08 December 2010

හුවමාරුව...

සුමනදාස වට පිට බැළුවේය.අසිහියෙන් මෙන් සිටි ඔහු පියවි සිහියට එන්නට උත්සහ කලේය.

"ඇත්තටම මම කොහෙද ඉන්නේ, අතරමංවෙලාද..?"

මොහොතක් මේ පැනය තුළ සිටි ඔහු සැනසුම් සුසුමක් හෙළුවේ 'හුණු පිටිය' යයි සඳහන් නාම පූවරුව දැකීමෙන් පසුවය.නමුත් ඊ ළග ඇසිල්ලේ නැවතත් ඔහුගේ සිතේ ව්‍යාකූල ගතිය මතුවිණි.

"දැන් ඉන්නේ හුණු පිටියේ නම් ගණේමුල්ලේ ඉඳන් වැඩි දුරක් ඇවිත් නැහැ"
යන මතකය සිහියට නැගුණු බැවින් ඔහු නැවතත් මේ අවුලට පත්වූවේය.

"මම මේ කොහේද යන්නේ..?පලා යනවා..කුමකින් පලා යනවාද..?ජීවිතයෙන්ද..නැත."

අද දිනට නියමිත
'රමේෂ්ගේ මංගල සාදයෙන්' පලා යනවා..යැයි සිතමින් ලය සැහැල්ලූ කරගත් හෙතෙම සැනසුම් සුසුමක් හෙළිය.

"දැන් තමයි කල්පනාවට ආවේ..මම මේ කොහේ යනවාද..?"හරිනම් මම තව පැයකින් පමණ සිටිය යුත්තේ 'කිරිබත්ගොඩ' පිහිටි උත්සව ශාලාවේ තිඛෙන 'මංගල සාදයට' සහභාගී වෙමින් නොවේද..?

ඒත්...

ගැටළු රාශියකි.
අළුත් ඇගළුම්, කමිස,කලිසම්,බඳපටි,ඔරලෝසු,සපත්තු, මේවා තමාගේ හිස වටා කළු දෙබරුන් මෙන් කැරකැවෙමින් තමාට අනින්නට තැත් කරනවා නොවේද..?
සුමනදාසගේ අත ඔහු නොදැනුවත්වම කලිසමේ පිටුපස සාක්කුව තුළ වූ මුදල් පසුම්බිය කරා ඇදිණි.නමුත් සැණෙකින් ඒ අත නැවතත් ඉවතට ගියේ නැවත නොබැළුවත් එහි තුළ ඇති මුදල රුපියල් තුන්දහස් දෙසීයකුත් තවත් සිල්ලර කාසි කිහිපයකුත් වන බව සිහියට නැගීමෙනි.
රමේෂ්ගේ විවාහයට සහභාගී වීමට පමණක් නම් මේ මුදල සෑහෙන බව ඔහුට සිතිණි.
සපත්තු දෙකත් බඳ පටියත් නම්.. පැරණි ඒවා පාවිච්චි කල හැකි මට්ටමේ ඇත..
තරමක් මහන්සි වී ඒවා ඔප දමා ගත්කල එහි අඩුවක් එතරම් නොදැනෙනු ඇත..අළුතින් කමිසයක් කලිසමක් මිලදී ගැනීමට නම් තවත් රුපියල් දෙදහසකට ආසන්න මුදලක් වැය වේ..ඒ විතරක්ද..?
කවරයකට දමා රුපියල් දහසක්වත් රමේෂ් අත තැබිය යුතු නොවේද..?
එතකොට ඔරලෝසුවක්..?
තමා පාවිච්චි කරනු ලබන පැරණි ඔරලෝසුව මෙම අවස්ථාවට උචිත නොවන බව ඔහු දනී..එය පැළඳ එහි යනවාට වඩා නිකම් යෑම යෙහෙකි.
ඇත්තමයි,ඔරලෝසුවක් නැතිව මංගල සාදයට සහභාගී විය නොහැකිද..?
දින කිහිපයකට ඉහතදී කාර්යාලයේ සේවය කරනු ලබන 'ප්‍රියන්ත' කී කථාවක් එක් වරම සුමනදාසට සිහියට නැගිණි.

