28 February 2010

මාරයාටත් මාරුවක්...

වසරකුත් මාස හයකට පස්සේ ඔන්න මාරයාටත් මාරුවෙන්න කාලේ ඇවිත්..
අපේ පාලනාධිකාරිය තීරණයක් අරගෙන මාව මාරු කරන්න.
සාමාන්‍යයෙන් අපේ රැකියාවෙ ස්වභාවය තමා අවම වශයෙන් මාස හයකට වරක්වත් සේවා ස්ථාන මාරු කර යැවීම.
නමුත් මොකක්දෝ හේතුවක් නිසා හෝ මගේ වැඩ පිළිවෙල නිසාම හෝ දැනට මම වසර එක හමාරක් තිස්සේ මෙම ස්ථානයේම රැදී සිටියා.
කෙසේ වෙතත් මෙ වසර එක හමාරක කාලය තිස්සේ මා හැර අන් නිලධාරීන් 38ක් පමණ මාරු වී ගොස් තිබුණා.
අන්තිමට ඔන්න මටත් ටිකට් එක ලැබුණා.
දැන් ඉතින් මාර්තු පළවෙනිදා සිට මාත් මාරු.
ඉහලින් කිවුවෙ නම් මාසයකට පමණයි කියලයි.
ඒත් කොහොම වෙයිද දන්නේ නැහැ.
කොහොම උනත් කමක් නැහැ..
මාසයකින් ආපහු එන්නත් වෙයිද දන්නේ නැහැ. එහෙම එනවනම් මුකුත් වෙනස් කරන්න වෙන්නේ නැහැ.
නැත්නම් ඉතින් දැන් යන තැනට කිට්ටුව පුංචි ගේ කෑල්ලක් එහෙම හොයා ගන්න වෙනවා.කෝකටත් මාසයක් ඉදලා බලනවා මොන අතට පෙරළෙයිද කියලා.
ඉතින් අද උදේම මාගේ භාරයේ මෙතුවක් කල් තිබු සියළුම බඩු භාණ්බ මා යටතේ සිටි නිලධාරියාට පවරා අද උදේ මම ගෙදර ආවා.
බලාගෙන යනකොට පුදුම සහනයක් දැනෙන්නේ..
රස්සාව අතහැරලා දැම්මනම් තවත් හොදට තියේවී කියලත් හිතුනා.
මට යන්න වෙලා තියෙන්නේ දැන් ඉන්න තැනට වඩා ගෙදර ඉදලා කිලෝ මීටර 5කට විතර එහා තැනකට.
එතන හරි පාළු තැන. දවසම තනියම ඉන්න තියෙන්නේ.
දැන් ඉන්න තැන නම් අපේ නිලධාරීන් අට දෙනෙකුත් පිරිවරාගෙන තමයි මම හිටියේ.
ඒ වගේම ආයතනයේ සේවක සේවිකාවෝ 250ක් පමණත් හිටියා පොඩ්ඩක්වත් පාළු නැහැ.
ඒ වගේම කිසිම නිවනකුත් නැහැ.
ඒත් යන්න තියෙන තැන මම විතරයි තනියම. දවසම ඔහේ බලා ගත්ත අතේ බලාගෙන ඉන්නයි තියෙන්නේ.
වැඩත් නැහැ.
පොත් තුනක් පවත්වා ගෙන යන්නයි තියෙන්නේ.
අද උදේ මම පොත්38ක් බාරදීලයි ආවෙ.
ඒ හැටියට බලනකොට නම් නිකම්ම ඉදිල්ලක් තියෙන්නේ.
මටත් ලැපක් තිබුනනම් කියලා හිතෙන්නේ මෙ වෙලාවට තමයි.
එහෙම නම් ඉතින් මොනවා හරි කොට කොට ඉන්න තිබුනා.
කෑම ප්‍රශ්නේ විසදගන්නත් ඔන.
හැමදාම උදේ හයට අවදි වෙන්නත් වෙනවා.
දුක තමා...
ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලත් නෝ කථා
වැඩට ගිහිල්ලත් නෝ කථා...
මට කථා කරන වචනත් අමතක වෙයිද මන්දා..

24 February 2010

ධන යෝග සහ රාජ යෝග

දිග ලිපියක් ලියන්න බලාපොරොත්තුවක් නැති වුනත් හුග දෙනෙක් කැමති මාතෘකාවක් වෙවි මෙක.
අද මට මෙ කාරණය කථා කරන්න හිතුනේ මා ළගට ආ අයකු විසින් කල විමසීමක් නිසයි.
යම් කිසිවෙක් කේන්දර සහ පලාඵල ගැන විශ්වාස කරනවා නම් ඒ සෑම අයකුම බොහෝම සැලකිලිමත් වන දෙයක් තමයි තමන්ගේ කේන්දරෙත් ධන යෝගයක් එසේත් නැතිනම් රාජ යෝගයක් තියෙනවද කියලා දැන ගන්න එක.

සමහරු මෙ පිළිබදව බොහෝම විශ්වාස කරනවා.
කවදා නමුත් තමන්ට වාසනාව උදා වෙවී කියලා හීන මාළිගාවල් මවාගෙන ජීවත් වෙනවා.

