20 December 2010

මාරයා විසින් මාරයා හටම...

ඉතිං අද පෝය දවසත් වෙච්චි... වෙලාවනං පාන්දර තුන හමාරයි.
ඉන්නෙනං රාජකාරි ස්ථානයේ..එළි වෙන්න තව වෙලාව තියෙනත් එකේ මොන මොනවා හරි ලියාපාං ලියාපාං කියලා හිත කියන හින්දා ඔන්න පටන් ගත්තා...

ඉතින් පටන් ගත්තට මක්ක කියලා ලියන්ටද..?

මළ මගුළයි නෙව..මෙලෝ දෙයක් හිතට එන්නේ නැහැ නෙව...
අනිත් එක හිතට ආවා උනත් පෝය දවසටවත් ඔය අරයා මෙයා ගැන විස්තර විභාග නොකර ඉන්ට මං හිතට ගත්තා.

හරි අර කිව්වත් වගේ අද පෝයනේ...

රායිට් කස්ටියම වැඳ ගන්ට...

බහුම්පිචේ සහිතං භාසමානො
නතක්කරො හොති නරො පමත්තො
ගොපොව ගාවො ඝණයං පරෙසං
න භාගවා සාමඤ්ඤස්ස හොති...


කස්ටියට වැඳ ගන්ට කිව්වට මොකද අදනං මෙ බණ මටම තමයි කියන්නේ...

"ඒයි මාරයා... තෝ දන්නවා නේද ඔය ගාථාවෙ තේරුම..?"

"හුම් හුම් දන්නවා දන්නවා.."

"මොකද නිකං හොරකමක් කරලා අහු වෙච්ච එකා වගේ හුම් හුම් ගාන්නේ.. "

"නෑ ඉතිං මට කෙළවෙන්ට යන බණක් කියලා දැන දැන ඕවට හා කියලත් බැහැ හු කියලත් බැහැ නෙව.. "

"අනේ අම්මපා මාරයෝ..වටේ යන්නේ නැතුව කියාපං බලන්ට එහෙනං තේරුම... "

"හෆොයි...දන්නවා උනාට මොකද මතක නැහැනේ.."

"හ්ම් හ්ම්..බොරුව දාන්නේ නැතිව මතක හැටියට කියනවා හොඳයි.."

"හ්ම්ම්...
දැන් ඕක මෙහෙමනේ...
අපි හිතමුකෝ කවුරු හරි මනුස්සයෙකුට හරක් පට්ටියක් ඉන්නවා කියලා..ඉතිං ඒ මනුස්සයා මේ හරක් පට්ටිය බලා කියා ගන්ට කියලා බාර දෙනවා ඒ වැඩෙට සමත්කං තියෙන ගොපල්ලෙකුට.."

"හ්ම් හ්ම් ඉතිං..."

"ඉතිං වැඩෙ තියෙන්නේ අර ගොපල්ලා දැන් පුදුම මහන්සියකින් අර හරක් පට්ටිය බලා කියා ගන්නවා...හරක් රංචුව තැන තැන එක්ක ගිහින් උලා කන්ට සලස්සනවා..ඇළ පාරවල් අයිනට දක්කලා වතුර බොන්ට දෙනවා.. උන්ව නාවනවා..කිනිතුල්ලෝ කඩනවා... තෙල් සාත්තු කොරනවා...
හරක්ට ඉන්ට ගව ගාල් හදනවා..ඒවා නඩත්තු කොරනවා...
කිරි දොවනවා...ගොම්පස් එකතු කොරනවා..."

"ඔව් ඉතිං... "

"වැඩේ කියන්නේ මේ හැම හත්තිලව්වක්ම කොලත් උන්දැට අයිතිය තියෙන්නේ අර හරක් අයිතිකාරයා දෙන කීය හරි සොච්චම් වැටුපකට විතරයි..."

