27 June 2010

පන්සලේ ජීවිතේ... සිහින සොයා පියෑඹීම...

දවසින් දවස ගත වෙමින් යයි.විවිධාකාර පුද්ගලයින් එති යති.වෙනස්ම අත්දැකීම් ජීවිතයට එකතු වෙමින් පවතී. මෙතෙක් කලක් කුමන ආකාරදැයි හරියාකාරව නොදැන සිටි සමාජයේ තවත් පැත්තක් දකින්නට, අසන්නට, ඒහා බැඳී ජීවත්වන්නට ඉඩ ප්‍රස්ථාව ලැබී තිබිණි.

මා සිතනා ආකාරය නිවැරදිනම් මෙම කතාව පැවසීමෙදී එකිනෙකට වෙනස් වූ චරිත දහස් ගණනක් පිළිබඳව වෙන් වෙන් වශයෙන් සටහන් තැබිය යුතුය.නමුත් එසේ කිරීමට ගිය හොත් මෙම කථාව වටා රැස්ව තිඛෙන සියළු චරිත පිළිබඳ විස්තර කර අවසන්ව කතාව හා සබැඳි අවස්ථා සහ සිදුවීම් කියන්නට තව සෑහෙන කාලයක් යනු ඇත. එසේම චරිත විස්තර අවසන් වන විට මුලදී සටහන් තැබූ අය පිළිබඳව මතකය ඔබ තුළින්ද ගිලිහී යන්නට ඉඩ ඇත. මන්ද ඒසා සුවිශාල පුද්ගලයින් රාශියක් මෙය හා බැඳී ඇත.

අපගේ ජීවිත කතාව කියන්නට යෑමේදී.. පවුලක් හා ඒහා සබැඳි සමාජය විස්තර කිරීමට වඩා පන්සලක් වැනි සමාජයේ කේන්ද්‍රස්ථානයක් හා බැඳී ඇති කතා කීමට යාමේදී අපට හමුවන පුද්ගලයින් ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉතා ඉහළ අගයක් ගනී.එසේ සම්බන්ධ වන සෑම පුද්ගලයකු ගැනම පරිපූර්ණ විස්තරයක් නොමැතිව කරනු ලබන සටහන් බොහෝ විට අසාර්ථක ඉදිරිපත් කිරීමක් වනවාට සැක නැත.
මා එසේ කියනුයේ මෙ කථාව ඉදිරිපත් කිරීමෙදී එය එක්තරා අන්දමකට පුද්ගල අධ්‍යාත්මය හා බැඳී ඇති මානසික තත්වයන් හා සිතුම් පැතුම් විස්තර කෙරෙන කථාවක් ලෙස ඉදිරිපත් කිරීමට මා හට උවමනා කර ඇති නිසාවෙනි.

උදාහරණයක් ලෙස යම් කිසි මොහොතක කිසිවකු විසින් තවත් කිසිවකුට බැණ වැදුනේ නම් හෝ පහර දුන්නේ නම්..එය හුදෙක් තනි සිදු වීමක් නොවන බවත්, බැණ වැදීම හෝ පහර දීම යනු යම් කි්‍රයාදාමයක තවත් එක් අවස්ථාවක් පමණක් බවත් එයට හේතු පාදක වූ තවත් සිදුවීම් රාශියක් සහ එම සිදුවීම් මතින් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ගේ මනෝ භාවයන් සකස් වූ අන්දමත්, ඒසේ සකස් වීමට ප්‍රථමව පවා ඔවුන්ගේ චර්යා රටාවන් හා සිතුම් පැතුම් මෙ ආකාරයැයි පහදා දීමත් එම ස්වභාවය සහ සිදුවන සිදුවීම් නිසා පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් වල සිදුවන වෙනස්කම් පැහැදිලි කර දීමට මා හට තිපෙන උවමනාවයි.

එසේ නොමැතිව කෙනෙකු කරනු ලබන බොහෝ ක්‍රියාවන් තනි තනිව ගෙන විස්තර කිරීම ඒ හා සබැඳි නියම ස්වරූපය බාහිර සමාජයට වැරදි අවබෝධයක් ලබා දෙන්නා වූ ක්‍රියාවකි. මෙනයින් බලන කල මා විසින් කියනු ලබන කතාවෙදී..ඒ ඒ සිදුවීම් වලදී එම සිදුවීම් වලට පාදක වූ අතීත කරුණුත් ඒ සඳහා සම්බන්ධ වූවන්ගේ මානසික හා චරිත ස්වභාවයද ඔබ විසින් අවබෝධ කර ගත යුතුමය.

