09 August 2010

රියල් නිධාන කථාව...

කොහේද ඉස්සෙල්ලා කියන්න කියලා හැදුවට කියන්න උනායෑ...
ඔන්න දැන්නං කියනවා කියනවාමයි.

ඉතින් මුලින්ම ගාථාව බලලා ඉන්නකෝ...

හරි..දැන් කතාව..මට මතක හැටියට...

ඔය කට්ටිය දන්නවා නේද කොසොල් රජතුමාව...
නොදැන කොහොමද..?

ඉතින් මෙ කොසොල් රජ්ජුරුවෝ අපේ බුදු හාමුදුරුවොත් එක්ක පුදුම සමීප ඇසුරක් තමා තිබුනේ..
එහෙම කියද්දී මතක් උනේ..මම මෙ කතාව කියපු වෙලාවක පංතියේ හිටපු කටකාර කොල්ලෙක් කියනවා..බුදු ෆිට් එකක්ද තිබුනේ කියලා...
අනේ ඉතින් ඌ පොඩි එකානේ...

හා හා..ආයෙත් කතාවට...

ඉතින් මෙ කොසොල් රජ්ජුරුවෝ මොන තරම් වෙහෙර විහාර වලට ආවා ගියා උනත්, මොන තරං දන් පින්කම් කලා උනත් මෑන්ස් ටිකක් මැන්ටල් වැඩ කරන හාදයා...
මට පවු කියලත් හිතෙනවා මෙයාලා..අන්තිමට රජා මලෙත් පාරේ අම්බලමක නෙව..සීතලේ බඩගින්නේ...
ඒ කතාව පස්සේ දවසක කියමුකෝ..(කවුරු හරි මට මතක් කරන්ට ඔන හොඳද..?)

ඉතින් කතාව මෙකයි..

දවසක් අපේ කොසොල් රජු ටිප් ටොප් එකට සැරසිලා වීදී සංචාරය කොරන වෙලාවෙ දැක්කා නෙව එක්තරා ඉස්තිරියක්..
මෙක ටිකක් පිස්සු හැදිලා ආයෙත් හැදෙන අන්දමෙ රූපකායක් තිබුනු ඩයල් එකක්.
පිස්සු පීකුදු.

ඉතින් අපේ මෑන්ස් ඒ කිවුවෙ රජතුමාත් මෙ ඩයල් එක දැකලා හරියට නිකං අයිස්චරියා දැකපු රංජන් රාමනායක වගේ කොරවෙලා හිටියා.

දැන් ලොක්කට ආසාවෙ බැහැ මෙ ඇත්තිව තමන්ගේ සිරියහන් ගබඩාවට කැන්ද ගන්න.
ඔන්න ඉතින් අහන්න එපා ඒ මක්කටැයි කියලා...අර කොටු කොටු දාන දර්ශනයක් රගදක්වන්ට වෙන්න ඔන මයෙ හිතේ...

ඉතින් මෙ ගැන හිතලා රජා මොකද කලේ...
යැවුවා තමන්ගේ ළගම හිටිය ඇම්බැට්ටයෙක් විස්තර ටිකක් හොයං එන්ටය කියලා...
දැන් ඉතින් මට ඔන්න තවත් කතා මතක් වෙනවා...

මෙ වෙන වෙන ගෑනු ගැන හෙවුවට මොකද කොසොල් රජ්ජුරුවන්ටත් හරි අපූරු බිරින්දෑ පොඩ්ඩක් හිටියා නෙව.
මල්ලිකා දේවී...

ඔයාලා අහලා ඇති අර පන්සල හතර මායිමෙ යන්ට අකමැති දේවියව පන්සල් යවන්ට රජතුමා කවීන් ලවා පන්සලේ ලස්සන කියලා කවි ගොතවලා..ඒ කවි බිසවට ඇහෙන්ට ගායනා කරවපු නිසා ඒ කවි අහලා පන්සලේ සිරි බලන්ට ගිය දේවිය දන්නෙම නැතිව බුදු හාමුදුරුවෝ ළගට ගිහින් එතන ඉන්නකොට බුදු හාමුදුරුවෝ මවලා පෙන්නපු ලස්සන කාන්තාවෝ දෙන්නා ටික ටික වයසට ගිහින් අන්තිමට දිරලා යන ආකාරය දැකලා එච්චර කාලයක් තමන්ගේ රූපය ගැන ආඩම්බරයෙන් හිටිය බිසවගේ ගණන් බැහැලා පිනට දහමට යොමු වෙච්ච කතාව...

අන්න ඒ කතාවෙ ඉන්න දේවියම තමයි මෙ මල්ලිකා දේවිය..
ඔයාලා ඒ කතාව අහලා තිබුනට උන්දෑ අපායේ ගිය කථාව දන්නේ නැහැ නේද..

