12 December 2010

පොලෝසියේ මතකය..මාරයා විශාකාවේ...

උදේ වරුවම ගෙදර දොරේ පුංචි පුංචි වැඩ ටික කරලා දාලා ටිකක් නිදහසේ ඉන්න දවස අද..ඉරිදා..
මටනං ඉතිං ඉරිදා කියලා අමුත්තක් නැහැ අදත් වෙනදා වගේම තමයි..ඒත් ඉතිං ලංකාවෙ හුගාක් අයට ඉරිදා කියන්නේ නිවාඩු දවසක්.

මට ඉතිං මගේ රාජකාරියේ හැටියට දවසක් ඇර දවසක් කොහොමත් නිවාඩු හින්දා ඒක ඒ තරම් වෙනසක් නැහැ.
හැබැයි මම ඉරිදට ගෙදර ඉන්නවට වඩා වැඩට යන්න කැමතියි.
මොකද ඉතිං අද ගෙදරට වෙලා හිටියා කියලා වැඩි වෙනසක් නැති හින්දා.
ඉරිදට වැඩ වැටුනම කිසි කරදරයක් නැතිව ඒ දවස ඉන්න පුළුවන්...
ඉන්න කට්ටිය මාරුවෙන් මාරුවට ආයතනය වටේ යන්න යොදවලා..ඒ අයටත් රෙදි හෝදගන්න, බයිසිකල් හොදගන්න දීලා..මාත් බයික් එක එහෙම හෝදගෙන නාලා කරලා කකුල් දෙකත් උඩින් තියාගෙන ලැප් එකේ එල්ලිලා ජාලගත වෙලා ඉරිදා ලංකාදීපයයි, දිවයිනයි එහෙම බලලා..
අළුතින් අපේ බ්ලොග් ලියන සහෘදයින්ගේ ලිපි එහෙම කියවලා ,ටිකක් සනීපෙට ඉන්න කියන දවසනේ...

ඒ හින්දා ඉරිදට, පෝයට, අළුත් අවුරුදු නිවාඩුවට මම වැඩ කරන්න කැමතියි.
අපේ අනිත් අයනං එහෙම නැහැ.මොකද නිවාඩු දවස්වලටනේ ගෙදර හැමෝම එකතු වෙන්නේ..ඒ හින්දා කොයි වෙලාවෙත් බලන්නේ ඒ වගේ දවස්වලට ගෙදර ඉන්න..
ඉතිං ඒ අයට පුළුවන් තරං ඒ විදියට නිවාඩු හදා ගන්න ඉඩ කඩ දෙන්න මම හැම වෙලේම උත්සහ කරනවා.
ඒත් ඉතිං හැමෝටම ඒ අවස්ථාව උදා කරලා දෙන්න බැහැ..එහෙම උනොත් එහෙම ඩියුටියට මට පිටින් කට්ටිය ගේන්නයි වෙන්නේ.
ඉතිං පුළුවන් තාක් දුරට ස්ව කැමැත්තෙන්ම නිවාඩු එහෙ මෙහෙ කරගන්න දීලා හැකිතාක් දුරට අවශ්‍යතා උග්‍ර තත්වයේ අයට සාධාරණ විදියට ඒ දේ කරලා දෙනවා...

හැබැයි ඉතිං කවදාවත් හොඳක් අහන්නනං හම්බ වෙනවා බොරු.

ඔය තත්වෙ මෙතන විතරක් නෙවෙයි..මීට කළින් මම වැඩ කරපු හැම තැනම ඔහොමම තමයි.
පොලිසීයේ හිටිය කාලේ අපිට මුළින්ම හම්බ උනේ බම්බල පිටියේ පොලීසියේ සේවය කරන්න කියලා මම මීට කළිනුත් කියලා තියෙනවනේ...

අළුත් නඩය හැටියට අපි විස්සක් විතර එහෙට ආවා.ඒ ආව පිරිසෙන් අංකය අනුව ෙජ්ෂ්ඨයා උනේ මමනං නෙවෙයි. ඒත් පුහුණු පාසලේ ඉඳලම කට්ටියව බලා කියාගෙන ආව පළපුරුද්ද හින්දා කණ්ඩායමේ නිල නොවන නායකත්වය මට පැවරිලයි තිබ්බේ..

