20 December 2010

මාරයාගේ ඉවුං පිහුං...අඹ මාළුව...

මුලින්ම කියන්න ඕන මේ ලිපිය බැළීමට අවසර ඇත්තේ දැනට ලංකාවේ වාසය කොරන උදවියට විතරයි.
ඒක බොහෝම තදින් බලපවත්වන නීතියක්...
නැත්තං අන්තිමේට මට බැහැ මේ පෝය දවසේ එක එක්කෙනාගෙන් බැනුං අහන්ට...
ඕනමනං ඉදිරි සති දෙක වගේ ඇතුළත මෙහාට කඩං පාත් වෙන්න බලං ඉන්න උදවියටත් අවසර දෙන්නං අනං මනං තර්ජන දාන්න බැහැ කියන පොරොන්දුව මත විතරක්...

ආ විශේෂ නිවේදනය..දුමියාට මෙම ලිපිය කියවීම සපුරා තහනං. ආයේ නොකිව්වා කියන්න විතරක් එපා.

.......................................

ඉතිං අද පෝය දවස...
අද වගේ දවසක අපේ බහුතරයක් නොවන උපාසක ඇත්තෝ ඉන්නවා මස් මාංශ පිළහුඩු ජාති අනුභව නොකර මසින් මාංශමය ආහාරයෙන් තොරව සකස් කරන්නට යෙදුණු ආහාර පමණක් අනුභව කොරන..මං එහෙම කිව්වේ අපේ බොහෝමයක් ඇත්තන්ට දැන් පෝයය කියලා අමුත්තක් නැහැ හාල් මැස්සෙක්වත් නැත්තං බත් ඩිංග උගුරෙන් පහළට රූටවා ගන්න අමාරුයි.
අපේ පැරණි උදවියනං ඕං අද වගේ දවස්වල මස් මාංශ කනවා තියා කොටින්ම ගොයිතැන් බත් සදහාවත් උදැල්ලක් අතින් අල්ලන්නේ නැහැ..මොකද පොළොවේ ඉන්න කුඩා සතුන් මිය යාවි කියලා හිතලා..එහෙව් ජාතියකට අද ගිහිං තියෙන කල...

හුම් හුම්..ඒවයින් කාරි නැහැ..තම තමුන් කොරගන්න දේවල් තම තමුන් ගෙනියයි කිව්වළු...

.......................................
හරි අපි බලමු මුළින්ම අවශ්‍ය ද්‍රව්‍යය...

ආ මං මේ කියන්නේ මං පිළියෙල කොරන ගානට ඇති පදමට තමයි..ඒ කියන්නේ මම දෙවේලකට හරියන්න උයන විදිය තමයි..මට දෙවේලයි කියන්නේ දෙදෙනෙකුට සෑහෙන ගාන කියලා කියමුකෝ..(හොරෙන් හරි දුමියා මේක බැළුවොත් ඔන්න මට මාට්ටු වෙන තැන)

බාගෙට පැසුණු අඹ ගෙඩි දෙකක්..
මතක තියා ගන්න අඹ මාළුවට රසම අඹ තමයි කොහු අඹ..හැබැයි ඉතිං ටිකක් චාටර්..කාලා ඉවර උනහම දත් අස්සේ තියෙන කොහු ඉවත් කරන්න වෙනම මෙහෙයුමක් කොරන්ට ඕන..ඒත් ඉතිං ඒ කාලා ඉවර උනහමනේ..කොහු අඹ නැත්තං ඉතිං සාමාන්‍ය අඹ වර්ගයක් ගන්ට පුළුවන්..හැබැයි ඔය කර්තකොලොම්බන් එහෙමනං එච්චරම හරියන එකක් නැහැ. හොඳ ඇඹුල් වර්ග තමයි මෙකට යා දෙන්නේ...හුගක් පැහිච්ච අඹ ගන්ටත් එපා ඒවත් අප්සෙට්...පිහියෙන් ගෙඩිය මැද්දෙන් ඇටයත් එක්කම ටිකක් විතර බර දාපුවාම පළන්ට ඇහැකි මට්ටමට තියෙනවනං අන්න ගාණ...

