08 November 2010

සැරිසර මතක..වසරක් පිරෙනා දිනෙක...

අදනං තාමත් ඉන්නේ රාජකාරි කරන ස්ථානේ...
තව පැය එකහමාරකින් විතර ගෙදර යන්න ඇහැකි..ඒත් ඒ ගිහින් කරන්න තියෙන කප්පරක් වැඩ අස්සේ ලිය ලිය ඉන්නත් වෙලාව මදි හින්දා ටිකක් හරි මෙහෙදීම කොටාගෙන යන්න කියලා හිතුවා...

ඉතින් අද ටිකක් විශේෂ දවසක් මටත් මගේ බ්ලොග් එකටත්..
මාව බලන්න එන බොහෝමයක් දෙනා දන්නවා මොකක්ද කාරණේ කියලා...

ඹව්..අවුරුද්දක්..හරියටම අවුරුද්දක් වෙනවා අදට මම මෙ බ්ලොග් කෙරුවාව පටන් අරන්..

බ්ලොග් එකක් ලියන කවුරුත් දන්නවා මෙක ලේසි කෙරුවාවක් නෙවෙයි කියන එක...
එක දිගට අවුරුද්දක් මෙක මෙහෙමවත් කරගෙන එන්න ලැබිච්ච එක ඊටත් වඩා අමාරුයි.

දැනට අවුරුද්දකට උඩින් මම මේක පටන් ගන්නකොට මම හිතුවෙ නැහැ මෙච්චර දුරක් මම මේක එක දිගට කරගෙන එයිද කියලවත්...
ඒත් අද වෙනකොට මම ඒ ගමන ඇවිත් තියෙනවා.

ඇත්තටම පටන් ගන්නකොට මට මොනවා ලියන්නද කියලා ඒ තරම්ම පැහැදිලි අරමුණක් නොතිබුණු ගානයි...
බොහෝම දුක සේ ගත උන කාලයක් ඒක...
ඒ හිතේ වේදනාව අකුරු තුළින් ගලාගෙන යන්න ඉඩ අරින්න විතරයි මට යන්තමට පුළුවන් උනේ.
ඒත් මම හිතුවා මම දන්න කියන කේන්දර ගැනත්..රටේ දේශපාලන වෙනස්කම් මගේ දැක්මට අනුව කතා බහ කරන්නත් මුළින්ම මට හිතුනා..
ඒත් අන්තිමට නොකෙරුණුම දේත් ඒක තමයි.

ඒකට හේතුව උනේ මට ඊට වඩා කියන්න දේවල් මතක් උන එකයි..මම අකුරු කලේ මගේ ජීවිතේ ගැන..මතක තියෙන පුංචි සන්ධියේ ඉඳලා අද වෙනකල් හැලහැප්පීම් රාශියක් මැද මම ආව ගමන ගැනයි..අදටත් ඉවරවෙලා නැති මගේ ජීවන නෞකාවෙ නොනැවතුණ ගමන් විස්තරය ගැනයි.

ලියන්න ලියන්න ඒ අතීත මතක පෙළින් පෙළට ගලාගෙන එන්න උනා..
හිතට නැගෙන වේගයට සාපේක්ෂව මට ඒ දේවල් අකුරු බවට හරවා ගන්න අපහසු උනත්..හැකි උපරිම වේගයෙන් මම ඒ දේවල් අකුරු කරන්න පුරුදු උනා..මේ වෙලාවේ මම විශේෂයෙන්ම ස්තූතිති කරන්න ඕන දෙයක් තියෙනවා...

දෙයක් කියලා අප්‍රාණවාචීව කියන්න උනේ ඒ දේ පණ ඇති දෙයක් නොවෙන හින්දයි..නමුත් මගේ පණ ගැහෙන්න මට බොහෝම වෙලාවට උදව් කල මගේ මිතුරා...

ඇත්තෙන්ම මම දන්නවා මේක කිව්වහමත් මගේ සහෘදයින් මට බනිනනවා කියලා..ඒත් නොකියා කොහොමද..
ඒ තරම් ගුණමකු වෙන්න මට බැහැ..

මීවිත
තරම් මගේ ලිවීමට උදව් කළ අන් කිසිවක් නැති තරම්...
ඊළග ස්තූති කරන්න ඕන මාව දිරිමත් කරමින් අද වෙනකල් මාව අත හරින්නේ නැතිව මාව කියවන මගේ දයාබර මිතුරු කැළ...

ලියන ලියන ලිපියක් පාසා මාව දිරිමත් කරමින් මා හා නිබඳවම රැදී සිටි විශාල මිතුරු මිතුරියන් රැසක්ම මට ඉන්නවා.
නං ගං වශයෙන් ලියන්න තිබුනනම් වඩාත් හොඳ උනත් ඒක ලේසි වැඩක් නෙවෙයි...
ඒ හින්දා ඒ ගැන කවුරුවත් මාත් එක්ක අමනාප වෙන්න එපා...
මේ මිතුරු මිතුරියන් හැමෝම වගේ මට පුදුම සහයෝගයක් දක්වපු උදවිය...

ඒත් අද වෙනකොට මුල් කාලයේ අපිත් එක්ක රැඳී සිටි හුගාක් අය බ්ලොග් වලින් ඈත් වෙලා ගිහින්..
ඒ වෙනුවට අළුත් අය අපේ වටා රැදී ඉන්නවා..ඒ අතරම කිහිප දෙනෙක් එදා ඉඳලම අද වෙනකල්ම අපිත් එක්ක මේ ගමන නොනැවතී ඉදිරියට යමින් පවතිනවා.
ඉතින් මගේ මිතුරනේ නුඹලාට ස්තූතියි අද වෙනතෙක්ම මා තනි නොකලාට...

තුන්වැනුව ඇ...

ඔබ නාදුනනා ඇය...මා තනි කර මා හට ලියන්නට ඉඩ කඩ හා කාල වේලාව සලසා දුන් ඇයත් මෙයට සම්බන්ධයි අනිවාර්යයෙන්ම...

එසේ නොවන්නට "මාරයාගේ හෝරාව" නමින් බ්ලොග් අඩවියක් කවදාවත්ම බිහි නොවනු ඇති...

ඉතින් මෙවන් උදව් උපකාර සහ සහයෝගයන් මැද අද වෙන කොට මම අවුරුද්දක් සම්පූර්ණ කරනවා මගේ හෝරාවට..
මාරයාගේ හෝරාවට...

මෙ වසරක කාලය තුළ මම ලිපි දෙසීයය සම්පූර්ණ කරන්න සමත් උනා...
ඒ පිළිබඳව නම් මට තියෙන්නේ සෑහීමකට පත් වෙන්න පුළුවන් තත්වයක් නොවෙයි. මොකද මීට වඩා මට ලියන්න තිබුනා..
ඒත් කම්මැලිකමත් වෙන වෙන දේවල් නිසාත් මම ලිපි දෙසීයක සීමාවට නතර උනා..
ඒත් ඒ සංඛ්‍යාවත් ඒ තරම්ම නරක නැහැ.

ලිපි ලිවීමේදී නම් මම බොහෝම ඉක්මන්...සාමාන්‍යයෙන් මට එක ලිපියක් ලියන්න පැයක පමණ කාලයක් යනවා..
මගේ ඕනෑම දීර්ඝක් ලිපියකට ඊට වඩා කාලයක් ගත වෙන්නේ නැහැ.එක දිගට ලියනවානම්..නමුත් සමහර වෙලාවට අතර මගදී නවතා දමා උයන්න පිහන්න යන්න වෙච්ච වෙලාවට වෙලාව වැඩියෙන් අරගෙන තියෙනවා.

මම ඉක්මනට ලියන්නේ මම ලියන්න ආව දේ මටම අමතක වෙන හින්දයි..ඒත් ඉතින් හුගාක් වෙලාවට මම ලියන්න වාඩි වෙන්නේ අහවල් දේම ලියනවා කියලා අරමුණකින් නෙවෙයි..ඔහේ ලියන්න පටන් ගත්තම අන්තිමට මොනවා හරි ලියවෙනවා.
ලියලා ඉවර උන ගමන් පෝස්ට් කරලා තමයි අකුරුවල උනත් අඩුපාඩු බල බලා හදන්නේ...