නොඑසේනම් එක් සිදුවීමක් දෙස පමණක් බලා ඔබ විසින් අවසන් තීන්දුවකට එළඹීමයි.එයින් කතාවට විශාල හානියක් වීමට ඉඩ ඇත.එබැවින් කතාවට සම්බන්ධ වන කුදු මහත් සෑම චරිතයක් පිළිබඳවම තරමක හෝ අවබෝධයක් ඔබ තුළ ඇති කළ යුතුව ඇත. ඔබගේ එක් ඇසක් වසා දමා ඔබට ත්‍රිමාණ රූප පෙන්වීමෙ හැකියාවක් මට නැත.එබැවින් හැකිතාක් දුරට සෑම කුඩා දෙයක් පිලිබඳවම ඔබට පුළුල් අවබෝධයක් ලබා දීම මා සතු වගකීමකි. වඩාත් දුෂ්කර කාර්යය වන්නේද එයමය..

විශේෂයෙන්ම පන්සල් පිළිබඳව හා එහි වසන පුද්ගලයින් හට අසාධාරණයක් වන්නට ඉඩ කඩ නොතැබිය යුතුය. එයට මා හට නොකල හැක්කකි. මෙ සමාජයේ ජීවත් වන පෘතග්ජන පුද්ගලයින් වන අප කවුරුත් හොඳ හා නරක යන දෙකින්ම සැදුම් ලද්දෝ වෙමු.
තනි ඉරකින් මෙයා හොඳය..මෙයා නරකය වශයෙන් ස්ථීර ලෙස වෙන් කොට දක්වන්නට අප කිසිවකුටත් නොහැක.
මා විශ්වාස කරනා අන්දමට අප කා තුළත් දෙවියකු මෙන්ම යක්ෂයකුද වෙසේ..
නොයෙක් අවස්ථා වලදී නොයෙකුත් තත්වයන් මත ඔවුන් ඉස්මතු වී පෙනෙන අන්දමට අප විසින් කටයුතු කරනු ලබන්නේය. එවිට එම ක්‍රියාවන් දෙස පමණක් බලා පුද්ගලයා හොඳද නරකද යන්න විනිශ්චය කිරීම එම පුද්ගලයාට අප විසින් කරනු ලබන බලවත් අසාධාරණයකි.

පුද්ගලයින් වශයෙන් අප සියළු දෙනාම අනුකම්පාවට භාජනය විය යුත්තෝ වෙමු. අප විසින් නොපැතූ ලොවක නොපැතූ තැනක ඉපිද...
ඒ ලැබුවාවූ ජීවිතය රැක ගැනීමට සිදුව ඇති අප ඒ වෙනුවෙන් කුමක් නම් නොකරමුද..?
හරි හෝ වේවා..වැරදි හෝ වේවා..ජීවත් වීම සඳහාත්, එම ජීවිතය සැපවත් කර ගැනීම සඳහාත් අප විසින් බොහෝ කටයුතු කරන්නෙමු.
එහිදී අනිකාගේ අයිතිවාසිකම් ගැන සිතන්නෝ අල්ප වශයෙනි..
මූලික අරමුන තමාගේ රැක්මයි. තමා සුරක්ෂිත නම් පමණක් ඉන් අනතුරුව අන් අය පිළිබඳව සොයා බැලීම සාමාන්‍ය පිළිවෙතයි.

බැටළු හම් පෙරවා ගත්තවුන් කෙසේ කීවත් මා දකින සත්‍යය එයයි.

මෙම තත්වයට සමාජයට හා එහි වෙසෙන්නන්ට දොස් පැවරීමට පෙර ඒ තත්වයට ඔවුන් පත්වූයේ මන්දැයි සොයා බැලීම කළ යුතු බව මා සිතන්නේ එබැවිනි. ලෝකයේ තිඛෙන්නාවූ දහස් ගණන් වූ ආගම් හා දර්ශනයන් මෙහිදී අප හට මෙම තත්වය පහදා දීමට ඉදිරිපත් වෙයි. තම තමන්ගේ ආගම් හා දර්ශනයන්ට අනුව තම තමන්ට හැකි අන්දමට ඒ පිළිබඳව සියළු දෙනාම සිතා බැළිය යුත්තාහ...

......................................................................................

මා පන්සලට විත් මාස හතරක් පමන පසු වී තිබුණි.වාර්ෂික කඨින පූජෝත්සවයද පැවැත් විණි. ඒ හා සම ගාමීව සර්ව රාත්‍රික පිරිත් පිංකමක්ද පැවැත්විණි. ඒ සඳහා වැඩම කොට වඳාළ භික්ෂුන් වහන්සේලා සමග ඇසුර මා හට නැවුම් අත්දැකීමක් විණි.

