31 March 2010

මගේ ගුරු...

අනේ මන්දා කියලත් බෑ... නොකියත් බෑ...

ලියන්ඩ අදහස් නම් එමටයි. ඒත් ඉතින් කොතනින් පටන් අරගෙන කොතනින් ඉවර කරන්නද මන්දා.

මුලින්ම පටන් ගමු මගේ ගුරුවරයෙක් ගාවින්...

මට මගේ ජීවිතේදී හමු වූ මිනිසුන් අතරින් සුවිශේෂීම පුද්ගලයා මොහුය කිවුවොත් ඒකත් හරි වගේ..
මම දන්න කියන කාලේ ඉදලාම මම මෙ මනුස්සයා අදුරනවා. ඒකට හේතුව උනේ ඔහුත් අපේ ගමෙම වීමයි.
අපේ ගෙදර ඉදලා මීටර් 500ක් පමණ දුරකින් සිටියා උනත් මොහු මගේ ගුරුවරයකු බවට පත් වෙන්නේ මට වයස පහළවක් දාසයක් විතර වෙන කාලෙ ඉදලා තමයි.
ඒ කාලේ තමයි ඉතින් මගේ ජීවිතේ හොදම කාලේ...

සතියට දවස් තුන හතරක් ඉස්කෝලෙත් යන ගමන්..
පුළුවන් හැම වෙලේම එක්කෝ බෝල ගහයි..
නැත්නම් ඇළක පැනලා නායි..
එහෙමත් නැත්නම් බෝක්කුවක් උඩට වෙලා කොල්ලෝ කට්ටියත් එක්ක යාං හෑලි කිය කිය ඉඳී..
සමහර දවස් වලට රා බෝතල් පහ හයක් ගෙනල්ලා මඤ්ඤොක්කා තමිබගෙන (කට්ටිය අතේ සල්ලි තියෙන වෙලාවක නම් ඔකට ඌරු මස් ටිකකුත් එකතු වෙනවා-නැතිම වෙලාවට ඉතින් මුරුක්කු පැකට් තමයි) කොච්චි සම්බෝල හදාගෙන නෙලලා දායි..
අතරින් පතර සරුංගල් වලටත් සෙට් වෙන කාල එනවා..(හුළනුත් එපැයි)
සංගීතයක් වරද්දන්නේ නෑ...
සංගීත බලලා ආපහු එනකොට අතර මග හම්බ වෙන මළ ගෙවල්වල කොඩි වැල් ගලවාගෙන ඇවිත් ඒ හරියේ ඉන්න අලි ඔළුවෙන් ඉන්න බුවාලගේ ගෙවල් ඉස්සරහ ගේට්ටුවල ඔතයි...
ව්‍යාපාරික ස්ථානවල නාම පූවරු මාරු කිරීමත් නියම වැඩෙ.. පහුවදා ටිකක් දවල් වෙලා ගිහින් බලනකොටත් සමහර කඩ කාරයෝ වලි...

ආ තව මරු වැඩක් තිබුනා..
අපි එන පාරෙ අතර මග තිබුනා ගල් මෝල කියලා බෝඩ් එකක්. ඔය බෝඩ් එක ගලවා ගෙන ඇවිත් අපිට ගණන් පෙන්නන කෙල්ලෝ එහෙම ඉන්න ගෙවල් ඉස්සරහා සවි කිරීමත් නියම වැඩෙ..
වැඩෙ කියන්නේ ගල් මෝල් කාරයාත් කවදාවත් ඒ බෝඩ් එක වෙනස් කලේවත් ගලවන්න බැරි විදියට හයි කලේ වත් නැහැ. අපි ඒක හයි කරන්නේ කොහේද- මිනිහා පහුවදා දවල්ට ගිහින් ගෙනත් ආයෙත් හයි කරනවා..(හැබැයි ඉතින් අපේ මව් පාර්ශවෙ එහෙම සිහිපත් කරමින් ඒක කරනවාද කියලා නම් දන්නේ නැහැ)

අළුත් අවුරුද්දට කැට ගහලා සල්ලි ටික ඔක්කෝම එකතු කරගෙන කාගේ හරි ලොරියකට තෙල් ගහගෙන හැඳළ ප්‍රීති පුරේ මුහුදු වෙරළට නාන්න යනවා...
නැත්නම් ගෝනගල් දෙණියේ ඔයට යනවා...
හැබැයි වැඩිය කැමති මුහුදු වෙරළට.. මොකද එහෙ ගියාම රා බොන්න පුළුවන්නේ..

විකාර ගොඩයි....

හවසට පුටාර් වල නැගලා පන්ති ඇරෙන තැන් වලට ගිහින් සෙමනේරිස්ලා වෙන එකත් ඉතින් කියන්න ඔන නැහැනේ... (මම ආආආආසම එක.. විලිලැජ්ජාවෙ බැහැ)

ඉතින් ඔන්න ඔහොම ඉන්න කාලේ තමයි මම අපේ ගෙවල් පැත්තේ තිබුනු වින්කලයක් ගාව කාලේ ගෙවන්න පුරුදු උනේ.. එතන නියම පොට් එක අඹ ගහයි, රඹුටන් ගහ යට බංකුවයි, වින්කලේ බැම්මයි, ඇලට් දාගෙන පත්තරේ එහෙම කියවන්න නියම ප්ලේස් එක..

එතනට එන නා නා විධ මිනිස්සුන්ගේ කතා අහ අහ ඉන්න එක මම ආසම කරන වැඩක් උනා.

ඉතින් මගේ ගුරා වෙන කවුරුවත් නෙවී මෙ බයිසිකල් වින්කලේ බාස් උන්නැහේ...
දුරින් නෑදෑ කමට අපි කතා කලේ ......... මහප්පා කියලා තමයි.

ඇත්තටම ඇවිදින පුස්ථකාලයක් කිවුවොත් නිවැරදියි.

එක්දහස් නවසිය පණස් ගණන්වල ඉදලා ප්‍රධාන පුවත් පත් වල තිබුනු වැදගත් ප්‍රවෘත්ති අකුරක් නෑර මතකයෙන් කියවයි.
පැරණි කවි, කතන්දර, නොයෙකුත් සිදුවීම්...
ඒ හැම දෙයක්ම මගේ ජීවිතේට අමුතුම දැනුම් සම්භාරයක් එකතු කලා කිවුවොත් නිවැරදියි.

මිනිහා කුණුහරුප කවි, කතන්දර ආදී දේ කියාදෙන්නටත්, පාරේ යන ඔනම ගැහැණු මනුස්සයෙක් පෙන්නලා ඒ මනුස්සයාගේ චරිත ලක්ෂණ, අංග ලක්ෂණ ගැන විවරණ සැපයීමටත් පුදුමාකාර හැකියාවක් තිබුනා.
ඇත්තටම මෙ මනුස්සයා කියන දේවල් සීයට සීයක් ඇත්ත කියලා තේරුනේ පසු කාලෙදීයි.
එතකොට අපි පරිප්පු කාලා අවසානයි.

බෞද්ධ සාහිත්‍යය ගැනත් හසල දැනුමක් මොහු සතු උනා. ඇත්තටම දේශපාලනය පිළිබදව විතරයි මගේ ගුරුවරයාට හරි දැනීමක් නොතිබුණේ. ඒ පිළිබදව කියවෙන කොට මතක් වෙන තව කතා තියෙනවා පස්සේ කියන්නංකෝ..

ඉතින් ඒ දවස්වල මාත් සාමාන්‍ය පෙළ එහෙම ලියලා ගෙදර ඉන්න දවස්..
අතේ සතේ නැහැ..
උදේ අට වෙන කොට මම වින්කලේ බැම්ම උඩ..
ටිකක් දවල් වෙන්න වෙන්න බයිසිකල් හදා ගන්න හුගාක් අය එනවා.
ඉතින් බාසුන්නැහැ වැඩ.. මටත් පුරුද්දක් තියෙනවා කවුරු හරි මොනවා හරි කරන කොට බලන් ඉන්න බැරි..
ඉතින් මාත් ටික ටික වැඩට උදවු වෙනවා..
හුළං ගහනවා..
පැච් දාන්න ටියුබ් කෑලි මැදලා දෙනවා..
ලාම්පුතෙල් වලින් බයිසිකල් කෑලි හෝදලා පිරිසිදු කරලා දෙනවා..
මෙහෙම ඉන්න ගමන් බයිසිකල් වැඩත් සෑහෙන දුරට ඉගෙන ගත්තා..
අවසානයේදී වින්කලේ තියෙන ලොකුම කෙරුවාව එහෙමත් නැත්නම් අර ගුරු මුෂ්ටිද මුට්ටිද කියන්නේ..
අන්න ඒවා වෙච්ච "රිම් බකල් ඇරීම, බෝල ඇමිණිල්ල, ප්‍රීවීල් එක අළුත්වැඩියා කිරීම" ආදී ඇඩ්වාන්ස් කෝස් එහෙමත් කිසිම අඩු පාඩුවක් නැතිව කියලා දුන්නා..
අවසානයේදී ඉතින් මාත් ඔන්න "බාස්" වෙච්චි.
දැන් ඉතින් මාත් වැඩ..

මම වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මගේ ගුරු උතුමා ටිකක් අයිස් ගහන්න තමයි කල්පනාව..
අවුලක් නැහැ. මිනිහා පුදුම සාධාරණයි..
දවසක් එයාම කියනවා..
"මට දැන් ඔවා කරන්න අමාරුයි.. තමුසෙම කරනවා..ලැඛෙන දෙයක් ඛෙදා ගමු" කියලා.
නියම යෝජනාව නේද..? මාත් කැමතියි.
ඒත් ඉතින් මම වැඩි කොටස එයාටම දෙනවා.
උදේ පත්තරෙ එනකොට ඒක ගන්න සල්ලි ඔන(ඒ දවස්වල රුපියල් 10යිනේ)
ස්වීප් කාරයාට රුපියල් දහයයි.
දවල් 12 විතර වෙනකොට පොඩි අඩියක් දාගන්න රුපියල් විස්සයි
ආයෙමත් හවස 5ට විතර අඩි දෙකක් දාන්න රුපියල් හතළිහයි.
ඊට අමතරව කුස්සිය පැත්තේ ඉදලා මහප්පාගේ පවුල ඉදලා හිටලා ඉස්සරහ පැත්තට ඇවිත් කඩෙ යන්න මදි පාඩුවට ඔය කීයක් හරිත් ඉල්ලන් යනවා..
ඔන්න ඔය වැඩ ටික ඉවර උනහම හවසට ඉතිරි මුදල දෙකට ඛෙදලා මගේ පංගුව මම අරගෙන එයාගේ පංගුව දීලා දානවා.
ඒත් මගේ අතට ඒ දවස්වල හැටියට රුපියල් 150ක්-200ක් එනවා.
මදෑ ඉතින් ගෙදර හිටියනම් ඒකත් නැහැනේ...
ඉතින් බයිසිකල් හද හදා..
මහප්පාගේ ඔපන් යුනිවසිටි එකේ ලෙක්චර්වලටත් සවන් දෙමින් ගත කල ඒ කාලේ පුදුම සුන්දර කාලයක්..

ඇත්තටම මට මගේ ජීවිතේ හමු වෙච්ච හොඳම මනුස්සයෙක් තමයි............... මහප්පා.
ඒත් කරුමෙ කියන්නේ මිනිහට හිටියේ එකම එක පුතෙක් විතරයි.
ඒ යකා මෙ මනුස්සයාගේ වටිනාකම කවදාවත් තේරුම් ගත්තේ නැහැ.
සල්ලි මත්තෙම නහින හාදයෙක්. මහප්පාගේ උදවු ඇතිව ඒ වෙනකොටත් ලොරියක් වෑන් එකක් එහෙම අරගෙන තිබුනා උනත් අන්තිමෙ වෙනකොට මෙ මනුස්සයා වින්කලේ කරන එකටත් එච්චර කැමැත්තක් නැහැ.
ඒත් අතේ තියෙන රුපියල් දහය හරි ඉල්ලන් යන්නත් ලජ්ජා වෙන්නේ නැහැ.
අපි ආසාවෙන් මොනවා හරි කතාවක් අහ අහ ඉන්න වෙලාවටත් ඇවිත්
"කවුද අනේ මෙයාගේ කථා අහන්නේ..
තාත්තේ ඔයා මොනවද දන්නේ..?
ඔයා ඉගෙන ගෙන තියෙනවයෑ...
ආයෙමත් පිස්සන් කොටු ගිහින් දාන්න තමයි වෙන්නේ.." කියන්න දෙපාරක් හිතන්නේ නැහැ.

ඇත්ත ............මහප්පා ඉගෙන ගෙන තියෙන්නේ හතරෙ පන්තියට විතරයි.
ඒ වගේම කාලයක් පිස්සු හැදිලා අංගොඩත් නවත්තලා ඉඳලා තියෙනවා.
ඒ උනත් ඒ මනුස්සයා සතු ජීවිත අත්දැකීම් මට නම් විශ්ව විද්‍යාලයක් වගේ.
පුංචි කාලේ ඉඳලා නැති බැරිකම් මැද හැදිලා..
යන්තම් පුළුවන් වෙච්ච ගමන් සුළු සුළු රැකියා කරමින්..
ගැටයා සන්දියේදීම කොළඹට ගිහින්..
තොට ළග, ග්‍රෑන්ඩ්පාස්, මට්ටක්කුලිය.. ආදී පෙදෙස් වල කුණු කාගෙන වැඩ කරලා..
ලීමඩුවල, ගරාජ්වල, අත්උදවු දීලා...
ලොරිවල ගෝල වැඩෙට ගිහින්.. රියදුරන්ගෙන් ගුටි කා කා..
අන්තිමට රියදුරු බලපත් අරගෙන අඩි හතළිහේ කන්ටෙනර් රියදුරෙකු වශයෙන් වරායේ වැඩ කරලා..
ඒ අතර තුර කාල වලදී..

