30 April 2010

නිදි මතයි...

තවත් දවසක්..
වෙනදා වගේමයි..
ඒත් අද මට හරි නිදි මතයි.
ඒත් දැන් මෙ බ්ලොග් ලිවිල්ලත් ඇබ්බැහියක් වෙලා නිසා ඔක්කෝම දමලා ගහලා නිදා ගන්නත් බැහැ.

මොනවා හරි ටිකක් ලියලා නිදා ගන්න ඔන..
ඊයේ රෑම ඇහැරිලා හිටියේ..

එක පැත්තකින් වැස්සයි අකුණු ගැහිල්ලයි හින්ද වරින් වර සිදු වන විදුලිය බිඳ වැටීම්..
අනිත් පැත්තෙන් මහ රෑ කන්ටෙනර් දෙකක් ආවා..
ඒවා ගැන බලන්නත් උනා.

එපා වෙන වැඩෙ සැරින් සැරේ ලයිට් යන කොට ජෙනරේටරය ක්‍රියාත්මක කරන එකයි,
ටිප් ස්විච් ඔෆ් වෙන ගානේ එක එක අංශ වල යතුරු අරගෙන ඒ අංශ විවෘත කරලා ඔෆ් උන ස්විච් ඔන් කර කර ඉන්න එකයි.

ජෙනිය ඔන් කරන වැඩෙයි අනිත් කරන්ට් වැඩයි මමම කරනවා මිසක් මම අනිත් අයට කරන්න දෙන්නේ නැහැ.
එක හේතුවක් තමයි කොටලා පෙවුවත් නියම ක්‍රමයට ජෙනිය ඔන් කරන්න අපේ කට්ටියට තාමත් බැරි වීම..

අනික තමයි ඔය නොදන්න සගිස්කුරුත මෙ උන්දලා ලවා කරවන්න ගිහිල්ලා.. කෙලව ගත්තොත් මෙකලාගේ පවුල්වල උනුත් කලා හමාරයි නෙව.

ඔයින් මෙයින් මුළු රෑම ගෙවිලා ගියා..
දැන් නම් ඇස් දෙකට හරි සනීපයි...
ඇහි පිල්ලන් වලට කරු දෙකක් තියා ගන්න තරමට වැඩෙ දරුණුයි...

අද උදේ ඉවුවෙත් නැහැ.
උදේට කැන්ටින් එකෙන් පාන් කාලා ආවා.

ටිකක් නිදාගෙන ඉදලා නැගිටලා මොනවා හරි උයා ගන්නවා.

සමහර වෙලාවට මට මෙ ජීවිතේ එපා වෙනවා..

වැඩි කරදරයක් නැතිව ඔහේ ගෙවිලා යනවා තමයි..
ඒත් ...
අනේ මන්දා..?
මෙකෙ අවසානය කවදද?
එළිවෙනවා රෑවෙනවා...
ඉවරයක් නැහැ.
මහ කරුමයක්.

වෙලාවකට හිතෙනවා මෙ සේරම අතහැරලා දාලා ඔළුව හැරුන අතක යන්න...
දැනටත් මම බැදීම් ටිකක් වැඩි කරගෙන වගේ කියලා මට හිතෙනවා..

බයිසි මොටෝ එක..
කොම්පීටරේ..
නෙට් එක..
බ්ලොග් එක..
ගෙදර තියෙන මගේ පුංචි පුංචි කාර්මික උපකරණ ටික..
කේන්දර පොත් පත් ටික..


මෙවා මහා බැදීම්...

අනිත් දේවල් ගැනනම් මට ඒ හැටි ගාණක් නැහැ.
මමම හදා ගත්ත ඇඳ පොඩ්ඩ..
මෙස කෑල්ල...
ෆෑන් එක..
උයන පිහන උපකරණ ටික..
ඇදුම් කෑලි ටික...

මෙවා සුළු බැඳීම්..

සුළු උනත් විශාල උනත් බැදීම් කියන්නේ බැඳීම්..

බැංකු පොතේ ශේෂය මෙ කොයි ගොඩට දාන්නද කියලා මම දන්නේ නැහැ..
(රුපියල් 9541.60)

ඔන්න මගේ සියළු දේ...
ලබන මාසේ පඩිය 12වෙනිදා දිහාවෙ ලැඛෙවී..
මෙ පාර නම් අවුරුදු දීමනා එක්ක 19000ක් විතර ඇති...
නැත්නම් ඉතින් 16000-18000ක් වගේ තමයි.

අරයට මෙයාට දීලා තියෙන මුදල් නම් ලක්ෂ තුනක් විතර එන්න තියෙනවා උනත් මම හිතන්නේ නැහැ ඒවා ලැඛෙයි කියලා..

ඔච්චර තමයි මගේ සියළු වත්කම්...

ඔය ටික අතෑරල දාලා යන එක නම් ප්‍රශ්නයක් නෙවෙ..
ඒත් කොහේ කියලා යන්නද..?

එක අතකින් තාමත් මාළග තියෙන්නේ පැවිදි හැදුනුම්පත විතරයි..
ඒක වෙනස් කර ගන්න ලොකුහාමුදුරුවන්ගේ ලියුම් ගන්න ඔන ..
මොන දේ උනත් ආයෙමත් එයාලගේ කකුල්ගාවට යන්න මම කැමති නැහැ.
දඹදිව යන්න කියලා පාස්පෝට් එකත් හැදුව නිසා ඒකත් පැවිදි පාස්පෝට් එකක් වෙච්චි.
ඔවා වෙනස් කරන්න එහෙ මෙහෙ යන්න එපා වෙනවා..
ඒ ගිහිල්ලා අහන ප්‍රශ්න වලට උත්තර දිදී ඉන්නවට වඩා මෙහෙම ඉන්නවා හොදයි.

හිතට තියෙන එකම හයිය කොතැන ගියත් අහුවෙන ඔනම වැඩක් කරලා ජීවත් වෙන්න තාමත් තියෙන හැකියාව විතරයි.

පොඩි කාලේ ඉඳලා කාපු කටුවලට පින් සිද්ධ වෙන්න අදටත් මට අවුව වැස්ස බලන්නේ නැතිව එක දිගට වැඩ කරන්න පුළුවන්..
ඒත් කවුද දන්නේ ඉස්සරහ ගැන..
එක මොහොතකදී මෙ සියල්ලම වෙනස් වෙන්න පුළුවන්..
ලෙඩ දුක් අනතුරු කියන එක කොයි වෙලේ අපි සොයාගෙන එයිද දන්නේ නැහැ..

ඒ වගෙ මොහොතකදී ආයිබෝන් ටටා බායි කියලා යනවා ඇර වෙන කිසිම විකල්පයක් නැහැ.

දැන් මම ටිකක් නිදා ගන්න ඔන පස්සෙ ඇවිත් බැරියෑ වැඩක් ඇති දෙයක් ලියන්න..

මම දන්නවා මෙ ලිවුවෙ මෙලෝ වැඩකට ඇති දෙයක් නෙවෙයි කියලා..
ඒත් මෙතන මට ඔන දෙයක් ලියන්න කියන්න තියෙන එකම තැන නෙව..

පසු සටහන-
ලියලා ඉවර වෙද්දීම ලයිට් ගියා..
ඔන්න දැන් තමයි ආවෙ..

28 April 2010

බට්ටිත්තෙක් මගෙ දුකට හඩනවා...

කාලයක් තිස්සේ හොය හොය හිටපු ගීතයක් හම්බ උනා..


හන්තාන කඳු පෙළ හඳට ආවඩා...
සරසවියට පිණි පොදක් වැටෙනවා...
මගෙ හද මැදුරට අඳුර ගලනවා...
බට්ටිත්තෙක් මගෙ දුකට හඩනවා...

කෝ ඈ..
කොහෙද මගෙ රන් කිරිල්ලී..
ඇයිදො ගියෙ ඉගිල්ලී...
මා මෙහි හැරදා...
ඈතයි...
ඔබ ගියෙ දුර ඈතයි..
නිවහන මගෙ සීතයි..
එන්න යළි පියඹා...

මා මෙන් තනි උන බට්ටිත්තෝ..
ගොම්මන් අඳුරට බිය වීදෝ..
විරහ ගීය මගෙ ගයනවදෝ..
මා සනසන්නට හඩනවදෝ..

පියඹා යන්නට මට නම් බෑ..
ඈ සරසවියට එන්නෙත් නෑ..
ගග ලග පෙම් තොට පාළු වෙලා..
මල් පෙති බොර දියෙ මලින වෙලා...

කෝ ඈ..
කොහෙද මගෙ රන් කිරිල්ලී..
ඇයිදො ගියෙ ඉගිල්ලී...
මා මෙහි හැරදා...
ඈතයි...
ඔබ ගියෙ දුර ඈතයි..
නිවහන මගෙ සීතයි..
එන්න යළි පියඹා...


ඔන්න ඔකයි ගීතය..
මා දන්නා පරිදි මෙහි පද වැල් මෙන්ම ගායනයත් "භද්‍රජී මහින්ද ජයතිලකයන්ගේයි.."
තනුවත් ඔහුගේම විය හැකි බව මතකයේ කොනක තිබුනද..
තනුවෙහි ක්ලැරන්ස්ගේ ස්පර්ෂයත් යාන්තමට දැනෙනවා..

ඇත්තටම මෙ ගීතය මට මුලින්ම අහන්න ලැබුනේ ඇමරිකාවෙ සිට දින කීපයකට "භද්‍රජී "මහත්මා ලංකාවට පැමිණි වෙලාවක ජාතික රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් ගායනා කල අවස්ථාවෙදීයි..
බොක්ස් ගිටාරය පමණක්ම භාවිතා කරමින් ඔහු එහිදී මෙ ගීතය ගයද්දී මම පුදුමෙන් බලාගෙන හිටි හැටි මට අදටත් මතකයි.
ඒ වන විට ඒ තරමටම ඔහු මාව විස්මයට පත් කරලයි තිබුනේ...

ගීතය ගැයීමට සුළු මොහොතකට පෙර ඔහු විසින් ඉතා කෙටි පැන්සල් පහරවල් කීපයකින් චිත්‍රයක් ඇද පෙන්වූවා..

පුදුමාකාර හැකියාවන් ගොන්නකින් සමන්විත ආශ්චර්යමත් පුද්ගලයෙක්...

මෙ සිදුවීම සිදු උනේ එක්දහස් නවසිය අනූ පහ හෝ අනූ හය වර්ෂයක වැනි කාලයකදීයි..
මෙ රූපවාහිනී වැඩසටහන බැලීමට වසර කිහිපයකට පෙර එනම් අනූදෙක අනූතුන වගේ වසරකදී මම කියවලා තිබුනා "පවුරු බැදි රාජ්‍යය" කියන චීන ඉතිහාසය ඇසුරින් ලියා තිබූ අපූරු නව කතාව.
එහි කතුවරයා ලෙස දක්වා තිබුනේ "භද්‍රජී මහින්ද ජයතිලක" කියන නමයි.
ඇත්තටම ඒ නම යම් සුවිශේෂී මතකයක් මා සිත තුල රඳවා තිබුනා.
එම සමය වන විට මා පිස්සුවෙන් වගේ පොත් කියවමින් සිටි කාලයයි.
දිනකට නවකතා හෝ කෙටිකතා පොත් දෙක තුනක් පමණ කියවමින් සිටි දවස්...

ඒ සියළු පොත් හා ඒවා ලියූ කතුවරුන් පිළිබඳ මා තුල විවිධ ප්‍රතිරූප ගොඩනැංවී තිබුනත්..
භද්‍රජී මහින්ද ජයතිලක යන නාමය ඇත්තටම මට ඇති කර තිබුනේ කුතුහලයක් පමණයි..
ඊට හේතුව පොතෙහි තිබූ යම් පූර්ව හදුන්වා දීමෙ සටහනක් නිසාමයි..
ඒ සටහනට අනුව එම කතාව යම් කිසි ආකාරයකින් කතුවරයාගේම පූර්ව ජන්මයක ලද අත්දැකීම් මත රචනා වූවක් ලෙස දක්වා තිබුනා කියා මට මතකයි.

මෙවන් අපූරු මතකයක් මසිත රඳවා තිබූ භද්‍රජී මහින්ද ජයතිලක නම් වූ කතුවරයා එදින සජීවී ලෙස දැක ගන්නට හැකි වූ අවස්ථාවෙදී පුදුම සතුටක් සිත තුල ඉපදවීමට මෙ අපූරු පුද්ගලයාට හැකි උනා..

ඒ විතරක් නම් මදැයි..

