18 November 2010

පන්සලේ ජීවිතේ...මෙසේ නිමා විය...

මා විසින් මෙ කතාව කියන්නට පටන්ගෙන දැන් බොහෝ කාලයක් ගෙවී ඇත..නමුදු තවමත් එය පවතිනුයේ කතාවෙහි මුල භාගයේමය..

දැනුදු නැවත ආපසු හැරී බලනා කල මා විසින් කී කතාවේ වූවද බොහෝ දේ අතපසුවී ඇති සෙයක් මට හැගේ...නමුත් නැවත ආපස්සට ගමන් කල නොහේ..එබැවින් එම කතා අතීතය සමගම වැළලෙන්නට ඉඩ හරිනවා විනා නැවතත් ඒ සඳහා කාලය මිඩංගු කිරීමට මාහට නොසිතේ...

මාරයාගේ හෝරාව..ඔව් ඒ මගේ අඩවියයි...මා මෙම අඩවිය ආරම්භ කරන්නට යෙදුණේ පන්සල් ජීවිතය පිළිබඳව සටහන් තබන්නට නොවේ..නමුත් අද වන විට වී ඇත්තේ මා සිතූ දෙයක් නොවේ..

මෙයින් වසරකට පමණ පෙර මා ගතකරමින් තිබූ ඒ අඳුරු අතීතයේ මට කාට හෝ කතා කලයුතුව තිබිණි..නමුත් ඒ සඳහා කිසිවකු මා අසල නොවීය... දිනකට තිඛෙන්නා වූ සම්පූර්ණ කාලයෙන් අඩකටත් වඩා නිරතුරුව මා හා දොඩමින් මා ළග හුන් ඇය මා තනි කොට දමා ගොස් තිබූ ඒ අඳුරු කාල සීමාව තුළ මා පෙළු තනිකම වචනයට නැගීමට මාහට නොහැකි වීම නිසා සිතේ පුපුරු ගසමින් තිබූ වේදනාව මදකින් හෝ අඩු කර ගැනීමට මට පිහිට වූයේ මීවිත පමණි...එවන් අවදියකය මා හට මෙවැනි මාධ්‍යයක් හමුවන්නට යෙදුණේ...

අඳුර තවමත් පහව ගොස් නැතද..අද මා හට මගේ හැගීම් කියාලන්නට තැනක් තිබේ... ඒ හැගීම් අසන පිරිසක් නිබඳවම මා වටා සිටී... එය කොතරම් වැදගත්ද යන්න මට සිහිවනුයේ මෙයින් වසරක් අතීතයට මතකය ගමන් කරවූ විටය..

එසේ ආරම්භයක් ලද මා අද වන විට කතා කියන්නෙකු බවට පත්ව ඇත...
ඒ කියන්නාවූ සෑම කතාවක්ම අසමින් මා අසල රැඳී සිටින්නා වූ ළබැඳී මිතුරු මිතුරියන් රැසක් අද මා අසලය..
මට සතුටු වීමට කාරණා ඇතද..මොකක්දෝ කිව නොහැකි වේදනාවක් වැනි යමක් නිබඳවම මා අසල ගැවසෙන්නාක් මෙන් දැනෙනුයේ මන්දැයි මා නොදනිමි.

ඒ කෙසේ වූවද..කිවයුතු යමක් ඇත...

මා මෙ අඩවිය ආරම්භ කරනා අවදියේ මා හට ලියන්නේ මොනවාදැයි සිතාගත නොහැකි විණි..

අවසන මා විසින් සිතට හිතෙන සෑම දෙයක්ම අකුරු වලට හරවන්නට පුරුදු වූයෙමි...මා දන්නා එකම රටාව එය විය..දේශපාලනය හා ජොතිෂ්‍යය පිළිබඳව කතා කරන්නට සිතූවෙමි නමුත් එය සිදු වූයේ අල්ප වශයෙනි.

බොහෝ ලිපි ලියවෙන්නට යෙදුණේ බමන මතිනි.

මෙසේ කරක් ගසනා අතරතුරදීය පන්සල් කතාවට මා යොමු වූයේ..එයද අහම්ඛෙන් මෙන්ය...

මම ලීවෙමි..දිගින් දිගටම ලීවෙමි...නමුත් මා සිතනා තරම් වේගයෙන් ලියන්නට මට නොහැකි වූ මුත් මා ලීවෙමි.
අවසන අද වන විට පන්සල් කතාව කියනවා තබා සිතන්නටත් බැරි තරමට මා දුර්මුඛ වී සිටින්නෙමි.

කෙසේ කීවද එය නැවත ආරම්භ කිරීම මට මහා අපහසු කාරණයක් වී ඇත...
පන්සල් ජීවිතය ගැන ලිවිමේදී බොහෝ කටුක සත්‍යයන්ට මුහුණ දීමට මාහට සිදුවෙයි..එය නවතාලිය නොහේ..

නමුත් මා ලියනා දේ නිසා සාසනයට යම් හානියක් විය හැකිබව මට සිතේ...

ඇත්තෙන්ම මා හොඳින්ම දන්නා පරිදි ඒ පහර වදින්නේ නියම වශයෙන් තිබිය යුතු සම්බුද්ධ ශාසනයට නොවන වග මා දනිතත්...
සම්බුද්ධ ශාසනය ලෙසින් අද සමාජයේ සම්මුති වශයෙන් ඇති සසුනට පහර වැදීම සිදුවන බව මට සිතුණි.

