22 July 2010

පන්සලේ ජීවිතේ...පිළිගැනීමෙ පෙරහැර...

කටයුත්තට සම්බන්ධ වූ මුත් මහ සරත්ගේ අණට යටත්ව වැඩ කටයුතු කිරීමට නොරිසි කීප දෙනෙක්ම කටයුත්තට මුල් වූ පිරිස අතර විණි. ඒ අන් කිසිවක් නිසා නොව කුල භේදයයි.

මෙනිසාම කටයුතු කෙරීගෙන ගියත් තැන තැන කිහිප දෙනා කුසු කුසු ගාමින් උන්නා විනා සමහරු කිසිම අයුරකින් වැඩෙට දායකත්වයක් සපයන ආකාරයක් දක්නට නොවිණි.
ඒ මදිවාට වැඩ කෙරෙනා ආකාරය පිළිබඳව කෙරෙන විවෙචනද සමහර විට අප හට ඇහෙන තරම් විය.

කෙසේ හෝ කොළඹ සිට ඥාණාලෝක හිමියන්ද වැඩම කල පසු පිරිස අතර උද්යෝගය තව තවත් වැඩි දියුණු වී ගිය ආකාරය නම් පැහැදිලිව දකින්නට ලැබිණි.

පන්සල අස්පස් කළ පිරිස හිටි අඩියේ පන්සලෙන් පිටත්ව යන්නට විණි...

ඥාණාලෝක හිමියන් සහ කීප දෙනෙක් පමණක් බණ මඩුවෙ යම් කථා බහක නිරත වී සිටිනා ආකාරයක් දක්නට ලැබිණි. මෙවන විට පොත් පත්වලට කළ දෙය නිසා මාගේ සිතෙහිද ඔහු පිළිබඳව වැඩි පිරියක් නොවීම නිසා ගිලන්පස පිළිගැන්වීමට වඩා ඔහු හා කතා බස් කිරීමට නොයා සිටීමට මා වග බලා ගතිමි.

පිරිස පන්සලෙන් පිටව ගොස් පැය භාගයකට පමණ පසු පන්සල ඉදිරිපිට පාරෙන් ආගන්තුක රුවක් මතු විණි.

වයස පණහක් හෝ ඊට ආසන්න මට්ටමක විය හැකි තට්ටය පෑදී ඇති,හිසෙහි තැනින් තැන සුදු හිස කෙස් මතුව තිබූ, තරමක් ඉදිරියට බර වූ කෙසග සිරුරින් යුතු වූ, තරමක් අපිරිසිදු,හා නොසැලකිල්ලෙන් ඇන්දා යැයි පැහැදිලිව පෙනෙන කහ පැහැ සිවුරක් දරාගත් හිමිනමක් තරමක් කඩිනමින් උඩින් උඩින් අඩිය තබා පන්සලට වඩිනි පෙණිනි. එක් අතක් සුළගේ පද්දමින් අනිත් අත උරය මත රැදුනු ගුරු පැහැති මල්ලේ රුවාගෙන පැමිණි හිමිනම වෙත ඒ තරම් අවදානයක් යොමු නොවූ අතර හෙතෙම මා සිටිනා දිසාවට පැමිණ

"කෝ ලොකු හාමුදුරුවෝ ඉන්නවාදැ"යි ඇසීය..

මෙතෙක් කලක් මෙහි මා හට සිටි ලොකු හාමුදුරුවෝ නාරද හිමියන් වූ අතර උන්වහන්සේගේ නික්ම යාමෙන් පසු මෙ වන විටත් මා හට මෙහි ලොකු හාමුදුරුවෝ යැයි කියා කියන්නට හරිහමනි කෙනෙකු නොවීය...
චන්දවිමල හිමියන් පොඩි හාමුදුරු තනතුරෙන් ඉහළට යෑමට නොකැමති විය.
එහෙයින් දිය යුතු නිසි පිළිතුරක් සොයා ගත නොවූ මා..

"මොන ලොකු හාමුදුරුවොද හාමුදුරුවනේ" යැයි පෙරළා විමසීය...