මෙන්න ඔහු චිත්‍ර අදිනවා...
අපූරු කතා කියනවා..
සුන්දර ලෙස සිනහා වෙනවා...
ඒ මදිවට තනියම වාදනය කරමින් ගායනා කරනවා...

මට මගේ ලෝකේ තවත් වීරයෙක් හමුඋනා.

එදා ඉදන් මම ඒ ඔහු ගැයූ ගීතය සෙවීම සදහා වරින් වර උත්සහ කලත් අද මෙන් පහසුකම් මා වෙත නොතිබූ නිසා එම සෙවීම මට කළ නොහැකි වූවත් එයින් වසර පහළවකට පමණ කාලයකට පසු මට අද හැකි උනා එය සොයා ගැන්මට...

මෙය මා සොයා ගත්තේ "Sinhalajukebox" අඩවියෙන්.
මම උත්සහ කරනවා එය ඔබටත් රස විදීමට ලබා දීම සදහා.
නමුත් මා සතු තාක්ෂණික දැනුම ඒ සදහා ප්‍රමාණවත් වෙදැයි මා තවම දන්නේ නැහැ.
අපි උත්සහ කරලා බලමු.

26 April 2010

පරසතු මල් වල සුවඳ අතීතේ...

පුරුදු විදියටම අදත් උදේ ගෙදර ඇවිත් නාලා කරලා ගියා පොඩි ගමන් කිහිපයක්..
මුලින්ම ගම්පහට..
අතේ සල්ලි ඉවර වෙලා හින්දා කාඩ් එක දාලා බැංකුවෙන් සල්ලි ටිකකුත් අරගෙන ගිහින් කුලී ගෙදර ලයිට් බිල ගෙවලා දාලා ආසාවටත් එක්ක ගම්පහ ගුවන් පාලම උඩ දෙතුන් පාරක් බයික් එකේ එහා මෙහා ගිහින් ආවා..
නරකම නෑ...

ඊට පස්සේ ගෙදර ඇවිත් අවශ්‍ය කරන කේන්දර කොපි සහ ඡායාරූප කිහිපයකුත් අරන් නිට්ටඹුවටත් ඌරාපොලටත් ගියා පොඩි මගුල් ඔත්තු දෙකක් සම්බන්ධ වැඩකට.

අන්තිමට වතුපිටිවල රෝහලට ආවෙ ලේ දෙන්න කියලා හිතාගෙන...

ඒත් අන්තිම වැඩෙ ගස් ගියා..

ලේ වල හිමොග්ලොබින් අඩුයි කියන්නේ..
නිදි මරනවද කියලා අහනවා..
ආයේ ඉතින් කියන්නත් දෙයක්යෑ...
මම කවදද දවසට පැය තුන හතරකට වඩා නිදා ගත්තේ...
මෙ දවස්වල ගෙදර ඉන්න දවසට නිදා ගන්නේ පාන්දර දෙකත් පහු උනාට පස්සේ තමයි..
යන්තම් ටිකක් හරි නිදා ගන්නේ වැඩට ගිය දවසටයි.
ඒත් පැය තුනක් වගේ තමයි.
එක දිගට පැය හත අටක් නිදා ගන්නේ මාස කිහිපයකට වරක් තමයි..

කොහොම හරි අන්තිමට ලේ ගත්තේ නැහැ.
මොනවා කරන්නද අපි පිනක් දහමක් කරගන්න ගියහම ඒකටත් බාධා..
කොහොමත් මම මාස හයකට වරක් ලේ දෙන්න පුරුදු වෙලා දැන් වසර කිහිපයක් වෙනවා..
මෙ දෙන්න ගියේ හයවෙනි පාරටද කොහෙද..?
ඒක හබක් උනා..
තව කොළ ජාති, ඇට ජාති කාලා මාස දෙකකින් විතර එන්න කියලා මිසී නෝනා කිවුවෙ නැද්ද..?

කොළ නම් මම කොහොමත් වැඩිපුර කනවා..
මට මැල්ලූම්, කොළ සම්බෝල එහෙම කනකොට පිගාන වැහෙන්න තියෙන්න ඔන..
ගොටුකොළ මිටිය එක වෙලට කන පුතා මමනේ..

ඒත් ඉතින් ඇට වර්ග නම් කැවෙනවා අඩුයි.
කඩල වලට නම් මම ආසාම නැහැ.
මුං ඇට, කවුපි නම් කැමතියි ඒත් හදන්න කම්මැලියි.
මෙ ලගදී නම් මුං ඇට හැදුවා.
අන්තිමට කවුපි කෑවෙ මීට මාස දෙකකට විතර කලින්..
හැබැයි ඉතින් ඇට ජාති නොකනවා කියන්නත් බැහැ.
බොන වෙලාවට බයිට් එකට බැදපු රට කජු,කඩල,ග්‍රීන්පීස් එහෙම හොදට කනවා නෙව..

කොහොම හරි ඉතින් ඒ වැඩෙ හරි නොගිය එක ගැන නම් පුදුම අප්සෙට්...

මම මුළින්ම ලේ දුන්නේ මහණ වෙලා ඉද්දියි..
ඊට පස්සේ මට ඒ ගැන ඇති උන කැමැත්ත නිසාම මම පන්සලේ ලේ දන් දීමක් ලෑස්ති කලා.
සම්පූර්ණ අනුග්‍රහය මා හැර ගිය ඇයගෙන්..
වරදවා හිතන්න එපා ඒ වන විට අපි අතර කිසිම ආකාරයක පටලැවිල්ලක් තිබුනේ නැහැ.

ඇයට ඒ සඳහා උවමනාවක් ඇති වී තිබුනේ..ඇය දුටු සිහිනයක් නිසාවෙන්..
ඒ අනුව ඇය ඇගේ මවට කළ ඉල්ලීමක් අනුව මගෙන් කළ ඉල්ලීමක් නිසාත් මට ඇතිවී තිබූ උවමනාව නිසාත් මවිසින් එම ලේ දන් දීම සංවිධානය කරනු ලැබුවා.

ඇත්තටම එය සාර්ථක වැඩ සටහනක්.
මට මතක විදියට එදින 70 වකට ආසන්න දෙනෙක් ලේ දන් දී තිබුණා.

ඊට පසුත් මා තනිවම රෝහල් කරා ගොස් ලේ දන් දීම පුරුද්දක් බවට පත් කර ගත්තත්..
මෙවර එය අහිමි වී යාම මට පුදුම දුකක් ගෙන ආවා...

බලමු ජීවත් වෙලා හිටියොත් තව මාස දෙකකින්වත්...

ඒ හිතේ අමාරුවත් එක්ක ගෙදර ආවා.
එන ගමන්ම කෑම එකක් අරන් ඇවිත් දෙකක් දාගෙන කෑවා.

හවස් වරුවම වැස්ස..

නෙට් එකේ එල්ලිලා පොඩි සෙවීම් පාරක් දැම්මා..
නමුත් වැඩෙ හරි ගියේ නැහැ.
සොයපු දේ සොයා ගන්න බැරි උනා.

මොකක්ද හෙවුවෙ...?

අපේ ආයතනයේ සේවක මහත්වරුන්ට හා නිලධාරීන්ට තේ පිළිගන්වන කාන්තාවක්ගේ ඉල්ලීමක් අනුව තමයි මම මෙ සෙවීම කලේ...

පරසතු මල් චිත්‍රපටයේ ගැයෙන කවි කිහිපයක් තමයි මට සොයා ගන්න අවශ්‍ය උනේ..
ඒ කවි කිහිපයම ගාමිණී ෆොන්සේකා මහා කලා කරුවාණන් මිය ගිය අවස්ථාවෙ.. සෑය දවන විටත් පසුබිමින් ගලා ගියා ඇයටත් මටත් මතකයි.
ඇත්තටම ඒ කවි කිහිපය සිහිනයක් වගේ සිතේ රැදිලා තිබුනත් හරියටම පදවැල් මට මතක නැහැ.

කොච්චර හෙවුවත් හම්බ උනේ සුජාතා අත්තනායක ගායනා කරන පරසතු මල් වල සුවඳ අතීතේ කියන ගීතය හා අමරදේව මහත්මා ගයන ගීයක් පමණයි.

අන්තිමට ඉතින් ඒ වැඩෙත් අතෑරලා දාලා ටිකක් නිදා ගන්න බැළුවා.(ලේ වල හිමොග්ලොබින් නග්ග ගන්නත් එපැයි)

යන්තම් පැය එක හමාරක් විතර නිදා ගත්තා.. එකත් බිත්ති ඔරලෝසුවට පින් සිද්ධ වෙන්න.

මගේ නින්දයි ඔරලෝසුවයි අතර සම්බන්ධය..

මම නිදා ගන්න කොට වෙලාව හවස තුන හමාරට විතර ඇති.
කොහොමත් මට එක දිගට හුග වෙලාවක් නින්ද යනවා අඩුයි.
ඉතින් එක පාරක් නැගිටලා බලන කොට වෙලාව 4යි.
ආයේ නිදා ගත්තා..
ආයෙත් නැගිටලා බැළුවා වෙලාව..
තාමත් හතරයි...
ආයෙත් නිදා ගත්තා..
නැගිට්ටා.. බැළුවා වෙලාව.. යකෝ.. මෙ මොන කරුමයක්ද තාමත් වෙලාව 4යි...
මළ පැන්නා අතපත ගාලා හොයා ගත්තා ෆෝන් එක කීයද වෙලාව... පහයි කාලයි.
ඒත් බිත්ති ඔරලෝසුවෙ වෙලාව හතරයි.
ඒකේ බැටරි බැහැලා.. වෙලාව හිටලානේ..
ඔන්න ඔකයි උනේ..
කොහොම හරි ඔරලෝසුවට පින් සිද්ධ වෙන්න ටිකක් නිදා ගත්තා.

ඊට පස්සේ..රෙදි ටික හෝදලා දාලා නා ගත්තා..
රෑට කන්න බත් ටිකක් උයලා අල ගෙඩියක් තෙලට හදා ගත්තා.
බිත්තරයකුත් තම්බ ගත්තා.. ඔය මදෑ..

බෝතලේ අඩියේ තව උගුරු දෙකක් විතර ඉතිරි වෙලා තියෙනවා දැක්කා ..
දා ගත්තා ඒකත් වීදුරුවකට.
බයිට් එකට කලින් ගෙනාව මුරුක්කුයි රට කජු කඩල ග්‍රීන් පීස් මික්ස් කරපු බයිට් මික්ස් ටිකක් තිබුනා.(ඇට ජාති කන්න කියලත් මිසී කිවුවා නෙව) ඒකත් පොඩි කප් එකකට දා ගත්තා වාඩි උනා, කොම්පීතර උන්නැහේ ගාව.. ලියලා දැම්මා මෙ සටහන... තව ටිකකින් කන්න ඔන..

ඔයාලට ඇහෙනවද දැන් මම මුමුණන ගීතය...

ෂා... අහලා බලන්න එපැයි ලස්සන...
කියලා වැඩක් නැහැ...
පවසලා පලක් නැහැ...
කණට නිකන් මී පැණි වත් කරනවා වගේ..(හැබැයි මගේ විතරයි.)

ඔයාලා දන්නවද බැරල් එකක් ඇතුලේ ඉදන් තොටුපල අයිනේ ගීතය කියන කොට නැගෙන හඩ කොයි වගේද කියලා...?

දැන් පැහැදිලියිනේ...

24 April 2010

සෙනෙහස සොයමිද කෙලෙසින්..

සිහින් සරින් මුමුණ මුමුණ..
යාන්තමින් අසළ රැදෙන..
සිහින් සිනිඳු සරින් ඇසෙන..
නුඹෙ කවිය සිත් පාරන..

ගලාන ගිය කඳුළු වැලක..
මිලාන වූ පෙම් පුවතක..
වැළලූ පෙර දින මතකය..
නැවතත් පාරයි හදවත..

කිසිදා කිසි දිනක යළිත්..
කියවන්නට නොහැකි ලෙසින්
බොඳවී ඇති පිටු අතරින්..
සෙනෙහස සොයමිද කෙලෙසින්..

22 April 2010

අදත් දවසක්...සහ මුරුංගා හොද්ද...

සුපුරුදු ලෙසින්ම උදේ ගෙදර ආවා..

දෛනික කටයුතු ටික.

රෙදි සේදීම..
උයාපිහා ගැනීම..
ස්නානය..
ගේ අතුපතු ගා අස්පස් කර ගැනීම..
බ්ලොග් එක පැත්තේ කරක් ගසා බැලීම..
උයන අතරතුරම උදෑසන ආහාරය සදහා බත් මිටක් ගිල දැමීම..

