24 November 2010

මාරයා කියන බණ කථාව...මාළිගාවේ විලාපය...

හා ඔන්න ඉතින් ආයෙමත් වතාවක් බණ කතන්දරෙ පටන් ගන්ට තමයි මෙ තනන්නේ...

කෝ කස්ටිය ඈනුමක් කාරිය ඇරලා ලක ලැහැස්ති උනානං කතන්දරේ අහන්ට...

ආ තව අනතුරු ඇගවීමක් නං කොරන්ට ඕනෑමයි..ඔය අපේ සොඳුරු උපාසක අම්මා බණ අහන ඈයොන්ට සංගරහයක් කොරන්ට කියලා කෝපි හැලියකුත් ඇන්න ආවා මං බලාන..

හැබැයි පුතෝ ඕවා බීලා ඊළගට විඳින්ට වෙන කරදරවලටනං ඕන්න මං නං වග කියන්නේ නැහැ..ඕං කිව්වා...

හරි ඉතින් අපි ආයෙත් කතාවට යමුකෝ...

ඉතින් දැන් අපේ අර තාපසතුමන්ලාගේ ඉතිරි වෙච්ච තාපසතුමා..තමුන්ගේ හිතමිතුරු තාපසතුමාගේ වියෝවත් බණ දහමට අනුව විඳ දරාගෙන දැන් තනි පංගලමේ බණ භාවනාවේ යෙදිලා ඉන්නවා..

ඉතින් මේ අතරේ අර මිය පරලොව යන්ට යෙදුණු අපේ අනිත් තාපසතුමා තමුන් කොරගත්ත පිං දහං අනුව දිවියලෝකේ බොහෝම සැප සම්පත් ඇතිව දිවිය කුමාරයෙක් වෙලා ඉපදිලා නෙව..එහ්නං..

ඉතින් මෙ දිවිය කුමාරයා තමුන්ට පහළ වෙලා තියෙන දිවිය සැපසම්පත් දිහා බලලා එහෙම කල්පනා කොරනවා අහවල් කාරුණාවක් හින්දද මට මේ තරමේ සම්පත්තියක් පහල උනේ කියලා...

අන්න ඉතින් එතකොට පේනවා තමුන් පෙර භවයේ තාපසයෙක් විදියට බොහෝම තදින් ආරක්ෂා කොරගත්තු ශිලයට පලවිපාක ලෙසට මේ හැම සැප සම්පතක්ම තමන්ගේ ඉහේ කඩං වැටිච්ච විත්තිය..
ආ..ඒ විතරක් නෙවෙයි ඒ අතරෙම දැක්කා නෙව තමුන්ගේ මිත්තරයා..ඒ කිව්වේ අර අනික් තාපසතුමා..තාමත් අර "දුර ඝන වනන්තරේ ලොව ඈත කෙළවරේ..සැළලිහිණි ගිරා බටිති මලිති රෑනක් අතරේ.."බොහෝම නිවාඩු පාඩුවේ තාමත් බණ භාවනාවේ යෙදිලා ඉන්න විත්තියත්...

ඉතින් මෙ දිවියකුමාරයා ඒක දැකලා නිකං හිටියැයි..නෑනේ..

ඒ උන්නාන්සේ කල්පනා කෙරුවා ගෙහුං තමුන්ගේ මිත්තරයාගේ දුක සැප විමසංට කියලා..ඉතිං එහෙම හිතලා තමුන්ගේ දිවිය ලීලාව අතහැරලා බොහෝම අසරණ දුගී වේසයක් මවාගෙන..ගියා නෙව අර තාපසතුමා මුණ ගැහෙන්ට..

ඉතිං ඒ ගෙහුං අර තාපසතුමා මුණ ගැහිලා කාරිය ආ ගිය තොරතුරු ටිකක් හෙම අහලා කොරලා..පස්සෙන් පහු තමුන් කවුදෑ කියන කාරණාවත් පැහැදිලි කරලා දුන්නා...