"මොන තරං කිරි දෙව්වත්..ඒ කිරි වලින් මොන තරං රසවත් දේ නිපදෙව්වත්..ඒ කිව්වෙ ඔය දී කිරි, වෙඩරු, ගිතෙල් වගේ ජාති..ආන්න ඒ කිසිම දෙයක රස බලන්ට මෙ ගොපල්ලට අවස්ථාව ලැඛෙන්නේ නැහැ.
ඒවා අයිති අර හරක් රංචුවේ අයිතිකාරයට විතරයි..ඔය එහෙං මෙහෙං හැලෙන අහුකොන් ටිකක් ඇර වෙන කිසිම දෙයක් නැහැ... "

"ආ මාරයා..දන්නේ නෑ කිව්වට ඔය අපූරුවට කියාගෙන යන්නේ..ඉතිං ඉතිං..ඉතුරු හරියත් කියමුකෝ.. "

"ඉතිං අන්න ඒ වගේ තමයි ඔය බණදහං දැනගෙන ඉඳිල්ලත්....
හුගාක් අය..බණ දහං දන්නවා..ඒත් ඉතිං..."

"මොකද ඒත් ඉතිං කියලා නැවැත්තුවේ..ලැජ්ජා වෙන්ට ඕන නැහැ..කියමු කියමු..."

"ඒත් ඉතිං අර දන්න බණ දහං වලින් ගන්න වැඩක් නැහැ..
අර ගොපල්ලා වගේ...
බණ කට පාඩං කොරනවා..
අනුන්ට කියා දෙනවා..
දැනමුතුකං කියනවා..
ධර්මය ගැන වාද විවාද කොරනවා...
ඒත්...
ඒ බණ දහං තමුන්ගේ ජීවිතේට ආදේස කොර ගන්නේ නැහැ... "

"ආ ආයෙමත් මොකද ඔය හොර පූසා වගේ ඇඹරෙන්නේ..?"

"නෑ මේ නිකං මටම ලැජ්ජයි වගේ..."

"හා හා ලැජ්ජා වෙන්ට කාරි නැහැ..කවුරුත් මනුස්සයෝ නෙව..මොකද උඹ කියලා අමුතු සතෙක්යෑ..අනික ඉතිං උඹත් ඔය බණ දහං තව ටිකක් උඹටම ආදේස කොර ගත්තනං මෙලහට නිවං දැකලානේ..ඉතිං ඒකෙන් කාරි නැහැ දැන් කියමුකෝ හරියටම පටලවලා ඔය තේරුම... "

"අපොයි අදනං මට මගෙන්ම ගැළවිල්ලක් නැති හැඩයි...
හරි ඉතිං මේකයි කතන්දරේ...
බණ දහං දැන දැනත් ඒවායිං තමුන් හැදෙන්නේ නැතිව..ඒවා තව තවත් ඉගෙන ගනිමින් අනිත් අයට කියා දෙන්ට විතරක් මහන්සි ගන්න එකා හරියට අනුන්ගේ හරක් බලන ගොපල්ලා වගේ... "

"ආන්න හරියටම හරි...දැන් තේරුණානේ..."

"තේරුණා නේන්නං.මෙච්චර දවසකුත් තේරුං අරං තමයි තිබුණේ...ඒකනේ දන්නවා උනාට ඕවා වැඩිය නොකියා මාරු වෙන්ට බලන්නේ..."

