09 October 2010

මම තවමත් එන්නෙමි...

තවත් එක හැන්දෑ වරුවක් ගෙවී යමින් තියෙනවා..
වෙනදා වගේම මොකක්දෝ මන්දා කියන්නට නොහැකි හැගීමක් හිත යට කොනිති ගහන බව දැනුනා උනත් එය නොතේරෙනවා වගේ ඉන්න උත්සහ කරද්දී..තව දුරටත් එය කළ නොහැකි බව තේරුම් යාමෙන් පසු අන්තිමට හිතට ඔන අතටම පියාඹන්න ඉඩ දුන්නා...
අවසානයේ සුපුරුදු වේදනාවම හිත පුරා වේගයෙන් ගමන් කරද්දී වෙනදා සැනසුම සොයන්නට හිත දුන්නත් අන්තිම තත්පරයේදී එයින් ගැලවී ඉන්නට හැකියාව ලැබුණා...

දැන් පැය බාගෙකට කළින් මම හිටියේ බාර් එක ඉස්සරහා පාරේ...
බයික් එකත් නවත්තගෙන බාර් එක දිහා බලාගෙන විනාඩි දහයක් විතර ඉඳලා අන්තිමට ආපහු එන්න හැරුනා...
බොන එකත් මට දැන් එපා වෙලා..මොන කරුමයක්ද මන්දා...

එන ගමන් ඉඳිආප්ප ටිකක් අරගෙන ආවා...ඒත් කන්න තරම් පිරියක් නැහැ.
ඒක මේසේ උඩින් තියලා පටන් ගත්තා මෙක කොටන්න...
ලියන්න කියලත් මෙලෝකේ දෙයක් මතක් වෙන්නේ නැහැ..මතක් වෙන්නේ නැතුවත් නෙවෙයි... මතක් වෙන දේවල් ලිපියකට පෙළ ගස්වලා ලියන්න තරම් හිතේ නිස්කාංසුවක් නැහැ. මෙ ලියන වචනත් හරිම ගොරෝසුයි වගේ...
ලියන්න ගත්තම මට ඒක ලියනවා කියලා දැනෙන්න තියෙන්න ඕන...

ඒත් දැන් මට හිතෙන්නේ මම ලියනවා කියලා නෙවෙයි. නිකං වාර්ථා කිරීමක් වගේ කියලා...

මොනවා උනත් ඒ වාර්ථා කිරීමවත් කරනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ. මෙහෙමවත් හිත එක අතක තියා ගන්න උත්සහ කරනවා ඇර...
නැත්තං දැන් මට පසුබිමින් ඇහෙන වික්ටර් රත්නායකයන්ගේ
"අඩවන් දෑසින් පවසනු රහසින්..."
ගීතය දිගේ පියාඹන්න හිතෙනවා...ඒක දිගේ පියාඹන්න ගියොත් ආයෙමත් දැන් පැය බාගෙකට කළින් හිටපු තැනටම යන්න වෙනවා.

හරි ගීතය මාරු උනා..
"සඳකැන් වැසිලා..අඳුරේ එතිලා..."

ඇත්තටම ගීතයකට මොන තරම් දේවල් කරන්න පුළුවන්ද..?

මාව ජීවත් කරවන්න වගේම.. ජීවත් වෙන මළ මිනියක් කරන්නත් එයට හැකියි..
සමහර විට මීවිතෙන් නැති මත්වීමකට මාව අරගෙන යන වෙලාවල් පවා තියෙනවා...

පහුගිය දවස්ටික හරිම අමාරු දවස් ටිකක්...
මම අකමැති දේවල් පවා කරන්න උන දවස් ටිකක්...
එතේ ප්‍රතිඵල ඊයේ හවස ඉඳන් මට දැනෙනවා...ටිකක් කල්පනාවෙන් ඉන්න වෙනවා මෙ දවස් ටික...

ඒ ගමන දයාරත්න රණතුංග
"සිව් වසරක් තුළ පෙම් සිහිවටනය නෙතු කඳුළක් වේවා..
මින් පසු කිසිදා කිසිම සැදෑවක අප නොම හමු වේවා..."


එහෙම වෙනවනම් හොඳයි..ඒත් ආයෙමත් එක වතාවක් හෝ දකින්න නොලැබුනොත්..ඒක හිතන්නත් අමාරුයි...
ගීතය අහලාම ඉන්න ඕන...
හ්ම්...ඉවරයි...හිත දශමයෙන් දශමය හරි බර වෙන එක තමයි වෙන්නේ...

ආයෙත් වික්ටර්...

"සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්..."
හ්ම්ම්ම්...බොන එක මීට වඩා හොඳයි...
අම්මපා ..වික්ටර් රත්නායක කියන්නේ මත්පැන් ගබඩාවකට වඩා දරුණු ගීත ගබඩාවක්නේ...