දහ දොළොස් නමක් පන්සලට ඒකරාශී වූ රැය ඇත්තෙන්ම විනෝදමත් එකක් විණි.පන්සල් ආශ්‍රිතව සිදු වූ සිදුවීම් හා පුද්ගලයින් පිළිබඳව ඔවුන් විසින් කරනු ලැබූ කථා බස් අසා සිටීම රැය පහන් වනවා නොතේරීමට හේතුවක් විණි.
ඒ අතර නොයෙක් වයස් කාණ්ඩයේ අය වූහ.
වයෝවෘද්ධ හිමිවරුන්ගේ ඇවතුම් පැවතුම් බොහෝ සංවර වූ අතර තරුණ භික්ෂූන් එයට හාත් පසින්ම වෙනස් විය. නමුත් හදවතින් ඔවුන් සියළුම දෙනා සමාන බව පිටස්තර ගිහියන් නොමැති තැන්වල කරනු ලබන කතාබහ වළින් මොනවට පැහැදිලි විය.

සියළු දෙනාම තම තමන්ගේ සිතැගි හා ආශාවන් අසීරුවෙන් යටපත් කරගෙන දිවි ගෙවන්නෝ වූහ. ඒ නිසාම බාහිරට නොපෙනෙන විශාල මානසික පීඩනයකින් යුක්ත වූවෝ වෙති. සමිජය ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දෙය දීමට ඔවුනට සිදු වී තිබිණි. එහිදී තමාගේ පෞද්ගලිකත්වය පවා මරා දැමීමට ඔවුනට සිදු වී තිබිණ.

මෙහිදී මා පෙර ස\හන් කළ චන්දවිමල හිමියන් දිනක් පන්සල ඉදිරිපස මිදුලේ පසෙක වූ මැංගුස් ගස යට පැදුරු දෙකක් එළා සවස් වරුවක එහි ගිමන් හරිමින් සිටි ගමන් මා හට කියූ කථාවක් නිතැතින්ම සිහිපත් වෙයි.

~~අයියේ..මිනිස්සු බලන් ඉන්නේ අපි ඒ අය දෙන දානය වළදලා භාවනා කරලා,රහත් වෙලා පන්සලේ වහලේ උළුත් කඩාගෙන අහසට නැගලා පෙළහර පායි කියලා..~~
~~අනේ අයියේ අපේ අම්මලා තාත්තලා නැති බැරි කමටයි, අපේ ලොකු හාමුදුරුවරුන්ගේ ඉල්ලීමයි හින්දා අපිව මහණ කළාට අපි මෙ සංසාරෙ ගැනයි, ලෝකේ ගැනයි මොනවා දන්නවාද..? පිරිවෙනේ උගන්වපු දේවල් කොයිතරම් තිබුනත් අපිම ජීවිතේ විඳිනකල් ඒවා කොහොමද කියලා අපි දන්නේ කොහොමද..?~~

ඇත්තෙන්ම මෙ වදන් පෙල එදා පටන් අද වන තුරුම මගේ සිතේ තැන්පත්ව ඇත්තේ එහි ඇති සානුකම්පිත බව නිසාමයි. බුදුන් දවස කෙසේ වූවද අද වන විට සාංඝික සමාජය පිරී තිඛෙන්නේ මෙවැනි අසරණයින් සමූහයකින් නොවේද..?

බුදු රජානන් වහන්සේට වූවද නිසි මාවත සොයා ගැන්මට වසර හයකට අධික කාලයක් අපමණ වෙහෙසවන්නට වූ කල එපමණ පෙරුම් පුරා නැති අප වැන්නවුන් කවුරුන්ද..?

ජීවිතයේ තරුණ වයසේදී එනම් වයස 24දී පමණ පැවිදි වූ මා හටද ජීවිතය පිළිබඳව හෝ සසර පිළිබඳව මහා අවබෝධයක් නොවූ කල..? බාල කළ පැවිදි කල අයවළුන් ගැන කෙසේ නම් වරදක් සිතන්නද..?

ලෝකය කුමක්දැයි දකින්නට ඒ තුල සැරි සරා බැලීමට ඔවුන් තුළ වූ ආශාවන් ලොවට බියෙන් සගවාගෙන ජීවත්වන මෙම පිරිසේ බොහෝ දෙනෙක් තමාට හැකි වූ වහාම තමා පතන ලොව කරා පියඹා යෑම කරනු ලබන්නේය.

ඉතිරිවන බොහෝ දෙනෙක් එම පියවර ගැන්මට බිය වන්නා වූත්, දුක් විඳිමට වෙයැයි සිතා පසු බාන්නවුත් වන අතර තවත් පිරිසක් තමාට ඇවැසි කරුණු පන්සල තුළම රැදී සිටිමින් සපුරා ගැනීමට මාර්ග පාදා ගත්වුන්ය.

