05 July 2010

ලොක්කා ගෙදර...

අවුරුදු දෙකක් තිස්සේ එක දිගට රස්සාව කරගෙන කේන්දරයක් එහෙමත් බලා කියාගෙන හිටියට හරි හමන් නිවාඩුවක් තිබුනේම නැහැනෙව..

මම කොරන සිකියුරිටි ජොබ අනුව දවසක් ඇර දවසක් අනිවාර්යෙන් වැඩ හින්දා දවසක් ඇර දවසක් නිවාඩුත් තිබුනා. ඒ හින්දා නිවාඩු ගැනිල්ලක් උවමනා උනේ නැහැ.

මෙ අවුරුදු දෙකටම මම දවස් දෙකයිද කොහේද අමතර නිවාඩු අරන් තිබුනේ.

මෙ කොයි කොයි කාරණාත් සලකා බලා මම දැම්මා දින දෙකක නිවාඩුවක් දින දෙකක් නිවාඩු දාපුවහම දින පහක් ලැඛෙනවා නෙව.
අතර මැද විවෙක දවස් ටිකත් එක්ක.
ඉතින් මම පළමු නිවාඩු දවස් දෙකේ කතරගම ගියා කියලා දන්නෝ දන්නවානේ...

තුන් වෙනිදා උදේ ගෙදර ඇවිත් වැඩ පල ටික කරලා දාලා..
හරියටම උදේ 11.01ට ගෙදරින් පිටත් උනා.
කන්න බොන්න නැවතුනු තැනුත් උඩ වළව ඩෑම් එක කෙළවර නවතන් හිටපු වෙලාවත්, ලුණුගම් වෙහෙර ජලාශය නරඔමින් සිටි කාලයත් ඇතුළුව පැය පහ හමාරකින් විතර කොල්ලා කතරගම.
නැවතුනු කාලය ඇරියහම පැය හතරක් වගේ කාලයක් ගිහින් තියෙන්නේ.

ඉතින් ගියාට මොකද හිතාගෙන හිටිය විදියට ගංගාරාමෙ නවාතැන් ගන්න බැරි උනා.

සෙනග වැඩියි..
ඉතින් මක්කා කරන්නද වෙනත් නවාතැන් පලක් එහෙම හොයාගෙන නාලා කරලා පාරට ඇවිත් කවදත් මට සුපුරුදු රුහුණු ඛෙකරියෙන් තේ එකක් එහෙම බීලා ගියා පූජා කඩ පැත්තේ...
ඒ ගෙහුන් පූජා වට්ටියකුත් පිළියෙළ කොරාන හය විතර වෙනකොට දේවාලේ ගාවට ගිහින් පූජා වට්ටිය එතන පරිස්සමට තියලා කිරි වෙහෙර වඳින්න ගියා.

මොන වැඳිළිද...?
එතන බදු අරන්..
ආසාවට චෛත්‍යය වටෙ පැදකුණු කොරන්න විදියක් නැහැ.
මගේ හිතේ කොළඹින් ගිය වැදගත් කස්ටියක් වෙන්න ඇති පුංචි පුංචි මඩු කෑලි චෛත්‍යය වටෙ තියලා, ඒ මදිවට චෛත්‍ය පිටුපස පැත්තේ සම්පූර්ණයෙන්ම අවහිර කරලා මොන මොනවද අටවලා එතැන එක තොවිලයයි.
පස්සේ ඉතින් මොනවා කොරන්නද අරන් ගියපු තෙල් මල් හදුන්කූරූ පුළුවන් හැටියට පූජා කොරලා ටික වෙලාවක් මළුවෙ පැත්තකට වෙලා චෛත්‍යය දිහා බලාන කල්පනා පාරක් එහෙම දාලා...ආපහු එන්ට හැරුනා.
වෙනදාට නම් මම මෙතනට ආවහම පැය තුන හතරක් ඉන්නවා.
මාත් එක්ක එන ගෝලයෝ උනත් ඒ බව දන්න නිසා මට කරදර නොවෙන විදියට ඔය අවට අහල පහළ ඉන්න දැරිවියකට ඇල්ම බැල්ම දමාන රස්තියාදුවක් ගහලා ආපහු මම යයි කියලා හිතෙන වෙලාවට එනවා.

