20 December 2010

කඳුළක කතාව...01

එවකට මා ඉතා කුඩා එකෙකු වීමි.
පාසල් යෑම ආරම්භ කරන්නට ආසන්න වයසේ මෙන් ඇති බව මතකය කියයි..එසේනම් අවුරුදු පහක් හෝ හයකට ඉතා ආසන්න විය හැක...

මා සිටියේ කුඩා සෙල්ලම් ලොරියක් වැනි දෙයක් සමග තනිවම විනෝද වෙමිනි..එය එහාට මෙහාට දෑතින් තල්ලූ කරනවා වැනි මතකයක් ඇත..
ඊ ළග මොහොතේ මා සිටියේ කුමක් හෝ දෙයක එල්ලීගෙනය..එය හරියට කොන්ක්‍රීට් ස්ලැබ් එකක දාරයක් වැනි..
බිම බැළු විට මා සිටියේ ඉතා ඉහළ තැනකය...
මා පැද්දෙන්නට විය...
අතේ වාරු නැති වී යන සෙයකි.
තව සුළු මොහොතකින් මා බිම ඇද වැටෙනු ඇත...
ඒ වන විට මරණය පිළිබඳ කිසිදු හැගීමක් මා තුල නොවීය..
නමුදු මා බිය වීමි...
අවසානයේ මම මහ හඩින් හඩන්නට වීමි...

"ඇයි පුතේ...මොකද?"...ඒ වදන් තාත්තාගේය...ඔහු මගේ හිස පිරි මදිමින් සිටියේය...
සිහිනය ඉතා බියකරුය...
සිහිනයත් සැබෑවත් අතර වෙනස මා හට ඒ තරම් නොවැටහිණි..මා දිගින් දිගටම හැඩුවෙමි.
කඳුළු වැල් නොනවත්වාම ගලා යමින් තිබිණි.
ඒ මගේ කඳුලේ කතාවේ ආරම්භයයි...

එදා මෙදා තුර කාලය අතරේ මා දෙනෙතින් කඳුළු ගලා හැළුනු අවස්ථා කිහිපයක්ම ඇත...
මතකය සාක්කි කියනු ලබන්නා වූ පළමු කඳුළු කතාව එයයි...
ඊට පෙර මා හඩ නැතිවා නොවේ..නමුදු අදටද මා හට හොඳින්ම මතක ඇති කඳුළ එයයි...

................................................

කඳුළ ගැන මතකය අවදි කරන්නට මා හට සිත් වූ කරුණක් ඇත...
එය ඇත්තෙන්ම සාවද්‍යයය...

පසුගිය දා තිබූ බ්ලොග් හමුවේ එක්තරා අවස්ථාවකදී මාගේ නෙත් වල කඳුළු රැඳී තිබුණේ යැයි එයට එක්ව සිටි තවත් බ්ලොග් කාරිණියක් එක්තරා ස්ථානයකදී සටහන් කරන්නට යෙදුණි.
නමුදු එවැන්නක් වූ බවට මා පිළිගන්නේ නැත...මන්ද..මා මාගේ කඳුළ හොඳින්ම හඳුනනා බැවිනි.

ඇය එසේ කියන්නට යෙදුණේ කුමක් නිසාදැයි මා නොදනිතත්...
එය එසේ නොවන බව පැවසීමට මට ඇවැසිය..එහෙයින් මෙවැන්නක් ලියන්නට හිතුණි..

ඇත්තෙන්ම මෙම ලිපියට වස්තු බීජය එම සටහන දුටු මොහොතේම මා සිත තුළ පහළ වූ මුත් එය අකුරු වැලක අමුණා සිතින් පහ කරන්නට මා ඉක්මන් නොවූයෙමි.

දැන් එයට අවස්ථාවයි...

මා පළමු අවස්ථාව ඉහතදී සටහන් තැබුවෙමි...

