27 July 2010

මම,අපි,රට,බඩුමිල, සහ තවත් දේ...

අද උදේ ගෙදර ඇවිත් ගෙදර වැඩ ටික කරලා දාලා..ටිකක් නිදා ගත්තා..
මෙ ටිකේ වැඩ වැඩියි.

අපි දැනට ආරක්ෂාව සපයන ආයතනය අපි ගිය කාලෙට වඩා දැන් සෑහෙන දියුණුවක් ලබලා තියෙනවා..
ඒ හින්දා දැන් ඉස්සර වගේ නෙවෙයි රැයක් දවාලක් නැතිව වැඩ..වැඩ..

මෙ සැප්තැම්බර් වන විට මම මෙ ආයතනයේ ආරක්ෂක ප්‍රධානියා විදියට වැඩ බාර අරගෙන අවුරුදු දෙකක් පිරෙනවා. අපිට කළින් හිටිය ආරක්ෂක සේවාව එහි ඉඳලා තිබුනේ අවුරුද්දකට ආසන්න කාලයක් විතරයි..
ඊට පෙරත් නොයෙක් ආරක්ෂක සේවාවන් මෙහි සේවය කළත් අපි තමයි මෙ වන විට එක දිගට අවුරුදු එක හමාර පන්නලා හිටපු එකම ආරක්ෂක සේවය කියලා නිල නොවන මට්ටමින් දැනගන්න ලැබීම අටත් අපේ සියළුම නිලධාරීන්ටත් හුගාක් සතුටට කාරණාවක් උනා.

කොහොම උනත් අපි මෙහාට එන කොට මෙ ආයතනය තිබුණේ හුගාක් මූල්‍ය අර්බුධ වල හිරවෙලා..ඒ අතරේ ආපු අර මොකක්දෝ අන්තර්ජාතික මූල්‍ය කඩා වැටීමෙ අර්බුධයේ අහිතකර බලපෑමත්..ඒ හරහා රටෙ ඇති වෙලා තිබුන ව්‍යාපාර අංශයේ පසුබෑමත් ආයතනයට බලපෑවා.

ඒ දවස්වල සේවකයින් ඉවත් කිරීම නොකෙරුනත් නව බඳවා ගැනීම් සම්පූරිණයෙන්ම අත්හිටුවලා තිබුණේ..
එක සේවකයා විසින් තුන් දෙනෙකුගේ වැඩ කරන මට්ටමට ඇවිත් තිබුණේ...

අතරින් පතර මොන යම්ම හෝ හේතුවක් නිසා සේවකයෙක් අස් කරන්න උනත් දෙපාරක් හිතුවෙ නැහැ. අස්කල සේවකයාට හරියන්නවත් නැවත බඳවාගැනීමක් උනේ නැහැ.

හැබැයි දැන් තත්වය වෙනස්...

මෙ දවස්වල සේවකයින් බඳවාගන්නවා හිටු කියලා..
පහුගිය කාලේ හිටපු සේවකයින්ට පඩි නඩිත් වැඩි වෙමින් පවතිනවා එක්තරා සැලැස්මකට අනුව..

නිෂ්පාදනය මට තේරෙන හැටියට එකට තුනකින් පමණ වැඩි වෙලා..සමහර අංශවල ඉල්ලූමට සරිලන සැපයුමක් දී ගන්න බැරි තරමට පාරිභෝගික අවශ්‍යතා වැඩි වෙලා...

මම දන්නේ නැහැ රටෙම තත්වය මෙහෙමද කියලා..ඒත් මෙතන තත්වය නම් සෑහෙන හොඳයි. ඊට අමතරව මෙම ආයතනය අවට තිඛෙන යම් යම් මම දන්නා කියන ආයතන වලත් තත්වය මෙයට සමානයි.

ඇත්තෙන්ම මෙ තත්වය මුළු රටෙම මෙ විදියනම් ඉස්සරහට අපිට ඒ තරම් අමාරු වෙන එකක් නැහැ.

බඩු මිල නම් තාමත් ඒ තරම් අඩු වෙලා නැහැ.

හැබැයි හාල් නම් ටිකක් අඩුයි.. සම්බා කිලෝව මම ගන්නේ හැටට. නාඩු එහෙම නම් ඊටත් අඩුයි.

අලත් ටිකක් විතර බැහැලා..
මාළු නම් කොහොමද දන්නේ නැහැ.. මොකද මම මාළු උයන්න කම්මැලි නිසා ගේන්නේ නැහැ.
මස් නම් පරණ ගණන්මයි වෙනසක් නැහැ.
කුකුළු මස් නම් රුපියල් විස්සකින් පමණ හිටපු ගමන් නගිනවා..ආයෙත් බහිනවා..ඒකත් මට බලපාන්නේ නැහැ මොකද මම කුකුළු මස් කන්නත් වැඩි උනන්දුවක් නැති හින්දා.

