03 October 2010

පන්සලේ ජීවිතේ...යෝජනාවක්...

වසර විසිහතරකට පත්ව සිටි මාගේ ගිහි ජීවිතයේ අවසාන පැය කිහිපය ගෙවී යමින් තිබුණි. මොන අන්දමෙන් තීරණය කරගෙන සිටියද සිතේ යම් තිගැස්මක් නොතිබුණා නොවේ...
මෙතෙක් කලක් වවා සිටි කොණ්ඩය රැවුල ආදිය අහිමිවීම...ගිහි ඇදුම් පැළදුම් ආභරණ සියල්ල අදින් පසු කැප නොවේ...
කථා බහ..ගමන බිමන පමණක් නොව ජීවිතයේ සෑම අංශයක්ම මෙම නව වෙනසට ලක්විය යුතුව තිබිණි.
ස්ත්‍රීන් ඇසුර... තහනම් වචන ගොන්නේ ඉදිරි පෙළින්ම ඇත... දරා ගැන්ම පහසු නැත...
එක් සිර ගෙයකින් තවත් ඊටත් වඩා දරුණු සිරගෙදරකට මාරුවන්නක් වැනි හැගීමක්ද සිත වටා සැරිසරයි...
අවසාන පැය කිහිපය...
අසීරුම කාලයයි...

සිත දැඩිකරගත යුතුව ඇත...

එක් අවස්ථාවක් පමණක් ඇත..ඒ වසරක පමණ කාලයකට යනුවෙන් ගුණරතන හිමියන්ට මුලින්ම පවසා තිබීමයි...නමුත් ඒ පිළිබඳව දන්නෝ කවුරුන්ද..?

කෙසේ වෙතත් වෙන දෙයක් උනාවෙ යනුවෙන් සිතා ගත් මා නින්දෙන් පිබිද එළඹී ඇති දිනට මුහුණ දීමට සූදානම් වීමි.
රාත්‍රීයේ පැමිණ සිටි හිමිවරුනට අමතරව උදෑසනද නොයෙක් දෙසින් නායක හිමිවරුන් වැඩම කරන්නට වූහ...
මෙතෙක් දවස් මා අතින් සිදුවූ පන්සලේ සියළුම වතාවත් ගම් වැසියන් හා පැමිණ සිටි කුඩා හිමිවරුන් අතින් ඉටුවන්නට පටන් ගෙන තිබුණි. මා හට තිබුණේ වැඩ කටයුතු නිසි පරිදි සිදුවන්නේදැයි සොයා බැලීම පමණි.
කළින් සූදානම් කරගත් සුදු සරමින් හා කමිසයෙන් සැරසුන මා ආවාස ගෙය ඉදිරිපිට මිදුලට වී සිටියෙමි. වරින් වර පැමිණෙන භික්ෂූන් වහන්සේලාට පසග පිහිටුවා වඳිමින් මා බලා සිටියෙමි.
මෙ අවස්ථාවෙ තවත් අපූරු සිදුවීමක් සිදු විණි...

එය අතුරු මෙහෙයුමක් විණි.

අප පන්සලට තරමක් ඈතින් පිහිටි පන්සලක වයෝවෘධ හිමිනමක් මා හට අඩගසාගෙන පැත්තකට ගෙන ගොස් බොහෝම ආදරයෙන් කථාබස් කරන ලදි...
උන්වහන්සේ අපගේ පන්සල් පරපුරටම අයත් පන්සල් කිහිපයකම හිමිකාරීත්වය දැරූ හිමිනමක් වූ අතර පළාතේ සිටි භික්ෂූන් වහන්සේලා අතුරින් වයස්ගතම හිමිවරුන් කිහිප දෙනා අතරින් එක් අයකු විය.

"ඈ ළමයෝ...දැන් ඔක්කෝම හරි නේද..?"

"එහෙමයි නායක හාමුදුරුවනේ.."

"ළමයෝ මෙ පන්සල තමා අපේ මූලස්ථානේ...
මෙ පන්සලෙන් විසිරුනු හාමුදුරුවරුන් අද රටෙ හැම තැනම පන්සල් හදළා තියෙනවා..ඒ හැම පන්සලක්ම හරි දියුණුයි මෙහෙ මෙහෙම තිබුණාට..."

"එහෙමයි අපේ හාමුදුරුවනේ.."

"දැන් ළමයෝ ඔය මම ඉන්න පන්සලත් මේකෙම කොටසක් තමයි...
මට අයිති තව පන්සල් හතරක් විතර තියෙනවා..තව නඩු දාලා තියෙන පන්සල් තුනකුත් තියෙනවා..ඒවත් හෙට අනිද්දට මට හම්බ වෙනවා..."