දිග අදට සිහින්ව ලියා ගත් අමු මිරිස් කරලක් හෝ දෙකක්..
ශුද්ධ කර සිහින්ව කපාගත් මධ්‍යම පුමාණයේ රතු ළුණු ගෙඩි හතරක්..
පොතු ඉවත් කර යන්තමට තලා ගත් සුදු ළුණු බිකක්..
කරපිංචා ඉත්තක්..
බැදගත් උළු හාල් ඇට පහක්..
රම්පේ කැබැල්ලක්..
කුඩා කුරුදු පොතු කැබැල්ලක්..
ගම්මිරිස් ඇට දෙකක්..
කහ කුඩු තේ හැදි කාලක්..
මිරිස් කුඩු තේ හැඳි බාගයක්..
බැදගත් පහේ කුඩු තේ හැඳි එකක්..(මෙන්න මේක තමයි වැදගත්ම දේ අඹ, ඇඹරැල්ලා,පොළොස් පැහි, කළුපොල් මාළුව ඒ විතරක් නෙවෙයි සෝයා මීට් උයද්දී උනත්)..
සාමාන්‍යයෙන් අමු පහේ කුඩු තේ හැඳි දෙකක් විතර බැද්දහම ඒක හැඳි එක හමාරකට විතර අඩු වෙනවා..ඉතිං අපිට අවශ්‍ය බැද්දට පස්සේ තේ හැඳි එකක් විතර තමයි..පහේ බදිද්දී කබලක් හොඳින් රත් කරලා..රත් උනාට පස්සේ පහේ කුඩු ටික බඳින්න ඕන..එක් තත්පරයක්වත් නිකං ඉන්නේ නැතිව හොඳට හැන්දකින් පෙරළමින් බඳින්ටත් ඕන..එතකොට පහේ ටික කර නොවෙන්ට බැඳ ගත්තහැකි..පහේ ටික දුඹුරු පාට වෙලා ඊ ළගට කළු පාට වීගෙන එනකොට කබල බිමට බාලා පහේ කුඩු ටික වෙන භාජනයකට ඉවත් කර ගන්න ඕන ඉක්මනට..නැත්තං අගුරු රහක් එන්න පුළුවන්..මතක තියා ගන්න පහේ කළු වෙන්ටත් ඕන පිච්චෙන්නැති වෙන්ටත් ඕන..මොකද ඔය බැදපු පහේ ටිකින් තමයි අපේ අඹ මාළුවේ නියම රහ රඳා පවතින්නේ...
සීනි තේ හැන්දක්..
මිටි කිරි කෝප්ප තුන් කාලක්..
දිය කිරි හෝ වතුර කෝප්පයක්
කුඩා අර්තාපල් අලයක්..මේක බොහෝම නැගලා යන වැඩක්..ඔය මස් මාළු වර්ග පහේ බැදලා උයද්දී උනත්..ආ සෝයා මීට් උයනකොටත් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්...අල ගෙඩිය හතරට විතර පලා ගත්තම ඇති..
තෙල් මේස හැන්දක්..
අබ ඇට ස්වල්පයක්..
වියළි මිරිස් කරලක්..

හරි පළමුවෙන්ම අඹ ගෙඩි දෙක හෝදලා ඇස්ස කපලා දෙකට පලන්න ඕන..එහෙම පළලා අර මැද්දේ තියෙන අමු ඇට කැබළි ඉවත් කර ගන්න..අඹ ඇටයේ පොත්ත ගලවන්න ඕන නැහැ..
ඊට පස්සේ නැවත වතාවක් මැද්දෙන් කෑළි කැපුවොත් තැම්බීමට පහසුයි.ඒත් ඕනවට වඩා කුඩා කරන්නත් එපා...

දැන් ඇතිළියක් ලිපේ තියලා ගින්දර ටිකක් රස්නේ වැඩි කරලා ඇතිළිය රත් වෙන කොට එයට තෙල් ටික දාල..ගින්දර ටිකක් විතර සැර බාල කරන්න..තෙල්වල බුබුළු දාලා නවතින මට්ටමට ආවම අබ ඇට..කෑලි වලට කැඩුව වියළි මිරිස් කරල කුරුඳු පොත්ත සහ සුදුළුණු එයට එක්කර මදක් බැදෙන්න ඇරලා අර අඹ කැබලි ටිකයි අල කෑළි ටිකයි එකතු කරලා විනාඩියක් විතර දෙපැත්ත පෙරළලා අර මිටි කිරි ටික ඇර අනිත් සියළුම දේ භාජනයට එකතු කරන්න..කවුරු හරි මේ තෙම්පරාදුවට අකමැතිනම් තෙල්, අබ,වියළි මිරිස් ඇර අනිත් දේවල් මුළින්ම ලිපේ තියලා මඳ රස්නයෙන් තැම්ඛෙන්න අරින්නත් පුළුවන් ආයේ ඒකේ වරදක් නැහැ.