ඇත්ත...
පෘතග්ජන මිනිසුන් වශයෙන් අපි කවුරුත් කැමතියිනේ සැප විදින්න.
හැම කෙනාම කැමතියි නිරායාසයෙන්ම ලැඛෙන ධනයකට හෝ බලයකට උරුමකම් කියන්න.
ඉතින් මම අද බලාපොරොත්තු උනේ ලොකු දෙයක් කියන්න නම් නෙවෙයි.
මෙ
ධන යෝග සහ රාජ යෝග කියන දෙකෙහි වෙනසක් තියෙනවා කියලා පෙන්නලා දෙන්නයි.

කෙනෙකුගේ කේන්දරයක රාජ යෝගයක් හෝ ධන යෝගයක් හෝ මෙ දෙකමත් හෝ කිසිවක් නැතිවන්නටත් පුළුවන් කම තියෙනවා.
සමහරු වැඩියෙන්ම කැමති ධන යෝගවලට..
ඇයි ධනය තියෙනවා නම් සැප විදින එක කජ්ජක්ද නේද?
සම්පූර්ණ වරදි අදහසක්.

ඇයි මම එහෙම කියන්නේ...

අපේ කෙන්දරයක ධන යෝගයක් හෝ කිහිපයක් යෙදුනු පළියට අපිට සැප විදින්න පුළුවන් කියලා හිතන එක වැරදියි.
කොයි තරම් ධනය තිබුනත් ඒ ධනය වියදම් කරලා සැප විදින්න බැරි මොන තරම් නම් සල්ලිකාරයෝ අපේ සමාජයේ ඉන්නවද?
එහෙම වෙලා තියෙන්නේ එයාලාගේ කෙන්දරවල ධන යෝග තිබුනටරාජ යෝග නැති වීමයි.
රාජ යෝගයක් කියන්නේ කෙනෙකුව සැපයෙන් තියන්න හේතුවන යොග වලට.
එහෙම යෝගයක් තිඛෙන කෙනා අතේ සතේ නැති වුනත් සැපට ඉන්නවා.
ඔයාලා දැකලා ඇති ඒ වගේ අයව.
කරන රස්සාවකුත් නැතිව, අම්මා තාත්තා දීලා ගිය දෙයකුත් නැතිව උනත් හොදට කාලා බීලා ජොලියේ ඉන්න අය දැකලා තියෙනවා නේද?
හැබැයි මෙ වගේ අයට හුග දෙනෙක් බනිනවා, දොස් කියනවා,
නිකමා,පිංගුත්තරයා(ලාල් කාන්ත නෙවී හොදද?) වගේ වචන මුලට යොදලා ඒ අයව අමතන වෙලාවළුත් තියෙනවා.
(රජවරුන්ටත් හොදක් කියන අය නැහැනේ) ඉතින් සමාජයේ ඒ අයව මොන විදියට සැලකුවත් එයාලා සැපට ඉන්නවා.
ඉතින් මම මෙ කියන වෙනස ඔයාලට තේරෙනවද?

සල්ලි තිබූ පලියට සැප විදින් බැරි ඒ වගේම කොච්චර සැපට හිටියත් අතේ සතේ නැති අයත් ඉන්නවා.

සමහරු හිතන්නේ රාජ යෝගයක් තිබූ ගමන් ඒ අයට රජකම්, ඇමතිකම් හම්බ වෙනවා කියලයි.
මොන පිස්සුද?
රාජ යෝගයක ප්‍රතිඵලය සමහර විට සමිති සමාගමක සභාපති ධූරයෙන් එහාට දෙයක් ලබාගත නොහැකි තත්වයට පත්වීමෙන් අවසන් වීමටත් පුළුවන්.
කොහොම උනත් හොද ප්‍රභල රාජ යෝග තියෙනම් රජයේ හෝ සමාජයේ උසස් තැන්වලට යෑමට සහ උසස් පුද්ගලයින් ඇසුරට ඉඩ ලබා දෙනවා.
ඉතින් කාට හරි ධන යෝග සහ රාජ යෝග යන දෙවර්ගයම තියේ නම් අන්න ඒ අය හොද පිරුනු ජීවිත ගත කරනවා
මෙ ලියන මාරයාටත් ධන යෝග නැහැ හැබැයි රාජ යෝගනම් කිහිපයක්ම තියෙනවා.
ඒ වගේම ඒ රාජ යෝගවල ප්‍රතිඵලත් බුක්ති විදලා තියෙනවා.
හැබැයි ඉතින් අදටත් අතේ සතේනම් නැහැ.

21 February 2010

මට ආසයි...

හුග කාලෙකින් ක්‍රිකට් ගහන්න හම්බ උනේ නැහැ.
මට ආසයි ක්‍රිකට් ගහන්න.
ඒත් මෙ පළාතේ මට සෙල්ලම් කරන්න තැනක් නැහැ.

පුස්තකාලෙකට බැදෙන්නත් ඔන.
ඒත් මට ස්ථීර පදිංචියක් නැති නිසාත් ඇපයට අත්සන් කරන්න දන්න කියන කවුරුවත් නැති නිසාත් ඒකත් කරන්න බැහැ.
මට එපා වෙලා තියෙන්නේ...

