17 September 2010

අතීතයෙන් වර්ථමානයට...Electric dreams...

අද මගේ බොහෝම කාලෙක ඉඳන් තිබුණු ආසාවක් ඉටුඋන දිනයක්. මගේ ප්‍රොෆයිල් එක බලපු ඔන කෙනෙක් දැකලා ඇති ඒකේ මගේ ප්‍රියතම සිනමා පටයක් ගැන සඳහන් කරලා තියෙනවා.

මම ඔය ෆිල්ම් එක බැළුවෙ මීට අවුරුදු ගාණකට කළින්..
හරියටම වර්ෂය කියන්න තරම් මතකයක් නැති උනත් ඒ 1994 සිට 1997 අතර දක්වා කාලය නම් තමයි.

කොහොම උනත් හරියටම වසර දහතුනක් දහසයක් අතර කාලයකට පෙර..
ඒ දවස්වල සිරස ටීවී වලට කළින් ආපු එම් ටී වී නාලිකාව තිබුණා සමහරුන්ට මතක ඇති.

U.H.F. ඇන්ටනා මුලින්ම හදුන්වා දීපු කාලේ...
අපිට ඉතින් මොන ඇන්ටනාද..?
බයිසිකල් රිම් එකකට කම්බි ඇදලා, තව ඒ මදිවට සාස්පාන් පියනක් එහෙම පටලලා හදාගත්තු මගේම ඇන්ටනාවකින් තමයි ඉතින් බැළුවෙ.
මගේ කිවුවට ඉතින් මුලින්ම ඔය වාගේ ඇන්ටනා පිළිබඳව අත්හදාබලන්න මාව යොමු උනේ අපේ තාත්තගේ විශිෂ්ඨ පරීක්ෂණවල ප්‍රථීඵලයක් විදියට තමයි.
තාත්තා නම් කරන්නේ කොහෙන් හරි කාන්දම් කෑල්ලක් හොයාගෙන ඒකට ඔය මොන මොනවා හරි පටලලා අඹ ගහ මුදුනට දාලා ඒක දිගේ පන්දලම් කම්බියක් බැදලා..ඔක අපේ තිබුණු පුංචි ටීවී කබලට හයි කොරාන රූප බලාපු එක තමයි.ඒකත් කාර් බැටරියක් චාර්ජ් කරගෙන...

අම්මා රට ඉඳන් එනකොට ගෙනාව අගල් 14 ක සෝනි ටීවී පුංචා ගෙදරට ආවෙ 1994 දී විතර...

ඊට පස්සේ යන්තම් ගෙදරට විදුලිය ලැබුණේ එවකට විදුලිබල නියෝජ්‍ය ඇමතිතුමාට(දැන්නම් උන්දෑ ගෙදර..)
පොඩි සද්දයක් දැම්මට පස්සේ තමයි..

තාත්තා පොදු පෙරමුණු කණුවක් උනත්..තාතතගේ පස්සෙන් ගිහින් දේශපාලනය කරපු..ලොකු ලොක්කෝ හදුන ගත්ත උන්නැහේලා බාර් ලයිසන් ගන්න කොට අපේ තාත්තණ්ඩියා ගෙදරට කියලා සත පහක දෙයක් කරගත්තේ නැහැ.
උන්දැ කලේ කාගේ හරි ගෙදරකට ටකරං තහඩු ටිකක් හරි ඉල්ලලා දෙන්න බලන එකයි..
පාරවල් කප්පන්න, කැඩිලා තිබුණු වැව් බන්ට් එක හදන්න මුදල් පාස් කරගන්න දත කෑව එකයි.
අපිටනං ඉතින් ඒ කාලේ මෙ දේවල්වලට ටික්ක මල පැනලා හිටියේ..ඒත් අද වෙනකොට තාත්තා එහෙම කරපු එකේ අගේ මට තේරෙනවා.
අපේ තාත්තත් ඒ පාරේ ගියානං අද මාත් සමෘද්ධි නිලධාරීන්ගෙන් එකෙක් වෙලා රජයේ මුදල් පිනට ගිල ගිල ඉන්න එකෙක් වෙන්නත් ඉඩ තිබුනා...

කොහොම හරි අපේ ගෙදරට විදුලිය නැහැ ඒ දවස්වල..අන්තිමට මම සාමාන්‍ය පෙළ ලියලා කාලයක් යනකොට තමයි යන්තං විදුලිය හම්බ උනේ.
හප්පේ ඒ දවස්වල ලාම්පු යුද්දේ..
හවස් වෙනකොට චිමිනි ලාම්පු දෙකට තෙල් දාලා, පහන් තිරය උඩට උස්සලා ලෙවල් එකට යන්තම් කපලා,
කඩදාසියක් පොගවලා චිමිනි පිහදාලා, කුප්පි ලාම්පු වලටත් තෙල් දාලා පත්තු කරන ජොබ් එක ඉතින් මට පැවරිලා තිබුණේ...
ඉඳලා හිටලා විශේෂ දවසක පැට්‍රෝල්මැක්ස් එකත් පිහදාලා, පත්තු කරන්න වෙනවා.
ඒකටනං ඉතින් මං බොහෝම මනාපයි. පොඩි ගැජමැටික්ස් තියෙන හින්දා.