මුඩුක්කු,ගුබ්බෑයම් අස්සේ ජීවත් වෙමින්..
හොරු, මංකොල්ලකාරයෝ, සූදූ අන්තුවෝ, ගණිකාවෝ.. අතර හැසිරෙමින්..

පේමන්ට් එක සිරියහන් ගබඩාව කරගෙන..
හිස් අහසින් වියන් බැඳගෙන..
පාන් කාලයි වඩෙ එකයි රාජ බෝජනේ කරගෙන..
රියදුරු අසුන අරා රජ උන..

මෙ මනුස්සයා ඇත්තටම කාට නැති උනත් මට මගේ ජීවිතේ වටිනම ගුරුවරයා කියලා බය නැතිව ඔන තැනක කිවුවහැකි.

අද වෙන කොට මෙ ලෝකේ නැතත් ............ මහප්පේ උඹ මගේ වීරයෙක්...

ප්‍රගීත් & Beyond Frame වෙනස් කථාවක් කියන්න ඔන...

මට පොඩි සැකයක් තියෙනවා අර නැතිඋනයි කියලා කට්ටිය උඩ දාගෙන හොයන ප්‍රගීත් එක්නැළිගොඩ කියන්නේ අපේ පැනලා ගිය බෝට්ටු සවාරි කාරයා වන බියොන්ඩ් ෆ්රේම් කාරයාද කියලා.
අර මනුස්සයා අතුරුදහන් උනෙයි, මෙ යකා පැනලා ගියෙයි එකම දවසෙද මන්දා?
අනික බියොන්ඩ් ෆ්රේම් කාරයා යනකොට යන්න ගියේ මෙ රට ඉවරෙටම ඉවරයි කියලා හිතාගෙන වගේ.
ඒත් ඔන්න ආපහු ආවා කියලත් මම කොහේද තියෙනවා දැක්කා.
මොකද දන්නේ නැහැ ආපහු ආවේ..
දැන් ලංකාව හොද වෙලාද..?

පොඩ්ඩක් කස්ටිය අවදියෙන් ඉන්න බියොන්ඩ් ෆ්රේම් ආව නිසා ප්‍රගීත් එක්නැළිගොඩත් එන්න ඉඩ තියෙනවා.
මොකද මම මෙ දෙන්නගේම සමානකම් දකිනවා.

දෙන්නම මඩප්පුලා දෙන්නෙක්නේ..
අනික දෙන්නම පහර දුන්නේ එකම තැනකට..
බස් වහරත් සමානයි..
එකම වෙලාවෙ එක්කෙනෙක් අතුරුදහන් වෙනවා..
එකෙක් පැනලා යනවා..

මම මෙක කිවුවෙ මම මෙ අන්තර්ජාලේදී දැක්ක මෙ දෙන්නාගේ ලිපි අනුව මිස පෞද්ගලිකව දන්න නිසා නෙවෙයි.
කෝකටත් දන්න කියන කට්ටිය හොයලා බලන්නකෝ...

29 March 2010

දෑත පොරෝගෙන දෙනෙත පියාගෙන...

සීතල පස් කඳු අතරේ සැගවී..
හතර රියන් පෙට්ටියක් තුල දපා..
දෑත පොරෝගෙන දෙනෙත පියාගෙන..
වැළලෙන මොහොතක් ළග එනවා..

වැළපෙන කිසිවෙක් රැදී නොසිටියත්..
හඩනා දෙනෙතක් අසලක නොවුණත්..
ගයනට ගුණ කඳ මා සතු නොවුනත්..
එදිනට මා මිහිදන් වෙනවා..

උපන් දා සිටමකර පින්නන් ආ..
සසර ගමන තුළ පොදි බැඳගෙන ආ..
මෙ භවයෙන් මතු භවයට යනතෙක්..
දුක පස් කඳු තුළ දිය වෙනවා..

යළි උපදින්නට කැමැත්තක් නැතත්..
නිවන් දකින්නට බොහෝ දුර ඇතත්..
සුළු මොහොතක් හෝ පස් කඳු අතරේ..
මගේ ආත්මය සැනසෙනවා..

සික්කා මමයි බ්ලොග් ලියනා පිස්සු පොර...

අද තමයි ඔන්න දවස් දෙකකට පස්සේ ගෙදර ආවෙ.
වැඩට ගියේ එක දවසකට උනාට අන්තිමෙ දවස් දෙකක්ම ගිහිල්ලා තමයි නිදහස් උනේ.
ඒ මගේ රස්සාවෙ හැටි.
පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවාව නැත්නම් අපි කවුරුත් දන්නා පරිදි සෙකියුරිටි සර්විස් වල ඉතින් හැටි තමයි.
සාමාන්‍යයෙන් පැය විසි හතරක් එක දිගට වැඩ.
ඊ ළග පැය 24 නිවාඩු.
හදිසියේ වත් රාජකාරිය භාර ගන්න අනික් සගයා නාවොත් ඉදපන්කෝ ලගා ගහගෙන..

හැබැයි ඉතින් මම මෙ රස්සාවට ටිකක් විතර කැමතියි. මොකද මෙ දවසක් ඇර දවසක් තියෙන නිවාඩුව නිසා.
ආ තව එකක් මට ස්ථාන මාරුවක් ලැබුනා කියලා මම මීට කලින් ලියලා තිබුනනේ..
ඔන්න හරියටම මාසයකට පස්සේ ඒ කියන්නේ ලබන පළවෙනිදා සිට මාව නැවතත් කලින් හිටි තැනටම කැඳවා ඇත.
මම නැති අතරෙ අපේ කස්ටිය වැඩෙ හොදට වළදලා කියාලා තමයි ආරංචිය...
කොහොම උනත් ආපහු ආවාම පිස්සු හැදෙන බව නම් මට ෂුවර්.
මම එතන ආරක්ෂක අංශය භාරගෙන මටම ආවෙනික විදියට වැඩ පිළිවෙලක් හදලා තිබුනේ.
දැන් ඒවා ඔක්කෝම බකල් කරලා..
ගිහින් හදපංකෝ මුළ ඉදන්ම...
හැබැයි මෙ මාරු වෙලා හිටි කාලය තුල මට එක දෙයක් නම් දැන ගන්න ලැබුනා..
ඒ තමයි මම හිතපු තරං මිනිස්සු මාත් එක්ක තරහා නැති බව..
ඇත්තටම අපේ රාජකාරියේ ස්වභාවය අනුව මිනිස්සුත් එක්ක සමීප ඇසුරක් තබා ගැනීම තහනම්. ඒ නිසා මම හුගාක් තදින් හිටියේ.. සමහර වෙලාවට නීතියෙන් පිට වැඩ නොකිරීම නිසාම සමහර උදවිය මට ඇහෙන නොඇහෙන ගාණට බැණ බැණ යනවා.
ඒත් ඉතින් මොනවා කරන්නද? සමහර වෙලාවට නම් මම කතා කරලා අපේ රාජකාරියේ ස්වභාවය පිළිබද කියාදෙන්න උත්සහ කරනවා.
ඒත් වැඩ වැඩි වෙලාවට එහෙම දේශන තිය තිය ඉන්න වෙන්නේ නැහැ.
අන්තිමට මම යන දවසේත් හැමෝටම කියලයි ගියේ මම යනවා කියලා. ඒ විතරක් නෙවෙ ඔන්න දැන් ඔයාලට කරදරයක් නැතිව ඉන්න පුළුවන් කරදරකාරයා යනවා කියලාත් කියලායි ගියේ ..
ඒත් එතන ඉදලා පාරෙ තොටෙ වෙවා කොහේදී හරි වැඩ පලේ කවුරු හරි දැක්ක ගමන් හරිම සුහදව මාත් එක්ක කතා කරන විදියෙන් මට තේරුනා මිනිස්සු මම හිටිය තත්වෙ තේරුම් අරගෙනයි කියලා.. ඒ විතරක් නෙවී හුගාක් දෙනා නැවත ආපසු එන්න කියලා මගෙන් ඉල්ලා සිටින්නටද උනා. ඒ හුගාක් අය රාජකාරියේදී මගෙන් කිසිම බුරුලක් ලැබුනු උදවිය නොවීමත් විශේෂයි.
හදිසියේ මෙ ළගදී දවසක් මට රාජකාරියක් ආවරණය කිරීම සදහා නැවත එහි යන්නට වූ වෙලේ හමුවූ
එතෙක් කලක් මම වචනයක්වත් කතා නොකර හිටි උදවියගෙන් පවා (විශේෂයෙන්ම කාන්තා පාර්ෂවයේ දුකේ බෑ...) පුදුම විදියේ හිතවත් කමක් පල උනේ..
මෙච්චර මගෙන් බැනුම් අහලත් මෙ මිනිස්සු තරහා නැති එක තමයි වැඩෙ..

ඒ වගේම මා යටතේ වැඩ කල නිලධාරීන් කිහිප දෙනාද මා නැවත ආපසු පැමිණීම ගැන සතුටු වන බවත් දක්නට ලැබුනා.. ඒ නම් වෙන කිසිවක් නිසා නෙවෙයි.. පසු ගිය දින කිහිපයේදී සිදු වූ සිදුවීම් අනුව මෙම ස්ථානයෙන් අපගේ ආරක්ෂක අංශයට ලැබී තිබූ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට හේතු වන මට්ටමෙ වැඩ සිදු වී තිබීම නිසා තම තමන්ගේ රැකියා අහිමි වීමෙ අවදානමක් උද්ගත වී තිබීම මතයි.
ඒ නිසාම දැන් තමයි යාන්තම් මා ගෙන ගිය වැඩ පිළිවෙල නිසා ඔවුන් ගේ රැකියාවන් ආරක්ෂා වී තිබූ බව ඔවුනට වැටහී ඇත්තේ..
හැබැයි ඉතින් මට නම් ආපසු එනවාට වඩා දැන් ඉන්න තැන හොදයි..
කතා කරන්න කවුරුවත් නැති උනත් දවසම පාළුවෙන් සිටියත් හිතට හරිම සහනයක් තියෙනවා.
කාත් එක්කවත් ගැටෙන්න අවශ්‍ය නැහැ. පාඩුවෙ හිටියහැකි.

මොනවා උනත් දැන් ඉතින් එන්න එපැයි...

ඉතින් මට මතක හැටියට මෙතුවක් දවස් මාගේ රැකියාව පිළිබඳව මෙ බ්ලොගය තුල හරියටම සදහන් කර නැති බව මාගේ මතකයයි.
නමුත් ඒ පිළිබඳව එක් අයකු පමණක් නම් දැන උන්නා.
මීට පෙර ලිපියකින් මාගේ පැවිදි ජීවිතය පිළිබදව මා එළිදරවු කල අවස්ථාවෙ අපේ වන් ඇන්ඩ් ඔන්ලි හීරළුවා යැයි එතෙක් සිතා සිටි තරිදු මලයා අප්සෙට් වූ බව දුටිමි.
නමුත් මාගේ අදහසේ හැටියට මෙ සිංහල බ්ලොග් අවකාශයේ නානා විධ වෘත්තිකයින් අතරේ එකම සික්කා මමයැයි මා සිතමි.

( රෑ දවල් තිස්සේ මුර කර කර ඉදලා ඇවිත් අනිත් දවසෙත් බ්ලොග් ලිය ලියා ඉන්න මෙහෙමත් සික්කෙක්.. පිස්සු නැත්නම් ෂෝක් නෙද..?)

ඉතින් මහ රජ මෙ සික්කා හැර වෙනත් සික්කන් සිටීද..?


සික්කා මමයි බ්ලොග් ලියනා පිස්සු පොර...
එන්න මහතුනේ බලලා වෙන්න කොර...

26 March 2010

මිතුර නුඹ...





සෙමෙන් සෙමෙන් සිඳී යන විට
පුරවාලයි මසිත ජීවය..
පිරුණු නුඹ අභිමුවෙහි සිතේ මට
ආදරයත් වගේමයි නුඹ..
වරෙක නුඹටත් වඩා එය අපූරුය
මත් කරවාලයි වෙළාගෙන මා..
නුඹ වගේමයි බැස ගිය කලට
ඉතිරි වන්නේ කල කිරීමය..

මාතෘකා නොමැත...

මෙය ඉතාමත් කෙටි සටහනක් ලෙස අවසන් කරන්න බලාපොරොත්තු වෙන ලිපියක් පමණි.