ඒ ටික ඉවරයි.

දැන් දෙවන අදියර.

සාදාගත් බැදුමක් තසිමකට දමාගෙන..
ගල් බෝතලෙන් හා සෝඩා බෝතලයෙන් මගේ පදමට සකසා ගත් මිශ්‍රණය වීදුරුවක් තුල බහා..
කම්පියුටරය තබා ඇති මෙසය පසෙක තැබූ කුඩා ප්ලාස්ටික් ස්ටූලය මත තබාගෙන..
බිෙඳන් බිඳ දියරය ශරීරගත කරනා අතරම දිවට දැනෙන සැර ගතිය මකා දමනු පිණිස බැදුමෙන් ස්වල්පයක් සපමින්..
නැවතත් අන්තර්ජාලය තුල සැරි සැරීම ආරම්භ කලා.

දැන් ප්‍රශ්නය...?
ලියන්නේ මොනවාද..?

අතීතය.. ම්හ්..
හමුවූ මිනිසකු පිළිබඳව..? ඒත් බෑ..
නැතිවූ ප්‍රෙමයක් ගැන..? හරියන්නේ නෑ...
මොනවා හරි සිද්ධියක් ගැන..? මතකයට එන්නේ නෑ..
දේශපාලනය...? මෙලෝ රහක් නැහැ..
ජොතිෂ්‍යය...? දැන් ඉන්න තත්වෙ හරි නැහැ...

හත් ඉලව්වෙ මොනවද ලියන්නේ....?

කවියක්..?..... තවම පදම මදි...
කාලා වරෙංකෝ... මගේ සිතිවිලි ගග හිඳිලද..?

මොන පිස්සුද...?ලියනවනම් මොනතරම් දේවල් තියෙනවද...?
මං කල රැකියා ගැන, එහිදී හමු වූ විවිධාකාර වූ මිනිසුන් හා මුහුණ දුන් සිදුවීම් ගැන, මෙන තරම් නං මතකයන් ගොඩක් තියෙනවද..?

මම දායක ඇත්තොත් එක්කාසු කරාන හුගක් අය බෑ කියද්දිත් මාස දහයක් ඇතුලත ලක්ෂ දහසයක් වියදම් කරලා චෛත්‍යය හදපු හැටි.. ඒ සම්බන්ධ අතුරු කතා..
මගේ ගුරු හාමුදුරුවන්ගේත් ගුරු හාමුදුරුවෝ වෙච්ච ලොකු හාමුදුරුවෝ හිටි හැටියේ වසර පහළවකට පස්සේ ලංකාවට කඩං පාත් වෙලා මට දාපු බකට් ටික.. මම ඒවා පයිසෙකටවත් මායිම් නොකර මගේ අරමුණ කරා ගිය හැටි.

ගරා වැටී තිබූ පන්සලත්, දහම් පාසලත් ගොඩදාපු හැටි..

සුනාමිය වෙලාවෙ අපේ පළාතේ අනිත් හාමුදුරුවරු ලොකු ලොකු වැඩ කරන්න අමුඩ ගගහා ඉද්දී, ඒවා පස්සේ කරන්න බැරියෑ කියලා හිතාගෙන සති තුනක් ඇතුලත පොතුවිල් වල මුහුදු මහා විහාරෙ හාමුදුරුවන්ව සම්බන්ධ කරගෙන දෙපාරක්ම එහෙ ගිහින් තාවකාලික නිවාස දෙකක් සාදා දුන් හැටි සහ ඒ සඳහා මගේ ගෝල බාලයෝ ටික නැහීගෙන වැඩ කරපු හැටි...
අන්තිමට මහා පරිමාණ නිවාස සහ ගෘහ උපකරණ ලබාදීම සඳහා සාකච්ඡා කරමින් සිටි පළාතේ අනිත් හාමුදුරුවරු ටික එම සැලසුම් තාමත් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව...

පැවිදි ජීවිතයේ මිනිසුන් නොදකින පැති පිළිබඳව...

මගේ පාසල් දිවිය හා මම අනාගත් හැටි ගැන වූ විස්තරය...

එක තැනක වැඩි කාලයක් එක විදියකට ඉන්න බැරි මගේ අරුම පුදුම රෝගය පිළිබඳව...

මොන තරම් දේවල් තව තියෙනවද ලියන්න,කියන්න...

ඒත් ඒ කිසිම දෙයක් දීර්ඝව විස්තර කරන්න මට දැන් කම්මැලියි.
ඇත්තටම මෙක කොටන්නයි කම්මැලි.
මම දන්නවා ඒ එක කථාවක් හරි ඇද ගත්තොත් මාගල් සයිස් ලිපියක් ලියන්න වෙන බව.
කම්මැලියි අප්පා..
මට බැහැ.

අද මම උයපු දෙයක් ගැන කියන්නම්.
ඒ තමයි මුරුංගා හොද්ද..
මෙ තමයි මම මුරුංගා උයපු දෙවෙනි දවස.
මීට කළින් එක පාරක් මම පන්සලේ ඉද්දී මුරුංගා ඉවුවා. ඒත් ඒක එචිචරම රසට තිබුනේ නැහැ.
ඒත් අද නම් වැඩෙ ගොඩ.

මම කන්න ආස කෑම අතරින් එකක් තමයි මුරුංගා හොද්ද..
හැබැයි කරවල බැදුමකුත් ඔනෑමයි...

ඉතින් ඒ දෙකම අද හැදුවා. මදි පාඩුවට ඉතින් අර මම මීට කළින් දවසක් ලියපු රසවත් කෑමත් හැදුවා.

මෙ බ්ලොග් අතරෙ මම කැමති අඩවියක් තමයි "කමුබොමු" සටහන.
මටත් ආසයි ඒකට සම්බන්ධ වෙන්න ඒත් මම දන්නේ නැහැ ඒක කරන්නේ කොහොමද කියලා.
කෑම බීම ගැන මටත් ලියන්න කියන්න ගොඩාක් දේවල් තියෙනවා..
හැබැයි ඉතින් ගොඩෙ කෑම සහ අපේ පංතියේ කෑම බීම ගැන සහ විශේෂයෙන්ම ආහාර වර්ග ගැලපීම ගැන.

චුට්ටක් ඉන්න වීදුරුව නැවත පිරවීම සඳහා මුළුතැන් ගෙට යාමට සිදු වී තිබේ..

හා දැන් හරි..

දෙවන වටය..

ඇත්තටම ජීවිතේ සුන්දරයි.
නරකම නැහැ ඒත් මරණය මීට වඩා සුන්දරයි කියලා මට හිතෙන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ.
මොකද මැරුනු කෙනෙක් ගෙන් අහලා දැන ගන්න කියලයෑ..

හා ඒකෙන් වැඩක් නැහැ.

මම මෙ ලිපිය ලියන්න පටන් ගන්න කොටම මාතෘකාව හැටියට දැම්මෙ "අදත් දවසක්..." කියලා විතරයි ඒත් දැන් බලාගෙන ගියහම ලියලා තියෙන්නේ මුරුංගා ගැනනේ...
දැන් ඉතින් මාතෘකාව වෙනස් කරන්න වෙනවා.
දැන් මදෑ ලියලා තියෙන හරිය..
මට දැන් සොමතිලක ජයමහගේ "අපි ආයෙත් හමු නොවුනා නම්..." කියන ගීතය අහන්න ඔන.
එහෙනම් මම නැවතුනා.
ජය වෙවා...

20 April 2010

භාරත ගී වින්දන සමග...

මොනවා හරි ලියන්න කියලා හිතාගෙන කොම්පීතරව පණ ගන්වන ගමන් රූපවාහිනී උන්නැහේගේ ස්විච් එකත් ඔබලා දැම්මා.
මට ඉතින් අමුතුවෙන් වෙනම ටීවී නැහැ නෙව.
කොමාටම හයි කරලා තියෙන කොම්බෝ පෙට්ටි කෑල්ල නේන්නං කෝකටත් තෛලෙ.
ඉස්සරනං ටීවී කාඩ් ඇත්තෙක් මෙකට හයි කොරාන හිටියත් පස්සේ ඒක ගලවලා විසික්ක කොලා.
ඒ හුචක්කුව හින්දා කොමා මල්ලිවත් තව පොඩ්ඩෙන් ගහලා යනවා.
ඉතින් කියන්ට ගිය කාරණාව මෙකයි.
මට මෙ තියෙන කොරමෙ යටතේ කවදාවත් ටීවී බලන එකයි, කොම්පීතර මල්ලී එක්ක ගණුදෙනු කොරන එකයි එකට කොරන්ට හම්බු වෙන්නේ නැතුවා ඔං.
ඉතින් කොම්පීතර උන්නැහේට පණ ආපු ගමන් ටීවී උන්නැහේ ඔෆ් කරන්ට හිතාගෙන තමයි හිතුවෙ..
හරි හත් ඉලව්වයි නෙව.
අර සුවාධීන රූපවාහිනියේ ඉදං අපේ රංජිත් මහත්තයා පටන් අරන් නෙවද භාරත ගී වින්දන..

ඉතින් මක් කරැන්ටැයි...
ඒක බල බල හිටියොත් මෙක ලියන්ට වෙන්නෑ..
මෙක ලිය ලිය හිටියොත් ඒක බලන්ට වෙන්නෑ..

අර මොකාටද වෙච්ච දේ තමයි මටත් උනේ..
අන්තිමෙදී වැඩිය නෑ එකම එක ගීතයක් බලලා මෙක ලියනවා කියලා හිතුවා..

ටජ්මහල්...
අමරණීය ප්‍රේම වෘතාන්තය සිහිපත් කරමින් රංජිත් උන්නැහේ දුන්නේ නැද්ද එළ ටෝකකුත් එක්ක
ජොවාදා කියා තෝ.. නිභානා පඩෙගා...

මං ඉතින් කොර වෙලා නොයයිද...
අනේ ඉතින් තව එකම එකක් බලනවා කියලා හිතුවා.

හම්රාස් චිත්‍රපටයෙන්..
නීලගගන් කෙ චලේ....
කාලා වරෙංකෝ...
මෙ මගූල හරියන්නේ නෑ.. හිත ගලක් කරගෙන මෙ පැත්තට ආවා..ඒ ගීතයක් අහලා ඉවර වෙන කොටම.

අන්තිමට මට ලියන්න හිතාන උන්නු දේවලූත් අමතක උනා.
දැන් ඉතින් ලියන්න වෙන්නේ හින්දි උන්මාදය ගැනම තමයි.

ආයේ චුට්ටක් ඒ පැත්තට ගියා...
මනඩොලේ.. මෙරෙ....
හරියන්නේ නැහැ... ඒකත් බැළුවා.ආපහු ආවා.

ආයේ පාරක් දාන කොට ගීතය නම් මම දන්නේ නැහැ.. නර්ගීස් අක්කා රිදී තිරය දෙවනත් කොරනවා නෙව.
මම ආසම නිළියක් වෙච්චි එකේ අතෑරලා දාලා එන්නේ කොහොමද...

ඇත්තටම මෙ රංජිත් මහත්තයා නං දෙයියෙක්.
දැනට නොවුනත් වෙන්න දෙයියෙක් නං තමා...

මට මතකයි අපි පුංචි කාලේ අපේ ගෙදර ටීවී නැහැ නෙව.
ඒ දවස්වල අපේ ලොකුම මාධ්‍ය සහකරු උනේ රේඩියෝ පොජ්ජ තමයි.
පරණ පිලිප්ස් මෙගා සයිස් රේඩියෝඑක පස්සෙන් පහුකාලෙක මගේ බාස් වැඩ හින්දම සෙත්තපෝච්චි වෙනකල් යස අගේට අපිට පිහිට උනා.
වෙළඳ සේවය.. ස්වදේශී සේවය..තමයි ඉතින් ඒ දවස්වල නැගලා යන්නේ..
බැහැලා යන්නවත් වෙන සේවාවන් තිබුනද කියලවත් මම දන්නේ නැහැ..ඔය රුහුණු සේවය,රජරට සේවය එහෙම අපිට හරියට ඇහෙන්නේ නැහැ නෙව.

අද ටෙලිවිසොන් කාරයෝ වගේ අංක එක වීමෙ බලූ පොරයක් ඒ දවස්වල තිබුනේ නැහැ.
සේවා දෙකම එක හා සමානව අපිට සේවය සැලැස්සුවා ඔං.