පුනීලය තියලා තෙල් පුරවලා, හුළං ගහලා මැන්ටලේට ගිනි තියලා දැල්ල අඩු වැඩි කර කර නියම එළිය ගන්න සෑහෙන පළපුරුද්දක් තියෙන්න ඕන...

ඉතින් ඔන්න ඔහොම කාලෙක තමයි මම ටිකක් පීල්ලෙන් පැන්නේ...

මක් කොළත් අපේ තාත්තා ගෙදරට ලයිට් ගන්නේ නැහැ. දහහත් අවුරුද්දක් තිස්සේ විපක්ෂේ ඉඳලා ආණ්ඩුව බාරගත්තට මොකද ඒ පැරදි පැරදි හිටිය කාලේ අපේ ගෙවල් වල නිතර ආගිය කෑව බීව දේශපාලක උන්නැහේලා උනත් ඉතින් හොයලා බලලා ඔය වගේ දෙයක් කොරලා දෙනවා කියලයෑ...

මට මතකයි ඉස්සර නිතරම වගේ විජය කුමාරණතුංග මහත්තයා අපේ ගෙදර එනවා යනවා.
තාත්තා තමයි අපේ ගම් දෙකතුනම වෙනුවෙන් උන්නැහේට උදවු පදවු කොළේ..මැතිණිගෙනුත් කැපිලා හිටිය කාලේ නෙව.
දැන් නං ඉතින් එහෙම කාලයක් තිබුණද කියලා මතකත් නැතුව වාගේ ඉන්න සැටලයිට් නෝනාත් ඉතින් නිතර ආවා ගියා.ඔය දෙන්නාම ඉතින් ඒ කාලේ පැටියා වෙච්ච මාරයාව වඩාගෙනත් ඉන්නවා.
මට ඉතින් ඔය අතීතේ හොඳට මතකයි...

කොහොම උනත් ජනාධිපති උනාට පස්සේ උනත් අපේ තාත්තට සැටලයිට් නෝනාව තනියම ගිහින් හම්බ වෙන්න තරම් දැන හැදුනුම් කම තිබුණා පස්සෙන් පහු උනත්.

ඒ හැදුනුම්කම් කොහොම උනත් තාත්තම පස්සෙන් පහු ඒ ගමන නතර කරලා දැම්මා...
ඒ වෙනකොටත් සැටලයිට් නෝනා ගමන් ගත්ත මාර්ගය පිළිබඳ තාත්තා ඒ තරම් පැහැදීමකින් නෙවෙයි හිටියේ..ඒත් එයා ඒ බව අපිට අගවන්න කැමති උනේ නැහැ. නමුත් ටිකෙන් ටික ඒ සබඳතාවය අතඇරිලා ගියා.

ඒ මොන හැදුනුම්කම් තිබුණත් අපිට ලයිට් නැහැ..
ඔය අතරේ මොනවා නමුත් පුංචි පහේ චන්දයක් ආව වෙලාවක තාත්තගේ උපරිම විරෝධය මැද මම එක් අපේක්ෂක මහත්තයෙකුට කඩෙ යන්න පටන් ගත්තා..
පෙරමුණේම උනත් අර අපේ මන්තිරී වගේම නියෝජ්‍ය ඇමතිවරයා උන පුද්ගලයාට විරුද්ද පුද්ගලයෙක් උන කෙනෙක් තමයි මම තෝරගත්තේ. ඇමතිවරයාත් තමාගේ ළගම ඥාතිවරියක් චන්දෙට දාලා තිබුණා.
අන්තිමට තාත්තා ඒ ඥාතිවරියට සපෝට්..මම ඒ පක්ෂෙම අර ඥාතිවරියට ප්‍රභල අභියෝගයක් උන පුද්ගලයාට සපෝට්.
දෙන්නම උදේට ගෙදරින් පිටත් වෙලා දෙපැත්තට යනවා.
හැබැයි වෙනසකට තිබුනේ තාත්තා පයින් යනවා මාව එක්ක යන්න වෑන් කබලක් එනවා.
මොකද ඒ වෙනකොට මට පැවරිලා තිබුණු රාජකාරිය තමයි අර පුද්ගලයා වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කොරන එක.
ඉතින් උදේ නවය විතර වෙනකොට පීකර් බැඳපු වෑන් එක ඇවිත් මාව අරගෙන යනවා..මම මගදී මගේ යාළු කොල්ලේ දෙතුන් දෙනෙකුත් පටවා ගන්නවා.
ඊට පස්සේ අපේක්ෂකතුමාගේ මෙහෙයුම් කාර්යාලයට ගිහින් උදේට කාලා පොස්ටර් මිටියි, පාප්ප හැලියකුයි බුරුසු දෙක තුනකුයි අරගෙන කස්ටිය එක්ක පිටත් වෙනවා.