හරියාකාරව ගණනක් මිම්මක් කිව නොහැකි වූවද..වරින් වර අත පය තුවාළ කර ගැනීම නිසා.. ඛෙහෙත් දමන්නට ගිය අවස්ථාවල වේදනාව නිසා කඳුළු සලමින් හැඩු අවස්ථා එයින් පසු කිහිප විටක මතකය හා මුසු වූවද...
එම කඳුළු වලට ඒ තරම්ම වටිනාකමක් ඇතැයි මා නොසිතමි...

දෙවන වර මා මතකයේ රෑඳී ඇති කඳුළු කතාවයි මේ...

රාත්‍රී කාලයකි...වේලාව රාත්‍රීඅටත් නවයත් වාගේ අතර විය හැක...
තාත්තා කිසියම් හේතුවක් නිසා තරමක් කෝප වී තිබිණි.
කුමන හෝ කාරණාවකට විදුලි පන්දම උවමනා වූ විට එය නිසි ලෙස ක්‍රියා නොකිරීම එයට හේතුවයි...

කෝපය එල්ල වී තිබුණේ මා වෙතය...
ගෙදර සිටි මකබාස් මා වූ බව ඇත්තය..නමුත් විදුලි පන්දමෙහි බැටරි පැත්ත මාරු කොට දමා තිබුණේ මා නොවේ...

එසේ කලානම් එය කලැයි පවසන්නට මා බිය නොවිමී...
නමුදු චෝදනාව මා හටය...
එය මල්ලී විසින් කරන ලද්දැක්යැයි මට ස්ථීරව කිව නොහැකි වූවද ඔහු අසාමාන්‍යය ලෙස නිහඩව සිටිනු දක්නා ලදි.

තාත්තා දිගින් දිගටම බැණ වදියි...
වයස අවුරුදු අටක් හෝ නවයක් පමණ වූ මා හට එය දරා ගැනීමට නොහැකි තරම් විය...
බැනුම් අසා නැතිව නොවේ..නමුදු නිවැරැද්දේ බැනුම් ඇසීමට මා අද මෙන්ම එදාද නොකැමති වීමි.
මා ආවේශ වූවාක් වැනි විය..එදින මා කෑ ගසා හැඩූවෙමි...

"මම නෙවෙයි...මම නෙවෙයි ඕක කලේ..."

නමුදු පිළි නොගන්නා තත්වයකි...
අම්මා පිටරටය... මල්ලී ඇඳට වී පාඩුවේ සිටී..තාත්තාට මා සිටිනා ආකාරය නොපෙනේ...

මම ගෙදරින් පිටවීමි...
කළුවරට මා කුඩා කල සිටම ඒ තරම්ම බියක් ඇත්තෙකු නොවීමි...
මා අසිහියෙන් මෙන් ඇවිද ගියෙමි..
ගමනේ අවසානය කොතනදැයි නොදැනම මා ඇවිද ආවෙමි...
එදා සඳ පායා තිබුනේද නැත...කෑලි කැපිය හැකි අඳුර මැදින් මම ඇවිද ගියෙමි...
කිලෝ මීටර් බාගයක් පමණ යන විට මා තරමක් පියවි සිහියට පැමිණියද..යන්නට ගිය ගමන නවතා දැමුවේ නැත..ඒ වෙනුවට යන්නට තැනක් සිතූවෙමි...

ලොකු ඉස්කෝලේ...

මා තුන වසර වන තෙක් ඉගෙන ගත් පොඩි ඉස්කෝලය හා එතැන් සිට පහේ ශිෂයත්වය සමත් වන තෙක් ඉගෙන ගත් ලොකු ඉස්කෝලය මගේ ගමනාන්තය විය...
නිවසේ සිට කිලෝ මීටර් එක හමාරක් පමණ දුරින් වූ ලොකු ඉස්කෝලය දක්වා අඳුරේම පැමිණි මා...එහි වූ විවෘත ශාලාවකට ඇතුළු වීමි.

