08 December 2010

දිගු කළකින් හමු වී සෝ ළතැවුල් අදත් විදින්නේ මා පමණයි...

මට තේරෙන්නෙ නැහැ අද මම ඉන්නෙ දුකින්ද සතුටින්ද කියලා..
ඒ කොහොම උනත් හිතනම් හුගාක් බරයි..

ඊයේ එයාගේ උපන් දිනේ...

පුදුම අපහසුවකින් දවස ගෙවිලා ගියේ..
ටිකක් හරි හිතට සහනයක් උනේ ඊයේ වැඩ දවසක් වීමයි..
රාජකාරියට හිත පැටළුනහම ටිකක් හරි මතකය අමතක වෙලා යනවා..
ඒ හින්දා යම් සහනයක් ලැබුනා උනත්...

අද...

උදෙන්ම මට මළ ගෙදරක යන්න උනා.
අපේ වැඩ පලේ සේවය කරපු දුප්පත් ගෑනු කෙනෙකුගේ මව මිය ගිහින්...
උදේ ගෙදර ආව ගමන්ම තේ එකක් හදාගෙන බීලා එහෙ ගියා..
ගිහින් පැය බාගයක් විතර රැඳී ඉඳලා ආපහු එන්නත් හිතලා ආයෙමත් හැරෙව්වා බයික් එක එයාගේ කර්ට්න් ෂොප් එක තියෙන ඉසව්වට..
මළ ගෙදර ඉඳලා ටික දුරයි...
යන කොට ෂොප් එක වහලා..
උදේ වැඩියි නේ අරින්න පරක්කු ඇති...
ඒත් තව ටිකක් ඉඳිරියට ගියේ ටවුම හරියටම ගිහිල්ලා හරවගෙන එනවා කියලා හිතාගෙන...
ටික දවසකින් මේ පැත්තේ ආවත් නැහැනේ...

ෂොප් එක පහු කරගෙන මීටර් දෙසීයක් විතර යනකොට මෙන්න මෙයා..තවත් ගෑනු ළමයෙකුත් එක්ක හිනා වෙවී කතා කර කර එනවා...

එයාලාව පහු කරගෙන බයික් එක ගියේ වේගය වැඩි හින්දයි.
හැබැයි එයා මාව දැක්කා..
බය වෙලා වගේ බලලා.ආයෙමත් ඉස්සරහ බලාගෙන යන්න ගියා..

මම හැකි ඉක්මනින් බයික් එක කරකවලා ගත්තා..

එයාලා ළගටම පිටු පස්සෙන් ගිහින් නැවැත්තුවා එයා හැරිලා බැළුවා...

මම ඇස් දෙකෙන් එයාට කතා කළා..ළගට එන්න කියලා...

එයා ආවා..ඇස් දෙකේ බයෙන් පිරිලා..
ඒත් එක්කම තමයි මම අනිත් ළමයව දැක්කේ එයාවත් මම අඳුරනවා...
හැබැයි වැඩි කතා බහක් නැහැ.
මට තේරුනා එයා හුගාක්ම බයෙන් ඉන්නේ ඒ හින්දයි කියලා...
එයා ඒ ළමයා දිහාවට හැරිලා

"අඳුරනවා නේද..?" කියලා ඇහැවුවා ඒ ළමයා යන්තං හිනා වෙලා ඔළුව වනලා ටිකක් පස්සට උනා...

"මම පණිවිඩයක් තිබ්බා හම්බ උනාද..?"

"මොකක්ද අම්මටද..?" අර ළමයා ඉන්න හින්දා කතාව වෙන පැත්තකින් යවනවා කියලා මට තේරුනා..
මොනවා උනත් එයාව අපහසුතාවයකට පත් කරන්න මට බැහැ.

"ඔව්.."

"මම අම්මට කියන්නම්..ඔයාට කෝල් එකක් දෙන්න කියලා..."

"හා.."

"කොහෙද යන්නේ..."

"මම .........ට යනවා"..අත දුරින් පේන නගරය ඇස් වළින් පෙන්නන ගමන් මම කිව්වා...
"මම යන්නම්.."

ඇය ඔළුව වැනුවා..

මම බයික් එක හරවාගෙන ටවුම පැත්තට ගිහින් ආපහු හරවගෙන ආවා..ඇය ෂොප් එක ගාවටම කිට්ටු කරලා...

මම පුළුවන් උපරිම වේගයෙන් ඇයත් පසු කරගෙන ආවා...
වාහන පෝලිම අතරින් කොහොම ආවාද මමම දන්නේ නැහැ...
හැප්පියං..ඔන එහෙක හැප්පියං...එතකොටවත් බලන්නේ නැතෑ..එහෙම හිතාගෙනම ඇසිල්ලකින් වාහන අතරින් පැදෙව්වත් කිසිම හානියකින් තොරවම වාහන පේළිය අතරින් එළියට මතු උනා...

මම ආයෙමත් හැරිලාවත් බැළුවේ නැහැ..එහෙමම ආවා...ගෙදරට එනකම්ම එක වේගයෙන්..ඔළුව යකාගේ කම්මල වගේ වෙලා...

