31 January 2010

පිළිවෙලක් නැති පෙම් කතන්දර...

ඔන්න අද මම කියන්ඩ යන්නේ මගේ නරකම පැත්තක් ගැන.
දැන් වගේ නෙවෙයි මගේ ජීවිතේ ඒ තරම් බරක්පතලක් නැති පුංචි එකා සංදියේ ඉදන් මගේ තිබුනු නරකම පැත්තක් තමා මෙ පෙම් පටලැවිලි...
(දැන් නම් ඉතින් එහෙම නැහැ. )
මෙ ආදරෙ කියන එක මොකක්ද කියලා දන්නේවත් නැති කාලෙක උනත් මට ගෑනු ළමයි ගැන පුදුම බැදීමක් තිබුනා.
හැබැයි ඉතින් හැම කෙනා ගැනම නෙවෙයි. පුංචි කාලේ ඉදන් හම්බ උන සුවිශේෂී අය විතරයි.
මම කැමති ගෑනු ළමයින්ව දකින්න ,ඒ අයත් එක්ක කථා කරන්න, අමුතුම ආසාවක් පොඩි එකා කාලේ ඉදලා තිබුනා. ඒත් ඉතිං බයයි. මොනවා කරන්නද හිච්ච් එකා නෙව.
එතකොට ඔං මට වයස.. ම් ම් ම්... ඔව් අවුරුදු 8ක් විතර ඇති.
ඉස්කෝලෙ 2-3 පංති වල වගේ තමයි. මුලින්ම කියන්න ඔන ඒ වෙන කොටත් අපේ ගෙවල් ගාව මට වඩා මාස 6ක් විතර වැඩිමල් ,මාත් එක්කම හැදුනු වැඩුනු ළමයෙක් හිටියා.(මම එයා ගැන වෙනම පෝස්ට් එකක් ලියලා තියෙනවා)
ඉතින් එයායි මායි ගැන නෙවෙයි මෙ ලියන්න හදන්නේ. මගේ පංතියේ හිටපුඅපිට වඩා අවුරුද්දක් බාල ළමයි දෙන්නෙක් ගැන ලියන්න.
දැන් ඔයාලා බලයි අවුරුද්දක් බාල ළමයි අපේ පංතියේ කොහොමද ඉන්නේ කියලා නේද?

එච්චර හිතන්න එපා ඒ ගෑනු ළමයි දෙන්නගේම අම්මලා අපේ ඉස්කෝලෙ ටීචර්ලා. ඉතින් මෙ දෙන්නා ඉගෙන ගන්නත් දක්ෂයි. ඒ දවස්වල ඉතින් මගේ සුපිරිම කාලේ පළවෙනියා කියන එක මගේ නමටම ලියලා දීලා තිබුනේ සින්නක්කරෙටම. ඉතින් මම සියළු විෂයන්ට ලැබිය හැකි මුළු ලකුණු වලින් හත අටක් අඩුවෙන් අරගෙන පළවෙනියා වෙද්දී හැමදාම දෙවෙනියා උනේ ඒ දවස්වල මගේ පරම හතුරා වෙච්ච (පහු කාලෙක අපි සාමාන්‍ය මට්ටමෙ යාළුවෝ උනා) දි.... කියන ළමයා. ඔන්න ඊට පස්සේ අවුරුද්දක් බාල උනත් අපේ කථා නායිකාවෝ දෙන්නා වරින් වර මාරුවෙන් මාරුවට පිළිවෙලින් 3-4 ස්ථාන ගන්නවා.

ඉතින් මෙ දෙන්නගෙන් එක් කෙනෙකුට මගේ කැමැත්ත වැඩියි.

සුදුම සුදු හුරු බුහුටි පෙනුම, බළල් ඇස්, ලා තඹ පාට පෝනි ටෙල් කෙටි කෙස් කළඹ, හුරතල් කථාව.... මතක් වෙද්දී දැනුත් නිකං ඇගේ මයිල් ඉස්මයිල් වෙනවා...
ඒ අංක එක

මෙන්න අංක දෙක
සුදුයි, ඩයනා කට් කොණ්ඩෙ, අහිංසක කථාව, කථා කරන කොට ඇස් දෙක දිහාම කෙලින් බලාගෙන කරන කථාව... නරකම නැහැ.. ඔන්න ඉතිං එයාටත් මං ආසයි.

ඒත් ඉතින් අංක එකට තමයි මම කැමති. ඒ උනාට විශ්වාස කරන්න කවදාකවත් ඉස්කෝලෙ යන කාලේ අපි දෙන්නා සමගියෙන් එක වචනයක් කථා කරලා නැහැ...
ඔන වෙලාවක මරා ගන්න ලෑස්ති උන ගමන්. ඒකි අනිත් ඔක්කොමත් එක්ක හොදයි මාත් එක්ක කොයි වෙලෙත් කොක්ක...
මාත් ඉතින් සෙකන්ඩ් වෙන්න කැමති යකෙක්යෑ.. මාත් කොක්ක. ඒත් ඉතින් රණ්ඩු උනාට මොකද හිත කීරී ගැහිලා යනවා එයා බනින කොට.. එයාගේ යාළුවෝ එක්ක කථා කර කර ඉන්න කොට තියෙන හුරතල් ගතිය දිහා බලාගෙන හීන මවපු එක විතරයි මට කරන්න පුළුවන් උනේ... දුක තමයි...

අනිත් එක්කෙනා නං ඉතින් මාත් එක්ක වලි නැහැ. ඒත් ඉතින් වැඩි කථාවක් නැහැ. මගේ පුංචි කැමැත්තක් තිබුනට අරයාට වගේ නැති නිසා මම ඒ තරම් ගණන් ගත්තේ නැහැ.

කොහොම හරි පහේ ශිෂ්‍යත්වෙන් පාස් වෙලා මාත් කොළඹ ගියා.ඊළග අවුරුද්දේ එයලා දෙන්නත් පාස් වෙලා ගම්පහ ගියා. ඉදලා හිටලා දවසක පාරෙදි මුන ගැහිලා තියෙනවා. ඒත් කථා නැහැ. ඔහොම කාලය ගත වෙලා ගියා අංක එක ගෙදර අකමැත්තෙන් කසාදයකුත් කර ගත්තා කියලා ආරංචි උනා.

අංක දෙක ස්ථීර පදිංචියට ගම්පහ පැත්තේ ගෙදරකට ගියා. එකම එක පාරක් ගම්පහ මලගෙදරකදී දැක්කා.ඒ 1997 විතර ඊට පස්සේ අද වෙනතුරු දැක්කේ නැහැ.
අංක එක නම් තාමත් ගමෙ ඉන්නවා මගෙ හිතේ. එයා එක්ක එකම එක පාරක් 2000 විතර එක පාරක් කථා කරන්න හම්බ උනා. අපරාදේ කියන්න බැහැ එදා තමයි එයා ජීවිතෙටම මාත් එක්ක හොදින් කථා කල එකම සහ අවසාන අවස්ථාව... දැන් නම් මම එයාවත් අවුරුදු 9කින් විතර දැකලා නැහැ.

ඔන්න ඔහොමයි ඒ මතකය ඉතිරි උනේ...

මතක් වෙද්දීත් හිනහා යනවා වගේම හීන් දුකකුත් ඇති වෙනවා...
එදා අපි කොතනද හිටියේ?
අද අපි කොතනද ඉන්නේ?

