02 August 2010

පන්සලේ ජීවිතේ...කෙටි නිවාඩුවක්...

පසුවදාට එළිවිය... අප හිතුවාටත් වඩා වෙලපහින් සුමන හිමියන් වැඩම කර තිබුණි. වෙනදාට වඩා කළ එළියට හීල් දානයත් ලැබිණි. දානයට පින්දීමත් සුමන හිමියන් අතින්ම සිදු කරන්නට ඉඩ දී අප පසෙකට වී සිටියේ උන්වහන්සේට දායකයින්ට සමීප වීමෙ අවස්ථාව සලසා දිය යුතු නිසාවෙනි.

උදෑසන වෙනදා ආකාරයටම පන්සල් මිදුල් හැමද ඇගපත සෝදා ගත් මා දාන ශාලාවට ගොස් හිමිවරුන් දෙදෙනාටම දානය පිළිගන්වන්නට සූදානම් කලෙමි. උන්වහන්සේලා වළදවා අවසන මාත් ආහාරය ගෙන භාජන සෝදා පවිත්‍ර කොට තබා ආවාසයේ ඉදිරිපසට එන විට සුමන හිමියන් සිවුර කෙටි වන සේ හැද පෙරවා පන්සල් මිදුලේ ඒ මෙ අත සක්මන් කරමින් අවට නිරීක්ෂණය කරමින් ඉන්නා අයුරු දක්නා ලදින් මා උන්වහන්සේ සමීපයට ගියේ තව දුරටත් උන්වහන්සේ දැන හැඳින ගැනීමෙහි ලා මා තුළ වූ කුතුහලය සංසිදවා ගනුවස්ය.

"ආ ළමයා... ඉතින් වැඩ කටයුතු අහවරද..?"

"එහෙමයි හාමුදුරුවනේ..."

"මෙ පන්සල හුගාක් පරණද..?"

"එහෙම තමයි හාමුදුරුවනේ කියන්නේ..කියන විදියට නම් අවුරුදු තුන්සීයක් විතර වෙනවා."

"ඒත් කිසිම කළඑළියක් නැහැ නේද..?"

"එහෙමයි හාමුදුරුවනේ.."

"මිනිස්සු එහෙම නිතර යනවා එනවද..?"

ටිකක් විතර එනවා යනවා."

"මට ඥාණාලෝක හාමුදුරුවෝ නම් කිවුවෙ සෙනග හුගාක් පන්සලට ඉන්නවා කියලයි."

"ඒක නම් එහෙම තමයි..හරියට බැළුවොත් සෑහෙන දායක පිරිසක් ඉන්නවා..ඒත් ඉතින් එන ප්‍රමාණය නම් හාමුදුරුවන්ටම බලා ගත්තහැකි."

"ඒ උනාට ඊයේ සෑහෙන පිරිසක් හිටියා නේද..?"

"ආ ඊයේ නම් සෑහෙන පිරිසක් හිටියා තමයි.. ඒක නෙවෙ..මම අහන්නමයි හිටියේ හාමුදුරුවනේ..මොකද ඊයේ පෙරහැරට උනේ..?"

"මම දැක්කා බස් එකේ එන කොට කට්ටිය ගජරාමෙට ලෑස්ති වෙලා ඉන්නවා..ඒ ගමන මම හිමින් සැරේ අනිත් පැත්තෙන් බැහැලා පයින් තනියම ආවා.."

"ඒ මොකද හාමුදුරුවනේ...?"

"නෑ ඉතින් පෙරහැරෙ ආවා කියලා මොනවා ලැඛෙනවද..? අනික හොරෙන්ම ආවම හරියටම විස්තරේ බලා ගත්තැකිනේ..."

"ඒකත් ඇත්ත තමයි..."

"ඒක නෙවෙයි..මෙ පන්සලට හුගාක් ඉඩම් තියෙනවද..?"

"දන්නා තරමින්නම් සෑහෙන්න තියෙනවා හාමුදුරුවනේ.."

"ඒවායේ ආදයම් කලට වෙලාවට ලැඛෙනවා ඇති නේද..?"

"මොන ආදායම්ද..?"

"ඇයි ඒ ඉඩම් වගා කරලා නැද්ද..?"