එතන ඉඳලා ඉතින් කළින් ඛෙදලා දුන්න පාරවල් ඔස්සේ වෑන් රථය ගමන් කරනවා..මම කට රිදෙනකල්ම ඉතින් අර අපේක්ෂක තුමාගේ වරුණාව යකඩ කටෙන් කියාගෙන යනවා. ඒ අතර හොල්ට් එකේන් එකට නවත්තනවා..මගේ බුවාලා ටික දනි පනි ගාලා බැහැලා තාප්ප ගානේ පාප්ප ගගා පොස්ටර් නාවනවා.

ඔහොම දවල් වෙනකල් ගිහින් ඒ හරියේ තියෙන පොට් එකකට යනවා දවල්ට කන්න.
ඒ තැන ඉතින් අපේ අපේක්ෂකතුමාගේ කවුරු හරි හිතවතෙක් තමයි.
උදේ පිටත් වෙනකොටම කියනවා අද දවල්ට අහවල් තැනින් කෑම..මල්ලිලා දවල් වෙනකොට එහෙට යන්න කියලා..
ඉතින් එතෙනට ගිහින් කෑමට පෙර සප්පායං වෙලා එහෙම කෑමත් කාලා ටික වෙලාවක් ඉඳලා ආයෙමත් නගිනවා වෑන් එකට.
ඔහොම ගිහින් හවස හතර විතර වෙනකොට අපේ වෑන් එක වගේම ප්‍රචාරක කටයුතුවලට ගිය අනිත් වෑන් දෙකත් එක් පැත්තකට ගමන් කරනවා..
ඒ අපේ අපේක්ෂකතුමා හවස්වරුවෙ ඇමතීමට නියමිත කුඩා රැස්වීම්වලට පෙර ගමන් යන්න.
ඒ ගියහම අපේක්ෂකතුමා එනකල් අර රැස්වීම අසලට ගිහින් අහල පහළ අයට අහවල්තුමා ළග එනවා කියලා මතක් කරනවා..ඊට පස්සේ අපේක්ෂකතුමා එන්න ඔන්න මෙන්න කියලා අර රැස්වීම තියෙන තැනට ඒ කිවුවෙ මතකනේ අර මෙසයක් තියලා..ඒක උඩින් අලියා බීම බෝතල් දෙකක් තියලා..තව පුටුවක් එහෙම තියලා(පිළිගන්න මල්මාලය ගේන්නේත් අපේක්ෂකතුමා එන වාහනේම තමයි.උන්නැහේ බැහින කොටම කවුරු හරි පටස් ගාලා ඒක එතන ඉන්න කෙනෙකුට දෙනවා..) ලෑස්ති කොරලා තියෙන කාට උනත් දැක පුරුදු ස්ථානය..අන්න එතෙනට ගිහින් පටන් ගන්නවා පූර්විකාව...
ඒකත් පොඩි කථාවක් වගේම තමයි.

අර අපේ කමල් අද්දරආරච්චි උන්නැහේ 'මෙ විරාමයෙන් පස්සේ කිය කිය අදින්නේ'..අන්න ඒ වගේ වැඩක් තමයි ඒක..
කොහොම හරි අහල පහළ උදවිය රැස්වීම් භූමියතුළ රඳවගෙන කතා කරන්න ඔන...
ඊට පස්සේ අපේක්ෂකතුමා රැගත් රිය පෙරහැර ඒ අසලට එනකොට පටාස් ගාලා වාහනේ නැගලා ඉගිල්ලෙනවා ඊළග රැස්වීම තියෙන පොට් එකට..

ආයෙත් ඉතින් අර වැඩ පිළිවෙළම තමයි...

කොහොම හරි ඔය රැස්වීම් ඉවරවෙනකොට රෑ එකොළහ විතර වෙනවා..
ඊට පස්සේ කොහේ හරි නයිට් කඩෙකින් කොත්තු පාරක් දානවා.
වියදම ඉතින් උදේම කාර්යාලයෙන් අතට හම්බ වෙලා තියෙන්නේ..
කෑවාට පස්සේ කෙළින්ම කට්ටිය ගෙවල්වලට දාලා මාත් ගේ ගාවින් බැහැ ගන්නවා.