අද එයාලා මොනවා කරනවාද කියලා මම දන්නෙත් නැහැ මම මොනවා කරනවාද කියලා එයාලා දන්නෙත් නැහැ.
මට එයාලව සිහි වෙනවා වගේ එයාලටත් මාව පුංචියට හරි මතක තියෙනවාද දන්නෙත් නැහැ..?

ජීවිතේක හැටි...

පුංචි රටක අප ඉපදී..
පුංචි සිතක පැතුම් මතින්..
පුංචිකමට පෙම් කෙරුවා..
පුංචි සන්දියේ...

පුංචි කාලේ ගෙවී ගොසින්..
පුංචි පැතුම් මැකී ගොසින්..
පුංචි රටෙ අප තනිවී..
පුංචි පැංචියේ..

පුංචි නැතත් ඒවාගේ..
පුංචි පැතුම් තවත් තියේ..
පුංචි රටෙ හමු වෙදැයි..
මෑත සංදියේ...

27 January 2010

B/F සහ Taboo කොයිබටද..?

නැවත අවශ්‍යතාවයක් වන තුරු දේශපාලනය සම්බන්ධ ලිපි ලිවීමට අදහසක් නැති බව අද දිනලැබූ ප්‍රතිඵලයෙන්පසු කීමට කැමැත්තෙමි.
නමුදු අවසාන වශයෙන් දෙයක් කිව යුතුව ඇත.

ඒ සමස්ථ බ්ලොග් කරුවන්ට නොව,

දේශපාලන අරමුණු වෙනුවෙන්ම ආරම්භ කර වෙලාව එන තුරු කල් මරමින් බලා සිට නිසි වෙලාව ලද සැනින් ක්‍රියාත්මක වී ජාතියට වින කරන්නට බලා ගෙන මුදල් වෙනුවෙන් අම්මාව වූවද විකුණා ගෙන කන ගණයට අයත් අමන බ්ලොග් කරුවන් හටය...

මෙහිදී මා අදහස් කරනුයේ බ්ලොග් කරුවන්ට දේශපාලනය අකැප බව නොව කොයි දේටත් සීමාවක් ඇති බව කියා සිටීමටය..
ස්වාධීන මත දරන පුද්ගලයින් මෙන් මුලින් පෙනී සිට, රටෙ එදිනෙදා සිදුවන සංවෙදී කරුණු මුල් කරගෙන, තම අරමුණ වෙනුවෙන් එවන් කරුණු තමාට උවමනා අතට පෙරළාගෙන, පුද්ගලයකුට හෝ පිරිසකට අමු අමුවෙ මඩ ගැසීම පමණක්ම විනා සමාජයට හරවත් යමක් එකතු නොකරන මොවූහූ හුදෙක් තම බඩගෝස්තරය පිණිස පමණක් බ්ලොග් ලියන්නන් වන බැව් වැටහී යන්නේ ඔවුනට විෂය වන කරුණු සම්බන්ධව විරුද්ධ මතවාද නොයිවසන සුළු සහ අන් අයට රිසි පරිදි නොව තමාට ඇවසි පරිදි පමණක් කමෙන්ට්ස් තීරයන් භාවිතය කරනු ලබනසහ බොහෝ විට තමාට විරුද්ධ කමෙන්ට්ස් ඉවත් කිරීමත් තමන්ට සුදුසු කමෙන්ට්ස් පමණක් පලකරනු ලබන අන්දම අධ්‍යයනය කරලීමෙදීය.
මොවූහු කිසි ලෙසකිනුදු සමබර නොවන අතරම තමා නියෝජනය කරන්නේ,නොඑසේනම් තම අරමුණ කා වෙනුවෙන්ද යන්න කිසි ලෙසකිනුදු ප්‍රකාශ නොකරයි.
මැතිවරණයක් ලං වෙත්ම එතෙක් ඔවුන් හැද සිටි විසිතුරු සළු පිළී ගලවා දමා රෙදි නැතිව කඩෙ යන මොවූහු අන් සියළු දෙනාද තමන් කියන දෙ අනුමත කල යුතු බව නොකියා කියයි. එසේ ඔවුන් දරණ මතයට පිටස්තර අයවළුන් නිකංම නිකං කඩෙ යන්නන් වන අතර ඔවුන් පමණක් ශුද්ධවන්තයින් ලෙස හදුන්වා දෙයි සහ හදුන්වා ගනී.

මෙහිදී මා බියොන්ඩ් ෆ්රෙම් සහ ටැබූ සබ්ජෙක්ට්ස් මාතෘකා කර ගත්තද ඒ වා එක් උදාහරණයක් පමණි.

කිසි කලෙක තම අනන්න්‍යතාවය හෙළි නොකරන ඔවූහු අන් අය නිර්නාමිකව ලිවීම පිළිබදව ප්‍රශ්න නගති.
මන්ද යත් සැගවී සිටීමෙ ශුද්ධ වූ අයිතිය ඇත්තේ ඔවුනට පමණක් බැවිනි. එසේම ඔවුන් ලියන ඔනෑම දෙයක් ඉතා සුපිරිසුදු පරම සත්‍යයන් වන අතර අන් අය ලියන දේවල් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරනු ලබන තාක් කල් පට්ටපල් අමූලික බොරුය.

දැන් ජනපතිවරණය අවසන්ව ඇත. සමස්ථ බ්ලොග් තලයම කැත කරමින් මෙතෙක් කලක් මඩ ව්‍යාපාරයක යෙදුනු ඔවූහු දරා ගත නොහැකි පරාජය හමුවෙ නන්නත්තාරව සිටී. අද පටන් ඔවුන්ගේ වැටුප් නවත්වා ඇති කලෙක මෙන් බ්ලොග් අඩවිය හැර පියන්නට මාන බලති. එසේ ඉවත්වන්නට උත්සුක වනුයේ අන් කිසිවක් නිසා නොව තමා කියූ දෙයින් බලාපොරොත්තු වූ ඉලක්කය ඉටු නොවීම මත තව දුරටත් එම අඩවි තුලින් කියනු ලබන බොහෝ දෑ ඉදිරියේදීද සාමාජය තුලින් ප්‍රතික්ෂේප වන බව හොදින්ම දන්නා නිසාය.

නමුත් නැවතත් ඔවූහු වෙනත් නම් වලින් අටවා ගත් බ්ලොග් අඩවි තුලින් කරළියට එනු ඇත.

සමහර විට මෙ වන විටත් වෙනත් බ්ලොග් අඩවි තුලින් ඔවුන් වැඩ ආරම්භ කර ඇති බව සිතිය හැක, මන්ද යත් පාර්ලිමෙන්තු මහ මැතිවරණයද අත ලග බැවිනි.

එබැවින් බල බලා සිටීමට ඔවුනට කාලයක් නැත.
කාලය රන් හා සමාන වීම කෙසේ වෙතත්,
කාලය සහ තමන් විසින් ලියනු ලබන දෑ ඩොලර් වලින් සහ කළු සල්ලි වලින් අගය කරනු ලබන බව නම් ඔවුන් දනිති.