ඇතිළිය හොදින් වහලා මේ දේවල් තැම්ඛෙන්ට අරින්න අපේ අඔ ටිකයි අල ටිකයි හොඳින් තැම්බීගෙන එද්දී අර මිටි කිරි ටිකත් එකතු කරලා ටික වේලාවක් හැඳි ගාමින් ලිප මතම තියාගෙන ඉඳලා..කිරි ටික රත් වෙලා නටන්න ගත්තහම ගින්දර හුගාක් අඩු කරලා යාන්තං රස්නෙන් භාජනය වහලා අඹ මාළුවේ ඉස්ම හිෙඳත්ට අරින්න..යන්තමට වගේ අඹ මාළුව අඩිය ඇල්ලූවට වරදක් නැහැ..අඹ ලෙල්ලක් දෙකක් ටිකක් විතර පිච්චෙන්ට පටන් ගන්නකොටම ලිපෙන් බාන්න...ඔය අඹ මාළුව නියම පදමට ඇවිල්ලනං ඒ මාළුවේ සුවඳත් එක්ක පාං බාගයක් විතර කන්ට අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්ට ඕන..කළු පැහැති හොඳි බොරය මත ලා කහ පාටට තෙල් පෑදිලා තියෙනවනං ඒ කියන්නේ ඔබ දිනුම් කියන එකයි.

මේ අඹ එකට උම්බලකඩ ටිකක් හරි කරවල කට්ටක් හරි දැම්මානං ඒකත් ඉස්තරං..ඒත් අමතක කොරන්ට එපා අද මං කිව්වේ පිළිහුඩු ජාති නැතිව හදන විදිය තමා.

ඉතිං දැන් ඔය අඹ මාළුව කෑමට සූදානං.

තව එකක් කියන්ට එපැයි අද පෝය හින්දා නොවුනනං..ඕකට නියමෙට අල්ලලා යන්නේ හුරුල්ලෝ කරවල තෙල් දාලා තමයි.ආයේ වෙන කිසිම දෙයක් නෙවෙයි හුරුල්ලෝ කරවල..

කවදාවත් අඹ මාළුවත් එක්ක සුදට උයාපු හොඳිවර්ග ගාවා ගන්න එපා..ඒකෙන් වෙන්නේ අඹ මාළුවේ රසය අඩු වීම විතරයි..අඹ මාළුවේ නියම රස විඳින්ටනං අඹයි බතුයි විතරක් තිබුන උනත් හොඳටෝම ඇති.
සුවඳත් එක්ක පාං බාගයකුත්..මාළුවත් එක්ක තව එක හමාරකුත් වශයෙන් දැන් තියෙන ජාතියේ පාං ගෙඩි දෙකක් හීනියට ගිලලා දාන එකත් අමාරු වැඩක් නෙවෙයි..ඒ තරමටම පාං වලටත් යාදෙනවා...
ඉඳි ආප්ප වලටත් ඕක මරුවා...

පෝෂණය පැත්තෙන්නං මං කියන්ට දන්නේ නැහැ..ඒත් ඉතිං ආයේ කලවමක් නැතුව තනි මාළුවක් හැටියට බත් කනවනං ඔයිට වඩා දෙයක් තවත් නැහැ..ඒ තරමට දිවිය ලෝක රහයි..

අන්තිම වශයෙන් කියන්ට ඕන දේ තමයි..මමනං ආසම අඹ මාළුවෙ කෑලි ටික ඛෙදලා පැත්තකින් තියලා බත් මිටක් දෙකක් අර උයාපු ඇතිළියට දාලා පිහගෙන කන්ට තමා..ඕං...

හරි බලමුකෝ තැමති උදවිය හදලා බලලා රහ කියන්නේ නැතැයි.
විශේෂයෙන් අද මම අඹ මාළුව හැදුව හින්දා මේ පෝස්ට් එක දැම්මා කියලා හිතන්ට එපා.
දන්න අය කොච්චර හිටියත් ඕක හදන්ට දන්නේ නැති අය එක්කෙනෙක් හරි හිටියොත් ඉගෙන ගනීනේ කියලා හිතුන හින්දයි.

උයනවා කියන එක හරි අපූරු කලාවක්...
ඒ සඳහා තමුන් යොදා ගන්නා අමුද්‍රව්‍යවල ගුණාත්මක භාවය මෙන්ම ප්‍රමාණයද හොඳින් දැනගෙන..නිසි දේ නිසි විදියට නියම වෙලාවට හරි පරිස්සමට කරන්ට ඕන දෙයක්.

එහෙම නැතුව තියෙන පලියට ඔක්කෝම කුළු බඩු ටික කලවං කරගෙන එක පාරටම තම්බ ගන්න එකට කියන්නේ උයනවා කියලා නෙවෙයි මරනවා කියලා.