අල්පයක් වන මෙයට වෙනස් පිරිසක්ද සිටිය හැකි නමුදු, මා හට නම් සසර පිළිබඳව අවබෝධයෙන් සහ නිවන පමණක් අරමුණු කරගෙන පැවිදි දිවිය තුල රැදී සිටින්නන් හමු වී නැති බව අකමැත්තෙන් හෝ කියන්නට සිදු වී ඇත.

එසේ කීමෙන් දැනට පැවිදි දිවිය තුළ රැඳී සිටින්නන් හට මදි පුංචි කමක් කිරීමට මා අදහස් නොකරමි. ඇත්තෙන්ම ඔවුන් අසීරු කටයුත්තක නියැළි සිටින්නෝ වෙති. කැමැත්තේන් හෝ අකමැත්තෙන් ඔවුනට එම දිවිය ගෙවීමට සිදුව තිබේ.

ඒ වෙනුවෙන් ඔවුනට බොහෝ විට ලැඛෙන්නේ බත් ව්‍යාංජන සහිත දෙවේලක දානයකුත් පිරිකර සඳහා ලැඛෙනා දෙයකුත් පමණි.
ඒ හැර රාත්‍රී ආහාරය අහිමි කරවීමත් දරුණු මානසික පීඩනයකුත්, බිඳුනු සිහිනත් ඔවුනට නිරායාසයෙන්ම ලැබී ඇත.

එක් අවස්ථාවකදී සමාජයේ ඉහළින්ම තබා වැදුම් පිදුම් ලැබීමත්..
තවත් විටක කොන්කර තැබීමටත් යටත්වූවෝ වෙති.

අළුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් ඔබ සතුටු වන මොහොතේ දානය නොමැතිව කල් ගෙවීමට ඔවුනට සිදුව තිබේ.
සෑම තැනකම නැතත් බොහෝ තැන්වල මෙය සිදු වේ.

ඒ හැර තමන් ලබන බත් වේලට සරිලන සේ... අවදි වූ වෙලාවෙ සිට කටයුතු රාශියක් ඔවනට පැවරී ඇත.
දානය සඳහා පින් දීමත්, පන්සල් මිදුල් පිරිසිදු කිරීමත්, දානය සාංඝික කිරීමත්, පාංශ=කූල වලට යෑමත්, බෝධිපූජා පැවැත්වීමත්, රාත්‍රී කාලයේ පිරිත් පින්කම් වලට යෑමත් වැනි වැඩ රාශියකි.

මෙයින් පාංශ=කූලය හරි අපූරු දෙයකි.
මළ මිනියක් වටා වාඩි වී පවුලේ නම්බුව පිණිස රැඳී සිටීම දඩුවමක් වැනිය. ගිහියන්ගේ ගෞරවය පිණිස භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් මිනිය වටා වාඩි කරවා තැබීම අද වන විට සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇත.

දින ගණන් එක දිගට නිදි මරාගෙන පිරිත් පිංකම් වලට යෑමට ඔවුනට සිදු වී තිබේ. එක් වස් පිංකම් පැවැත්වූ මාසයක මා පන්සලේ රාත්‍රිය ගෙවා තිබුණේ දින තුනක්(03)ක් පමණි.
අන් සියළුම දවස් වෙනත් පන්සල්වල පිරිත් මණ්ඩප වල ගත කිරීමට මට සිදුව තිබුණි.
අද මා නිරතව සිටින ආරක්ෂක නිලධාරී තනතුර ඊට වඩා බොහෝ සුව පහසු බව කිව යුතුමය.

එක් භික්ෂුන් වහන්සේ නමක් පමණක් වැඩ සිටිනු ලබන පන්සල් අද ලංකාවේ බොහෝ ඇත.එවැනි පන්සලක දිවි ගෙවීම කෙබඳුදැයි ඔබට සිතා ගත හැකිද..?
උණක් හිසරදයක් හෝ වෙන කිසියම්ම හෝ අසනීපයකට හෝ ටිකක් දහවල් වන තෙක් නිදා ගැන්මට ඔවුනට අවසර නැත. දුකකදී වෙදනාවකදී එය පැවසිය හැකි කෙනෙක් නොමැත. පන්සලේ සියළුම කටයුතු ඔවුන් විසින් තනිවම කරගත යුතුව ඇත.

ඒ සියළුම වැඩ කටයුතු නිමා වන විට ඕනෑම සවිමත් කෙනෙකු වූවද විඩාවට පත්වී හමාරය.
එනමුදු ඉවරයක් නොමැත...

රැයෙහිද නින්දක් උරුම නැත...
බණට පිරිතට යා යුතුය.
ඒ මදිවට රැයෙහි කන්නටද එපා යැයි කියති.
තවත් කිව හැකි බොහෝ දේ ඇතත් සියල්ලම පැවසිය යුතු නොවේ.