මෙ මාතෘ භූමිය ගැන හෝ මෙරට වසන කිසිදු ජාතියකට හෝ ආගමකට අයත් පුද්ගලයින් පිළිබදව හෝ මෙවැනි උදවියට හැගීමක් නැත. ඇත්තේ කෙසේ හෝ තම බඩගෝස්තරය වෙනුවෙන් කුලියට කැහීම පමණකි.

අපට මෙවා නොබලා සිටිය හැකි වූවත්,

රට ජාතිය ආගම පිළිබද උපතේ සිට අපගේ මව්පියන් විසින් අප හට කියාදී ඇති බොහෝ දෑ මෙන්ම රට වෙනුවෙන් අපගේ මව්බිම වෙනුවෙන් හද තුළ ඇති අපිරිමිත භක්තිය විසින් මෙවන් පුගුලන් විසින් කරනු ලබන ද්රෝහී ක්‍රියා යන්තමින් වුවත් දුටු සැනින් නිහඩව සිටීමට නොහැකි වීම නිසා අපද නිරායාසයෙන්ම මෙවන් කතිකාවත් තුලට ඇදී ඒම වලක්වාලිය නොහැක.

අවසාන වශයෙන් එකක් කිව යුතුය.

ඔබලාට රටක්, ජාතියක්,ආගමක්, ජන්මයක් නැතිවා හෝ තිබියදීත් ඒ පිළිබද හැගීමක් නැතිවා වන්නට පුළුවන. නොඑසේනම් ඔබලා අපගේ බස හසුරුවන විජාතිකයින්ද විය හැක.

ඒ කෙසේ වෙතත් සිහිතබා ගන්න...

අපට මෙ රට හැර යන්නට වෙනත් රටවල් නොමැත.
මෙ මව් බිමෙ උපන් අප මෙ පොළොවට ආදරය කරන්නෙමු.
එහි ගහට කොළට සතා සීපාවාට ඇළට දොළට පමණක් නොව මෙ පොළව පිසගෙන හමා එන සුළං පොදටද ඇළුම් කරමු.

එවන් වූ අපේ කම හදුනන මිනිසකු රටෙ නායකයා වීමඅප ලද පිනකි.

නුඹලා වැනි බත් බැලයන් කුමක් කීවද, කුමක් ලීවද,
මෙරට වසන මා මෙන්ම රටට ආදරය කරන මිනිසුන් සිටිනා තාක් කල් එවැනි නායකයකු අපට අහිමි වීමට අප ඉඩ නොදෙමු.

මා කුමක් ලීවත් නුඹලා නුඹලාගේ බඩගෝස්තරවාදී වැඩ කටයුතු නවතා නොදමන බැව් මා හොදින්ම දනිමි.
මක් නිසාද යත් මෙ බ්ලොග් නොලීවාට දහඩිය මහන්සියෙන් හම්බකරගෙන කන අපට නැති වීමට දෙයක් නැති බවත් ,නුඹලාට මෙ ලිවීම නැතිව ගියහොත් එදා වෙල කන්නට වෙන්නේ පාර අයිනේ සිගා කෑමෙන් පමනක් බව දන්නා නිසාත්ය.

ඉදින් තව දුරටත් ලියන්න..
අපි බලා සිටිමු..
නමුදු අප නිදි යැයි නොසිතන්න..
ඇවසි වෙලාවෙදී අප නිසි පරිදි කටයුතු කරනු ලබන්නේය..
හරියට අද මෙන්ම..

25 January 2010

සුභ අනාගතයක්..!

හරියටම තව පැය8කින් වැඩෙ පටන් ගන්නවා.
ඊට පස්සේ ජයග්‍රාහී ප්‍රතිඵලයත් සමගම තමයි මට ආයෙමත් මෙ පැත්තේ එන්න වෙන්නේ..
හෙට නම් මම වැඩ, ඒ අතරෙම ඡන්දේ දාන්න වෙලාව ලැඛෙනවා.
රෑත් වැඩ නිසා එළි වෙනකල් ප්‍රතිඵල අහන්නත් පුළුවන්..
අනිද්දා උදේට මහින්ද රාජපක්ෂ නම් වූ අපේම මිනිසා සමග රට ගමන් ගන්නා නව මාවත ඔස්සේ ගමන් කිරීම නැවත ආරම්භ වෙවි..
සරත් මහත්මාටත්ඇමරිකාවෙ පදිංචි වී තමන්ගේ ඉදිරි ව්‍යාපාරික වැඩ කටයුතුත්,සමහර විට ඇමරිකානු රහස් ඔත්තු සේවා සමග හවුල්ව ආරක්ෂක ක්ෂේත්‍රයේ නව ගමනක් ආරම්භ කිරීමට හැකිවෙවි.
රනිල් මැතිතුමා නැවත ප්‍රතිසංවිධාන කටයුතු වැඩට බසීවි.
ජ.වි.පෙ.....ම්හූ මොනවා කරයිද කියලා කියන්න බැහැ...
සමහර විට නැවත රටෙ කැරැල්ලක් ගැසීම සදහා අහිංසක මිනිසුන් පොළබවා ලන්නට උත්සහ දරාවි..

ආ තව එකක්..
ඇයි අපේ පෙත්තප්පු..ඒ කියන්නේ මෙ තිස්ස අත්තනායක මහත්තයා..
මෙන්න මෙහෙම කියාවි..
"මෙ මැතිවරණය ඊතාමත් දූෂිත, වංචා සහගත, භීෂණයෙන් පිරුණු..."(තව හුගාක් කියාවි..)

රට වැසි ජනතාව තම තමන්ගේ වැඩක් බලා ගනීවි..
මාත් එහෙමයි...

සියළු දෙනාටම සුභ අනාගතයක්..!

21 January 2010

එතැන් පටන් එළැඹිණි..මාරයගේ හෝරාව...

ඒ දවස්වල මම සේවය කලේ රත්මලානේ ගුවන් හමුදා කදවුර තුල..
ඇත්තටම අපිව රෙජිමෙන්තු රාජකාරීන්වලට අනුයුක්ත කරලා ඒකල වෘත්තීය පුහුණු පාසලේ සිට එවලා තිබුණේ..
අපිට සුපුරුදු වෘත්තීය අංශයන්ගෙන් වෙන් කරලා රටෙ ආරක්ෂක තත්වය මත කදවුරු ආරක්ෂක රාජකාරීන්වලට දැමීම නිසා ජීවිතේ සෑහෙන වෙනසක් වෙලා තිබුනු කාලයක්..
දවල් දවස තිස්සෙම කැලෑව කප කප බංකර් ගහනවා.. රෑ තිස්සේ මුර කරනවා..
ඔක්කොටම වඩා එපා උනේ රෙජිමෙන්තුවට අයත් සාජන්ලාගෙ සහ උන්ගේ ඇම්බැට්ටයින්ගේ පොර ටෝක් අහන් ඉන්න එකයි..

මම මෙ කියන්න ගියේ රාජකාරියට අදාල දෙයක් නෙවෙයි..
මම දැකපු හීනයක් සහ පසුව ලද ආරංචියක් පිළිබදවයි..