ඔන්න ඔහොම වැඩෙ කරගෙන යන අතර දවසක් අර අපේ නි.ඇමතිවරයාගේ ගෙවල් පැත්තේත් එක දවසක් යන්න උනා.
දන්නේ නැද්ද ඉතින් ඒ දවස්වල අපේත් නාහෙට අහන්නේ නැති කාලේනේ..
මම මොකද කලේ ඩයිවර් උන්නැහේට කයලා වාහනේ නැවැත්තුවා ඇමතිතුමාගේ ගේ ඉස්සරහා...
පටන් ගත්තා මගේ එනවුන්ස්මන්ට් පාර...
දීලා ඇද්දා මයික් නැතත් අහල පහළ ඉන්න ඔක්කෝටම ඇහෙන සයිස් එකට...
කොල්ලොත් ඉතින් පුල් පිකප්..බැහැපු ගමන් ඒ හරියේ තාප්ප ලයිට් කනු ටික වහලා දැම්මා මදි නොකියන්න..
විනාඩි තුන හතරකින් වැඩෙ ඉවර කොරලා අපේ නෙවෙයි වගේ අපි යන්න ගියා.

කොහොම හරි අන්තිමේ රෑ මම ගෙදර යනකොට තාත්තා ඉන්නවා දුම්මල වරම අතට අරගෙන...

"ලොකු එකෝ...
තෝ මොකක්ද අද දවල් කරලා තියෙන පාහර වැඩෙ..."
බැනුම් කෝටියයි.

"මොනවාද ඉතින් තාත්තා කරන එකම තමයි..
තාත්තා අරුන්දැට වැඩ කරනවා වගේ..මාත් මුන්දැට වැඩ..."

"ඒකට අතන අර දෙනෝ දහක් ඉන්න තැන ගිහින් එනවුන්ස් කරන්න ඔනද..?
උඹ හින්දා මටත් ඒ මිනිහට මූණ දෙන්න බැරි වෙනවා."

"තාත්තා ඉතින් මූණ දුන්නා කියලා අපිට මොනවා ලැඛෙනවද..?
අපි තාමත් කරුවලේ..."

කථාව එතනින් ඉවරයි..

පස්සේ කොහොම හරි කණු හතරක්ම දාලා ගෙදරට ලයිට්නං හම්බ උනා.

අම්මානං කිවුවෙ මිනිහාට වැඩ කරනවාට වඩා අනිත් අයට වැඩ කළානං මිනිහා අපිට හොඳට සලකනවා කියන කථාව තමා.

ආ..මම කියන්න පටන් ගත්තේ වෙන කථාවක් නේද..?

හරි ඉතින් ලයිට් ගත්තට පස්සේ තමයි කරදරයක් නැතිව ටෙලිවිසොන් එක බලන්න හම්බ උනේ...

ඒ කලේ තමයි මම අර කිවුව චිත්තරපටිය බැළුවෙ...

ඉංගිරීසි චිත්තරපට බැළුවා උනත් ඒ ඉතින් ඔය කරාටි මරාටි තියෙන ඒවා විතරයි ඒ කාලේ..
ආ බොරු කියන්න ඔන නැහැනේ..අර නීලවර්ණ ඒවත් ඉතින් බැළුවා. ඒ ගැන කියන්නත් අප්පරමාණ කතා තියෙනවා..ඒත් දැන් ලියන්න ගියොත් කොතනින් කෙළවර කරන්න වෙයිද දන්නේ නැහැනේ...

කොහොම උනත් ෆයිට් නැති වර්ගයේ ෆිල්ම් බලන්න මම හුරු උනේ මෙ ෆිල්ම් එක බැළුවට පස්සේ තමයි..

පුදුම ලස්සන ෆිල්ම් එකක්..

ඔක්කෝටම වැඩිය චිත්තරපටිය අවසානයේ තියෙන ගීතය...
ඒක මට හීනයකින් වගේ අදටත් මතක තිබුනා.
ඒ වගේම අර ගෑණු ළමයා සහ කොම්පීතර උන්නැහේ සමාන්තරව කරන වාදනය...

එදා ඉඳන් අද වෙනකල් මම බලාගෙන හිටියේ ආයේ කවදදා ඒක බලන්න ලැඛෙන්නේ කියලා...
කොච්චර බලන් හිටියත් හරි ගියේ නැහැ.

අන්තිමට අද බයිස්කෝප් අඩවියේ පෝස්ට් එකක් දැකලා ඒකට ගියහම..මෙන්න බොලේ අර ෆිල්ම් එක...
මට නිකං නැතිවෙච්ච ගෑනි හම්බ උනා වගේ...සංතෝසයක් උපන්නා.