මෙපාර නම් එතන ඉන්ට තරම් සුදුසු පරිසරයක් නැහැ.
හැම දේම මුදල් වලට යට වෙච්ච රටෙ කොයි දේත් ඔහොම තමයි.
හිත කළකිරවගන්න දෙයක් නැහැ.
මිනිස්සු නටන නාඩගම දිහා ටිකක් බලාන ඉඳලා ආපහු එනකොට අළුත් වැවෙ උන්නාන්සේත් ඛෙර දවුල් හඩ මැද්දේ වඩිනවා..පූජාවට..
මම ආපහු ආවා.දේවාලේ පැත්තට.

ඒ එනකොට පූජාවෙ මුල ආරම්භ වෙලා.
ඒ තෝත්තර අහවර වෙලා පූජා වට්ටි භාරගන්නා වෙලාව පටන් ගත්තේ රෑ අටට විතර...
මාත් ඉතින් ඒ වැඩ ටික කෙරෙන හැටි බල බල හිටියා..පූජා වට්ටිය අතට ගන්න ගියේ නැහැ.මට මොන හදිසියක්ද කියලා හිතාන...

පොච්චියේ අපේ මිනිස්සු දෙවියෝ බලන්න යන්නෙත් ෂෝට් කට් එකෙන් නෙව.
අර අහින්සක දුප්පත් මිනිස්සු අත් ගැලවෙනකල් වට්ටි උස්සාන පෝලිමෙ ඉන්නේ හවස පහේ විතර ඉඳලා.
පෝලිම අට විතර වෙනකොට මීටර් සීයයක් විතර දිගයි.

සල්ලිවලටම ගිය රට...

අර මිනිස්සු අමාරුවෙන් පොලිමෙ ඉද්දී අර නන්දා මාලනී ගයනවා වගේ ඒ උදවිය රන් වැට පැන වැන්දාය..දාහෙ කොළ වලට මුල් තැන ලැබුනාය තමා.

බලාන ඉදලා මටම හිනා..කාවද මෙ රවට්ටන්න හදන්නේ...

වැඩෙටම හරියන කපුවෝ ටිකයි ආවතේව කාරයොයි.

මිනිස්සුන්ට බැනලා ඇති වැඩක් නැහැ...
තම තමන්ගේ දැනීම නෙව...
ලොකු ලොකු පෙනුමින් යුතු උදවිය සෑහෙන පිරිසක් විටින් විට කපු උන්නැහේලාගේ උදවු උපකාර මැද ඇතුළට පැන ගත්තා. මාත් ඉතින් දේවාලේ ඉදිරිපස ගේට්ටුව ගාවට වෙලා ඔහේ බලාන හිටියා මෙ වැඩෙ දිහා.

පවු කපු උන්නැහේලා...

දෙනෝ දහක් බලා ඉද්දීම තම තමන්ගේ ආත්ම ගෞරවෙ හේදිලා යද්දීත් අර වගේ මිනිස්සු පිට පාරෙන් ඇතුළට ගන්නේත් කීයක් හරි වැඩිපුර හොයා ගන්නනේ...
උන්නැහේලාගේත් දරු පවුල් ඇති නෙව රකින්න. ඔය ගෙනියන කීයෙන් හරි තව මොනවා හරි දෙයක් පැටවුන්ගේ බඩවල් වලට එහෙම දානවා ඇති නෙව.

ප්‍රධාන කපු උන්නැහේගේ ඉදලා පහලට කපු මහත්තුරු හුගාක් වැඩ සටහන නියමෙට කරගෙන යනවා.

තම තමන්ගේ වැඩෙ කරගත්ත උදවිය ඊට තුටු පඩුරු එළි පිට දෙන්න හදනකොට හා හා මෙතන කට්ටිය ඉන්නවා යැයි කියමින් වෙන පැති වලට අරන් යන හැටිත් හරි අපූරුයි.

ඔය වැට පැන දෙයියෝ බලලා ආපු පිරිස අතර මොරීන් චාරුනී කියන නාටිකාංගනාවත් හිටියා. ප්‍රධාන කපු උන්නැහේත් ඒ ඇත්තීට උපරිම සහයක් දෙනවාත් මං බලාන හිටියා... පවු...

ළපටි රූපේ.. ඔය පෝළිංවල හිටියොත් තැළිලා පොඩි වෙලා චප්ප වෙලා යයි.

මටත් දුක හිතුනා.

