27 June 2010

පන්සලේ ජීවිතේ... සිහින සොයා පියෑඹීම...

දවසින් දවස ගත වෙමින් යයි.විවිධාකාර පුද්ගලයින් එති යති.වෙනස්ම අත්දැකීම් ජීවිතයට එකතු වෙමින් පවතී. මෙතෙක් කලක් කුමන ආකාරදැයි හරියාකාරව නොදැන සිටි සමාජයේ තවත් පැත්තක් දකින්නට, අසන්නට, ඒහා බැඳී ජීවත්වන්නට ඉඩ ප්‍රස්ථාව ලැබී තිබිණි.

මා සිතනා ආකාරය නිවැරදිනම් මෙම කතාව පැවසීමෙදී එකිනෙකට වෙනස් වූ චරිත දහස් ගණනක් පිළිබඳව වෙන් වෙන් වශයෙන් සටහන් තැබිය යුතුය.නමුත් එසේ කිරීමට ගිය හොත් මෙම කථාව වටා රැස්ව තිඛෙන සියළු චරිත පිළිබඳ විස්තර කර අවසන්ව කතාව හා සබැඳි අවස්ථා සහ සිදුවීම් කියන්නට තව සෑහෙන කාලයක් යනු ඇත. එසේම චරිත විස්තර අවසන් වන විට මුලදී සටහන් තැබූ අය පිළිබඳව මතකය ඔබ තුළින්ද ගිලිහී යන්නට ඉඩ ඇත. මන්ද ඒසා සුවිශාල පුද්ගලයින් රාශියක් මෙය හා බැඳී ඇත.

අපගේ ජීවිත කතාව කියන්නට යෑමේදී.. පවුලක් හා ඒහා සබැඳි සමාජය විස්තර කිරීමට වඩා පන්සලක් වැනි සමාජයේ කේන්ද්‍රස්ථානයක් හා බැඳී ඇති කතා කීමට යාමේදී අපට හමුවන පුද්ගලයින් ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉතා ඉහළ අගයක් ගනී.එසේ සම්බන්ධ වන සෑම පුද්ගලයකු ගැනම පරිපූර්ණ විස්තරයක් නොමැතිව කරනු ලබන සටහන් බොහෝ විට අසාර්ථක ඉදිරිපත් කිරීමක් වනවාට සැක නැත.
මා එසේ කියනුයේ මෙ කථාව ඉදිරිපත් කිරීමෙදී එය එක්තරා අන්දමකට පුද්ගල අධ්‍යාත්මය හා බැඳී ඇති මානසික තත්වයන් හා සිතුම් පැතුම් විස්තර කෙරෙන කථාවක් ලෙස ඉදිරිපත් කිරීමට මා හට උවමනා කර ඇති නිසාවෙනි.

උදාහරණයක් ලෙස යම් කිසි මොහොතක කිසිවකු විසින් තවත් කිසිවකුට බැණ වැදුනේ නම් හෝ පහර දුන්නේ නම්..එය හුදෙක් තනි සිදු වීමක් නොවන බවත්, බැණ වැදීම හෝ පහර දීම යනු යම් කි්‍රයාදාමයක තවත් එක් අවස්ථාවක් පමණක් බවත් එයට හේතු පාදක වූ තවත් සිදුවීම් රාශියක් සහ එම සිදුවීම් මතින් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ගේ මනෝ භාවයන් සකස් වූ අන්දමත්, ඒසේ සකස් වීමට ප්‍රථමව පවා ඔවුන්ගේ චර්යා රටාවන් හා සිතුම් පැතුම් මෙ ආකාරයැයි පහදා දීමත් එම ස්වභාවය සහ සිදුවන සිදුවීම් නිසා පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් වල සිදුවන වෙනස්කම් පැහැදිලි කර දීමට මා හට තිපෙන උවමනාවයි.

එසේ නොමැතිව කෙනෙකු කරනු ලබන බොහෝ ක්‍රියාවන් තනි තනිව ගෙන විස්තර කිරීම ඒ හා සබැඳි නියම ස්වරූපය බාහිර සමාජයට වැරදි අවබෝධයක් ලබා දෙන්නා වූ ක්‍රියාවකි. මෙනයින් බලන කල මා විසින් කියනු ලබන කතාවෙදී..ඒ ඒ සිදුවීම් වලදී එම සිදුවීම් වලට පාදක වූ අතීත කරුණුත් ඒ සඳහා සම්බන්ධ වූවන්ගේ මානසික හා චරිත ස්වභාවයද ඔබ විසින් අවබෝධ කර ගත යුතුමය.

නොඑසේනම් එක් සිදුවීමක් දෙස පමණක් බලා ඔබ විසින් අවසන් තීන්දුවකට එළඹීමයි.එයින් කතාවට විශාල හානියක් වීමට ඉඩ ඇත.එබැවින් කතාවට සම්බන්ධ වන කුදු මහත් සෑම චරිතයක් පිළිබඳවම තරමක හෝ අවබෝධයක් ඔබ තුළ ඇති කළ යුතුව ඇත. ඔබගේ එක් ඇසක් වසා දමා ඔබට ත්‍රිමාණ රූප පෙන්වීමෙ හැකියාවක් මට නැත.එබැවින් හැකිතාක් දුරට සෑම කුඩා දෙයක් පිලිබඳවම ඔබට පුළුල් අවබෝධයක් ලබා දීම මා සතු වගකීමකි. වඩාත් දුෂ්කර කාර්යය වන්නේද එයමය..

විශේෂයෙන්ම පන්සල් පිළිබඳව හා එහි වසන පුද්ගලයින් හට අසාධාරණයක් වන්නට ඉඩ කඩ නොතැබිය යුතුය. එයට මා හට නොකල හැක්කකි. මෙ සමාජයේ ජීවත් වන පෘතග්ජන පුද්ගලයින් වන අප කවුරුත් හොඳ හා නරක යන දෙකින්ම සැදුම් ලද්දෝ වෙමු.
තනි ඉරකින් මෙයා හොඳය..මෙයා නරකය වශයෙන් ස්ථීර ලෙස වෙන් කොට දක්වන්නට අප කිසිවකුටත් නොහැක.
මා විශ්වාස කරනා අන්දමට අප කා තුළත් දෙවියකු මෙන්ම යක්ෂයකුද වෙසේ..
නොයෙක් අවස්ථා වලදී නොයෙකුත් තත්වයන් මත ඔවුන් ඉස්මතු වී පෙනෙන අන්දමට අප විසින් කටයුතු කරනු ලබන්නේය. එවිට එම ක්‍රියාවන් දෙස පමණක් බලා පුද්ගලයා හොඳද නරකද යන්න විනිශ්චය කිරීම එම පුද්ගලයාට අප විසින් කරනු ලබන බලවත් අසාධාරණයකි.

පුද්ගලයින් වශයෙන් අප සියළු දෙනාම අනුකම්පාවට භාජනය විය යුත්තෝ වෙමු. අප විසින් නොපැතූ ලොවක නොපැතූ තැනක ඉපිද...
ඒ ලැබුවාවූ ජීවිතය රැක ගැනීමට සිදුව ඇති අප ඒ වෙනුවෙන් කුමක් නම් නොකරමුද..?
හරි හෝ වේවා..වැරදි හෝ වේවා..ජීවත් වීම සඳහාත්, එම ජීවිතය සැපවත් කර ගැනීම සඳහාත් අප විසින් බොහෝ කටයුතු කරන්නෙමු.
එහිදී අනිකාගේ අයිතිවාසිකම් ගැන සිතන්නෝ අල්ප වශයෙනි..
මූලික අරමුන තමාගේ රැක්මයි. තමා සුරක්ෂිත නම් පමණක් ඉන් අනතුරුව අන් අය පිළිබඳව සොයා බැලීම සාමාන්‍ය පිළිවෙතයි.

බැටළු හම් පෙරවා ගත්තවුන් කෙසේ කීවත් මා දකින සත්‍යය එයයි.

මෙම තත්වයට සමාජයට හා එහි වෙසෙන්නන්ට දොස් පැවරීමට පෙර ඒ තත්වයට ඔවුන් පත්වූයේ මන්දැයි සොයා බැලීම කළ යුතු බව මා සිතන්නේ එබැවිනි. ලෝකයේ තිඛෙන්නාවූ දහස් ගණන් වූ ආගම් හා දර්ශනයන් මෙහිදී අප හට මෙම තත්වය පහදා දීමට ඉදිරිපත් වෙයි. තම තමන්ගේ ආගම් හා දර්ශනයන්ට අනුව තම තමන්ට හැකි අන්දමට ඒ පිළිබඳව සියළු දෙනාම සිතා බැළිය යුත්තාහ...

......................................................................................

මා පන්සලට විත් මාස හතරක් පමන පසු වී තිබුණි.වාර්ෂික කඨින පූජෝත්සවයද පැවැත් විණි. ඒ හා සම ගාමීව සර්ව රාත්‍රික පිරිත් පිංකමක්ද පැවැත්විණි. ඒ සඳහා වැඩම කොට වඳාළ භික්ෂුන් වහන්සේලා සමග ඇසුර මා හට නැවුම් අත්දැකීමක් විණි.

දහ දොළොස් නමක් පන්සලට ඒකරාශී වූ රැය ඇත්තෙන්ම විනෝදමත් එකක් විණි.පන්සල් ආශ්‍රිතව සිදු වූ සිදුවීම් හා පුද්ගලයින් පිළිබඳව ඔවුන් විසින් කරනු ලැබූ කථා බස් අසා සිටීම රැය පහන් වනවා නොතේරීමට හේතුවක් විණි.
ඒ අතර නොයෙක් වයස් කාණ්ඩයේ අය වූහ.
වයෝවෘද්ධ හිමිවරුන්ගේ ඇවතුම් පැවතුම් බොහෝ සංවර වූ අතර තරුණ භික්ෂූන් එයට හාත් පසින්ම වෙනස් විය. නමුත් හදවතින් ඔවුන් සියළුම දෙනා සමාන බව පිටස්තර ගිහියන් නොමැති තැන්වල කරනු ලබන කතාබහ වළින් මොනවට පැහැදිලි විය.

සියළු දෙනාම තම තමන්ගේ සිතැගි හා ආශාවන් අසීරුවෙන් යටපත් කරගෙන දිවි ගෙවන්නෝ වූහ. ඒ නිසාම බාහිරට නොපෙනෙන විශාල මානසික පීඩනයකින් යුක්ත වූවෝ වෙති. සමිජය ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දෙය දීමට ඔවුනට සිදු වී තිබිණි. එහිදී තමාගේ පෞද්ගලිකත්වය පවා මරා දැමීමට ඔවුනට සිදු වී තිබිණ.

මෙහිදී මා පෙර ස\හන් කළ චන්දවිමල හිමියන් දිනක් පන්සල ඉදිරිපස මිදුලේ පසෙක වූ මැංගුස් ගස යට පැදුරු දෙකක් එළා සවස් වරුවක එහි ගිමන් හරිමින් සිටි ගමන් මා හට කියූ කථාවක් නිතැතින්ම සිහිපත් වෙයි.

~~අයියේ..මිනිස්සු බලන් ඉන්නේ අපි ඒ අය දෙන දානය වළදලා භාවනා කරලා,රහත් වෙලා පන්සලේ වහලේ උළුත් කඩාගෙන අහසට නැගලා පෙළහර පායි කියලා..~~
~~අනේ අයියේ අපේ අම්මලා තාත්තලා නැති බැරි කමටයි, අපේ ලොකු හාමුදුරුවරුන්ගේ ඉල්ලීමයි හින්දා අපිව මහණ කළාට අපි මෙ සංසාරෙ ගැනයි, ලෝකේ ගැනයි මොනවා දන්නවාද..? පිරිවෙනේ උගන්වපු දේවල් කොයිතරම් තිබුනත් අපිම ජීවිතේ විඳිනකල් ඒවා කොහොමද කියලා අපි දන්නේ කොහොමද..?~~

ඇත්තෙන්ම මෙ වදන් පෙල එදා පටන් අද වන තුරුම මගේ සිතේ තැන්පත්ව ඇත්තේ එහි ඇති සානුකම්පිත බව නිසාමයි. බුදුන් දවස කෙසේ වූවද අද වන විට සාංඝික සමාජය පිරී තිඛෙන්නේ මෙවැනි අසරණයින් සමූහයකින් නොවේද..?

බුදු රජානන් වහන්සේට වූවද නිසි මාවත සොයා ගැන්මට වසර හයකට අධික කාලයක් අපමණ වෙහෙසවන්නට වූ කල එපමණ පෙරුම් පුරා නැති අප වැන්නවුන් කවුරුන්ද..?

ජීවිතයේ තරුණ වයසේදී එනම් වයස 24දී පමණ පැවිදි වූ මා හටද ජීවිතය පිළිබඳව හෝ සසර පිළිබඳව මහා අවබෝධයක් නොවූ කල..? බාල කළ පැවිදි කල අයවළුන් ගැන කෙසේ නම් වරදක් සිතන්නද..?

ලෝකය කුමක්දැයි දකින්නට ඒ තුල සැරි සරා බැලීමට ඔවුන් තුළ වූ ආශාවන් ලොවට බියෙන් සගවාගෙන ජීවත්වන මෙම පිරිසේ බොහෝ දෙනෙක් තමාට හැකි වූ වහාම තමා පතන ලොව කරා පියඹා යෑම කරනු ලබන්නේය.

ඉතිරිවන බොහෝ දෙනෙක් එම පියවර ගැන්මට බිය වන්නා වූත්, දුක් විඳිමට වෙයැයි සිතා පසු බාන්නවුත් වන අතර තවත් පිරිසක් තමාට ඇවැසි කරුණු පන්සල තුළම රැදී සිටිමින් සපුරා ගැනීමට මාර්ග පාදා ගත්වුන්ය.

අල්පයක් වන මෙයට වෙනස් පිරිසක්ද සිටිය හැකි නමුදු, මා හට නම් සසර පිළිබඳව අවබෝධයෙන් සහ නිවන පමණක් අරමුණු කරගෙන පැවිදි දිවිය තුල රැදී සිටින්නන් හමු වී නැති බව අකමැත්තෙන් හෝ කියන්නට සිදු වී ඇත.

එසේ කීමෙන් දැනට පැවිදි දිවිය තුළ රැඳී සිටින්නන් හට මදි පුංචි කමක් කිරීමට මා අදහස් නොකරමි. ඇත්තෙන්ම ඔවුන් අසීරු කටයුත්තක නියැළි සිටින්නෝ වෙති. කැමැත්තේන් හෝ අකමැත්තෙන් ඔවුනට එම දිවිය ගෙවීමට සිදුව තිබේ.