මුවන් පැළැස්ස..ගුවන්විදුලි රගමඩල..යකාගේ වංගුව..බවර්ගේ අනුග්‍රහයෙන් ගෙන එන ගුවන් විදුලි මාලා නාටක..
ෙඓතිහාසික නාටක..
ඒ අතරෙ අමරසෝම සමරක්කොඩි ලගේ විහිළු කතන්දර..
ඇනස්ලි බර්ටි සැමුවෙල් රජතුන් කට්ටුව..
ලතාගේ කතාව..මධුරසාංග..
ඒ අතරෙ සුවිශේෂි මතකය
භාරත ගී වින්දන...

අද වගේ නෙවෙයි ඒ දවස්වල අපි හුගාක් රෑ වෙනකල් ඇහැරගෙන ඉන්නේ නැහැ.
උපරිම රෑ නවයහමාර තමා. රෙඩියෝවෙ කයි කතන්දර අහවර උන ගමන් නිදි පැදුරට තමා.

ඒ සොඳුරු මතකය නැවත සිහියට ගෙන එන භාරත ගී වින්දන වැඩසටහනට මෙන්ම එදා වාගේම අදටත් එය කරගෙන එනු ලබන රංජිත් මහත්තයාට දීර්ඝායුෂම ලැඛෙන්ට ඔන.
ඇත්තටම එම වැඩ සටහන මෙ තරම් රසවත් ඔහු නිසාමයි.

ඉතින් තව තවත් මෙක ලිය ලිය ඉන්ට බැහැ මම යනවා ඒක බලන්ට.
පස්සේ වෙලාවක අද ලියන්ට හැදුව දේ මතක් උනොත් ලියන්නම්.

19 April 2010

නින්ද අසළ නැති හින්දා...

දවසක අවසානය සටහන් කරන්නට තාමත් හිත හදා ගන්න අමාරුයි.
දැන් නිදා ගත්තොත් මම දන්නවා අද දවස ඉවරයි කියලා.
ඒ හින්දමද මන්දා මට නිදා ගන්න හිතෙන්නේම නැහැ.
පහු ගිය දවස් ටිකේම එක දිගටම වගේ රාජකාරී...

ඒ අතරේ යන්තම් පැය දෙක තුන පොඩි විවෙක ගත්ත වෙලාවලූත් තිබුනා.

14 වෙනිදා උදේ ගෙදරට ඇවිත් බ්ලොග් ටික කියවලා.. එහෙමම මගේ පරණ ගෝලයෙකුගේ ගෙදර ගියා.

මගේ හොඳම ගෝලයෙක් වගේම මිතුරෙක්, අග්‍ර දායකයෙක් වන මෙකට දැන් වයස 22ක් විතර වෙනවා.
මහණ වෙලා හිටි කාලය තුල මගේ දුක සැප හොයා බලපු හිතවත්ම එකා මෙකා තමා.

දහසකුත් එකක් ප්‍රශ්න නැග එද්දී පවා..
ඒ කිසිවක් ගැන මගෙන් නෑසූ එකම පුද්ගලයා...
හැමදාම උදේ ඉස්කෝලේ යන්න කළින් ඇවිත් උදේ දානය ලැබුනාද කියා විපරම් කළ එකා..
දානය නැත්නම් ඉක්මනට කඩෙට දුවලා මොනවා හරි ගෙනත් දීලා ඉස්කෝලේ දුවලා..
දවල් දානය පිළිබඳවත් විශ්වාසයක් නැත්නම් ඉස්කෝලෙන් හොරෙන් පැනලා ඇවිත් හරි කන්න ටික ගෙනත් දුන්න එකා..
මහ පාරක් මැද උනත් වරදක් දුටු විට මගෙන් ලැඛෙන දැඩි දඩුවම් ඉවසීමෙන් දරා සිටන මුත් ගෙදරදී නම් කිසිවකුටත් යටත් නැති ගමෙ සමහර උදවියට තරමක් නහර කාරයෙකු වූ පුද්ගලයා....
ඇත්තටම මෙ කොල්ලා ගැන කියන්න මට වචන නැහැ..
අම්මා සහ නංගිලා දෙන්නා කතෝලික වූවද.. මොහුත් පියාත් බෞද්ධයින්..
මට අදටත් මෙ ලෝකේ විශ්වාසවන්තයකුට කියා සිටිනවා නම් ඒ මෙකාම තමා.

ඉතින් එහෙ ගියා..
වෙලපහම මගෙන් හිමීට අහලා තිබුනේ බියර් එකක් ගෙනාවට කමක් නැහැ නේද කියලා...
මන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනයෑ..හ්ම් හ්ම් කමක් නැහැ...

ඉතින් දවාලේ එහෙට පැනලා සප්පායම් වෙන වෙලාවෙ මෙන්න දුරකථන ඇමතුමක්..
නාදුනන අංකයක්..?නාදුනන කටහඩක්...

තිස්ස අයියා.. (තිස්ස දොඩන්ගොඩ) මළ මගුලයි....

කොල්ලෝ ටික කෑ ගහන සද්දේත් ඇහිච්චී..
ඒ මදිවට අපි හතර දෙනෙක් බියර් බෝතල් හයක් ඉවර කරලා..මදි පාඩුවට හංගලා තිබිලා එළියට ගත්තු ගල් බාගයකුත් හමාර කොළා විතරයි... මාත් මොනවා දෙඩෙවුවද මන්දා...
එක අතකින් පුදුම සතුටුයි..අනිත් අතින් ලැජ්ජාවෙ පණ ගියා..
ඉදලා ඉදලා කතා කරන වෙලෙත් මට වෙරි.. මක් කොරන්නද...?

කොහොම හරි ඒ වැඩ පිළිවෙළත් හමාර කරලා වැඩට ආපි.අවුලක් නැහැ. මම නැති අතරෙ මුන් ටිකත් කොහෙන් හරි බඩු හොයාගෙන ගහලා...
මාත් ඉතින් සද්ද නැතිව හිටියා අවුරුදුනේ...
හැබැයි මමත් බීලා නැහැ වගේ ඉන්නවා..උනුත් බීලා නැතිව වගේ ඉන්නවා..
නියම රගපෑම.. හොද වෙලාවට සිහිය ඇති එකෙක්වත් නැති හින්දම හොදයි.

ඔන්න ඉතින් අද පූර්ණ නිවාඩුවක් හම්බ උනා.
මගේ ගෝලයා ඇතුළු කිහිපදෙනෙක්ට එන්න කියලා උදෙන්ම කෝල් කලා..
දඩි බිඩි ගාලා ගේ අස් කරලා..දිවුවා යක්කලට..
කූල් බියර්...බයිට්...චිකන් ප්‍රයිඩ් රයිස්...වීදුරු... හා දැන් හරි..
කෙළින්ම ගෙදරට..
එකොළහ හමාර විතර වෙනකොට කස්ටිය ආවා.
ආව ගමන්ම පටාන් ගත්තා.හොද පදම කස්ටියට කන්නත් දුන්නා..
ටික වෙලාවක් පිස්සු කෙල කෙල ඉදලා කට්ටිය වැටිලා නිදි.
හවස පහට විතර නැගිට්ටව ගෙන නාවලා කරලා එක්කගෙන ගියා ගෙවල් පැති වලටම..
මම ඉන්න තැන ඉදලා කිලෝ මීටර 20ක් විතර ඇති.
ඒ යන ගමන්ම බිස්කට් ටින්,කේක් පෙට්ටි ටිකකුත් අරන් පරණ දායක නිවෙස් කිහිපයකටත් ගොඩ වෙලා ආපහු ආවා.පහු ගිය දවස්වල ඉරාකේ ඉදලා ආව හාදයෙක් මට කථා කරනවා ඇෆ්ගනිස්තානේ යන්න.
මෙ මාව...
එක්ක යයි කියලා තමයි බය...

එන ගමන් පුංචිලාගේ දිහාටත් ගිහින් ආවා.

ඔක්කෝමත් හරි මුක්කම නරකයි කිවුවා වගේ අළුත් අවුරුද්දෙත් පටන් ගත්තා නේද පරණ තැටියම වාදනය කරන්න.

දැන් වයස යනවා නේද..? කවදද පිළිවෙලක් වෙන්නේ..?
ඉඩං කෑල්ලක් ගත්තොත් හොඳයි නේද..?
ගෙයක් දොරක් හදන්නේ නැද්ද..?
හැමදාම ගෙවල් කුලී ගෙව ගෙව ඉන්න පුළුවන්ද..?
තමන්ට කියලා මොනවා හරි තියෙන්න ඔන නේද..?

කාලා වරෙංකෝ...
මාත් ඔහේ අහගෙන හිටියා...

එයා ඉවර කළා ...
මං පටන් ගත්තා....

වයස යන එක නවත්වන්න පුළුවන්ද..
ඇයි දැන් පිළිවෙලක් නැද්ද..?
කොහේ හරි ඉඩමක් ගන්නවා කියන්නේ මම ඒ පළාතට බැදෙනවා කියන එක..
අතට හම්බවෙන තුට්ටු දෙක ගෙවල් ඉඩංවලට යට කළහම මට හදිස්සියක් උනොත් සල්ලි කෝ.. මම යනවද කාගෙන්වත් ඉල්ලන්න..
මට දෙන්න කවුද බලන් ඉන්නේ...
තමන්ට කියලා දේවල් ගොඩ ගහ ගන්න හදන්නේ හැමදාම ජීවත් වෙන්නද..?
මට වැඩි ආයුෂක් නෑ...

මං ඉවර නොකලත්..
එයා පටන් ගත්තා...

ඔන්න කිවුවා කතාවක්.
කිවුවොත් මැරෙන කතාවක්.
මම දන්නේ නැහැ..
ඔයාට හොදයි කියලා හිතෙන විදියක් කරන්න..

එයා මුමුණනවා..
මාත් පටන් ගත්තා..

ඔවා ගැන ඒ හැටි හිතන්න එපා පුංචියේ..
වෙන්න තියෙන දෙයක් වෙවී.
මම හිතන විදිය ඔයාලා හිතන විදියට වඩා අමුතු ඇති.ඒත් ඒ මගේ හැටි.
ඔනවට වඩා අනාගතේ ගැන බය වෙලා පොදි ගහන්න මට අමාරුයි.
මොනවා කරන්නත් අද හොදට ඉන්න ඔන.
නොදන්න හෙටක් හින්දා මෙ හොදට තියෙන අදත් දුක් විදින්න මම කැමති නැහැ.
සමහර විට හෙට උදේට ඇවිත් පුංචියේ මම කසාද බැන්දා මෙන්න ගෑනි කිවුවත් පුදුම වෙන්න එපා.
ඒ වගේම තමා තව අවුරුදු ගාණකට පස්සේත් මම හිටියොත් ඔයා අද කියන බණේම මට කියාවි .
මම අහගෙන ඉදීවි.

ඇය නැවතත්...

ඒ උනාට වයසට යනකොට සලකන්නත් කවුරු හරි ඉන්න එපැයි.

මම..

ඒක ඇත්ත ඒත්.. දැන් තියෙන ආර්ථීක රටාවත් එක්ක ළමයින්ට තමන්ගේ ළමයින් හදන්ටයි අම්මලා තාත්තලා ගැන බලන්නයි ලේසි නැහැ.
ළමයින්ට බැනලත් වැඩක් නැහැ. ඇත්තටම උන්ට බැහැ.
මම කීයක් හරි ඉතුරු කර ගත්තොත් මට ගෙවන වැඩිහිටි නිවාසෙකවත් අන්තිම කාලේ ඉන්න බැරියෑ.

ඇය...

හ්ම් හ්ම්.. ඒකත් ඇත්ත තමයි............

ඉවර නැහැ.. නමුත් සාරාංශය ඔවැනියි.

රෑ 10ත් පහුවෙලා මම යනවා යන්න..
හොදයි පරිස්සමින් යන්න...

ඔන්න ඔහොමයි උනේ.

ඒ කතාව අතරේ තවත් කතාවක්

පොතක් ලදිමි.
පුරා හද..

පන්සල් ජීවිතය ගැන ජයතිලක කම්මැල්ලවීර විසින් රචිත හොද කෘතියක්.
එක හුස්මට කියවා ඉවර කරන ලදි.
ස්තූති කිරීම සඳහා දුරකථන ඇමතුමක් දීමට උත්සහ කලද..
දුරකථන මාර්ගය අවුල් ජාලයක් වී ඇත.
එබැවින්..

ස්තූතියි...

කතුවරයා පොත කාලෝ ෆොන්සේකාට පුදා ඇත.
පරිත්‍යාගශීලී ඇය පොත මට දී පිදුම පුර හඳටම දී ඇත..
මම නොදනිමි ඔවා...
(මට දැන් මුහුණේ තරම මැවී පෙනේ..)
දීලත් හොදක් නැති හැටි.

