16 August 2010

ලියුමක් සහ නිදහසක්...අනේ මන්දා...

ඊයේ උදේ අම්මා කතා කරලා කිවුවා මගේ නමට ලියුමක් ඇවිත් තියෙනවා කියලා. ලියාපදිංචි තැපෑල ඔස්සේ..

ඒ ගමන අද උදේම ගියා ගෙදර ගිහින් එන්න...
ගිහිල්ලා ලියුම බැළුවා..ඒක එවලා තියෙන්නේ ගවන් හමුදාවෙන්..
අස්වෙලා යන්න එන්නළු..
පොදු සමාවක් දෙනවාළු..
2009-05-31ට කළින් සේවය හැර ගිය අයටළු..

මගේ සේවය හැර ගිය දිනය ලෙස සටහන් වෙලා තිබුනේ 2000-10-29 දිනය..හරි වෙන්න ඇති.

ජීවිතේදී මම ගත්ත අමාරුම තීරණයක් තමයි ඒක.
ඒ වෙනකොට මම හිටියේ රත්මලානේ..

මම නිවාඩු ඉල්ලූවා.ඒත් උපරිම සතියයි හම්බ උනේ..
ඒ කාටත් පොදු තත්වය යටතේ..ඒත්..මට ඒ මදි.
අම්මා අසනීප වෙලා රාගම රෝහලේ නවත්තලා..
තාත්තාව ගම්පහ රෝහලේ නවත්තලා..

දෙන්නටම අංශභාගේ...

මල්ලී තනියම ගෙදර. ඒකාට උයන්නවත් බැහැ.
මම ගෙදර ගියා සතියක නිවාඩුව අරගෙන.

උදේම උයා පිහාගෙන බත් බැඳගෙන මම තාත්තා බලන්න යනවා. මල්ලී එහෙ නැවතිලා.
ඊළගට අම්මා බලන්න යනවා පුංචි අම්මා ළග..

ඒ දවස් වෙන කොට මට ටිකක් උයන්න පුළුවන් උනත් හොඳටම බැහැ. ඒත් මම දන්න විදිහට උයනවා.
පුංචි මට හිනා වෙනවා සමහර දාට..මොනවා කරන්නද මම දන්න තරමනේ.

නිවාඩුව ඉවරයි..මම ආපහු ගියා නිවාඩුව දීර්ඝ කරගන්න හිතාගෙන..ඒත් ඒක හරි ගියේ නැහැ.
මල්ලී තනියම ගේම ඇදගෙන යනවා.

ජුං ඇතුළු මගේ කොල්ලෝ ටික උපරිම සපෝට් එක දෙනවා.
ඒ අතරෙ අපේ කොල්ලෙකුට රෙජිමන්ට් එකේ සාජන් කාරයෙක් ගහලා.
කවුරුවත් නැහැ ඒ ගැන බලන්න..පස්සේ මම පොලිස් සෙක්ෂන් එකට ගිහින් පැමිණිලි කලා.
අපි ඒ දවස්වල හිටියේ රෙජිමන්ට් එකට අනුයුක්ත කරලා.. ටේ‍රඩ් කෝස් පාස් අවුට් වෙන්න නොදී අපිව කඳවුරු ආරක්ෂක රාජකාරියට අනුයුක්ත කරලා තිබුණේ...

වෘත්තීයෙන් මම අවි ආයුධ ශිල්පියෙක්. ඒ කියන්නේ ආමර් කෙනෙක්.
නමුත් මෙ තත්වය යටතේ අපි හිටියේ නිකංම නිකං මුර රාජකාරිවලට දාලා.
ඒ දවස්වල කටුනායකට ගහපු දවස්.