රෑ ආරක්ෂක රාජකාරී ස්වභාවය අනුව අපට සෑම පැය 4කට වරක්ම පැය 4ක ඉසිඹුවක් ලැඛෙනවා..
ඒ අනුව එදින මා රාත්‍රි 10යේ සිට පාන්දර 2ක වන තෙක් රාජකාරී කර අවසන්ව මගේ අනෙක් සගයා හට රාජකාරිය භාර දී නින්දට වැටුනා..(ඒ නින්ද ගැන වෙනම කියන්න ඔන රස්නේ ඉවසන්න බැහැ.. මදුරුවො නෙවෙ කපුටො ඉන්නේ ඊට හපන් සුළගත් එක්ක එන දූවිලි පාර ඒ දූවිලි පාර දෙවෙනි වෙන්නේ පොලෝසියේ රාජකාරි කරන කාලේ හිස්බුල්ලා ඇමතිවරයාට අයත් බම්බල පිටියේ වසා දැමූ නිවසක ආරක්ෂක රාජකාරී කරන්නට ගිය සතියක් තුල පාර අයිනේ මුර කුටියක පත්තර පිටු දෙකක් එලාගෙන නිදා ගත්ත දවස්වල කාපු දූවිලි පාරට විතරයි.. අම්මෝ නැගිටින කොට කටෙ හිටන් දූවිලි මතක් වෙන කොටත් වැලි කැට හැපෙනවා වගේ දැනෙනවා..)

කොහොම හරි නිදා ගත්තා කියමුකෝ .. පාන්දරට වෙන්න වගේ තමයි මම හීනේ දැක්කේ.. මුලින්ම දැක්කේ මම දැකලා පුරුදු වතුර පිරුනු ඇලක්..
එහි ජලය වේගයෙන් ගසාගෙන යනවා..
ඊට පස්සේ මම දැක්කා මගේ මහප්පාගේ පුතා.. (මගේ අයියා) වතුරට වැටෙනවා.. ( මිනිහා පිස්සු පොරක් උනත් මම පොඩි කාලේ ඉදලාම මිනිහාට මාර කැමතියි.. ඌට බැරි දෙයක් නැහැ.. පොඩි කාලේ මගේ වීරයා මිනිහා තමා.. මිනිහාගේ ආභාෂය මටත් නොඅඩුවම ලැබිලා තියෙනවා කියලා අපේ පවුලේ හැම කෙනාම කියනවා.. හැබැයි ඒ මට බනින්න ඔන උනහම.. මොකද මටත් අතට අහුවෙන හැම දේම කරලා බලන්න තියෙන්නේ පුදුම ඇම්මක්.. හැබැයි ඒ හැමදේම ටිප් ටොප් එකටම කරන්නත් පුළුවන්.. ඒ වගේම ඔනම දෙයක් ඉගෙන ගත්තට පස්සේ ආයෙත් ඒක කර කර ඉන්න කැමති නැහැ.. ඌ වගේම මාත් කවදාවත් එක තැනක ඉන්නෙත් නැහැ.. කිසිම දෙයක් වැඩි කාලයක් කරන්නෙත් නැහැ.)
ඉතින් මිනිහා වතුරට වැටුන දැක්ක ගමන් මම ඇළ අයිනට දුවන් ආවා.. ඒත් මිනිහා නැහැ.. ඔන්න දැන් පේනවා ඇළ අයිනේ දං පදුරක පැටළිලා ගැහැනු කෙනෙකුගේ සිරුරක් තියෙනවා.. (මුහුණ පෙනෙන්නේ නැහැ වතුරට යටවෙලා) හැබැයි ඇදලා ඉන්නේ මගේ කුමාරිගේ(මගේ ජීවිතයේ දී මට අසීමිතව පෙම් කල ඇය) කළුපාට රෙද්දේ සුදු පාට පුංචි මල් වැටුනු දිග ගවුම..
මගේ ඇග සීතල වෙලා ගියා එතන ඉදලා ආයෙත් මට නින්ද ගියේ නැහැ..
එළි වෙන්නේ කොයි වෙලේද කියලා බලා ගෙන උන්නේ කෝල් එකක් ගන්න යන්න( ඒ දවස්වල අපිට මොන මොබයිල්ද?)

කොහොම හරි උදේ 7 විතර වෙන කොට කුමාරිට කථා කරන්න පුළුවන් උනා..
එයා ඇයි මෙ උදේම කියලා අහපු වෙලාවෙ තමයි හිතට සහනයක් ලැබුනේ..

ඒ ගමන මම ඇහුවා මොනවා හරි ඔය පැත්තේ අවුලක්ද? කියලා..

ඔවු ඔයා කොහොමද දන්නේ.. උ..... ඛෙබි නැතිවෙලා..

මොනවා ඒ මොනවා වෙලාද..?

කතරගම යන්න ගිහින් වැවක නාන්න ගිහින් මුලින්ම එයාලගේ අක්කා ගිලෙන්න ගිහින් එයාව ගොඩ අරගෙන ඉස්පිරිතාලේ ගෙනිහින් පස්සේ බලන කොට මෙයා ඉදලා නැහැ..
පස්සේ හැම තැනම හොයලා ආපහු ඇවිත් වැවෙ හොයන කොට වැව මැද තිබුනු වලක තිබිලා තමයි හොයාගෙන තියෙන්නේ..

ඇත්තටම මට හිතා ගන්නත් බැහැ.. හරියට කරකවලා අතහැරියා වගෙයි..
උ.... ඛෙබි... අපි දෙන්නා පොඩි කාලේ එකටමයි හැදුනේ.. මට වඩා මාස 6ක් වැඩිමල් උනත් මම ඇයට ආදරය කලා.. ඇයත් එහෙමයි..
අපි දෙන්නා වයසෙන් වැඩෙත්ම ඇගේ වැඩිමහළු සොයුරියක් විසින් අපව වෙන් කරන්නට යෙදුනේ කවදා හරි අපි දෙන්නා පැටලවෙයි කියන එක හැමෝටම ඇහෙන්න කියන ගමන්මයි.. මට තාම මතකයි ඇයට තිබුනු කැරළි ගැසුණු හිස කෙස්.. තඹ පාටට හුරු ඇස් දෙක.. ආඩම්බර කථා විලාසය.. මට බනින හැටි මගෙන් ගුටි කාලා අඩන හැටි.. මට කෙල්ලන්ගේ නම් කිය කිය විහිළු කරන කොට මම එයාට කොල්ලන්ගේ නම් කියලා විහිළු කලහම මට ගහන්න වත්ත වටෙ එළවන හැටි.. ඊට ප්‍රථම වතාවක කතරගම යද්දී හම්බන්තොට මුදුදේ නාන්න ගිහින් වතුරෙ ගිලෙන්න යද්දී මම වතුරට පැනලා ඇයව ඇදගෙන ගොඩට ගෙනාව හැටි..
එදා මම කට්ටිය එහෙ මෙහෙ වෙනකල් ඉදලා බනිනකොට මා දිහා බලාගෙන හිටපු හැටි..

ඒ දේවල් කියන්න මට වචන නැහැ..
මම මොහොතකට ගොළු උනා මතකයි..
කුමාරි අපි දෙන්නා ගැන හුගාක් දැනගෙන උන්නා..
ඔයා ඇවිත් යන්න ඔන නේද අයියේ..
හ්ම්..

