12 July 2010

පන්සල් ජීවිතේ... සාකච්ඡා..සාකච්ඡා...

පැමිණෙන සියළුම දෙනා ආවාසය පැත්තට නේති.
කෙළින්ම ආවාසය දෙස නොබලා සිටීමට ඔවුන් කතා කරගෙන ආවා මෙනි. කෙසේ නමුත් පැය භාගයක් පමණ කාලය ගත වන විට එකා දෙන්නා පැමිණි පිරිස විසිපහකට තිහකට ආසන්න විය. අවශ්‍ය කරන විශේෂ යැයි පෙණුනු කීප දෙනෙක්ගේ පැමීණීමෙන් පසු පිරිස බණ මඩුවෙ ඈත කෙළවරෙහි දහම් පාසල් බංකු පිළිවෙලකට තබා රැස්වීමක් පවත්වන්නට සූදානම් වන බව දකිනට ලැබිණි.

මෙයට පෙරද මා පැමිණි පසු පන්සලේ මෙවැනි රැස්වීම් දෙකක් පමණ පැවති අතර ඒවා උපාසක සමිතියේ සිල් ඇත්තන් මූලික කරගත් ඒවා වූ අතර, එම රැස්වීම් වලට ප්‍රථමව අනිවාර්යයෙන්ම පන්සලේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ හට ඇරයුම් කිරීමක් විණි.

නමුත් අද එවැන්නක් කෙරෙන පාටක් දකින්නට නැත.

මාත් චන්දවිමල හිමියනුත් සිදුවන්නේ කුමක්දැයි අවදානයෙන් බලා සිටියෙමු.

සියළු දෙනා එක්ව පැයක පමණ වෙලාවක් යම් කතිකාවක යෙදෙණු දක්නට ලැබිණි. බණ මඩුවෙ ආවාසයට දුරින්ම වූ කෙළවරෙහි රැස්වීම පැවති නිසා එහි වන දෑ අපහට හරියාකාරව තේරුණේ නැත. යම් කිසි ඛෙදීමක් සහිතව කතිකාව ඇදී යන බව නම් වරින් වර නැගුණු උස් හඩවල් වලින් පැහැදිලි විය. සිදුවන දේ කුමක්දැයි හරියටම නොදත්තද එය පන්සලට අඳාළ දෙයක් වන බවත් මෙම රැස්වීම අවසානයේ මෙතෙක් කලක් පන්සලේ අප රැදී උන් කාලය අවසන් වීමට හැකි බවත් අප දෙදෙනාම දැන සිටියෙමු. නමුත් එය අප හට එතරම් ගැටළුවක් නොවුණෙු මෙ වන විටත් එවැනි අවස්ථාවක් පැමිණියහොත් අප දෙදෙනාම සුමෙධ හිමියන් වැඩ සිටින බුලත්සිංහල වත්තේ කුඩා පන්සලට යෑමට සූදානම්ව සිටි නිසාය. ඇත්තෙන්ම එය ඉතා මනරම් ස්ථානයක් විණි. මෙයට ප්‍රථමව එක් දිනක් මාත් නාරද හිමියන් සහ චන්දවිමල හිමියන් එහි දිනක් ගොස් පැමිණ සිටි නිසා එම ස්ථානයේ වූ නිස්කලංක බව මසිතට තදින් දැනී තිබුණි.

ප්‍රධාන පාරෙන් බොහෝ ඈත රබර් වතු යායක් මැද පිහිටි එම ස්ථානය, යෑමෙ ඒමෙ අපහසුව විනා අන් සෑම අතින්ම වාසයට ඉතා සුදුසු ස්ථානයක් විය. කුඩා කාමර දෙකකින් යුතු ආවාසය හා වත්තේ පිහිටි සිංහල සහ දෙමළ වැසියන් මුසු වූ කුඩා ගම්මානයත් එහි විසූ ගැමියන්ගේ අව්‍යාජ ගති පැවතුම් හා භක්තියත් සිත් ගන්නා සුළු විය.

