13 September 2010

ගී ලියන්න මට කීවෙ...

මුකුත්ම නොලියා ඉන්නට හිතුවත්...

කොහොම ඉන්නද..?
මතක් වෙනකොට...

මම කවද්ද කවි ලිවුවෙ..
ඔයා ඒ දවස්වල කවි ලියනවා..
මට ඇහෙන්න කියවනවා.
මම ඒවායේ හොඳ නරක මට තේරෙන හැටියට කියනවා.

අන්තිමට මටත් හිතෙනවා කවියක් ලියන්න.
මම ලියනවා.
මම හිතුව තරම් වෙලාවක් මට ගියේ නැහැ..

ඊට පස්සේ මම දිගට හරහාට ලියනවා..
ඇය අසා සිටිනවා.

මෙහෙම ලියලා ලියලා අවසානයේ මම ලියනවා මෙහෙම..

"එළිපත්තේ වැල් ඇඳක්
මත නැගී බූරුවෙක්..
කවි කියා ලියයි ඌ..
වැඩක් නැති වදන් වැල්.."


ඔයා හිනා උනා..පුදුම විදියට ඔයා හිනා උනා.
මම සතුටු උනා.බූරුවෙක් වෙලා හරි ඔයාව සතුටින් තියනවට වඩා මට වෙන කිසිම දෙයක් ලොකු උනේ නැහැ.

සමහර වෙලාවට මම මෙහෙම ලිවුවා..

"නැතේ කිසි පිළිවෙළක්..
රසක් නැති පද පෙළක්..
ඒ උනත් වෙන දෙයක් වීයන්..
කියා එවනෙමි මෙවන් බහුබූතයක්.."


මම ලියන ශුගාක් දෙවල්වලට පපුව බර කරගන්න ඔයා..
ඒ කවි ළග හිනාවෙන හැටි දැක්කම මම හැමදාම ඒ විදියට ලියනවා.
මොන තරම් සුන්දර දවස්ද..නේද..?

අන්තිමට මම ඔයාගේ තාත්තා වෙනුවෙනුත් ලිවුවා..
තාත්තගේ මරණය සමරන වෙලාවෙ මම ඔයාට මෙහෙම ලිවුවා..

"මල් ගොමු තුළ ඇවිද යමින්-සමනළුන්ට දුක කියනා..
පුංචි දියණි නුඹ තාමත්- දයාබරයි එදා වගේ..
නැති වුන මුත් නුඹ මා හට- නුඹ අසලයි මා තාමත්..
රැදී සිටිනුයේ සැමදා..
සෙනේහයෙන් එදා වගේ..
නාඩන් මා පුංචි දෝණි-කිසි විටකත් කඳුළු සලා..
නුඹ හඩද්දී නුඹට වඩා-සිත රිදෙන්නෙ මගේ නිසා.."


ඔය ආයෙමත් ඇඩුවෙ නැහැ. ඒ වෙනකල් ඔයා හැමදාම වගේ තාත්තව මතක් කරනවා.තාත්තා ඔයා ළගම ඉන්නවා කියනවා. මම ඒ හැමදේම ඔයා වෙනුවෙන් කවි කළා..

ඔයා වෙනුවෙන් ඔයාගේ උපන් දිනයට මම ඔයාගේ අම්මාට කවි ලිවුවා..
ඔයා අඩනවා..ඒවා අහලා..
මතකද.. ඒ කවිය..

"ලෝකයක් දකින්නට පොපියනා හදවතින්..
දියණියක් ඇත නුඹෙ කුස තුලෙහි දයාබර..
ඇයයි මගෙ දිවි කතර කරනුයේ මල් යහන..
ඔබට මා ණයගැතියි සදාකල් සැබෑවට..

නුඹෙ දුක් වෙදනා මුදාලන මොහොතෙහිම..
මගේ දුක් නිවාලන සුරගනය පැමිණෙනුයෙ..
නුඹට ඇය දියණියයි..මට මගේ ජීවයයි..
අනේ අම්මෙ නුඹට සදා මා ණය ගැතියි..

ඔබට වාගෙම අම්මෙ ඔඛෙ පිය සැමියාට..
තුති පුදන්නට ලොවෙ වදන් නැත මා සතුව..
සදාකල් දුක් වින්ද අපිරිමිත දිවි ගමන..
සනසවා නිවාලා ඇය ඒවි මගෙ ලොවට..

