01 June 2010

පන්සලේ ජීවිතේ... දෛවය...

දිනෙන් දින කාලය ගත වෙමින් තිබුණි.
එළඹෙන සෑම දිනක්ම කුමක් හෝ නවමු අත්දැකීමක් මා ජීවිතයට එක් කරමින් තිබුණි.
ඒ අතරින් මෙතෙක් බාහිරින් පමණක් දැක තිබූ ලොවක අසිරිමත් සිදුවීම් මෙන්ම කිසිදා නොසිතූ තරම් දුක්ඛදායී දේවල්ද ඇස් පනාපිට දර්ශනය වන්නට විය.

මෙ සෑම දෙයින්ම ජීවිතය පිළිබඳ අළුතින් සිතා බලන්නට මා යොමු කරමින් තිබුණි..

දෛවය...

ඔබ දෛවය යනුවෙන් අදහස් කරනු ලබන්නේ කුමක්ද..?
අදටත් ඒ පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් කරන්නට මා හට නොහැකි වූවත් මා යම් තරමින් දෙයක් තේරුම් ගනිමින් සිටිමි.
අප කෙසේ සිතා සිටියත් අපගේ ජීවිත ගමන් කල යුතු නිශ්චිත දිශාවක් අප සියළු දෙනාම විසින් උපතින්ම ගෙන එනු ලැබ ඇත.
සමහරුන් ඒ මාවතේ ආයාසයෙන් තොරවම ගමන් ගන්නා අතර තවත් සමහරුන් අකමැත්තෙන් මෙන් ගමන් කරති..
ඒ කෙසේ මුත් අප සිතනා දිශාව කෙසේ වූවද අවසානයේ අපට නියමව තිබූ තැනටම අපව අවසානයේ ගෙන යනු ලබන කිසියම් බලයක් ඇති බවක් ජීවිතයේ රැදී ඇත..
එයට කියනා නම දෛවයද යන්න හරියටම කිව නොහැකි වූවද ඒ නම එම බලයට ආසන්න නමක් බව මා හට සිතේ..

කිසිදා නොසිතා සිටි තැනකට මෙ වන විට මා ගෙන ගොස් තිබුණේ එම කිව නොහැකි අපූර්ව බලය විසින් යැයි මා හට නිතරම සිතුණි.

දිනෙන් දිනම පන්සල මාගේ ජීවිතයේ කොටසක් මෙන් දැනෙන්නට පටන් ගෙන තිබුණි.
මා මෙතෙක් අසා සිටි,දැන සිටි පන්සල් ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක් මෙහි තිබුණි.

නිතර වතාවත් ඉටු කරනු ලබන සිල් සුවඳින් නැහැවී ගිය පිරිසිදු වට පිටාවක පවතින අතිශය ගුප්ත බලයක් සහිත අමුතුම ආකාරයේ ස්ථානයන් යැයි සිතා සිටි පන්සල් පරිසරය එයට බොහෝ වෙනස් තැනක් යැයි මාහට පසක් වෙමින් පැවතිණ..

පසු කාලයේදී දුටු පරිදි මා ඉහත සඳහන් කරනු ලැබූ අන්දමට තරමක් ආසන්න මට්ටමෙ පන්සල්ද වූ අතර මා ගිය තැන ඒ කිසිවක් නැති..පෙර ලිපියකදී අයෙක් දක්වා සිටි අන්දමෙ අම්බලමක් වැනි තැනක්ම උනි.

මෙවැනි අම්බලමකට කඩා වැදුනු මාද එහිම කොටසක් බවට නැතහොත් පාර වැරදුන තවත් මගියකු වීමි.

නමුත් දිනෙන් දිනම එම අම්බලම් ජීවිතය මා හට රිසි විය.

සෑම දෙයකම මහා හුරු පුරුදු ගතියක් විය..වචනයෙන් කිව නොහැකි අන්දමෙ අමුතුම බැඳීමක් මා හා මෙම ස්ථානය අතර ගොඩ නැගෙමින් තිබිණි..
එය සසර පුරුද්දක්ද..නොඑසේනම් තවත් තණ්හාවෙම ස්වරූපයක්දැයි මා හට කිව නොහැකි වූවද..
ඇත්තෙන්ම එසේ බැඳීමක් ඇති වෙමින් තිබුණි.

පන්සලේ වූ කුදු මහත් සෑම කටයුත්තක්ම ඉතාමත් ආසාවෙන් මා අතින් සිදු විණි.
කවුරුන් හෝ විසින් කරනු ලබන අණදීම් හා උපදෙස් ඒ අයුරින්ම පිළිපැදීම අදටත් මා හට කල නොහැකි දෙයකි දෙයකි.
එය මාගේ සිත තුල ඇති මානය හෝ කිසිවකුට යටත් වීමට ඇති අකමැත්තත් සෑම විටම නිදහස අගය කල මාගේ ජීවිතය හා බැඳී ඇති පුරුද්දක් හෝ විය හැක..