ඒ අනුව දෛනික රාජකාරි සඳහා අවශ්‍යතාවයේ ආකාරයට අපේ උදවියගෙන් පිරිස ලබා දීම මගේ අතින් තමයි කෙරුණේ.

සාමාන්‍යයෙන් පොලිසියේ ඩියුටි රෝස්ටරය සතියකට අඳාළ වන පරිදි තමයි සකස් කෙරුණේ...

ඉතින් ඊට අමතරව පිරිසක් පොරොත්තු සේවයේ යොදවනවා.
අපිත් ආපු අළුත අහු උනේ මේ පොරොත්තු සේවයට..ඒ කියන්නේ නිල වශයෙන් නියම උන රාජකාරියක් හරියටම නැහැ.
ඒ ඒ වෙලාවට අඩු පාඩු වලට අපෙන් තමයි ගත්තේ...

ඉතින් ඒ දවස්වල ඉඳලම මම ඒ රස්සාවෙන් අහක් වෙනකල්ම අපේ අයට දවසකට නියම වෙන රාජකාරි අවස්ථා ගණන සුදුසු විදියට ඛෙදලා දෙන්න මට නියම උනා.
ඩියුටි දාන්න ගියහම කොල්ලෝ නාහෙන් අඩනවා..ඒකට මොකද නිවාඩු යවන්න ලෑස්ති උනහම ඉස්සරහටම පනින්න පොරකනවා.

මක් කරලවත් විසඳන්න බැරි ප්‍රශ්න ගොඩයි.
ඒත් ඉතිං මං කොහොම කොහොම හරි ගැට ගහගෙන ගියා..
කුරුළු හමුදාවේ ඉන්නකොටත් එහෙමම තමයි.

ආ ඊට කළින් කියන්න එපැයි..පොලිසියේ ඉන්නකොට එක පාරක් හුග දෙනෙකුට නිවාඩු ඕන වෙලා..අන්තිමට මං මට අයිති නිවාඩුත් වෙන එකෙකුට දීලා කරබාගෙන ඩියුටි අදිනවා.
හැබැයි ඔය කණ්ඩායමේ මූලිකයා වෙන එකෙත් වාසි තියෙනවා..ඒ තමයි ටිකක් විතර අවුලක් නැති තැන් තෝරගෙන ඩියුටියක් දාගෙන යන්න පුළුවන් වීම.

ඉතිං ඔය කිව්ව කාලෙත් මට එපා වෙලා හිටියේ මොන තරම් සාධාරණ විදියට නිවාඩු ටික ඛෙදලා දුන්නත් අපේ එවුන්ගේ බර බරේ...

අන්තිමට මට යකා නැගලා කට්ටියට ඕන කුදයක් ගහගන්න කියලා මාත් යනවා ඩියුටියක් කියලා ගියා රිසව් එක පැත්තේ...
මෙන්න ඉන්නවා හේරත් අයියා..මිනිහා තමයි ඒ දවස්වල බම්බලපිටිය පොලීසියේ ඩියුටි රෝස්ටරය හැදුවේ..

වැඩි කාලයක් මට ආස්සරය කරන්න හම්බ උනේ නැතත් මට මේ ජීවිතේදී හම්බ වෙච්ච හරි අපූරු මනුස්සයෙක්..
හොඳ රසවතා...

මී විතට වගේම..ගී පොතටත් පුදුම ඇල්මක් ආදරයක් දක්වන නියම කොල්ලෙක්.
මට තාමත් මතකයි මෑන්ස් තේ කොළ පෙට්ටියක් මුනින් නවලා ඒක මැද්දෙන් හිලක් විදලා..ඒ හිලෙන් තංගුස් නූලක් දාලා..ඒක කපා ගත්තු කොසු මිටකට සම්පන්ධ කරලා හදාගෙන තිබුනු අපූරු බේස් ගිටාර් එක..
ඒ වගේම ඒ තේකොළ පෙට්ටියටම පැත්තකින් අටවගෙන තිබුනු ටෙනිස් බෝලයක් යොදාපු ෆුට් එක..අර ඩ්‍රම් සෙට්වල තියෙන විදියට...

