10 October 2010

පන්සලේ ජීවිතේ...මිතුරු තොමෝ...

සියල්ල අවසන් වී ඇත...ආවාසය ඉදිරිපිට තබා තිබූ පුටුවෙ වාඩි වී ගත් මා අවට පරිසරය නරඹමින් සිටියෙමි.
පුටුව...
ඹව්..පන්සලක පුටුවක මෙසේ මා වාඩි වී සිටින්නේ මගේ ජීවිතයේ ප්‍රථම වතාවටය..
එහි යම් නුහුරු නුපුරුදු ස්වභාවයක් ඇත..දැන් ඉතින් එය එසේ විය යුතුය...
උදෑසන සිට සිදු වූ සියළුම සිදුවීම් අවසන පන්සලේ සිටි බොහෝ දෙනෙකු පිටත්ව යන ලදි.
ඉතිරිව ඇති ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙකු දහවල තිබූ දැඩි හිරු රැසින් ගැලවෙනු වස් ආවාසය තුළට වී කෙටි නින්දකට වැටී සිටියෝය.

තවත් පිරිමි ළමුන් කිහිප දෙනෙකු බණ මඩුව තුළ රැදී සිටිනු දක්නට ඇත.

ඒ හැර මා අසලම බිම වැතිර සිටියේ පන්සලේ සිටි කළු බැල්ලයි...
ඇය මා අසලින් සෙලවීමටවත් කැමැති නැති සෙයකි.
මෙතුවක් දවස් පන්සලේ රැඳී සිටි බැලි කික්කිය මා සමග එතරම්ම සුහද නොවීය..
නමුත් අද දහවල සියළු විනය කර්මයන් අවසන් සිවුරු පෙරවා මා බණ මඩුවෙන් පිටතට පැමිණි මොහොතේ ඉතා විශ්මිත අයුරින් මා කරා දුව ආ බැල්ලිය උගුර යටින් නගන අමුතුම ආකාරයේ ශබ්දයක් පිට කරමින් මාගේ වටා දිව යමින් බිම පෙරළෙමින් සතුටින් නටන්නට විය...
බලා සිටි අයද එයින් පුදුම වූ බව මා දුටිමි.
බැල්ලියට එසේ හැසිරෙන්නට තරම් විශේෂ හේතුවක් නොතිබුණි.

එදා පටන් මා අසලම නිතර රැඳී සිටීමට පුරුදු වූ ඇය නිරතුරු මගේ ඇස ගැටෙන මානයේ සිටීමට වග බලා ගත්තාය...
සැමදාම මා උදෑසන නවය හමාරෙ සිට දහය හමාර පමණ වන තෙක් කාලය ගත කලේ පිරිත් පොත පාඩම් කරනු වස්ය...
තරමක් හඩ නගා පිරිත් කියන්නට පුරුදු පුහුණු වෙමින් සිටිනා එම පැයකට ආසන්න කාලය තුළදී මා අසලින් සෙලවෙන්නේ බැල්ලිය නම් නොවේ...

අවසානයේ පස් වසරක පැවිදි දිවිය නිමා කරන්නට මා තීරණය කරනු ලැබ ඒ වග දායක කාරකාදීන්හට දන්වා එම ගමනට සති දෙකක් පමණ තිබියදී දිනක් උදෑසන දහයට පමණ ආවාසය ඉදිරිපිට හාන්සි පුටුවට වී කේන්දරයක් බලමින් සිටි මා අසලට පැමිණි කළු බැල්ලිය මොනවාදෝ කියන්නට මෙන් කෙදිරි ගාන්නට වූ අතර ඒ සඳහා විශේෂ හේතුවක් නොතිබිණි.
සුළු වෙලාවක් ඒ දෙස අවධානය යොමු කළ මා

"කළු... පැත්තකට වෙලා ඉන්නවා යනු වෙන් පැවසීය.."
වෙනදාටත් එසේ පැවසූ පසු ආවාසයේ ඉදිරිපස මිදුලට ගොස් පැත්තකට වී සිටින බැල්ලිය එදින තවත් සුළු මොහොතක් මා පාද අසල දිගා වී කුරු කුරු ගා පිටත්ව යන ලදි...

නැවත මා හට ඇය සිහි වූයේ දහවල් දානයෙන් පසු ඇයට කෑම දීමට සෙවූ අවස්ථාවෙදීය...
මෙ වන විට පන්සලේ ඉතිරිව සිටියේ මාත් කළු බැල්ලියත් පමණි.
අනිකුත් බැල්ලියන් දෙදෙනා පහු ගිය මාසයක් වැනි කාලයකදී මිය ගොස් තිබිණි...
කළු බැල්ලියට වඩා උන් දෙදෙනාම වසර කිහිපයක් වැඩි මහළු විය...
මා පන්සලට එන විට කළු බැල්ලිය ඉතා කුඩා පැටවකු වූ අතර අනිත් බැල්ලියන් දෙදෙනා තරමක් වැඩුනු උන් විය.