ඒ වෙනුවෙන් ඔවුනට බොහෝ විට ලැඛෙන්නේ බත් ව්‍යාංජන සහිත දෙවේලක දානයකුත් පිරිකර සඳහා ලැඛෙනා දෙයකුත් පමණි.
ඒ හැර රාත්‍රී ආහාරය අහිමි කරවීමත් දරුණු මානසික පීඩනයකුත්, බිඳුනු සිහිනත් ඔවුනට නිරායාසයෙන්ම ලැබී ඇත.

එක් අවස්ථාවකදී සමාජයේ ඉහළින්ම තබා වැදුම් පිදුම් ලැබීමත්..
තවත් විටක කොන්කර තැබීමටත් යටත්වූවෝ වෙති.

අළුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් ඔබ සතුටු වන මොහොතේ දානය නොමැතිව කල් ගෙවීමට ඔවුනට සිදුව තිබේ.
සෑම තැනකම නැතත් බොහෝ තැන්වල මෙය සිදු වේ.

ඒ හැර තමන් ලබන බත් වේලට සරිලන සේ... අවදි වූ වෙලාවෙ සිට කටයුතු රාශියක් ඔවනට පැවරී ඇත.
දානය සඳහා පින් දීමත්, පන්සල් මිදුල් පිරිසිදු කිරීමත්, දානය සාංඝික කිරීමත්, පාංශ=කූල වලට යෑමත්, බෝධිපූජා පැවැත්වීමත්, රාත්‍රී කාලයේ පිරිත් පින්කම් වලට යෑමත් වැනි වැඩ රාශියකි.

මෙයින් පාංශ=කූලය හරි අපූරු දෙයකි.
මළ මිනියක් වටා වාඩි වී පවුලේ නම්බුව පිණිස රැඳී සිටීම දඩුවමක් වැනිය. ගිහියන්ගේ ගෞරවය පිණිස භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් මිනිය වටා වාඩි කරවා තැබීම අද වන විට සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇත.

දින ගණන් එක දිගට නිදි මරාගෙන පිරිත් පිංකම් වලට යෑමට ඔවුනට සිදු වී තිබේ. එක් වස් පිංකම් පැවැත්වූ මාසයක මා පන්සලේ රාත්‍රිය ගෙවා තිබුණේ දින තුනක්(03)ක් පමණි.
අන් සියළුම දවස් වෙනත් පන්සල්වල පිරිත් මණ්ඩප වල ගත කිරීමට මට සිදුව තිබුණි.
අද මා නිරතව සිටින ආරක්ෂක නිලධාරී තනතුර ඊට වඩා බොහෝ සුව පහසු බව කිව යුතුමය.

එක් භික්ෂුන් වහන්සේ නමක් පමණක් වැඩ සිටිනු ලබන පන්සල් අද ලංකාවේ බොහෝ ඇත.එවැනි පන්සලක දිවි ගෙවීම කෙබඳුදැයි ඔබට සිතා ගත හැකිද..?
උණක් හිසරදයක් හෝ වෙන කිසියම්ම හෝ අසනීපයකට හෝ ටිකක් දහවල් වන තෙක් නිදා ගැන්මට ඔවුනට අවසර නැත. දුකකදී වෙදනාවකදී එය පැවසිය හැකි කෙනෙක් නොමැත. පන්සලේ සියළුම කටයුතු ඔවුන් විසින් තනිවම කරගත යුතුව ඇත.

ඒ සියළුම වැඩ කටයුතු නිමා වන විට ඕනෑම සවිමත් කෙනෙකු වූවද විඩාවට පත්වී හමාරය.
එනමුදු ඉවරයක් නොමැත...

රැයෙහිද නින්දක් උරුම නැත...
බණට පිරිතට යා යුතුය.
ඒ මදිවට රැයෙහි කන්නටද එපා යැයි කියති.
තවත් කිව හැකි බොහෝ දේ ඇතත් සියල්ලම පැවසිය යුතු නොවේ.

පැවිදි වූ දා පටන් වසර තුනක් පමණ තනිවම පන්සලේ රැඳී සිටිමින් ඒ සිටළු කටයුතු තනිවම කරගෙන හුන් මා හට ඒ පිළිබඳව කිව හැකි දෑ බොහෝමය.

වස් පින්කම නිමා වූ පසු තවත් වෙනසකට මග පෑදෙමින් තිබිණි. එටය නම් නාරද හිමියන්ගේ වෙන්ව යාමේ උත්සහයයි. බොහෝ කලෙක සිට ඒ සඳහා උත්සහ දරා තිබුණද දිනෙන් දින කල් ගිය එම උත්සහය මල්පල ගැන්වෙන දිනය ආසන්නව තිබිණි.

කොළඹ පළාත් හිමිනමකගේ උදවු උපකාර ඇතිව කොළඹ තරු පංතියේ හෝටලයක වැඩ පුහුණුවන්නකුගේ මට්ටමින් රැකියාවක් සපයා ගැන්මට මග පෑදී තිබිණ.

දිනක් මා හට කළ දැනුම් දීමක් අනුව හිමිදිරි පාන්දර හතරට පමන අවදි වූ මා මුහුණ කට සෝදා පිරිසිදුව සූදානම් වී නාරද හිමියන් සමග පාන්දර පහේ බස් රථයේ කොළඹ බලා පිටත් වූයේ පන්සලේ රැඳී සිටි අරුණද කැටුවය.

ගමනාන්තය කොළඹ කොටහේනේ පිහිටි පන්සලක් විය.කලින් සූදානම් කර තිබූ විශාල ගමන් මල්ලක්ද අප විසින් රැගෙන විත් තිබිණි.
එහිදී ගිහි වෙස් ගත් නාරද හිමියන්ගෙන් වෙන්ව ගත් අප නැවත පන්සල කරා පිටත්ව යන ලදි. ඒ මා උන්වහන්සේ දුටු අවසාන අවස්ථාවයි.

එයට දින දෙකකට පසුව රාත්‍රී කාලයේ වෑන් රථයක් පන්සලට වා නාරද හිමියන් සතු සියළුම භාණ්ඩ අරුණගේ මෙහෙයවීමෙන් එහි පටවා,පිටත් කෙරිණි. පන්සලේ කිසිවක් ඉතිරි නොවුනාත් බඳු විය. රූපවාහිනිය,විදුලි පංකාව පමණක් නොව පැදුරු කොට්ට හා පිගන් කෝප්පද ඇතුළු බොහෝ දෑ එහි යැවිණි.

සුමෙධ හිමියන් තම පන්සලට වැඩම කොට තිබිණි. ඉතිරි වූයේ චන්ද විමල පොඩි හාමුදුරුවනුත් මාත් පමණි.
දැඩි නිහැඩියාවක පන්සල් භූමිය ගිලී තිබිණි.

නාරද හිමියන් ගැන විමසන සියළු දෙනා හට දින දෙක තුනකට උන්වහන්සේ ගමෙ ගියා යැයි පැවසීමත්, තාත්තාට අසනීප බැවින් දින ගණන වැඩිවිය හැකි බවත් පැවසීම අපහට පැවරී තිබුණි.

යම් හෙයකින් ගිය කාරිය ඉටු කර ගැනීමට නාරද හිමියන්ට නොහැකි වූයේ නම් නැවත පැමිණිමට උන්වහන්සේට අවස්ථාව තබා තිබිය යුතු විය.

පසුව නාරද හිමියන්ගේ නැවත ආගමනයක් නොවන බව පැහැදිලි විණි.
ඔහුගේ රැකියාව පිළිවෙළක් වී තිබිණි. සිහිනය සැබෑවක් වී තිබිණි.
නැවත නොඑනා පරිදි අපගෙන් වෙන්ව යාමට නාරද හිමියන් හට පිළිවන් වී තිබිණි.
අද වන විට ඔහු ඔස්ටේ‍රලියාවෙ රැකියාව කරමින් රැඳී සිටිනු ලබන්නෙකි.

අහින්සක යහපත් මිතුරකු අපගෙන් සමු ගෙන තම සිහිනයන් සොයා පියඹා ගොස් තිබිණි.

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

ආවා.. ආවා... ඕන්න ආවා...

දවස් නවයක අති සාර්ථක දීර්ඝ රාජකාරි සමයක් නිම කරමින් ඕන්න අද උදේ ගෙදර ආවා.

යන්තම් අද දවස නිවාඩු.

උදේම ගෙදර ඇවිත් කාලා බීලා පටන් ගත්තා පහු ගිය ටිකේ මට මග ඇරුණු හිතවතුන්ගේ පොස්ට් ටික කියවලා ඉන්න.

ඒ අතරින් අපේ 'දුකා'ගේ වර්ෂ පූර්ණයට මගේ සීතල සුභ පැතුම් (මොනවා කරන්නද මම එනකොට පරක්කු වෙලා වැඩියිනේ.. දැන් උණුසුම ගිහිල්ලා නෙව..) පිරි නමන්නත් මම කැමතියි.

'තිස්ස අයියා'ගේ වසර දහතුනක සොඳුරු සිර දිවියටත් එලෙසින්ම සුභ පතනවා ඕං...ජය වෙවා..!

දුකා සහ තිස්ස අයියා දෙන්නටම කියන්න තියෙන්නේ එක දෙයයි..

"ඔය කොළා වගේ අමාරුවෙන් හරි ඉස්සරහටත් වැඩෙ ඇගෙන යං..."
(බනින්න එපෝ...)

ඔක්කෝම ලිපි ටික කියවගෙන ගියා..
හැබැයි කවුරුවත් තරහා වෙන්න එපා ප්‍රතිචාර දැක්වූවෙ නැහැ කියලා.
මට වෙලාවත් එක්ක පොඩි පුස්නයක් තියෙනවා ඕං..
පස්සේ හරි පුළුපුළුවන් හැටියකට කොටලා දාන්නංකෝ හොඳේ...

දිල්...
දුකා...
තිස්ස අයියා...
වත්...
කතන්දර...
අනුරාධ...
චෙජනා...
සැහැල්ලූව... ඇතුළුව සියළුම දෙනාගේ පෝස්ට් කියවන ලදි.

මගේ ලිපි වලට ප්‍රතිචාර දක්වා තිබූ සියළුම සහෘදයින්ටත් මගේ අවංක ආදර ස්තුතිය...
සියළු දෙනාටම ජය වේවා...!
මටත් ජය වේවා...!(මංමවත් කියාගෙන බලන්ට...)

17 June 2010

පන්සලේ ජීවිතේ... මිතුරන් දෙදෙනෙක්...

විස්තරාත්මක වශයෙන් කියන්නට ගියහොත් දීර්ඝ විස්තරයක් කල යුතු නමුත් සුපුරුදු පරිදි මගේ ඇති ලිවීම සඳහා වූ කම්මැලිකම හේතු කරගෙන ඉතාමත් කෙටි කොට දැක්වීමට අදහස් කරනු ලබන චරිත දෙකක විස්තර මෙහි සඳහන් කරනෙමි.

මොවුන් දෙපළ මා හට මුලින්ම මුණ ගැසුණේ මා සිතනා පරිදි පන්සලට ගොස් දින තුනකින් පමණ විය හැක.
එක් අයකු නමින් රූපරත්න නම් විය.
කෙසග, සුදුමැලි සිරුරකින් හෙබි හෙතෙම කඩිසර ගමන් විලාසයක් ඇත්තෙකි.
අධිකරණ අංශයේ සුළු සේවකයෙකු වූ අතර විශ්‍රාම ලබන්නට ආසන්න වයසේ පසු විය.

අනෙකා දයාසේන නමි.
මිටි,මහත කාල වර්ණ සිරුරැති මොහු විශ්‍රාමික තැපැල් සේවකයෙකු වූ අතර
ඉතා මන්දගාමී ස්වරූපයක් ඉසිලීය..

පන්සල ගැන කීමෙදී සුවිශේෂී චරිත දෙකක් වූ මොවුන් දෙදෙනා..
මා එහි යන කාලය වන විට පන්සලේ ප්‍රධාන හා එකම දායකයින් දෙදෙනා බවට පත්ව තිබිණි

මොවුන් දෙදෙනා පිළිබඳ කීමෙදී පන්සලේ අතීතය පිළිබඳව වූ කතාව අනිවාර්යයෙන්ම කිව යුතුව ඇත.
නමුත් එය වෙනම කතාවක් ලෙසින් ඉදිරිපත් කල යුතු බැවින් දැනට කෙටියෙන් මොවුන් ගැන හැදින් වීමක් පමණක් කිරිම මාගේ අරමුණයි.

දින පතාම හෝ අවම වශයෙන් දින දෙකකට වතාවක්වත් සවස හය පමණ වන විට මෙම දෙපළ පන්සලට එනු ලබන අතර..නාරද හිමියන් හෝ අන් කෙනෙකු කතාවට අල්ලා ගන්නා අතර එම කතාව අවසන් කරනුයේ රාත්‍රී අට නවය පමණ වූ පසුවය..
කතාවට යමෙකු නොවුන හොත් ඔවුන් දෙදෙනාම අතීත කතා කියමින් පන්සල ඉදිරිපස බැම්මෙ වාඩි වී සිට කාලය ගත කොට නිවෙස් බලා පිටත්ව යනු ලබයි.

මෙයින් රූපරත්න අයියා බොහෝ ක්‍රියාශීලී අයකු වූ අතර පිරිමි දරුවකු හා ගැහැණු දැරිවියකගේ පියා වූ අතර..
වැඩිමහළු පිරිමි දරුවා එවකට යම් රැකියාවක නිරත වූ තරුණයකු විය.
කෙතරම් කර දඩු උස් මහත් වූ තරුණයකු වූවද රාත්‍රී කාලයේ කිසිම දිනක අසල නගරයේ වූ අවසන් බස් නැවතුමෙන් බැස නිවස බලා එන ගමන තනිවම කිරීමට ඔහුහට ඉඩදුන්නේ රූප රත්න අයියා නම් නොවෙ..
මොන රාජකාරි තිබුනද පුත්‍රයා වැඩ ඇරී නිවසට එනු ලබන මොහොත වන විට කඩි මුඩියේ නගරයට දුවන ඔහු දරුවා ගෙදර ගෙනවිත් ඉන් පසු අන් රාජකාරී සඳහා යොමු වෙයි.