කතාව කියාගෙන යෑමේදී මේ කතාව වටා ඒකරාශි වී ඇති සෑම චරිතයක් හා සිදු වීමක්ම විස්තර කරලිය යුතු වේ..නොඑසේනම් එම කතාවට එය බලවත් අසාධාරණයක් වන්නේ සිදු වූ දෙය ඔබ මනසේ වැරදි ආකාරයට චිත්‍රණය වන්නට ඉඩ ඇති නිසාය...

නමුත් කතාවක් කියන්නට යැයි කියා අදටත් ජීවත්වන්නා වූ පුද්ගලයින් පිරිසකට යම් තරමකින් හෝ අපහාසයක් උපහාසයක් කැලීම මා හට යුතු නොවේ..

එසේම අදටත් මා විශ්වාස කරන්නවූ පරිදි දැනට පවතිනු ලබන සසුනේ ස්වරූපය කෙබඳු වූවද එයින්ද සමාජයට සිදුවන්නේ ඉමහත් සේවයකි. මා ලියන්නා වූ දේ නිසා ඒ සසුනට සුළු හෝ හානියක් වන්නේ නම් එය බරපතල වරදකි.

මා ටැබූ නොවේ..එහෙයින් සමාජය විසින් කතා නොකරන දේ කතා කිරීමට මා හට ඇති විශේෂ අවශ්‍යතාවයක්ද නැත...

එබැවින්...

පන්සල් ජීවිතේ පිළිබඳව ලියවෙන ලිපි මාලාව පිළිබඳව මා තීරණයක් ගත යුතු බව මා හට සිතුණි.

අදවන විට මා වටා සිටින්නා වූ පාඨක පිරිස පිළිබඳව සලකා බැලීමේදී එය ඉතා දුෂ්කර තීරණයක් වේ.
මන්ද පන්සල් කතාව නැති විට හෙට දින වන විට ඔවුන් සියළුම දෙනා මෙම අඩවියෙන් දුරස්වන්නට හැක...

එවිට අදින් වසරකට උඩදී මා පෙළු තනිකම පාළුව...අන්ධකාරය නැවත මා වටා සැරි සරනු ඇත...එය විඳීමට පහසු නැත...

දිගින් දිගටම පන්සල් කතාව කියාගෙන යෑමද සුදුසු නොවන බව සිත කියයි.

මා රහත් වී නොමැත..රහත් වනවා තබා ඒ මාර්ගයට හෝ පිවිස නැත...මා හට තිඛෙන්නේ යම් අවබෝධයක් පමණි.ඒ අවබෝධයට අනුව අදවන විට මා සිටිනා තැන තේරුම් ගැනීමට උත්සහ කලෙමි..

මට යමක් අවබෝධ විය..එනම් මා පාඨක ප්‍රතිචාර වලට ලොල්වෙමින් පවතිනු ලබන බවයි...
එය වරදක් යැයි කිව නොහැක..පෘතග්ජන ස්වභාවය එයයි.
නමුදු බොහෝ දේ අතහරින්ට උත්සහ කළ යුතුව තිබියදී..තව තවත් දේ සඳහා බැඳීම් ඇති කරගැනීමට උත්සහ නොකළ යුතුව තිබිණි.

ගිහිව සිටි මුල් අවදියේ මා බොහෝ බැඳීම් රැසකින් සැදුම් ලද්දෙකු වීමි...
එක් දිනක මා ගිහි දිවියේ වූ බැමි සෑහෙන ප්‍රමාණයක් බිඳලමින් ගිහි ගෙය හැරපියා ආවෙමි...

එයින් ලද සුවය බොහෝය...
පසුව පැවිදි වීමි...එහිදීද බැදීම් යම් තරමකින් අඩු කරන්නට හැකි වූවද නොදැනීම නවමු ආකාරයේ බැඳීම් රැසක මා බැඳී ඇති බව මට අවබෝධ වූයේ පැවිදි දිවියෙන් සමුගන්නට තීරණය කරන්නට අවස්ථාව උදා වූ පසුවය..

අසීරුවෙන් හෝ එම බැඳීම්ද බිඳ ලමින් මා නැවත ගිහිවීමි.

නැවතත් බැදීමක් විය..ඒ මා සිතනා ආකාරයටනම් මාගේ මුළු ජීවිත කාලයේදීම මා වැඩියෙන්ම යම් දෙයකට බැඳුනු අවස්ථාව විය..
එය ආදර සම්බන්ධයක් විය...ඒ තුළ සිරව සිටි මාහට එම බැඳීමේ තරම පෙනුනේ සම්බන්ධය බිඳී ගිය පසුව විය...

එය එතරම්ම මා සිර කොට බැඳ දමා තිබිණි...අදටත් එම රැහැන් පටවල් මාගේ හදවතටම කිඳා බැස එහිද තදින් වෙළී ඇත..විටින් විට හදවත සිරකරමින් බැඳීමේ තරම මාහට පෙන්වා දෙනු ලබයි.

එසේ සිටිනු ලබන්නා වූ මා උත්සහ කළ යුත්තේ එම බැඳීමත් අවම කරලීම පිණිස විනා තව තවත් බැඳීම් වලට හසුවීම නොවේ...

එසේ හෙයින් ප්‍රතිචාර නැමැති බැඳීම සඳහා පන්සල් කතාව කිවයුතු නොවේ යැයි මට සිතේ...
පන්සල් කතාව නිතරම පාඨක අවධානය රඳවාගැනීමේ සමත් බව මා හොඳින්ම දනිමි. ඉදිරියටත් එය කරගෙන යන්නේ නම් එය එසේම විය හැක...