බයික් එක නවත්තලා උඩට දුවලා ආවා...
එක හුස්මට උගුරු තුන හතරක්...පඩ පපුව පිච්චිලා යනවා මට තේරෙනවා..උදේ තේ එක විතරයිනේ...
ඒත් කමක් නැහැ..මැරිලා පලයං...

ඒ ඇස්..ඒ කතාව...ඒ ඒ..හැම දෙයක්ම නැති උන මං මැරිලා පලයං...
තවත් වෙන මොනවද මට ඉතුරු..?

..........................................

කළින් ලිපියට ප්‍රතිචාර ලෙස මාත් එක්කම ඇයට සුභ පතන්න එකතු උන හැමෝටම අනේක වාරයක් ස්තූතියි.
ඒත් එක්කම උන්නැහේ කළ ඉල්ලීමක් අනුව මෙ ලින්ක් එක දෙන්නේ..පහු ගිය කාලෙදී ..මම දාපු පෝස්ට් එකකට...ඒකත් බලන්න...

ඒත් එක්කම...පරණ සටහන් අතර තිබුණු මගේ තවත් සටහනක් මේ තියෙන්නේ..
අන්තිමට මම තාමත් එදා හිටපු තැනම නේද..?

ගලා යන ඇළ දොළට..
හමා යන පවනකට..
පිපෙන මල් කැකුළකට..
හැකි වේද ජීවිතේ
පැතුම් මල් පුබුදන්න...

නිමා වූ වසන්තය..
යළිත් නොඑනා ලෙසේ..
බොහෝ දුර ගොසින් ඇත..
මතකයන් ඉතිරි කර..


කරුමක්කාර ජීවිතේ...කවදා ඉවර වෙයිද කියලා මංවත් දන්නේ නැති කරුමක්කාර ජීවිතේ...

21 comments:

  1. "ලෝකයක් දකින්නට පොපියනා හදවතින්..
    දියණියක් ඇත නුඹෙ කුස තුලෙහි දයාබර..
    ඇයයි මගෙ දිවි කතර කරනුයේ මල් යහන..
    ඔබට මා ණයගැතියි සදාකල් සැබෑවට..

    නුඹෙ දුක් වෙදනා මුදාලන මොහොතෙහිම..
    මගේ දුක් නිවාලන සුරගනය පැමිණෙනුයෙ..
    නුඹට ඇය දියණියයි..මට මගේ ජීවයයි..
    අනේ අම්මෙ නුඹට සදා මා ණය ගැතියි..

    ඔබට වාගෙම අම්මෙ ඔඛෙ පිය සැමියාට..
    තුති පුදන්නට ලොවෙ වදන් නැත මා සතුව..
    සදාකල් දුක් වින්ද අපිරිමිත දිවි ගමන..
    සනසවා නිවාලා ඇය ඒවි මගෙ ලොවට..

    දස මසක් කුස හොවා දරාගෙන දුක් ගගුළ..
    ඔබ හිඳී බලාගෙන දැක ගන්න ඇගේ රුව..
    පිය සෙනේ දරාගෙන ඔහු හිඳී ඔබ ළගම..
    ඇගෙ දිවිය සරසන්න..රැකගන්න බලාගෙන..

    ඔබ දෙපල වාගේම මමත් මග බලා ඉමි..
    මගේ මුළු ලෝකයම දෝතින්ම පිළිගන්න..
    එවන් වූ සුභ මොහොත එළඹෙනා යාමයට..
    අපි තිදෙන පිළිගනිමු චූටි දූ කුමරියව.."

    ReplyDelete
  2. හුම්ම්ම්ම්ම්ම්ම්ම් අනේ මන්දා අයියා මොනවා කියන්නද කියලා ....

    එයාගනත් හිතනවෙලාවෙව ඔයාගෑනත් හිතන්වනම් හොදයි..

    මොනදේ කරන්නත් ඔයා හොදින් ඉන්න ඔනේ නෙද ..?

    ReplyDelete
  3. නිමා වූ වසන්තය..
    යළිත් නොඑනා ලෙසේ..
    බොහෝ දුර ගොසින් ඇත..
    මතකයන් ඉතිරි කර..

    ඉතිං මොනව කියන්නද?

    -Praසන්ன-

    ReplyDelete
  4. නිමාවක් නොම දකින අනන්තවු සයුරු තෙර,
    දිසාවක් නොදැනමුත් පැද ගියෙමි දිවි පහුර,
    සිනාවක් ලෙසින් දුටු කලු වළාකුලු අතර,
    සදාකල් අහිමිවිය ඔබ සෙනෙහෙ පැතු සසර,

    ලසෝදුක් බර දරමි ඉවත ලන්නට නොහැකි,
    ගෙවා නිම කල යුතුය ඉරණමය මටම හිමි,
    ලොවට නොපෙනෙනා දුක් ගින්දරෙන් හද දවමි,
    මියෙන තුරු මට උරුම කඳුල දැයි නොදන්නෙමි,

    ReplyDelete
  5. මොනවා කරන්නද මාරයියේ..ආදරේදී ඔහොම තමයි.