අන්තිමට අර කොල්ලට ගහපු කේස් එකට පැමිණිලි කරපු මාවයි, ඒකට සාක්කි දෙන්න ඉදිරිපත් උන මට වඩා ජූනියර් බැජ් එකක කොල්ලෙක්ටයි අරුන් මාර විදියට ගේම දෙනවා.
අපිත් අරින්නේ නැහැ.
ඒත් කාලා ඉවසන්න බැරි මට නිවාඩු දෙන්නේ නැති එක.
මගේ නිවාඩු වාරය ඇවිල්ලත් මුන් අපිට නිවාඩු දෙන්නේ නැහැ.
පස්සේ මම හොරෙන්ම ලිව් ෆෝම් එකක් අනිත් ඒවා අස්සේ දාලා යැවුවා.
ඒක අනුමත වෙලා බිලට් එකට ගේන්න කළින් මම මගින්ම ල්ව් ෆෝම් එක ඉස්සුවා. මොකද රෙජිමන්ට් එකේ බිලට් එකට ඒක ගියා නං මට ඒක උන් දෙන්නේ නැහැ.

අන්තිමට රෙජිමන්ට් එකේ උන්ට කොකා පෙන්නලා මමයි,මාත් එක්ක හිටපු අනිත් කොල්ලයි නිවාඩු පිට එළියට ආවා.අරුන් දන්නෙත් නැහැ.
ඒ ආවාට පස්සේ මම ආපහු ගියේ නැහැ.
අම්මව සනීප කරගන්න පුළුවන් උනා. අදටත් අම්මා හොඳින්..
තාත්තා එදා ඉඳලා ඇදේ..පස්සේ මම ගෙදර නැති අතරේ නැති උන කතාව දන්නවනේ...

ඊට පස්සේ මම දවසක් අපේ මව් කඳවුර උන ඒකලට ගියා.
ඒත් එහෙ පොලිස් සෙක්ෂන් එකෙන් මාව ආපහු යැවුවා..

"අනේ බං පවු දෙන්න එපා. දැන් දවස් අනූව පැනලනේ. උඹව ආයේ අල්ලන්න කවුරුවත් එන්නේ නැහැ.ගිහිල්ලා අම්මයි තාත්තයි බලාන ඉඳපන් අපිට පවු නොදී.."

මම ආපහු ආවා.

ඊට පස්සේ මම ගුවන් හමුදාව පැත්ත පළාතේ ගියේ නැහැ. ඒ අයත් මාව හෙවුවෙ නැහැ.

අන්තිමෙදී ඔන්න මාව අවුරුදු ගාණකට පස්සේ මතක්වෙලා..

ඇත්තටම මම ජීවිතේට ආසාවෙන් කරපු එකම රැකියාව තමයි ඔය.
අනිත් දේවල් හුගාක් කලේ ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න. ඒත් මම හමුදා ජීවිතේට හරිම ආදරෙයි.
විනය විරෝධි කිසිවක්ම නැතිව ඉතාමත් හොඳින් රාජකාරී කළ මම හිටියනම් අදවෙන කොට සාජන් ඇඳලා.

කොහොමත් මම මගේ බැජ් එකේ අනිත් අයට වඩා හුගාක් ඉස්සරහින් හිටියේ.
ඒ මගේ කැපවීම.

ඒත් අන්තිමට ගෙදර උදවිය වෙනුවෙන් මම මගේ රස්සාව අතහැරලා දැම්මා.
අන්තිමට ගෙදර අය මාව අතහැරලා දැම්මා.

අද මට පුදුම වේදනාත්මක දවසක්.

මම හෙට වැඩට යන්න ඔන.
අනිද්දා යනවා ගුවන් හමුදා මූලස්ථානයට.ඒ ගියහම දවස් කීයක් එහෙ ඉන්න වෙයිද දන්නේ නැහැ.
සමහර විට එදාම එවන්නත් පුළුවන්.ඒත් හමුදාවෙ හැටි කියන්න බැහැ.

ඔන එකක් වෙන්න කියලා මම යනවා. මගේ ප්‍රියතම රැකියාවෙන් අස්වෙන්න.
අම්බානකට දුකයි.

ඒත්...................

වෙන මොනවා කරන්නද...?

මේකත් මට ජීවිතේදී අහිමි වෙච්ච හුගාක් දේ අතරින් එකක් විතරයි.