තරමක් විපිළිසර බැල්මක් මා වෙත හෙළු හිමියන්

"ඇයි ඥාණාලෝක හාමුදුරුවෝ..."

යැයි කියා සිටි බැවින් ..මෙතෙක් වෙලා බණ මඩුවට වී සිටි ඥාණාලෝක හිමියන් පෙන්වමින්..

"ආ උන්වහන්සේ නම් අර ඉන්නේ"

යැයි දක්වාලීමි.

"ආ..හරි හරි.."

කියමින් බණ මඩුව දෙසට පිය නැගි හිමි නම දුටු ඥාණාලෝක හිමියන් වහා ඉදිරියට විත් ආගන්තුක හිමියන් පිළිගැනීමට සූදානම් වෙද්දී ආගන්තුක හිමි නම ඥාණාලෝක හිමියන්ට වැඳීම සඳහා සිවුර සකස් කරන ආකාරය මා පැහැදිලිව දක්නා ලද අතර එය තේරුම් ගත් ඥාණාලෝක හිමියන් වහාම ආගන්තුක හිමියන් වලක්වාලමින් උන්වහන්සේගේ අත් දෙකම අල්වා ගනිමින් පිළිසඳර කථා බහේ යෙදෙන්නට විණි.

මෙය මා හට මහත් ගැටළුවක් විය.

මෙ වන විට පන්සල ඇසුරෙ යම් කලක් හිඳ පළපුරුදු මා හට සංඝයා වහන්සේලා අතර ඇති වත් පිළිවෙත් පිළිබඳව සෑහෙන ආකාරයක අවබෝධයක් විණි. ඒ අනුව නම් යම් කිසි හිමිවරුන් දෙනමක් හමු වූ විට පැවිද්දෙන් හෝ උපසම්පදාවෙන් වැඩි මහළු තෙරණුවන් හට බාල හිමිවරුන් වැඳීම සාමාන්‍ය සිරිතයි.

උපසම්පදා නොවූ දෙනමක් අතරනම් පැවිද්දෙන් වැඩිමහළු කෙනාහට වඳිනු ලබන අතර,
උපසම්පදා හිමිවරුන් නම් උපසම්පදාවෙන් වැඩිමහළු කෙනාහට වැඳීම කරනු ලබයි.

පැවිදි වී කොයි තරම් කල් වූවත් උපසම්පදා වූ නැතිනම්.. අද උපසම්පදා වූ තෙරණුවන්ට වූවද වැඳීමට සාමණේර මහළු හිමිවරුන්ට සිදු වෙ... එහිදී වයස බලනොපායි. උපසම්පදාවම වැදගත් කොට සලකාලන්නාහුය.

මෙහිදී නාදුනන හිමිවරුන් නම් අනිකාගේ සගමාළු තත්වය දැන ගැනීම සඳහා යම් පිළිවෙතක් භාවිතා කරයි..

එනම් හමු වූ දෙදෙනාම අනිකාට වැඳීමට මෙන් සිවුර සකස් කර ගන්නා අතරම

"අපේ හාමුදුරුවන්ගේ වස් එහෙම කොහොමදැ"යි

එක් අයකු අනිකාගෙන් විමසා සිටිති. එහිදී අනිකා විසින් තමාගේ වස් ප්‍රමාණය පවසනු ලබන අතර ඒ අනුව අනික් තැනැත්තාද තමන්ගේ වස්ප්‍රමාණය දක්වා සිටියි. ඒ අතරම වස් ප්‍රමාණයට අනුව බාලයා වස් වලින් වැඩිමහළු හිමියන්ට වැඳීම සිදු කරනු ලබයි. මෙහිදී වස් යනු උපසම්පදා වීමෙන් පසු වර්ෂයකට වරක් පන්සලක වස් සමාදන් වීමයි. උපසම්පදා වූ හිමි නමක් උපසම්පදාවෙ සිට වසර දහයක් ගත වී ඇත්නම් ඊට වස් දහයයි යනුවෙන් පවසති. එම වස් යනු උපසම්පදාවෙ සිට ගත වී ඇති වසර ගණනයි. සාමාන්‍යයෙන් උපසම්පදා භික්ෂුවක් විශේෂ හේතුවක් නොමැති සෑම විටම අනිවාර්යයෙන්ම වස් කාලය තුල වස් සමාදන් වීම අනිවාර්යය වේ.