මෙම ක්‍රියාව ඔහුගේ මිතුරු දයාසේන අයියාගේ පවා සිනහවට ලක් වූ කරුණක් වී තිබුණි. නමුත් එම ගමන මා ද්නා අන්දමට අදටත් එසේමය..
දියණිය එවකට උසස් පෙළ දෙවන වරට පෙනී සිටින බව කතා බහෙන් දැන ගන්නට ලැබුණු අතර..
නිතරම තම දරුවන්ගේ දැන උගත්කම් පිළිබඳව ඉහළින් වර්ණනා කිරීමට නිතරම කැමැත්තෙන් සිටි රූපරත්න අයියා..
ගමෙ වූ අන් සියළුම දරුවන් හෙළාදකිමින් කතා කිරීමද ඒ අතරතුර අනිවාර්යයෙන්ම කරනු ලබයි.

මෙයින් දයාසේන අයියා රූපරත්න අයියාට වඩා හාත්පසින්ම වෙනස් චරිතයකි.
වරදක් කරන ලද්දේ නම් තම දරුවන් පවා විවෙචනය කිරීමට පසුබට නොවන හේ...
යම් යම් කරුනු මත සිය දරුවන් හතර පස් දෙනාගෙන් දෙදෙනෙකු සමග කතා බස් කිරීම පවා අතැර දමා තිබුණි.

මෙම දරුවන් අතරින් වැඩිමහළු දියණිය පෙර කලෙක ගමෙ ආන්දෝලනාත්මක චරිතයක්වී ඇති බව මා හට දැන ගන්නට ලැබුණේ පසු කලෙකය..
එසේ ආන්දෝලනයට තුඩු දුන් හේතුව වූයේ..අදටත් පන්සලේ හිමිකාරීත්වය උසුලනු ලබන මාගේ ආචාර්ය හිමියන්ගේද ගුරු හිමියන් වූ පුණ්ණසාර හිමියන් සමග තිබූ සම්බන්ධතාවයක් මත විය.
නමුත් කිසි විටක ඒ පිළිබඳව දයාසේන අයියා අප සමග කිසිවක් පවසා නැතත් ඔහු නොමැති තැන්වල රූපරත්න අයියා වටින් ගොඩින් ඒ පිළිබඳව පවසා තිබුණි.
ඒ කතාව පිළිබඳව නියම වාර්ථාව මා හට ලැබුණේ විලී අයියා වෙතිනි.

පන්සලේ වර්ථමාන පරිහාණියට හේතුවූ කරුණු අතර ප්‍රධාන සාධකයක් වූ එම පුවත ගම්වාසීන් අතර මෙන්ම අවට පන්සල් අතරද කුප්‍රකට කරුණක් විය.

මොවුන් දෙදෙනා ඇත්තෙන්ම පන්සලට මහා ශක්තියක් වූ බවද කිව යුතුමය..
කවුරුන් නැතත් තනිවම හෝ පන්සලේ සෑම කටයුත්තකදී ඉදිරිපත් වන මෙ මිතුරු යුවළ තමාට හැකි පමණින් ඒ කාරියන් ඉටු කරලීමෙහි ලා වෙහෙසෙති..
ඒ අතරතුරම අන් සියළුම ගම් වැස්සන් පුංචි කොට කතා කරති.
කිසි විටකත් අන් කිසිම අයකුට මූලික වී කිසිදු කටයුත්තක් කරන්නට දෙන්නට මොවුන් දෙදෙනා ඉඩ දෙන්නේ නම් නැත.

ආර්ථීක අතින් තරමක් සමෘද්ධිමත්ව සිටි දයාසේන අයියා..
රබර් වතු හා ගොඩ මඩ ඉඩකඩම් කිහිපයක හා විශ්‍රාම වැටුපකට හිමිකම් කී අතර අවශ්‍ය තැන් වලදී පැහැදිලි දායකත්වයක් දරමින් මිල මුදල්ද පන්සලේ පින්කම් සඳහා යොදවන ලද අතර.. පාරම්පරිකව ලද ඉඩකඩම් කිහිපයක් සිය සහෝදරයින් සමග ආරවුල් ඇතිකර ගනිමින් භුක්ති විඳිනා අතරම තමා කරනු ලබන කාර්යයන් තමාම සාධාරණීයකරණය කරමින් කතා කරනු ලබන රූපරත්න අයියා නම් මුදල් ඇදීමට කිසි විටකත් උත්සුක නොවන බවද කිව යුතුය.
පන්සලේ පින්කම් වලදී ආධාරපත්‍රයක් ලියාගෙන ගෙවල් ගානේ ගොස් එයට ආධාර මුදල් එකතු කිරීම නම් ඔහු අතින් විය.
මෙම මුදල් සම්මාදම පිළිබඳව ගම්මුන් විවිධ කතා කියූවත් එම කියූ පරිදි ඔහු විසින් මුදල් වංචා කලාදැයි මා හරියට කීමට නොදන්නෙමි.
මා පැවිදි වූ පසුව කිසිම දිනක ඔහුට උවමනා පරිදි ආධාරපත්‍ර එකතු කිරීමටනම් මාවිසින් ඉඩකඩ දෙනු නොලැබීය..
එසේම ප්‍රධානය කල සෑම මුදලක් පිළිබඳවම විස්තරයක් දැන්වීම් පූවරුවක් සාදා එහි ප්‍රදර්ශනය කළ බැවින් ආදායම් හා වියදම් පිළිබඳව පැහැදිලි විනිවිදතාවයක් සහිතව කටයුතු කළ බැවින් කිසි විටක කිසිවකුට වංචාවක් කිරීමට ඉඩ කඩ අහුරා දමන ලදි.

පන්සලේම කොටසක් ලෙසින් කටයුතු කල මොවුන් දෙදෙනා එක් පසකින් පන්සලේ වාසය කල සියළුම භික්ෂූන්ට සවියක් වූ අතරම.. බාහිර ගම්මුන් හා එක්ව කටයුතු කිරීමට නොහැකි වන සේ හරස් කර ගොඩ නගා තිබූ පවුරක්ද වූ බව කිව යුතුමය.

සෑම පින්කමක් අවසානයේම වැඩම කලාවූ පළාත් වාසී නායක හිමිවරුන්ගේ නොමඳ පැසසීමට ලක්වන මොවුන් දෙදෙනා..
පන්සලේ පැවති එකම පින්කම වූ කඨීන චීවර පූජා පිංකමට අඳාළව ගමවටා සැරි සරන පෙරහැරෙහිදී සැගවී සිට කරනු ලබන කොළුරැලගේ ගල් පූජාවටද අඩු නැතිවම හිමිකම් කියන ලදි.

.................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

ජීවිතයේ එක් විරාමයක නැවතී...

ඔන්න අද තමයි කාලෙකින් ලියන්න වෙලාවක් හම්බ උනේ..
පහු ගිය දවස්වල නහය ගාවටම එරිලා හිටියේ..

වැඩ කිවුවහම එක දිගට.
අද නම් උදේම ගෙදර ඇවිත් නාලා කරලා පොඩි නින්දක් එහෙම දැම්මා..
මොකද ඉතින් මම හෙට ඉදලා වාර්ථාගත ඩියුටියක් අදින්නයි හිතාගෙන ඉන්නේ..
එක දිගට දවස් නවයක්(09) අඛණ්ඩ රාජකාරී මුරයක් අඳින්නයි වෙලා තියෙන්නේ..

මම දැනට සේවය කරන තැන මම අනිවාර්යයෙන්ම දවසක් ඇර දවසක් වැඩ කරන්නම ඔනනේ..ඊට අමතරව මම අර කලින් වතාවක් සඳහන් කල මට මාරුව ලැබුන තැනත් දවස් කිහිපයක් වැඩ කරන්න වෙනවා..
හේතුව තමයි එතන දවසක් ඇර දවසක් වැඩ කරන මගේම සහෝදර නිලධාරියෙකුගේ දියණිය විවහා වන නිසා ඒ වෙනුවෙන් ඔහුට නිවාඩු ලබා දීමට අවශ්‍ය වීම.

ඉතින් මෙහෙ දවසයි එහෙ දවසයි ආදී වශයෙන් එක දිගට දවස් නවයක් ඇදලා තමයි මට ආපහු එන්න වෙන්නේ..
අපේ ඉතින් නිලධාරීන් අමතරව නැති හින්දා වෙන කරන්න දෙයක් නැහැ.
අනිත් එක මෙ ස්ථාන දෙකේම වැඩ කරන්න ස්ථාන භාර නිලධාරීවරු හතර දෙනෙක් ඔන.
ඉතින් එක්කෙනෙක් හරි නිවාඩු යනකොට තව කෙනෙක් ඒක ආවරණය කරන්නම එපැයි.
මමයි ඔය නිවාඩු යන ගුණසේකර අයියයි විතරයි මෙ ස්ථාන දෙකේම පළපුරුද්ද තියෙන අය විදියට ඉන්නේ.ඒ හින්දා අපි දෙන්නා නිතරම වාගේ ස්ථාන දෙකේ අඩුපාඩුවකදී ඉදිරිපත් වෙලා රාජකාරිය කළයුතුයි.
ඒ ගැන ඒ මදැයි..හෙට ඉදලා දවස් නවයකට පස්සේ හම්බ වෙමු.
...............................................................................................................

පහුගිය දවසක තිස්ස අයියා ආවා මාව බලන්න.
කලින් මම හිතාගෙන හිටියේ ගම්පහ පැත්තට ගිහිල්ලා හරි අයියව හම්බ වෙනවා කියලයි.
ඒත් නොවැලැක්විය හැකි හේතුවක් මත මට නිවාඩු දවසේ වැඩට යන්න උනා මම අර කියපු මාරුව ලැබුන තැනට.
උදේ තිස්ස අයියා කතා කලහම මම කිවුවා වෙච්ච දේ..

අපරාදේ කියන්න බැහැ..
තිස්ස අයියා මම ඉන්න තැනටම හොයාගෙන එන්නම් කිවුවා.
කිවුවා විතරක් නෙවෙයි ආවා නෙව.
තනියමත් නෙවී අපේ යෝගී සහෝදරයත් පංගාර්තු කොරානම ආවා නෙව.

හැබැයි ඉතින් මම රාජකාරි කලේ ආයෝජන කලාපෙ තැනක වෙච්ච හින්දා තිස්ස අයියලව ඇතුළට ගන්න විදියක් තිබුනෙත් නැහැ.
ඒත් වැඩපලේ ඉන්න සාමාන්‍ය සේවකයෙක් උන ජයා අයියාට පින් සිද්ධ වෙන්න යන්තම් තේ එකක් දී ගන්න හම්බ උනා. (ජයා අයියා නිවන් දකින්න ඔන)

ඒත් ඉතින් තිස්ස අයියා මම හිටිය තත්වෙ අවබෝධ වෙලා හිටිය නිසා අවුලක් නැහැයි කියලයි මම හිතන්නේ..

කොහොම හරි ටික වෙලාවක් අපි කතා කර කර හිටියා..හරිම සුන්දර මනුස්ස පරාණයක්..
යෝගීත් එහෙමයි. ලස්සන කොල්ලා..ආ තිස්ස අයියත් එහෙම තමයි.

ඔය හමුවීම අතරතුර තමයි අර අප්‍රසිද්ධ "වෙලේ" කතාව මතු උනෙත්..(අනේ බං තිස්ස අයියේ මගේ කට කහනවා කහනවා වගේ.. කියලා දාන්නමයි හිත..)
කොහොම හරි කතා බස් කරලා ඡායාරූප කිහිපයක් එහෙම අරගෙන තිස්ස අයියා පිටත්ව ගියා කියමුකෝ...

ඊට පස්සේ වෙච්ච වැඩෙ දන්නවද..?

මුලින්ම තිස්ස අයියා එද්දී මම මගට ආවානේ හම්බ වෙන්න.එතන ආයෝජන කලාපේ පධාන දොරටුවක් තියෙනවා.
තුන් දෙනෙක් පමණ වූ ආයෝජන කලාපයට අයත් ආරක්ෂක නිලධාරීන් එතන ඉන්නවා.

තිස්ස අයියා ගියා විතරයි අර අතන හිටපු එක ආරක්ෂක නිලධාරියෙක් මගෙන් අහනවා..

යාළුවා ගියා නේද..? එයා මුස්ලිම් කෙනෙක් නේද කියලා...?

අනේ නැහැ..අයියේ ඒ මොකද එහෙම කිවුවෙ..? කියලා මම ඇහැවුවා..

ඇයි "අස්වලාම් වලෙක්කුම්" කියාගෙන නේද කාර් එකෙන් බැස්සේ..?පෙනුමත් ඒ වගේ නේද..?

කාලා වරෙන්කෝ.. ඇත්ත නේන්නම්..එහෙම කියාගෙන නේන්නම් මෙ යෝධයා ආවෙ..
මට බඩ පැලෙන්න හිනා..ඔන්න තිස්ස අයියේ..උඹ නොදන්න ප/ලි සටහන..

ආ..අමතක උනා ඒ අතරතුරෙ මට තිස්ස අයියාගේ අර කලින් ලිපියේ සඳහන් උන තෑග්ගත් හම්බ උනා.
(රවා කතාවක් හිතින් මවාගෙන හිටියට එහෙම දෙයක් උනේ නැතෝ..)

කොහොම උනත් තිස්සී අනුරාධී දොඩන්ගොඩී අක්කාගෙන් එක ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි..
අනේ අක්කේ තරහා නැතිව ඔය පුංචි පැටවු දෙන්නාට කයි කතන්දර කියා දෙන ගමන්ම අපේ ලොකු බබාටත් "වෙලක්"කියන්නේ මොකක්ද කියලා පහදලා දුන්නනම් බොහෝම පින්.
උන්නැහේ ඇත්තටම "වෙල්" අඳුරනවා නම් ඉක්මන් කරලා අර පාවිච්චි කරන උපැස් යුවලේ කාච දෙක මාරු කරලා දුන්නානම් තවත් පින්. හිහ් හිහ්..(ඔන්න මම මුකුත් කිවුවෙ නැහැ...හරී...)

ඉතින් දැනට මෙ මදෑ..

පහු ගිය දවස්වල අතෑරුන සියළුම ලිපි කියෙවුවා..
රවා..
දිල්..
වත්...
දුකා...
කතන්දර...
සැහැල්ලූව..
මධූ..
බ්ලොගී..
කසා පබ්බත...
මාතලන්..