ඉදිරි දිනවල මෙ සටහන නොලියවුනොත්..ඒකට හේතුව මම ඇතුලේ කියන එකයි.

හැමෝටම ජය වෙවා.

48 comments:

  1. පිස්සුද බොල අයිත් මොකටද උබව ඇතුලට දාන්නේ ...


    සියල්ල හොදින් සිදුවෙයි ........... කිසි කරදයක් නැතුව ඔන් ...

    ReplyDelete
  2. ගණන් ගන්න එපා. ජීවිතේ බරයි. වියදම සැරයි.
    අපේ බාප්පත් නෝන මහත්තයගෙ චුරු චුරුවට නේවි එකෙන් අස් උනා [after service of 12 yrs]. මේ ලඟදි ආයි සේවයට බැඳුණා :) එයා නං ඉතින් මාර ෆන් එකේ ඉන්නවා ඒ නිසා :D

    ReplyDelete
  3. වැප්...

    තැන්කූ මලේ..
    ඒ උනාට මමනේ දන්නේ අපේ අයියලගේ හැටි.
    කමක් නැහැ. ඔන පු** ප්‍රිතී වෙසක් කිවුවළු.

    ReplyDelete
  4. ස්වප්නා...

    ආයේ බැදෙන්න බැහැ අපේ නං..
    දවස් 90වක් පැන්නට පස්සේ ආයේ ගන්නේ නැහැ.
    ඒත් ගියාට පස්සේ සෙල් එකට දාලා හතරවටෙ යවන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
  5. මෙච්චර දේවල් අත ඇරපු මාරයියට
    ඕකත් මහ කජ්ජක්ද.
    බය වෙන්න එපා. ගිහින් ලියුම් කඩදහි අත්සන් කරල එන්න.
    උඹ ඇතුලට දාන්න තරම් උන්ටත් කොහෙවත් අමාරුවක් නැතුව ඇති

    ReplyDelete
  6. "ඒත් අන්තිමට ගෙදර උදවිය වෙනුවෙන් මම මගේ රස්සාව අතහැරලා දැම්මා. අන්තිමට ගෙදර අය මාව අතහැරලා දැම්මා"...:(..අන්න ඒක තමා වදින ලයින් එක......මොකුත් අවුලක් වෙන එකක් නෑ....සියල්ල හොඳින් සිදුවේ යැයි පතමි....

    ReplyDelete
  7. මෙහේ ඉන්න මගේ යාලුවෙක් (ආමි එකෙන් අයින් වුනු එකෙක්) නිවාඩු ගිය වෙලාවක නීත්‍යානුකූලව අයින්වෙලා ආවා . . සතියක් ද කොහේද කෑම්ප් එකට වෙලා ෆුල් ආතල් එකේ අඩියක් කාරිය ගහගෙන හිටියලු . . . බය වෙන්න එපා බන් . .අඩි ගහන්න දුන්නොත් උඹ ඉතින් බෑ කියන එකානේ . . හික්ස්

    ReplyDelete
  8. අපොයි...!
    :(
    මට මුකුත්ම කියන්න හිතට එන්නේ නැහැ, ටයිප් කරපු තුන් වෙනි කමෙන්ටුවත් මැකුවා.
    හැමදේම හොඳින් සිද්ධ වෙයි කියලා හිතනවා අයියේ.

    ReplyDelete
  9. බලන් ගියාම අපේ අයියට කොතනත් කුඩම්මගේ සැළකිල්ලනේ ලැබිල තියෙන්නේ.................

    ඒ අය අපිට වගේ වාසනාව නැති අය, අයියගේ අගේ දන්නැති අය ඉතින්........

    ReplyDelete
  10. යන්න කලිං පොඩ්ඩක් ආරංචි හොයලම ගියා නං නේද හොද? යාලුවො එහෙම නැතෑ තාම එහෙ වැඩ කරන. අර ගෑණු දරුවගෙ බාප්පුච්චගෙ වැඩෙත් නරකම නෑ. වලිය තියනකොට එලියෙ, ඉවර වුනාම ඇතුලෙ. හපෝයි , ඕකෙන් මේකෙන් අපේ කථා සැට් එකට කෙල වුනොත්, අපායෙන් හරි උඹ යන තැනකින් ඔය කාමර කෑල්ලක් වෙන් කරලා තියපං, මචෝ.