"දැන් සුමනේ, අළුත්ම විලාසිතාව තමයි පිළිවෙලක් නැතිකම.."


"ඒ කිව්වේ..?"පැනය සුමනදාසගෙනි.

"ඒ කිව්වේ සුමනේ දැන් කාලේ කමිස යට නොකර ඕනම තැනක යාම..ඕනෙ නම් ඒ කමිසෙට උඩින් ඛෙල්ට් එක බැඳගෙන යාම..කොණ්ඩෙ අවුල් වෙලා වගේ හදාගෙන යෑම..ඔරලෝසු නොබැඳීම..බැන්දත් තමුංට නොගැලපෙන ඒවා..ඒ කිව්වේ මේ බිත්ති ඔරලෝසු වගේ එව්වා බැඳගෙන යාම"....මේ ආදී වශයෙන් විශාල ලැයිස්තුවක් 'ප්‍රියන්ත'ගේ මුවින් ගලා ආ අයුරු සුමනදාසට සිහිවිණි.දැන් තමාට අවශ්‍ය තැනට එළඹී ඇත..ඔරලෝසුවක් අවශ්‍ය නොවේ...
එසේ නම් තමාට මංගල සාදයට යෑමට හැකි නොවේද..?
ඒත්...
මෙතෙක් වෙලා කළ දෙබරුන් රැසක් කැරකැවෙමින් තිබූ හිස වටා මෙවර කැරකැවෙන්නේ උක්දඩු දුන්න අතින් ගත් මල් හී සර විඳින්නට තැත් කරන 'අනංගයා' නොවේද..?

"මහත්තයා..මහත්තයා..."

සුමනදාස තිගැස්සිණි.ඒ හඩ ආවේ කොතැනින්ද..?අනංගයාගේ මුවින්ද..?නැත
තමා මෙතෙක් වෙලා වාඩි වී සිටියේ හුණු පිටිය ස්ටේෂමේ ලෑලි බංකුවක් මත නොවේද..?එතකොට මේ තමා ඉදිරියේ අසරණ මුහුණකින් යුතුව බලා සිටින්නේ කවුරුන්ද..?

"අනේ මහත්තයා මම ලොකු කරදරයක වැටිලා ඉන්නේ, මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද..?"

සුමනදාස තරමක තිගැස්මකින් යුතුව ඔහු දෙස බලා හිඳින්නට විය. නාඳුනන තරුණයා එක දිගට කියවාගෙන යන්නට විය.උනන්දුවෙන් නෑසුවත් ඔහු කියූ දේ සුමනදාසට වැටහිණි.
දුම්රියේ යන එන විට එවැනි කතා ඕනෑ තරම් අසන්නට ලැඛෙනවා නොවෙද..?
අම්මාට ඛෙහෙත් ගෙනෙන්ට ආ පුතාගේ මුදල් පසුම්බිය කවරෙකු හෝ විසින් සොරකම් කර ඇත.දැන් ඔහු මවට ඛෙහෙත් ගැනීමටත්..තමාට ආපසු යාමට මුදල් සොයා ගැනීමටත් ආධාර උපකාර පතයි.

'ගැටළුවක්..?'

තරුණයා කියනා අන්දමට කතාව සත්‍යය විය හැක,නමුත් ඔහු අත රැඳි

'ඛෙහෙත් තුණ්ඩුව..?'


සුමනදාසට කුකුසක් ඇති කරවයි.මුදල් පසුම්බිය නැති වූ පසු ඔහුගේ අතේ ඛෙහෙත් තුණ්ඩුව ඉතිරි වූයේ කෙසේද..?තරුණයාට වාසි සහගත ලෙස උත්තර තමාට සිතා ගත හැකි වූවත් මේ එවැනි අවස්ථාවක් නොවේ..
'මේත් බොරුකාරයෙක්..'