මම මෙ වැඩ පිළිවෙල දිහා බලාන හිටපු හිටිල්ලට එතන හිටිය මෙ තැරැවුකාර කම් කල කපු සෙට් එකම මාත් එක්ක අහින්සකව හිනාවෙමින් තමයි වැඩෙ කලේ...
ඔන නම් ඉතින් මටත් ඒ පෝලිමෙම යන්න තිබුනා ටිකට් නැතිවම.
ඒත් ඉතින් මගේ හිත මට වටින හින්දා නවය හමාර වෙන කොට ගිහින් පූජා වට්ටියත් අරන් අර මුල්ම පෝලිමට එකතු උනා...
කොහොම හරි දහය විතර වෙනකොට පූජා වට්ටියත් දීලා මම ආපහු ආවා.

එන ගමන්රෑටත් කාලා ඇවිත් වැටිලා නිදාගත්තා.

පහුවදා පාන්දරම නැගිටලා ආප්ප කන්න යන්න හිතං හිටියත් ඒකනම් කරන්න බැරි උනා මට නින්ද ගිය හින්දා.

කොහොමින් කොහොම හරි උදේ අටට විතර ආපහු බඩු මුට්ටුත් බෑග් එකේ දමාන එන්න පටන් ගත්තා ආවෙ තිස්ස හරහා..
ඒ එන ගමන් කිරි කඩෙක නැවතිලා කිරි හට්ටියකුයි පැණි කාලකුයි කම්මුතු කොරන්නත් අමතක කලේ නැහැ ඔං.

ආවෙ අඩි සීයේ පාරෙන්.

චන්ද්‍රිකා වැව ගාව නැවතිලා ඉද්දී වැස්ස පටන් ගත්තා...

වැස්සෙම එන්න පටන් ගත්තේ වැස්ස නවතින පාටක් නැති නිසයි.

ඒකෙන් උනේ එන ගමන් ගොඩ වෙලා එන්න හිතාන ගිය තැන් දෙකතුනකට යන්න බැරි වෙච්ච එක
ඇයි අප්පා නාගෙන ගියහැකිද ගෙවල් ගානේ...
ඇඹිළිපිටියේ ඉඳලා පැල් මඩුල්ලට එනකල්ම වැස්ස...
ඒක වෙගයටත් සෑහෙන්න බලපෑවා..

කොහොම හරි රත්නපුරෙ පහු උනාහම හොඳට අවුව ඇගත් වෙළුනා...

අවිස්සාවෙල්ල හරියෙන් දවල්ටත් කාලා කෙළින්ම ගෙදර ආවා. හරියටම දෙකයි හතළිස් පහ වෙද්දී ලොක්කා ගෙදර...

නාලා කරලා නින්දක් දැම්මා...
හයට විතර නැගිටලා ගිහින් රෑට කන්න ගෙනාවා.
හොදට අඩියක් ගහලා ,කාලා, නිදා ගත්තා.
ඇහැරුනේ පාන්දර...
ටිකක් බ්ලොග් ටික බලලා ආයෙත් නිදා ගත්තා.
ඒ ගමන නැගිට්ටෙ අටට.

තේ එකක් කාරිය බීලා මැගී නූඩ්ල්ස් එකක් හදන් කාලා පටන් ගත්තා මෙක ආයෙත් බ්ලොග් බලන්න.ඊට පස්සේ මෙක ලිවුවා.

දැන් යන්න ඔන උයන්න මොනවා හරි ගේන්න.රෙදි කන්දක් හෝදන්නත් තියෙනවා.
තව මගේ නිවාඩුවෙන් දවස් තුනක් ඉතිරියිනේ...
සැපට ඉන්න තමා කල්පනාව..

24 comments:

  1. හප්පේ මාරය කතරගම දෙයියංගේ පිහිටෙන් ගිහිල්ල ඇවිල්ල තියෙන්නෙ. දාහෙ දෙදා‍හෙ කොළ වලටනං කපුවො විතරක් නෙමෙයි සිවුර දා ගත්ත අයත් නැමෙනව. මේක ලංකාවනෙ.
    කතරගමදි උදේම නැගිටල ආප්ප කන්න යන එකත් නියම ජොලි වැඩක් තමයි.
    අඩි 100 පාරෙ එනකොට උණු දිය උල්පත් බලන්න ගියේ නැද්ද.

    ReplyDelete
  2. කොහොම හරි පරිසමින් ගොහින් අවනේ එ ඇති..ඔන්....එහෙනම් දැන් සැපට නිදාගෙන ඉන්න්කො..තව දවසක් තියන්වනේ...

    ReplyDelete
  3. ආ...ලොක්කා ඇවිල්ලා...
    කළු දොදොල් ගෙනෑවැයි?

    ReplyDelete
  4. Praසන්ன...