බොහොම අමාරුවෙන් කියලා කියලා එක දවසකට නිවාඩුවක් ගන්න පුළුවන් උනා
ඒ වෙන කොට එයාලා අපේ ගෙවල් ළගින් ගිහින් වෙන හරියක පදිංචි වෙලා උන්නේ.. ඇත්තටම මල ගෙදරට ගියා විතරයි මට මතක එහෙ කොච්චර වෙලා හිටියද.
කීයටද ආපහු ආවෙ මට අදටත් හරියට මතක නැහැ..
මල්ලිවත් එක්කගෙන ගිය නිසා මිනිහා මාව එක්කගෙන එන්න ඇති
සුදු පාට ඇදුමින් සරසවලා තිබුනු දේහය අසල තිබූ ඇගේ ඡායාරූපය මා දිහා හිනා වෙලා බලා ගෙන උන්නා මට මතකයි..


මට හීන පෙනෙනවා හරි අඩුයි..
මම හීන වල පේන දේවල් සැබෑ වෙනවා කියලා හිතන කෙනෙකුත් නෙවෙයි..
ඒත් මෙ හීනය ගැන අදටත් මට හිතා ගන්න බැහැ..
මම අදටත් හිතන්නේ ඇයට අවසන් මොහොතේ හෝ තම කුඩා මිතුරාව සිහිපත් වන්නට ඇති කියායි...
මා එදා ඇය අසල සිටියා නම් මෙ කථාව වෙනස් වන බව මා හට මෙන්ම ඇයටත් කල්පනා වන්නට ඇතැයි සිතනවා හැර වෙන කුමක් සිතන්නද..
ඒ සිතුවිල්ලම මට සිහිනයක් වී පෙනෙන්ට ඇති බව මා අදටත් විශ්වාස කරමි...

19 January 2010

නිහැඩියාවට තිත...

මෙ ටිකේ වැඩත් වැඩියි. ඒ විතරක් නෙවෙයි අළුතින් DVD රයිටරයක් ගත්තානේ ඒ හින්දා දිගට හරහාට Film ටිකක් බැළුවා මෙ පැත්තේ එන්නත් අමතක උනා..
කියන්න නම් දේ බොහොමයි ඒත් මෙක කොටන්න තමයි කම්මැලි...

මෙ දවස් වල දේශපාලන පුවත් නිසා කම්මැලි කමක් නැතිව ප්‍රවෘත්ති ටිකක් උනත් බලන්න පුළුවන්..
අද නම් දිගට ලියන්නේ නැහැ..
සියළුම බ්ලොග් මිතුරන්ව ආදරයෙන් මතක් කර සිටිනවා ඔන්න මම ගියා...

09 January 2010

දයාසිරිට ජය වෙවා...

මගේ මිතුරන් දේශපාලනය ගැන නොලියන්නයැයි මට කියා සිටියත්...
නොලියාම බැරි නිසාත් .. දේශපාලනය අප සියල්ලන්ටම එකසේ බලපානා බැවිනුත් නොලියා ඉදින්නේ කෙසේද...?

ඊයේ රතු ඉර තිබුනේ නැතිළු.. අද උදේම අහපු ආරංචිය ඒක..
මෙ සටහන ඒ පිළිබදව නම් නොවෙයි...
ඒ සදහා යූ.එන්.පී. එක නියෝජනය කරන්නට පැමිණිදයාසිරි ජයසේකර නම් වූ තරුණ දේශපාලඥයා පිළිබදවය..

වර්ථමාන එක්සත් ජාතික පක්ෂය තුල හරි හමන් හඩක් නැගිය හැකි එකම දේශපාලඥයා පිළිබදවය..

මා දන්නා පරිදි ඔහු සංධානයෙන් අනික් පැත්තට ගිය අයෙකි.
එසේ ගිය බොහෝ දෙනෙකු නැවත විපක්ෂය හැර පියා නැවත මහ ගෙදරට පය තබද්දී ඔහු අදටත් විපක්ෂයේම රැදී සිටිමින් විපක්ෂය වෙනුවෙන් බර අදිනා අයුරු ප්‍රසංසනීයය.
ඇත්ත වශයෙන්ම අද වන විට විපක්ෂ වෙදිකාවෙ එකම රණ හඩ බවට පත්ව තිඛෙන්නේ ඔහුගේ හඩ පමණි.. විටක හැගීම්බරව.. තවත් විටක උපහාසාත්මකව.. හාස්‍යය මතු කරමින්... කරුණු මැනවින් ඉදිරිපත් කරමින් කරනු ලබන.. කථාව අසා සිටීමට ආසා නොහිතෙන්නෙකු ඇත්නම් ඒ දේශපාලන අන්ත වාදියකු පමණි.

පක්ෂයේ කැපිලි කෙටිලි මැද සියළු අභියෝගවලට මුහුණ දෙමින් ඔහු එන ගමන මා හට නම් පෙනෙනුයේ මෙ රටෙ අනාගත ජනපතිවරයකුගේ අංකුරයක් මෙනි..
කරූ ජයසූරියට, සජිත් ප්‍රේමදාසට මෙන් තල්ලු දෙන්නට සහයකයින් නැතිව වූවද ඔහු තම ගමන නවතා නැත..(කරූ හරියට කෙලින් සිටියානම් අද රනිල් නොව කරූ එ.ජා.ප. නායකයා වී හමාරය..)

පොදු මිනිසුන් අතරින් මතුව මෙ යන ගමනේ නිවැරදි අවස්ථාවන්හිදී නිවැරදි තීරණ ගන්නට හැකි වෙ නම් දයාසිරි නියම නායකයකු වනු ඇත..

ලියන්නට බොහෝ දේ ඇතත් තද බල අකුණු සමගින් කාලගුණයේ වෙනසක් සිදු වෙමින් පවතින බැවින් මෙම ලිපිය මෙතනින් නවතා දමන්නට සිදුවීම පිළිබදව මාගේ කණගාටුව

07 January 2010

මහින්දගේ හොරකම් සහ සරත්ගේ හොරකම්...

මෙ දවස්වල හැම තැනම දේශපාලනය ගැන කථා..
ඉතින් මාත් කට පියාන ඉන්න ඔන නැහැ කියලා හිතුවා ඔං..
මෙදා පාර චන්දෙදි ජයග්‍රහණය කල යුත්තේ කවුද..? ඔකනේ ප්‍රස්නේ..

සාමාන්‍යයෙන් අපි ජන්දෙකදි අපේක්ෂකයින්ව සංසංදනාත්මකව බලන්න කැමතියිනේ.. වැඩිම හොද කවුද? බුද්ධිමත් කවුද? දුප්පතුන්ට සහන දෙන කෙනා කවුද? කථිකත්වය වඩා හොද කාගේද? දේශප්‍රේමී කවුද? දේශද්රෝහී කවුද? මෙන්න මෙ වගේ එක එක මිනුම් දඩු වලින් අපි අපේ අපේක්ෂකයින් ගැන මනිනවානේ..( ඔය කිවුවෙ කීපයක් විතරයි)

ගිය පාර ජනාධිපතිවරණේදී නම් මට මතකයි උඩු රැවුලටත් තැනක් ලැබුනා.. ඒ හරහා සමහරු මතු කරන්න උත්සහ කලේ පුද්ගල පෞරෂය පිළිබද කාරණාවක්..ඒ වගේම සිංහලෙන් හිතන සහ ඉංග්‍රීසියෙන් හිතන යනුවෙනුත්,සරම අදින සහ ටයි කෝට් අදින යනුවෙනුත් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා(මහින්ද සහ රනිල්) පිළිබද කථා කල මතක ඇතිනේ..