සමහර එළවළු ගණන් අඩුවෙන දවස් තියෙනවා.
ඒත් තවම හුගාක් අඩු වීමක් දකින්න නැහැ. ඉදිරියටවත් ඒ ගණන් හිලවු වල වෙනසක් ඇති වෙයි කියලා සුභදායී බලාපොරොත්තුවක් තියෙනවා.

මෙයට අමතරව මට බලපාන ප්‍රධාන දේවල් තමයි පෙට්ට්‍රල් සහ ෆෝන් බිල...

ඉස්සර තිබුණු ගණන්වල හැටියට බයික් එක පාරට දාන්න කළින් දෙපාරක් හිතන්න වෙලා තිබුනා.
ඒත් 115 මිලට යන්තම් දුවා ගන්න ඇහැකි.
මට කතරගම ගමණට පෙට්ට්‍රල් වලට රුපියල් නවසීයක් විතර වියදම් වෙලා තිබුණා..
බස්ගාස්තු සහ කාලය පිළිබඳව හිතනකොට ඒක මට ඒතරම් වියදමක් කියලා මම හිතන්නේ නැහැ.
ඒත් අඩුම ගාණේ රුපියල් සීයකටවත් පෙට්ට්‍රල් දෙනවනම් හුගාක් හොඳයි.

මෙ දවස්වල උන නරකම දේ තමයි දුරකථන ගාස්තුවල වෙච්ච විපර්යාසය..
අවම දුරකථන ගාස්තුව රුපියල් දෙකට සීමා කිරීම අසාධාරණයි.
හැබැයි තවම මම ගන්න කෝල්වලට අය වෙන්නේ නම් පරණ ගාස්තුම තමයි.

රජයක් පවත්වාගෙන යන්නත් රටෙ තියෙන සංවර්ධන කටයුතු හොඳින් කෙරෙන්නත් බදු අය කළ යුතුයි.
හැබැයි ඒ අය කරන බදු නාස්ති නොකර පරිහරණය කරනවානම් තමයි බදු ගෙවන අපිටත් සංතෝෂ..
මම හිතන්නේ රජය මෙ වන කොට උපරිම බදු අපෙන් අය කරනවා..
ඒත් මට ඒකට කමක් නැහැ. මොකද මා ජීවත් වන ප්‍රදේශයේ හැම තැනම පාරවල් ටික හැදෙනවා දකින එකත් මට ඇති.

පහුගිය කාලාන්තරයක් තිබුණා මට පාරක යන්න එපා වෙන තරමට පාරවල් අබලන් වෙලා තිබුණු. ඒත් දැන්නම් එහෙම නැහැ මෙ හරියේ හැම පාරම වගේ මෙ වන විට හදලා ඉවරයි..
තව කිහිපයක් මෙ වන විටත් වැඩ අවසන් කරමින් පවතිනවා.

මම මුළින් හිතුවෙ ඡන්දෙන් පස්සේ පාරවල් හදන එක නවත්තලා දායි කියලා..ඒත් තාමත් ඒ වැඩ ටික කෙරෙනවා දකින්න ලැඛෙන එක හුගාක් හොඳ වෙනසක්. එයට අමතරව මෙ හරියේ අතුරු පාරවල් වල බස් රථ ප්‍රමාණයත් ටිකෙන් ටික වැඩිවෙනවා පේනව.. මෙ ළගදිත් අළුත් මාර්ග අංකයක් යටතේ බස් දෙකක් පාරට වැටුනා.

පෞද්ගලික බස් සේවාවනම් අන්තිම දුර්වලයි. ඇත්තටම මට තේරෙන්නේ නැහැ ඇයි මෙ බස් මගීන් එකතු වෙලා මුන්ට ගහන්නේ නැත්තේ කියලා..ඒ තරම්ම අලූගුත්තේරුවෝ ටිකක් දැන් බස් දුවන්නේ..
උන්ගේ පෞද්ගලික හේතුවකට හරි කවුරු හරි බස්කාරයෙකුට නෙළුවොත් මෙන්න පහුවදාට මුන් වර්ජනේ..
ඒ මදිවට සීටීබී බස්වලට දුවන්න දෙන්නෙත් නැහැ. ඒ වගේ වෙලාවට මිනිස්සු එකතු වෙලා මුනුට නෙලනවා නම් හොඳයි කියලා තමා මම හිතන්නේ.. නැත්තං මුන්ව හදන්න බැහැ.

මම මෙ නීතිය අතට ගන්න කියනවා නෙවෙ..ඒත් ඉතින් බල්ලාගේ හැටියට එපෑ පොල්ල..

තනිකඩ ජීවිතයක් ගෙවන හින්දා මට හුගාක් ප්‍රශ්න අඩුයි..ඒ වාගේම සමහර සමාජ ප්‍රශ්න, ආර්ථීක දුෂ්කරතා මට ගෝචර වෙනවා අඩුයි.