සුමනදාස ඔහුගේ සිත හදා ගැනීමට තමාටම කියා ගත්තේය.බොරුකාරයෙකුට මුදලක් දීමෙන් තමා රැවටෙන්නේ කුමකටදැයි සිතා ඔහු සිත හදා ගැනීමට උත්සහ කලේය.තරුණයා පවසන දුක්බර කතාව තමා අසල බංකුවේ වාඩි වී සිටි මහළු කතට තනිවම අසන්නට ඉඩ ප්‍රස්ථාව සලසා ඔහු එතැනින් නැගිට දුම්රියපල ඈත කෙළවරේ වූ අසුනකට ගියේ
යන්තම් ඇති
යැයි තමාටම කියා ගනිමිනි.අසුනේ හරි බරි ගැහී වාඩි වූ ඔහුගේ සිතට වේදනාවක් නොදැනුනාම නොවේ.කවදාවත් කෙනෙකුගේ දුකට පිහිට නොවී නොසිටි ඔහුට අද කෙනෙකුගේ දුක්ගැනවිල්ලවත් අසා නොසිට පලා ගියා නොවේදැයි කල්පනා වෙද්දී සිතට නැගි කණස්සල්ල පහ කර ගැනීමට මෙන් අවට බැළු විට නැවත තමා කල්පනා කරමින් සිටි කාරණය සිහිපත් විය..
නැවතත් මල්සරා හිසවටා බමන්නට විය..
"රූපා..."
ඔව් ඇත්තටම නමටම ඔබින රූපය..සුමනදාසට තම සිත් ගත් යුවතිය මෙනෙහි වීමත් සමගම සිතේ මෙතෙක් පැවති අසහනකාරී හැගීම් පෙළ වෙනුවට ඉතා සැනසිලි දායක හැගීම් පෙළක් පහළ වන්නට විය.
ඇගේ සොඳුරු රුව..දැකුම්කළු ගමන් ලතාව..තමාව සිහින ලොවකට කැඳවාගෙන යන ඇගේ මිහිරි හඩ..ඇගේ සෑම ඉරියව්වක්ම..අහා..සොඳුරු සිහිනයක් තුළ ජීවමානව පාව යන්නාක් මෙන් දැනෙන සුවය..සුමනදාස ඉතා ඕනෑකමින්ම වින්දේ ඔහු දෙස බලා සිටින අයකුට වූවද පැහැදිලිව පෙනෙන ආකාරයේ මෙතෙක් වෙලා ඔහු තුල තිබූ කාලකණ්නි පෙනුම දුරු කරමින් මුව පුරා නැගුණු ආකර්ෂණීය සිනහාවක්ද වත පුරා පැතිර යද්දීය..

අපි මුණ ගැසී හරියටම වසරක්..

සුමනදාසට එසේ සිහිපත් වූවද එම වසරක කාලය හරියට දැනෙන්නේ දින කිහිපයක් මෙනි.ඒ උනත් හමු වූ පළමු දිනේම කතාබස්කර හඳුනාගත්,එසේම ඉතා ඉක්මනින්ම ඒ හඳුනා ගැනීම ආදරයක් බවට පෙරළාගත් අපේ කතාවේ වර්ෂ පූර්ණය වෙනුවෙන් මා විසින් ඇයට සිහිවටනයක් ලෙස කිසිවක් තිළිණ කළ යුතු නොවේදැ..යි සුමනදාසට සිතුනේ වරක් දෙවරක් නොවේ..
විටින් විට ඇය තමාටත්..තමා ඇයටත්..යම් යම් දේ තිළිණ කලද..මේ යෙදෙණ විශේෂ දිනයේ සුවිශේෂ යමක් ඇයට දීමට සුමනදාසට තදින්ම උවමනා කර තිබේ.
ඒත් මේ සෑම දෙයකටම හරහාට හිටියේ අද පවතින මංගල සාදය නොවේද..?
මේ ගත වෙන්නේ සුමනදාස අත යහමින් මුදල් ගැවසෙන කාලයක් නොවේ..අතමාරුවක් ගැනීමටවත් තමා දන්නා හඳුනන හිතවත් අයකු නැත. හිටියත් අනුන්ට ණය වීමට එතරම් කැමති නැති තමා කෙසේ නම් ණයක් ඉල්ලන්නද..?