දැන් හුග දවසක ඉඳන් මට ලොකු වැඩකට අත ගහන්න හිතිලා තියෙනවා...
ජීවිතේ දැනුම් තේරුම් තිබුණු කාලයක ඉඳලා හිතේ තිබුණු ආශාවක්..ඒත් එයට සූදානම් නැති හින්දා හැමදාමත් කල් දාපු වැඩක්...

කථාවක් ලියන්න...

ඒක නව කතාවක්ද..එහෙමත් නැත්නම් මොකක්ද කියන්න මම දන්නේ නැහැ.
ඒත් මම ලියන්න ඕන කියලා හිතෙනවා...
මෙක මට මුළින්ම දැනුනේ මට අවුරුදු දහ හතර විතර වෙද්දී..ඒත් මට ලියන්න තරම් අත්දැකීම් තිබුනේ නැහැ. මට ඕන උනා මුළු ලෝකෙම ගැන ලියන්න...
ඒත් ඒ ගැන ලියන්න කියලා ලෝකේ ගැන තේරුම් ගන්න උත්සහ කරමින් එදා ඉඳලා මම ආරම්භ කරපු ගමනේ අදටත් යෙදිලා ඉන්න මට තේරුම් ගිය දේ තමයි..මට ඒ දේ කරන්න බැහැ කියන එක...
ඒ හින්දා මම ඒ අදහස අතහැරලා දැම්මා..
ඊට පස්සේ මට හිතුනා මේ ලෝකෙන්ම කොටසක් වෙච්ච මා ගැන ලියපුවාම ඇතියි කියලා..ඒත් ඒකත් ලේසි නැහැ...

මම මාවම තේරුම් ගන්න ගිය ගමනෙදි මට මාවම නැති උනා...

දැන් ඉතින් මොකද කරන්නේ...?

ලියනවා...
අද නැතත්..හෙට නැතත්...
මම ලියනවා...

ලියන්න තරම් මම සුදුසුයි කියලා මට හිතුනු දවසට..
මම ඒ සඳහා සූදානම් කියලා හිතුනු දවසට...
මම ලබපු අත්දැකීම් ලිවීම සඳහා ශක්තිමත් යැයි කියලා මට හිතුනු දවසට...

මම ලියනවා...

ලියනා අන්තිම තත්පරය දක්වාම මම ආපු ඒ ගමනත් එක්ක මම අහපු, දැකපු, විඳපු... හැම දෙයක්ම එක්ක මම නොඇසූ..නොදුටු..නොවිඳපු දේත් හොයාගෙන මම ලියනවා..
ඒ තැනට එනතුරු පැමිණි ගමන් මග ලියනවා.
කවදාහරි
මම පැමිණියෙමි
කියලා මට හිතුනු දවසට මම ලියනවා.

16 comments:

  1. එල එල.....මාරයා ලියනවා අන්තිම වෙනකල් ලියනවා..අපි කියවනවා..අන්තිම වෙනකල් කියවනවා..........

    ReplyDelete
  2. මට නම් හිතෙන්නෙ උඹ ලියන්න පටන් අරගෙන හුඟක් කල් කියලයි. උඹේ ආත්ම ප්‍රකාශනය තමයි අපි පංසලේ කතාව තුලින් අරිම අපූරු විදිහට රස විඳින්නෙ. උඹ උඹව ලියනකොට අපි උඹව කියවනවා. කාලෙකදි මේ කතාව හරිම අපූරු පොතක් විදිහට උඹට එළි දක්වන්න පුළුවන් වෙයි.

    හිතට එන හැම හැඟීමක්ම උඹට පුළුවං අපූරු විදිහට අකුරු කරන්න. ඒකත් හැබෑ දක්ෂ කමක් හැමෝටම පිහිටන්නෙ නැති.

    ReplyDelete
  3. මාරයා ලියපන්. සමහර විට උඹට ලෝකෙ උරුම එ දේ වෙන්න අති. උඹට තරම් අපූරුවට හිතට එන සිතුවිලි අකුරු කරන්න පුලුවන් අය ඉන්නෙ හරි අඩුවෙන්. මෙ උඩින් ලියල තියෙන එකෙ උනත් කිසිම විසේෂ සිදුවීමක් නැතත් හරිම අපූරුවට ලියල තියනව.
    ලියපන් බන් කියවන්න ඕන තරම් කට්ටිය් ඉදීවි.

    "හ්ම්ම්ම්...බොන එක මීට වඩා හොඳයි...
    අම්මපා ..වික්ටර් රත්නායක කියන්නේ මත්පැන් ගබඩාවකට වඩා දරුණු ගීත ගබඩාවක්නේ.."
    මේ කොටස එළ.

    ReplyDelete
  4. යකෝ මාරයට ලියන්න බෑ කියල කියනවනං අපිටද ලියන්න පුලුවං. නිකං ලියන්න බෑ කියල බොරු කරන්නෙ නැතිව ඉදහං. මෙනව ලිව්වත් අපි කියවනව.
    (මේ පෝස්ට් 190 ක් ලියල තියෙන්නෙ අපි වෙන්න ඇති :D)

    ReplyDelete
  5. මොකක්ද..?මාරයියා නොකියා මොනවදෝ කියන්න වගේ යන්නේ..........