16 April 2010

සේකර නුඹ තවත් වරක්...

යන්තම් අද උදේ ගෙදර කඩං පාත් උනා.
ආව ගමන් මෙ පැත්තේ ආවත් මුකුත් ලියන්න බැරි උනා.
ලිපි කීපයක් කියවලා මහන්සියයි,තෙහෙට්ටුවයි නිසා එහෙමම නිදා ගත්තා.

ඊට පස්සේ කිරිඳිවැල ගිහින් එන්න ගියා.
එන ගමන් ආවෙ රදාවාන හන්දිය හරහා.
උදේ මෙ පැත්තේ ආව වෙලාවෙ අපේ රසික වික්‍රමනායක සහෝදරයා පළ කරනු ලබන මහගමසේකර නමින් වූ අඩවියේ තිබූ සටහනක් මතක් වූ බැවින් මොහොතක් රදාවාන තුන්මන් හන්දියේ නැවතුනා.
ඇත්තටම ඒ ලිපියේ සටහන් වූ පරිදිම රදාවාන ගම් වැසියන් සේකරට ඒ තරම් උසස් ස්ථානයක් ලබාදී නැති බව මට නැවත වතාවක් තේරුම් ගියා.
සේකරගේ පිළිරුව දැන් ඇත්තටම එම ස්ථානයට බරක්දෝයි මට හැගීගියේ ඇයිදැයි කියන්න මට තේරෙන්නේ නැහැ.
එම ස්ථානයේ තබා තිබූ මර්වින් සිල්වාගේ කටවුට් එකට සේකරට වඩා තැනක් ඇති බව නම් කිව මනායි..

මගේ මෑණීයන්ගේ නිවස තිඛෙන්නේ තුන්මන් හන්දියේ සිට මීටර හාරසීයයක් පමණ දුරින් වූවද..
ඇත්තටම මව හා පවුලේ උදවිය අතර පවා සේකර පිළිබඳව හරි හමන් කතා බහක් කිසිවිටක ඇති වී නැති බව නම් කිව හැකියි.
සාමාන්‍යයෙන් අප කවුරුත් පාහේ අපේ ගම් පළාත් වල ඇති විශේෂත්වයන් පිළිබඳව ඉස්මතු කරමින් කතා කරනු ලබන අවස්ථා බොහෝමයි..
නමුත් රදාවාන ප්‍රසිද්ධ වූයේ සේකර හා කේ.ජයතිලකයන් නිසා වෙතත්.. එගම් වැසියන් තම ගමට කීර්තියක් ගෙනදුන් මෙ මහා කලා කරුවනට නිසි ගෞරවය ලබා දී නොමැති බව නම් කණගාටුවෙන් වූවද සටහන් කරන්නට සිදු වෙනවා.
මා දන්නා තරමින් රදාවාන මහ පන්සල ආශ්‍රිතව පමණක් මොවුන් හා සම්බන්ධ යම් යම් සංවිධාන කිහිපයක් ගොඩ නගා ඇති අතර වසරකට වරක් පැවැත්වෙන සමිති වාරයක් පැවැත්වීමට වඩා එහා ගිය කටයුත්තක් ඔවුන්ගෙන්ද සිදුවනවාදැයි නොදනිමි.

මෙ තත්වයට හේතුව කුමක්ද..?
ඇත්තටම මෙ සඳහා එක් දිනක් මගේ පියා පැවසූ කථාවක් යන්තමට මගේ මතක මායිමෙ රැඳී ඇත.
ඒ අනුව නම් සේකරට නිසි තැන ඔහුට නොලැබීමට හේතුව ඔහුගේ කුල ගොත් නිසා වූ දෙයක්ය යන්නයි.
ඒ කතාවෙ ඇත්ත නැත්ත දැන ගැනීමට නම් සේකර කුමන කුල පරම්පරාවකට අයත් දැයි දැන ගත යුතු මුත්..
ඒ පිළිබඳව මා සොයා නැත.
නමුත් තාත්තා කියූ දෙය යම්තාක් දුරට සත්‍යයක්ය යන්න පිළිගත හැක.
වසල සූත්‍රය එළිඋන වෙලේ පටන් රෑ වන තුරු කියෙවූවද..තාමත් අප සමාජයෙහි කුල මල බේද ඉතා තදින් පවතී.
නාගරික සමාජයෙන් බැහැරව ග්‍රාමීය සමාජය වෙත ලං වත්ම මෙම තත්වය වඩ උග්‍ර වන බව කිව හැක.
නාගරික සමාජයද පිටතින් නොපෙන්නූවද ඇතුළතින් ගැමියාට වඩා වෙනස් බවක් මට නොපෙනෙන්නේ තවමත් මංගල කටයුතු වලදී මෙය ප්‍රමුඛ කාරණාවක් කරගෙන ඇති බව මා විසින් ඉතා හොදින් ප්‍රත්‍යක්ෂ කරගෙන ඇති කරුණක් බැවිනි.
විවිධ අවස්ථාවලදී මගුල් යෝජනා සඳහා අතරමැදියකු ලෙස කටයුතු කර පළපුරුද්දක් ඇති මා හට මෙ පිළිබදව ඉතා හොද අත්දැකීම් ඇත.

ඉඳින්..
සේකර වැන්නකු කුමන අන්දමෙ යුග පුරුෂයකු වූවද..
මා ඉහත දැක්වූ කරුණ අනුව නම් ගම් වැසියන් ඔහුහට නිසි තැන් නොදීමට හේතුව කුල ප්‍රශ්නය මිස..
උක්ත ලිපියෙහි සඳහන් පරිදි සේකර ගමට බෝක්කු සාදා නොදීම විය නොහැකිය..

අදටත් ඔහු බලා සිටී..
තුන්මන් හන්දියේ මුල්ලකට වී ඔහු බලා සිටී..
නමුත් අදටත් ඔහු දෙස බලනා අය දුලබය...
සිටියද ඒ යනෙන රථ වාහනවල සිට ඔහු දෙස බලමින් යන ගම් වැසියන් නොවන අයයි.

ඇත්තටම ඒ ස්ථානයේ ඡායාරූපයක් ගන්නට සිතුවද.. පසුව මා එම අදහස අතැර දමන ලදි...
රටක් වටින.. රටක් නැලවූ,හැඩවූ... අදටත් නැවත නැවත උපදින.. සේකර හා ඔහුගේ නිර්මාණ...
පිළිබඳ පෙම් බැඳි සහෘද කැලකට එම ස්ථානය පෙන්වා මා හට ලද හැකි සතුටක් නොවෙ...

විශේෂයෙන්ම මෙම ලිපිය ලියන්නට මා හට සිත් වූයේ අහම්බයෙන් වූ බැවින් කරුණු කාරණා ඉතා ගැඹුරින් අධ්‍යයනය කර නොමැති බවත්.. උපන් දා සිට සේකර පිළිබඳ මා ඇසූ දුටු දේත්..අදට වෙමින් පවතින දේ දැකීමත් හරහා උකහා ගත් කරුණු බවත් කිව මනාය...

12 April 2010

බරපතල වැඩ නැතිව ඇතුලට...

ඔන්න ඉතින් ඉස්ඉස්සෙල්ලාම හැමෝටම සුභ නව වසරක් වෙවා! කියලා පතනවා.
මෙ ප්‍රාර්ථනය ඉතින් කල යුත්තේ අද නොවන බව නම් මම දන්නවා..
ඒත් මක් කොරන්ටද..?

අද රෑ සිට කිරියාත්මක වන පරිදි අඛණ්ඩ සේවයෙහි නිරත වෙන්න මාරයාටත් සිද්ධ වෙලා නෙව..
ආරක්ෂක අංශවල රාජකාරිය කියන්නෙත් හරියට අර මොකක්ද එක බැද ගත්තා වගේ තමා ඔං.

අනිකුත් ආයතන සේවක මහත්වරුන් සහ නිලධාරී පැලැන්තියේ උදවිය තම නිවෙස් වලට වෙලා ජයටම අවුරුදු කන විට අපි වගේ උදවිය ඉතින් ආයතනය රැක බලා ගෙන ලගා ගහගෙන ඉන්ට එපැයි.

ඔන්නං ඉතින් විධායක බලතල පාවිච්චි කරලා වෙනදා වගේම දවසක් ඇර දවසක් උනත් රාජකාරි කරන්ට බැරුවා නොවෙ..

ඒත් ඉතින් අපේ ආරක්ෂක නඩෙ එකම තනිකඩයා මම වෙච්චි.
අනිත් උදවිය පවුල් පන්සල් වෙච්චි උදවිය නෙව.. ඒ හින්දා පුළුවන් තරම් බර මම කරට අරගෙන පුළුපුළුවන් විදියට අනිත් අයට නිදහස දුන්නා.
මාත් තව දෙන්නෙකුත් ස්ව කැමැත්තෙන්ම ලබන්නා වූ අළුත් අවුරුද්ද ආයතනය තුළම ගෙවා දාන්ට තීරණය කොළා.
නරක නැහැ නෙව..

පොඩි පරහකට තියෙන්නේ ඉතින් මෙ බොලොග කෑල්ල ලියන්ට ඉඩ කඩ අඩු වීම තමා..
ඒත් ඉතින් අනිද්දා දිහාවට පැයකට දෙකකට ගෙදර පැත්තේ මංගච්චන්ට ඉඩ කඩ හදා ගන්ටනං බැරිවෙන එකක් නැතුවා.
එහෙම එන්ට ඇහැකි උනොත් බැරියෑ මොනවා නමුත් කොටලා යන්ට...

මෙ දවස්වල ඉතින් කරන්ට බරපතළ වැඩ එහෙම නම් නැතුවා ඔං.
වත්ත වටෙ හක්කලං කොරන්ට දෙතුන් දෙනෙක් දමාලා. කයියක් කතන්දරයක් කියාන ඉන්ට තමයි තියෙන්නේ..
කොහොමටත් ඉතින් මගේ අවුරුදු ඉතින් හැමදාම මෙහෙම තමා.. මොනවා කොරන්ටදැ...?
පතාගෙන ආපු හැටියට නෙව ඔතාගෙන යනවා කියන්නේ...
ඉස්සරනං ඉතින් අළුත් අවුරුද්දට අපිත් මොන මොනවා නමුත් කොරනවා.
දැන් ඉතින් ඒවා සුම්මා.
එක පාරක් මාර උන්නැහේ නැග්ගේ නැද්ද ලිස්සන ගහේත්..
මට ඉතින් කොරන්ට අමාරු වැඩ සුවල්පය අතරින් එකක් තමයි ඔය ගස් බඩ ගෑමත් ඔං.
උවමනාවකට නං ඉතින් බැරි නැහැ.
ඒත් ඉතින් කප් ගහපු පයිලට්ලා සෙට් එකක්ම ඒ දවස්වල අපේ ගැන්සියේ හිටියා නෙව.
ඉතින් අහවල් ලබ්බටැයි මම ඔය ගුවන්ගත වෙන්න දගලන්නේ..
ගහටත් නැගලා කුරුම්ඛෙත් කඩලා ලගටම නෙත් දෙන්නත් ගෝල බාලයෝ හිටී නං ඉතින් ආයේ අහවල් එකක් කොරන්ටද බීලා දානවා ඇර..
එහෙම කිවුවාම තමයි මතක් උනේ ඒ දවස්වල බිවුව හොර කුරුම්බා තොගය මතක් උනේ..
මගෙ අම්මේ ඒවා පොල් වෙන්ට ඇරියා නං දළ දේශීය ආදායම කොයි තරංනං ඉහල යන්ට තිබුනාද..?
අපිත් කොළ අපරාද..
කොහොමින් කොහොම හරි නිකං ඉන්ට බැරුවටත් එක්ක මායි තව අපේ ඇම්බැට්ටයෝ දෙතුන් දෙනෙකුයි අපේ ගමෙ කෙරවළක තිබුන අවුරුදු උත්සවෙකට ගිය වෙලාවෙ.. කොරන්ට කියලා හරි හමන් කිරීඩාවක් නොතිබුනු නිසාම(ඇත්තම කිවුවොත් ඉතින් කොරලා දිනන්ට ඇහැකි එක කිරීඩාවක් වත් තිබුනේ නැහැ නෙව.) කස්ටියත් එක්කම තීරණය කොලේ නැද්ද එතෙක් වෙලා මැස්සෝ විතරක් කැරකැවි කැවි හිටිය ලිස්සන ගහ දිගේ බඩ ගාන්ට..

