21 July 2010

පන්සලේ ජීවිතේ...වෙළං බාස් සහ මහ සරත්...

බදාදා දිනයට එළඹිණි.

උදෑසන කාලය සාමාන්‍ය පරිදි විය. දානය ලැබුණි. අප දෙදෙනාද පාඩුවෙ බලා සිටියෙමු.
බලා සිටිනවා ඇරෙන්නට අමුතුවෙන් කරන්නට කියා රාජකාරියක් අප වෙත නොවීය. මට සිතෙනා සැටියට ජීවිත කාලය පුරාවටම මා සරලව හා සැහැල්ලූවෙන් යුතුව දිවි ගෙවූ දින කීපය එය බව මාගේ හැගීමයි. කිසිම බරක්පතලක් නැතිව..අනාගතය පිළිබඳව අමුතු පැතුම් නොමැතිව.. අතීතය පිළිබඳව සැහැල්ලූවෙන් බැලීමට පුරුදුව සිටි ඒ කාලය..
කරන්නට තිබූ එකම කාරිය නම් වර්ථමානයේ ජීවත් වීම පමණි. එය එතරම් අපහසු නෙවීය..

වැඩ කටයුතු සියල්ල ඇරඹියේ සවස දෙක පමණ වන විටය. ආරම්භය උපාසක අම්මලා කිහිප දෙනෙක්ගෙන් සනිටුහන් විණි. කඩිමුඩියේ පන්සල පැමිණි ඔවුන් ඉදල් කීපයක් රැගෙන හිටු කියා පන්සල් මිදුල අතුපතු ගාන්නට විය.
උදෑසන මා විසින් අතුගා තිබියද..ඔවුන් මහා උනන්දුවකින් යුතුව අතු ගෑවෙ වසර ගණනකින් අතු නොගා තිබූ බිමක් අතුගාන්නාක් මෙන් මහා වගකීමක් දරාගෙනැයි එදෙස බලා සිටි මා හට හැගුණි.

මද වෙලාවකින් තවත් පිරිස පැමිණෙන්නට විය. පෙරමුණේ රාළ වී තිබුණේ වරින් වර කාල වලදී පන්සලට සමීපව සිට සුළු සුළු හිත් අමනාපකම් සාදා ගෙන ඒවා මහ මෙරක් තරම් හිතට ගෙන සිටි අයෙකි. ඔහු මහ සරත් නම් විය..

සරත්ලා කිහිප දෙනෙක් සිටි ගමෙ ඔහු මහ සරත් වූයේ සියළු සරත්ලා අතර අගතැන්පත් නිසා නම් නොවිණි.

මා මීට පෙර සඳහන් කල අයුරින් ගමෙ සිටි පිරිස අතරින් හතරෙන් එකකට ආසන්න වූ අඩු කුලයන්වලට අයිති වූ ජනතාවක් ගමෙ එක් ගොඩැල්ලක විසීය.. එම ගොඩැල්ලේ නායකත්වය ගත් පැරණි පරම්පරාවට අයත් මෙසන් බාසුන්නැහැ කෙනෙක් විය.. වෙළං බාස් නම් වූ ඔහු තරමක් දරදඩු අයෙක් වූ අතර..තම රැහැට නිරන්තර නායකත්වය සැපයූ ප්‍රධානියා විය..
කුළවතුන් යැයි සම්මත ජනයා අතර වූවද කිසිදු පැකළීමකින් තොරව එක්ව කටයුතු කළ ඔහුට සමාජයේ අන් අයගෙන්ද යම් තරමක ගරු සැලකිලි අත්වූයේ ඔහු තුළ තිබූ අව්‍යාජ ගති ගුණ සහ සෘජූ ප්‍රතිපත්ති නිසාය.

කිසි විට කිසිවකුට හිස පාත් නොකල ඔහු සාධාරණ හේතු මත ඔනෑම කෙනෙකුගේ මතයට ගරු කරන ලදි. මෙනිසාම ඔහුගේ කුළය නිසා නොව ක්‍රියාපටිපාටිය නිසාම යම් ගරුත්වයක් සහිතව ජීවත් වීමට ඔහුට හැකිවිය.
ඒ සඳහා බලපෑ තවත් කරුණක් වූයේ ඔහු සතු වත්කම්ය.