ඉතින් ඒ විතරක් නෙවෙයි තමුන්ට කොරාපු පිනේ බලමහිමයෙන් ලැබිලා තියෙන දිවිය සැප සම්පත් ගැන එහෙමත් කියලා තව තවත් අර තාපසතුමාව උනන්දු කොලා..මොකටද..අර රැක්ක ශීලය තව දුරටත් හොඳින් රැකගෙන එන්ට..ආන්න එහෙම අයටයි මිත්තරයෝ කියන්නේ...

ඉතින් ඒ විතරක් නෙවෙයි යන්ට ලෑස්ති වෙලා ඇහැවුවා තාපසතුමාට තියෙන කරදර හිරිහැර එහෙම මොනවදැයි කියලා...

අනේ ඉතිං ඒ වෙලාවේ අපේ තාපසතුමාට කියන්න කියලා තිබුනේ එකම කරදරයයි..ඒ තමයි මෙ අල්ල පනල්ලේ නිතර ගැවසෙන මහා අලි ඇතුන් රංචුවකින් තමන්ට තියෙන හිරිහැරය..

එව්වෝ නිතරම මේ අසපුව ආසන්නයට ඇවිදින්..ඒ අහ විනාශ කොරලා යනවා නෙව...

අන්න ඒ කාරණේ දැනගත්තම අපේ අර දිවියකුමාර තෙමේ..හරි අපූරු මන්තරයකුයි..තත් තුනක් ඇති වීණාවකුයි අපේ තාපසතුමාට දීලා ඒක පාවිච්චි කොරනා පිළිවෙලත් කියා දීලා නොපෙනී යන්ට ගියා...

ආ දැන් මේ ඇත්තෝ දන්නවා නෙව මෙ මන්තරේ නමයි වීණාවේ නමයි..

ඔව් ඔව්..හස්තිකාන්ත මන්තරෙයි..හස්තිකාන්ත වීණාවයි තමයි...

ඉතිං මේක කිරියාත්මක කොරන්නේ මෙහෙමයි..යම් කිසි අවස්ථාවක තමුන්ට අලි රංචුවකින් කරදරයක් හිරි හැරයක් වේගන එනකොට අර වීණාවේ පළවෙනි තත වයන ගමන් අර මන්තරේ කියන්ට තමයි තියෙන්නේ..

ආයේ ඉතින් අලි නෙවෙයි අහල පහලක ඉන්නේ..ඇරු කියලා දුවනවා පස්ස නොබලාම..

දෙවෙනි තත පිරිමැදලා මන්තරේ කිව්වහම අර දුවන අලි ආපස්ස හැරිලා බලන ගමන් දුවනවා...

අවසාන එහෙමත් නැතිනං තුන්වෙනි තත වයන ගමන් අර මන්තරේම ජප කොළහම අර දුවගෙන ගිය අලි ආපහු හැරිලා බොහෝම යටහත් පහත්ව තමුන් ළගට එනවා..ඒ ඇවිදිල්ලා ඒ අලි ඇත් රංචුවේ ඉන්න නායක ඇතා තමුන් ගාවට ඇවිත් දණ ගහලා යටහත් පහත්ව සිටිනවා... ආන්න ඒ වෙලාවට අර දණ ගහපු නායක ඇත් රජාගේ පිට මතට ගොඩ උනාට පස්සේ තමුන් කියන ඕනෑම දෙයක් අර ඇත් රංචුව ලව්වා කරවගන්ට පුළුවන්...

දැන් හරි නෙව..මේ කිව්ව කරුණු කාරණා හොඳට මතකයිනේ... මේ ඇත්තංට...

හරි එහෙමනං අපි ඒ මතකය එහෙමම තියාගෙන දැන් ආපහු හැරෙනවා ඒ කාල වකවානුවේ දඹදිව කොසඹෑ නුවර රජකං කොළ පරන්තප කියන රජ්ජුරුවන්ගේ මාළිගාව දිහාවට...

