? ජීවිතාවබෝධය ලැබීමත් එහෙමමයි නේද..?
    ජීවිතේ අත්දැකීම් එන්න ප්‍රථම තමන් දන්න ඩිංගෙන් ලෝකෙම විචාරය කරන්න හදන ඇත්තන් මෙය කියවා තම විචාරයන් දියුණු කරගන්නවානම් කොපමණ අගේද..?

    ReplyDelete
  15. maarai . . maarai kiyanne maarama maarai . . . me dawas wala ambaanaka wada . . passe welawaka hari haman commnet ekak daannam marayoo!!1

    ReplyDelete
  16. ඔන්න මාරයියේ මාත් ඔක්කොම එක හුස්මට කියෝල ඉවර කලේ. ලිවීමේ මාර හැකියාවක් නම් තියෙනවා.


    අනාගෙතේදි මෙයා උදව් කලා කියන්නැතිව ඒ වෙලාවට ‍ඒ උදව් කරපු වෙලාවට කියන්න බැරිද?

    දමනය කරගතතතු හැටිනම් මාරයි හොදේ.
    අර ඊතලේ කෝ හැබෑටම.

    ReplyDelete
  17. හෆොයි... මෙයා කොමෙන්ටෙක ඕනවට වඩා සීරියස් අරන් නේ!

    අරම කීවේ කලකිරිලා නෙවේ බොල, සිරාවටම පංසලේ සෙට් වෙලා තියෙන්නේ මාරම චරිත ටිකක් නිසා.

    ReplyDelete
  18. අනේ පව් අර විලී සීයා...

    ReplyDelete
  19. "පුරිස දම්ම සාරතී ගුණය" බුදුන්වහන්සේගේ අසමසම ගුණයක් වුවත් උන්ව්හන්සේගේ ධර්මය ඇසුරුකරන්නවුනටද මඳක් හෝ එම ගුණය පිහිටයි...

    සුලා...

    ReplyDelete
  20. Hasitha...

    ඇත්තටම අම්බලමක් වගේ තමා..
    ඒක නරක තත්වයක් කියලා කියන්න බැහැ. මොකද අපි වගේ කෙනෙකුට කරදරයක් උනහම යන්න කියලා එහෙම වත් තැනක් තියෙන එක මොන තරම් දෙයක්ද..?
    අද ලංකාවෙ තියෙන හුගාක් පන්සල්වල මෙ අවස්ථාව නැහැ.
    අනිකුත් ආගම්වල ආගමික සිද්ධස්ථානවල තත්වය ගැන නම් මම දන්නේ නැහැ.

    ReplyDelete
  21. තිස්ස අයියා...

    මම තාමත් ජීවිතේ ගැන ඉගෙන ගන්නවා.
    අදටත් ඒ විෂයට මම ආධුනිකයෙක්..

    ReplyDelete
  22. ඔයාගේ කතාවට එකඟයි අයියා. මේ වගේ ඉඩකඩක් පන්සලකින් ලැබෙනවා ඇරෙන්න අන්‍ය ආගමික ස්ථානවලින් ලැබෙයි කියලා හිතන්න අමාරුයි තමා

    ReplyDelete
  23. පිස්සා පලාමල්ල...

    අපොයි ඒකට මොකද..?

    ඒකනේ මාරයා උනේ..

    ReplyDelete
  24. Praසන්ன...

    සැමදාමත් පැමිණ මා දිරිමත් කිරීම සම්බන්ධව ඔබටත් බොහෝ ස්තූතියි..

    ReplyDelete
  25. දුකා...

    මෙහෙම ආවත් මදෑ.. අප්පා..

    ReplyDelete
  26. ගයාන් තාරක...

    මොකක්ද ඊතලේ..?
    සොරි වෙන්න ඔන මට මතක නෑ නෙව..

    ReplyDelete
  27. budhajeewa...

    එහෙම නම් ඉතින් කමක් නැහැ...

    කැමති නැද්ද පන්සලක ටික කාලයක් ලගා ගහන්න..

    ReplyDelete
  28. මම...

    ආ.. එතකොට මම පවු නැතෙයි..

    ReplyDelete
  29. සුලා...

    අනේ මන්දා ඒ වෙනකොට නම් මං හුගාක් බණ දහම් දැනගෙන උන්න කාලයක් නෙවී...

    ReplyDelete
  30. Hasitha...

    අපි අහලා බලමු ඒ ගැන දන්න තවත් අයගෙන්..
    මාත් හිතනවා එහෙම වෙන්න ඇති කියලා..මොකද ඒ දවස්වල සමහර වෙලාවට සරණක් හොයාගෙන ආපු අන්‍යආගමික කිහිප දෙනෙක්ම මාත් එක්කත් එහෙම කියලා තියෙනවා..

    ReplyDelete
  31. මිනිසුන් කලු හෝ සුදු නෙවන බව ඔබ ඉතා මනරම්ව ලියා තිබෙනවා.

    ReplyDelete
  32. SL...

    මා කියනා දේ ඉතා හොඳින් ඔබ තේරුම් අරන් තියෙනවා.

    ReplyDelete