කොහොමින් කොහොම හරි කොට කලිසං කෙටියකුත් පටලාන අනිත් එවුනුත් එක්ක මාත් නැගපි නේද..
අපරාදේ කියන්න බැහැ මං ඉතින් වෙගෙන් නැගගෙන නැගගෙන යනවා නැගලා නැගලා පහළ බලද්දී කකුල් දෙක බිම ගෑවෙනවා.(මං ඒ තරමට උසයි ඔං.. ආයේ වෙන මොකවත් හිතනවා එහෙම නෙවී)
කොහොමින් කොහොම හරි පැය තුන හතරක් ගාටලා ගත්තේ නැද්ද කොඩිය අතට..(මං නෙවී වෙන ගොබිලෙක්)

ඉතින් රොම්බ හැපී..
වෙන මොකටවත් නෙවී මෙ උලව්ව අහවර වෙච්ච එකට..
මොකද කියනවානං පණ්ඩිත කමට නගින්න පටන් ගත්තට මොකද අපේ උන් හැමෝටම මෙක ඇති වෙලා තිබුනේ..
අහල පහළ ගං හතේම උනුයි..දන්න කියන ගැටිස්සියෝ ඔක්කෝමයි කට ඇරාන බලාන ඉන්න නිසා නවත්තලා දාලා යන්ටත් බැරුවා..
ඇගේ තිබුනු හයි හත්තියත් බින්දුවට බැහැලා උඩට යන කොට කකුල් දෙක මැඩ්ලින් ගහනවා..
දැන් වැටෙයි.. දැන් වැටෙයි.. කියලා පරාණ බයේ ඉහළට යන කොට පහළ ඉන්න උන් නෝන්ඩියටද මන්දා කෑ ගහනවා
කමෝන්...............අයියා...
කමෝන්...............අයියා...
බම්බුව තමයි... මට ඇති වෙලා ඉන්නවා මුන් මගුලක් කියෝනවා..

කොහොමින් කොහොම හරි වැඩෙ අහවරයි....
නරකම නැහැ හැමෝටම සබන් කෑල්ල ගානේ හම්බ උනා.. තව ඒ දවස්වල හැටියට රුපියල් පණහා පණහා ගානෙත් සහභාගී වෙච්ච හැමෝටම ලැබුණා වගේත් මතකයි.

හැබැයි ඉතින් මට මෙ සිදුවීම හරි වටින මතක සටහනක්..
මොකද කියනවා නම් එදා ලිස්සන ගහේ නැගලා ඇග පුරා ග්‍රීස් ගාගෙන ඇවිත් ලාම්පු තෙල් බෝතලයක් විතර ඇග පුරා අතුල්ලගෙන අර තෑග්ගට දුන්න ලයිෆ්බෝයි කැටෙ ගාලා නා ගත්තට දවස් දෙක තුනකට පස්සේ අවුරුදු දෙක තුනක ඉදන් ඇගපුරා තිබුනු අළුහම් ටික නිට්ටාවටම හොද වෙලා ගිය නිසයි.
ඊට කලින් මෙ අළුහම් නිසා මට මාර කරදරයක් තිබුනේ නොකරපු ඛෙහෙතක් නැහැ..
පුදුම වදයක් වින්දේ...
හැබැයි ඉතින් මෙ වැඩෙන් පස්සේ මට පුදුම සතුටුයි ඒ ලෙඩෙ ඉවරයි...

දැන් ඉතින් ඔය අළුහම් හැදිලා ඒවට ඛෙහෙත් හොයන උදවිය දන්නවනේ හොදම ඛෙහෙත
ග්‍රීස් කාලක් අරගෙන ඇගපුරා ගාගෙන
පැය දෙක තුනකින් ලාම්පුතෙල් බෝතලයක් සහ ලයිෆ්බෝයි සබන් කැටයක් ඉවර වෙනකල් ගාලා නාගත්තම වැඩෙ ඉවරයි..
හැබැයි ඉතින් වඩාත් හොද ප්‍රතිඵල සඳහා ග්‍රීස් ටික ඇගේ ගාගෙන ඉන්න පැය කීපය තුල පුවක් ගහකටත් නැග්ගනම් බඩුම තමයි..
(ගුරු මුෂ්ටි තියාගන්නේ නැතිව මෙහෙම කරුණු කාරණා කියලා දෙන වෙන අය ඉන්නවද අද කාලේ..මං ඇර...)

10 April 2010

පුරුදු තැන...

හුග කාලෙකට පස්සේ අද ගෙදර ගියා.
තෑගි බෝග කර පින්නගෙන, අවුරුද්දට ගෙදර ගිහින් ආවා.
අම්මයි, මල්ලි බැඳපු නංගියි, මල්ලිගේ පොඩි එකයි විතරයි යන කොට හිටියේ..
පැයක් විතර යන කොට මල්ලී එනවා ඇහුනා, ඒත් එක්කම ආපහු මාරු වෙලා යනවත් ඇහුනා.
නංගී අසරණව බලා හිටියා. මම ගණන් ගත්තේ නැහැ.
පොඩි එකා නං එන්න දුන්නෙම නෑ.මාරයා වගේ අඩනවා..
බොහොම අමාරුවෙන් තමයි දාලා ආවෙ.

ගෙදර පරිසරය නං එදා වගේමයි.
වෙනසකට තියෙන්නේ මගේ කාමරය අම්මා පාවිච්චි කිරීමත්,අම්මාගේ කාමරය මල්ලිලා පාවිච්චි කිරීමත් පමණයි.
නෑනා ගේ හොඳ පිරිසිදුවට තියාගෙන ඉන්නවා දැක්කම සතුටක් දැනුනා.
කෑම කාලා යන්නකිවුවත් මම ආපහු එන්න ඔන කිවුවම නංගී කෙසෙල් කොලේක බත් එකක් බැඳලා මගේ බෑග් එකට දැම්මා. ඒ විතරක් නම් මදෑ දඩි බිඩි ගාලා.. කජු ගෙඩි සීයක් එකසිය පණහක් විතර කපලා සුද්ධ කරලාම දුන්නා.
කාලෙකින් තමයි කජු මද පාරක් දැම්මෙ.
ඒකිට පින් සිද්ධ වෙන්න ඔන.
බිලිං ගහේත් ගෙඩි හැදිලා ඒකෙනුත් ටිකක් කඩලා දුන්නා.
හෙට වැඩ හින්දා අනිද්දට තමයි උයන්න වෙන්නේ.

ඊයෙයි පෙරේදයි බාර් වහලා නිසා මම අමද්‍යප වෘතය ආරක්ෂා කර ගත්තට මොකෝ ඔන්න අද එන ගමන්ම බඩු ගෙනාවා.කජු මද ටිකකුත් බැදලා ලූනුයි මිරිස් කුඩුයි ඉහ ගත්තා..ආයේ ඉතින් තව මොනවද..?

සාමාන්‍ය දවසක්.
වැඩි වෙනසක් නැහැ.
ගමට ගියා කියලා අද නම් අමුතු දුකක්වත් සතුටක්වත් නැහැ. අනේ මන්දා..?
අහල පහළ තොරතුරු හුගාක් අම්මා කිවුවා.
ඒ අතරින් දෙකක් හිතට දැනුනා.
එකක් ගෙදරට කිට්ටුව අපේ නෑදෑ වෙන ගෑනු ළමයෙකුට පපුවෙ අමාරුවක් බව පැවසීම..
කිවූ හැටියට නම් තත්වය තරමක් බරපතළයි වගේ..
මම ගමෙන් යන කොට කෙල්ලට වයස 14ක් 15ක් විතර ඇති..
ලස්සනම ලස්සන රෝස පාට කෙල්ල..
මාත් එක්කත් සෙල්ලම් කරනවා.
මට හරි ආදරෙයි.
මාත් එහෙමයි. ඒ දවස්වල මගේ වාහන දෙක තුනක් තිබුනු කාලේ මෙකී පන්ති යද්දි එහෙම හම්බ උනහම යන ගමන වෙන අතක දාලා උනත් පන්තියටම ගිහින් බස්සනවා.
ඇත්තටම පවු. බලන්න යන්න ඔන උනත් ඒ පැත්තේ ගියොත් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියහම තියෙන කරදරෙ නිසාම ඒක හරි ගියේ නැහැ.

දෙවන කාරණය මගේ වෙන්න සිටි ඇය.. මගේ හොදම මිතුරාගේ නැගණිය..වසර දෙකක් පමණ යහළුවන් සේ ඇසුරු කරමින් සිට පසුව තවත් වසර තුනක් පමණ පෙම්වතුන් වී සිට.. තවත් වසර පහක් පමණ මා එතැයි මග බලමින් සිටි.. අවසානයේ නිවෙස් වල යෝජනාවක් මත මගේම තවත් මිතුරකු හා මගේත් ආශිර්වාදය සහ අවසරය මත දීග ගිය ඇය ..

ඈ පිළිබඳව අම්මා පැවසූ දෙය මා හට විශ්වාස කල නොහැකි බව අම්මා හට මා පවසන විට අම්මාගේ මුහුණ ඇකිලී යන අයුරුත්, නංගීගේ මුහුණ මත මා පිළිබදව ආඩම්බර වන්නාක් මෙන් වූ සිනාවක් ඇදී නොපෙනී යන අයුරුත් මා හොදින්ම දුටුවා.

මගේ වන්නට සිටි ඇය දැන් මගේ මිතුරකුගේ බිරිඳ වී ඇති අතර දැන් ඔවුනට දරුවකුද සිටී.
ඇගේ වෙනස්කම් නිසා ඇයගේ නැන්දා හා මාමා මහ ගෙදරින් වෙන්ව ගෙට පහළින් සාදා ගත් තවත් කුඩා නිවසක දිවි ගෙවන බව අම්මා කියා සිටි අතර අම්මා ඇය වැරදි කාරිය කර හමාරය..

නමුත් ඇගේ නැන්දනිය පිළිබඳව ඉතා හොදින් දැන සිටි මා.. ඒ පිළිබඳව කරුණු කියන්නට ගත් විට අකමැත්තෙන් වූවද ඒ කරුණුවලට එකග වීමට අම්මාට සිදු විණි. සමහර විට මා කතා කල අන්දමෙන් මා තවමත් ඇය පිළිබද ආදරයෙන් සිටින බව අම්මා සිතනවා විය හැක.
නමුත් අසාධාරණයේ ඇයට චෝදනා කරනු මා හට අසා සිටිය නොහැක.

ඇය ඇත්තෙන්ම රූප සුන්දරියක් නොවූවාය..
කළු පැහැ කුඩා කෙල්ලෙක් විය..
නමුත් මෙ ජීවිත කාලය තුල මා හට බඩ බැදගෙන ආදරය කල එකියන් අතර ඇය අදටත් අංක එකෙහි පසුවන බව මා දනිමි.

වත් පොහොසත් කම් අතින් ඉතා ඉහළ තලයක සිටියදී පවා.. ඈ දිළිදු මාහට පෙම් කළාය.. කිසි දින ඈ වෙනුවෙන් කිසිවක් නොකල මා හට ඈ නොකළ දෙයක් නැති තරම් විය.. අනන්ත අපමණ වැරදි කරන්නකු වූ මා හට ඈ කිසිදු නිදහසට කරුණු නැති විටක පවා පූර්ණ සමාව දුන්නාය..
මගේ මවගේ විරෝධය බලවත් වූ විටත් මවට විරුද්ධව වචනයකුදු නොකීවාය..
ඇගේ පියා විරුද්ධ වූ පසු ඈ අසරණ වූවාය.. මා එය තේරුම් ගතිමි.
ඇය ජීවිතයේ මා හට වඩා ආදරය කලා නම් ඒ පියාට පමණි.
අවසානයේ මා ඈත් වුනෙමි.
ඇගේ පියා නෑදෑ කමින් මා හට සහෝදරයකු විය ඒද ඉතා දුරිනි. ඒ හැර වෙනත් ආරවුලක් ඇගේ පියාත් මාත් අතර නොවිණි. ඔහුට සිටි විශ්වාසවන්තයින් අතරින් මාද එකෙකු විය.
ඔනෑම වෙලාවක ඔහුගේ නිවසේත් ව්‍යපාරික ස්ථානයේත් දොරගුළු මා හට විවෘත විය.
ඇගේ මවගේ හා මගේ පියාගේ කැමැත්ත අප දෙදෙනාට තිබුනද.. ඇගේ පියාගේ හා මගේ මව සහ සහෝදරයාගේ විරෝධය ප්‍රභල විය.
ඈත් ඇගේ පියාත් අතර පවුරක් වීමට මට නොහැකි විණි.
ඉතාමත් වෙදනාවෙන් වූවද මා තරමක් දුරස් වන්නට විණි.