ඉතින් හැම හවස්වරුවකම වාගේ බැරැක්කයට වෙලා කොහෙන් හරි උස්සගෙන ආපු බොතල් දෙක තුනකට්ටියම ඛෙදා හදාගෙන බීලා අර තේකොළ පෙට්ටියෙන් නිර්මාණය කර ගත්තු ඩ්‍රම් එක සහ බේස් ගිටාරයත් තවත් අතට අහු වෙන ඕනම දෙයක් සංගීත භාණ්ඩ බවට පත් කරගෙන කපුගේ මහත්තයාගේ ගීත කියන හැටි අදටත් හීනියට දෙකක් දාගත්ත වෙලාවට මට සිහි වෙනවාමයි..මේ දැන් වගේ.

ඉතිං ඔන්න අර මට අම්බානකට එපා වෙලා රිසව් එක පැත්තට ගිය වෙලාවේ..හම්බ උනා කියමුකෝ හේරත් අයියා...

"මොකද මල්ලී නිකං අප්සට් මූඩ් වගේ..."

"නෑ හේරත් අයියා මට මේ අපේ උන්ව නිවාඩු අරින්න ගිහින් එපා වෙලා තියෙන්නේ.."


"ඕවා ඔහොම තමයි මල්ලී..මේ මට පේන්නේ නැද්ද..මොන මගුල කළත් හැමදාම හැම එකාගෙන්ම බැනුම් තමා..
මොකද මේ තියෙන ඩියුටි වලට මම මුන්ව දාන්නේ නැත්තං කොල්ලූපිටියේ පොලිසියෙන් ගෙනත් දාන්නද..?"


"ඒක නේන්නං.. ඩියුටිවලට නං දෙන්න ගියාම එකෙක් නැහැ අයියේ..ඒකටත් එක්ක නිවාඩු කිව්වහම..ඇඳන් වලට උඩින් එන්නේ..."

"ගනන් ගන්න එපා බං ඕවා ඔහොම තමා.."

"හ්ම්ම්.. කියලා වැඩක් නැහැ... මුන්ට නිවාඩු හැදුවට මගේ නිවාඩු ටර්න් එකත් දැන් සති දෙකකින් පහු වෙලා..ඒත් කොහේද..මුන්ගේ ආච්චිලා මැරෙනවානේ එලෝ කෝටියට..එහෙම උනහම උන්ව ගෙදර අරිනවා මිසක් මට නිවාඩු යන් හිතෙන්නෙත් නැහැ..ඒත් ඉතිං ආච්චිලා මැරෙන එකේ ඉවරෙකුත් නැහැ."
හරි බං දන් මොකද කෙරෙන්න ඕන..?

"අනේ බං අයියේ මාවත් ඔය කොහාට හරි ඩියුටියකට තල්ලූ කරලා දාපන්..මුන්ගෙන් ටිකක් ඈතට වෙලා ඉන්න..."

"හරි මල්ලී ආතල් ඩියුටියක් තියෙනවා..උඹ හවසට වෙපන් එකක් දාගනින්කෝ..මම සෙට් කරන්නම්."

"අම්මේ ලොකු දෙයක් අයියේ..මම හවසට රෙඩි වෙලා එන්නම්." කියලා මාත් ආවා බැරැක්කෙට.
හවස පහට විතර යුනිෆෝම් දාගෙන මං ආමරියට ගිහින් ඩියුටි ලිස්ට් එක බලලා දා ගත්තා වෙපන් එකත්..

ආ ආමරිය කිව්වම මතක් උනේ...

ඒ දවස්වල ඉතින් අපිට ඩියුටියට වැඩි පුරම දුන්නේ ටී එයිටිවන් (T-81) වෙපන් එක...
මළකඩ ලෝකයයි..ඇයි මූද අයිනේ ලූණු හුළගට අහුවෙලා..මලකඩ කනවා බලාගෙන ඉද්දී...
යුනිෆෝම් එක ඉවරයි මලකඩ වලට...
කොටින්ම වෙපන් එක අපිට දෙද්දී ආමරියේ ඉන්න සාජන් ගොයියා විහිළුවට වගේ කියනවා..