බැල්ලිය ගැන විපරම් කළද ඇසට පෙනෙන තෙක් මානයේ ඇය නොවීය...
කළුට හිමි පංගුව ඇයට කෑම දෙන සිමෙන්ති පඩිය මත තබා මා වෙනත් කටයුත්තක නිරත වී සිටියෙමි.
ඊට වඩා ඇය ගැන සොයා බැලීමට මට සිහියක් නොවූයේ..ඒ වන විට මාද සිටියේ ගැටළු රැසක් මැද වීම නිසාය... තව සති දෙකකින් මා මෙයින් වෙන්ව යා යුතුව තිබිණි. යන්නට කියා මටම කියා තැනක් නොවීය..
ඒ සඳහා උදව් උපකාර කිරීමට හෝ සිටියා නම් සිටියේද එක් අයකු පමණක් විය.
නුමුත් ඇයගෙන් උදව් ගැනීමට නොහැකි සමාජයීය ගැටළු රැසක් මා සතු විය.
එබැවින් පත්තර බලමින් කාමරයක් කුලියට ගැනීමටත් රැකියාවක් සොයා ගැනීමටත් වෙහෙසෙමින් සිටි මා හට අන් යමක් පිළිබඳව සිතා බැලීමට කාලයක් නොවීය..ඊට අමතරව පිටත්ව ගොස් ජීවත් වීම සඳහා කීයක් හෝ ඉතිරි කරගත යුතු විය..ඒ සඳහා ලැබී තිබූ සියළුම කේන්දර සටහන් බලා මුදලක් සරි කර ගත යුතුව තිබිණි.ඒ හැර මා පන්සලෙන් ඉතිරි කල යමක් නොවීය.

අවසන සවස් කාලයේත් බැල්ලිය නොවූ බැවින් තරමක් විමසිලිමත් වූ මා අවට සෝදිසි කලේ පෙරට වඩා උනන්දුවෙන්ය...

ඇය සිටියාය...

මා වාඩි වී සිටි පුටුවට අඩි විස්සක් පමණ දුරින් හරියටම මා සිටි තැන ඉදිරිපසම වූ මැංගුස් ගහ යට ඇය සිටියාය..ඒ මා හට නොපෙනෙන පැත්තට වීය...

මා පිටත් වීමට පෙර ඇය පිටව ගොස් තිබුණාය...

මීට වඩා ලිවීමට නොහැක.
සගයින් මා ලියනු බලා සිටී..මා දැසේ කඳුළු ඔවුනට පෙන්වීමට මා සතුටු නැත.
ඉතිරිය සවස් වී ලියමි.

.........................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

14 comments:

  1. ඔව්...සිරාවටම දුකයි.......

    ReplyDelete
  2. ප්‍රියන්ගෙන් වෙන්වීම දුකකි . . . මරණං නියතං, ජීවිතං අනියතං.

    කියවල නැතිනම් සුනේත්‍රාගේ "පූර්ව ජන්ම අපූර්වත්වය" කියවපං. ඒකෙ දෙවනි කොටසත් පිටවෙලා තියෙනවලු, "කර්ම අත්පොත" කියල. උඹේ ඊ මේල් එක මට මූනු පොතේ මැසේජ් කරපං.මම කර්ම අත්පොතේ ඊ බූක් එක එවන්නන්. (දිවයින පත්තරේ පළවුනු ලිපි පෙල එකතු කරල හදපු )

    ReplyDelete
  3. නිතරම සටහන් නොතිබ්බත් හැමදාම මෙහෙට ගොඩ වෙනවා, අද නම් නිකන් යන්න හිතුනෙම නැහැ. කවදාවත් නොදැක්කට , කතා බහ නොකළට ඇත්තටම දුකයි මල්ලියේ,,,,,,,,,,,,,,

    ReplyDelete
  4. මටත් හරිම දුක හිතුනා..

    ReplyDelete
  5. අනේ.... ගොඩාක් දුකයි...

    ReplyDelete
  6. මේක නං හරිම දුක හිතෙන කතාවක්. මේ හුරතල් සත්තු හරිම පුදුම ජාතියක්. හොර බොරු නෑ. උඩිං එකයි යටිං එකයි නෑ. හොදයි නං නැට්ට වැනුවා, තරහා නං හපා කෑවා.