සම්මා සම්බුදු බුදු රජානන් වහන්සේ පිරිනිවන් පෑමෙන් තෙමසකට පසු ප්‍රථම ධර්ම සංඝායනාව පැවති බව අපේ අය දන්නවනේ...
මෙහිදී සිදු වූ දෙය කෙටියෙන්ම කිවුවොත් බුදු හාමුදුරුවෝ වරින් වර දේශනා කරනු ලැබූ ධර්මය සහ ඒ ඒ අවස්ථාවන්හීදී පනවා වදාළ විනය කරුනුයි ඒක රාශී කර එම සංඝායනාවට සම්බන්ධ වී සිටි රහතන් වහන්සේලා විසින් මතු ආරක්ෂාව පිණිස කොටස් වශයෙන් ඛෙදාගෙන තම පරපුරවල් හරහා කට පාඩමින් රැක ගෙන ඒමට මුල පිරීමයි.
මතක තබා ගත යුතු කරුණ වන්නේ එහිදී ධර්මය එකතු කර නැවත කොටස් වශයෙන් ඛෙදා ගන්නා ලදි.

පසුව දෙවන ධර්ම සංඝායනාවෙදී වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා විනය කරුණු මත සම්බුදු සසුනෙන් වෙන්ව ගොසින් තවත් නිකායක ආරම්භය සනිටුහන් කරන ලදි.
එහිදී මතක තබා ගන්න එම වජ්ජි පුත්තක භික්ෂූන් අතද අර පළමු සංඝායනාවෙදී ඛෙදා දුන් දහම් කොටස් යම්
ප්‍රමාණයක් තිබූ බව.

තුන් වන ධර්ම සංඝායනාවෙදී එතෙක් වන තෙක් පැවති ධර්මය කොටස් නැවත ශෝදනයකට ලක් කොට පිරිසිදු කර මිහිදු හිමියන් ප්‍රධාන ධර්ම දූත පිරිසක් අත ලාංකීය අපහට ලැඛෙන්නට සැලැස්වූ අතර අද වන විට එම කොටස් හැකි අයුරින් ආරක්ෂා කරගෙන විත් අප අතට පත් වී ඇත.
තුන් වෙනුව මතක තබා ගන්න අප අත අද වන විට ඇති ධර්මය වන්නේ දෙවන ධර්ම සංඝායනාවෙන් ඛෙදී ගිය මහායාන භික්ෂූන් අත තිබූ ධර්මය කොටස් අතහැරුනු පසු සිදු කල සංඝායනාවකින් එක්තැන් කල ධර්මයක් වන බව.

ඉහත කරුණුත් සමග පහත කරුණු වලට අවදානය යොමු කරන්න.

පළමු ධර්ම සංඝායනාවෙදී ධර්මය කොටස් පිළිබද විමසුනේ ආනන්ද හිමියන් අතිනි. නමුත් ආනන්ද හිමියන් බුදුරජානන් වහන්සේගේ උපස්ථායක ධූරයට පත් වූවෙ බොහෝ පසු කාලීනවය. එම උපස්ථායක ධූරයට පත් වීමෙදී උන් වහන්සේ ඉල්ලා තිබූ ඉල්ලීම අනුව උපස්ථායකයන් වහන්සේ නැති අවස්ථාවල දෙසන දහම්ද පසුව බුදුරජානන් වහන්සේ අතින් අසා දැන ගන්නට ලැබිණි. බුදු වීමෙ සිට ඒ දක්වා දෙසූ සියළු දහම් කොටස් ඒ අතර විණිදැයි හරියාකාරව (මා හට) පැහැදිලි නැත.

බුද්ධ ධර්මයේම කොටස් වන ධ්‍යාන භාවනා සහිත කොටස් හා තවත් වැදගත් කොටස් දෙවන ධර්ම සංඝායනාවෙන් පසු අහිමි වීම.

සද්ධම්ම පුණ්ඩරීක සූත්‍රය, තිබ්බත මල පොත ආදී මහායාන බුදු දහමෙහි සදහන් දහම් කොටස් අප සතු නොවීම හා එම කොටස් නොවැදගත්යැයි ඉවත් දැමීමට නොහැකි වීම.

අද වන විට ත්‍රිපිටකය යනුවෙන් හදුන්වන අප සන්තක ධර්ම පුස්ථකයන්හී බුදු රජානන් වහන්සේ විසින් පන් සාළිස් වසරක් පුරාවට දෙසූ ධර්මය සියල්ල අඩංගු නම් එය මෙ තරම් කුඩා කොටසකට සීමා විණිද..? (සම්බුද්ධ ජයන්ති මුද්‍රණයට අනුව පොත් 57ක් පමණි.)

කරුණු දැක්වීම එපමණකි.

මා ධර්මය පිළිබද මහා දැනුමක් ඇත්තකු නොවීමි. විශේෂයෙන් පැවිදි වී සිටි සමයෙහි කිසි විටකත් පාළි ගාථා ආදිය පාඩම් කිරීමට වැඩි උත්සහයක් ගත්තකු නොවුණි. හදිසියේ උපසම්පදා වීමට යැයි කියා පාඩම් කරන මෙන් දන්වා සිටි වෙලේ ඒ සදහා අවශ්‍යම ප්‍රමාණය වන පිරිත් පොතෙහි බණවර දෙකක් (දසදම්ම සූත්‍රයේ සිට ඉසිගිලි සූත්‍රය දක්වා වූ සූත්‍ර 16ක්) සහ ධම්ම පදයේ යමක වග්ගයේ සිට දණ්ඩ වග්ගය තෙක් ගාථා 135 ක් පමණත් සේඛියා 72ක සහ අණිකුත් සාමණේර බණ දහම් පොතේ කොටසුත් ඇතුළු ප්‍රමාණය මාසයකට පමණ ආසන්න කාලයකදී පාඩම් කර දැමූවා හැර අන් කිසි විටකත් බණ පාඩම් කිරීම කල අයකු නොවෙ.
හැකිතාක් පාළිය කියවමින් ඒ සමග වූ සිංහල තේරුම් සිතේ ධාරණය කර ගනිමින් ඒ මත අවබෝධය පිහිටා කටයුතු කලෙමි.
ධර්මය පිළිබදව මා හට පැන නැගි ගැටළු බොහෝමයක් විණි. ඒ අතර තුර වරින් වර තේරුම් ගිය කරුණු කිහිපයක් පමණි මා විසින් ඉහත දක්වා ඇත්තේ...

පටිච්ඡ සමුප්පාදය සහිත ඉගැන්වීමෙදී මා හට ඇතිවූ ගැටළුවක් විණි. එය නම්...
අවිජ්ජා පච්ඡයා සංකාරා... සංකාරා පච්ඡයා නාම රූප...
නාම රූප පච්ඡයා වෙදනා... ආදී ලෙස භවය ඇති වීමෙ ආකාරය විස්තර කරලීමෙදී චක්‍රයේ ආරම්භය ලෙස සහ මූලය ලෙස ගත හැකි තැනක් වනුයේ අවිද්‍යාව හෙවත් නොදැනීම නිසා සියල්ල ආරම්භ වන බවයි..
මෙතනදී නොදැනීම ලෙස දක්වා ඇත්තේ චතුරාය්‍ය සත්‍යය පිළිබද නොදැනීම ලෙස දක්වා ඇත.
එසේ නම් චතුරාය්‍ය සත්‍යය දන්නේ නම් චක්‍රය නවතින්නේද...
එසේ වන්නේ නම් අද අපි දුක, දුකට හේතුව.. ආදී ලෙස ඉගෙන ගෙන ඇත්තේ චතුරාය්‍ය සත්‍යය නොවෙද...?
ඒ චතුරාය්‍ය සත්‍යය නම් එය දැන ගැනීමෙන් පමණක් අවිද්‍යාව දුරු වෙද..?
එසේත් නැත්නම් ඉගැන්වීමෙ වරදක් වෙද..?
නොඑසේනම් අද අප අතට ලැබී තිඛෙන දහම සම්පූර්ණ නොවූ කොටස් හැළුණු දහමක්ද..?
එසේත් නැත්නම් අද වන විට චතුරාය්‍ය සත්‍යය පොතට පතට අනුව දන්නා සියල්ලෝම භවය නැසූ අයද..?
(පටිච්ඡසමුප්පාදයේ ප්‍රතිලෝමය අනුව අවිද්‍යාව නැති තැන සියල්ල කෙළවර විය යුතුය)

මෙවාට උත්තර සොයනවාට වඩා මා පිස්සෙකි හෝ කිසිත් නොදන්නා ඔක්කෝම පටලවා ගත් මෝඩයෙකි..
යන සිතුවිල්ල ඇති කර ගැනීම වඩාත් හොද නොවන්නේ...?

මෙම ලිපිය ලිවීමෙදී සියළුම කාරණා මතකයේ තිබූ පමණින් ලියූ බවත් ගණන් හිලවූවල ප්‍රකාශ කිරීමෙ දෝෂ තිබිය හැකි බවද කරුණාවෙන් සලකන්න..
එසේම මෙය තවත් ලිපියකට ආරම්භයක් ලබා ගැනීම පිණිස ලියන ලද්දකි.
එම ලිපියට ප්‍රථම මෙම සටහන තැබීමට අවශ්‍ය වූ බැවින් මෙසේ ලියන්නට යෙදුණි...
විවාදයට නොව සංවාදයට විවෘතයි...
නොදන්නා දෙයක් දැන ගැනීමට මම සෑම විටම කැමැත්තෙමි..
තවත් කිය යුතු දෑ ඇතත් දැනට නවතිමි.
සියළු දෙනාටම සසර කළකිරෙවා...`

24 March 2010

ගගෙන් පැන් බී මූදට ආවැඩීම...

ඇත්තටම මෙ ලිපිය ලියන්න හේතු උනේ පසුගිය දිනක අපේ බ්ලොග් ලියන සාමාජිකයකු ලියලා තිබුණු දෙයක් දැකලයි.
ඒ ලිපියෙන් කියා තිබුනේ මෙ වන විට සිංහල බ්ලොග් කියවනය අතහැර බොහෝමයක් සිංහල බ්ලොග් කරුවන් ලාංකීය සිතිවිලි අඩවියට එන බවයි. එය එසේ උනාවෙ. ඒ පිළිබදව අපහට ගැටළුවක් නැත. කාලෙන් කාලෙට ලෝකයේ වෙනස් වීම් හමුවෙ එවන් දේවල් අමුතු නොවන බව අප සැවොම දන්නා කරුණකි.
නමුත් කණගාටුවට කරුණ ඒ හරහා ඔහු සිංහල බ්ලොග් කියවනය අවමානයට ලක් කිරීමට ගෙන තිබූ උත්සහයයි.
මා හට නම් එය අනුමත කළ හැක්කක් නොවන්නේ මාද ඇතුළුව බොහෝ සිංහල බ්ලොග් ලියන්නන් සෑහෙන පිරිසක් සිංහල බ්ලොග් කියවනයේ උපකාර මත අපගේ බ්ලොග් ලෝකයට ඉදිරිපත් කලවුන් වීමයි.
මා නම් මෙය ආරම්භ කලේ සිංහල බ්ලොග් කියවනයට පින් සිදු වන්නටයි.
එහිදී සෑහෙන දැනුමක් සහ උදවු උපකාර අපහට සිංහල බ්ලොග් කියවනය හරහා ලැබිණි.
ප්‍රශ්න ඇති නොවුණා නොව, මාගේ බ්ලොග් අඩවිය ඇසුරු කරන සහෘදයින් හොදින්ම දන්නා පරිදි මෙම අඩවියත් එක් වරක් සින්ඩියෙන් ඉවත් කරන්නට යෙදුනු අතර එහිදී මා විසින් කරනු ලැබූයේ සිංහල බ්ලොග් කියවනයට බැණ වදිමින් සිටීම නොව කරුණු කාරණා ඉදිරිපත් කර නැවත සින්ඩියට එක් වීමයි.
එහිදී මා දන්නා මෙන්ම මා නොදන්නා බොහෝ සාමාජිකයින් මා වෙනුවෙන් කථා කර තිබුණි.
අවසානයේ නැවත සිංහල බ්ලොග් කියවනය තුල මා නැවත ස්ථාපිත විය.

එය එසේ වූවද මෑතකදී මා සින්ඩිය තුල දුටු යම් කාරණයක් විය.
එනම් එක්තරා බ්ලොග් කරුවකු විසින් ඉදිරිපත් කල ආයාචනයකි.
එහිදී ඔහු විසින් අඩමින් මෙන් කියා සිටියේ ඇයි මගේ අඩවියට නොඑන්නේ සහ ඔහු ලියන ලිපිවලට ප්‍රතිචාර නොදක්වන්නේ යන කරුණුයි.

එම ලිපිය නිසාම එම අඩවියට ගොඩ වූ මාහට දකින්නට ලැබුනේ නා නා විධ දැන්වීම් වලින් පිරී ඉතිරී ගිය බ්ලොග් අඩවියකි.
අප වැනි සීමිත හා අවම පහසුකම් වලින් සමන්විත අන්තර්ජාල පරිහරණය කරන අයට එවැනි අඩවි බාගත වීමෙදී වැයවන කාලය සහ බයිට් ප්‍රමාණය පිළිබදව අමුතුවෙන් මෙහි සදහන් කළ යුතු නොවෙ. අනික එසේ ගියත් මා හට ගෝචර වන අන්දමෙ ලිපි එම අඩවිය තුල නොවෙ නම් මා නැවත වතාවක් එහි යාමට ඇති ඉඩ කඩ ඉතා අඩුය.