"කොල්ලනේ ඕක ගත්තට කමක් නැහැ වෙඩි තියන්නේ බලාගෙනයි" කියලා...

"උඹලට වෙඩි තියන්න ඕනනම් කොකා ගස්සලා තුවක්කුවේ බටේ මූණ පැත්තට හරවලා බාලාපියව් පතොරම එළියට එනවද කියලා එහෙම එනවා වගේ පේනවනම් අල්ලපල්ලා ඉලක්කේ පැත්තට"...
කියලා..

ඒ තරමට බැරල් එක ඇතුලෙත් මලකඩ..වෙඩි තිබ්බට උණ්ඩෙට අර මළකඩ කඩාගෙන එළියට එන්නත් සෑහෙන වෙලාවක් යනවා.
හැබැයි මම ඕකට මගේම ප්‍රතිකර්මයක් හොයා ගත්තා..ඒ තමයි පීවීසී ගම්.

මොකද අපිට තුවක්කුවල තීන්ත ගාන්න බැහැනේ..
එකම දේ තමයි ඔයිල් කරන එක..ඒත් තෙල් ගෑවුනහම මලකඩ මදිවට අර තෙලූත් ඇදුම්වල..එපා වෙනවා...

මම කලේ ටිකක් ලොකු පීවීසී ගම් බෝතලයක් අරන් තියාගත්ත එක...

නිතරම යුනිෆෝම් එකේ ඇගේ ගෑවෙන පැත්තේ වෙපන් එක ගත්ත ගමන් ගානවා ගම් තට්ටුවක්..ටික වෙලාවක් සුදු මැලි වෙලා..ඊට පස්සේ නියමෙට ඒක වේලෙනවා..බැළු බැල්මට කාටවත් එක පාර කියන්න බැහැ මොනවත් ගාලා කියලා.
අන්න ඒ ක්‍රමයට තමයි මම යන්තං යුනිෆෝම් එක බේරගත්තේ...

ඉතිං වෙපන් එකත් අරන් ගිහින් බැළුවා ඩියුටිය කොහේටද කියලා..

අම්මටහුඩු...

විශාඛා විද්‍යාලය..ප්‍රශ්න පත්තර මුර කිරීමේ රාජකාරි.

මායි තව පරණ බුවාලා දෙන්නෙකුයි සතියකටම විශාකාවේ ඩියුටියට දාලා...හේරත් අයියා කියන්නේ මිහිපිට දෙයියෙක් කියලා මට හිතුනා.

ඉතිං මොනවා කියනවද..?ගියා ඩියුටියට...

එතකොට පාසල් නිවාඩු කාලේ..උසස්පෙළ විභාගය අවසන් වෙලා..ඒ ප්‍රශ්න පත්තර බැළිමේ රාජකාරිය තමයි විශාකාවේ කෙරුණේ...

හැබැයි ඉතිං වැඩේ කියන්නේ...අපි හිටිය කාලය පුරාවටම මමනං ප්‍රශ්නපත්තර තිබුණේ කොහේද කියලා දැක්කෙත් නැහැ..දන්නෙත් නැහැ...
අපි මුර කොලේ අහවල් එකක්ද කියලා අපිම දන්නේ නැහැ...

සතියකට ඩියුටියට ගියා උනාට මොකද හේරත් අයියා ඊ ළග සතියෙත් අපිව එතනම ඩියුටි කන්ටිනිව් කරලා දාලා තිබ්බා...

ඉතිං අපිට විශාකාවේ කාර්යාල කාමරයක් නැවතුම් පල විදියට හම්බ උනා...

ඇඳන් දෙකයි විශාලා මේසයයි..

ඇඳන් දෙ පරණ බුවාලට දීලා මම මේසය පාවිච්චි කලා නිදා ගන්න.
තුවක්කු තුනම කබඩ් එකකට දාලා ඉබ්ඛෙක් දාලා යතුර සාක්කුවේ දාගත්තා එක උන්නැහේ කෙනෙක්.