අවසන අප නිවසේ ආරවුලක් මත මා නිවසින් පිටව ගොස් පසුව පැවිදි වීමි.
ඒත් ඇය මා ඒවි යැයි බලා පොරොත්තු වූවාය..
මගේ පියාගේ අවුරුද්දේ දානය සඳහා තවත් ස්වාමීන් වහන්සේලා කීප නමක් සමග නිවසට පැමිණි වෙලෙහි මා දුටු දසුනින් මා සැලී ගිය බව කිව යුතුය.
ඇය.. නිවසේ සුරතලිය සේ සැපසේ වැඩුනු ඇය..
ඊට පෙර කුමක්දෝ කාරණාවකට ඇගේ මවත් සමග එකම එක් වරක් පමණක් පැමිණි ඇති මුත් මා හා සම්බන්ධය ඇති වූ පසු කිසි විටකත් අප නිවසට පැමිණී නැති ඇය..
අප නිවස පිටු පස අනිත් උදවියත් සමග හරි හරියට වෙහෙසෙමින් සිටියාය.
දානය සදහා ඉවුම් පිහුම් වල මුල් තැනක් ගෙන ඇය වෙහෙසෙනු දුටු මා හට මගේ මුළු ලෝකයම කඩා වැටුනාක් මෙන් විය.
මට කුස රජු සිහි විය..

මා වැඩ සිටි පන්සලේ සිදු වන යම් යම් පින්කම් වලට දුර නොතකා ඈ හා ඇගේ දෙමවුපියන් කීප වරක්ම පැමිණ ගියාය..
මා ධර්ම දේශනාවක් සඳහා අපේ ගමට පැමිණි සෑම විටම ඇය මා පය පාමුල සිටියාය..

අවසන මා නොඑන බව පැහැදිලි වූ පසු විවහා යෝජනා රාශියක් අවසන තවදුරටත් බලා නොසිටිය හැකි තැන..
ඇය දීග ගියාය..
ඒද මා විසූ පන්සලට පැමිණ මගේ කැමැත්ත ඇතිවය...
ඉඳින්.. කුමක් කියන්නද..?
ඇය පිළිබඳව මට කවදාවත් අහිතක් සිතිය නොහැක...

මග වරද්දා ගත් මගියා මම වීමි..

මීට වඩා මෙ ලිපිය තව දුරටත් මා හට ලිවිය නොහැක...

08 April 2010

එන්නේ කවදාද යන්නට මා කැන්දා...

හෙට දින හිරු සමග යළි පායා එන්න..
අද දින යා යුතුය ගමනක් මා යන්න..
මෙතුවක් කලක් නොදුටුව ලොව දැක ගන්න..
වහ වහ මෙහි ඇවිත් මා කැඳවා යන්න...

උපන් දා සිටම මෙතුවක් කල් යැවුවා..
තවත් බල බලා ඉන්නට සිත් නැතුවා..
කුමක් හෝ වෙසින් විගසින් මෙහි කැඳුවා..
නුඹත් සමග යන්නට ඉවසිලි නැතුවා...

දුටුවෙ මිරිගුවකි බැළු බැළු සතර අත..
වින්දේ දුක තමයි සැමදා සෑම විට..
නින්දේ පවා නුඹ ඒ යැයි සිතාගෙන..
වින්දේ මා දුකක් නොව සතුටකි මිතුර...

බඳවා යුගත් දෑගිළි ලය මත රන්දා..
පියවා නෙතු සොඳින් වත කළු පැහැ ගන්වා..
හඩවා සිත් සතන් මෙතුවක් කළ නින්දා..
එන්නේ කවදාද යන්නට මා කැන්දා...

06 April 2010

මෙය කාගේද..?

ආදරෙයි නම් මා හට ඔබ ඇයි
රිදවන්නේ මෙතරම්..
කී දෙයක් කිසි විටකත් බොරු නොව
ඇත්තමයි එතරම්..
ආදරෙයි මා ආදරෙයි මා
මුළු ලෝකයක් තරම්..

ජීවිතේ මගෙ මා සතු නොම වෙ
එය ඔබගෙමයි කියා..
කීවෙ මා සොඳුරියෙ මගෙ පණ නල
ඔබ සන්තකේ තියා..
ඉතින් අසනු මැන මගෙ හද රිද්මය
ඔඛෙ නමින් සැලෙනා..

දහසක් හැගුමන් සහසක් පැතුමන්
අහසට වඩා තනා..
ජීවිත ගමනේ තනිව යන්න බැහැ
ඔබ නැති කල මතු දා..
ඉතින් අසනු මැන මා සුන්දරියේ
මා ආදරෙයි සදා...
මා ආදරෙයි සදා...

04 April 2010

වැහි අඳුර මැදින්...

එක පාරටම නැගිටලා වට පිට බලන කොට තමයි දැක්කේ ඔරලෝසුවෙ වෙලාව 6.45යි. ඒකත් හවස...
උදේ ඉදලම ඇවිදලා ඇවිත් මහන්සියට නාල කරලා නිදා ගත්තේ හවස තුනට විතර ඒ වෙලාවෙමයි වැස්ස පටන් ගත්තෙත්.
හොද සනීපෙට නින්ද ගියා...
උදේම ගෙදර ඇවිත් මෙ පැත්තේ ඇවිත් එහෙට මෙහෙට උත්තර බැඳලා නෙට් එකෙන් අහක් උනා.
ඊට පස්සේ රෙදි ටික එහෙම හෝදලා දාලා පුංචිලගේ ගෙදර ගියේ මගේ සල්ලි වගයක් දෙන්න එන්න කියලා තිබුනු නිසා.
ගිහින් ඒකත් අරගෙන තවත් පුංචි කෙනෙකුගේ ගෙදර ගියා.
දවස් ගානක්තිස්සේ එහෙ එන්න කියලා නංගී කෝල් කර කර කෑ ගහනවා ඉවරයක් නැති නිසා අද දවල් කෑමටත් එක්ක එහෙ එන්න පොරොන්දු වෙලා හිටි නිසා ගිහින් එන්න ගියා.
පුංචි කෙලි පැටික්කියෙක් ඉන්න නිසා
අනම් මනම් කැවිලි ජාති කීපයකුත් එක්ක අර චොකෝ වැනිලා කලවම් අයිස් ක්‍රීම් කප් එකකුත් අරන් ගියා ඉතින්..
ආ තව කෙල්ලගේ කේන්දරෙත් හදලා තිබුනා ඒකත් අරන් ගියා.
ගිහින් දවල්ටත් සප්පායම් වෙලා ටික වෙලාවක් ඉදලා ආවා...
හරිම වෙහෙසකරයි... ඒ පැය කීපය...

මිනිස්සු ජීවත් වෙන්නේ මොන තරම් අපිළිවෙලටද කියන එක දැකලා මට එපා උනා..

කිසිම පිළිවෙලක් නැහැ මිහිපිට අපාය කියලා කිවුවොත් මම නිවැරදියි.

ඇත්තටම ගෑනු කෙනෙක් ඉන්න තැනක මීට වඩා දෙයක් මම බලාපොරොත්තු වෙනවා.
දරුවෙක් එක්ක අමාරු තමයි. ඒත් මෙ තරම් අපිළිවෙලක්..?

මම මුකුත් නොකිවුවට පුංචි අම්මා දන්නවා මගේ හැටි.
ඒ නිසාදෝ මම වට පිට බලනකොටම මෙ අපේ දුවගේ වැඩවල හැටි තමයි කියලා කියලා දැම්මා..
මට පවු කියලත් හිතුනා.
කොහොම හරි හවස් වෙනකල් නොයිදම මම ආවා.

ඇවිත් නාලා නෙට් එකට එන්න හදන කොටම අකුණු ගහ ගගහා වහින්න ලෑස්ති උන නිසා ඔක්කෝම නවත්තලා දාලා නිදා ගත්තා.
ආයෙමත් ඇග පත හෝදගෙන තේ එකක් හදා ගෙන බීලා... රෑට කන්න මොනවා හරි ගේන්න හන්දිය පැත්තට ගියා.
එතකොටත් පොද වැස්ස..
කාලෙකට පස්සේ බයිසිකලේ නැතිව පයින් ගියේ..
ගිය ජනවාරිවල ආයතනයෙන් තිළිණයක් ලෙස ලැබුණු කුඩෙ ඔන්න අද තමයි දිග ඇරලා බැළුවෙ.
ඒක හොඳයි.
සෑහෙන අඳුරක් පාර පුරා පැතිරිලා..
ඒ මදිවට මඳ වැස්ස අමුතුම හඩක් නගමින් කුඩෙ මතට පතිත වෙනවා..
තරමක් අබලන් තාර පාර මත තැන තැන කුඩා වතුර කඩිති..
විටින් විට එන වාහන වල එළියෙන් හිමින් හිමින් ගෑටුවා..
වාහන රෝද වලට අසුවුන ජල පහරවල් වලින් ගැලවීම සඳහා හොඳ අවදානයෙන් යා යුතුයි.
මට මතක් උනේ අමරදේවගේ කබාය ඉරිලා ඊට කමක් නැහැ ගීතය..
ඇත්තටම අද ගේ හරියේ අරක්කු බින්දුවක්වත් නැහැ.
හවස එන ගමන් ගේන්න හිටියත් මොකක්දෝ හේතුවක් නිසා ඒකත් අමතක උනා.
මම ඉන්න හරියේ බීම හලක් නැති එක නම් හරි පාඩුවක්...
නැත්නම් මටත් අර ගීතයම මුමුණ මුමුණ හීනි අඩියක් දාන්න යන්න තිබුණා...
ටවුන් එකට කිලෝ මීටර 6ක් විතර යන්න ඔන.. දැන් මෙ වැස්සේ බයික් එක පදින්න බැහැ..
ඒ අදහස අතහැරලා දැම්මා..

හන්දියට ගියේ කොත්තුවක් හරි බිත්තර රොටී දෙකකුත් එක්ක පරාට කිහිපයක් හරි අරන් එන බලාපොරොත්තුවෙන්..
අද ඉරිදා නිසා නයිට් කඩෙත් වසා ඇත...
එපා වෙනවා...
ඒ ගමන මොනවා කරන්නද..? කවදත් මෙ වගේ අවස්ථාවලට පිහිට මැගී අක්කා තමයි.
නූඩ්ල්ස් පැකට් දෙක තුනකුයි බිත්තරයි අරගෙන මුරුක්කු ටිකකුත් හප හප ආපහු ආවා...

වැහි අඳුර මැදින් එන ගමනේදී පුදුමාකාර සිතිවිලි රාශියක් සිතේ ඇඳිලා ආපහු මැකිලා යනවා මට මතකයි.
ඒත් ඒ කිසිම දෙයක් මතක හිටියේ නැහැ..
ජීවිතේ ගලා ගෙන යනවා..
දවස් ගෙවිලා යනවා..
තව ටික දවසකින් මගේ උපන් දිනෙත් එනවා.
අළුත් අවුරුදුත් ඔන්න මෙන්න..
ඒත් අවුරුද්ද නම් මට ඒ තරම් වෙනසක් නැහැ.
අම්මා බලලා එන්න හෙට අනිද්දා ගිහින් එන්න ඔන.
අන්තිමට ගියේ ගිය අවුරුද්දේ අප්‍රියෙල් 8 වැනිදා..
මෙ අවුරුද්දෙත් එහෙම වෙවී.
මල්ලී ගෙදර නැති වෙලාවක් දැන ගෙන ගිහින් ගොඩ වෙලා ආපහු එන්න ඔන.
ප්‍රශ්න හදා ගන්න ඔන නැහැ.
මම ගෙදර ආව කියලා දැන ගත්ත ගමන් මිනිහා බලන්නේ දේපල ගැන මම මොනවා හරි කිවුවද කියලා දැන ගන්න මිසක් මම හොදින්ද කියලා දැනගන්න නෙවෙයි...
තණ්හාකාරයා.. මම මොකටද මිනිහාගේ හිතට ගින්දර දෙන්නේ...
ගිහින් ඉක්මනට අම්මවත් බලලා.. පොඩි එකාවත් බලලා ආපහු එන්න ඔන.
පණ තිබුණොත් ආයෙමත් ලබන අවුරුද්දට තමයි.