හ්ම්...දැන්ට මේක ලියන එකත් නවත්තන්න වෙනවා..
කට්ටිය වැඩට එන්න පටන් අරගෙන..ඒ සඳහා අවධානය යොමු කරන්න ඕන..ඉතිරි ටික ගෙදර ගිහින් ලියනවා...
....................................................
හරි ආයෙමත් පටන් ගනිමු..
වෙලාව නවයයි...
යන්තං ගෙදර ඇවිත් නා ගත්තා..එන්න කළින් කැන්ටිමෙන් කිඹුලා බනිසයක් කාලා ආව නිසා දැන්ම බඩ ගිනි වෙන එකක් නැහැ.
කිඹුලා බනිස් කිව්වහම මතක් උනේ අපි පොඩි කාලේ ඉතින් ඕවා ජාතික ආහාර වෙලානේ තිබ්බේ..
ඒ දවස්වල මම වැඩියම ආස සීනි බනිස් වලට...
ඒකට හේතු උනේ ඒ දවස්වල මිහිර පත්තරේ ගිය පුංචි කතාවක්...
ඒ කතාවේ තිබුනේ උදේම තාත්තා බනිස් ගේන්න කඩේට ගිය අතරේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා උදේට කන්න බලාගෙන ඉන්න පුංචි ළමයෙක්ට පොඩි පහේ නින්දක් ගිහිල්ලා දකින හීනයක්..මිදුලේ සීනි බනිස් ගහක් පැල වෙලා තියෙන කතන්දරයක්..ඒකේ සීනි බනිස් ගැන විස්තර කරලා තිබුනු විදියට මට අදටත් සීනි බනිස් කන්න පිරියක් තියෙන්නේ...
ආ ඒ කතාව කිව්වහම මතක් උනේ ඒ දවස්වල විජය පත්තරේ ගියා කතාවක් ඉස්කෝලෙන් පැනලා යන ළමයි දෙන්නෙක් පාරු කාරයෝ ටිකකට එකතු වෙලා ගග දිගේ යන කතාවක්..ඒකේ තිබුණු පාරුබත ගැන විස්තරෙත් ඒ වගේම ආස හිතෙන විස්තරයක්..හැබැයි තාම මට එහෙම පාරුබතකට සෙට් වෙන්නනං හම්බ වෙලා නැහැ.
දැන් කොයින්ද ඔරු පාරු...ඔක්කෝම බෝට්ටුවලට හැරෙන කාලේන..යන්තං හරි ඉතිරි වෙලා ඉන්නේ මෙ අපි වගේ හාල්පාරුවෝ විතරයි...
හ්ම්ම්..මම මොකක්ද කිය කිය හිටියේ..

ආ සීනි බනිස්...
සීනි බනිස් විතරක්මත් නෙවෙයි
බටර් බනිස් දෙකට මැද්දෙන් පලලා මාජරින් ගාලා සීනි ඇට දෙක තුනක් ඉහලා කන්නත් පුදුම පෙරේතකමක් තියෙන්නේ..
හ්ම්ම්..අද එහෙම කාලා බලන්න ඕන හවස්වෙලා...

ඉතින් අපි ආයෙමත් මුළට එමුකෝ මම ලිය ලිය හිටියේ මගේ බ්ලොග් කෙරුවාව ගැනනේ...

මගේ බ්ලොග් කෙරුවාවට හොඳම උදාහරණේ ඔන්න උඩින් තියෙනවා..
යන්නේ කොහේද මල්ලේ පොල්...

ලියන්න යන්නේ වෙනම දෙයක් අන්තිමට ලියවෙන්නේ වෙනම දෙයක් ඔය සීනි බනිස් වගේ...

හ්ම්ම්..ඒත් මම ඒ විදියට කැමතියි..

මම තවත් මතක් කරන්න ඕන දෙන්නෙක් ඉන්නවා..ඒ තමයි මගේ අම්මයි තාත්තයි.

මට පුංචි කාලේ ඉඳලා නිදහසේ හැදෙන්න වැඩෙන්න මගේ තාත්තගේ වැඩ පිළිවෙල හුගාක් හේතු උනා.
මටත් මල්ලිටත් ගමේ හිටිය අනිත් ළමයි ඔක්කෝටම වැඩිය නිදහසක් හම්බ වෙලා තිබුනේ...

ඒ වගේමයි තාත්තා අපෙන් හුගාක් ලොකු දෙයක් බලා පොරොත්තු උනේ නැහැ.
අම්මත් එහෙමයි...

හැමෝටම තමන්ගේ දරුවෝ දොස්තරලා ඉන්ජිනේරුවෝ කරන්න ඕන වෙලා තියෙද්දී අපේ අම්මාට ඕන උනේ අඩුම ගානේ අපි දෙන්නා මේසන් වැඩවත් ඉගෙන ගත්තොත් ඇති කියලා...
එයා ගුණේ බාසුන්නැහැට එක දවසක් කියනවා මම අහගෙන

"ගුණේ අයියේ මේ දෙන්නට කවදා හරි ඔය සාස්තරේ පුරුදු කරන්ට" කියලා..

ගුණේ බාසුන්නැහැත් හා කියලා පොරොන්දු උනා...

මම ඒ වෙනකොට ගමේ ඉස්කෝලේ පළවෙනියටම ශිෂ්‍යත්වේ පාස් වෙච්ච ළමයා වෙලා කොළඹ ඉස්කෝලේ යන කාලේ...එහෙම තියෙද්දීත් අම්මාට මගෙන් වැඩි දෙයක් ඕන උනේ නැහැ..

තාත්තානං මම සීටීබී කොන්දොස්තර ජොබ් එකට යන්න ගත්තට පස්සේ බොහෝම සතුටු උනා..මොකද එයාත් පටන් ගත්තේ එතනින් නිසා...

හැබැයි එයා පටන් ගන්නකොට සීටීබී නැහැ තිබිලා තියෙන්නේ බස් කොම්පැණි..
ඉතින් මුළින්ම එහෙම කොම්පාණි බස්වල කොන්දොස්තර කෙනෙක් වෙලා..
ඊට පස්සේ 56 බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුවෙන් බස් ජනසතු කළාට පස්සේ සීටීබී කොන්දොස්තර වෙලා..ටිකෙන් ටික ඉහළට ඇවිල්ලා අන්තිමට 81 වර්ජනේ දවස්වල රස්සාව නැතිවෙන කොට එයා
රත්නපුරය,බළංගොඩ,සහ ඇඹිළිපිටිය කියන ඩිපෝ තුනේම එකවර වැඩ බලපු ටයර් පරීක්ෂක වෙලා හිටියා.
ඉතින් ඒ ඩිපෝ තුනටම යන්න පහසු වෙන්න බළංගොඩින් ගෙයක් කුළියට අරන් තමයි ඉඳලා තියෙන්නේ..
මම බළංගොඩ ඕළුගංතොට රෝහලේ ඉපදුනේ ඒ නිසයි.

ඉතින් තාත්තා කළ රාජකාරිය මට දවසකට හරි කරන්න ආසාවක් තිබුනා..
තාත්තාත් ඒ ගැන සතුටෙන් හිටියා කියලා මට තේරුනා.

අම්මගෙයි තාත්තගෙයි මේ ගති ලක්ෂණවලට පින් සිද්ධ වෙන්න මම අද නිදහසේ හිතන්න පුළුවන් තත්වයක ඉන්නවා..
නිදහසේ ජීවත් වෙනවා...
ඕනවට වඩා අමාරු ඉලක්ක ජීවිතේට පටලවාගෙන ඉන්න ටික කාලේ ජීවිතේ අපායක් කරගන්න මට ඕන නැහැ.

සමහරු මේ ලෝකෙට ඉපදිලා තියෙන්නේ මොකක් හරි යන්තරේක කෑල්ලක් වෙන්න..සමහරු ඉපදිලා තියෙන්නේ ඕවර්ටයිම් කරන්න.
සමහරු ඉපදිලා තියෙන්නේ බැංකු ගිණුම්වල අංක ප්‍රමාණය දික්කර කර ඉන්න.
ඔන්න ඔය වගේ දේවල්වලට ඉපදිච්ච අය තමයි වැඩි...