එවැනි පූර්ව සූදානමකින් සිටි අපට වෙන්නේ කුමක් වූවත් එහි මහා අමුත්තක් නොවන බැවින්, වෙන ඔනෑම දෙයකට සූදානමින් බලා සිටියෙමු.

පැයකට පමණ පසුව කිහිප දෙනෙකු ආවාසය පැත්තට පැමිණ චන්දවිමල හිමියන් හටද රැස්වීමට සහභාගී වන මෙන් දන්වා සිටි අතර ඒ අනුව මාද හිමියන් පසුපස රැස්වීම තිඛෙන ස්ථානයට ගියෙමු.

ඇත්තෙන්ම එහි අපහට කරන්නට යමක් ඉතිරිව නොතිබුණි. මෙතුවක් කල් පන්සලේ දායකත්වය කරට ගෙන සිටි දයාසේන හා රූපරත්න අයියලාගේ බල බිඳී තිබිණි. පන්සල නිතර නේන මුත් පන්සල වටා යන ගමන් පන්සල දෙස විපරම් බැල්මෙන් බලමින් ගිය කීප දෙනෙකු රැස්වීමෙ සියළු පාලනය ඔවුන් අතට ගෙන තිබුණි.

ඔවුනට උවමනා වූවෙ චන්දවිමල හාමුදුරුවන් පන්සලේ පාලනය බාරගන්නේදැයි දැන ගැනීම පමණි. මන්ද පන්සලේ වැඩ සිටි නියම උරුමක්කාරකමක් තිබූ ආනන්ද හිමියන් විදේශගත වූවායින් පසු පන්සල බාරදී ගිය නාරද හිමියන්ද එය චන්දවිමල හිමියන් හට බාරදී පිටව ගොස් සිටි නිසා චන්දවිමල හිමියන් හටද යම් තරමක රැදී සිටීමෙ අයිතියක් විය. එය දැළි පිහියෙන් කිරිකනවා වැනි වගකීමකි. එක් අතකින් පන්සල භාරගෙන රැදී සිටින්නේ නම් දායකයින්ගේ සියළු කටයුතු නිසි පරිදි ඉටු කරදීම අනිවාර්යයෙන්ම කළ යුතු අතර, ඒ සඳහා අවට පන්සල්වල සහයෝගය අනිවාර්යයෙන්ම ලබාගත යුතුව තිබුණි.

පන්සල මෙ වන විට තිබූ තත්වය නිසා අවට පන්සල් වලද මෙ වන විට තිබුණේ මෙම පන්සලේ දායකයින් තම පන්සල් වලට කඩා ගැනීමෙ සීතල මෙහෙයුමක් පමණක් වූ අතර එය පිටින් නොපෙන්වා සිටීමට එම පන්සල්වල නායක හිමිවරුන් සැලකිළිමත් විය.

විශේෂයෙන්ම මෙ වන විටත් පන්සලේ නියම දායක ප්‍රදේශයෙන් තුනෙන් එකක් පමණ පන්සලට උතුරු පසින් තිබූ පන්සලක පාලනයට නතු වී තිබුණි. එම පන්සල මෙයට වසර තිහකට පමණ පෙර ආරම්භ කරනු ලැබූ එකක් වූ අතර හරි හමන් දායක ගම්මානය එයට නොවීය. එම පන්සල පිහිටි ස්ථානයෙහි පෙර විසූ අයිතිකරුවකු තම ගමට අඳාළ පන්සලේ හිමියන් සමග වූ ආරවුලක් මත සිය ඉඩමක් හා ගෙයක් වෙනත් පන්සලක නායක හිමිනමකට පූජා කර ගොඩනැගූ පන්සලක් වූ හෙයින් එම පන්සල අවට සියළුම පන්සල් වලට අයත් දායකයින් ටිකෙන් ටික කඩගෙන තම පන්සලට දාය ප්‍රදේශයක් ගොඩ නංවාගෙන තිබුණි.