නමුත් අපහසුවෙන් හෝ තීරණයක් ගත යුතුය...

එබැවින් පාඨක ප්‍රතිචාර නැමැති දේ වෙනුවෙන් පන්සල් කතාව ලිවීම අවසන් කළයුතුව ඇත...

සියල්ලෝම කමත්වා...

හෙට සිට මාරයාගේ හෝරාව යනු පාඨකයින් ගොඩවදින අඩවියක් නොවූවද...
මා මිතුරන් මට බැණ වැදුනද...
මා ලියනා අනෙකුත් සටහන් කියවීමට කිසිවෙකුත් නොමැතිවන තත්වයක් යටතේ වූවද...

පන්සල් කතාව අදින් නිම වේ...

ජීවිතයේ අසීරු තීරණයක් ගත් පසුව දැනෙන හැගීම ඔබ විඳ ඇද්ද..?හ්ම්ම්ම්.........

38 comments:

  1. මාරයාගේ වැඩ දිහා බැළුවම ඔය වගේ තීරණයක් ගත්ත එක ගැන මම නම් පුදුම වෙන්නෙ නෑ. ඒත් පුද්ගලිකව මම කනගා‍ටු වෙනවා ඔබේ තීරණය ගැන.
    ඒක එක අතකින් බැළුවම නිවැරදි එකක්.

    කොහොම වුනත් මාරයගෙ පාඨක පිරිස මාරයව අතහරී කියළ නම් මම හිතන්නෙ නෑ.

    ReplyDelete
  2. සාදු සාදු සාදු !!!

    ReplyDelete
  3. අයියා අදයි මං මාර අඩවියට පා තිබබේ. ගොඩක් ලිපි කියෙව්වට පස්සෙයි ​අළුත්ම එක දැක්කේ... මෙහෙම කරන එක හොඳයි කියලා හිතෙනවා. දැන් ඉතිං ජූං ගේ වගේ හිනා වෙන ටිකක් ලියන්න. පෞද්ගලිකත්වයත් එක්ක ගොඩක් සැර තීරණ ගන්න වෙනවා. අද ආවත්, මම එකඟයි ගත්ත තීරණයට. අදින් පස්සේ මමත් මේ පැත්තේ පීනනවා ඕං.

    ReplyDelete
  4. උබ ලියන එක ඉතින් උබ හිතලා කරන්න ඕනේ එකක්නේ..
    පන්සල ගැන කියන්න ඕනේ නැත්නම් නොලියා හිටපන්...නමුත් අනිත්වා ලියපන්..
    අපි කියවන්න බලන් ඉන්නවා.

    ReplyDelete
  5. අයියෝ අයියේ ඕක ඔච්චර හිතන්න එපා. ඔයා ගොඩක් හිතලා හොඳයි කියලා හිතෙනදේ නේ කරන්නේ. කමක් නෑ. ඔයා වෙන කතා ලියන්න අපි ඔයාගේ බ්ලොග් එකට නෑවිත් ඉන්නේ නෑ.

    ReplyDelete
  6. මේ ලිපිය ගැන මට නම් මොනවා කියන්නද මන්දා . .
    මේ ලිපියේ සමර තැන් මටත් අදාලයි වගේ.

    ඒත් මේ ටික නොකියාම බැහැ.
    ඔව් මාරයා කියන්නේ ටැබූ නෙමෙයි තමයි.

    මාරයාගේ කතා ලියද්දී කොහේට හරි සිද්දවෙන හානියක් ගනත් උඹ කිව්වනේ.

    ඒ නිසාත් කොමෙන්ට් වලට බැඳෙන නිසාත් පන්සල් කතාව අත්හරින්න කලින්

    නිකමට පොඩ්ඩක් හිතලා බලපන් මනුශ්‍යත්වයේ වටිනාකම තියෙන්නේ මොන දේවල් වලද කියලා.

    උඹ ලියන දේවල් නිසා උඹට පෞද්ගලිකව හරි පොදුවේ සමාජයේ යම්කිසි දෙයකට හරි සිදුවෙන පහර වැදීමට වඩා ඒ දේ නිසා සමාජයේ ජීවත්වෙන මනුස්ස ප්‍රාණියෙකුට යහපතක් සිදුවිය හැකි වීමක්. . වැරදි මාර්ගයක යන නිවරදිමාර්ගයේ යායුතු දෙයකට මාර්ගය පෙන්වා දීමක් වගේ දෙයක් සිදුවෙන වද කියලා පොඩ්ඩක් හිතලා බලලම තමන්ගේ තීරණය ගනින්.

    කොමෙන්ට් වලට බැඳෙන එක ටික දවසක් ගිහින් මිදෙන්න පුලුවන් තත්වයක් මාරයෝ . .

    ඒ මිදුනට පස්සේ එන්නේ මම ලියන දේ නිසා කුමක් හෝ සමාජයට යහපතක් වේවා කියලා පිරිසිදු සිතින් ලියන්න හැකියාවක් සහ කවුරු කොමෙන්ට් කලත් නොකලත් මේ ලිපිය නිසා කාට හරි හොඳක් වෙන්න ඇති කියන නිරාමිස සුවයත් . . .