"එහෙමයි හාමුදුරුවනේ..."

"ඉතින් ළමයෝ මම කැමතියි ඔය ළමයා මා ගාව මහණ වෙනවනම්...
මම හුගාක් විස්තර දැන ගත්තා ඔය ළමයා ගැන පහුගිය ටිකේ..ඔය වගේ ළමයි තමයි මහණ වෙන්න ඔන..මාත් මහණ උනේ කොල්ලා කාලේ...දැන් මට සෑහෙන වයසයි..ගෝලයෝනං දෙන්නෙක් විතර ඉන්නවා..ඒත් ඒ ඈයෝ සාසනේ කොයි තරං කාලයක් ඉඳීවිද මම දන්නේ නැහැ.."

"ඒ මොකද අපේ හාමුදුරුවනේ..?"

"ඒ ඈයෝ ඉතින් ඉගෙනගෙන ඉවර උනහම යන්න යයි..පොඩි කාලේ මහණ උන අයනේ..
රැඳීම අඩුයි...
ඉතින් ඔය ළමයා කැමතිනම් මාත් එක්ක යමු. මට ඔන ඔය වගේ දැනුම් තේරුම් ඇති ළමයෙක් තමයි...කොහේද මෙ ගුණරතන ඉස්සර උනා නෙව..."

"දැන් කොහොමද හාමුදුරුවනේ එහෙම කරන්නේ..මෙ ඔක්කෝම ලෑස්ති කරලා තියෙද්දීත්..
අනිත් එක මම මෙ ස්ථානෙට ණයයි හාමුදුරුවනේ...මම මෙතන හැර වෙන තැනක මහණ වෙන්න කැමැත්තක් නැහැ..."

"හ්ම්ම්...ඇත්ත තමයි..ඒත් මේක ඔය ළමයට කියලා බලන්න ඔන කියලා මට හිතුනා.මොකද මෙ තැන දියුණු කරන එක ඒ තරම් ලේසි නැහැ..මෙ ගම්වල මිනිස්සුත් ඒ තරම් හොඳ අය නෙවී...පුළුවන් තරම් වැඩ ඇරගෙන අතඇරලා දාවී..."

"ඒක ඉතින් අපිට දැන්ම කියන්න බැහැනේ හාමුදුරුවනේ..."

"මම ළමයෝ මෙ හැම ගමක්ම දන්නවා... මෙවායේ වෙච්ච දේවල් මම හොඳට දන්නවා...ඒකයි මම කිවුවේ...
අපරාදේ ඔය ළමයා වගේ කෙනෙක් මහණ වෙන එකේ ආයේ නැති නාස්ති වෙන්න දෙන්න හොඳ නැති හින්දයි..."

"එහෙමයි අපේ හාමුදුරුවනේ..ඒත් දැන් මෙ දේ නවත්තන්න බැහැ.හොඳත් නැහැ."

"හ්ම්..හ්ම්.. එහෙමනං කමක් නැහැ..එහෙනං ගුණරතනට කියන්න මාත් ගුරුවරයෙක් හැටියට දාලා මහණ කරන්න කියලා එතකොට මගේ පන්සල්වලටත් ඔය ළමයට උරුමයක් එනවා."

"ඒක හාමුදුරුවනේ මට කරන්න බැහැනේ..අපේ හාමුදුරුවොම ගුණරතන හාමුදුරුවන්ට කියලා බලන්නකෝ...උන්වහන්සේ කැමති දෙයක් කරාවිනේ..."

"හ්ම්..හොඳයි...මම තියන්නම්කෝ..."

එම සිදුවීම එතෙකින් නිමා විය...

ගුණරතන හිමියන් නායක හිමියන්ගේ ඉල්ලීම ඉටු නොකරන ලදි.

කෙසේ වෙතත් වයස්ගත ලොකු හාමුදුරුවන් එතැන් පටන් මා පැවිදි දිවිය හැරදමා පැමිණෙන තෙක්ම මාහට ඉතා ලෙන්ගතුව දරුවකුට සේ සැලකූ බව නම් කිව යුතුව ඇත.
මාගේ පන්සලේ පින්කම්වලදී සුළු දැනුම්දීමකදී වූවද අසනීප තත්වයන් පවා නොතකා පැමිණෙන උන්වහන්සේ සියළුම කටයුතු වලදී මා ධෛර්මත් කරනු ලැබුවෙ..සමහර වැඩ කටයුතුවලදී සංඝ සමාජයෙන් මා හට එල්ල වූ විරෝධතාවලදී පවා මාගේ පැත්ත ගනිමිනි.