හිතන්නෙපා මට වෙරිය කියා...

17 February 2010

මගුලක් කථා කරනවා..

පිස්සු හැදෙන සඳ.. මටත් මගුලක් කථා කරන්න වෙලා.
හැබැයි බයවෙන්න දෙයක් නැහැ. මෙ තනිකඩ සංගමෙ සභාපති තැන්පත් මාරයාව බන්දන්ට එහෙම නෙවී ඔං මගුල කථා කරන්නේ.
මෙ මම දන්න අඳුරන මගේ වයසේම නෑඹුල් තරුණ ගැටයකුට තමා ඔං.
ඉතින් මෙ හාදයාට මොනවා හරි පිළිවෙලක් කරන්ටය කියලා උන්නැහෙගේ නැගණිය තමයි මට භාර දුන්නේ. මාත් ඉතින් මීට මාස දෙකකට විතර කලියෙන් වෙලාපත්කඩෙ එහෙම ඉල්ලගෙන පරීක්ෂා කොරලා බැළුවා.
කිරි අප්පට බල්ලෝ පැනපි කිවුවලූ. මෙකාත් මං වගේම බුවෙක් නෙව කියලා මට හිතුනා. මෙකා බන්දවන එක මාව බන්දවන එකට හපන් වැඩක් . ඔයින් මෙයින් කාලෙත් ගතවෙලා ගියා ඔන්න බොලේ ඊයේ පොඩි වැඩක් සෙන්ටමෙන්ටල් වී ගෙන ආවා..
මාත් තාම කෙළි පැටික්කිව දැක්කේ නැහැ. ඒත් අහපු විස්තර වලින් නම් පොඩි සැටිස් පාරක් තියෙනවා. ඉතින් මෙ ඉස්සරහ දවස් දෙක තුනේ ටිකක් මහන්සි වෙලා මෙ මගුල කථා කරන්ටය කියලයි මගේ කල්පනාව.
කොල්ලාට වයස 30යි. ලස්සන සල්ලිය භාගේ තියෙන ගුණ යහපත් හැදිච්ච අම්මට කීකරු සහෝදරයින්ට ලැදි හොද එකා.
කෙල්ලට වයස 19යි. දුප්පත් උනත් හොදට හැදුනු අහපු විස්තර අනුව නම් ලස්සන චූටි හුරුබුහුටි එකී.

ඉතින් බලමු නේද වැඩෙ ගැට ගහලා..

14 February 2010

කිව යුතු කථාවක්...

එවකට ඔහු එකමත් එක කාලයක එකමත් එක පළාතක පොල් වත්තක් බලා කියා ගත් කංකානම් කෙනෙකු විය.
ඔහුගේ හාම්පුතා එම වත්තේම තම බංගලාවෙ වාසය කල තරමක් සැඩ පරුෂ ප්‍රතාපවත් පුද්ගලයකු විය. එම බංගලාවෙ උයන පිහන වැඩ සිදු කරනා අතර තුරම තම ස්වාමියාට ලිංගික සේවයද ලබා දුන් මුව දෙනෙකුගේ බදු ඇසුත් ,ඝණ කළුවන් කැරළි ගැසුනු කෙස් කළඹද සහිත, පිරුණු රත්වන් දෙතොලකට උරුම කම් කී තරුණියට එම කංකානම් තැන ආදරය කලේය.
තරුණිය චපල සිතැත්තියක්දැයි මම නොකියමි.
නමුදු ඇයද එම තරුණයාහටපෙරළා ආදරය කළ බව නම් මා දනිමි.
කාලය කෙමෙන් ගලා යන්නට විය. දිනක් හාම්පුතා නිවසට පැමිණෙන විට ඔහු දුටුවෙ කුමක්ද...?
කුස්සියේ දිග බංකුව මත රමණයෙහි යෙදෙන සිය මෙහෙකාරිය හා තම සේවක කංකානම්ගේ දසුනය.
කිසිවක් සිතාගත නොහැකි වූ ඔහු කෝපාවිශ්ඨව ඇය ගෙන් විමසා සිටි විට ඇය එම ඇසුර වූයේ බලහත්කාරයෙන් බව පැවසූවෙ කංකානම් සේවයෙහි යෙදුනු තරුණයා අන්දමන්ද කරවමිනි.
නිදහසට කරුණු කීමට ඔහුට අවස්ථාවක් නොවිණි.
ජීප් රථයේ කඹයකින් සිරුර වෙලා හාම්පුතාගේ සහචරයින් විසින් ඔහු ඇදගෙන යන ලදි.
මග දිගට වූ කටු පදුරු සහ අනිකුත් වන ලැහැඹට හසුව සිදු වූ ඔහුගේ සිරුර පුරා සීරුම් ලකුණුද තුවාල කැලැල්ද සහිතව පොල් වත්ත අසලින් ගලා ගෙන ගිය ගංගාවට ඔහුගේ සිරුර විසි කෙරුණෙ පණ පිටින් සිරුර කඹයකින් වෙලාය.
තරුණයා අපමණ දුකක් විද අසරණව ගිලී මිය ගියේ ගං පතුලෙ තිබූ වැලි සහ රොන් මඩ සිය මුව තුල පිරී යද්දීය.
දිනකට පසු ගග පහල වක්කලමකින් සිරුර හමු විණි.
තරුණිය ආරංචිය ලද විගස හඩා වැළපෙමින් එහි දිව ආවෙය.
නිසල වූ තරුණයාගේ පණ සුන් සුදුමැලි වූ සිරුර බදා හඩා වැළපුණි.
හාම්පුතාට කළ වරද අවබෝධ උණි.
තම කීකරු සේවකයා චපල ගැහැණියකගේ බියපත් ව දුන් මුසා වදන් අසා විනාශ කල බව තේරුම් යන විට ඔහු ප්‍රමාද වැඩිය.
කිසිවක් සිතා ගත නෙහුණු තැන ඇයගේ දිවි තොර කළ ඔහුද සිය පණ හානි කරගති.
අවසානයක් එලෙස සටහන් විණි.
නමුදු....
නැවත කථාව ඇරඹිණි..
ඔබට සිතා ගත හැකිද..?
ඔවුන් මෙහි වසනා බව...
නැවත ඉපදී....