    ඒක නිසා ටිකක් හිතලා බලපන් උඹේ තීරණය ගැන ආයිත් පාරක් . .

    ReplyDelete
  7. කණගාටු වෙන්න එපා මාරයෝ! හිතට හරි කියලා හිතෙන දේ කරන්න.පාඨකයෝ ඔයාව දාලා යන්නෙ නෑ.ඉස්සරහටත් මේ අඩවියෙ හොද ලිපි කියවන්න බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
  8. අපරාදයක්නම් තමයි ඒත් ඔබේ සිතුවිලිවලට මුල්තෑන දෙන්න ඕනේ..
    දුකා අයියා කියන්නවා වගේ තව එක පාරක් හිතලා බලන්න ....

    එහෙම හොදයි ...

    පාථකයා ඔබත් සම්ග සෑඑමදාම ඉදිවි ..මම එහෙම හිතනවා...

    මේ වෙලාවේ මිටවඩා දෙයක් කියන්න අමාරුයි... මොකද පන්සලේ කථාවේ හෑමදෙම මින් එහාට දන්නේ ඔබ නේ..

    මොනවා උනත් ඔබ තනිවෙන්නේ නෑ

    ReplyDelete
  9. දිනකට තිඛෙන්නා වූ සම්පූර්ණ කාලයෙන් අඩකටත් වඩා නිරතුරුව මා හා දොඩමින් මා ළග හුන් ඇය මා තනි කොට දමා ගොස් තිබූ ඒ අඳුරු කාල සීමාව තුළ මා පෙළු තනිකම වචනයට නැගීමට මාහට නොහැකි වීම නිසා සිතේ පුපුරු ගසමින් තිබූ වේදනාව මදකින් හෝ අඩු කර ගැනීමට මට පිහිට වූයේ මීවිත පමණි...

    Huh...

    දැන්වත් ඔන්න ඕක ගැන ලියන එක නතර කරන්න. නැත්නම් එන්නේ කොට්ට උර නෙමේ, කොට්ටයි.

    ReplyDelete
  10. පන්සල් ජිවිත කතාව මාත් කියෙව්වා ...... ඒත් මං කවදාවත් කමෙන්ට් එක්ක දැම්මේ නැහැ .......... ඒක මං උවමනාවෙන් කරපු දෙයක්

    ReplyDelete
  11. අනේ මන්දා අයියේ... සමනලී අයියාගේ පිටුවට පියෑඹුවේ පන්සල් කතාව අහන්ටම නෙවීනේ? අයියා ඒ ඈරුණු කොට ලියාපු ඒවත් තිබුනානේ? ඈත්තටම මේ බිලොග් කෙරුවාව හරිම පුදුම දෙයක් තමයි. සමනලී මේක පටන් ගත්තේ සමනලීගේ අදහස් බෙදාගන්න වගේම සමනලීගේ අයිතිකාරයා ගැන, සමනලීගේ ජීවිතේට ලැබුනු ඒ සොදුරු ආදරේට ගෞරවයක් දෙන්නයි. කවදාවත් දැකලා නැති අයගේ හිත් දකින, මුහුණ බලාගෙන හිනාවෙලා නැති අය එක්ක අදහස් වලින් හිනා වෙන්න, බොහොම ලෙංගතුකමින් නංගියේ අක්කේ අයියේ මල්ලියේ කියන්න තරම් අපි මේකෙන් එකමුතු වෙලා. ඉතින් අයිය හිතනවද අයියාගේ පාඨක පිරිස අඩු වෙයි කියලා?
    නෑ නෑ එහෙම වෙන එකක් නෑ....

    ReplyDelete
  12. මොකක් කියන්නද කියලා නම් දන්නේ නෑ,,,මාරයගේ තීරනයට අපි අවනත වෙන්න වෙනවා,,කාලෙක ඉදන් මමත් මාරයගේ ලිපි කියව්වේ ආසාවෙන්,,,ඉදිරියට පන්සලේ ලිපි නැති උනාට හොද ලිපි බලාපොරොත්තු වෙනවා,,,මාරයා ලියන එක නම් නවත්තන්න එපා ඔන්න...ඉල්ලීමක් විතරයි..

    ReplyDelete
  13. මම ඔයාගෙ මේ බ්ලොග් එකට මම එන්න පටන් අරන් ගෙවිලා ගිෙය් දවස් කීපයයි. එත් මට හිතා ගන්නත් බැරි තරමට දැන් මේකට බැදිලා. මම ෙගාඩක් බ්ෙලාග් කියෙව්වා. හැබැයි ඔයාගෙ බ්ෙලාග් එකේ තියන තරම් හිතට වදින ගතියක් එවා ෙගාඩක මම දැක්කෙ නෑ... (අනිත් අය තරහ වෙන්න එපා...)

    මම හිතන්නෙ එෙහම වුෙන් ඔයා පන්සල් කතා ලියපු නිසා නෙවෙයි. ඔයාගෙ හදවතින්ම ෙගාඩක් ෙද්වල් කියන නිසයි.
    මම හැමදාමත් මින් පස්සෙ ඔයාගෙ මේ "මාරයාගේ හෝරාව"ට එනවා.
    පන්සල් කතා අහන්න නෙවෙයි. ඔයත් එක්ක ඔයාගෙ හැගීම් බෙදාගන්න. (ලිපි ලියන එක නම් නවත්තන්න එපා)

    මාරයාට බුදු සරණයි!

    ඔෙබ් අළුත් පාඨකයෙක්..