"සමහර ඒවා නං වගා කරලා තියෙනවා..තවත් ඒවා හිස්.. ඒත් ඒ එකකින්වත් මෙහාට නම් මුකුත් දැනටනං ලැඛෙන්නේ නැහැ."

"ඒ ඇයි...?"

"ටිකක් මිනිස්සු බලාහත්කාරයෙන් කනවා.. තව ටිකක් ටවුමෙ පන්සලේ හාමුදුරුවෝ වගා කරලා තියෙන්නේ..ඒවා ඒ හාමුදුරුවෝ ගන්නවා..හිස් ඉඩම් ටිකට දත ගහන්න තව කීප දෙනෙක් බලං ඉන්නවා. ඒත් ටවුමෙ හාමුදුරුවෝ හින්දා එයාලට ඒක තාම කරගන්න බැරි වෙලා තියෙන්නේ..."

"ඒකත් එහෙමද..?මට ඥාණාලෝක කිවුවෙ නම් හොඳට ආදායම් තියෙනවා කියලා...එතකොට මෙ පන්සල් වත්තේ ඉඩමෙ අන්නාසි වගාවෙ ආදායමනම් මෙහාට වෙන්න ඇතිනේ..නේද..?"

"නැහැ හාමුදුරුවනේ..ඔය අන්නාසි දාලා තියෙන්නේ තිස්ස අයියා කියලා කෙනෙක්..එයා මෙයිට ගම් දෙක තුනකට එහා ඉන්නේ.. එයා වගා කරන්න ගන්න කොටම සෑහෙන මුදලක් මෙහෙ ඉඳලා රට ගිය හාමුරුවන්ට ගෙවලා..ඒ හින්දා දැනට නම් කීයක්වත් හම්බ වෙන්නේ නැහැ.."

"එතකොට අර අන්නාසි වගාව අතර දාලා තියෙන කෙසෙල් වගාව..?"

"ආ ඒ අපේ ටවුමෙ පන්සලේ හාමුදුරුවන්ගේ වැඩ..උන් වහන්සේ තිනියම වලවල් කපාගෙන මහන්සි වෙලා ඉන්දපුවා..දැන්නම් කෙසෙල් හැදෙන්නත් ළගයි. ඒවා නම් ඉතින් කොට උඩ තමයි.."

"ඒ මොකද..?"

"නෑ ඉතින් ඔවට අත තියන්න ගියොත් ඒ හාමුදුරුවෝ තරහා වෙනවා..ඊට පස්සේ වටෙ පිටෙ හාමුදුරුවරුත් එයාගේ පැත්ත ගන්නවා. දානයකට හාමුදුරුවරු හත්අට නමක් හොයා ගන්න දැනටත් රට වටෙ යන්න වෙලා තියෙන එකේ..ටවුමෙ පන්සලේ හාමුදුරුවෝ තරහා උනොත් හෙන පරිප්පුව තමයි..."

"ම්..ම්... ඒක නම් එහෙම තමයි..."

"එතකොට මෙහාට කියලා කිසිම ආදායමක් නැද්ද..?"

"තියෙනවා අපේ හාමුදුරුවනේ..."

"ඇත්තට ඒ මොනවැයි..?"

"ඔය ආවාසේ වටෙ තියෙන පොල් ගස් පහ හයයි තැඹිළි හතර පහයි..ඊට අමතරව පන්සලේ පින් කැටෙටත් මාසෙකට රුපියල් තිහක් විතර වැටෙනවා..හැබැයි ඉස්සරහ වත්තේ කොළුවා උස්සන්න කළින් ගන්න ඔන..නැත්තං පියන ගැලවිලා හින්දා ඒ සල්ලි ටික හැරෙන තැපෑලෙන් පොඩි එකා උස්සනවා.. ඊට වඩා තියෙන ආදායම ඉතින් ඔය උපාසක අම්මලා දානේ ගෙනාවම ලයිට් බිලට කියලා දීලා යන කීයක් හරි තමයි..ඒකත් ඉතින් රුපියල් දහයක් විස්සක් තමයි."

"හ්ම්ම්..." දිගු හුස්මක් හෙළු සුමන හිමියන් ආවාසය පිටුපස වූ රඹුටන් ගසට නෙත් යොමා

"මෙ රඹුටන් ගහ නම් ඉරුවොත් ගාණකට දෙතෑකි නේද..?"

"ඔක ඉරන්නේ කොහොමද හාමුදුරුවනේ අර උඩ ඉඳලා යටට දුවන ඛෙනේ පේන්නේ නැද්ද..?"

"හ්ම්..ඒකත් එහෙමයි නේද..?"

"මෙ පන්සල් වත්ත වටෙට තියෙන උණ පඳුරු කොහාටද අයිති."

"ආ ඒවා නම් පන්සල් වත්තට තමයි අයිති."

"ම්..ඒ ටික නම් සෑහෙන ගාණක් වටිනවා..."

"ඔවු හාමුදුරුවනේ..ඒත් ඉතින් ඔය ගහ දෙක කපනවා මිස දැන් වැඩිය කපන්න බැහැනේ..පෝමිට් නැතිව.."

"අප්පා මොකක්ද මෙ පන්සල...? මෙ ලෝකේ ආදායමක් නැහැනේ.."

"ආදායම් නම් ඉතින් ඒ තරම් නැහැ හාමුදුරුවනේ..ඒත් මිනිස්සු ටික එකතු කරගෙන වැඩ කරන්න පටන් ගත්තොත් නම් මෙක කරගෙන යන්න පුළුවන් වෙයි.."

"මෙ මිනිස්සු එක්ක වැඩ කරන්න පුළුවන් වෙයිද මන්දා..."

"බැරි නැහැ හාමුදුරුවනේ..හැබැයි අර ඊයේ පටන් ගත්ත විදියටනම් නෙවෙයි."

"ඒ මොකද..?"

"මෙහෙ ඉන්න මිනිස්සු එක පාරට කිවුව පළියට වැඩ කරන්නේ නැහැ. ටිකක් ඒ මිනිස්සු අතරට ගිහින් පන්සලේ දියුණුවට කටයුතු කරන ගමන් ඔන ආවාසේ ගැන බලන්න වෙන්නේ... එහෙම නැතිව ආවාසේ හදලා දෙන්න කිවුවට ඒක මෙ මිනිස්සු ඒ තරම් කනට ගන්න ජාතියක් නෙවෙයි. ඒ අය හිතන්නේ හාමුදුරුවන්ට ඔය කොහොම ඉන්න බැරිද කියලා..."

"මම හිතන්නේ නැහැ.. දැන් ඊයේ මම කිවුව දේවල් අර මිනිස්සු පිළි ගත්තනේ.."

"පිළි ගත්තට හාමුදුරුවනේ හදලා දෙන්න කවුරුවත් ඉදිරිපත් උනේ නැහැනේ...ඔනනම් ඔබවහන්සේ බලාගෙන ඉන්න හදලා දෙනකම්..හැබැයි වැඩෙ සිද්ධ වෙන එකක් නැහැ. හාමුදුරුවන්ට පුළුවන්නම් ගමට බැහැලා ගිහින් මිනිස්සු ටික එකතු කරගෙන ඇවිත් ටික ටික මිනිස්සු පන්සලට හවුල් කර ගන්න.. අන්න වැඩෙ කර ගන්න පුළුවන් වෙයි."

"එහෙම කොහොමද..? ඒ මිනිස්සුනේ මාව එක්ක ආවෙ..එයාලා දැන ගන්න ඔන මෙවා හදලා කරලා දෙන්න."

"ඒක ඇත්ත හාමුදුරුවනේ..ඒත් දැන් ඉන්න මිනිස්සුන්ට මෙවා කර කර ඉන්න වෙලාවක් නැහැ. හැමෝම බලා ඉන්නේ අරයා කරයි මෙයා කරයි කියලා..හාමුදුරුවෝවත් වැඩෙට මුල පිරුවොත් වැඩෙ ටික ටික හරි ගොඩ යයි..නැත්තං ඉතින් බලාගෙන ඉන්න තමයි වෙන්නේ..."

"අනේ මට බැහැ ඕකුංට වඳින්න යන්න...උන්ට ඔනනං කරපුවාවේ..."යි

කියූ සුමන හාමුදුරුවන් නිහඩ වූ අතර.. වෙන්නේ කුමක්දැයි හොඳාකාරවම මා මෙවන විට අවබෝධ කරගෙන උන්නෙමි. ඒ මා මෙ මාස කිහිපයට ගම් වැසියන් පිළිබඳව හොඳින් දැන හඳුනාගෙන සිටි නිසාය...

එදින දහවල් දානය ගෙන ආ පිරිස හැරුනු කොට සුමන හාමුදුරුවන් බලා සිටියද..සවස් කාලයේ කළින් දින පැමිණි දායක පිරිස පැමිණියේ නම් නැත. සුමන හිමියන් එදිනද රැය පන්සලේ පහන් නොකොට පිටව යන ලදි. මෙය අප දෙදෙනාට ගැටළුවක් වූයේ එහිමියන් යන තැනක් අපට නොපැවසීමත්..පන්සල භාර ගත්තානම් මෙහි වසන්නේ නැතිව කොහේ යන්නේදැයි සිතා ගත නුහුණු බැවිනි.

මෙසේ දෙතුන් දිනක් ගත වූ අතර ඒ එකඳු දිනක් හෝ පන්සලේ රැයක් ගත කලේ සුමන හිමියන් නම් නොවෙ.

මෙ අතර චන්දවිමල හිමියන් හා මා විසින් මෙයට පෙර සිට යොදා ගත් ගමනක් යෑමට සූදානම්වීමු.
එම ගමන නම් චන්දවිමල හිමියන්ගේ මවුපියන් බැලීමට යෑමයි.

පසු ගිය දිනවල එම ගමන යෑමට සූදානම්ව සිටි මුත් පන්සලෙහි නිසි භාරකරුවකු නොමැතිව එය දමා අප දින කිහිපයක් පිටමන්ව සිටීම නුසුදුසු බැවින් ගමන දිනෙන් දින කල් යැවුනු අතර දැන් සුමන හිමියන්හට පන්සල භාරවී ඇති හෙයින් අප එම ගමන තවත් කල් නොදා යෑමට තීරණය කළෙමු.

මෙ පිළිබඳව සුමන හිමියන් දැනුවත් කල අප දෙදෙන කෝකටත් කියා රූපරතන අයියාටත් මෙ ගැන පැවසීමු.

"රූපරතන අයියේ අපි චන්දවිමල හාමුදුරුවන්ගේ ගෙදර ගිහින් එන්න යනවා. සුමන හාමුදුරුවන් විතරයි පන්සලේ තනියම..ටිකක් බලන්න වෙයි."

මෙවන විට සුමන හිමියන් පන්සලේ රැය පහන් නොකරන බව රූපරතන අයියා සහ දයාසේන අයියා විසින් දැන හුන් නිසා මෙයට ඔවුන්ද කැමති වූයේ..අප නැති වූ විටවත් සුමන හිමියන් පන්සලේ රැඳේවියැයි සිතූ නිසාය

"ආ ඔයාලා ගිහින් එන්න අපි බලාගන්නම්."

"කෝකටත් රූපරතන අයියා නිතර ඇවිල්ලා යන්න.
පන්සලේ කාමර ඔක්කෝම ඇරලා තියෙන්නේ අපි ඒවා වහලා යන එක හරි නැහැනේ..
ඒත් කරඩුව තියෙන කබඩ් පියනේ යතුර තියලා යන එක හොඳද මන්දා.."

"ඇයි ඔයාට එහෙම මුකුත් සැකයක් තියෙනවද...?"

"නෑ මම නිකං කිවුවෙ..ඒත් මට ඒ තරම්ම ෂුවර් නැහැ.." මා පවසන්නේ කුමක්දැයි රූපරතන අයියා තේරුම් ගෙන තිබිණි.

"ඔයාට එහෙම හිතෙනවනං අපි යතුර ටවුමෙ පන්සලේ හාමුදුරුවන්ට දීලා දාමු. කොහොමත් දානයක් නැහැනේ මෙ දවස් ටිකේ..කරඩුව ඔන වෙන්න.. අනික ඔයා දැන් පන්සලේ ඉඳලා හාමුදුරුවරු ගැන අපි නොකිවුවට දන්නවනේ..."

"එහෙනං රූපරතන අයියේ මම යතුර දෙන්නම් ඒක ගුණරතන හාමුදුරුවන්ට දෙන්න."

"හා හොඳයි..."

ඉක්බිති පන්සලේ සියළුම තැන් පිළිබඳව සුමන හාමුදුරුවන්ට පැහැදිලි කර දී අප දෙදෙනා දිනක් දහවල පන්සලෙන් පිටත්ව ගියේ සුමන හිමියන් පන්සලට වැඩම කළ පසුය. අප මෙසේ යන ගමන ගැන සුමන හිමියන් තරමක් නොසතුටු වූයේ අප නැති අතර පන්සලේ රැදී සිටීමට සිදු වීම නිසාය. ඒ හැර අපගේ ගමනට කිසිවකුගෙන් බාධාවක් නොවිණි.

ආපසු එන දිනයක් අරමුණු කර නොතිබූ අප සිතා සිටියේ අවම වශයෙන් සති දෙකක්වත් පන්සලට නෑවිත් ලද නිදහසින් උපරිම වින්දනයක් විඳීමටය... ගමනට අවශ්‍ය තරමට නොවූවත් මාස කිහිපයක් තිස්සේ ටික ටික ඉතිරි කරගත් මුදලක් අප සතු වූ අතර එය බස් ගාස්තුවට සෑහිනි.
කෑම බීම ගැන එතරම් ගැටළුවක් නොවූයේ චන්දවිමල හිමියන්ගේ පැවිදි සොහොයුරන් කළුතර දිස්ත්‍රීක්කය පුරාම පන්සල් වල විසීරී සිටි බැවිනි.

දින ගණනාවක් ගත කිරීමට යැයි සිතා පිට වූවත්...අවසානයේ සිදු වූයේ එය නම් නොවෙ...

...................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

24 comments:

  1. මොකක්ද උනේ... :O

    ReplyDelete
  2. අද නම් නියමෙම නියමයි ඕං...

    ReplyDelete
  3. හසී...

    මෙ විරාමයෙන් පස්සේ...

    ReplyDelete
  4. ඉතින් ඊට පස්සේ......

    ReplyDelete
  5. Shadow/හේමලයා...

    යකෝ මෙක හරි මගුලක්නේ..

    මෙ වැඩෙ හරියන්නේ නැහැ.
    මෙච්චර දිගට ලියලා දාලත්, අනිත් පැත්ත හැරුන ගමන් ඉතින් ඊට පස්සෙලු..?

    අපොයි මට බැහැ..මට බැහැ..
    ලියනවා කියලා මෙහෙමත් ලියන්න ඇහැකිය..?
    මීට පස්සේ දිගට ලියලා ඒක කොටස් විස්සකට විතර ඛෙදලා දාන්න ඔන එක එක..
    ඇයි වදේ..කොහොම කියලා ඔය තරම් ලියන්නද..?

    ReplyDelete
  6. @ මාර
    ‍විශේධත්වය තමයි "දෙබස්"

    ReplyDelete
  7. ඊළඟ කොටස තෙක් නොඉවසිල්ලෙන් සිටිමු,,,

    ReplyDelete
  8. wath...

    දෙබස් සහිතව නම් ලියන්න ඇහැකි..ඒත් කතාව නවතින්නේ මහ දිග කතාව වෙලා තමයි.
    හරියට දෙබස් සමගම මුල ඉඳලා ලියන්න ගියොත් යුද්ධය හා සාමය පොත් පෙළට වඩා එක වචන පේළියක් හරි වැඩි මිසක් අඩු නම් වෙන එකක් නැහැ.

    හැබැයි ඉතින් එහෙමම ලියන්න තියෙනවා නම් මමත් කැමතියි.
    ඔයාලටත් කථාව හොඳටම අල්ලලා යයි.
    ඒත් මගේ ඇගිළි තුඩු..?

    ReplyDelete
  9. හරී...

    අනේ අම්මෙ...එකක් ලියලා තාම හති අරිනවා...

    ReplyDelete
  10. ඥානේ මෙයාටත් බොලෙ බස්සලා වගේ පන්සලට එවලා තියෙන්නේ,එත් ඉතින් කිවුවත් වගේ පන්සලටත් මෙලෝ දෙයක් තිබිලා නෑ නේ,,සුමන හිමියොත් බායි කියයි වගේ ලගදිම,හරි හරි ඔහොම යමු බලන්න

    ReplyDelete
  11. ItalyDilan...

    ඒ මෙලෝ දෙයක් නොතිබූ පන්සලේ තමා මාත් මහණ උනේ...
    ඒත් ඉතින් උවමනාවයි..හරි සැලැස්මකුයි තියෙනවනම්.. මුදල් කියන්නේ බොහෝම සුළු කාරණාවක් පමණයි.
    අපි හරි දෙයක් කරනවානම් ඒවාට මුදල් දෙන්න ඔන තරම් පිරිස ඉන්නවා.
    ඒ ගැන මම ඉස්සරහට කියන්නම්කෝ...

    ReplyDelete
  12. ෂහ්, පිංකැටයට වැටෙන්නෙ රුපියල් 30 ද ? මම හිතුවෙ එකේට වැටෙන ගානට බ්ලෙන්ඩර් එකක් අරන් දෙන්න කියලා. ඊලඟ පාරවත් බනානා මිල්ක් ෂේක් එකක් හදන්න . අන්නාසි තියෙන නිසා පයිනැපල් මිල්ක් ෂේක් එකකුත් නරකම නැහැ.

    අද කතාවනම් මරු . . . ! හොඳට කුතුහලය පිරිලා.

    ReplyDelete
  13. දුමී...

    ඒකනේ වැඩෙ..
    රුපියල් තිහෙන් මොනවා කරන්නෙයි.
    දැන් නම් බනනා ගෙඩි දෙකක් ගන්නත් ඒ ගාන මදි.

    ReplyDelete
  14. අදනම් එලටම ලියලා තියනවා.....මටත් එතන හිටියාවගේ තමා දැනෙන්නේ....

    හදිස්සියේම එන්න උනේ මක්කැයි..බාරකාර හමුදුරුවෝ මොනවා හරි අටමගලයක් කරගෙනද,,,>

    ReplyDelete
  15. ඔය කිව්වට මාරයම තමා මට කිව්වේ ඔය අන්නසි වගාවට සල්ලි යට කලාට පාඩුවක් වෙන එකක් නෑ කියලා... දැන් අඟවන්නේ වෙනම කථාවක්...!

    ReplyDelete
  16. ඉලංදාරියා...

    දෙබස් වැඩෙ නං හොඳයි වගේ තමා...
    ලියන්න කල් යන එක තමා පරහා..

    බලමුකෝ මොකද ඊළගට වෙන්නේ කියලා...

    ReplyDelete
  17. තිස්ස අයියා...

    කෝ ඒ කිවුවට තාමත් මගේ කොටහා දුන්නේ නැහැනේ..

    ReplyDelete
  18. ෂා ප0කාදුයි කතාව

    මට නම් පේන විදිහට ඔය හාමුදුරුවෝ සේරටම හපන් හොද වැඩ කාරයෙක් පාටයි
    ආපු ගමන් වැඩ පටන් අරන් වගේ...

    ReplyDelete
  19. හසී රන්...

    වැඩ කාරයෙක්දත් අහනවා...

    ReplyDelete
  20. Niyamai ithurutikath ikmanata kiyaweemata balaporoththu wemi...........

    Nish

    Samawenna one sinhalen liyanawata man langa converter ekak nehe. Softwhere gana loku dannemakuth mata nehe. kiyawanna asa nisa blog kiyawanawa. Balamu mama hoyagena yanawa sinhalen liyana hati.......... Sarthaka wei idiriyedima

    ReplyDelete
  21. "අප්පා මොකක්ද මෙ පන්සල...? මෙ ලෝකේ ආදායමක් නැහැනේ.."
    කතාව නම් නියමයි. ඊළග කොටස ආවම බලමු.

    ReplyDelete
  22. මේ වෙනකම් සියලුම කොටස් කියෙව්වා. ඉතිරියත් ඉක්මනටම ඕනේ.
    :)

    ReplyDelete
  23. මොකෝ සුමනෙ අයිය පංසල අතෑරලදාල ගියපු නිසාද ගමන මග නවත්තල එන්න උනේ?

    ReplyDelete