මම දවස් තුනක් ගෙදර ගිහින් ආවා.කිසි අවුලක් නැතිව...මොකා කියලා හොයලා බලනවද..?
එන දවසේ අම්මා බත් මුල් තුනක් උයලා දුන්නා අපි තුන් දෙනාටම..කෙහෙල් කොළවල ඔතලා..
මස් උයලා ගොටුකොළ සම්බෝල හදළා..නඹර කජු වලට පරිප්පු මිටකුයි කීරමින් කරවලයි දාලා හින්දවලා...

ඒ බත් එකේ රස අදටත් මට දැනෙනවා. අර මගේ රාජකාරි සගයින් දෙන්නත් බොහෝම සතුටෙන් ඒක බුක්ති වින්දා විතරක් නෙවෙයි..ආයෙත් ඩියුටිය දික් උනා කියලා දැන ගත්තු ගමන් මට ආයෙමත් ගෙදර පලයන් කිව්වා.
මගෙත් මොකද ආයෙමත් මම දවස් දෙකක් ගෙදර.
ආයෙත් බත්...

ඒ සති දෙක පුදුම සැහැල්ලූවෙන් ගෙවිලා ගියා...ගෙදර යනවයි, කනව බොනවයි, නිදා ගන්නවයි ඇර කරපු මෙලෝ දෙයක් නැහැ.
දැකපු ප්‍රශ්න පත්තරේකුත් නැහැ.

මම ආවාට පස්සේ තව එක්කෙනෙක් ගෙදර ගියා මායි වික්‍රම අයියයි විතරයි..මෑන්ස් හැමදාම හවසට එළියට ගිහිල්ලා කොත්තු දෙකකුයි ගල් බෝතලේකුයි අරගෙන එනවා..කොහෙන් හරි...

දෙන්නත් එක්ක යාන් හෑලි කිය කිය බෝතලේ හිස් කරලා කොත්තු කාලා දොයි.

අන්තිමට සති දෙක අවසානයේ ආපහු පොලෝසියට එනකොට මෙන්න ඉන්නවා අපේ එව්වෝ ටික හුළං ගිය බටර් බනිස් වගේ...

බැළින්නම් මුන් ටික මම නැති අතරේ නිවාඩු ගන්න පොරකාලා..දවසක් රිසව් එක ළග හෙන සද්දෙට වැඩේ යද්දී ඕඅයිසී මහත්තයා ඇවිත්..මල පැනපු පාර මාසයක් යනකල් එකෙකුටවත් නිවාඩු නැහැ කියලා ගිහිල්ලා...මදැයි කොළා..
ආච්චිලා මැරෙන එකත් නැවතිලා...

හැබැයි ඊට පස්සේ මට නිවාඩු හදන්න කරදරයක් උනේ නැහැ...
කට්ටියම සද්ද නැතිව තමන්ගේ වාරේ එනකල් බලං ඉන්න පුරුදු උනා.

38 comments:

  1. අගට එනකොට ඉබේම හිනා ගියා කට්ටියගෙ මූණු මතක් වෙලා...

    ReplyDelete
  2. චෙජනා නංගි හුග දවසකින්..සංතෝෂයි...වාගෙම ස්තූතියි.

    ReplyDelete
  3. හුඟ දවසකින්..? කමෙන්ට් නොකළත් මම හැමදාම එනව නෙ.. :)

    ReplyDelete
  4. සමා වෙන්ට ඔන..
    මම හුග දවසකින් ඔයාව කොමෙන්ට් එකක් හරහා දැක්කේ ඒකයි...
    ගණන් ගන්ට එපා...කාපු බීපු වෙලාවට කියන කතා නෙව..

    ReplyDelete
  5. මාරයෝ තාම බැරි උනා නේ මාරයා කරපු ජොබ් සෙට් එක ගනන් කර ගන්න,,,ගැන්නට ආයෙත් වරදිනවා මොකද තවත් අලුත් ජොබක් එන්ටර් වෙනව නේ...

    ReplyDelete
  6. අම්මපා අර විදියට මලකඩ කාපු තුවක්කු වලින් වෙඩි තියෙන්න ඉස්සෙල්ලා පිටගැස්මට ඉන්ජෙක්සන් ගහගන්න වෙයිනේ

    ReplyDelete
  7. සමහර කාල එනවා අයියා ජිවිතේ පට්ටම ලස්ස්නයි අයියා..