    ReplyDelete
  6. ලියපන් ලියපන් අපි ඔක්කොම බලන් ඉන්නවා. උබට අපි ගොඩක් යට වැඩ හොදට හිතට දැනෙන දේවල් හිතට වදින විදිහට කියන්න පුළුවන්. ඉතින් එකෙන් හොද ප්‍රයෝජනයක් ගනින්.
    අපිට කවුරු නැතිඋනත් තමන්ව නැතිවෙන්නේ නෑ. ඕනෙම වෙලාවක තමන්ට තමන් ඉන්නවා. හොදට හෝ නරකට.

    ReplyDelete
  7. මේ උඹව මුරුංගා අත්තෙ තියනවා එහෙම නෙවෙයි මලේ. උඹට මතක නැතුවත් ඇති මං දවසක් කිව්වා "උඹ නං අපේ ජාතියෙම පොරක්" කියලා. දේශපාලනය - මධ්‍යම ප්‍රතිපදාව, එකවගේම සිංදු වලට කැමතිත් ඒ නිසාම වෙන්නත් ඇති.

    කොහොම වුනත් මට නං ජීවිතේ කියන්නෙ අත්දැකීම් එකතුවක්. එහෙම බැලුවාම උඹ ඔය අවුරුදු 31ට 60 ක් ජීවත්වෙලා තියනවා. ඇයි අප්පා රස්සාවල්ම නං කීයක්ද? අහ්....ම්ම්... පරස්තාවලුත් එහෙමම තමා. ඇයි බොලේ අද පැංසොන් ගත්තත් මොකෑ...

    දැං ඉතිං කෂ්ටිය මට තඩිබාන්න ලෑස්තිවෙනවා එහෙම නෙවෙයි මාරයාව පැංසොන් යවන්න හදනවා කියලා. මං කියන්නෙ මේ සිංහල බොලොග් සෙල්ලම නිසානෙ මෙහෙම එකෙක් ඉන්නවා කියලවත් දැනගත්තෙ. ඒක නිසානෙ මේ හිම කාන්තාරෙ ඉන්න අපිවගේ ගමේ බයියලාට හිතින්වත් ගමට යන්න පුළුවන් වෙලා තියෙන්නෙ. කොච්චර කියන්න අත්දැකීම් තිබ්බත් ලියන සෑස්තරේ හැමෝටම පිහිටන්නෙ නෑ. ඒක නිසා කොලුවො, උඹ ලියපං.

    ReplyDelete
  8. රත්ගමයා...

    ස්තූතියි...

    ReplyDelete
  9. දුමී...

    උඹලා දෙන හයිය තමයි මාව ලියන්න පොළඹවන්න...

    ReplyDelete
  10. AmilaArt...

    "මාරයා ලියපන්. සමහර විට උඹට ලෝකෙ උරුම එ දේ වෙන්න අති."

    සමහර විට එහෙමත් වෙන්න ඇති...

    ReplyDelete
  11. Praසන්ன...

    එකසිය අනූවක් ලිව්ව කියන එක සමහර වෙලාවට මටත් හිතා ගන්න බැරි තරම්...

    ReplyDelete
  12. ප්‍රාර්ථනා ...

    එහෙමත් හිතෙනවද නගේ...?

    ReplyDelete
  13. Grey...

    "අපිට කවුරු නැතිඋනත් තමන්ව නැතිවෙන්නේ නෑ. ඕනෙම වෙලාවක තමන්ට තමන් ඉන්නවා. හොදට හෝ නරකට."

    සමහර වෙලාවට මට මාවම නැති වෙලා වගෙත් දැනෙනවා...

    ReplyDelete
  14. Siribiris...

    උඹ මාව මුරුංගා අත්තේ තියන්නේ නැති බව නොදන්නවැයි...

    ගමෙ බයියලාට ජය වෙවා...

    ReplyDelete
  15. බයික් එකත් නවත්තගෙන බාර් එක දිහා බලාගෙන විනාඩි දහයක් විතර ඉඳලා අන්තිමට ආපහු එන්න හැරුනා.

    ela kollek ne mama umbata passe liyannam oya kiyala thiyena ewa gana. me dawas wala ambaanata busy. dannawane

    ReplyDelete
  16. නිශ්...

    ඔබ මාගෙන් කේන්දර සම්බන්ධව යම් උදව්වක් ඉල්ලූ බව මතකයේ ඇතත් ඒ සම්බන්ධව තොරතුරු මා සතුව නැත.
    හැකි ඉක්මනින් තොරතුරු ලබා දෙන්නේ නම් මැනවි.
    මට මතක හැටියට දුවගේ කේන්දරය සාදා ගැනීම විය යුතුයි.

    ReplyDelete