එතකොට අද හුගාක් රූපවාහිනී නාලිකා වලින් පට්ට පතුරු ගහන ඇසි දිසි එහෙමත් නැත්තං අසදෘස කියන වචනයට අදාළ දානය දුන්න කාන්තාව ගැන..
ඒ කියන්නේ අසදෘෂ මහා දානය පිළිබඳව කතාවත් ඒ දානය දුන්නේ කොහොමද..? ඇතුන් මදි වෙලා වෙච්ච කේස් එහෙම..?පස්සේ වෙලාවක අහන්ටකෝ මං කියා දෙන්නම්.

හරි අපූරු කතා ටික..

හා හා ආයෙත් කතාවට...

ඉතින් අර රජ්ජුරුවන්ගේ ගේම් එකට ගිය ගොබිලා කරුණු කාරණා හොයාගෙන අපහු ආවා..
ඒත් ගෙනත් තිබුණු නිව්ස් එක නම් එච්චර හොඳ නැහැ.

ඒ ඇයි..?

අර කාන්තාව දැනටමත් විවහා වෙලා නෙව..මළ කෙළියයි. දැන් මොකක්දෑ කොරන්නේ..?

මොනවා කළත් දැන් රජාට මෙ ගෑනු පරාණේ එක දවසකට හරි තමන් ළගට ගන්න ඔනේ..

ඒත් ඉතින් මනුස්සයෙක් ඉන්න ගෑනියෙක් බලෙන් ගන්න එක තත්වෙට හරි මදි.

ඉතින් මෙයා තමන්ගේ ටිකිරි මොලේ පාවිච්චි කරලා විසදුමක් හොයා ගත්තා..
ඒ තමයි මෙ කාන්තාවගේ පුරුෂයා රාජ උදහසට ලක් කරලා මරලා දාන්ට..ඊට පස්සේ බැරියෑ අර තනි උන කාන්තාවට පිහිටක් වෙන්න..

ඉතින් දවසක් රජ්ජුරුවෝ අර කාන්තාවගේ ස්වාමි පුරුසයට රජ ගෙදරට එන්න කියලා පණිවිඩයක් ඇරියා.
පොරත් බයේ ගැහි ගැහී ගියා බලන්ට මොකක්ද මෙ උවමනාව කියලා බලන්ට. මොකද මෙ වෙනකොටත් අර කාන්තාව තමන්ගේ ස්වාමි පුරුසයාට කියලා තිබුනේ රජ්ජුරුවෝ පාරෙ යන ගමන් තමන්ව දැකලා කෙළ හල හල ගිය විත්තිය.

කොහොම හරි රජ ගෙදරට ආපු මනුස්සයට රජ්ජුරුවෝ වැඩක් පැවරුවා..ඒ වැඩෙ එදා හවස් වෙන්ට කලියෙන් කොරන්ට ඔනය කියලා...

වැඩෙ කොළොත් තෑගි බෝග..
බැරි උනොත් ඉතින් රාජ උදහස..
කාලා වරෙංකෝ නේද..?

ඉතින් මක්කද මෙ පැවරුව වැඩෙ..?

හරි සිම්පල් මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ..

දැන්ම ගෙදරින් පිටත් වෙනවා..කෙළින්ම නුවර ප්‍රධාන දොරටුවෙන් පිටවෙලා..ගිහිල්ලා නුවරින් පිටත සතර ගවුවක් දුරින් තියෙන ජලාශයට ගිහින් හවස රජ්ජුරුවෝ නාන වෙලාවට කළින් කඩුපුල් මලූයි අරුණුවන් මැටියි අරගෙන එන්න ඔන..

මෙ කඩුපුල් මල්නං මම දැකලත් නැහැ..අර අටපට්ටමෙ හසන්ත උන්නැහේනං කඩුපුල් මල් කියලා මොනවද එක පාරක් පෙන්නුවා..ඒත් ඒවා කඩුපුල් මල්ද කියන්ට මම දන්නේ නැහැ ඔං..
අරුණුවන් මැටිද..?ඒවත් එහෙම තමයි ඒවා මම දැකලත් නැහැ.
නොදන්න මගුල් ගැන කියන්ට මම දන්නේ නැහැනේ...

ඉතින් අර මනුස්සයට තේරුනාළු මට ඉතින් බඩු බනිස්ම තමා කියලා මොකද මෙ කියපු ජාති දෙකම තියෙනවා කියන්නේ නාග ලෝකේ විතරයිලූ නෙව...