කෙසේ නමුත් පසු කලකදී මට දැන ගන්නට ලැබුණු පරිදි එම අඩවිය අසභ්‍යය ප්‍රතිචාර සටහන් වලින් පිරී ගොස් ඇති අතර එම හේතුව නිසා සිංහල බ්ලොග් කියවනයේ පාලකයින් විසින් එම අඩවිය සින්ඩියෙන් ඉවත් කර ඇති බවයි. තවද එම අසභ්‍ය ප්‍රතිචාරය එම බ්ලොග් අඩවිය හිමි තැනැත්තා විසින්ම අනන්‍යතාවය නැතිව දමා ගත් ඒවා බවද පැවසිණි. අප හොදින්ම දන්නා පරිදි එවැනි අසභ්‍යය ආකාරයේ දේ ලියැවෙන තැනට ඇදෙන ඒ සදහා උනන්දුවක් ඇති බොහෝ පිරිසක් මෙ ජාලය තුල සරන අතර එවන් අයගේ පැමිණීම තුලින් හෝ තම අඩවිය තුල යම් ප්‍රගතියක් ලබා ගන්නට එහි හිමිකරු උත්හස කලා විය හැක.
කෙසේ නමුත් අවසානයේදී වූයේ එකී බ්ලොග් අඩවිය සින්ඩියෙන් ඉවත් කරලීමයි.

මෙහිදී මා විසින් සිංහල බ්ලොග් කියවනයේ පාලනාධිකාරිය විසින් ගනු ලබන තීන්දු තීරණ පිළිබදව විනිශ්චයක් දීමට උත්සහ නොකරමි.
පසු ගිය කාලය තුල ඔවුන් විසින් ගත් සමහර තීරණ විවාදාත්මක වූවද ඒ පිළිබදව මා ප්‍රශ්න කරන්නට නොයන්නේ
එය ඔවුන්ගේ අඩවිය වන බැවිනි.
එම ස්ථානය මට රුචි නොවිණි නම් මා කරන්නේ මගේ අඩවිය එයින් ඉවත් කර ගැනීම විනා එතෙක් කලක් මා ප්‍රයෝජනය ලත් ස්ථානයට බැණ වැදීම නොවේ.

අද දින සිංහල බ්ලොග් කියවනයට බැණ වදිමින් ලාංකීය සිතුවිලි අඩවියට ආවඩන මොහු වැනි අය හෙට දිනයේ එයින්ද යම් හේතුවක් මත ඉවත් කලහොත් එදිනට ලාංකීය සිතුවිලි අඩවියටද මෙවැනිම වූ ප්‍රහාර එල්ල කරනවා නොඅනුමානය...

මා මෙම ලිපිය ලියන්නට හේතු පාදක වූයේ අන් කිසිවක් නිසා නොව, අන් අයට කෙසේ වූවද මාහට නම් සිතේ සිරවී තිබූ අදහස් පිට කරලන්නට මහගු තෝතැන්නක් වූ සිංහල බ්ලොග් කියවනය දෙකයි පණහට දමා කථා කරද්දී එයින් සේවය ලබා ගෙන ඒ වෙනුවෙන් වචනයක්වත් කථා නොකලා නම් හෙට දින මට මා හටම මුහුණ දිය නොහැකි වන නිසාය.

අද වන විට මා සිංහල බ්ලොග් කියවනය හා ලාංකීය සිතුවිලි යන අඩවි දෙකෙහිම රැදී සිටිමි.
මට එම අඩවි දෙකම එක සේ වටින්නේය...
ඒ හැර අරක හොදා මෙක නරකයි යනුවෙන් කියා කළගුණ නොදත් අමනයකු වීමට මා හට නොහැකි බැවිනි.

කාගේවත් සිත රිදවීම මෙහි අරමුණ නොවුණත් රිදුණා නම් ඒ පිළිබදව මා කණගාටු නොවෙමි. මන්ද මා කල යුතු යුතුකමක් ඉටු කලා විනා වෙනත් අරමුණක් මෙ තුල නොමැති බැවිනි...

සමාවෙන්න කියන්න මට අයිතියක් නැති බැවින්...

මම නැවත පැමිණිය මුත් ඒ අන් කිසිවක් නිසා නොව මා හටම ඒමට සිතුන= බැවින් යැයි කීම බොරුවක් නොව සත්‍ය කතාවම වේ.
නමුත් මාගේ හැර යාම පිළිබඳව බොහෝ දෙනා බොහෝ දේ සටහන් තබා ඇති බව පැමිණි පසු මා හට දක්නට ලැබිණි.
යම් හෙයකින් ඒ සටහන් මා හට මීට පෙර අසන්නට ලැබිණි නම් ඒ හැර යාම එසේ කරන්නට මට සිදු නොවන්නටද ඉඩ තිබිණි.
කෙසේ වූවද ඒ දමා පියා යාම ඒ මොහොතේ මා විසින් සිදු කල යුතුවම තිබිණි.
නොඑසේනම් තව දුරටත් මා මහා මානසික අවුල් ජාලයක සිර කරුවකු වන්නට ඉඩ තිබිණි.

මා වෙනුවෙන් ජීවිතයේ පුංචිම පුංචි ඉඩක් හෝ වෙන් කර සිටි බොහෝ දෙනාට එමගින් මා විසින් දැඩි අසාධාරණයක් සහ නොසලකා හැරීමක් සිදු කර ඇති බව මා හොදින්ම දන්නා කරුණකි. එබැවින් ඔබලාගෙන් සමාව ඉල්ලා සිටීමට මා සුදුස්සකු නොවේ. නමුත් සමාව ඉල්ලනවා හැර වෙන අන් කල හැකි යමක් මා දන්නේ නැත..

සියළු දෙනාම මා හට සමා වෙන්න...

ඊට වඩා කීමට යමක් මා දන්නේ නැත. කීමට දෙයක්ද නැත. මා හට සිදු වූයේ කුමක්දැයි කියා සිටීම මා වෙනුවෙන් බලා සිටි ඔබ සැමට කල යුතු යුතුකමක් ලෙස හැගෙන හෙයින් ඒ සටහන් තබමි.
එදින උදෑසන...
2010 මාර්තු 22 වන සඳු දින
මෙතෙක් කලක් මා විසින් යටපත් කරගෙන සිටි රකුසා යළි කෙමෙන් කෙමෙන් හිස ඔසවාගෙන එන අන්දම මා හට දෙතුන් විටක්ම දැනී තිබුණු බව කිව යුතුය.
කුඩා කල සිට මා හට තිබූ ලොකුම දුර්වලතාවය වූයේ එයයි. අධික ලෙස කේන්ති යාම. උන්නා මළා පේන්නේ නැති තරමට නැගී එන කේන්තිය නිසා මා අතින් අතීතයේ සිදු වූ වැරදි බොහෝය...
මා හට එමගින් අහිමි වූ දෑ බොහෝය.
මා විසින් අත හැර දැමූ දෑ බොහෝය.
මාවිසින් අමතක කර දැමූ දේ බොහෝය.

එම කේන්තිය මා විසින් පාලනය කර ගන්නට පුහුණු වූයේ මා ගිහි ගෙය හැර පියා ආ දවසේ සිටන්ය.
ඉතා වෙහෙසින් යුතුව අරපරිස්සමින් ඉපැයූ දෑ මෙන්ම මා හට උරුම වන්නට තිබූ සියළු දේ අතහැර දමා 2001 වසරේ එක්තරා දිනක මා නිවසින් පිටව ආමි. ඒ ගමන සදහා නම් කේන්තිය හේතු නොවූ බව කිව යුතුය.
දීර්ඝ කාලයක පටන් මා හට සිදු වූ කෙනහිළිකම් සහ වෙනස්කම් තව දුරටත් ඉවසා සිටිය යුතු නැති හෙයිනුත්, මගේම කියා මා සිතූ සියළුම දෙනා මා පිළිබඳව එසේ නොසිතනා බව දැන ගන්නට ලැබීම නිසාත්, ජීවිතය හා සටන් කර අධික ලෙස වෙහෙසට හා කලකිරීමට පත්ව සිටිමත් ආදී මෙන්ම මෙහි සඳහන් නොවන තවත් ප්‍රභල හේතු සාධකයකුත් මත එදින මා එම තීරණයට එළඹි අතර යන්නේ කොහේද කල යුත්තේ කුමක්ද යන්න ගැන කිසිදු පැහැදිලි අරමුණක් නැතිව මා එදින සවස් යාමයේ නිවසින් පිටව ගියෙමි.
ඇදුම් කෑලි කිහිපයක් දමා ගත් බෑගයත් සහිතව පිටකොටුවෙ බස් නැවතුමෙ රැදී සිටියදී, එක් වරම එතැනට පැමිණි වෙනත් මාර්ගයක ගමන් ගන්නා බස්රථයක් බස් රථයේ හිමිකරුගේ නිවස කරා යන ගමනේ කිහිප දෙනෙකු හෝ පටවාගෙන යන්නට උත්සහ දැරීමෙදී එතෙක් වෙලාවක් අරමුණක් නැතිව සිටි මාද එම බස් රථයට ගොඩ වී බසයේ ගමන අවසාන වූ කුඩා නගරය කරා ගියෙමි.
බසයෙන් මා බසින විට වෙලාව රාත්‍රී 9.30ට පමණ වන්නට විය. අසල කඩයකින් ආප්ප කිහිපයක් ගිල දමා එළියට විත් නැවතීමට තැනක් සොයා ගැනීමට සිතූ මා ඒ සඳහා සුදුසු පන්සලක් තිඛෙන ඉසවුව පාරෙ රැදී උන් අයගෙන් අසා තැන් දෙකක් ගැනම දැන ගෙන සඳහන් වූ ළගම පන්සලට ගියත් එහි තිබූ නාගරික බව නිසාම ආපසු හැරී පසුව කිවූ තරමක් දුරින් පිහිටි පන්සලට අදුරේම පිය නැගූ අතර එදින රාත්‍රියේ එම පන්සලේ සිටි තරුණ භික්ෂූන් වහන්සේලා තිදෙනාගේ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව නැවතින්නට අවසර ලදිමි.

එතැන් පටන් කීමට දිග කථාවක් ඇත..
පන්සලේ ඇබිත්ත කම් කරමින් ලොවට වසන්ව වසරක් පමණ එහි රැදී උන් කාලය මා හට මගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් කරගන්නට මග පෙන්වූ කාලයයි. අතීතයේ සිටි විවෙකය කුමක්දැයි නොදැන, වෙගයෙන් වැඩ කරමින් සිටි පුද්ගලයා එහිදී මිය ගියේය. නමුත් ඔහු තුල සැගවී සිටි ඊර්ෂ්‍යාව,වෛරය,ක්‍රෝධය,තරහාව, තණ්හාව සහිත රාක්ෂයා මිය නොගියත් අකර්මණ්‍යය වී යන ලදි. ඔහු මා තුල වෙසෙන බව දැන දැන ඔහුට ඉස්මතු වන්නට නොදී මම ජීවත් උනෙමි.
ධර්මය පිළිබඳව එතෙක් කිසිදු උනන්දුවක් සහ එතරම් අවබෝධයක් නොතිබූ මා එහි දහම් පාසලෙහි දරුවන්ට
ගුරුවරයකු වන්නට සිදු වූයේ පැවති ගුරු හිගය නිසාමය. සාමාන්‍යය පෙළ බුද්ධ ධර්මය විෂය සදහා විශිෂ්ඨ සාමාර්ථයක් තිබුනද එය ප්‍රායෝගික දැනුමක් නොවිණි. දහම් පාසල් කිහිපයකටම කුඩා කල ගියද ඒ එක් දහම් පාසලකවත් මා හට මාසයකට වඩා වැඩි කාලයක් ඉගෙනීමට නොහැකි වූයේ ළමයින් සමග ගහ ගැනීම නිසා මා හට දඩුවම් කිරීමට සොයන ගුරුවරුන්ගෙන් බේරී සිටීම සදහා දහම් පාසල් නොයා සිටීම නිසාය.
එසේ වූ මම දහම් පාසලෙහි ගුරුවරයකු වීම මාගේ ජීවිතය වෙනස් කල සංධිස්ථානය විය.
ළමයින්ට ඉගැන්වීමට නම් මා දැනුවත් විය යුතුව තිබිණි. ඒ සදහා ගත් උත්සහය මා දහම් පාසලේ දරුවන් අතර කැමතිම ගුරුවරයා බවට පත් කර තිබිණි. ඒ අතර තුරම මා විසින් මා සොයන්නට පටන් ගතිමි.
අවසන පැවිදි වීමි.
නමුත් අභාග්‍යය වුයේ පන්සල මාගේ භාරකාරත්වයට පත් වීමයි.
වසර ගණනකින් කිසිදු නඩත්තුවක් හරියාකාරව සිදු නොකර තිබූ , ගරා වැටෙන ගොඩනැගිලි කිහිපයක් පමණක් තිබූ, දරුවන් 35 කට පමණ සීමා වූ දහම් පාසලක් සහිත, මාසයකට බාගයක්වත් හරියට දානය නොලැඛෙන,
ගත වූ වසර 12ක පමණ කාලයක් ඇතුළත භික්ෂූන් වහන්සේලා 15කට වඩා වැඩි ප්‍රමාණයක් සිවුරු හැරදා ගිය මූලස්ථානයක් ලෙස ප්‍රසිද්ධව තිබූ ප්‍රදේශයේ කිසිදු දියුණුවක් නොතිබූ පන්සල දියුණු කිරීමට යෑමෙදී මට මා සොයා යන ගමන වැරදී යන අයුරු මා හටවත් තේරුම් ගියේ නැත. අවසන මා පන්සලත් සිවුරත් දෙකටම සමු දී වසර 5ක පමණ පැවිදි ජීවිතයෙන් නික්ම එන විට පන්සල දියුණු වී තිබිණී. දහම් පාසල දියුණු වී තිබිණි. නිතර දෙවෙලේ පන්සල ජනයාගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි.