නව සේවා ස්ථානයට පැමිණ තවම මාස දෙකක්වත් නැත..තමා නැවතී සිටින බෝඩිමට පැමිණද ගත වී ඇත්තේ ඒහා සමාන කාලයක් නොවේද..?
'රමේෂ්'..ඔහුත් තමා මෙන්ම බෝඩිමේ සාමාජිකයෙකි.හඳුනාගෙන මාසයක්වත් නැති තරම් වූවත් ඔහු විසින් තමාටත් 'මංගල ආරාධනා' පතක් ලබා දී ඇත.
බෝඩිමේ සියල්ලන්ම එයට සහභාගී වූවද..තමාට එහි යාමට අපහසු කරුණු කාරණා ගනනාවකි.
පදිංචිය වෙනස් කිරීමත් සමගම වැය වූ අධික මුදල..බෝඩිමේ අත්තිකාරම් මුදල්..තමාගේ බඩු මුට්ටු ප්‍රවාහනය සඳහා වූ වියදම්...ආදිය මෙන්ම..
නව සේවා ස්ථානයට පැමිණි පසු තවමත් තමාගේ මාසික වැටුප නිසි ලෙස සකස් නොවීම ආදී හේතූන් මත සුමනදාස දැනට ආර්ථීක වශයෙන් ගැටළු රාශියකට මුහුණ පා සිටියි. ඒ අතරේ මංගල සාදයක් ඔහු කෙසේවත් බලාපොරොත්තු නොවීය..රූපාට යමක් තිළිණ කිරීම නම් අනිවාර්යයෙන් මග හැරිය යුත්තක් නොවේ..කුමක් කල යුතුද..?
"හ්ම්ම්ම්"...ඔහුටම නොදැනී දිගු හුස්මක් හෙළුණි.

මනාලයා ඇතුළු පිරිස මංගල ගමනට පිටත් වන්නේ බෝඩිමේම සිට බැවින් මේ මොහොතේ බෝඩිමේ රැඳී සිටියහොත් ඒ සඳහා නොයා සිටිනු නොහැකි නිසාම හදිසි ගමනක් යැයි කියා බෝඩිමෙන් පිටත්ව දුම්රියේ නැගී ආවත්..යා යුත්තේ කොහේදැයි කියා හරි නිගමනයක් ඔහු තුළ නොවීය..
කෙසේ හෝ පැය තුන හතරක් ගතකර ආපසු යෑම ඔහුගේ අභිප්‍රාය වීය..
කාලය..සුමනදාස පියවි සිහියට එළඹිණ..දුම්රිය ස්ථානයේ ඔරලෝසුවේ වෙලාව පෙරවරු එකොළහට ආසන්නව තිබිණි.

"යන්තම් ඇති පැය තුනක් විතර ගෙවුණා.."

දැන් ආපසු ගියාට කම් නැත. විවාහයෙන් පසු මනාලියගේ නිවසේ නැවතීමට යන නිසා නැවත 'රමේෂ්ව' ඉක්මනින් මුණ ගැසෙන එකක් නැත.බෝඩිමේ සාමාජිකයන්ට කමක් හෝ කිව හැක. ඇත්තම කිව්වත් කමක් නැහැ.රමේෂ්ටත් පසුව ත්‍යාගයක් පිරිනැමීමෙන් සියල්ලම විසඳාගත හැකි නොවේද..? වෙලාවේ හැටියට වෙන මොනවා කරන්නද..?
ආපසු යාම සඳහා ටිකට් පතක් ලබා ගැනීමට ප්‍රවේශපත් කව්ළුව වෙත පිය නගමින් සුමනදාස සිතීය.

"ගණේමුල්ලට එකක්.."

කියමින් මුදල් දීමට සාක්කුවට අත යැවූ සුමනදාසගේ හිස ගිනිගත්තේ මෙවෙලේය...

මුදල් පසුම්බිය..?
"ඇයි දෙයියනේ සාක්කුවේ තිබුණු පර්ස් එකට මොකද උනේ..?"