ඇතුළුව තවත් බොහෝ ලිපි..
ඒත් ඒවාට කමෙන්ට්ස් දාන්න වෙලාවක් තිබුනේ නැහැ. සමා වෙන්න ඔන.

ඒ අතරින් රවා ලියපු ලිපියක් මගේ විශේෂ අවධානයට ලක් උනා කියලා කියන්නත් ඔන.
උන්නැහෙත් අසනීපෙන් නෙව මම ඔං උන්දැටත් සුව පතලා කයියක් ලියලා දැම්මා වගේ මතකයි.

ලොකුම විපත්තිය තමයි මම මෙ වැඩ අස්සෙත් පන්සල් ජීවිතේ ගැන ලිපියක් ලිවුවා..නමුත් පස්සේ ඒක පෝස්ට කරන්න බලන කොට වැඩෙ දෙල් වෙලා.

මම සාමාන්‍යයෙන් කරන්නේ වර්ඩ් පෑඩ් එකේ ලිපිය ලියලා පසුව යුනිකෝඩ් කන්වර්ටරය මගින් ලිපිය යුනි කෝඩ් වලට හරවලා පෝස්ට් කරන එක..
ඒත් මම ලියපු ලිපිය පසුව යුනිකෝඩ් වලට හරවන්න බලද්දී.. අකුරු ඔක්කෝම කොටු කොටු වෙලා..
මට ඔය විපත කිහිප වතාවක්ම උනා.
ඒත් හුගාක් වෙලා අරගෙන ලියපු දිග ලිපියකට එහෙම උනහම වෙන දේ හිතාගන්න පුළුවන්නේ..
මට ලිවිල්ලත් එපා උනා.

අනිත් ලෙඩෙ තමයි එක පාරක් ලියපු දෙයක් මට ආයෙත් ලියන්න තියෙන අමාරුව..
ඒත් ඉතින් මම ලියපු සටහන මගේ පන්සල් ජීවිතේ ගැන ලිපි මාලාවට නැතුවම බැරි ලිපියක්..
ඒ හින්දා පුළුවන් උනත් බැරි උනත් නැවත ලියන්න වෙනවා..
ඒත් මුල් ලිවීම තරම් ඒක සාර්ථක නොවෙවී කියලා මට හිතෙනවා..
ඒත් බලමුකෝ උත්සහ කරලා..

ආ දැන් මෙ මදෑ හොඳටෝම..
සිහියක් පතක් තිබුනොත් ඊළග ලිපියත් අදම ලියන්න බලමු.
ඔං මම නැවැත්තුවා.

15 June 2010

සෙමින් සෙමින් ගලා ඇදේ..මගේ ජීවිතේ..

හොදටම වැඩි වෙලා ඉන්නේ..
වැඩිය දේවල් ලියන්න වෙන්නේ නැහැ.
තිස්ස අයියා මාව හොයාගෙන ආවා..
පුදුම මනුස්ස කමක්..
යෝගිත් ආවා..

වෙලේ කතාව මමකියන්නේ නැහැ.

හරියටම පැය 84ක් රාජකාරි කරලා ඇවිත් අද උදේම බයික් එක සර්විස් කරලා අඩු පාඩු හදා ගත්තා.
ලබන මාසේ මුල් සතියේ මම කතරගම යනවා.

රවා මට සමා වෙයන් මම තනියම වැඩෙ පටන් ගත්තා...
දිල්.. තිස්ස අයියාට බනින්න එපා.
වත්..


රබ්සෙ බනා දී ජෝඩි.
මම ආසාම කරන ෆිල්ම් එකේ සින්දු ටික පසුබිමෙන් ඇහෙනවා.
ටානි..................
ඇයි මට මෙහෙම කලේ.....

කමක් නැහැ මම ඔයාට ආදරෙයි මගේ ජීවිතේ තියෙන කල්ම
තිස්ස අයියේ..
මම උඹට පස්සේ ලියන්නම්.
ඔන්න මම වෙලේ කතාව ලිවුවෙ නැහැ.

හෙට ආයෙත් මම වැඩ.
අනිද්දානිවාඩු.
ඊට පස්සේ එක දිගට දවස් 10ක් මම අඛණ්ඩව වැඩ කරන්ඩ ඔන.
අපේ ගුණසේකර අයියාගේ දුව බඳිනවා...
ඒ හින්දා මට ගුණසේකර අයියාගේ ෂිෆ්ට් එකත් අදින්න වෙනවා.
ඒකට හිලවු වෙන්න මම ලබන මාසේ 3,4,5,6.7නිවාඩු....
මම කතරගම යනවා...
දැන් ඇති මට මීට වඩා ලියන්න බැහැ.
මම අනිවා පන්සල් කතා ලියනවා.
කවුරුවත් කලබල වෙන්න එපා.මම ලියනවා.ලියනවා කිවුවොත් ලියනවාමයි.
තිස්ස අයියේ භාණ්ඩෙ එළට වැඩ...

දැන් මට හොදටම වැදිලා ඉන්නේ.
අකුරු මක මකා හරි අමාරුවෙන් මෙ ටිකත් ලිවුවෙ.

මම දන්නේ එක දෙයයි..

මම ටානිට ආදරෙයි.
මගේ පණටත් වඩා ආදරෙයි.
එයා වෙන කෙනෙක් බැන්දා තමයි ...ඒත් මම ආදරෙයි.

මට වෙන කිසිම කෙනෙක් එපා.
ටානි මම ඔයා හින්දා මැරෙනවා.
මම දන්නේ එච්චරයි.
මම ඔයාට ආදරෙයි.

07 June 2010

බෝතලයක් සහ අන්නාසි ගෙඩියක්...

හම්මේ...හොඳ පණ ගියා..
මෙ ටිකේම වැඩ..
දැන් දවස් දෙකක්ම එක දිගට දහවල් වරුව පමණක් රාජකාරි කලා.
රෑට යන්තම් ගෙදර ඇවිත් නිදා ගන්නවා.
හෙටත් වැඩ හැබැයි පැය විසිහතරෙම ඉදලා තමයි එන්න වෙන්නේ..
ඒ කියන්නේ අනිද්දා උදේ තමයි ආපහු එන්න වෙන්නේ.

පැය විසිහතරක් වැඩ කරලා පැය විසි හතරක් ඔෆ් වෙලා වැඩ කරන ක්‍රමය වඩාත් පහසුයි.
දිනපතාම දහවල් වරුව වැඩ කරන එක එපා වෙන වැඩක්.
දිගටම රෑ වැඩ මුරය උනත් එපා වෙනවා..ඒත් දහවල් තරම් නැහැ.
දවල් නම් ඔනම නැහැ.

අද නාදුනන අංකයකින් දුරකථන ඇමතුමක් ආවා..
මම හිටියේ වැඩ කරන ගමන්..
එතරම් හුරු පුරුදු නැති පිරිමි හඩක්..
මම ඉතින් කොහොමත් කතා කරන පුද්ගලයා මුලින්ම තමන් කවුද කියලා කිවුවෙ නැත්නම් වැඩි වෙලා කතා කරන්න යන්නේ නැහැ.
ඒත් තත්පර ගාණෙන් උත්තරය ලැබුනා..

"මම මෙ තිස්ස කියලා කෙනෙක්.."

හුට්ටප්පරි ජාලං කිවුවළු..
ලොක්කා ඇවිත් නෙව..
ආයේ ඉතින් ගත් කටටම ඇහැවුවෙ එක දෙයයි.
"අරක ගෙනාවද..?"
"බෝතලේ..බෝතලේ.."

"මොනවද මල්ලි කියන්නේ බඩු හෑව්..."

පිස්සු හැදෙයි කිවුවළු කෝ මෙ රවා..
ලෑස්ති වෙයන් ගේමට සෙට් වෙන්න..
ලොකු අයියා මෙරට කමිං..
බඩුම තමා..

ඉතින් ආගිය තොරතුරු ටිකක් කතා කරලා ළගදීම දවසක හමු වීමෙ අරමුණෙන් කතාව අවසන් කලා..
දැන් තියෙන්නේ රවා සෙට් කර ගැනීම..
අපරාදේ කියන්න බැහැ ඊට ටික වෙලාවකට පස්සේ වත් කතා කලා..එයත් හරි..

තිස්ස අක්කේ ලෑස්ති වෙන්න..
ගෙවල් හෝදන්න සිද්ධවෙයි රවා එනවා..
මාත් එනවා..
සොදුරු සිතත් එනවා..

ඔන්න ඔහොමයි අද දවස ගෙවිලා ගියේ..

ඊයේ රෑ වැඩ ඇරිලා ඇවිත් ගමෙ ගියා.
මගේ පරම්පරාවෙ ඉතුරු වෙලා හිටිය වැදගත්ම හා වැඩිහිටිම පුරුක ජීවන ගමන අවසන් කරලා යන්න ගිහින්.

තව කිහිප දෙනෙක්ගෙන් පස්සේ මගේ පරපුරේ අයට වාරේ එනවා.

අම්මා සෙනසුරාදා කතා කරලා කිවුවා..
"පුතේ .............අයියා නැතිවෙලා.."

මම ගමෙ යන්නේ නැති වග අමුතුවෙන් කියන්න ඔන නැහැනේ..
ඒත් ඉතින් මෙකට නොගිහින් ඉන්න මට බැහැ..

මට මුළින්ම පිරිත් පොත කියා දුන්නේ .............අයියායි.
ගිහි පිරිත් කණ්ඩායමක නායකයා වූ ඔහු ප්‍රමාණයෙන් ඉතා කුඩා පුද්ගලයෙක්..
මම හිතන විදියට අඩි හතර හමාරක්වත් උස නැහැ. ඒත් ඔහු ගමෙ සිටි මා ගරු කල පුද්ගලයින් කිහිප දෙනාගෙන් එක් අයෙක්..

මෙ වෙලාවෙ මට මතක් වෙනවා මට වයස අවුරුදු අටක් විතර කාලේ සිද්ධ උන දෙයක්.

ගමෙ කවුරුන් හෝ කෙනෙක් මිය ගිහින් තිබුනා..මට හරියටම මතක නැහැ ඒ කවුද කියලා..
කොහොම නමුත් මාත් තාත්තා පසුපස වැටී ගමෙ කනත්තට ගිහින් තිබුණා..

වෙලාව උදේ වරුවක්..

තාත්තා ගොස් තිබුනේ වල කපන අයට කෑම බීම ගෙන ගොස් දීමටයි.
තවත් කිහිප දෙනෙක්ම මෙ සමග ගිහින් තිබුනා..

ඒ ගිය අය පැරණි මිනී වලවල් පෙන්වමින් යම් යම් පැරණි මතකයන් අවදි කරමින් සිටියදී අප අතර සිටි නෑදෑ කමින් මටත් බාප්පා කෙනෙක් වන අයෙක් කෝටුවකින් යම් තැනක් සනිටුහන් කරමින්
"ඊ ළගට ඉතින් .........අයියා තමයි ඉන්නේ.."
"මෙතන තමයි වල දාන්න වෙන්නේ" කියා පවසන ලද අතර..
එතැනම සිටි .............අයියා එය කිවූ තැනැත්තා දෙස බලා අහිංසකව සිනාසුනා මට අදටත් මතකයි.
අපේ තාත්තා සහ තවත් අයෙක් අර කිවූ කෙනාට බැණ වැදුන මුත් ..............අයියා කිසිවක් කියනවා මට මතක නැත.

කාලය ගත වී යන ලද්දේ පුදුමාකාර අන්දමිනි..

............අයියා හට මිනීවල සනිටුහන් කල තැනැත්තා පවුලේ ප්‍රශ්නයක් නිසා..(ඒ කුමක්දැයි මා දන්නේ නැත) වස බී දිවි තොර කරගත් අතර..අර පෙන්වූ තැනම වල කපා මිහිදන් කරන ලදි..

.......... අයියා..එයින් වසර විසි තුනකට පමණ පසු එළඹි මොහොතක කිසිදු අපහසුවකින් තොරව ගේ පිටුපස සිට පැමිණ ඉස්තෝප්පුවෙ තිබූ පුටුවෙ වාඩිවී කතා කරමින් සිටි අතරම එක් වරම හුස්මක් ඉහලට අදිමින්ම එක් සැනෙන් මිය ගොස් තිබිණි.

එයයි මා හට කිව යුතු වූ කතාව...

......................අයියේ ඔබ කරගත්තා වූ පින් බලයෙන් නිවන් සුවයම අත් වෙවා...!

ඉතින් ඊයේ රෑ මම මළ ගෙදර ගියා..
මා උපැවිදි වූ පසු ගමෙ ප්‍රසිද්ධියේ හැසුරුණු පළවෙනි අවස්ථාව...

බයික් එක මිදුලේ නතර කොට කෙලින්ම මදුල මැද සිටි පිරිස් පසු කරමින් ගේ ඇතුළටම යන්නට මට හැකිවුනි..

නමුත් මද වෙලාවකින් පිටු පස හුන් අය මා හදුනා ගත් බව නැගුණු ශබ්ද වලින් මා හට පැහැදිලි විණි.

කෙසේ නමුත් ගෙට ඇතුළුවනවා හාම..
.............. අයියාගේ බාල දියණිය එක්වරම මා හදුනාගෙන ඉදිරියට පැමිණි අතර ඒ පසු පසම වැඩි මහළු දියණියත් පැමිණි අතර ඔවුනට ආචාර කරමින්ම සාලය මැද හොවා තිබූ දෙනට ආචාර කර ඔවුන් සමග වචන කීපයක් දොඩා එතැනට පැමිණි ඔවුනගේ මවද කිසිවක් විමසූවෙන් එයටද පිළිතුරු දී ඒ වන විටත් බීමත්ව ඉස්තෝප්පුවෙ කිසිවකු සමග තරමක් උස් හඩින් කතා කරමින් සිටි වැඩිමහළු පුත්‍රයා අසල වාඩි වූ අතර..ඒත් සමගම බාලයා වූ පිරිමි දරුවා නොඒසේනම් මගේ සුවච කීකරු ගොලයාද පැමිණි අතර ටික වෙලාවක් මරණය සිදු වූ ආකාරය පිළිබඳව කතා කරමින් සිට නැවත මරණයේ වැඩ අවසන් වන තෙක් නොබී සිටින පොරොන්දුව වැඩිමහළු පුද්ගලයාගෙන් රැගෙන (එය රකීද නැද්ද යන්න මා නොදන්නවා වූ මුත්..මා සිතනා අන්දමට නම් ඔහු පොරොන්දුව රකිනු ඇත) පිටත්ව ඒමට හැරුණු මුත්
"............ මෙහෙ එන්නකෝ"
යනුවෙන් නැගුණු හඩත් සමග පැමිණ සිටි මගේ පැරණි මිතුරන් කිහිප දෙනෙක් සමගද මඳ වෙලාවක් ගත කොට ඔවුනට දැන ගන්නට ඇවසිව තිබූ ගැටළුවලට කෙටියෙන් නමුත් පිළිතුරු සපයා එම ස්ථානයෙන් අසීරුවෙන් බැහැර වී පැමිණි අතර..
එකා පසු පස එකා මා හා දොඩමළු වීමට සූදානම් වූවත් ඉක්මනින් යෑමට අවශ්‍ය බව පවසා ඔවුනගෙන් සමු ගෙන පැමිණි අතර...