13 February 2010

නින්ද යන්නේ නැති නිසා..

වෙලාව පාන්දර 4.22යි.
නිදා ගන්න හැදුවට නින්ද යන්නේ නැහැ.
ඊයේ රෑ හුග දවසකට පස්සේ ආයෙත් යාළුවා ඇසුරු කලා(මගේ ආදර බෝතලේ)
වැඩි වෙන්නම ගැහුවා. දින ගණනාවක් ඉදලා හිතේ හිරවෙලා තිබුනු දුක කරවෙලා යන්නත් එක්කම ඇරලා දැම්මා. අන්තිමට රෑ 10 වෙනකොට මම දොයිය බබා උනා.
ආයෙමත් පාන්දර 3 ට ඇහැරුනා. මොනවා කරන්නද? මම දන්නවා ආයෙත් නින්ද යන්නේ නැහැ කියලා.
ඒ හින්දා වැඩ පොලට විසිට් එකක් දාලා,අපේ ආරක්ෂක සහෘදයෝ ටික හොදට ඩියුටිද කියලා චෙක් කරලා බැළුවා. බයික් එකේ එන්ජින් එක ඔෆ් කරලා නිවුටල් පාරක් ගහගෙන ගිහින් සද්ද නැතිව ගේට්ටුව ගාව නවත්තලා, පොඩි කවුළුවකින් ඇතුල බලාගෙනම ගේට්ටුවට තට්ටුවක් දැම්මා.
O.I.C. උන්නැහෙ නම් ඇස් දෙක පිහ පිහ ආවා.
තව අපේ J.S.O.කෙනෙක් ඇවිත් ගෙට්ටුව ඇරියා.
ටික වෙලාවකින් අනිත් හාදයත් ආවා.
කිසි අවුලක් නැහැ.
නිදිමතේ හරි ඔය ගානට ආවාම ඇති.
ඒත් කෝ මෙ කාන්තා ආරක්ෂක නිලධාරිනිය..?
හැම තැනම හොයලා බලලා නැති තැන O.I.C.උන්නැහෙ ඇරියා බලන්න කාන්තා විවෙක කාමරය පැත්තේ..
ආ.. මෙ ඉන්නේ හොදට දොයියලා..
බඩුම තමා..ඒත් ඉතින් මම මුකුත්ම කියන්න ගියේ නැහැ.

මෙන්න මෙයාම කියවගෙන එළියට එනවා..
බොරු වැලයි...
පුදුම ගැහැණු තමයි අප්පා..
මම අහන්නෙත් නැතිව නිදහසට කරුණු කියනවා..
ඔක්කොමත් හරි අතටම මාට්ටුවෙලා තියෙද්දිත්,සාක්කියට කට්ටියත් ඉදිද්දිත් මෙ ඇත්තී කියන බොරුවල තරම..

හිනා යන්න ආවත් හිනාව තද කරගෙනම
"හා හා ගිහින් තියෙන වැඩක් බලාගෙන ඉන්නකෝ"
කියලා. ලොග් එකේ සේවය හොදයි කියලා සටහනකුත් දාලා මම ආවා.අනිත් වැඩ කරන සුපවයිසර්ලයි කෙල්ලො කොල්ලෝ ටිකයිත් වැඩ.
චූටි චූටි බටු ඇට වගේ කෙල්ලෝ නිදි මරගාතේ වැඩ කරන හැටි දැක්කම නම් දුකේ බෑ අප්පා..
ම් ම් දැන් නං වෙලාව4.45යි මොනවා හරි හදා ගෙන බොන්න ඔන. ඊට කලින් නා ගත්තනම් හොදයි. උදේට ලෑස්ති වෙලා වැඩට යන්නත් එපායෑ.

10 February 2010

ඔයාලවත් කියන්නකෝ මම කල යුතු නිවැරදිම දේ මොකක්ද කියලා..?