එය එහි නැත.කලබලයෙන් ආපසු හැරී දිවූ සුමනදාස මෙතෙක් වේලා තමන් වාඩි වී සිටි ස්ථානයට පැමිණියේය.එය එහිත් නැත???
එසේනම් කුමක් සිදුවීද..? දැන්නම් සුමනදාසට දෙලෝ රත් වී ඇත..
රූපාට අරන් දිය යුතු තිළිණය..ආපසු යාමට ටිකට්පත.. තමාගේ ඉදිරි දින කිහිපයේ වියදම්..එහි වූ හැදුනුම්පත හා අනෙකුත් දෑ..ඔහුට එකින් එක සිහියට නැගුණි.තමාටත් වූයේ අර තරුණයාට වූ දේම නොවේද..?
'තරුණයා..'
එක්විටම සුමනදාසට සිහිපත් විය. තමා කළින් වාඩි වී සිටි ස්ථානයට වේගයෙන් දිවයන සුමනදාසගේ සිත තදින් සැලෙන්නට වූ අතර..පසුගිය පැය කිහිපය තුල සිදු වූ සියල්ල චිත්‍රපටයක රූප රාමු සේ එකින් එක සුමනදාසට මැවී මැවී පෙනෙන්නට විය.
මුදල් පසුම්බිය එහි තිබේවිද..? නොතිබුණොත්..රූපා..ත්‍යාගය..ටිකට්පත..මංගල සාදය..
ආසනය මත යමක් ඇති වග සුමනදාසට දුරදීම පෙණිනි. නමුත් එය තමාගේ මුදල් පසුම්බිය නොවන වග අසලට ගිය විට ඔහුට වැටහිණි.
'තුණ්ඩුවක්..'
සුමනදාස සැලෙන දෑත් තුඩුවලින් එය දිග හැර බැළුවේ වෙන කල හැකි අන් යමක් නොමැති නිසාවෙනි.
ඛෙහෙත් තුණ්ඩුවක්..ඔව්..අර තරුණයා අත තිබූ ඛෙහෙත් තුණ්ඩුව..

මුදල් පසුම්බිය එහි නැත. ඒ වෙනුවට ආසනය මත ඇත්තේ ඛෙහෙත් තුණ්ඩුව පමණකි.
ඛෙහෙත් තුණ්ඩුවේ හිමිකරු වූ තරුණයා අත මේ වන විට තමාගේ පසුම්බිය රැඳී තිඛෙනු ඇත.මුදල් පසුම්බියේ හිමිකරු වූ තමා අත දැන් ඛෙහෙත් තුණ්ඩුවක් රැඳී ඇත....දැන් ඉතින්.......??????

......................
අදින් වසර දෙකකට පමණ ඉහතදී මා අතින් ලියැවී තිබූ කතාවකි...

19 comments:

  1. අපූරුයි කතාව යාළු

    ReplyDelete
  2. ම්ම්, හොඳ කතාවක් බං.... ජීවිතය රිය සක මෙනි.... !

    ReplyDelete
  3. ෂහ්
    නියමයි මාරයියෙ.
    පිල්ම් එකකට නම් මරැ ප්ෙලාට් එක.

    මට නිකම් කතාව මැවිලා පෙනුනා.

    ReplyDelete
  4. ලස්සනයි අයියා ..එකාන්ගික නාටියක් බෑලුවාවගේ...
    ජය..

    ReplyDelete
  5. මේ ටැලන්ට් එක නම් කාටවත්ම නෑ.

    ReplyDelete
  6. ටික දවසකට පස්සේ මාරයාගෙන් මාර කතාවක් ඇහුවා.... තරහා වෙන්න එපා කලින් ලිපි දෙක තුනට මුකුත් නොලිව්වට... ලියන්ඩ හිතපු හැම වෙලාවකම මම ම අතරමං වුණා මොනවා ලියන්ඩද කියලා....

    ReplyDelete
  7. සෝක් කතාව.

    ReplyDelete
  8. මේකනං මාරයි මාරයෝ...

    ReplyDelete
  9. එල කිරිස්....... පටන් ගන්න හරියෙදි හිතුනෙ මාරයගෙ කතාවක්ම කියනවද කියලා.. අන්තිමට යද්දි තේරුනා.. වෙන කතාවක් කියලා...