පැවිදි වූ දා පටන් වසර තුනක් පමණ තනිවම පන්සලේ රැඳී සිටිමින් ඒ සිටළු කටයුතු තනිවම කරගෙන හුන් මා හට ඒ පිළිබඳව කිව හැකි දෑ බොහෝමය.

වස් පින්කම නිමා වූ පසු තවත් වෙනසකට මග පෑදෙමින් තිබිණි. එටය නම් නාරද හිමියන්ගේ වෙන්ව යාමේ උත්සහයයි. බොහෝ කලෙක සිට ඒ සඳහා උත්සහ දරා තිබුණද දිනෙන් දින කල් ගිය එම උත්සහය මල්පල ගැන්වෙන දිනය ආසන්නව තිබිණි.

කොළඹ පළාත් හිමිනමකගේ උදවු උපකාර ඇතිව කොළඹ තරු පංතියේ හෝටලයක වැඩ පුහුණුවන්නකුගේ මට්ටමින් රැකියාවක් සපයා ගැන්මට මග පෑදී තිබිණ.

දිනක් මා හට කළ දැනුම් දීමක් අනුව හිමිදිරි පාන්දර හතරට පමන අවදි වූ මා මුහුණ කට සෝදා පිරිසිදුව සූදානම් වී නාරද හිමියන් සමග පාන්දර පහේ බස් රථයේ කොළඹ බලා පිටත් වූයේ පන්සලේ රැඳී සිටි අරුණද කැටුවය.

ගමනාන්තය කොළඹ කොටහේනේ පිහිටි පන්සලක් විය.කලින් සූදානම් කර තිබූ විශාල ගමන් මල්ලක්ද අප විසින් රැගෙන විත් තිබිණි.
එහිදී ගිහි වෙස් ගත් නාරද හිමියන්ගෙන් වෙන්ව ගත් අප නැවත පන්සල කරා පිටත්ව යන ලදි. ඒ මා උන්වහන්සේ දුටු අවසාන අවස්ථාවයි.

එයට දින දෙකකට පසුව රාත්‍රී කාලයේ වෑන් රථයක් පන්සලට වා නාරද හිමියන් සතු සියළුම භාණ්ඩ අරුණගේ මෙහෙයවීමෙන් එහි පටවා,පිටත් කෙරිණි. පන්සලේ කිසිවක් ඉතිරි නොවුනාත් බඳු විය. රූපවාහිනිය,විදුලි පංකාව පමණක් නොව පැදුරු කොට්ට හා පිගන් කෝප්පද ඇතුළු බොහෝ දෑ එහි යැවිණි.

සුමෙධ හිමියන් තම පන්සලට වැඩම කොට තිබිණි. ඉතිරි වූයේ චන්ද විමල පොඩි හාමුදුරුවනුත් මාත් පමණි.
දැඩි නිහැඩියාවක පන්සල් භූමිය ගිලී තිබිණි.

නාරද හිමියන් ගැන විමසන සියළු දෙනා හට දින දෙක තුනකට උන්වහන්සේ ගමෙ ගියා යැයි පැවසීමත්, තාත්තාට අසනීප බැවින් දින ගණන වැඩිවිය හැකි බවත් පැවසීම අපහට පැවරී තිබුණි.

යම් හෙයකින් ගිය කාරිය ඉටු කර ගැනීමට නාරද හිමියන්ට නොහැකි වූයේ නම් නැවත පැමිණිමට උන්වහන්සේට අවස්ථාව තබා තිබිය යුතු විය.

පසුව නාරද හිමියන්ගේ නැවත ආගමනයක් නොවන බව පැහැදිලි විණි.
ඔහුගේ රැකියාව පිළිවෙළක් වී තිබිණි. සිහිනය සැබෑවක් වී තිබිණි.
නැවත නොඑනා පරිදි අපගෙන් වෙන්ව යාමට නාරද හිමියන් හට පිළිවන් වී තිබිණි.
අද වන විට ඔහු ඔස්ටේ‍රලියාවෙ රැකියාව කරමින් රැඳී සිටිනු ලබන්නෙකි.

අහින්සක යහපත් මිතුරකු අපගෙන් සමු ගෙන තම සිහිනයන් සොයා පියඹා ගොස් තිබිණි.

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

26 comments:

  1. සෑම දෙනෙකුටම සාධාරණයක් වෙන අයුරින්, කිසිවෙකුට අසාධාරණයක් නොවන ලෙස කථාව දිගටම ගෙන යාම සඳහා ඔබ දරන ප්රයත්නය අගනේය.
    (දවස් නවයටම හරියන්න ලියල තියෙනව වගේ.)