    අපොයි අමුතුවෙන් උණු දිය උල්පත් බලන්න ඔනයෑ...
    දැන් මෙහෙත් තනිකරම උණූ දිය තමයි තියෙන්නේ...ගෝලීය උණුසුම නෙව.

    ගොඩකවෙලින් යනකොට මතක් උනා තමුන්නැහේව..
    ඒත් ඉතින් කොහේ කියලා හොයන්ටද..?

    ReplyDelete
  5. ඉලංදාරියා...

    දවසක් නෙවෙයි අදත් එක්කම තුනක්...
    සැප කියන්නේ සැපේ සැප...

    ReplyDelete
  6. උන්නැහේ...

    අපොයි...
    කළු දොදොල් ගැන නම් මතක් කොරන්ඩ එපා.
    මහර ස්වීට් හවුස් එකෙන් ලොරි පිටින් ගිහින් එහෙ බාන ඒවා අපි මොකටෙයි ආයේ කරෙ එල්ලන් එන්නේ...

    ReplyDelete
  7. හ්ම්ම්ම්....
    අතරමං උනේ එහෙම නෑනේ..??ඒ මදැයි නේද???

    ReplyDelete
  8. අයියෝ, කලින් ඔහොම මතක්වෙයි කියල කිවුවනං ඉන්න තැන හරියටම කියනව. මොකද තැබෑරුමක් ඉස්සරහම තමයි ඉන්න තැන තියෙන්නෙ.

    ReplyDelete
  9. පරෙස්සමින් ගිහින් ඇවිත් නෙ. ඒකම මදෑ...
    ඕව ඔහොම තමයි ලොකුකම කියන්නෙ පිලිවෙල හරි නීතියෙ හරි කඩන එක කියල මිනිස්සු හිතනකන් ම ඕක පි‍ටුදකින්න බෑ.. අය්ය ඉතින් ඕවට හිත කලකිරවගන්නෙ නෑ නෙ.. උපේක්ෂාවෙන් බලනව මිසක්.. හැබැයි ඕක බලන් ඉන්න එක හරි ශෝක්.. මමත් ඕක කරල තියෙනව අනිත් අය ගිහින් පූජ වට්ටි තියල එන තුරු...

    ReplyDelete
  10. ඕවා ගන්නන් ගන්න එපා මේක ඉතින් බුවාලන්තයනේ.......ඉක්මනට රහත් වෙන්න ඉස්සරහින්ම වාඩිවෙලා බණ අහලා දෙවදත්ත ගල්පෙරලුවා කීවත් සාධුකාර දෙන එකේ....කොහොමටත් ඇඳන් ඉන්න එකේ කීයක් හරි වැඩියෙන් දීලා අන්ඳවා ගතාම මක්වෙනවැයි.....

    ReplyDelete
  11. හප්පේ අයියා මාරයි නේ.........අහ් කොහොමටත් මාරයිනේ අමතක උනා........ ;)

    ඉතින් ඔය වල් පල් ලිව්වේ අයියට ගිය ගමනෙන් හිතට සහනයක් දැනෙන වැඩක් වෙලා නෑ කියලයි මට දැනුනේ........

    අනේ මංද මට ඉතින් හිතුනදේ තමා ඔය.........

    අයිය පරිස්සමට ගිහින් ආවනම් මදෑ........
    ඇයි කිරි පැණි වලට වග කියල නවතුනත් මදැයි....... :D :D :D :D

    ReplyDelete
  12. ගිය ගමනත්, ආපු ගමනත් ඇරුණු කොට, කතරගම කියන ගමට ඔබ ගියේ ඇයි දැයි මට නං නොතේරේ...!!!

    ReplyDelete
  13. මාර අයියේ ඔය කතරගම දේවාලෙට පූජ වට්ටි දෙන වැඩේ නම් මම කැමතිම නැහ. ඒක නිකන් පෝලිමේ ගිහින් සල්ලි දෙනවා වගේ වැඩක්. තේරුමක් නැහ. හිතේ බක්තිය තමා වැදගත් මම නම් හිතන්නේ.

    මොනරු දැක්කම වැඩියෙන් යාතිකා කරන්නේ ඉක්මනට ඇතුලට ගන්නෙ... ඔක්කොම සල්ලි වලට යටයි.

    කතරගම නම් දැන් තනිකර බිස්නස් තැනක්.

    ඒක නෙමෙයි.. අඩි සීයෙ පාර ගාව නීල දෑසක් එහෙම දැක්කෙ නෑ හික් හික්

    ReplyDelete
  14. nimanthi...