2GB වෙච්ච මගේ කොනෙක්ෂන් එක අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න හිතාගෙන හිටියට..මෙක දැක්ක ගමන් ඒවා කැලේ...
කවදාවත් ටොරන්ට් එකකින් ෆිල්ම් එකක් බාලා තිබුනේ නැති මං වැඩේ කොරන පිළිවෙළත් බලාගෙන කොහොම හරි දවල්ම බෑවා.

ඊට පස්සේ හවස් වරුවම ගත කලේ මෙක බලන්න..
හීනයකින් වගේ මතක තිබුණු හැම තැනක්ම නැවත නැවත බැළුවා...
ගීතය වෙනම පටිගත කර ගත්තා...දැනුත් මෙ ඒක පසුබිමින් අහන ගමන්...
කාලෙක ඉඳලා තිබුණු දොළදුකක් සංසිඳවාගත්තා වගේ සතුටුයි...
ගෝලයා,ඇතුළු බයිස්කෝප් අඩවියට අප්‍රමාණ ස්තූතියි..ඔං...

හා..දැන් ඉතින් නෙට් එන එක ටිකක් ගාණකට කරගෙන යමු.නැත්තං ඉතින් ඩයලොග් කොම්පැණිය පෝසත් වෙයි..මං දුප්පත් වෙයි..
හැබැයි ඉතින් ඉන්නේ පැදුරෙ හින්දා වැටෙන්නනං දිහාවක් ආයේ නැහැ...

41 comments:

  1. ආහ් එල එල... මමත් ඉතාමත් ආසවෙන් බලපු කතාවක්. මම දැන් "ගෝලයා" ලෙසින් කොමෙන්ටුවක් දැම්මට මීට කලින් මම මේ "මාර" ලිපි වලට කොමෙන්ටු දාල තියෙනව.

    මේ මගේ ප්‍රියතම බ්ලොග් අඩවියක්. හැම ලිපියක්ම කියවල තියෙනව.

    ReplyDelete
  2. ගෝලයා...

    හප්පේ එහෙමද..?
    සතුටුයි කියන්නේ අප්පරමාණ සතුටුයි.
    ගෝලයා කියන්නේ අපේ රොයිලි මලයා නෙවෙයි නේද..?
    රොයිලිනං ඉතින් මගේ බොහෝම හොඳ හිතවතා.
    රොකියාත් ඉතින් ඒ දවස්වල ආවා ගියා...

    ReplyDelete
  3. යකඩෝ මාර අයියා එසේ මෙසේ කෙනෙක් නොවෙයිනෙ බොල,
    අපෙ රටේ ජනාධිපති තුමියකගේ අතේ නැලවඉලා තියනවා, පුහ්
    මට මැවිලා පේනවා වගේ ජන්ගි කොටයකුත් ගහගෙන, හොටු පෙරා ගත්ත කාල වර්ණ පොඩි එකෙක් සැටලයිට් නෝනගේ අතෙ හුරතල් වෙන හැටි.

    එක නෙවෙයි ලොහෙන්ද මේ "සැටලයිට්" කෑල්ල හොයා ගත්තෙ

    ReplyDelete
  4. අයියා ඩයලොග් වලට මාරු වෙලා......
    එහෙනම් දැන් තරහ යන්නේ නැතුව ඇති....... :P

    බොරු කියන්නේ මොකටද මම නම් ඔය පිලුම් එක ගැන අහලවත්නෑ මතක හැටියට.......

    මම
    හා පැටික්කි (MS)
    සමාවෙන්ට ඇනොනි උනාට....
    උක්කුවට ලැප ඉල්ලන හදිස්සියේ ලීවේ....... :( :( :( :(

    ReplyDelete
  5. නෑ, මම ගෝලයා.

    (ආයෙ මොකටද මාරය එක්ක වෙස් මුහුණු හික්ස්... )

    ReplyDelete
  6. මමත් නම් ඔය ෆිල්ම් එක මීට පෙර බලල නෑ. මාරය ඔච්චරම වර්ණනා කරන නිසා බාන්න දැම්මා ඔන්න.

    ReplyDelete
  7. මාරයියත් එසේ මෙසේ පොරක් නෙවෙයිනේ බලාගන ගියාම...
    වෙලාවක ආයෙ පාරක් මූණු පොතේ චැටකට සෙට්වෙමුකෝ......

    ReplyDelete
  8. අම්මට උඩු....මාරයියාත් හෙන ඩයල් එකක් නොවැ...අපේ ගුවන් ලතාගෙ ඔඩොක්කුවෙත් නැළවිලා තියෙනවා එහෙනම්...
    අතීතය අපිත් එක්ක බෙදාගත්තාට ස්තූතියි...
    ජයවේවා!!!

