31 July 2010

පන්සලේ ජීවිතේ...ප්‍රතිසංස්කරණ යෝජනා...

පන්සලේ ජීවිතේ...ප්‍රතිසංස්කරණ යෝජනා...

ආවාසය දෙසට පැමිණි පිරිසට ඉඩ දී අප දෙදෙනා පසෙකට වී වෙන්නේ කුමක්දැයි බලා සිටියෙමු. ආගන්තුක හිමි නම දායකයින්හට බාර දී වචන කිහිපයක් කතා කොට ඥාණාලෝක හිමි පිටව යන ලදින්... එතැන් පටන් ආගන්තුක හිමියන් සමග මහ සරත් ඇතුළු දායක පිරිස පන්සල ඉදිරිපස කොටසේ සිට සාකච්ඡාවක් ඇරඹිණ.

අළුත් හිමියන් සුමන නම් විය...

සුමන හිමියන්හට පන්සලේ ඉතිහාසය පිළිබඳව සැකෙවින් පැහැදිලි කිරීමක් කරන්නට දායක කිහිප පලක් උත්සුක වූ මුත් උන්වහන්සේ ඒ කතා නවතා දමන ලද්දේ හා මට හුගක් විස්තර ඥාණාලෝක හාමුදුරුවෝ කියලා තියෙනවා යැයි කියමිනි...
එයින් පසු මහ සරත් හා තවත් අයෙක් පන්සලේ ඇති අඩුපාඩු පෙන්වා දෙමින් එම අඩුපාඩු සකස් කර පන්සල දියුණු කිරීම සඳහා වැඩ පිළිවෙලක් යෝජනා කරන ලදි. එම යෝජනා මාලාව හැමදාමත් වගේම පන්සල් ඉඩම් දායකයින්ට ලබා දී වගා කර ඒ දායකයින්ගෙන් ලැඛෙන බදු හා කුලී මුදලින් පන්සල ගොඩනැගීම සඳහා වූ වැඩ පිළිවෙළම මිස අන් යමක් නොවීය...එම ඉඩම් වළින් වාර්ෂිකව ලැබිය හැකි උපරිම ආදායමත්, පන්සලේ ඇති අඩුපාඩු සපුරාලීම සඳහා අවම වශයෙන් තිබිය යුතු මුදල පිළිබඳවවත් ප්‍රශ්න කිරීමට කිසිවෙක් නොමැති වීම මා හට නැගුණු මහා ගැටළුවක් විය..නමුත් කිසිවකුට ඒ පිළිබඳව අවදානයක් නොවීය..
අනතුරුව උන්වහන්සේ කතාව පටන් ගන්නා ලද්දේ...

"අපි මුලින්ම ආවාසයෙන් පටන් ගනිමුයි" කියමිනි...

වාඩි වී සිටි අසුනෙන් නැගී සිට ආවාසයේ දොරකඩට ගිය හෙතෙම දොරකඩ වූ පඩියට පය තබා "අය" යැයි පවසා ඊළග පඩියක් නැති හෙයින් ආවාසයේ ඉදිරිපස ඉස්තෝප්පුවට පය ගසා "වැය" යයි කියන ලදි..

නැවත පෙර සේම පඩියට පය තබා "අය" යැයි කියා "වැය" යයි කියමින් ආවාසයේ ගෙබිමට පය ගසන ලදි..

"පේනවා නේද..?"
"ඉතින් කෝමද හරියන්නේ..?"
පටන් ගන්නෙම විනාසයකින් නෙව..පළමුවෙන්ම මෙ පඩිය කඩලා දාන්න ඔන.. නැත්නම් තව පඩියක් එකතු කරන්න ඔන...ඒ විතරක්ද..? කෝ මෙන්න මෙහාට එමු.."යි
කියමින් පන්සලේ මිදුලට බැස ආවාසයේ දොර කෙළින් සිටගෙන

"මෙන්න බලන්න ඉස්සරහ දොරින් බැළුවම ඇතුළු කාමරවල දොරවල් හරහා පිටුපස පැත්තේ ජනේලයෙන් එළිය පේනවා..ඉතින් හරියැයියෑ..යි"
කියමින් අනිකුත් දායකයින්ටද එදෙස බලන්නට ඉඩ දුන් අතර.. එදෙස බැළු සෑම දෙනාම පාහේ හිස් සලමින් එය අනුමත කරන ලදි. ඒ අතර මහ සරත් යම් තරමකින් කලබල වී උන් ආකාරයක්ද ඔහු දෙස විමසිල්ලෙන් බලා සිටි මා නොදුටුවා නොවෙ...

"ආ.. දැන් ඔය කට්ටිය ඇතුළට එමුකෝ..මෙන්න බලන්න මෙ සාලයේ උඩින් බිත්තියේ ඉඳලා කෙළින්ම වහලයට කුරුපාවක් තියලා..මෙකත් දොස් හිටින වැඩක්..මට මෙ පන්සලේ ඉන්නනං මෙ ටික වෙනස් කරලා දෙන්න වෙයි.
නැත්තං කෝමද මම මෙකේ ඉඳලා වැඩ කරන්නේ..."

පිරිස තරමක් කසු කුසු ගාමින් සිට නැවත කතාව අරඹන ලද අතර..එහි සිටි සිරිසේන තැපැල් මහත්මා විසින්..

"හරි හාමුදුරුවනේ දැන් මොනවද කරන්න පුළුවන් කියලා බලමු. අපේ මිනිස්සු අතේ ඒ හැටි සල්ලි බාගේ නම් නැහැ.
අනික එකපාර හුගාක් වැඩ කරන්න අමාරුයි...ඒත් ඉතින් මෙවාත් කරන්න බලන්න එපැයි.."

කියූ පසු සුමන හිමියන් විසින්

"මුළින්ම මෙ සාලය හරහා බිත්තියක් බැඳලා අර අතන තියෙන කුරුපාව ඒක උඩට තියන්න වෙනවා.."
"ඊට පස්සේ පිටුපස ජනේලය ගලවලා වෙනස් කරන්න ඔන.."
"ඊළගට ඉස්සරහ පඩිය..ඔය ටික නම් කෙරෙන්න ඔනමයි."

ම්..ම්.. යැයි කොඳුරමින් වට පිට බැළු සිරිසේන තැපැල් මහත්මා..අත් දෙක පිටුපසට බැඳගෙන..
"වැඩෙනම් කරන්න අමාරුයි වගේ නේදැ"යි පස්ස ගසන ලදි.

මෙහිදී මෙම සිරිසේන මහත්මා පිළිබඳව යම් තරමක හෝ පැහැදිලි කිරීමක් ඇවසි යැයි මම කල්පනා කරමි.

ඔහු 'දයාසේන අයියාගේ' වැඩිමහළු සොයුරා වූ අතර..'දයාසේන අයියා' හා ඔහු අතර කිසිම ඇයි හොඳයියක් නොමැත.
වෘත්තීයෙන් තැපැල් ස්ථානාධිපතිවරයකු වූ අතර මෙ වන විට විශ්‍රාම සුවයෙන් කල් යවන අයෙකි. ඔහුගේ භාර්යා තොමෝද විශ්‍රාමලත් පාඨශාලාචාර්යවරියක් වූ අතර ඇය කලෙක සිට කන් නොඇසෙන තැනැත්තියක විය.
සෑම පෝයටම මෙම යුවළ ලංකාවෙ ඇති ප්‍රසිද්ධ සිද්ධස්ථාන වලට ගොස් සිල් සමාදන් වූ අතර වර්ෂයකට වරක් පමණ ගමෙ පන්සලේ සිල් ගත් අතර..පසු කාලීනව 'කිරිබත්ගොඩ හිමියන්ගේ' 'මහමෙවුනාවට' හුරු වූ අයෙකි.එතැන් පටන් දෙදෙනා සෑම පෝයකටම මහමෙවුනාවෙ සිල් ගැනීමට යොමු වූ අතර හම්බවෙන සෑම දෙනාටම 'මහමෙවුනාවෙ' අසිරිය කියෑපෑමට මහත් වූ අභිරුචියක් දැක්වීය..

'ෙඛ්මාව' පන්සල් යැවීමට 'කොසොල් රජු' කරවන ලද 'විහාර වර්ණනාව' මොවුන් විසින් කරනු ලබන 'මහමෙවුනා වර්ණනාවට' වඩා අඩු මිස වැඩි නැත...

දියණියන්ම හතර දෙනෙකුගෙන් සපිරි මොවුන්ගේ ගෘහ ජීවිතය ඉතා සාමකාමී වූ අතර සෑහෙන ඉඩකඩම් ප්‍රමාණයක්ද සතු විය. ගෙය පිහිටි වත්තේ ඇති අක්කර දෙකකට ආසන්න රබර් වගාවෙ කිරි කැපීමත් එහි රබර් ෂීට් දැමීමත් සිරිසේන මහතා අතින්ම වූ අතර නිතරම වත්ත පිටියෙන් ලැඛෙන ආදායම් වැඩි කර ගැනීමටත් උත්සුක වෙන්නාවූ අයෙකි. සිල් ගන්නා දින ඇර අන් සෑම දිනකම වෙනත් වැඩක්ම සිදු කරන්නේ රබර් කැපීමෙ කටයුතුවලින් පසුවමය.

ඒ හැර සාමාදාන විනිසුරු පදවියකින්ද පිදුම් ලැබ සිටි ඒ මහත්මා, පළාතේ සමථ මණ්ඩලයේද කටයුතු කරන ලදි.

නිතර බණ දහම් පොත් කියවීමත්..ඒ කියවූ පොත් පිළිබඳව අන්අය දැනුවත් කිරීමත්..ප්‍රිය කළ හෙතෙම..සාමකාමී පුද්ගලයකු විය. පසු කාලීනව මා පැවිදි වූ පසුවනම් සෑහෙන වියපැහැදම් කරමින් පන්සල දියුණු කිරීමට මුල් වූ තැපැල් මහත්තයා ඊට පෙර කලවලදී නම් වියදම් කලේ එක්තරා දුරකට පමණි.

කෙසේ වෙතත් යමක් කමක් දන්නා වැඩිහිටියන් අතර විශේෂ පුද්ගලයකු වූ මෙතුමා මා විසින්ද අදටත් යම් තරමකට හෝ ගරු කරනා දායකයින් අතරින් එක් අයෙකි..
වැරදි නොතිබුණාම නොවෙ...

කොතරම් තිබුණත් ධනයට දැක්වූ අසීමිත ආශාවත්..
ප්‍රසිද්ධියට හා තනතුරුවලට ඇති ලොල් බවත්..
සහෝදරාදීන්හට සමව ඛෙදී යායුතුව තිබූ ඉඩකඩම් වලින් වැඩි කොටස තනි බුක්තියේ තබාගෙන කටයුතු කිරීමත්..
කොතෙක් දයාව මෛත්‍රීය පිළිබඳව කතා කල අයකු වූවද, ඒ මෛත්‍රියට සහෝදරාදීන් ඇතුළත් නොවීමත්..
කලක් දේශපාලන සමිතියක ලේකම් ලෙස කටයුතු කිරීමෙදී සමිතියට ලැබුණු රැකියා අවස්ථා සියල්ලම තම දරුවන්ට ලබාදීමත්...ආදී දුර්වලතාවයන්ද ඔහුගේ චරිතය වටා බැඳී තිබිණි.

මෙ සියළු වරදවල් මනුෂ්‍ය ජීවිතය තුළ ඇති සාමාන්‍ය වැරදි පමණි.
මෙ සියල්ලටමත් වඩා මුල් කාලයේදී මාහට ඔහු නුරුස්සනා ගතියක් ඇතිවීමට බලපෑ ලොකුම චරද වූයේ..
ඔනෑම කටයුත්තක් යෝජනා කරන විටම අත් දෙක පස්සට බැඳගෙන..ඔළුව වනමින්..
"ඔක නම් කරන්න අමාරුයි.."යැයි කියනා පුරුද්දටය...

විශේෂයෙන් මුදල් හෙල්ලෙන වැඩක් වගේ දැනුනොත් නම් ඉතින් ඒ වැඩෙ අමාරුම වැඩක් වේ...
( මෙ පුරුද්ද මා පන්සලෙන් පිටත්ව එන කාලය වන විට වෙනස් කර දමා ඒමට මාහට හැකි වී තිබිණි. මාහා එක්ව කටයුතු කර ටික දිනක් යන විට ඔනෑම වැඩක් කෙරෙන අතට මිස නොකෙරෙන අතට කතා නොකර සිටීමට ඔහු පුරුදු වී තිබුණේ..ඔහු විසින් බැහැ යැයි කියූ සෑම දෙයක්ම මවිසින් ඉතා සුළු කාලයක් තුළ ඉටුකර පෙන්වා දීමෙන් අනතුරුවය..)

ඉඳින් පටන් ගත් තැනම මෙ වැඩෙත් අමාරු වැඩක් ලෙස වර්ගීකරණය කළ තැපැල් මහත්මා පසෙකට වීය..
මහ සරත් විසින් තමාගේ "බාසා"ඥාණය (භාෂා ඥාණය නොවෙ..) උපයෝගී කරගෙන මෙ වැඩ ටිකට යන වියදම ගණනය කරන ලදි. එය එකල හැටියට දැරිය නොහැකි විශාල මුදලක් විය.

අවසානයේ කළුවර වැටීමත් සමගම අවසන් තීන්දුවකින් තොරව පිරිස විසිර යන ලදි.
රැස්ව සිටි පිරිස විසිර ගිය පසු අප ඇමතූ හිමිනම..
"මාත් එහෙනම් මුහුණ කට සෝදාගෙන ගිහින් එන්නම්" යැයි පැවසූ බැවින් මා විසින්

"ඇයි හාමුදුරුවනේ අද නවතින්න බලාගෙන නෙවෙයිද ආවෙ..?"යැයි විමසන ලද අතර

"නෑ.. මම අද යන්න ඔන හෙට ඉඳලා බැරියෑ නවතින්න" යැයි කියා දාන ශාලාවට ගොස් එහි තිබූ කෙසෙල් ඇවරියද ඔතා ගත්තේ
"මම මෙක ගෙනිච්චට කමක් නැහැ නේදැයි" අසමිනි.

රෑට කන්න මොන ලබ්බක්වත් නැති බව දැන දැනත්
"කමක් නෑ හාමුදුරුවනේ" යැයි කියූ මා චන්දවිමල හිමියන් දෙස බලා සිනාසුනු අතර චන්දවිමල හිමියන්ද මා දෙස බලා සිනාසෙන ලදි.

...............................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

27 July 2010

මම,අපි,රට,බඩුමිල, සහ තවත් දේ...

අද උදේ ගෙදර ඇවිත් ගෙදර වැඩ ටික කරලා දාලා..ටිකක් නිදා ගත්තා..
මෙ ටිකේ වැඩ වැඩියි.

අපි දැනට ආරක්ෂාව සපයන ආයතනය අපි ගිය කාලෙට වඩා දැන් සෑහෙන දියුණුවක් ලබලා තියෙනවා..
ඒ හින්දා දැන් ඉස්සර වගේ නෙවෙයි රැයක් දවාලක් නැතිව වැඩ..වැඩ..

මෙ සැප්තැම්බර් වන විට මම මෙ ආයතනයේ ආරක්ෂක ප්‍රධානියා විදියට වැඩ බාර අරගෙන අවුරුදු දෙකක් පිරෙනවා. අපිට කළින් හිටිය ආරක්ෂක සේවාව එහි ඉඳලා තිබුනේ අවුරුද්දකට ආසන්න කාලයක් විතරයි..
ඊට පෙරත් නොයෙක් ආරක්ෂක සේවාවන් මෙහි සේවය කළත් අපි තමයි මෙ වන විට එක දිගට අවුරුදු එක හමාර පන්නලා හිටපු එකම ආරක්ෂක සේවය කියලා නිල නොවන මට්ටමින් දැනගන්න ලැබීම අටත් අපේ සියළුම නිලධාරීන්ටත් හුගාක් සතුටට කාරණාවක් උනා.

කොහොම උනත් අපි මෙහාට එන කොට මෙ ආයතනය තිබුණේ හුගාක් මූල්‍ය අර්බුධ වල හිරවෙලා..ඒ අතරේ ආපු අර මොකක්දෝ අන්තර්ජාතික මූල්‍ය කඩා වැටීමෙ අර්බුධයේ අහිතකර බලපෑමත්..ඒ හරහා රටෙ ඇති වෙලා තිබුන ව්‍යාපාර අංශයේ පසුබෑමත් ආයතනයට බලපෑවා.

ඒ දවස්වල සේවකයින් ඉවත් කිරීම නොකෙරුනත් නව බඳවා ගැනීම් සම්පූරිණයෙන්ම අත්හිටුවලා තිබුණේ..
එක සේවකයා විසින් තුන් දෙනෙකුගේ වැඩ කරන මට්ටමට ඇවිත් තිබුණේ...

අතරින් පතර මොන යම්ම හෝ හේතුවක් නිසා සේවකයෙක් අස් කරන්න උනත් දෙපාරක් හිතුවෙ නැහැ. අස්කල සේවකයාට හරියන්නවත් නැවත බඳවාගැනීමක් උනේ නැහැ.

හැබැයි දැන් තත්වය වෙනස්...

මෙ දවස්වල සේවකයින් බඳවාගන්නවා හිටු කියලා..
පහුගිය කාලේ හිටපු සේවකයින්ට පඩි නඩිත් වැඩි වෙමින් පවතිනවා එක්තරා සැලැස්මකට අනුව..

නිෂ්පාදනය මට තේරෙන හැටියට එකට තුනකින් පමණ වැඩි වෙලා..සමහර අංශවල ඉල්ලූමට සරිලන සැපයුමක් දී ගන්න බැරි තරමට පාරිභෝගික අවශ්‍යතා වැඩි වෙලා...

මම දන්නේ නැහැ රටෙම තත්වය මෙහෙමද කියලා..ඒත් මෙතන තත්වය නම් සෑහෙන හොඳයි. ඊට අමතරව මෙම ආයතනය අවට තිඛෙන යම් යම් මම දන්නා කියන ආයතන වලත් තත්වය මෙයට සමානයි.

ඇත්තෙන්ම මෙ තත්වය මුළු රටෙම මෙ විදියනම් ඉස්සරහට අපිට ඒ තරම් අමාරු වෙන එකක් නැහැ.

බඩු මිල නම් තාමත් ඒ තරම් අඩු වෙලා නැහැ.

හැබැයි හාල් නම් ටිකක් අඩුයි.. සම්බා කිලෝව මම ගන්නේ හැටට. නාඩු එහෙම නම් ඊටත් අඩුයි.

අලත් ටිකක් විතර බැහැලා..
මාළු නම් කොහොමද දන්නේ නැහැ.. මොකද මම මාළු උයන්න කම්මැලි නිසා ගේන්නේ නැහැ.
මස් නම් පරණ ගණන්මයි වෙනසක් නැහැ.
කුකුළු මස් නම් රුපියල් විස්සකින් පමණ හිටපු ගමන් නගිනවා..ආයෙත් බහිනවා..ඒකත් මට බලපාන්නේ නැහැ මොකද මම කුකුළු මස් කන්නත් වැඩි උනන්දුවක් නැති හින්දා.

සමහර එළවළු ගණන් අඩුවෙන දවස් තියෙනවා.
ඒත් තවම හුගාක් අඩු වීමක් දකින්න නැහැ. ඉදිරියටවත් ඒ ගණන් හිලවු වල වෙනසක් ඇති වෙයි කියලා සුභදායී බලාපොරොත්තුවක් තියෙනවා.

මෙයට අමතරව මට බලපාන ප්‍රධාන දේවල් තමයි පෙට්ට්‍රල් සහ ෆෝන් බිල...

ඉස්සර තිබුණු ගණන්වල හැටියට බයික් එක පාරට දාන්න කළින් දෙපාරක් හිතන්න වෙලා තිබුනා.
ඒත් 115 මිලට යන්තම් දුවා ගන්න ඇහැකි.
මට කතරගම ගමණට පෙට්ට්‍රල් වලට රුපියල් නවසීයක් විතර වියදම් වෙලා තිබුණා..
බස්ගාස්තු සහ කාලය පිළිබඳව හිතනකොට ඒක මට ඒතරම් වියදමක් කියලා මම හිතන්නේ නැහැ.
ඒත් අඩුම ගාණේ රුපියල් සීයකටවත් පෙට්ට්‍රල් දෙනවනම් හුගාක් හොඳයි.

මෙ දවස්වල උන නරකම දේ තමයි දුරකථන ගාස්තුවල වෙච්ච විපර්යාසය..
අවම දුරකථන ගාස්තුව රුපියල් දෙකට සීමා කිරීම අසාධාරණයි.
හැබැයි තවම මම ගන්න කෝල්වලට අය වෙන්නේ නම් පරණ ගාස්තුම තමයි.

රජයක් පවත්වාගෙන යන්නත් රටෙ තියෙන සංවර්ධන කටයුතු හොඳින් කෙරෙන්නත් බදු අය කළ යුතුයි.
හැබැයි ඒ අය කරන බදු නාස්ති නොකර පරිහරණය කරනවානම් තමයි බදු ගෙවන අපිටත් සංතෝෂ..
මම හිතන්නේ රජය මෙ වන කොට උපරිම බදු අපෙන් අය කරනවා..
ඒත් මට ඒකට කමක් නැහැ. මොකද මා ජීවත් වන ප්‍රදේශයේ හැම තැනම පාරවල් ටික හැදෙනවා දකින එකත් මට ඇති.

පහුගිය කාලාන්තරයක් තිබුණා මට පාරක යන්න එපා වෙන තරමට පාරවල් අබලන් වෙලා තිබුණු. ඒත් දැන්නම් එහෙම නැහැ මෙ හරියේ හැම පාරම වගේ මෙ වන විට හදලා ඉවරයි..
තව කිහිපයක් මෙ වන විටත් වැඩ අවසන් කරමින් පවතිනවා.

මම මුළින් හිතුවෙ ඡන්දෙන් පස්සේ පාරවල් හදන එක නවත්තලා දායි කියලා..ඒත් තාමත් ඒ වැඩ ටික කෙරෙනවා දකින්න ලැඛෙන එක හුගාක් හොඳ වෙනසක්. එයට අමතරව මෙ හරියේ අතුරු පාරවල් වල බස් රථ ප්‍රමාණයත් ටිකෙන් ටික වැඩිවෙනවා පේනව.. මෙ ළගදිත් අළුත් මාර්ග අංකයක් යටතේ බස් දෙකක් පාරට වැටුනා.

පෞද්ගලික බස් සේවාවනම් අන්තිම දුර්වලයි. ඇත්තටම මට තේරෙන්නේ නැහැ ඇයි මෙ බස් මගීන් එකතු වෙලා මුන්ට ගහන්නේ නැත්තේ කියලා..ඒ තරම්ම අලූගුත්තේරුවෝ ටිකක් දැන් බස් දුවන්නේ..
උන්ගේ පෞද්ගලික හේතුවකට හරි කවුරු හරි බස්කාරයෙකුට නෙළුවොත් මෙන්න පහුවදාට මුන් වර්ජනේ..
ඒ මදිවට සීටීබී බස්වලට දුවන්න දෙන්නෙත් නැහැ. ඒ වගේ වෙලාවට මිනිස්සු එකතු වෙලා මුනුට නෙලනවා නම් හොඳයි කියලා තමා මම හිතන්නේ.. නැත්තං මුන්ව හදන්න බැහැ.

මම මෙ නීතිය අතට ගන්න කියනවා නෙවෙ..ඒත් ඉතින් බල්ලාගේ හැටියට එපෑ පොල්ල..

තනිකඩ ජීවිතයක් ගෙවන හින්දා මට හුගාක් ප්‍රශ්න අඩුයි..ඒ වාගේම සමහර සමාජ ප්‍රශ්න, ආර්ථීක දුෂ්කරතා මට ගෝචර වෙනවා අඩුයි.

නමුත් දන්න කියන විවාහක උදවියට තියෙන ප්‍රශ්න අහගෙන හිටියමනං මට පේන්නේ ඔවුන්ට වැඩිපුර තියෙන්නේ විහිං හදා ගත්ත ප්‍රශ්න බවයි.