කල හැකි හෝ කල යුතු කිසිවක් සිතාගත නොහැකිව එහි වූ එක පෙළට ලං ලංව තබා තිබූ බංකු කිහිපයක් මත වැතිර ගත්තෙමි...

මට නැවතත් හැඩුම් ආවේය...
ඇඳ සිටි ටී ෂර්ටය පෙගෙන තෙක්ම එයින් මුහුණ පිස දමමින් මා හැඩූවෙමි..අවසන දැඩි වෙහෙසින් මා නින්දට පමුණුවා තිබිණි...

මා නිවසේ නොමැති බව දැන ගත් තාත්තා කලබල වී කිහිප දෙනෙකු සමග මා සොයා ඇවිද අවසානයේ පාසලට පැමිණ මා සොයා ගන්නා විට රාත්‍රි මැදියමට ආසන්න වී තිබිණි...

තාත්තා මා වඩාගෙන ගෙදර පැමිණියේය.. එසේ ගෙනවිත් මා ඇඳ මත තබා නිදා ගන්නට සැලැස්වූ පසුවත් සිහින් කෙඳිරිල්ලක් මෙන්...

"මම නෙවෙයි ටෝච් එකේ බැටරි මාරු කළේ"..යැයි මගේ මුවින් පිට වූ ආකාරය අදටත් මාගේ මතකයේ ඇත...

26 comments:

  1. ජීවිතයේ අපේ ඇස් වලට කඳුළු එන්නෙ අපිට කිය කිය නෙමෙයි. දැන් ටිකකට කලිනුත් ඒවගේම මගේ ඇස් වලට කඬුළු උනලා තිබුනා යම් කිසි හේතුවකට. අදින් දවස් දෙකකට කලිනුත් මම කඳුලු වගුරවමින් ඇඬුවා කාටවත් නොපෙනී.

    ReplyDelete
  2. කවුද කවුද දැන් ඔය මාරෙ අයිය ඇඬුවයි කියල ලියපු එක්කෙනා. මට අහුවෙද්දෙන්කො. උඹ නාඩ ඉඳින් මයෙ අම්ම

    ReplyDelete
  3. kiyanna deyak nee hemadama wagema adath uparimai

    ReplyDelete
  4. සංවේදීබව හානියකි.

    ReplyDelete
  5. අර බ්ලොග් සහෘදියගේ කොමෙන්ටුව දැක්කාම මටත් අහන්න හිතුනා කඳු පිරිමින්ට අයිති නැති දෙයක්ද කියලත්.

    ආසියානු සමාජයේ අපි බටහිර පිරිමින් තරම් කඳුල අපහාසයක් කියලා හිතන්නේ නැති බවයි මගේ අදහස.

    ගෑනු පිර්මි බේදයක් නැතුව වේදනාව පිට කර ගන්න කඳුලු හෙලනවනම් හොඳයි.

    ඒත් මෙලෝ හේතුවක් නැතුව කඳුලු හෙලන අය දැක්කාම නම් "මේ මොන විකාරයක්ද" කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා.

    ඒත් ඒක අහන එකාට හිතුනට හේතුවක් නැතුව කියලා කඳුලු හෙලන කෙනාට ඒකට අනිවාර්‍යෙන් හේතුවක් තිය්න්නේ ඕන.

    මඟේ කඳුලු ගැන කියනවනම් මට නම් දුක හිතෙන පොතක් බැලුවත්, ෆිල්ම් එකක් බැලුවත්, සිංදුවක් ඇහුවත්, දුක හිතෙන කතාවක් ඇහුවත් කඳුලු එනවා. ඒ වෙන කෙනෙක්ගේ වේදනාව උහුලන්න බැරි කමට්.

    ඒත් වාසනාවටද අවාසනාවට ද මන්දා මට ම මොනව හරි දෙයක් උනාම නම් මලාට කඳුලක් එන්නේ නෑ.