    ReplyDelete
  9. බලන්න ඕනේ අද ගෙදර ගිහිල්ලා බාලා.
    බලන් ගියාම අපේ මාරයා සෙල්ලන් පොරක් නෙවේනේ..ලොකු නෝනාගේ අතේ නැලවිලා තියෙන්නේ.. :)

    ReplyDelete
  10. මාරයා මාරයිනේ..
    :)
    මොකද්ද අප්පේ ඔය කියන ෆිල්ම් එක. මමත් බාන්න දාන්න ඕනේ.

    ReplyDelete
  11. මදෑ, ෆිල්ම් එක ගැන කියන්න ගිය දුරක්. හැබැයි එල මචෝ කතාව නම්. පිස්සු හැදෙන සැටලයිට් කිව්වළු. කොහොම හරි ලයිට් ගත්තනෙ. ඒ මදෑ.

    මමත් මේ ෆස්ට් ටයිම් මේ ෆිල්ම් එක ගැන දැන ගත්තෙ. බලමුකො, වෙලාවක් තිබුනොත් බාගෙන බලන්නම්.

    ReplyDelete
  12. මටත් ඔහොම වැඩක් වුනානෙ.හැබැයි ගොඩක් කල් ඉන්න වුනේ නෑ.ඒත් ඒ film එක බලන්න ඇති තරම් කට්ට කෑවා.එපාම වුනාට පස්සෙ තමා film එක බැලුවේ

    ReplyDelete
  13. හිකිස්, උඹේ කතාව කියවං යනකොට මට අපේ මාමා කාරයා මැවිලා පෙනුනා බං.. පොරත් ඔයවගේම ඔය නියෝජ්‍ය ඇමැතිතුමාට කඩේගිය බුවෙක් තමා.. හැබැයි ඉතිං ගෙදරට මොකුත් නෑ, සමාජසේවය තමා.. ඡන්දෙ කාලෙට නැන්දා කෑගහනවා ගෙදරට එන මිනිස්සුන්ට තේ හදලා ඉවරයක් නෑ කියලා.. අනික ඔය නියෝජ්‍ය ඇමැතිතුමා මහර ආසනේට කොරපුදේකුත් නැහැනෙ බං බලං යනකොට..

    අර ෆිල්ම් එක මගෙත් ආසම ෆිල්ම් එකක්.. මාත් ඕක මුලින්ම බැළුවෙ MTV එකේ තමා.. බැළුවා නෙවෙයි අහම්බෙන් බලන්න ලැබුනා..

    ReplyDelete
  14. AmilaArt...

    හුහ්..ජංගි කොටෙනං ඇත්ත කියමුකෝ...
    කව්ද යකෝ කළු..
    දැන් මෙ ටිකක් අව්වට පිච්චිලා පොඩ්ඩක් අප්සැට් ගියාට ඒ දවස්වල සුදු කොල්ලා...
    හරි චෝයි බබා..
    ඒ දවස්වල දැක්කනං මහින්ද මාමා උනත් වඩාගන්න ජාතියේ පියරු බබා...

    සැටලයිට් නම අප්සෙට්දෑ..?

    ReplyDelete
  15. හා පැටික්කි (MS)...

    යකෝ මෙ උක්කුංට දෝෂාභියෝගයක් ගේන්ට වෙනවා...
    අපේ පැටික්කීගේ අර මොනවද අයිතිවාසිකම් මෙකා අමු අමුවෙම මෙව්වා කොරනවා නෙව...

    ReplyDelete
  16. Uditha Umesh...

    දැන් නෙව අදුරගත්තේ...
    එහෙම කියන්ට එපැයි...එහෙනං මාරගුරු බලන්න ගෝලයා ආවා...

    ReplyDelete
  17. kumaraya...

    මාරයාගේ සහ කුමාරයාගේ රසය එකක් උනොත් හොඳා...
    කොහොම උනත් පාඩුවෙ බලන්න පුළුවන් හොඳ චිත්තරපටියක්...

    ReplyDelete
  18. තීර්ථ යාත්‍රිකයා...

    ආ..සෙට් වෙමු..සෙට් වෙමු...

    ReplyDelete
  19. සම්පත් / jt...

    මටම ලැජ්ජයි බං...
    ඊට හොඳා ප්‍රභාකරන්ගේ ඔඩොක්කුවෙ හිටියානං...
    අඩුම ගානේ ඌ තමන්ගේ ජාතිය ගැනවත් හිතුවා...

    ReplyDelete
  20. Grey...

    ඒ දවස්වල නැළවිලි වගේද..දැන් නළවන නැලවිල්ල...

    ReplyDelete
  21. Ansh Lucky Sri Jay...

    මම හිතුවා ඔයා බලලා ඇති කියලා...

    ReplyDelete
  22. දුමී ...