    ප.ලි. (කෙමන්ට් එක කියවන්න අමාරැ නම් තරහ වෙන්න එපා මට ෙම් යුනිෙකාඩ් ටිකක් නුහුරැයි.)

    ReplyDelete
  14. මම මාරයාගේ ලිපි කියවන්ට ඇබ්බැහි වුනේ පංසල් කතාවෙන්... අදටත් මම බ්ලොගර් පේජ් එකේ අප්ඩේට් වෙලා තියෙනවද කියල අනිවාර්යෙන් බලන එකක් තමා මාරයාගේ පංසල් කතාව... මොකද මට දැනුනා ඒ කතාවලින් අපේ සමාජයට සේවයක් වෙනවා කියලා... අඩුම තරමින් සිවුරක් ඇතුලේ ඉන්නෙත් පණ තියෙන මනුස්සයෙක් කියන එකවත් මිනිස්සුන්ට තේරුම් ගන්ට උදව්වක් ලැබෙයි කියලා... මට මතකයි දවසක් ටැබූ අහල තිබුනා මාරයගෙන් පංසල් කතා ටික පොතකට ගමුද කියලත්...
    කොහොම හරි පංසල් කතා නොලියන්ට මාරයා තීරණය කරේ හිතට එකඟව තව දුරටත් ලියන්ට බෑ කියලා හිතුන නිසා කියලා දැනෙනවා... හොඳම තීරණය ඒක කියලා මාරයාට දැනෙනවනම් ඒක තමා හොඳම තීරණය... ඒ කොහොම වුනත් පංසල් කතා නැති වුනා කියලා මම නම් නොඇවිත් ඉන්නේ නෑ... හැමදාම කමෙන්ට් නොදැම්මත් අනිවා කියවන්ටනම් එනවමයි...

    ReplyDelete
  15. ඇත්ත තමා ...අපිට අතහරින්න බැරි දේවල් ජීවිතේ කොච්චර නම් තියෙනවද .... අපි පුලුවන් තරම් ඒවා අතහරින්න උත්සාහ කළ යුතුයි.
    මරයියගෙ තීරණය හරි.

    ReplyDelete
  16. මාරෙ,
    උඹ, කරන්නෙ උඹට හොඳයි කියල හිතෙන දේ මිස අනික් අය හොඳයි කියන දේ නෙමෙයි කියන එක තේරුංගත්ත මිනිහෙක් බව මං දැනං හිටිය.
    හැබැයි මතක තියාගනිං මිත්‍රය ජීවිතේ අත්දැකීම් වැඩි වෙනකොට, පරිනත වෙනකොට සමහර අදහස් වෙනස් වෙනව, වෙනස්කරගන්නව.
    ඒ වගේ උඹේ ඔය එක දෙයක් එක දිගට කරන්න බැරිගතියත් ඉස්සරහට වෙනස් වෙලා යයි කියල හිතෙනව.
    සමහරවිට ඒ ගතිය තිබ්බට වඩා වැඩි වෙයිද කියලත් හිතෙනව, මොකද උඹව ජීවත් කරන්නෙ ඔය වෙනස නිසා.

    මොනව උනත් උඹ ලියන එක නවත්තන්න එපා. අපි බලන් ඉන්නව.

    ජය!

    ReplyDelete
  17. හරි බන්.. උඹ පන්සලේ කතාව නවත්තන්නේ උඹේ කැමැත්තට හින්ඳා අපිට අවුලක් නැහැ. උඹ සිංහල හෝඩියේ අකුරු ටික මුල ඉඳලා අගට ලිව්වත් අපි ඇවිල්ලා බලනවා.
    මීවිතට නං මුකුත් කියන්න බැහැනේ.
    කොන්ත නෝනක්කත් 'මගේ පුකට මගේ කැමැත්ත' කියලා මිරිස් වතුරෙන් පස්ස පැත්ත හෝදගත්ත එකේ...
    ජය වෙවා කිව්වා.... අවුරුද්දේ අග මුණගැහෙමු....

    ReplyDelete
  18. සිවුර දරාගෙන ඉන්න කාලෙ පිස්සු නටල,සිවුරෙ ඉඳගෙන සුද්දොත් එක්ක එකතුවෙලා විකාර ලිපි අන්තර්ජාලයේ පලකරල අන්තිමේදි සිවුර දරාගෙන ඉන්න බැරුව උපැවිදි වෙලා බ්ලොග් වල හෑලි ලියමින් ඉන්න අඳ බාලයින්ට වඩා ඔබ උතුම් කෙනෙක් බව මගේ හැඟීමයි.
    කොමෙන්ට් නොදැම්මට ඔබගේ පන්සල් කතා මමත් කියවලා තියනව. ඔබගේ එම කතා වලින් නම් යමෙකුගේ ශ්‍රද්ධාවට හානියක් වන බවක් මට පෙනුනෙ නෑ.ජීවිතයට දෙයක් ගන්න පුළුවන් උනා මිසක්. ඒ ඔබ තුල තිබෙන නිර්ව්‍යාජ බව නිසා විය යුතුයි.
    කොහොම උනත් ඔබ ගත් තීරණය බැඳීම් අඩුවීම පිනිස ගත් එකක් නම් එය ඔබගේ හිත සුව පිණිසමයි.