නමුත් දන්න කියන විවාහක උදවියට තියෙන ප්‍රශ්න අහගෙන හිටියමනං මට පේන්නේ ඔවුන්ට වැඩිපුර තියෙන්නේ විහිං හදා ගත්ත ප්‍රශ්න බවයි.

අනුන්ට වඩා ඉදිරියෙන් ඉන්න ගන්නා මෝඩ උත්සහය නිසා තමන් විසින්ම ජීවිතේ දුකට හෙළාගත් අය වැඩියි.
ඇහැවුවොත් කියන්නේ ආගමට දහමට හරිම ලැදි කියලයි..ඒත් තමන් අදහන ආගමෙ දර්ශනයට අනුව ඒ එක්කෙනෙක්වත් ජීවත් වෙන්නේ නැහැ...

තමන් වැරදි පාරෙ යන ගමන් අනුන්ව හදන්න උපදෙස් දෙන කට්ටිය නම් ඔන තරම්.

ඇත්තෙන්ම ආර්ථීක දියුණුව විතරක්ම පතන අය නිසා ඇති වෙච්ච ගැටළු තමයි වැඩිපුර තියෙන්නේ...
එහෙම නැතිව මට නම් මෙරටෙ කියන්න වරදක් නැහැ.
මම සාමාන්‍ය මට්ටමකට හොඳට කනවා බොනවා...
මට ඔන විදියට ගමනක් බිමනක් යනවා..
මට අවශ්‍ය මට්ටමට සැප පහසුවට ජීවත් වෙනවා..
හිතේ සංතෝෂෙන් රස්සාව කරලා ඒ ලැඛෙන දෙයින් ජීවත් වෙනවා.
ඔනවට වඩා අනාගතය ගැන බලාපොරොත්තු ගොඩ ගහගෙන ජීවිතේ අපායක් කරගෙන නැහැ.

අනිත් අය කොහොම හිතනවද කිලා මම දන්නේ නැහැ.
මම කියන්නේ නැහැ අනිත් අය හිතන විදිය මට වැදගත් නැහැ කියලා..ඒවත් වැදගත්..ඒත් මම අනිත් අය හිතන විදියට මගේ රටාව වෙනස් කරන්න සූදානම් නැහැ.

දැනට පවතින තත්වය ගැන මට හිතෙන විදිය කෙටියෙන් ලියලා දැම්මට හරිනම් මීට වඩා ලොකු විග්‍රහයක් කරන්න ඔන..
ඒත් ඉතින් මම ඒවට මහන්සි වෙන්නේ මොකටද..
අච්චර මහන්සිවෙලා, වියදම් කරගෙන ඉගෙන ගත්ත ජී.එල්. පීරිස්ලා ඉද්දී...

( මෙ ලිපිය ලියන්න හේතු උනේ ඊයේ සිද්ධ වෙච්ච දෙයක්. මගේ ඥාති සොහොයුරියක් මට රට යන්න කියලා කියන ගමන් ඒකට උදවු කරන්නත් පුළුවන් කියලා කියපු බව මම මගේ යටතේ ඉන්න නිලධාරියෙකුට කිවුවම ඒ මනුස්සයා මට පිටරට ජීවිතේ හොඳ බවත්, මෙහෙට වඩා සැප විඳින්න පුළුවන් බවත් නොනවත්වා කියන ගමන් මට රට යන්න කියලා දිගින් දිගට කියන්න පටන් ගත්තා. ඒ ගමන මම ඒ මනුස්සයට කිවුවා මෙහෙට වඩා පිටරට මට ලැඛෙන සැපේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න කියලා..හැබැයි එයා එක එක දේවල් කිවුවත් මට නම් හරි හමන් එක හේතුවක්වත් ලැබුනේ නැහැ.)

33 comments:

  1. "අනුන්ට වඩා ඉදිරියෙන් ඉන්න ගන්නා මෝඩ උත්සහය නිසා තමන් විසින්ම ජීවිතේ දුකට හෙළාගත් අය වැඩියි"..මේක තමා ඔක්කොම පුරස්ස්නවලට මුල..හැබැයි ඉතින් මනුස්ස ගති නෙව..බෞද්ධ දර්ශනය දන්නා අයට ඕවායෙ පුහුබව තෙරුනාට...බුද්ධාගම භක්තියෙන් අදහන අයට නම් තෙරෙනවාදැයි සැකයි....මොනවා උනත් ඉතින් මේක අපෙ රට නොවැ....:D..

    ReplyDelete
  2. හැබැවටම අල බැහැලයි අයියේ....... හිකිස්....... ;)

    මිනිස්සුන්ගේ තියන ලොකුම අඩුව තමා අයියේ තමන්ට තියන හැටියට ජීවත් නොවීම. බලන්නෙම ණය වෙලා හරි තමන් සුපිරි කෑම කාල සුපිරි විදියට ඉන්නව කියල පෙන්නන්න.බොරු සෝබනේට නම් සල්ලි ඕනිතරම් තියනව.