    මගේ අම්මෝ කොමෙන්ටුවක් ගිය දුරක්

    ReplyDelete
  6. හ්ම්හ්ම්..මාත් ගුටිකාලා අනන්තවත් අඩලා තියෙනවා... ඒක නෙවේ මාරයියේ මට මතකයි උබ ඉපදිච්ච දවසේ හූ තිය තිය ඇඩුවා :P lol :D

    ReplyDelete
  7. දුකක් ආවොත් පොතක් අරං ඒක ලියන්න ..ඒක කාටවත් නොපෙනෙන්න හංගන්න .

    ඒත් දුක අඩු නැත්නම් තමන්ට ඉන්න හොඳම යාළුවට කියන්න ..

    ඒත් අඩු නැත්නම් අඬන්න ! හැබැයි එකසැරේකට වඩා අඬන්නත් එපා !

    ඒත් හරිගියේ නැද්ද ? දැං ඉතුරු එක දෙයයි

    ෂොට් එකක් දාන්න කරටි කැඩෙන්න !

    මාරෙ අයියත් එහෙනම් අඬලා තියනවා නේද ?

    ජයවේවා !!

    ReplyDelete
  8. මම නම් පොඩි කාලෙ ඇඬුවට පස්සෙ ආපහු ඇඬුවෙ මීට අවුරුද්දකට විතර කලින් තමයි. මේක කියවද්දි මට ආපහු ඒක මතක් වුනා.

    ReplyDelete
  9. ඇයි අප්පා අඩනවා කියන එක පිරිමි අපට තහනංද..?? ඇයි අපි රොබෝලද..?? අපට දුක වේදනාව හැගීම් දැනෙන්නෙ නැද්ද.?? අපි ඒ හැගීම් පිටකරගන්න ඕනෙ නැද්ද..??

    මං ගැන කියනවනං අර දුකාට වගේ ඕනෑම සංවේදී දේකදි මගෙ ඇහැට කදුළක් එනවා.. ඒක දුකක් වෙන්නත් පුළුවං සතුටක් වෙන්නත් පුළුවං.. අද දවසෙ මගෙ ඇහැට කදුළක් ආවෙ මෙන්න මේ වීඩියෝ එක බලලා.. http://www.youtube.com/watch?v=hkGzqpGx1KU&feature=related

    ReplyDelete
  10. මාරයාගේ කතාව කියෙව්වම මතක් වුනේ මට අන්තිමට ඇඬුනු දවස... ඒ තාත්තා අඬනවා දැක්කම මම රට එන මුල්ම දවසේ... ඉන්පස්සෙනම් කඳුළු එන්ට ඇඬුනේ නෑ මතක තියෙන දවසක... හැබැයි දුකා අයියා කියල තියෙනවා වගේ මූවි එකක දුක හිතෙන සීන් එකක් ගියත් ඇඬෙන්ට වගේ එනවා... හැබැයි කඳුළු එන්නේ නෑ... නිකන් උගුර හිර වෙනවා වගේ කතන්දරයක් වෙනවා...

    ReplyDelete
  11. කදුල... ඉපදේදිම අරන් එන දෙයක් නේ අයියේ.. නිවට කමට බයට හංගන් දුක් වෙනවාට වඩා අඩලා හිත නිදහස් කරගන්න එක කාම්ට නොදැනුනත් හිතට නිදහසක්... ලියන එක මාරයියේ මාරට ලියනවා... :)))

    ReplyDelete
  12. මීටිමේදි නම් මාරයියා ඇඩුවේ බෝතලයක් නැතුව,කොහොම වුනත් ලස්සණට සංවේදීව ලියලා තියෙනවා අයියේ

    ReplyDelete
  13. මාරයි ඈඩුවයි කිව්වේ කව්ද කියන්නනම් දන්නේ නෑ. හැබැයි මට හිතෙනවා එහෙම කියපු එක හොඳා කියලා, මොකද අපිට මාරයාගේ තවත් කතාවක් කියවන්න ලැබුන නිසා. ඒත් මමත් හිතන්නේ නෑ මාරයා කවදාවත් හැමෝටම පේන්න අඩයි කියලා. මම දැක්කා එදා මාරයාගේ හිතවත්කම, හරිම ලෙංගතු සුන්දර මනුස්සයෙක්. මම හරිම කැමතියි ඒ චරිතෙට. ඒක නිසාමයි බලෙන් වගේ ගිහින් කතා කලෙත්.