ඔය ඔක්කෝමත් අතරේ මම ජීවත් වෙන්න ඉපදිලා තියෙනවා.

මේ මොනවා උනත් මට කියන්න දෙයක් තියෙනවා..
ඒ තමයි මම තාම මේ ලෝකේ..ජීවිතේ..
මෙ කිසිම දෙයක් ගැන හරියටම දන්නේ නැහැ.

මම පන්සලට එන්න කළින් මම හිතාගෙන හිටියා මම හුගාක් දේවල් දන්නවා කියලා..
ඒත් පන්සලට ඇවිත් ඒ පරිසරයත් එක්ක ජීවත් වෙද්දී..බණ දහම් ඉගෙන ගනිද්දී..
මට තේරුනා මම දන්න දෙයක් නැහැයි කියන එක...

ඊට පස්සේ මම පන්සලෙන් යන්න කිට්ටු වෙනකොට මම හිතුවා මම දැන් මොනවා හරි දන්නවා කියලා...

ඒත් පන්සලේන ඇවිත් දවස් දෙකතුනකදීම මට තේරුණා මම තාමත් දන්නේ නැහැ කියලා.

ඉතින් මම උත්සහ කරනවා අදටත් මේ ලෝකේ ගැන..මනුස්ස ජීවිතය ගැන...තේරුම් ගන්න..ඉගෙන ගන්න..
මට ඒකට තව හුගාක් දේවල් දැන ගන්න තියෙනවා.
තව හුගාක් මිනිස්සු ඇසුරු කරන්න තියෙනවා.
ආ..තව හුගාක් රස්සාවල් උනත් කරන්න වෙයි..

ඒ වගේම තමයි මගේ බලාපොරොත්තුවක් තියෙනවා දවසකට හරි හිර ගෙදරකත්, පිස්සන් කොටුවකත් ජීවත් වෙන්න...

මම හිතන්නේ මම හොයන දේට උදව් කරගන්න පුළුවන් හුගාක් දේවල් ඒ බිත්ති අතර තියෙනවා කියලයි.

දැන් මට වයස තිස් එකක් වෙනවා.

තව කොච්චර කාලයක් මම ජීවත් වෙයිද කියන්න මම දන්නේ නැහැ.ඒත්
මෙ හිටිය කාලෙට මම කරපු දේවල් වලින් මට සෑහීමකට පත් වෙන්න පුළුවන්..

ඉදිරි කාලෙත් මේ වගේම ගෙවිලා යයි කියලා මම හිතනවා.

ඉතින් මේ ලිපිය මම ලියන්න ගිය දේවල් තියෙන ලිපියක්ද නැත්තං ඒ එකක්වත් නැති එකක්ද කියලානං මම දන්නේ නැහැ.
කොහොම උනත් ඔන්න මම ලිව්වා.

ආ..තවත් එකක් කියන්න ඔන..
ඒ තමයි ටැබූ සම්මානය ගැන..ඒකත් මට හයියක් ගෙන දුන්න දෙයක්...

මොකද ටැබූ මොන මොන මතවාද දැරුවත් ඔහු මේ බ්ලොග් අවකාශයේ ඉන්න දැනුම් තේරුම් ඇති අයෙක්.
මම ඔහු ලියන හැම දෙයක්ම අනුමත කරන්නේ නැහැ.නමුත් ඔහු ලියනවා..අපට නොවරදවාම ඔහුගේ ලිපි කියවන්න හිතෙන තරමට ඔහු ඉතා හොඳින් ලියනවා.
වරෙක මම ඔහුට විරුද්ධව ලිපියක් පවා ලියලා තියෙනවා කියලත් මට මතකයි.
එහෙම තියෙද්දීත් ඔහු මට ලබාදුන් තැන ගැන මම ස්තූතිවන්ත විය යුතුයි.

අළුතින් පටන් ගත්ත විවේචන නම් වූ අඩවියකුත් මගේ බ්ලොග් එක ගැන ඔහුගේ පළමු විවේචනය තුළින්ම විවේචනය කරලා තියෙනවා.
මම ඒ ගැනනම් මුකුත්ම කියන්න ගියේ නැහැ.

මොකද විවේචන අඩවිය අළුත් නිසාත් ඔහු යන්නේ කොයිබටද කියා තවම තේරුම් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැති නිසාත්..
අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මේ බ්ලොග් අවකාශයේ හුගාක් අය විවිධ අරමුණු ඔස්සේ බ්ලොග් පටන් ගන්නවා.
මුළින් පටන් ගැන්මේදී කියන දේවල් ටික දවසක් යනකොට වෙනස්වෙලා යනවා.

අන්තිමට යටි අරමුණු එළියට එනවා..ඊට පස්සේ ටික දවසකින් හැලිලා යනවා.

විවේචන අඩවිය කරනු ලබන්නේත් මේ බ්ලොග් ඇසුරේ කාලයක් හෝ හිටිය කෙනෙක් විය යුතුමයිනේ..

ඉතින් ඒ කෙනා කවුරු උනත් මේ වගේ වැඩකට අත ගැහැව්වේ ඇයි කියලා හරියටම නොදැන ඒ පිළිබඳව මොනවාවත්ම කියන එක හරි මදි වගේ කියලා මට හිතුනා ඒ හින්දා ඒ ගැන මම ඕනවට වඩා හොයන්න ගියේ නැහැ..

ආ තව අපූරු දෙයක් කියන්න තියෙනවා
මේ අව්අස්සේ තවත් මගේ බ්ලොග් මිතුරියක් හිතලා තියෙන්නේ විවේචන අඩවිය මගේ වැඩක් කියලා.
හපොයි මට ලැජ්ජා හිතුන තරමක්...නිකං පිටකොටු ගිහින් කළිසම ගැලෙව්වා වගේ...

අප්පා මේක දැන් මහා පතරංග ජාතකේ වේගන එන්නේ...
මේ ඇති..ඇති උනත් මදි උනත් මේ ඇති.
නැත්තං අද වගේ දවසක මේ මගුලක් ලියන්න ගිහින් නාගන්නයි මට වෙන්නේ...
හුම්...

ඉතින් අවසාන වශයෙන් සියළු දෙනාටම ස්තූතියි...
(මගේ කතාව මෙතනින් අවසානයි අසා සිටි ඔබ සැමට ස්තූතියි..හා හා ඔය නිදාගෙන හිටිය අය නැගිටින්න කතාව ඉවරයි..)

99 comments:

  1. මගෙන් උණුසුම් සුබ පැතුම් අයියේ... ඔයාට තව තවත් ලියන්න ශක්තිය ලැබේවා.. ඔයාගේ බ්ලොග් එක අපි හැමෝම ආසාවෙන් කියවනවා... දිගු ගමනක් යන්න ලැබේවා... අයියා මේ ටික කාලෙට කරපු දේවල් හිතාගන්නවත් බෑ... බුදු සරණයි අපේ කුමාර අයියාට...

    ReplyDelete
  2. උණුසුම් සුභපැතුම්,,,,බ්ලොග් දිවියටත්, සම්මානයටත් !!!!!!!! හැබැයි ඉතින් කොච්චර හොඳට ලිව්වත් ලියන්න උදව් කරපු කෙනා තමයි හොඳ නැත්තෙ,, ( මීවිත ) ඒ උදව් නැතුව සාරවත් ලිපි තව බොහෝ ලිවීමට දිරිය සවිය ලැබේවා !!!!

    ReplyDelete
  3. මාර මල්ලිට තව තවත් ලිපි ලියන්න ශක්තිය ලෑබේවා.

    මාරයගෙ හොරාව මට නෑවත වරක් ජීවිතේ දිහා උපෙක්ෂාවෙන් බලන්න ඉගෑන්නුව. 2010 ජූලි මාසෙ අහම්බෙන් දෑකල කියවන්න පටන් ගත්ත මාරයගෙ හොරාව ඈත්තටම මාර උනා.
    තාම ඈහින් නොදෑක්කත් හරි සමීප ග්කමක් දෑනෙනව උඹත් එක්ක.

    ඉතින් ජය

    අර යාලුවව සමීප කොරන් සමරන්ට ඔනෑ දවසක් නෙ. මන් කිව්වෙ බොට තනියෙන් එහෙම නෙවෙයි හරිය

    ReplyDelete
  4. හසී...