    ReplyDelete
  19. කෙටියෙන්ම මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මල්ලී,,,,,,,,පන්සල් ජීවිතේ ගැන නැතුවට ඔයා මොනවා ලිව්වත් ඒ ලිපි කියවන්න අපි ඉන්නවා,,,

    ReplyDelete
  20. තීරණය ගත්තා නම් සහෝ, ඒකේම හිටපන්.

    මේ පැත්තෙ වැඩිය නාලු මම - මිගාර

    ReplyDelete
  21. පන්සල් කතාව නොලිව්වයි කියල අපි මේ බ්ලොග් එකට නෑවිත් ඉන් නෑ.
    මාරයිය මොනව ලිව්වත් මම නම් කියවන්න හැමදාම එනව,
    ඒ එක්කම ඉල්ලීමක් කරනව දිගටම ලියන්න කියල.........!!!!!

    ReplyDelete
  22. හ්ම්ම්ම්ම්ම්ම් හිතට දැනුනුදේ හරිද කියලා හිතලා බලලා කරන්න...තමන්ටත් අනුන්ටත් කරදරයක් අයහපතක් නැතිනම් ඉතිං ඕනිදෙයක්...
    ඒත් මොනදේ නැවැත්තුවත් බ්ලොග් එක ලියන එක නතර කලොත් බලාගන්න පුළුහන්...එවනවා සුදු වෑන් නෙවේ පාට හැමඑකකින්ම...
    දිගටම ලියන්න අයියා...අපි ඉන්නවනේ කියවන්න....නවත්වන්න ලේසියි...ඒත් පටන් ගන්න....(ඕක ඔය මත්පැන් මත්ද්‍රව්‍ය වලට අදාල නෑ හොදේ....)
    අයියා පිටිපස්සේ ඉන්න පාඨක පිරිස බොහෝමයි...අයියාට ප්‍රශ්නයක් තිබුණවෙලාවට ඒ අය ඇවිත් අයියවා සැනසුවා...දුක බෙදාගත්තා....ඉතිං දැන් අයියා හදන්නේ අයියාට එහෙම උදව් කරපු අයවා අමතක කරලා ඒ අයිගේ රස වින්දනය අමතක කරලා බ්ලොග් එක ලියන එක නවත්වන්නද....
    හිතලා බලන්න...කරන්න යන වැඩේ හරිද කියලා හදවතට එකගව...අයියා ඇවිත් දිග පෝස්ට් එකක් වෙනුවට පේලි පහක් දාලා ගියත් හොදටම ඇති.‍‍...
    දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....
    තෙරුවන් සරණයි අයියා....!!!

    ReplyDelete
  23. මාරයියේ.. පන්සල් කතාව නොලීවට අ‍නෙක් ඒවා ලියන්න.. මම මේක කියවන්න ආවේ පන්සල් කතාව නිසා නෙමෙයි.. ඉතින් ඒක නොලීවා කියලා අපි මේක කියවන්නෙ නැතිවෙයි කියලා හිතන්න එපා... දිගටම ලියන්න...

    ReplyDelete
  24. බැඳීම් මග හැරීමෙන් බැඳීම් වලින් නිදහස් විය හැකිද?

    ReplyDelete
  25. මාරයෝ පන්සල් කතාව නවත්තන්න තීරණය කරන එක අපිට නවත්තන්න බෑ. ඒක උඹේ තීරණයනෙ.
    ඒත් මම 'මාරයාගේ හෝරාවෙ' පන්සල් කතාව පටන්ගත්තට පස්සෙ තියෙන හැම පෝස්ට් එකක්ම කියවල කොමෙන්ට් දාල තියෙනව. (පන්සල් කතාවට අමතරව ලියපුවට)
    උඹට පංසල් කතාව නොකිව්වට ජුං ගෙ තතා වගෙ වෙන කියන්න ඕන තරං කතා තියෙන්නෙ ඒවා ලියපං. අඩුම ගානෙ කවියක් හරි ලියල දාපං. උඹේ බ්ලොග් එකට ඇවිල්ල උඹත් එක්ක දුක සැප බෙදාගත්ත කවුරුවත් පංසල් කතාව නොලිව්ව කියල උඹව දාල යන එකක් නෑ.

    ප.ලි. උඹ බ්ලොග් එක නැවැත්තුවොත් මම උඹට මාරය පෙන්නනව. (විහිලුවට කිව්වෙ)

    ReplyDelete
  26. ගොඩාක් ආසාවෙන් කියෙව්ව කථා ටිකක් පන්සල් කථා... අයියා කැමති දෙයක් කරන්න..එත් බ්ලොග් එක නවත්තනවා කිව්වොත් නම් කට්ටියටම මාරාවේශ වෙයි.. අයියාගේ බ්ලොග් එක බලන්න ගත්තු දවසේ ඉදන් අද වෙනකම් හැම ලිපියක්ම කියෙව්වා.. ඉදිරියටත් ඒක එහෙමම තමයි.. බුදු සරණයි!

    ReplyDelete
  27. මාරයාගේ හොරාව කියන්නෙ පන්සලෙ කතාව නෙවි මාර මලේ. ඒක ගෑන උඹ නොලියන එක උඹේ කැමැත්ත. හැබැයි මට තේරෙන විදිහට ඔය කතාවෙ හොඳම හරිය තියෙන්නෙ තව ඉදිරියට ඒ කියන්නෙ උඹ පන්සල දියුනු කරපු අවදිය. ඒ ටික නොලිය ඉන්න එක අපරාදේ. ඈත්තටම පන්සලේ කතාව ආයි පාරක් මට ජීවිතේ දිහා උපෙක්ෂාවෙන් බලන්න යොමු කරා. අපි කියවන දෙයින් ගන්නෙ හොඳ ද නරකද කියන එක රචකයට තීරනය කරන්න බෑ ඒක පාඨකයාගෙ වඩක්. උඹට පුලුවන් දෙයක් කුරුටු ගාල පලයන් බන් මම නම් ඈවිත් කියවල යනව.