    දන්නවනේ ඉතින් මම නුවර යන්න ගියොත් අන්තිමට යන්නේ මාතර..
    හැබැයි අදනං මාතර හරහා නුවරටම ආවා...

    ගමට ලයිට්...හිහ්...

    ReplyDelete
  23. ප්‍රාර්ථනා...

    ඒ ෆිල්ම් එකත් මෙ ෆිල්ම් එකමද..?
    ඔයා ඇයි දෙයියනේ කට්ට කෑවෙ..
    ප්‍රාර්ථනා කොරලා බලන්න තිබුනනේ..

    ReplyDelete
  24. Buratheno...

    නැත්තෙත් නෑ..
    ඌ කලා..
    ඌගේ හතර වරිගයට...

    කෙරිල්ල හොඳ හින්දා තමයි විවෙක ගන්නලා ගෙදරට වෙලා ඉන්න සැලැස්සුවෙ..හිහ්..හිහ්...

    අඩෙ උඹෙ ඔය මාමා අපේ තාත්තා එහෙම නෙවෙයි නේද..?

    ReplyDelete
  25. අනේ අම්මියෝ...... o.O

    ඔයා මේ හදන්නේ මට මේ තියන මෙව්වා ටිකත් නැතිකරන්න......... යන්තම් කිවිසුමක් ගහන් මේ රෑට එන්නෙත්....... :/

    ReplyDelete
  26. හා පැටික්කි (MS)...

    හිහ්..හිහ්...හොඳ වෙලාවට කිවුවෙ..මම මෙ හැදුවෙ පොස්ටර් ටිකක් එහෙම ගහලා වැඩෙ පටන් ගන්න.

    ReplyDelete
  27. අන්න, මූණූ පොතේ හදිසි කාරණාවක් සටහන් කලා, බලනවා නම් හොඳයි ද මන්දා...
    :)

    ReplyDelete
  28. අප්පේ මාර ගොයියත් චන්ද අපේක්ෂකයන්ව හෝදලා තියෙනවාද...? මමත් ටික කාලයක් කෙරුවා.. මරු ජොබ් එක නේද මාරයෝ.. හැන්දෑ වෙනකොට උගුරට දැනෙන සනීපෙ කියලා වැඩක් නැහැ....

    ReplyDelete
  29. මාරයෝ,මට උඹේ රැස්වීමෙන් රැස්වීමට යන කතාව දකිද්දී මතක් උනේ සුගතපාල ද සිල්වා මහත්තයාගේ "බල්ලෝ බත් කති " කියන පොත.එකේ ඉන්නවා ඔය වගේම අගමැති එන්න කලින් කසකාරයා වගේ දුවන සහබන්දු කියල ඩයල් එකක්.සහබන්දුගෙයි මාරයාගෙයි අනික් සමානකම දන්නවාද.පොතේ තියෙන්නේ මෙහෙමයි "සහබන්දු අරක්කු බොද්දී තීන්ත උරන බ්ලොටින් කඩදාසියක් වගේ,බෝතලයක් බීලත් නොබිව්ව වගේඉන්නවනේ"

    ReplyDelete
  30. Ansh Lucky Sri Jay...

    හරි මම බැළුවා..මම දැන් වැඩට යන්න හදන්නේ ඇවිත් කතා කරන්නම්.

    ReplyDelete
  31. Jeew...

    ඒ ගැන නම් කියලා වැඩක් නැහැ..
    ගෙදර ගිහින් අමු ඉගුරු කෑල්ලක් කටෙ දාගෙන හපලා ඉස්ම ටික බීලා තමයි නිදා ගන්නේ..
    නැත්තං පහුවදාට නිකං ගොර ගොර ගානවා විතරයි මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ.

    හරි විනෝද කාලයක් නේද ඒක...
    ආතල්ම වැඩෙ තමයි මම මයික් එක කටෙ තියාගෙන ගුණ වයනකොට..අපේ අනික් උන් මයික් එකට වදින්නේ නැති තරමෙ හඩින් දෙන ටෝක්..හිනාව නවත්තගෙන වැඩෙ කොරන්නේ පුදුම අමාරුවෙන්...
    ඇයි යකඩෝ පට්ටපල් බොරුනේ කෙළලා අදින්නේ..

    ReplyDelete
  32. එතකොට මාරයත් නැලවුනා කිව්වාලු .......... :D

    ReplyDelete
  33. ලේසි පාසු මාරයෙක් නෙම්යි හි හි. ඒත් මම බැලුවෙ කෝ මේ ෆිල්ම් එක කියල... හි හි.

    ඈ බන් අර සැටලයිට් කෑල්ල කොහෙන්ද... ?

    මාරයා අයියේ මූනු පොතේ ඊ ලිපිනය කුමක්ද...