    ReplyDelete
  2. දැන් කාලේ වැඩ වැඩිම හාමුදුරුවන්ට තමා

    මළ ගෙවල්වල පාංශුකූලය,
    සෙත් පිරිත් දේශනා
    ධර්ම දේශනා
    බෝධි පූජා
    විවෘත කිරීම
    උපසම්පදා පිංකම්
    පිරිවෙනේ වැඩ
    ගමේ කටයුතු බලන එක

    මේ විදිහට වැඩ කටයුතු කන්දරාවක් කරන හාමුදුරුවන්ට තමන්ගේ විමුක්තිය සලස ගන්න එකත් කරගන්න බැරිවෙලා තියෙන්නේ. උපාසක අම්මලා ටිකත් හාමුදුරුවෝ අතින් කිසිම වැරැද්දක් වෙන්න බැහැ කියන මතේ ඉදන්ම හාමුදුරුවන්ගේ අඩුපාඩු අල්ලන්න බලනවා.............

    ReplyDelete
  3. ඔබෙ මතකය සමග පන්සලට වී සිටියෙමි.....
    දවස් ගානටම හරියන්න ලියලා තියනවා අද..?

    ReplyDelete
  4. මමනම් මහන වෙන්නෙ නැත්තෙ මට ගෑනු අය ගැන තියෙන ආසාව නැතිකරගන්න අමාරු නිසා.....මම දන්න බෙන්ගාලි ඩෙන්මාර්ක් ආදී හාමුදුරුවරු කීපදෙනෙක් ඉන්නව ඒ අය ජීවත් වෙන ෆෝමැට් එක හරි සරලයි...ඒ අය හැමවෙලාවෙම මොනාහරි වැඩක්...ඒ ඩෙන්මාර්ක් ජාතික හාමුදුරුවො පරිඝනක විද්‍යාවෙ කෙල පැමිනි කෙනෙක්....මට එයා ධර්මය කියල දීල නෑ...ඒත් කොම්පියුටර් ගැන මම ගොඩක් දේවල් උන්වහන්සෙගෙන් ගත්ත...ඒ අය මේ සමාජෙට ගොඩක් දේවල් කරන්න උත්සාහ කරනව...බණ පිරිත් වාගෙ ඒව ඒ අයගෙ කාලසටහනට දමාගන්න,, වෙලාව වෙන්කරගන්න අමාරුනම් අරලිය ගස් මන්දිරෙන් කිව්වත් උන්වහන්සෙල වඩින්නෙ නෑ...

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්ම් !

    පන්සලේ ජීවිතේ හුඟාක් දේවල් ....දිගටම ලියන්න අයියෙ...

    ReplyDelete
  6. දිග ලිපියක්. හොද විශ්ලේෂණයක්. කාට වත් අසාධාරණ නොවෙන්නට දෙපැත්තම සමබර කරලත් තියනවා. අපටත් හිතන්න යමක් දීම ගැන ස්තූතියි.

    ReplyDelete
  7. හම්මෙ...
    දවල් වැටුන පාර දැන් තමයි නැගිට්ටෙ...

    විශ්වාස කරනව නම් විශ්වාස කරන්න..නැත්නම් නිකං ඉන්න...
    මෙ ලිපිය ලියන්න පටන් ගන්නවා මතකයි. ඒත් ඒකත් එක්කම පටන් ගත්ත අනිත් වැඩෙ හින්දා ලිපිය අවසන් කරනවා මට මතක නැහැ.
    මොනවා ලිවුවද මන්දා.. ආපහු සැරයක් කියවලා බලන්න ඔන.
    එක දෙයයි හරියට දන්නේ සුමිහිරි පානෙන් හරියටම බෝතල් බාගයක් බීලා නම් තියෙනවා.
    අම්ම මට බැන්නට..මං හොඳයි..මං හොඳයි...මං හොඳයි...

    ReplyDelete
  8. Praසන්ன...

    එහෙනං ආයෙමත් දවස් නවයකින් විතර ලීව නම් මදෑ..නේද..?

    ReplyDelete
  9. Hasitha...

    ඒ ගැන ඔබට අමුතුවෙන් කියන්න ඔන නැහැනෙව.

    ReplyDelete
  10. ඉලංදාරියා...

    අගෙයි..ඔහොමම ඉඳිමු..
    තවත් ඇබිත්තියෙක් වෙන්න බැරියෑ...

    ReplyDelete
  11. දිල්...

    ඔයාලා බලන් ඉන්නකොට නොලියා කොහොමද..?

    ReplyDelete
  12. indi...

    ඔය කථාවම මීට කළිනුත් මට කෙනෙක් කියලා තියේ...

    ReplyDelete
  13. Siribiris...

    අම්බානකට වැදිලි ඉද්ඳී ලියලත් කතාව බැලන්ස් නම් ඊට වඩා සතුටක් කොයින්ද.. ස්තූතියි.