    මුදල් කළමණාකරනයක් ඇතුව භාවිතය නම් අන්තිමයි. ඉතින් ලැබෙන මුදලට වඩා ගොඩගහගත්තු අවශ්‍යතා ගොඩ සපුරගන්න බලනව මිසක් තමන්ට ලැබෙන මුදලට අනුව අවශ්‍යතාවන් ගැන හිතනව නෙමෙයි.
    ඉතින් කොහොමද ජීවිතේ ගෙනියන්නේ........ ????????

    ReplyDelete
  3. අයිය එක තමයි ජිවිතෙ. මගෙ ජිවන රිද්මයත් සංකිර්ණ කරන්න මට ආදරෙ කරන අයගෙන් විවිධාකාර උපදෙස් ලැබෙනවා. අනිත් කෙනාට වැඩිය උඩින් යනවට වැඩිය, මම මගෙ අවශ්‍යතාවයන් විතරක් සපුරා ගද්දි මට ලෙහෙසියි. ප්‍රශ්නත් අඩුයි. හිතට දැනෙන සැහැල්ලුව, සතුට සල්ලිවලට ගන්න බැරි බව මම දැනගත්තෙ ඔබගෙ ගමෙ මනුස්සයෙක් ගෙන්. මම එ මනුස්සයට කොච්චර ආදරෙ කරාද කියතොත් මහගම සෙකර කියන පුද්ගලයාව මම දකින්නෙ මට යම් මාර්ගයක් කියලා දුන්නු ගුරු පියෙක් වගෙ. ජිවත්වෙනවා කියලා දැනෙනවා. ලොකු තියරි ඔන නැහැ, මමත් එක කෙනෙක් කියන හැගිමත්, මගෙන් කාටවත් කරදරයක් නැහැනෙ කියන දෙත්, මගෙන් ලොකෙට වැඩක් වෙනවානෙ කියන හැගිමත් හිතට දැනුන දවසක එතන තමයි ගිහියගෙ නිවන. ලොකෙ මිනිස්සු මොනවා කිව්වත් කමක් නැහැ මාරයියා කොහොමහරි ඔබෙ ආත්මය ඉල්ලන දෙ ලබාගන්න වෙහෙසෙන්න. එයයි ජිවිතෙ ඔබ ලබාගන්නා වටිනාම දෙ.

    ReplyDelete
  4. මචං, උඹේ කතාවට මම සියයට දෙසීයක් එකඟයි. පාලකයන්ගෙ වැරදි තියෙනවා තමයි. ඒ උනාට ගොඩක් වෙලාවට අපේ මිනිස්සු විහින්මයි කරදරයට වැටෙන්නෙ. මේ මෝල් ගහක් හරි අන්නොත් දළු දාන රටේ මල් පෝච්චිවල ක්‍රෝටන්, බිගෝනියා වවන්නෙ නැතුව මිරිස් පැලයක්, මඤ්ඤොක්ක දණ්ඩක් හිටෝ ගත්තනම් එක වේලක් හරි පිරිමහ ගන්න පුළුවන්නෙ. එක කරන්නෙ නැත්තෙ තත්වෙට මදි කමක් නිසානෙ. මඤ්ඤොක්ක කිලෝ එක රුපියල් එකසිය පනහ ගානෙ කඩෙන් ගෙනැල්ල කන එක හෙනම නම්බුයි.

    ReplyDelete
  5. Shadow/හේමලයා...

    භක්තියෙත් නරක එක අන්ධ භක්තිය.

    ReplyDelete
  6. හා පැටික්කී...

    චික් විතරක් මෙ කෙල්ලට මෙකේ අල්ලගන්න වෙන දෙයක් තිබුනෙම නැද්ද මං අහන්නේ...

    ඔයාත් පුංචි උනාට ජීවිතේ ගැන හිතන විදියෙන් හුගාක් ඉදිරියෙන් ඉන්නවා කියලා මම හිතනවා.

    ReplyDelete
  7. රවා...

    කාලෙකින් දැක්කේ...

    මම දැනටත් ජීවිතේ ගැන තෘප්තිමත් මලේ..
    ආයේ අමුතුවෙන් ලබාගන්න දෙයක් මට තියෙනවා කියලා මම හිතන්නේ නැහැ.
    ජීවිතේ විවිධ කාලවලදී මම බලාපොරොත්තු උන හැම දේම මට ලැබුනේ නැති උනාට මට ලැබිලා තියෙන දේවල් ගැන හිතන කොට මට සතුටින් මැරෙන්න පුළුවන්...
    ඒ අතරින් මම හිතන විදිය මට ලැබීමම උනත් ඇති.

    ReplyDelete
  8. දුමී ...

    මට උඹට පෙන්නන්න දෙයක් තියෙනවා.
    මම ඒක හෙට වැඩට ගිහින් ඇවිත් අනිද්දාට පෙන්නන්නම්.