මොනවා උනත් දැන් ඉතින් කරන්ට එපැයි කියලා හිතලා අර මනුස්පයා විගහට ගෙදර දුවලා තමන්ගේ බිරින්දෑටත් මෙ විත්තිය කියලා ගමන යන්ට පිටත් උනා..ආ ඒ යන්ට කළින් ගෙදර ලිපේ බාගෙට ඉදෙමින් තිබුණු බත් මුට්ටියෙන් බත් ටිකකුත් මුලක් බැදගෙන තමයි ගියේ..

කොහොම හරි දැන් මෙ මනුස්සයා අර කියාපු පොට් එකට ගියා කියමුකෝ...
පොරට දැන් හරි මහන්සියි.ඇයි යකඩෝ ගව් හතරක් කියන්නේ හැතැප්ම දාසයක්නෙව..

ඉතින් අර අරගෙන ආපු බත් මුල ලිහලා පාරේ හිටිය දුගියෙක-ටත් බාගයක් දීලා තමනුත් කාලා, ඉතිරි ඇට ටික ජලාසේ හිටිය මාළුන්ට කන්න දුන්නා..ඒ දීලා කරලා අහක් වෙලා දැන් මෙයා ජලාසේ දිහා බලාගෙන අඩනවා..

මෙ ඇඩිල්ල අහගෙන හිටපු ජලාසෙට අධිපති දෙවියා එක පාරට මතු උනා..
අනික දැන් අපේ බුවා පින්කම් දෙකක්ම කරගෙනනේ ඉන්නේ..
ඉතින් දෙවියෝ අනත් බලන්න එපැයි.

ඉතින් මෙ දෙවියා කිරියාත්මක වෙලා අර හොයාගෙන ආපු කඩුපුල් මල් සහ අරුණුවන් මැටි කියන ජාති දෙකම ගෙනත් දුන්නයි කියමුකෝ..

දැන් අපේ මෑන්ස් එනවා හිටු කියලා ආපහු.
ඇයි යකඩෝ හවස් වෙන්ටත් කළියෙන් මෙ අටමගල් දෙක අර රජාට දීලා දාන්ටත් එපැයි..
කොච්චර ආවත් ගමනේ නිමක් නැහැ.
අන්තිම ටික කියලා දන්නවා උනත් ඒ ටික දුරත් හෙන දිගයි වගේ දැනෙනවා.
කොහොම හරි අමාරුවෙන් ආවා කියමුකෝ...

ඒත් වැඩෙ හබක්..ඒ මොකදෑ..

රජා මෙ වැඩෙ අර මෑන්ස්ට පැවරුවෙ කරන්ට බැරි බව දැන දැන උනත් මොන මළ දානෙකින් හරි මෙවා හොයාගෙන ආපහු ආවොත් වැඩෙ අප්සෙට් යන නිසා වෙලපහම නුවර දොරටු වස්සවලයි තිබුනේ.

දැන් මක් කරන්නද අර මනුස්සයට කර කියාගන්න දෙයක් නැහැ..බුවා අඩ අඩ නුවරින් එපිට අම්බලමක රැය පහන් කොරන්ට පටන් ගත්තා.

දැන් රජ්ජුරුවොත් පුල් හැපී එකේ දොයි..ඇයි හෙට උදේම අර මනුස්සයා අල්ලගෙන රාජ අණ ඉටුකොරන්ට බැරි උන වරදට ඒකා උල තියලා..ඊට පස්සේ අර ඇත්තිව රාජ සන්තක කොරලා..ඊට පස්සේ අර සිරියහන් ගබඩාවෙ කොටු කොටු කතන්දරේට අල්ල ගත්තහැකිනේ...

ඒත් වැඩෙ කියන්නේ මහ රෑ රජාට මාර මගුලක් උනා.

ඒ කිවුවෙ හීනෙන් බය වෙලා ඇහැරුනා.

එකපාරට රජ්ජුරුවන්ට මහ භයානක හඩින් දු-ස-න-සෝ කියන අකුරු හතර මහ හඩින් අමනුස්සයින් විසින් කියනවා ඇහිලා තමයි නැගිට්ටෙ..ඒ අකුරු ඇවිල්ලා ගාථා හතරක මුලකුරු..මට ගාථා හතරනම් මතක නැහැ.
පළවෙනි එක නම්
දුජ්ජීවිතං අජීවිම්හ යේ සන්තේ න දදම්හසෙ
විජ්ජමානෙසු භොගෙසූ දීපං නා කම්ම අත්තනො
වගේ තමයි යන්තං මතක..

කොහොම හරි දැන් රජා බය වෙච්ච පාර නිදි නැතිව ඉන්නවා..දැන් එළි වෙයි..දැන් එළිවෙයි...
කිය කිය හිත හිතා. ඒත් එළි වෙන පාටක් නැහැ..
අන්තිමට අමාරුවෙන් අමාරුවෙන් ඉදලා එළි වෙච්ච ගමන් දිවුවා ලකලෑස්ති වෙලා බුදු හාමුදුරුවෝ හොයාගෙන..