එබැවින් මෙහිදී කලයුතු සෑම දෙයක්ම කිසිවකු විසින් පෙන්වා දීමට පළමුව කිරීමට හැකි සෑම අවස්ථාවකදීම උත්සහ ගතිමි.

එබැවින් උදෑසන අවදිවූ මොහොතේ සිටම පන්සලේ සෑම කටයුත්තක්ම මා හට ඇවසි අන්දමින් නිසි පරිද්දෙන් කරනු ලැබූ අතර විහාරවාසී භික්ෂූන් වහන්සේලාගේ දෛනික ජීවිතයට කිසිදු අනදමක හෝ බාධාවක් නොවන්නට එම කටයුතු කරලීමටත් සෑම අවස්ථාවකදීම වග බලාගතිමි.

පන්සලට පැමිණෙන සියළු දෙනාම මා පිළිබඳව ඉමහත් පැහැදීමෙන් කතා කරන්නට වූ අතර එයට හේතු වූයේ මෙතෙක් දක්නට තිබූ අපිරිසිදු හා අපිළිවෙල ගතිය විහාර භූමියෙන් කෙමෙන් කෙමෙන් පහව යන්නට වූ බැවින් බව එම කතා බහෙන් මා හට අවබෝධ වෙමින් තිබුණි.

අවට පන්සල්වල ස්වාමීන් වහන්සේලාද මෙහි පැමිණි සෑම විටම මා පිළිබඳ උනන්දු වන්නට වූ අතර විහාරස්ථ හිමිවරුනට නොදැනෙන්නට එම පන්සල්වල නැවතීමට එන ලෙසද වරින් වර ආරාධනා කරනු ලැබූවෙ පඩි රහිතව හොඳ ඇබිත්තයකු ලබා ගැනීමට ඔනෑම නායක හාමුදුරු කෙනෙකු කැමති වූ නිසාය..

සෑම දෙයක්ම සාමාන්‍ය අන්දමින් සිදු වෙමින් තිබුණි.

................................................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

10 comments:

  1. ඔයා යන්න දිහාවක් නැතිව අම්බලමක් වගේ තැනකට ගොඩ වැදුනත් ඒකට වෙලා නැවතත් ජීවිතය ගොඩනගන්න උත්සාහ කලා කියලා තමා මට නම් හිතෙන්නේ. ඒත් මට හිතාගන්න බැරි ඇයි අයියා ඒ ජීවිතෙනුත් අයින් වෙලා නැවතත් මුල ඉදලාම ජීවිතේ ගොඩනගා ගන්න පටන් ගත්තේ කියලා

    ReplyDelete
  2. ඇබිත්තයෙක් විදියට හරි යමක් කලාය කියන හැගීම මාරයියා තුල තිබුනනෙ. මට නම් ඒක හුගාක් වටිනවා. කාලය ඔයාගෙ ජීවිතය එතැන් හිඳන් මෙතැනටම අරන් ඇවිත්...මොනතරම් දුරක්ද ?

    ReplyDelete
  3. Hasitha...

    ඒ මගේ හැටි මල්ලී..
    ජීවිතේ එක තැන පල් වෙනවාට මම කැමති නැහැ..

    ReplyDelete
  4. දිල් මම දැන් තමයි ඔයාගේ පෝස්ට් එක දැක්කේ ...
    බය නොවී ඉන්න
    (බය උනත් නොපෙන්වා ඉන්න බලන්න)

    ReplyDelete
  5. හ්හ්ම්ම්.., මට හිතා ගන්න බැරි දෙයක් තියෙනවා ඇහුවොත් අයියා අමනාප වේවිද මන්දා.

    ReplyDelete
  6. Ansh Lucky Sri Jay...

    අප්සට් දෙයක් නම් මට මෙල් එකක් එවලා අහන්නකෝ..

    ReplyDelete
  7. ඕං මාත් ඇවිත් ගියා..

    ReplyDelete
  8. "කවුරුන් හෝ විසින් කරනු ලබන අණදීම් හා උපදෙස් ඒ අයුරින්ම පිළිපැදීම අදටත් මා හට කල නොහැකි දෙයකි දෙයකි.
    එය මාගේ සිත තුල ඇති මානය හෝ කිසිවකුට යටත් වීමට ඇති අකමැත්තත් සෑම විටම නිදහස අගය කල මාගේ ජීවිතය හා බැඳී ඇති පුරුද්දක් හෝ විය හැක.."

    මට හිතෙන්නේ මචං මානයට වැඩිය ආත්ම විස්වාසය කියලා . . ජීවිතාවබෝධය තුලින් ලබාගත් දැනුමට අනුගතව තමන් හිතනවා, විස්වාස කරනවා තාමන් වැරදි දෙයක් නොකරන බව . . . එහෙම ත් කියන්න ඇහැකි නේද . .

    ReplyDelete