එන ගමන්ම මා නිවසටද පැමිණ අම්මා සහ නංගීත් පොඩි එකාත් බලා වහා යන බව පැවසුවෙ කෑම කෑමට රැදී සිටිය නොහැකි බව දන්වමින්ය...

මල්ලී ගෙතුල සිට නංගීට අඩ ගසා යමක් කියනු ඇසිණි..

ඒත් සමගම ඇය පැමිණියේ උරයකට යමක් දමමිනි.
"ආ අයියේ මෙකවත් ගෙනියන්නකෝ.."

"අනේ නංගියේ දැන් නම් ඒවා මෙවා අරගෙන යන්න බැහැ.."

එවිට ඇය හඩ බාල කර
"අරයා දෙන්න කීවෙ..."
"මෙ පාර වගාවෙන් කපපු මුල්ම මුරේ අන්නාසි.."
"හිත නරක් වෙයි.."
"ඒක නේන්නම්.."අම්මාද පවසයි..

"එහෙමද එහෙනම් දෙන්න.."

එයත් රැගත් මා ආපසු පැමිණියෙමි.
එන ගමන් තිහාරියට ගොස් මා නිතර යන එන කඩයෙන් කොත්තුවක්ද ගෙන නිවසට පැමිණියෙමි..
අන්නාසි ගෙඩිය තාමත් ගෙන ආ පරිද්දෙන්ම තිඛෙ..

ජීවිතේ පළවෙනි වතාවට මල්ලී විසින් හරි හම්බ කරපු දෙයකින් මා හට දුන් එයට කුමක් කරන්නදැයි මට තාමත් සිතා ගත නොහැක...

පටන් ගත්තේ කොතනින්ද දැන් ලියා අවසන්ව ඇත්තේ කොතනින්ද..?
ඔන්න මගේ ලිවීමෙ හැටි...
දැන් ඉතින් මාතෘකාවක් දාන්නත් එපැයි..

ආ ඒ අතරෙ මගේ පාඨක පිරිසත් ඔන්න 100ක් වෙලා..
ඒ සියළු දෙනාටමත් ස්තූතියි.

03 June 2010

පන්සලේ ජීවිතේ...නොදන්න ටකරං...

දැන් කුමක් කරන්නද..?
මෙතුවක් කල් කිසි දින නොකල රාජකාරියක් කරන්නට ආරාධනාවක් ලැබී ඇත..
මා දෙපාරක් කල්පනා කල යුතු විය..
නොදන්නා දෙමළෙට ගොස් චරිගය නහ ගැනීම..?
එය කල නොහැක..
දරුවන්ට ධර්මය කියා දීමට මා කවුද..
කුඩා කල දහම් පාසල් තුනකට පමණ ගොස් තිබුණද ඒ එකකවත් එක දිගට මාසයකට වඩා රැදී සිටියේ නම් එකම එක දහම් පාසලක පමණි..ඒද මාස දෙකක් වැනි කාලයකි.
අනිත් දහම් පාසල් වල දින දෙකකට වඩා නොගිය මා..මෙය කෙසේ කරන්නද..?
ආරාධනා කල අන්දමට එය අතහැර දැමීමද අකරුණාවන්ත කමකි.
එකම සුදුසුකම වූයේ සාමාන්‍ය පෙළට බුද්ධ ධර්මයට ලැබී තිබූ විශිෂ්ඨ සාමාර්තය පමණි.
නමුත් විභාග නිර්දේශය යනු ඉතා සීමිත වපසරියකි..
ඒ තුළ ප්‍රශ්න පත්‍රයකින් ලද සාමාර්ථය මහා දෙයක් නොවන බව මා දැන උන්නෙමි.

නමුත් මෙ අළුත් වැඩෙට අතගසා බැලීමෙ කුමක්දෝ කැමැත්තක්ද සිතේ කොනක රැදී ඇති බවද දැනේ...

ඔන එකක් හාමුදුරුවන්ගෙන් අහලම ඉන්නවා..

නාරද හාමුදුරුවන් රූපවාහිනියට ඇස් අලවා සිටියි.
"හාමුදුරුවනේ අන්න අර ළමයි දෙන්නෙක් ඇවිත් මට උගන්වන්න කතා කරනවා..මොකද කරන්නේ..?"

"පුළුවන්ද..?"
"අනේ මන්දා.."
"ගිහින් බලන්නකෝ.. ඔය පොතේ පාඩමක් කියවලා ප්‍රශ්න දෙකතුනක් දීලා දාන්නකෝ.."
"හා හොඳයි.."

ඇඳ සිටි සරම තද කොට හැඳ කමිසයක් උඩින් දමාගෙන බණ මඩුව දෙසට පිය නැගීමි.

"ආ අයියා එනවා..
එන්න එන්න..."

පන්තිය අට වන ශ්‍රේණීය විය.

මුලින් කියූ පිරිමි ළමුන් දෙදෙනාත්, ගැහැණු ළමුන් දෙදෙනෙකුත් පන්තියේ වාඩි වී සිටිති.
පිරිමි ළමුන්ගෙන් අයෙක් තරමක් උසැති සෙග අයෙකි..
'මධුශංඛ'..
අහින්සක පෙනුමක් ඇති ඒ යටින් මතුව එන දගකාරකමක්ද සහිත ඉතා මලානික ලෙස සිනහා සෙන කොළුවෙකි.
අනිකා තරමක් තරබාරු රත් පැහැ ශරීරයෙන් යුත් මිටි සිරුරකින් හෙබි අයෙකි.
ඒ 'මධුශාන්ත'යි.

කෙල්ලන් දෙදෙනාගෙන් එකියක කලූම කලූය තරමක් පිරුණු ශරීරයකින් යුතු විටින් විට නගන මනමාල බැල්මක්ද සහිත ඇය 'ඩිලානි'ය..
'ධනුෂ්කා'..මගේ සුවච කීකරු ගෝලයින් අතර අදටත් රැදී සිටින්නියකි. සොමාරි ස්වරූපයෙන් යුත් ඇය ඉතා කෙසග සුදුමැලි පැහැයෙන් යුත් පියකරු සිනහාවකට උරුමකම් ඇත්තියකි..

"ඉතින්.. ඔයාලා දැන් පාඩම් කීයක් කරලා තියෙනවද..?"
පිරිස ලහි ලහියේ පාඩම් පොත් පෙරළමින් යමක් සොයනු පෙනේ...
"හත් වෙනි පාඩමත් කලා අට වෙනි එක තියෙන්නේ..
"කවුද මුල ටික කලේ.."

"එක්කෙනෙක් කියලා නැහැ..නාරද හාමුදුරුවොත් එකක් දෙකක් කලා..
විමලා ටීචරුත් කලා.."

"ආ එහෙමද..?"
ළමයි ටික හොදින් පිළිතුරු සපයයි.
සිතට තරමක හයියක් දැනෙනු දැනෙයි.

"ආ හොඳයි.."
"එහෙනම් පෙරළ ගන්නකෝ ඊළග පාඩම.."

මා හට මතක ඇති අන්දමට එය පටාචාරා කතා පුවත විය..
නාරද හිමියන් කියූ අන්දම ක්‍රියාත්මක කලෙමි..

"හොඳයි ළමයි දැන් පාඩම කියව ගන්නකෝ.."
"ඊට පස්සේ එක එක්කෙනා හැමෝටම ඇහෙන්න පාඩම කියවන්න ඔනෑ.."

පිරිස ඇගිල්ලත් ඇසත් එක තැන දුවවමින් කතාව කියවති.

මාද වහ වහා පන්සලේ පැත්තක දමා තිබී පන්තියට යන විට රැගෙන ගිය පොත පෙරළා පාඩම කියවන්නට පටන් ගතිමි..

අවුලක් නැහැ.. පටල ගන්නේ නැතිව ගොඩ දා ගන්න පුළුවන් වෙයි...

"හා හොඳයි කියවලා ඉවරද..?ඔය ළමයාගේ නම මොකක්ද.."
"මධුශාන්ත.."
හා ඔයා මුලින්ම කියවන්නකෝ..

කොල්ලා වැරදි වැරදී කියවාගෙන යයි..
අනික් තිදෙනා මෙකාට වරදින වරදින වචනයක් පාසා සිනා වෙන්නට බලා ගෙන සිටියි..
යමක් වරදාගත් වහාම

"හිකිහිකිස්.."

"ආ හිනා වෙන්න දෙයක් නැහැ..බලමුකෝ අනිත් අයත් කියවනකොට කොහොම හිටීවිද කියලා.."
ළමුන් නිහඩ වෙති..

"ආ.. ඇති දැන් ඔයා...නම මොකක්ද..?"
"ඩිලානි.."
"ආ හොඳයි ඩිලානි කියවන්නකෝ.."

වචන ඉතා පැහැදිලිය..
හොදින් කියවාගෙන යයි..
නමුත් පාඩම විහිළුවක් සේ සලකා හැසිරෙන අන්දමක් කෙල්ලගෙන් දිස් වෙයි..

කෙසේ හෝ හතර දෙනාම ලවා පාඩම කියවීමි..
වාක්‍යයෙන් වාක්‍යය වෙන වෙනම ගෙන මා දන්නා තරමින් පහදා දුනිමි.

අවසන ප්‍රශ්න කිහිපයක් දුන් අතර පාඩමෙ වූ ගාථාවක්ද පාඩම් කරන සේ දන්වා තව විනාඩි දහයකින් පාඩම් ගන්නා බවද දැන්වීමි.

"උභෝ පුත්තා කාල කතා..
.................
මාතා පිතාච භාතාච..
ඒක චිතකස්මිං ඩයිහරේ.."

දෙවන පදය මටද මෙ වන විට අමතකව ගොසිනි.

මද වෙලාවක් ඔවුනට දුන් අතර ඒ අතර තුර කාලයේදී පසෙක තබා තිබූ නාමලේඛණය ගෙන එහි නම් අඩ ගසා පැමිණීම සලකුණු කලෙමි.
'මධුශාන්ත'..
'මධුශංඛ'..
'ඩිලානි'..
'ධනුෂ්කා'... හැර තවත් නම් පහක් විණි.

"ඇයි මෙ අය එන්නේ නැත්තේ..?
හුග දවසකින් එක මාක් වෙලා නැහැනේ"...

"උගන්වන්න කවුරුවත් නැති නිසා එයාලා එන්නේ නැහැ."

"එයාළට එන්න කියන්න මීට පස්සේ මට පුළුවන් හැටියකට උගන්වන්නම්."

"හා දැන් ගාථාව පාඩම් දෙමු බලන්න"..?

ඉදිරිපස පේළියේ වාඩි වී හුන් කෙල්ලන් දෙදෙනා ගෙන් එක් අයකුට කීමි.

කෙල්ලන් දෙදෙනා අතරින් ඩිලානි කිසිදු අපහසුවකින් තොරව පාඩම් දී වාඩි වූයේ ඔවත් වැඩද යැයි මගෙන් අසන්නා වූ බැල්මක්ද නෙතු කොන රඳවා ගනිමිනි..
අන් අයත් වැරදි වැරදී හෝ පාඩම් දුන් අතර මධූශාන්ත ඉතා දුර්වල විය.

"හා හොඳයි ඊ ළග දවසේ එන කොට මෙ වැඩ ටිකත් කර ගෙන එන්න.."
"යාළුවෝ ටිකත් අඩ ගහන් එන්න.."

පළමු පාඩම ගෝලයින්ටත් ගුරාටත් ඉතා වැදගත් විය..

ඉගැන්වීම පිළිබඳව මූලික දැනුමක් ලබනා අතරම..උගන්වන ක්‍රමයේ දුර්වලතාද සෙමින් අවබෝධ වන්නට විය..

තව මෙ පිළිබඳව වෙනත් ක්‍රම යොදා ගත යුතු යැයි සිත පවසන ලදි.

ළමුන් ගිරවුන් කරවනා මෙම ක්‍රමයෙන් දෙපිරිසටම වන අගතිය මනාව පෙනෙන්නට තිබුණත් එය වෙනස් කරනුයේ කෙසේදැයි හරියටම සිතාගත නොහැකි විණි..

සතියක් ගෙවී ගොස් තිබුණි.
ඊ ළග ඉරුදිනට එළඹුණි..
වෙල පහම වැඩ ටික අහවර කර මා සූදානම්ව සිටියෙමි.
එක් ළමයකු වැඩි වී තිබිණි.

එදා ඉගැන්වීමත් වෙනස් විය..
පෙර ක්‍රමයෙන් ආරම්භය ලබා ගත්තද..
පාඩමෙ මැදදී මා කතන්දර කියන්නට පටන් ගතිමි.

මෙ වන විට පන්සලේ තිබූ පොත් කිහිපයෙන් මා හට වටිනාම පොත වී තිබුනේ සද්ධම්මරතනාවලිය වූ අතර උදේ හවස එය දෙතුන් වර කියවා තිබීම නිසා පාඩමට අදාළව කතා කිවීම එතරම් අපහසු වූයේ නැත..
එදින පාඩම වූ වෛරයෙන් වෛරය නොසන්සිදෙන බව කියවෙන නහි වෙරේන වෙරානි ගාථාවට නිමිත්ත වී තිබූ 'කාලි යකිනිය'ගේ කථා වස්තුව විස්තර සහිතව කියන්නට වූ අතර ළමුන් ඉතා ආසාවෙන් අසා සිටින්නට විණි..

කොහොමටත් මගේ කට හඩ ඉතා දැඩිය..
ගැඹුරුය..
පොඩි කාලේ දන්න දන්න හැම කෙනාම කිවුවෙ ඝාණ්ඨාර පූජා කරපු පින කියාය.
මා හට මෙන්ම මගේ මහප්පාගේ දියණිය වන මාගේ ඥාති නැගණියටද මෙ හැකියාව තිබිණි..