අළුත් අවුරුදු දවස් වලත් අපිට දවසක් ඇර දවසක් වැඩ.
ඒක හොඳයි. මට මෙ මාසේ වැඩ වැටෙන්නේ ඔත්තේ දවස්වල... 11..13..15..ඒ අනුව මම වැඩ.අනිත් අයගේ ඉල්ලීමක් තිබුනොත් 12..14..16 උනත් මම වැඩපලේම නවතිනවා.
උන් පවුල් කාරයෝනේ...
මට ගෙදර ඉදන් රූපවාහිනියේ අවුරුදු සිරිත් විරිත් බල බල ඉන්නවට වඩා වැඩ පොළට වෙලා නිදා ගෙන හිටියත් කමක් නැහැ.
අවුරුදු කන කට්ටිය ඒ දේවල් කර ගත්තදෙන්..
අන්තිමට මම අළුත් අවුරුදුදකට ගෙදර හිටියේ මට මතක විදියට 2000 අවුරුද්දටත් කලින්ද මන්දා ඒ ගැන මට හරියට මතකයක් නැහැ. කොහොමටත් මම කරපු රැකියාවල මට නිවාඩු තිබුනේ නැහැ අවුරුද්දට ගෙදර ඉන්න.

ඊට පස්සේ මහණ වෙලා හිටපු කාලේ...
ගම වටෙම රතිඤ්ඤා සද්දේ මම අහගෙන ඉන්නවා පන්සලට වෙලා. හුගාක් ලංකාවෙ පන්සල් වලට අවුරුදු දා දානේ වරදිනවා.
අපේ මහා බෞද්ධ උපාසක මහත්වරු අවුරුද්දේ ඉස්ඉස්සෙල්ලා පිනට දෙන්න අකමැතියි.

ඒත් මට හිටියා නොනගතේ වෙලාවෙත් කෑම ටික වරද්දන්නේ නැති උපාසක මහත්තයෙක්.
ඒ විතරක් නෙවෙයි, නැකතට කිරිබත් ටික කන්න කලින් මගේ පංගුව ඛෙදාගෙන පන්සලට දුවගෙන එන උපස්ථායක මහත්තයෙකුත් හිටියා.
නැකැත් වෙුන ගමන් පන්සලට හතර අතින් දානේ ගේනවා.
හුගාක් පන්සල්වලට එදාට වැඩියෙම ලැඛෙන්නේ කිරිබත් තමයි.
ඒත් මට එදාට දානේ වෙනදා වගේම ලැඛෙනවා
හුගාක් අම්මලා මා ගැන බැළුවා.
කොහොම හරි අවට පන්සල් වලටත් එදාට මම දානේ ඛෙදලා යවනවා.
සමහර පන්සල් වලින් කතා කරලා අහනවා.
"දානේ ලැබුනද "කියලා ඒ අයට දානේ නැතිව බව මම දන්නවා.
"අපේ හාමුදුරුවනේ මම දැන් ත්‍රීවීල් එකක ඔය පැත්තට දානෙ ටිකක් එවුවා"
කියපුවහම අනිත් පැත්තෙන් ඇහෙන වචන ටික හිතට ගෙනාවෙ පුදුම සතුටක්.
මම මහණ වෙන කාලේ අපේ පන්සලට දිනපතාවත් දානේ ලැබුණේ නැහැ. දවසක් ඇර දවසක් තමයි යන්තම් දානේ අරන් කවුරු හරි පන්සලට ගොඩ වෙන්නේ..
මම මහණ වෙන්න කලින් දවස්වල හිටපු හාමුදුරුවරු පුදුම දුකක් වින්ඳා..
හුගාක් දවස් වලට උදේ වෙල පිරිමහ ගත්තේ පන්සල් වත්තේ ගහකින් කඩා ගත්ත තැඹිළි ගෙඩියකින්..
දවල්ට පන්සලේ තියෙන පිරිකරක් විකුණලා ලැඛෙන මුදලින් මම සුදු හාල් ටිකක් ගෙනත් පරිප්පු හොද්දක් හදනවා,කරපිංචා කොළ ගොඩාක් දාලා. තව ඉතින් පොල් සම්බෝලයකුත් හදනවා.
ඒක ඉතින් ඒ දවස්වල හිටපු හාමුදුරුවරු තුන්දෙනාට දිව්‍ය බෝජනේ වගේ තමයි.
එහෙම තමයි ඒ දවස්වල බොහොම අමාරුවෙන් අපි කාලේ ගෙවුවෙ.

අවුරුද්දක් විතර එහෙම ගත උනා ඒකාලේ හාමුදුරුවන්ගේ සා ගින්දර නිවුව පිනම මට ඇති.
මම බොහොමයක් වෙලාවට ඔය කාලේ ගැන අපේ දායක මහත්වරුන් ට පින්කම් වලදී මතක් කරනවා.
ඒ වෙලාවට මගේ ඇස්වලින් කඳුළු වැටෙනවා මට නොතේරෙනවා නෙවෙයි. හරියට මෙ දැන් වගේම.

ඇත්තටම අන්තිමට මම මහණ වෙලා පන්සලට අයත් ගෙවල් තුන් හාරසීයක ගෙයක් ගෙයක් ගානේ පයින් ඇවිද්දා.
එහෙම ඇවිදලා මුළු ගමම සංවිධානය කරලා අරගෙන නැත්තටම නැතිවෙලා තිබුණු පන්සල කෙලින් කටින් හිටෙවුවෙ.

ඒ දවස්වල මාත් එක්ක ගෙයක් ගෙයක් ගානේ යන්න හිටියේ එකම එක කොල්ලයි.අද ඒ කොල්ලා හොඳ ලේඛකයෙක්.
විජය ආයතනයේ වැඩ කරන.
මම දන්නවා ඒකටත් කවදාවත් වරදින්නේ නැහැ.
වැඩිය තැළිලා පොඩිවෙලා නොහිටිය ඒ ළමයා මට පුදුම ශක්තියක් උනා.

ඒවගේ දුෂ්කරව තිබුණු පන්සල අළුත් අවුරුද්දට අවට පන්සල් වලටත් දානේ සරි කරලා දෙන මට්ටමට ගෙන ආව සතුට මට අදටත් තියෙනවා.

මෙ අකුරු ටික ලියද්දී මගේ ඇස් බොඳවෙගන යන එක නවත්තන්න මට බැහැ.
අතීතය කියන්නේ බොහෝම ලස්සන කාලයක්..
ඒ තුළ දුක සතුට මිශ්‍ර වෙලා තියෙනවා..

හෙට අනිද්දටත් අළුත් අවුරුද්දක් ඒවි.
වෙනදා වගේම අනිත් අය අවුරුදු කන හැටි බලලා මම සතුටු වෙනවා.
මෙ විදියට තව කොයි තරම් කාලයක් ජීවත් වෙන්නද කියන එක මමදන්නේ නැහැ..

ඇත්තටම වැස්සේ තෙමි තෙමි හරි ගිහින් ඛෙහෙත් බෝතලේ ගෙනාව නම් අද හුගක් විඳින්න තිබුනා කියලා මට හිතෙනවා.. මෙ මතකත් එක්ක...

අඳුරු අහස.. සීත සුළග..
සිහින් සරින් වැටෙන වැස්ස..
අතීතයට මා කැඳවයි..
මතක පොතේ පිටු අතරින්..
හිස් වී ඇති මී බඳුනේ..
අඩුව මකාලන්න නැතිව..
සැදෑ සමය ගෙවී ගියා..
රාත්‍රියේ අඳුර මැදින්...

03 April 2010

තවත් දවසක ආරම්භය...

ඔන්න ඉතින් 2010යේ අප්‍රියෙල් 03 වැනිදටත් මම අවදි උනා.
වෙලපහ වැඩියි වගේ..
හිතාගෙන හිටියේ හය හමාර වෙනකල්වත් නිදාගෙන ඉන්න.
ඒත් පහයි කාලට ඇහැරුනා.. මොනවා කරන්නද කරුමෙ තමයි.

ඊයේ ටිකක් වෙලපහ නින්ද ගිය එකත් ඒකට හේතුවක්. වැඩිපුර දැම්මම ඉක්මනට හා සැපට නින්ද යනවා.

දැන් ඉතින් මුහුණ කට සොදගෙන නාලා කියලා යන්න ඔන.
බඩගින්නකුත් එනවා. ටී එකක් හදාගෙන බීලා, ගිහිල්ලම මොනවා හරි කනවා.

ඊයේ දවසම මෙ පැත්තත් පාළුයි වගේ.
රවා මොන ලෝකෙක යනවද මන්දා මෙ ටිකේ දවල් දවසට වත් දකින්න නෑ.
මෙකා මොනවා හරි බාල්දියක් පෙරළගෙන තමයි මෙ පාර නවතින්නේ.
දිල් නගත් ගමෙ අම්මව බලන්න නුවර ගිහින්.. ඒවත් ඉතින් කෙරෙන්ට ඔන වැඩ නොවැ.
අපිට නම් පාළුයි තමයි. ඒත්ගමෙ අම්මා සති ගණන් පාළුවෙන් ඉඳලා මෙ දවස් දෙකවත් ටිකක් සතුටින් ඉන්න එක කොයි තරම් දෙයක්ද..?
අනික ඉතින් දැන් ඔය කෙලී ආපහු එනකොට නිකං අත වන වන එන එකක්යෑ...
මස්කට් බූන්දි ටොපි චොකලට්... තව ඉතින් එවුවද මෙවුවද කෝටියයි නේ... (අනේ මම මෙ නොදන්න හින්දයි අහන්නේ නුවර පැත්තේ ප්‍රසිද්ධ කෑම ජාති මොනවද..? අර නිකං බිබිලෙ දොඩං, මාතර කිරි පැණි වගේ..)
මාතර කිවුවම මතක් උනේ අපේ වත්..ව
ඔන්න ඉතින් එයත් මෙ දවස්වල කෝච්චි කතා ලියනවා. අගෙයි..
හැබැයි ඉතින් ඉඳලා හිටලා හරි බලළා මල්ලෙන් ඔළුව දාලා තියෙනවා.. ඔහොම යන කොට එළියටත් පනින්නේ නැතැයි.
මෙ දරුවා බබා වගේ හිටියට මොකෝ කොල්ලෝ හින්දා දඩ කාගෙන කෝච්චිවල ගිය දරුවෙක් නෙව.
හිත හිත ඉන්නේ නැතිව එදාම අර කෝච්චියේ උන්න ටික්කන්ට කිවුවනම් ඉවරයි ඔව් අපි දෙන්නා එකට ආවෙ මෙයාගෙන් මගේ දඩයත් ඉල්ල ගන්න කියලා. එහෙම උනානම් කතාව තව දුර දිග ගිහිල්ලා මෙ වෙන කොට දෙන්නා එකටම පළවෙනි පන්තියේ යන එක අපිට නොකිවුවත් අපිට කවදා හරි පේන්නෙවත් නැතෑ.
කතන්දර ශූරීනුත් අන්න අරහෙ තනියම මැරතන් දුවනවා.
කොහෙද ඉතින් අපි දුවන්නේ දවසක් අර දවසක්නේ මෙක කොටන්න හම්බ වෙන්නේ..
ආවදෙන්කෝ මෙ පැත්තෙන් මිරිස් වතුර බාල්දියක්වත් ගහන්න.
(අපි එහෙමයි. අපිට බැරිනම් අනිත් උන්ටත් තහනම්... අපේ ජාතියේ ආඩම්බරය මම ආරක්ෂා කොරන්ටත් එපැයි නැද්ද මම අහන්නේ..)
මෙ දැන් ඇති දවල් වෙනවා.
හෙට යහතින් එන්න ලැබුනොත් තව පාරක් කොටන්නම්කෝ...

01 April 2010

ඊයේ රෑ තමයි ආරංචිය ආවෙ...

අම්මෙ මාර හැපී..
ඔන්න මගේ යාළුවන්ට පුළුවන්නම් මට උදවු කරන්ට..
මාවත් ඊළග වටයට තේරිලා.
මෙ දිනවල රූපවාහිනියේ යන සුපිරි තරගයක ඊළග වටයට මාත් තේරිලා.
මෙතන ඉදන් තියෙන්නේ එස්.එම්.එස්. යුද්ධෙ තමයි.
ඉතින් මාව මමම අදුන්වා දෙන්ට කළින් හරියටම කියන්නකෝ බලන්න මම කවුද කියලා.
මම මෙක නොකියා හිටියේ තේරුනේ නැත්නම් නෝන්ඩිනේ ඒකයි.
දැන්නම් ඉතින් ගොඩ.
කස්ටියගෙන් බුදු හෙල්ප් එකක් ඔන හරිද..?
සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව මාරයාට සුපිරිවීර කෙනෙක් වෙන්ට එස්.එම්.එස්. එවන්ට ඔන හොදද?