ඥාණාලෝක හිමියන්ට මෙ වන විට වයස විසි පහත් තිහත් අතර පමණ වූ අතර ආගන්තුක හිමයන්ට පණහකට ආසන්න බවක් පෙනෙන්නට තිබියදී එම හිමියන් ඥාණාලෝක හිමියන්ට වඳින්නට සැරසීම පිටුපස කුමක් හෝ දෙයක් තිබිය යුතුය..නොඑසේනම් උන්වහන්සේව වලක්වා ඥාණාලෝක හිමියන් හෝ ආගන්තුක හිමි නමට වඳිනු දක්නට නොලැබිණි.

ඥාණාලෝක හිමියන් ගම්මුන්ට පවසා තිබුණේ වැඩිහිටි උගත්, වියත්, පණ්ඩිත හිමිනමක් පන්සලට වැඩම කරවන්නට නියමිත බවයි.. ඒ වඩමවනු ලබන හිමියන් අනිවාර්යයෙන් උපසම්පදාලාභී භික්ෂුවක් වීම අනිවාර්ය වූයේ නැතනම් පන්සලේ වස් වැසීම සඳහා නැවතත් පිටතින් හිමිවරුන් සොයා යෑමට ගම්මුන්ට සිදුවන නිසාය.

ඒ නිසා මා සිතුවෙ එක්කෝ මෙ පැමිණි හිමියන් මිනිසුන් බලාපොරොත්තුව සිටි අය නොවන බවත් වෙන අයකු විය හැකි බවත්ය..එසේ නම් උන්වහන්සේ පැමිණෙන්නට ඇත්තේ ඥාණාලෝක හිමියන් මෙහි එන බව දැන උන්වහන්සේ හමු වීමට විය යුතුය.

ඒ කෙසේ වෙතත් පන්සලෙන් පිටත්ව ගිය ගම්මුන්ට සිදු වූ දේ තවමත් මා දැන සිටියේ නැත.
මෙතෙක් වෙලා පන්සලේ සිටි දරුවකුට අඩ ගැසූ ඥාණාලෝක හිමියන් ඔහුට කිසිවක් පවසන ලදින් හේ මිටින් හල කුරුල්ලකු සේ වෙගයෙන් පන්සල් භූමියෙන් ඉවත්ව යන ලදි..

මඳ වෙලාවක් ගතවිණි.

ආගන්තුක හිමියන් හා ඥාණාලෝක හිමියන් ඈතට වී අවට පරිසරය දෙස ඇස් යොමු කරවමින් මොන මොනවාද කතා බස් කරනු පෙනේ...

එක් වරම පන්සල් පාරෙන් මතු වී එන්නට පටන් ගත්තේ මෙතෙක් වෙලා අතුරුදහන්ව සිටි ගමෙ දායක පිරිස විය..
ඔවුන් සියළු දෙනාම අත කුඩා බෞද්ධ කොඩි විය..දහම් පාසල් දරුවන් කිහිප දෙනෙකු යොදා සකස් කර තිබූ ලී කෙළි කණ්ඩායමක් හා කුළු හා කළගෙඩි නැටුම් කණ්ඩායම්ද විය.. ඒ මදිවාට හරමාන්ස ගුරුන්නාන්සේ නමින් මෙ වන විට මා විසින් ද හඳුනා ගෙන තිබූ අසල ගමක විසූ ඛෙර වාදන ශිල්පියා හා ඔහුගේ ගෝලයාද විණි. ඔවුන් අත හේවිසි හා දවුලද විණි.

සියළුම පිරිස පන්සලට වෙගයෙන් ඇතුළු වනු දක්නට ලැබුණු අප සිතුවෙ මොවුන් අමුතුම ආකාරයේ පිළි ගැනීමක් සූදානම් කර ඇති බවය..