    නංගියාට බොහෝම ස්තූතියි...

    ReplyDelete
  5. හරී...

    මොනවා කොරන්ටද අක්කේ මුල අමතක කොරන්ට හොඳ නැහැ නෙව...

    ස්තූතියි.

    ReplyDelete
  6. නිශ්...

    ස්තූතියි...

    හ්ම්..බලන්ට ඔන පුංචියට හරි හවස් අතේ සමරන්ට..කොහේද ඉතින් කවුරුවත් ඉන්නවැයි කියලැයි හවුල් කරගන්ට...

    ReplyDelete
  7. එහෙනම් අවුරුද්දේ සංවත්සරෙට සුභ පැතුම් කිව්වා... හරිය...
    \\මගේ බලාපොරොත්තුවක් තියෙනවා දවසකට හරි හිර ගෙදරකත්, පිස්සන් කොටුවකත් ජීවත් වෙන්න...\\ සීන් එක කියන්නේ මගෙත් එහෙම බලාපොරොත්තුවක් තියනවනෙ.. හැබැයි පළවෙනි එකට නම් ටිකක් විතර බයයි... ඕකට ගිහින් ආපු එවුන් කියන කතා අහපුවම....:(

    ReplyDelete
  8. මමනම් කැමති බනිස් කෑලි කඩ කඩා කිරි තේ වල පොඟවලා කන්න. එහෙම කාල බලන්නකො. හැබැයි බනිස් කාල ඉවර වුනාම කිරි තේ එක බල්ලන්ටයි පූසන්ටයි. මම බොන්න කැමති කහට තේ. කිරි පිටි වලින් මොකට තේ හදනවද මන්දා. මමනම් කැමති කිරිපිටි වලට සීනි තේකක් හදන ගානටම සීනි දාල හැබැයි තේ වල ගානට වඩා ගොඩක් වතුර අඩුවෙන් දාල ක්‍රීම් එකක් වගේ හදාගෙන හැන්දකින් චුට්ට චුට්ට කන්න. ඒ මිශ්‍රණේම බනිස් එකක් මැදට දාලත් මරු. නිකා ඉන්න වෙලාවට කරල බලන්නකො. අර අයන්නෙන් නම පටන් ගන්න එක්කෙනාට කිවුවනම් එයා වුනත් ඕක හදල දෙයි.

    ReplyDelete
  9. පුතා...

    එහෙමත් කතා තියෙනවා තමා..ඒත් ඉතින් පොලෝසියේ හමුදාවෙ අන්තිමට පන්සලෙත් කරදරයක් නැතිව ඉන්න හිටින්න ඇහැකි උන මට ඔකෙත් ජාම ඛෙරගෙන ඉන්න බැරි වෙන්නේ නැහැ.
    මම යන දවසක උඹටත් කියන්නංකෝ..
    තනියම යනවට වඩා දන්න කියන එකෙක් හරි ඉන්න එකත් හොඳයි නෙව..

    ReplyDelete
  10. මගේ උනුසුම් සුභ පැතුම් අයියේ....

    "ඔය ඔක්කෝමත් අතරේ මම ජීවත් වෙන්න ඉපදිලා තියෙනවා."
    කියන කොටසට මම හරි කැමතියි...

    ReplyDelete
  11. මකරා...

    කරලා තියෙනවෝ...
    තව ටොප් වැඩක් තියේ..
    නෙස්ටමොල්ට් හදලා කෝප්පෙකින් බාගයක් පුරවලා..ඒකට ක්‍රීම්ක්‍රැකර් බිස්කට් පුංචි කෑලි කඩලා දාලා..ටික වෙලාවකින් හැන්දකින් කන්න පටාන් ගන්නකෝ..

    ReplyDelete
  12. අකීකරු හිත...

    ස්තූතියි...
    ඇත්තටම අපි ඉපදුනේ ඒකටනේ..
    ඉතින් අපි යාන්ත්‍රික වෙන්න මෙ තරම් පොරකන්නේ ඇයි..නේද..?

    ReplyDelete
  13. මාරයාට සුබ පැතූම්...මාරයා ලොකේ තෙරුම් ගන්න බලනවා,,මයියා මරයාව තේරුම් ගන්න බලනවා..මොකද මාරයගේ සමහර පෝස්ට් මයියට ගටලුවක් නිසා...අර පිස්සන් කොටුවේ ඉන්න හිතෙනවා කිවව එක නියමයි..මයියට හිතෙන විදිහට පිස්සො තමයි ( හැම පිස්සම එහෙමද දන්නේ නැ) නියමේටම ලොකේ තෙරුම ගන්නේ..මයියා එහෙම කිව්වේ මයියත් පිස්සෙක් වෙලා හිටපු හින්දයි..හිකිස්..දිගටම එහෙම හිටියනම් හොදා කියලා හිතෙනවා..මතක් වෙන කොට ඇගේ මයිල් කෙලින් වෙනවා..

    ReplyDelete
  14. උණුසුම්ම සුබ පැතුම්..!!

    ReplyDelete
  15. මං හිතන්නේ මං මාරයා ගේ බ්ලොග් එක කියෙව්වවේ සංජීවනී එකටත් කලින්.
    කඩේ ගිය කාලෙකුත් තිබුණා නේද?
    මගේ සුභ පැතුම්!

    ReplyDelete
  16. සුබපැතුම්. හැමදාම කොමෙන්ට් නොදැම්මත් මමත් ඔබේ පාඨකයෙක්. දිගටම ලියන්න.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  17. මගේත් උණුසුම් සුභ පැතුම් . . .!

    ReplyDelete
  18. මාරයාට මගෙනුත් සුභ පැතුම් අවුරුද්දේ සංවත්සරයට.......තව බොහෝ වසරක් මෙහෙම ලියන්න(නොබී) ම‍මත් සුභ පතනවා ඔයාට.....

    ReplyDelete
  19. මුල ඉදලම ආ පාඨකයෙක්මි මම
    ලියෙවෙන අකුරු ගාණේ කියවූවා මම
    තව ඉදිරියට ලිවුවත් කියවනව මම
    සුබ පැතුමක් සමඟ තරහක් එක් කරමි මම

    ReplyDelete
  20. මුල් කාලේ එක දිගට කියෙව්වත් දැන් නම් මං ‍බ්ලොග් කියවන්නෙම නැති තරං.. මොකෝ ඒක මිඩංගු කරන්න කාලයක් නැති තරම් වගේ හින්දා.. අදත් අහම්බෙන් ලොග් උනාම මේක දැක්කේ සුබ පැතුම් අයියේ.

    ReplyDelete
  21. මයියා...

    මයියා..මාරයාව තේරුම් ගන්න ඒ තරං අමාරු නැහැ.
    අපි කෙළින පිස්සු අවසානයේ අපිට සැනසීම අරගෙන එන සුර දූතයා තමයි මාරයා..
    ඒත් අපි කිසිම හේතුවක් නැතිව මාරයාට බයයි.

    උඹ කිව්ව එක ඇත්ත මාත් හිතන්නේ හැමෝම නැති උනත් පිස්සෝ කියලා අපි හංවඩු ගහපු අය අතර තමයි නියම දාර්ශනිකයො ඒ වගේම හොඳම චින්තකයෝ ඉන්නේ...
    පිස්සන්ට ජය වෙවා...

    ReplyDelete
  22. චේජනා...

    ස්තූතියි නංගියේ...

    ReplyDelete
  23. කතන්දරකාරයා...

    ස්තූතියි කාකා..
    ඒ වගේම සතුටුයි මගේ මුල් කාලේ ලිපි පිළිබඳ ඔඛෙ මතකයේ තිබීම ගැනත්..

    අපොයි මං තාමත් කඩෙ යනවා...
    ඒක මං බොහෝම කැමැත්තෙන් කොරන වැඩක්...
    අර කිව්වා වගේ..මල්ලක් නෙමෙයි ගෝනියක් හරි අරගෙන යනවා...

    ReplyDelete
  24. මැණික්(සුළඟ)...

    ඒක තමයි හුග දවසකින් නෙව දැක්කේ...
    ස්තූතියි...

    ReplyDelete
  25. දුකා...