    ReplyDelete
  28. ලිපිය කියවා ලියන්න හිතූ දේ ඉසිසෙල්ලාම කොමෙන්ට් කල අපේ උන්නැහේ මලයා අපූරුවට කියා තිබුණා... උන්නැහේගේ කොමෙන්ටුවත් වැප් මලයාගේ කොමෙන්ටුවත් මේ ලිපියත් ගත්තම ඕං ජාල ජීවිතයේ ethics කියන එව්වා ගැන අපූරු වැටහීමක් ගත්තහැකි...
    ලියන්නන් වාගේම කියවන්නන්ගේද නුවණැස වැඩේවා...!

    ReplyDelete
  29. මාරයෝ........

    පන්සල් කතාව කියවන්න ආස වුනත් ඔයාගේ තීරණය ගත්තේ හොදට හිතලා නිසා ඒ ගැන දුකක් නෑ..දැං මම නම් මාර කතා ,මාරකවි,මාර සිංදු ඔක්කකොම කියවලා ඉවරයි...මාරයාගේ ඊළග පෝස්ට් එක බලන්න අපි බලන් ඉන්නෝ...අපි මාරයා සමගයි...

    ReplyDelete
  30. පංසල් කතාව කියෙව්වට පස්සෙ හාමුදුරුවරු ගැන හරිම උපේක්ෂාවෙන් බලන්න පුරුදු උනා. එයට ස්තූතියි.
    මාරයාගේ තීරණයට අපි ගරු කරනව.
    පංසල් කතාව නෙවෙයි මුලු බ්ලොග් එකම නවත්තල හරි මාරය තමුන්ගෙ ජීවිතය පිළිවෙලක් කරගන්නවනම් මම කැමතියි. යායුතු අරමුණක් නැතුව ඔහොම බිබී හිටියොත් බ්ලොග් ලියන්න නෙවෙයි මොක කරන්නත් වැඩි කල් ජීවත් නොවන බව කියන්න කේන්දර බලන්න ඔන නැහැ.
    ඔන්න මූණටම කිව්ව අමනාප උනත් කමක් නැහැ

    ReplyDelete
  31. මොනවා ලියන්නද කියලා තේරෙන්නෙනැහැ මල්ලියෝ...

    උඹට මතකද මං දන්නැහැ...මම මේ අඩවියට ඇවිල්ල දාපු සටහනක් අනුව උඹ ඔය "පන්සලේ කතාවෙ" අන්තිමට දැම්මා...යම්කිසි සටහනක්...එදා මම ගොඩක් සතුටු වුණා..මේ රටට ජාතියට ආගමට දිවි දෙවෙනි කොට ආදරේකරණ කෙනෙක් විදිහට..
    නමුත් කතාවෙ අතරමැදි තැන්වල්දී පළකළ සමහර අදහස් වලින් "සඟ සසුන"කෙරෙහි යම් විවේචන මතුවෙනු දැක්ක...ඒ නිසයි උඹ එක්ක තරහා වෙන්න බැරිකමට මම මේ අඩවියට නිතර ආවාගියත් සටහන් තැබීම නැවැත්වුවේ...
    මගෙ මල්ලියෝ..උඹගේ තීරණයට මම හිස නමා ආචාරකරණවා... ඔය සමහර ඈයින් කියන විදිහට සමාජ සාධාරණය වෙනුවෙන් කියලා...සුළු පිරිසකගේ මනදොළ පිරවීම සඳහාඅපි වැඩ කළයුතු නැහැ..අපි කොයිවෙලේ මේ කුණු ශරීරය අතහැර යයිද දන්නැහැ නෙව..නමුත් මගේ රට..මගේ ජාතියේ ආදරණීය මිනිසුන්..මගේ ආගම චිරාත් කාළයක් රැකෙන්න ඕනෑ මල්ලියේ...මං දැනං හිටියා උඹ කවදා හරි ඔය තීරණය ගන්නා බව..

    උඹට තෙරුවන් සරණයි...!

    සුලා..

    ReplyDelete
  32. මම මාසෙක විතර ඉදල site බලනවා, කමක් නැ ඔය කියන දෙයින් කාටවත් අපහාසයක් වෙනවා නම් නවත්වන එක.
    ඔයා මාතර පැත්තේ පන්සලකද හිටියේ..?

    ඔයාගේ දන්නා වෙන දේවල් ලියන්න..
    හොද නම් අපි බලනවා...

    ReplyDelete
  33. ඔබ ලිවිය යුත්තේ ඔබ කැමති දෙය මිස ගැලරිය පිනවීමට නොවේ!

    ReplyDelete
  34. කකා ගේ අදහසට එකඟයි.. උඹ කැමති දේ කරහන් අයියෙ. ආයෙ අපි ඉන්නව නෙව ... ජයවේවා...