කියනු ලබන කතාවට අවදානය යොමු වී තිබීමත්, ළමුන් ආසාවෙන් හා බාධා කිරීමෙන් තොරව අසා සිටීමත් හේතු කරගෙන මගේ ශබ්දය සාමාන්‍ය ගණනට පැමිණ තිබුණි..
මගේ සාමාන්‍ය ගණන යනු සාමාන්‍ය අයෙක් කෑ ගසමින් කතා කරන විටත් වඩා අධික ශබ්ධයකි.

කතාව අවසන් විය..
හාත් පස කිසිදු හැළ හොල්මනක් නැත..
අවට බැලීමි..
අවට පන්ති සියල්ලේම වැඩ නවතා ගුරුවරුන්ද ඇතුළුව සියළු දෙනා කතාව ශ්‍රවණය කර තිබුණි.

අසල පන්තියක දරුවන්ට උගන්වමින් සිටි 'විමලා ටීචර්'ගේ මුවග මඳ සිනහවක් නැගී තිබුණි..

"ආ.. හරි හරි.. දැන් මෙ පැත්තට හැරෙන්න" ඒ 'රේණු අක්කා'ගේ විධානය තම පන්තියේ ළමුන්ටය..

මගේ පන්තියේ සිසුන්ට වැඩෙ අල්ලලා ගොස් තිබුණේ මගේ වදන්වල තිබූ තරමක් අප්සට් කියුම්ද හේතුවෙනි.

"ඉතින් ඒ තරුණයාට.. මුලින් ගෙනල්ලා දුන්න ගෑනු මනුස්සයාට ළමයි නැති හින්දා කොල්ලගේ අම්මා හිතුවා මෙක හරියන මගුලක් නෙවෙයි.. මෙහෙම ගියොත් එහෙම අපේ පරපුරත් ඉවරයි.. මට සැලකුම් ගන්න මුණුබුරෙක් වත් නැතිව යනවා ඒ නිසා තව මගුලක්කරලා දෙන්න ඔන කියලා.."
"හොදට හිටී නේද මධුශාන්තලගේ අම්මලත් ඒ වගේ උනොත්"..
"එපා කියයි"..

මාගේ ඉගැන්වීම මෙබඳු විය..
ළමුන්ගේ අවධානය බිඳුවකින්වත් අඩු නොවෙ..
අද කතා කරලා ඇහැවුවත් ළමයින්ට ඔය කතාවත් එහි ගත යුතු ආදර්ශත් මා එය ඉගැන් වූ අයුරුත් අනිවාර්යයෙන්ම කියන්නට තරම් හැකියාවක් ඇති බව මා දනිමි.

සති දෙක තුනක් ගත වන විට නාම ලේඛණයේ සිටි අයටත් වඩා සිසුන් පිරිසක් පැමිණ තිබිණි. එයට මීට පෙර වසරේදී දහම් පාසල ඇර ගොස් තිබූ දෙදෙනෙකුද ඇතුළ විය..
නව දෙනාගෙන් සමන්විත විය යුතු පන්තිය එකොළොස් දෙනෙකු විය..

ළමුන්ට කතාන්දර සමග පාඩම කියා දෙන නිසා පාඩම් යනු ආසාවෙන් උගත හැකි දෙයක් විණි.
පිළිතුරු ලිවීම සඳහා ප්‍රශ්න ලැබීම ඉතා සීමා සහිත විය.
අප්පමාදෝ අමත පදං ගාථාව කියා දීම සඳහා වූ පාඩම වෙනුවෙන් මා කතා රාශියක් කියා තිබුණි.

'උදේනි රජුගේ උත්පත්ති කතාව' ඇතුළු ජීවිත කතාව...
'වාසුල දත්තා බිසවගේ කතාව..'
'මාගන්ධියාගේ කථාව..'
'සාමාවතී කතා පුවත..'
'ඝොෂක සිටු ගේ කතා වස්තුව..'
'ඛුජ්ජ්ත්තරාවගේ කතාව..'
'සුදත්ත සිටු නොඑසේනම් අනේ පිඩු සිටුතුමා..'
'සුමන මාලාකාරයා..'

කතා රැසක් වෙහෙස නොබලා කියා දුනිමි.

මා කතා කියනා වෙලාවට අන් පන්තිවල අවධානය බිෙඳනා හෙයින් පන්තිය බෝධිය අසල බිමට ගෙන ගියද..
හැකි සෑම විටම අන් සිසුන්ද අපේ පන්තිය අසල ගැවසෙන්නට වූයේ කතා අසන්නටය..

ගුරුවරුන් නොමැති වෙලාවට අන් පන්තියකට ගොස් පාඩමක් කෙටියෙන් කියා දෙන්නට මා හට ලේසි නොවුණේ ඔවුන්ද කුඩා හෝ බණ කතාවක් අසන්නට රිසි වූ හෙයිනි.

මාස පහක පමණ කාලයක් පමණක් උගන්වන්නට සිදු වූයේ ඒ වන විට වසරේ සෑහෙන කොටසක් ගෙවී තිබූ හෙයිනි.

අවසානයේ වසර අවසානයේ බෞද්ධ කටයුතු දෙපාර්තමෙන්තුව සහ තරුණ බෞද්ධ සංගමය මගින් පවත්වනු ලබන විභාගයෙන් පන්තියේ සිසුන් සියළු දෙනාම ඉතා ඉහළින් සමත් වී තිබුණි.

විශේෂත්වය වූයේ ඊට පෙර වසර වල පේල් වූ ළමුන් තිදෙනෙක්ද ඒ අතර සිටීමයි..
ඊටත් වඩා විශේෂත්වය වූයේ එකඳු ළමයකු හටවත් විභාගයේදී ගුරුවරුන්ගේ උදවු ලබා ගැනීමට මා විසින් ඉඩ නොදීමයි.
අන් සියළුම ගුරුවරුන් විභාග දිනවල තම සිසුන්ට අනවශ්‍ය ලෙස අනිසි මාර්ග වලින් උදවු ලබා දීම පුරුද්දකට ගොස් තිබූ කලෙක මෙසේ විභාගයකට ලියද්දී ළමුන්ට බාහිරින් උදවු නොලැබූ එකම වසර වීමයි.

නොදන්නා දෙමළයට ගොස් මාගේ වරිගය නොනසා ගන්නට මට හැකිව තිබිණි...
~ටකරං දිරවා තිබුණි..~

..........................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

ජීවිත ගග අදත් ගලයි...

අද ගෙදර එන්න දවල් උනා...
හරියටම කිවුවොත් ආවෙ දවල් එක විතර වෙලා..
ඒත් ඇවිත් නිදා ගත්තේ නෑ..එන ගමන් මම වැඩ කරන දවස්වලට කෑම කන ගෙදරින් දවල්ට කන්න බත් එකකුත් අරගෙන ඇවිත් නාලා රෙදි ටික හෝදලා දාලා අර නොපු බත් එකත් කොටා බාලා..
ගියා යක්කල පැත්තේ..

අද උදේ පොඩි ආරංචියක් ආවා පාවිච්චි කරපු ලැප් ටොප් තියෙනවා කියලා අඩු ගණන් වලට තැනක.
ඒ ආරංචිය ඇත්තද බලන්න තමයි යක්කල ගියේ..
වැඩෙ ඇත්ත...

යක්කල නියෝ විව් එකේ තමයි බඩු තිබුනේ..

හැබැයි මට ගැලපෙන විදියේ එකක් තිබුනේ නැහැ.

රුපියල් එකොළොස් දාහටත් එකක් තිබුණා.
හැබැයි ඉතින් පලේ පල්..

ටිකක් හරි මට ෆිට් වෙන එකකට තිබුනු එක විසිහත් දාහක්..
ඒත් ඉතින් ඒ තරම්ම හිතට මදි.

කොහොම උනත් අගෝස්තු වෙනකොට ලැප් සිහිනය හැබෑ කරගන්න එපැයි..

වැඩ ගොඩක් තියෙනවා මෙ දවස්වල කරගන්න..
ලැපක් ගැනීම....
බයික් එකේ ටයර් එකක් ගෙවිලා ඒක දාගන්න ඔන..
සර්විස් කරන්නත් තියෙනවා..
කොහොම හරි කතරගම පැත්තේ ගිහින් එන්නත් හිතේ තියෙනවා..
ඊට කලින් බයිසි මොටෝ එක ටිකක් පිළිවෙලක් කරගන්නත් තියෙනවා..

ඔය ඔක්කෝම කරන්න ලේසි නැහැනේ..

අතේ මිටෙ තියෙන විදියට මෙ දවස් ටික මෙහෙමම ගෙවා ගත්තොත් අගෝස්තු වෙන කොට ඔය ඔක්කෝම කර ගන්න බැරිත් නැහැ.

ඒත් පෙරේදා මම හිතුවා රස්සාවෙන් අස් වෙන්න කියලා.. ඒ තරමට එපා වෙලා හිටියේ..
කොච්චර කළත් ඉවරයකුත් නැහැ..හොඳකුත් නැහැ..
ඒ මදිවට නැති චෝදනාවක් ගෙනල්ලා මට විරුද්ධව පරීක්ෂණයක් කරන්න කියලා තීරණය කරලා කියලාත් පණිවිඩයක් ලැබිලා තිබුණා..

ඔය ඔක්කෝම එක්ක මම ඊයේ වැඩට ගියේ දෙකින් එකක් ඛෙර ගන්න හිතා ගෙන..

ඒත්... ගිහිල්ලා මට ලැබුනු පළවෙනි වතාවෙම දීලා ඇරියා වටෙටම..

මට විරුද්ධ චෝදනාව ගෙනාපු අය එහෙම කරන්න හේතුව මොකක්ද කියලා තේරුම් කරලා දීලා.. කැමති දෙයක් කරගන්න කියලා නිකා හිටියා..

හැබැයි කට්ටියට තේරුනා මම යන්න හදනවා කියලා..

පස්සේ චෝදනා ඔක්කෝම අනිත් පැත්ත කැරකැවුනා..

බොරු ගෙතුව අයියලා මොනවා කර ගත්තත් මම දන්නේ නැහැ..එයාලා දැනගන්න එපැයි දිට්ඨ ධම්ම වෙදනීය කර්මත් තියෙනවා කියලා...

ඒත් මම අස් වෙන්න තීරණය කරගෙන ඉන්න බව දැන ගෙන ලොක්කා කතා කරලා යන්න එපා ඔවා අමතක කරලා ඉම්මු කිවුවා.. ඒ උනත් ආයෙමත් මොකක් හරි අහක යන බකට් එකක් ආව ගමන් මෙකලා හොයන්නේ බලන්නේ නැතිව පිස්සු කෙලිනවා කියලා මම දන්නවා.

ඒ හින්දා මගේ අර උඩින් කිවුව සිම්පල් ප්ලෑන් ටික කිරියාත්මක කර ගන්නකං ටිකක් ඉවසලා බලන්න තීරණය කලා..
ඒත් ඉතින් හිත කැඩුනට පස්සේ දිගින් දිගට ඉන්න අමාරුයි...
ඒ හින්දා ඉක්මනටම වෙන අතක් බලා ගන්න ඔන..

අද දවල් වෙලා ආව නිසා හෙට ටිකක් දවල් වෙලා යන්න හිතන් ඉන්නේ..
ඒ හින්දා පන්සල් කතාවත් පස්සේ ලියනවා කියලා හිතුවා..

දැන් දවස් දෙක තුනකට කලින් අරයාගෙන් කෝල් එකක් ආවා.
හැබැයි මට පුළුවන් උනා ටිකක් ගණන් උස්සලා ඉන්න.
මමම දන්නේ නැහැ කොහොම හිටියද කියලා.. වෙනදට ලේසියෙන් කතාව අවසන් නොකරන ඇදගෙන යන්නේ මම උනත් මෙ පාර මමම කතාව නවත්තලා දැම්මා. මගේ හිතේ ඔය පළවෙනි වතාව වෙන්න ඔන මම එහෙම කල.

ඇත්තම කියන්න..පස්සේ මට ඉවසන්න බැරුව ගියා.. ඒත් ආයේ මම කතා කරන්න ගියේ නැහැ.

හැබැයි එදා ඉදලා මම තාම බිවුවෙත් නැහැ.
බොන්න හිතුනේත් නැහැ.

ඔහොම තමයි මෙ දවස්වල ජීවිතේ...
අවුලක් නැහැ.

ටිකක් දැන් නම් නිදා ගන්නත් ඔන...
රෑට කන්න මොනවා හරි ගේන්නත් ඔන..
ආ.. අද ඉඳිආප්ප බඩගිනියි වාගේ..ඔව් ඔව්..

එහෙම කියන කොටයි මට මතක් උනේ මම ඉස්සර බ්ලොග් එක ලිවුවෙ මෙහෙමම නෙවෙන්නං..
මම කරන කියන දේවල් ඔහේ ලිය ලියා උන්නා මිසක් වැඩි බරක්පතලක් ගත්තේ නැහැනේ..
හැබැයි ඒක හරි සැහැල්ලූයි..
මෙ පන්සල් කතා කියන්න ගියාම මෙ තරම් සැහැල්ලූවක් නැහැ.
හැම දේම මතක් කර කර ඒ විදියටම ලියන්න ගියහම ඔළුව බර වෙනවා..

තව ටිකකින් බයික් එකත් අරන් කොහේ හරි රවුමක් ගහලා.. එන ගමන් ඉඳිආප්ප ටිකකුත් අරන් ආවා නම් එළම තමා..
යන්න තැනක් තමයි නැත්තේ...
අනේ ඉතින් ඉස්සර නම් මෙ වෙලාවට කොහේ හරි පන්තියක් ඇරෙන තැනකට වෙලා සෙම සෙවල පාරක් දාගෙන ආතල් එකේ හිටියා නෙව..මටත් ගිය කලක්...

මිහිර මතක සිහින අතර..
පාව යමින් අතීතයේ..
ජීවිත ගග අදත් ගලයි..
රළු කළු ගල් පර අතරේ..

02 June 2010

පන්සල් ජීවිතේ... දහම් පාසල...

පන්සලක් පිළිබඳව කතා කිරීමෙදී අත නොහැරියම යුතු අංගයක් වන දහම් පාසල පිළිබඳව මෙතැන් සිට සඳහන් කිරීමට අදහස් කලෙමි.

මා යන විටත් පන්සලේ දහම් පාසල පැවතිණි.