    ReplyDelete
  11. ගුවන් හමුදාපති තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි

    ReplyDelete
  12. ගනන් ගන්න එපා මාරයො.. ඕවා ඔහොම තමා. මටත් පුදුමාකාර ආදරෙන් කරමින් හිටපු රැකියාව එපා කෙරෙව්වේ ලොක්කෝ.
    ඕව කොහෙත් ඔහොමතමා.
    මොනව උනත් ගිහින් පිලිවෙලට අයින් වෙලා එන්න. ඒක ඇගට ගුනයි.
    අනික ඔය ගිහින් පරන යාලුවෝ සෙට් එක එහෙමත් හම්බුවෙන්න පුලුවන් වෙයිනේ.

    'පියෙහි විප්පයෝගෝ දුක්කෝ, මාරයෝ' කිව්වලු.. :)

    ReplyDelete
  13. යන දේවාලෙක ගිහින් වරෙන් බං. ඉකමනටම සෙට් වෙන්න තියෙනවා. "ඒත් අන්තිමට ගෙදර උදවිය වෙනුවෙන් මම මගේ රස්සාව අතහැරලා දැම්මා. අන්තිමට ගෙදර අය මාව අතහැරලා දැම්මා". ඔය කථා ටික සහ අනෙකුත් කථා හම්බවෙලාම කථා කරමු. ජය වේවා !

    ReplyDelete
  14. හෑමෝම කියන්න වාගේම "ඒත් අන්තිමට ගෙදර උදවිය වෙනුවෙන් මම මගේ රස්සාව අතහැරලා දැම්මා... අන්තිමට ගෙදර අය මාව අතහැරලා දැම්මා.." කථාව නම් එපාම වෙන සීන් එකක්, බඩ බැඳගෙන කලත්... ඒ කථාවත් එහෙම්මම තියමු...

    හරි උඹට මොනවා හරි දෙයක් කෙරෙන්න තියනවානම් මාරයෝ පොඩි මෙසේජ් එකක් දාපන් ඉක්මනටම... එලියෙද ඉන්නේ ඇතුලෙද ඉන්නේ කියලා ඊට පස්සේ බලමු... ඉක්මනට කියපන් කලින් කාරනේදී වාගේ අදින්නේ නැතුව හරී...?

    ReplyDelete
  15. උඹට නරකක් වෙන එකක් නහැ මචෝ . . . ජීවිතේ හැමදාම එළව එළව කෙලින්නෙ නැහැ . . . ! අනික හැමදේම වෙන්නෙ හොඳට කියල හිත හදාගනින් . . . !

    ReplyDelete
  16. අවුලක් වෙන්නෙ නෑ බොලව්.. ජයවේවා..!!

    ReplyDelete
  17. Shadow/හේමලයා...

    ස්තූතියි...

    ReplyDelete
  18. දුකා...

    වැඩෙ නං ආතල්..
    ඒත් මම ආපහු එනකොට මගේ ජොබට කෙලවිලා තියෙයි..
    හපොයි...

    ReplyDelete
  19. Ansh Lucky Sri Jay...

    මොකද අප්පා තුන් පාරක්ම මැකුවෙ..?

    ReplyDelete
  20. හා පැටික්කි (MS)...

    ලාභො අලාභො අයසො යසොච..
    නින්දා පසංසාච සුඛංච දුක්ඛං...

    ReplyDelete
  21. Chanaka Aruna Munasinghe...

    අපොයි එහෙම උනොත් මං හාන්සි...

    ReplyDelete
  22. Grey...

    අපේ ඉන්න තරමක් ඉන්නේ වැඩ එපා කරවන උන් තමයි.

    ReplyDelete
  23. මහසෙන් /...