    දුකෝ උඹෙ ඔය වචන කීපයත් මට වටිනවා.
    ඒත් දැන් උඹට වෙලා තියෙන්නේ මොකද කියලා මම කල්පනා කරන්නේ...
    උඹට මතකද අර
    එපා හිරු පායන්න ලිපි ටික..

    ඇයි දැන් එහෙම නැත්තේ..?
    මට උඹෙන් අහන්න තියෙන්නේ එච්චරයි.

    ReplyDelete
  26. Wath...

    වෙන්නේ තරහ කිමදැයි මට නොතේරුන..
    ඉන්නා බව අසල සැම විට මට දැනුන..
    සොඳුරු සිතේ සුභ පැතුමන් අතර තුර..
    සැමදාමත් වගේ පිළිගමි නුඹ මිතුර..

    ReplyDelete
  27. malee_msg...

    ඇත්තටම නංගියේ දැන් ඒ දවස්වල හිටපු අයට මොනවා වෙලාද මන්දා...
    වෙලාවකට දකින්නත් ආසයි..ඒත් ඉතින් ඒ එක් කෙනෙක්වත් දකින්න නැහැ..

    කොහොම උනත් හුගාක් ස්තූතියි...

    ReplyDelete
  28. මගේ සුබ පැතුම්.

    බ්ලොග් අවකාශයේ වසරක් සපිරු කිසිදා දෑසින් නොදුටු (කු)මාරයා ගේ 'මාරයාගේ හෝරාව' තව තවත් ඉදිරියට ගෙනයාමට ත් මාරයාගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු ඒ අයුරින් ඉටුවීමටත් ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  29. Maarayage lipi pela kiyawanna lebune Ahanben langadi. Dawas kihipayak ethulatha lipi okkoma wage kiyawagena giya. Lipi wala thiyana awyaja bawata mama hari kemathiyi. Subha pethm!

    ReplyDelete
  30. එල එල.. ලියපාන් දිගටම..
    මට දවක් 2-3 මග ඇරුනා..දැන් ත්මාඅ කියවන්නේ...
    අනික පන්සලේ කතාව මොකෝ මග හිටලා..

    ReplyDelete
  31. මාර තෙමේ ට අවුරුද්දයි එහෙනම්... මෙන්න මගෙනුත් ආසිරි..
    නිතර අදහස් නොදැක්වුවාට ... එක ලිපියක්වත් මග අරින්නෙ නැතිව කියෙව්වා..
    හදවතින්ම සුබ පතනවා ආයෙමත්!
    - ෂෝනා

    ReplyDelete
  32. හපොයි හපොයි අවුරුද්ද මාර තෙමේට නෙමෙයි නේ.. බ්ලොග් එකටනේ! සමාවෙන්ට ඕනැ වචන ටැපලිල්ලට..
    -ෂෝනා

    ReplyDelete
  33. මාරයියට මගෙනුත් සුභ පැතුම්...!! තව දිග කාලයක් මාරයාගේ හෝරාව ලියන්න වාසනාව ලැබේවා!!

    ReplyDelete
  34. ඔන්න ‍යාළු මමත් සුභපතනවා .මේ ඔයාගේ මාර ලියවිල්ලටයි, ගත්ත සම්මාන වලටයි. තවත් දිගටම ලියන්නත් හැකිවෙවා කියලත් ප්‍රර්ථනා කරනවා ඔන්න!!!

    ReplyDelete
  35. ‍‍මම පරක්කු උනා වැඩ ඇරලා එන්න. ඒකයි අදහස් දක්වන්න මම ප්‍රමාද උනේ.

    මාරයා අයියේ මම මේ බ්ලොග් එකට යන්න එන්න ගත්තේ ලඟකදී . ඒ ආපු දවසේ මට හිතුනා මම ගොඩාක් ඉස්සර මේකට ආවානම් මොකද කියලා. ජීවිතේ ගෙවන්න ඕන කොයි වගේද කියලා හරියටම අහල දැනගන්න ගන්න කෙනෙක් ඕන උනොත් කතා දෙකක් නෑ ඒ උඹ අයියේ. .!

    ඔය අවුරුදු 31ට උඹ කරපු කියපු දේවල් වලින් කාලක්වත් මම කරලා නෑ. උඹ වගේ ඕනම කට්ටක් කාලා ජීවත් වෙන්න හයියකුත් මට නෑ .උඹේ ජීවිතේ දිහා බලලා ගන්න ආදර්ශ මට ගොඩක් තියනවා . මම ජීවත් වෙන්න දන්නේ එක ක්‍රමයකින් විතරයි මේ ජොබ් එක නැතිඋනොත් මම මොකද කරන්නේ ? මම හැමදාම හිතනවා . ඒත් මාරේ අයියේ උඹ ? උඹ ඕනම දේකට ඔට්ටුයි.! අවාසනාවකට උඹට ලැබිලා තියන ඔය හයිය මට ලැබිලා නෑ . ලැබෙන්නෙත් නෑ .

    මට මොනදේ කලේ නැතත් මම මේ බොලොග් එකට හැමදාම එන්න හිතාගත්තා .

    සම්මානෙටයි අවුරුද්දක බ්ලොග් දිවියටයි මගේ උනුසුම් සුබපැතුම් !
    ලියන්න තව අවුරුදු ගානක් .... අපි ඉන්නව උඹ එක්ක ...

    උඹටත් මේ පුංචි බ්ලොග් ගෙදරටත් ජයෙන් ජයයම වේවා !!

    ReplyDelete
  36. කුමාරස්සාමී,
    දිගමට ලියන්න සුබ පැතුම්!

    මේ ලග පාත ඉන්න එකේ හමුවෙලා කතාබහ කරන්න ලොකු බලාපොරොත්තුවත් තියේ.....
    ...................
    මකරා,
    කිරි පේස්ට් එකටනම් මමත් කැමතියි. හැබැයි පදම වැඩිඋනොත් හරි වැඩිපුර කෑවොත් හරි මටනං මත් වෙනවා.
    ඔය පෙස්ට් එක ක්‍රීම් කැකර් වල ට මැදින් තිබ්බම අනාත වෙනවා. මොකද ක්‍රීම් කැකර් කියන්නෙ මොන කෑමක් එක්කවක් කලවම් වෙන්න අකමැති බිස්කට් ජාතියක්නේ. දාපු හැටිය වටෙන්ම පෙරෙන්න ගන්නවා. හැබැයි මාරයාගේ ක්‍රමේ නම් මම තාම අත්හදා බලල නැ....

    ReplyDelete
  37. @ බුද්ධි

    පොල්සම්බෝලයි බතුයි එක්ක ක්‍රීම් ක්‍රැකර් 2ක් විතර කුඩු කරලා දාලා අනලා කරස් කරස් ගගා කන්නත් මම හරි කැමති

    ReplyDelete
  38. අඩේ මාරයෝ.... එහෙනම් මගෙනුත් උණුසුම්ම සුභ පැතුම්. බලනකොට කිට්ටුවෙන්ම ඇසුරු කරන්ඩ ලැබුණේ නැතත් උඹලා අපි එකම බෝට්ටුවේ ඉන්න කට්ටියනේ. මටත් හිතෙනවා වෙලාවකට මගේ කතාවත් පටන් ගන්න කොතනින් හරි..
    අනිවාර්යයෙන්ම දෙසැම්බර් වල උඹේ මූණත්තහඩුව බල ගන්න ට්‍රයි කරනවා.. හො‍ඳේ...

    ReplyDelete
  39. @ මකරා සහ බුද්ධි,
    මට බත් වලටනං චොකලට් බිස්කට් දෙකක් තිබුණත් ඇති.....
    කොහොමටත් පස්සේ වෙලාවක කට්ටිය අළුත් කෑම මිශ්‍රණ ගැන පොඩි කතිකාවක් දාමු. අපේ අනිත් බ්ලොග් සගයන්ටත් අත්හදා බලන්ඩත් එක්ක...

    ReplyDelete
  40. උණුසුම් සුභ පැතුම් මාර දිව්‍ය පුත්‍රයා!