    ReplyDelete
  9. අපේ ඔෆිස් එකේ ඉන්දියන් කාරයෙක් නිවාඩු යන ගමන් කෙලින්ම ලංකාවට ගිහිල්ලා සතියක් ඉඳලා උන්ගෙ රටට ගියේ.. ඌ අහනව ලංකාව වටේම මුහුද තිබිලත් මාළු මෙච්චර ගනන් මොකද කියලා... මට හිතෙන්නේ අපේ සිස්ටම් එකේ මොකක් හරි අවුලක් තියෙනවා.. කොළඹ මාළු මාකට් එකට ගිහින් බලපන් ගිණි ගනන් දීලත් අපි ගන්නේ මාසයක් විතර පරණ කරපු මාළු.. හැමදාම මාළු අල්ලන රටේ...
    ලංකාවේ හිටපු දවස් ටිකේ ඌ අපෙ එවුන්ගේ ගෙවල්10-12කට ගිහිල්ලා.. හැම ගෙදරකින්ම ගියපු ගමන් මොකුත්ම අහන්නේ නැතුව කෙලින්ම බෝතලයක් ගෙනත් තිබ්බලු.. ඌ කියනවා කොච්චර බඩු ගනන් ගියත් ලංකාවේ මිනිස්සු ආතල් එකේ ඉන්න ජාතියක්ය කියලා......

    ReplyDelete
  10. :D :D :D :D
    අනේද කියන්නේ..........

    ඔහොම හිතුවට ඉතින් මට කවදහරි වැඩක් තියෙයිද මංද........

    ReplyDelete
  11. @ පුතා

    අපිට දියුණු කරන්න තියෙන්නේ ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය. වෙරලාසන්න මුහුදෙන් උපරිම අස්වැන්නක් ලබා ගන්නව අපි.
    ගැඹුරු මුහුදේ මාලු තිබුනට වැඩක් නැහැනේ අයියේ ඒ කර්මාන්තේ කරන්න තාක්ෂනික දැනුම, යන්ත්‍රෝපකරණ, මූල්‍යමය තත්වය නැතුව........ අපි වගේ රටකට ඒවා තාම දරාගන්න අමාරුයි. ඒකයි අවුල. වෙන රටකින් ආධාර ගත්තත් ඒ ගොල්ලෝ අවුරුදු ගානක් යනකම් 80%ක් විතර අස්වැන්නේ ගනිවි. එහෙමනේ ඒ ගොල්ලොන්ගේ හැටි. ඉතින් අපිට මුහුද තිබුනත් ප්‍රයෝජනේ අඩුයි..........

    ReplyDelete
  12. මචං මාරයො...,උඹ හරි.ඉන්නකන් කාල බීල ෆන් එකේ ඉමු.අපි කාටවත් ඉහලින් යන්න ට්‍රයි කරන්නෙ මොකටද?අනික අපිට රට හදන්න යන්නත් බෑනේ.ඒකට තමයි අපි බුවාල ටිකකට මනාපෙ දීල දියවන්නාවට යවල තියෙන්නෙ.එයාල ඒක කරයි.කරේ නැත්තන් ඊලඟ සැරේ අනිත් පැත්තට මනාපෙ දෙමු.එදා ඉදලම උනේ ඔහොමනෙ.ප්‍රයිවට් බස් ටික ඔක්කොම එකතු කරල පොකුරු බස් සමාගමක්වත් හැදුවනම් ඔය තර‍ඟෙ ටිකක් අඩු කරන්න තිබුනා.හැබැයි මචෝ අනිත් රටවල්නම් අපිව පහුකරගෙන වේගෙන් ඉස්සරහට යනව.හම්බවෙන දෙයින් විතරක් සතු‍ටු වෙන්න හිතුවොත් හැමදාම එතනමයි.

    ReplyDelete
  13. පුතා...

    අන්න අපිත් එහෙම ජාතියක් තමයි..
    තව වෙන මොනවද..?

    ReplyDelete
  14. හා පැටික්කී...

    බුදු අම්මෙ මෙ ළමයා පැහිලා තියෙන තරමක්..

    මට සතුටුයි නංගියේ උඹ ගැන...අපි කියන කරන හැම දෙයින්ම වැඩක් නැති උනාට කමක් නැහැ...එහෙම වෙන්න ඔනත් නැහැ..

    ReplyDelete
  15. dinesh...

    හැමදාම එතනමයි කියන්නේ..?
    මොකක්ද ඔබ බලාපොරොත්තු වෙන්නේ..?