හා හා ඔය ඇති...
දුමියා එන්ට නැතිව ඇති අදනං..

27 comments:

  1. උඹ දන්නවද මලේ...මේ කාන්තාරෙදි උනත් දෙසතියකට වරක්වත් ඇඹරැල්ලා ව්‍යංජනයක් හරි අඹ ව්‍යංජනයක් හරි හදාගන්නවාම තමා..ඒකෙ රහ දන්නෙ උඹ මං වගේ ගොඩේ උදවියම තමා...නරකද "මාර සූපවේදය" කියලා පොතක්වත් ගැහැව්වොත්..

    සුලා..

    ReplyDelete
  2. නරකද රූපවාහිනියෙ යන කුකරි වැඩසටහනක් මෙහෙයවන්න ගියොත්.

    කියල වැඩක් නෑ නියමෙට විස්තර කරල තියෙනවා අඹ මාලුව හදන හැටි.
    උලුහාල් ඇට පහ ගානටම ගැනල දාන්න ඕනද?

    දැන් ඉතිං මේක මේ විදියට හදල බලමු.

    ReplyDelete
  3. පූසාගේ කටට කෙලත් ඉනුවා

    ReplyDelete
  4. හලේ.... මගේ කට ඇවිස්සුවා නේද.... හෆොයි... අපේ අත්තම්මට දැන් විසුමක නෑ ඔක මට හදල දෙනකල්.... අනේ මක්කටැයි ඒ වයසක උන්දැට කරදර කරන්නේ මමම හදා ගෙන කන්නම්......තැන්කූ මාරේ අයියේ...ගුරු මුට්ටිය........ඌ...ප්ස්... සොරි සොරි.. මුෂ්ඨ්ය තියාගන්නේ නැතුව රෙසිපිය දුන්නට...

    ReplyDelete
  5. වාව් . . අර දුමිය කිව්ව වගේ "මාරයාගේ කෑම හෝරාව" බ්ලොග් එක මාරයි.

    මගේ ඔපීසිය පහල මලබරි කඩේ තියෙනවා උයන අඹ.

    හිටු අදම ගෙදර උන්දෑට අඹ ටිකක් ගෙනිහුන් දීලා මේ රෙසිපි එක ටැස් කොරලා බලන්ට කියන්ට . .

    තැන්කූ වේවා හරිය

    ReplyDelete
  6. වෙජිටේරියන් අපිටම කියපු භාන්ඩේ ..අම්මට කියලා හදාගන්න ඕන ඒත් කොහෙන්ද අඹ අපේ පැතේ අඹ ගස්වල ගෙඩි සේරටම වවුලෝ වැඩේ දීල ...හරි අමාරුයි අඹ හොයන්න

    ජයවේවා !!

    ReplyDelete
  7. ම්ම්ම්... කටට කෙල උනනවා.අද හදන්න ඔනේ අඹ මාලුවක්.

    ReplyDelete
  8. තව පොඩ්ඩෙන් දුමි අයියගෙ කී බෝඩ් එකට වෙච්ච වැඩේම වෙනවා මගෙ කී බෝඩ් එකටත්.... මගෙ ෆේවම ෆේවරිට් කෑමක් තමයි අඹ මාළුව... මාරයා ලියල තියෙන විදිහට කෑව වගෙ තමයි ඕං...
    ආ... අනිත් එක අර බත් මිටක් ඇතිළියේ දාලා පිහගෙන කන එක මගෙත් පුරුද්දක්... මටනම් අඹ මාළුවෙ විතරක් නෙවෙයි ඕනම කෑමක රසය හොඳටම දැනෙන්නෙ එහෙම කෑවම...

    ReplyDelete
  9. මාරයියේ පිලිහුඩු කිවුවෙ මොනාද?

    ReplyDelete
  10. ප්‍රවීණ සූපවේදී මාරයා මහතා ඔබ වෙත තිළිණ කරන මාරයාගේ කෑම හෝරාව ඉදිරියේදීත් බලාපොරොත්තු වන්න. :))

    ReplyDelete
  11. දුමියාගේ කෙළ බේරේ.... අනේ අම්මපා තෝ අපිට දෙන වදයක්...!

    හරි හරි බලමු බලමු මේකත් ටෙස්ට් කොරලා... හැබැයි ගම හාමිනේ දැක්කනම් මට ඉතින් අබු ඩාබි වලින් හැරිලා අර තිසා හාමිගේ ගෙවල් ගාවට වගේ යන්න වෙනවා උයන අඹ ගේන්න....