අනුන්ට වඩා ඉදිරියෙන් ඉන්න ගන්නා මෝඩ උත්සහය නිසා තමන් විසින්ම ජීවිතේ දුකට හෙළාගත් අය වැඩියි.
ඇහැවුවොත් කියන්නේ ආගමට දහමට හරිම ලැදි කියලයි..ඒත් තමන් අදහන ආගමෙ දර්ශනයට අනුව ඒ එක්කෙනෙක්වත් ජීවත් වෙන්නේ නැහැ...

තමන් වැරදි පාරෙ යන ගමන් අනුන්ව හදන්න උපදෙස් දෙන කට්ටිය නම් ඔන තරම්.

ඇත්තෙන්ම ආර්ථීක දියුණුව විතරක්ම පතන අය නිසා ඇති වෙච්ච ගැටළු තමයි වැඩිපුර තියෙන්නේ...
එහෙම නැතිව මට නම් මෙරටෙ කියන්න වරදක් නැහැ.
මම සාමාන්‍ය මට්ටමකට හොඳට කනවා බොනවා...
මට ඔන විදියට ගමනක් බිමනක් යනවා..
මට අවශ්‍ය මට්ටමට සැප පහසුවට ජීවත් වෙනවා..
හිතේ සංතෝෂෙන් රස්සාව කරලා ඒ ලැඛෙන දෙයින් ජීවත් වෙනවා.
ඔනවට වඩා අනාගතය ගැන බලාපොරොත්තු ගොඩ ගහගෙන ජීවිතේ අපායක් කරගෙන නැහැ.

අනිත් අය කොහොම හිතනවද කිලා මම දන්නේ නැහැ.
මම කියන්නේ නැහැ අනිත් අය හිතන විදිය මට වැදගත් නැහැ කියලා..ඒවත් වැදගත්..ඒත් මම අනිත් අය හිතන විදියට මගේ රටාව වෙනස් කරන්න සූදානම් නැහැ.

දැනට පවතින තත්වය ගැන මට හිතෙන විදිය කෙටියෙන් ලියලා දැම්මට හරිනම් මීට වඩා ලොකු විග්‍රහයක් කරන්න ඔන..
ඒත් ඉතින් මම ඒවට මහන්සි වෙන්නේ මොකටද..
අච්චර මහන්සිවෙලා, වියදම් කරගෙන ඉගෙන ගත්ත ජී.එල්. පීරිස්ලා ඉද්දී...

( මෙ ලිපිය ලියන්න හේතු උනේ ඊයේ සිද්ධ වෙච්ච දෙයක්. මගේ ඥාති සොහොයුරියක් මට රට යන්න කියලා කියන ගමන් ඒකට උදවු කරන්නත් පුළුවන් කියලා කියපු බව මම මගේ යටතේ ඉන්න නිලධාරියෙකුට කිවුවම ඒ මනුස්සයා මට පිටරට ජීවිතේ හොඳ බවත්, මෙහෙට වඩා සැප විඳින්න පුළුවන් බවත් නොනවත්වා කියන ගමන් මට රට යන්න කියලා දිගින් දිගට කියන්න පටන් ගත්තා. ඒ ගමන මම ඒ මනුස්සයට කිවුවා මෙහෙට වඩා පිටරට මට ලැඛෙන සැපේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න කියලා..හැබැයි එයා එක එක දේවල් කිවුවත් මට නම් හරි හමන් එක හේතුවක්වත් ලැබුනේ නැහැ.)

25 July 2010

තපසට ගිය එකාගේ කතාව...

මෙක මෙ පුංචි කතාවක්...
මගේ ලිපියකට කමෙන්ටුවක් දැමූ අයෙකුට පිළිතුරු ලෙස කතාවෙ නම කිවුවට කතාව නොකිවු නිසා මට හිතුනා කතාව කියලාම දාන්න ඔන කියලා.

හැබැයි ඉතින් මෙක මම කියෙවුවෙ කොහෙන්ද කියලා මට මතකත් නැහැ.

කොහොමටත් මට තියෙන ලෙඩක් තමයි කියවන දේවල් කියවපු තැන මතක තබා නොගැනීම සහ..ඒවා කට පාඩං කර නොගැනීම..
ඉතින් මෙ කතාවත් එහෙම තම..සමහර විට ඔය බණ පොතක හරි සගිස්කුරුත පරිවර්ථනයක හරි වෙන්ටත් පුළුහං...
කතාව උන්ත හරි පිළිවෙළටම නැති වෙන්න පුළුවං ඒත් ඉතින් මතක හැටියට කෙටියෙන්ම දෙසා බාන්නංකෝ...

ඔන්න එක මනුස්සයෙක් ජීවිතේ ගැන ටිකක් කලකිරිලා කැලේකට ගියා නෙව තපස් රකින්නයි කියලා හිතාන..
දැන් මෙ උන්නැහේ තමන්ට පුළුවන් විදිහට බණ භාවනා කොරාන තපස් ජීවිතේ ගත කොරගෙන යනවා..
වනන්තරෙ ගල් ගුහාවක ගෙවන මෙ ජීවිතේ ඉතින් බොහෝම දුෂ්කරයි.
ගල් තලාවෙ නිදන්ට වෙනවා..මැසි මදුරුවෝ පීඩා කොරනවා..
හීතල හුළගට ගත සලිත වෙලා යනවා..

ඇයි ඉතින් කෑම බීම උනත් එහෙමනේ..
වනන්තරෙ ගස්වැල් වල හට ගන්න දේවල් තමයි.
කොළ වර්ග, පළතුරු, අල මුල් පලා ජාති එහෙම..
සමහර ඉඩෝර කාල වලට ඉතින් ගස්වල පොතු හිටං ගිලින්ට වෙනවා..

ඉදලා හිටලා කාලවල ඈතින් තිබුනු ගම්මානයක් පැත්තේ කරක්ගහලා දානෙට යමක් සිගාගෙන එන වෙලාවලුත් නැතුවාම නෙවෙයි.

ඉතින් මෙ තාපස ඇත්තා දැන් මෙහෙම බොහෝම දුකසේ මෙ තපස් රැකිල්ල කරගෙන යන අතරවාරයේ..මෙ උන්නැහේට අතුරු ගැටළුවකට මුහුණ පාන්ට උනා.

ඒ මොකක්දැ..?

මෙ තාපසයා ඉන්න ගල් ගුහාවෙ මීයන් බෝ උනා නෙව..

ඉතින් මීයෝ ගැන අමුතුවෙන් කියන්න ඔනය..නේද මං අහන්නේ..?

මීයෝ කිවුවම එක එක ජාතියේ මීයොත් ඉන්නවා නෙව..
ආ.. මට පේනවා..මට පේනවා කට්ටිය දතකට මැදගෙන මීයෝ වර්ග කියන්න ලක ලෑස්ති වෙනවා කියලා...
හා හා හදිසි වෙන්ට කාරි නැහැ..මම කිවුවෙ මෙ වැලි මීයෝ, හික් මීයෝ, කොස් ඇට මීයෝ ගැන තමා..ඔං..

ඉතින් මෙ ගල් ගුහාවෙත් ඔය මොන වර්ගයේ හරි මීයෝ බෝ උනා කියමුකෝ..දන්නවනේ ඉතින් මීයන්ගෙන් තියෙන කරදරෙ..
අමුතුවෙන් කියන්ට ඔනයෑ...

ඉතින් මෙ මීයෝත් අපේ තාපස ඇත්තට බොහෝම හිරිහැර කොරනවා.
කන්ට බොන්ට තියෙන දේවල් විනාස කොරනවා..
යන්තං සන්තකේට තිබුණු ගොමස්කඩ වෙලා තිවුණු වස්තරෙ කාලා දානවා..
ඒ මදිවට තාපසයා භාවනා කොරනකොට ඇග පුරා දුව පැන ඇවිදිනවා. මල ජංජාලයයි.. ඒ මදිවට කෙස් ගස් රැවුල් ගස් කපා දානවා..ඒ විතරක්ය..ඒ කපපු කෙස් ගස් වලින් මෙ මීයෝ තාපසයාගේ ඇගේම කූඩු හදන්ටත් පටන් ගත්තා නෙව..

ඉතින් ඉවසනවා කියලා මෙහෙමත් ඉවසියෑක්ද..මං අහන්නේ..

ඔන්න ධර්මය අධර්මය වෙනවා..

කියලා කියන්නේ ඔය වගේ වෙලාවට තමා..

කොහෝම හරි මෙ මීයන්ගේ කරදරෙ නිසා පීඩාවට පත් වෙච්ච අපේ තාපසතුමා.. මෙකට පිළියමක් කල්පනා කරනවා..
මෙහෙම කල්පනා කරලා.. කරලා.. කරලා.. කරලා.. කරලා...
ඔන්න අන්තිමට ටිකක් තද තීරණයකට එනවා..

මොකක්ද තීරණය මුන්නැහේ හිතනවා බළලෙක් හදන්ට ඔනය කියලා...
ඇයි ඉතින් මීයන්ගේ පුස්නෙට හොඳම උත්තරෙ ඔක නෙව..

ඉතින් මෙ තාපසතුමා ඈත ගම්මානෙකට ගිහිල්ලා ගං වැසියෙකුට තමංගේ දුක කියලා බළල් තඩියෙක්ව ඉල්ලාගෙන ආවා...
දැන් ඉතින් ඔන්න මී කරදරෙ ඉවරයි..

මෙහෙම ටික දවසක් යනකොට මීයෝ එකා දෙන්නා අඩුවෙන කොට තව කරදරයක් ආවා..

මොකක්දෑ ඒ කරදරෙ..?
දැන් නිතර මීයෝ නැති නිසා මෙ බළලා බඩගිනි වෙලා කෑ ගහනවා..මළ කන්දෝස්කිරියාවයි.
ඉතින් මෙකාට කන්ට දෙන්ට අහවල් එක තියෙනවා කියලයෑ..?
ඒකට විසදුමක් විදියට බළලාට කිරි දොවලාවත් දෙන්න කියලා..ආයේ වතාවක් ගම්මානේට බඩගාලා කොහේදෝ හිටපු ගොංවැස්සියෙක්වත් අරන් ආවා..
ගොං වැස්සී ගෙනාවට මොකද මෙ තාපසයා කිරි දොවන්ට දන්න එකක්යෑ..
ආයෙම ගම්මානෙට බඩගෑව මුන්දෑ කිරි දොවන්න කියලා කෙනෙක් හොයන කොට යන්තං කෙනෙක් හම්බ උනා..
ඉතින් ඒ හම්බ වෙච්ච කෙනාව අරන් ආයෙම සැරයක් අර ගල් ගේටම ආවට මොකෝ කිරි දොවන්ටයි කියලා තාපසයා එක්ක ඇවිත් තිබුනේ ගෑණු පරාණයක් නෙව..
ඉතින් මක්ක වෙන්ට ඇතිය කියලාද හිතන්ට ඇත්තේ...

කිරි දෙවිල්ල නියමෙට කෙරුණා ඔං..දැන් බළලාට සන්තෝෂයි. ඇයි කිරි තියෙනවානේ..
ඒ විතරක්නං මදැයි ටික කලක් යනකොට අපේ තාපස උන්නැහේටත් සංතෝෂයි වගේ..
ඒ මොකදෑ..?
මෙ කිරි දෙවිල්ලේ වැඩෙ කොච්චර හොඳට නැගලා ගියාද කිවුවොත්..
අර අම්මණ්ඩි මෙ තාපස උන්නැහේත් එක්ක පවුල් පන්සල් වෙලා තමා නැවතුනේ... හොඳයි නේද කිරි දෙවිල්ල...?

අන්තිමට මොකදෑ උනේ..
පවුල් පන්සල් වෙනවා කියන්නේ එහෙමත් සුළුපටු කාරියක්යෑ...

අර තාපස උන්දෑ දැන් තපස පැත්තක තියලා අර අම්මණ්ඩි ඉල්ලන ඉල්ලන එක ගෙනත් දෙන්ට වෙහෙස මාන්සි වෙනවා..
ඒ මදිවට ඉතින්ටික කාලයක් යද්දී එක දෙක වෙලා.. දෙක තුන වෙනකොට ලේසි පාසුය...
අන්තිමට මෙ තාපසයට උනේ මැරෙනකල්ම ගොනා වගේ බර අදින්ට තමයි.

ඔන්න මීයෝ අල්ලන්න ගිහින්.. කිරි දොවලා තාපසයට වෙච්ච දේ...

ඉතින් මෙක හොඳ ආදරුසමත් කථාව..අපේ ඔය කාට කාටත්..
අර අපේ උන්නැහේත් රට දියුණු කොරන කතාවක් කියලා තිබුනා නෙව..
උන්නැහේලාග් ඒ දියුණු කිරිල්ලත් මෙ වගේම තමා...

එකක් පසු පස එකක් ආදී වශයෙන් සැප පහසුකම් සොයා යෑමෙ අවසානය..
නිවනක් නැති මහා කරදර ගොඩක පැටලීමක් විතරයි..ඔං..

ආ ඉතින් ඔන්න අද ඇසළ පුර පසොලොස්වක පෝය දවසේ බණ කථාවකුත් කිවුවා කියලා හිතලා කවුරුත් එක්ක හිතාගන්ටකෝ...

[මාරයාගෙන් බණ අහලා නැහැනේ නේද.. මෙ උදවිය..]

පෝය ඩේ හොලිඩේ...

අද ඉතින් ඉරිදා නෙව..
කවුරුත් පාහේ කියන්නේ විවේකී ඉරිදා කියලානං තමයි..ඒත් ඉතින් ඒකේ ඇත්ත නැත්ත දන්නේ ඉරිදා තියෙන විවේකයේ තරම දන්න අයම තමයි.
කොහොම උනත් ඉරිදා ඉතින් රජයේ නිවාඩු දිනයක්නේ..
ඒත් ඔය නිවාඩුව පෞද්ගලික අංශයේ සේවක මහත්තුරුන්ටනම් දැන් බොහෝ විට අහිමිව ගිය වරප්‍රසාදයක් වෙලා කියලයි මට හිතෙන්නේ...
ඒත් අද නං ඒ ඇත්තන්ටත් ඉරිදා නිවාඩුව බොහෝ දුරට ලැබිලා ඇති..ඒකට හේතුව අද ඉරිදා විතරක් නෙවෙයි පෝයත් අදනේ..

"පෝය ඩේ හොලිඩේ" කියලා තමයි ඔං මං අහලා තියෙන්නේ...

මෙ ඉතින් ඇසළ පෝයනේ.. අපේ පන්සල්වල වස් වසන්නේත් ඉතින් මෙ පෝයට තමයි..

අර පන්සලේ ඉස්සරහ

"අයං වස්සාන කාලෝ "

කියලා පොඩි පහේ දැන්වීමක් එහෙම ගහන කාලේ..දැකලා ඇතිනේ නේද..
ඒක ගහන්නේ වස් වසපු හිමිවරුන්ට පන්සලෙන් බැහැරට වඩිනකොට මෙ වස් කාලය කියලා මතක් කරලා දෙන්නයි.
එතකොට ඒක දකින හිමිවරුන් වස් අධිෂ්ඨාන කොරගෙන තමයි බැහැරකට වඩින්නේ...

මං උන්නාන්සේත් හිටපු තැනම උන්නනං අද ඉතින් මෙ වෙන කොට වස් වසන්නට සූජානං වෙනවා නෙව..
ඇත්තටම කිවුවොත් වස් වසන්නේ අද නෙවෙයි හෙටයි.. අද කෙරෙන්නේ පළාත් වාසී මහ සඝරුවන පෝය සීමාවකට රැස් වෙලා ඇවැත් දෙසලා සිල් පිරිසිදු කොරාන ප්‍රාතිමෝක්ෂය එහෙම දේශනා කරන් හිටන් මූලික සූදානංවීම තමයි...

හිටියනං ඉතින් මගේ මෙ හයවෙනි වස් කාලය වෙන්ට ඔන මට මතක හැටියට...දැන් ඉතින් ඒවා සුං..සුනේ සුං..

ඉතින් පෝය ගෙයි විනය කර්ම කොරලා අහවර වෙලා..
ආපහු පන්සලට වැඩියට පස්සේ..ගම්මු එකතු වෙලා අර වස් වැසීම සඳහා සුදුසුකං ලබපු හිමියන්ට වස් ආරාධනාව කරනවා.

මෙක කරන්නේ සියළුම ගම්මුන් අතුරින් එක් අයකු විසින් තමයි..
ඊට පස්සේ ඉතින් හෙට හවස් වන්ට කළියෙන් ආරාධනාව බාරගත් උන්නාන්සේ බුදුන් වැඳලා වස් සමාදන් වෙනවා..

ඔය විස්තර පස්සේ කියමුකෝ..වස් වැසීම ගැන වෙනම ලිපියක් පහු කාලෙක ලියන්ට බැරියෑ..

ඉතින් අද මෙ මට විවෙකී ඉරිදා දවසේ ඔය බර බර කතාන්දර ලියන්ට බැහැ.. හැබැයි ඉතින් විවෙකී කිවුවට මාත් උදේ ඉඳලා ගෙදර දොරෙ වැඩ කටයුතු කම්මුතු කොරලා අහවර උනේ දැන් තමයි..

ලේසි වැඩක්ය..
උයන්ට පිහන්ට..
ගේ දොර අස්පස් කොරන්ට..
රෙදි හෝදන්ට..නාන්ට ගියහම වරුවක් ඉවරයි නෙව..

දැන් කල්පනාව මෙක කොටලා හමාර කොරලා දාලා ටිකක් නිදා ගන්ටයි කියලා තමයි.
ආ ඊට කළින් බාගෙට බලාපු චිත්තරපටි කෑල්ලකුත් තියෙනවා..ඒකත් බලලාම ටිකක් ඇල උනානම් හොඳා..

ඉතින් එහෙනං ඔං මං ගියා...

23 July 2010

පන්සලේ ජීවිතේ...අතීතයෙන් කථාවක්...

බස්නාහිර පළාතේ පිහිටි පන්සලකි. මෙහි භූමි ලක්ෂණ කියන්නට ගියහොත් තැන කුමක්දැයි සොයා ගැන්ම අසීරු නැති බැවිනුත් ස්ථානය එළිදරවු කිරීම මාගේ අභිප්‍රායක් නොවන නිසාත් එම තොරතුරු සඳහන් කිරීම මා විසින් හිතා මතාම පැහැර හරිමි.

පැරණි පන්සලකි. ඊට සම්බන්ධ තවත් පන්සල් ගණනාවෙකි...ඉන් විකසනය වූ පන්සල්ද බොහෝමයකි.
නමුත් මෙම පන්සල ගරා වැටෙමින් පැවතිණි.

එයට අයත් දේපල බොහෝමයක් නිසාවෙන් අතහැරීමට අකමැති කමින් පන්සල පවත්වාගෙන ගියත් එහි විසීමට කිසිවකුත් කැමති නොවූයේ ස්වාභාවික ව්‍යසන හා නොයෙකුත් දුෂ්කරතා නිසා බව සිතිය හැක..

මා පවසන කාලය වර්ෂ 1910ත් 1920ත් අතර විය හැකි කාලයකි...

මෙම පන්සලේ නවතාලීමට සංඝයා වහන්සේ කෙනෙකු නැති බැවින් එවකට එහි හිමිකාරීත්වය දැරූ නායක හිමියන් ඊට විසදුමක් සොයමින් සිටි කාලයයි. ඒ වන විට උන් වහන්සේ වැඩ සිටියේ මෙම පන්සලට හැතැප්ම දෙකක් පමණ දුරින් පිහිටි තරමක් දියුණු තත්වයේ විහාරයක වීය.. මෙ වන විටත් උන්වහන්සේගේ ගෝලයින් හතරපස් නමක් සිටියද එම සියළුම හිමි වරුන්ට හොඳ තත්වයේ පැවති විහාර කිහිපයක්ම භාරදී තිබූ අතර මෙම පන්සලත් තවත් මෙයින් සැතපුම් විස්සක් පමණ ඈත පිහිටි පන්සලකටත් භාරකාර හිමිවරුන්ගේ පුරප්පාඩු තිබිණි.

අවසානයේදී තමාට හම්බඋන සුදුසු අයකු මහණ කර එම ඈත විහාරයෙහි නැවැත්වූ නායක හිමියන් මෙම විහාරයේ නවතා තැබීම සඳහා තම පන්සලෙහි මෙතෙක් කලක් සිටි අතවැසි කොල්ලකු පැවිදි කරන්නට යෙදුණේ මෙම ගැටළුවට තාවකාලාක විසදුමක් හො සෙවීම සඳහාය..

එම කොළුවා මෙතෙක් කල් කලේ විහාරස්ථානය සතු කරත්තය දැක්කීමත්..ඊට අමතරව පන්සලේ සිටිමින් තමාට හැකි ආකාරයෙන් මන්ත්‍ර ගුරුකම් ආදිය උගෙනුමත් පමණි..ඒ හැර ඔහු උගත් බණක් දහමක් පිළිබඳව නම් පැහැදිලි තොරතුරක් නොමැත...

කෙසේ වෙතත් අවසන කරත්තය බැඳි කොල්ලා පැවිදි කර මෙහි භාරකාරත්වය පවරන ලදි..
ඇත්තෙන්ම එය භාරකරුටත් වඩා මුරකරු යන නමින් හැදින්වීම වඩාත් උචිතයැයි සිතමි.

කවුරුන් හෝ ස්වකීය ආගමික අවශ්‍යතාවයක් පිළිබඳව දැන්වූ කල්හී පෙර කී නායක හාමුදුරුවන්ට ඒ පිළිබඳ දැනුවත් කිරීමත්..පන්සල සතු දේපල ආරක්ෂා කරගෙන සිටීමටත් එහා ගිය යමක් කෙරුමට එහිමියන්ට අවකාශ නොතිබිණි.

නායක හිමියන් විසින් දැනුවත් වූ පසුව අරකී දායකයාගේ ආගමික අවශ්‍යතාවය සුළුවෙන් ඉටුකර දීමත්..අඩුවක් නොකර පන්සලේ ආදායම් නියමිත වෙලාවට එකතුකර ගැනීමත් නිසි පරිදි සිදු විය..

මෙම තත්වය නොරිස්සූ ගම් වැසියන් කිහිපදෙනෙක් ගමෙහි සිටිනා ලදහ.

ඔවුන් පාරම්පරිකව මෙම පන්සලෙහි දායකයින් වූ අතර නිසි තෙරණුවන් කෙනෙකුගේ මූලිකත්වයක් නොමැති වීම නිසාම පන්සල දියුණු කිරීමට නොහැකිව බලා සිටි අය වූහ.

විශේෂයෙන්ම තම අවශ්‍යතාවයකදී එම අවශ්‍යතාවය තමනුට රිසි පරිදි ඉටුකර ගැනීමට නොහැකි වීම නිසා නොරිස්සුමෙන් සිටි අය වූහ..ඊට හේතුව නායක හිමියන් විසින් මෙම ගමෙහි ආගමික කටයුත්තකදී එය උඩින් පල්ලෙන් කරනවා විනා.. එයට වැඩි අනුග්‍රහයක් නොදක්වන ලදි. උදාහරණයක් ලෙසින් හත්නමක දානයක් දීමට උවමනා වූ අයට පස්නමක් හෝ හය නමකින් සෑහිමට සිදු වීම ආදියයි..
දායකයින්ට අවශ්‍ය පරිදි පිංකම් ආදිය සංවිධාන කිරීමට නොහැකි වීමත් ආදිය මීට බලපාන ලදි.

තත්වය මෙසේ වද්දී පන්සලට ලැබුණු නවක තෙරණුවන්ද ඔවුනට ගැටළුවක් විය..නායක හාමුදුරුවන්ගේ කරත්තය බැන්ද කොල්ලා මහණ කර තමන්ට වැඳුම් පිඳුම් කිරීම සඳහා ගමට එවීම මුළු ගමටම කරන ලද අවමානයක් සහ නොසලකා හැරීමක් ලෙස ගම්මුන් විසින් දක්නා ලදහ.

ටිකෙන් ටික කාලය ගත වී යන ලදි.

භාරකාර හිමියන් තම ගුරුකම් අතේ වැඩ වලින් ගම්මුන්ට යම් තරමින් හෝ සේවය කරමින් ..ආගමික කටයුතු නායක හිමියන්ට ඇවසි පරිදි කිරීමට හරිමින් කල් යවන ලදි..

කෙසේ වෙතත් එම හිමියන් තුල වූ නිරහංකාර කමත්.. සුහදශීලීබවත් කල් යද්දී ගම්මුන් විසින් හොඳින් හදුනා ගන්නා ලද අතර කෙමෙන් කෙමෙන් ගම් වැසියන් උන්වහන්සේව පූජ්‍යත්වයෙන් භාරගැනීමට හිත් හදා ගන්නා ලදි.