    ReplyDelete
  16. ලංකාව ටිකක් හරි දියුනුවෙනව කියල අහනකොටත් ගොඩක් සතුටුයි...ඕනම රටක දියුනුවට බදු අයකරන්න ඔනෙ...තව දෙයක්..වැරදිකරන අයට ගහන දඩ වැඩිකරන්න ඕනෙ..මෙහෙනම් වාහනයක් නියමිත වේගෙට වඩා ගියොත් හොදට කන්න පුලුවන්.fine එක $200 වඩා වැඩි ඒ කියන්නෙ ලංකාවෙ සල්ලිවලින් රුපියල් 20000 වඩා වැඩි.මේ ලගදි මගෙ යාලුවෙක් හදිසිසියට city එකේ මුත්‍රා කරල $215 fine එකක කෑව.

    ReplyDelete
  17. මරු ආර්ථික විග්‍රහයක් තමයි කරල තියෙන්නේ. තමන් අනිත් අයට වඩා ආර්ථික අතින් ඉහළට යන්න හදන එක එක අතකින් හොඳයි. නමුත් ඒක ජීවිතයට ප්‍රශ්නයක් කරගන්න එක තමයි නරක.

    ReplyDelete
  18. හා පැටික්කි...
    තැන්කූ වේවා නංගි අදහසට... ඔයා හරි...
    මං ඔය මාළු කතාව කිව්වේ උදාහරණයකට... අපේ ඔය කන බොන ජාතිවල ගනන් ඉහල යන්ට එක හේතුවක් තමයි බෙදී යාමේ යාන්ත්‍රනයක් නැති කම (මටත් ඉඳල හිටල මරු වචන එනව.. යාන්ත්‍රනේ.. හිකිස්) මොකක් හරි ආන් එව්වා එකක් නැති කම.. කොච්චර එලවළු ගණන් ගියත් දඹුල්ලේ දවසකට අයින් කරන කුණුවෙච්ච එලවළු ගොඩ බලන්ට... හාල් වුනත් එහෙම තමයි... කොච්චර විනාශ කරල දානවද ගුල්ලො ගහලා... කොහෙද ඔව්වා ඉතින් මැති ඇමතිගොල්ලොන්ගෙ චූටි මොලවලට තේරෙන්නෙ නෑනේ......

    ReplyDelete
  19. එතකොට මාරයා 17 වෙනි ව්‍යාවස්තා සOශෝදනයට එකග ද? ( ශුවර් එකටම මේයත් පබා වගේ ඇණ ගනියි..)

    ReplyDelete
  20. @ මාරයියා......
    මේ මං පැහිලැයි?????????????? :O :O

    මං ඉතින් කතාකරන්නේ මේ අකුරු වලින් විතරයි අයියා.......

    හ්ම්ම්ම්............ හැමදේම හැමෝටම අයිති නෑනේ නේද..... :) :)

    @ පුතා අයියා.....
    නම නම් අබිලික් වගේ....... "පුතා අයියා..." හිකිස්.....

    අයියගේ උදාහරනේ තමා අවුල. අනේ මංද අපේ රටේත් කිසිම දේකට නිවරදි කළමණාකරනයක් නැති නිසයි ඔහොම අපතේ යන්නේ කියලයි මට හිතෙන්නේ.......

    අර ගොල්ලනේ චූටි මොලේට වඩා අලි බංඩියක් තියන නිසා ඔව්ව දැනෙන්ව නම් බැරිය අයියේ..........

    ReplyDelete
  21. කියවගෙන යද්දි මට ඔය රට යන ගමන ඔලුවට ආව. ඒ එක්ක ම කියල තියෙන්නේ....

    අපේ උන් ඔක්කොම දැන් රට යන්න දගලන්නේ... අහන අහන එකා... මචන් මෙහේ හරි යන්නෙ නැහ.. දියුනුවක් නැහ.. එන්න විදියක් බලපන්කො...

    ඒත් මෙහේ තියෙන කට්ට... දුක.. දන්නෙ ආව එකෙක්.

    ලංකාව දියුනු වෙන එක අහන්නත් සතුටුයි. ඒත් නාස්තිය ගසා කෑම.. අඩු වෙනවනම් තවත් හොඳයි.

    ඒත් ඇත්තටම ජීවත් වෙන්න අමාරුයි නේද මිනිස්සුන්ට ?

    ReplyDelete
  22. රටට කොහොමින් කොහොම හරි හොඳක් වෙනවා නම් එච්චරයි.

    ReplyDelete
  23. මන්නම් බඩු මිල මොකුත් දන්නෙ නෑ. කඩෙන් බත් එකක් ගනන් ගියාම සීයකට එහා පත්තේ යනව කියලා විතරයි දන්නේ.

    ReplyDelete
  24. කස්සා...

    හයිස්පීඩ් වලට ඩොලර් දෙසීයක්..?හෆොයි..
    මෙහෙ එහෙම නැති එකමයි වැඩෙ..එහෙම උනානම් මං ගස්..
    ඊට හපන් අර ඩොලර් දෙසිය පහළොවෙ එක..?හත් දෙයියනේ මගේ මානව අයිතිවාසිකම් කැලේ..?