    ReplyDelete
  14. අර පුබුදුවා කියල තියෙනව ව‍ගේ මාරය එතනදිනං අඩන්න ඇත්තෙ ෂොට් එකක් දාගන්න බැරිවිච්ච හංද වෙන්න ඇති.

    සංවේදී සටහනක් ලස්සනට ලියල තියෙනවා.

    ReplyDelete
  15. @ පුබුදුවා,
    ඔව් බං මලේ.. ඔය මාරයා අඬන හැටි මම ජීවිතේටම දැක්කමයි... “අයියෝ.. අද බෝතලේ නැතෝ.... අමුවෙන් ම දවල්ට කන්ඩ වෙනෝ....“ කිය කිය මගේ පිටිපස්සට වෙලා ඇඬුවා නොවැ... මට නම් දුකේ බැරුව හිටියේ
    (හැබැයි චූ කරන්ඩ යනවා කියලා එළියට ගිහින් ඇවිත් නං සද්දේ වහලා හිටියේ.. බඩු එළියේ තියලා ඇවිත් තිබුණද දන්නේ නැහැ..)

    ReplyDelete
  16. සමහරු පේන්නම අඬනවා. සමහරු නොපෙනී හොරෙන් අඬන්වා. කොහොම උනත් අඬන්න හිතුන වෙලාවේ ඇඬුවාම හිතට සහනයක් දැනෙනවා.

    ReplyDelete
  17. හලේ හැමදාම නාහෙන් අඩන මටමස මං ගැන ලැජ්ජ හිතුන හප්පා....

    ReplyDelete
  18. මාරයි‍යේ උඹට වගේම මගේ ජීවිතේටත් ගොඩාක් ළගම මිතුරෙක් තමයි කදූළ....උඹේ පෝස්ට් එකෙන් ඒ යාළුවා ආයෙත් ආවා...

    උඹට දුක්ක ඇතිවුනොත් අපි ඉන්නවා අයියේ ඕනි වෙලාවක....

    උඹට බුදු සරණයි අයියේ....

    ReplyDelete
  19. ඇඩීම........ මම අන්තිමට ඇඩුවේ මීට මාසෙකට දෙකකට කලින්. එදා මම බ්ලොග් එකට පෝස්ට් එකක් දැම්මා. ඇඩෙනවනම් අඩනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?

    ReplyDelete
  20. මාරයියේ පුදුම කරුමයක් කියන්නේ මටත් මං නොකරපු වැරැද්දකට කවුරු හරි බනිද්දී ,ඒ කෙනා කියද්දී නෑ තමුසෙමයි ඕක කලේ කියලා මට පුදුම කේන්තියක් එන්නේ...කියන එකාව මරලාදාන්න තරම් කේන්තියක් එනවා මට ඒ වෙලාවට..මගේ වයසෙ හරි මට වඩා පොඩි එකෙක් නම් හරි අනිවාර්යෙන්ම මං ඒ කෙනා එක්ක ගහ ගන්නවා කෙල්ලෙක් උනත්...ඒ නිසා ගොඩාක් අය හිතනවා මං වසයි කියලා..වැඩිහිටි කෙනෙක් නම් මං බොහොම වෙදනාවෙන් ඒක කලේ මං නෙවෙයි කියලා කියන්න හදනවා..ඒ හැමවෙලාවකම වැඩිහිටියො මාව නිහඩ කලේ එකට එක කියන හිතුවක්කාර කෙල්ලෙක් කියන ගරු නාමය පුද කරලා..දැන් අවුරුදු 22ක තරුණ ලමයෙක් උනත් ඒ පුංචි පුංචි දේවල් මතක් වෙද්දී අදටත් ඇස් තෙත් වෙනවා..මං හැමදාම ඉස්සර ඒ වගේ වැරැද්දකට මාව අහුවෙද්දී හිත හදා ගත්තේ මං ගිය ආත්මේ කාට හරි ඒ කෙනා නොකරපු වැරැද්දකට මේ වගේම බනින්න ඇති කියලා..සමහර හිත හදාගන්න අමාරු දෙවල් වලදි මං අදටත් ඔය තියරි එකමයි පාවිච්චී කරන්නේ..