    අපොයි නැහැ..
    පලිස්සමට ආවා..

    ReplyDelete
  15. Praසන්ன...

    ඒකනේ..නියම තැනක නෙව පිහිටීම. හොයා ගන්නත් හරි ලේසියි.
    ම්ම්ම්..ගොඩකවෙල බාර් එකක් යන්තම් මීටර් උනා වගේ මතකයි..

    ReplyDelete
  16. චේජනා ...

    බලාන ඉන්න එකනම් නියම වැඩක් තමා...
    ඒත් දුකයි අර පෝලිමෙ ඉන්න මිනිස්සු ගැන...
    ඊටත් වඩා දුකයි මෙ උදවිය තමන්ටම කරගන්න හානිය ගැන...

    ReplyDelete
  17. Shadow/හේමලයා ...

    සහතික ඇත්ත...

    ReplyDelete
  18. හා පැටික්කී...

    හිතට අමුතුවෙන් සහනයක් උවමනා නිසා ගියා නෙවෙයිනේ පැටික්කියේ...
    මට යන්න හිතුනා. මම ගියා.
    කොහොමත් මම පොඩිකාලේ ඉඳන් යන්න ආසා තැනක් කතරගම කියන්නේ...
    අයේ අමුතුවෙන් දෙයක් වෙනුවෙන් යනවා නෙවී...

    ReplyDelete
  19. කතන්දර...

    ආයේ අමුතුවෙන් අරමුණක් ඇතිව ගියා නෙවෙයි.
    අපේ තාත්තා හරිම ආසා තැනක් කතරගම කියන්නේ.
    ඒ හින්දම මාත් කැමතියි ඒ පරිසරයට. දේවාලයට ගියාට, පූජා වට්ටියක් තිබ්බට මම දෙවියන්ගෙන් කිසිම දෙයක් ඉල්ලුවෙ නැහැ.
    මගේ හිතට සැනසීමක් ලැඛෙන්නේ ඒ පරිසරයට ගියහම දැනෙන දේටයි.
    ඒක වචනයෙන් විස්තර කරන්න බැහැ. සාමාන්‍ය විදියට බැළුවොත් නම් ඒකත් ලංකාවෙ එක ගමක් විතරයි තමයි.
    ඒත් ඒ මම යන්න කැමති ගමක්.

    ඔය උත්තරෙ මදි වගේ නම් මෙහෙම හිතාගන්නකෝ..
    මම පිස්සෙක්, ඒ පිස්සා විසින් කල තවත් එක පිස්සු වැඩක් තමයි ඔය කියලා.
    අපි කරන කියන හැම දේටම තේරුමක් තියෙන්නම ඔනද..? කාකා

    ReplyDelete
  20. පිස්සා පලාමල්ල...

    අම්මපා නීල දෑස මග ඇරුනවත්ද..?

    අඩි සීයේ පාර ගාව කෙසේ වෙතත් ඇහැළියගොඩ හරියේ නම් ලස්සන ලස්සන ගෑණූ දැරිවියෝ එමටයි.
    මම ලංකාවෙ හැම තැනම ගිහින් නැහැ.
    ඒත් ගිය තැන්වලින් මම ලස්සන ගෑනු ළමයි වැඩියෙන්ම දැකලා තියෙන්නේ ඇහැළියගොඩ තමයි.
    (අනිත් පළාත්වල ගෑනු ළමයි මගේ ඔළුව කයිද දන්නේ නැහැ...)

    ReplyDelete
  21. ඔහ් .........මාරයා අපේ ගේ ගාවිනුත් ගිහින්නේ...අපොයි හොද වෙලාවට මුණ නොගැහුනේ...හී..හී...ඔයාට වහින්න තිබ්බේ ඇඹිලිපිටියෙදී..එහෙනම් මාරයා තෙමි තෙමි යන හැටි අපටත් බලන්න තිබුනා නෙව....

    ReplyDelete
  22. අහ්, කතරගම ගමන ගැනත් කියෙව්වා ඕං..
    :)

    ReplyDelete
  23. Sri...

    මෙ ඔක්කොම බලන් ඉන්නෙ වරදිනතුරු අපිට..
    හුම් හුම් මක් කොරන්ඩද..?

    ReplyDelete
  24. Ansh Lucky Sri Jay...

    මම නං අතරමං නොවී ආවා.
    නගා කියවන්න ගිහින් අතරමං උනේ නැහැ නෙව..?

    ReplyDelete