    (අපි කොහොමත් කරන්න එපා කියන දේවල් තමා ඉස්සෙල්ලාම කරන්නෙ..)

    ReplyDelete
  12. දැන් එතකොට මේකට අඹත් ඔනේ ඇති නේ ? :P

    ඔන්න ට්‍රිප් එකක් යනවානම් උදේට පාං කන්න කියාපු බාන්ඩේ :D

    ReplyDelete
  13. mango hoya ganna bari pitaratiyanta kola pata apple ganna puluwan

    ane aiye hurullo karawala thel dana hatith ohommama dammanam....

    ReplyDelete
  14. මේ බවක් කලින් දන්නවනම් ඊයෙ එනකොට හදන් එන්න කියනවනේ

    ReplyDelete
  15. අපේ කැන්ටිමේ අඹ මාලුව ඇඹරැල්ලා මාලුව නිතරම තියනවා. ඒවා නැත්තං අපි කාල හමාරයි....මොන යකා ඉවුවත් ඕක රස නැතිවෙන්න උයන්න බෑ.
    /කුම්භකර්ණයා

    ReplyDelete
  16. පිටරටක නම් තමයි ඉන්නෙ,ඒ වුනාට අපේ දිහෑ අඹගහක් තිබේ. ළමයින්ගෙ අම්මත් රසට අඹ මාලුවක් උයනව,මේ රෙසිපි එක පෙන්නල අහන්නම් තව දියුණු කරන්න ඉඩකඩ තියේද කියල.

    ReplyDelete
  17. මාරයෝ පිටරට ඉන්න අඹ නැති උදවියට කරන්න වැඩක් තියනවා, අඹ තරම් රසට නැති උනත් අඹ කියල හිතලා ගිල දාන්න පුලුවන්, අපේ අම්මා ටෙස්ට් කරලා හැදුවේ අඹ වෙනුවට කොළ පාට ඇපල්....නරකම නෑ වැඩේ ඔන්න ඇපල් මාලුව......
    මාරයෝ ගල්කිස්සේ පබිලිස් ගොයියට ඇටෑක් එකක් දෙන්න වගේ නේද යන්නේ. (ප්‍රවීන සූපවේදී මාරයගේ වැඩක්)

    ReplyDelete
  18. අනේ අම්මාපල්ල උඹත් කොරන වැඩ.. දැං ඉතිං මේක දිහා බල බල හූල්ලන්ට තමා වෙන්නෙ.. අඹ ගේන්ට කඩේ යන්ට දැං බෑ, එළියෙ පට්ට හීතලයි අප්පා..

    ReplyDelete
  19. අම්මෝ මෙයා දන්න දේවල්

    ReplyDelete
  20. අම්මේ රස...ඒත් ටිකක් ඇඹුල් වගේ..මාරයාගේ කෑම හෝරාව ගොඩක් වටිනවා...

    ReplyDelete
  21. @නිපු පිලිහුඩු කියන්නෙ පිලිහුඩුවාගෙ මශ් වලට :P

    (කරවල,මාලු,මශ් ආදිය = පිලිහුඩු)

    ReplyDelete
  22. අපි නොකාපු අඹ මාලු....හදන්න බෑ....කන්න නම් හපන්........

    ReplyDelete
  23. මම මෙච්චර කාලෙකට මුකුත්ම උයල නෑ,
    ඒ උනාට මේක දැක්කම,
    අඹ මාලුවක් උයල බලන්න හිතුන....
    වැඩේ වැරදුනොත් උපදෙස් ගන්න ඔයාව හොයන් එනව මාරයියෙ, අවුලක් නෑනෙ?

    ReplyDelete
  24. මට නං ඉතිං මේ දවස් වල ඔය වගේ දේවල් වලින් අඩුවක් නැහැ.... එපා වෙන්ඩම කන්ඩ හම්බවෙනවා මගේ ආදරණීය නැන්දම්මාගෙන්.....
    තරහා අවසර ඇත්නං ඊයේ මරු වල් ඌරු මස් ටිකකුත් හමිබවුණා නොවැ... කියලා වැඩක් නැහැ. පංකාදු පහයි....

    ReplyDelete
  25. අද මම අඹ මාළුවක් හදන්න කියලා හොයදද්දි මේක හම්බුනේ තෑන්ක්ස්

    ReplyDelete
  26. පරණ පෝස්ට් එකකට රිප්ලයි එකක් වැටිලා හින්දා උත්තරයක් දීලා යන්න කියලා ආවම දැක්කේ.. “තවත් එක උත්තර නොදී මාරු උන පෝස්ට් එකක්“ .. :D
    මං මාරු.. :D :D: D

    ReplyDelete