ඉතා දිළිඳු පසුබිමක ජීවිතය ආරම්භ කර තිබූ වෙළං බාසුන්නැහේ..මෙ වන විට ඉතා විශාල ඉඩකඩම් ප්‍රමාණයක හිමිකරුවකු විය. හරියටම එම ඉඩම් ප්‍රමාණය කොතෙක් දැයි කිව නොහැකි මුත් වරක් ඔහු මාහට කියා සිටි පරිදිම

"ගමෙ මහ ලොකු චංසක්කාරයින්ට වඩා මට ඉඩං තියෙනවා හාමුදුරුවනේ"

යැයි කියූ කථාව බොරුවක් නොවන බව මා දන්නේ මා දන්න තරමින්ම ගමෙ හා පිටත ඔහුට අක්කර දහයක පහළොවක ඉඩම් තිබූ නිසාත් මා නොදන්නා ඉඩං ඊටත් වඩා ඇති බව ගම්මුන් මා හට කියා ඇති නිසාත්ය. මෙම ඉඩම් ඔහුගේ සවිශක්තියෙන් මෙන්ම යම් අවස්ථාවල අයථා ක්‍රම මගින්ද උපයාගත් ඒවා විය.

සෑම කළුවළාවකම රිදී ඉරක් ඇත්තා සේම..
සෑම සුදු වළාවකම කළු ඉරි ඇද්දයි මම නොදනිමි.
නමුත් මෙම වළාවෙ නම් කළු ඉරි තිබුණි...ඒ මෙම අසීමිත ඉඩම් තණ්හාවයි.

ඔහු වෙසෙන ගම් ගොඩැල්ල මායිමේ පන්සල් ඉඩම නම් වූ අක්කර කාලක් පමණ වූ ඉඩම් කැබැල්ලක් වූ අතර..එය මෙයට පෙර කලකදී ගමෙ පන්සලේ හාමුදුරුවන් වූ දැනට විදේශගතව සිටි ලොකු හාමුදුරුවන් සමග ගම් වැසියන් අමනාප වූ වෙලාවෙ පිටතින් පැමිණ ලොකු හාමුදුරුවන්ගේ සිසුවකු මෙන් පන්සලේ රැදී සිටි තරුණ හිමිනමක්ද හවුල් කරගෙන ගම්වැසියන් විසින් ගැසූ කැරැල්ලක් නිසා ඔවුන් විසින් තාවකාලිකව ගොඩනැගිල්ලක් තනා පන්සලක් තැනූ ස්ථානයක් විය. ඒ සඳහා ඉඩම පරිත්‍යාග කර තිබුණේ අවට ගම්වැසියෙකි. ඒ දුන්නාට පසු එම ඉඩම දෙස ආපසු හැරී බැළුවෙවත් ඔහු නොවෙ...

නමුත් මෙම ඉඩමට වෙළං බාසුන්නැහේගේ ඇස නිතැතින්ම රෑදී තිබිණි.

පසු කාලීනව දුරාචාරය නිසාම එම තරුණ හිමියන්ද පන්සලට ලැබුණු එම ඉඩම් කැබැල්ල තවත් පිටත හිමිනමකට විකුණා හොර රහසේම එතැනින් පිටත්ව ගොස් තිබුණි.එම හිමිනම පිළිබඳවද කියන්නට කථා රාශියක් ඇතත් මෙ ඊට වෙලාව නොවෙ..අද වන විට නම් එම හිමියන් හසලක පෙදෙසේ විශාල පන්සලක් හා සමාජ බලයක් ගොඩනංවාගෙන ඇති අතර දේශපාලන කටයුතු සඳහා බොහෝ සෙයින් සම්බන්ධ වූ අයෙකි.

වරක් ගංගොඩවිල සෝම හිමියන් හා ගැටුණු අෂ්රොෆ් ඇමතිවරයාට සෝම හිමයන්ට විරුද්ධව වාද කිරීමට ධර්ම කරුණු සැපයූ පුද්ගලයා වූයේද මෙම හිමිනමයි.. එම කථාව මෙ වන විට සමාජයේ බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇතිවාට සැක නැත. ඒත් මතකයේ රැදී ඇති අයද තාම නැති වන්නට නොහැක.

එසේ එම තරුණ හිමියන් හැර ගිය පන්සල් භූමිය තමන් සතු කර ගන්නට මෙම වෙළං බාසුන්නැහැ විවිධ උපක්‍රම භාවිත කරන ලදි. ඒ සඳහා ඔහු භාවිතා කළ සාර්ථකම අවිය වූයේ 'ඇවිදින වැටයි.'