ගිය පාර නම් සිංහලෙන් හිතන සරං අදින රැවුලාට රට ගියා ඔං...

මෙදා පාර ප්‍රස්නේ මෙකයි...?

මෙ පාර අපේක්ෂක මහත්වරු දෙදෙනාම රැවුලෝ වෙච්චි..
ඒ විතරක් නම් මදෑ දෙන්නම සරං කෙටියට බැහැපු ගමන්මයි ඔං..
යුද්ධෙට වෙච්ච සම්මාදමත් සම සමයි නෙවැ..
මහින්ද උන්නැහැ චන්දරසෙකරන්වත්, ෆොන්සේකා උන්නැහැ සම්බන්ධන්වත් ලං කොර ගත්තයින් පස්සෙ නම් ඉතින් තවත් අංශෙකින් සමාන උනා වගේ පේන්නත් ගත්තා...

ඉතින් ආයි බෝං තව ඉතුරු වෙලා තියෙන්නේ එක වැදගත් සාධකයක් විතරයි...
ඒ තමා ලොකුම හොරා තේරීම...

දෙන්නටම එක හා සමාන චෝදනා නැතුව නෙවෙයි ඉතින් ඒත් සමහරු පෙන්නන්න හදන විදියට නම් මහින්ද ලොකුම හොරා කරන්න නම් හුගාක් අය දත කනවා.. ඒත් ඉතින් ෆොන්සේකා උන්නැහෙත් නිකම්ම ඉදලා නැහැ නෙව..
මහින්දගේ තනතුරෙ හැටියට උන්නැහේගේ නම ඉස්සරහින් ලියවෙන හොරකම්වල වටිනා කම විශාල උනාට ෆොන්සේකා උන්නැහැත් තමන්ට තිබූ තනතුරු වලට සරිලන පදමට හොරකම් කරලයි කියලා තමා ඉදිරිපත් වෙන ගණන් මිනුම් වලින් පෙනෙන්නේ නම්...

හමුදාපති තනතුරෙදී ඔහොම නම් ජනාධිපති වෙන්න පුළුවන් උනොත් කොහොමට හිටීද කියන එක තමා විමල් ගොයියගේ එහෙම තර්කෙ වෙලා තියෙන්නේ....

කොහොම උනත් මට නම් කියන්න තියෙන්නේ මෙ හැම චෝදනාවක්ම ඔප්පු කල යුතුයි.. එසේ නැතිනම් දෙදෙනාම හොරු නොවන බව පිළි ගත යුතුයි...

දැන් ඔන්න කෙනෙකුට කියන්න පුළුවන් ඔවා කොහොමද ඔප්පු කරන්නේ කියලා.. මං අහන්නේ ඇයි බැරි...?
එක උදාහරණයක් දෙන්නම්..

දැනට තියෙන එක චෝදනාවක් තමයි මහින්ද ඇතුළු රාජ පක්ෂ සහෝදරයින් රටෙ විශාල ඉඩම් අත්පත් කර ගනිමින් සිටිනවායි යන චෝදනාව..

ඔන්න ඔක නිකන් කිය කිය ඉන්නවට වඩා නරකද ඔප්පු කරලා පෙන්නුවනම්...

කරන්න තියෙන්නේ සුළු දෙයයි..
රාජපක්ෂලා ගත්තා යැයි කියන එක ඉඩමක ඔප්පුවක් ජනතාවට ඉදිරිපත් කිරීම පමණයි. (කච්චෙරියක ඉඩම් ලියාපදිංචි කිරීමෙ අංශයක සුළු නිලධාරී මහතකු ලවා ඔය වැඩෙ කරගන්න එක මහ වැඩක් නෙවෙයිනේ.. ඔනනම් සුළු මුදලක් අත මිට මොලවන්න වෙයි.. ඒ ඔනත් නැහැ මොකද ඔය කාර්යාල වල යූ.ඇන්.පී. සේවක මහත්තුරුන් නැතුවයෑ..
රාජ පක්ෂලාගේ නමට නැතුව වෙන අයෙකුගේ නමට ගත්තා නම් ඉඩමෙ අයිතිකරුට රාජ පක්ෂලාගේ ඇති සම්බන්ධය ඔප්පු කරලාම අහවරයි නොවැ..
ආ තව එකක් ඔප්පුව ලියා පදිංචි කල දිනයත් ඉදිරිපත් කල යුතුයි.. නැත්තං මැද මූලන ඉඩං වල ඔප්පුත් අරගෙන එයි සමහරු...හුහ් හුහ්...

අනිත් අතට සරත් උන්නැහැ ගැනත් එච්චරම තමයි..
හමුදාවට ගෙන්වපු අවි ආයුධ වලට කල ගෙවීම් ලේඛනත් එසේ ගෙවීම් ලද අයගේ තොරතුරුත් ඉදිරිපත් කොලාම අහවරයි නොවැ..

දෙපැත්තේ කවුරු හරි බොරු ලේඛණ ඉදිරිපත් කලොත් නඩු දාලා වන්දි ගන්නත් බැරියෑ...
(අනේ ඉතින් එහෙම කවුරු හරි නඩු දැම්මොත් කවුරු හරි පින්වත් නඩුකාර උන්නාන්සේ කෙනෙක් මැදිහත් වෙලා ජන්දෙට කලින් නඩුව විසදලා තීන්දුවක් දුන්නොත් හොදා..)

අපේ ක්‍රිකට්..

කලින් මෙ පිළිබදව ලිවූ ලිපියට ලැබුනු ප්‍රතිචාර දිහා බැලුවහම ඒ පිළිබදව තව වචන කිහිපයක් එකතු කල යුතුයි කියලා හිතුනා. පෙර ලිපියට අදහස් දැක්වූ අයකු කියා තිබුනා උපුල් තරංග මී ළග නායකත්වයට සුදුසුයි කියලා.. නමුත් නායකත්වයට පෙර ඔහු තමාගේ ස්ථානය රැක ගත යුතු වෙනවා නොවෙද? තාමත් මා දකින ආකාරයට ඔහු පිතිකරුවකු වශයෙන් සම්පූර්ණ නැහැ.

හොදින් අධ්‍යයනය කරලා බලන්න ඔහුගේ පහරවල් පිළිබදව... Off side එකේ පහරවල් මිස Leg Side එකේ පහරවල් පිළිබද ඔහුට වැඩි දක්ෂතාවයක් නැහැ. ඔහු පිළිබද බොහොම පහසුවෙන් අවබෝධ කරගත හැකියි.. අවශ්‍ය වන්නේ පිට ඉන්නට ඉවතින් තරමක් බිම වැදී ඉහළ නගින පන්දු කිහිපයක් සහ පිට ඉන්නට පිටත මනාව ස්ථාන ගත කරන ලද පන්දු රකින්නන් කිහිපදෙනෙකු පමණයි.. නායකත්වයට පෙර මෙම අඩු පාඩුව සකස් කර ගෙන කණ්ඩායමෙ ස්ථාවර වීමයි ඔහු පළමුව කල යුත්තේ..

ඊ ළගට බලමු කණ්ඩායමෙ නියෝජනය පිළිබදව...