අන්න දැන් මේ ඇත්තන්ට පේනවද..අර රජ මාළිගාවේ ඉහළ මාළයේ හවස් අතේ සැන්දෑ සිරි නරඹමින් රජතුමයි ..දේවියයි..පරිවාර ඇත්තොයි බොහෝම සතුටින් කල් ගත කොරන ආකාරය...මොකක් කිව්වා..පේනවා හොරයි..හා හා එහෙනං ටිකක් සූම් කරලා බලන්ට සූම් කරලා බලන්ට...

ආ..ඔන්න දැන් යස අපූරුවට පේනවා නෙව...

ඉතින් මොකක් නමුත් අමුත්තක් ඔයාලට පේනවාද..

ඔව්..ඒ අමුත්ත තමා මේ අපේ දේවීන්නාන්සේ බඩදරු වෙලා..ඒ කියන්නේ ගැබ්බර වෙලා නෙව ඉන්නේ...
පේනවා නේද..බොහෝම පින් පාටට තෙල් පෑදිලා ඉන්න අපූරුව...

ඒ විතරක්යෑ..අර දේවින්නාන්සේ පොරවාන ඉන්න රතු පාට අර සළුව කොයි තරං අපූරුද..අපූරු විතරක් නෙවෙයි හරි වටිනවා..ඔව් ඔව්..

ඒ විතරක්යෑ..අර උන්නාන්සේ අතේ පැළදං ඉන්න පේරැස් මුදුව..ඕක විතරක් ලක්ෂයක් වටිනවා කියලා තමයි තක්සේරු කොරලා තිබුනේ..

හරිනං ඕක මේ වෙලාවේ තියෙන්ට ඕන රජ්ජුරුවන්ගේ ඇගිල්ලේ තමයි..ඒත් ඉතිං දන්නේ නැද්ද මේ වෙලාවෙ රජ්ජුරුවන්ගේ හිතේ තියෙන සංතෝෂෙටයි, රජ බිසඋන්නාන්සේගේ හිතේ ඇති වෙච්ච මනාපෙටයි අනුව ඒක රජ්ජුරුවන්ගෙන් ඉල්ලගෙන බිසොඋන්නාන්සේ පැළදගෙන ඉන්නවා නෙව..

දන්නේ නැද්ද ඉතිං ආලවන්ත කොම ඉහවහා ගියාම අතේ තියෙන මුද්ද විතරක්යෑ..අපිනං මේ බොක්කේ තියෙන දේවළුත් ඇදලා දෙනවා නෙව...

අනේ ඉතිං මේ උදවිය හරි සතුටෙන් තමයි මේ හවස් අතේ උන්නේ..

ඔය ඇත්තෝ දන්නවනේ..ඕනම සතුටු සීන් එකක් කාබාසිනියා කොරලා දාන්න ඇහැකි උදවියත් මේ ලෝකේ එමටයි නෙව..

අන්න ඒ වගේ පින්වතුනි..දැන් මෙන්න මේ පිරීතිදායක අවස්ථාවේ මෙතනටත් එනවා නෙව ඒ ජාතියේ කඩාකප්පල් කාරයෙක්..

ආයේ ඉතිං එසේ මෙසේ භාණ්ඩයක් නෙවී...
අලි ඇත්තු පවා උස්සං යන ජාතියේ රියල් භාණ්ඩයක්...

ඇත්කඳ ලිහිණියෙක්...උඩ බලාපු කවුදෝ කෙනෙක් මේ ආකාහේ දෙබෑ කොරගෙන එන මහ විශාල සත්වයාව දුටුවා නෙව..ඒ දැකපු පාර මර ලතෝනි දීගෙන දුවන්ට පටන් ගත්තා සඳළු තලේ ඉඳලා මාළිගාවේ ඇතුල් කාමරයකට..
මේකට කලබොල වෙච්ච අනිත් උදවියත් හිටු කියලා විලාප දීගෙන පැනලා දුවපි...

ඒත් පින්වතුනි මෙන්න මේ අවස්ථාවේ..හරිම කණගාටුදායක දෙයක් සිද්ධ උනා...

අත පය හයිය හත්තිය තිබුණු හැමෝම පැනලා දිව්වට මොකෝ..
අර බඩදරු අම්මණ්ඩි..ඒ කිව්වේ මෙ බිසොඋන්නාන්සේ අර සඳළුතලය මත දුවා ගන්න බැරිවෙලා ඇදගෙන වැටෙනවා නෙව..හනෙ හපුච්චේ..