එම පන්සල් භූමිය හරහා වැටී තිබූ කෙටි මාවතක් වූ අතර තම ඉඩමක්ද එම මාවත එක පසෙක වීම බාසුන්නැහැට මහත් ප්‍රයෝජනයක් ගෙන දුන් කරුණක් විය. තම ඉඩමත් පන්සල් ඉඩමත් මැදින් වූ දෙවට පාර මා ගමට යන දිනවලදී අඩි දොළහක් පමණ විය. නමුත් මා පැවිදි වන කලාය වන විට එය අඩි අටක් පමණ වී පසුව අඩි තුනක පමණ පාරක් බවට පත් වීමට ගියේ වසර තුනක පමණ කාලයකි.. මෙ වන විට එහි තත්වය මා දන්නේ නැත.
පළමුව තම වැට සකස් කරන බාසුන්නැහේ එම වැටටම කෙළින් සිටින සේ කුමන හෝ ගස් කිහිපයක් සිටුවනු ලබයි. පසුව මාස තුනකින් පමණ නැවත ටැඩ අළුත් වැඩියා කරන විට වැටෙ සිටුවා තිබූ ගස් වත්ත ඇතුළට වන සේ වැට සකස් වෙ..මෙලෙස කිහිප වරක් වැට සකස් කරන විට පාරෙන් අඩියක් පමණ අඩු වෙන්නේ සිතාගත නොහැකි පරිද්දෙනි. මා එයට 'ඇවිදින වැට'යයි කීවෙ එහෙයිනි.

ඉතින් අපි ඇවිදින වැට පසෙකින් තබා කතාවට යොමු වෙමු.

මෙම වෙළං බාසුන්නැහේගේ ඥාති පුත්‍රයකු වූ මහ සරත් බාසුන්නැහේගේ මෙසන් වැඩට අත් උදවු කල ගෝලයකුද වූ අතර බාසුන්නැහැට තිබූ ඉඩම් පිළිබඳ ආශාවද එලෙසින්ම පිහිටා තිබූ අයෙකි. ඔහු ඒ සඳහා නිතර ඇස යොමු කලේ පන්සලට අයත්ව තිබූ තරමක විශාල ඉඩම් කිහිපය දෙසටය. මුලදී සමහරුන් කියූ දේ මා එතරම් විශ්වාස නොකළද..පසු කාලීනව එය ඇත්තක් බව මා හට තේරුම් ගිය අවස්ථා බොහෝ විය..

ඔනෑම සමිතියකදී එයට සහභාගී වන මොහු තම කතාව ගෙන ගොස් නවතන්නේ ඉඩම් වලින් වීම එයට තවත් හේතුවකි. පන්සලේ ඉඩම් දායකයින්ට ඛෙදා දී වගා කර එයින් ලැඛෙන මුදළින් පන්සල දියුණු කරමු යැයි නිතර කියනු ලබන ඔහු එසේ කරන්නේ නම් තමාට දිය යුතු ඉඩම් පිළිබඳවද සඳහන් කරන අතර එම ඉඩම් තමාට දෙන්නේ නම් හොඳ මුදලක් නිරන්තරයෙන් පන්සලට ආදායම් ලෙස ලැබිය හැකි බවද කියා සිටින ලදි.

ඔහුගේ නරක වෙලාවට හෝ පන්සලේ හොඳ වෙලාවටදෝ එම යෝජනාව ගෙන එන සෑම අවස්ථාවකදීම එය පරාජය කර දැමීමට කවුරුන් හෝ ඉදිරිපත් වෙනු ලබයි. මෙනිසා ඔහු නිතරම සිටියේ කෙසේ හෝ තම අරමුණ ඉටු කරගැනීමෙ මහත් වූ අභිප්‍රායෙනි.

කලෙකදී වෙළං බාසුන්නැහේගේ හොඳම ගෝලයා සිටි සරත් මෙසන් වැඩට මෙන්ම විදුලි කාර්මික ශිල්පයටද දස්කම් දැක් වූ අයෙකි. නමුත් මෙ වන විට ඔහු වෘතීයෙන් ගමනාගමන මණ්ඩලයට අයත් කොන්දොස්තර මහතෙකි. ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ පියකු වීම නිසාම ඉඩකඩම් පිළිබඳව වැඩි ඇල්මක් ඇති වූවාදැයි මා හට සිතෙනුයේ..ගැහැණු දරුවන් සිටින අද සමාජයේ බොහෝ දෙමාපියන් ඔවුන් වෙනුවෙන් දායාද සූදානම් කරලීමෙ මහා උත්සහයක් දරනු පෙනෙන්ට ඇති නිසාය. එම දියණියන් දෙදෙනාද පන්සලේ දහම් පාසලේ ඉගෙනුම ලැබූ අතර දක්ෂතා පෙන් වූ දරුවන් විය. එම දරුවන්ට පියකුගෙන් විය යුතු සියළු යුතුකම් අඩු නැතිවම සරත් අතින් ඉටු වූ බව අනිවාර්යයෙන්ම කිව යුතුමය.