ඒ මොකද මෑන්ස්ට මොකක් හරි බය හිතෙන දෙයක් උණ ගමන් ගිහින් බුදු හාමුදුරුවන්ගෙන් අහන්න පුරුදු උනා..
ඒකත් උනේ අර ප්‍රසිද්ධ හීන දහසයේ කතාව නිසා. දන්නවනේ ඒ කතා ටික නේද..අනේ මටනම් කියන්ටයි කියන්න එපා ඔං මට ඒ ඔක්කෝම හීන ටික මතක නැහැ.

ආයෙත් තව පොඩ්ඩෙන් පීළි පනිනවා...

ඉතින් බුදු හාමුදුරුවෝ හම්බ වෙච්ච අපේ මහරජ කොසොල් තමන්ට වෙච්ච..එහෙමත් නැත්තං අහන්න වෙච්ච අර භයානක ශබ්දය පිළිබඳව විමසා සිටිය වෙලාවෙ..අපේ බුදු හාමුදුරුවෝ කියා දෙනවා වෙච්ච දේ...

අර ශබ්දය නගලා තියෙන්නේ ඒ වෙනකොට අපාගත වෙලා හිටපු පෙර කල විසූ සිටුවරු හතර දෙනෙක් තමයි.
ඒ හතරදෙනා තුන්වෙනි සිල්පදේ කඩලා. එහෙමත් නැත්තං හොඳට කොටු පැනලා ජීවත් වෙච්ච උදවිය..

ඒ උදවිය ජීවත්ව හිටි කාලේ ධන සම්පත්,භවභෝග සම්පත් ඇති තරම් තිබියදීත් කිසිම පිනක් දහමක් නොකර..
නිතරම තම තමන්ගේ ශරීරය පිනවන්න කටයුතු කොලා විනා කිසිම හොඳ වැඩක් කරලා නැහැ.
ඉතින් පුළුවන් තරම් පවු වැඩ විතරක් කොරපු මෙ උන්දලා ටික මිය පරලොව ගිහින් අවීචි මහා නරකාදියේ මහ ගිනි හැළියක දැවෙමින් ජීවත් වෙනවා..
එහෙම ජීවත් වෙන ගමන් ඒ ගිනි හැළියේ ඉහළ පහළ යනවා. ඉතින් උන්දලා තමයි මෙ තමන් විදින දුක ගැන ගාථා හතරකින් කියන්න ට්‍රයි කරලා තියෙන්නේ..
ඒත් කරුමෙක මහත එක්කෙනාට එක අකුරකට වඩ කියන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ..අර ගිනි හැළියේ ගිලෙන්න පටන් ගන්නවා...අවුරුදු ගාණකට සැරයක් තමයි මෙහෙමවත් තත්පරයකට හැළියේ මුවවිට දක්වා එන්න ලැඛෙන්නේ.
ඒ ඇවිල්ලත් එක අකුරක් විතරක් කියලා ආපහු ගිලෙන්න පටන් ගන්නවා.

ඉතින් රජ්ජුරුවන්ට අර ප්‍රේතයෝ හතර දෙනා කියපු..කියන්න හදපු ගාථාවල මුල් අකුරු හතර තමයි අර විදියට ඇහිලා තිබුනේ...

මෙන්න මෙ කාරණාව කියලා විතරක් බුදු හාමුදුරුවෝ නිකං හිටියේ නැහැ.
පරදාර සේවනය, පර පුරුෂ සේවනය, වැරදි කාම මිත්‍යාචාරය, කියන කරුණු ගැන හොඳ විස්තරයකුත් ඒ වැනි දෙයින් ලැඛෙන අහිතකර විපාකත් පැහැදිලි කරලා දුන්නා අර පෙරේතයින් උපමාවට අරගනිමින්.

දැන් රජ්ජුරුවන්ගේ මයිල් ඉස්මයිල් වෙලා..ඇයි යකඩෝ තව පොඩ්ඩෙන් තමාටත් වෙන්නේ අර වගේ අපායක පැහෙන්නනේ..

ඊට පස්සේ රජ්ජුරුවෝ අර අදහස හිතෙන් අහක් කරලා අර පුරුෂයාට තමන්ගේ බාරිත් එක්ක හොඳින් ඉන්න ඉඩ සැලැසුවා.

ඉතින් මෙ කතන්දරෙ මුල් කරගෙන තමයි බුදු හාමුදුරුවෝ අර මම කළින් කිවුව ගාථාව දේශනා කොලේ ඔං..