    ReplyDelete
  14. හැමදාම වගේ තමා, ටොප් ක්ලාස්..

    ReplyDelete
  15. වැම්පයර්...

    මෙ මට ඔයාගේ බ්ලොග් එක බලන්න බැරි ලෙඩක් තිබුනා..දැන් ඒක හරි ගස්සලද..?

    ReplyDelete
  16. මරයගෙ ලිපි හරිම රසවත් නමුත් මට මෙයට අත්ඩකෙඑමක් තියෙන්නෙ ඔබ කිව් බොහො කරනා නිවරඩි නමුත් මට අස්රය කෙරෙඑමට ලබුනු ස්වාමෙඑන් වහන්සෙල සිටිනවා සුත්හ්රපිටකය හඩරන සහ මනස වඩෙඑමට උත්සහකරන. ඔබසඩහන්කල
    “අල්පයක් වන මෙයට වෙනස් පිරිසක්ද සිටිය හැකි නමුදු, මා හට නම් සසර පිළිබඳව අවබෝධයෙන් සහ නිවන පමණක් අරමුණු කරගෙන පැවිදි දිවිය තුල රැදී සිටින්නන් හමු වී නැති බව අකමැත්තෙන් හෝ කියන්නට සිදු වී ඇත”
    මෙපිරිස ඔබට හමුවෙ නත්තෙ බොහොවෙලවට අර්රන්යක පරිඩසරයක වසයරරන නිස වෙඑමට පුලුවන්.
    අපිට මෙ ප්රනය අටිවන්නෙ බුඩුඩහම් සින්හල සන්ස්කෘටිය සමග මිස්රවෙඑම නිසය් උඩහරන
    “ඒ හැර තමන් ලබන බත් වේලට සරිලන සේ... අවදි වූ වෙලාවෙ සිට කටයුතු රාශියක් ඔවනට පැවරී ඇත.
    දානය සඳහා පින් දීමත්, පන්සල් මිදුල් පිරිසිදු කිරීමත්, දානය සාංඝික කිරීමත්, පාංශ=කූල වලට යෑමත්, බෝධිපූජා පැවැත්වීමත්, රාත්රී කාලයේ පිරිත් පින්කම් වලට යෑමත් වැනි වැඩ රාශියකි.”

    මෙ බොහො කරිය ස්වම්නන් වහන්සෙලා කලයුටු කටයුතු නොවෙ. මුලික ඩෙනම් මනසෙ ක්රියකරිත්වය හඩරෙඑමත් සතිපට්ටන සුට්රයට අනුව පිලිපඩෙඑමත්පමනි.
    අවසනවට මාරය මැනික් ගරා අට්තෙ ඉල්ලම් අති ප්රාඩෙසයක නොවෙ. එසෙවුවනම් අපට එතා අනර්ග අන්ටර්ගටයක් ගත හකිව ටිබුනි.

    ReplyDelete
  17. යමුකො කතාවෙ තව ඉස්සරහට...

    ReplyDelete
  18. මාරයියේ...
    ඇත්තටම ඔයා ලියන ඒවා හරිම රසවත් මම පරණ පටන් ගත්ත තැන ඉදලාම කියෙව්වා මට දවස් කිපයක් ගියා එත් මම එක තැනකවත් මුකුත් දැම්මේ නැහැ
    මේ හැමොම වගේ මාත් බලන් හිටියා ඔයා එනකම් මට තාම බ්ලොගයක් නම් නැහැ එත් පටන් ගන්න හිතක් තියනවා
    ඔයාලගේ සහොදරත්වය දැක්කම ආසයි මාත් ඔයා වගේ අත්දැකිමක් තියන කෙනෙක් කෙනෙක් එක නිසා සමහර ඒවා හරියට හිතට වැදුනා ලස්සනයි ඔයාලා ඔක්කොගේම හිත් තවත් ලස්සනට ලියන්න වගේම මාරයා උනත් දිර්ඝායු පතනවා
    මොකද ඔයාලා වගේ සොදුරු හිත් ඇති මිනිස්සු හරි හිගයි
    කතරගම ගමන අතරමන් නොවි ඉක්මනට එන්න මාත් සුබ පතනවා
    මේ දවස් ටිකට කට්ටියගේ බ්ලොග් කියවලා
    මාත් ඔයාලාගේම කෙනෙක් උනා සතුටුයි
    බුදුසරණයි

    මමත් ඔයලා වගේම සොදුරු හිතැත්තියක්...( හසී )

    ReplyDelete
  19. Ano...