නමුත් පන්සලේ දියුණුවක් නම් නොවීය..කිසිදු විහාරාංගයක් හෝ අමුතු පින්කමක් නොවූ අතර..
පවතින තත්වය දිගටම රැගෙන යාම පමණක් විණි...

පන්සලේ වැඩසිටින භික්ෂූන් වහන්සේට පන්සල දියුණු කිරීමෙ උවමනාවක් ඇතත් එයට ඇවසි බලතල උන්වහන්සේ සතු නොවූ බව ගම්මුන් දැන සිටියහ..

මෙසේ කාලය ගත වන විට පන්සල පිහිටි බිමෙ නව වගා කටයුතුකිහිපයක් කරලීමට සිදුවූයේ එහි වූ පැරණි වගාව ඉවත් කිරීමට සිදු වූ බැවිනි..

ඒ අනුව එතෙක් පැවති රබර් වගාව ගලවා දමා නැවත අළුතින් රබර් වගාව සිදු කරලිය යුතු විය..

මෙහිදී උපදෙස් නායක හිමියන්ගෙන් වූ අතර වෙහෙස මහන්සිය පන්සලේ වැඩ සිටි හිමයන් හා කිට්ටුව පාත සිටි දායකයින්ගෙන් විය..

ගිනිකන්ද පුපුරා ගියේ රබර් වගාව ලොකුමහත් වීමත් සමගමය..

රබර් වගාව කිරි කැපීමට සුදුසු තත්වයට පැමිණ තිබුණි.

මෙ කාලය වන විට නායක හිමියන් අපවත් වී සිටි අතර එහිමියන්ගේ වැඩිමහළු ගෝලයා එම විහාරයන්හී භාරකාරීත්වයටත් නායක හිමියන් සතුව තිබූ නායක පදවියත් හිමි කරගෙන තිබුණි.එපමණක් නොව එම හිමියන් මෙ වන විට සිය පළමු ගෝලයාද තනා තිබුණි..

ඒ අනුව මෙ වන විට ගුරු හාමුදුරුවන් නොවූ අතර නායක පදවිය ලත් හිමියනුත්, මෙම පන්සලේ වැඩ සිටි හිමියනුත් පැවිදි සොහොයුරන් විය

මෙ වන විට කෙසේ හෝ අප පන්සලේ වැඩ සිටි හිමියන්ද සිය පළමු ගෝලයාද මහණ කර තිබුණි. නමුත් කිසියම් හිත්අමනාපකමක් නිසා එම ශිෂ්‍ය හිමියන් ගුරුවරයාගෙන් වෙන්ව ගොස් අධ්‍යාපනය ලබමින් උන්නේ ඉන්දියාවෙය..
ඉගෙනුමට උපන් හපනෙකු වූ ගෝලයා දෙස බලා සතුටු වූ පන්සලේ වැඩ සිටි හාමුදුරුවන් තරහා මරහා නොසිතා සිය ගෝලයා හට අවශ්‍ය වියදම් කෙසේ හෝ ලබා දුන්නේ තමන්ට නොවූ ගෞරවයක් ගෝලයා හෝ ලබනු රිසියෙනි.

මෙම පන්සලේ ගෝල හිමියන් අමනාපව සිටීම තම වාසියට හරවා ගැන්මට සිතූ නව නායක පදවිය ලත් හිමියන් සිය ගෝලයා මෙම පන්සලේ වැඩකටයුතු වලට එවීමට නිතර කටයුතු කල අතර උන්වහන්සේට උවමනා වූයේ ක්‍රමක්‍රමයෙන් පන්සලේ වැඩ සිටින හිමියන් අතට යන දායකයින්ගේ ආකර්ෂණය අඩුකොට පන්සලේ භුක්තිය තව දුරටත් සිය සන්තකයේ තබා ගැනීමයි..

ඒ අනුව එම තරුණ ගෝල හිමියන් නිතර මෙහි පැමිණ ආගමික වතාවත් ඉටු කරනු ලැබූ අතර කෙසේ හෝ දායකයින් සිය වසගයට ගැනීමට උත්සහ දැරීය...නමුත් ඒ වන විට ප්‍රශ්නය සිතූ තරම් පහසු නොවීය...

දිනක් පන්සලේ සවස් කාලයේ පැවති බෝධි පූජා පින්කමක් පැවැත්වීමට පෙර තරුණ හිමියන් විසින් කිසියම් ගම් දරුවකුට බැණ වැදී තිබුණු අතර එම බැණ වැදීම මහා ආරවුලක් වූයේ ගම් වැසියන් කෝපවී පොළු මුගුරු රැගෙන එම හිමියන්ට ගහන්ට එළවීමත් සමගය..
කෙසේ හෝ පොළු පහර නොකා වතු මැද්දෙන් ඇළවල් මැදින් පැන දිවූ එහිමියන් නැවතුණේ සිය පන්සලටම දුව ගොසින්ය..

ඇත්තෙන්ම මිනිසුන්ට ඇවසි වූයේ කෙසේ හෝ පන්සලේ බලය පන්සලේ වැඩ සිටිනා හිමියන්ට පැවරීමට වූ අතර..
අවට පන්සල් වලසිටි සංඝයා වහන්සේලා මෙයට අකමැති වූයේ මුරට එවූ තැනැත්තාට පන්සල නතු වීම බලා සිටීමට නොහැකි කුමක්දෝ ඉරිසියාවක් නිසාය..එම හිමිවරුන් නායක හිමියන්ට පක්ෂව සිටියේ මෙම පසුබිමත් සමගය...

ගම්වැසියන්ගේ උවමනාව කෙසේ වෙතත් අවට පන්සල්වල හිමිවරුන්ගේ සහය නැතිව පන්සලෙහි බලය පන්සලේ වැඩ සිටි හිමියන්ට නතු කර දීම පහසු නොවූ අතර ඊට බලපෑ තවත් හේතුවක්ද විය...

එය සංඝ සමාජයේ පවතින නීතියක් නිසාය...

එනම් ගිහි දේපල මෙන් නොව සඝ සතු දේපලවල අයිතිය පියාගේන පුතාට මෙන් යන ක්‍රමයක් නොව..

වැඩිහිටි ගෝලයාගෙන් වැඩිහිටි ගෝලයාට යන පරිදි සැලසුම් වී තිබීමයි.

ඒ අනුව යම් පන්සලක හිමිකාරීත්වය යම් අයකු සතු වූයේද..එම හිමියන්ගේ වැඩිමහළු ගොලයා හට ඊළග අයිතිවාසිකම හිමිවනු ලබයි..එම ගෝලයාගේද පළමු ගෝලයා හට එයින් පසු පන්සල සතු උරුමය ලැබේ...

මෙම ක්‍රමය නිසා එක හිමිවරයකු යටතේ ගෝලයින් කීප දෙනෙකු පැවිදි වූවද.. එයින් වැඩිමහළු ගෝලයාහට නායක හිමියන්ගේ අවෑමෙන් පන්සලත් එයට සම්බන්ධ අනිකුත් සියළු පන්සල් හා ඉඩකඩම්ද හිමිවන අතර අනිත් හිමිවරුන්ට එම සිය වැඩිමහළු පැවිදි සොයුරාගේ යටතේ සිටීමට සිදු වෙ.. එම වැඩිමහළු සොයුරාගේ ඇවෑමෙන් පසුවද එම දේපල ඔවුන්ට හිමි නොවන අතර වැඩිමහළු හිමියන්ගේ පළමු ගෝලයා හට එම සියළු දේපල හිමි වෙයි.

මෙම නීතිය අනුව නම් මෙම පන්සල හිමිවන්නේත් පෙර කී පන්සලේ දැනට වාසය කරනු ලබන හිමියන්ට වීම ගම් වැසියන්ගේ අරමුණ ඉටුකරලීමට බාධකයක් වී තිබූ අතර...
ගැටළුවට නීත්‍යානුකූල විසදුමක් නොතිබිණි.

රබර් වගාව කිරි කැපීමට සුදුසු වයස වන විට පන්සලේ තත්වයත් මෙබඳු වීය...

අළුත් වගාවෙ කිරි කැපීම සඳහා දිනක් නායක හාමුදුරුවන් විසින් පිරිසක් එවීමත් සමගම කුපිත වූ ගම් වැසියෝ ඔවුනට පහරදී එළවා දැමූහ...

මෙයට කුපිත වූ නායක හිමියන් විවිධ ආකාරයෙන් පන්සලේ වැඩ සිටි හිමියන්ට දෝෂාරෝපනය කල අතර එහිමියන් පැත්තක් ගත නොහැකිව අසරණ වී තිබුණි...

එක අතකින් තමාගේ වැඩිමහළු පැවිදි සොයුරාට එරෙහි විය නොහැකිවීමත්..

අනික් අතින් තමාට මෙතෙක් දාන මාන සපයමින් සැලකූ දායකයින්ට එරෙහිවීමත් කළ නොහැකි වූ අතරම තමාගෙන් පසු තම ගෝල හිමියන්ට උරුමයක් නැතිව යනවාට වන අකමැත්තත් විය..

නායක හිමියන් මෙම ගැටළුවට අවට පළාත්වාසී නායක හිමිවරුන්ගේ පිළිසරණ පැතූ අතර..පන්සලේ වැඩ සිටි හිමියන් උරණ වෙනවාටද තරමක් බියෙන් පසු වූයේ එහිමියන් සතු ගුරුකම් පිළිබඳව මෙ වන විට හොඳින් දැන සිටි නිසා වූ අතර..තරමක් හෝ සහනයකට තිබුණේ තදබල ලෙස කෝපවීමකදී හැර උන්වහන්සේ කිසිවකුටත් හානිවන අන්දමින් එම සාස්කරය පාවිච්චි නොකිරීමත් නිසාය..

නමුත් ඒ වන විටත් අවස්ථා කිහිපයකදී නොවැලක්විය හැකි තත්වයන් මත අප පන්සලේ හිමියන් විසින් නොහික්මුණු මිනිසුන් කිහිපදෙනෙකුට තම සාස්තරයෙන් දඩුවම් ලබා දී තිබූ නිසා.. පන්සල් වත්තේ කෙසෙල් කැන් කපමින් නොයෙකුත් අළාබ හානි කල අයටද.. බීමතින් පැමිණ හිමියන්ට පයින් ගැසීමට සැරසුන කාලකණ්ණි මිනිසකුටද ආදී වශයෙන් කිහිප දෙනෙකුට නිසි පිළියම් ලැබී තිබුණි..
කෙසෙල් කැපූ එකා කැපූ කෙසෙල් කැනත් කරේ තබාගෙන පසුදා එළිවන තුරුත් පන්සල් වත්ත වටෙ දුවමින් සිටි අතර..කකුල එසවූ පුද්ගලයාට නම් කකුල කුණු වීමෙ රෝගයකට ගොදුරු වී මාස ගණනාවක් එකතැන දුක් විඳීමට සිදු වූ අතර පසුව හිමියන්ගෙන් සමාව ගැනීමෙන් පසු සතියක් ඇතුළත තුවාලය සුව කර ගැනීමට හැකිව තිබුණි.

මෙම පසුබිම යටතේ කල්පනාකාරීව කටයුතු කල නායක හිමියන් පළාතේ නායක හිමිවරුන් සහ ලොකු හාමුදුරුවරු සෑහෙන පිරිසක්ද රැගෙන පන්සලට ආවෙ නැවත පන්සලේ බලය ලබා ගැනීම සඳහා වූ අතර..

ගම් වැසියන් සමග කල සාකච්ඡා අවසන් වූයේ තම අරමුණ ඉටු කරගත නොහැකි මට්ටමට පැමිණි පසුය...
ගම් වැසියන්ගේ අරමුණුවලට කිසිදු සැලකීමක් නොකල හිමිවරුන් පන්සල් පිළිබඳ නීති රීති පමණක් කතා කල අතර ඔවුන් සියළු දෙනාටම උවමනා වූයේ පන්සලේ සියළු අයිතිය නායක හිමියන් සතු කරවීමත් පන්සලේ වැඩ සිටින හිමියන්ට හා එහිමියන්ගේ ගෝලයා හට මුරකරු තනතුරින් එහාට යමක් නොදීමත්ය...
මෙනිසා තම අදහස්වලට කිසිදු වැදගත්කමක් හෝ දීමට සූදානම් නොවූ හිමිවරුන්ට ඇහුම්කන් නොදුන් අතර තත්වය තවත් බරපතළ වූයේ කෝපවූ තරුණ පිරිස් විසින් කලහකාරී ලෙස හැසිරීමත්ය...

අවසන බලාපොරොත්තු සුන් වූ හිමිවරුන් පිටව ගිය අතර හැතැප්මයක් පමණ යන තෙක් ඔවුනට භුක්ති විදීමට සිදු වූයේ ගම් වැසියන්ගේ හූ හඩ පමණි.

මෙ අතීත කථාවෙ එක් පරිච්ඡේදයක් පමණි..
මෙයින් පසු සිදු වූ දේ නැවත ලිපියකින් බලාපොරොත්තු වන්න.. සමහර විට ලියන්නට තිඛෙන මගේ කම්මැලිකම විසින් නැවත මෙ පිළිබඳව නොලියා සිටීමටද මා පොළඹවන්නට ඉඩ ඇත...

............................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

22 July 2010

පන්සලේ ජීවිතේ...පිළිගැනීමෙ පෙරහැර...

කටයුත්තට සම්බන්ධ වූ මුත් මහ සරත්ගේ අණට යටත්ව වැඩ කටයුතු කිරීමට නොරිසි කීප දෙනෙක්ම කටයුත්තට මුල් වූ පිරිස අතර විණි. ඒ අන් කිසිවක් නිසා නොව කුල භේදයයි.

මෙනිසාම කටයුතු කෙරීගෙන ගියත් තැන තැන කිහිප දෙනා කුසු කුසු ගාමින් උන්නා විනා සමහරු කිසිම අයුරකින් වැඩෙට දායකත්වයක් සපයන ආකාරයක් දක්නට නොවිණි.
ඒ මදිවාට වැඩ කෙරෙනා ආකාරය පිළිබඳව කෙරෙන විවෙචනද සමහර විට අප හට ඇහෙන තරම් විය.

කෙසේ හෝ කොළඹ සිට ඥාණාලෝක හිමියන්ද වැඩම කල පසු පිරිස අතර උද්යෝගය තව තවත් වැඩි දියුණු වී ගිය ආකාරය නම් පැහැදිලිව දකින්නට ලැබිණි.

පන්සල අස්පස් කළ පිරිස හිටි අඩියේ පන්සලෙන් පිටත්ව යන්නට විණි...

ඥාණාලෝක හිමියන් සහ කීප දෙනෙක් පමණක් බණ මඩුවෙ යම් කථා බහක නිරත වී සිටිනා ආකාරයක් දක්නට ලැබිණි. මෙවන විට පොත් පත්වලට කළ දෙය නිසා මාගේ සිතෙහිද ඔහු පිළිබඳව වැඩි පිරියක් නොවීම නිසා ගිලන්පස පිළිගැන්වීමට වඩා ඔහු හා කතා බස් කිරීමට නොයා සිටීමට මා වග බලා ගතිමි.

පිරිස පන්සලෙන් පිටව ගොස් පැය භාගයකට පමණ පසු පන්සල ඉදිරිපිට පාරෙන් ආගන්තුක රුවක් මතු විණි.

වයස පණහක් හෝ ඊට ආසන්න මට්ටමක විය හැකි තට්ටය පෑදී ඇති,හිසෙහි තැනින් තැන සුදු හිස කෙස් මතුව තිබූ, තරමක් ඉදිරියට බර වූ කෙසග සිරුරින් යුතු වූ, තරමක් අපිරිසිදු,හා නොසැලකිල්ලෙන් ඇන්දා යැයි පැහැදිලිව පෙනෙන කහ පැහැ සිවුරක් දරාගත් හිමිනමක් තරමක් කඩිනමින් උඩින් උඩින් අඩිය තබා පන්සලට වඩිනි පෙණිනි. එක් අතක් සුළගේ පද්දමින් අනිත් අත උරය මත රැදුනු ගුරු පැහැති මල්ලේ රුවාගෙන පැමිණි හිමිනම වෙත ඒ තරම් අවදානයක් යොමු නොවූ අතර හෙතෙම මා සිටිනා දිසාවට පැමිණ

"කෝ ලොකු හාමුදුරුවෝ ඉන්නවාදැ"යි ඇසීය..

මෙතෙක් කලක් මෙහි මා හට සිටි ලොකු හාමුදුරුවෝ නාරද හිමියන් වූ අතර උන්වහන්සේගේ නික්ම යාමෙන් පසු මෙ වන විටත් මා හට මෙහි ලොකු හාමුදුරුවෝ යැයි කියා කියන්නට හරිහමනි කෙනෙකු නොවීය...
චන්දවිමල හිමියන් පොඩි හාමුදුරු තනතුරෙන් ඉහළට යෑමට නොකැමති විය.
එහෙයින් දිය යුතු නිසි පිළිතුරක් සොයා ගත නොවූ මා..

"මොන ලොකු හාමුදුරුවොද හාමුදුරුවනේ" යැයි පෙරළා විමසීය...

තරමක් විපිළිසර බැල්මක් මා වෙත හෙළු හිමියන්

"ඇයි ඥාණාලෝක හාමුදුරුවෝ..."

යැයි කියා සිටි බැවින් ..මෙතෙක් වෙලා බණ මඩුවට වී සිටි ඥාණාලෝක හිමියන් පෙන්වමින්..

"ආ උන්වහන්සේ නම් අර ඉන්නේ"

යැයි දක්වාලීමි.

"ආ..හරි හරි.."

කියමින් බණ මඩුව දෙසට පිය නැගි හිමි නම දුටු ඥාණාලෝක හිමියන් වහා ඉදිරියට විත් ආගන්තුක හිමියන් පිළිගැනීමට සූදානම් වෙද්දී ආගන්තුක හිමි නම ඥාණාලෝක හිමියන්ට වැඳීම සඳහා සිවුර සකස් කරන ආකාරය මා පැහැදිලිව දක්නා ලද අතර එය තේරුම් ගත් ඥාණාලෝක හිමියන් වහාම ආගන්තුක හිමියන් වලක්වාලමින් උන්වහන්සේගේ අත් දෙකම අල්වා ගනිමින් පිළිසඳර කථා බහේ යෙදෙන්නට විණි.

මෙය මා හට මහත් ගැටළුවක් විය.

මෙ වන විට පන්සල ඇසුරෙ යම් කලක් හිඳ පළපුරුදු මා හට සංඝයා වහන්සේලා අතර ඇති වත් පිළිවෙත් පිළිබඳව සෑහෙන ආකාරයක අවබෝධයක් විණි. ඒ අනුව නම් යම් කිසි හිමිවරුන් දෙනමක් හමු වූ විට පැවිද්දෙන් හෝ උපසම්පදාවෙන් වැඩි මහළු තෙරණුවන් හට බාල හිමිවරුන් වැඳීම සාමාන්‍ය සිරිතයි.

උපසම්පදා නොවූ දෙනමක් අතරනම් පැවිද්දෙන් වැඩිමහළු කෙනාහට වඳිනු ලබන අතර,
උපසම්පදා හිමිවරුන් නම් උපසම්පදාවෙන් වැඩිමහළු කෙනාහට වැඳීම කරනු ලබයි.

පැවිදි වී කොයි තරම් කල් වූවත් උපසම්පදා වූ නැතිනම්.. අද උපසම්පදා වූ තෙරණුවන්ට වූවද වැඳීමට සාමණේර මහළු හිමිවරුන්ට සිදු වෙ... එහිදී වයස බලනොපායි. උපසම්පදාවම වැදගත් කොට සලකාලන්නාහුය.

මෙහිදී නාදුනන හිමිවරුන් නම් අනිකාගේ සගමාළු තත්වය දැන ගැනීම සඳහා යම් පිළිවෙතක් භාවිතා කරයි..

එනම් හමු වූ දෙදෙනාම අනිකාට වැඳීමට මෙන් සිවුර සකස් කර ගන්නා අතරම

"අපේ හාමුදුරුවන්ගේ වස් එහෙම කොහොමදැ"යි

එක් අයකු අනිකාගෙන් විමසා සිටිති. එහිදී අනිකා විසින් තමාගේ වස් ප්‍රමාණය පවසනු ලබන අතර ඒ අනුව අනික් තැනැත්තාද තමන්ගේ වස්ප්‍රමාණය දක්වා සිටියි. ඒ අතරම වස් ප්‍රමාණයට අනුව බාලයා වස් වලින් වැඩිමහළු හිමියන්ට වැඳීම සිදු කරනු ලබයි. මෙහිදී වස් යනු උපසම්පදා වීමෙන් පසු වර්ෂයකට වරක් පන්සලක වස් සමාදන් වීමයි. උපසම්පදා වූ හිමි නමක් උපසම්පදාවෙ සිට වසර දහයක් ගත වී ඇත්නම් ඊට වස් දහයයි යනුවෙන් පවසති. එම වස් යනු උපසම්පදාවෙ සිට ගත වී ඇති වසර ගණනයි. සාමාන්‍යයෙන් උපසම්පදා භික්ෂුවක් විශේෂ හේතුවක් නොමැති සෑම විටම අනිවාර්යයෙන්ම වස් කාලය තුල වස් සමාදන් වීම අනිවාර්යය වේ.

ඥාණාලෝක හිමියන්ට මෙ වන විට වයස විසි පහත් තිහත් අතර පමණ වූ අතර ආගන්තුක හිමයන්ට පණහකට ආසන්න බවක් පෙනෙන්නට තිබියදී එම හිමියන් ඥාණාලෝක හිමියන්ට වඳින්නට සැරසීම පිටුපස කුමක් හෝ දෙයක් තිබිය යුතුය..නොඑසේනම් උන්වහන්සේව වලක්වා ඥාණාලෝක හිමියන් හෝ ආගන්තුක හිමි නමට වඳිනු දක්නට නොලැබිණි.

ඥාණාලෝක හිමියන් ගම්මුන්ට පවසා තිබුණේ වැඩිහිටි උගත්, වියත්, පණ්ඩිත හිමිනමක් පන්සලට වැඩම කරවන්නට නියමිත බවයි.. ඒ වඩමවනු ලබන හිමියන් අනිවාර්යයෙන් උපසම්පදාලාභී භික්ෂුවක් වීම අනිවාර්ය වූයේ නැතනම් පන්සලේ වස් වැසීම සඳහා නැවතත් පිටතින් හිමිවරුන් සොයා යෑමට ගම්මුන්ට සිදුවන නිසාය.

ඒ නිසා මා සිතුවෙ එක්කෝ මෙ පැමිණි හිමියන් මිනිසුන් බලාපොරොත්තුව සිටි අය නොවන බවත් වෙන අයකු විය හැකි බවත්ය..එසේ නම් උන්වහන්සේ පැමිණෙන්නට ඇත්තේ ඥාණාලෝක හිමියන් මෙහි එන බව දැන උන්වහන්සේ හමු වීමට විය යුතුය.

ඒ කෙසේ වෙතත් පන්සලෙන් පිටත්ව ගිය ගම්මුන්ට සිදු වූ දේ තවමත් මා දැන සිටියේ නැත.
මෙතෙක් වෙලා පන්සලේ සිටි දරුවකුට අඩ ගැසූ ඥාණාලෝක හිමියන් ඔහුට කිසිවක් පවසන ලදින් හේ මිටින් හල කුරුල්ලකු සේ වෙගයෙන් පන්සල් භූමියෙන් ඉවත්ව යන ලදි..

මඳ වෙලාවක් ගතවිණි.

ආගන්තුක හිමියන් හා ඥාණාලෝක හිමියන් ඈතට වී අවට පරිසරය දෙස ඇස් යොමු කරවමින් මොන මොනවාද කතා බස් කරනු පෙනේ...