"ආන්න ආන්න..එළියට පැන්නා...
යකෝ මැටි මෝලෝ...තෝ දන්න දෙයිං පරයෝජනයක් ගනිං.. නිකං කාලකණ්නියා නොවී...
බලාපිය තොගේ හැටි...
කොයි වෙලේ බැළුවත් අපතයා වගේ බීගත්ත ගමන්මයි.
තෝ සත්තු මරන්නේ නැති උනාට ඔය බළු නගුටන්ට එහෙම ගල් වලින් ගහනවා නේද..?
ඇයි තොගේ වටෙ ඉන්න උන්ට දෙන ලණුවල සීමාවක් තියේද..?
හරි තෝ හොරකං නොකරනවා කියමුකෝ..ඒත් තොට ඔයිට වඩා දනට පිනට දෙන්ට බැරිද..?තෝ ඉස්සර කොළා වගේ දැන් මොකද නැති බැරි උන්ට ඉගෙන ගන්ට එහෙම කීය කීය හරි නොදෙන්නේ..යකෝ බොන සල්ලි දියකෝ ඉස්සර වගේම ශිෂ්‍යත්ව සල්ලි හැටියට..
ඒ විතරක්ද..? තෝ මේ ගෑණු පරාණයක් හින්දා අඩා ගත්තු ගමන්මයි..අල්ලලා දාපංකෝ..මල උලව්ව...මොකද තෝ ඔච්චරද ගෑනු දැක්කේ..තොට මතක නැද්ද ගැටයා සංදියේ තුන් වෙනි සිල්පදේ කෑලිත් නැති වෙන්ට කැඩුව හැටි...තොට තවත් ඇති උනේ නැද්ද ඔය ගෑණූ ජාතිය...
බලාපිය තෝ බණ දහං නොදැනද..?
අඩුම ගානේ සිල්පද පහ රැකපියකෝ...
තො අන්තිමට බාවා නාවනවා ඇර භාවනාවක් කොළ දවසක් තොට මතකද..?
අනේ අම්මපා තෝත් අනුන්ගේ හරක් බලන එකෙක් නෙව..?"

"අප්පා..ඇති ඇති... ඕක තමයි මං බණ ගැන වැඩි කතාවකට යන්නේ නැත්තේ..අන්තිමට මටම තමයි කෙළවෙන්නේ..."

"හුහ්..යකෝ තොට කෙළවෙන්නේ දැන් නෙවෙයි..ඔහොම ඉඳලා මැරිලා ගිය දවසක..අන්න එදාට තොට යන්ට අපායක් හොයන්ට වේවි.
තෝ චෛත්‍ය බැන්දට, පන්සල් හැදුවට, ළමයින්ට ඉගැන්නුවට අනුන්ට කොලාට තෝ තොට මොනවද කොරගෙන තියෙන්නේ..ඒ පිං හැමදාටම ඇති කියලද හිතන්නේ...?"

"ම්ම්ම්ම්........... "

"හරි හරි දැන් ඉතිං රිලවා වගේ ඇඹරෙන්නේ නැතිව අද ඉඳලවත් හොඳින් ඉන්ට බලාපිය..අනුන්ගේ හරක් බලන්නේ නැතිව... "

"බලමු.."

"මොනවා බලන්ටද..? හැදිය දැංවත්...ආවා මෙතන බලන්ට...

අනේ මංදා බණ අහලත් බෑ නොඅහලත් බැහැ..දැන් ඉතිං මේවා කොරන්ට පුළුවන් වැඩද..?
හපෝයි මගේ හිතේ තියෙන තණ්හාවක මහත..කිසි දෙයක් අත අරින්ට හිතෙන්නේ නැහැනේ...තණ්හාය ජායතී සෝකෝ තමයි...

ඒත්..ඒත්..අනේ මං දන්නේ නැහැ...

23 comments:

  1. සාධු සාධු සාධු. බණ නං මෙන්න බණ.
    මෙදා පාර නං ගොයියා මට්ටු වෙන්ඩම දේශනාව හම්බවෙලා තියෙන්නේ.. දැනුත් හැදෙන්නේ නැත්නම් ඉතින් කෝවෙ දාලා මකලා ගන්න වෙනවා. (දන්නවනෙ හිරේ යන්න බලාගෙන මකන්න වෙයි)

    මයෙ හිතේ මාරයා උපාසක අම්මලත් එක්ක වෙන්ටැති තුන් වෙනි සිල්පදේ පරසක්වල ගසන්ට ඇත්තෙ.

    ReplyDelete
  2. සාදු සාදු සාදු... හදේ ඇතිවුන ඉමහත් පිරීතියෙන් යුතුව මෙසේ සාදුකාර දුන්නේ මම් වම්හ..

