01 June 2010

පන්සලේ ජීවිතේ...චරිත...

මා විසින් පවසමින් යනු ලබන මෙම කතාව පිළිබඳව තවත් යමක් කිව යුතුය..

එනම් මෙම කතාව ප්‍රධාන කොටස් කිහිපයකට ඛෙදා දැක්වීමට මා අදහස් කර ඇති බවයි.

1. මා පන්සලට යෑම සහ එහි ජීවිතය ගත කරමින් සිට පැවිදි දිවියට එළඹීම දක්වා එක කොටසක් ලෙසද..
2. දෙවන කොටස ලෙස පැවිදි දිවිය ගත කරමින් එහි උච්චතම අවස්ථාව ලෙස මා විසින් අදටත් මහත් වූ සොම්නසින් යුතුව සිහිපත් කරනු ලබන චෛත්‍යය කර්මාන්තය අවසන් කිරීම දක්වාද..
3. විස්තර කිරීමට අපහසු වූවද කල යුතුවම තිඛෙන මා විසින් පැවිදි දිවිය හැර දමනු ලැබීම දක්වා වූ කොටස තුන්වන කොටස ලෙසද දැක්වීමට කැමැත්තෙමි.

මෙහිදී සෑම කොටසකින්ම පසු මඳ ඉසිබුවක් ලැබීමට මා අදහස් කරමි..

මෙ කතාව කියාගෙන යෑමෙදී සිතට දැනෙන වෙහෙසකර ස්වභාවය දුරු කර ගැනීම පිණිසත්, මෙ වන විට මාගේ මතකයෙන් මැකී යමින් පවතින සමහර සිදුවීම් එක දිගට ලියාගෙන යෑමෙදී අමතක වීම නිසා හෝ සටහන් නොවීම වලකාලීම පිණිසත්..
සිදු වූ සියල්ලම පාහේ නිරවුල්ව පෙල ගස්වා ඉදිරිපත් කිරීමට අවකාශ සලස්වා ගැන්ම පිණිසත් මෙම විධික්‍රමය ඉවහල් වනු ඇත.

ඉඳින් දැනටම මා විසින් පළමු කොටස ආරම්භ කොට ඇත..
ඇත්තෙන්ම සටහන් තැබීමෙදී අපහසුම මෙම කොටස බැව් මා හට සිතේ..
ඊට හේතුව වන්නේ මෙය කියවන ඔබගේ සිත තුළ පැවති තත්වය පැහැදිලි ලෙස චිත්‍රණය කිරීම ඉතා අසීරු බැවින් කොතරම් දීර්ඝ වූවත් එකින් එක පැහැදිලිව කියා නොසිටියහොත් නියම තත්වය අවබෝධ නොවීම සිදු විය හැකි නිසා සුළු සිද්ධියක් විස්තර කරලීමට වූවද වචන දහස් ගණනක් සටහන් තැබීමට සිදු වීමයි..

උදාහරණයක් ලෙස යම් සිදුවීමක් පිළිබඳව ඉදිරියේදී විස්තර කරනා විට එම සිද්ධියට සම්බන්ධ සියළුම චරිත පිළිබඳව ඔබ විසින් මනා අවබෝධයක් ලබා තිබිය යුතුමය..
නොඑසේනම් එම සිදුවීමෙහි ඇති විශේෂත්වය නිසි ලෙස ග්‍රහණය කර ගැන්මට නොහැකි වීම නිසාම කතාවෙ ඇති වැදගත්කම අහෝසි වී යෑමට ඇති නිසාවෙනි..

මෙහිදී මා හට දුෂ්කරම කරුණක් වන්නේ පන්සල තුලදී හමු වූ දහස් ගණන් චරිත අතුරින් වැදගත්ම චරිත වෙන් කොට ඒ චරිත පිළිබඳව කෙටියෙන් හෝ සටහන් කිරීමයි..
ඇත්තෙන්ම පන්සල තුලදී හමු වූ සෑම චරිතයක්ම කුමන හෝ අන්දමින් වැදගත් වන චරිතම වෙ..

මෙම කතාව යනු විශාල චරිත රාශියක එකතුවක් බවත්, කතාව ගලා යන්නේ එම චරිත එකිනෙක ගැටීමෙන් උපදින සිදුවීම් මතත් බව කිව හැකිය..

මෙහිදී මා හට නිතැතින්ම සිහියට එනු ලබන්නේ ලියෝ තෝල්ස්තෝයිගේ යුද්ධය හා සාමය නැමැති මහා නව කතාවයි..