මට හැමදාමත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ලියන්න ගියහම මාතෘකාවක් නැති එක. මොනවා හරි ලියලා ඉවර උනහම ඒකෙන් මොකක් හරි අරගෙන මාතෘකාව කරන එක තමයි මගේ ක්‍රමය. ඉතින් අදත් පටන් ගත්තා එහෙනම්.
ඉතින් හෙට උදේ වැඩට යන්නත් ඔන. තාම මෙ මාසේ පඩි ගත්තේත් නැහැ.
ඒ නිසා මෙ දවස් ටිකේ මම නිකං අශ්වයා මැරුණු ජොකියා වගේ තමයි. මොනවා කරන්නද ඔහොම තමා ජීවිතේ.
මෙ දවස්වල හරි පෑවිල්ල. දවල්ට ඉන්න හිටින්නත් බැරි තරම්.
ඒ මදිවට රාජකාරි ස්ථානේ ජල අර්බුධයක් ඒක මතක් වෙද්දී වැඩට යන්නත් එපා වෙනවා.
මොනවා නැතත් නාලා කාලා ඉන්න තියෙන්න එපැයි නැද්ද මං අහන්නේ?
මෙ දවස් ටිකේ අරපිරි මැස්මෙන් තමයි වැඩ.(පඩි හම්බ උනාවෙකෝ දෙන්න බැටෙ)
සාමාන්‍යයෙන් මම මගේ තැන තැන ගෙනියන බෑග් කට්ට ඇතුලේ දාලා තියෙන බලන්න හම්බ උන කේන්දර එහෙම බලන්නේ මෙ දවස් වලට තමයි.
නැත්නම් කම්මැලි කමට ඔහේ ඉන්නවා මිසක් මම නෙවෙයි ඔවා බලන්නේ.
ඉතින් අද උදෙත් කේන්දර දෙකක් බලලා ඉවර කලා. ඇත්තටම මෙ වැඩෙ විතරක් කරන්න කියලා හිතාගෙන හිටියනම් එහෙම මම මොනවා කරයිද දන්නේ නැහැ. ඒ තරමට මෙකට මම කම්මැලියා.මං ගැන දන්න කිහිප දෙනා උනත් දන්නවා මගෙන් කෙන්දරයක් බලව ගන්නනම් ඉතින් ග්‍රහ මාරුවක් වෙන්නම ඔනේ කියලා.
ඒත් ඉතින් උන් උනත් ඉවසගෙන ඉන්නවා මටම හිතිලා බලලා දෙනකල්.
අද මගුලක් ලියාපදිංචි කරන්න නැකතක් හැදුවා.
ඒක කරන්න ගිය වෙලාවෙ තමයි දැක්කේ කේන්දර දෙක.
මුන් දෙන්නා පොරොන්දම් එහෙම බලලා නැතිවග මට තේරුණා.
නැත්නම් වෙන්නේ මගුලක් නෙවෙයි අවමගුලක්.
ඒ තරම්ම නොගැලපෙන කේන්දර දෙකක්.
මොනවා කරන්නද මන්දා? දැන දැන නොකියා ඉන්නත් බැහැ. ඒත් මට කිවුවෙ නැකතක් හදලා දෙන්න කියලා විතරක් නිසා වැඩි පණ්ඩිතකම් ඔනැත් නැහැ.
මම දන්න තරමින් මෙ කෙල්ලට බදින්න හදිස්සියි.
පහු ගිය කාලේ දෙතුන් දෙනෙක්වම ආස්සරය කලත් ඒ කවුරුවත් මෙයාව බදින්නනම් ඊදිරිපත් උනේ නැහැ.
ඒ නිසාම මට පේන විදියට මොන දේ උනත් මෙ මගුල කරගන්න කෙල්ලටයි අම්මටයි ඔන වෙලා තියෙනවා.
ඒත් ඉතින් ඉගෙනගත්ත සාස්තරෙට අනුව දෙයක් දැක්කහම නොකියත් බැහැ.
ඔවා කියන්න ගිහින් මගුල කැඩුනහම ඒ පාපෙට වග කියන්නත් බැහැ.

ඔයාලවත් කියන්නකෝ මම කල යුතු නිවැරදිම දේ මොකක්ද කියලා..?

කේන්දර බලන වැඩෙ හරි අපූරු දෙයක්. ඒ වගේම සමහර වෙලාවට හරි අමාරුම දෙයක්. මම බොරු කියන්නත් කැමති නැහැ. ඇත්ත කියපුවහම ඒක අහන මිනිස්සු මානසිකව කඩා වැටෙනවා කියලා දැන දැනම කියලත් බැහැ.
හුගාක් අය එන්නේ තමන්ට ඉස්සරහට හොදයි කියලා කියවගන්න.
ඒත් ඒක එහෙම නෙවෙ කියලා දැන ගත්තහම හුගාක් මානසිකව වැටෙනවා. සමහරුන්ට මෙ පිළිබදව කරුණු කාරණා කියලා තේරුම් කරලා දෙන්න පුළුවන්. තවත් සමහරුන්ට බැහැ.
කොහොම උනත් අපේ කේන්දරවල හුගාක් දුක් කරදර ගැන තමයි ලියවිලා තියෙන්නේ. සසර පුරාවට අප විසින් කරපු සියළු පිං පව් අදටත් අප පසුපස හඹා එමින් අපට ඵල විපාක දෙමින් පවතිනවා.
ඒ විපාක විදින ගමන්ම දැනටත් අප තව තවත් දේවල් රැස් කරගන්නවා.
කොහොමත් සසර පුරා පිං විතරක් හෝ වැඩිපුර පිං කරපු අය හරි අඩුයි. වැඩි හරියක් ඉන්නේ දුක් විදින්නම ඉපදිලා.
මෙ ටික හරියට තේරුම් ගන්නවනම් ලොකු දෙයක්.
වැදගත්ම දේ තමයි යථා තත්වය අවබෝධ කරගෙන ජීවත් වීම සහ ඉදිරි ජීවන මග හොද අතට හරවා ගැන්ම.