එක් වරම පන්සල් පාරෙන් මතු වී එන්නට පටන් ගත්තේ මෙතෙක් වෙලා අතුරුදහන්ව සිටි ගමෙ දායක පිරිස විය..
ඔවුන් සියළු දෙනාම අත කුඩා බෞද්ධ කොඩි විය..දහම් පාසල් දරුවන් කිහිප දෙනෙකු යොදා සකස් කර තිබූ ලී කෙළි කණ්ඩායමක් හා කුළු හා කළගෙඩි නැටුම් කණ්ඩායම්ද විය.. ඒ මදිවාට හරමාන්ස ගුරුන්නාන්සේ නමින් මෙ වන විට මා විසින් ද හඳුනා ගෙන තිබූ අසල ගමක විසූ ඛෙර වාදන ශිල්පියා හා ඔහුගේ ගෝලයාද විණි. ඔවුන් අත හේවිසි හා දවුලද විණි.

සියළුම පිරිස පන්සලට වෙගයෙන් ඇතුළු වනු දක්නට ලැබුණු අප සිතුවෙ මොවුන් අමුතුම ආකාරයේ පිළි ගැනීමක් සූදානම් කර ඇති බවය..

එනම් ආගන්තුක හිමියන් පන්සලට වැඩම කලාට පසු සැගවී සිට එක් වරම පෙනී හිඳ ඛෙර ගසා..නැටුම් නටා.. කොඩි සේසත් වනා.. ඒ හිමියන් පුදුම කොට පිළි ගනු ලබන ආකාරයේ වැඩක් බවයි. එසේ සිතීමෙ වරදක් නැති වූයේ වැඩෙ මූලිකයා වූයේ මහ සරත් වූ බැවිනි.

නමුත් කුමක් හෝ වෙනසක් ඇති බව ඉතා ඉක්මනින්ම වැටහී යන්නට වූයේ පිරිස තරමක් කෝපයෙන් මෙන් සිටිනු දක්නට ලැබීම නිසාය..

වැඩිහිටියන්ගේ මුහුණු නාළු වී ගොස් තිබූ අතර..
නැට්ටුවන් සේ ඇඳ සිටි දරුවන්ගේ දෙමාපියන් තරහින් පුපුරනවා පැහැදිලිව දක්නට ලැබිණි.

මා හිමින් සීරුවෙ හරමානිස් ගුරුන්නාන්සේ වෙතට කිට්ටු වූයෙමු...

"මොකද ගුරුන්නාන්සේ..මොකක් හරි අවුලක්ද..."

"නැහැ ළමයෝ..අපි අරහෙ මෙ හාමුදුරුවන්ව පිළි අරගෙන පෙරහැරින් වඩම්මන්න බලන් ඉන්නවා..මෙ හාමුදුරුවෝ අනිත් පැත්තේ පාරෙන් හොරෙන්ම මෙහාට වැඩලා.. මදැයි කොළා.. පෙරහැර කොට උඩ..."යි

කියමින් තනිවම සිනාසෙන්නට වූ අතරේම

"ඒකෙන් මෙකෙන් මුන් මට ගාස්තුවත් දෙයිද දන්නේ නැහැ..ඇයි ඉතින් ඛෙර ගහන්න ආවාට ගහන්න උනායෑ.."කියමිනි.

මට සිදු වී ඇති දේ පැහැදිලි විණි. පන්සලට එන්නට ප්‍රධාන පාරෙ සිට පාරවල් දෙකකි. එකක් පන්සලේ වම් පසින් වූ අතර එය ප්‍රධාන මාවතෙහි සිට මීටර තුන්සීයක් පමණ විණි.
අනික් පාර පන්සලෙන් දකුණු පසට විහිද තිබූ අතර එය මීටර් අට සීයක් පමණ විණි. හාමුදුරුවෝ දිගු පාර තෝරාගෙන තිබූ අතර ගම්වැස්සන් කෙටි පාරෙන් පෙරහැර සූදානම් කර තිබුණි. හාමුදුරුවන් බසයේ එන ගමන් පිරිස පාර අයිනේ සූදානම් වී සිටිනු දැක දැකම එතැන පසුකර ගොස් අනිත් පැත්තේ පාරෙන් පැමිණ තිබුණි.

පළමු සැළසුම අසාර්ථක වූ මුත් සිදු වූ දෙයින් සතුටු වූ පිරිසක්ද වූයේය...

දයාසේන හා රූපරතන අයියා පමණක් නොව වැඩ පිළිවෙල හා මහ සරත්ව නොරිස්සූ ගම් වැසියන් කිහිපදෙනෙකුද ඒ අතර විණි.

කෙසේ නමුත් තරමක් නොරිස්සුම් වදන් හා උසුළු විසුළු මැද කුඩා උත්සව සභාවක් පවත්වා පිරිස විසිර ගිය අතර
ඥාණාලෝක හිමියන් හා නවක භික්ෂූන් වහන්සේ ආවාසය දෙසට පැමිණියේ මහසරත් හා තවත් ප්‍රධාන පෙළේ දායකයින් කිහිප දෙනෙකුද කැටුවය...

...............................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

21 July 2010

එකම පැතුම...

සිතේ තිබුණු දුක උදුරා ඉවත දමා..
නෙතේ කඳුළු පිසදා සිනහව රඳවා..
ලයේ උනුහුමට පෙම් මල් පුබුදුවලා..
මගේ දිවිය සරසා ඈ වෙන්ව ගියා..

දිනෙන් දිනට යයි කාලය ගතවීලා..
විතෙන් විතට යයි ජීවය ඉවත ගලා..
දුරින් නොව ළගින් හිත යට ගුළි කරලා..
නුඹෙන් තොර ලොවක මට පල නැහැ ඉඳලා..

සිතා ගන්න නොහැකිය ඔබ ගිය අරුම..
දරා ගන්න හිතටත් බර වැඩිය දුක..
ඛෙදා ගන්න ඔබවත් ළග නැති රැයක..
මගේ දුක පවසම්ද කාහට මෙලොව තුල..

එදා මෙදාතුර කාලය ගත වූව..
මගේ හදෙ නුඹ සැගවී ඇත තාම..
මරා ගන්න බැරි ප්‍රේමය හැමදාම..
දිනෙන් දින දවයි මා හදවත බෝම..

දුකට උනන කඳුළැල් නෙතු පුරා තබා..
සිතට දැනෙන රුදු පාළුව වෙළා තබා..
පෙමට බැඳි මසිත පොඩි කර තලා දමා..
ඉවත ගියේ ඇයි කතරක තනිව දමා..

නුඹෙ නමට පෙම් කවි වැල් ගොතන්නයි..
නුඹෙ නමින් සැමදා දුක් විඳින්නයි..
නුඹෙ සැපත මගෙ සැපතයි සිතන්නයි..
නුඹෙ නමින් මා මතුදා මියෙන්නයි..

සිතා ඉන්නේ නැවත ඒයැයි..

දරා ගන්නට නොහැකි වූ සඳ..
ජීවිතේ රුදු වෙදනා..
නිමා වෙන්නට කලින් ප්‍රේමිය..
කොහේදෝ යන්නට ගියා..
සිතා ඉන්නේ නැවත ඒයැයි..
කෙදිනදි හෝ මා සොයා..
පිපෙන්නේ කවදාද මල් යළි..
වියළි අතුමත වී සිනා..

පන්සලේ ජීවිතේ...වෙළං බාස් සහ මහ සරත්...

බදාදා දිනයට එළඹිණි.

උදෑසන කාලය සාමාන්‍ය පරිදි විය. දානය ලැබුණි. අප දෙදෙනාද පාඩුවෙ බලා සිටියෙමු.
බලා සිටිනවා ඇරෙන්නට අමුතුවෙන් කරන්නට කියා රාජකාරියක් අප වෙත නොවීය. මට සිතෙනා සැටියට ජීවිත කාලය පුරාවටම මා සරලව හා සැහැල්ලූවෙන් යුතුව දිවි ගෙවූ දින කීපය එය බව මාගේ හැගීමයි. කිසිම බරක්පතලක් නැතිව..අනාගතය පිළිබඳව අමුතු පැතුම් නොමැතිව.. අතීතය පිළිබඳව සැහැල්ලූවෙන් බැලීමට පුරුදුව සිටි ඒ කාලය..
කරන්නට තිබූ එකම කාරිය නම් වර්ථමානයේ ජීවත් වීම පමණි. එය එතරම් අපහසු නෙවීය..

වැඩ කටයුතු සියල්ල ඇරඹියේ සවස දෙක පමණ වන විටය. ආරම්භය උපාසක අම්මලා කිහිප දෙනෙක්ගෙන් සනිටුහන් විණි. කඩිමුඩියේ පන්සල පැමිණි ඔවුන් ඉදල් කීපයක් රැගෙන හිටු කියා පන්සල් මිදුල අතුපතු ගාන්නට විය.
උදෑසන මා විසින් අතුගා තිබියද..ඔවුන් මහා උනන්දුවකින් යුතුව අතු ගෑවෙ වසර ගණනකින් අතු නොගා තිබූ බිමක් අතුගාන්නාක් මෙන් මහා වගකීමක් දරාගෙනැයි එදෙස බලා සිටි මා හට හැගුණි.

මද වෙලාවකින් තවත් පිරිස පැමිණෙන්නට විය. පෙරමුණේ රාළ වී තිබුණේ වරින් වර කාල වලදී පන්සලට සමීපව සිට සුළු සුළු හිත් අමනාපකම් සාදා ගෙන ඒවා මහ මෙරක් තරම් හිතට ගෙන සිටි අයෙකි. ඔහු මහ සරත් නම් විය..

සරත්ලා කිහිප දෙනෙක් සිටි ගමෙ ඔහු මහ සරත් වූයේ සියළු සරත්ලා අතර අගතැන්පත් නිසා නම් නොවිණි.

මා මීට පෙර සඳහන් කල අයුරින් ගමෙ සිටි පිරිස අතරින් හතරෙන් එකකට ආසන්න වූ අඩු කුලයන්වලට අයිති වූ ජනතාවක් ගමෙ එක් ගොඩැල්ලක විසීය.. එම ගොඩැල්ලේ නායකත්වය ගත් පැරණි පරම්පරාවට අයත් මෙසන් බාසුන්නැහැ කෙනෙක් විය.. වෙළං බාස් නම් වූ ඔහු තරමක් දරදඩු අයෙක් වූ අතර..තම රැහැට නිරන්තර නායකත්වය සැපයූ ප්‍රධානියා විය..
කුළවතුන් යැයි සම්මත ජනයා අතර වූවද කිසිදු පැකළීමකින් තොරව එක්ව කටයුතු කළ ඔහුට සමාජයේ අන් අයගෙන්ද යම් තරමක ගරු සැලකිලි අත්වූයේ ඔහු තුළ තිබූ අව්‍යාජ ගති ගුණ සහ සෘජූ ප්‍රතිපත්ති නිසාය.

කිසි විට කිසිවකුට හිස පාත් නොකල ඔහු සාධාරණ හේතු මත ඔනෑම කෙනෙකුගේ මතයට ගරු කරන ලදි. මෙනිසාම ඔහුගේ කුළය නිසා නොව ක්‍රියාපටිපාටිය නිසාම යම් ගරුත්වයක් සහිතව ජීවත් වීමට ඔහුට හැකිවිය.
ඒ සඳහා බලපෑ තවත් කරුණක් වූයේ ඔහු සතු වත්කම්ය.

ඉතා දිළිඳු පසුබිමක ජීවිතය ආරම්භ කර තිබූ වෙළං බාසුන්නැහේ..මෙ වන විට ඉතා විශාල ඉඩකඩම් ප්‍රමාණයක හිමිකරුවකු විය. හරියටම එම ඉඩම් ප්‍රමාණය කොතෙක් දැයි කිව නොහැකි මුත් වරක් ඔහු මාහට කියා සිටි පරිදිම

"ගමෙ මහ ලොකු චංසක්කාරයින්ට වඩා මට ඉඩං තියෙනවා හාමුදුරුවනේ"

යැයි කියූ කථාව බොරුවක් නොවන බව මා දන්නේ මා දන්න තරමින්ම ගමෙ හා පිටත ඔහුට අක්කර දහයක පහළොවක ඉඩම් තිබූ නිසාත් මා නොදන්නා ඉඩං ඊටත් වඩා ඇති බව ගම්මුන් මා හට කියා ඇති නිසාත්ය. මෙම ඉඩම් ඔහුගේ සවිශක්තියෙන් මෙන්ම යම් අවස්ථාවල අයථා ක්‍රම මගින්ද උපයාගත් ඒවා විය.

සෑම කළුවළාවකම රිදී ඉරක් ඇත්තා සේම..
සෑම සුදු වළාවකම කළු ඉරි ඇද්දයි මම නොදනිමි.
නමුත් මෙම වළාවෙ නම් කළු ඉරි තිබුණි...ඒ මෙම අසීමිත ඉඩම් තණ්හාවයි.

ඔහු වෙසෙන ගම් ගොඩැල්ල මායිමේ පන්සල් ඉඩම නම් වූ අක්කර කාලක් පමණ වූ ඉඩම් කැබැල්ලක් වූ අතර..එය මෙයට පෙර කලකදී ගමෙ පන්සලේ හාමුදුරුවන් වූ දැනට විදේශගතව සිටි ලොකු හාමුදුරුවන් සමග ගම් වැසියන් අමනාප වූ වෙලාවෙ පිටතින් පැමිණ ලොකු හාමුදුරුවන්ගේ සිසුවකු මෙන් පන්සලේ රැදී සිටි තරුණ හිමිනමක්ද හවුල් කරගෙන ගම්වැසියන් විසින් ගැසූ කැරැල්ලක් නිසා ඔවුන් විසින් තාවකාලිකව ගොඩනැගිල්ලක් තනා පන්සලක් තැනූ ස්ථානයක් විය. ඒ සඳහා ඉඩම පරිත්‍යාග කර තිබුණේ අවට ගම්වැසියෙකි. ඒ දුන්නාට පසු එම ඉඩම දෙස ආපසු හැරී බැළුවෙවත් ඔහු නොවෙ...

නමුත් මෙම ඉඩමට වෙළං බාසුන්නැහේගේ ඇස නිතැතින්ම රෑදී තිබිණි.

පසු කාලීනව දුරාචාරය නිසාම එම තරුණ හිමියන්ද පන්සලට ලැබුණු එම ඉඩම් කැබැල්ල තවත් පිටත හිමිනමකට විකුණා හොර රහසේම එතැනින් පිටත්ව ගොස් තිබුණි.එම හිමිනම පිළිබඳවද කියන්නට කථා රාශියක් ඇතත් මෙ ඊට වෙලාව නොවෙ..අද වන විට නම් එම හිමියන් හසලක පෙදෙසේ විශාල පන්සලක් හා සමාජ බලයක් ගොඩනංවාගෙන ඇති අතර දේශපාලන කටයුතු සඳහා බොහෝ සෙයින් සම්බන්ධ වූ අයෙකි.

වරක් ගංගොඩවිල සෝම හිමියන් හා ගැටුණු අෂ්රොෆ් ඇමතිවරයාට සෝම හිමයන්ට විරුද්ධව වාද කිරීමට ධර්ම කරුණු සැපයූ පුද්ගලයා වූයේද මෙම හිමිනමයි.. එම කථාව මෙ වන විට සමාජයේ බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇතිවාට සැක නැත. ඒත් මතකයේ රැදී ඇති අයද තාම නැති වන්නට නොහැක.

එසේ එම තරුණ හිමියන් හැර ගිය පන්සල් භූමිය තමන් සතු කර ගන්නට මෙම වෙළං බාසුන්නැහැ විවිධ උපක්‍රම භාවිත කරන ලදි. ඒ සඳහා ඔහු භාවිතා කළ සාර්ථකම අවිය වූයේ 'ඇවිදින වැටයි.'

එම පන්සල් භූමිය හරහා වැටී තිබූ කෙටි මාවතක් වූ අතර තම ඉඩමක්ද එම මාවත එක පසෙක වීම බාසුන්නැහැට මහත් ප්‍රයෝජනයක් ගෙන දුන් කරුණක් විය. තම ඉඩමත් පන්සල් ඉඩමත් මැදින් වූ දෙවට පාර මා ගමට යන දිනවලදී අඩි දොළහක් පමණ විය. නමුත් මා පැවිදි වන කලාය වන විට එය අඩි අටක් පමණ වී පසුව අඩි තුනක පමණ පාරක් බවට පත් වීමට ගියේ වසර තුනක පමණ කාලයකි.. මෙ වන විට එහි තත්වය මා දන්නේ නැත.
පළමුව තම වැට සකස් කරන බාසුන්නැහේ එම වැටටම කෙළින් සිටින සේ කුමන හෝ ගස් කිහිපයක් සිටුවනු ලබයි. පසුව මාස තුනකින් පමණ නැවත ටැඩ අළුත් වැඩියා කරන විට වැටෙ සිටුවා තිබූ ගස් වත්ත ඇතුළට වන සේ වැට සකස් වෙ..මෙලෙස කිහිප වරක් වැට සකස් කරන විට පාරෙන් අඩියක් පමණ අඩු වෙන්නේ සිතාගත නොහැකි පරිද්දෙනි. මා එයට 'ඇවිදින වැට'යයි කීවෙ එහෙයිනි.

ඉතින් අපි ඇවිදින වැට පසෙකින් තබා කතාවට යොමු වෙමු.

මෙම වෙළං බාසුන්නැහේගේ ඥාති පුත්‍රයකු වූ මහ සරත් බාසුන්නැහේගේ මෙසන් වැඩට අත් උදවු කල ගෝලයකුද වූ අතර බාසුන්නැහැට තිබූ ඉඩම් පිළිබඳ ආශාවද එලෙසින්ම පිහිටා තිබූ අයෙකි. ඔහු ඒ සඳහා නිතර ඇස යොමු කලේ පන්සලට අයත්ව තිබූ තරමක විශාල ඉඩම් කිහිපය දෙසටය. මුලදී සමහරුන් කියූ දේ මා එතරම් විශ්වාස නොකළද..පසු කාලීනව එය ඇත්තක් බව මා හට තේරුම් ගිය අවස්ථා බොහෝ විය..

ඔනෑම සමිතියකදී එයට සහභාගී වන මොහු තම කතාව ගෙන ගොස් නවතන්නේ ඉඩම් වලින් වීම එයට තවත් හේතුවකි. පන්සලේ ඉඩම් දායකයින්ට ඛෙදා දී වගා කර එයින් ලැඛෙන මුදළින් පන්සල දියුණු කරමු යැයි නිතර කියනු ලබන ඔහු එසේ කරන්නේ නම් තමාට දිය යුතු ඉඩම් පිළිබඳවද සඳහන් කරන අතර එම ඉඩම් තමාට දෙන්නේ නම් හොඳ මුදලක් නිරන්තරයෙන් පන්සලට ආදායම් ලෙස ලැබිය හැකි බවද කියා සිටින ලදි.

ඔහුගේ නරක වෙලාවට හෝ පන්සලේ හොඳ වෙලාවටදෝ එම යෝජනාව ගෙන එන සෑම අවස්ථාවකදීම එය පරාජය කර දැමීමට කවුරුන් හෝ ඉදිරිපත් වෙනු ලබයි. මෙනිසා ඔහු නිතරම සිටියේ කෙසේ හෝ තම අරමුණ ඉටු කරගැනීමෙ මහත් වූ අභිප්‍රායෙනි.

කලෙකදී වෙළං බාසුන්නැහේගේ හොඳම ගෝලයා සිටි සරත් මෙසන් වැඩට මෙන්ම විදුලි කාර්මික ශිල්පයටද දස්කම් දැක් වූ අයෙකි. නමුත් මෙ වන විට ඔහු වෘතීයෙන් ගමනාගමන මණ්ඩලයට අයත් කොන්දොස්තර මහතෙකි. ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ පියකු වීම නිසාම ඉඩකඩම් පිළිබඳව වැඩි ඇල්මක් ඇති වූවාදැයි මා හට සිතෙනුයේ..ගැහැණු දරුවන් සිටින අද සමාජයේ බොහෝ දෙමාපියන් ඔවුන් වෙනුවෙන් දායාද සූදානම් කරලීමෙ මහා උත්සහයක් දරනු පෙනෙන්ට ඇති නිසාය. එම දියණියන් දෙදෙනාද පන්සලේ දහම් පාසලේ ඉගෙනුම ලැබූ අතර දක්ෂතා පෙන් වූ දරුවන් විය. එම දරුවන්ට පියකුගෙන් විය යුතු සියළු යුතුකම් අඩු නැතිවම සරත් අතින් ඉටු වූ බව අනිවාර්යයෙන්ම කිව යුතුමය.

වෙළං බාසුන්නැහේගේ නායකත්වය සහිත ගම් ගොඩැල්ලේ මී ළග නායකත්වය ලැබීමට උත්සහ කරනු ලැබූයේත්..ඒ සඳහා සුදුසුකම් තිබුණේද මොහුටය..එසේ පිරිසකට නායකයා වීමට කරනු ලබන ඔහුගේ උත්සහය නිසාම මහ සරත් යන නම ඔහුට පට බැඳී තිබිණි.

පෙර දින සමිතියේ කල කතාබහට අනුව අද දින පන්සලට වඩමවන හිමියන් පිළිගැනීම සඳහා සිදුවන කටයුතු වල ප්‍රධානත්වය මහ සරත් විසින් දරනු ලබන බව ඔහුගේ හැසීරීමෙන් ප්‍රකට විය. පන්සල් භූමිය පුරා මහත් වූ උජාරුවෙන් හා උද්යෝගයෙන් කරනු ලබන කතා බහ සහ හැසිරීමෙන් පෙනෙන්නට තිබිණි.

මෙම කටයුතු දෙස අප දෙදෙනා කිසිදු අරමුණකින් තොරව බලා සිටියදී ඒ දෙස නොසතුටු සිතින් බලා සිටි පිරිසක්ද වූ බව පැහැදිලිව දක්නට ලැබිණි.

..............................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

19 July 2010

දවසේ විස්තරේ...

මෙ දවස්වල ජීවිතේ හරි අමාරුයි. වැඩට යනවා. දවල් තිස්සේ ඉවරයක් නැහැ. එක පිට එක වැඩ. යන්තම් රෑ දහය විතර වෙනකොට ටිකක් විතර කචල් වැඩ ටික ඉවරයි.
ඊට පස්සේ නාලා කියලා මොනවා හරි බඩට දාගෙන, පොත් පත් වල වැඩ ටික ඉවර කරලා දොළහ විතර වෙනකොට ටිකක් කුකුළා ගහනවා.
ඒත් රෑට දෙතුන් පාරක් මොනවා හරි අටමගලයක් කඩං පාත් වෙනවා.
එක්කෝ මැෂින් එකක් කැඩිලා රෙපෙයාර් එකට මොනවා හරි ගන්න ස්ටෝර්ස් ඇරලා දෙන්න වෙයි, එහෙමත් නැත්තං කොහේ හරි යන කන්ටෙනරයක් එයි පාන්දරට වෙන්න.
එහෙමත් නැත්තං අවුට් ස්ටෙෂන් ඩිලිවරි ගිය වාහනයක් කඩං පාත් වෙයි,
මොකක් හරි මගුලක් සෙට් වෙනවාමයි.

ඒකෙන් මෙකෙන් හරි හමන් නින්දක් නැහැ.
ගෙදර ආවට පස්සේ බල්ලට පොල්ලෙන් ගැහුවා වගේ නින්ද යනවා. හරි සනීපයි.

සමහර දවස්වල කන්නත් නැහැ. ඇයි ඉතින් උයන්නේ පොලෝසියෙන්යෑ..

නැගිට්ටට පස්සේ ආයේ පහලට බැහැලා කන්න මොනවා හරි ගේන්න යන එකත් මරනවා වගේ වැඩක්.

මොන කචල් එක තිබුනත් මෙ පැත්තේ නෑවිත් ඉන්නත් බැහැ.
පෝස්ට් එකක් දාන්න කියලා මොනවා හරි ලියන්නත් පැයක් හොයා ගන්න එක ඊට හපන් වැඩක්.
අනේ මම දන්නේ නැහැ පැය විසිහතර වාෂ්ප වෙනවද කියලා.

එහෙං කොටි වලිගේ වගේ පන්සල් කතාව..ලියලත් බැහැ. නොලියත් බැහැ.

ලියන්න ගියහම අතීත සිදුවීම් අඩුත් නැතිව, වැඩිත් නැතිව, හරියටම මතක් කරලා ලියන්නත් ඔන...
ලියන දෙයින් කාටවත් හානියක් නොවෙන විදියට දෙපැත්තටම සාධාරණ වෙන විදියට ලියන්නත් ඔන.
පුංචිම දෙයක් හරි අතෑරලා ලිවුවොත් ලියන එකේ තේරුමක් නැතිව යනවා.
එහෙම බලාගෙන යනකොට ලියන එකත් පණ යන වැඩක්.