    දිගමට ලියපන්!
    ෂොට් එක ඉඳල හිටල දාපන්!
    පන්සලේ කතාව නම් ඕනෙමයි!
    දේශපාලනේ නම් නැතුවට කමක් නැතුවා!
    දවසට එක ගානේ ලියන්න ශක්තිය ලැබේවා!
    උඹේ තනිකම මේ අවුරැද්දෙන් ඉවර වේවා!
    එහෙම වුණා කියල මේ වැඩේ අතාරිනව හෙම නෙමෙයි!

    ReplyDelete
  41. Praසන්ன...

    ස්තූතියි..ඒ වගේමයි ඔබගේ නිති ඇගයීම මට මහත් වූ ශක්තියකි.

    ReplyDelete
  42. Kalikala...

    සාදරයෙන් පිළිගන්නා අතරම..බොහෝම ස්තූතියි...

    ReplyDelete
  43. Grey...

    පන්සලේ කතාවට පොඩි කොමාවක් තියලා බලාගෙන ඉන්නවා..
    ස්තූතියි තාමත් පුළු පුළුවන් වෙලාවට ඇවිත් යනවට...

    ReplyDelete
  44. ෂෝනා...

    ටැපළුනා කියන්නත් බැහැ..ඇත්තටම මාර තෙමෙටත් අවුරුද්දයි තමයි...
    ස්තූතියි...

    ReplyDelete
  45. නිර්මල...

    ස්තූතියි මලේ...

    ReplyDelete
  46. ayesha...

    ඔයාටත් හුගාක් ස්තූතියි නංගා...

    ReplyDelete
  47. හිස් අහස...

    රස්සාව තමන්ට වටිනවා තමා මලේ..ඒත් රස්සාව කියන්නේ හැම දේම නෙවෙයි...

    මම නං ඔනෑම තැනක රස්සාව අත අරිනකොට හිතන්නේ
    දැන් මම රස්සාවක් නැති අසරණ මනුස්සයෙක්..ඒ හින්දා දැන් මට අමුතු ගරු සරුවක් ඔන නැහැ අතට අහුවෙන ඔනම නිතී විරෝධී නොවෙන දෙයක් කරනවා..කියලයි.

    මලයටත් හුගාක් ස්තූතියි...

    ReplyDelete
  48. මාරයෝ අර බුද්ධි කියපු විදිහට කිරි පේස්ට් එකේ පදම ටිකක් වැඩි කරල බැලුවනම්. සමහර විට මීවිතටත් කොමාවක් තියන්න බැරි වෙන එකක් නෑ

    ReplyDelete
  49. මකරා, ජීව්,
    අර කිව්වත් වගේ තව කෑම කොච්චර තියෙනවද නේද? ඉදිරියෙදී ඒවත් කියන්න කව්රු හරි පටන් ගනීයි මං හිතන්නෙ....

    ReplyDelete
  50. සුභ පැතුම් මාරයෝ,දිගටම ලියාපන්,අපි බලාගෙන ඉන්නවා කියවන්න.

    ReplyDelete
  51. මගෙත් උණුසුම් සුභ පැතුම් අයියා.. මෙ පැත්තට ගොඩ වෙන්න පරක්කු උනා සමාවෙන්න ඕනේ.. මේ දවස්වල හරියට වැස්සනේ..ඒකයි.

    ReplyDelete
  52. කුමාරයෝ, හැමදාමත් වගේ අදත් උඹේ ලිපිය ලෙංගතුයි හදවතට. උඹේ ලිපි වල සංවදීකම, ආවේගය, ආදරය මෙකී නොකී හැමදේම තියෙනවා. ඒකයි උඹේ ලියමන් හදවතට හොඳට දැනෙන්නෙ. උඹ ජීවිතය අමුවෙන් විඳපු සහ විඳිමින් ඉන්න එකෙක්. ඒකයි මම උඹට ආදරේ ! උඹට ජය !

    ReplyDelete
  53. මාරයියට මමත් සුබ පතනවා........
    තව ගොඩාක් කාලයක් ලියන්න ලැබේවා.....
    හැමදාම කියෙව්වත්, කොමෙන්ට් එකක් දාන පලවෙනි වතාව ද කොහෙද.....
    (පුලුවන් නම් බොන එක ටිකක් හරි අඩු කරගන්න බලන්න)

    ReplyDelete
  54. මම හැම තිස්සෙම පරක්කුයි. හැබැයි නිදන්නේ නැතිව කතාව අහගෙන හිටියා හොඳේ. මගෙනුත් සුබ පැතුම්.

    ඒක නෙවි, මට පොඩි ප්‍රශ්නයක් තියනවා. (පොඩිම නෙමේ) කවුද මේ 'ඈ' කියලා. එයා ගැනත් අපිව පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ.

    ReplyDelete
  55. කෙෂාන් විදුරංග...

    B'day...?හිහ්..හිහ්...කොහොම උනත් කමක් නැහැ ස්තූතියි කිව්වා..ඔං...

    ReplyDelete
  56. බුද්ධි...

    ඔහොම යනකොට හම්බ වෙන්නේ නැතෑ...

    ස්තූතියි ලොක්කා...

    ReplyDelete
  57. මකරා...

    අම්මපා මකරා ආසා නැත්තේ මොනවටද..?
    මෙ ඒක නෙවෙයි ඇත්තටම මකරු කන්නේ මොනවාද..?

    ReplyDelete
  58. Jeew...

    ස්තූතියි සහෝ...

    එමු එමු ඇවිල්ලම බලමු..දැනට මූනූ පොතෙන් මූණත් තහඩුව බලතෑකි...

    ReplyDelete
  59. Nuwan Kumaranayake...

    ස්තූතියි කිව්වා...

    හප්පේ යෝජනාවලියයි නෙව..බලමු බලමු...

    ReplyDelete
  60. මකරා...

    හිහ්..මෙ ඔය මූඩි පෑගිලා සූර් වෙන අය තමයි කිරි පේස්ට් එකට වැටෙන්නේ...
    බුද්ධියාට හරි ගියාට අපිට ඔක හරියන එකක් නැහැ මකරෝ...

    ReplyDelete
  61. බුද්ධි...

    අප්පා මුළු බ්ලොග් අවකාශේම ඉන්න උන්ට අපේ ජහර කෑම පුරුදු කරන්ට වගේ කෂ්ටියගේ කල්පනාව..හොඳා හොඳා...

    ReplyDelete
  62. sithuwilimandiya...

    බොහෝමත්ම ස්තූතියි...

    ReplyDelete
  63. ප්‍රාර්ථනා...

    කොහොම හරි ආවානේ නංගියේ..ඒ මදැයි..
    ඉතින් නගාටත් ස්තූතියි කිව්වා..
    මෙ ඒක් නෙවෙයි ඔයා මගේ බ්ලොග් එකට ගොඩ වෙන්නෙත් ඉස්සර ඉස්කෝලේ ගිය විදියටද..?

    ReplyDelete
  64. දුමී...

    ස්තූතියි දුමියෝ...
    මම හිතන්නේ උඹත් ජීවිතේ හුගාක් විඳපු එකෙක් ඒ හින්දම තමයි මෙ තරමටම සමීපව දැනෙන්නේ...

    ReplyDelete
  65. sameera wijayawardane...

    ස්තූතියි මලේ...
    ඒ වගේම ඉතින් කොමෙන්ට් නොකලට කියවන එකත් මදැයි.

    ReplyDelete
  66. FB එකේ මඩ ගගහා උන්නට, දැන් තමා කියවන්න පුලුවන් උනේ... :-D

    මුලින්ම සුභ පතනවා අවුරුද්දක් එන්ජින් ට්‍රබල් නැතිව ඇදන් ආපු එකට...

    දෙවැනුව කියන්න තියෙන්නෙ නරකද මේ තීම් එක මාරු කලොත් ? ඇත්තම කීවොත් මට ඒක පෙන්වන්න බැ ;-)
    මොනා නැතත් ඔය රෝස පාට අයින් කරන්න..

    ස්තුතියි...

    නැවතත් සුභ පතමි..!!

    ReplyDelete
  67. Podi Kumarihami...

    හපොයි මම බලාගෙන හිටියේ පිටිපස්සට වෙලා හොඳට නිදාගෙන ඉඳලා දැන් ඔක්තෝම ගියාට පස්සේ නැගිටලා ආවා..

    ස්තූතියි පොඩ්ඩියේ...