08 February 2010

බත ඉදෙනාතුරු ඉවුම් පිහුම් පාඩමක්..

උදේ ගෙදර ආවා.. එන ගමන් කඩෙන් තෝසෙ 2ක් අරන් ඇවිත් බඩට දාලා එහෙම ඔන්න රෙදි ටික හෝදලා නා කියාගෙන බලන්න තිබුනු කේන්දර 2ක් බලලා ඉවර වෙලා දැන් තමයි කොම්පීතර ලගට ආවෙ..
ආ බත් එකත් ගෑස් ලිප උඩ ඉදෙනවා..
දැන් තමයි අමාරුම හරිය දවල්ට කන්න මොනවද හදන්නේ?
හැමදාමත් මට තියෙන ප්‍රශ්නේ ඔක තමයි.
රසට තියෙන්නත් ඔන
පෙනුමට තියෙන්නත් ඔන
උයන්න ලේසි වෙන්නත් ඔන
ඉක්මනට හදා ගන්නත් ඔන
කන්න පුළුවන් වෙන්නත් ඔන

මටම ආවෙනික කෙටි ඉවුම් පිහුම් ක්‍රම රාශියක් තියෙන නිසා හොදයි.
නැත්නම් ඉතින් මම වගේ තනිකඩ සංගමෙ සභාපති ධුරය දරන කාර්ය බහුල වැදගත් පුද්ගලයෙකුට මොන තරම් නම් කියලා ප්‍රශ්නද අප්පා..
ඉතින් බත් එක ඉදෙනකල් මම කල්පනා කලා අපේ තනිකඩ සංගමෙ සාමාජික භවතුන්ටත් මගේ කෙටි ඉවුම් පිහුම් විධි වලින් එකක් දෙකක් කියා දෙන්න.
හා..හා.. දුවන්නේ කොහේද ලියා ගන්න කොලයක් එහෙම ගේන්නද? ඔන නැහැ ඔන නැහැ
මම කියන ක්‍රම මතක තියා ගන්න පහසුයි.
ඉතින් මම මුලින්ම කියා දෙන්නම් ජාතික ආහාරයක් බදු ලංකාවෙ අංක එකේ සුපිරි ආහාරයක් සකස් කර ගන්නා අන්දම
මෙකට කියන්නේ
කොකනට් ඇන්ඩ් ඔනියන් විත් ඩ්‍රයි චිලී පේස්ට් කියලා
මෙකයි ක්‍රමය

මුලින්ම මිරිස් ගල හෝදලා පිරිසිදු කරගෙන (මම නම් ඉතින් පොඩි වංගෙඩියක් තමයි පාවිච්චි කරන්නේ ඒත් වඩා හොද මිරිස් ගල තමයි) ඒක උඩින් සෝදා ගත් වියළි මිරිස් කරල් කිහිපයක්,රතුළුණූ ගෙඩි 3-4ක්(ශූද්ධ කර ගත්),අමු මිරිස් හෝ කොච්චි කරල් දෙකක්,ලුනු කැට 2-3ක්,සුදු ළුණු බිකක්, ගම්මිරිස් ඇට කිහිපයක්,සමග අවශ්‍ය නම් උම්බලකඩ හෝ ගින්නේ පුළුස්සා ගත් කුඩා කරවල කැබැල්ලක්..
මෙකියන ද්‍රව්‍යය තබා හොදින් අඹරා ගන්න.. මෙම මිශ්‍රණය හොදින් ඇඹරූ පසු එයටම සිහින්ව ගා ගත් කුඩා පොල් බෑයක පමණ පොල් එකතු කර නැවත වතාවක් අඹරා මිරිකා ගත් දෙහි ඇඹුල් මෙස හැන්දක් පමණ එකතු කර නැවතත් අතින් හොදින් කලවම් කර දීසියකට දමා ගන්න.

ඔව් දැන් ඔබට ඉතාමත් රසවත්,ඒ වාගේම පෝෂණයෙන් අනූන ගුණදායී කොකනට් ඇන්ඩ් ඔනියන් විත් ඩ්‍රයි චිලී පේස්ට්කියන ආහාරය රස විදින්න පුළුවන්.
බත්, පාන්, ඉදි ආප්ප, තම්බා ගත් අල වර්ග
ආදී ඔනෑම ආහාරයක් සමග ආහාරයට ගත හැකි මෙම ආහාරය ඔබත් අදම සාදා රස විදින්න.