එහිදී අපට මුළින්ම හමුවන චරිත කතාව අවසානයට යන විට අමතක වී යන අතරම එම චරිත කුමක් සදහා ප්‍රථමයෙන් සදහන් වූයේදැයි යන්න පවා අමතක වී යනු ලබයි.
නමුත් සමස්ථ කතාවටම ගත් කල එම සෑම චරිතයක්ම කතාවට එකසේ වැදගත් චරිත බව කිව මනාය.

සමස්ථ කතා ශරීරයම එම චරිත මත රැඳී පවතී..
එහිදී එම සෑම චරිතයකම වැදගත්කමක් ඇත..
ඉන් එක් කුඩා චරිතයක් පවා ඉවත් කරලිය නොහැක්කේ එබැවිනි..

මා එවන් වූ මහා කතාවක් කියනු නොලබන්නේ වූවද මෙහිදීද මෙ සඳහා සම්බන්ධ සෑම චරිතයක්ම මා හට එකසේම වැදගත් වේ..

එසේම සඳහන් කල යුතු තවත් දෙයක් වන්නේ විස්තර කරලීම වැඩි වන්නට වන්නට එය කියවන් අයහට ඇතිවන ඒකාකාරී බව වැඩිවීම මත කථාව උඩින් පල්ලෙන් කියවා දැමීම හෝ කියවීම අතහැර දැමීම විය හැකි වීමයි..

එයින් මා මෙ ගනු ලබන වෙහෙස අපතේ යෑමට ඉඩ ඇත..

මෙම කතාව නැවත නැවත කියා සිටීමෙන් මා හට අත්වන අමුතු දෙයක් නැත..
හුදෙක් මාගේ චිත්ත සන්තෝෂය පිණිසම නොව කියවන පාඨක ඔබ සියළු දෙනා හටම සමාජයේ තවත් එක් වැසී ඇති පැත්තක් විවර කර පෙන්වීම තුළින් එම පෙනෙනා ලෝකය පිළිබඳව මීට වඩා ගැඹුරින් සිතා බලා කටයුතු කිරීමටත් ඒ තුළින් අදටත් පන්සල් තුල මහත් වූ ගැටළු රාශියක් මත දිවි ගෙවනු ලබන දුක්ඛිත ජීවීතයන් පිළිබඳව මීට වඩා සානුකම්පිතව සැලකීමට ඔබව යොමු කරලීමටත්..

මෙම ලිපි පෙල අහම්බයෙන් හෝ එම පන්සල්තුල වැඩ වාසය කරන්නා වූ කිසිවකුට හෝ කියවීමට ලැබුනේ නම් මීට වඩා සමාජය ගැනත් එහි වෙසෙන මිනිසුන්ගේ සිතුම් පැතුම් හා අවශ්‍යතා තේරුම් ගෙන දෙපාර්ෂවයේම යහපත පිණිස කටයුතු කිරීමට පෙළඹ වීමටත්..

විශේෂයෙන්ම සමහර පන්සල් තුල ගොඩ නැගී ඇති දැඩිමතධාරී වැඩපිළිවෙලවල් දුරු කරලීමටත්..
ඒ සඳහා යොමුව ඇති නායක කාරකාදී මහා සංඝයාවහන්සේලාට එම වැඩපිළිවෙලවල් පිළිබඳව නැවත් වතාවක් සිතා බැලීමටත්..
හැකිවන්නේ නම් සිවුරු හරිනා පිරිස යම් තරමකින් හෝ අවම කර ගැනීමටත්..
යෑමට උවමනා අය හට මීට වඩා ගෞරවනීය පරිසරයක් මත සිවුරු ඇරදා යෑමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමටත්.. හැකි වන්නේ නම් ඊට වඩා දෙයක් තවත් නොමැත...

එසේම මෙම ලිපි පෙළෙහි ස්වරූපය පිළිබඳව පාඨක ඔබේ අදහස් දැක්වීමත් මා ඉමහත් අගය කරනු ලබන්නේ ඒ තුළින් තව දුරටත් ඉදිරියට යෑමට අවශ්‍ය ශක්තිය මෙන්ම ඉදිරිපත් කිරීමෙ හා භාෂාව හැසිරවීම පිළිබඳව යම් වෙනසක් කරලීමට අවැසි වන තැන් වලදී ඒ පිළිබඳ පූර්ව දැනුවත් වීමත් මා හට ලැඛෙන නිසාමය..

අපි කවුරුත් ලෙයින් මසින් සැදි මිනිසුන් බව සෑම විටම මතක තබා ගන්නා මෙන්ද ඉතා කරුණාවෙන් මතක් කර සිටිමි.

....................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

12 comments:

  1. කතාව සීසන් කරන්නද යන්නේ. එහෙම හරි කමක් නෑ ඔක්කොම ලියන්න. එක සීසන් එකක් ඉවර වුනාට පස්සෙ අපිට අනික එනකං බලා ඉන්න පුලුවන්.