    අපේ ගෙදරත් හිටියා "කලුවා" කියලා "ලෝකල්" වර්ගයේ බලු තඩියෙක්. ඌට සිංහල තේරෙනවද කියලා දන්නෙ නැති වුනාට "නාවනවා" කියන එකනං තේරෙනවා. නාන්න හරිම අකමැති ඌ , ඔය කොහේ හරි පත බෑවිලා ගිමන් සුවයෙන් අඩ නින්දෙ ඉන්න වෙලාවට" කෝ මේ කලුවා, අද නං මූව නාවන්න ඕනෙ" කියලා කියන්න විතරයි තියෙන්නෙ. උඩ විසිවෙලා ඇහැරෙන කලුවා, "බැහ්" ගාලා දෙනවා නේද "හුරේ" රන් එකක්. ඊට පස්සෙ පැයකට දෙකකට පොර "මිසිං."

    ඌ ගැටයා කාලෙ තව බලු පැටියෙකුත් අපට හිටියා. කලුවා මේ පොඩි එකාව හොදට බලා කියා ගත්තා. අපේ ගේ තිබුනෙ පාර අද්දර. වැරදිලාවත් පැටියා පාරට ගියොත් කලුවා ඌට බුරලා පන්නනවා. අපි මේ ඩබලට කිව්වෙ "මාමයි-බෑණයි" කියලයි. කොච්චර දේවල් පැටියට ඉගැන්නුවත් "මාමගෙ" එක දුර්වල කමක් තිබුනා. ඌ හරිම කැමතියි, සීතල දවස් වල රෑට උනුහුම් තාර පාරෙ බුදියන්න. ඔහොම එක දවසක බුදියන්න ගිහිල්ලා වාහනයක් ඌව අභාවප්‍රාප්ත කරලා තිබුනා. පොඩිකාලෙ ඌ බත් කන කොට නියවන්න ගිහිල්ලා ඕකා මගේ නහයත් කෑවට, මට නං ෂුවර් ඌ හොඳ තැනකට යන්න ඇති කියලා..

    ReplyDelete
  7. මගේ ජීවිතේටම කවුරු හරි මැරුනා කියලා කදුළු ඇවිල්ල තියෙන්නේ දෙපාරයි. ඒකෙන් එක පාරක් ඇතිඋනේ මගේ ගෙදර ඇතිකරපු බල්ලා මැරිච්ච දවසේ.
    පියෙහි විප්පයෝගෝ දුක්කෝ කියලා කියල තියෙන්නේ නිකන් නෙවෙයිනේ. මොනවා කරන්නද අර සරත්චන්ද්‍ර මහත්තය මලගිය ඇත්තෝ පොතේ කියල තියෙන්නේ මෙහෙම.
    යෑම දුකකි.. ඒමද දුකකි...නෑවිත් යන්ට බැරිය.. නොගොස් එන්ට බැරිය…..ලොව ඇත්තේ යෑම සහ ඒමය.

    ReplyDelete
  8. ඇත්ත. සතුන් තමයි අපිට සිටින හොඳම මිතුරන්. ඔවුන් වංචාවෙන් තොරව දුකේ දීත් සැපේ දීත් අප හැර නොයයි. විශේෂයෙන් බල්ලන්. අපේ පරිණාමයේදී මානවයාගේ හොඳම මිතුරාත් බල්ලායි. ආදීන් ගේ තේරීම අද වගේ ටික කාලයකට හරියන දෙයක් නොව දීර්ඝ කාළිනව හරියන දෙයකි. මාරයෝ ඔයාගේ කථාව අදනම් අවංකවම දුක හිතෙන දෙයකි. ඒ වගේම තවත් සතුටු වන දෙයක් තිබේ. ඒ දැනට තිබෙන කමෙන්ට් වල සෑම එකකම සංඥාව සෑම දෙනාම සතුන්ට ආදරය කරන අය වන බවයි. ඒ අපි ශ්‍රී ලාංකිකයන් වන නිසාය.

    ReplyDelete
  9. කතාව නම් කෙටියි වගේ...... ඒ

    ත් කාලෙකට පස්සේ මාරයියගේ පන්සල පැත්තේ ගොඩ වදින්න හැකිවුණු එක ගැන සතුටුයි.

    සිදුහත් කුමාරයාගේ වියෝව දරාගන්න බැරුව කන්ථක අස්සයා මියගිය සිද්ධිය මට මතක් වුණා. ඒකයි මේකයි සමාන කරන්න පුලුවන්ද මන්දා. සමහර විට පුලුවන් ඇති

    ReplyDelete
  10. මේ... ඔහෙට තාම හවස් උනේ නැතෙයි???

    ReplyDelete
  11. කළූ ඇවිත් කියන්න හදන්න ඇත්තෙ එයාට යන්න වෙලාව ලඟයි කියලා. පව්. ඉන්න කාලෙ කරදරයක් නැතුව ඉන්න ඇතිනෙ. යන එකත් හොඳ තැනකට යන්න ඇති.

    ReplyDelete