ඊගහක වේගයෙන් අර දැවැන්ත ඇත්කඳ ලිහිණියා සඳළු තලේට පාත් වෙනවා..ඇයි අර බිසඋන්නාන්සේ පෙරවගෙන ඉන්න රතුපැහැති සළුව නිසා අර දැවැන්තයාට දැන් බිසඋන්නාන්සේ පේන්නේ රතුපාට මස් වැදැල්ලක් වගේ නෙව...

අනේ අර අසරණ දේවීන්නාන්සේ කිසිවක් කරකියාගත නොහැකිව දැන් සඳළු තලය මත අසරණ වෙලා...
එහෙන් මකරාක්ෂයා වගේ හෙන හඩ නගමින් එන ඇත්කඳ ලිහිණියා...

කොහොම බලන් ඉන්නද දෙයියනේ මෙව්වා...

34 comments:

  1. එහෙන් මකරාක්ෂයා වගේ හෙන හඩ නගමින් එන ඇත්කඳ ලිහිණියා...
    මෙහෙන් මාරයාගේ හෝරාව එනකං බලං ඉන්න මාරයා...

    හවස් වෙන්න කලිං ඉතුරු ටික ඔක්කෝම ඕන....නැත්තං මාරයා මාරයාට බිලිවෙන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
  2. මේක දැකලා පංසලේ හාමුදුරුවොත් බණ කතා කුට්ටි කරන්න ගියොත් තමයි වැඩේ

    ReplyDelete
  3. ඉතින් දෙයියනේ ඉතිරි ටිකත් කියන්නකෝ මාරයියේ

    ReplyDelete
  4. අදත් මැදට ඇඩ්ද????
    මොකක්ද අයියේ....... ජාතක කතාව ඉවර වෙනකොට අයියා පෝස්ට් 250ත් පහුකරලා තියෙයි.........

    ReplyDelete
  5. ෂුවර් එකටම මූ පහුගිය දවස් ටිකෙ ටෙලි නාට්ය කාරයෙක් ගෙන් ටියුසොන් අරන්.....

    අනෙ බන් යටින් මතු සම්බන්දයි කියල දාන්න කියල දුන්නෙ නෑතෑ?

    ReplyDelete
  6. එහෙන් මකරාක්ෂයා වගේ හෙන හඩ නගමින් එන ඇත්කඳ ලිහිණියා..
    මෙහෙන් බණ කතාවෙ ඉතිරි ටික ලියනකං මාරය කන්න බලාගෙන ඉන්න අපි වගේ කට්ටිය....

    බොට දැන් මකරාක්ෂය හොදයි කියල හිතිල ඇති.

    ReplyDelete
  7. කිරි අප්පච්චියේ, මෙහෙම ලස්සන කතාවක් අපේ ආත්තම්මවත් කියලා නෑ. දැන් නම් ඉතින් කතන්දර අහල ඉවර වෙනකල් ඔහේ පදින්චි වෙන්ට වෙයි වගේ, මෙහේ වැඩ පැත්තක දාලා.

    හැබෑට ඔය කතන්දරවලට ගෑනු ලමයි දුවගන එන්නේ නැද්ද අර හස්තිකාන්ත වීනාවේ තුන්වෙනි තත වයද්දි වගේ.

    ReplyDelete
  8. කුම්භකර්ණයා ...

    හෙහ් හෙහ්..මාත් කොරගන්න විපත්...

    ReplyDelete
  9. කෝපි දුන්න කාරනේ දැනුයි මට තේරුනේ

    මෙහෙම බලද්දී තමයි කතාවේ අගයක් තියෙන්නේ.ඇත්කඳ
    ලිහිනියා ..! මම අහලා තියනවා ඒත් දකලා නම් නෑ සූ එකේ නම් ඇති බලන්න ඕන ..

    ආයේ කවදද ඉතිරිය බලන්නේ ! මට ඉන්ඩ බෑ ඉක්මනට...