අප පන්සලේ තිබූ පිරිහීම හේතු කොටගෙන එම තත්වයෙන් උපරිම පල ප්‍රයෝජන ලබා උන්නේ එම පන්සලේ හිමිවරුන්ය. එබැවින් චන්දවිමල හිමියන් පන්සල භාරගත්තද ඔවුන්ගේ පදයට නටමින් සිටිනවා ඇර මෙම පන්සල දියුණු කිරීම ලෙහෙසි කටයුත්තක් නොවීය. පන්සලේ කෙසෙල් වවා තිබූ අසල නගරයේ පන්සලේ හිමියන් මෙ වන විට මෙහි පාලනයට නියම සුදුස්සා වූ නමුත් උන්වහන්සේද මෙය දියුණු කිරීමෙ උනන්දුවක් ඇති අයකු නොවිණි.
මෙනයින් බලන කල අවට පන්සල් වල උදවු උපකාර නැතිව පන්සල බාර ගැනීම යනු මහා හිසරදයකි.

පිරිතකට, දානයකට, පාංශ=කූලයකට හාමුදුරුවරු හත් අට නමක් ගෙන්වා ගැනීම වැනි කටයුත්තකදී හතර වටෙට වැඳ වැටිය යුතුය. මෙ තත්වය යම් තරමකින් හෝ වෙනස් වීමට නම් පන්සල ප්‍රබල තත්වයකින් පැවතිය යුතුය. කල එළියට තිඛෙන, එසේම ආදායම් ඇති පන්සල් වලට, මෙන්ම බණට පිරිතට දක්ෂ හිමිනමක් වෙසෙන පන්සලකට නම් අනිකුත් පන්සල් වලත් අවදානය නිතර ලැඛෙන්නේය.එසේම පන්සලක හිමිවරුන් හත් අට නමක් වෙසෙන්නේ නම් එම පන්සලටද අවට පන්සල් වල උපකාර නිතර ලබා ගත හැකිය. එයට හේතුව ඔවුන්ගේ දාන මාන පිංකම් වලටද පෙරළා උපකාර ගැනීමට හැකිවන නිසාය.

දැනට තිඛෙන තත්වය මත නම් පන්සලේ පාලනය දැරීම චන්දවිමල හිමියන්ට කල හැක්කක් නොවීය. පන්සිල් දීමටත්, දානය ගෙන ආ විට පින්වාක්‍යය කිවීමත් හැරුණු කල බණක්, බොධිපූජාවක් පැවැත්වීම උන්වහන්සේට කළ නොහැකි දේවල් විය. ඉතා කුලෑටි හිමි නමක් වූ චන්දවිමල හිමියන් එවැනි දෙයින් නිතර මග හිරිමින් සිටි අයෙකු විය. මෙ තත්වය අනුව උන්වහන්සේ පන්සල බාර නොගන්නා බව පිරිසට අමුතුවෙන් කිව යුතුව නොතිබුණා වූවද උන්වහන්සේගේ කටින්ම බැහැ යන වචනය ගැනීමට ඔවුන් සැදී පැහැදී සිටියෝය.

අවසානයේ ඔවුන් පැතූ පිළිතුර චන්ද විමල හිමියන්ගෙන් ඔවුනට ලැබිණි.

ඒහාම රැස්වීම නැවතත් ක්‍රියාශීලී විය. චන්දවිමල හිමියන් පිළිබඳව අවධානය ඉවත දැමූ ඔවුන් කළින් කතා කරගෙන සිටි සැලසුමක් ක්‍රියාවෙ යොදවන්ට විය.

ඇත්තෙන්ම රැස්වීම පැවැත්වීමට පෙර ගමෙ කීපදෙනෙක්ගේ රහස් සැලසුමක් තිබී ඇත. ඒ බව පසුකාලීනව හෙළි වූ අතර එයට මුල් වී සිටි කිහිප දෙනා අසල නගරයේ පන්සලේ වැඩ විසූ හිමියන් සමග අමනාපව සිටි අය වූහ. ඒවාට හේතුව වී තිබුණේ පන්සල් ඉඩම් විය. පන්සලේ ඉඩම් ටික අල්ලාගෙන චගා කර ගැනීමට මාන බලමින් උන් කීපදෙනෙකු එම හිමියන් පන්සල් ඉඩම් වගා කිරීම පිළිබඳව කේන්තියෙන් සිටි අතර, පන්සල් ඉඩම් තම සතු කරගැනීමෙ ප්‍රධාන අරමුණ ඇතිවම මෙයට සම්බන්ධවූ කිහිප දෙනෙක් ඉතා වෙගවත්ව ක්‍රියාකරනු දක්නට ලැබුණි.