හ්ම්..දැන් කවුරු කවුරුත් එක්ක හිතට ගන්නවා හොඳයි.. නොදැන උනත් තමන් කරන පවු වැඩ හින්දා සසර දික් වෙනවා කියන එක.

දික් උනාටනම් අපිට මොකෝ නේද..?
හැබැයි සසර දික් වෙනවා කියන්නේ අපි තව තවත් දුක් විඳිනවා කියන එකයි.

ජාති ජරා ව්‍යාධි මරණ...

අද අපි යම් කිසි දෙයක් හෝ රාශියක් නිසා දුක් විඳින්නේද එයට හේතුව සසර දිගු වීම ඇර අන් කවරක්ද..?

ඉතින් කැමති කැමති කට්ටිය..
කැමති කැමති විදියට සසර දික් කරගෙන..ආතල් අරගෙන...ෆන් එකේ ඉන්න..
හැබැයි බලාගෙන..අර ගිනි හැළිය ඔබ එනතුරු බලා සිටී...
එදාට ඔං මං නොකිවුවයි කියලා කියන්න එපා..
දු-ස-න-සෝ තමයි.

මෙවා විහිළු කියලා හිතන්න එපා.

දීඝා ජාගරතො රත්තී..
දීඝං සන්තස්ස යෝජනං..
දීඝො බාලානං සංසාරො..
සද්දම්මං අවිජානතං...

නිදි වරන්නාට රැය දිගුය..
ගමනින් වෙහෙසට පත්වූවහුට යොදුන දිගුය..
එලෙසින්ම ධර්මය නොදත් මෝඩයාට
සංසාරය දිගය...

30 comments:

  1. කොසොල් රජතුමාව දන්නවද ඇහැව්වා ?

    අහල තිබුණට දැකල නම් නෑ අයියේ, මේ ඇත්තමයි !

    දහම් පාසැල් යන කාලේ මාත් ඔය කතාව අහලා තිබුණා. අයියට මේ කතාව කියන්න වස්තු බීජය වෙන්න ඇත්තෙ දිල් අක්කගේ කවි පද ටික වෙන්ඩෑ. අර මල්ලිකා දේවිය අපා ගත වුනෙත් ඔය විදිහෙම දෙයක් නිසා නේද? ඒ කතාවත් මං කියවල තියෙන බව මතකයි. මම නම් කඩුපුල් මල දැකල තියෙනවා. ඒක පිපෙන්නෙ රෑට විතරයි. අයියගේ ඊ මේල් ලිපිනය එච්වොත් මට ඇහැකි පින්තූරයක් එවන්න කඩුපුල් මලක.

    ReplyDelete
  2. අපායේ ගියේ මල්ලිකා බිසව වෙන්ට, නමුත් 'අර පන්සල හතර මායිමෙ යන්ට අකමැති දේවියව පන්සල් යවන්ට රජතුමා කවීන් ලවා පන්සලේ ලස්සන කියලා කවි ගොතවලා..ඒ කවි බිසවට ඇහෙන්ට ගායනා කරවපු නිසා ඒ කවි අහලා පන්සලේ සිරි බලන්ට ගිය දේවිය දන්නෙම නැතිව බුදු හාමුදුරුවෝ ළගට ගිහින් එතන ඉන්නකොට බුදු හාමුදුරුවෝ මවලා පෙන්නපු ලස්සන කාන්තාවෝ දෙන්නා ටික ටික වයසට ගිහින් අන්තිමට දිරලා යන ආකාරය දැකලා එච්චර කාලයක් තමන්ගේ රූපය ගැන ආඩම්බරයෙන් හිටිය බිසවගේ ගණන් බැහැලා පිනට දහමට යොමු වෙච්ච කතාව...' වුනයි කියල මම අහල තියෙන්නේ ඛේමා තෙරණියට.

    අනේ ඉතුරු බණ කතා ටිකත් කියන්න, මටනම් වර්තමාන කතා වලට වඩා ඒවා හරි රසයි. අන්තිමට ජීවිතේට ගත යුත්තකුත් තියනවා. අපාය මතක් කරනකොට අප්‍රමාද වෙන්නත් මතක් වෙනවා... විහිළු නෙවෙයි...

    ReplyDelete
  3. අඩේ මාරයා, උඹ වෙරි මරගාතෙ බණ කියන්න ගිහිං බොරුත් කියනවනෙ.. පන්සල් යන්න හොර කලේ කෝසල මල්ලිකා දේවි නෙවේනෙ බං. ඒ ඛේමා බිසවනෙ. කෝසල මල්ලිකා හරි පිනට දහමට ලැදි බුද්ධිමත් අම්මණ්ඩි නොවැ. අර එකපාරක් රජා "ඔබ වැඩි‍යෙන්ම ආදරේ කාටද" ඇහුවම "මම වැඩි‍යෙන්ම ආදරේ මටයි" කියලා රජාට මල පැනලා සීන් එකක් වුනේ එයත් එක්ක නේද..??