    ජයවේවා !!

    ReplyDelete
  10. අකීකරු හිත...

    ඉඳින් නගේ ඉවසලා..
    කියන්නනං පුළුවන් ඒත් ඉතින් මෙ ලියන එකනේ වැඩෙ..

    ReplyDelete
  11. ඉතිරියත් කිව්වානම්...

    ReplyDelete
  12. හා පැටික්කී...

    අනේ මන්දා නගාලමයි කියන්නේ දෙසීයට හාරසීයක් ලියමු කියලා..දැන් දෙසිය පණහා ලියන එකටත් කැමති නැතුවා...
    හුම් හුම්..මක්කා කොරන්නද..?

    ReplyDelete
  13. නිශ්...

    නෑ බං ඒකලා තමයි මගෙන් ඔය කලාව ඉගෙන ගත්තේ...

    අවසානය මෙය නොවෙ...හිහ්...

    ReplyDelete
  14. Praසන්ன...

    අම්මපා..මාත් ඉතින් දාගන්නෙම මෙ වාගේ ගල් තොප්පිම නෙව...

    ReplyDelete
  15. මකරා...

    ආ මකර උපාසකත් ඇවිත් ඉන්නේ..ඒක නෙවෙයි අපේ මෙ උපාසක ඇත්තන්ට දැන කියාගන්නත් එක්ක දාමු කෝ බලන්න ඔය ඇත්කඳ ළිහිණියා ගැන විස්තරයක්..මගේ මකර මිත්තරයා ඉතිං ඔවා ගැන බොහෝම හොඳින් දන්න කියන උන්නැහේ නෙව..

    ReplyDelete
  16. පොඩ්ඩී...

    මොකෝ නැතුව ඔය කුමාරිහාමිලාත් ඇවිත් තියෙන්නේ..ඔසරි එහෙම පටලවාන..

    කොහොමටත් ඉතිං ඒ දවස්වල මං බණට එහෙම ඔවා කියනකොටනං උපාසක අම්මලා විතරක් නෙවෙයි උපාසක නගාලත් එමටයි...
    මගෙන් බණ අහන්ට නෙවෙයි කතාන්දර අහන්ට...

    ReplyDelete
  17. හිස් අහස...

    පොඩිත්තක් ඉවසලා හිටිං මලේ අපේ මකර අධිරාජ්‍යයාට මං කොන්තරාත් එක බාර දුන්නා ..තව ටිකකින් පණ පිහිටුවලා විස්තරයක් දැන ගත්තෑකි බොලාට..

    ආ ඒ විතරක් නෙවෙයි මලයාත් දැන අදුනගන්ට ඔනම කෙනෙක් තමා අපේ මකරතුමා..මගේ අතිජාත මිත්තරයා..
    සෑහෙන කරුණු කාරණා දන්න හොඳ උගතා..එහ්නං...

    ReplyDelete
  18. හසී...

    නොකියා නගේ..නොකියා...

    ReplyDelete
  19. දෙසීය නෙමේ ඊට වඩා ලියන්න ඕන. හැබැයි එක කතාව ඇඩ් දදා මෙගා කොරන එක ගැන නම්..... :-/

    ReplyDelete
  20. මේගා ටෙලි නාට්‍යක් වගේ..හබැයි අන්තර්ගතේ නම් ඊට් උසස්..හි හි..

    ReplyDelete
  21. යකෝ මේක නැගල යනවනේ මාරෙට..
    බිසව වැටුන කිව්වම උපාසක අම්මලා සාදු.. කිව්වෙ නැද්ද බං.

    උඹ දිගටම මහණ වෙලා හිටියනම් ආයෙ කතා දෙකක් නෑ මෙළහකට අපිට චැනල් 4-5 කින්ම උඹව බලාගන්න තිබුණා. අනිවා ඩෙෆා. මාරයි බං.

    ReplyDelete
  22. හා පැටික්කී...

    හපොයි මෙ පැටික්කිට යන කේන්තියක්...

    ReplyDelete
  23. මයියා...