    හ්ම්ම්..ඈ නේද..?
    බලන්නකෝ මෙ ටික

    http://ctkumara.blogspot.com/2009/11/blog-post_30.html

    ReplyDelete
  68. Bunny...

    ආ මෙන්න හාවා මලයා කාලෙකට පස්සේ බ්ලොග් අවකාශයේ...
    මෙකා කොයි වෙලේ බැළුවත් මූණු පොතේනං ඉන්නවා පේනවා.
    ස්තූතියි සුභ පැතුමට මලයෝ..

    අනේ බං ඔය තීම් එක මම මුළින්ම දාපු එක..
    ඒක වෙනස් කොරන්න හිත හදාගන්න අමාරුයි බං..අනික ඇහැටත් හරි පහසුයි නෙව..
    මෙ ඒක නෙවෙයි මොකක්ද උඹෙ ඔය රෝස පාටත් එක්ක තියෙන ආරවුල..ඒකත් කියහංකෝ..

    ReplyDelete
  69. ඔව් අප්පා මාරයියේ...බ්ලොග් කියවන්න වෙන්නෙම නැ... :-(

    හික් හික් හික් :D එහෙමට කියලා විශෙෂයක් නැ තිං...මම කැමති නැති පාටක් ඒකයි ;-)
    ඉස්සර අක්කයි මායි හරිය්‍ට වලි මේ පාටට..කෙල්ලන්ගෙ පාට කියලා :D

    හරි හරි..හෙනම් මම ඔහොන්ම කියවන්නම්කෝ.... :D

    ReplyDelete
  70. OMG! ඔයාගේ ප්‍රේම කතාව නම් නවකතාවකට හොඳයි.

    "ආදරය ගැන මහා ගැඹුරකින් සිතූ මට ඒ ආදරය කවදාක හො සම්බවෙයැයි සිතා විවධ අය ඇසුරු කලත් ඒ හැම තැනකම මා සොයන සාංසාරික බැඳීම නැති බව හැගෙද්දී තව දුරටත් අනෙකාගේ අකමැත්ත මත සම්බන්ධතාවයක් කුමට පවත්වා ගෙන යන්නද?" මේ කියමන මහා දාර්ශනිකයකුගේ කියමනක් වගේනේ. එයා නම් නැතුවටම කමක් නෑ. ඊට වඩා දස දහස් වාරයක් හොඳ කෙනෙක් ඔයාට ලැබෙයි. දුක් වෙන්නම එපා.

    පරන ණයක් ගෙව්වා කියලා හිතන්න. ඒ වගේම සතුටින් ඉන්න.

    ReplyDelete
  71. මම පරක්කුද මන්ද...

    හෆ්ෆේ සනීපෙට නින්ද ගියා.....

    අයියේ හදවතින්ම සහ බොක්කේන්ම සුභ පතනවා...
    දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා...
    පොස්ට් එකක් කොච්චර දික් වුනත් ආසාවෙන් කියවන සයිට් වලින් එකක් තමයි මේක....
    ටැබු මහත්තයගේ උණු උණු සම්මානෙටත් ඔන්න අපෙන් සුභ පැතුම්...පාර්ටි නැතෙයි?
    සම්මාන හමුබවුනාට කමක් නෑ දිගටම ලියමු.ඕන්න අරව මේවා හම්බවුනා කියලා උඩගිහන් නොලිය එහෙම ඉන්නවා නෙවේ බ්ලොග් එක....
    බුදු සරණයි අයියේ....
    (චෝයි ෆොටෝ එකක් පෙන්නුව අයියගේ, අපේ හසී නගා, ෆේස් බුකියේ තිබිලා....නියමයි....)

    ReplyDelete
  72. ඔන්න මම නිදාගත්තා නෙමෙයි..... දන්නවනේ...... :'(
    ඊයේ උදේම ඇවිත් බැලුවත් පෝස්ට් එකක් තිබ්බේ නැති නිසා සුභ පතන්නැතුව ගියා..... අද අන්තිමයා...... ඉස්සර පළවෙනියා..... ඇ‍ඬෙනවා මට..... ඉහ් ඉහ්....:'( :'(
    මම නම් මුල ඉඳන් නොහිටි බව කියන්න ඕන නෑනේ...... ඒ උනාට පුලුවන් කාලේ හැමදාම කියෙව්වා දැන් නැතුවට........ :'( :'(
    සුභ පැතුම් ප්‍රථම වසර සමරණ මාරයාගේ හොරාවට.....
    කොමා තියපුවගේ කොමා අයින් වෙලා අර අතිජාත මිතුරට කොමාවක්වත් වැටේවා......!!!!! පස්සේ ඒකට තිතක් වැටෙන්න පතනවා...!!!!
    එහෙනම් මම ගියා..... අන්තිමයා නිසා ඉතින් දුකයි....
    බුදුසරණයි අයියා...!!!!

    ReplyDelete
  73. අපිත් එක්ක සුපුරුදු ලෙංගතුකමින් තවත් බොහෝ කාලයක් සයිබර් අවකාශේ කරක් ගහන්න මාරයියට හැකිවේවා කියලා හදවතින්ම පතනවා............

    ReplyDelete
  74. "සොත්ථි තේ සොත්ථි බ්ලොග්ගස්ස"

    (ඔබටත්, බ්ලොගටත් සෙතක්ම වේවා)මම ගාථා පාඨය පොඩ්ඩක් modify කරා,වැරදි නැහැ නේද ?

    පලවෙනි අවුරුද්ද ඉවර වෙද්දි 200ක් ගහල ෆෝම් එකේ ඉන්න නිසා, දෙවෙනි අවුරුද්ද ඉවර වෙද්දි කොහොම හරි 500 ගහනව කියල අධිෂ්ඨාන කර ගන්නව හොඳයි ඕං....

    ReplyDelete
  75. මාරයාට සුභ පැතුම්,,මමත් දැන් කාලෙක ඉදන් මාරයගේ රසිකයෙක් උනා නේ,,,කොහොම හරි මාරයගේ ලිපි කියෝනවා,බ්ලොග් ලියන්නෝ ගොඩක් ආවට වැඩි දවසක් ‍රැදෙන්නේ නෑ නේ,,ඒත් මාරයා එලටම දැන් කාලෙක ඉදල ලියනවා,,දිගටම ලියමු,,,,

    ReplyDelete
  76. Bunny...

    ෂුවර් එකටම අක්කත් එක්ක රණ්ඩු කොරන්න ගිහින් බනියා පැරදිලා තියෙනවා..ඒකයි මෙ රෝස පාටට අකමැති..ඔහොම තමා ඉතිං මම දන්න තව කෙනෙකුත් ඔහොම කළා නෙව..
    නිකං නෙවෙ
    රෝසපාට මට එපා කියලම...

    ReplyDelete
  77. Podi Kumarihami...

    සතුටින් ඉන්න..හ්ම්..මම බලනවා..
    ඇත්තටම දුක් වෙන්න දේවල් නැහැ වෙලාවකට හිතලා බලනකොට...

    මම තාමත් උඩ බලං...

    ReplyDelete
  78. ෴ හසියා ෴...

    ස්තූතියි ...

    අප්පච්චියේ මට ඒකෙන් මෙකෙන් උඩ යන්නත් අමතක උනා නෙව..
    ඔන්න මං දැන් උඩ...

    පාර්ටි..මොන පාර්ටිද..ඔං ඒකටත් එක්ක හසී කෙල්ල දුන්නා පාටියක් මදි නොකියන්න..මටත් දුන්නා වීදුරුවකින්ම එකක්.

    ReplyDelete
  79. හා පැටික්කී...

    මම හැමදාමත් කියනවා වගේ නගා ඇවිත් කොමෙන්ටුවක් දාන්නේ නැත්තං ඒක ලොකු අඩුවක්...
    මොනවා කරන්නද මෙ උක්කුං කොරන වැඩ වලට..?
    ස්තූතියි නංගියේ...

    ReplyDelete
  80. Hasitha...

    ස්තූතියි හසිත..
    බොහෝම...

    ReplyDelete
  81. දිනිත්...

    ස්තූතියි කිව්වා යස අගේට මොඩිෆයි පාලියෙන්ම දෙවා වදාරළා තියෙන්නේ..