    ReplyDelete
  8. ඇත්තටම මේකනම් මාර ජිවිතයක්

    ReplyDelete
  9. උඹලා ඇවිල්ලා හොරා පොලිස්. නරින්ට කුකුල්ලු බාර දුන්න වගේ ඇති විශාඛා එකේ මුර කිරිල්ල. අපිට කොහෙන්ද පූසො මාළු....

    ඔක්කොමත් හරි ඇයි යකෝ මෙහෙම අපිට දුක් දෙන්නෙ. අර අම්ම කෙසෙල් කොලේ ඔතල දීපු බත් එක ගැන කියනකොට කෙල ලීටර් දෙකහමාරක් විතර සෝස් ගාල ගලනාලය හරහා බඩට ගියා..... අපිව කෙල ගිල්ලෝලා මරන්නද යන්නෙ ?

    ReplyDelete
  10. ItalyDilan...

    ම්ම්ම්..මම මෙ රස්සාව ගැනනං නිතරම කියලා තියෙනවා.
    අම්මපා වෙලාවකට මටත් මතක නැහැ නෙව..?

    ReplyDelete
  11. sameerausa...

    නැහැ නැහැ..මලයා..ඒවායින් තියපු එකක් වැදුනම තමයි පිට ගැස්මට ඇවිත් මැරෙන්නේ...

    ReplyDelete
  12. ඉලංදාරියා...

    සමහර කාල නෙවෙයි මල්ලියේ..අදටත් ජීවිතේ ලස්සනයි..ඒත් ඒක පේන්නේ දැන් නෙවෙයි..තව ටික කාලයක් ගිහින් අද දවස අතීතයට එකතු උනාට පස්සේ..එදාට මම අද ගැන කියනකොට ඒකත් ලස්සනට හිටීවි.

    ReplyDelete
  13. ayesha...

    එහෙම තමයි නගේ..ජීවිතේ මාරයි...

    ReplyDelete
  14. දුමී...

    ආ ආ එතකොට අපි විතරයි..
    අර මල්වානේ යාළුවා..කව්ද නිලන්ත නේද..අන්න මෑන්ස් ඇවිත් අර නෙලලා ගිය කොස් හට්ටිය ගැන එහෙම කිව්වෙ අපි වෙන්න ඇති නේද..?හිහ්..හිහ්..

    ගණන් ගන්න එපා දුමියෝ..මට නිතරම ඔය කෑම බීම ගැන මතකය කියැවෙනවා...

    ආ තව එකක්...
    ආසාවට කියලා එක ගෑණු දැරිවියෙක් හිටියේ නැහැ දුමියෝ..නිවාඩු කාලේ..නිවාඩු කාලේ...
    හනේ හෆොයීයීයී...

    ReplyDelete
  15. නියම ලයිෆ් එක මාරේ අයියේ ! ඔය තරම් ෆන් ජීවිතයක් තිබිලත් මොකෝ බං දුකසේ ඉන්නේ ? උඹට වගේම තමයි මටත් ඉස්සර. අතීතයක් මිස හෙටක් නෑ ..! ඒත් දැන් මට ෂෝයි කෙලිපොඩ්ඩක් ඉන්නේ ! උඹත් අයියා ඉක්මනට ඉවරයක් වෙයං (කසාද පාරක්) මම එහෙම කීවේ මාරේ අයියා අතීතය මතක් කරමින් සතුටුවනවා දැකලයි ... ජීවිතේ මෙහෙමයි ..

    ආ තව එකක් ..අපේ ආයතනයේ ඇබෑර්තු තවම තියනවා !

    ජයවේවා !!!

    ReplyDelete
  16. හිස් අහස...

    දුක..දුක කියන්නේ මොකක්ද මලයා..මෙහෙම වෙලාවට මොන දුකද..?
    හිහ් හිහ්..

    ReplyDelete
  17. "කාපු බීපු වෙලාවට කියන කතා නෙව.. "

    ඒ කියන්නෙ දැන් කාල *බීල* ඉන්නෙ නේද ?