වෙළං බාසුන්නැහේගේ නායකත්වය සහිත ගම් ගොඩැල්ලේ මී ළග නායකත්වය ලැබීමට උත්සහ කරනු ලැබූයේත්..ඒ සඳහා සුදුසුකම් තිබුණේද මොහුටය..එසේ පිරිසකට නායකයා වීමට කරනු ලබන ඔහුගේ උත්සහය නිසාම මහ සරත් යන නම ඔහුට පට බැඳී තිබිණි.

පෙර දින සමිතියේ කල කතාබහට අනුව අද දින පන්සලට වඩමවන හිමියන් පිළිගැනීම සඳහා සිදුවන කටයුතු වල ප්‍රධානත්වය මහ සරත් විසින් දරනු ලබන බව ඔහුගේ හැසීරීමෙන් ප්‍රකට විය. පන්සල් භූමිය පුරා මහත් වූ උජාරුවෙන් හා උද්යෝගයෙන් කරනු ලබන කතා බහ සහ හැසිරීමෙන් පෙනෙන්නට තිබිණි.

මෙම කටයුතු දෙස අප දෙදෙනා කිසිදු අරමුණකින් තොරව බලා සිටියදී ඒ දෙස නොසතුටු සිතින් බලා සිටි පිරිසක්ද වූ බව පැහැදිලිව දක්නට ලැබිණි.

..............................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

26 comments:

  1. අම්මෝ අද මහ සරත් ගැන හොඳ විස්තරයක් කරල තියෙනවා. බලමු බලමු ඊළඟට වෙන්නෙ මොනවද කියලා...
    ඇවිදින වැටේ කතාවත් නියමයි.

    ReplyDelete
  2. ආයෙත් කියන්නෙ ඔබගේ චරිත විස්තර කිරීම ඉතා විශිෂ්ඨයි. දිගටම ලියන්න, ආසාවෙන් කියවනවා.

    ReplyDelete
  3. එතකොට අඩු ජාති මිනිහෙක් ප්‍රධාන දායකයා වෙනවා ඈ...
    ආනන්තර්ය පාපකර්මයකට වඩා ලොකු පාපයක්නේ ඔය වෙලා තියෙන්නේ... :D
    ඒක නෙවෙයි.... ඔය හසලක පැත්තේ වැඩ ඉන්නවා කිව්ව හාමුදුරුවන්ගේ පන්සල තියෙන්නෙ (යෝධ) ඇලක ඉවුරෙවත්ද?

    ReplyDelete
  4. Praසන්ன...

    ඔන්න ගහනවනං වැටවල්..
    [දියුණුවෙ මග කියලා මට පොතක් ගහන්නත් තිබුණා ඔවා ලියලා.]

    ReplyDelete
  5. වැම්පයර්...

    ස්තූතියි...

    චරිත කියන්නේ තනිකරම මෙ කථාව...
    මෙ කතාව කියලා ඉවර කරනවා කියන්නේ චරිත රාශියක් ගැන රචනාවක් ලියනවා වගේ වැඩක්...

    ReplyDelete
  6. ඉතා හොඳයි ....
    චතුෂ මොකද වාක්‍ය ගතිය ටිකක් අඩු කරල දෙබස් ටිකක් එකතු කරොත් එහෙම...

    ReplyDelete
  7. පුතා...

    නැහැ පුතා..ප්‍රධාන දායකයා වෙනවා නෙවෙයි. මෙ අවස්ථාවෙ තියෙන දුර්වල සංවිධානය උපකාරී කරගෙන මෙ ක්‍රියාවෙ මූලිකයා බවට පත් වෙන්නට උත්සහ කරනවා.