නොලියා ඉන්න බැරි කියවන කට්ටිය බලන් ඉන්නවා කියලා දන්න හින්දයි.
පොඩ්ඩක් පරක්කු උනොත් කෑ ගහන පාඨක ජනතාවක් නෙව මට ඉන්නේ..ගෝරි ගොඩයි.
අනිත් එක බාගයක් ලියලා ඉතිරි ටික නොදී හිටියාම මට උනත් කේන්ති යනවානේ.. එහෙව් එකේ දැන දැන නොලියා ඉන්නත් බැහැ.

අර මොනවාද කාපු මොකාද එකාට වෙච්ච දේ තමයි මටත් වෙලා තියෙන්නේ.

මග හිටියොත් තෝ නසී.. ගෙදර ගියත් තෝ නසී..තමයි.(මොකද ගෙදර කියලා ආයේ නහින්න කවුරුවත් ඉන්නවා කියලයෑ..)

ජීවිතෙත් ඔහේ ගලාගෙන යනවා. මෙලෝ රහක් නැහැ.

එක්කෝටම වඩා ඇගටත් හරි නැහැ. හුග කාලෙකින් ඇන්ජිම ලෙඩ දීලා නැහැ. ඒත් දැන්නම් නිකං බැහැ බැහැ වගේ..

අද දවල් කටානට ගියා.
අපේ පුංචි අම්මාගේ බාල දූ..ඒ කිවුවෙ අපේ සුදු නංගී..(නංගි උනාට මොකද ඒකි මං වගේ දෙකක් විතර ඇති)
නිකං ඉන්න බැරිවට මෙ ළගදී මොකක්ද හුට්ටප්පර බයිසිකලයක් අරගෙන..

චීන ලොන්තයක් (ආ..ලොන්සින්ද කොහේද තමයි)
ඒක ගත්තත් හරි මට මළ කරදරේ..
ලෙඩ ගොඩක්..ස්කූටර් නම් එපා තිත්ත උනා මෙ මගුල හින්දා..
ඒක මහ ලෙඩ ගොඩක්..පහුගිය දවස් ටිකේ ඉඩ තියෙන තියෙන හැටියට ගිහින් ඒක මස් කරලා යන්තං ගොඩ දාලා දුන්නා. ඒත් තව කෑලි ටිකක් ගේන්න තියෙනවා.
ඕවට කෑලි කොහේ තියෙනවද කියලා දෙයියෝ තමයි දන්නේ..(මාරයා දන්නේ නැහැ..)
හැබැයි ඉතින් පුංචිලාගේ දිහා ගියහම එක වාසියක් තියෙනවා..
බත් ටික අතිං කන්න ඔන නැහැ පුංචි අම්මා අනලා කරලා කටෙම ඔබනවා.
මට තියෙන්නේ ගිල දාන්න විතරයි.(පුංචා බුදු වෙවා...)

අද ගියා ඒක ලයිසන් කරලා දෙන්න.
මෙවා ඉතින් අතින් වියදම් කරගෙන අනුන්ගේ හරක් බලනවා වගේ වැඩ තමයි.

මුල් ලියා පදිංචිය කටානට තිබුනේ ඒක හින්දා දවල් කටානේ ගියා.
මෙ බස්නාහිර පළාතේ කොහේ කොහේ රස්තියාදු වෙලා තිබුනත් අද තමයි හා හා පුරා කියලා මාරයා කටානේ ගියේ..

කොහොම හරි කටානට ගිහින් ඊට පස්සේ A.G. ඔෆිස් එක හොයා ගන්නවා කියලා හිතන් ගියේ..

අතර මගදී තැනක තැඹිළි ගෙඩියක් බොන්න කියලා බයික් එක නැවැත්තුවා..තැඹිළි ගෙඩිය බොන ගමන් තැඹිළි මුදලාලිගෙන් නිකමට වගේ "ඇහැවුවා කටානට තව දුරයිද කියලා.."

"ආ ඔවු මහත්තයෝ.. ඔහොම තව ටික දුරක් ගිහින් හම්බවෙන හතරමං හන්දියෙන් දකූණට දාලා දිගටම යන්න කටානට තමයි ඒ පාර වැටෙන්නේ.."

"ආ එහෙමද..මම මීට කලින් ඒ පැත්තේ ගිහින් නැහැ..මෙ අපේ නංගි කෙනෙකුගේ වැඩකට කටාන A.G.ඔෆීස් එකට යන ගමන්.. කටානට ගිහිල්ලම කාගෙන් හරි අහන්න ඔන..."

ඒක කිවුවා විතරයි මෙච්චර වෙලා තැඹිළි කඩෙට අල්ලපු ගෙදර ඉස්තෝප්පුවෙ මැෂිමක් තියන් මොනවද මහන ගමන් අපේ කතාව අහගෙන හිටිය ලස්සන හීන්දෑරි කෙලි පැටික්කී බක බක ගාලා හිනා වෙනවා...
මාත් නිකං කරකවලා අතඇරියා වගේ.. ඇයි යකෝ මම කුණු හරුපයක් කිවුවයෑ..?

ඒ ගමන අර ළමිස්සී මුදලාලිට කියනවා..
"ආයේ වෙන A.G.ඔෆීස් එකක් කටානට කොහේද.." කියලා.

"ඒක තමයි නේද දුවෙ කියපු තැඹිළි මුදලාලි.."

"මහත්තයෝ, A.G.ඔෆීස් එක තියෙන්නේ ඔය ඉස්සරහ කියලා මීටර් සීයයක් විතර ඉස්සරහ පෙන්නපි නේද..?"
තව පොඩ්ඩෙන් මළ කෙළියයි. කළුවා මාරපන ගියා වගේ.. මාරයා කටානේ යනවා.

ඔයින් ගියා මදෑ..පැස්ටෝල් ටිකත් ඉතිරියි.
මුදලාලිටයි අර සීදේවි කෙළි පොඩිත්තිටයි තැන්කූ කියලා මං යාන්තං ගිය වැඩෙ කොරාන ගෙදර ආවා.

එමින් ගමන් මිනුවන්ගොඩ මුස්ලිම් කඩෙකිං බයියං ටිකක් කාලා එන්නත් අමතක කෙරුවෙ නැහැ.
කොහොමත් මුස්ලිම් හෝටල් වලින් බයියං කන්න මං කැමතියි නෙව.

යන්තම් වැඩෙ කොරගෙන ගම්පහට ඇවිත් නංගි වැඩ කරන ෆාමසියට ගිහින් ලියකියවිලි ටික දීලා, මාත් යන්තං ගෙදරට සැපත් වෙච්චි.

ඊට පස්සේ ආයෙමත් වතාවක් නාලා කරලා.. දොයිය බබා වෙච්චි.

හවස තමයි නැගිට්ටෙ.

දැන් ඉතින් මෙතන රාජකාරි..

තව ටිකක් රෑ වෙලා හිතට ටිකක් ෆිට් උනොත් පන්සල් කතාවෙන් ටිකක් හරි කොටනවා..
කම්මැලි උනොත් අනිද්දාට කල් දානවා.
හ්ම්..දැන් මෙ මදෑ..

ආ.. තව එකක් ළමිස්සි කිවුවමයි මතක් උනේ..

"ගැටිස්සියන්ගෙයි, ළමිස්සීයන්ගෙයි, තරුණියන්ගෙයි..එතකොට ගැහැණුන්ගෙයි"වෙනස දන්නවැයි..?

17 July 2010

පන්සලේ ජීවිතේ... හොරුන්ගෙත් හොරා...

මහ අල්මාරියේ ලාච්චු විවෘත කල ඥාණාලොක හිමියන් ඒ තුල වූ දෑ තමන් විසින් ගෙනවිත් තිබූ පෝර ගෝනි තුළට ඔබන්නට විය. ලාච්චු තුනම පුරවා තිබුණේ විවිධ ප්‍රමාණයේ පුස්කෝළ පොත් රැසකිනි. පුස් කොළ පොත් ගෝනිවලට දැමීම හිතකින් කල හැකි නොවූවද පොත් තුල ඇත්තේ මොනවාදැයි දැන ගැනීමට ඇති වූ ආශාව නිසාම අප දෙදෙනාද එයට උදවු වන මුවාවෙන් ගොස් පොත් අතපත ගාමින් ඒ තුළ වූ දෑ බලන්නට වීමු.

ඒ සඳහා අපට තරමක් පහසු වූයේ පුස්කොළ පොත් වැඩි ප්‍රමාණයක් නිසි අයුරු බැඳ නොතිබූ නිසාත්, සමහර පොත් තරමක් විනාශ වී තිබීම නිසා පිටු එළියට පෙනෙන අයුරින් තීබීමත්ය..

පුස්කොළ පොත් වැඩි ප්‍රමාණයක් මන්ත්‍ර පොත් විය. ටිකක් වෙද පොත් විය.

මෙතෙක් කලක් මෙම ලාච්චු තුළ සැගවී සිටි අපමණ දැනුමක් හිත් පිත් නැති අයුරින් මෙලෙස පෝර ගෝනි වලට දමනවා බලා සිටීම මා සිතටනම් මහත් වෙදනාවක් විය.
නමුත් කල හැක්කක් නොමැත..අන් සතු දෑය...

වචනයෙන් නොකීවද චන්දවිමල හිමියන්ද මෙයින් මහත් කම්පාවට පත්ව තිබිණි.
පන්සල සතු කුමන දෑ ගෙන ගියද පොත් පත් යනු එසේ ගෙන යායුතු දේ නොවන බව මාගේ හැගීම විය.

පුස් කොළ පොත් ගෝනිවලට දමා අවසන් වූ පසු ලාච්චුවල කෙළවරෙ තිබූ තවත් කොපි පොත් රාශියක් සම්භ විය. ඒවාද පෙරළා බැළුමට එහි වූ දෑ තේරුම් ගැනීමට නොහැකි විය.

ලාච්චු වල තිබූ දෑ අඩුක් කල පසු පටන් ගැනුනේ අල්මාරියේ උඩ කොටසේ වූ පොත්පත් ගෝනිවලට දැමීමයි.

මෙ අඥාණ ඥාණාලෝක හිමියන් කරනා දේ ඉවසා සිටිය නොහැකි තරම් විය.

අවසන සියල්ල ගෝනිවලට දමා අවසන් වූ පසු පාරේ නවතා තිබූ වෑන් රථයට ගොස් පටවා දෙන ලෙස අපගෙන් ඉල්ලා සිටි ඥාණාලෝක හිමියන් , තමාද ගෝනියක් කරේ තබා ගත්තේය.

මාද සියළු දෙනාටම පසුපසින් අඳුරෙම ගෝනියක් කර තබා ගත්තෙමි. පන්සල් භූමියේ විදුලි පහන් දල්වා නොතිබුණි.
ඒ ඥාණාලෝක හිමියන්ගේ උපදෙස් මතය..
අඳුර හරහා වෑන් රථයට යන පාරෙ බණමඩුව අසලදී මාගේ උරහිස මත තිබූ ගෝනියෙන් අතට අසු වූ පොත් පත් කිහිපයක් හිමින් සීරුවෙ බණ මඩුවෙ බිත්ති කණ්ඩියකින් අත දමා බණ මඩුව තුළ වූ බංකුවක් මතට දැමූ මා, නැවත වතාවක් දෙවන වරටද එතැනින් ගෝනියක් ගෙන යද්දී පෙර මෙන්ම පොත් කිහිපයක් අඳුරෙ සගවා දැමුවෙමි. පුස්කොල පොත් ඒ අතර නොවිණි.

සියල්ල පටවා අවසන් වූ පසු පිරිස යාමට සූදානම් වෙද්දී..මා විසින් ඥාණාලෝක හිමියන්ගෙන් විමසා සිටියේ මෙම පොත් වලට කුමක් කරන්නේද යන්නයි.

"ආ මම එන ගමන් අපේ පන්සලේ පොත් රාක්ක කිහිපයක් අස් කරලා ආවෙ..මෙවා තැන්පත් කරලා තියන්න.
කවදා හරි මෙ පන්සල ස්ථාවර මට්ටමකට ගත්තට පස්සේ ආපහු මෙවා මෙහාටම ගේනවා.."

එසේ කිවූ ඔවුන් වෑන් රථයේ නැගී පිටත්ව යන ලදින් අප දෙදෙනා නැවත පන්සලට පිය නැගීමු.

"අපරාදේ කොච්චර වටින පොත් ගොඩක්ද මෙ මනුස්සයා අර කිසිම ගාණක් නැතිව ගෝනිවලට පටවන් ගියේ..
කොහේද අපිට පොත් ටිකක් අහක් කර ගන්නවත් වෙලාවක් තිබුණේ නැහැනේ.."

චන්දවිමල හිමියන් දුක්මුසු හඩින් කොඳුරන්නට විය.

"මම නම් පොත් දෙක තුනක් අන්න බණ මඩුවට දැම්මා. හැබැයි හාමුදුරුවනේ කලින් දැනගෙන උන්නනම් මම ඔය ලාච්චුව හාමුදුරුවන්ට ඇරලා දෙනවා...ගුරුකම් කෙසේ වෙතත් චෙද පොත් ටික කොච්චර වටිනවද..?"

චන්ද විමල හිමියන්ද සිනාසෙමින් මා අනුමත කල අතර තමාට එසේ කිරීමට නොහැකි වීම පිළිබඳ කණගාටු විය.

පසුව බණ මඩුවෙ තිබූ පොත් ටික අප දෙදෙනා විසින් ආවාසයට ගෙන ගොස් කියවන්නට උත්සහ කලෙමු.

අවාසනාවක මහත..ඒ අතර කිසිදු වෙද පොතක් නොවීය..
සියළුම පොත් කාණ්ඩ අංක යොදා තිබිණි.
පැහැදිලි පිරිසිදු අත් අකුරින් එහි ලියා තිබුනේ බලගතු මන්ත්‍ර රාශියකි.
සෑම පොතකම ඇතුළට කහ පැහැති කඩදාසියක් යොදා තිබිණි.එහි මෙසේ සඳහන් විය..

"මෙ සියළුම මන්ත්‍ර අප පන්සලේ ඇති පුස්කොළ පොත් තුළ ඇති ඒවා වන අතර එහි මතු ආරක්ෂාව සඳහා මෙසේ පිටපත් කරමි.
කරුණාකර මෙවා කියවන කිසිවකු මෙහි ඇති මන්ත්‍ර පාඩම් කිරීමෙන් වළකින්න.එය ඔඛෙ පරිහානියට හේතු වනු ඇත.
අවශ්‍ය විටකදී ප්‍රයෝජනයට ගන්නවා විනා පාඩම් කිරීම නිසා සිතේ වෛරයක් ක්‍රෝධයක් ඇති වූ විට මෙම මන්ත්‍ර සිහියට නැගුණහොත් එයින් විය හැකි හානිය බරපතළය. කිසිවකුට විපතක් වූ පසුව පසුතැවීමට වඩා එසේ නොකර සිටීම මැනවි.

මෙයට.......... ............හිමි.
196... ..... ......"


පාඩම් කිරීම සඳහා නොව එහි තිඛෙන්නේ මොනවාදැයි බැලීමට තරමක් පොත් කියවූ අතර වැඩි හරියක්ම වූයේ හදි හූනියම්ය..

ඒවා කියවීම එතනින් අවසන් වූ අතර චන්දවිමල හිමියන් පැවසූ පරිදි එම පොත් එළියේ නොතබා මා විසින් සගවා තැබිණි.

මෙම පන්සලේ ඉතිහාසය කියවීමෙදී අවසන් වරට මෙය තරමක් හෝ හොඳින් පාලනය කල සාරානන්ද හිමියන් මෙම මන්ත්‍ර පොත්පත්වල හිමිකරුවා විය. බණ දහමට එතරම් දක්ෂ නොවූ හෙතෙම ගුරුකම් වැඩ වලට පසිදු විය. නමුත් කිසි විටකත් අනුනට හානියක් කිරීම සඳහා ඒවා ප්‍රයෝජනයට නොගත් අතර.. කිසිවකුට හෝ යම් අකටයුත්තක් වූ විට නම් නිසි පල ගෙන ඇති බව මා අසා ඇත්තෙමි.

පැරණි අය කියනා අන්දමට මෙම ආවාසයේ රහස් බිම් ගෙයක් තිබී ඇත. පසු කාලීනව එය වසා දමා ඇති අතර, අදටත් පන්සලේ එක් තැනක පොළවට පයින් ගැසූ විට එයින් බොල් හඩක් නැගේ..

එම කාමරය මෙම ගුප්ත වැඩ සඳහා යොදාගෙන ඇති අතර පසු කාලීනව එය වසා දැමුනු පසු මා නැවතී සිටි ආවාසයේ ඉදිරිපස කාමරය ස්වකීය ලැගුම් ගෙය කරගත් එම ලොකු හාමුදුරුවන් සියළුම ගුරුකම් කටයුතු ඒ තුළම හිඳ කර ඇත.

අවසානයේ උන්වහන්සේ අපවත් වූයේද මහ දවල් දොළහට පමණ එම කාමරයේදීමය.

ඒ පිළිබඳව කතාව මා මුලින්ම අසා දැන ගත්තේ මා පැවිදි වී ටික කලකට පසු දහම් පාසලේ ඉගැන්වූ මහළු ගුරුවරියගෙනි.
එවකට මා පැවිදිව වසරකට ආසන්න වී තිබිණි.
චන්ද විමල හිමියන්ද පන්සලත් සසුනත් හැර ගොස් තිබිණි.
පන්සලේ මා තනිවම විසූ අතර සියළු කටයුතු මා තනිවම කරගන්නා ලදි.

මා හැර මෑත කාලයේ කිසිවකු මෙම පන්සලේ තනිව රැයක් ගත කර ඇත්නම් ඒ එක් අයකු පමණි. නමුත් ඒ එක් රැයෙන් පසු ඔහු පන්සලෙන් යන්නටම ගියේය.

මෙසේ මා තනිව විසීම පුදුමයක් කර ගත් අර පළමු කී උපාසක අම්මා මට මෙහි විසූ ලොකු හාමුදුරුවන්ගේ අපවත් වීමෙ කථා පුවත විසිතුරු කර කියාපාන ලද්දේ මා ඇගයීමටද,නොඑසේනම් මා බිය කිරීමටද යන්න මා නොදනිතත්,
ඇය වැනි කිහිප දෙනෙකු පන්සලක දායකයින් විණි නම් පන්සල් සියල්ල වසා දැමීමට වැඩි කලක් නොයනු ඇතැයි එම කතාව මාහට පැවසූ දිනම මා අවබොධ කර ගන්නා ලදි.

ඇයට අනුව ලොකු හාමුදුරුවන් අපවත් වී ඇත්තේ මහ දවල් දොළහට මන්තරයක් වැරදී සිදු වූ හුටපටයකිනි.
තම කාමරය තුළදීම පුටුවක් මත දිව අඩියක් පමණ එළියට ඇදී ඇස් ගෙඩි දෙක අයා ගෙන අපවත් වූ හිමියන්ගේ දේහය දුටුවන් බියපත් කරවන සුළුබව ඇය විසින් මැනවින් මවා පෙන්වන ලදි.

පසුව කිහිප දෙනෙකුම මා හට කිවූ පරිදි එම කරුණු ඇත්ත කාරණා වූ අතර දිව නම් ඇය කියූ පරිදි අඩියක් පමණ එළියට පැමිණ නැති අතර තරමක් අස්වාභාවික තරමකට එය එළියට ඇදී තිබූ බවනම් පැහැදිලි විය.

මෙම පොත් ඒ හිමියන්ට අයත් විය.

පසු කාලයකදී මා කොළඹ පන්සලට ගිය මොහොතේ මා විසින් පළමුව කරනු ලැබූවෙ එම පොත් පත්වලට කුමක් සිදුවීද යන්නයි.
ඒවා කියූ පරිදිම සුරක්ෂිතව තිබුණි..
නමුත් අර කියූ රාක්කවලනම් නොවෙ..
එදා ගෙන ගිය පෝර කවර තුළම සුරක්ෂිතව ඥාණාලොක හිමියන්ගේ කාමරය මුල්ලේ ගොඩ ගසා තිබිණි.
නැවත කිසි දිනක එම පොත් ආපසු අපට ලැබුණේද නැත..

කෙසේ නමුත් එම පොත් මංකොල්ලයෙන් පසු, මා හට සහ පන්සලට ඉතිරි වූයේ කියවීම පිණිස මා විසින් කාමරයේ තබා තිබුණු සද්ධම්මරතනාවලියත්, මන්තර පොත් කිහිපයත් පැරණි පොත් පත්තර ගොඩක තිබී මා විසින් සොයාගෙන කියවමින් තිබූ ජාතකරතනාකරය නම් වූ ජොතිෂ්‍ය ග්‍රන්තයත් පමණි.

...........................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

පන්සලේ ජීවිතේ...අල්මාරිය...

ඥාණාලෝක හිමියන් සමග තවත් තරුණ හිමිනමක් හා වෑන් රථයේ රියදුරාද විය.
පන්සලේ වූයේ අප දෙදෙනා පමණි.

"ආ ලොකු හාමුදුරුවෝ මොකද මෙ රෑ වෙලා..." චන්දවිමල හිමියන් ඔවුන්ව පිළිගනිමින් අසනූ ලැබූ අතර අපහට ඥාණාලෝක හිමියන් පිළිබඳව අමුතු පැහැදීමක් නොවූවද ඔහු සමග ආරෝවක්ද නොතිබිණි.

"ආ..නෑ මෙ පොඩි හාමුදුරුවනේ මම මෙ ආවෙ පන්සලේ තියෙන පොත් පත් ටික අරගෙන යන්න කියලා..
ඊයේ ඔස්ට්රෙලියාවෙ ඉඳලා ලොකු හාමුදුරුවෝ කෝල් කරලා කිවුවා මෙහෙ තියෙන පොත් ටික එහෙ ගිහින් පරිස්සමට තියන්නයි කියලා...ඒකයි මෙ ආවෙ..."

"පොත්...?"

"ඔව් අර මහ අල්මාරියේ තියෙන ඒවා.."

ඇත්තෙන්ම පන්සලේ මහ අල්මාරියක් තිබිණි..

අල්මාරිය.. එය ඊට සුදුසුම වචනයදැයි මම නොදනිමි.
නමුත් එවැන්නක් තිබිණි. පන්සලේ භෞතික වශයෙන් වටිනා කියනු ලැබූ යම් දෙයක් වීද එය එම අල්මාරිය විය.

කොස් හෝ එවැනි තද ලී වර්ගයකින් සාදා තිබූ එය කොටස් දෙකකින් යුක්ත විය.
පොළවෙ සිට අඩි නවයක් හෝ දහයක් පමණ උස වූ එහි පළල අඩි දෙක හමාරක් පමණ විය..
දිගින් අඩිහයක් පමණි.

ශක්තිමත් අලංකාර කැටයමින් යුතු අගල් හයක පමණ කකුල් හයකින් එය පොළොව මත සිටුවා තිබූ අතර අල්මාරියේ උසින් හරි අඩක් පමණ වන ලෙස පහත කොටස තරමක් විශාල ලෙසද, එයින් උඩ අර්ධය පහළ කොටසට වඩා තරමක් කුඩා වන ලෙසද සැකසී තිබිණි.
පහත කොටසේ පියන් දෙකක් දෙපසට ඇරෙන සේ ප්‍රධාන කොටස විය.
ඒ පියන් දෙකින් ඇරෙන කොටස පියන් විවෘත කල විට ලී තට්ටු තුනකින් සමන්විත වූ අතර එහි සිවුරු පිරිකර ආදිය දමා තිබූ අතර එහි යතුරු පන්සලේ තිබූ යතුරු කැරැල්ලේ තිබිණි.
එම පියන් දෙකේ කොටසට ඉහළින් ඉදිරියට විවෘත කළ හැකි විශාල ප්‍රමාණයේ ලාච්චු තුනක් විය. එම කොටසේ යතුරු මෙතෙක් කා ළග විණිදැයි මා හෝ චන්ද විමල හිමියන් හෝ දැන සිටියේ නැතත් එහි යතුරු ඥාණාලෝක හිමියන් සතුව තිබූ බව නාරද හිමියන් කියා තිබුනද එය අප කිසිවකු හෝ හරියාකාරව දැනඋන්නේ නැත්තේ මෙතෙක් කලක් එම කොටස විවෘත කරනවා අප දැක නොතිබූ නිසාවෙනි.