    ReplyDelete
  25. Praසන්ன...

    ඔක ඉතින් මට දැනෙන විදියනේ..?
    තමන්ගෙ මට්ටම් තංමට්ටං කිවුවළු..

    මාත් මෙ සමාජ..ආර්ථික රටාව තුළ මගේම ක්‍රමයට ජීවත් වෙන බුවා වෙච්චි..
    මට දැනෙන්නේ නං ඔහොම තමයි.

    ReplyDelete
  26. පුතා...

    යාන්ත්‍රණේ..අන්න වචනේ..
    ඔක තමයි අපේ නැත්තේ.

    මම හිතන්නේ අපේ රටට නිසි සැලසුම් කරණයක් නැතිකම තමයි අඩුවකට තිබුනේ.
    ඔනෑම දෙයක් සාධාරණව සිතන සහ තමන් විසින් කරණු ලබන සැලසුම් තුළින් තමාට වැඩි වාසි අත්පත් කරගන්නේ කොහොමද කියලා හිතන්නේ නැතිව මැදහත් සිතින් සැලසුම් සකස් කල හැකි මිනිසුන් කිහිප දෙනෙකුට මෙරට පිළිබඳ සැලසුම් සකස් කිරීමට අවස්ථාව ලැබුණු දාට රට හදන එක මහ වැඩක් නෙවෙයි.

    මම ඇවිල්ලා පුංචි මිනිහා.
    පොතට පතට අනුව නම් මගේ ආර්ථික විද්‍යා දැනුමක් ඇත්තේම නැහැ.
    ඒත් කවුරු හරි කියනවා නම් මෙ රට දියුණු කරන්න බැරි රටක් කියලා..මම ඒ මිනිහාට විරුද්ධව කථා කරනවා.
    හැබැයි දියුණුව කියන දේ මම දකින විදියයි සමාජය දකින විදියයි හුගාක් වෙනස් වෙන්න පුළුවන්...

    මම දියුණුව කියන්නේ මිනිස්සු යාන්ත්‍රික වීම නෙවෙයි.
    අනිකාට ඊර්ෂ්‍යා කරන්නේ නැති. අනිකාගේ සැපත පතන හිත් වලින් පිරි මිනිසුන් සමූහයක් බිහි කරන්න පුළුවන්නම් මෙක දිව්‍යය ලෝකයක්.

    අනික තමයි සරල ජීවිතය.
    මුළු ලෝකෙම තමන් වටෙ කැරකෙනවයි කියලයි හුගාක් මිනිස්සු හිතාන ඉන්නේ නමුත් අපේ මළ කඳනුත් පොළොවට පස් කරගෙනලොකය යන ගමනේදී අපිත් ලෝකය වටෙ කැරකෙන කුඩා ජීව විශේෂයක් විතරයි.
    මිනිස්සු කියන්නේ මෙ මහ පොළොවෙ අයිතිකාරයෝ නෙවෙයි.

    ReplyDelete
  27. මයියා...

    මම පබා වගේ බබා නෙවී මයියා..

    මම කියවලාවත් නැති ව්‍යවස්ථා සංශෝදනයක් පිළිබඳව එකගයි කියන්න තරම් අප්සෙට් පොරක් නෙවී.
    ව්‍යවස්ථාවකට එකගයි කියන්න නම් ඒ ව්‍යවස්ථාවෙ අකුරක් නෑර කියවලා..එහි ඇති සෑම වගන්තියක්ම ඒ මෙ අත පෙරළලා දහස් වරක් කල්පනා කරන්න ඔන එයින් ඇති හොද මොනවාද..එහි ඇති හිල් මොනවාද කියලා.

    මම තාම ලංකාවෙ දැනට තියෙන එකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්වත් කියවලා නැහැ.
    මම කාලයක් සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නාමික සාමාජිකයෙක් වෙලා හිටියා. ඒ මගේ මිතුරකුගේ ඉල්ලීමක් නිසයි.
    ඒ කාලයේ මට අහම්ඛෙන් වාගේ දවසක් කියවන්න ලැබුනා හරිස්චන්ද්‍ර විජෙතුංග කියන මිනිසා විසින් අපේ රටට ගැලපෙන ලෙස එතුමා විසින් ලියනු ලැබූ ව්‍යවස්ථාවක්.
    මම දැනට දුටු සාර්ථකම ලියවිල්ලක් ඒක.ඒකත් මට සම්පූර්ණ කියවන්න ලැබුණේ නැහැ.
    නමුත් කියවපු ටික ඇතුළේ තිබුණා මිනිසකු විසින් ඉතා ගැඹුරින් සමාජය පිළිබඳව කරන ලද අධ්‍යයනයක සැගවුණ කථාවක්..
    ඒ මනුස්සයා ඒ ව්‍යවස්ථාවෙන් ලංකාවෙ සෑම දෙයක්ම ආවරණය කරන්න අරන් තිබුණු උත්සහය විශිෂ්ඨයි. ගම්මිරිස් ඇටයේ සිට රටක තිබිය යුතු යැයි අප අදහස් කරනු ලබන වරාය, ගුවන් සේවා, සහ ඊටත් එහා ගිය පරමාණු තාක්ෂණය ගැනත් එයින් සාකච්ඡා කර තිබූ අයුරු ඉතා ප්‍රසංසනීයයි.
    එය සිහින ලියවිල්ලක් නෙවෙයි..
    යථාර්ථයක් බවට හැරවිය හැකි හොඳ අධ්‍යයන වාර්ථාවක්.