ඉතින් අදට මෙපමණයි.
ඉදිරි වැඩසටහන් මගින් මම බලා පොරොත්තු වෙනවා තවත් ගුණදායී ආහාර වට්ටෝරු කිහිපයක්ම ඔබට හදුන්වා දෙන්න
ඒ අතර
තැම්බූ බම්බා, ප්‍රයිඩ් පපඩාම්,සෝල්ට් ඔනියන් ඇන්ඩ් චිලී මික්ස්, ආදී රසවත් ආහාර වට්ටෝරු කිහිපයක්ම තියෙනවා..

ම්ම්ම්ම්... මොකක්ද කර ගදක් එන්නේ...
හුටා බත් එක රොස් වෙනවෝ....

07 February 2010

එක එක දේවල් සිතට නැගෙනවා.. මට පිස්සුද මන්දා...

මට බයක් දැනෙනවා.
පිස්සු හැදීගෙන එනවද මන්දා?
මෙ ටිකේ ෆිල්ම් බැළුවා වැඩියි වගේ..
ඒ මදිවට මාසයක් පුරාවට නොබී ඉදලා මගේ ඔළුව කරවෙලාද කොහෙද?
කොටින්ම කියනවනම් මගේ සිතුවිලි ලොක් වෙලා වගේ.
මොනවා හරි ලියන්න හිතුවත් හරි හමන් දෙයක් ඔළුවට එන්නේ නැහැ.
එක එක විකාර අදහස් ඔළුවට එනවා.
අන්තිමට අද හවස මට හිතුනා කැලෑවකට යන්න ඔන කියලා.
ඉතින් කැලෑවකට ගිහින් කන්නේ බොන්නේ මොනවද කියලා හිතුවම මට කල්පනා උනා ඔය පලතුරු ජාති එහෙම කන්නත් බැරියෑ කියලා.
ඒත් ඉතින් හැම වෙලාවෙම පළතුරු කන්න ගියහම මගේ ආහාර ජීර්ණ පද්ධතිය අප්සට් යන්නත් පුළුවන්.
ඒ විතරක්යෑ ඔය තරම් පළතුරු තියෙන කැලෑවල් කොහෙද තියෙන්නේ.
සිංහරාජෙට අයිති කැලෑවක් හොයාගන්නත් පුළුවන්.
ඒත ඉතින් ඒ පැත්තේ කූඩැල්ලෝ ඉන්නවනේ.
මට කූඩැල්ලෝ එක්ක ගනුදෙනු කරන්න අමාරුයි. ඒක හින්දා වැසි සහිත වනාන්තර හරියන්නේ නැහැ.
වැස්ස අඩු, කෑඩැල්ලෝ නැති වනාන්තරවල ජල පහසුකම් අඩුයි. ඒ නිසා එහෙම තැනක් හරියන්නෙත් නැහැ. අනේ මන්දා ඔන්න ඔහොම කල්පනා කරලා මට ඒ වනගත වෙන වැඩෙත් ටිකක් කල් දාන්න හිතුනා.
ඒත් අප්පා මට දැන් එපා වෙලා තියෙන්නේමිනිස්සු කවුරුවත් නැති රස විදිය හැකි පරිසරයක් ඇති තැනකට ගිහින් ඔහේ බලා ගත්ත අතේ බලාගෙන ඉන්නමයි හිත.

ඇත්තටම මට පිස්සු හැදීගෙන එනවා නේද?

එක අතකට ඒකත් හොදයි..
මගේ ජීවිතේ මම කරන්න හිතාගෙන හිටපු දේවල් හුගාක් මම කරලා ඉවරයි.
1.තාත්තා කරපු රස්සාව කරන්න ආස හිතිලා තිබුනේ.(c.t.b.)
මාස ගාණක් තාත්තා හිටිය තනතුරට නෙවෙයි උනත් එයාත් පටන් ගත්ත තැන(කොන්දොස්තර) ජොබ් එක කලා.

2,ආරක්ෂක අංශයේ රැකියාවක්
පොලිසියේ සහ හමුදා සහ පෞද්ගලික ආරක්ෂක අංශයේ යන තුන් තැනම සේවය කරන්න පුළුවන් උනා.

3.මහණ වෙන්න ඔන කියලා හිතිලා තිබුනා.
පහුගිය අවුරුදු 5හෙම හිටියේ එහෙම තමයි. ඒකත් හරි.

4.ගුරුවරයෙක් වෙන්න හිතිලා තිබුනා.
මහණ වීමත් සමගම ඒකත් හරි දහම් පාසල් ගුරු තනතුරෙ ඉදලා ප්‍රධානාචාර්ය්‍ය දක්වා කටයුතු කරන්න හම්බ උනා.

තව ඉතිරි වෙලා තියෙන බලාපොරෙත්තු 2ක් තමයි

5.හිර ගෙදර දවසක් හරි ඉන්න එක

6.පිස්සන් කොටුවෙ දවසක් හරි ඉන්න එක

මෙ යන විදියට ඒ බලාපොරොත්තුත් ඉක්මනටම ඉෂ්ඨ වෙයි වගේ.