    :)

    ReplyDelete
  18. අඩේ මාර අයියගේ ජීවිතේ මාරම මාරයි.........

    ReplyDelete
  19. කෙහෙල් කොළවල ඔතලා..
    මස් උයලා ගොටුකොළ සම්බෝල හදළා..නඹර කජු වලට පරිප්පු මිටකුයි කීරමින් කරවලයි දාලා හින්දවලා.......
    බඩගිනියි බං.

    ReplyDelete
  20. මාරෙ අයිය මාරයි නෙ. අද තමයි මේ බ්ලොග් එක පැත්තෙ මුලින්ම අවේ. ඕං නොකිව්වයි කියන්න එපා මීට පස්සෙ නම් හැමදාම එනව.

    ReplyDelete
  21. මේ මාරයෝ,

    මොන මගුලක් උනත් කමක් නෑ උඹ එහෙම ඔය 'හිස් අහස' මලයගෙ කම්පැණිය පැත්තෙ නම් සෙට් වෙන්න එපා. යකෝ, ඉඳලා ඉඳලා ලංකාවට එන්නෙ ලංකාවෙ අරක්කු ටිකක් රහ බලන්න කියලා, මුන් දෙන්න සෙට් උනොත් ඉතින් අර දැන් කුකුල් මස් වලටයි, බිත්තර වලටයි වෙච්ච එකේ අනිත් එක වෙනවා. ඒ කියන්නෙ අරක්කුත් පිට රටින් ගෙන්නන්න වෙනවා...

    ඔන්න බලහන්, උඹනම් පුදුම කෑම දාස කෙනෙක් තමයි. මටවත් මතක නැති කොස් හට්ටිය තාම උඹේ ඔළුවෙ තිබුනනේ.....මට කන්න පින නැති උනත්....

    ReplyDelete
  22. චේජනා...

    හුටා..ඒකත් මාට්ටුද..?

    ReplyDelete
  23. sithuwilimandiya...

    දැන් ඔවා මතක් වෙනකොට මටත් බඩගිනි නොහැදෙනවා නෙවෙයි..මක්කා කොරන්නද..?
    අර පේන්නේ නැද්ද දුමියා...ඒකා කෙළ පොම්ප කරනවා..දුක තමා.

    ReplyDelete
  24. දුමී...

    බයවෙන්න එපා බං..ඒකලාගේ ගම් පළාතේ මුල්ල පටස් තියේ...
    අලක්කු වගේද එව්වා..හිහ්..

    ඇත්තටම මගේ ඔළුවෙ ඔය කොස් හට්ටිය විතරක් නෙවෙයි...
    ඉස්සර සතියකට අනිවාර්යයෙන් දවසක් අපේ තාත්තා මගේ උවමනාව හින්දම මට තම්බලා දෙන කොස් මුට්ටිය මතක තියෙනවා...

    එදාට ඉතිං බත් නැහැ.
    තම්බපු කොස් මැටි කෝප්පෙන් එකයි...ඒක නැවිලා යන්න කිරි හොදි ගැළුමයි, කරවෙන්න බැදපු හාල් මැස්සෝ හරි කාරල්ලෝ හරි අහුරකුයි..ලුණු තවරලා බැදපු වෙලිච්ච මිරිස් කරල් දෙක තුනකුයි..
    ආයේ ඉතිං වෙන මොනවද..?

    ඉතිං ඒ මතකය උඹෙ කොස් හට්ටියෙන් ආයේ මතක් උනාම ඒකත් හිතේ පැත්තකින් එල්ලුනා නෙව...

    හරි හරි මම කෑමදාස තමයි...බොලා..?හනේ මගෙ කට..

    ReplyDelete
  25. ලස්සන කතාවක් තමයි.

    අර තුවක්කුවෙන් වෙඩි කාල පිටගැස්ම හැදිල තමයි මැරෙන්න වෙන්නෙ.
    හොද වෙලාවට ප්‍රශ්න පත්තර තිබුණෙ නැත්තෙ. නැත්තං රෑට ගල් බෝතලේ ගහල නිදාගෙන ඉන්න වෙලාවට ප්‍රශ්න පත්තර වලට දෙයියංගෙම ආරක්ෂාවයි.