එනම් ආගන්තුක හිමියන් පන්සලට වැඩම කලාට පසු සැගවී සිට එක් වරම පෙනී හිඳ ඛෙර ගසා..නැටුම් නටා.. කොඩි සේසත් වනා.. ඒ හිමියන් පුදුම කොට පිළි ගනු ලබන ආකාරයේ වැඩක් බවයි. එසේ සිතීමෙ වරදක් නැති වූයේ වැඩෙ මූලිකයා වූයේ මහ සරත් වූ බැවිනි.

නමුත් කුමක් හෝ වෙනසක් ඇති බව ඉතා ඉක්මනින්ම වැටහී යන්නට වූයේ පිරිස තරමක් කෝපයෙන් මෙන් සිටිනු දක්නට ලැබීම නිසාය..

වැඩිහිටියන්ගේ මුහුණු නාළු වී ගොස් තිබූ අතර..
නැට්ටුවන් සේ ඇඳ සිටි දරුවන්ගේ දෙමාපියන් තරහින් පුපුරනවා පැහැදිලිව දක්නට ලැබිණි.

මා හිමින් සීරුවෙ හරමානිස් ගුරුන්නාන්සේ වෙතට කිට්ටු වූයෙමු...

"මොකද ගුරුන්නාන්සේ..මොකක් හරි අවුලක්ද..."

"නැහැ ළමයෝ..අපි අරහෙ මෙ හාමුදුරුවන්ව පිළි අරගෙන පෙරහැරින් වඩම්මන්න බලන් ඉන්නවා..මෙ හාමුදුරුවෝ අනිත් පැත්තේ පාරෙන් හොරෙන්ම මෙහාට වැඩලා.. මදැයි කොළා.. පෙරහැර කොට උඩ..."යි

කියමින් තනිවම සිනාසෙන්නට වූ අතරේම

"ඒකෙන් මෙකෙන් මුන් මට ගාස්තුවත් දෙයිද දන්නේ නැහැ..ඇයි ඉතින් ඛෙර ගහන්න ආවාට ගහන්න උනායෑ.."කියමිනි.

මට සිදු වී ඇති දේ පැහැදිලි විණි. පන්සලට එන්නට ප්‍රධාන පාරෙ සිට පාරවල් දෙකකි. එකක් පන්සලේ වම් පසින් වූ අතර එය ප්‍රධාන මාවතෙහි සිට මීටර තුන්සීයක් පමණ විණි.
අනික් පාර පන්සලෙන් දකුණු පසට විහිද තිබූ අතර එය මීටර් අට සීයක් පමණ විණි. හාමුදුරුවෝ දිගු පාර තෝරාගෙන තිබූ අතර ගම්වැස්සන් කෙටි පාරෙන් පෙරහැර සූදානම් කර තිබුණි. හාමුදුරුවන් බසයේ එන ගමන් පිරිස පාර අයිනේ සූදානම් වී සිටිනු දැක දැකම එතැන පසුකර ගොස් අනිත් පැත්තේ පාරෙන් පැමිණ තිබුණි.

පළමු සැළසුම අසාර්ථක වූ මුත් සිදු වූ දෙයින් සතුටු වූ පිරිසක්ද වූයේය...

දයාසේන හා රූපරතන අයියා පමණක් නොව වැඩ පිළිවෙල හා මහ සරත්ව නොරිස්සූ ගම් වැසියන් කිහිපදෙනෙකුද ඒ අතර විණි.

කෙසේ නමුත් තරමක් නොරිස්සුම් වදන් හා උසුළු විසුළු මැද කුඩා උත්සව සභාවක් පවත්වා පිරිස විසිර ගිය අතර
ඥාණාලෝක හිමියන් හා නවක භික්ෂූන් වහන්සේ ආවාසය දෙසට පැමිණියේ මහසරත් හා තවත් ප්‍රධාන පෙළේ දායකයින් කිහිප දෙනෙකුද කැටුවය...

...............................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

18 comments:

  1. හැමදාම වගෙ ම දැක්ක ගමන් ම කියෙව්ව,
    කලකිරුණෙ නම් නෑ.. ඒත් මීට හුඟක් ළඟ අත්දැකීමක් අපෙ ගමෙ පංසලෙත් වෙනව මම දැකල තියෙනව...එතකොට හිතුන හැම පංසලට ම තියෙන්නෙ මේ වගෙ කතා ද කියල

    ReplyDelete
  2. ම්ම්.. ඇත්තටම බුදු දර්ශනයෙන් කොච්චර ඈත් වෙලාද..