ඔවුන් කිහිප දෙනා වරින් වර කාල වලදී පන්සල කිට්ටු වී සිට නොයෙකුත් හේතූන් මත අමනාපව සිටි අය වූ අතර පන්සලේ අරාජික තත්වය ඔවුනට මහගු අවස්ථාවක් විණි. එම පිරිස අතරින් එකකු කොළඹ පන්සලේ වැඩ සිටි හිමියන් හමු වී යම් සැලසුමක් සාදාගෙන විත් තිබිණි. මෙතැන් පටන් සිදු වූයේ එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමයි.

ඒ අනුව පන්සලේ භාරකාරත්වය කොළඹ පන්සලේ සිටි හිමියන්හට පවරා දීමටත් උන්වහන්සේ කැමති විදියකට ඉදිරි කටයුතු කරගෙන යාමටත් පිරිස සැලසුම් කරගත් අතර එයින් දින දෙකකට පසු කොළඹ හිමියන් මෙහි වඩිනු ඇති බවත් එදිනට නැවත රැස්වී සාකච්ඡා කළයුතු බවත් කතිකා කොටගෙන රැස්වීම හමාර කරනු ලැබූ අතර, අප දෙනොද ආවාසයට පැමිණියෙමු.

රැස්වීම අවසන දයාසේන අයියාත් රූපරත්න අයියාත් පැමිණ අප හා ටික වෙලාවක් කතා කරමින් ඉඳ පිටත්ව යන ලදි. වෙන්නේ කුමක්දැයි බලා ඉඳිනවා ඇර වෙනත් කල යුතු යමක් නොවීය. කොළඹ හිමියන් පැමිණි පසු පන්සලේ යතුරු ඒ හිමියන්ට බාර දී අප දෙදෙනා පිටව යාමට සූදානම් වීමු.

දින දෙකකට පසුව සවස් යාමයක කොළඹ පන්සලේ වැඩ සිටි හිමියන් කාරයකින් පන්සලට වැඩම කරන ලදි...

...................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

23 comments:

  1. පන්සලක් බරගන්නවා කියන්නේ ඉතින් ....මහමෙරුවේ ඔලුව ගහගන්නවා වගේ වැඩක් තමා....

    ඊට පසේ කාටද පන්සල බාරදෙන්නේ....ඔබව මහන් කරලා බාර දෙනවද..?

    ඉතිරිය බලා පොරොතුවෙන් ඉන්නවා

    ReplyDelete
  2. අපොයි තව කොච්චර තියෙනවාද කියන්න ඉතිරි වෙලා.
    මටත් දැන් හිතෙන හැටියට මෙ කතාව කියලා ඉවර වෙනකොට තව අවුරුදු දහයක්වත් යයිද මන්දා..?

    ReplyDelete
  3. සහෝ.. ඉදිරියටම යමු.. කල් ගියාට කමක් නෑ, හෙමින් හොඳට ලියමු. ඕක පොතක් කරමු, එහෙම හිතාගෙන ලියන්න.

    ReplyDelete
  4. වැම්පයර්...

    ස්තූතියි. මෙ ලියන විදිය පොතකට ගන්නනම් අමුතුවෙන්ම ආයෙත් ලියන්න වෙනවා. අපොයි මගෙ පණ යයි.

    ReplyDelete
  5. හෙමින් හෙමින් උනත් කමක් නෑ අතරමග නවත්තන්නෙ නැතිව ඉදිරියට යං. මේක පොතක් කරන්නනම් අමුතුවෙන් ලියන්න ඕන නෑ. ඔය ලියල තියෙන ක්රමේ හොඳටම හොඳයි.

    ReplyDelete
  6. ඔව් ලස්සනට ලියල තියෙනවනෙ , මමත් හිතන්නෙ පොතක් ලිව්වනම් හරි කියල.