එම ලාච්චු වලට උඩින් අල්මාරියේ දෙවන කොටස එනම් ඉහළ අර්ධය වූ අතර එයද වීදුරු දමා සකස් කල ප්‍රධාන පියන් දෙකකින් සමන්විත තට්ටු තුනකින් යුත් පොත් දමන කබඩයක ආකාරයේ විය.
ධාතූන් වහන්සේලා සහිත කරඩුව සහ පිරුවානා පොත් වහන්සේ මෙහි තැන්පත් කොට තිබූ අතරම පන්සලට අයත් පොත් අතරින් ඉතිරිව තිබූ පොත් කිහිපය මෙහි තබා තිබුණි.

මෙ කාලය වන විට පන්සලේ මහා පොත් ගොඩක් නොවූ නමුත් විලී අයියා අපහට පැවසූ අන්දමට මෙයට පෙර වකවානු වලදී පන්සලේ තිබූ පොත් පත් ප්‍රමාණය අතිවිශාල විය. දැනට පන්සලේ දාන ශාලාවෙ ඇති පැරණි රක්කයක් වූ අතර එහි පීරිසි කෝප්ප හා තේ පොච්චි ආදිය තබා තිබුණි. එහි තට්ටු අටක් පමණ තිබූ අතර සෑහෙන පළලකින් යුතු විය. එහි සෑම තට්ටුවක්ම මැද්දට වන්නට පහත් වී තිබුණි.
විලී අයියා පැවසූවෙ එහි තබා තිබූ පොත් වල බරට එම ලෑලි තට්ටු සියල්ල පහත් වී තිබූ බවය..
එසේ ලී තට්ටු පහත් වීමට නම් එහි පොත්වල බර කිලෝ පන්සීයයක් පමණ විය යුතු බව මගේ හැගීමයි...

එතරම් පොත් පත් තිබූ පන්සලේ අද වන විට ඇත්තේ කෑලි කැඩී ගිය පැරණි පොත් පත් කිහිපයක් වූ අතර ඒවාද කියවීමට බොහෝ දුෂ්කර වූයේ පිටුවක් දිග හරිනු ලබන වාරයක් පාසාම ඒවා ඉරීමට ලක්වන අන්දමට පොත් දිරා ගොස් තිබීමයි.

එම පොත් අතර සද්ධම්මරතනාවලිය නම් වූ පොතද වූ අතර මා එය නාරද හිමියන්ගේ අවසර සහිතව වරින් වර ගෙන මා සිටි කාමරය තුල තබාගෙන කියවීමි.

ඊට අමතරව දෙදහස් පන්සිය පණහේ බුද්ධ ජයන්තිය සමරා නිකුත් කළ ත්‍රිපිටක පොත් වහන්සේලා අතරින් කාණ්ඩ කිහිපයක්ද වූ අතර එයින්ද කියවීමට හැකිව තිබූ සංයුක්ත නිකායට අයත් එක් පොතක් විය..
මා මුළින්ම පටිච්චසමුප්පාද ධර්මය අඩංගු කොටස කියවූයේ එම පොතිනි.

පාලි භාෂාවෙන් ලියවුනු තවත් පොත් කිහිපයක්ද වූ අතර පාළි නොදත් මා හට ඒවා කියවීමට නොහැකි වූ අතර දහම් පාසල් පොත් පත් කිහිපයක් හා වරින් වර නාරද හිමියන්ට පිරිකර සදහා ලැබුනු මෑත කාලීනව නොයෙක් කතුවරුන් අතින් ලියවී ඇති පොත් පත්ද ස්වල්පයක් විය.

පිත්තලින් සෑදු කුඩා මල් බඳුන් දෙකක්ද වූ බව මා හට යන්තමින් මතකය.

පන්සලේ පොත් ගෙන යාමට පැමිණි බව ඥාණාලෝක හිමියන් පවසද්දී නම් මෙතෙක් වෙලා උන්වහන්සේ පිළිබඳව වූ මගේ මැදිහත් සිත බිඳ වැටුනු බව නම් අවංකවම කිව යුතුය.

මන්ද මෙතෙක් කලක් මා හට මෙහි සිටි සමීප මිතුරන් වූයේ මෙම පොත් පත් කිහිපය නිසාවෙනි.

කෙසේ නමුත් එම තීරණයට එරෙහිව කිසිවක් කීමට මට අවසර නැති බව දන්නා නිසාම මා මුනිවත රකින්නට යෙදුණි.

පන්සලේ අල්මාරිය තබා තිබූ කාමරයට ගිය ඥාණාලෝක හිමියන් තම උරමල්ලේ තිබූ යතුරු කැරැල්ලක් ගෙන මෙතෙක් දවස් වසා දමා තිබූ ලාච්චු තුන විවෘත කරන ලදි.. එසේනම් යතුරු උන්වහන්සේ සතු වූ බැව් නාරද හිමියන් කියූ කතාව ඇත්තකි.

එම ලාච්චුවල තිඛෙන්නේ මොනවාදැයි මහත් කුතුහලයක් මා හට මෙන්ම චන්ද විමල හිමියන්ටද වූ අතර අපද වහා ගොස් එයට එබී බැළුවෙමු.

...............................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

15 July 2010

ජුංගේ කතා...කොටු පැනීම...

හුග කාලයකින් ජුං ගැන මුකුත්ම ලිවුවෙ නැති හින්දා තව එකක් ලියන්න ඔන කියලා හිත හිත ඉද්දී තමයි අපේ අනුරාධ සහෝදරයා ඒකට ආරාධනාවක් කරලා තිබුනේ.
ඉතින් ඔං මට මතක් උන තවත් කේස් එකක් ලියලා දාන්න තමයි කල්පනාව.

හැබැයි මෙක පොඩිහිටියන්ට ඔරොත්තු නොදෙයි කියලා හිතෙන හින්දා ලියන්නත් නිකං මොකක්ද මොකක්ද වගේ..

ඒත් පොඩි උන්ට එන්න එපා කියලත් බැහැ..මොකද එපා කියන එකම කරන්න සෙට් වෙච්ච උදවියනේ ඔය පොඩි ඈයෝ..(අපිත් ඒ කාලේ එහෙමම නෙව.)

ඉතින් මෙ සිද්ධිය වෙන කාලේ ජුංට ටිකක් වයසයි. ම්..ම්...වයසයි කිවුවට ඉතින් එච්චරම නෙවෙයි ඔනනං දහහතරක් පාළොහක් විතර ඇති. දන්නවනේ ඉතින් ඔය වයස ගැන...
ජීවිතේ හුගාක් දේවල් වෙනස්වෙන කාලේනේ..
හිතන පතන විදිය විතරක් නෙවෙයි..ඇගපත උනත් යම් යම් වෙනසකට ලක් වෙන කාලේ නෙව..

ඉතින් අපේ ජුං උනත් මෙ කාලේ ටිකක් මොරමින් තමා උන්නේ.. මොකක්.. මොනවද මෝරන්නේ කියලා ඇහුවා..?

ආ..හරි හරි.. ඇගපත තමයි ඉතින් මෝරන්නේ.. නැතිව ඉතින් මිනිහාගේ ටිකිරි මොළේ තාමත් මෝරලා නැතුව ඇති.
ඇගපත මෝරන කොට ඉතිං ඔය කොයි කොයිවත් මෝරනවා...

ඉතින් මෙ සීන් කෝන් එක උනේ ටිකක් හවස් වරුවක. වැඩෙ පටන් ගත්තේ හවස පහ මාරට විතර..
පොළොවට බිං කළුවර වැටෙන අහට තමයි ඔං...

අපි කස්ටිය..ඒ කිවුවෙ..මමයි, ජුංඅලයි, වගේම තවත් කීපදෙනෙක් හිටියා..
ලෝටා..චමියා...ලල්ලා.. එහෙම තමයි...

අපි ටික ඉතින් වෙනදා වගේම හවස් අතේ අපේ සුපුරුදු පොට් එක..ඒ කිවුවෙ ගුණවර්ධන මහප්පාගේ වින්කලේ ඉස්සරහ රඹුටන් ගහ යට පිට පළුවලින් හදාපු බංකුවෙ ලගා ගහගෙන ඔය වටවන්දනා කතා කිය කිය ඉන්නවා.

මෙහෙම ඉන්නකොට අපිට පේනවා ඉස්සරහ පාරේ කීපදෙනෙක් ජැන්ඩියට ඇඳගෙන යනවා..
කවුද මෙ..?
වින්කලේ ගෙදරට අල්ලපු ගෙදර..ඒ කියන්නේ රත්නපාල උන්නැහේගේ ගෙදර සෙට් එක තමයි. මෙ යන්නේ..
ඉස්සරහින්ම රත්නපාල උන්නැහේ.. (අපි කිවුවෙ නම් ගමන්බොරුවා කියලයි.. හේතුව නමෙන්ම හිතාගත්තැකිනේ..)
ඊට පස්සේ උන්නැහේගේ බිරින්දෑ.. ඊටත් පස්සෙන් මෙන්න අපේ සගයෙක් වන චාමරයත් කකුල් දෙකටම කලිසමක් ගහලා ඒ මදිවට ටොම්බා සපත්තු දෙකකුත් ගහලා හරියට නිකං පෙරහැරෙ නටන්න යන්න වගේ සෙට් වෙලා අර පොල් කණ්ණාඩි දෙකත් දාගෙන යනවා නිකං ෆ්‍රෙඩී සිල්වා වාගේ..ඒ එක්කම චාමරගේ බාල නංගී නොහොත් චූටීත් යනවා නිකං මල්කුමාරි වගේ..(මල් කිවුවට නිකං වද මලක් වගේ තමයි..)

අපේ ලෝටත් නිකං තියෙන කටනේ කියා හිතලා..

"ආ..රත්නපාල අයියේ කස්ටියම මෙ කොහේද මංගච්ඡන්නේ.." කියලා අහපි.

අපරාදේ කියන්න බැහැ රතනපාල උන්නැහෙත් යන ගමන නවත්තලම දුන්නා ස්ටෝරියම..

"ආ..මල්ලියේ අපි මෙ මගුල් ගෙදරක යනවා..දන්නවනේ අර අපේ ලොකු අම්මාගේ බෑනා බැඳලා ඉන්න පුතාගේ පුංචි අම්මාගේ ලොකු දුවගේ බාලම පුතාගේ නෝනා..අන්න එයාගේ බාප්පගේ පුතෙක් වෙන කෙනෙක්ගේ අල්ලපු ගෙදර තියෙන මගුල් ගේ..ළගම නෑයෝ උනහම නොගිහින් කොහොමද..නේද..?" කියලා..

"හා.. හොඳයි..හොඳයි.. ගිහිල්ලා අපිටත් එක්ක හරියන්න කාලා එන්නකෝ.."

ඔන්න ඉතින් අපි කස්ටිය නැවතත් අපේ ඔපාදූපයක් කියාගෙන කාලේ යවා ගත්තා.
ඒත් ටික වෙලාවක් යනකොට මට තේරුනා මොකෙක් හරි අඩුයි අඩුයි වගේ කියලා..
ඉතින් වට පිට බලපුවහම අඩුයි නේන්නං..
මොකාද..? ජුමා...

"ඈ බං ලෝට්.. කෝ ජුංඅලයා.."

"මෙ හිටියානේ බං.. දැන් නැහැ නේද..?"

"මාර මගුලක්නේ යකෝ.. ඔකා අපිට නොකියා යනවයෑ කොහේවත්."

අපි කට්ටියම මිනිහාව හොයන්න පටන් ගත්තා.
මිනිහාව හොයන්න එච්චර දුර යන්න ඔන නැහැ පාරෙන් අනිත් පැත්තේ..ඒ කිවුවෙ වින්කලේට ඉස්සරහ ගෙදර තමයි මෑන්ස්ගේ ගෙදර..ඒ කිවුවෙ අපේ නිල නොවන ක්ලබ් එක. ඒ මොකද කියනවනං ගෙදර ඉන්නේ මිනිහයි, මල්ලි වෙච්ච රතනයයි, අම්මයි විතරයි. අම්ම උනත් කුස්සිය පැත්තටම වෙලා හිටියා මිසක් ගේ ඇතුළටවත් එන්නේ නැහැ. ඉතින් අපිට ඒ දවස්වල ඔනම දේකට..ඒ කිවුවෙ කැරම් අතක් ගහන්න, ඕමියක් බලන්න, ටීවී බලන්න විතරක් නෙවෙයි..රා ටිකක් ගෙනත් බොන්න ඔය දොරවල් ජනෙල් ටික වහලා දාලා නිලක් බලන්න එහෙමත් සෙට් වෙන්නේ ඔහාට තමයි.

ඉතින් කොහොමින් කොහොම හරි මිනිහා ආගිය අතක් නැහැ.

දැන් අපිට මාර පුස්නේ..එක එකා එක එක අදහස් කියනවා.

මාත් ඉතින් මගේ මොළෙන් හිතන්නේ නැතිව ජුංගේ මොළෙන් හිතලා බලන්න පටන් ගත්තා.
(ඔන්න පුරුදු වෙනවනං වැඩෙ.. ඔය හොරකමක් වංචාවක් වගේ දෙයකදී අපි විදියට නොහිතා හොරා විදියට හිතලා බලන්නකෝ වැඩෙ කළ හැටි විතරක් නෙවෙයි, කරපු එකායි, බඩු හංගපු තැනුයි ඔක්කෝම හොයා ගත්තෑකි.)

මට වැඩෙ මීටර් උනා..

"ඒයි මං දන්නවා බුවා ඉන්න තැන වරෙල්ලා යන්න."

"කොහේද බං..?"
"ඔකා ෂුවර් එකටම රතනපාලලගේ ගෙදර.. අර මගුල් ගෙදර ගිය සෙට් එකේ ලොක්කී හිටියේ නැහැ නේද..?"

"හරි තමා මූ එහෙට පනින්න ඇති..යං යං.."
කස්ටියම සෙට් වෙලා අල්ලපු ගෙදර පැත්තට වාෂ්ප උනා. අල්ලපු ගෙදර කිවුවට ඉතින් වින්කලේ ඉඳලා මීටර් පනහක් විතර දුරින් තමයි ඒ ගේ තිබුනේ.. ගේ පිටුපස්සේ පැත්තයි වින්කලේ පැත්තටයි වෙන්න තරමක කැලෑව.. අපිත් ඉතින් ඒ කැලෑවට මුවා වෙමින් පූසෝ ටික වගේ ගමනේ යා...

රතනපාල අයියට වැඩිමහල් පුතයි තවත් දුවලා දෙන්නෙකුයි හිටියා..

කොල්ලානං අපේ සෙට් එකේ බුවා.. හැබැයි අප්සෙට් මීටරෙ..

නංගිලා දෙන්නා එකම අච්චුවෙ..
කොණ්ඩෙ පොකුටුයි, දැකුම් කළු පාටයි..(තේරෙනවානේ)
හිනාවෙන කොට තමයි කෙල්ලෝ දෙන්නගේම සුද පේන්නේ..රෑකට දැක්කොත් ඉතින් යකෙක් පොල් කනවා වගේ තමා.
( මෙ වචන වලට කවුරුවත් තරහා ගන්න එපා. ඒ දවස්වල අපි භාවිතා කරපු කියුම්ම තමයි දාලා තියෙන්නේ...)

පෙනුම කෙසේ වෙතත් අපේ ජුංට අපි පොඩි කාලේ ඉඳලා ලොකකීගේ නමත්, රතනයාට චූටිගේ නමත් කියලා විහිළු කළා.. උන් දෙන්නත් ඉතින් වැඩෙ ටිකක් හිතට අරගෙන තමා තිබුනේ...

කොහොම හරි ආපේ අනුමනේ හරි භාණ්ඩෙ ඉන්නවා ගේ ඇතුළේ කෙල්ලට ටෝක් කර කර..
ඉස්සරහ දොරත් වහලා..
ඒත් ඉතින් සාලේ ජනේලේ ගාව තිබුනු වැලි ගොඩ ගාවට මිදුල හරහා නැමීගෙන ගමනේ යෙදුනු අපි සෙට් එක දැන් වැලි ගොඩට හේත්තුව දාගෙන (හා..හා.. මඩ එපා.. අපි මෙ රහස් මෙහෙයුමක් මිස ඔපාදූප හොයනවා එහෙම නෙවී)
කතාව අහගෙන ඉන්නවා. ටීවී එකේ සද්දෙත් යන්තමට දාගෙන දැන් මුන් දෙන්නා ලොකු කතාවක්..

ජුං- ලොක්කී..ඔයාලගේ පන්තියේ අර රුවනී කොල්ලෙක් එක්ක යාළු වෙලාද..?

ලොක්කී- ඔවුනේ අනේ.. දැන් වැඩෙ නැගලා යනවා.

ජුං- අර චමරිත් සුගත් එක්ක යාළු වෙලා නේද..

ලොක්කී-ඔව්..ඔව්.. එයාලාත් යාළුවෙලා..දැන් කොයි වෙලෙත් දෙන්නා කතාව දා ගත්ත ගමන්මයි.

ජුං-ඇත්තද ලොක්කී අර සුගත් චමරී එක්ක ටොයිලට් එකේ හිටියා කියන්නේ...

ලොක්කී- ආ එයා දන්නේ දැන්ද..? ඒ හුගක් කලින්නේ..

ජුං- මොනවා කලාද දන්නේ නැහැ නේද..දෙන්නත් එක්ක..?

ලොක්කී- හිකි..හිකි...

ජුං-ඇයි හිනා වෙන්නේ..

ලොක්කී-නෑ නිකං...

ජුං- නිකං නෙවෙයි එයා දන්නවා..

ලොක්කී- ඔයාත් දන්නවනේ...

ජුං- ඔව් ඔව් මාත් දන්නවා..මං බැළුවෙ ඔයාත් දන්නවද කියලා..

ලොක්කී- මං දන්නේ නැද්ද අනේ ඔව්වා..

ජුං- ඒක නෙවෙයි ඔයාට කවුරුවත් මුකුත් කරලා නැද්ද..?

ලොක්කී- අපෝ නැහැ..

ජුං- මාත් එහෙමයි අනේ..

ලොක්කී- ඇත්තද..ඈ..

ජුං-ඔව් ඇත්තමයි.. ඒක නෙවෙයි මම ඔයාගෙන් දෙයක් අහන්න තරහා වෙනවාද..?

ලොක්කී- අනේ නැහැ ජුං අහන්න..

ජුං- නැහැ මෙ අර තුෂාර දවසක් කිවුවනේ ළිඳ ලගදී ඔයාගේ....... ඇල්ලූවා කියලා..

ලොක්කී- නෑ..එහෙම කිවුවද..?

ජුං- ඔවුනේ.. කිවුවනේ ඇත්තද ඒක..

ලොක්කී- තමුසෙට පිස්සුද..? ඌ නෙවෙයි මොකා එහෙම කලත් මම ඒකාගේ කන පැලෙන්න ගහනවානේ..අහුවෙද්දෙන්කෝ ඔකා මට..

ජුං- හා..හා.. කේන්ති ගන්න එපා. මම දන්නවානේ ඌ කොහොම උනත් ඔයා ඔවාට නැහැයි කියලා..

ලොක්කී-ඒක මිසක්.

ජුං- මම එහෙනං ගිහින් එන්නං ලොක්කී..තනියම හිටයෑකි නේද..?අම්මලා එනකං.

ලොක්කී- පුළුවන්..

සංවාදය ඉවරයි. ජුං නිකං තටු කැපුන කුකුළා වගේ ගෙයින් එළියට බැහැලා ආපහු වින්කලේ පැත්තට ගියා.
අපිත් මිනිහා යනකල් ඉඳලා පටස් ගාලා කැලේ මැද්දෙන්ම පැනලා දිවුවා බංකුව උඩට. කොහොම හරි අපිට මිනිහාට කළින් යා ගන්න හම්බඋනා.
දැන් ඔන්න මිනිහත් කළුවරේම හිමින් හිිමින් අපි ළගට ඇවිත් මුකුත් දන්නේ නැහැ වගේ බංකුවෙ ඇලට් උනා.

ලෝටා-කොහේද බං ජුං උඹ හිටියේ..

ජුං-කොහේවත් නැහැ.

මම-දැන් උඹ මෙතන හිටියේ නැහැනේ බං.

ජුං-ආ මම මැද ගෙදර ලොකු අම්මලාගේ ගෙදරට ගියා බඩගිනි වෙලා.

මම-ඉතින් උඹ කෑවද..?

ජුං- නැහැ තවම බත් ඉඳිලා නැහැ.

ලෝටා- ආ ඔහොම යනකොට ඉෙඳයි..

මම-ඒක නෙවෙයි ලෝට්.. අර රුවනී කොල්ලෙක් එක්ක යාළු වෙලානේ..

ලෝටා-ඔව් ඔව් සුගතුත් චමරී එක්ක යාළු වෙලා..

මම- ඔවුනේ බං.. අර උන් දෙන්නා ටොයිලට් එකේ ඉඳළත් තියෙන්නේ...

(ජුංඅල උණ විකාරෙන් මෙන් අප දෙදෙනා දෙස බලනු පෙනේ...)

ලෝටා- ඒ විතරක්යෑ බං අර තුෂාරයා අරකිගේ ............මිරිකලානේ ළිඳ ලගදී..

මම- පිස්සුද බං එහෙම කලා නං අරකි ඌට ගහයි කණ පැලෙන්න.

ලොටා-ඌ විතරක් නෙවෙයි තව පොඩ්ඩෙන් තව එකෙක් කණේ පාරක් කනවා..අද..

මම- ඒ කවුද බං..?

මෙච්චර වෙලා අර මොනවාද කාපු මොකාද වගේ බිරන් තට්ටු වෙලා බලන් හිටපු ජුං එක පාරටම මැද්දට පැනපි.

ජුං- අනේ බං උඹලා ඕක කාටවත් කියන්න එපා. වඳින්නං. අනේ..බං අනිත් උං දැන ගත්තොත් මට මැරෙන්නයි වෙන්නේ...

ලෝට්- ඇයි ඇයි උඹ කලබල උනේ..

ජුං- අනේ බං උඹලා කොහොමද ඔක දැන ගත්තේ..?

මම- මොකක්ද බං..?

ජුං- මම අර..අර..

මම-අනේ ප.... තෝ දැන් කිවුවෙ කොහේවත් ගියේ නැහැ කියලා.

ජුං- හරි හරි බං මට නිකමට හිතුනු හින්දා ගියා.

ලෝටා- වැඩෙ ගැස්සුනා නේද ජුමෝ..?

ජුං- ඔව් බං..

මම-අර කනේ පාර ගැන කිවුව ගමන් උඹ බය උනා නේද..?

ජුං- ඔවු බං මටත් කෙළලා ඇද්දොත් එහෙම...?

ඔන්න ඔහොමයි ඒ කතාව අවසන් උනේ...
එදා ඉතින් රෑ දොළහ විතර වෙනකල් මිනිහා අපේ බයිට් එක උනා.

පහුවදා උදේම මම ගියා පාර පැත්තේ..
පුරුද්දක් වගේ හැමදාම මම ගිහින් ඇහැරවනකල්ම ජුං නිදා ගන්නවා.
ඉතින් එදාත් මම ගිහිල්ලා කාමරේ ජනේලෙට උඩින් තියෙන දැල් කෑල්ලෙං වතුර කෝප්පයක් එහෙම ගහලා මිනිහාව නැගිට්ටවන්න හදනකොටම මෙන්න මිනිහාම ඇවිත් කතා කරනවා, කවදාවත් නැතිව මෙකා උදෙන්ම නැගිටලානේ..

මොකද බං අද උදෙන්ම නැගිටලා..

උදෙන්ම නැගිට්ටා නෙවෙයි බං... රෑ ඉඳලා තාම නින්ද ගියේ නැහැ.

මදැයි කොලා...උඹත් ඇදගෙනනේ බං නාන්නේ..

නෑවා කියන්නේ බං..විළි ලැජ්ජාවෙ බැහැ. මම රෑ මැරෙන්නත් කල්පනා කලා. ඒත් ඛෙල්ලේ වැල දා ගන්න ලණුවක් තිබුණේ නැහැ. ළිඳට පනින්නත් හිතුවා ඒත් ඒකත් ජඹුර වැඩියි බං...