    හැබැයි ඒක ආනන්තරීය පාපකර්මයක්නං නෙවෙයි..
    මාත් පහු කාලීනව එම කුළ වල දරුවන් රාශියක් මගේ ළගම දායකයින් බවට පත් කරගත්තා හැබැයි හීනොන්මාදය නිසා හිත් කිළිටි කරගත්ත වැඩිහිටියන්ව ටිකක් ඈතින් තබාගෙන.

    මම දන්නේ හසලක පැත්තේ ඉන්නවා කියලා විතරයි.හරියටම තැන දන්නේ නැහැ.
    හැබැයි දැනට අවුරුදු දෙක තුනකට කළින් ඒ හාමුදුරුවන් ගැන ප්‍රවෘත්තියක් ගියා පල්ලියත් සම්බන්ධ කරගෙන කරපු අවුරුදු උත්සවයක් හරි වෙසක් පින්කමක් හරි සම්බන්ධව..

    ReplyDelete
  8. උන්නතිකාමය කියන්නේත් සුව නොවන රෝගයක්නේ.........

    ReplyDelete
  9. wath...

    ඒක නං හොඳ අදහසක්..
    ඒත් මට සිද්ධ වෙලා තියෙන්නේ දීර්ඝ කථාවක් ටිකක් විතර කෙටි කරලා කියන්න.

    ඒ වගේම පැරණි සිද්ධි දාමයක් නැවත ඉදිරිපත් කිරීමක්..
    දෙබස් දාන්න ගියොත් වැඩෙ හුගාක් ඇදිලා යයි නේද..?

    කියන්න කථාවක් නැති වෙලාවට නං දෙබස් දාලා කථාව ඇද ඇද ඉන්න පුළුවන්..ඒත් කියන්න තියෙන කථා කියලා ඉවර කරන්න බැරි තරං වෙද්දී දෙබස් දදා ඉන්න එක ලේසි වැඩක් නං නෙවී...
    බලමු ඉස්සරහටවත් නේද..?
    අනික මට තියෙන්නේ කථාව කියනවට වඩා ඒකට සම්බන්ධ අය ගැන විස්තර කරන්න..ඒකට ඉතින් දෙබස් නැහැනේ..
    ඔන්න මෙ කථාවට අඳාළ අය ඔක්කෝම ඔයාළා කල් තියා අඳුරනවානං මට පුළුවන් විස්තර නවත්තලා දෙබස් වලින්ම කථාව අරගෙන යන්න.

    ReplyDelete
  10. Shadow/හේමලයා...

    අපි තුළත් ඔය දෙවල් නැතුවා නෙවෙනේ..නැද්ද..?

    ReplyDelete
  11. මේ බ්ලොගයේ ලියනවාට අමතරව ඔබ ලේඛණ කලාවේ යෙදෙන්නේදැයි නොදනිමි.කෙසේ වුවත් සාර්ථක රචකයෙකු වීමේ ලකුණු දිනෙන් දින දක්නට ලැබීම සතුටකි.

    සතත අභ්‍යාසයේ යෙදීම උන්නැහේ තරයේ නිර්දේශ කරයි!

    ReplyDelete
  12. උන්නැහේ...

    අපොයි ලියනවා..මොකද නැතුව.
    ඇයි මගේ කේන්දර බලන වැඩෙදීත් පලාපල එහෙම ලියනවා නෙව..හික් හික්..
    ඒ විතරක් නම් මදැයි.ඇයි දෙයියනේ මගේ සිකුරුටි ජොබ් එක..උදේ ඉඳන් රෑ වෙනකල් පොත් තිස් අටක් විතර තියෙනවා පවත්තගෙන යන්න.
    කොච්චර ලියනවද කිවුවොත් මාසෙකට රතු පෑන් දෙකකට කිට්ටු වෙන්නත් නිල් පෑන් තුනක් ඉවර වෙන්නත් ලියනවා නෙව...

    (විහිළුවට ගත්තා හෙම නෙවී ආයිබොවන්ඩ) ඔච්චර තමයි මගේ ලිවීම...

    ReplyDelete
  13. මම ඔබේ ලිපි කියවන්න පටන් ගත්තෙ මෑතකදි, තවමත් කියවා අවසන් නැති ලිපි බොහොමයි,
    හොඳදේ කියවන්න ඕනෙ හෙමින්
    ඔබට ජය !!!

    ReplyDelete
  14. හරී...

    ස්තූතියි ඔබට..
    හෙමින් උනත් කමක් නැහැ කතා ටික පිළිවෙළට කියවගෙන එන්නකෝ...