කොහොම උනත් මෙ ජීවිතේ ගැන මට සතුටුයි. සමාජයේ හුගාක් අය ඇසුරු කරන්නත්, ඒ හරහා මාත් ඇතුළු මිනිසුන්ගේ හැසිරීම් පිළිබදව හොදින් අධ්‍යයනය කරන්නත් මට පුළුවන් උනා. හුගාක් තැන් වල යන්න එන්නත්, වෙනස් වෙනස් දේවල් කරලා බලන්නත් මට ලැබුනු අවස්ථා ලේසියෙන් කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. මෙ අවුරුදු 30ක කාලෙට මට විදින්න ලැබුනු දේ බොහොමයි. සමහරුන්ට අවුරුදු 60කටවත් අත්දකින්න වෙන්නේ නැති දේවල් බොහොමයක් මම මෙටික කාලෙට ස්පර්ෂ කලා.

අවුරුදු විස්සෙදි කරන්න ඔන දේවල් මම දහයෙදි කලා.
අවුරුදු විස්සෙදි මම කලේ හතළිහේදි කරන දෙවල්.
අන්තිමෙදී අවුරුදු තිහ වෙන කොට මට අවුරුදු හැටක මිනිහෙකුට වගේ වෙහෙසයි.
ඇත්තටම දැන් මට වෙහෙසයි.
දරා ගන්න බැරි තරම් වෙහෙසයි.

තව දුරටත් කරන්න දේවල් රාශියක් මට ඉතිරි වෙලා නැහැ.
ඒ හින්දමද මන්දා මට දැන් ඇති වෙලා තියෙන්නේ.

වෙලාවකට මට ඇත්තටම පිස්සු තමයි.

06 February 2010

මෙ කවිය මගේ නොව.. පෙර දිනක අපේමමය...

යටිපතුල් ඉරි තැලී ලේ සලකුණුත් සමග
අසීමිත වෙදනා මතින් මා ඇවිද ගිය
පිපාසිතයෙන් වෙලී උගුර ලේ රස දැනුන
දහදියෙන් ගත තෙමී පරවු මල් පෙති සිඹින
ග්‍රීස්මය ගෙවී යයි ජීවිතය නිම නොකර
සිනිදු මල් පෙති මතට මහා වරුසා වැටෙන
සැලෙන දෙතොළග කිසිදු උනුහුමක් නොම දැනුන
ආත්මය දියව ගිය මහා වස්සානයට
මෙතෙක් මා රැක ගත්ත මට උරුම සියළු දෙය
උදුරාන දුර ගියා වියළි මල් පෙති සමග
සරත් කාලය ඇවිත් වියරු සුළගට මුහුව
සන්තකට රැක ගත්ත පපුතුරෙ සගවාන
පුංචි පැතුමකට යළි පිබිදෙන්න වෙර දරන
රුධිර ලේ මස් නහර තුලින් දළුලා වැඩෙන
හේමන්තයක් වෙලා නුඹ රැදී ඇස් ගාව
පුෂ්ප මංජරිය ළග පිබිදෙන්න කල් බලන
සුවද විදිනට සිතමි හිස ඹබා නුඹ ගාව
මල් පැනින් කුස පිරූ ගයන විහගුන් ගීත
අසන්නට පිං පුරමි නුඹෙ තුරුලට මැදිව
ජීවිතේ කිසිදාක දැක නොමැති වසන්තය
මා සිහින ගොනු කරමි දකින්නට නුඹ සමග
මට මාද අහිමි වී ඒ සිහින බොද වෙද
සිසිරයම ගිනි අරන් වසන්තය නොම ඒද


ඇත්තටම මෙ කවිය මම ලියපු එකක් නොවුනත්
මගේ අදහස් ඇගේ අදහස් සමග ගලපා අප දෙදෙනාම වෙනුවෙන් ඇය විසින් ලියූවක්..
ඒ වන විට අප දෙදෙනා ආදරය ප්‍රකාශ කර නොතිබුනත් දෙදෙනා දෙදෙනාහටම බැදී සිටි කාලයයි..
මට මෙන්ම ඇයටත් ජීවිතයේ විදිනට වූ සියළු දුක් කම්කටොළු මෙන්ම
දෙදෙනාම අනාගතය පිළිබදව තබා තිබූ බලාපොරොත්තුද කැටි කොට මෙය නිර්මාණය උනා.
ඇත්තටම ඒ කාලය ඉතාමත් සුන්දරයි. අපි දෙන්නා බොහොම ළගින් ඇසුරු කල යුගයේ...
දෙදෙනාගේ දුක සතුට ඛෙදා ගත් යුගයේ මෙ කව ලියඋනා.
පසුව අප ආදරයෙන් වෙළුනා.. ජීවිතය ගලා ගෙන ගියා..
අවසන බොහෝ දුක්බර අවසානයක් සනිටුහන් කරමින් අපට වෙන් වෙන්නට වූ නමුත් මෙ කවිය ඇතුළු බොහෝ සැමරුම් මා සතුයි. ඇය අද මා අසල නැතත්ඒ සොදුරු දින කිහිපයෙහි සුවද අදටත් මාව ජීවත් කරවනවා..ඒ මතක සුවදත් සමග ජීවිතය ගලාගෙන යනවා..
දවසක දිනයක් ඒවී.. මා මෙලොවින් සමු ගන්නා..
එදිනට මෙ සොදුරු සුවදත් සමගින් මා මිය යාවී..
බොහොම සතුටින්...