    ඒකත් එක්තරා දේවාලයක් තමා..මම කාලයක් වන්දනා කරපු.

    ReplyDelete
  24. තිස්ස දොඩන්ගොඩ ...

    අවුලක් උනොත් ඉතින් උඹටම තමා කියන්න වෙන්නේ...

    ReplyDelete
  25. දුමී ...

    මාත් හිතනවා එහෙම...ස්තූතියි.

    ReplyDelete
  26. Siribiris...

    අපායට ගියත් අරන් තමයි යන්නේ...
    අර කිවුවත් වගේ මරු බාප්පා නේද..?
    දැන් ෆන් එකේ ඇති තමා..

    ReplyDelete
  27. වැම්පයර්...

    බොඩ් ලෑල්ලක්වත් ලියාගෙන සූජානං වෙලා හිටහං උද්ඝෝෂනයක්වත් කොරන්ට...

    ReplyDelete
  28. ජෙනරාල්ලට වෙන හැටියට ඕක මොකක්ද? හැබැයි දිගටම හිටියනං මාරය උඩිං යනව බලන්න තිබුණ.
    අවුලක් වෙන එකක් නෑ. ගිහිං ඉක්මනට වරෙං.

    ReplyDelete
  29. අයියේ මොනවා උනත් පරිස්සමින්....

    මම දන්න හැටියටනම්..... ඔහොම ගියහම පොඩ්ඩක විතර අවුල් වෙනවා...

    මොනවා උනත් උබට කරදරයක් නොවෙන්න් කියලා ප්‍රාර්තනාකරනවා...

    ජය..

    බුදුසරණයි..!

    ReplyDelete
  30. මන් පරක්කු වෑඩිද මන්දා ඒත් හෑම දේම හොදින් වෙයි.

    ප්‍රශ්නයක් නම් දන්වන්න මොකක් හරි කරන්න බලන්නම්.

    ඔවා ඔහොම තමා මලේ අපි අනිත් අය වෙනුවෙන් දේවල් අත ඈරියට ඒ අය අපිව අත අරිනවා........ ගනන් අන්න එප බන්

    ReplyDelete
  31. අවුලක් වෙන්නේ නෑ ලොක්කා... අපිත් එක්ක නේවි ඇබ්සන්ට් එකෙක් ඉන්නවා... ඌත් ලංකාවට ගිහිල්ලා නීත්‍යානූකූලවම අස්වෙලා ආවා.. දවසින් වැඩේ ගොඩ කියලයි කිව්වේ...

    ReplyDelete
  32. ඒ මාරයේ මම නම් ඔව්ව දන්නෙ නැහ. ඒත් පොඩ්ඩක් විතර හෝදිසි කරල ගියොත් මොකෝ ??

    මෝඩ කතාවක්ද මන්ද... ඒත් ඕකෙන් අස් වෙන්න ඕනිමද බන් ? ඔය හිටිය විදියට ඉන්න බැරිද ?

    මොනා උනත් පරිස්සමින් මරුවෝ... උබට ජය. බුදු සරනයි.

    ReplyDelete
  33. හ්ම්ම්...මම හොඳට ම ප්‍රමාධයි වගේ...කොහොම උනත් ඒතරම් අවුලක්වෙන එකක් නෑ...ඇතුලෙ වෙන දේවල් නම් එච්චර දන්නේ නෑ...ටිකක් පනිෂ්මන්ට් එකක් නම් දේවි..අපේ මාරයාට ඕකත් කජ්ජක්ද???? ආපහු ආවගමන් ලියන්න...
    ජයවේවා!!!

    ReplyDelete
  34. හැමදෙයක්ම හොඳින් සිද්ද වෙයි.අයියාට කවුරු නැතත් මේ බ්ලොග් සහෝදර සහෝදරියෝ ඉන්නවානේ.

    ReplyDelete
  35. මේක කියවත්දි අයියගෙ හිතෙ තියෙන වේදනාව මටත් දැනුණා. හිත පතුලටම වැදුණු සටහනක්...
    ඇත්තටම මාරයියේ මටත් ඔය ගැන නම් දැනීමක් නැහැ...
    ඒත් මාරයියට කරදරයක් නොවේවා කියල මුළු හිතින්ම පතනවා...