පන්සල් ජීවිතේ... ගිණිකෙළිය...

කොළඹ පන්සලේ වැඩ සිටි හිමියන් පැමිණීමත් සමගම ඒක රාශි වූ තිහ හතළිහකින් පමණ යුතු දායක පිරිස යුහුසුළුව උන්වහන්සේ පිළිගැන්මට ලක ලෑස්තී වූහ. මාද ගිලන්පස සදහා තේ කහට පිළියෙළ කර දුනිමි. (කොළඔ හිමියන් අප මෙතැන් පටන් ඥාණාලෝක නමින් හඳුන්වමු.)

ඥාණාලෝක හිමියන් වැඩම කර ස්වල්ප වෙලාවකින් අසල නගරයේ වැඩ හුන් හිමියන් (ගුණරතන හිමියන් ලෙසින් හඳුන්වමු.)ද තුන්රෝද රථයකින් වැඩම කරන ලදින් සියළු දෙනාම එක්ව බණ මඩුවෙ රැස්වීමක් ආරම්භ කිරීමට සැරසිණි. රැස්වීම ආරම්භ වී පැය කාලක් වැනි කාලයක් ගත වන විට ගුණරතන හිමියෝ නැවත ආවාසය තුළට වැඩම කළ අතර ඥාණාලෝක හිමියන් ප්‍රධාන කරගෙන රැස්වීම දිගටම කරගෙන යනු දක්නට ලැබිණි.

ආවාසයට වැඩම කළ ගුණරතන හිමි චන්ද විමල හිමියන්ට හා මා හට කතා කරනු ලැබූයෙන් අප උන්වහන්සේ අසලට ගිය අතර එහිමියන් ඉතාමත් කලකිරීමෙන් යුතුව කථාකරන්නට විය.

"මෙ මිනිස්සුන්ට මුල මතක නැහැ පොඩි හාමුදුරුවෝ..
ලොකුහාමුදුරුවෝ රට පැන්නට පස්සේ මෙ පන්සල විකුණගෙන කන්න බැළුව උන් ටික ඔක්කෝම එකතු වෙලා අර මෝඩයව උඩින් තියාගෙන ආයෙත් පාරක් පන්සල වනසන්න හදන්නේ.
මෙච්චර දවසක් මෙ පැත්තේ ආවෙ ගියේ හරි මම විතරයි.
මටත් ඒ තරම් හයියක් නැති හින්දා මෙවා දියුණු නොකලට මම මෙවා බලාගෙන හරි හිටියා.
මෙ වතු ටික වගා කරගෙන මම ලෑස්ති උනේ කොනක ඉඳලා පටන් අරන් මෙවා හරි ගස්සලා ගන්න.
දැන් මුන් ටික ක්ෂණික නූඩ්ල්ස් වගේ මෙක ගොඩ දාන්න හදනවා.
අන්තිමට තියෙන ටිකත් නැතිවෙලා තමයි නවතින්නේ."

"මට ඔය විකාර අහගෙන ඉන්න බැහැ.ඒ හින්දා මම ආපහු ආවා."

"මෙන්න මෙ ටික මතක තියාගෙන ඔය දෙන්නම වැඩ කරන්න ඔන.
කිසිම හේතුවක් නිසාවත් පන්සල දාලා යන්න එපා.
ඔයාලට තියෙන අඩුපාඩුවක් මට කියන්න.මම පුළුවන් හැටියකට උදවු වෙන්නම්.
දැන් එයාලා හදන්නේ පන්සලට වෙන කොහෙන්ද හාමුදුරු කෙනෙක් ගෙනත් නවත්තන්න.
ඒ එන මිනිහා කවුද කොහොමද කියලා නොදැන මට මෙවා බාර දීලා අහක බලන්න බැහැ.
ඥාණාලොකත් දැන් ඔය උඩ පැනගෙන ආවාට මෙකෙන් ගන්න පුළුවන් ටික අරගෙන පැනලා යනවා.
අන්තිමට මෙ මෝඩ මිනිස්සුන්ට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැතිව යනවා.
ඒ හින්දා දෙන්නත් එක්ක පන්සල බලාගෙන ඉන්න ඔන.
එන කෙනෙක් ආපුවාවෙ...
එයාට එයාට ඔන විදියක් කරගන්න දීලා ඔය දෙන්නත් පන්සලට වෙලා පාඩුවෙ ඉන්න.ඒකට මම කටයුතු පිළිවෙළ කරලා දෙන්නම්. මෙ වෙලාවෙ මට වෙන කියන්න දෙයක් නැහැ.
මම ආයේ මෙ පැත්තේ එන්නේ නැහැ." යි කියූ උන්වහන්සේ මට කතා කර

"අර පහළ තියෙන කෙසෙල් මම මගේ අත්දෙකෙන් හිටවපුවා. ඒවායේ ආදායම ඔයා ගන්න.
ඔයාට බැරිනම් කියන්න මම දැන්ම ගස්ටික ඔක්කෝම කපලා විසී කරලා යනවා."යි පැවසූ අතර

"අනේ හාමුදුරුවනේ මම ගස් ටික බලාගන්නම්..ඒත් මට සල්ලි එපා. කැමති කෙනෙක් කැමති දෙයක් කරගත්තාවෙයි" කියූ විට

"එහෙනම් කෙසෙල් විකුණලා සල්ලි ටික පොඩි හාමුදුරුවන්ට දෙන්න"යි කියූ අතර මා එයට එකග වීමි.

පැය එක හමාරකින් පමණ පසු රැස්වීම හමාර වූ අතර ඥාණාලෝක හිමියන් ආවාසයට වැඩම කරන ලදි.
මෙතෙක් වෙලා අප කතා බස් කරමින් උන් ආවාසයේ ඇතුළු කාමරයට පැමිණි උන්වහන්සේ සමග දයාසේන අයියාත්, රූපරතන අයියාත් ආවාසයට පැමිණි අතර එළියේ තවත් දායකයින් කිහිප පළක් තැන් තැන් වල කතා බස් කරමින් සිටිනු දක්නට ලැබිණි.

කෙළිය පටන් ගත්තේ මෙවිටය...

ඥාණාලෝක හිමියන් අප සියළු දෙනාටම ඇසෙන සේ..

"මම ලබන බදාදා මගේ හිතවත් ලොකු හාමුදුරු කෙනෙක් මෙහාට වඩමවා ගෙන ඇවිත් පන්සල බාර දෙනවා. මටත් පුළුපුළුවන් වෙලාවට ඇවිත් යනවා. ඔය දෙන්නා කොහේවත් යන්න එපා. පන්සලට වෙලා මෙවා බලා කියාගෙන..අර එන හාමුදුරුවන්ට උදවු කරගෙන ඉන්න ඔන. වතු පිටි ටික දායක සභාවෙන් වගා කරන්නයි කතාකරගෙන ඉන්නේ.."යි පවසනවාත් සමගම...

"මොකා මොක වගා කරගත්තත් මට කමක් නැහැ..හැබැයි මෙ තියෙන දේවල් කාටවත් එහෙ මෙහෙ අදින්න මම ඉන්නකන් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒක මතක තියාගන්නවා හොඳයි.."යනුවෙන් ගුණරතන හිමියන් සංවාදයට එළඹි අතර එතැන් පටන් ආරම්භ වූයේ බරපතල වාග් සංග්‍රාමයකි. උණුසුම් වචන හුවමාරුව අතරතුර මාත් චන්දවිමල හිමියනුත් නිශ්ෂබ්දව සිටියා විනා මැදිහත් නොවන්නට ගියේය.

ගුණරතන හිමියනුත්, ඥාණාලෝක හිමියනුත් පැවිදි සහෝදරයෝ වූ අතර වයසින් මෙන්ම මහණකමින් හා උපසම්පදාවෙන් ගුණරතන හිමියන් වැඩිමාළු වූ සේක.

නමුත් ගුණරතන හිමියන්ගේ ලොකුහාමුදුරුවන් හා අනිකුත් ගෝලයින් අතර ගුණරතන හිමියන්ට වූයේ අඩු සැලකීමක් විය.

එයට හේතුව වූයේ ගුණරතන හිමියන්ගේ මහණ කිරීම සම්බන්ධව වූ ගැටළුවක් විය.

ගුණරතන හිමියන් කුඩාකල පන්සලට පැමිණ තිබුණේ මහණ වීමට නොව පන්සලේ මහණ කිරීමට ගෙන ආ දරුවකුගේ තනි නොතනියට රැදී සිටීමට වූ අතර ඔවුන් දෙදෙනා අතර ඥාති සම්බන්ධයක් විණි.

මාස කිහිපයක් පන්සලේ රැදී සිටීමෙන් පසු මුළින් කී දරුවා මහණ කිරීමට ගිය මොහොතේ අයියාත් මහණ වෙන්..නැත්නම් මට බැහැ යනුවෙන් අනිත් දරුවා හඩන්නට වූ නිසා පසුව සිවුරු හරින්නට බැරියෑ යන අදහසින් ගුණරතන හිමියන්වද පැවිදි බිමට ඇතුළත් කරවා තිබිණි. නුමුත් වූයේ අනිකකි. මහණ කිරීමට ගෙන ආ දරුවා මහණ වී වසර කිහිපයකින් සිවුරු හැර ගිය අතර.. ගුණරතන හිමියන් මා ාමය ලියනා මෙ මොහොත වන විටත් සිවුරේ රැදී සිටී.

මෙම අහඹු සිදුවීම නිසා මහණ කරවන්නට යෙදුණු බැවින් ඔහුහට වැඩි අවදානයක් කිසිවකුගෙන් ලැබී නොතිබුණි. නමුත් කාලය කෙමෙන් කෙමෙන් ගලා යනවිට ගුණරතන හිමියන්ට වඩා පැවිද්දෙන් වැඩිමාළු සියළුම දෙනා සසුන අතැර ගොස් තිබූ අතර ගුණරතන හිමියන් නිරායාසයෙන්ම ලොකු හාමුදුරුවන්ගේ වැඩිමහළු ගෝලයා බවට පත් වී තිබිණි. මෙම නිසාම අනාගතයේ මෙම පන්සල් සියල්ලේම පාලනය ලැබීමට ඔහු සුදුස්සෙක් වී තිබිණි.

මෙය ලොකුහාමුදුරුවන්ටද ඉවසා සිටිය නොහැකි කරුණක් වූයේ ගුණරතන හාමුදුරුවන්ට නොව මෙම පන්සල්වල පාලනය තමා බාර දෙන්නට සිතා සිටියේ ගොලයකු ලෙස මහණ කරගෙන උන් තම අයියාගේ පුතා වන සුභූති හිමියන්ට වීමයි.

නමුත් ඔවුන් සියළුම දෙනා සිවුරු හැර යාම නිසා තමා නොපැතූ අයකුට උරුමය යෑම ලොකුහාමුදුරුවන්ටද ඉවසිය නොහැකි විය.මෙබැවින් ගුණරතන හිමියන් කපා දමා එතැනට ඥාණාලෝක හිමියන් ගෙන ඒමට ලොකුහාමුදුරුවන්ටද උවමනා විය.

නමුත් ඇත්ත වශයෙන්ම මෙ වන විට ප්‍රධානත්වය දිය යුතුව තිබුණේ ගුණරතන හිමියන්ට විනා ඥාණාලෝක හිමියන්ට නොවන බව අප දැන හුන් නිසාත් ඔවුන් දෙදෙනා පැවිදි සහෝදරයින් නිසාත් ආරවුලට අප අත නොදැමූ අතර තත්වය වඩා බරපතල වී ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වන්නට වූ විට අප දෙදෙනාත් දයාසේන අයියා සහ රූපරතන අයියාත් එක්ව දෙදෙනා දෙපසට ඇද දමන ලදි.

එයින් සුළු මොහොතකට පසු ගුණරතන හිමියන් පන්සලෙන් පිටව ගිය අතර ඥාණාලෝක හිමියන්ද පිටත්ව යන ලදි.

අප දෙදෙනා නැවතත් තනි වීමු.

දින කිහිපයක් ගතවිණි. අළුත් හිමිනම වැඩම කරවන දිනද ආසන්න විණි. ඒ අතර දිනක් රාත්‍රී කාලයේ වෑන් රථයක් පන්සලට ලගා වූ අතර එයින් බැස ගත්තේ ඥාණාලෝක හිමියන් විය.

ඒ තවත් අපූරු මෙහෙයුමකට විය.

...................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

12 July 2010

පන්සල් ජීවිතේ... සාකච්ඡා..සාකච්ඡා...

පැමිණෙන සියළුම දෙනා ආවාසය පැත්තට නේති.
කෙළින්ම ආවාසය දෙස නොබලා සිටීමට ඔවුන් කතා කරගෙන ආවා මෙනි. කෙසේ නමුත් පැය භාගයක් පමණ කාලය ගත වන විට එකා දෙන්නා පැමිණි පිරිස විසිපහකට තිහකට ආසන්න විය. අවශ්‍ය කරන විශේෂ යැයි පෙණුනු කීප දෙනෙක්ගේ පැමීණීමෙන් පසු පිරිස බණ මඩුවෙ ඈත කෙළවරෙහි දහම් පාසල් බංකු පිළිවෙලකට තබා රැස්වීමක් පවත්වන්නට සූදානම් වන බව දකිනට ලැබිණි.

මෙයට පෙරද මා පැමිණි පසු පන්සලේ මෙවැනි රැස්වීම් දෙකක් පමණ පැවති අතර ඒවා උපාසක සමිතියේ සිල් ඇත්තන් මූලික කරගත් ඒවා වූ අතර, එම රැස්වීම් වලට ප්‍රථමව අනිවාර්යයෙන්ම පන්සලේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ හට ඇරයුම් කිරීමක් විණි.

නමුත් අද එවැන්නක් කෙරෙන පාටක් දකින්නට නැත.

මාත් චන්දවිමල හිමියනුත් සිදුවන්නේ කුමක්දැයි අවදානයෙන් බලා සිටියෙමු.

සියළු දෙනා එක්ව පැයක පමණ වෙලාවක් යම් කතිකාවක යෙදෙණු දක්නට ලැබිණි. බණ මඩුවෙ ආවාසයට දුරින්ම වූ කෙළවරෙහි රැස්වීම පැවති නිසා එහි වන දෑ අපහට හරියාකාරව තේරුණේ නැත. යම් කිසි ඛෙදීමක් සහිතව කතිකාව ඇදී යන බව නම් වරින් වර නැගුණු උස් හඩවල් වලින් පැහැදිලි විය. සිදුවන දේ කුමක්දැයි හරියටම නොදත්තද එය පන්සලට අඳාළ දෙයක් වන බවත් මෙම රැස්වීම අවසානයේ මෙතෙක් කලක් පන්සලේ අප රැදී උන් කාලය අවසන් වීමට හැකි බවත් අප දෙදෙනාම දැන සිටියෙමු. නමුත් එය අප හට එතරම් ගැටළුවක් නොවුණෙු මෙ වන විටත් එවැනි අවස්ථාවක් පැමිණියහොත් අප දෙදෙනාම සුමෙධ හිමියන් වැඩ සිටින බුලත්සිංහල වත්තේ කුඩා පන්සලට යෑමට සූදානම්ව සිටි නිසාය. ඇත්තෙන්ම එය ඉතා මනරම් ස්ථානයක් විණි. මෙයට ප්‍රථමව එක් දිනක් මාත් නාරද හිමියන් සහ චන්දවිමල හිමියන් එහි දිනක් ගොස් පැමිණ සිටි නිසා එම ස්ථානයේ වූ නිස්කලංක බව මසිතට තදින් දැනී තිබුණි.

ප්‍රධාන පාරෙන් බොහෝ ඈත රබර් වතු යායක් මැද පිහිටි එම ස්ථානය, යෑමෙ ඒමෙ අපහසුව විනා අන් සෑම අතින්ම වාසයට ඉතා සුදුසු ස්ථානයක් විය. කුඩා කාමර දෙකකින් යුතු ආවාසය හා වත්තේ පිහිටි සිංහල සහ දෙමළ වැසියන් මුසු වූ කුඩා ගම්මානයත් එහි විසූ ගැමියන්ගේ අව්‍යාජ ගති පැවතුම් හා භක්තියත් සිත් ගන්නා සුළු විය.

එවැනි පූර්ව සූදානමකින් සිටි අපට වෙන්නේ කුමක් වූවත් එහි මහා අමුත්තක් නොවන බැවින්, වෙන ඔනෑම දෙයකට සූදානමින් බලා සිටියෙමු.

පැයකට පමණ පසුව කිහිප දෙනෙකු ආවාසය පැත්තට පැමිණ චන්දවිමල හිමියන් හටද රැස්වීමට සහභාගී වන මෙන් දන්වා සිටි අතර ඒ අනුව මාද හිමියන් පසුපස රැස්වීම තිඛෙන ස්ථානයට ගියෙමු.

ඇත්තෙන්ම එහි අපහට කරන්නට යමක් ඉතිරිව නොතිබුණි. මෙතුවක් කල් පන්සලේ දායකත්වය කරට ගෙන සිටි දයාසේන හා රූපරත්න අයියලාගේ බල බිඳී තිබිණි. පන්සල නිතර නේන මුත් පන්සල වටා යන ගමන් පන්සල දෙස විපරම් බැල්මෙන් බලමින් ගිය කීප දෙනෙකු රැස්වීමෙ සියළු පාලනය ඔවුන් අතට ගෙන තිබුණි.

ඔවුනට උවමනා වූවෙ චන්දවිමල හාමුදුරුවන් පන්සලේ පාලනය බාරගන්නේදැයි දැන ගැනීම පමණි. මන්ද පන්සලේ වැඩ සිටි නියම උරුමක්කාරකමක් තිබූ ආනන්ද හිමියන් විදේශගත වූවායින් පසු පන්සල බාරදී ගිය නාරද හිමියන්ද එය චන්දවිමල හිමියන් හට බාරදී පිටව ගොස් සිටි නිසා චන්දවිමල හිමියන් හටද යම් තරමක රැදී සිටීමෙ අයිතියක් විය. එය දැළි පිහියෙන් කිරිකනවා වැනි වගකීමකි. එක් අතකින් පන්සල භාරගෙන රැදී සිටින්නේ නම් දායකයින්ගේ සියළු කටයුතු නිසි පරිදි ඉටු කරදීම අනිවාර්යයෙන්ම කළ යුතු අතර, ඒ සඳහා අවට පන්සල්වල සහයෝගය අනිවාර්යයෙන්ම ලබාගත යුතුව තිබුණි.

පන්සල මෙ වන විට තිබූ තත්වය නිසා අවට පන්සල් වලද මෙ වන විට තිබුණේ මෙම පන්සලේ දායකයින් තම පන්සල් වලට කඩා ගැනීමෙ සීතල මෙහෙයුමක් පමණක් වූ අතර එය පිටින් නොපෙන්වා සිටීමට එම පන්සල්වල නායක හිමිවරුන් සැලකිළිමත් විය.

විශේෂයෙන්ම මෙ වන විටත් පන්සලේ නියම දායක ප්‍රදේශයෙන් තුනෙන් එකක් පමණ පන්සලට උතුරු පසින් තිබූ පන්සලක පාලනයට නතු වී තිබුණි. එම පන්සල මෙයට වසර තිහකට පමණ පෙර ආරම්භ කරනු ලැබූ එකක් වූ අතර හරි හමන් දායක ගම්මානය එයට නොවීය. එම පන්සල පිහිටි ස්ථානයෙහි පෙර විසූ අයිතිකරුවකු තම ගමට අඳාළ පන්සලේ හිමියන් සමග වූ ආරවුලක් මත සිය ඉඩමක් හා ගෙයක් වෙනත් පන්සලක නායක හිමිනමකට පූජා කර ගොඩනැගූ පන්සලක් වූ හෙයින් එම පන්සල අවට සියළුම පන්සල් වලට අයත් දායකයින් ටිකෙන් ටික කඩගෙන තම පන්සලට දාය ප්‍රදේශයක් ගොඩ නංවාගෙන තිබුණි.

අප පන්සලේ තිබූ පිරිහීම හේතු කොටගෙන එම තත්වයෙන් උපරිම පල ප්‍රයෝජන ලබා උන්නේ එම පන්සලේ හිමිවරුන්ය. එබැවින් චන්දවිමල හිමියන් පන්සල භාරගත්තද ඔවුන්ගේ පදයට නටමින් සිටිනවා ඇර මෙම පන්සල දියුණු කිරීම ලෙහෙසි කටයුත්තක් නොවීය. පන්සලේ කෙසෙල් වවා තිබූ අසල නගරයේ පන්සලේ හිමියන් මෙ වන විට මෙහි පාලනයට නියම සුදුස්සා වූ නමුත් උන්වහන්සේද මෙය දියුණු කිරීමෙ උනන්දුවක් ඇති අයකු නොවිණි.
මෙනයින් බලන කල අවට පන්සල් වල උදවු උපකාර නැතිව පන්සල බාර ගැනීම යනු මහා හිසරදයකි.

පිරිතකට, දානයකට, පාංශ=කූලයකට හාමුදුරුවරු හත් අට නමක් ගෙන්වා ගැනීම වැනි කටයුත්තකදී හතර වටෙට වැඳ වැටිය යුතුය. මෙ තත්වය යම් තරමකින් හෝ වෙනස් වීමට නම් පන්සල ප්‍රබල තත්වයකින් පැවතිය යුතුය. කල එළියට තිඛෙන, එසේම ආදායම් ඇති පන්සල් වලට, මෙන්ම බණට පිරිතට දක්ෂ හිමිනමක් වෙසෙන පන්සලකට නම් අනිකුත් පන්සල් වලත් අවදානය නිතර ලැඛෙන්නේය.එසේම පන්සලක හිමිවරුන් හත් අට නමක් වෙසෙන්නේ නම් එම පන්සලටද අවට පන්සල් වල උපකාර නිතර ලබා ගත හැකිය. එයට හේතුව ඔවුන්ගේ දාන මාන පිංකම් වලටද පෙරළා උපකාර ගැනීමට හැකිවන නිසාය.

දැනට තිඛෙන තත්වය මත නම් පන්සලේ පාලනය දැරීම චන්දවිමල හිමියන්ට කල හැක්කක් නොවීය. පන්සිල් දීමටත්, දානය ගෙන ආ විට පින්වාක්‍යය කිවීමත් හැරුණු කල බණක්, බොධිපූජාවක් පැවැත්වීම උන්වහන්සේට කළ නොහැකි දේවල් විය. ඉතා කුලෑටි හිමි නමක් වූ චන්දවිමල හිමියන් එවැනි දෙයින් නිතර මග හිරිමින් සිටි අයෙකු විය. මෙ තත්වය අනුව උන්වහන්සේ පන්සල බාර නොගන්නා බව පිරිසට අමුතුවෙන් කිව යුතුව නොතිබුණා වූවද උන්වහන්සේගේ කටින්ම බැහැ යන වචනය ගැනීමට ඔවුන් සැදී පැහැදී සිටියෝය.

අවසානයේ ඔවුන් පැතූ පිළිතුර චන්ද විමල හිමියන්ගෙන් ඔවුනට ලැබිණි.

ඒහාම රැස්වීම නැවතත් ක්‍රියාශීලී විය. චන්දවිමල හිමියන් පිළිබඳව අවධානය ඉවත දැමූ ඔවුන් කළින් කතා කරගෙන සිටි සැලසුමක් ක්‍රියාවෙ යොදවන්ට විය.

ඇත්තෙන්ම රැස්වීම පැවැත්වීමට පෙර ගමෙ කීපදෙනෙක්ගේ රහස් සැලසුමක් තිබී ඇත. ඒ බව පසුකාලීනව හෙළි වූ අතර එයට මුල් වී සිටි කිහිප දෙනා අසල නගරයේ පන්සලේ වැඩ විසූ හිමියන් සමග අමනාපව සිටි අය වූහ. ඒවාට හේතුව වී තිබුණේ පන්සල් ඉඩම් විය. පන්සලේ ඉඩම් ටික අල්ලාගෙන චගා කර ගැනීමට මාන බලමින් උන් කීපදෙනෙකු එම හිමියන් පන්සල් ඉඩම් වගා කිරීම පිළිබඳව කේන්තියෙන් සිටි අතර, පන්සල් ඉඩම් තම සතු කරගැනීමෙ ප්‍රධාන අරමුණ ඇතිවම මෙයට සම්බන්ධවූ කිහිප දෙනෙක් ඉතා වෙගවත්ව ක්‍රියාකරනු දක්නට ලැබුණි.