    ReplyDelete
  35. ප්‍රතිචාර දක්වමින් මා දිරිමත් කළ සියළු දෙනාටම බොහෝමත්ම ස්තූතියි...
    පන්සල් කතාව නොලියඋනද..මාරයාගේ හෝරාව නිම වන්නේ නැත...
    එසේම ඉදිරියේදීත් ඇවසි තැන්වලදී පන්සල් ජීවිතේ පිළිබඳව සුළු වශයෙන් හෝ පැවසෙන තැන් ඇතිවිය හැක..ඒ සම්පූර්ණ කතා ලෙස නොව..කිසිවකුටත් හානියක් නොමැති.. අත්දැකීම් ඛෙදා හදා ගැනීමක් ලෙස පමණි...

    සුලා අයියේ මෙ තීරණයට උඹගේ නිහඩ වීමත් මෑතකදී උඹ දුන් යම් ඉගියකුත් සෑහෙන දුරකට හේතු උනා...

    කොහොම උනත් මගේ තීරණයට සහය දැක්වූ බහුතර හිතවතුන්ට මෙන්ම තීරණය පිළිබඳව යම් කනස්සල්ලක් ඇති කරගත් ස්වල්පයක් වූ හිතවතුන් කිහිපදෙනාටත් මම එක ලෙසම ගරු කරමි..
    ඔබලා හැමෝටම ස්තූතියි...

    මගේ තීරණයෙන් කාගේවත් සිත නොරිදේවා ..එයයි මගේ පැතුම...

    ReplyDelete
  36. .....නමුත් මා ලියනා දේ නිසා සාසනයට යම් හානියක් විය හැකිබව මට සිතේ.....


    මම කොමෙන්ටු නොදැම්මට ඔබේ සියලුම ලිපි කියවල තියෙනවා. මට නම් කියන්න තියෙන්නේ ඔබේ පන්සලේ ලිපි වලින් තවතවත් පන්සල කියන ආයතනය ගැනත් එහි වසන හාමුදුරුවරු මුහුණපාන අපි නොදන්නා කරුණුත් දැනගැණීමෙන් අපි තවදුරටත් මේවා දියුණු කරන්න (නැත්නම් අඩුම තරමින් රැකගන්න​)involve වෙන්න ඕනි කියන හැඟීම මිසක් පිලිකුලක් හෝ කේන්තියක් නෙවෙයි අපිට ඇතිවෙන්නේ. මොකද මාරයා එහි තිබෙන මානුෂික කරුණු විග්‍රහ කර තිබුණු නිසා. හාමුදුරුවරු කියන්නේත් අපි වගේම මිනිස්සු බව පෙන්වපු නිසා. අනික තමන් දුටු වැරදි යම් තරමකට හරි නිවැරදි කරන්න හිතන් මහණ උණු කෙනෙක් විදිහට අපිත් එක්ක ඒ අත්දැකීම් බෙදාගත්තු කෙනෙක් නිසා. (අපිට කටින් විතරක් රට හදන මිනිස්සුනෙ වැඩිපුර හමුවෙන්නේ) ඒ නිසා මමනම් කැමතියි දිගටම ලියනවනම්.

    Ano 1

    ReplyDelete
  37. මම අදස් දක්වන්න ප්‍රමාධ උනා ....තරහ වෙන්න එපා මාරෙ අයියේ !

    මම මේ බ්ලොග් එකට ආවේ පන්සලේ කතාව දැකලා නම් නෙවේ . අනික් ලිපි බලන්න . පස්සේ පස්සේ පරන ඒවත් කියවුවා . එතකොටයි පන්සලේ කතාව දැක්කේ . මම ඒ ඔක්කොම බැලුවා . ඇත්තටම මාරේ අයියේ ඒ කතාව නවත්වනවට මම
    නම් කැමති නෑ !ඒත් නැවැතුවාය කියලා මම මෙහේ නෑවිත් ඉන්නේ නෑ . මොකද දැං මටත් මාරාවේෂ වෙලා නෙව ඉන්නේ.

    ඔයා කැමති තීරනයක් ගන්න ... අපි බොක්කෙන්ම සපෝර්ට් එක දෙනවා .. මම මේ බ්ලොග් එකට එන එක නවත්වන්නේ නෑ !

    පන්සලේ කතාව නැවතුනාට දුකයි ...ඔයා වගේ මල්ටි ටැලන්ටඩ් පොරකට තව තවත් හොඳ සිද්ධි වෙලා ඇති අපි ඒවත් අහගන්න දැනගන්න කැමතියි ..ඒව ලියන්න ...

    ජයවේවා !!

    ReplyDelete
  38. අයියා මහණ වෙච්ච දවසේ කතාවට එනකල් මම නවත්තන්නේ නැතුව කියෙව්වා. ඊගාව කතාවට ආවේ අර චෛත්‍ය කර්මාන්තය කරපු හැටි ගැන කියවන්න පන්සල දියුණු වෙච්ච හැටි ගැන කියවන්න පුදුම ආසාවකින්. ඒත් ඉවර කරලා තියෙන හැටි දැක්කම නම් දුක හිතුනා. ග‍්රර‍්රර‍්රර් කමක් නෑ ඉතින් මාරයාගේ මාර තීරණය ට ගරු කරනවා. මගේ බ්ලොගේත් ලියලා මම බැනුම් අහ ගන්නේ ඒකනෙ. මට හොදටම තේරෙනවා මෙහෙම කරන්න හේතුව. අපි ඉතින් මේක අතාරින්නේ නෑ ... ඔන්න ඉතින් අතාරින්නේ මොකුත් නොලියා හිටියොත් තමා...

    ReplyDelete