    පලි: මට පේන්නෙ උඹට private secretary කෙනෙක් ගන්නම වෙයි වගේ. අපි කස්ටිය අරමුදලක් පිහිටවලා ඒකෙං පඩිගෙවන්නං. ඒත් පාඩු නෑ උඹේ කතා ටික අහන්න ලැ‍බෙනවනං..

    ReplyDelete
  4. මට පොඩි ප්‍රශ්නයක් මතුවුනා.. රජ්ජුරුවෝ නිතරම බුදුහාමුදුරුවොත් එක්ක keep in touch එකේ ඉදලා හොදට පිංදහම් කරන මනුස්සයානෙ. ඉතිං ඉදලා හිටලා කොටුවක් පැන්නම ඒ තරංම පවු සිද්ධවෙන්නෙ නැතුව ඇති නේද..?? (අර සිටුවරුන්ට තරං)

    ReplyDelete
  5. පුලුවන් වෙලාවට අනිත් කථා ටිකත් දාන්න අයියේ.

    ReplyDelete
  6. හ්හ්ම්ම්ම්..
    ඔන්න නිධාන කතාවත් දැන් ගත්තා එහෙනම්.
    :)

    ReplyDelete
  7. කොහොම හරි මගේ කවිටික බලලා ඇවිත් ලිව්වා නේද හෑල්ලක්. අනේ ඇත්තමයි මාරයියෙ කොසොල් රජතුමාව මමත් දන්නෙ නම් නෑ ඔන්න :P

    මම මේ අහන්න මයි උන්නෙ මාරයියෙ ..ඇත්තටම ඔය අපායේ තියෙන ගිණි හැලියට මිනිස්සු බය නෑ නේද ඔය කියන තරම්? ඒකට බය නම් මේ කරන්න පුළුවන් තරම් පව් කරයිද..ඒකත් දිගට හරහට.... හික්ස්

    ReplyDelete
  8. අප්පච්චියේ ලොකුම ලොකු වරදක් වෙලා තමයි...

    ඒක තමයි මම අර කළින් ලිපියේ කිවුවෙ..කතා දෙකක් බට් වෙලා අළත්ම කතා මා අතින් හැදෙනවා කියලා..කියලා කට ගන්ට උනායෑ ඔය කෙළලා තියෙන්නේ තාප්පෙටම..

    කස්ටියම සොරි වෙන්ට ඔනෑ වෙච්ච දේට..ඒත් ඉතින් දැන් ඔක වෙනස් කොරන්ටත් බැරි එකේ ඔහොමම තිබුනදෙන්.

    ආ විශේෂයෙන් සමාව ඉල්ලා සිටිය යුතු දෙදෙනෙක් ඉන්නවා නෙව...

    සිදු වූ ප්‍රමාද දෝෂයට මල්ලිකා දේවියගෙන් මෙන්ම ෙඛමා තෙරණියගෙන්ද සමාව ඉල්ලා සිටිමි.

    මෙකේ හොඳ පැත්තකුත් තියෙනවා..
    කට්ටිය හොඳ අවධානයෙන් ඉන්න එක දැන ගන්න ලැබිච්ච එකම මදෑ...

    ReplyDelete
  9. දිල්...

    අනේ හිතලා කරපු දෙයක් නෙවෙ..
    මම මෙ කතාව ලියන්න පටන් ගත්තේ දැන් දෙතුන් දොහකට කලින් දාපු ගාථාව හින්දානේ..
    ඒත් අන්තිමට ඔයාගේ කවි ටිකට ගාණට මැච් උනා.

    ඒක නෙවෙයි..මම ඔයාගේ අළුත් වෙනස දැක්කා ඔං..
    ඔන්න ඉස්ඉස්සෙල්ලාම සුභ පැතුවා ඔයාට ලස්සන අනාගතයකට..
    සතුටින් ඉන්න නගේ..

    ReplyDelete
  10. නියම කතාව.....හැබැයි පුතෝ බිම්බිසාරගෙ සීන් එකකුත් ටැපලිලා තියෙනවා ඔතැන...මගේ දම්පාසැල් knowledge එක හරි නම්...ඒ කෙසේ වෙතත් එලකිරි පෝස්ට් එකක්..:).

    ReplyDelete
  11. Shadow/හේමලයා...

    නැහැ නැහැ..ඒ සීන් එක වෙනම එකක්..
    හැබැයි ගාථා ටික නම් ඒ වගේම තමයි.
    ඒක තියෙනවා ප්‍රේතවත්තුවෙ...