    පලි: අනේ බං එන අවුරුද්දේවත් ඔය විදියට පිළිවෙලක් වෙයං..

    ReplyDelete
  3. අර හරක් පට්ටියෙ කතාව ඇහුවම මට මතක්වුනේ මුකදාන සිටුතුමාගෙ හරක් පට්ටියෙ කතාව... :)

    ReplyDelete
  4. හා,හා අද ඉඳන් වත් හොඳ මාර පුතෙක් වෙන්න බලන්න

    ReplyDelete
  5. මාරයා මේක මටවත් ද කිව්වේ?

    ReplyDelete
  6. මේ පාර මාරයා අයියා එයා ගැනම ලියලා. අපි හැමෝම ඔය වගේ තමයි බං මාරයා අයියේ. අපි අපිව තෙරුම් අරන් හිටියට අපි හැදෙන්න මොනවද කරන්න ඕනේ කියලා දැනගෙන හිටියාට, හරි පාර දැනගෙන හිටියාට හැමදාමත් වැරදි පාරෙමයි යන්නේ. ගිහිල්ලා කෙල උනාම කියනවා අපරාදේ මම දැනගෙන හිටියා ඔහොම වෙයි කියලා දැන දැනත් මෝඩ කමට ඒකම කළානේ කියලා. පෘතග්ජන මිනිස්සු නොවැ

    ReplyDelete
  7. මූ බණ කියන්නත් කලින් ම හැදිලා නොවැ උන්නේ... අමුවට ම දවල් කාපු දවසක් ඕන් ඊයේ අපි දෑහින්ම දැක්කා නොවැ... හැදියන් හැදියන්... අපිටත් බැරියෑ තව ටිකක අත්පුඩි ගහන්ඩ....
    ප.ලි.
    අපේ නෝනා නම් කිව්වා ‘මාරයා නම් මාරයෙක් ම තමයි‘ කියලා...

    ReplyDelete
  8. meewithakin gatha unsumwuwath sitha unusum wedooo...
    epa epa meewitha mage detholata.....epa epa meewitha mage detholata....

    MA DAN MAHALU WIYE...... MA DAN MAHALU WIYE...

    ReplyDelete
  9. ඔය අනුන්ට බණ කියන හැම එකාම ඒව තමනුත් ආදර්ශයට ගන්නවනං ලංකාව හැදිල ගොඩක් කල්.

    අද බණ ටිකනං නියමයි...

    ReplyDelete
  10. මේක නම් නියමයි..නියමයි කියන්නේ නියමයි...මයියා ට හොදටම හිතට අල්ලලා ගියා

    ReplyDelete
  11. අද කාලෙ ගොඩක් එවුන් ඔහොම තමයි. වෙන එවුන් තියා බණ කියන හාමුදුරුවරුත් ඔහොම තමයි.

    ReplyDelete
  12. අද නම් මාරයා ඇත්ත මාරයත් එක්ක සෙට් වෙලා වගේ...

    යක්කල පැත්තේ ගිය වෙලාවකද දන්නෑ ඔය දෙබස උනේ...

    මටත් ආරන්චියි කවුද කෙනෙක් ලයිට් කණුවකට වැඳගෙන බන දේශනා කරා කියලා අද පෝය දවසේ උදේ.

    ReplyDelete
  13. මාරයා අයියා උදේම මාරයා අයියට කිව්වලු "ඔවා දෙනු පරහට තමා සම්මතේ ලිහිටා සිට" කියලා සාදු...සා...දු..සා....දු...

    ReplyDelete
  14. ප්‍රීතී.. ප්‍රීතී.. ප්‍රීතී..
    අද බණ ටික නම් කියලා වැඩක් නෑ...
    හැදෙනව නම් කාට වුනත්, ඕන්න බණ........
    සාධු,. සාධු,. සාධු,.