    ඔබ කියනා කරුණු සත්‍යය විය හැකියි. ඒ පිළිබඳව විවාදයක් නොමැත.
    නමුත් මා කියන්නේ මට අහන්නට දකින්නට ලැබුනු දේ පමණි.
    අවස්ථා කිහිපයකදී ආරණ්‍ය සේනාසන හා සම්බන්ධව වැඩ කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට ඉඩ ලද අතර එහිදී මා ලද අත්දැකීම්ද එතරම්ම සතුටුදායක නොවන බවනම් කිව හැකියි.
    ඒ පිළිබඳව දිගින් දිගට කතා කිරීමෙන් කිසිවකුට අපහාස කිරීමට මා සූදානම් නැත.
    ඉල්ලම් නැති තැනක මැණික් ගරා මැණික් ලද්දේ නම්..?එහි අගය සම කල හැකිද ඉල්ලම් බහුල තැන ලැඛෙනා සුලභ මැණික් මෙන්..?

    මා ලද්දේ දළං කැබළි පමණක් වූවද..එයින්ද මා සෑහෙමි.

    ReplyDelete
  20. හසී...

    හදුනා ගන්න ලැබීම සතුටක්.
    හිමින් සීරුවෙ බ්ලොග් එකක් පටන් ගනිමු.
    සාදරයෙන් පිළි ගන්නවා අපේ සහෝදර සහෝදරියන් සියළුම දෙනා වෙනුවෙන්...

    ReplyDelete
  21. මුලම ටික පොඩ්ඩක් රිපීට් රෙලිකාස්ට් වෙලා මොකද කියල හිතං කියවල ඉවරවෙනකොටයි දැක්කෙ මේ භාග්යවන්තයෙක් වෙච්චි වෙලාවකනෙ ලියල තීන්නෙ කියල.
    ඒ හින්ද කමක් නෑ..
    නාරද හාමුදුරුවො සිවුර ඇරල යන එක ගැන තරහක් නොහිතෙන්න එතන්ට ප්‍රවේශ උන විදිය හරිම අගෙයි.
    දිගටම ලියහං..
    එකක් මතකතියාගනිං මිත්‍රය. කපුගේ හරි ජෝති හරි වෙන්න හදන්න එපා...නලින් පෙරේර වෙයං...ඒ ඇති..

    ReplyDelete
  22. ඔබ පවසු කරු පිලිබඩ එකගවෙමි, අරනය කිපයක් පිලිබඳ ඳන්නා මට මනස පුහුනු කරන විඩි පිලිබඳ ඳැනුම පවතින්නෙ එතා සුලු ස්වාමෙඑන් වහන්සෙලා පිරිසකටය නමුත් එම පිරිසෙන් පුහුනු වන්නෙ ඉතා අතලොස්සකි
    පසුගිය වසර 12 තුල මට මුනගසුනෙ අත්තෙ අතක ඇගිලිවලට අඩු ප්රමානයකි.
    අප රට පැමිනි විෙඳශිය ස්වාමෙඑන් වහන්සෙලා සබැ පුහුනුව සඩහා කරන ලඳ උත්සහය පුඩුම උපඩවන සුලුයි.
    නිසිලෙස ඩර්ම මර්ගය පිලිපඳින ස්වමෙඑන් වහන්සෙ නමක ගෙ පහත ලක්ශන ඳෑකිමට හැකිය.
    01. තනිව වසයකිරිම්
    02. ගිහියන් සමග් අැසුර ඉතා අඩුයි (පින්ඩපතය වඩින්නෙ මෙනිසයි)
    03. ඩර්ම ෙඳසනා කිරෙඑම සහ පුඩ්ගලයන් නිවරඳි කිරිම ගෑන උනන්ඩු නොවෙ.

    නමුත් ඔබ ඩර්ම මර්ගය පුහුනුව ගැන අසුවොත් ඔබට උපකර කරයි.

    මෙහි සඩහන් කරුනු 100% ම් පුඩ්ගලයන්ට අඳාල නොවුවත් බොහො ඳුරට ඔබට උපකර වනු අති.
    සැයු:- මෙ ලක්ශන නොමැති සිල්වත් ගුනවත් ස්වාමෙඑන් වහන්සෙලා සිටිය හැකියි නමුත් නිවරඩි බොඳු පිලිවෙත සෙවෙඑමට මෙය

    ReplyDelete
  23. නමුත් නිවරඩි බොඳු පිලිවෙත සෙවෙඑමට මෙය උපකර කරගත හැක

    ReplyDelete
  24. හැමදාමත්ම වගේ
    වෙන මොනවා කියන්නද
    හොදයි, නියමයි, එල, සිරා
    කියන වචන ටික නොකියා.

    ReplyDelete
  25. අහ්, කාලෙකින් කතාව ලියලා නෙව..
    :)
    ඉස්සරහට යමු නේ??

    ReplyDelete