    ReplyDelete
  3. චේජනා...

    සමාන සිතුම් ඇති මිනිසුන් ඇති සමාජයක..හැම දෙයකම සමාන ගති තියෙනවා..

    ReplyDelete
  4. වැම්පයර් ...

    යකඩ ගිනිගත්ත ගෙදර පුළුන් ගැන කවර කතාද..?
    මුළු සමාජයම ටිකෙන් ටින පිරිහෙන කොට පන්සල්, හා මිනිසුන් කියලා නැහැ හැම දේම පරිහානියට යනවා.
    මෙවා බුදු දහමෙම කොටස්..
    ඇති උන දෙයක් වෙනස් වෙමින් පැවතිලා නැත්තටම නැති වෙලා යනවා..
    නැවත වෙනත් ස්වරූපයන්ගෙන් හට ගන්නවා..
    සංඝ සමාජය කියලා ආයේ අමුතු තැනක් නෙවීනේ..
    මෙ සමාජයේම දෙමවුපියන්ගේ දරුවන් පිරිසකින් සැදුම් ලද්දක්. අනික ගිහි ගෙය කලකිරී මහණ වෙන්නෝ අඩුවෙලා පරපුර රැක්ම පිණිසම පැවිදි කලවුන්ගෙන් පන්සල් පිරී පැවතියාම..ඔය තත්වය සාමාන්‍ය දෙයක් විතරයි.

    නිකං දවසකට හරි මහණ වෙලා බලන්න හිතන අය කීයෙන් කී දෙනෙක්ද අද ඉන්නේ..?

    ReplyDelete
  5. Shadow/හේමලයා...

    ම්ම්ම්...

    ReplyDelete
  6. අඅපොයි වෙලා තියෙන දෙයක්. හැබැයි අලුත් හාමුදුරුවො මොලේ පාවිච්චි කරල වැඩ කරල තියෙනවා.

    ReplyDelete
  7. වැඩිමහළු කම කෙසේ වෙතත්, ආතල් බුවෙක් වගේ. ඒත් ඉතිං එක සීන් කෝන් එකකිංම එහෙම කියන එක හරි නැති නිසා, අපි බලමු ඊළඟට මොකෑ වෙන්නෙ කියල!

    ReplyDelete
  8. එල එල....බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා... :)

    ReplyDelete
  9. මාර මාචො උබ ගම්පහ කොහෙද උබෙ ගම

    ReplyDelete
  10. අපරාදේ උදේ ඉදන් මහන්සි උන කට්ටිය,හාමුදුරුවොත් දැක දැකම මග ඇරියානේ....

    ReplyDelete
  11. අනේ, ජාලෙට ගොඩ වැදුනේ, දවස් 3කින් වගේ.
    :(
    යන්තම් ඇති කතාව දාලා.
    බලමුකො ඉස්සරහට මොකක් වෙයිද කියලා.

    ReplyDelete
  12. Praසන්ன...

    ඒක ඇවිල්ලා නියම ටිකිරි මොළයක්..ඔහොම බලාගෙන යන්කෝ...

    ReplyDelete
  13. budhajeewa...

    එයා දින කීපයක් ඇතුළත ගමටම ආතල් දුන්නා..

    ReplyDelete
  14. Ano...

    ඔන්න ඉතින් ඉඳලා ඉඳලා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇහැවුවා...

    ReplyDelete
  15. ItalyDilan...

    ඒක නම් එහෙම තමා..
    ඒත් ඉතින් බලන්න එපැයි ඒ වෙලාවෙ කස්ටියගේ මූණු ටික..
    සිරියාවෙ බැහැ..(මෙලෝ සංසාරයක් නැහැ..)

    ReplyDelete
  16. Ansh Lucky Sri Jay...

    ආ.. මම දන්නවනේ කොහේ හිටියත් පුළුවන් වෙච්ච ගමන් නගා මෙතන කියලා...

    ReplyDelete