නමුත් මා...
නැවත මග වරද්දා ගත් මගියකු පමණක් වීමි.
අරමුණ මග හැරී තිබිණි...

පසු ගිය දින කිහිපය මුළුල්ලේ මාගේ සිත මා සමග දැඩි සටනකට එළඹ තිබිණි.
මෙ වන විට එය අවසන් යැයි කීමට මා ඉක්මන් නොවෙමි.

නමුත් දැඩි පරිශ්‍රමයකින් තත්වය තරමක් පාලනය කර ඇති බව පමණක් කිව හැක.

අවසන් සටහන නමින් ලියවුණු ලියවිල්ල අවසන, තවත් පැයක පමණ කාලයක් මා මෙහි රැදී සිටිමින් යම් තාක්ෂණික වෙනස් කිරීම් කිහිපයක් සිදු කර මාගේ පැරණි අඩවියකට පාරක් තනා මම පිටත්ව ගියෙම්.

මට නැවත වතාවක් තනි වීමට උවමනා වී තිබිණි.
නමුත් පසු ගිය කාල සීමාවෙදී අතැර යා නොහැකි තරමට මා මෙහි බැඳී තිබිණි.
එබැවින් දැඩිව තීරණයක් ගෙන ඉවත්ව යා යුතුව තිබිණි. නැතිනම් මා කරන්නට සූදානම් වූ කාරිය අතර මගදී නවතා නැවත මෙහි විත් අළුත් තත්වය පිරික්සා බලන්නට සිතෙනා බව මා දනිමි. එබැවින් තරමක් තදින් ලිපිය ලියා දැමුවෙමි. අරමුණ වූයේ බැණවැදීම් කිහිපයක් සමග මා අමතක කරවාලීමයි.
එය එසේ නොවී ඇති බව දැන් මෙහි තත්වය පිරික්සා බැලීමෙදී පෙනී යයි.
එබැවින් පෙර තරම් තදින් නොවුනද නැවත මෙහි ගැවසීමට සිත් විණි.

එක් දිනක් දැනුම් දීමකින් තොරව රැකියාවෙන් නිවාඩුද ගෙන මටම ආවෙණික ක්‍රමයට භාවනා කරන්නට යෙදුණි.
පෙරේදා සිට මෙ දක්වා බිස්කට් කිහිපයකින් හා කිරි වීදුරු කිහිපයකින් පමණක් බඩගින්න නිවා ගෙන කිසිදු බාහිර දෙයකට යොමු නොවී එම කාර්යයේ නිරතව සිට මා හට තරමක් දුරට සිත පාලනය කර ගත හැකි මට්ටමට එන තෙක් උත්සහය අත නොහැර රැදී සිටියෙමි.
අවසන නැවතත් ජීවිතය දකින්නට අරමුණු කර ගනිමින් නැගී සිටියෙමි.

ගතේ අප්‍රාණික කම දුරු කරවා ලන්නට බත් කැඳ ටිකක් පිස ගෙන එය හමාර කොට, රැකියා ස්ථානයට කථා කොට එහි තත්වයද සකස් කර ගත් පසුවය මෙහි එන්නට යෙදුණේ.

මීට වඩා කීමට යමක් නැත.
නැවත වතාවක් කියමි.
සමාවන්න...

22 March 2010

සමු ගන්නට කාලයයි...

කවුරුවත් තරහා වෙන්නට එපා කියලා මුලින්ම ඉල්ලා හිටිනවා.
මට දැන් මොහොතකට කලින් හිතුනා දැන් මම මෙ පැත්තේ හිටියා ඇති කියලා.
ඒ ඇයි කියලා කියන්න මම හරියටම දන්නේ නැහැ.
හේතු කිහිපයක් තියෙනවා.
දැන් දැන් මම ලියන ඒවායින් කාගේ හරි හිත රිදෙන්න පුළුවන් කියලා මට හිතෙනවා.
මම මෙ අඩවියට ආවෙ මොන හේතුවකටද කියලා මම දන්නේ නැහැ.
ඒත් ඒ ආව දවසේ ඉදලා ආයෙමත් ජීවත් වෙනවා කියලා මට දැනෙන්න පටන් ගත්තා කිවුවොත් මම නිවැරදියි.
දවසක් ඇර දවසක් ජොබ් එකත් කරන ගමන් අනිත් දවස පාළුවෙන් ජීවත් වෙමින් හිටි මට මගේ අදහස් නිදහස් කරලා දාන්න මෙතන කදිම තැනක් උනා.
ඒ සදහා මග පෑදූ සින්හල සින්ඩිය පවත්වාගෙන ආ සහෘදයින්ටත් මාගේ ලිපි කියවමින් මා හට දිරි දුන් සියළුම සාමාජිකයින්ටත් මගේ ස්තූතිය පිරි නමන්නටත් මා කැමතියි.
ඒ වාගේම මා අසලම රැදී සිටිමින් මට ශක්තියක් වූ සොදුරු සිතටත් , නිතරම අඩු පාඩු පෙන්වා දෙමින් ලගින් සිටි රවාටත්, මෑතකදී හමු වූ මුත් ළබැදි දයාවෙන් ලගම රැදී උන් තිස්ස අයියාටත් ඇතුළුව නම් කී නොකී හැම දෙනාටමත්නැවත වාරයක් පින් දෙමි.

ඒ වගේම තිස්ස අයියා මාහට කරන්නට සූදානම් වූ උපකාරය මා හට භාර ගැනීමට නොහැකි බවද මෙ සමගම කියන්නට කැමතියි. තරහා නොවන්න. හෙට උනත් ජීවිතෙන් සමු ගන්නට සූදානම්ව සිටින මා හට බැදීමක් ඇති කරගන්නට නොහැක. කෙනෙකුට ණයක් වී තිබියදී මා හට ජීවිතයේ තීන්දු තීරණ ගැනීමට එය බාදාවක් වන බව මා දනිමි. බොහෝ දුර කල්පනා කල මට එවැනි උපකාරයක් හෝ බාර ගැනීම බැදීමකට හේතුවක් යැයි හැගී ගිය හෙයින් එම උපකාරය බාර නොගත්තාට මා හට සමා වෙන ලෙස තිස්ස අයියාගෙන් ඉල්ලා සිටිමි.
වත්..සොදුරු සිත...
සමා වෙන්න මෙහෙම තීරණයක් ගත්තාට. මම හරිනම් මම හිතනවා මෙ වන විට ඔබ මාව තේරුම් ගෙන ඇතැයි කියා. එසේනම් මට අවසරයි වෙන්ව යන්නට.. මාගේ දුරකථන අංකය ඔබන්නට ඔබ උත්සුක නොවන්නේ නම් වඩාත් මැනවි.. තරහා නොවන්න..

රවා..
මා ආදරණීය මිතුර..
එක් කුස උපන් සොයුරා නිසා සහෝදරකම් එපා වී සිටි මට තවත් සොයුරකු ලෙසින් ඔබ ඇසුරු කරන්නට ලැබුනු විට සහෝදරයින් අතර ඔබ වැන්නවුන්ද සිටිනා වග අවබෝධ උනා.
ඔබ පසුගිය දින කිහිපය තුල මා සොයන්නට උත්සහ ගත්තද නොහැකි වූ බව දනිමි. නොවෙහෙසෙන්න.. මක් නිසාද යත් මෙ දුරස්ථභාවය අප අතර තිබීම ඇවසි බැවිනි... ලං වෙන්න ලං වෙන්න වෙන් වීමෙ වෙදනාව වැඩිය..
එබැවින් ඉඩ හරින්න දුරස් වීමට...

සියළුම හිතුවතුන් හා හිතවතියන්ට...
මට සමාවෙන්න.
ඔබලා යන එන මාවතේ අරමුණකින් තොරව අවට පරිසරය නරඹමින් කිසි පිළිවෙලක් නැති අයුරින් හැද පැලද.. ඉබාගාතේ යන අයකු දකින්නේද..
එය සැදෑවරුවක් වෙ නම් තරමක් බමන මතින් කිසිවකු හා කතා නැතිව තනිවම ගීතයක් මුමුණමින් හේතුවක් නැතිව සිනා සෙමින් නිල් පැහැති කුඩා යතුරු පැදියක නැගී නිතරම අළු පැහැති බෑගයක් ඇග හරහා එල්වාගෙන ගම්පහ,නිට්ටඹුව,යක්කල, ආදී ප්‍රදේශවල යන යමෙකු දකින්නේද..
නළල් තලය පැතිරී ඇති අවුල් වූ හිස කෙස් ඇති බොහෝ විට උඩු රැවුල වවා ඇති, තරමක නොකැපූ මුහුණ පුරා වැවී ඇති රැවුල් ගස් ඇති ඇස් වටා නිදි මැරීම නිසාම කළු පැහැ ගැන්වී ඇති තියුණූ හා රෞද්‍ර බැල්මෙන් යුතු ඇස් දෙකක් හිමි අයකු දකින්නේද...

ඒ මාරයාගේ හෝරාව එනතුරා බලා හිදින මිනිසාය..

කථා නොකලාට කම් නැත..
මදක් සිනහා වී ඔහු දෙස බලා නිවන් සැප ලැඛෙවායි පතන්න..

20 March 2010

රොබින් හුඩ්...

ඔන්න මම ගෙදර ආවා.
දවස් තුනකට පස්සේ..
හෝදන්න රෙදි ගොඩයි.
මුලින්ම කලේ බත් චුට්ටත් උයලා කාලා හිටපු එක.
දවස් තුනක් තිස්සේ කඩෙන් කාලා බඩ නිකං ස්වාභාවික ජීව වායු නිපදවන ටැංකියක් වගේ වෙලා තිබුනේ.
ගෙදර ඇවිත් බලනකොට උයන්න කියලා හරි හමන් දෙයක් තිබුනේ නැහැ.
යන්තම් බත් ටිකක් උයලා.. ගෙදර තිබුනු සියළුම සම්පත් ප්‍රයෝජනයට ගනිමින් අලයි හාල්මැස්සොයි එකට දාලා උයලා දුම් දාද්දීම බත් කටවල් දෙක තුනක් කාලා හිටියා.
තව ටිකක් දවල් වෙලා පාර පැත්තේ ගිහින් මොනවා හරි කොළ මිටියක් හොයාගෙන ඇවිත් මැල්ලූම් පාරක් දාගත්තනම් මට ඒ ඇති. මදි උනොත් මිරිස් කරල් දෙක තුනක් බැද ගත්තම ඒ අඩුවත් හරි යයි.
මගේ ජීවිතේ ඉතින් ඔහොම තමා. ගෙදර ආව වෙලාවට සම්බෝලයක් එක්ක හරි බත් ටිකක් කෑවම තමයි පොඩි ෆිට් එකක් එන්නේ.
කොහොමත් මම උයන්න ගියහම වැඩිය මාළු පිණී හද හද ඉන්නේ නැහැ.
හැබැයි උයන එක දේ උනත් මට අල්ලලා යන්න තියෙන්න ඔන.
කොළ මැල්ලූම් නම් බත් එක වැහෙන්න තියෙන්න ඔන. ඒ පුරුද්ද ඇති කලේ අපේ තාත්තා තමා.
මගේ අම්මේ ඒ දවස් වල මට කවපු කොළ කන්දරාව..
හැබැයි ඉතින් දැන් මෙ බොන බීමට මම ඉතිරි වෙලා ඉන්නෙත් ඔය කොළ කන්දරාව නිසාදෝ කියලත් මට වෙලාවකට හිතෙනවා.
මගේ ආසම කෑම වෙල තමයි ඉතින් කොස් තම්බලා, කිරි හොදි හදලා, හාල් මැස්සනුයි මිරිසුයි බැදලා ගන්න එක.
හැබැයි දැන් සෑහෙන කාලෙකින් කන්න නම් බැරි උනා.
කොස් තියෙන දවසට මම නම් නෙවෙයි බත් කන්නේ..

ඔන්න ඔහොමයි ජීවිතේ...