    මයියා නෙවෙයි බං උඹනං දෙයියා..එහෙමවත් හොඳක් කිව්ව එකම මදෑ...

    ReplyDelete
  24. Nuwan Kumaranayake (නුවන් කුමාරනායක)...

    අම්මපා ඇත්ත..අපේ සමහර උපාසක ඇත්තෝ ඒකත් කියන්න බැරි නැහැ..

    ඈ..චැනල්වලින් පෙන්නන්නේ මටත් කස්ටිය බිම දාගෙන නෙළනවාද..බණ නසනවා කියලා...

    ReplyDelete
  25. නැහැ නැහැ..එහෙම එකක් නෙමේ.
    මේවගේ රසවත්ව බණ කියනකොට ඉතින් කොයිවගේ ඉල්ලුමක් තියෙයිද කියල හිතුණා.

    ප.ලි.
    ඔන්න මමත් සෑහෙන කාලෙකින් බ්ලොග ට ලොග් වුණා.
    කට්ටිය බලන්න ඕනෙ හොඳේ. "පැණි දොඩම්"
    ඕක තමා නම http://penidodam.blogspot.com/

    ReplyDelete
  26. මාරයෝ මේ කතාවට අනුග්‍රහය කගෙන්ද?

    ReplyDelete
  27. Nuwan Kumaranayake (නුවන් කුමාරනායක)...

    හිහ් හිහ්..මම නොදන්නවැයි..

    ඒක නෙවෙයි කෝ තාම ගැටනේ ඉක්මනට ඔය තියෙන දොඩමක් ඉදෝලා ගත්තනං...අපිටත් රස බලන්න...

    ReplyDelete
  28. ලාංකීය බ්ලොග් කියවනය ...

    :p

    ReplyDelete
  29. ItalyDilan...

    හප්පච්චියේ මට ඒක අමතක උනා නෙව..ඔන්න කවුරු හරි පිංවතෙක් බාර ගන්නවනං අවස්ථාව තියේ..නැත්තං ඉතිං මෙකත් අර පාෂාණ පාන සමාගොමටම දෙන්න වෙයි..අනික්වා වගේම...

    ReplyDelete
  30. මාරයාගේ ඉල්ලීම පරිදි
    ================

    ඇත්කඳලිහිණියා කියන්නෙ ටොරඩැක්ටිල් වගේ සතෙක් , ඊට වඩා ලොකුයි. හැබැයි තිප්ඩාරයන්ට වඩා ටිකක් පොඩියි. කෑඳැත්තෙක්ගෙ වගේ හොටක් තියෙන්නෙ. පිහාටු ඇවිල්ලා කොබෙයියෙක්ගෙ වගේ. පෙඳේ උකුස්සෙක්ගෙ වගේ. කකුල් රාජාලියෙක්ගෙ වගේ. අනිත් කුරුල්ලන්ට වඩා වෙනසකට තියෙන්නෙ ඇත්කඳලිහිණියන්ට කන් දෙකකුත් තියෙනවා. කන් දෙකෙන් එකක් අලියෙක්ගෙ වගේ. අනිත් එක වවුලෙක්ගෙ වගේ.

    දැන් උපාසක මහත්තුරු , නෝනලා ඇත්කඳලිහිණියෙක්ව හිතේ මවාගෙන සාදුකාරයක් දෙන්න. සාදු සාදු සාදු

    ReplyDelete
  31. ඔය මං කිව්වෙ නැද්ද..මකරා ඔකට දස්සයා කියලා...

    හා මකරෝ..ඔන්න අපිත් සාදුකාර දුන්නා..දැන් කණ්නාඩිය ළගින් අහක් වෙයං...

    ReplyDelete
  32. ඒ විතරක්යෑ..අර දේවින්නාන්සේ පොරවාන ඉන්න රතු පාට අර සළුව කොයි තරං අපූරුද.

    සාදු සාදු

    පේනවා හොරයි..හා හා එහෙනං ටිකක් සූම් කරලා බලන්ට සූම් කරලා බලන්ට...



    සාදු සාදු

    ReplyDelete