    “විස්තර කරලීම වැඩි වන්නට වන්නට එය කියවන් අයහට ඇතිවන ඒකාකාරී බව වැඩිවීම මත කථාව උඩින් පල්ලෙන් කියවා දැමීම හෝ කියවීම අතහැර දැමීම විය හැකි වීමයි..”

    ඔබ කතාව විස්තර කරන රසවත් ආකාරය අනුව එය එසේ සිදු නොවේ.

    ReplyDelete
  2. මම යුද්දය හා සාමය පොත් 2ය් කියවල තියෙන්නෙ..ඒත් ඒ 2ත් ඔබ කියපු දේ මම දැක්ක...ඉල්ලුමට සැපයුම දෙන මාකටින් පොරක් වෙන්න එපා..ඔයාට සමාජෙට හා කතාවට වැදගත් හැමදේම මුල මැද අග පැහැදිලිව ලියන්න...වෙලාව ගන්න හැමවෙලාවෙම පාර්ශවයකට බරනොවී සංයමය තියාගෙන ලියන්න...ඔයා ලියන දේවල් දැන් හොඳ උනාට නරක් උනොත් ඒත් හොඳයි කියයි මේ ගොඩක් අය...එහෙම උනොත් හැමදාම පරණ පාඨකයන්ට සොඳුරු..අනාගතය අඳුරු රචකයෙක් වෙයි...

    ReplyDelete
  3. මේක කථාව මගක් යන්න ඇරලා දාපු එක හොඳා...
    කිරි කෝපියක් බීලා ආයෙමත් කාඩදාසි කුට්ටමට සෙට් වෙමු එහෙම නම්....

    ReplyDelete
  4. මාර බොස් කතාව කොටස් කරපු එක හොදයි,කොහොමත් ඔයාගේ කතාවට පාඨක පිරිස වැඩි වෙනවා අඩු වීමක් වෙන්නෙ නෑ, අනික සිතැත්තිලා,පැටික්කිලා,සමනලීලා,කිරිල්ලී ලා ගේ බ්ලොග් වලට වශී වෙලා ඕන දේකට කමෙන්ට් පුරෝපු කට්ටිය හෝ ගාල මාරයගෙ පැත්තට එනවා,,
    කතාවේ සරල කම කියනවා නම් කථිකාචාර්යවරු ,උපාධිදාරීන් , ඉන්ජිනේරුවන් ලියන බ්ලොග් කතා ගොඩක් ඒවා 8 පාස් අපිට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ සින්හලෙන් ලියුවත් චීන පත්තර කියවනවා වගේ, මාර බොස් ගේ කතා අපි වගේ කට්ටියට උනත් හොදට තේරුම් යනවා ඒ හින්දා වෙනස් කරන්න දෙයක් නෑ භාෂාව හැසරවිල්ලත් මේ යන ක්‍රමය එලකිරි

    ReplyDelete
  5. දිගටම ලියමු මාරයියේ. කොතන කොහොම කොයි විදියට ලිව්වත් මේ ඔයාගෙ කතාවනෙ. අපිට වටිනවා....

    ReplyDelete
  6. අදහස් දැක්වූ සියළුම දෙනාටම ස්තූතියි..

    තිස්ස අයියා...

    බූරුවා ගහන්නද..?
    නැත්තං ඉතිං ඔමියක්ද..?

    ReplyDelete
  7. අනං මනං නැතිව කියපං පස්සෙ කාලෙක එකතු කරල අච්චු ගහන්න බලාගෙන

    ReplyDelete
  8. ඒ අදහසත් නරක නැහැ, දිගටම ලියන්න.

    ReplyDelete
  9. කොහොම ලිවුවත් අප්සට් එකක් නෑ.

    ReplyDelete
  10. කළු...

    බ්ලොග් සඳහා ලියනා ලිපි මුද්‍රණය කිරීම ඒතරම් සාර්ථක වෙන එකක් නෑ මගේ හිතේ..

    ReplyDelete
  11. Ansh Lucky Sri Jay...
    budhajeewa...

    හොඳයි හොඳයි..

    ReplyDelete
  12. මටත් හිත්නෙනේ නම් උඹ මහා ලොකූ සමාජ සත්කාරියක් මේ ඉටුකරන්නේ කියලා මාරයෝ . . . මේකෙන් පස්සේ සිවුරු අරින අය ගැන විවෘත ඇසකින් බලන්න මේක කියෝපු අයට පුලුවන් වෙයි ඒ වගේම සිවුරේ ඉන්න අය ගනත් දැනට වඩා මානුසිකව බලන්න පුලුවන්වෙයි අපේ සමාජයේ අයට . .

    ReplyDelete