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වමත් සහ දකුණත් වීම වඩාත් හොදයි නමුත් එසේම විය යුතුයි කියා කිව නොහැක.. මන්ද හොදින් ලකුණු අතර සිටින ආරම්භක පිති කරුවන් සිටියදී වමත් දකුණත් සංයෝගයම ඉදිරිපත් කිරීමට යාම තේරුමක් නැති ක්‍රියාවක් බවට පත්වන අවස්ථාද ඇති නිසාය..

එක් දින තරග වලදී යාර 30ට ඉහලින් ගැසීමට හැකි පිතිකරුවන් ඉනිම ආරම්භ කිරීම සදහා යොදා ගැනීම වැදගත්.. ඒ වගේම පිතිකරු ලයිස්තුවෙ අතරින් පිතිකරුවන් දෙදෙනෙක් පමණ සාමාන්‍යය වෙගයෙන් ලකුණු රැස් කරන දිගු ඉනිම් ක්‍රිඩා කල හැකි අය වීමත් වැදගත්
නමුත් ඔවුන් යොදවා ගැනීමෙදී දැනට පවතින ක්‍රමයට අනුව නිශ්චිත ස්ථාන වලම පන්දුවට පහර දීම වෙනුවට අවස්ථාවෙ අන්දමට පිටියට එවීමට කටයුතු කල යුතුයි.. විශේෂයෙන්ම පිතිකරණ ස්ථාන සින්නක්කර ලියා දීම නොකල යුතුයි. එයින වන්නේ තරගයේ රටාව බිද වැටීමයි..

ඒ වගේම අවම වශයෙන් තරගයක් සදහා සැලසුම් 3ක් වත් සකස් කිරීමත් කල යුතුයි. පළමු සැලැස්ම ආක්‍රමණකාරී වීමත්, එය අත හැරීමට සිදු වූවහොත් දෙවන සැලැස්ම ලෙස තරමක් ඉවසිලිවන්තව සිට නැවත් අතර මගදී ආක්‍රමනකාරී විය හැකි අන්දමටත්, 3න් වැන්න ආරක්ෂාකාරී වෙමින් ලකුණු වෙගය යම් මට්ටමක රදවා ගැනීම වැනි එකක් විය යුතුයි.. එවැන් සැලසුම් වෙනස් කිරීමෙදී නායකයා හා කණ්ඩායම සාකච්ඡාකර පිතිකරණ ස්ථාන වෙනස් කරමින් තරග රටාව සකස් කල යුතුයි.. එසේම එක්දින තරග වලදී සියළුම පිතිකරුවන් ඔනෑම ස්ථානයක ක්‍රීඩා කිරීමට මානසික තත්වය සකස් කර ගැනීමත් වැදගත් වෙනවා..

අපේ වෙනස් කරණ සැලසුම් අනුව ප්‍රතිවාදී පිලේ ප්‍රතිචාරය කෙබදුද යන්න පිළිබදවත් අධ්‍යයනය කිරීම අවශ්‍යයි..
පන්දු යැවීමෙදී ප්‍රතිවාදී පිලේ පිතිකරුවන් පළිබද මූලික අධ්‍යයනයක් සිදු කර ඔවුන් ගේ දුර්වලතා හදුනාගෙන එම දුර්වලතාවයන්ට පහර දිය හැකි පන්දු යවන්නන් සූදානම් කර තැබීමත් ඔනෑම අවස්ථාවක නව පිතිකරුවකු පිටියට පැමිණිමෙදී එම පිතිකරුවා වෙනුවෙන් සූදානම් කර ැබූ පන්දු යවන්නා කැදවීමත් කල හැකිනම් වඩාත් යහපත් ප්‍රති ඵල ලබා ගත හැකියි..

බලා පොරොත්තු නොවන ආකාරයට දැඩි ප්‍රහාර වලට ලක් වන විට ඒ සදහාද සුදානම් වී තිබීම අවශ්‍ය වනවා.. එහිදී පන්දු යවන්නා මාරු කිරීම විතරක් නොව පන්දු යවන කොණයේ වෙනසක් සහ වෙගයේ වෙනස් කිරීම්ද අවශ්‍ය වෙනවා.. හුගාක් වෙලාවට මම දැකලා තියෙන දෙයක් තමයි බෝලෙකට දෙකකට වැදුන ගමන් අධික වෙගයෙන් පන්දු යැවීමට උත්සහ කිරීම මගින් සිදු කර ගනු ලබන විනාශය.. එය වලක්වා ගත යුතුයි විශේෂයෙන්ම පන්දුවෙ වෙගයම උපයොගී කරගනිමින් පහර දෙන පිති කරුවකුට තව තවත් වෙගයෙන් පන්දු යවා පලක් වන්නේ නැහැ..

පිතිකරුවන් අධ්‍යයනය සදහා නිතරම තාක්ෂණයේ සහයෝගය සහ ඒ පිළිබද දැනීමක් තිඛෙන පුද්ගලයකු යොදවා තිබිය යුතුයි...පන්දු යවන්නන් තෝරා ගැනීමෙදී එකිනෙකාට වෙනස් ආකාරයේ පන්දු යවන්නන් තෝරා ගැනීමත්.. පන්දු රැකීම අංක 1කේ තබා ගැනීමත් කල යුතුමයි...

05 January 2010

ලියන්නෙම් ක්‍රිකට් ගැන... ලියන්නට අන් යමක් නැති කල...

මාර ප්‍රශ්නේ.. ලියන්න කියලා හැදුවට මෙලෝ දෙයක් සිහියට එන්නේ නැහැ... මොනවා වෙලාද මන්දා..????
මැච් එක බැළුවා. යන්තම් දිනුම්.. තිසර පෙරෙරා ටොප් කොල්ලා.. ඌට ජය වෙවා.. (තිලාන් හොදයි ඒත් ඒ ශතකයටත් වඩා මට හිතට ඇල්ලුවෙ තිසරගේ වෙගවත් ඉනිම.. මොනවා කරන්නද මෙ අපේ හැටිනේ.. මහින්දට වඩා ෆොන්සේකා හොදයි වගේ තමා)
අම්මපා සංගා ගැනත් වෙලාවකට තද වෙනවා.. බැටින් පවර්ප්ලේ එක ටිකක් කලින් අරන් (කණ්ඩම්බි ආව වෙලාවෙම වගේ) ගැහුව නම් හොදයි.. ඒ වගේම සංගක්කාර අසංක ගුරුසිංහගෙන් ඉගෙන ගත යුතු පාඩම් හුගක් තියෙනවා.. ගුරා පටන් ගන්නේ හිමිට.. 50 ගහන්නේබෝල 70වට.. ඊලගට දැඩි පහර දීමක් .. ප්‍රතිඵලය 80 ගහන්නේ බෝල 85ට.. 100 ගහනවා අඩු උනත් අවසානයේ නිමාව සටහන් වන්නේ බෝල ගණනට ලකුණු ගණන සම කරලා තමයි.. සංගා මුලින්ම වෙගෙන් ගැහුවත් පහු වෙනකොට ස්ලෝ වෙනවා.හිමීට ගැහුවත් නියම වෙලාවට රටාව වෙනස් කරන්න අමාරුයි.. ප්‍රතිඵලය අනවශ්‍ය මොහොතක දැවී යාම...