    ReplyDelete
  34. මාරයා මැතිවරණ ප්‍රචාරක කටයුතු කළ අයුරු කියවද්දි,
    කලකට ඉහත, කොහේදී හෝ ඇසූ හෝ කියවූ සිදුවීමක් මතක් උනා,
    ඒ කතාව ඇසුරින්, මාරයා නොකියූ කතාව මෙන්න,

    / ඉතින් එතෙනට ගිහින් කෑමට පෙර සප්පායං වෙලා එහෙම
    කෑමත් කාලා ටික වෙලාවක් ඉඳලා ආයෙමත් නගිනවා වෑන් එකට./


    දවල් කෑම පෙර සප්පායම් උනු එකේ ඉතුරු හරියත්,අපි එක්කම වෑන් එක ඇතුලේ,
    ප්‍රචාරය කොරන ගමන් ටික ටික සප්පායම් වෙනවා,
    අපි ඉතිං ප්‍රමාණය ඉක්මවා නොයන්ඩ වග බලා ගන්නවා,

    එක දවසක් හැබැයි, නොදැනිම ලිමිට් එක පැන්නා,
    එදා වෙච්චි දේ හින්ද මට සෑහෙන කාලයක් ගමෙන් පිට වෙලා ඉන්ඩත් උනා,

    උනේ මේකයි,අපි ඉතින් වෑන් එක ඇතුලේ ප්‍රයිවට් කතා වලදි මයික් එක ඕෆ් කරනවා,
    එදා ඔය ඕෆ් කිරිල්ල අමතක උනානෙ,

    ඉතින් එදා ප්‍රචාරක කටයුතු කෙරුනෙ මෙහෙමයි,

    "ඇත්ත වශයෙන්ම සහෝදර, සහෝදරියනි,ඔබ........."

    කෝ,බං බෝතලේ, ගනිං, එකක් වක්කරලා

    "සැම හොඳින් දන්නවා, අපේ ගරු අපේක්ෂක තුමා........"

    අප්පට උඩු, උගුර පිච්චිලා ගියා, සෝඩා දැම්මෙ නැද්ද බොල?

    "අපේ මේ ගම් ප්‍රදේශයට විතරක්.......

    ඔය කඩල ඇට දෙක තුනක් වත් ගනින් හපන්ඩ,

    "නෙවෙයි මේ මුලු පළාතටම..........."

    කෙලියා, බයිට් ඉවරද?

    "කොපමන සේවයක් කල.........."

    හෝව්, මල්ලි, හෝව්, ඉස්සරහ කඩෙන් හපන්ඩ මොනව හරි අරං යමු,

    ReplyDelete
  35. වැප්...

    හෙහ්..හෙහ්...තාමත් නැළවෙනවා බං මලේ...

    ReplyDelete
  36. බලාගෙන ගියහම මාරයියත් ලේසිපාසු මනුස්පයෙක් නෙවි.. ඈ..

    සැටලයිට් නෝනගේ අතේ නැලවිල...
    අහවලාට කඩේ ගිහිල්ලා...

    අන්තිමට Electric dreams බැලුවලු ඈ...

    මට නම් ඔය බයිස්කෝප් එක තමා බලන්න බැරිවුණා අය්යෙ...

    මොනවුනත් අර "වචන දෙක" ලිව්ව වගේ අපූරුවට ලියල තියෙනවා..
    හික්ස්...

    ReplyDelete
  37. පිස්සා පලාමල්ල ...

    ඇවිත් බලමුකෝ.."c.t.kumara" කියන නම හොයාගෙන...

    ReplyDelete
  38. sansarasidu...

    බලාගෙන ගියහම මලේ තාමත් හීනයක් වගේ තමයි...
    හැබැයි මම තාම ඒ හීනේ නැළවෙනවා...

    ReplyDelete
  39. එපාම කරපු එව්වා තමයි අවුරුදු උත්සවයි... දේසපාලුවන්ව හෝදන එකයි... තව පොඩි ආතල් වැඩක් ‍වුණා අපේ නිවේදකයෝ සෙට් එකේ එකෙකුට. ක්‍රිකට් මැච් එකක්ක් ගැන නිවේදනය කරගෙන ඔය විදිහට ගම වටේ යනකොට (රවී කියපු විදිහට පොඩ්ඩක් සප්පායම් වෙලත් ඉඳලා තියෙන්නේ) "___ කුසලාන සය සමාජික මහා ක්‍රිකට් තරඟාවලිය___ දින දවස පුරා ______ ක්‍රීඩාංගනයේදී... හු _ _වා! වැටුණ නේ බං වලක..." ස්ස්ස්ස්ස්ස්ස්.........
    (කොහොමට ඇත්ද ආතල් එක)

    ReplyDelete