මට අද උදේ එක පාරටම රොබින් හුඩ්ව මතක් උනා. මොකද මන්දා...
හැබැයි අර මෙ දවස් වල රූපවාහිනියේ ඉන්න හාදයා නම් නෙවෙයි.
අපේ පරණ යාළුවා..
ඇත්තටම මම කියවලා තිබුනු රොබින් හුඩ්ට වඩා වෙනස් උනත් ඉස්සර අපේ ටයි මාමා අපිට තෑගි දුන්න රොබින් තමා නියම රොබින්...
අර වේලන්ඩ්හී අසිපත් නවයෙන් එකක් වෙච්ච ඇල්බියන් කඩුව එහෙම දකිද්දී මගේ ඇගේ මයිල් ඉස්මයිල් වෙනවා..
එතකොට අපේ රුක් දෙවි මාමා හර්න් එහෙම මීදුම මැදින් මතු වෙද්දී... අම්මා දැනෙන සනීපේ.. හරියට නැන්දා මාමා දැක්කා වගේ සන්තෝෂයි.
මම ආසම නසියර්ට.. නිශ්ශබ්දව ඉදගෙන බොහෝ සටන් වලදී උපරිම වැඩ කොටසක් කල ඔහුට මගේ තිබුනේ පුදුම කැමැත්තක්.
විල් එක්කනම් වෙලාවකට මල පනිනවා..
මාච් පවු අහින්සක හිතවතා..
ජෝන්, ටක් අපූරු චරිත..
මැරියන් ගැන නම් මුකුත් කියන්න විදියක් නැහැ. අපේ මුචා දැක්කොත් මට බකට් එකක් දාන්න පුළුවන්.
ෂෙරිෆ් සහ ගයිත් නිකම් හොද්දට ගොරකා වගේ තමා.. ඇතුවත් බැහැ නැතුවත් බැහැ.

අනේ ඉතින් ඒ දවස්වල රොබින් හුඩ් බලන්න අපි වින්ද දුකක්.
මුලින්ම පෙන්නන කාලේ අපිට කොයින්ද රූපවාහිනී..
ඉතින් කාගේ හරි ගෙදරකට ගිහින් දුක සේ බලලා එනවා.
ඒ අතරතුර නොයෙක් හේතු නිසා සමහර කොටස් බලන්න බැරි වෙනවා.
පුදුම දුකයි..
ඒත් ඉතින් ටයි මාමායි අතුල රන්සිරි ලාල් මාමායි බුදුන් දැක නිවන් දකින්න ඔන. නැවත නැවතත් කථාව පෙන්වීම සම්බන්ධව. කොහොමින් කොහොම හරි මම සාමාන්‍ය පෙළ කරන කාලේ විභාගෙට මාස කීපයකට කලින් තමයි අපිට විදුලිය සහ දෙයියනේ කියලා බලන්න රූප පෙට්ටියක් ලැබුනේ.
ඒත් එක්කම මෙන්න නැවත වතාවක් රොබින්හුඩ් අයියා පෙන්නනවා.
මම නේද ඉරිදාට යන්තම් ගිහින් හිටිය ගණිතය පන්තියත් කට් කර කර කොහොම හරි රොබින්හුඩ් බලන්න සෙට් වෙනවා.
ඒ අතරෙ නොගිහින්ම බැරි දවස්වල පන්තිය පැත්තේ ගියහම අපේ හිටිය ලක්රුවන් කියලා කොල්ලෙක් මම පන්ති එන්නැතිව රොබින් හුඩ් බලන වග දැනගෙන මට දම්වැල් රොබින් කියලා නමකුත් දාපි.
මාත් අකමැති උනේ නැහැ. මොනවා උනත් රොබින්නේ..
අන්තිමට ඉතින් රොබින්හුඩ් අයියට පින් සිද්ධ වෙන්න විභාගේ ප්‍රතිඵල ආවට පස්සේ දන්න කියන වැඩිහිටි අයගෙන් මම හුගාක් ජාති අහ ගත්තා..
ඒත් ඉතින් මට මොකද...? ගණිතය වගේද රොබින්..
අනික ඒ දවස්වල මම දුනු විදින්න එක්ස්පර්ට් පොරක්.
මා ළග හුගාක් අත්හදා බැලීම්වලට පස්සේ නිර්මාණය කරගත්ත කැප්පෙටියා ලීයක් හීනි කොහු ලණුවකින් බැදලා හදා ගත්ත අඩි 6ක් විතර උස දුන්නකුයි, දවට ගස්වල පැල වලින් හදා ගත්ත ඊතල ගොඩකුයිත් තිබුනා.
එක ඊතලයක් අඩි 3ක් විතර ඇති.
මෙනවද ඉතින් විදින්නේ ෂින් ෂින් ගාලා..
කොහොමත් මීටර් 100 කට ආසන්න දුරක් නියම ඉලක්කෙට විදින්න ඒ දුන්නෙන් පුළුවන්.
ඒ දවස් වල ඉතින් මම යන එන හරියේ තිබුනු කෙසෙල් ගස්වලට එහෙම පුදුම අපලයි.
හැමදාම හවසට දුන්න ලිහලා කැප්පෙටිය ලීයට පහුවදා වෙනකල් පොඩි රෙස්ට් එකක් එහෙම දෙනවා, එතකොට අනිත් දවසෙත් හොද තද ගතියක් දුන්නේ තියෙනවා.
මුලින් මුලින් එක එක ලී වර්ග පාවිච්චි කරලා, රබර් පටි දාගෙන හදපු දුනු වගේ නෙවෙයි මෙක.
නියම භාණ්ඩෙ.
දැන් ඉතින් මෙක කියවන අපේ තාත්තලා වෙලා ඉන්න සහ වෙන්න තාත්තලා ටික හොදට මතක තියාගෙන ඉදලා පැටවුන්ට නියම වයසේදී පුළුවන් නම් හොද දුන්නක් හදලා දෙන්න. දරුවෝ සතුටු වෙවී.

ඊළග දේ තමා කඩු හරඹෙ..
මම රොබින් හුඩ්ට කැමති උනාට කඩු හරඹෙදී කැමති නසියර්ට.
මොකද මිනිහාගේ සටන් ක්‍රම හරිම ප්‍රායෝගිකයි.
ඉතින් හැමදාම හවසට සහ නිවාඩු දවස්වල මුළු දවස පුරාම මාත් මල්ලීත් අපේ නඩයත් මෙහෙම තමා ජීවත් උනේ.
ඇත්තටම රොබින්හුඩ් අමරණීයයි.
ආ ඒ වගේම තමා රොබින්හුඩ්ට කලින් මගේ වීරයෝ උන කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අයව අමතක කලොත් ලොකු අඩුවක් වෙවී.
යුනිකෝ
ටෝගා
හන්ටර්
පැන්ටම්
ස්කාගස් අනෙ අම්මෙ මෙන්න වැඩ කාරයෝ ටික.
ම් ම් තව පොරක් හිටියා යුනිකෝට සමාන මට මිනිහගේ නම මතක් වෙන්නේ නැහැනේ.
ඔක්කෝම චිත්‍රකථා වීරයෝ.
අතරින් පතර තව වීරයෝ හිටියා ඒත් දැන් අමතකයි.
ඔන්න මම ලොකු උන හැටි...
කජු ගස්, කොස් ගස්, වෙල් යායවල් මැද්දෙන්, කන්දෙ ගලෙන්, පහල ඇලේ බන්ට් එකෙන්, වැවෙන්, ගලා ගෙන ගිය ඒ මිහිරි කාලය අපි අතරට ආ ක්‍රිකට් නිසා මද දුරස් වීමකුත් උනා කිවුවොත් නිවැරදියි.
ශිෂ්‍යත්වෙන් පස්සේ වත්, කොළඹ ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ වත් මම නෙවෙයි ඔය මගේ ලෝකේ වීරයෝ අමතක කලේ..
අදටත් මම හිතන්නේ මම තරම් හොදින් පොඩි කාලේ ගත කල ළමයෙක් තවත් නැතිව ඇති කියලයි.
ඒ සදහා පූර්ණ අනුග්‍රහය දැක්වූ තාත්තා පිළිබදවත් මතක් නොකර ඉන්න බැහැ.
කොහොමත් මට අදටත් උයන්න පටන් ගත්ත ගමන් තාත්තව මතක් වෙනවා.
තාත්තා තරම් රසට කෑම උයන්න අපේ ගමෙ කාටවත් බැහැයි කියලා ඒ දවස්වල තාත්තාගේ අතින් හදපු කෑම ටිකක් කාපු කවුරුත් කීවෙ බොරුවට නෙවෙයි.
ඒ කාලේ අපේ තාත්තා අතින් පොළාස් උයලා කෙසෙල් කොලේ බැදපු බත් කටක් කාලා නැතිව කිසිම බඩ දරු අම්මා කෙනෙක් අපේ ගමෙ අහල පහල දරුවෙක් වදලා නැහැ.
ඒ තරමට ඒක ප්‍රසිද්ධයි.
මට මතකයි සමහර ගෑනු ළමයි විහිලූවටත් කියනවා, අපිට ඉතින් ..................... ගේ බත් ටිකක් කන්න ළමෙක් හම්බ වෙන්නම එපැයි කියලත්.
අදටත් මම අපේ තාත්තා අතින් තරම් රහ කෑම වෙන කොහේදිවත් කාලා නැහැ.
අම්මා උනත් උයන්න පුරුදු උනේ තාත්තගෙන්.
මාත් එහෙමයි.
අදටත් මම උයන කොට ඒ ඒ කෑම හදද්දී තාත්තා කරපු දේවල් ඒ විදියටම කරනවා.
තාත්තා තරමටම නැති උනත් මටත් සාමාන්‍ය ගානකට උයන්න පුළුවන්.
අපේ අම්මා උනත් මම හදන කෑම කන්න කැමතියි.
ඒත් මට එක දුකක් තියෙනවා,
ඒ තමයි තාත්තාට සිහි කල්පනාව තියෙන වෙලාවක ඒ කියන්නේ අංශබාගේ හැදෙන්න කළින් කෑම ටිකක් උයලා කන්න දෙන්න බැරි උන එක.
එහෙම දීලා තාත්තේ කෑම රසයිද කියලා නම් මම කවදාවත් අහන්නෙත් නැහැ.
මොකද තාත්තත් මම වගේම තමයි. ලේසියෙන් හොදක් නම් කියන්නේ නැහැ.
පැත්තකට වෙලා මට නොපෙනෙන්න හිනා වෙයි. එච්චරයි.
ඒත් ඉතින් පස්සේ වෙලාවක ලොක්කෝ උඹ අද උයපන් කියලා කිවුවොත් මම දන්නවා කෑම හොදයි තමයි කියලා.
ඒක තමයි තාත්තගෙයි මගෙයි හැටි.

17 March 2010

අද දවසේ සිදුවීම් සහ තවත්...

අද දවසම එහෙ මෙහෙ ගියා.
උදේම ඇවිත් බ්ලොග් එක බලලා,ඊට පස්සේ කිරිදිවැල ගිහින් මගේ පරණ දායක මහත්මයකුත් වන පාරිභෝගික භවතෙක් හමු වී ඔහුගේ කලින් කල ඉල්ලීමක් ඉටු කරනුවස් කේන්දරය එහෙම බලලා, ඊට පස්සේ දෙල්ගොඩ මගේ තවත් හිතවත් අයකුගේ වැඩක් කර දීම සදහා යන අතරතුර මම පෙර දිනක සදහන් කල මගේ හිතවත් ගෝලිය ගේ නිවසටත් ගොඩ වැදුනේ හැකි ඉක්මනින් යන්නට බලාගෙන උනත් උදේ 11 හේ ඉදන් හවස 5 වෙනකල්ම එහෙ ඉන්න උනා.
එහෙ පවුල් කිහිපයක් ළග ළග නිවෙස් 4ක විතර නෑදෑයෝ ඉන්නේ. ඉතින් ගිය වෙලාවෙ ඉදන් ෂෝ එක පටන් ගත්තා (මාව බලන එක තමා) ඒත් එක් පවුලක කට්ටිය අඩු නිසා සොයා බැලීමෙදී මගේ හිතවත් ගෝළියගේ ඥාති සහෝදරිය අසනීප වී ඇති නිසා ඇගේ නිවසේ සියළුම දෙනා ඒ වෙනුවෙන් පිළියම් කිරීම සදහා පිටත්ව ගොස් ඇති බව දැන ගන්න ලැබුනා.
පස්සේ හවස 3 විතර වෙන කොට තමයි ඇත්ත කාරණාව දැනගන්න හම්බ උනේ.
ඒ කියූ සොයුරිය රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා කිසියම් මුදල් වංචාවකට අනුබල ලබා දීමෙ වරදකට.
කොහොමින් කොහොම හරි අන්තිමට මම ගිය වැඩෙ දාලා ඇවිත් මම දන්නා අදුනන නිතී ක්ෂේත්‍රයේ රාජකාරි කරන වැඩිහිටියකු හම්බ වෙලා ඇයට ඇප ලබා දීම සදහා අවශ්‍ය කටයුතු සොයා බලා ඒ වෙනුවෙන් දැනට සිරගතව සිටින සොයුරියගේ( ඇයත් මගේ හිතවත් ගෝලියෙක් තමා) සැමියාට දන්වා කටයුතු සකස් කරලා,අන්තිමට තෙමීගෙන ගෙදර ඇවිත් නාලා පිළිවෙලක් උනේ රෑ10 ට විතර තමා.
ඊට පස්සේ මම ගෙනල්ලා තිබුනු රබ්නේ බනාදී ජෝඩි චිත්‍රපටය නරඹලා අවසානයේ දැන් තමයි නිදා ගන්න හදන්නේ.
යන්තම් පැය 4කටත් අඩු කාලයක් තමා ඉතිරි වෙලා තියෙන්නේ.
අනිත් කාරණය තමා හෙට උදේ ගියහම මම එක දිගට දවස් 3ක් වැඩ ආයෙත් මෙ පැත්තේ එන්න වෙන්නේ20 වැනිදා උදේ තමයි.
ඉතින් ඒ එනකල් කට්ටියත් සතුටින් සමාදානයෙන් ඉන්නයි තියෙන්නේ.
සමාදානයෙන් ඉන්නම අමාරුනම් චුට්ටක් විතර රණ්ඩු උනාට කමක් නැහැ.
ඔනනම් චුට්ටක් දුක් උනත් කමක් නැහැ.
හැබැයි හැම දේම චුට්ටයි.
ඔං මං ගියා.