කොහොම උනත් ඩිල්ෂාන් නැති එකත් හිතට මදි වගේ.. ඒ උනත් ලහිරු තිරිමාන්නට අවස්ථාවක් ලැබීමත් හොද දෙයක්..
ඒ වගේම දැඩි සතුටක් තියෙනවා ජයසූරිය නැති එක ගැන.. මෙහෙම කිව්වම හුගාක් අය මට බනීවි.. ඇත්ත ජයසූරිය විශිෂ්ඨයෙක් තමයි.. නමුත් ඔහුහට ලබා දුන් වැඩි අවස්ථා ගණන උනත් නවක ක්‍රීඩකයින් කී දෙනෙකුට නම් අවස්ථා නැති කලාද..? කී දෙනෙක් නම් අකාලයේ පරව ගියාද..?
කොහොමටත් මගේ දැක්ම තමයි කිසිම ක්‍රිකට් ක්‍රීඩකයකු ඔනවට වඩා කාලයක් කණ්ඩායමෙ රදවා ගැනීම අසාධාරණයි කියන එක. ඇයි අපේ රටෙ නවක ක්‍රිඩකයෝ නැතිවද..?
ඩිල්ෂාන්ට ආරම්භක පිතිකරු අවස්ථාව ලබා දී සහයට මුබාරක් යොදවන්න ඔන කියලා මම කල්පනා කලේ 2002 දී විතර.. සතුටුයි පහු වෙලා හරි ඩිල්ෂාන්ට ඒ තැන ලැබීම පිළිබදව.. ඒත් මුබාරක් වගේ වටින ක්‍රිඩකයෙක්ගෙන් අපිට නියම වැඩෙ ගන්න බැරි උනා..
කණ් ඩායමෙ විවිධත්වය පිළිබදව පිළිබදව තේරීම් කමිටුව මීට වඩා අවධානය යොමු කල යුතුයි.. කෞෂාල් ලොකු ආරච්චිගේ පන්දුවෙන් වගේම නිමෙශ් පෙරෙරාගේ දග පන්දුවෙන් ගත හැකිව තිබූ සංකලනය පිළිබදව කාටවත් තේරුම් ගැනීමට නොහැකි වීම අපේ කරුමෙ..
සමහර විට නිමෙශ් පෙරෙරා ගැන සමහරු දන්නෙවත් නැතිව ඇති.. මුරලි ගේ පාසල් වාර්ථා පවා බිද දැමු ඔහු ඒ වගේම පිතිකරණය අතිනුත් විශාල සේවයක් කල හැකි අයෙක්..
කාමන් මාපටුන, රුචිර පල්ලියගුරු, ඒ වගේම කරළියට නොගෙනා වටිනා චරිත.. අනේ මන්දා ඇයි ඔවුන්ට එහෙම උනේ කියලා..
දැන් උනත් කල යුත්තේ සංගාගෙන් නායකත්වය ඩිල්ෂාන් හරහා කණ්ඩම්බිට යන ක්‍රමයක් පිළිබද සැලසුම් කිරීමයි.. ඒත් ඉතින් මම කියන ඒවා අහන්න කවුද ඉන්නේ.. දුක තමා..

01 January 2010

නිදි නැති රැයක්...

තවත් අවුරුද්දක් ගෙවිලා ගියා..
දැන් තමයි මට මගේ කොම්පීතරව හම්බවෙන්න පුළුවන් උනේ..
ඊයේ සෑ තමයි සෑ.. පිස්සු හැදෙනවා..මං මලා..
අම්මපා ගිය අවුරුද්ද තව ටික දවසක් තිබුනනම් හොදයි කියලා හිතුනේ ඊයේ රෑ තමයි. මටත් ඉතින් නිකන් ඉන්න බැහැනේ.. අපේ අංශය හැඩ වැඩ කිරීමෙ මහ භයානක කටයුත්තට අත ගැහුවා.. උදේම තීන්ත පාරක් ගෑවා.. තීන්ත ගෑම ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න කරුණු තියෙනවා. ඒත් දැන් බැහැ..
ඊට පස්සේ පාන්දර 4වෙනකල්ම සැරසිලි වැඩ.. හප්පේ පණ ගියා..
ඊයේ පාන්දර 2ට විතර තමයි නා ගත්තේ..එතන ඉදලා සුළු වැඩ කීපයක් කරලා යාන්තම් සැරසිලි ඉවර කර ගත්තා.. නිදා ගන්න කියලා බලන කොට එළි වෙලා. ඊට පස්සේ තව ලෙඩක්.. අත රිදෙනවා එක එක්කෙනාට දීලම..
හක්ක රිදෙනවා සුභ පතලම.. කොහොමින් කොහොම හරි.. උදේ සෙත් පිරිත්.. තේ මෙසය (කැමතිම අංගය ඔං) සංගීත සාජ්ජෙ.. ඒත් ඉතින් ඒක පටන් ගන්නකොටම මම එන්න ආවා.. වෙන එකක් හින්දා නෙවෙයි මගේ දහම් පාසල් ගෝලයෝ කීප දෙනෙකුගෙන් තිබුනු ආරාධනාව අහක දාන්න බැරි හින්දම..
ඇස් දෙකේ නිදි මත පෙරෙනවා..
අන්තිමට ඔය ඔක්කෝම වැඩ ඉවර වෙලා ගෙදර එන කොට හවස 4යි..
හැබැයි වැදගත්ම දේ අද මත්පැනින් තොර දවසක්..
ගෙදර ඇවිත් නාලා නිදා ගත්තා.. නැගිටින කොට 7යි..
බඩගිනියි.. හදා ගත්තා නූඩ්ල්ස් ටිකක්.. දැම්මා බඩට.. ආ දැන් හරි.. ඔන්න පටන් ගත්තා ලියන්න..
ඉතින් වර්ෂයක් ගෙවිලා නව වසරක් උදා උනා..
බලාගෙන ගියහම ඇති දේකුත් නැහැ.. මෙ වසරත් ඔය විදියට ගෙවිලා යාවි..
ජීවිතේ රැකිලා තිබුනොත් ලබන අවුරුද්දෙත් මෙ වගේම ලියාවි..
වෙනනම් ඉතින් මොනවා කියලා වෙන්නද..?
කොහොම උනත් හැම දෙනාටම තම තමන් පතන යහපත් පැතුම් පමණක් ඉටුවන (අයහපත් ඒවා ඉටු උනොත් ලෝකෙට හොද නැහැ) සුභ නව වසරක් වෙවා කියලා පතනවා..
ලියන්න හුගාක් කරුණු තියෙනවා..ඒත් මෙක කොටන්න ගියහම එපා වෙනවා..

පිපෙන කැකුළිති මලක් ..
වන්ය නුඹ මා අසල..
මහළු බඹරිදු මමයි ..
සිනිදු පෙති මත රගන..
මල් කැකුළියේ නුඹට ..
ආදරෙයි මා තවම..
ඒ උනත් මට නොහැක..
රැදෙන්නට නුඹ ගාව..

ලපැටි නුඹ අභිමුවෙහි..
මම වීමි වියපත්..
ලොවෙන් රුදු වදන් වැල් ..
එල්ල විය හැක අපට..

ඒ නිසා පැංචියේ..
තනන්නේ කෙලෙසකද..
නුඹට හිමි.. මාද ඇති..
නිදහසේ කැදැල්ලක්..
සොදුරුතම සිහිනයක්...