    ඔබට ජය !

    ReplyDelete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. පහුගිය කතාවලට කොමන්ටුවක් වත් දාන්න බැරි තරමට ඒවා කියෙව්වාම හිත නොසන්සුන් උනා. පස්සේ කොම වහලා දැම්මා.
    අපිට වෙරකරන අය ආත්ම ගණන් අපි පස්සේ එනවලු. මම හිතුවේ මට විතරයි කියලා බැලුවම අයියටත්. . .
    කියන්න තියෙන්නේ මේ ලෝකේ හරිම කෘරයි කියලා විතරයි.

    මේ බ්ලොග් අවකාශයේ සැරිසරන හැමෝම වගේම ජිවිතෙන් විවිධාකර පන්නර ලැබු අය.වාසනාවන්තයි එවන් අය අතර පු0චි තිතක්වත් වෙලා ඉන්න ලැබුන එක ගැන.

    හදවතින් අකුරු අමුණන කොට පපුවටම වැදෙන එක අහන්නත් දෙයක්ද අයියගේ කතා ඔක්කෝම එහෙමයි. අපි හැමෝම වගේ බලා ඉන්නවා අයියාගේ මතක මන්දිරේ ඉතුරු කතා ටික අහන්න.
    එකගයි හසීගේ කතාවට. හැමදෙයක්ම හොඳින් සිද්ද වෙයි.පරිස්සමින් ගිහින් එන්න අයියට බුදුසරණයි.

    ReplyDelete
  38. මාරයා නැතුවා වත්ද?

    ReplyDelete
  39. වෙන්ඩ තියෙන දෙයක් වලක්වන්ඩවත්, නොවෙන දෙයක් කරවන්ඩවත් කිසිම කෙනෙකුට බැහැ. ප්‍රශ්න වලට කෙලින් මුහුණ දීපන්. එතකොටයි දැනෙන්නෙ ජීවත් වෙනවා කියලා.
    මාරයාට කිසිම මාරයෙක්ගෙන් කරදරයක්, අතුරු ආන්තරාවක් නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා.
    ඊලඟ පෝස්ට් එක එනකල් අපි බලා ඉන්නවා හො‍‍ඳේ......

    ReplyDelete
  40. අවුලක් නැහැ ඔං මං ආවා..ඒත් වැඩෙ ඉවර නැහැ.
    ආයෙත් යන්න වෙනවා.
    හොයා බැළු හැමෝටම ස්තූතියි.

    ReplyDelete
  41. එළ එළ...
    යහතින් පැමිණියාට අපෙන් උණුසුම් සුභ පැතුම්..
    දෙයියනේ කියලා ඉතුරු වැඩ ටිකත් ඉවර කරගන්න බලපං..
    මාර මාරයාට ජය වේවා...

    ReplyDelete
  42. හුරේ හුරේ... ආවා ආවා.. ඕන්න ආවා...!!

    ReplyDelete
  43. එල එල අද හොඳ දවසක් උදේම සුබ ආරන්චියක්

    ReplyDelete
  44. මාරයාට ජයම වේවා...

    ReplyDelete
  45. අම්මෝ ඇති යාන්තම්.
    :)
    ඉතින් මොකද උනේ? ඇයි ආපහු යන්න ඕනේ?

    ReplyDelete
  46. අයියා ගුවන් හමුදාවෙත් හිටියා ඒ කියන්නේ. ජීවිතේ ඉදිරි කටයුතු සාර්ථකව වෙන්න කියලා පතනවා

    ReplyDelete
  47. ඇති යාන්තං මාරයියා ආපහු ඇවිත්...
    අපි මේ බැලුව මොකද සද්දයක්වත් නැත්තෙ කියල...

    මොකද අයියෙ වුණේ... අපිට ඉක්මනටම විස්තරේ කියන්න..

    ReplyDelete