    ReplyDelete
  10. දැන් ඉතින් සුමනදාසට බෙහෙත් ගන්නයි වෙන්නෙ.... නියම කතාව මාරයෝ ......

    ReplyDelete
  11. අනර්ඝයි..කෙටිකතා සාහිත්‍යයේ රීති අනුගමණය කොට ඇත..ම්..ම්...අපි නම දාමු "බෙහෙත් තුණ්ඩුව" කියලා..

    සුලා..

    ReplyDelete
  12. ඉටිකිරිස්

    ReplyDelete
  13. අති විශිෂ්ඨයි හැරෙන්නට වෙනයමක් කොහෙන්ද කියන්නට...

    ReplyDelete
  14. එහෙන් වත් අක්කා කතා ලියනවා මෙහෙන් මාරයා ! ගින්දර වගේ මාරේ නියමයි ..කතා ලිවීමේ හැකියාව උපරිමයි ඔයාගේ ...

    මම මේ වගේ මල්ටි ටැලන්ටඩ් බුවෙක් දැක්කමයි ..! ඇත්තටම පුදුමයි !

    කතා ලියනවා , කවි ලියනවා , බන කියනවා , ජීවිතයට පාඩම් කියලා දෙනවා , ආත්මාරක්‍ෂක සටන් වලට අති දක්‍ෂ , උඹ වගේ වීර කොල්ලෙක්ව මම මැරෙන්න කලින් එක දවසක් හරි දැකගන්න ලැබෙනවනම් ! ..

    ඔයා සටන් ක්‍රම කියලාදෙන ලිපි පෙලක් දාන්න ..ඇයි ඔයාගේ සටන් ක්‍රම නිසා මම යන්තම් බේරුනා නේ !

    ජයවේවා !!

    ReplyDelete
  15. හොඳයි හොඳ නිර්මානයක්

    වමට සිග්නල් දාලා දකුනට හරවලා

    ReplyDelete
  16. අති විශිෂ්ඨයි

    ReplyDelete
  17. ලොවෙත් නෑ අය්යේ.ඔයට තියෙන ඔය හැකියව නම් මේ බ්ලොග් ලියන අයගෙන් වෙන තියෙ වත් අක්කට විතරයි.
    අඩත් කතාව සිරවටම ලියල තියෙනව.
    නිතර Comment නොදැම්මට මම හැමදාම කියවනව.

    ReplyDelete
  18. ස්තූතියි මගේ කතාව කියවා ප්‍රතිචාර දැක් වූ සියළුම දෙනාට...
    මෙ කතාව මගේ අතින් ලිය උනේ දැනට අවුරුදු දෙකකටත් කළින්..ඒ දවස්වල මම බ්ලොග් කියලා දෙයක් ගැන දැනගෙන උන්නේ නැහැ.

    ඒ දවස්වල මම හිටියේ ගම්පහට නුදුරු ඛෙම්මුල්ල කියන ප්‍රදේශයේ බෝඩිමක නැවතිලා..
    ඒ බෝඩිමෙ හිටිය කෙනෙක් විවාහ වෙන්න සූදානම් වෙලා ආරාධනා පත්‍ර ඛෙදුවා.
    හැබැයි මම එතනට ගිහින් ටික කාලයයි.
    මටනං හොඳ වෙලාවට ආරාධනා පත්තරයක් හම්බ උනේ නැහැ.
    ඒත් ඒ හම්බ වෙච්ච එක්කෙනෙක් මාත් එක්ක කිව්ව දුක් අඳෝනාවත් එක්ක මට හිතුනේ මටත් ආරාධනා පත්තරයක් හම්බ උනොත් කොහොම වෙයිද කියලා..ඒ අනුව හිතද්දී මගේ හිතට ආව සංකල්පනාවක් උඩ ලිය උන කතාවක් නමයි මේ.

    සුලා අයියේ උඹ කියනවනං එහෙමයි කියලා මම පිළි ගන්නං...ස්තූතියි.

    ReplyDelete