14 March 2010

ලියන්න හිතුනා...

දවස් දෙක තුනකින් මුකුත්ම ලියන්න බැරි උනා.
බැරි උනා නෙවෙයි, නොලියා හිටියා. ඒ ඇයි කියන්න මම වත් දන්නේ නැහැ.
මහ එපා වීමක්...
පෙරෙදා ගෙදර ඇවිත් කරන්න දෙයක් බැළුවා. ම්හු කිසිම දෙයක් නැහැ.
අන්තිමට එකතු වෙලා තිබුනු කේන්දර ගොන්නෙන් ටිකක් බලලා දැම්මා.
ඒ අතරෙ පරණ පොරොන්දුවක් ඉටු කරන්න හිතලා මාක් මලයගේ කේන්දරෙ බලන්න කියලා හිතුවට මිනිහා දාලා තිබුනු කමෙන්ට්ස් මකලා දාලා. පස්සේ තද වෙලා ඒකත් අතහැරලා දාලා උදේ වරුවෙ ඉදලාම මගේ යාව ජීව මිතුරා සමග හවුල් උනා. දවස ගෙවිලා ගියා..
මෙ පැත්තේ ආවෙ නැතුව නෙවෙ. සුපුරුදු ලියමන් ටික බැළුවා.

අතීතයෙන් ගග ගලා බසී
සොදුරු සිත
හද ගී පොත
මධූගේ දින පොත
අතීතයෙන් අහුලන මතක
කතන්දරකාරයා
අච්චාරු
දුකා
සයිබර් යාය
බිගුලන්තේ
ගලා

ඊට අමතරව සින්ඩිය පැත්තෙත් ගිහින් හොදයි කියලා හිතෙන ලිපි ටිකක් බැළුවා.
ප්‍රතිචාර දැක්විය යුතුම ලිපි කිහිපයක් තිබුනත් මුකුත්ම නොලියා හිටියා. අනේ මන්දා...
මටම තේරෙන්නේ නැහැ මොනවා වෙලාද කියලා.
දැනුත් පටන් ගන්නයි හදන්නේ.. වෙන කරන්න මෙලෝ දෙයක් නැහැ.
ආ හැරී පෝටර් 6 වෙනි කොටස තිබුනාද කොහෙද..
ඒකවත් හොයාගෙන බලන ගමන් ඔන්න මම යනවා මගේ මිතුරු තොමෝ යහතින්ද කියලා බලන්න.

ලියන්න අදහස් ටිකක් තියෙනවා. ගරු/අතිගරු/ශ්‍රීමත්/උතුමාණෝලා ගැන සහ මහත්මයින් ගැන.
බලමු තව ටිකකින් තත්වය හොද අතට හැරුනොත් බැරියෑ...

කවුරුවත් තරහා වෙන්න එපා. කථා නොකර හිටියා කියලා.
ඔළුව පොඩ්ඩක් නිදහස් කරගන්න ඔන...
(අපේ ජෙනරාල්තුමා කිව්ව කෙරුව දේවල් වලින් එකයි ඇත්ත)

10 March 2010

ගීතයක් කල හදියක්...

ඔන්න ඉතින් මං ආයෙත් ආවා..
ගෙදර ආවෙ නම් අද උදේ ඒත් බ්ලොග් එක පැත්තේ කරක් ගහන්න හිතුනේ නැහැ.
මට වෙච්ච අවුලක් හින්දා.
ඊයේ මම රාජකාරී වෙලාවෙ කරන්න කිසිම දෙයක් නැති හින්දා මගේ ෆෝන් එකේ තියෙන රේඩියෝව ටිකක් සද්ද ඇතුව දාගෙන සින්දු ටිකක් ප්‍රවෘත්ති ටිකක් සහ සුපුරුදු විදියට වෙළඳ දැන්වීම් ගොඩකුත් එක්ක අහ අහ ඉන්න කොට තමා මෙක උනේ.
එක පාරටම මම නාලිකාවෙන් නාලිකාවකට මාරු කරන කොටම මිල්ටන් මල්ලවආරච්චිගේ ගීතයක අග කොටස යනවා.
හිතට නිකං අකුණක් ගැහැවුවා වාගෙයි.
මට උන් හිටි තැන් අමතක උනා.
සම්පූර්ණ ගීතයම අහන්න උනේ නැහැ.
මම ඒ නාලිකාවට යනකොටම ගීතයේ බාගයක් ගිහින් ඉවරයි.
මීට කලිනුත් කීප වතාවක් අහලා හුරුයි.
ඒත් මෙ තරම් හිතට වැදුනේ ඊයේ තමයි.
ඉතින් එතන ඉදලාම මගේ වැඩෙ උනේ ගීතයේ අහපු පද වැල් ටික මතක් කර කර මුමුන මුමුන ඉන්න එක තමයි.
දවස ගෙවිලා යනවා දැනුනෙත් නැහැ.
උදේ ගෙදර ආව ගමන් නෙට් එකට ඇවිත් ගීතය හොයා ගත්තා.

sinhala juke box එකේ මිල්ටන් මල්ලවආරච්චිගේ කොටසේ 242 වන ගීතය

ඇහැවුවා... උදේ වරුවම ඇහැවුවා... හිත පිරෙනකං ඇහැවුවා...
ගීතයේ රසය නෙත් අගින් ගලාගෙන යනකල්ම ඇහැවුවා...

ඊට පස්සේ ටිකක් විතර හරි..

හවස් වරුවම ගීතය මුමුණ මුමුණ හිටියා...
ඒ අස්සේ මගේ පරණ මිතුරියකගෙන් ඇමතුමක් ආවා. මිතුරියක් වගේම මගේ දහම් පාසලේ ගෝලයෙක්. හරිම වචනේ මිතුරු ගෝලියෙක්..

පහුගිය අවුරුදු 3නේම එෆ්.එම්. නිවෙදිකාවක් වෙලා හිටියේ. දැන් නම් ඒකෙන් එපා වෙලා අස්වෙලා ගෙදරට වෙලා ඉන්නවළු. ඒ කෙල්ලට පින් සිද්ද වෙන්න මට අද යන්තම් ගොඩ එන්න පුළුවන් උනා. අපරාදේ කියන්න බැහැ ෆෝන් බිල එහෙම යනවාද කියලාවත් ගණන් ගන්නේ නැතිව පැය දෙකක් විතර කතා කර කර හිටියා. (මාසේ අන්තිමට කෙල්ලව තාත්තගෙන් බේරගන්න නම් දෙයියොම තමයි එන්න ඔන.) ඇස්වහක් කට වහක් නැහැ කෙල්ල නම් සීදේවි.. හලෝ... කියලා කියනවා කිවිල්ලක් උන් හිටි තැන් අමතක වෙනවා.. ඒ තරම් එෆ්.එම්. ආභාෂය හොදට පිහිටලා තියෙනවා. කොහොමටත් කෙල්ලගේ කට හඩ ලස්සනයි. ඒ දවස්වල භක්ති ගීත කණ්ඩායමෙ අංක 1 එයා තමයි. කතා කරන කොට නිකං වීදුරු සෙලවෙනවා වගෙයි. මාත් ඉතින් අහගෙන හිටියා කිසිම අපහසුවකින් තොරව.
අන්තිමට එයත් ඉතින් ඇහැවුවෙ කවදාද බදින්නේ කියලා තමයි. ඕන් ඉතින් අපහසුවෙන් වටෙ ගිහිල්ලා ගිහිල්ලා යන්තම් ෂේප් උනා. ඒත් අන්තිමට එයා එකක් හොයන්නම් කියලා කියනවා මම කිවුවා ඒ පාර හොදයි හොයන්න හැබැයි ඉතින් මාත් එක්ක ඉන්නවා කියන්නේ මොන වගේ වැඩක්ද කියලා දන්නවනේ කියලා.. ආ දන්නවා දන්නවා යකෙක් එක්ක ඉන්න පුළුවන් කෙනෙක් හොයලා දෙන්නම් කියලා ඒකිත් හිනා වෙනවා..
කොහොමින් කොහොම හරි දවල් දවස ගෙවා ගත්තා. ලගදිම දවසක ඇවිත් යන්න එන්නම් කියන පොරොන්දුව මත කතාව අවසන් උනා.
හවස් වරුවත් යන්තම් බෝතල් මිත්තරයාගේ සහයත් ඇතිව ගත කලා. දැන් තමයි මෙ පැත්තේ ගොඩ වෙලා බැළුවෙ...
හ්ම්ම්ම්ම්....
සෑහෙන කට්ටිය ඇවිත් ගිහින්නේ...
ඒ විතරක් නම් මදෑ මම නැති හින්දා හොයලා විතරක් නෙවෙයි ඔන්න මඩ පාරවල් දෙක තුනක් ගහලා ගිහිල්ලාත් තියෙනවා..
කමක් නැහැ .. කමක් නැහැ...
මම සැලෙයිද ඔවට...
ඔන්න කොල්ලා ඇවිත් තියෙන්නේ.....

සින්දුව අහන්න දෙන්න නම් මම දන්නේ නැහැ..
තිස්ස අයියාට පුළුවන් නම් ඒ වෙනුවෙන් යමක් කරන්න බලන්න..

මෙන්න මා වැනසූ ඒ පද වැල්...

සැදී රන් අබරණින්
රිදී සළු පිළි දරා..
නැගී රිය පෙරහරින්
පැතූ පෙම් ලොව දවා..
මනාලිය වී ලඳේ
ගියත් ඔබ ඔහු කරා..
මගේ හදවත ඔඛෙයි
මගේ දිවි ඇති තුරා..

අදින් පසු සිත ඔබේ
අහිමි වන බව දනිම්..
යළිඳු අපි දිවි තුරා
නොඑන බව යළි දනිම්..
නොඑන බව යළි දනිම්..

සැදී රන් අබරණින්
රිදී සළු පිළි දරා..
නැගී රිය පෙරහරින්
පැතූ පෙම් ලොව දවා..

ඔඛෙන් ලද සෙනෙහසේ
සුවය නිති විඳින්නම්..
සසර මතු භවෙක හෝ
සුරත ඔඛෙ පතන්නම්..
සුරත ඔඛෙ පතන්නම්..

සැදී රන් අබරණින්
රිදී සළු පිළි දරා..
නැගී රිය පෙරහරින්
පැතූ පෙම් ලොව දවා..
මනාලිය වී ලඳේ
ගියත් ඔබ ඔහු කරා..
මගේ හදවත ඔඛෙයි
මගේ දිවි ඇති තුරා..

08 March 2010

කර ගන්න දෙයක් කර ගනිල්ලා.. කාලෙ හොදා...

මට කියන්න අමතක උනා.
මෙ මාසේ 03 වෙනිදා ඉදන් 27 වෙනිදා වෙනකල් සෑම අයෙකුගේම සිකුරු ග්‍රහයා උච්චයි.
හුග දෙනෙකුට තම තමන්ගේ බලා පොරොත්තු ඉටු කරගන්න ලැඛෙවී.
සමහරුන්ට නීත්‍යානුකූලව..
තවත් අයට අනියම් විදියට..
තවත් සමහරුන්ට නම් උසාවි වලින් නවතින්නත් වෙවී...

ඇයි කියලා එහෙම මගෙන් අහන්න එපා...

06 March 2010

අවසන් ජවනිකාව...

ස්ථානය :- රෝහලක වාට්ටුවකි. (බොහෝ විට ගම්පහ හෝ වතුපිටිවල විය හැක.)

වෙලාව :- හරියටම කිව නොහැක. (සවස් කාලයක් විය හැක)

ආරම්භය...

අවට පරිසරය සන්සුන්ය. සාමකාමීය.
විටෙන් විට නැගෙන රෝගියකුගේ කෙදිරිළි හඩත් ඒහා සමගම නැගෙන හෙදියකගේ තරවටුවත් හැරුනු කල අන කිව හැකි තරමෙ යමක් නැත.

දැන් කොතරම් වෙලාවක සිට මා මෙහි සිටියේ දැයි කිව නොහැක. නමුත් හිසට ඉහළින් කැරකැවෙන ෆෑන් පෙත්ත දෙස බලා සිටීම තව දුරටත් කල නොහැකි තරම් වෙලාවක් මා එදෙස බලා සිටි වග නම් කිව හැක.
හිස හරවා වට පිට බැලීමට අවශ්‍ය වූවත් දැනෙන අධික වෙදනාවත් සමග එය කල නොහැක.

"අනේ අම්මේ..."

ඒ හඩට සිත ගැස්සෙන තරම් වෙගයෙන් හිස ගස්සා බැලිය නොහැක.
ආයාසයෙන් යුතුව ඇස් දෙක පමණක් ඇද පාමුලට යොමු කලෙමි....
ඇය ඇවිදින්..
ඇය ඇවිදින්..
අවසානයේ ඇය ඇවිදින්..