    ReplyDelete
  15. බණ ටික නම් ෂෝයි . ඒත් ඔයා ඕව අපිට කියනවා විතරයිනේ . අඩුම ගානේ ඔය ජරා බීම වත් නවත්තලා නෑ නේ . මනුස්සයෙක් වෙන්න මාරෙ මනුස්සයෙක් වෙන්න

    හැමදාම බිබි ඉන්න බෑ නේ.

    පවුලක් පන්සලක් වෙන්ඩ , දරුවෙක් මල්ලෙක් හදාගන්ඩ , ඉඩමක් කඩමක් ගන්ඩ , හරකෙක් බානක් ගන්ඩ ,යාන වාහන ගන්ඩ , හට්ටි මුට්ටි ගන්ඩ , ඔයවගේ තව කොයිතරම් දේවල් තියනවද ඔයාට කරන්න ?

    මම ඔයාගේ ෆොටෝ පාරක් දැක්කා . සද්ධන්ත ඇතෙක් වගේ ඉන්නේ ඔය .

    ජයවේවා !!

    ReplyDelete
  16. සාධූ සාධූ
    අම්මෝ බණ ටික අහලා ඉවර උනාම නිකම්ම ඇඬෙනවා.

    ReplyDelete
  17. මේ වතාවේ මාර මඩ මාරයාටම . .
    අනේ බන් මාරයා හරිම අහිංසක පටයිනේ . . .
    අහිංසක මාරයෙක් . . . ශෝයි

    ReplyDelete
  18. අද බණ ටික නම් පංකාදුයි. අනුන්ට බණ කියන මිනිස්සු ඉන්න රටේ තමන්ට බණ කියා ගන්න මනුස්සයෙක් දැක්කාමයි. දැන්වත් හැදුනොත් තමා හොඳ :))

    ReplyDelete
  19. ඇයි හත් දෙයියනේ හැමදාම අපි කියන්නෙත් ඔය බණේම නේද ..?

    ReplyDelete
  20. මාරයා හැදිලා නම් අපිටත් සන්තෝසයි....මාරයා ගොඩ යෑමේ ප්‍රීතිය නිමිත්තෙන්...........අම්මෝ ඕවා කියල සෙරමන්ගෙන්ම බැනුම් අහන්න වෙයි..ලොවෙත් නැති වෙන්න...
    ඒක නෙමේ මාරයා මහා හැන්ඩි පොරක් නොවෑ...අපි පොටෝ ගොඩක් දැක්කා නේ,,

    ReplyDelete
  21. කවුද බං අර උඹට කියලා තියෙන්නෙ පවුලක් පන්සලක් වෙන්න කියලා.. මූ පන්සලක් වෙලා ගොඩක් කල්.. පන්සලෙන් පන්නලා ඊටත් වඩා කල්.. :P

    ReplyDelete
  22. මාරෙ, හැබෑටම ඔලුව මංඤ්ඤං වීගෙන එනවා වත්ද?

    බණ කියන ජාතිය අනුන්ට කියනව මිසක තමං පිළිපැද්දෙ කොයි රටේද බං?

    අනික, නිකං හිතහං, තැබෑරුමක් කොරන එකෙක් අනුන්ට බඩු විකුණනවා වෙනුවට තමං බොන්ඩ ගත්තොත් මක් වෙයිද?

    ඒ නිසා, නිකම් පිස්සු නැතුව කොල්ලෝ, ඔය ඉන්න විදිහටම ඉඳහං,

    බණ පිලිපදින්ඩ.... බම්බුව.....ඔව්වත් කොලෑකි දේවල්ය අම්මප ඔය කීවට,

    ReplyDelete
  23. ItalyDilan...

    කට්ටියනං බනී තමයි ඒත් ඉතිං උඹ විතරයි එහෙමවත් අනුග්‍රහයක් දක්වලා තියෙන්නේ...

    කට්ටියටම ස්තූතියි...
    මං දැං හොඳ ළමයෙක්...

    ReplyDelete