ඔවුන් කිහිප දෙනා වරින් වර කාල වලදී පන්සල කිට්ටු වී සිට නොයෙකුත් හේතූන් මත අමනාපව සිටි අය වූ අතර පන්සලේ අරාජික තත්වය ඔවුනට මහගු අවස්ථාවක් විණි. එම පිරිස අතරින් එකකු කොළඹ පන්සලේ වැඩ සිටි හිමියන් හමු වී යම් සැලසුමක් සාදාගෙන විත් තිබිණි. මෙතැන් පටන් සිදු වූයේ එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමයි.

ඒ අනුව පන්සලේ භාරකාරත්වය කොළඹ පන්සලේ සිටි හිමියන්හට පවරා දීමටත් උන්වහන්සේ කැමති විදියකට ඉදිරි කටයුතු කරගෙන යාමටත් පිරිස සැලසුම් කරගත් අතර එයින් දින දෙකකට පසු කොළඹ හිමියන් මෙහි වඩිනු ඇති බවත් එදිනට නැවත රැස්වී සාකච්ඡා කළයුතු බවත් කතිකා කොටගෙන රැස්වීම හමාර කරනු ලැබූ අතර, අප දෙනොද ආවාසයට පැමිණියෙමු.

රැස්වීම අවසන දයාසේන අයියාත් රූපරත්න අයියාත් පැමිණ අප හා ටික වෙලාවක් කතා කරමින් ඉඳ පිටත්ව යන ලදි. වෙන්නේ කුමක්දැයි බලා ඉඳිනවා ඇර වෙනත් කල යුතු යමක් නොවීය. කොළඹ හිමියන් පැමිණි පසු පන්සලේ යතුරු ඒ හිමියන්ට බාර දී අප දෙදෙනා පිටව යාමට සූදානම් වීමු.

දින දෙකකට පසුව සවස් යාමයක කොළඹ පන්සලේ වැඩ සිටි හිමියන් කාරයකින් පන්සලට වැඩම කරන ලදි...

...................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

11 July 2010

පන්සලේ ජීවිතේ... පිහිටීම...





පන්සල් ජීවිතය ගැන කියමින් පවතින මාගේ කථාවට අඳාළ පන්සලේ පිහිටීම පිළිබඳව ඔබ සියළු දෙනාහටම සුළුවශයෙන්වත් යම් අවබෝධයක් ලබා දිය යුතුයැයි හැගුණු නිසාම මෙම සටහන් දෙක දක්වාලීමට සිතීමි.

එක් සටහනක වන්නේ පන්සල පිහිටි ස්ථානය පිළිබඳ සටහනක් වන අතර, අනිකින් දැක්වෙන්නේ පන්සල් මළුව තුළ ගොඩනැගිලි පිහිටි ආකාරය බව සැලකුව මනාය. වැඩි විස්තර කතාවත් සමගම වරින්වර ප්‍රකාශ වනු ඇත. ස්තූතියි.

07 July 2010

පන්සලේ ජීවිතේ...හුදකලාවෙ ඇරඹුම...


නාරද හිමියන් වෙන්ව යාමෙන් පසු එළඹියේ වෙනස්ම කාල පරිච්ඡේදයකි. මෙතෙක් කලක් නාරද හිමියන් නිසා පැමිණි හිතවත් හිමිවරුන්ගේ පැමිණීම නැවතිණි. පන්සලේ සිටි ආලවකයාද කොළඹම නැවතී සිටියා මිස තව දුරටත් පන්සලට ඒම නැවතී ගියේ තවදුරටත් ඔහුහට සූරාගෙන කෑමට යමක් මෙහි ඉතිරිව නොතිබූ නිසාය.

චන්දවිමල පොඩිහාමුදුරුවනුත් මාත් ලැඛෙන දෙයක් ඛෙදා හදාගෙන කා පාඩුවෙ ජීවත් උනෙමු.
දානය ලැබීම පෙර දින වලටත් වඩා දුර්වල මට්ටමක පැවතිණි. ආහාර ප්‍රශ්නය අප දෙදෙනා හටම තදින් බල නොපෑවෙ අප දෙදෙනාම මෙම තත්වය බලාපොරොත්තුව සිටි නිසාමය.

තැඹිළි වතුර, බිස්කට්, ආදියෙන් පිරිමසා ගත් වෙල් ගණන අපමණය.පන්සල් වත්තේ තැනින් තැන අකලට වැවී තිබූ මඤ්ඤොක්කා ගස් කිහිපයත්, මෙවන විට මා විසින් වවා තිබූ කොච්චි ගස් හත අටත්, ගසකින් වැටෙන පොල් ගෙඩියත් අපට පිහිට වෙමින් තිබුණි. ඉදිරිය අවිනිශ්චිත විය.

නාරද හිමියන්ගේ අතුරුදන් වීම වැඩි දිනක් සගවා ගත නොහැකි විණි. දයාසේන අයියාත්,රූපරත්න අයියාත් එය ප්‍රථමව දැන ගත්තද එය ගමට යාමට ඊට වඩා දින කීපයක් ප්‍රමාද වීය. නගරයේ පන්සලේ සිටි හිමියන් වෙත එම ආරංචිය රූපරත්න අයියා විසින් කියා තිබිණ. උන්වහන්සේ පැමිණ ඒ පිළිබඳ විමසීමක් කලද ඉන් එහා යමක් සිදු නොකල අතර, පසුගිය කාලය තුළ උන්වහන්සේ විසින් පන්සල් වත්ත පුරා සිය මහන්සියෙන් සිටවා තිබූ කෙසෙල් පඳුරු ගොන්න දෙස බලා සිටින්නට විය.
පන්සල පිටුපස වත්ත අක්කරයකටත් වැඩිය. එහි තිස්ස නැමැති ගිහියකු විසින් අන්නාසි වවා තිබුණි. ඒ අතර මැද පේළි අතර නගරයේ පන්සලේ හිමියන් විසින් කෙසෙල් ගස් රාශියක් වවනු ලැබීය.
අන්නාසි කැපූ විට එයින් පන්සලට හිමි පංගුවත් කෙසෙල් වල ආදායම සම්පූර්ණයෙනුත් එම හිමියන් රැගෙන යන ලද අතර මෙතෙක් වැඩ සිටි නාරද හිමියන්ට ඒවායින් සත පහක මුදලක් හෝ නොලැබිණි.
මෙම තත්වය පිළිබඳව ගම්වාසීන් අතරත් නගරයේ පන්සලේ හිමියන් පිළිබඳ කලකිරීමක් ඉපිද තිබිණි. පන්සලට අයත් අනිකුත් ඉඩකඩම්ද මෙතෙක් බලහත්කාරයෙන් භුක්තිවිඳිමින් සිටි ගිහියන්ට එරෙහිව නීතිමය කටයුතු කරමින් එම හිමියන් විසින් එම ඉඩම්ද තම පාලනයට ගෙන ඒවාහිද වගා කටයුතු කරමින් තිබුණි.
පන්සලට දානය ගෙනා පසු දානය වළදා එම ඉඩම් වලට යන හේ අඳනකඩය පිටින් උදැල්ලක් ගෙන පොළොව කොටන්නට පටන් ගනී. එසේ සවස් වනතුරු පොළොව සමග ඔට්ටුවන උන්වහන්සේ කළුවර වැටෙන්නට පැයක් පමණ තබා නැවත පන්සලට වැඩම කරයි. ඔහු සමග සමහර දිනවල කොළු රැලක්ද පැමිණේ. ඒ දහම් පාසලේ සහ එම පන්සල අවට කොළු පිරිස වෙ.

ගොවිතැන් කටයුතු වලට මහත් උනන්දුවක් දැක්වූ නිසාම අවට පන්සල්වල හිමිවරුන් විහිළුවට මෙන් උන්වහන්සේ දුටු විට අමතන්නේ
"ආ ගොවි මහත්තයා කොහොමද".. යනුවෙනි. ඒ ගිහියන් නොමැති විට පමණි.

කෙසෙල් වගාවත්, අන්නාසි වගාවත් දෙස බලා උන් උන්වහන්සේ නැවත පන්සලට නික්ම යන ලදි.

නාරද හිමියන් පිළිබඳ පුවත දානය රැගෙන ආ කිහිප දෙනාගෙන් ගම තුළට ගොස් තිබිණි. නාරද හිමියන් නැවත නොපැමිණෙන බව මෙවන විට පැහැදිලි වූ නිසා එය සැගවීමට අපටද ඇවැසි වූයේ නැත.

තත්වය මෙසේ තිබියදී දිනක් සවස් වරුවෙ කුමක් හෝ අමුතු සිදුවීමක් සිදු වෙමින් පවතින බව අපහට තේරුම් ගියේ එකා දෙන්නා බැගින් ගම් වැසියන් පන්සල් බිමට ඒක රාශී වනු දැකීම නිසාය.
.................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

මෙච්චරයි ගත්තේ...




කතරගම ගියාට මොකද ඔය ෆොටෝ ගැනිල්ල නම් මගේ අතින් කෙරුණේ නැහැ.
ආසාවට කියලා ගත්තේ මෙච්චරයි.
ඒකවත් දාන්න කියලා හිතුනා.

06 July 2010

වැළපෙන සිතින්...

දිනක් නොව දෙකක් නොව
වසරක්ම ගතඋනා..
නුඹ මගෙන් වෙන්ව ගිය
අයුරු මට සිහි උනා..

ළගින් හිඳ පෙම් බැන්ද
දවස් යළි සිහි උනා..
ඒ මතක තුරුළුකර
මම අදත් වැළපුනා..

නිමාවක් නොතබාම
ඔබ වෙන්ව ගිය දිනේ..
සිත දැවී අළුඋනා
හද මගේ ගොළු උනා..

නැවත නොඑනා බවත්
වෙන අයකු සතු බවත්..
දැන දැනම බලා ඉමි
ඒවී යැයි මා සොයන්..

05 July 2010

ලොක්කා ගෙදර...

අවුරුදු දෙකක් තිස්සේ එක දිගට රස්සාව කරගෙන කේන්දරයක් එහෙමත් බලා කියාගෙන හිටියට හරි හමන් නිවාඩුවක් තිබුනේම නැහැනෙව..

මම කොරන සිකියුරිටි ජොබ අනුව දවසක් ඇර දවසක් අනිවාර්යෙන් වැඩ හින්දා දවසක් ඇර දවසක් නිවාඩුත් තිබුනා. ඒ හින්දා නිවාඩු ගැනිල්ලක් උවමනා උනේ නැහැ.

මෙ අවුරුදු දෙකටම මම දවස් දෙකයිද කොහේද අමතර නිවාඩු අරන් තිබුනේ.

මෙ කොයි කොයි කාරණාත් සලකා බලා මම දැම්මා දින දෙකක නිවාඩුවක් දින දෙකක් නිවාඩු දාපුවහම දින පහක් ලැඛෙනවා නෙව.
අතර මැද විවෙක දවස් ටිකත් එක්ක.
ඉතින් මම පළමු නිවාඩු දවස් දෙකේ කතරගම ගියා කියලා දන්නෝ දන්නවානේ...

තුන් වෙනිදා උදේ ගෙදර ඇවිත් වැඩ පල ටික කරලා දාලා..
හරියටම උදේ 11.01ට ගෙදරින් පිටත් උනා.
කන්න බොන්න නැවතුනු තැනුත් උඩ වළව ඩෑම් එක කෙළවර නවතන් හිටපු වෙලාවත්, ලුණුගම් වෙහෙර ජලාශය නරඔමින් සිටි කාලයත් ඇතුළුව පැය පහ හමාරකින් විතර කොල්ලා කතරගම.
නැවතුනු කාලය ඇරියහම පැය හතරක් වගේ කාලයක් ගිහින් තියෙන්නේ.

ඉතින් ගියාට මොකද හිතාගෙන හිටිය විදියට ගංගාරාමෙ නවාතැන් ගන්න බැරි උනා.

සෙනග වැඩියි..
ඉතින් මක්කා කරන්නද වෙනත් නවාතැන් පලක් එහෙම හොයාගෙන නාලා කරලා පාරට ඇවිත් කවදත් මට සුපුරුදු රුහුණු ඛෙකරියෙන් තේ එකක් එහෙම බීලා ගියා පූජා කඩ පැත්තේ...
ඒ ගෙහුන් පූජා වට්ටියකුත් පිළියෙළ කොරාන හය විතර වෙනකොට දේවාලේ ගාවට ගිහින් පූජා වට්ටිය එතන පරිස්සමට තියලා කිරි වෙහෙර වඳින්න ගියා.

මොන වැඳිළිද...?
එතන බදු අරන්..
ආසාවට චෛත්‍යය වටෙ පැදකුණු කොරන්න විදියක් නැහැ.
මගේ හිතේ කොළඹින් ගිය වැදගත් කස්ටියක් වෙන්න ඇති පුංචි පුංචි මඩු කෑලි චෛත්‍යය වටෙ තියලා, ඒ මදිවට චෛත්‍ය පිටුපස පැත්තේ සම්පූර්ණයෙන්ම අවහිර කරලා මොන මොනවද අටවලා එතැන එක තොවිලයයි.
පස්සේ ඉතින් මොනවා කොරන්නද අරන් ගියපු තෙල් මල් හදුන්කූරූ පුළුවන් හැටියට පූජා කොරලා ටික වෙලාවක් මළුවෙ පැත්තකට වෙලා චෛත්‍යය දිහා බලාන කල්පනා පාරක් එහෙම දාලා...ආපහු එන්ට හැරුනා.
වෙනදාට නම් මම මෙතනට ආවහම පැය තුන හතරක් ඉන්නවා.
මාත් එක්ක එන ගෝලයෝ උනත් ඒ බව දන්න නිසා මට කරදර නොවෙන විදියට ඔය අවට අහල පහළ ඉන්න දැරිවියකට ඇල්ම බැල්ම දමාන රස්තියාදුවක් ගහලා ආපහු මම යයි කියලා හිතෙන වෙලාවට එනවා.

මෙපාර නම් එතන ඉන්ට තරම් සුදුසු පරිසරයක් නැහැ.
හැම දේම මුදල් වලට යට වෙච්ච රටෙ කොයි දේත් ඔහොම තමයි.
හිත කළකිරවගන්න දෙයක් නැහැ.
මිනිස්සු නටන නාඩගම දිහා ටිකක් බලාන ඉඳලා ආපහු එනකොට අළුත් වැවෙ උන්නාන්සේත් ඛෙර දවුල් හඩ මැද්දේ වඩිනවා..පූජාවට..
මම ආපහු ආවා.දේවාලේ පැත්තට.

ඒ එනකොට පූජාවෙ මුල ආරම්භ වෙලා.
ඒ තෝත්තර අහවර වෙලා පූජා වට්ටි භාරගන්නා වෙලාව පටන් ගත්තේ රෑ අටට විතර...
මාත් ඉතින් ඒ වැඩ ටික කෙරෙන හැටි බල බල හිටියා..පූජා වට්ටිය අතට ගන්න ගියේ නැහැ.මට මොන හදිසියක්ද කියලා හිතාන...

පොච්චියේ අපේ මිනිස්සු දෙවියෝ බලන්න යන්නෙත් ෂෝට් කට් එකෙන් නෙව.
අර අහින්සක දුප්පත් මිනිස්සු අත් ගැලවෙනකල් වට්ටි උස්සාන පෝලිමෙ ඉන්නේ හවස පහේ විතර ඉඳලා.
පෝලිම අට විතර වෙනකොට මීටර් සීයයක් විතර දිගයි.

සල්ලිවලටම ගිය රට...

අර මිනිස්සු අමාරුවෙන් පොලිමෙ ඉද්දී අර නන්දා මාලනී ගයනවා වගේ ඒ උදවිය රන් වැට පැන වැන්දාය..දාහෙ කොළ වලට මුල් තැන ලැබුනාය තමා.

බලාන ඉදලා මටම හිනා..කාවද මෙ රවට්ටන්න හදන්නේ...

වැඩෙටම හරියන කපුවෝ ටිකයි ආවතේව කාරයොයි.

මිනිස්සුන්ට බැනලා ඇති වැඩක් නැහැ...
තම තමන්ගේ දැනීම නෙව...
ලොකු ලොකු පෙනුමින් යුතු උදවිය සෑහෙන පිරිසක් විටින් විට කපු උන්නැහේලාගේ උදවු උපකාර මැද ඇතුළට පැන ගත්තා. මාත් ඉතින් දේවාලේ ඉදිරිපස ගේට්ටුව ගාවට වෙලා ඔහේ බලාන හිටියා මෙ වැඩෙ දිහා.

පවු කපු උන්නැහේලා...

දෙනෝ දහක් බලා ඉද්දීම තම තමන්ගේ ආත්ම ගෞරවෙ හේදිලා යද්දීත් අර වගේ මිනිස්සු පිට පාරෙන් ඇතුළට ගන්නේත් කීයක් හරි වැඩිපුර හොයා ගන්නනේ...
උන්නැහේලාගේත් දරු පවුල් ඇති නෙව රකින්න. ඔය ගෙනියන කීයෙන් හරි තව මොනවා හරි දෙයක් පැටවුන්ගේ බඩවල් වලට එහෙම දානවා ඇති නෙව.

ප්‍රධාන කපු උන්නැහේගේ ඉදලා පහලට කපු මහත්තුරු හුගාක් වැඩ සටහන නියමෙට කරගෙන යනවා.

තම තමන්ගේ වැඩෙ කරගත්ත උදවිය ඊට තුටු පඩුරු එළි පිට දෙන්න හදනකොට හා හා මෙතන කට්ටිය ඉන්නවා යැයි කියමින් වෙන පැති වලට අරන් යන හැටිත් හරි අපූරුයි.

ඔය වැට පැන දෙයියෝ බලලා ආපු පිරිස අතර මොරීන් චාරුනී කියන නාටිකාංගනාවත් හිටියා. ප්‍රධාන කපු උන්නැහේත් ඒ ඇත්තීට උපරිම සහයක් දෙනවාත් මං බලාන හිටියා... පවු...

ළපටි රූපේ.. ඔය පෝළිංවල හිටියොත් තැළිලා පොඩි වෙලා චප්ප වෙලා යයි.

මටත් දුක හිතුනා.

මම මෙ වැඩ පිළිවෙල දිහා බලාන හිටපු හිටිල්ලට එතන හිටිය මෙ තැරැවුකාර කම් කල කපු සෙට් එකම මාත් එක්ක අහින්සකව හිනාවෙමින් තමයි වැඩෙ කලේ...
ඔන නම් ඉතින් මටත් ඒ පෝලිමෙම යන්න තිබුනා ටිකට් නැතිවම.
ඒත් ඉතින් මගේ හිත මට වටින හින්දා නවය හමාර වෙන කොට ගිහින් පූජා වට්ටියත් අරන් අර මුල්ම පෝලිමට එකතු උනා...
කොහොම හරි දහය විතර වෙනකොට පූජා වට්ටියත් දීලා මම ආපහු ආවා.

එන ගමන්රෑටත් කාලා ඇවිත් වැටිලා නිදාගත්තා.

පහුවදා පාන්දරම නැගිටලා ආප්ප කන්න යන්න හිතං හිටියත් ඒකනම් කරන්න බැරි උනා මට නින්ද ගිය හින්දා.

කොහොමින් කොහොම හරි උදේ අටට විතර ආපහු බඩු මුට්ටුත් බෑග් එකේ දමාන එන්න පටන් ගත්තා ආවෙ තිස්ස හරහා..
ඒ එන ගමන් කිරි කඩෙක නැවතිලා කිරි හට්ටියකුයි පැණි කාලකුයි කම්මුතු කොරන්නත් අමතක කලේ නැහැ ඔං.

ආවෙ අඩි සීයේ පාරෙන්.

චන්ද්‍රිකා වැව ගාව නැවතිලා ඉද්දී වැස්ස පටන් ගත්තා...

වැස්සෙම එන්න පටන් ගත්තේ වැස්ස නවතින පාටක් නැති නිසයි.

ඒකෙන් උනේ එන ගමන් ගොඩ වෙලා එන්න හිතාන ගිය තැන් දෙකතුනකට යන්න බැරි වෙච්ච එක
ඇයි අප්පා නාගෙන ගියහැකිද ගෙවල් ගානේ...
ඇඹිළිපිටියේ ඉඳලා පැල් මඩුල්ලට එනකල්ම වැස්ස...
ඒක වෙගයටත් සෑහෙන්න බලපෑවා..

කොහොම හරි රත්නපුරෙ පහු උනාහම හොඳට අවුව ඇගත් වෙළුනා...

අවිස්සාවෙල්ල හරියෙන් දවල්ටත් කාලා කෙළින්ම ගෙදර ආවා. හරියටම දෙකයි හතළිස් පහ වෙද්දී ලොක්කා ගෙදර...

නාලා කරලා නින්දක් දැම්මා...
හයට විතර නැගිටලා ගිහින් රෑට කන්න ගෙනාවා.
හොදට අඩියක් ගහලා ,කාලා, නිදා ගත්තා.
ඇහැරුනේ පාන්දර...
ටිකක් බ්ලොග් ටික බලලා ආයෙත් නිදා ගත්තා.
ඒ ගමන නැගිට්ටෙ අටට.

තේ එකක් කාරිය බීලා මැගී නූඩ්ල්ස් එකක් හදන් කාලා පටන් ගත්තා මෙක ආයෙත් බ්ලොග් බලන්න.ඊට පස්සේ මෙක ලිවුවා.

දැන් යන්න ඔන උයන්න මොනවා හරි ගේන්න.රෙදි කන්දක් හෝදන්නත් තියෙනවා.
තව මගේ නිවාඩුවෙන් දවස් තුනක් ඉතිරියිනේ...
සැපට ඉන්න තමා කල්පනාව..

02 July 2010

යුනිකෝඩ් ජංජාලේ...

දවස් දෙකකින් ලියන්න උනේ නැහැ.
යුනිකෝඩ් නැතිව මම නැත්තටම නැති වෙලා ගියා නෙව.

මොනවා කොරන්නදැයි කියලා හිත හිත ඉන්නකොට තමයි මගේ සිංහල ටැමිල් කිට් එකක් තිබුනා නේද කියලා මතක් උනේ.ඒත් මම ඒක වැඩිය පාවිච්චි නොකර හිටියේ ඒක දාගත්තම මල කරදරේ හින්දයි.
පාස්වර්ඩ් එකක් එහෙම දෙන්න ගියහම පුල් කොට උඩ.

ඒත් ඉතින් නොලියා ඉන්න ගියහම ඊට හපන්නේ.

හෙට වැඩට යන්න ඔනේ.අනිද්දා උදේ ගෙදර ඇවිත් පොඩි වැඩකට නිට්ටඹුවට යන්න තියෙනවා.ඊට පස්සේ ගෙදර ඇවිත් පැයක් විතර නිදාගෙන නැගිටලා කොල්ලා කෙළින්ම කතරගම බලා ගමනේ යා...

ගිහින් ඇවිත් තමයි ආයෙත් ලියන්න හිතාන ඉන්නේ.

දැනට යන ගමන් මාර්ගය..

ගෙදර සිට කිරිදිවැල හරහා පූගොඩ
පූගොඩ සිට අළුතින් සාදා ඇති පාලම හරහා කොස්ගමින් හයිලෙවල් පාරට වැටිලා එතැනින් කෙළින්ම රත්නපුරය හරහා පැල්මඩුල්ලේන් දකුණට දාලා ඇඹිළිපිටිය පාරේ උඩ වළව හන්දියෙන් උඩවළව ඩෑම් එක හරහා බෝදාගම හන්දියෙන් තණමල්විල පාරට වැටිලා එතනින් දකුණට දාලා කෙළින්ම ලුණු ගම්වෙහෙර හන්දියට..එතනින් වමට දාලා ලුණුගම්වෙහෙර ඩෑම් එක හරහා කොල්ලා කතරගම...

ඔන්න නොදැන යන ගමනක් කියලා හිතන්න එපා..

හැබැයි තාමත් මම හිතාගෙන ඉන්නේ යන පාර විතරයි..
එන්නේ කොයි පැත්තෙන්ද කියලා නම් තවම තීරණයක් නැහැ.
ඒක ඉතින් දන්නේ දෙයියෝම තමයි.

කතරගමට ගියාට පස්සේ දෙයියන්ගෙන්ම අහගෙන තමයි ආපහු එන්න වෙන්නේ...