    පසු කාලීනව මාත් පන්සලේ සිටි දෙවන අවුරුද්දේ වගේ ලංකාවට ගැලපෙන ආකාරයට සංවර්ධන යෝජනා මාලාවක් ලියන්නට පටන් ගත්තා. අවශ්‍ය කරන මූලාශ්‍ර සපයා ගැනීමෙ ඇති අපහසුතාවය මත ටික කලෙකින් එය මන්දගාමී ලියවිල්ලක් බවට පත් උනත්..ඒ වන විටත් මම පිටු අසූවෙ කොපි පොත් තුනක් පමණ ලියලා අවසන් කරලයි තිබුණේ ග්‍රාමීය ආර්ථිකය..කෘෂි කර්මාන්තය හා ධීවර කර්මාන්තය පිළිබඳ සෑහෙන කොටසක් ඉවර කරලා තිබුණේ..සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා කර්මාන්ත පිළිබඳ කොටසේදී යම් යම් අංශ පිළිබඳ කරුණු රැස් කරගැන්මට වූ අපහසුතාවය නොවුනා නම් වසර තුනකින් පමණ මට එය ලියා අවසන් කරන්නට තිබුණා. අවසානයේදී එම පොත් දුටු හිමිනමක් එයට බොහෝ උනන්දුවක් දක්වා මගෙන් එම පොත් රැගෙන ගියාට පසු එම හිමිනම සිවුරු ඇරීම නිසා මට පොත් ටික නැවත ලැබුණෙත් නැහැ.
    ඒත් අදටත් මට එම ලියවිල්ල සම්පූර්ණ කිරීමෙ ආශාවක් තියෙනවා.
    සමහර විට මම කවදා හරි ඒ දේ කරයි.
    ඔබට හැකි නම් මට ලංකාවෙ දැනට පවතින ආණුඩුක්‍රම ව්‍යවස්ථාවෙ සිංහල පරිවර්ථනයක් සොයා දෙන්න..
    ඊට අමතරව ඔය කියනා දහහත් වෙනි සංශෝදනයේ සිංහල පිටපතක් ලබා දෙන්න මම දෙකම අධ්‍යයනය කර බලා ඔබ ඇසූ පැනයට නිවැරදි පිළිතුර දෙන්නම්.

    ReplyDelete
  28. හා පැටික්කී...

    අකුරු වලින් නොලිවුවත් හිතන එක නවත්තන්න එපා.
    පොඩි එකී ලෝකය දෙස බලන විදිය හුගාක් හොඳයි.

    ReplyDelete
  29. පිස්සා පලාමල්ල...

    දුක දන්නේ ඒක විඳපු එකා විතරමනේ බං...

    නාස්තිය හා දූෂණය කියන්නේ නැති කර දැමිය හැකි මුත් එසේ නොකරන හරි අපූරු දේවල් නෙව...

    ReplyDelete
  30. හෙළයා...

    මටත් එච්චරයි ඔනා...

    ReplyDelete
  31. අනුරාධ...

    මෙහෙනං සීයට වගේම රුපියල් හැටටත් බත් තියෙනෝ...
    ඒ හැටෙ බත් එකම සමහර තැන්වල එකසිය හතළිහටත් තියෙනවා.

    ReplyDelete
  32. අපේ අය වැඩි දෙනෙක් තමන්ට ලැබෙන ප්‍රමාණයට වියදම් පාලනය කර ගන්න දන්නේ නැහැ. සල්ලි ටිකක් ලැබුන ගමන් අන්තිම බැරි අයත් හිතන්නෙ TV, radio වගේ දේ ගන්න. අනිත් අයට වඩා උඩින් ජීවත් වෙන්න. අපේ රටේ මැද පෙරදිග යන කාන්තාවන් උපයන දෙයින් වැඩි හරියක් වැය කරන්නෙත් ඔය වගේ අනවශ්‍ය දේ වලට. උදේ හවස බන ඇහුවත් සරල දිවි පැවැත්ම කියන එක තේරුම් ගන්න වැඩි දෙනෙකුට අමාරුයි.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  33. මැණික්(සුළඟ)...

    ඔය දේ තේරුම් ගැනීම අපේ හුගාක් අයට බැරි දෙයක්..ඉතින් විදවනවා...

    ReplyDelete