තමුසේ ඔවා ගණන් ගන්න එපා..කවුරු මොනවා කිවුවත් ඔය විදියට නැතිව ඔය දේ කරන්න බැහැ..ඔය අනිත් අය දෙන උපදෙස් තමුසෙ කරන වැඩ නවත්තන්න දෙන උපදෙස් මිසක වැඩෙ කෙරෙන අතට දෙන උපදෙස් නෙවෙයි...පටන් ගත්ත දේ අත අරින්න එපා දිගටම කරගෙන යනවා..
උපසම්පදාවෙන් පසුව පෝය ගෙයි කටයුතුවලදී සැමදාම මාහට විනය කර්ම වලදී සොයාබලා සහය වූ ලොකු හාමුදුරුවන් සෑම විටම මාහට ආශිර්වාද කළ පියකු බඳු විය...

අවසානයේ මා සිවුරු හැර යන වග උන්වහන්සේට දැන ගැනීමට ප්‍රථමව මා එම ගමන ගිය බැවින් විනා මොහොතකට පෙර හෝ දැන ගත්තේනම් අද වන විටි මාගේ ගමන වෙනස් මගක යන්නට ඉඩ තිබුණු බව නම් මෙ වන විට නිවී සැනසිල්ලේ කල්පනා කරන මගේ සිත කියයි...

දැනට මාස කිහිපයකට පෙර ලංකාදීප පත්‍රයේ උන්වහන්සේගේ අපවත්වීම පිළිබඳව ලිපියක් පළවී තිබිණි...

ඒ ලිපිය මා ඇස ගැටුණේ අපවත් වීමෙන් සති දෙකක් පමණ ඉක්ම ගියායින් පසුවය...

පන්සල් පිළිබඳව ආශාවෙන් කටයුතු කළද උන්වහන්සේ බොහෝ දෙනාහට හිත සුව පිණිසම කටයුතු කළ අයකු බව මා පසු කාලීනව තේරුම් ගතිමි.
ඉතා දුෂ්කරව තිබූ ගම දියුණු කරලීමෙහි ලා සිය ජීවිත කාලයම කැප කළ උන්වහන්සේ අවසන් කාලයේ පවා තම අරමුණු වෙනස් කලේ නැත...
ගමෙ පාර, බස් එක, පාසල ආදිය ලබා ගැනීමෙ පටන් ඒ සෑම දෙයක්ම නඩත්තු කිරීමෙ කටයුතු ආදියද උන්වහන්සේගේ නිරන්තර අවධානය මතම සිදු විණි.
දුප්පත් දරුවන් දහස් ගණනකගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලැඛෙන මිල මුදල් විය පැහැදම් කළ උන්වහන්සේ පළතේ සියළුම දේශපාලකයන්ගෙන් අඩු නැතිවම ගමට වැඩ කරවා ගත්තේ හොඳින් මෙන්ම ඇවැසි තැන්වලදී බැණ වදිමිනි.
උන්වහන්සේගේ තරම දත් මැති ඇමතිවරුපවා උන්වහන්සේ කියූ දෙයක් දෙපාරක් කියනතෙක් බලා නොසිටියේ එහි ප්‍රථීඵලය හොඳින්ම දත් බැවිනි.

මනුෂ්‍ය චරිතවල බොහෝ හොඳ පැති මෙන්ම නරක පැතිද ඇති බව අමුතුවෙන් කිව යුතු නොවෙ...
පන්සල් ඉඩම්, හා දේපලවල අයිතිය පිළිබඳව අසීමිතව උනන්දු වූ අතරම ඒ සෑම දෙයින්ම ලැඛෙන දෑ පොදු ජන සුභසාධනය පිණිසම වැය කළ උන්වහන්සේ මගේ ජීවිතයේ මා හට හමුවූ මිනිසුන් අතර සදා අමතක නොවන සුවිශේෂී චරිතයකි.

උන්වහන්සේට නිවන් සුව ලැබේවා...!යන්න මාගේ පැතුමයි...

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

14 comments:

  1. අප්පේ ඇති යංතං. මෙච්චර කල් කොහෙද ගිහිං හිටියෙ.
    'ස්ත්‍රීන් ඇසුර... තහනම් වචන ගොන්නේ ඉදිරි පෙළින්ම ඇත...' ඒකනං මාරයි.
    මේක ලියල ආයි සති ගානකට අතුරුදං වෙයිද දන්නෑ.