    ReplyDelete
  6. මචං මට උඹට අවවාද දෙන්න බැරි ඒව වැදි බන වෙන නිසා. ඒත් හැමෝම කියනව වගේ උඹ උඹ ගැන ඔයිට වඩා හිතුවොත් හොඳයි නේද

    ReplyDelete
  7. මේක කියවලා කියන්න දෙයක් කල්පනා කරද්දි අහම්බෙන් වගේ මගෙ ඔලුවට ආවෙ ඊයෙ පෙරෙයිදා කියවන්න ලැබුණ මේ කවි පේළිය. බලපන් කොච්චර දෙයක් කියනවද කියල අපේ ජීවිත ගැන.

    ලොවැ සියල්ල බිඳෙයි, නොතිරයි දුකයි
    අපට ඒ සැබැවින් වෙනසක් නො වී
    වරද නම් ගිය කල් පෙරළා බලා
    තැවෙන සේ සිහියක් ඇතිවීම මැ යි

    -පියසමර-

    ReplyDelete
  8. අනේ මාරය්යේ මේ මොකද වෙලා තියෙන්නේ? ඇයි මෙහෙම විනාසවෙන්න හදන්නේ? වලව්ව පැත්තෙත් සෑහෙන කාලෙකින් ආවෙත් නෑ. වැඩකට ඇති වැඩක්ද ඔය කරන්නේ කියලා හිතන්නකෝ.

    ReplyDelete
  9. මගේ සුබ පැතුම පරක්කු වෙල හරි එයාට දෙන්න...
    මට කියන්න දෙයක් හිතාගන්න බෑ අයියේ...

    ReplyDelete
  10. අතීතය මතක් වෙද්දී දරා ගන්න අමාරුයි තමා. හැමකෙනෙකුටම එහෙමයි මං හිතන්නේ.

    ReplyDelete
  11. මේ පෝස්ට් එක දැක්කම මට හිතුනෙ එයා මාරයට උත්තර දෙනව ඇත්තෙ මෙහෙම කියල
    http://nommaraeka.blogspot.com/2010/12/blog-post_07.html

    ReplyDelete
  12. මද පවන් හමාවී-කැකුලු මල් පිපේවී වසන්තය යලියලිත් -ඔබ සොයා පැමිනේවි

    මතකයන් ඉවත්කොට-නව හැඟුම් පුබුදින්ට
    ජීවිතේ ජයගන්ට-පතමි නිරතුරු ඔබට

    ReplyDelete
  13. මතකය නම් වූ මළපොත පෙරළා
    මිය ගිය ඊයේ මිහිදන් කල මැන

    මේ කමෙන්ට් එකම තව බ්ලොග් එකකත් දාන්න වුනා.

    ReplyDelete
  14. වර්තමානයේ ඉඳන් අපි හැමදාම අතීතයට අඬන මිනිස්සු අය්යෙ.

    ReplyDelete
  15. "The worst thing is holding on to someone who doesn't want to be held on to."

    ReplyDelete
  16. ස්තූතියි හැමෝටම..දැන් තමයි නැගිට්ටෙ...

    ReplyDelete
  17. දුක හිතෙන කතාවක්නෙ. මාරයා දන්නවානේ අපිට වඩා 'ජීවිතය කෙටියි' කියලා.හිත හදා ගන්න මල්ලී.
    මටත් හරි ගියේ දෙවෙනි ප්‍රේමය...
    හැම දේම දිහා හිනා වෙලා බලන දවසක් ඔයාටත් ලැබෙයි.

    ReplyDelete
  18. මතකය ඇවිත් එබිකම් කර සිත ගාව
    කඳුලින් පිරි නෙත හඬවයි මුලු රෑම
    උරුමයි ජීවිතේ දුකනම් හරි බෝම
    හමුවී කිමද වෙන්වූයේ අපි මෙහෙම

    අනේ මන්දා යාළු විරහව එක්ක ජිවිතේ විදින්නද විදවන්නද කියලා කියන්න මට තේරෙන්නෑ

    ReplyDelete
  19. අනේ මන්දා ! ....අයියේ මොනවා කියන්නද ? මම උපදෙස් ගන්නෙත් අයියගෙන්නේ ..

    මොකක් නමුත් අවුලක් මාරේ අයියා ලඟඳීම කරගන්නවා ! ඒක මට හොඳටම දැනෙනවා ..පරිස්සමෙන් මචං


    ජයවේවා !!

    ReplyDelete
  20. උදේ කීප වතාවක්ම මේ පැත්තෙ ආවට මොකුත් ලියන්න තරම් නිදහසක් තිබුණෙ නෑ.
    මාරයාට ස්තූතියි ඉල්ලීමට කන් දුන්නට.
    මේ කවි පද ටික මට මැරෙනකං අමතක වෙන එකක් නෑ. ඒ තරම් සංවේදීයි.

    ReplyDelete
  21. කොතනක හරි ලොකු වැරදීමක් වෙලා වගේ........

    උඔට එයත් ලැබුනනම් මේ කතාව ​ගොඩක් වෙනස් වෙන්න තිබුනා නේද.....

    ReplyDelete