    ReplyDelete
  21. අනේ මාරායියේ බලන්නකෝ මට වෙලා තියෙන වැඩක්...
    දවස් ගානකින් වත් අක්කා අලුත් පෝස්ට් එකක් දැම්මෙ නැති නිසා මොකද බලන්න මං ඒ පැත්තට යන්න බැලුවා..කෝ ඒත් මට යන්න විදිහක් නෑ ...වෙනදා මං අනිවර්යෙන්ම බලන පිටුවක් තමා ඒක...ඒත් හදිසියේ මේ මොකෝ උනේ කියලා තේරෙන්නේ නෑ...This blog is open to invited readers only කියලා වැටෙනවා...ඉතින් අයියේ කලින් මෙහෙම උනේ නෑනේ..ඒකියන්නේ වත් අක්කා මාව අයින් කරලද..?

    ReplyDelete
  22. @මාරය : උඹගෙ පෝස්ට් එකෙන් මම අන්තිමට අඬපු දවස මතක් උනා. සමහරවිට මමත් සංවේදී වැඩි වෙන්න ඇති. හැබැයි ඒ ගැන මම ඩුක් වෙන්නෙ නම් නෑ.

    @මම : වත් බ්ලොග් එක වැහුව කියල මූනු පොතේ මැසේජ් එකක් දාල තිබුන. විස්තරයක් නම් දන්නෙ නෑ. හැබැයි හේතුව, සංසදේ දවසෙ වෙච්ච දෙයක් වෙන්න ඕනෙ

    ReplyDelete
  23. පිරිමින්ගේ ඇස්වලටත් කඳුළු එනවා. මම නම් කඳුළු එනවා නම් හොර රහසේ පිට කරනවා. ඒ ඇරෙන්න හොඳට අඬපු දවසක් නම් මතක් වෙන්නේ නැහැ

    ReplyDelete
  24. අඬන්න ඕන තැන අඬන්න ඕනේ

    හිනාවෙන්න ඕනේ තැන හිනා වෙන්න ඕනේ

    සංවේදී සටහනක්....

    ReplyDelete
  25. හැමෝටම ස්තූතියි...
    මෙ දවස්වල හරිම අමාරුයි..අවුරුද්දේ අන්තිම දවස් ටිකනේ..වැඩ කරන දවසට වැඩ එලෝ කෝටියට..ඒ කරලා ගෙදර ආවාම මුකුත් ලියන්න තරං ෆිට් එකක් නැහැ.

    අර හික් හික් කියලා දාලා තියෙන උන්දෑ මට අහුවෙච්ච දවසක මං බලාගන්නං...

    බලමු කොහොම හරි අද හවස් වෙන්න කළින් මොනවාම හරි ලිය වෙයිද කියලා..මට දැන් එපා වෙලා තියෙන්නේ...

    ඒ මදිවට මට ලියන්න කම්මැලි උන දවස්වලට කියවන්න අනිත් කට්ටියට බැරිද ටිකක් වැඩිපුර ලියන්න..කියවන්නත් මෙලෝ මගුලක් නැහැනේ..මෙවුන් ටික මක් කොරනවද හැබෑට..?

    ReplyDelete