    ReplyDelete
  2. ඔය අන්තිමට කියල තියෙන වගෙ හාමුදුරුවරු ඉන්නවනං ගමකට මොනවද කරන්න බැරි.

    ReplyDelete
  3. අයිය තිහගොඩ පැත්තෙද?

    ReplyDelete
  4. හප්පා මේ වැඩලා තියෙන්නෙ නියම වැඩිල්ලක්. මම හිතුවා 'උඹ' වහන්සේ ආයෙත් මහනවෙලාදවත් කියල මොකද මාසයක් විතර දැක්කෙ නැති නිසා.

    උඹත් එක්කම එකතුවෙලා ඒ නායක හාමුදුරුවන්ට අපිත් නිවන ප්‍රාර්ථනා කරන්නම් . . . . !

    ReplyDelete
  5. හ්ම්...කාලෙකට පස්සේ...ආපු ගමන් පන්සල් කථාවක්...නියමයි...
    ඇත්තටම පහුගිය ටිකේ මොනවයි කරේ??? අකරතැබ්බයක්වත් උනාද??
    ජයවේවා!!!

    ReplyDelete
  6. කාලෙකින්..
    ඔන්න මේ කොටස කියෙව්වා...
    :)

    ReplyDelete
  7. හප්පා හැමොටම පුස්නේ අතුරුදහන් වීම නෙව...
    හේතු කාරණා බොහෝමයි...
    1. කොම්පූටර උන්නැහේ විකුණා දැමීම..
    2.යන්තං පාවිච්චි කොරාපු ලැපු ටොප් උන්නැහේ කෙනෙක් උස්සාගෙන ඒම..
    3. ලැප් ටොප් උන්දෑ මගේ තාලයට සකස් කොර ගන්නට වීම...
    4. භාර ගත් වැඩ කිහිපයක් උදෙසා දවසේ වැඩි කාලයක් ගත කොරන්නට සිදු වීම..
    තවත් කාරණා බොහෝම ඇත..ඊට අමතරව මගේ 2ජීබී කොනෙක්ෂන් එකේ උපරිම ධාරිතාවය අවසන් වීම...(දැන් ඉතින් සීමිත සම්බන්ධ වීම් පමණයි නෙව..)

    ReplyDelete
  8. උඔගේ ඉල්ලීම ඉඩ ලැබුනේ දැන්ය. හරියට මාස 03 කට පස්සෙ.......
    http://www.facebook.com/BuddhiCyberyaya#!/photo.php?pid=433500&fbid=159416824076877&id=100000256806646

    ReplyDelete
  9. අපි හිතුවා මාරයා අයියා ආයෙත් මහණ වෙලා කියලා....මේ ඇවිල්ලා ඉන්නේ....

    ReplyDelete
  10. හුම්ම්ම්ම්ම් අැවිත් තියෙන්නේ ..හුම් ඔන්න හොදම හරියට ඈවිත් නෙද .? දෑන් ලෑප් එකක් ගත් ඈකනම් හොදා ... කාලෙක ඉදන් තිබ්බ බලාපොරොතුවනෙ...

    ලිමිට් එක පෑන්නහම තමා ඩයලොග් එපා වෙන්න නෙද..?

    ReplyDelete
  11. අම්මෙ මාරය අයියට මොකො වුනේ.මං ඒත් හිතුව එදා දීපු ඊමේල් එකට මේල් එකක් වත් දාන්න.
    සති තුනක් විතරම ආරංචියක් තිබ්බෙ නැනෙ..

    ReplyDelete
  12. සයිකලේ හදාගෙන ගොහිල්ල ඇතාගෙ පොටෝ අරන් ආවට පස්සෙ අර කොරන්න හිතාන උන්නු ලිස්ට් එකෙන් ඉතුරු වෙලා තිබ්බෙ කොටන වැඩේ උකුල උඩට ගන්න එක විතරයි මගෙ හිතේ......ඒ ආසාවත් ඉෂ්ඨ කර ගත්ත කියල අහන්න ලැබීම ගැන සතු‍ටුයි....ලැප්ටොප්පතියෙක් වීමේ සන්තොසෙ සැමරුවෙ නැතෙයි ?

    ReplyDelete
  13. ආයුබෝවේවා නැවත ආවට....මරුවා

    ReplyDelete
  14. අපහු අපු 1ක නම් හොදා..
    ලැපට සුබපැතුම් සහ දිර්ගායු,

    ReplyDelete