දස මසක් කුස හොවා දරාගෙන දුක් ගගුළ..
ඔබ හිඳී බලාගෙන දැක ගන්න ඇගේ රුව..
පිය සෙනේ දරාගෙන ඔහු හිඳී ඔබ ළගම..
ඇගෙ දිවිය සරසන්න..රැකගන්න බලාගෙන..

ඔබ දෙපල වාගේම මමත් මග බලා ඉමි..
මගේ මුළු ලෝකයම දෝතින්ම පිළිගන්න..
එවන් වූ සුභ මොහොත එළඹෙනා යාමයට..
අපි තිදෙන පිළිගනිමු චූටි දූ කුමරියව.."


ඔයාගේ උපන් දිනය මට ඒ තරමට වැදගත් උනා.
මතකද මම ඔයාට උපන් දිනයට දුන්න තෑග්ග..
මගේ අතින්ම පබළු අමුණලා..නූල් ගොතලා වැඩ දාලා හදපු අත් පළඳනාව..
ඔයා ඒක බඳින්නෙම නැතිව ඉඳලා එක දවසක් බැඳලා ආවා මාව බලන්න.
මට එදා තේරුනා ඔයා ඇයි ඒක බඳින්න ලෝබ උනේ කියලා..

ඒ හැම දෙයක්ම මට අද වදදෙනවා..
මොන කරුමයක්ද කියන්න මම දන්නේ නැහැ..දෙයියනේ..
මොන තරම් තැළිලා පොඩි උනත් මම අදටත් ඔයා ගාව පොඩි එකෙක් විතරයි..
ඒ පොඩි එකා ඔයාවම ඉල්ලනවා.
ඌට තේරෙන්නේ නැහැ.ඔයා අද නැහැ කියලා.
ආයේ එන්නේ නැහැ කියලා.

"කියා දෙනවද එක දෙයක් මට..
ඇයිද මෙ හැටි රිදෙන්නේ සිත..
දරා ගන්නට නොහැකි තරමට..
වෙදනාවෙන් දැවෙන්නේ හද..

ලොවෙ කෙලෙසද සිටින්නේ තව..
දරාගෙන මෙ දුක් සුසුම් කඳ..
ඉතින් යන්නට අවසරයි මට..
තෙරක් නැති මරණයේ දොර වෙත.."

16 comments:

  1. මාරයෝ, මම ආයිමත් කියනවා, උඹනම් මාරම පොරක්. මේ කවි නම් සිරාම සිරා . . . ! මොන කෙල්ලද බං මේවට අඬන්නෙ හරි හිනාවෙන්නෙ හරි නැතිව ඉන්නෙ ?

    ReplyDelete
  2. කවියක් වගේ අපූරුවට පද ගැලපුන ආද‍රයක්,ගීයක් වගේ මිහිරි තනුවක් තිබුණු ආද‍රයක්....

    ReplyDelete
  3. අඬනවා නෙමෙයි බං ඇ‍ඬෙනවා මේවා ඇහෙන‍කොට.....

    ReplyDelete
  4. ඊ... එල කොල්ලෙක් නෙ. මේව පට්ටම සිරා බොල..

    ReplyDelete
  5. ෂහ්...
    අනේ මන්දා බන්...
    ................

    ReplyDelete
  6. හ්ම්ම්ම් අහල තියනවද නන්දා මාලිනිය ගයන ගීතය,
    "පහන් කන්ද මුල අඳුරුයි
    ඔබට ගයන මගෙ හද අඳුරුයි
    මගේ පැල අඳුරුයි
    පහන් කන්ද මුල අඳුරුයි"

    ඔයාගෙ සටහන කියෙව්වාම මට මතක් උනේ ඕක. ඇත්තම ගොඩක් කලාකාරයින්ගේ ජීවිතත් ඔය වගේ.
    ඔයත් දක්ෂ කලාකරුවෙක් !!

    ReplyDelete
  7. ලසනට ලියල තියනවා..අපේ ජිවිත වලට හෑම වෙලෙම ..දුකම ඉතුරු වෙන්නේ ඈයි අප්පා

    ReplyDelete
  8. හ්ම්ම්ම්.......... පද ටික නම් සිරා.

    ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා. උඹ ඔය යලුවව ඈසුරු කරන්නෙ ඔය දෙවල් අමතක කරලා දාන්න කියලනෙ කියන්නෙ? ඈත්තටම එහෙම වෙන්නෙ නෑ නේද මලේ?????????