    ReplyDelete
  7. පොත් කියල දාන ගොඩක් පොත් වලට වඩා මේක හොඳ පොතක් වෙයි සහෝ...ඔහොම යං...

    ReplyDelete
  8. ඇති යාන්තං ඉතිරි රුපියල් 6 ට හරියන්න ඔය තියෙන්නෙ !

    ReplyDelete
  9. කතාව දැං හෙන සිරියස් පොයින්ට් එකකට එන්න වගේ හදන්නේ, බලමු!

    ලිවීම ගැන විශේෂෙං යමක් කියන්න ඕන; දැං නියමම නියම පොට් එකේදි හරියටම කතාවට කොමාව දානවා, නිකං ටෙලි නලු ඩිරෙට්ටාර් කෙනෙක් වගේ. සහ කතාව දැං දිග වැඩිත් නෑ අඩුත් නෑ, ගානට!

    දැන් කට ඇරලා කියන්න පුලුවං කතාවෙ එපිසෝඩ්ස් "මැක්සා!" කියලා!

    ReplyDelete
  10. අතහැරුනු කතා කීපයක් ම තියෙනවා බන් . . මේ සති අන්තේ වත් කියවන්න ඕන අන්තර්ජාලයේ මගේ ප්‍රියතම කතා මාලව . ..

    ReplyDelete
  11. Praසන්ன...

    අනේ මන්දා..
    පොතක් ලියනවා කියන්නේ වෙනමම ශිල්පයක් කියලයි මටනං හිතෙන්නේ...

    ReplyDelete
  12. isimbuwa...

    මොනවා කොරන්ඩත් කළිං මෙ පටන් ගත්ත එක ඉවර කොරගන්ඩ බලන්න එපැයි.

    ReplyDelete
  13. ඉන්දික උපශාන්ත...

    වචන කිහිපය මාර ගැම්මක් හිතට ගේනවා.

    ReplyDelete
  14. budhajeewa...

    ඔබ කියන දේ නිවැරදියි කියලා මාත් හිතනවා.
    නවතන තැන පිළිබඳව මම කලිං හිතුවෙම නැහැ. බැළුවෙ පුළුවන් තරං කියලා ඉවර කරන එක තමයි.
    ඒත් මලයා කියනවා වගේ ලිපියෙන් ලිපියට කතාව අවසන් කරන ස්ථානය ගැනත් මම දැන් චුට්ටක් විතර හිතනවා.ස්තූතියි.

    ReplyDelete
  15. දුකා...

    කොළර් එක උස්ස ගන්න කියලා බලන හැම වෙලේම කොලර් එකක් තියා කමිසයක්වත් ඇගේ නැතුවනේ ඉන්නේ..චික් විතරක් මගේත් කරුමෙ..

    ස්තූතියි දුකා සහෝදරයා දෙන සහයෝගයට...

    ReplyDelete
  16. ඔහොම යන්. ඔහොම යන්.
    ආ... මේ මන් කියන්නම උන්නේ. ඔය පන්සල් කතා කියන ගමන් ජුංඅල කතාවකුත් කියමු.

    ReplyDelete
  17. හප්පේ, මම ජංජාලේ නොහිටිය ටිකට කතාව දාලා නෙව.

    ඔන්න කියෙව්වා.

    ReplyDelete
  18. අනුරාධ...

    මාත් මෙ හිත හිත ඉන්නේ..
    ඒත් ඉතිං මටමෙවා කොටා ගන්න තියෙන කමිමැලිකම නෙව පරහ..

    ReplyDelete
  19. Ansh Lucky Sri Jay...

    අන්න මාත් බූරු කුට්ටම කැපුවා.

    ReplyDelete
  20. නරකද එහෙනම් පෞද්ගලික ලේකම්වරියක් ගත්තනම්.

    ReplyDelete
  21. අනුරාධ...

    අපොයි අර තපස් රකින්න ගිය එකා මීයන්ගෙන් ඛෙරෙන්න පූසෙක් හැදුවා වගේ තියෙයි.

    ReplyDelete