සැමදා මා දකින්නට ප්‍රිය වූ ඇගේ දසුන මා අසලම..
අවුල් වූ කෙහෙ රැලිත් බියපත් දෑසිනුත් යුතු ඇගේ රුව මා අසලම..

කම්පාවට පත් වූ ඇගේ මෑණියන්ද ඈ අසලම පිටුපසින් රැඳී සිටුනු මට පෙනෙයි..

"අනේ අම්මෙ එයා.." ඇගේ හඩ
"මොකද දරුවෝ මේ කර ගත්තේ.." ඇගෙ මවගේ හුරු පුරුදු වදන් පෙල
"නෝනලා ආව එක හොදයි. මාත් ගියේ අහම්ඛෙන් වගේ දවස් දෙක තුනකින් වැඩට ගිහින් නැති හින්දා අපේ ලොකු මහත්තයා කිවුව නිසා ගිහින් බැළුවේ.. ඒ යන කොටත් සිහියක් නැහැ. දොර ඇරලා තිබුණූ නිසා මාත් සැකේට වගේ ඇතුලට ගියේ.. ඉක්මනට මෙහෙට ගෙනාවා. ඒත් වැඩක් වෙන එකක් නැහැ. පෙති හුගාක් බීලා. දවස් ගාණක් වෙනවළු.. පෙති වලට මුකුත් වෙලා නැති උනාට දෙතුන් දොහොකින් කෑම වතුර නැතිව ඉදලා හොදටම දුර්වල වෙලා.. පර්ස් එකේ තිබුනු ලිපිනෙට තමයි මම පණිවිඩෙ ඇවිත් කිවුවෙ. කොහෙද ගෙයක් දොරක් නෑදෑයෙක් ඉන්න දිහාවක් අපිටවත් කියලා තිබුනු එකක්යෑ. තනියම අර පාළු ගෙට වෙලා හිටියා මිසක්...."
ඒ හඩ සරත් අයියාගේ බව මා හට අදුනා ගත හැකි වූවද ඔහු සිටින්නේ කොයි පැත්තේද යන්න හරියටම බලා ගත නොහැක.

"අම්මෙ අපි මොකද දැන් කරන්නේ..."
"ඒක නේන්නම්, කවුද හිතුවෙ මෙ වගේ මෝඩ වැඩක් කර ගනී කියලා.."

"මුකුත් කරන්න ඔන නැහැ.." මා කිවුවා නොව කියන්නට සිතුවා පමණකි. වචන පිට කිරීම සිදු නොවන බව වැටහුණේ ඒ සඳහා උත්සහ කල විටය.

"මොනවද කියන්න හදනවා.." ඇයට මා වැටහී ඇතිසේය..

"වතුර.." කියන්නට නොහැකි උනත් මම සිතිමි..

"මෙයාට බොන්න මුකුත් දුන්නට කමක් නැද්ද..?" ඇය අසයි.. තවමත් මාව තේරුම් ගන්නට පුළුවන් මම සතුටු වීමි..

"වතුර උගුරක් හරි පොවන්න නෝනා, පින් සිද්ධ වෙනවා.."

කුඩා හැන්දකට ගත් යමක් ඇය මා දෙතොලේ තබන්නට උත්සහ කරනු මට දැනේ.. නමුත් තොල කට වියළී ගොස් දැඩි රළු ගතියකින් යුතු බැවින් කිසිදු රසයක් මා හට නොදැනේ..

"ඇයි දෙයියනේ මෙහෙම කර ගත්තේ.. මෙ තරම් දෙයක් වෙයි කියලා මම හිතුවෙ නැහැ.. නැත්නම් මම.." ඇය ගොළු විය..

"අනේ පුතේ මාත් හිතුවෙ නැහැ උඹ මෙ තරම් මගේ කෙල්ලට ආදරෙයි කියලා.. ඒත් ඉතින්.."

"එහෙ හිටි හැටියට කවුද හිතන්නේ මෙ වගේ කර ගනී කියලා.."

"ඒ ගැන නම් කියලා වැඩක් නැහැ නෝනා, වෙලාවකට අපිත් එක්ක විහිළු කර කර ඉන්නවා. වැඩ කරන කොට නම් හරි වසයි. හැම දේම නූලටම තියෙන්න ඔන. ඒත් සමහර වෙලාවට පොඩි එකෙක් වගේ. කොහොමටත් අපේ දරුවන්ගේ වයසේනේ. දවල්ට කෑ ගහලා බැනලා දගලලා වැඩ කරනවා. එක මොහොතක් එක තැනක නැහැ දුවලා පැනලා අපේ වැඩත් එක්කම කරනවා. කවදාවත්ම අපි කන්න කලින් බත්ටික කාලා නැහැ. ඔක්කෝම කාලා ඉවර උනාට පස්සේ තමයි සර් කන්නේ. සමහර දවස්වල රෑට කනකොට එකොළහත් පහුවෙනවා. ඒත් රෑ කාලා ඉවර වෙලා බොහොම සැහැල්ලූවෙන් අපිත් එක්ක කතා කර කර ඉන්නවා. අර දවල්ට හිටපු මනුස්සයා නෙවෙයි ඒ වෙලාවට ඉන්නේ.. හරියට පොඩි එකෙක් වගේ.. හද පායලා නම් එළියෙන් පුටුවක් තියා ගෙන හඳ දිහා බලා ගෙන ඉදී පැය ගාණක් උනත්.. කතා කලොත් පුංචි කාලේ කරපු කියපු දේවල් ගැන මතක් කර කර කියවනවා. වෙලාවකට අපිව තියාගෙන ග්‍රහ ලෝක පෙන්වනවා..." සරත් අයියා කියා ගෙන යයි..

"ඔයාට ආදරෙ නැතුව නෙවෙයි.. ඒත් අම්මා.."

"මෙ තරම් මට ආදරෙයි කියලා මම හිතුවෙත් නැහැ.."

"අනේ අම්මේ මෙ මොකද්ද වී ගෙන එනවා.." ඇය මගේ හිස අල්ලා ගනිමින් හඩයි..

හිස කෙස් අතරින් ඇගේ ඇගිළි තුඩු ගමන් කරනු දැනේ.. ඇගේ ඇසින් ගලා යන කදුළු බිඳු මගේ මුහුණට මද සීතලක් දනවමින් ගලා යයි.. ඒ සුපුරුදු සුවඳ.. නාස් පුඩු තුළින් මුළු ශරීරය පුරාම දිව යන්නාසේය..
අවට සිටි අයගේ කලබල වීමක් යන්තමට මෙන් දැනේ..නමුදු ඉන් මා හට ඇති වැඩක් නැත.. ඇය මා අසල සිටී.. මීට වඩා යමක් මට මෙ මොහොතේ ඇවසි නැත.. ඇගේ සුවඳ මුළු ආත්මයම සනසවාලයි.. තවදුරටත් ඇස් පියන් ඇරගෙන සිටීම අපහසුය.. මඳින් මඳ අවට අදුරක් පැතිර යයි.. ඇගේ නෙත මා නෙත අසලම රැදී තිබේ.. එහි දිදුලනා එළිය මා මාගේ දෑසින් උරා ගතිමි.. සිහින් ආලෝක පුංජයක් විදුලි සැරයක් ලෙසින් මා නෙතට පෙනී නොපෙනී ගියේය.. සියල්ල අවසානයි....... මා පැතූ ලෙසින්ම.................
අඳුර...........

05 March 2010

වචන ටිකක්...

මම දැන් වැඩට යන්න හදන්නේ.
ආයෙමත් ආවට පස්සේ ලියන්නම්.
සමහර විට හෙට එන්න පුළුවන් වෙයි.
ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තූතියි.
රවා, පිස්සා, දිල් ,තිස්ස අයියා,බුද්ධි, ච.මී.දේවා,
හෙට ඇවිත් පිළිතුරු දෙන්නම්.
සියළු දෙනාටම තෙරුවණ් සරණයි!

04 March 2010

වයසක මිනිසෙකි මා දැන්

වයසක මිනිසෙකි මා දැන්
කෙස්ස පැහී ඇත තැන තැන
වසර තිහක් උනත් දැනේ
වියපත් ගතියක් මා හට..

ජීවිත ගග ගලා ගියේ
වරෙක බොහෝ වේගයකිනි
තවත් විටක බොහෝ හෙමින්
ගලා ගියා මට මතකයි..

දුක සැප කිත් යසස් මැදින්
ගුණ වරුසාවල් අසමින්
හිටි හැටියේ කුණු බැනුමින්
දෙසවන් පිරුණා සැණෙකින්..

දෙවියෙක් වාගෙම රකුසෙක්
මා හද ගැබ නිදනා බව
මටත් වඩා හොඳින් දන්නේ
මා අසලින් සිටි උදවිය..

යටපත් කර දේව ගතිය
සිර කර දා රකුස් දිවිය
මිනිසකු වන්නට තැත් කල
තවත් එකෙකි මා ලොව තුල..

මතක සුවඳ...

වේදනාව හද පතුලේ
රැඳී තියෙනවා තාමත්
සැරින් සැරේ හෙමි හෙමිට
රිද්දනවා මට තාමත්..

අතීතයේ මතක සුවඳ
වරින් වරේ සිහි වෙන කොට
සිතට දැනෙන මිහිරි සුවය
අදටත් කිති කවනව හද..

විටක මිහිරි යටගියාව
තව විටකදි රුදුරු මතක
සිහි කරමින් පෙළින් පෙළට
තවමත් මා විදිමි සුවඳ..

වෙන්ව ගොසින් ඔබ මාගෙන්
බොහෝ කලක් ඉක්ම ගොසින්
ඒ උනාට ඔබේ සුවඳ
අදටත් දැනෙනව මා හට..

වීරයා සහ වෙනස...

අමුඩ කෙටිය තද කරගෙන
උදැල්ල සිර කර දෑතට
කුඹුරු කොටන හැටි අප්පා
බලා සිටිය මට මතකයි...
අමුඩ කෙටිය වෙනුවට මං
කොට කලිසම පටලාගෙන
ට්‍රැක්ටරයෙන් සී සානව
මගේ පැටිය බලා සිටී...
මගෙ අප්පත්-උගෙ අප්පත්
දෙදෙනගෙ තිබුනත් වෙනසක්
පොඩි එකාගෙ වෙනසක් නෑ
ඇස් ගෙඩි දෙක එක වාගෙයි..
පොඩි එවුන්ට අප්පලාව
පේන්නෙ වීරයෝ වගෙයි..

02 March 2010

ස්තූතියි!

ඉතින් ඊයේ උදේ ගිය ගමන් අද රෑ තමයි ආපහු ආවෙ.
ආයෙමත් හෙට උදේ පාන්දරම යන්නත් ඔන.
මට පෝස්ට් ලියන්න බැරි තාක්ෂණික ගැටළුවක් ඇවිත් දැන් තමයි ලෙඩෙ හොයාගෙන පිළියම් කලේ.
( Edit Html බොත්තම එබිලා තිබිලා)
සොදුරු සිතින් කර තිබූ යෝජනාවට අනුව මම ලියූ කවිය පොස්ට් කලේ දැන් තමයි.
පෙරෙදා උත්සහ කරලා බැරිම තැන දාලා නිකම් හිටියා.
මගේ මාරුව ගැන ප්‍රතිචාර දැක්වු සියළුම සහෘදයින්ට මගේ හදපිරි ස්තුතිය පිරි නැමිය යුතුමයි.
සියළු දෙනාටම ස්තූතියි!
අදට මෙච්චරයි.
ආයෙමත් ගෙදර ආවම ලියන්නම්.
සියළු දෙනාටම සුභ රැයක් වෙවා!

හිමි නැති දේටම හඩනා... සොදුරු සිතේ හිමිකාරී...

රෑ අහසේ සදක් වෙලා
සද තරු විමනට වැඩලා...
දැවෙන සිතට පවන් සලා
එන්න හිතයි ලොවට හොරා...

දිලෙන සදට පෙමින් බැදී
මල් සුවදේ යයි පාවී...
හිමි නැති දේටම හඩනා
සොදුරු සිතේ හිමිකාරී...

සද එළියට වහන් වෙලා...
හිරු කිරණට දැවෙන්නෙපා...
මල් සුවදට මත් වීලා
අසම්මතේ රැදෙන්නෙපා...

නුඹට නොහැක...

මාවත මතක නැති වී
මං පෙත තනි වී...
සමුගන්නට අත වනනා
බට්ටිච්චී...
හෙට දින වැඩට නුඹ ආවත්
පෙර පරිදී...
හිනැහෙන්නවත් මා නැත
මෙ අසල රැදී...
පෙම් කල නමුත් නුඹ
මාහට සිතින් බැදී...
මා පෙම් නොකල බව
නුඹහට නුඹම දනී...
ඈතින් ඉදන් නුඹ සිටියත්
මදෙස හැරී...
මා සිටියේ නුඹ නොපෙනෙන
විලාසෙනී...
මිය ගිය පෙමක සොහොනෙහි
අළු මත වැතිරී...
ඒ සොහොනෙහිම මිය යන්නට
වෙර දරමී...
මියයන මදෙස බලමින්
හඩමින් වැතිරී...
ඒ සොහොනෙහි මල් පුබුදනු
නුඹට බැරී...