    ReplyDelete
  15. හේ... හේ... මාරයෝ ආනන්තර්ය පාපයක් කිව්වේ එහෙම එකකට නෙවෙයි... සාමාන්‍යයෙන් මිනිස්සු හිතන්නේ එහෙමනෙ... සොරි වෙන්ට ඕන වැරදි අදහසක් ආවනම්...
    බුදුහාමුදුරුවොන්ගෙ කාලෙත් අඩු කුලේට වෙනම නිකායක් තිබ්බද?

    ReplyDelete
  16. පුතා...

    අපෝ නැහැ. ඒක හැදුනේ මෙ නුවර යුගයෙන් පස්සේ..
    ඒකට උඩරට රඳළ පරපුර වගේම පහතරට අඩුයැයි සම්මත කුළවලත් හිටිය මාන්නාධික මිනිසුන්ගේ කිරියා පටිපාටිය බලපෑවා..

    ReplyDelete
  17. මාරයො මචෝ, මේක ඇත්තටම නව කතාවක්ද නැතිනම් උඹට විඳින්න ලැබිච්ච සැබෑ අත්දැකීමක්ද ? හැබැයි උඹ ලියන විදිහටනම් ෆුල්ම ෆුල් රියලිට්ය් ෂෝ එකක් වගේ !

    ReplyDelete
  18. කාරණා දෙකක්.

    1. මා අසා ඇති පරිදි, සෝම හිමි සමඟ වාදයට අෂරෆ්ට ධර්මය පිළිබඳව කාරණා සපයන ලද්දේ (කලක් පැවිදිව සිටි) වජිර පැල්පිට විසිනි.

    2. ඔබේ සටහනේ පසුබිම ගැන තොරතුරු සීමා කර චරිත හා සිදුවීම් ගැන වැඩි අවධානයක් යොමු කරන්න. උදාහරණයක් හැටියට මෙහි හසලක ප්‍රදේශයට ගිය හිමි නම ගැන ඇති තොරතුරු වැඩිය. මා සේම අනෙක් කියවන්නන්ද දැන් බලාපොරොත්තු වන්නේ පන්සලේ නව වෙනස්කම් ගැන දැන ගැනීමට යැයි සිතමි.

    - Taboo

    ReplyDelete
  19. දුමී...

    එක අකුරක් නෑර..මට වෙච්ච,මම දැක්ක,මම වින්ද..දේවල් තමයි.

    ReplyDelete
  20. Taboo Subjects...

    1. නැහැ මොහු පිළිබඳ කතාව එළියට නොආවට..ජාතික සමගි පෙරමුණ හරහා විශාළ ලෙස අෂ්රෆ් හට තල්ලුව දුන් බෞද්ධ භික්ෂුව වෙන කවුරුත් නොව මෙම තැනැත්තාමයි.

    2.මෙම හිමි නම පිළිබඳව වෙනම පරිච්ඡෙදයක් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ලියන්නට වෙනවා. මොකද මෙම පන්සලේ විශාල පරිහානියකට මෙම චරිතය හේතු උනා..
    එයට මූලික පසුබිම සකස් කිරීම පිණිසයි මම මෙ ආරම්භය ගත්තේ..
    ඔබලා බලාපොරොත්තු වන දේ මාහට සිතා ගත හැක..නමත් කතාව කීමෙහිදී මෙම කරුණු අතහැර දැක්වීම අතු ඉති නැතිව කොටයක් පමණක් පෙන්වා එයට ගසක් යැයි කියනවා වැනිය...

    ReplyDelete
  21. Hello, Im from Tokyo, Japna. I have been reading your blog. The style and selection of sentences are almost similar to a novel. I feel, it is much better than some of current novels in SL. Please do keep writing.

    ReplyDelete
  22. පංසල් වැඩර්ලා කොහෙත් ඉන්නවා, උංටම හරියන නායක හාමුදුරුවො කෙනකුත් සෙට් උනාම තමයි නියම රස!

    ReplyDelete
  23. Ano...

    බොහොමත්ම ස්තූතියි.
    ඔබ සිංහල පාවිච්චි කරන්නේ නැතිද..?
    නැත්නම් ඔබටත් සිංහලෙන්ම ලියන්න මම ආරාධනා කර සිටිනවා.

    ReplyDelete
  24. budhajeewa...

    මල්ලී ඉතින් කෙළින් කතා කරන හාදයානේ..

    ReplyDelete