    ReplyDelete
  82. ItalyDilan...

    ස්තූතියි...
    දංකොටු ඉස්පෙෂල් එහෙම නැතුවා..

    ReplyDelete
  83. හුටාස්! මං එනකොට පෙරහැර ගිහින් වත්ද? එහෙම කොහොමද? එල්ලෙනවා වලිගෙ හරියෙන් හරි.

    සුභ ශත සංවත්සරයක් වේවා, මාර මචෝ. මාරයාට ජයවේවා. එහෙනං ඔන්න "චියර්ස්" කිව්වා, දෙකක් දා ගත්තා, අපි කැපුනා.

    ReplyDelete
  84. Siribiris...

    අපොයි සිරිබිරිස් අයියා තාම පෙරහැර යනවා..
    තැන්කූ කිව්වා...

    ReplyDelete
  85. මා කියන්ට තියෙන දේවල් කලින්ම කිව්වනෙ. මෙච්චරයි එකතු කරන්ට තියෙන්නෙ.

    යො සහස්සං සහස්සෙන
    සංගාමෙ මානුසෙ ජිනෙ
    එකං ච ජ්‍යෙය අත්ථානං
    ස වෙ සංගාම ජුත්තමො

    - Taboo

    ReplyDelete
  86. Taboo...

    බොහෝම ස්තූතියි මෙහි පැමිණිම ගැන මෙන්ම...මාහට ලබා දුන් වින්ශ්චය පිළිබඳව..

    ඇත්ත.. මෙ ලෝකේ දිනන්න අමාරුම යුද්ධයත් ඔකම තමයි..සමහරු උත්සහ කරන්නේවත් නැහැ.
    නමුත් මම උත්සහ කරනවා..හැම මොහෝතේම..මට අමතක වෙන වෙලාවල් එනවා..අන්න ඒ වෙලාවට තමයි මගේ අතින් වැරදි සිද්ධ වෙන්නේ..ඒත් ක්ෂණිකවම මට මතක් වෙනවා මම ඉන්නේ මෙ යුද්ධය මැද නේද කියලා..අන්න ඒ වෙලාවට මම නැවතත් උත්සහ කරනවා..
    ස්තූතියි අවවාදයට..

    සහස්සම්පි චෙ වාචා
    අනත‍්ථපද සංහිතා
    එකං අත‍්ථපදං සෙයේ‍යා
    යං සුත‍්වා උපසම්මති...

    ReplyDelete
  87. ලෙසි නෑ නේ මලේ දිගටම ලියන එක...?
    තමන්ගේම සිතුවිලි අනුව...
    මොකෙක්ගේවත් නැට්ටක් නොවී...
    අදහස් තියනවනම් දිගටම ලියපන් මල්ලියේ...!

    ReplyDelete
  88. මාරෙ මලේ,

    අනේ සමාවෙයං, කොල්ලො, මේ දවස්වල වැඩ වැඩියි, ඩිංගක් හුනංගු උනා නෙව,

    මව් කුසෙන් බිහි වූ දා සිට මරණ මංචකය දක්වා වූ,
    අනේක විධ දුක්ඛ දෝමනස්සයන් පොදි බැඳ,කර පින්නාගෙන,
    ස්මරණයෙන් බැහැර කල යුතු වුවද බැහැරව නොයන,
    ලසෝ තැවුල් හිස් මත දරාගෙන,
    ඔබ මම සහ අප සැම,
    පියනඟනා ජීවිතය නම්වූ ,
    නිමා නොවනා වෙහෙසකර චාරිකාවෙහි,
    සිදුවූ, අත්දුටු, සියැසින් දුටු, ඇසූ,
    සිද්ධීන් මාලාවක්,
    කිසිවක් නොසඟවා,
    හෘදය විවෘත කර දැක්වූවාසේ,
    පුරා වසරක කාලයක්,
    කිසිදා නුදුටු සහෘද කැලක් සමඟ බෙදා හදාගැනීමේ,
    උත්තම, අමිල සත් කාර්ය්‍යය වෙනුවෙන්,
    මේ සිහල වියුණු පාඨක සම්මානය,
    මාරයාගේ හෝරාව වෙත පිරි නැමුනු වගයි..............

    ReplyDelete
  89. ඔන්න, ඔන්න මටත් මල පනිනවා. ඇයි යකුනේ ලියන දෙයක් අපිටත් තේරෙන්න ලියහල්ලකෝ.. සගිස්කුරුත ලියන්නෙ නැතුව. හෑ, ආයි යුද්දෙ පටන්ගත්තා වත්ද? එහෙම නං මාර මචෝ උඹ අවි ආයුධ ශිල්පි නිසා ගහපිය මෝටාර් එකක්ම...

    ReplyDelete
  90. මාරයාගේ හෝරාවට

    වසරක් පිරෙන දා තවත් බොහෝ කලකට ඔබගේ දායකත්වය බ්ලොක් අවකාශයට එක් කිරීමට සුභ පැතුම්.

    ReplyDelete
  91. තිස්ස අයියා...

    ඇත්ත තිස්ස අයියේ..මෙක ලේසි කෙරුවාවක්නං නෙවී..
    මං හිතන්නේ මෙ දවස්වල අයියාටත් තේරෙනවා ඇති ලියන්න වෙලාව හොයාගන්න එක කොයි තරං අමාරුද කියලා..ඒ විතරක්නං ලියන්න ඉතින් හිතේ නිදහසක් තියෙන්නත් එපැයි..
    බොහෝම ස්තූතියි...

    ReplyDelete
  92. Ravi...

    අයියේ පරක්කු උනේ මෙකට එන්න නෙවෙයි.
    මෙහෙමවත් දවසක මුණ ගැහෙන්න..
    උඹලා අපි හම්බ වෙන්න ඔන මීට කළින්..ඒකටයි පරක්කු උනේ...

    උඹ ලියලා තියෙන අකුරක් අකුරක් ගානේ මම එකගයි.

    ස්තූතියි...

    ReplyDelete
  93. Siribiris...

    මොන යුද්ධයක්ද..සිරිබිරිස් අයියා..

    ඉඳින්කෝ මම වෙලාවක පෝස්ට් එකක් දාලාම පැහැදිලි කොරාන්ට...මොකක්දෑ ඒ භයානක යුද්ධෙ කියලා...

    ReplyDelete
  94. විකී...

    බොහෝම ස්තූතියි සහෝ...

    ReplyDelete
  95. හපොයි හොඳටම ප්‍රමාදයි මම ... කමක් නැහැ වටිනා කම වැඩියි එතකොට ...

    මෙන්න මගෙන් සුබ පැතුම් ... ඒවගේම ඊලඟ අවුරුද්දේ ලිපි 300 ක් ලිවිමේ වාසනවා හා ශක්තිය ලැබේවායි එක සිතින් පතමි :D

    ReplyDelete
  96. වැප්...

    ආ බොලා ආවද..?
    අපරාදේ ලබන අවුරුද්ද දිහාවෙ ආවානං තවත් අගේ වැඩි කරගන්න තිබුනා...

    ස්තූතියි මලයෝ..

    හෑ බං ඒ කියන්නේ මෙ එන අවුරුද්දටම 100ක් ලිව්වම ඇති කියන එකද..

    ReplyDelete
  97. ඔව් ඔව් හොඳටම ඇති ...

    [ නැහැ බන් අයියේ මේ අවරුද්දේ 200 යි ඊලඟ අවුරුද්දේ අලුත් 300 ක් ලියාපන් :D ]

    ReplyDelete
  98. මාරයාගේ හෝරාවෙ කමෙන්ට් එකක් දාන්නෙ පලවෙනි වතාවට වුනාට සිංහල බ්ලොග් ගැන දැනගත්ත දවස් වල ඉඳලම කියවල රස වින්දා.
    W3 Lanka හරහා- කතන්දර හරහා-මාරයා,මගේ ලෝකය,පිස්සා,බ්ලොක්(ග්)ගඩොල්,ආගිය කතා ඇතුලු මෙකී නොකී සිංහල බ්ලොග් බර ගනනක් රස විඳින්න
    සැලසූ ඔබ සැමට ස්තුතියි.
    මාරයාට මගේ සුභ පැතුම්.

    ReplyDelete