    ReplyDelete
  26. අප්පා කොසුයි කිරිහොදියි කරවලයි නියම කෑමක් නෙ ඔකට පොල් සම්බල් ටිකකුත් තිබා නම් මරු.

    මිනිස්සුන්ට නිවාඩු දෙන එක තරම් එපා කරපු දෙයක් තවත් නෑ බන්. කොච්චර දුන්නත් කිව්වත් වගෙ හැමදාම මොකෙක් හරි මැරෙනවා.

    ReplyDelete
  27. ඕයි අපි මේ ලංකාවෙන් දුර ඉන්න මිනිස්සු හරිය.
    ඔය වගේ කෑම ජාති ගැන කියලා
    අපේ හිත් වලට දුක් දෙන්න
    උඹේ ගල හිතක්ද මාරයෝ. .
    අහ් සොරි හිත ගලක්ද මාරයෝ.

    ReplyDelete
  28. විශාකාව... :)
    මිහිරි මතකයන් ගොඩක සහ අමිහිරි මතකයන් ගොඩක ඇරඹුම..

    ReplyDelete
  29. ane man kawadawath ohoma kama kala nane :( lankawata awa gaman kanawa owa.
    mara aiyata pudumakara widihata sameepa kamak therenawa samaharawaita aiyage jiwithe apith ekka beda ganna hinda wenna athi

    ReplyDelete
  30. අයියෝ මම හිතුවේ මාරයියා විශාකාවේ බාලිකාවෝ ටිකත් බලාගෙන රාජකාරි ටික යස අගේට කරන්න ඇති කියලා

    ReplyDelete
  31. Praසන්ன...

    පස්සේ දැන ගන්න ලැබුනේ..ප්‍රශ්න පත්තර තිබිලා තියෙනවා අපි හිටිය තැන ඉඳලා මීටර් 50ක් විතර දුරින් තිබුනු ගොඩනැගිල්ලේ..කවුද ඉතිං ඔවා දන්නේ..අපිත් ගියා..මුරත් කොළා...ඒත් ඉතිං මොන මගුලක් මුර කලාද කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ තමයි...

    ReplyDelete
  32. දුකා...

    හික්..සමාව භාජනේකට දානවා හොඳයි...

    ReplyDelete
  33. Grey...

    හ්ම්ම්..මට නිකං හිතා ගත්තෑකි වගේ...

    ReplyDelete
  34. sudu...

    හම්ම්ම්..කවුද මෙ...?
    ඒ කියන්නේ ඔයා ලංකාවෙ නෙවෙයිද..?
    කමක් නැහැ මෙහෙට ආවාම ඇද ඇරෙන්නත් එක්ක අල්ලමු.

    බොහෝම ආදරයෙන් මාර අඩවියට පිළිගන්නවා.දුක සැප මැද මෙ යන ගමනට..

    ReplyDelete
  35. Hasitha...

    ඒක නෙවෙන්නං මලේ..කොහේද..නිකං ඛෙහෙතකට කියලාවත් එක ගෑණු පරාණයක් නැතිව ගියා නෙව...

    ReplyDelete
  36. මේ පෝස්ට් එක නම් මාරේ අයියා අපිට කෙල ගිල්ලවන්න ලියපු එකක්.ඒක නම් සුවර් සොට් ඈ...
    කෙහෙල් කොළවල ඔතලා...
    මස් උයලා ගොටුකොළ සම්බෝල හදළා...
    නඹර කජු වලට පරිප්පු මිටකුයි කීරමින් කරවලයි දාලා හින්දවලා...

    අනේ අම්මපා මම නම් මේ විදිය කෑම එකක් ජිවිතේට කාලා නෑ.ඕං...

    ReplyDelete
  37. යකෝ උබව මුන ගැහුනොත් අවුරුද්දක් විතර බාර් එකක් හිස් කොරන්ට කතා ඇති නොවැ. මාත් මේ මුලින්ම පොලෝසියේ කතාව ඇහුවෙ..

    නිවාඩු පාඩු වෙලාවක මුන ගැහෙමු ලංකාවට පය ගැහුවම.. ලබන අවුරුද්ද දිහා.

    ReplyDelete