    හිතන්නට යමක්!

    ReplyDelete
  9. අනේ මන්දා අයියේ... මටනම් කියන්න දෙයක් හිතාගන්න බෑ.... හරි අපුරු පද ටික

    ReplyDelete
  10. මාරයට ලාවට වගේ ටිකක් වැඩි වෙලා වගේ :P

    ReplyDelete
  11. ඇත්තටම බං මාරයෝ උඹ මේ ලියන්නෙ හිතළුද.... එහෙමත් නැත්නම් යථාර්තයද .... උඹනම් බ්ලොග් ලියයි. අපිට වදින වැදිල්ලට අපි මංඤ්ං .....

    ReplyDelete
  12. මාර කවි ටික....දැක්කම ලෝභ හිතුනා

    ReplyDelete
  13. ඇත්ත අයියා...
    ආදරේ ඉස්සරහ අපි පොඩිවුන් වගේ තමා...

    කවි ටික නම් අනර්ඝයි අයියෙ..
    කියන්න වචන නැහැ...

    ReplyDelete
  14. මේ පෝස්ට් එක නම් පට්ට..!

    ReplyDelete
  15. මම නං මාරෙ, උඹ මාරයි කියලා කියන්නෙ නෑ. මේ වැඩෙන් උඹටවත්, ඒ කෙල්ලටවත් වෙන සෙතක් නෑ. මට ඔය ආලවට්ටං දාලා කියන්න තේරෙන්නෙ නෑ,, අමුවෙන්ම කියල දාඤ්ඤං:

    උඹලා දෙන්න අතර වුනේ මොකක්ද කියලා මං දන්නෙ නෑ, මොක වුනත් ඒක වෙලා ඉවරයි. ඒ කෙල්ල හිත හදාගෙන අපූරුවට , ජිවිතේ ගෙනියනවා. බලපං උඹ මොකද කරන්නෙ? උඹටත් කෙලෝගෙන, අර අර අමාරුවෙන් හිත හදාගෙන, ජීවිතේ ගැට ගහගන්න හදන කෙල්ලටත් ඇණයක් වෙන්න හදනවා.

    නොලැබිච්ච , නැති දේට හූල්ලන එක මනුස්ස ස්වභාවය. ඒකෙ ඇති වැරද්දක් නෑ. ඔහොම හුටප්පරයක් වෙලා, මේහාට මංගච්චන්න ඉස්සෙල්ලා මං හිතුවෙ, ආව් අප්පා එහේ නියමයිනෙ, හවසට පබ් යනවා, කරටි කැඩෙන්න ගහනවා. අ..හම් එක බස් එකක් වැරදුනොත් අනිත් එකේ එල්ලෙනවා කියලයි. ඒවා එහෙම නැතෙයි කියලා කියනවා නෙමෙයි, වැඩේ කියන්නෙ එතකොට හුල්ලන්නෙ, පොල්සම්බෝල, ජාඩි, පොල් මැල්ලුං වලට, කොටින්ම ලංකාවෙ ගතකරපු කූල් ටූර් ජීවිතේට. බැරිම තැන ආයි ලංකාවට සැපැත්වෙලා මාස දෙක ඉන්න කොට මෙන්න යකඩෝ මතක් වෙනවා, ගිලපු හැම්, බේකන්, සනීපෙට යන්න පුළුවන් පොදු ගමනාගමන පහසුකං. මට හිතෙන්නෙ, ප්‍රස්නෙත්, ඒකට උත්තරෙත් දෙකම තියෙන්නෙ අපිගාවම කියලයි.

    ඒකට විසඳුම හැමදාම හූල්ලන්න යන එක හරි, ඒකෙන් අනිත් අයට ප්‍රශ්ණයක් වෙන එක නං නෙමේ.
    තමන්ට නැතිදේ ගැනම පසුතැවෙන්නෙ නැතුව, තියෙන් දේ ගැනත් හිතාපං. ඉන්න හිටින්න තැනක් තියනවා, රස්සාවක් තියෙනවා, අමතර ආදායමක් තියෙනවා, ජීවිතේ ආයි පටං ගන්න කල් තියෙනවා. තව මොන ඉලව්වක්ද ඕනෙ.

    වැරදි යමක් කියවුනා නං සමාවෙයන්...

    ReplyDelete