ඒ සඳහා අවශ්‍ය භෞතික සම්පත් එනම් ඩෙස් බංකු සහ පොත් පත්..
ආදිය අඩු නැතිවම තිබුණි.
බණ මඩුව තරමක් විශාල ලෙස තනා තිබුනු නිසා ඉඩ කඩ ප්‍රශ්නයක්ද නොවීය..
බණ මඩුවෙ වහල දිරා පත් වී බාල්ක කැඩි ගොස් තිබූ නිසා එවැනි ස්ථාන දෙකකට පුවක් ලී ආදිය යොදා ගනිමින් මුක්කු ගසා තිබූ ස්ථාන දෙකෙහි ඇර අන් සෑම තැනක්ම පන්ති පැවැත් වීම සඳහා යොදා ගත හැකි විණි.

ඒ ආකාරයෙන් බලනා කල අවශ්‍ය පහසුකම් නොඅඩුව තිබිණි.

ගැටළුව වූයේ ගුරු හිගයත්..
සිටිනා ගුරුවරුන්ගේ පැමිණීමෙ දුර්වලතාවයත්ය..

එමෙන්ම තිබූ තවත් අර්බුධයක් වූයේ පන්සලට අයත්ව තිබූ දායක ප්‍රදේශවලට සරිලන අන්දමෙන් ළමුන් ඇතුලත්ව නොතිබීමයි.

ඒ කාලය වන විට ස්ථීර ලෙස දායක පවුල් සියයකට එකසිය විසිපහකට ආසන්න ප්‍රමාණයක් සිටියත් පසු කාලීනව මවිසින් ආරම්භ කල වැඩ කටයුතු හරහා එම ප්‍රමාණය පවුල් හාරසීයයකට ආසන්න මට්ටමට ළගා විය.

එවකට සිටි දායක පිරිස හා සසඳන කල ළමුන් සිටියේ ඉතා අවම මට්ටමකය..

වරක් මා පන්සලට ගොස් මාස දෙකකට පමණ පසු දිනක දහම් පාසලේ සියළුම පන්ති වල නාම ලේඛණයන් ගෙන එහි වූ සංඛ්‍යාවන් එකතු කර බැලීමි.
ඒ අනුව ලියාපදිංචි වී සිටි දරුවන් ගණන 54ක් වූ අතර පසුගිය මාසයක පමණ පැමිණිම් පරීක්ෂා කර බලනා කල ළමුන් 37කට වඩා දහම් පාසල් පැමිණි වගක් පෙනෙන්නට නොවුණි.

ගුරුවරුන්ද සීමිත විය.

නාරද හිමියන් ප්‍රධානාචාර්ය ධුරය හෙබවූ මුත් දහම් පාසලේ ඉගැන්වීම් කටයුතුවලට මැදිහත් වනවා අඩුය.
සියළුම පාලන කටයුතු ගෙන ගියේ එවකටත් ගුරු සේවයේ නිරත වෙමින් සිටි මෙ වන විට විශ්‍රාම ලබා ඇති නියෝජ්‍ය විදුහල් පතිනියක් වූ විමලා ටීචර්ය..
ඇය ඉතා උනන්දුවෙන් එම කටයුතු කරගෙන ගිය අතර ඒ සඳහා දක්ෂතාවයද ඇති ගුරුවරියක වූවාය.

වසර විස්සකට පමණ ආසන්න කාලයක් දහම් පාසලේ වරින් වර උගන්වා ඇති නමුත් මුලින්ම ඉගැන් වූ දින සිටම ගණනය කොට වසර විස්සක් මම උගන්වා තිඛෙනවායි නිතරම සඳහන් කරනු ලබන ඉන්ද්‍රා ටීචර් දෙවැන්නිය වූවාය..
ඇත්තෙන්ම පසුව මා විසින් ඈ ඉගැන් වූ කාල සීමාවන් එකතු කර බැලීමෙදී වසර දොළහක් වැනි කාලයක් ඇය උගන්වා තිබුණාය.
සෑමදාම පොඩි පන්තිවලම ඉගැන්වීමට රුචියක් දැක් වූ මැය ඒ සඳහා එතරම් දක්ෂතාවයක් දැක්වූ තැනැත්තියක නොවීය..
නමුත් පැමිණීම ඉතා උසස් මට්ටමක විය.
පසුව දහම් පාසලට දරුවන් ඇතුළත් කිරීමට මාපියන් අකමැති මන්දැයි යන්න සොයා බලනා කල සඳහන් වූ ප්‍රධාන කරුණක් වූයේ ඇයගේ ඉගැන්වීම බව හෙළි වූ අතර ඇත්තෙන්ම කුඩාම පන්ති ඇය වැන්නියකට භාර දීම නොසැලකිල්ල නිසාම සිදු වී ඇති වරදක් විය..

මීට අමතරව ඔවිටෙ ගෙදර ටීචර් නැමැති තැනැත්තියත් හොඳ මට්ටමෙ ගුරුවරියක් වූ අතර නිතරම ප්‍රසංසා බලාපොරොත්තු වීම හැර අන් යමක් බලාපොරොත්තු නොවූ තමන්ට පැවරෙන කොටස අඩු නැතිව ඉටු කරනු ලැබූ අයෙකි.
ඔවිටෙ ගෙදර ටීචර්ගේ නැගණියක්ද ඉගැන්වීම සිදු කල අතර දරුවන් නොමැති කාන්තාවක වූ ඇය විසින් දරුකමට හදා ගන්නට ගත් දරුවාද දහම් පාසලට ඇතුළත් කර තිබූ හෙයින් නොවරදවාම පැමිණෙන හොඳ මට්ටමෙ ගුරුවරියක විය.
සුවිමාලි නම් වූ දහම් පාසලේම උගෙන අවසන දහම් පාසලේ ගුරුවරියක ලෙස සේවය කල තරුණියක්ද විය.
ඉතා චාම් ඇවතුම් පැවතුම් ඇති මැය කිසිදු දිනෙක කිසිවකුගේ දෝෂාරෝපණයට ලක් නොවූ ඇත්තෙන්ම අවිහිංසක එකියක වූ අතර පවරනු ලබන ඔනෑම කටයුත්තක් නිශ්ශබ්දව ඉටුකරලන්නා වූ මැය කිසිවකුගේ විශේෂ අවධානය දිනා නොගන්නා අයෙකි.

තවත් වයසට වඩා තරබාරු වූ දර්ශනී අක්කා නැමැති මා හට වඩා වසරකින් වැඩිමහළු ගුරුවරියක්ද වූ අතර ඇයගේ උගැන්වීම් යහපත් මට්ටමක වූ අතර පැමිණිම දුර්වල විය.

පැමිණීම තරමක් දුර්වල මුත් ඉගැන්වීමට සමත්කම් ඇති මා හට වඩා වසර දෙක තුනකින් පමණ බාල තවත් තරුණයකුද සිටි අතර ඔහුද පාඩුවෙ තමන්ගේ කොටස ඉටු කරනු ලබන අයෙකි.
සෑම දිනකම දහම් පාසල ආරම්භ කලාට පසුව පැමිණෙන ඔහු දහම් පාසල අවසන් කිරීමට මොහොතක් හෝ කලින් පිටව යන අතර හාමුදුරුවරුන් සමග කිසිම ආකාරයක සම්බන්ධයක් නොවීය.
(මෙ ළගදී දවසක තිස්ස අයියා මා හට දුරකථනයෙන් ප්‍රථම වතාවට මා අමතන මොහොතෙහි මා සිටියේ මෙ තරුණයාත් ඇතුළු තවත් තරුණයන් කිහිප දෙනෙක් සමග බීමකට හවුල් වීගෙනය.. තිස්ස අයියේ..මතකයි නෙව..)

මෙ කියූ පිරිසට අමතරව තවත් එක් සුවිශේෂී චරිතයක් ගුරු මණ්ඩලයේ සිටියාය.
ආඛ්‍යාතය ස්ත්‍රී ලිංගයෙන් තබනවිට එම චරිතය ගැහැණියක වග අමුතුවෙන් කිව යුතු නොවෙය..

ඇත්තෙන්ම මෙලෝ ලස්සනක් නොමැති මුත් බුදුන් කල සිටි සුන්දරියගේ චරිත ලක්ෂන හා චිංචි මානවිකාවගේ යන දෙදෙනා හට තවත් එවැනි චරිත කිහිපයක් මුසු කොට තැනූවාක් බඳු වූ මැය රේණුකා අක්කා නම් විය.

එක් වරක් මා පන්සලේ ඉදිරිපස පඩියක් මත වාඩි වී සිටියදී එහි පැමිණි කුඩා කටකාර කොල්ලන් දෙදෙනෙකුගෙන් අයෙක්
"අයියේ ගදකිලිය කියන්නේ මොකේටදැයි"
මා විමසා සිටි අතර ඒ කුමක්ද යන වග හා ගන්ධ යන වචනයේ තේරුමත් පැහැදිලි කර දුන් අතර එසේ අසන්නට හේතුව කුමක්දැයි මා පෙරළා විමසූ විට පෙර කී කටකාර කොළු පැංචා කියා සිටියේ
"නෑ රේණු අක්කා කිවුවානේ ගදකිලිය කියන්නේ වැසිකිලියට කියලා..ඒත් ඉතින් අපි කල්පනා කලා බුදු හාමුදුරුවෝ කොයි වෙලෙත් ගද කිලියේ ඉඳලාම වඩින්නේ ඇයි කියලා.. ඒකයි අයියාගෙන් අහලා බැළුවෙ"
කියමින් සිනහා නගමින් පිටත්ව යන ලදි.

මෙවැනි වූ අපූරු ගැහැණියක වූ ඇය ගම පුරා ප්‍රසිද්ධව සිටියේ කාමාශක්ත තැනැත්තියක ලෙසිනි.
ඇගේ දරුවන් දෙදෙනකු වූ අතර එම පිරිමි දරුවන් දෙදෙනාම දහම් පාසලෙහි උගැන්ම ලැබූ නිසා ඔවුන්ව දහම් පාසල් රැගෙන විත් ඉගැන්වීමෙද යෙදුණු ඇය උගන්වනවාට වඩා ප්‍රිය කලේ ආවාසය පැත්තෙහි ගැවසීමටය..

ඇයගේ වටිනාකමක් තිබුණේ බාහිර වැඩ වලදීය..
දහම් පාසල් තරග, පෙරහැර සඳහා දරුවන් පුරුදු පුහුණු කරවීම, භක්ති ගීත තරග ආදියට දරුවන් ගෙන යාම ආදී වැඩට නම් ඇය නැතිවම බැරි තැනැත්තියක වූවාය..
එම වැඩවලදී සියළුම බර කරට ගෙන ඒ සඳහා මහන්සි වන ඇය නිසා අන් ගුරුවරුන්ට මහත් සහනයක් විය..

මා නොදන්නා අමතුම බයක් නාරද හිමියන් ඇය කෙරෙහි දැක්වූ අතර පන්සලේ පසු කාලීනව සිටි බොහෝ තරුණ භික්ෂුන් ඇයගේ බලපෑමට යටත් වී සිටි බව නම් තැනින් තැන කතා වෙනවා මා හටද අසන්නට ලැබුණි.

ගුරු මණ්ඩලය මෙබඳු විය...

සමහර පන්ති වල දරුවන් සිටියේ දෙදෙනකු පමණි.
දහම් පාසල් අවසාන පන්තියක් තිබුණේම නැත.
ඉහල පන්තිවල ළමුන් දැකිය හැක්කේ නාම ලේඛන වල පමණි.

දහම් පාසලේ ඉගැන්වීම සඳහා මා හට ඇරයුමක් ලැඛෙනුයේ තත්වය මෙසේ පවතින විටය.
එවකට අට වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවන් සිවු දෙනෙකු විය.
නාම ලේඛණයේ නව දෙනෙකුගේ නම් ලියවී තිබුණද පැමිණියේ පිරිමි දරුවන් දෙදෙනකු සහ ගැහැණු දරුවන් දෙදෙනකු පමණි.
මෙම පන්තිය ඉගැන්වීමට කිසිදු ගුරුවරයකු සෑහෙන කලකින් පැමිණ නැතත් එම දරුවන් සිවු දෙනා තවමත් දහම් පාසල් පැමිණි අතර බොහෝ විට ගුරුවරුන් නොමැති කුඩා පන්තිවලට ඉගැන්වීම පිණිස ගැහැණු දරුවන් දෙදෙනා යොමු කරවන අතර කොල්ලන් දෙදෙනා දහම් පාසල අහවර වන තෙක් පන්සල වටෙ ඇවිදිමින් කල් ගත කරනු ලබයි.

දිනක් කුමක් හෝ හේතුවක් නිසා කොල්ලන් දෙදෙනාට ඉගෙන ගැනීමට ඇවසිව විවෙක කාලයෙන් පසු පැමිණ
"අයියේ ඇවිත් අපේ පන්තියට උගන්වන්නකෝ"
යනුවෙන් මා හට ආරාධනා කරන ලදි.
ඇත්තෙන්ම ඉගෙන ගැනීමට මහා උනන්දුවක් නොමැති මුන් දෙන්නා මොකට මට කතා කලාදැයි දන්නේ උඩ ඉන්නා දෙයියන්ම පමණි.

............................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

01 June 2010

පන්සලේ ජීවිතේ... දෛවය...

දිනෙන් දින කාලය ගත වෙමින් තිබුණි.
එළඹෙන සෑම දිනක්ම කුමක් හෝ නවමු අත්දැකීමක් මා ජීවිතයට එක් කරමින් තිබුණි.
ඒ අතරින් මෙතෙක් බාහිරින් පමණක් දැක තිබූ ලොවක අසිරිමත් සිදුවීම් මෙන්ම කිසිදා නොසිතූ තරම් දුක්ඛදායී දේවල්ද ඇස් පනාපිට දර්ශනය වන්නට විය.

මෙ සෑම දෙයින්ම ජීවිතය පිළිබඳ අළුතින් සිතා බලන්නට මා යොමු කරමින් තිබුණි..

දෛවය...