    ReplyDelete
  12. බොහෝම පිං.. මමත් ඔය කතාව මීට කලින් අහල තිබුණා. එ උනාට දැන් කියෙව්වාම මතකය අලුත් උනා. හරිම ලස්සනට කතාව ලියලා තියනවා. එක හුස්මට කියෙව්වා :)

    ReplyDelete
  13. අපේ කට්ටියට බණ කතාවක් කියල දුන්නට මාරයාට බොහොම පිං.
    ඔය කතා පටලැවුනට මොකද වෙන්නෙ දැන් තියෙන ටෙලි වලයි සින්දු වලයි හැටියට. හැබැයි දැන්නං ඔය වගේ කේස් වලට ඔහොම කරන්න බැරි වැඩ කියන්නෙ නෑ. සුදු වෑන් එකක් අරන් ගිහින් අතුරුදන් කරනවා මිසක්.

    ReplyDelete
  14. මේ කියන ස්ටයිල් එකට මට පේන්නෙ බණ කතා අල්ලල යයි වගේ ඔක්කොටම වැඩිය.....

    ReplyDelete
  15. ඔන්න අද නම් බල්ලා ගැන ලියලා,ඊයේ බල්ලා ගැන ලියන්න ගිහින් මැක්කා ගැන කිනිතුල්ලා ගැන නේ ලියලා ගියේ,,හැබැයි අර ලව් උපදේශ නම් මසුරන් වටිනවා....
    කොසොල් රජ්ජුරුවො ගැන නම් අහලා තිබුනට මෙහෙම කතා නම් අහලා නෑ නොවෑ,ලැජ්ජාවෙනවා බුදුදහම තියන රටක ඉපදිලා මේවගේ කතා නොදැන ඉන්න එකට,,,,ඔන්න ඉතින් කොසොල් රජතුමා ගැනත් දැන ගත්තානොවෑ....මාර වැඩක් වෙන්න යන්නේ නේද බණ කතා කියලා අලුතෙන් පටන් ගන්න වෙයි වගේ,,,මම විතරක් නෙමේ නේ මෙතන ඉන්න ගොඩක් අය කොසොල් රජතුමා කවුද කියලත් දන්නේ නැති පාටයි,,,බණ කතා සීරීස් එක පටන් ගත්තොත් වැඩේ දුරදිග යන පාටයි----

    ReplyDelete
  16. නිධාන කතාවේ පොඩි එඩිටින් පාරක් තියෙනවා කරන්න. වෙලාවක ඒක කියන්නම්කෝ.
    :D :D

    ReplyDelete
  17. මොනාද කියන්නෙ.............. හෑම දේම කලේ හටියට වෙනස් වෙන්න එපෑයි නේද මාර මල්ලි.........

    නිශ්

    ReplyDelete
  18. ඉස්කෝලෙ ඕ.ලෙවල් කරාට පස්සෙ කොසොල් රජතුමා ගැන කතාවක් ඇහුවා. ඒ කාලේ ඉතින් ඔය බුද්ධාගම පොතේ ඔය කොටු පනින කෑලි එහෙම සංස්කරණය කරල දානව මිසක්ක උඹ වගේ හොඳට තේරෙන භාෂාවෙන් දාල තිබුනෙත් නැහැනෙ.

    ReplyDelete
  19. නියම පොස්ට් එක මාර අය්යේ..පුලුවන්නම්..විමාන වස්තුපාලිය ගැනත් ලියන්න්කෝ....

    දැනගත දවසට ඇග හිරි වැටේවි ප්‍රේතවස්තු පාලිය එහෙම ...නේ ..ඔබට ජය..

    ReplyDelete
  20. ස්වප්නා...

    ම්..ම්..මෙ උපාසක අම්මානම් පන්සල් පැත්තට අළුත් වගේ..
    පින් සිද්ධ වෙවා...ඇවිත් ගියාට.

    ReplyDelete
  21. Praසන්ன...

    ඇයි අරකව ගස් බැඳලා ලියුමකුත් ලියවගෙන ගෑනි සහේට ගන්නත් තිබුනා.

    ReplyDelete
  22. දිනිත්...

    මාත් හිතනවා එහෙම..ඒකයි මෙවා කියන්න පරක්කු කර කර හිටියේ..
    අර කළින් පටන් ගත්ත කතා තාම මග..ඒවා ඉවර කරලා ඉන්න එපැයි.

    ReplyDelete
  23. ItalyDilan...

    බලමුකෝ ඉදිරියට නේද..?
    බණ කතා විතරක් නෙවෙයි තව එක එක ජාතියේ කතා තියෙනවා ලියන්න..අප්පා මෙ කොටන එක මෙ තරං අමාරු උනේ නැත්තං මං දනී කියන කත ටික නං...

    ReplyDelete
  24. Ansh Lucky Sri Jay...

    ඒ මොකක්ද අප්පා..
    කිවුවනං බලන්න...

    ReplyDelete
  25. නිශ්...

    නැතුව නැතුව..
    ඒත් ඉතින් සමහර දේවල් වඩාත් හොඳ පරණ විදියටම තිබුණොත් තමයි.

    ඒක නෙවෙයි තාම සිංහල බ්ලොග් එකක් පටන් ගත්තේ නැතිවද..?

    ReplyDelete
  26. දුමී...

    ඔන්න ඔක තමයි අපේ අධ්‍යාපනේ තියෙන වැරැද්ද..
    පුංචිම ළමයින්ට නැති උනත් අඩුම ගානේ නවය දහය පන්ති වලටවත් මෙ කතා ඒ විදියටම කියලා දෙන්න ඔන.
    මෙවා කුණුහරුප කතා නෙවෙයි.ඇත්තටම එදා අද කියලා වෙනසක් නැහැ.
    නමුත් අද ඉන්න උදවියගේ කටෙ තියෙන්නේම ඉස්සර හොඳයි දැන් නරකයි කියලමනේ..

    ඒත් විනය පිටකය කියෙවුවනම් එහෙම අපේ මිනිස්සු හාමුදුරුවරුන්ට නිකං නෙමෙයි මල් තියලා වඳින්නේ.
    ඉස්සර හිටපු අය කළ දේවල් එක්ක අද අය මහා අමුතු දේවල් කරන්නේ නැහැ.
    ඒ කතා සමාජයට ගෙන යන්න වැඩ පිළිවෙලක් නැති එක තමයි වරද.

    ReplyDelete
  27. ඉලංදාරියා...

    අනේ බං මාවම අමාරුවෙ දාන්නේ නැතිව දන්න කියන එවුන් වෙච්ච..පන්සල් හතර මායිමෙ හැදුන වැඩුන උඹලත් සපෝට් එකක් දියල්ලාකෝ...
    තනි මං කොහොම මෙවා කරන්නද..?
    උඹම දන්නවනේ මෙ කතා කවදාවත් කියලා ඉවර කරන්න බැහැ කියලා.

    විමානවස්තු..ප්‍රේතවස්තු විතරක් නෙවෙයි..පාරාජිකා පාලියටත් යන්න ඔන ඉස්සරහට..
    දැනට ධම්මපදට්ඨ කතා විතරයි.

    ReplyDelete
  28. හුඟක් කාලෙකින් දන්න කියන මනුස්සයෙක් ගැන අහන්න ලැබුනේ... හික් හික්. ඕ ලෙවල් වලින් පස්සෙද කොහෙද...

    ReplyDelete
  29. පිස්සා පලාමල්ල...

    කොහේද ඉතින් උඹලා විභාගේ කාලෙට විතරක් ඒ මනුස්සයව පාවිච්චි කොරලා ඊට පස්සේ අමතක කරලා දානවනේ...
    පව් අසරණයා...

    ReplyDelete
  30. හ්ම්..ඇති යාන්තම් අද තමා පරණ කථා ඔක්කෝම ටික කියලා ඉවරකළේ..ඒත් ඉතින් ප්‍රතිචාරනම් දමන්න බැරිවුණා...දන්නවානේ ඉතින් මගෙ ජංජාල සම්බන්ධතාවෙ ගැන..
    බණ කථා ලියන්න පටන්ගත්තු එකනම් නියමයි...හැබැයි හොඳ සිහියෙන් ඉන්න වෙලාවට විතරක් ලිව්වනම් හොඳයි මාරයියේ...නම් ගම් පොඩ්ඩක් එහෙ මෙහෙ ගියාට එච්චර අවුලක් නෑ..බැරිවෙලාවත් වැදගත් දෙයක් එහෙ මෙහෙ උනොත්?? මොකද පළමු සැරේම ඔලුවට යනදේ තමා මතකයෙ රැදෙන්..අනික සමහරුන්ට ප්‍රතිචාර කියවන්න බැරුව යනෝ..ඉතින් වැරැද්දක් තිබුණත් ඒ අය දන්නේ නෑ..
    කොහෝම උනත් ඉතින් මාරයියගේ මීටරේ එලට වැඩ කියලා දන්නවා...( මුරුංගා අත්ට කැඩුණෙ එහෙම නෑ නේද?? )...දිගට ම වැඩේ කරගෙන යන්න...
    සුභ පැතුම්!!!
    ජයවේවා!!!

    ReplyDelete