ඔබ දෛවය යනුවෙන් අදහස් කරනු ලබන්නේ කුමක්ද..?
අදටත් ඒ පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් කරන්නට මා හට නොහැකි වූවත් මා යම් තරමින් දෙයක් තේරුම් ගනිමින් සිටිමි.
අප කෙසේ සිතා සිටියත් අපගේ ජීවිත ගමන් කල යුතු නිශ්චිත දිශාවක් අප සියළු දෙනාම විසින් උපතින්ම ගෙන එනු ලැබ ඇත.
සමහරුන් ඒ මාවතේ ආයාසයෙන් තොරවම ගමන් ගන්නා අතර තවත් සමහරුන් අකමැත්තෙන් මෙන් ගමන් කරති..
ඒ කෙසේ මුත් අප සිතනා දිශාව කෙසේ වූවද අවසානයේ අපට නියමව තිබූ තැනටම අපව අවසානයේ ගෙන යනු ලබන කිසියම් බලයක් ඇති බවක් ජීවිතයේ රැදී ඇත..
එයට කියනා නම දෛවයද යන්න හරියටම කිව නොහැකි වූවද ඒ නම එම බලයට ආසන්න නමක් බව මා හට සිතේ..

කිසිදා නොසිතා සිටි තැනකට මෙ වන විට මා ගෙන ගොස් තිබුණේ එම කිව නොහැකි අපූර්ව බලය විසින් යැයි මා හට නිතරම සිතුණි.

දිනෙන් දිනම පන්සල මාගේ ජීවිතයේ කොටසක් මෙන් දැනෙන්නට පටන් ගෙන තිබුණි.
මා මෙතෙක් අසා සිටි,දැන සිටි පන්සල් ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක් මෙහි තිබුණි.

නිතර වතාවත් ඉටු කරනු ලබන සිල් සුවඳින් නැහැවී ගිය පිරිසිදු වට පිටාවක පවතින අතිශය ගුප්ත බලයක් සහිත අමුතුම ආකාරයේ ස්ථානයන් යැයි සිතා සිටි පන්සල් පරිසරය එයට බොහෝ වෙනස් තැනක් යැයි මාහට පසක් වෙමින් පැවතිණ..

පසු කාලයේදී දුටු පරිදි මා ඉහත සඳහන් කරනු ලැබූ අන්දමට තරමක් ආසන්න මට්ටමෙ පන්සල්ද වූ අතර මා ගිය තැන ඒ කිසිවක් නැති..පෙර ලිපියකදී අයෙක් දක්වා සිටි අන්දමෙ අම්බලමක් වැනි තැනක්ම උනි.

මෙවැනි අම්බලමකට කඩා වැදුනු මාද එහිම කොටසක් බවට නැතහොත් පාර වැරදුන තවත් මගියකු වීමි.

නමුත් දිනෙන් දිනම එම අම්බලම් ජීවිතය මා හට රිසි විය.

සෑම දෙයකම මහා හුරු පුරුදු ගතියක් විය..වචනයෙන් කිව නොහැකි අන්දමෙ අමුතුම බැඳීමක් මා හා මෙම ස්ථානය අතර ගොඩ නැගෙමින් තිබිණි..
එය සසර පුරුද්දක්ද..නොඑසේනම් තවත් තණ්හාවෙම ස්වරූපයක්දැයි මා හට කිව නොහැකි වූවද..
ඇත්තෙන්ම එසේ බැඳීමක් ඇති වෙමින් තිබුණි.

පන්සලේ වූ කුදු මහත් සෑම කටයුත්තක්ම ඉතාමත් ආසාවෙන් මා අතින් සිදු විණි.
කවුරුන් හෝ විසින් කරනු ලබන අණදීම් හා උපදෙස් ඒ අයුරින්ම පිළිපැදීම අදටත් මා හට කල නොහැකි දෙයකි දෙයකි.
එය මාගේ සිත තුල ඇති මානය හෝ කිසිවකුට යටත් වීමට ඇති අකමැත්තත් සෑම විටම නිදහස අගය කල මාගේ ජීවිතය හා බැඳී ඇති පුරුද්දක් හෝ විය හැක..

එබැවින් මෙහිදී කලයුතු සෑම දෙයක්ම කිසිවකු විසින් පෙන්වා දීමට පළමුව කිරීමට හැකි සෑම අවස්ථාවකදීම උත්සහ ගතිමි.

එබැවින් උදෑසන අවදිවූ මොහොතේ සිටම පන්සලේ සෑම කටයුත්තක්ම මා හට ඇවසි අන්දමින් නිසි පරිද්දෙන් කරනු ලැබූ අතර විහාරවාසී භික්ෂූන් වහන්සේලාගේ දෛනික ජීවිතයට කිසිදු අනදමක හෝ බාධාවක් නොවන්නට එම කටයුතු කරලීමටත් සෑම අවස්ථාවකදීම වග බලාගතිමි.

පන්සලට පැමිණෙන සියළු දෙනාම මා පිළිබඳව ඉමහත් පැහැදීමෙන් කතා කරන්නට වූ අතර එයට හේතු වූයේ මෙතෙක් දක්නට තිබූ අපිරිසිදු හා අපිළිවෙල ගතිය විහාර භූමියෙන් කෙමෙන් කෙමෙන් පහව යන්නට වූ බැවින් බව එම කතා බහෙන් මා හට අවබෝධ වෙමින් තිබුණි.

අවට පන්සල්වල ස්වාමීන් වහන්සේලාද මෙහි පැමිණි සෑම විටම මා පිළිබඳ උනන්දු වන්නට වූ අතර විහාරස්ථ හිමිවරුනට නොදැනෙන්නට එම පන්සල්වල නැවතීමට එන ලෙසද වරින් වර ආරාධනා කරනු ලැබූවෙ පඩි රහිතව හොඳ ඇබිත්තයකු ලබා ගැනීමට ඔනෑම නායක හාමුදුරු කෙනෙකු කැමති වූ නිසාය..

සෑම දෙයක්ම සාමාන්‍ය අන්දමින් සිදු වෙමින් තිබුණි.

................................................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

පන්සලේ ජීවිතේ...චරිත...

මා විසින් පවසමින් යනු ලබන මෙම කතාව පිළිබඳව තවත් යමක් කිව යුතුය..

එනම් මෙම කතාව ප්‍රධාන කොටස් කිහිපයකට ඛෙදා දැක්වීමට මා අදහස් කර ඇති බවයි.

1. මා පන්සලට යෑම සහ එහි ජීවිතය ගත කරමින් සිට පැවිදි දිවියට එළඹීම දක්වා එක කොටසක් ලෙසද..
2. දෙවන කොටස ලෙස පැවිදි දිවිය ගත කරමින් එහි උච්චතම අවස්ථාව ලෙස මා විසින් අදටත් මහත් වූ සොම්නසින් යුතුව සිහිපත් කරනු ලබන චෛත්‍යය කර්මාන්තය අවසන් කිරීම දක්වාද..
3. විස්තර කිරීමට අපහසු වූවද කල යුතුවම තිඛෙන මා විසින් පැවිදි දිවිය හැර දමනු ලැබීම දක්වා වූ කොටස තුන්වන කොටස ලෙසද දැක්වීමට කැමැත්තෙමි.

මෙහිදී සෑම කොටසකින්ම පසු මඳ ඉසිබුවක් ලැබීමට මා අදහස් කරමි..

මෙ කතාව කියාගෙන යෑමෙදී සිතට දැනෙන වෙහෙසකර ස්වභාවය දුරු කර ගැනීම පිණිසත්, මෙ වන විට මාගේ මතකයෙන් මැකී යමින් පවතින සමහර සිදුවීම් එක දිගට ලියාගෙන යෑමෙදී අමතක වීම නිසා හෝ සටහන් නොවීම වලකාලීම පිණිසත්..
සිදු වූ සියල්ලම පාහේ නිරවුල්ව පෙල ගස්වා ඉදිරිපත් කිරීමට අවකාශ සලස්වා ගැන්ම පිණිසත් මෙම විධික්‍රමය ඉවහල් වනු ඇත.

ඉඳින් දැනටම මා විසින් පළමු කොටස ආරම්භ කොට ඇත..
ඇත්තෙන්ම සටහන් තැබීමෙදී අපහසුම මෙම කොටස බැව් මා හට සිතේ..
ඊට හේතුව වන්නේ මෙය කියවන ඔබගේ සිත තුළ පැවති තත්වය පැහැදිලි ලෙස චිත්‍රණය කිරීම ඉතා අසීරු බැවින් කොතරම් දීර්ඝ වූවත් එකින් එක පැහැදිලිව කියා නොසිටියහොත් නියම තත්වය අවබෝධ නොවීම සිදු විය හැකි නිසා සුළු සිද්ධියක් විස්තර කරලීමට වූවද වචන දහස් ගණනක් සටහන් තැබීමට සිදු වීමයි..

උදාහරණයක් ලෙස යම් සිදුවීමක් පිළිබඳව ඉදිරියේදී විස්තර කරනා විට එම සිද්ධියට සම්බන්ධ සියළුම චරිත පිළිබඳව ඔබ විසින් මනා අවබෝධයක් ලබා තිබිය යුතුමය..
නොඑසේනම් එම සිදුවීමෙහි ඇති විශේෂත්වය නිසි ලෙස ග්‍රහණය කර ගැන්මට නොහැකි වීම නිසාම කතාවෙ ඇති වැදගත්කම අහෝසි වී යෑමට ඇති නිසාවෙනි..

මෙහිදී මා හට දුෂ්කරම කරුණක් වන්නේ පන්සල තුලදී හමු වූ දහස් ගණන් චරිත අතුරින් වැදගත්ම චරිත වෙන් කොට ඒ චරිත පිළිබඳව කෙටියෙන් හෝ සටහන් කිරීමයි..
ඇත්තෙන්ම පන්සල තුලදී හමු වූ සෑම චරිතයක්ම කුමන හෝ අන්දමින් වැදගත් වන චරිතම වෙ..

මෙම කතාව යනු විශාල චරිත රාශියක එකතුවක් බවත්, කතාව ගලා යන්නේ එම චරිත එකිනෙක ගැටීමෙන් උපදින සිදුවීම් මතත් බව කිව හැකිය..

මෙහිදී මා හට නිතැතින්ම සිහියට එනු ලබන්නේ ලියෝ තෝල්ස්තෝයිගේ යුද්ධය හා සාමය නැමැති මහා නව කතාවයි..

එහිදී අපට මුළින්ම හමුවන චරිත කතාව අවසානයට යන විට අමතක වී යන අතරම එම චරිත කුමක් සදහා ප්‍රථමයෙන් සදහන් වූයේදැයි යන්න පවා අමතක වී යනු ලබයි.
නමුත් සමස්ථ කතාවටම ගත් කල එම සෑම චරිතයක්ම කතාවට එකසේ වැදගත් චරිත බව කිව මනාය.

සමස්ථ කතා ශරීරයම එම චරිත මත රැඳී පවතී..
එහිදී එම සෑම චරිතයකම වැදගත්කමක් ඇත..
ඉන් එක් කුඩා චරිතයක් පවා ඉවත් කරලිය නොහැක්කේ එබැවිනි..

මා එවන් වූ මහා කතාවක් කියනු නොලබන්නේ වූවද මෙහිදීද මෙ සඳහා සම්බන්ධ සෑම චරිතයක්ම මා හට එකසේම වැදගත් වේ..

එසේම සඳහන් කල යුතු තවත් දෙයක් වන්නේ විස්තර කරලීම වැඩි වන්නට වන්නට එය කියවන් අයහට ඇතිවන ඒකාකාරී බව වැඩිවීම මත කථාව උඩින් පල්ලෙන් කියවා දැමීම හෝ කියවීම අතහැර දැමීම විය හැකි වීමයි..

එයින් මා මෙ ගනු ලබන වෙහෙස අපතේ යෑමට ඉඩ ඇත..

මෙම කතාව නැවත නැවත කියා සිටීමෙන් මා හට අත්වන අමුතු දෙයක් නැත..
හුදෙක් මාගේ චිත්ත සන්තෝෂය පිණිසම නොව කියවන පාඨක ඔබ සියළු දෙනා හටම සමාජයේ තවත් එක් වැසී ඇති පැත්තක් විවර කර පෙන්වීම තුළින් එම පෙනෙනා ලෝකය පිළිබඳව මීට වඩා ගැඹුරින් සිතා බලා කටයුතු කිරීමටත් ඒ තුළින් අදටත් පන්සල් තුල මහත් වූ ගැටළු රාශියක් මත දිවි ගෙවනු ලබන දුක්ඛිත ජීවීතයන් පිළිබඳව මීට වඩා සානුකම්පිතව සැලකීමට ඔබව යොමු කරලීමටත්..

මෙම ලිපි පෙල අහම්බයෙන් හෝ එම පන්සල්තුල වැඩ වාසය කරන්නා වූ කිසිවකුට හෝ කියවීමට ලැබුනේ නම් මීට වඩා සමාජය ගැනත් එහි වෙසෙන මිනිසුන්ගේ සිතුම් පැතුම් හා අවශ්‍යතා තේරුම් ගෙන දෙපාර්ෂවයේම යහපත පිණිස කටයුතු කිරීමට පෙළඹ වීමටත්..

විශේෂයෙන්ම සමහර පන්සල් තුල ගොඩ නැගී ඇති දැඩිමතධාරී වැඩපිළිවෙලවල් දුරු කරලීමටත්..
ඒ සඳහා යොමුව ඇති නායක කාරකාදී මහා සංඝයාවහන්සේලාට එම වැඩපිළිවෙලවල් පිළිබඳව නැවත් වතාවක් සිතා බැලීමටත්..
හැකිවන්නේ නම් සිවුරු හරිනා පිරිස යම් තරමකින් හෝ අවම කර ගැනීමටත්..
යෑමට උවමනා අය හට මීට වඩා ගෞරවනීය පරිසරයක් මත සිවුරු ඇරදා යෑමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමටත්.. හැකි වන්නේ නම් ඊට වඩා දෙයක් තවත් නොමැත...

එසේම මෙම ලිපි පෙළෙහි ස්වරූපය පිළිබඳව පාඨක ඔබේ අදහස් දැක්වීමත් මා ඉමහත් අගය කරනු ලබන්නේ ඒ තුළින් තව දුරටත් ඉදිරියට යෑමට අවශ්‍ය ශක්තිය මෙන්ම ඉදිරිපත් කිරීමෙ හා භාෂාව හැසිරවීම පිළිබඳව යම් වෙනසක් කරලීමට අවැසි වන තැන් වලදී ඒ පිළිබඳ පූර්ව දැනුවත් වීමත් මා හට ලැඛෙන නිසාමය..

අපි කවුරුත් ලෙයින් මසින් සැදි මිනිසුන් බව සෑම විටම මතක තබා ගන්නා මෙන්ද ඉතා කරුණාවෙන් මතක් කර සිටිමි.

....................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "