30 August 2010

තාමත් සිහි වෙවී නිතර..

අතීතයේ සුවඳ දිගේ..
වෙල් ඉපනැලි..කමත් උඩින්..
පාවී එන මතක මැදින්..
මම ආයෙත් ගමට ගොසින්...

හතර වටෙ තිබු කැළෑව..
දුව පැන නැටු කුඹුරු යාය..
දිය බුං ගැසු වැව් තලාව..
මතක පොතේ රැදිනි තාම..

නයි මොනරුන් කොම්බු වවුල්..
මාළුන් සහ කවුඩු රුවින්..
ගල් තලාව ඉස්මත්තේ..
නුල් පන්දු පටලවාන..
සරුංගලේ උඩ යන විට..
උඩ පැන නැටු ළපටි රෑන..

පොල් වතු මැද ඉනි සිටුවා..
දෙපිල ඛෙදී රණ්ඩු වෙවී..
රබර් බෝල පළු යන තුරු..
එළි වූ තැන රෑ වන තුරු..
බිං කරුවල වැටෙනා තුරු..
බෝල ගැසූ සිගිති රෑන..

අපට උරුම අපේ ලොවෙ..
රජ වී සිටි පෙර දවසේ..
සෙල්ලම් සහ පොත් පත් මැද..
පාසල සහ පන්සල තුල..
වැඩිහිටියන ඔවදන් මැද..
ළමා දිවිය ගෙවිණි යසට..

දෑකැති ගෙන ගොයම කපා..
මිටි බැඳ කමතට ඇදලා..
මී හරකුන් දක්කාගෙන..
අත් ට්‍රැක්ටර් පසු කරාන..
ගොයම් කයිය කාපු අයුරු..
තාමත් සිහි වෙවී නිතර..

ආයෙම මට ගම යන්නට..
නොහැකි උනත් එදා වගේ..
දුක් වන්නට ඉඩක් නැතේ..
වැව් පිට්ටනි සිඳී ඇතේ..
කුඹුකෙ ළිඳත් වැසී ඇතේ..
එදා ගමත් අද නොමැතේ..

ඔක්කෝම මට සමා වෙන්ට ඔන වෙනදා වගේ වෙන් වෙන් වශයෙන් කතා කරන්ට බැරි උනාට.
මෙ ටිකේම ඒ තරං ලියන්ට හිතක් නැහැ.
ලියන්න ඔන කියලා හිතුන වෙලාවට විනාඩි දෙක තුනකින් මොනවා හරි ලියනවා..බොහෝම වෙලාවට ඒ කවියක් තමයි..
මං දන්නේ නෑ ඒවට ඔයාලා කියන්නේ කවි කියලද කියලා.
මම කියන්නේ කවි කියලා උනාට.

ලිවුවෙ නැතිවට මම බලනවා හැමෝගෙම ලිපි.
මොකක් හරි අවුලක් තියෙනවා.
මට තේරෙන්නෙත් නැහැ.
ඇගටත් ඒ තරං සනීපයක් නැහැ.
ඒ හින්දා හිතත් ටිකක් කැලේ..
මෙ දවස් වල ඉතින් විනාඩි දෙක තුනකින් ලියන කවියක් ඇර වෙන දෙයක් නං ලියන්නම බැහැ වගේ..
තරහා වෙන්න එපාලා.

බලාපොරොත්තුව...

පෙරදා මෙන්ම අදටත් හිරු පායනවා..
නුඹ නැතිවද සඳ අහසේ දිදුලනවා..
සඳු නැති කල තරු වැල් පෙළ හිනැහෙනවා..
නුඹ නොමැතිව මං තාමත් වැළපෙනවා..

හිරු තිබුනද ඒ හිරු රැස් පලක් නැති..
නුඹ නැති රෑ පැයූ සඳ හැඩක් නැතී..
කරුවල මකන්නට තරු වැලකට නොහැකී..
නුඹ නැති සිත සනසන්නට කෙනෙක් නැතී..

පෙර මග බලා ඉන්නෙමි මා සැමදාම..
ඈතින් පෙනෙන දසුනින් රැවටෙමි තාම..
ආවත් නොආවත් කිසි දිනකදි කෝම..
ඉන්නෙමි බලා මා හැමදා පෙර සේම..

29 August 2010

හිමිකම අහිමි වූ සඳ...

ගීතයක් කවියක් වෙලා..
නුඹ රැදී මා හදවතේ..
සිහිනයක් විලසින් කිමැයි..
නොකියාම පිටවී ගියේ..

හදවතේ පිටු ගලවලා..
ජීවිතේ කඳුළක් කලා..
මාවතේ මා හැර දමා..
නොකියාම නුඹ පිට උනා..

රෑ දුටුව සුව සිහිනයකි ඹබ..
නැවත කිසි දින නොපෙනෙනා..
කතරකදි දුටු මිරිගුවයි ඔබ..
කිසිම දිනකදි නොලැඛෙනා..

සිතන්නට හෝ පතන්නට යළි..
කිසිදු හෝ අවසරයකුදු නැති..
වළ දැමු පෙම් පුරාවත යළි..
කිසි දිනක පණ ගැහෙන්නේ නැති..

අතරමං වී කතර තනිවූ..
මගියෙක්මි මා යන මගක් නැති..
දෙවොල අහිමිව පුදන්නට නැති..
බැවින් දුක් වෙන බැතිමතෙක් වෙමි..

28 August 2010

පන්සලේ ජීවිතේ... ඉල්ලීම...

චන්දවිමල හිමියන් පිටත්ව ගොස් සති තුනකට ආසන්න වීද.. උන්වහන්සේ පැමිණෙන වගක්වත් නොමැත..
තරමක් නොසන්සුන්ව නමුත් දායකයින් පෙර පරිදිම කටයුතු කරගෙන යන මුත් කොයි වෙලේ හෝ ඔවුන්ද කුමක් හෝ පන්සල වෙනුවෙන් කල යුතු විය.

මා හටද ස්ථීරසාර අරමුණක් ලැබී නොතිබිණි.

පන්සල වසා දමා තම තමන්ගේ පන්සල් වලට එන්නැයි ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙක්ම ඉල්ලීම් කර තිබුණද..ඒ කොතැනකවත් මෙතැන ඇති සාමය නොමැති බව මා හොඳින්ම දැන සිටියෙමි.

එබැවින් මෙ තැන හැර දමා වෙනත් පන්සල් ගානේ යනවාට වඩා..මෙහිම රැදී..පන්සල බලා කියාගෙන සිටීමට මා සිතා සිටියෙමි..

ඒ අතරතුරදීය..තාත්තාගේ මරණය මා හට දැනගන්නට ලැබුණේ...

අවසන මා තීරණයක් ගතිමි.
ඒ පැවිදි වීමටය...

නමුත් ඒ හැමදාටම නොවිණි. මට අවැසි වූයේ වසරක් පමණ කාලයක් පැවිදිව එම ජීවිතය පිළිබඳව අවබෝධයක් ලබා ගැන්මටය..
තත්වය හොඳයැයි සිතුනහොත් දිගටම සිටීම ගැටළුවක් නොවේ...
පැවිදි දිවිය මා හට නාල්ලන අන්දමෙ දෙයකැයි සිතුනහොත් වසරකින් පමණ එයින් ඉවත් වීමට සිතා සිටියෙමි.

මෙම තීරණයත් සමග මා ගුණරතන හිමියන් හමුවීමි.

එදින සවස් කාලයේ මා නගරයේ පන්සලට යනවිට අඳුර වැටෙන්නට ආසන්න වී තිබිණි.
මට ඇවැසි වූයේ ගුණරතන හිමියන් සමග තනිවම කතා කිරීමට වූවද..ඒ වන විට අන් විහාරස්ථානයක හිමිනමක්ද පන්සලට වැඩම කොට තිබිණි.

වැඩම කොට තිබූ තරුණ හිමිනම නමින් සුදින්න විය...

විනය පිටකය පෙරළා බැළු විට නිතර හමුවන නාමයක් ඇත.. ඒ මෙ හිමිනමට හිමි නාමයයි.
බුදුරජානන් වහන්සේ විසින් පනවා වඳාළ බොහෝ ශික්ෂාපදයන්ට මුල් වූ හෙවත් ආදිකම්මික වූයේ එම නමින් යුතු හිමිනමක් හෝ එකම නම ඇති කිහිප දෙනෙකු විය හැක..

ඒ කෙසේ වෙතත් මෙ සුදින්න..ඒ සුදින්නට වඩා වෙනස් නොවෙ...

වයසින් මට වඩා වසරක් හෝ දෙකක් පමණ බාල වූ හෙතෙම...නිතරම විනෝදයෙන් සිටිනු ලබන්නෙකි.

උස අඩි පහමාරක් පමණ වූ සුදින්න හිමියන්.. කළු පැහැති අයකු විය.ඇසුරු කිරීමෙදී සියල්ලන්වම දිනා ගැන්මෙ හැකියාවක් ඇති මුත් පෙනුමින් නම් එතරම් රුවක් ගුණක් නොමැත. කුමන හෝ අවස්ථාවකදී උන්වහන්සේ සිනා සෙන විට අසල සිටින කවුරුන් හෝ වෙවා හිමිනමක් කනට කිට්ටු වී..

"සුදින්න අර පොඩි ළමයින්ව බය කරන්නේ නැතිව ඔය හිනාව නවත්තනවා.." යැයි කීමට පුරුදු වී සිටියද..ඉන් කේන්ති ගන්නේ නම් ඔහු නොවෙය..
හොඳින් පිරිවෙන් අධ්‍යාපනය ලබා සිටි මෙම තරුණ භික්ෂුව දාන මාන බණ පිරිත් වලදී එම කටයුතු කරලීමෙදී මහත් වූ දක්ෂතා දැකිවීය.බණ කීමෙදී වූවද අසන්නන් කුල්මත් කරවාලීමෙ ස්වරයක් අනුගමනය කරන ලදි. එනමුත් සිවුරේ සිටියාට ඔහුගේ හිත තිබුනේ නිතරම බාහිර ලෝකයේය...
ආගමික කටයුතු වලටත් බොහෝ සේ දස්කම් පෑම නිසා එහිමියන්ට අවට පන්සල් සියල්ලේම වාගේ නිතරම දොර විවෘත වී තිබූ අතර..සුදින්න හිමියන්ගේ චරිතය පිළිබඳව දන්නා කවුරුනුත්..ඒ පිළිබඳව කිසි විටකත් උන්වහන්සේට අවවාද කරනවා මා නම් දැක නැත.

නගරයේ පන්සලෙන් කිලෝ මීටර තුන හතරක් ඇතුළට වන්නට පිහිටි රජ මහා විහාරයක වැඩ සිටි උන් වහන්සේ..එගම බොහෝ සේ ප්‍රසිද්ධියට පත්ව සිටි අයෙකි. ඒ අන් කිසිවක් නිසා නොව නිතරම ගැහැණු ළමයින් සමග සම්බන්ධතා ගොඩ නගා ගැනීම සම්බන්ධවය...

දහම් පාසලේ ඉගෙනුම ලබන සිසුවියන් පමණක් නොව තරුණ ගුරුවරියන්ද මොහුගේ ප්‍රෙම වදන් වලට වසග වී සිටියහ.

උන් වහන්සේ වැඩ සිටි පන්සලේ නායක හිමියන් එම පළාතේම තම තේජස පතුරවා ගෙන සිටි බලවත් හිමි නමක වූවද.. සුදින්නට අවවාද කිරීමට නම් ගියේ උන්වහන්සේ නොවෙ...
නමුත් ඔනම අවස්ථාවක පන්සලේ දහ දොළොස් නමක් වැඩ සිටියද..

"අර සුදින්නට කියමුකෝ..වැඩෙ කරලා දෙයි..."
යනුවෙන් ඔනම කටයුත්තක් සුදින්න හිමියන්ට පැවරීමෙදී දෙවරක් සිතා නොබලන්නේ..මොන දේ කළත් සුදින්න හිමියන් සතු හැකියාවන් නිසාය.

මා යන විටත් සුදින්න හිමියන් ගුණරතන හිමියන් සමීපයට වී ධුමපානංච හික්ඛවො යනුවෙන් වඳාළ ඔවදන සීරුවට පිළිපඳිමින් උන්නාහ...ඒ ගුණරතන හිමියන්ගේ යහන තාවකාලිකව බදු අරගෙන මෙන් විය...

"ආ..මල්ලී කොහොමද..?" යනුවෙන් මා පිළිගත් සුදින්න හිමියන් මා හා කථාවට වැටුනි.
වයසින් මා හට වඩා බාල වූවද කතා බහ කිරීමෙදී නිතරම මල්ලී යනුවෙන් අමතන්නට උන් වහන්සේ පුරුදුව සිටියහ.

මා ගිය කාරණාව පසෙක තබා උන්වහන්සේ සමග කතාවට වැටුණු මා පැවිදි ජීවිතය ගැන මා නොදත් බොහෝ දෑ උන්වහන්සේ අතින් විචාරන්නට වීමි.

සිතට තේරෙන අන්දමෙ..විස්තර කරදීමක් උන්වහන්සේගෙන් මට ලැබිණි.
ඒ නිතර අසන්නට ලැඛෙන සියුමැළි වදන් වලින් නම් නොවේ..රළු එහෙත් සත්‍යවාදී හඩකිනි.

අවසන මෙ සියල්ල අසා සිටි ගුණරතන හිමියන්ගෙන් මා විමසුවෙමි.

"හාමුදුරුවනේ මටත් අවුරුද්දකට විතර මහණ වෙන්න බැරිද..?"

මෙතෙක් වෙලා අපේ කථා බහට සවන් දෙමින් රූපවාහිනීයේ නෙත අලවා ගෙන හිටි ගුණරතන හිමියන් තිගැස්සී මදෙස බලනවා මා දුටුවෙමි.

.....................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

26 August 2010

හීනයකි..ඔබ...

සුවඳ ගලා විත් ජීවිත අරණේ
සැනසිලි සුවය සදා..
සසර පුරා පෙම් කෙරූ නිසා
ඔබ මට උරුම උනා..
අපමණ බාධක තරණය කරලා
නිම් හිම් ලදිම් සදා..
ඔබ හද මඩලේ උණුසුම විඳිමින්
මා සැනසෙමි සැමදා..
අතීතයේ සිට පිය මැන ආවෙමු
බොහො දුර කතර ගෙවා..
තවත් බොහෝ දුර අප ළං වී යමු
අත් වැල් බැඳ සැමදා..

25 August 2010

මරණය තව පරමාදද සිතුනා..

අඳුර මැදින් දිගු ගමනක යනෙනා..
නුදුටු හෙටක් ගැන හිතමින් තැවෙනා..
දිවිය යතත් අත නොහරින බැවිනා..
මෙහෙවු ලොවක අප යනු තව කොතැනා..

සසර බැඳුම් ඇත අපමණ බැදෙනා..
එකක් ලෙහන විට තව පැටලෙවෙනා..
අතරතුරක නැත ගිමනට හෙවනා..
නතර නොවී යා යුතුවම තිඛෙනා..

ඉරක් උදාවී තව දින ගෙවෙනා..
අඳුරත් සමගින් රැයකට හැරෙනා..
පැතූ කිසිත් කිසි දිනෙකදි නොවෙනා..
තවත් දිනක් මා දිවියෙන් ගෙවුනා..

ඇරඹුම මතක පොතින් ගිලිහෙමිනා..
අවසන ලබනා දිනකුදු නොදැනා..
දිවියේ කිසි හරයක් නොම ලැඛෙනා..
මරණය තව පරමාදද සිතුනා..

22 August 2010

ලග්නය සොයන්නේ මෙහෙමයි...

මුලින්ම කියන්න ඔන මෙකත් අපේ මකරතුමාගේ ඉල්ලීමක් අනුව කෙරෙන වැඩක්.
ඒ කිවුවෙ මෙ ළගදී අපි දෙන්නා කතා බහ කොර කොර ඉන්න ගමන් (මාරයෙක් සහ මකරෙක් අතර කතා) අහපු පුරස්නෙකදී මම කිවුවා මෙක මම පස්සේ පෝස්ට් එකක් හැටියටම දාන්නං කියලා.

ජො වාදා කියා තෝ නිභානා පඩෙගා..කිවුවළු...

ඉතින් ඔන්න ඒ පොරොන්දුව ඉස්ට කොරන්ටයි සූජානම...

ඉතින් මම අද විස්තර කොරන්ට යන්නේ තම තමන්ටම තමන්ගේ ලග්නය හොයා ගන්න පහසු ක්‍රමයක් ගැන..පහසුයි කිවුවට ඉතින් වැඩෙ අල්ල ගන්නකං ටිකක් මඤ්ඤං වගේ තියෙන්ටත් බැරි නැහැ.

තේරුම් ගැනීම ඉතින් ගුරාගේ ඉගැන්වීමයි..
ගෝලයින්ගේ තේරුම් ගැනීමයි අතර තියෙන දක්ෂතාවයයි අනුව තමා.
හැබැයි මෙ ක්‍රමය මගින් ලග්නය හොයද්දී සුළු සුළු වෙනස්කං එන තැනුත් තියෙනවා. ඒක වෙන්නේ ඉර උදාවෙ වෙනස හරියටම නොදන්නා කම ආදී කරුණු කීපයක් නිසයි.
නමුත් අපි මූලික ක්‍රමය ඉගෙන ගම්මු.

මෙකෙදී මුලින්ම දැන ගන්න ඔන දේවල් තමා ලග්න දොළහ මතක තබා ගැනීම වැදගත් කියන දේ...

මේෂ
වෘෂභ
මිථුන
කටක
සිංහ
කන්‍යා
තුලා
වෘශ්චික
ධනු
මකර
කුම්භ
මීන

හරියටම දොළහයි නේද..? අන්න හරි.
එතකොට දවසකට පැය කීයක් තියෙනවද..?

පැය විසි හතරයි(24)..

හරි දැන් අපි කල්පනා කලොත් පැය විසි හතරකදී ලග්න දොළහක් ලබලා ගෙවිලා යනවා කියලා...ඒ වගේම සෑම ලග්නයකම පැය ගාණ සමානයි කියලා..ලග්නයක් ගෙවෙන්න කොයි තරම් කාලයක් යනවද..?

උත්තරය හරිම පහසුයි..

දවසේ පැය ගණන ඛෙදීම ලග්න ගණන

ඒ කියන්නේ..

24 ඛෙදීම 12 සමානයි 2යි.

උත්තරය පැය දෙකයි (2)

එහෙමනං දවසේ පැය විසි හතර පැය දෙක බැගින් වූ ලග්න දොළහා අතරේ සමානව ඛෙදිලා යනවා.

අපි මෙක මෙ විදියට ලියමු.

උදේ 06.00 සිට 08.00 දක්වා මේෂ
උදේ 08.00 සිට 10.00 දක්වා වෘෂභ
උදේ 10.00 සිට 12.00 දක්වා මිථුන
දහවල් 12.00 සිට 02.00 දක්වා කටක
සවස 02.00 සිට 04.00 දක්වා සිංහ
සවස 04.00 සිට 06.00 දක්වා කන්‍යා
සවස 06.00 සිට 08.00 දක්වා තුලා
රාත්‍රී 08.00 සිට 10.00 දක්වා වෘශ්චික
රාත්‍රී 10.00 සිට 12.00 දක්වා ධනු
රාත්‍රී 12.00 සිට 02.00 දක්වා මකර
උදේ 02.00 සිට 04.00 දක්වා කුම්භ
උදේ 04.00 සිට 06.00 දක්වා මීන

තේරුණා නේද...? ඔන්න ඔය විදියටයි ලග්න ටික ඛෙදෙන්නේ..

දැන් කවුරු හරි අහයි.. එතකොට හැමදාම එකම වෙලාවට එකම ලග්නයද තියෙන්නේ කියලා.
පිළිතුර තමයි නැහැ කියලා කියන එක..

එහෙමනම් කොහොමද වෙනස් වෙන්නේ...?

මෙන්න මෙහෙමයි.

දළ වශයෙන් මම ඔය උඩින් කියලා තියෙන විදියට ලග්න ටික තියෙන එක දවසක් තියෙනවා.
ආසන්න වශයෙන් ඒ දවස තමයි ඔනම අවුරුද්දක අප්‍රියල් මාසේ දහ හතර නැත්තං පාළොස් වෙනිදා.

අපි ඒ දවස අප්‍රියල් පහළොව විදියට ගනිමු..මොකද මාසේ මැද්දේ දවස මතක තියා ගන්න කාටත් පහසුයිනේ.

ඉතින් අප්‍රියල් 15 වෙනිදා මෙහෙම උනාට 16 වෙනිදාට ඔක මෙන්න මෙහෙම වෙනස් වෙනවා..

උදේ 05.56 සිට 07.56 දක්වා මේෂ
උදේ 07.56 සිට 09.56 දක්වා වෘෂභ
උදේ 09.56 සිට 11.56 දක්වා මිථුන
දහවල් 11.56 සිට 01.56 දක්වා කටක
සවස 01.56 සිට 03.56 දක්වා සිංහ
සවස 03.56 සිට 05.56 දක්වා කන්‍යා
සවස 05.56 සිට 07.56 දක්වා තුලා
රාත්‍රී 07.56 සිට 09.56 දක්වා වෘශ්චික
රාත්‍රී 09.56 සිට 11.56 දක්වා ධනු
රාත්‍රී 11.56 සිට 01.56 දක්වා මකර
උදේ 01.56 සිට 03.56 දක්වා කුම්භ
උදේ 03.56 සිට 05.56 දක්වා මීන

තේරුණාද වෙනස එක දවසක් ඇතුළත විනාඩි හතරක වෙනස් වීමක් වෙලා තියෙනවා.

ඔන්න ඔය විදියට දිනකට විනාඩි හතර බැගින් ලග්න ටික ගෙවෙන වෙලාව ඉක්මන් වෙනවා.

ඒ කියන්නේ අද 06.00 නම් හෙට 05.56ට..
අනිද්දාට 05.52 ට...

එතකොට කල්පනා කරලා බලන්න ලග්නයකට අයිති පැය දෙකක කාලයට විනාඩි කීයක් තියෙනවද කියලා...
හරියටම විනාඩි 120 යි නේද..?

එතකොට දවසකට විනාඩි හතර ගානේ ලග්නය ආපස්සට ගමන් කරනවානම් ඔය පැය දෙකකට අඩංගු විනාඩි 120 එහෙම පිටින්ම වෙනස් වෙන්න කොයි තරම් කාලයක් ගන්නවාද..?

දවසකට විනාඩි 4යි.
විනාඩි 120 ඛෙදීම විනාඩි 4
උත්තරය 30 යි.

ඒ කියන්නේ දවස් තිහක් ඇතුළතදී ලග්නය ගෙවෙන වෙලාව එහෙම පිටින්ම වෙනස් වෙනවා.
එතකොට අර මම කළින් කියපු විදියට අප්‍රියල් 15 වෙනිදා තිබුනු චක්‍රය මැයි 15 වෙනිදා වෙන කොට මෙන්න මෙහෙම වෙනස් විය යුතුයි.

උදේ 06.00 සිට 08.00 දක්වා වෘෂභ
උදේ 08.00 සිට 10.00 දක්වා මිථුන
උදේ 10.00 සිට 12.00 දක්වා කටක
දහවල් 12.00 සිට 02.00 දක්වා සිංහ
සවස 02.00 සිට 04.00 දක්වා කන්‍යා
සවස 04.00 සිට 06.00 දක්වා තුලා
සවස 06.00 සිට 08.00 දක්වා වෘශ්චික
රාත්‍රී 08.00 සිට 10.00 දක්වා ධනු
රාත්‍රී 10.00 සිට 12.00 දක්වා මකර
රාත්‍රී 12.00 සිට 02.00 දක්වා කුම්භ
උදේ 02.00 සිට 04.00 දක්වා මීන
උදේ 04.00 සිට 06.00 දක්වා මේෂ

තේරුම් ගියාද..?

හරියටම උදේ හය වෙන කොට අප්‍රියල් 15 වෙනිදා ලබාපු මේෂ ලග්නය වෙනුවට මැයි 15 වෙනිදා වෘෂභ ලග්නය ලබනවා.

ඔන්න ඔය පිළි වෙළ හොඳට මතක තියා ගත්තොත් අපිට කවුරු හරි උපන් දිනෙයි වෙලාවයි කිවුව ගමන් එයාගේ ලග්නය මොකක්ද කියලා කියන්න පුළුවන් මනෝමය වශයෙන් ගණන් කිහිපයක් හදලා..

දැන් අපි උදාහරණයක් ගනිමු.

ඔක්තෝබර් 01 වෙනිදා උදේ 06.30ට උපන් අයකුගේ ලග්නය කුමක්ද..?

පිළිතුර..

කන්‍යා

කොහොමද ඒක සෙවුවෙ..?

අපි මෙන්න මෙ විදියට ගණන් හදා ගෙන යනවා මුළින්ම...

අප්‍රියල් 15 සිට මැයි 15 දක්වා උදෑසන ලබන්නේ මේෂ
මැයි 15 සිට ජූනි 15 දක්වා උදෑසන ලබන්නේ වෘෂභ
ජූනි 15 සිට ජූලි 15 දක්වා උදෑසන ලබන්නේ මිථුන
ජූලි 15 සිට අගෝස්තු 15 දක්වා උදෑසන ලබන්නේ කටක
අගෝස්තු 15 සිට සැප්තැම්බර් 15 දක්වා උදෑසන ලබන්නේ සිංහ
සැප්තැම්බර්් 15 සිට ඔක්තෝබර් 15 දක්වා උදෑසන ලබන්නේ කන්‍යා...

එතකොට සැප්තැම්බර් 15 සිට ඔක්තෝබර් 15 දක්වා කොටස ඇතුලෙනේ ඔක්තෝබර් 01 වෙනිදා තියෙන්නේ.
එහෙමනම් අපි සැප්තැම්බර් 15 වෙනිදා සිට ඉදිරියට ලග්නයෙන් දිනකට විනාඩි හතර බැගින් අඩු කරගෙන යනවා.

ඒක ලේසියෙන්ම කලෑකි..මෙ විදියට

සැප්තැම්බර් 15 සිට ඔක්තෝබර් 01 වෙනිදාට දින 15ක් තිබේ..
එම දින 15..දිනකට විනාඩි 4න් වැඩි කර ගත්තම හරියටම පැයක් වෙනවා උත්තරය

ඒ කියන්නේ ඹක්තෝබර් 15 වෙනිදා වෙන කොට කන්‍යා ලග්නය ලබන්නේ පාන්දර 05.00 ට
තේරුණානේ..

එහෙමනං පාන්දර 05.00 හේ ඉඳලා උදේ 07.00 වෙනකල් එදාට තියෙන්නේ කන්‍යා ලග්නය..

අපේ ආදර්ශ වෙලාව උන උදෑසන 06.30 වෙන කොටත් කන්‍යා ලග්නය ගෙවිලා නැහැ.

ඒ කියන්නේ අපේ ආදර්ශ වෙලාවට උපන් අයගේ ලග්නය කන්‍යා..

මම හිතන්නේ ඔයාලට මෙක ටිකක් හරි තේරෙන්න ඇති කියලා.

හොඳයි මම ඔයාලට හදලා බලන්න වෙලාවල් දෙකක් දෙන්නම්.
හදලා කියමු බලන්න මෙ වෙලාවල් දෙකට එන ලග්න මොනවාද කියලා.

නිකං නෙවෙයි හරි උත්තර කියන අයට තෑගිත් දෙනවා ඔන්න..

01. දෙසැම්බර් 07 වෙනිදා උදෑසන 09.00ට

02. මැයි 12 වෙනිදා උදෑසන 05.47ට

හරි පටන් ගනිමු බලන්න...

අද අළුත් වැඩක්...පළමු වාසනාවන්තයින් පස් දෙනාට...

වැඩි විස්තර අනවශ්‍යයි..මෙන්න ලිපිනය..

++++++++++

පළමුවෙන්ම තමන්ගේ
1.උපන් දිනය
2.උපන් ස්ථානය
3.උපන් වෙලාව

එවන පස් දෙනාට ජීවිතය ගැන කරුණු තුනක් කියනු ලැඛෙ.

ඇනෝලා පිළිබඳ සලකා නොබලනු ඇත.
ඉක්මන් කරන්න. තොග සීමිතයි..(ඈ..?)

20 August 2010

අහෝසි වූ බන්ධනය...

ඔන්න අද තමයි මගේ හිතේ හැටියට ලියන්න වෙලාවක් හම්බ උනේ.
මෙ දවස් ටිකේම කොඹළ බඩ ගෑවානේ.

කොහොමින් කොහොමින් හරි මගේ ජීවිතේ තිබුණු එක බැඳීමකින් මට අද දහවල් වෙන කොට නිදහස් වෙන්න හම්බ උනා.
ඒ කියන්නේ 1998 වර්ෂයේ අග භාගයේ ඉඳලා අද දහවල් වෙන තුරුත් තිබුණු සම්බන්ධය අදින් අහවර කොළා.

වල් පල් නැතිව හරියටම කිවුවොත් මාරයාගේ හෝරාව ලියන මාරයා වෙච්ච මං ( කැමති කෙනෙක් අගට මුලට ඔන නම්බු නාමයක් දී ගත්තාට තරහක් නං නෑ ඔං..) ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ නිත්‍ය භට සේනාවෙ අවි ආයුධ ශිල්පියෙකු (ආමර්) වශයෙන් තිබුණු මගේ පැරණි රැකියාවෙන් සදහටම ඉවත් උනා.

එක පැත්තකින් බලන කොට බැඳීමකින් එහෙම හරි නිදහස් වෙච්ච එක ගැන සතුටුයි වගේම...
අනිත් අතින් ගත්තම මම ජීවිතේට ආසාවෙන්ම කරපු රැකියාවෙන් ඉවත් වීම ගැන දුකකුත් නැතුවා නෙවෙයි.
ඒත් ඉතින් වච්ච දේවල් වල හැටියට මෙහෙමවත් ඉන්න එක මදැයි කියලා මම හිත හදා ගත්තා.

ආ ඒ එක්කම විශේෂ ස්තූතියකුත් කරන්න තියෙනවා.
ඒ තමයි මා ගැන හොයලා බැළුව මෙ බ්ලොග් අවකාශයේ සිටින සියළුම මා දයාබර හිතවතුන් සහ හිතවතියන්ට...

ඇත්තටම අස්වෙන්න එන්න කියලා තිබුණට මොන දහං ගැටයක්ද කියලා හරියටම නොදැන මෙ ගමන යන ගමන් මම ලීව ලිපියට ප්‍රතිචාර දක්වමින් මට හයියක් වෙමින් වචනයක් හරි කොටලා ගිය හැමෝටම...

බොහෝමත්ම ස්තූතියි නුඹලා සියළු දෙනාටම...

මං උන්නද මලාද කියලා හොයලා බලන්ට මගේ කියලා එක බල්ලෙක්වත් නැති කාලෙක..තමන්ගේ එකෙක් ගාණට අරගෙන මා ගැන හොයා බලා වචනයක් හරි දෙඩූ නුඹලා සියළු දෙනාටම..ස්තූතියි.

....................................................

ඒ වගේම තවත් වචනයක් ලියන්ට ඔන..මගේ ස්තූතිය හිමිවන තවත් දෙපලක් ගැන...

මම වත් කවදාවත් නොහිතපු අන්දමෙ සේවයක් මා හට ලබා දෙමින් උපකාර වූ කාන්තාවන් දෙදෙනෙකුටයි ඒ..

මම මගේ අස්වීම ගන්න ගිය පළ වෙනි දවසේ ගුවන් හමුදා මූලස්ථානේ රස්තියාදු වෙලා වෙලා..අවසානයේ මගේ හුගාක් ලිපි ගොනුවලට අදාල ලියකියවිලි සම්පූර්ණ කරලා අවසන එක් ගැටළුවක් මතු උනා.
ඒ තමයි මගේ රාජකාරි හැදුනුම්පත නැවත භාර දී නොතිබීම...
ඒ හින්දා මගේ සියළුම සේවයෙන් ඉවත් කරලීමෙ කටයුතු තාවකාලිකව නවතා දමන්න සිදු උනා.
අන්තිමට මට කල දැනුම් දීම උනේ.. හැදුනුම්පත නැති වූ බවට පදිංචි පළාතේ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කොට ඒ පැමිණිල්ලේ සහතික පිටපතක් රැගෙන එන ලෙසයි.

පැමිණිල්ලක් දාන එක නම් ඒ තරම් අමාරු නැති උනත් එහි පිටපතක් ලබා ගැනීම යනු ලේසි කටයුත්තක් නොවන බව පොලිසියේ කාලයක් සේවය කළ අයෙකු හැටියට මා හොඳින්ම දැන සිටියා.

කොහොමටත් පැමිණිල්ල කරලා ආයෙමත් පස්සේ දවසක යන්න වෙන බව මම දන්නවා.
මොනවා උනත් කමක් නැහැ කියලා හිතලා මම කොළඹ ඉඳලා එන ගමන්ම මගේ නිවසට අඳාළ පොලිස් ස්ථානය වෙච්ච වැළිවේරිය පොලිසියට ආවෙ එදාම පැමිණිල්ල දාලා..පැමිණිලි පිටපතක් ඉල්ලලා ලිපියක් භාර දීලා යන්න හිතාගෙන..

මම වැළිවෙරිය පොලිසියට ආවෙ අවුරුදු දොළහකට විතර පස්සේ තමයි.

අන්තිමට ආවෙ පොලිස් වාර්ථාවක් ගන්න 1998 අවුරුද්දේ වගේ කියලයි මට මතක..හැබැයි ඊට කළින් නම් මායි මල්ලියි මාස දෙක තුනකට සැරයක් විතර හත් අට වතාවක් පොලිසියට බඩ ගාලා තියෙනවා...
ඒ ඉතින් ඔය අත පයේ හිරි ඇර ගැනීම සඳහා අපි දෙන්නා කොරපු කියපු පුංචි පුංචි සංගරහා සත්කාර වෙනුවෙන් ඒ සත්කාර ලැබූ උදවිය විසින් කරනු ලැබූ දැනුම් දීම් වලට අනුව පොලෝසියේ මහතැන්වරුන් විසින් මහන්සි නොබලා අපේ ගෙදරටම ඇවිත් දීලා යන තුණ්ඩු කෑලිවලට නොසලකා හරින්න හොඳ නැති හින්දයි.

ඒ ගියාට පස්සේ ඉතින් වරුවක් විතර පොලිසියේ බංකුවෙ සැපට වාඩි වෙලා ඉඳලා..ඔය සාජන් උන්නැහේ කෙනෙක් කරන දයාබර ආමන්ත්‍රණය අහගෙන පූස් පැටවු වගේ ඉඳලා ආපහු එනවා.
ඊට එහා කරුණු කාරණා දුර දිග යන්නේ නැත්තේ ඉතින් අර දැනුම්දීමු කරපු උදවිය විසින්ම කාරණාව අල්ලලා දාන්ට කැමැති වෙන හින්දම තමයි.

එහෙම නැත්තං ඉතින් ආයේ ගමට ආව ගමන් තවත් උසස් ගණයේ සංගරහ සත්කාර ලැඛෙන බවට උන්දලා දන්න නිසයි එහෙම සමාදානයකින් වැඩෙ කම්මුතු වෙන්නේ...

පොලිසියේ බංකු ලෑල්ලේ දෙගොල්ලම එකට වාඩි වෙලා ඉන්න ගමන්ම අපේ මලයා විසින් හස්ත මුද්‍රාවෙන් කරනු ලබන තර්ජන ගරුජන හින්දා කොහොමින් කොහොම හරි වැඩෙ චකබ්ලාස්...

හැබැයි ඉතින් ඔය චණ්ඩිකං දාන්න කළින් අපිත් කොල්ලෝ කුරුට්ටෝ සන්ධියේ.. අපිටත් ලොකු ලොකු උදවිය විසින් නෙලපු අවස්ථාවල දැනුම් දීම් කරනු ලැබූ අයගේ පාර්ශවය හැටියට අපිත් පොලෝසි ගෙහුන් තියෙන විත්තියත් කියන්ට එපැයි.

කොහොමින් කොහොම හරි අවුරුදු බර ගාණකට පස්සේ පොලෝසියට ගියාම නෙව දැක්කේ..
පොලීසිය නිකං දිව්‍යය ලෝකේ වගේ වෙලානේ...පිස්සු හැදෙයි කිවුවළු...

වෙලා තියෙන බාහිර වෙනස්කං දිහාවෙ බල බල ගියාට මොකද මම හිතුවේ පරණ කොරමෙටම තමයි වැඩෙ යන්නේ කියලා..ඒත් මොන...?

මම යන කොටත් සාජන් නෝනා කෙනෙක් රිසවු එකේ ඉඳගෙන පැමිණිල්ලක් සටහන් කරනවා..
මම ඉතින් සද්ද නැතිව පැත්තකින් වැඩි වෙන් හදනකොට..

ආ මහත්තයා ඇයි...? මොකද මෙහෙ ආවෙ..? මොනවද කෙරෙන්න ඔනේ..?

පුරස්න වැලයි. දීපංකෝ උත්තර..
ඒත් ඉතින් අපරාදේ කියන්න බැහැ..දන්න අදුරන කෙනෙක් වාගෙයි කතාව..

මම ඉතින් කෙටියෙන් ගිය කාරණේ කිවුවා විතරයි..

අනේ තරහා නැතිව චුට්ටක් ඉන්න මම මෙ ලියන පැමිණිල්ල ඉවර වෙලා වැඩෙ කරලා දෙන්නම් කියපි.

අන්තිමෙදී විශ්වාස කරන්න..නැත්තං අර කිවුවත් වගේ නිකං ඉන්න...

මම ගිය වැඩෙ හරියටම පැය භාගයක් ඇතුළත කරගන්න මට පුළුවන් උනා නෙව.

පැමිණිල්ල ලියා ගත්තා විතරක් නෙවෙයි.
පැමිණිල්ල ලියලා ඉවර වෙලා ඒකේ පිටපතක් හෙට ඇවිත් ගන්න කියලා මට කිවුවා නෙව..
එහෙම කිවුවට පස්සේ මම ආපහු එන්න හැරෙන කොට මෙච්චර වෙලා එතනට වෙලා එහෙට මෙහෙට පැන පැන බොහෝම කඩිසරව වැඩ රාජකාරි කල සිවිල් ආරක්ෂක ගෑනු ළමයෙක් පැනලා මගේ තොරතුරු අහලා.. එවෙලේම මට හාෆ් ෂීට් එකක් දීලා පැමිණිලි පිටපතක් ඉල්ලලා ලියුමක් ලියන්න කියලා.. එයා පට පට ගාලා මෙන්න කොපිය ලියනවා..

අන්තිමට විනාඩි හතළිහක් යන්න කළින් මම පැමිණිල්ලත් කරලා..
පැමිණිලි පිටපතක් ඉල්ලලා ලියුමක් ලියලා ඉවර වෙන කොට මට පැමිණිළි පිටපතක් නිකුත් කරලත් ඉවරයි.

ඔක්කෝටමත් එහා වැඩෙ තමයි..
පැමිණිල්ල ලියන ගමන් ඒක ලියපු සාජන්වරිය..තමාට කාගෙන්දෝ ලැබිලා තිබුනු චොකලට් එකක් කඩලා කන ගමන් එපා කියද්දීම මටත් චොක්ලට් කන්න කියලා පොරේ..

චූටි හිත් රිද්දන්න හොඳ නැහැනේ..මාත් ඉතින් චොක්ලට් කන ගමන්ම විස්තර කරනවා..සාජන් තුමිය ලියනවා...

ඔන්න අපේ පොලිස් සේවෙ...

ඇත්තටම පුදුම සතුටක් දැනුනේ..
ලංකාවෙ හැම තැනම මෙහෙම නොවෙන්න පුළුවන්..ඒත් මට වැළිවේරිය පොලිසිය ගැන පුදුම සතුටක් ඇති උනේ.

මට තේරෙන විදියට ලංකාව වෙනස් වෙමින් පවතිනවා.
මෙ වෙනස දිගටම වෙන්න කියලා රටට ආදරය කරන මාර තෙමෙ වන මම ප්‍රාර්ථනා කරනවා.

වැළිවේරිය පොලිසියේ කාන්තා සාජන්වරියක වූ ශ්‍යාමලී මහත්මියටත්..සිවිල් ආරක්ෂක බලකා නිලධාරීනී වසන්තී සොයුරියටත් මගේ අවංක ආදර ස්තූතිය මම පිරි නමන්න කැමතියි. ඔබලාට ජය වෙවා...

අපේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලත් දැන් ඉස්සර වගේ නෙවෙයි හුගාක් හොඳයි. ඉස්සර වගේ රස්තියාදුවක් නැතිව කටයුතු කරගන්න පුළුවන්..ඒකට ස්තූති කරන්න ඔනේ කරූ ජයසූරිය මැතිතුමාට තමයි..උන්නැහේ ආණ්ඩුවෙ හිටපු ටික කාලෙට සෑහෙන වෙනසක් කලා.
අන්තිමට ආපහු ගියා උනත්..කරලා ගිය වැඩ ටික බොහෝම වටිනව.

ඇත්තටම පක්ෂ පාට බලන්නනේ නැතිව මේ වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටික එකතු වෙලා ජරා පප්පලා එළවලා මෙ රට හදන්න මොළේ ඇති රටට ආදරය කරන මිනිස්සු හිතනවනං.. මෙක දිව්‍යය ලෝකයක්...

................................................

ඉතින් අවසානයේ..
මම අද නිදහස් මිනිහෙක්.
මට තව තියෙන්නේ මගේ ජාතික හැදුනුම්පත හදා ගන්නයි, මගේ ලයිසන් එකේ වැඩිදුර කටයුතු ටික කරගන්නයි තමයි. ඒ ටිකත් කර ගත්තා නං මමත් සාමාන්‍ය පුරවැසි ලැයිස්තුවට අයත් වෙනවා.

දැනට ඉතින් මම අහසින් කඩා වැටුන ගානයි නෙව.

ඉතින් දැනට තත්වය ඔහොම තමයි...

ඒ අතරේ මා හැර දා ගිය ඇය... මෙ දවස්වල ආයෙමත් මාත් එක්ක ටිකක් කථා කරනවා.
වැඩි දෙයක් නෙවෙයි. හිතවත්කමින්... ඉස්සර වගේම...දැන් ටිකකට කළිනුත් මම කෝල් එකක් ගත්තා එයාට පණිවිඩයක් කියන්න. අම්මා තමයි ගත්තේ..ඒත් මම කිවුවම එයාට කථා කරන්න ඔන කියලා අම්මා එයාට ෆෝන් එක දුන්නා...

ඔහොම තමයි ජීවිතේ...

16 August 2010

ලියුමක් සහ නිදහසක්...අනේ මන්දා...

ඊයේ උදේ අම්මා කතා කරලා කිවුවා මගේ නමට ලියුමක් ඇවිත් තියෙනවා කියලා. ලියාපදිංචි තැපෑල ඔස්සේ..

ඒ ගමන අද උදේම ගියා ගෙදර ගිහින් එන්න...
ගිහිල්ලා ලියුම බැළුවා..ඒක එවලා තියෙන්නේ ගවන් හමුදාවෙන්..
අස්වෙලා යන්න එන්නළු..
පොදු සමාවක් දෙනවාළු..
2009-05-31ට කළින් සේවය හැර ගිය අයටළු..

මගේ සේවය හැර ගිය දිනය ලෙස සටහන් වෙලා තිබුනේ 2000-10-29 දිනය..හරි වෙන්න ඇති.

ජීවිතේදී මම ගත්ත අමාරුම තීරණයක් තමයි ඒක.
ඒ වෙනකොට මම හිටියේ රත්මලානේ..

මම නිවාඩු ඉල්ලූවා.ඒත් උපරිම සතියයි හම්බ උනේ..
ඒ කාටත් පොදු තත්වය යටතේ..ඒත්..මට ඒ මදි.
අම්මා අසනීප වෙලා රාගම රෝහලේ නවත්තලා..
තාත්තාව ගම්පහ රෝහලේ නවත්තලා..

දෙන්නටම අංශභාගේ...

මල්ලී තනියම ගෙදර. ඒකාට උයන්නවත් බැහැ.
මම ගෙදර ගියා සතියක නිවාඩුව අරගෙන.

උදේම උයා පිහාගෙන බත් බැඳගෙන මම තාත්තා බලන්න යනවා. මල්ලී එහෙ නැවතිලා.
ඊළගට අම්මා බලන්න යනවා පුංචි අම්මා ළග..

ඒ දවස් වෙන කොට මට ටිකක් උයන්න පුළුවන් උනත් හොඳටම බැහැ. ඒත් මම දන්න විදිහට උයනවා.
පුංචි මට හිනා වෙනවා සමහර දාට..මොනවා කරන්නද මම දන්න තරමනේ.

නිවාඩුව ඉවරයි..මම ආපහු ගියා නිවාඩුව දීර්ඝ කරගන්න හිතාගෙන..ඒත් ඒක හරි ගියේ නැහැ.
මල්ලී තනියම ගේම ඇදගෙන යනවා.

ජුං ඇතුළු මගේ කොල්ලෝ ටික උපරිම සපෝට් එක දෙනවා.
ඒ අතරෙ අපේ කොල්ලෙකුට රෙජිමන්ට් එකේ සාජන් කාරයෙක් ගහලා.
කවුරුවත් නැහැ ඒ ගැන බලන්න..පස්සේ මම පොලිස් සෙක්ෂන් එකට ගිහින් පැමිණිලි කලා.
අපි ඒ දවස්වල හිටියේ රෙජිමන්ට් එකට අනුයුක්ත කරලා.. ටේ‍රඩ් කෝස් පාස් අවුට් වෙන්න නොදී අපිව කඳවුරු ආරක්ෂක රාජකාරියට අනුයුක්ත කරලා තිබුණේ...

වෘත්තීයෙන් මම අවි ආයුධ ශිල්පියෙක්. ඒ කියන්නේ ආමර් කෙනෙක්.
නමුත් මෙ තත්වය යටතේ අපි හිටියේ නිකංම නිකං මුර රාජකාරිවලට දාලා.
ඒ දවස්වල කටුනායකට ගහපු දවස්.

අන්තිමට අර කොල්ලට ගහපු කේස් එකට පැමිණිලි කරපු මාවයි, ඒකට සාක්කි දෙන්න ඉදිරිපත් උන මට වඩා ජූනියර් බැජ් එකක කොල්ලෙක්ටයි අරුන් මාර විදියට ගේම දෙනවා.
අපිත් අරින්නේ නැහැ.
ඒත් කාලා ඉවසන්න බැරි මට නිවාඩු දෙන්නේ නැති එක.
මගේ නිවාඩු වාරය ඇවිල්ලත් මුන් අපිට නිවාඩු දෙන්නේ නැහැ.
පස්සේ මම හොරෙන්ම ලිව් ෆෝම් එකක් අනිත් ඒවා අස්සේ දාලා යැවුවා.
ඒක අනුමත වෙලා බිලට් එකට ගේන්න කළින් මම මගින්ම ල්ව් ෆෝම් එක ඉස්සුවා. මොකද රෙජිමන්ට් එකේ බිලට් එකට ඒක ගියා නං මට ඒක උන් දෙන්නේ නැහැ.

අන්තිමට රෙජිමන්ට් එකේ උන්ට කොකා පෙන්නලා මමයි,මාත් එක්ක හිටපු අනිත් කොල්ලයි නිවාඩු පිට එළියට ආවා.අරුන් දන්නෙත් නැහැ.
ඒ ආවාට පස්සේ මම ආපහු ගියේ නැහැ.
අම්මව සනීප කරගන්න පුළුවන් උනා. අදටත් අම්මා හොඳින්..
තාත්තා එදා ඉඳලා ඇදේ..පස්සේ මම ගෙදර නැති අතරේ නැති උන කතාව දන්නවනේ...

ඊට පස්සේ මම දවසක් අපේ මව් කඳවුර උන ඒකලට ගියා.
ඒත් එහෙ පොලිස් සෙක්ෂන් එකෙන් මාව ආපහු යැවුවා..

"අනේ බං පවු දෙන්න එපා. දැන් දවස් අනූව පැනලනේ. උඹව ආයේ අල්ලන්න කවුරුවත් එන්නේ නැහැ.ගිහිල්ලා අම්මයි තාත්තයි බලාන ඉඳපන් අපිට පවු නොදී.."

මම ආපහු ආවා.

ඊට පස්සේ මම ගුවන් හමුදාව පැත්ත පළාතේ ගියේ නැහැ. ඒ අයත් මාව හෙවුවෙ නැහැ.

අන්තිමෙදී ඔන්න මාව අවුරුදු ගාණකට පස්සේ මතක්වෙලා..

ඇත්තටම මම ජීවිතේට ආසාවෙන් කරපු එකම රැකියාව තමයි ඔය.
අනිත් දේවල් හුගාක් කලේ ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න. ඒත් මම හමුදා ජීවිතේට හරිම ආදරෙයි.
විනය විරෝධි කිසිවක්ම නැතිව ඉතාමත් හොඳින් රාජකාරී කළ මම හිටියනම් අදවෙන කොට සාජන් ඇඳලා.

කොහොමත් මම මගේ බැජ් එකේ අනිත් අයට වඩා හුගාක් ඉස්සරහින් හිටියේ.
ඒ මගේ කැපවීම.

ඒත් අන්තිමට ගෙදර උදවිය වෙනුවෙන් මම මගේ රස්සාව අතහැරලා දැම්මා.
අන්තිමට ගෙදර අය මාව අතහැරලා දැම්මා.

අද මට පුදුම වේදනාත්මක දවසක්.

මම හෙට වැඩට යන්න ඔන.
අනිද්දා යනවා ගුවන් හමුදා මූලස්ථානයට.ඒ ගියහම දවස් කීයක් එහෙ ඉන්න වෙයිද දන්නේ නැහැ.
සමහර විට එදාම එවන්නත් පුළුවන්.ඒත් හමුදාවෙ හැටි කියන්න බැහැ.

ඔන එකක් වෙන්න කියලා මම යනවා. මගේ ප්‍රියතම රැකියාවෙන් අස්වෙන්න.
අම්බානකට දුකයි.

ඒත්...................

වෙන මොනවා කරන්නද...?

මේකත් මට ජීවිතේදී අහිමි වෙච්ච හුගාක් දේ අතරින් එකක් විතරයි.

ඉදිරි දිනවල මෙ සටහන නොලියවුනොත්..ඒකට හේතුව මම ඇතුලේ කියන එකයි.

හැමෝටම ජය වෙවා.

14 August 2010

මසිත ගත් මියුලැසියේ ...

පුංචි සමනළියේ..
නුඹ ඇයි ගියේ හැරදා..
මා තවම තනි වී..
නුඹ එතැයි මග බලා හිදිමී..

ඉරු උදා වූවත්..
නුඹෙ ලොවට පායා..
මට නැතේ සඳවත්..
අමාවක විය සැමදා..

ජීවිතේ සවියක්..
දුන්න සුන්දරියේ..
නැතේ මට සවියක්..
යන්න දිවි ගමනේ..

නුඹ නොමැති සිහිනේ..
දකින්නට මට සිතක් නැහැනේ..
සිහිනයද ඔබ මෙන්..
යාවී මට පිටුපා..

සුන්දර අතීතේ..
තවම මා තනිවී..
මග බලා හිදිමී..
එනතුරා නුඹ..
මටම පේවී..

සිනිදු සියුමැළියේ..
ළඳ බොළඳ සුකොමළියේ..
මසිත ගත් මියුලැසියේ ..
ජීවිතේ සුව සැදූ මිහිරෙ..

ඔබ නමින් හිඳිමී..
ඔබටම දිවිය පුදමී..
ඔඛෙ නමට කැපවී..
මගේ දිවි මග ඉවර කරමී..

මෙවන් දුකක් ජාතිත් මට නොදීයන්..

දන්නා නොදන්නා විලසින් ඉන්නේද..
දන්නා නමුත් මා හැරදා යන්නේද..
කිසිවක් නොවූ ලෙස තවමත් ඉන්නේද..
මා මැරුනත් නුඹ සතුටින් ඉන්නේද..

රිදවන්නට හිත නැවතත් මගෙ පාරා..
අමතන්නේ ඇයි ඉදහිට හෝ අමතා..
ඇසෙනා එක වදන වූව යයි හදවත පාරා..
යළි යළි පැමින නොම යන් සවනත පාරා..

ලියනා වදන් නුඹ හට නොඇසෙන හින්දා..
හඩනා හැඩුම් නුඹ හට නෑසෙන හින්දා..
කියනා කියුම් නුඹ දන්නේ නැති හින්දා..
සැමදා මෙමා දුක් විඳිනව නුඹ හින්දා..

එක් වී එක මගක යන්නට වරම් නැතී..
සැමදා දෙමංසල තනිවී හිඳිමු අපී..
මෙ භවයෙත් එක්වන්නට නොහැකි උනී..
මතු භවයේ හෝ නැවතත් බැදෙමු අපී..

සැමදා රැයේ සිහිනෙන් මට පෙනීයන්..
නුඹ නැති රැය ඉක්මනටම ගෙවීයන්..
මෙවන් දුකක් ජාතිත් මට නොදීයන්..
මා අත හැර ගිය නුඹ මට ලැබීයන්..

හිතට දැනුන ගීතයක් සමග ජීවත් වීම...

උදේ ගෙදර ආවාට පස්සේ වෙනදා වගේම වැඩ ටික ඉක්මනට කරලා දාලා කළින් දවසක ලියලා තිබුණු පන්සල් ජීවිතේ ගැන ලිපිය පෝස්ට් කරලා දාලා අපේ අනෙකුත් සහෘදයින්ගේ ලිපි කියවමින් යන අතරේ තමයි අපේ චේජනා සොයුරිය දාලා තිබුණු මනරම් ගීතයක් හමු උනේ...

පළමු පද පෙල කියවනකොටම හිතත් එක්ක හිරිවැටිලා ගියා කිවුවොත් මම හරි.

ඒ ගමන එක පාරක් අහලා බැළුවා..ම්හූ මදි..හිතට මදි.. ආයෙත් අහලා බැළුවා..හරියන්නේ නෑ තවත් මදි වගේ..
ඒ ගමන බාන්න දැම්මා..

සාමාන්‍යයෙන් මම ගීත බාන්න දානවා අඩුයි..ඒ ඉතින් වෙන එකක් හින්දා නෙවෙයි මගේ තියෙන සම්බන්ධතාවය සීමිත වීම නිසාමයි.

කොහොමින් කොහොම හරි ගීතය බා ගත්තා..එතැන ඉඳන් තමයි වැඩෙ පටන් ගත්තේ...

අද දවසම ඒ ගීතයත් එක්ක තමයි ගත කලේ...
මගේ ලිපියට ආපු ප්‍රතිවාරවලට උත්තර ලියන ගමන්ම දවසම ගීතයත් එක්ක දිවි ගෙවන එක හරිම අපූරු දෙයක්.

කොහොමටත් මට හරි හමන් ගීතයක් හම්බ උනාම මට ඒක අහන්න ඔන නැවත නැවතත්...

ගීතයේ පද වැල තරම්ම සුනිල් එදිරිසිංහ මහත්මයාගේ කඩහඩත් ප්‍රභලයි..
සංගීතය නම් මට හිතට ඒ තරම්ම වැදුනේ නැහැ.
මොකද සංගීතය නැතිවම ඒ ගීතය අසන්න තිබුනානම් මීටත් හොඳයැයි මට හිතට හිතෙන නිසා.

ඒ අතරේ අපේ උදවිය බීමෙ ආනිසංස කියමින් මට නෙලනවා..ඒවටත් උත්තර ලියන ගමන්ම ගීතය අමුවටම අහන්න පුළුවන්ද..?

අද ඉතින් මම ඔන්න අපේ කට්ටිය කියන දේ අහලා අරක්කු බෝතලේ පැත්තකින් තිබ්බා.
ඊට පස්සේ ඉතින් දුක සේ බියර් බෝතලයක් සමග වැඩෙ පටන් ගත්තා...

හිතලා බලන්න...

වැඩිය ජනාකීර්ණ නැති පැත්තක පිහිටි දෙමහල් නිවසක උඩුමහලට වෙලා...
බියර් වීදුරුවක් එක්ක හිත හිරිවට්ටන ගීතයක්.. රසවිඳින මා ගැන...

ඈතින් ඇහැට අහුවෙන මායිමෙ වෙල් යාය...

පොඩි පොඩි බාධා කිරීම් නැතුවාම නොවෙයි..

ඒත් මට මීට වඩා දෙයක් එපා...
දෙයියනේ මම අද සැනසීමෙන් ඉන්නවා.

අතීතය මට කොයි තරම් වඳ දුන්නත්..
මට කියලා අද බලූ බල්ලෙක් නැති උනත්..
මම සතුටින් ඉන්නවා.

හෙටක් ගැන හිතන්නේ නැති මෙ ජීවිතේ කවදා කොතැන කොහොම ඉවර වෙයිද කියලා මම දන්නේ නැහැ.
මට දැන ගන්න ඔනත් නැහැ.

මම අද කිසි දෙයක් පොදි ගහගෙන නැහැ.
මහා බලාපොරොත්තු නැහැ.

ආදරය මාව රිදෙවුවා උනත් මම ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ.
ඕක කාටද නොවෙන්නේ...
උපන්න හැම එකාටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාමනේ..
ඉතින් මට නැති වෙන්න මම සක්විතියෑ..
ආ..සක්විතිටත් දැන් ප්‍රශ්නනේ..

එහෙව් එකේ මම මොකාද..?

හෙට ඉර පායයි..ඒ නැති උනත් මම නෙවෙ ගණන් ගන්නේ..
සමහර විට ඒ පායන ඉරත් එක්ක මම නැගිටින එකක් නැති වෙන්නත් පුළුවන්..ඒත් මට කමක් නැහැ.
මොකද මම නැහැයි කියලා මෙ ලෝකේ යන ගමන නවතිනව කියලද..?

චේජනා..උඹට පින් නංගියේ...
අද දවසටවත් මට විඳින්න දෙයක් දුන්නට...

තිස්ස අයියා මට බනින්නේ නැහැ කියලා මම දන්නවා. උඹ දන්නවනේ අයියේ මම කවුද කියලා.
මෙ අනිත් සෙට් එක තමයි උඹවත් ඔය මට බණ කියන සයිස් එකට ගන්නේ..

මම තරහා නැහැ බං. මම දන්නවා උඹලා ඔක්කෝම කියන්නේ මගේ හොඳට කියලා...
ඒත් ඉතින් දැන් මට මුකුත් කියන්න එපා. තේරුමක් නැහැ.

දැන් මෙ ඇති...හොඳටම ඇති.
උස්සගෙන ආපු හැම දේම බිම තියලා මෙ බරෙන් නිදහස් වෙන හැටියක් කල්පනා කරන මට වෙන කිසිම දෙයක් එපා.

මෙ ලෝකේ හදන්න ඔන තරම් මිනිස්සු ඉන්නේ..
මම නැතුවට කමක් නැහැ.
මගෙ කොටස මම දැන් කරලා ඉවරයි..උඹලා උඹලාගේ කොටස කරපල්ලා.
මට දැන් තියෙන්නේ මම කරපු දේවල් කියලා දාන එක විතරයි.
ඒක ඉවර උන දවසට මාත් යන්න යනවා ආයේ නොයෙන්නම.

මම ගියාට උඹලාට තව කරන්න දේවල් තියේවී.
හැබැයි කවදා හරි දවසක උඹලාත් මම පස්සෙන්ම ඒවී.
එදාට මම බලන් ඉන්නවා කියලා මට පොරොන්දු වෙන්න බැහැ. මොකද උඹලා එනකොට මට එතනිනුත් යන්න වෙලා තියෙයි.

ඒත් උඹලාට මම එතන හිටියා කියලා දැනේවී...

මෙ තරම් සියුමැළිද කළු ගල්...
හ්ම්.. තව පාරක්..
තවත් බෝතලයක පළමු වීදුරුව...

මම බොන්නේ ජීවත් වෙන්නද..?
මම ජීවත් වෙන්නේ ලියන්නද..?
මම දන්නේ නැහැ..
මට දැන ගන්න ඔනත් නැහැ..

පන්සලේ ජීවිතේ... තීරණයක්...

ඇයි මට මහණ වෙන්න බැරි...

ඒක කරදර වැඩක්... කිසිම නිදහසක් නැහැ.. ඒත් හුගාක් දේවල් කරන්න පුළුවන්..

මෙ වෙනකොට මාත් කිසිම අරමුණක් නැතිව සිටිය කෙනෙක් වූ අතර කිසිදු වගකීමක් නොවුණි.
කුඩා කල සිටම මහන්සී වී ඇති මට දැන් ගෙවන ජීවිතය ඉතා සැහැල්ලූ විය.

කෙසේ වෙතත් මෙ ආකාරයෙන් හැමදාම දිවි ගෙවිය නොහැක..එක්කෝ මා නැවත මිනිස් සමාජයට යා යුතුය..නොඑසේනම් මෙසේම රැදී සිටිය යුතුය..
තවම නම් නැවත ආපසු යෑමෙ අවස්ථාවක් හෝ උවමනාවක් මා හට නොවිණි..
එසේනම්..මෙසේ රැදී සිටින කාලය තුල කුමන හෝ දෙයක් කල නොහැකිද..?

තාවකාලිකව පැවිදිවීම..?

තායිලන්තය වැනි රටවල මෙවැනි පැවිද්දක් ඇති බව මා අසා තිබූ මුත් මෙහිදී එය කළ හැකිදැයි මා දැන නොසිටි මුත් සිවුරු දරා එයින් පිටව යා හැකි නමුත්..එයින් පසු සමාජයෙන් එම තැනැත්තාට එල්ලවන අපවාද කෙසේදැයි මා දැන සිටියෙමි.

සෑහෙන්න සිතිය යුතු ගැටළුවක්..?

මම සිතන්නට වීමී..
දිගින් දිගටම සිතන්නට වීමි.

අවසාන තීරණයක් නොගෙනම මම සතියක් දෙකක් සිටියෙමි...
ඒ අතරතුර සුපුරුදු පරිදි ජීවිතය ගත කරනා අතරතුර එක් දිනක් අහඹු සිදුවීමක් මා කළඹන ලදි.

...............................................................

එදින මා කුමන හෝ වැඩකට අසල නගරයට ගොස් සිටියදී එක් වරම මාගේ නම කියා කතා කරනා ගැහැණු කටහඩක් ඇසිණි.

මෙහි මා හට එම නමින් කථා කරන්නට කිසිවකුත් නොවූ අතර මා වට පිට බලනා විට එක්වරම මා දුටුවෙ කලක් මාගේ මිතුරියකව සිට තවත් කෙටි කාලයක් මාගේ පෙම්වතියක්ද වී සිටි තරුණියකි.
මගේ නිවසට සැතපුමකින් පමණ දුරින් විසූ ඇය මාගේ වයසේම වූ අතර මට වඩා බාල වූයේ හරියටම මාසයකින් පමණි.
අප දෙදෙනා කුඩා කාලයේ සිටම තරමක් දැන හැදින සිටියද තරුණ අවදියේදී හොඳ මිතුරන් වූ අතර මාගේ දීර්ඝතම පෙම් සබඳතාවයට උදවු උපකාර කරනු ලැබූ මාගේත් එවකට මාගේ පෙම්වතිය වී සිටි මා වෙනුවෙන් පසු කාලීනව බලාපොරොත්තුවෙන් සිට පසුව මාගේ අවසර මතම මගේ හොඳම යහළුවකු සමග දීග ගිය අදටත් මට සැබෑවටම ආදරය කලා යැයි මා විශ්වාස කරනු ලබන ඇයගේ හොඳම මිතුරියක්වද සිටි මැය..

මගේ එම ප්‍රේමය බිඳවැටුනු අවස්ථාවෙ මා සැනසීමට ලග සිටි තැනැත්තියක වූ අතර..පසුව අපගේ ඇසුර වෙනත් අතකට හැරී පෙම්වතුන් වීමු.
එතකින් නොනැවතුනු අප අතර කලක් කායික සම්බන්ධතාද වූ බව සැගවිය යුතු කරුණක් නොවෙ. නමුත් ඇයගේ ඉතාමත් දරුණු ලෙස බොරුකීමක් නිසා මා ඇයගෙන් වෙන් වී සිටියෙමි.

මෙසේ වූ ඇය එක්වරම මා හමුවෙ පෙනී සිටීම මා තරමක් මවිත කරනු ලැබූ සිදුවීමක් වූවද ඇයට මෙම ප්‍රදේශයේ ඥාතීන් වූ බව මා දැන සිටියෙමි.
කලකින් දුටු මා වෙත වෙගයෙන් දිව ආ ඇය...

"කොහේද.......... මෙච්චර කල් හිටියේ...?
අපි හැම තැනම හොයනවා.
ගමෙ මිනිස්සු මට බනිනවා.මම ඔයාව හංගගෙන ඉන්නවා කියලා.
ඇයි තාත්තගේ මරණ ගෙදර ආවෙ නැත්තේ...?"

"තාත්තගේ..කාගේ තාත්තගෙද..?"

"ඔයාගේ තාත්තගේ..ඇයි ඔයා දන්නේ නැද්ද..?"

"නැහැ මම දන්නේ නැහැ..මට කවුරුවත් කිවුවෙ නැහැ."

"ඔයාට කියන්න ඔයා ඉන්නේ කොහේද කියලා කවුරුවත් දන්නේ නැහැනේද..?"

"නැහැ, අම්මා දන්නවා මම ඉන්න තැන..මම එක දවසක් ගිහින් තාත්තව බලලා ආවා.එදා මම අම්මාට කියලා ආවෙ..මම ඉන්න තැන.එක පාරක් මට ලියුමකුත් එවලා තිබුණා."

"එහෙනම් ඇයි නොකිවුවෙ..?"

"මම දන්නේ නැහැ."

"අනේ මම දන්නේ නැහැ............
කොහොම උනත් ඔයා ගෙදර යන්න. නැත්තං ඔයාට හොඳ නැහැ. දැනටත් මිනිස්සු ඔයාට බනිනවා.ආවෙ නැහැ කියලා."

"මට මිනිස්සු බැන්නට නම් කමක් නැහැ. ඒත් මට අම්මා කිවුවෙ නැහැ.මෙක."

"දැන් ඔයා මොකද කරන්නේ..?"

"මුකුත් නැහැ."

"ඔයාට මොකද දෙයියනේ උනේ..?ඇයි ගෙදරින් ආවෙ..? කොහොම හිටිය කෙනෙක්ද ඔයා..."

"දැන් ඒවයින් වැඩක් නැහැ..........."

තව සුළු මොහොතක් එතැන රැඳී සිටි පසු අප වෙන් වීමු.

අම්මා මට තාත්තාගේ මරණය නොදැන්වීම කුමක් අරමුණු කරගෙන කළාදැයි මට සිතාගත නොහැකි විණි.

මල්ලීගේ නොහික්මුණු ක්‍රියා නිසාත්, මට සිතාගත නොහැකි විදියට අම්මාගෙන් එයට ලැබුණු අනුබලයත් ආදී කොටගෙන ඉවසාදරාගත නොහැකිම තැන ගෙදරින් මා පිටව ආවත්..මා ආවෙ මා සතු කිසිවක්ම රැගෙන නොවෙ..
එවන තෙක් මා හරි හම්බකරගෙන තිබූ සෑම දෙයක්ම ඔවුනට බාර දී මා පාරට බැස්සේ කිසිවක් නැති අනාථයෙකු ලෙසිනි.

වසර ගණනක මහන්සියෙන් හරි හම්බ කර ගත් සියළු දෑ අතර වෑන් රථයක් හා ත්‍රිරෝද රථ දෙකක්ද විය.
පාපැදියක් පමණක් තිබූ තාත්තාගෙන් අපට ලැබුණු දෙයක් නැත. අම්මා මාහට දීමට කියා වෙන්කර තිබූ පර්චස් විස්සක ඉඩමක් තිබුණි. නමුදු එය මාගේ නමට ලියා තිබුණේ නැත..
නමුත් කිසිවිට දෙමාපියන්ගේ උරුම බලාපොරොත්තු නොවූ මා අත්වල පලූ නගින තුරු මහන්සි වී උපයාගත් දෙයින් යම් තරමක් නැග්මක ආරම්භය ලබා තිබුණු අවදියේ ඒ ලබාගත් සියළු දේ එක් මොහොතකදී අතහැර පැමිණියේ ඉවසාදරාගත නොහැකි තරම් වූ මානසික පීඩනය නිසාමය..එම පීඩනව ගොඩනැගූවෝ අන්කවරකුවත් නොවූ අතර ඒ මාගේම අම්මා සහ සහෝදරයා විණි.

පසුකාලීනව මා සතුව තිබී ඔවුනට දී පැමිණි සියළුම වාහනත්, මා හට දීමට යැයි කියා තිබූ ඉඩමත් ඔවුන් දෙදෙනා විසින් විකුණා දමා තිබුණි. එය ඇසූ මා කලේ සිනාසීම පමණි. ආරංචිය කියූ පුංචි අම්මා විස්මිතව මා දෙස බලා උන්නා මට අදටත් මතකය..

හරි හම්බ කල සියල්ල ඔවුනට දී තිබියදීත් ඇයි මට තාත්තාගේ මරණය නොකීවෙ...?

ඔවුන් විසින් දැන දැනම මා ගමෙ මිනිසුන්ගේ පිළිකුළට භාජනය කරවා ඇත.
තාත්තා මා හැදුවෙ කවදා හෝ ඔහුගෙන් පසුව ඔහු විසින් කරගෙන ආ සියළුම සාමාජීය වැඩ මා අතින් කරනු දැකීමෙ බලාපොරොත්තුවෙනි.

ඔහු දේශපාලනය තදින් බදා වැළද කරනු ලැබූවෙකි.
නමුත් කෙදිනකවත් චන්දයකට ඉල්ලීමෙ උවමනාවක් ඔහු තුළ නොවිණි. ඔහු ඒ සඳහා මා සූදානම් කරවන ලදි.
ඇත්තෙන්ම ඒ වන විටත් මා ගමෙ සෑම සමිති සමාගමකම සාමාජිකයකු වූවා පමණක් නොව සෑම අතින්ම ක්‍රියාකාරීව කටයුතු කරනු ලැබූවකු විය. ඒ සෑම දෙයක් පිටුපසම තාත්තා විය.
ඒ සියළු දෙයින්ම මා ඔසාවා තැබීම තාත්තා විසින් කරනු ලැබූවෙ මවිසින් ගමට, මිනිසුන්ට සැබෑ සේවයක් වනු දැකීමෙ කැමැත්තෙනි. මාද එම මාර්ගයේ යනු ලැබූවෙ එය මාගේ උරුමය බව හිතට ගනිමිනි.

තාත්තා කිසි දිනක දේශපාලන කටයුතු වලින් තමාට වාසි ලද්දකු නොවීය.

දේශපාලනය නිසාම රැකියාව පවා නැතිව ගොස් තිබියදී..දේශපාලන බලය ලද විටද තමා වෙනුවෙන් හෝ අප වෙනුවෙන් කිසිවකු ළග කොන්ද නැමූවකු නොවූ හෙතෙම මට රැකියාවක් සොයාදීමට කිසිදු උත්සහයක් නොගත්තේය...

අවසන මා රැකියාවන් රැසක් කර අවසානයේ හමුදා සේවයට ගිය පසු ඔහු විසින් මා හට එවූ ලිපියක් අදටත් මා සතුව සුරක්ෂිතව ඇත.
එය ලිපියකටත් වඩා සමාව ඉල්ලා කල ප්‍රකාශයක් බඳුය...

මා ඒ ගැන ඒ තරම් නොසිතූවත් දැඩි ලෙස සිත් වෙදනාවෙන් සිටි ඔහු ලිපිය එවා ටික කලක් ඇතුළත ඔත්පල විය.

පසුව මා ගෙදර විත් අවශ්‍ය ප්‍රතිකාර කරවන ලදින් යළි සුවය ලැබූ තාත්තා නැවත් එයින් වසර දෙකකට පමණ පසු නැවතත් ඇඳට වැටුනේ නැවත සුවය නොලබන අයුරිනි.

අවසන මා ගෙදරින් පිටව යන කල මා සතු සියල්ලම මල්ලීට පවරා ගියේ මා වෙනුවෙන් තාත්තා රැක බලා ගැනීම ඔහුට පවරමිනි.

එසේ පිටව ගිය පසු මා දුන් දේ විනාශ කළ ඔවුන් අවසන මාහට තාත්තාගේ මළගමට ඒමට තිබූ අවකාශයද නැති කොට දැමූවෙ කුමන කරුණක් නිසාදැයි අදටත් මා නොදනිමි.
පසුව මා මේ පිළබඳව විමසා සිටි අවස්ථාවක අම්මා කියා සිටියේ මා මල්ලී සමග ගැටුම් ඇති කර ගනිතැයි සිතා මා හට මරණය නොදැන්වූ බවයි.

නමුත් ඥාතීන් අතර ඇය පවසා ඇත්තේ මා හට දන්වාත් මා නොපැමිණි කතාවකි.

මම ආරංචිය දැනගත් දාට පසු දිනම සවස් වන්නට ගෙදර ගියෙමි.

ඒ වන විට මරණය සිදුවී මාසයකටත් වඩා වැඩිය.
ඔවුන් හා කරන කතා බහත් මට අප්‍රසන්න විය.
වැඩි වෙලා නොරැඳුන මා ඉන් පිටව ආවෙ යළිත් එහි නොයන්නට සිතාගෙනය...

අවසන පන්සලට පැමිණි මා තීරණයක් ගෙන ගුණරතන හිමි හමුවීමට ගියෙමි.
.............................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

13 August 2010

පන්සලේ ජීවිතේ... හිතන්නට කාලයක්...

අවුරුදු සමය උදා වෙමින් තිබිණි. මාර්තු මාසය මැද පමණ වන විට චන්දවිමල හිමියන් සිය අවශ්‍යතාවයක් කියා සිටියේය...

එනම් කාලයක සිට සිංහල අළුත් අවුරුද්ද ගෙවා තිබුණේ පන්සල්වලම බැවින් මෙවර අවුරුද්ද සිය නිවසේ ඇත්තන් සමග ගෙවා දැමීමෙ ඇති කැමැත්තයි.

එයට විරුද්ධ විය නොහැකි වූවද..ගැටළුවක් තිබිණි.
එනම් මා හා ඔහු යන දෙදෙනාම පන්සලෙන් එක වර ගියහොත් පන්සල පාළුවට යෑමයි.
එබැවින් කල හැකි එකම විසදුම වූ උන්වහන්සේ තම උවමනාව සපුරාගෙන පැමිණෙන තෙක් මා පන්සලේ රැදී සිටීමයි.

එයට එකගවීමත් සමගම තවත් සැලැස්ම දීර්ඝ කරන්නට චන්දවිමල හිමියන් උත්සුක විය..ඒ අනුව ගමෙ යෑම පමණක් නොව උන්වහන්සේගේ පැරණි මිතුරන් වෙසෙන පන්සල් සියල්ලම දැක බලා ඉඳ නැවතී පැමිණිමට ඇති ආශාවයි...

ඒ සඳහා සෑහෙන කාලයක් ගතවන මුත් එරෙහි විය නොහැක..මන්ද සෑහෙන කලකින් උන්වහන්සේටද නිදහසේ ගමනක් බිමනක් යෑමෙ අවස්ථාවක් ලැබූ නොතිබුණේ මෙම පන්සල් මුරකිරිල්ල නිසාවෙනි.

අවසානයේදී අප්‍රියල් මස ලබන්නාහාත් සමගම චන්දවිමල හිමියන් ගම්රට බලා පිටත්ව යන්නට යෙදුණු අතර මා පමණක් තනිවම පන්සලේ රැඳී සිටියෙමි.

පන්සල සම්බන්ධ සුළු සුළු අද්භූත කතා කිහිපයක් තිබුණද..ඒවා මා හට ගැටළු නොවිණි.
මීට පෙරද හිමිවරුන් පිරිත් පින්කම් වලට ගිය අවස්ථාවල මා තනිව මෙහි ගත කර තිබූ හෙයින් එය මා හට අමුතු දෙයක් නොවිණි.

දින දින ගත වෙමින් අවුරුදු දිනයන්ද උදාවිය...

වෙනදා මෙන්ම අතරින් පතර දානය ලැබුණි...
දානයට පෙර දින බාස්කට් රැගෙන යෑමට පැමිණි විට පන්සලේ හිමිවරුන් නොමැති බවත් මා පමණක් රැදී සිටිනු ලබන බවත් ඔවුනට කියූ මා දානය ගෙන නොආවාට ප්‍රශ්නයක් නැතැයි කියනු ලැබීමි.
මා සිතුවෙ හිමිවරුන් නොමැති කල පන්සලට දානය ගෙන ඒමට ඔවුන් අකමැති වෙතැයි සිතා මුත් සිදු වූයේ අනිකකි.

සිංහල අළුත් අවුරුද්දේ ගමට නොගොසින් පන්සලේ රැදී සිටීම මහත් සේ අගය කළ ඔවූහු වෙනදාටත් වඩා කැමැත්තෙන් දානය රැගෙන ආවෝය...
රැගෙන එන දානයේ අග්‍ර භාගය බුදුන්ට බුද්ධපූජා ලෙස තබා ඔවුන් පිටව යන ලදි...
එම දින වල වෙනදා නොගෙනෙන දාන පවා පන්සලට ලැබිණි.

මට මතක හැටියට මාසයක් පමණ තනිවම මා පන්සලේ රැඳී සිටි එම කාලය තුල දෙදිනක් හෝ තුන් දිනක් ඇර දානය වැරදුනේ නැත.
දානය නොමැති දිනවල උදෑසන පන්සල අතුපතු ගා මල් වට්ටියක් කඩා පැන් සමග බුදුන්ට පූජා කර මා පන්සල වසා ගුණරතන හිමියන්ගේ පන්සලට යන අතර එහිදී ආහාර ගෙන එම පන්සලද අස්පස් කොට පිරිසිදු කර දී නැවත පැමිණෙමි.

එවකට ගුණරතන හිමියන් වැඩ විසූ පන්සල නිතරම කොළු කුරුට්ටන්ගෙන් පිරී තිබිණි. ලැඛෙන දානයට වග කියන්නට ඔනෑ තරම් අය සිටියහ..නමුදු ඒ කිසිවෙකුත් දාන ශාලාව හෝ දාන භාජන සේදුවෙ නම් නැත..
නමුත් මා ගිය පසු දවස් ගණන් පැරණි ඉඳුල් භාජන සියල්ල සෝදා මැද..පවිත්‍ර කොට පිළිවෙලට අස්පස් කර දාන ශාලාවත් පන්සලත් අතුපතු ගා දමා පැමිණෙමි.

ගුණරතන හිමියන්ද මා පැමිණි පසු දාන ශාලාවට අනිකුත් කොල්ලන්ට යාමට නොදී උන්වහන්සේ දානය වළදා පසුව මාද ආහාර ගත් පසුව අනිකුත් කොල්ලන්ට ආහාර ගන්නට දෙනවා විනා කිසි විටක මා හට අඩුවක් වීමට නොදුණි..
එක් දිනක් උන්වහන්සේ දහවල් කාලයේ වත්තේ වැඩට පැමිණෙන විට මා හට බත් මුලක්ද බැ+දගෙන විත් තිබිණි.
මොන තරම් ආකාරයේ චරිත ලක්ෂණ වෙතත් ගුණරතන හිමියන්ගේ මෙවැනි මනුස්සකම්ද තිබිණි.

මෙසේ දින ගත වෙද්දී හරියටම අප්‍රියල් දොළොස් වෙනිදා දින දානය ගෙන ඒමට නියමිතව සිටි පුද්ගලයා එකොළොස්වනදා සවස බාස්කට් රැගෙන යාම සඳහා පැමිණි අතර මා පුරුදු ලෙසින්ම පන්සලේ සිටින්නේ මා පමණක් බව කියා සිටියෙමි.

ඔහු ගත් කටටම මගෙන් මෙසේ විමසීය...

"ඇයි බුදු හාමුදුරුවොත් කොහේ හරි ගිහිල්ලද..?"

මට උත්තර නැති විය.

"ළමයෝ ඔන්න ඔය බාස්කට් ටික දෙන්න.මට පන්සලේ කවුරු හිටියත් නැතත් කමක් නැහැ.බුදු හාමුදුරුවෝ ඉන්නවනම් මට ඒ ඇති..අනික ඔය ළමයත් උපස්ථාන කොර කොර ඉන්නේ ඔය මදෑ දෙන්නෙක්ම ඉන්නේ..."යි
කියා බාස්කට් ටිකත් රැගෙන සිනා සෙමින් පිටව යන ලදි.

මෙම පුද්ගලයා විශේෂ චරිත ලක්ෂණයන්ගෙන් හෙබි අයකු බව මා විසින් පසු කාලීනව හදුනාගන්නා ලදි.
සමාජයේ වැරදි ඉතාමත් උපහාසයෙන් යුතුව විවෙචනය කරනු ලබන මොහු පෞද්ගලිකව කිසිවකුටත් කිසිම විටකදී වරදක් නොකියන අයකු විය.
විශ්‍රාමලත් පොලිස් නිලධාරියකු වූ රාළහාමා නැමැති මෙම අපූරු පුද්ගලයා පසු දින දානයත් රැගෙන පන්සලට පැමිණි අතර වෙනදා මෙන්ම බුද්ධ පූජාව තබා අවසන්ව යන්නට සූදානම් වී..

"එහෙනම් මම යනවා...නිකං ඉන්න එකේ නැද්ද ඔය සිවුරු කෑල්ලක් හෙම.."

"ඒ මොනවටද රාළහාමි..."

"නෑ සිවුරු කෑල්ලක් ඇගට දා ගත්තනං ඔය ළමයටත් දැන් පින් දෙන වැඩ එහෙම පුළුවන් නැතෑ අනිත් අයට වගේම...
ඇත්තටම මහණ වෙන්න එහෙම හිතෙන්නේ නැද්ද..?
ආයේ අමුතුවෙන් පුරුදු වෙන්න දේකුත් නැහැනේ දැන් හැම දේම ඔය ලස්සනට කරගෙන ඉන්නේ.."යි
කියා පිටත්ව යන ලදි..

මා එදින සිතන්නට විණි.

ඇත්තටම මට මහණ වෙන්න බැරිද..?

.................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

12 August 2010

පන්සලේ ජීවිතේ...වෙනස...

කාලය සෙමෙන් සෙමෙන් ගලා යන්නට විය...

මා දහම් පාසලේ වැඩ කටයුතු සඳහා විශේෂ උනන්දුවෙන් කටයුතු කල අතර ඒ සඳහා චන්ද විමල හිමියන් අතින් විය යුතු සියළුම කටයුතු මා අතින් වීම නිසා සියළුම දේ ගැටළුවකින් තොරව කෙරීගෙන යන්නට විය.

දහම් පාසල් ඉගැන්වීමෙ කටයුතු සඳහා දැනුම වැඩි කර ගැනීම පිණිස මා විසින් කුඩාම පන්තියේ සිට දහම් පාසල් අවසානය හා ධර්මාචාර්ය පන්ති සඳහාද වූ සියළුම පෙළ පොත් කියවන්නට හා ඒ පිළිබඳව විමසා බලන්ට වීමි.

එය මගේ ජීවිතය වෙනස් කරලීමට වැදගත් හේතුවක් විය...

එයින් නොනැවතුන මා පන්සලේ අස්සක් මුල්ලක් නෑර අවුස්සා සොයාගත් ඉතිරිව තිබූ දහම් පොත පතද මහත් වූ අභිරුචියකින් කියවා තේරුම් ගැනීමට උත්සහ කලෙමු.

පොත්වල වූ දෙය දැයි කිව නොහැකි වූවද මා හට මගේ ජීවිතය පිළිබඳව නම් තේරුම් යන්නට පටන් ගෙන තිබුණි.

සවස් කාලය තුල බුදු මැදුරට වී භාවනා කිරීමට උත්සහ කලෙමි.
ආරම්භයේදී පසුපසින සුළු වූවද ක්‍රමක්‍රමයෙන් භාවනා කිරීම පහසුවන්නට විය..ශාරිරික වෙදනාවන් සහ සිත ඒ මෙ අත දුවන ස්වභාවය අඩුවන්නටත්... කය පිළිබඳවත් සිත පිළිබඳවත් අවධානය රඳවා ගනිමින් ඉදින්නට හුරු වූ පසු දිනකට පැය කීපයක් වූවද නිසොල්මනේ භාවනා කිරීම මහත් වූ සහනයක් ගෙන දුන් කටයුත්තක් බවට පත් වූයේ මා නොදැනුවත්වමය...

මා පන්සලට ආ අවධියත්..මා පැවිදි වූ දා සිට ගෙවූ අවධියත් නොව මගේ ජීවිතයේ බොහෝ වටිනාකම් වැඩි වූ කාලය ලෙස මා අදටත් සිතන්නේ මෙම අවදියයි.
මනසේ සැහැල්ලූවත්, දිවි පැවැත්මෙහි සරල භාවයත්..වගකීම් හා බැඳීම් වලින් තොර නිදහස් ජීවිතයත් මහා සැනසීමක් විය...

යළි කවදාක හෝ එම සැහැල්ලූව මා හට ලැබේදැයි මා නොදනිමි.
පන්සල් සාදන්නට.. මිනිසුන් හදන්නට..ගොස් මා මාවම නැති කරගත් බව මට අද සිතේ...

බණ දහම් කොතෙක් දැන ගත්තත් ඒවා අනුව ජීවත් වීමට හිත හදා ගැනීම පහසු නැත...
බණ කියන්නට ලේසිය..නමුදු අනුගමනය කරන්නට යාම ඉතා දුෂ්කර කටයුත්තකි.
කෙනෙකුට දැන් වූවත් කියන්නට පුළුවන් දේ නම්..

ඇයි ඉතින් කල්පනා කර කර ඉන්නේ දැන් උනත් බැරියෑ..යන්නයි...

නමුදු කියනා තරම් කරනා විට පහසු නැත..එසේ පහසු නම් මා නොකර සිටින්නේද නැත...

රෙරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ දස පාරමිතා පිළිබඳව ලියවුනු පොතේ නෙක්ඛම්ම පාරමිතාවට අදාළ කොටස කියවන්නට ඔබට මෙ වන විට ලැබී ඇද්දැයි මා නොදනිමි..හැකිනම් සොයාගෙන කියවන මෙන්ද ඉල්ලා සිටිමි.
අත හැරීම කොතරම් අපහසුදැයි මා දනිමි.

වරක් හෝ කිහිපවරක් මා අතහැර ඇත්තෙමි.

ඒ අතහැරි දේ කිසිවක් මා නැවත ලබා නොගත්තෙමි.
නමුදු එකක් අත හරින විට වෙන දෙයක් අල්ලා ගතිමි. ඒ දේ අත හරින විට නැවත වෙනත් දෙයක් අසුවෙ...

අදටත් මා අල්වාගෙන සිටිමි... එය කවදා අත හැරේදැයි නිෂ්චිතවම කිව නොහැක....

නමුදු එය අත හැරීමට මා හට නොහැකි වෙතැයි මා නොසිතමි...
සසර පුරුද්ද බලවත්ය...
එම පුරුද්ද මා තදින් බැඳ දමා ඇත.
ගැටය ලිහාලිය යුතුය..
නමුත් පහසු නැත..

සටන ඇත්තේ මා සමගමය..
මගේ සිත සමගමය...
එය දිනන්නට හෝ පරදින්නට හැක්කේ මටමය..
පරදින අවස්ථා බොහෝය..
එක් වරක් පැරදුනද නැවත නැවතත් උත්සහ කල හැකි වීම වාසනාවකි.
කීවරක් පැරදුනද දිනිය යුත්තේ එක් වරක් පමණි.
එම දිනුම ස්ථීරය.

දහම් පාසල ඇසුරු කර ගත් කිහිප දෙනෙක් පන්සලේ දියුණුව පිළිබඳව උනන්දු වූවද නිසි නායකත්වයක් නොමැතිව එය කළ නොහැකි බව මා හට පැහැදිලි වෙමින් තිබුණි. නමුත් එයට නායකත්වය දීමට මා සිතා නොසිටියෙමි.

එම වසරේ අප්‍රියල් මාසය මා හට සුවිශේෂී වූයේ මෙවන් පසුබිමක් තුළය...
ඒ වර්ෂ 2003 අප්‍රියල් මාසය විය...
.....................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

පන්සලේ ජීවිතේ...නැවතත් පෙර සේ...

"ඇයි රූපරතන අයියේ මොකද වෙලා තියෙන්නේ..?"
පැනය චන්ද විමල හිමියන්ගෙනි.

"නෑ පොඩි හාමුදුරුවනේ අර හාමුදුරුවෝ උදේ ගියා ගියා මයි තවම ආවෙ නැහැ..මට හිතෙන්නේ ආයේ එන එකක් නෑ වගේ.."

"ඒ මොකද..?"

"මම උදේ ආව වෙලේ මට යතුරු ටිකත් දීලා ගියා.. යන දිහාවක් කිවුවෙත් නැහැ..එන වෙලාවක් කිවුවෙත් නැහැ..."

"ආ..ඒකද.. ඒ උනාට ගිය තැනකින් එන්නේ නැතෑ..කොහොමටත් පහුගිය දවස්වලත් පන්සලේ රෑට හිටියේ නැහැ..උදේට තමයි කොහේදෝ ගිහින් එන්නේ.."

"ඒ උනාට මට හිතෙන්නේ නම් එන එකක් නැහැ වගේ.. ඒ තරම් හදිසියකින් යන්න ගියේ..ඒ විතරක් නම් මදෑ.."

"ඇයි තව මොකද වෙලා තියෙන්නේ..."

"නෑ උන්නාන්සේ ඊයේ හවස කොහේදෝ ගාටලා කාවද හොයාගෙන ඇවිත් උණ ගස් වගේකුත් කපලා විකුණුවා..ඒත් ඉතින් මං මොනවත් කියන්න ගියේ නැහැ..දැන් ඉතින් මෙවා උන්වහන්සේට කැමති විදියට කරන්න දෙන්න එපැයි..අද උදේ හදිසියෙන් ගියාට පස්සේ මම වට පිට බලනකොට තමයි දැක්කේ බිම වැටිලා තියෙන තැඹිළි නැටි.."

රූපරතන අයියා එසේ කියනවාත් සමගම අප දෙදෙනාගේම ඇස් ඉඛෙම වාගේ අසල තිබූ තැඹිළි ගස් මුදුන් දක්වා එසවිණ...තැඹිළි ගස්වල තිබූ මොරාපු සහ මෝරාගෙන එමින් තිබූ එකඳු හෝ තැඹිළි ගෙඩියක් නොවිණි.

අප දෙදෙනාටම සිනා ගියේ එකවිටය...

"මට පේන්නේ චන්දවිමල හාමුදුරුවෝ..යාළුවා එක දවසට ගේම දීලා වගෙයි..."

"ඒ වගේ තමයි අයියේ පේන්නේ...ඇති යන්තම් බෝධිය ඛෙරුනා..."

අප රූපරතන අයියා අතැතිව තිබූ යතුරු කැරැල්ල ලබාගෙන ආවාසය විවෘත කලෙමු.
කිවහැකි හානියක් එහි නොවිණි. ධාතු කරඩුව සුරක්ෂිතය... අප සැනසුම් සුසුමක් හෙළු අතර..රූපරතන අයියා ලවා ගුණරතන හිමියන්ට තත්වය දන්වා පණිවිඩයක් ඇරීමු. ඒ හැර සුමන හිමියන් වැඩමවීමට මුල් වූ පිරිසෙහි කිහිප දෙනෙකුටද තව දිනක් දෙකක් ගිය පසු දැන්වීමට තීරණය කලෙමු.

පසුවදා දහවල් වන විටත් සුමන හිමියන් නොවෙ ඒ පැත්ත පළාතක ආවෙ...

දින කිහිපයක් යන විට ගම්වාසීන් මෙය දැන ගත් අතර ඥාණාලෝක හිමියන්ට මෙහි අයිතිය පවරා දී ඒ මතින් පන්සල ආක්‍රමණය කිරීමට උත්සහ කල පිරිසේ කිසිවකුත් ඊට පසු දක්නටවත් නොවීය...

අප පුරුදු පරිදි නැවතත් දිවි ගෙවීමට පුරුදු වූයෙමු...

.........................................

සුමන හිමියන් පිළිබඳව යළි සෑහෙන කාලයකින් තොරතුරක් අසන්නට නොවුණු අතර එයින් වසර කිහිපයකට පසු මා පැවිදි උපසම්පදාව ලැබීමෙන්ද පසුව දිනක් අප සිටි තැනින් සැතපුම් හත අටකට දුර නගරබඳව තිබූ දාන ගෙයකදී මට ඔහු මුණ ගැසිණි.

විසිනමකට ආසන්න හාමුදුරුවරුන්හට පිළි ගැන්වූ දානයේ සග මහළු පිළිවෙලින් අසුන් පනවා තිබූ අතර සුමන හිමියන් වැඩ උන්නේ මා වැඩ සිටි තැනටත් බොහෝ දුරකිනි..
හේතුව පන්සල භාරදීමෙදී ඥාණාලෝක හිමියන් විසින් වයෝවෘධ උගත් උපසම්පදා හිමිනමක් ලෙස හදුන්වා දී තිබූ සුමන හිමියන් ඒ වන විටත් උපසම්පදා නොවූ..පිරිවෙනක ආවතේව කරමින් සිටි භික්ෂුවක් වීමය..

දානය පිළිගන්වන අවස්ථාවෙදී දානය භාර පන්සලේ හිමියන් විසින් වැඩමවා වඳාළ හිමිවරුන් හදුන්වා දීමෙදී මා පිළිබඳව විශේෂයෙන් සඳහන් වූ විට සුමන හිමියන් හිස ඔසවා මදෙස බලනු මා දුටිමි...

දානය අවසන මා අසලට විත් වැද නමස්කාර කළ සුමන හිමියන් මා හා ලෙන්ගතුව කතා කළ අතර..පසුගිය කාලය සිදුවීම් පිළිබඳව මා උන්වහන්සේගෙන් නොවිමසා සිටියේ එය උන්වහන්සේට අපහසුවක් ගෙන දෙන මතකයක් බව දැන උන් බැවිනි.

"මට දැන ගන්න හම්බඋනා දැන් එහේ වැඩ ඉන්නේ ඔබ වහන්සේ බව අපේ පරිවෙනාධිපති හාමුදුරුවොත් කීප දවසක්ම ඒ පන්සලයි ඔබවහන්සේ ගැනයි කතා කරනවා මට ඇහුනා..බොහෝම සංතෝෂයි...
දැන් එහෙ ඉස්සරට වඩා හුගාක් දියුණුයිලූ නේද..?"

"ඉස්සරට වඩා නම් දැන් ටිකක් හොඳා..ඒත් ඉතින් තව කරන්න වැඩ බොහෝමයි..පුළුවන් වෙලාවක සුමන හාමුදුරුවෝ ඒ පැත්තේ ඇවිත් යන්නකෝ..."

"හොඳයි අපේ හාමුදුරුවනේ මම එන්නම්කෝ..."

එයින් පසු නැවත මෙ වන තුරු මට සුමන හිමියන් මුණගැසී නැත..
උන්වහන්සේ මා බැළීමට හෝ පන්සල බැලීමට හෝ පැමිණියේද නැත.

...................................................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

09 August 2010

රියල් නිධාන කථාව...

කොහේද ඉස්සෙල්ලා කියන්න කියලා හැදුවට කියන්න උනායෑ...
ඔන්න දැන්නං කියනවා කියනවාමයි.

ඉතින් මුලින්ම ගාථාව බලලා ඉන්නකෝ...

හරි..දැන් කතාව..මට මතක හැටියට...

ඔය කට්ටිය දන්නවා නේද කොසොල් රජතුමාව...
නොදැන කොහොමද..?

ඉතින් මෙ කොසොල් රජ්ජුරුවෝ අපේ බුදු හාමුදුරුවොත් එක්ක පුදුම සමීප ඇසුරක් තමා තිබුනේ..
එහෙම කියද්දී මතක් උනේ..මම මෙ කතාව කියපු වෙලාවක පංතියේ හිටපු කටකාර කොල්ලෙක් කියනවා..බුදු ෆිට් එකක්ද තිබුනේ කියලා...
අනේ ඉතින් ඌ පොඩි එකානේ...

හා හා..ආයෙත් කතාවට...

ඉතින් මෙ කොසොල් රජ්ජුරුවෝ මොන තරම් වෙහෙර විහාර වලට ආවා ගියා උනත්, මොන තරං දන් පින්කම් කලා උනත් මෑන්ස් ටිකක් මැන්ටල් වැඩ කරන හාදයා...
මට පවු කියලත් හිතෙනවා මෙයාලා..අන්තිමට රජා මලෙත් පාරේ අම්බලමක නෙව..සීතලේ බඩගින්නේ...
ඒ කතාව පස්සේ දවසක කියමුකෝ..(කවුරු හරි මට මතක් කරන්ට ඔන හොඳද..?)

ඉතින් කතාව මෙකයි..

දවසක් අපේ කොසොල් රජු ටිප් ටොප් එකට සැරසිලා වීදී සංචාරය කොරන වෙලාවෙ දැක්කා නෙව එක්තරා ඉස්තිරියක්..
මෙක ටිකක් පිස්සු හැදිලා ආයෙත් හැදෙන අන්දමෙ රූපකායක් තිබුනු ඩයල් එකක්.
පිස්සු පීකුදු.

ඉතින් අපේ මෑන්ස් ඒ කිවුවෙ රජතුමාත් මෙ ඩයල් එක දැකලා හරියට නිකං අයිස්චරියා දැකපු රංජන් රාමනායක වගේ කොරවෙලා හිටියා.

දැන් ලොක්කට ආසාවෙ බැහැ මෙ ඇත්තිව තමන්ගේ සිරියහන් ගබඩාවට කැන්ද ගන්න.
ඔන්න ඉතින් අහන්න එපා ඒ මක්කටැයි කියලා...අර කොටු කොටු දාන දර්ශනයක් රගදක්වන්ට වෙන්න ඔන මයෙ හිතේ...

ඉතින් මෙ ගැන හිතලා රජා මොකද කලේ...
යැවුවා තමන්ගේ ළගම හිටිය ඇම්බැට්ටයෙක් විස්තර ටිකක් හොයං එන්ටය කියලා...
දැන් ඉතින් මට ඔන්න තවත් කතා මතක් වෙනවා...

මෙ වෙන වෙන ගෑනු ගැන හෙවුවට මොකද කොසොල් රජ්ජුරුවන්ටත් හරි අපූරු බිරින්දෑ පොඩ්ඩක් හිටියා නෙව.
මල්ලිකා දේවී...

ඔයාලා අහලා ඇති අර පන්සල හතර මායිමෙ යන්ට අකමැති දේවියව පන්සල් යවන්ට රජතුමා කවීන් ලවා පන්සලේ ලස්සන කියලා කවි ගොතවලා..ඒ කවි බිසවට ඇහෙන්ට ගායනා කරවපු නිසා ඒ කවි අහලා පන්සලේ සිරි බලන්ට ගිය දේවිය දන්නෙම නැතිව බුදු හාමුදුරුවෝ ළගට ගිහින් එතන ඉන්නකොට බුදු හාමුදුරුවෝ මවලා පෙන්නපු ලස්සන කාන්තාවෝ දෙන්නා ටික ටික වයසට ගිහින් අන්තිමට දිරලා යන ආකාරය දැකලා එච්චර කාලයක් තමන්ගේ රූපය ගැන ආඩම්බරයෙන් හිටිය බිසවගේ ගණන් බැහැලා පිනට දහමට යොමු වෙච්ච කතාව...

අන්න ඒ කතාවෙ ඉන්න දේවියම තමයි මෙ මල්ලිකා දේවිය..
ඔයාලා ඒ කතාව අහලා තිබුනට උන්දෑ අපායේ ගිය කථාව දන්නේ නැහැ නේද..

එතකොට අද හුගාක් රූපවාහිනී නාලිකා වලින් පට්ට පතුරු ගහන ඇසි දිසි එහෙමත් නැත්තං අසදෘස කියන වචනයට අදාළ දානය දුන්න කාන්තාව ගැන..
ඒ කියන්නේ අසදෘෂ මහා දානය පිළිබඳව කතාවත් ඒ දානය දුන්නේ කොහොමද..? ඇතුන් මදි වෙලා වෙච්ච කේස් එහෙම..?පස්සේ වෙලාවක අහන්ටකෝ මං කියා දෙන්නම්.

හරි අපූරු කතා ටික..

හා හා ආයෙත් කතාවට...

ඉතින් අර රජ්ජුරුවන්ගේ ගේම් එකට ගිය ගොබිලා කරුණු කාරණා හොයාගෙන අපහු ආවා..
ඒත් ගෙනත් තිබුණු නිව්ස් එක නම් එච්චර හොඳ නැහැ.

ඒ ඇයි..?

අර කාන්තාව දැනටමත් විවහා වෙලා නෙව..මළ කෙළියයි. දැන් මොකක්දෑ කොරන්නේ..?

මොනවා කළත් දැන් රජාට මෙ ගෑනු පරාණේ එක දවසකට හරි තමන් ළගට ගන්න ඔනේ..

ඒත් ඉතින් මනුස්සයෙක් ඉන්න ගෑනියෙක් බලෙන් ගන්න එක තත්වෙට හරි මදි.

ඉතින් මෙයා තමන්ගේ ටිකිරි මොලේ පාවිච්චි කරලා විසදුමක් හොයා ගත්තා..
ඒ තමයි මෙ කාන්තාවගේ පුරුෂයා රාජ උදහසට ලක් කරලා මරලා දාන්ට..ඊට පස්සේ බැරියෑ අර තනි උන කාන්තාවට පිහිටක් වෙන්න..

ඉතින් දවසක් රජ්ජුරුවෝ අර කාන්තාවගේ ස්වාමි පුරුසයට රජ ගෙදරට එන්න කියලා පණිවිඩයක් ඇරියා.
පොරත් බයේ ගැහි ගැහී ගියා බලන්ට මොකක්ද මෙ උවමනාව කියලා බලන්ට. මොකද මෙ වෙනකොටත් අර කාන්තාව තමන්ගේ ස්වාමි පුරුසයාට කියලා තිබුනේ රජ්ජුරුවෝ පාරෙ යන ගමන් තමන්ව දැකලා කෙළ හල හල ගිය විත්තිය.

කොහොම හරි රජ ගෙදරට ආපු මනුස්සයට රජ්ජුරුවෝ වැඩක් පැවරුවා..ඒ වැඩෙ එදා හවස් වෙන්ට කලියෙන් කොරන්ට ඔනය කියලා...

වැඩෙ කොළොත් තෑගි බෝග..
බැරි උනොත් ඉතින් රාජ උදහස..
කාලා වරෙංකෝ නේද..?

ඉතින් මක්කද මෙ පැවරුව වැඩෙ..?

හරි සිම්පල් මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ..

දැන්ම ගෙදරින් පිටත් වෙනවා..කෙළින්ම නුවර ප්‍රධාන දොරටුවෙන් පිටවෙලා..ගිහිල්ලා නුවරින් පිටත සතර ගවුවක් දුරින් තියෙන ජලාශයට ගිහින් හවස රජ්ජුරුවෝ නාන වෙලාවට කළින් කඩුපුල් මලූයි අරුණුවන් මැටියි අරගෙන එන්න ඔන..

මෙ කඩුපුල් මල්නං මම දැකලත් නැහැ..අර අටපට්ටමෙ හසන්ත උන්නැහේනං කඩුපුල් මල් කියලා මොනවද එක පාරක් පෙන්නුවා..ඒත් ඒවා කඩුපුල් මල්ද කියන්ට මම දන්නේ නැහැ ඔං..
අරුණුවන් මැටිද..?ඒවත් එහෙම තමයි ඒවා මම දැකලත් නැහැ.
නොදන්න මගුල් ගැන කියන්ට මම දන්නේ නැහැනේ...

ඉතින් අර මනුස්සයට තේරුනාළු මට ඉතින් බඩු බනිස්ම තමා කියලා මොකද මෙ කියපු ජාති දෙකම තියෙනවා කියන්නේ නාග ලෝකේ විතරයිලූ නෙව...

මොනවා උනත් දැන් ඉතින් කරන්ට එපැයි කියලා හිතලා අර මනුස්පයා විගහට ගෙදර දුවලා තමන්ගේ බිරින්දෑටත් මෙ විත්තිය කියලා ගමන යන්ට පිටත් උනා..ආ ඒ යන්ට කළින් ගෙදර ලිපේ බාගෙට ඉදෙමින් තිබුණු බත් මුට්ටියෙන් බත් ටිකකුත් මුලක් බැදගෙන තමයි ගියේ..

කොහොම හරි දැන් මෙ මනුස්සයා අර කියාපු පොට් එකට ගියා කියමුකෝ...
පොරට දැන් හරි මහන්සියි.ඇයි යකඩෝ ගව් හතරක් කියන්නේ හැතැප්ම දාසයක්නෙව..

ඉතින් අර අරගෙන ආපු බත් මුල ලිහලා පාරේ හිටිය දුගියෙක-ටත් බාගයක් දීලා තමනුත් කාලා, ඉතිරි ඇට ටික ජලාසේ හිටිය මාළුන්ට කන්න දුන්නා..ඒ දීලා කරලා අහක් වෙලා දැන් මෙයා ජලාසේ දිහා බලාගෙන අඩනවා..

මෙ ඇඩිල්ල අහගෙන හිටපු ජලාසෙට අධිපති දෙවියා එක පාරට මතු උනා..
අනික දැන් අපේ බුවා පින්කම් දෙකක්ම කරගෙනනේ ඉන්නේ..
ඉතින් දෙවියෝ අනත් බලන්න එපැයි.

ඉතින් මෙ දෙවියා කිරියාත්මක වෙලා අර හොයාගෙන ආපු කඩුපුල් මල් සහ අරුණුවන් මැටි කියන ජාති දෙකම ගෙනත් දුන්නයි කියමුකෝ..

දැන් අපේ මෑන්ස් එනවා හිටු කියලා ආපහු.
ඇයි යකඩෝ හවස් වෙන්ටත් කළියෙන් මෙ අටමගල් දෙක අර රජාට දීලා දාන්ටත් එපැයි..
කොච්චර ආවත් ගමනේ නිමක් නැහැ.
අන්තිම ටික කියලා දන්නවා උනත් ඒ ටික දුරත් හෙන දිගයි වගේ දැනෙනවා.
කොහොම හරි අමාරුවෙන් ආවා කියමුකෝ...

ඒත් වැඩෙ හබක්..ඒ මොකදෑ..

රජා මෙ වැඩෙ අර මෑන්ස්ට පැවරුවෙ කරන්ට බැරි බව දැන දැන උනත් මොන මළ දානෙකින් හරි මෙවා හොයාගෙන ආපහු ආවොත් වැඩෙ අප්සෙට් යන නිසා වෙලපහම නුවර දොරටු වස්සවලයි තිබුනේ.

දැන් මක් කරන්නද අර මනුස්සයට කර කියාගන්න දෙයක් නැහැ..බුවා අඩ අඩ නුවරින් එපිට අම්බලමක රැය පහන් කොරන්ට පටන් ගත්තා.

දැන් රජ්ජුරුවොත් පුල් හැපී එකේ දොයි..ඇයි හෙට උදේම අර මනුස්සයා අල්ලගෙන රාජ අණ ඉටුකොරන්ට බැරි උන වරදට ඒකා උල තියලා..ඊට පස්සේ අර ඇත්තිව රාජ සන්තක කොරලා..ඊට පස්සේ අර සිරියහන් ගබඩාවෙ කොටු කොටු කතන්දරේට අල්ල ගත්තහැකිනේ...

ඒත් වැඩෙ කියන්නේ මහ රෑ රජාට මාර මගුලක් උනා.

ඒ කිවුවෙ හීනෙන් බය වෙලා ඇහැරුනා.

එකපාරට රජ්ජුරුවන්ට මහ භයානක හඩින් දු-ස-න-සෝ කියන අකුරු හතර මහ හඩින් අමනුස්සයින් විසින් කියනවා ඇහිලා තමයි නැගිට්ටෙ..ඒ අකුරු ඇවිල්ලා ගාථා හතරක මුලකුරු..මට ගාථා හතරනම් මතක නැහැ.
පළවෙනි එක නම්
දුජ්ජීවිතං අජීවිම්හ යේ සන්තේ න දදම්හසෙ
විජ්ජමානෙසු භොගෙසූ දීපං නා කම්ම අත්තනො
වගේ තමයි යන්තං මතක..

කොහොම හරි දැන් රජා බය වෙච්ච පාර නිදි නැතිව ඉන්නවා..දැන් එළි වෙයි..දැන් එළිවෙයි...
කිය කිය හිත හිතා. ඒත් එළි වෙන පාටක් නැහැ..
අන්තිමට අමාරුවෙන් අමාරුවෙන් ඉදලා එළි වෙච්ච ගමන් දිවුවා ලකලෑස්ති වෙලා බුදු හාමුදුරුවෝ හොයාගෙන..

ඒ මොකද මෑන්ස්ට මොකක් හරි බය හිතෙන දෙයක් උණ ගමන් ගිහින් බුදු හාමුදුරුවන්ගෙන් අහන්න පුරුදු උනා..
ඒකත් උනේ අර ප්‍රසිද්ධ හීන දහසයේ කතාව නිසා. දන්නවනේ ඒ කතා ටික නේද..අනේ මටනම් කියන්ටයි කියන්න එපා ඔං මට ඒ ඔක්කෝම හීන ටික මතක නැහැ.

ආයෙත් තව පොඩ්ඩෙන් පීළි පනිනවා...

ඉතින් බුදු හාමුදුරුවෝ හම්බ වෙච්ච අපේ මහරජ කොසොල් තමන්ට වෙච්ච..එහෙමත් නැත්තං අහන්න වෙච්ච අර භයානක ශබ්දය පිළිබඳව විමසා සිටිය වෙලාවෙ..අපේ බුදු හාමුදුරුවෝ කියා දෙනවා වෙච්ච දේ...

අර ශබ්දය නගලා තියෙන්නේ ඒ වෙනකොට අපාගත වෙලා හිටපු පෙර කල විසූ සිටුවරු හතර දෙනෙක් තමයි.
ඒ හතරදෙනා තුන්වෙනි සිල්පදේ කඩලා. එහෙමත් නැත්තං හොඳට කොටු පැනලා ජීවත් වෙච්ච උදවිය..

ඒ උදවිය ජීවත්ව හිටි කාලේ ධන සම්පත්,භවභෝග සම්පත් ඇති තරම් තිබියදීත් කිසිම පිනක් දහමක් නොකර..
නිතරම තම තමන්ගේ ශරීරය පිනවන්න කටයුතු කොලා විනා කිසිම හොඳ වැඩක් කරලා නැහැ.
ඉතින් පුළුවන් තරම් පවු වැඩ විතරක් කොරපු මෙ උන්දලා ටික මිය පරලොව ගිහින් අවීචි මහා නරකාදියේ මහ ගිනි හැළියක දැවෙමින් ජීවත් වෙනවා..
එහෙම ජීවත් වෙන ගමන් ඒ ගිනි හැළියේ ඉහළ පහළ යනවා. ඉතින් උන්දලා තමයි මෙ තමන් විදින දුක ගැන ගාථා හතරකින් කියන්න ට්‍රයි කරලා තියෙන්නේ..
ඒත් කරුමෙක මහත එක්කෙනාට එක අකුරකට වඩ කියන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ..අර ගිනි හැළියේ ගිලෙන්න පටන් ගන්නවා...අවුරුදු ගාණකට සැරයක් තමයි මෙහෙමවත් තත්පරයකට හැළියේ මුවවිට දක්වා එන්න ලැඛෙන්නේ.
ඒ ඇවිල්ලත් එක අකුරක් විතරක් කියලා ආපහු ගිලෙන්න පටන් ගන්නවා.

ඉතින් රජ්ජුරුවන්ට අර ප්‍රේතයෝ හතර දෙනා කියපු..කියන්න හදපු ගාථාවල මුල් අකුරු හතර තමයි අර විදියට ඇහිලා තිබුනේ...

මෙන්න මෙ කාරණාව කියලා විතරක් බුදු හාමුදුරුවෝ නිකං හිටියේ නැහැ.
පරදාර සේවනය, පර පුරුෂ සේවනය, වැරදි කාම මිත්‍යාචාරය, කියන කරුණු ගැන හොඳ විස්තරයකුත් ඒ වැනි දෙයින් ලැඛෙන අහිතකර විපාකත් පැහැදිලි කරලා දුන්නා අර පෙරේතයින් උපමාවට අරගනිමින්.

දැන් රජ්ජුරුවන්ගේ මයිල් ඉස්මයිල් වෙලා..ඇයි යකඩෝ තව පොඩ්ඩෙන් තමාටත් වෙන්නේ අර වගේ අපායක පැහෙන්නනේ..

ඊට පස්සේ රජ්ජුරුවෝ අර අදහස හිතෙන් අහක් කරලා අර පුරුෂයාට තමන්ගේ බාරිත් එක්ක හොඳින් ඉන්න ඉඩ සැලැසුවා.

ඉතින් මෙ කතන්දරෙ මුල් කරගෙන තමයි බුදු හාමුදුරුවෝ අර මම කළින් කිවුව ගාථාව දේශනා කොලේ ඔං..

හ්ම්..දැන් කවුරු කවුරුත් එක්ක හිතට ගන්නවා හොඳයි.. නොදැන උනත් තමන් කරන පවු වැඩ හින්දා සසර දික් වෙනවා කියන එක.

දික් උනාටනම් අපිට මොකෝ නේද..?
හැබැයි සසර දික් වෙනවා කියන්නේ අපි තව තවත් දුක් විඳිනවා කියන එකයි.

ජාති ජරා ව්‍යාධි මරණ...

අද අපි යම් කිසි දෙයක් හෝ රාශියක් නිසා දුක් විඳින්නේද එයට හේතුව සසර දිගු වීම ඇර අන් කවරක්ද..?

ඉතින් කැමති කැමති කට්ටිය..
කැමති කැමති විදියට සසර දික් කරගෙන..ආතල් අරගෙන...ෆන් එකේ ඉන්න..
හැබැයි බලාගෙන..අර ගිනි හැළිය ඔබ එනතුරු බලා සිටී...
එදාට ඔං මං නොකිවුවයි කියලා කියන්න එපා..
දු-ස-න-සෝ තමයි.

මෙවා විහිළු කියලා හිතන්න එපා.

දීඝා ජාගරතො රත්තී..
දීඝං සන්තස්ස යෝජනං..
දීඝො බාලානං සංසාරො..
සද්දම්මං අවිජානතං...

නිදි වරන්නාට රැය දිගුය..
ගමනින් වෙහෙසට පත්වූවහුට යොදුන දිගුය..
එලෙසින්ම ධර්මය නොදත් මෝඩයාට
සංසාරය දිගය...

08 August 2010

නිධාන කථාව...

යට ගිය දවස..
මොම් මොකක්..?
යට ගිය මොකක් යටද..? වතුර යටද නැත්තං පස් යටද..?

ඔන්න ඉතින් මම මෙ ලක ලෑස්ති උනේ අර මම කළින් ලිපියක ලියාපු දිඝා ජාගරතෝ රත්තී කියන ගාථාවට අඳාළ නිධාන කතාව එහෙමත් නැත්තං හේතුපාදක උන සීන් කෝන් එක ලියන්ටයි කියලා.

ඉතින් මෙ ගැන ලියද්දී මුලින්ම කියන්ට ඔන අර පරණ පොත්පත්වල තිබුණු විදියට නං මට කතා කියන්ට බැරුවා.

නෑ..නෑ.. මම මෙ ඒ පොත්වල ෙසෙලීයට අකමැතිවත්,එහෙමත් නැතිනං පරණ හණමිටි කියලා ඒවා විසි කරන්න කියලා යෝජනා කරන නවීන පුස්සෙක් නෙවී..
හුගාක් දැන් කාලේ අය තමන් දන්නේ නැති දේ විසික්ක කොරලා දාන්න මොකක් හරි හේතුවක් හදා ගන්න උදවියනේ..

ඒකට හොඳම උදාහරණේ තමයි 'නණලළ' බේදය...

ඔක මාත් හරියටම දන්නේ නැහැ. ඒත් හැකි සෑම විටම පුළුවන් උපරිම මට්ටමෙන් රකින්න උත්සහ කරන දෙයක් තමයි. මොකද වචනයක, වාක්‍යයක නියම අර්ථය ඉස්මතු වෙන්න ඔය දේවල් ඒ කියන්නේ මෙ අක්ෂර වින්‍යාසය තව මෙ ව්‍යාකරණ ආදිය බොහෝම වැදගත් කියලා මම විශ්වාස කොරන දෙයක්.
අළුත් වචන භාෂාවට එක් වෙනවා තමයි..එහෙම නැතුව බෑනේ.. මොකද දැන් අළුතින් එන හැම එකටම අපේම කියලා වචන දාන්න යන එක ලේසි පාසු දෙයක්ය..?
නමුත් මොන වචනය ආවත් අපි දැන ගන්න ඔන ඒක නියම විදියට අපේ භාෂාවට එකතු කර ගන්න.

ඉතින් තව ටිකෙන් මම කියන්ට ආපු දේත් අමතක වෙනවා..
ඔක තමයි මට තියෙන ලොකුම ලෙඩෙ..
ඒ විතරක්ය මම දන්නවා දැන් ඔක මගේ ලියුං කියෝන හුග දෙනෙකුටත් බෝ වෙලා කියලා..
මොකද කියන්නේ බොරුද..?

ඔනනම් මෙ ලිපිය කියවලා අහවර වෙලා නැවත කියවන්නේ නැතිව කල්පනා කරලා බලමු මොන මොන මොන දේවල් ලියලා තිබුනද කියලා..මම දන්නවා කාටවත් මතක නැහැ.
මටත් මතක නැති කොට..ආයේ ඉතින් තමුන්නැහේලා ගැන කවර කතාද..?

ඉතින් මම කිය කිය හිටියේ මම පරණ කතා කියන්ට ගියාට මට ඒවා පොතේ පතේ සඳහන් විදියටම කියන්ටනං බැරුවා ඔං..හේතුව..?

ඒකත් කියන්න ඔනද..?මට මතක නැහැ..
ඒ කිවුවෙ කියවලා තියෙන පොත් පත් කන්දරාව අස්සේ තිබුණු කතා ඔක්කෝම මතක තියා ගන්ට පුළුහන් කාටද..?
ඒ හින්දා දැන් ඒ හුගාක් කථා ටැපළිලා මගේ හෙඩ් එකත් අස්පට් වෙලා තියෙන්නේ.

සමහර වෙලාවට මම කියාගෙන යන කතාවට වෙන කතාවක් බට් වෙලා..අන්තිමට කියලා තියෙන්නේ කවදාවත් කොහේවත් නොතිබුණු කතාවක්..

ඔක දන්න මගේ හොඳම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කිහිප දෙනෙක් උන්නා. ඔව් ඔව් දහම් පාසලේදී තමා.

මම ඉතින් ඉගැන්නුවෙ අට, නවය, දහය පන්තිවලටනේ..ඒ හැම පන්තියේම මගේ කතා කිවිල්ලේ කොරමෙ දන්න කට්ටිය හිටිය හින්දා..මම කතාවක් කියාගෙන ගිහින් වෙන කතාවකට ගියත් ඒ අය සද්ද නැතිව අහගෙන ඉන්නවා. ඊට පස්සේ මම අතුරු කතාව කියලා ඉවර වෙච්ච ගමන් මම අහනවා..

"ළමයි මම කොතැනද කළින් හිටියේ කියලා..?"

අන්න එතකොට මට මම කළින් කතාවෙන් මෙ කතාවට පැන්න තැන මට මතක් කරන්න පැවරුන ළමයි හැම පන්තියෙම හිටියා. අපරාදේ කියන්න බැහැ හුගාක් අය මෙ වැඩෙ නියමෙට කලා.
ඒත් ඉතින් සමහර අයට මමම මතක් කලාම තමයි මතක් වෙන්නේ.

ආ ඒක කියන කොට මට තව කතාවක් මතක් උනා..
මගේ තව ලෙඩක් තිබුනා ඉස්සර..ඉස්සර කිවුවෙ මම ගැටයා සන්දියේ..මොකක්..?ඒ කියන්නේ මම දැන් පැහිලාද...?
නැහැ..නැහැ මෙ කියන්නේ මට ඉතින් ඔය දාසයයි මාසයයි කාලේ වගේ..ඔව් ඔව් ඉතින් මගේ වැලන්ටයින් සමය..ඒ කාලේ තමා.

ඉතින් ඒ දවස්වල මම ඔය මං යාළු වෙලා හිටි ගෑණු දැරිවියන් ළගට ගියහම සමහර වෙලාවට කියන්න හිතාගෙන ගිය දේවල් අමතක වෙන වෙලාවල් තියෙනවානේ...?
සමහරු දැක්කම නං ඉතින් උන් හිටි තැනුත් අමතක වෙන වෙලාවල් හිටන් තිබුණා..හා ..හා ඒවා ඔන නැහැ මෙතනට..

ඉතින් එහෙම අමතක උන වෙලාවට මම එයාලගෙන්ම අහනවා

"මම මොකක්ද ඔයාට කියන්න ආවෙ කියලා.."ඉතින් එයාලා කියනවා

"ම්.ම්..අරකද..?"
"නැහැ අනේ..."
"එහෙනම් අරකද..?"
"නැහැ නැහැ ඒකත් නෙවෙයි.."

ඔන්න ඔය විදියට පැය ගාණක් ගියහම තමයි කියන්න ආව දේ මතක් වෙන්නේ..
සමහර වෙලාවට මතක් වෙන්නෙම නැහැ.
හැබැයි ඉතින් කාලේ ගෙවෙනවා දන්නෙත් නැහැ.

මම ඔය තියරියම පහු කාලෙක හිතාමතාම භාවිත කරන්නත් පුරුදු උනා.

ඒ කිවුවෙ හිතමුකෝ ගෑනු ළමයෙක් එක්ක කතා කරන්න මෙලෝ මාතෘකාවක් නැහැ කියලා...

ඉතින් මම එහෙම වෙලා මගේ කතා පෙට්ටිය වැහීගෙන එන වෙලාවට මෙහෙම කියනවා...

"ඒක නෙවෙයි මම ඔයාට මොනවද කියන්න හිටියේ..?"

අන්න එතකොට එයා පටන් ගන්නවා කියන්න..

"අරකද..?"
"මෙකද..?"

මට තියෙන්නේ
"නැහැ නැහැ ඒකත් නෙවෙයි.."
"ඒකත් නෙවෙයි..අනේ හොඳට මතක් කරන්නකෝ.."කියලා විතරයි.

හරිම සරල දෙයක්..

දැන් ඉතින් මෙවා ඉගෙනගෙන අපේ අනිත් කොළු සෙට් එකත් මෙ විදියට ලවු කරන්න පටන් ගනීද දන්නේ නැහැ..ඔං මම එහෙම නෑ ඕවට...

සමහරු කියයි ආදරය කරද්දී කොයිතරං දේවල් තියෙනවද කියලා කතා කරන්න.

කරපු අයම තමයි දන්නේ..?
මොකද සමහර ලවු ඉදිරියට ඇදිලා යනකොට ලවු එක නිකං ඉලවු වගේ තේරෙන කාලයක් ආවොත් ඒ කියන්නේ දෙන්නට දෙන්නා හිතපු තරං ගැලපෙන්නේ නැහැ කියලා තේරුනු කාලයක් ආවොත්..
ඒ වගේ වෙලාවට දාලා යන්නත් බැහැ..හිත රිද්දන්නත් බැහැ.
එහෙමයි කියලා වැඩෙ ඇද ගෙන යන්නත් බැහැ.

අර උණු හින්දා බොන්නත් බැරි..කිරි හින්දා විසි කරන්නත් බැරි ලෙවල් එකට ආවම..මොකද කරන්නේ..වැඩෙ නිකං ඔහේ ඇදගෙන යන්නනේ වෙන්නේ...
එහෙම උනාම විරුද්ධ පාර්ෂවයෙන් ඒක තේරුං ගන්නකල්ම අපි ඉවසන්න එපැයි.

ඉතින් එහෙම දෙන්නට දෙන්නා ගැලපෙන්නේ නැහැයි කියලා දෙන්නම තේරුං ගත්තම දවසක් එනවා..

"මෙක හරියන්නේ නැහැ නේද..? අපි මෙක නවත්තලා දාමු"
කියලා දෙන්නටම කියන්න පුළුවන් දවසක..සුහදතාවය තියාගෙන වැඩෙ නවත්තන්න පුළුවන් මට්ටමකට එනවා.
අන්න ඒ වෙනකල් වැඩෙ ඇදගෙන යන්න මම ඔය කළින් කිවුව කොරමෙ භාවිතයට ගත හැකියි.

දැන් ඉතින් මෙහෙම කිවුවම සමහරු මට පට්ට යන්න බනිනවා..මම නොදන්නවැයි අපේ අයගේ තරම.

මොනවා කරන්නද..?
මම ඇවිල්ලා ඇට්ටකුණා වෙච්ච බුවා නෙව.

ඒ කියන්නේ අකලට පීදිලා..ගහටත් නැති වැලටත් නැති උන මෙලෝ හරයක් නැති එකා නෙව.

ආදරය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කාලෙක අඩුවයසෙන්ම මාමාගේ දුව ඒ කියන්නේ මට වඩා ටිකක් වැඩිමල් මගේම නෑනාත් එක්ක ටැපළුනා...
අන්තිමට ගෙදර උදවියගේ රහසිගත මෙහෙයුමක් උඩ ඒ කේස් එක ඉවර උනේ කෙල්ල මටත් හොරෙන් බන්දලා දීපු එකයි...

ඒ බූට් එක කාලා මම සැපසේ කණ පැලෙන්න අඩියක් පුඩියක් දාගෙන ඉඳලා ඊට පස්සේ තව තව කීපෙක පැටළුනා කියමුකෝ... පස්සෙන් පහු හරියනවා කියලා හිතුනු සම්බන්ධතා දෙකක් මටත් ඇති උනා තමයි.

එකක් මගේ හොඳම යාළුවෙක් උන චමියගේ චූටි නංගී..
අනික මගේ හොඳම දායිකාවක් උන ....ටීචර්ගේ චූටි දුව...

පළවෙනි එක එයාගේ තාත්තාට දුකක් දෙන්න අපි දෙන්නටම බැරි හින්දා නැවතුනා.
දෙවෙනි එක එයගේ අම්මට දුකක් දෙන්න අපි දෙන්නටම බැරි නිසා නැවතුනා..

දැන්නම් ඉතින් ජීවිතෙත් නැවතුනා වගේ තමයි.

"ආ...ළමයි මම කොතනද කිය කිය හිටියේ...?"

අද හොඳ දවසක්...සමා වෙයන්..සහ තවත්...

අද හොඳ දවසක්...

ඔන්න පැය තිස් හයකට පස්සේ ගෙදරට කඩං පාත් උනා.
අද ඉරිදා දවසේ මම හිතන් ඉන්නේ චිත්‍රපටයක් බලන්න යන්න කියලා.
ගම්පහ නයෝමි එකට බඹර වළල්ල ඇවිත්.
ඉතින් 10.30 බලන්න යන්න තමයි කල්පනාව.
ෆිල්ම් එක එන්න කළින් දාපු පූර්ව ප්‍රචාර පටවලට අනුව මෙක හොඳයි කියලා හිතෙනවා..ඒත් අර වෙලක් පුරා දුවන දර්ශනය නම් මොකක්ද කියලා හිතාගන්න බැහැ.මට හිතෙන හැටියට කථාවට ගැලපෙන්නේ නැති මොකක් හරි බලෙන් එබ්බවිල්ලක් වෙන්නත් ඇති කියලා හිතෙනවා..බලමුකෝ..ගිහින් බලලම තමයි තේරුං ගන්න වෙන්නේ.

ඒ එක්කම දුකාගෙන් සමාව ඉල්ලා සිටිනවා ඊයේ වෙච්ච දේට.
උඹගෙන් කෝල් එක එනකොට මම හිටියේ හෙන කෝඩෙකට අහුවෙලා.
අපේ කාන්තා ආරක්ෂක නිලධාරිනියක් පරීක්ෂා කරපු ලෝඩින් එකක් අප්සෙට් ගිහින්..ඒක චෙක් කරනවා.
වාහනේ යවන්න පරක්කුවෙන හින්දා ඉක්මන් කරන්නත් ඔන..ඒත් සැකයක් තියාගෙන යන්න දෙන්නත් බැහැ..ඒ හින්දා මම ඒක කොනක ඉඳලා චෙක් කරන්න පටන් අරගත්තා.
ස්ටෝර් කීපරුයි මෙකියි වැඩෙ අනාගෙන..නාගෙන හිටියේ.
පස්සේ මම ගිහින් වැඩෙට අත ගහලා විනාඩි දෙකක් විතර යනකොට තමයි දුකෝ කෝල් එක ආවෙ..

ඉඳලා ඉඳලා උඹ මට කථා කරපු පළවෙනි පාර හින්දා කථා නොකරත් බැහැ. කොහොමත් මම වැඩ කරන වෙලාවට ෆොන් එක පැත්ත පළාතේ ගන්නේ නැහැ.
ඒත් නොදන්න අංකයක් හින්දා බැළුවෙ..
මොනවා කරන්නද මගේ වරද..අංකය දෙන ගමන්ම මම වැඩ වැඩි වෙලාවල් ටික කියලා තිබුනානම් අවුලක් නැහැ.ෂිහ්...
සමාවෙයන්අයියේ හිත රිදුනානම්...

අර මම කළින් කිවුව කථාවෙ නිධාන කථාවත් කෙටියෙන් හරි කියලා දාන්න ඔන අද හවසටවත්.
එතකොට තමයි මතක් උනේ ඇයි මම මෙච්චර දවසක් බණ කථා..විශේෂයෙන්ම අපේ ධර්මසේන හිමියන්ගේ සද්ධම්ම රතනාවලිය එහෙමත් නැත්තං මෙ ධම්ම පදට්ඨ කථා වලට නොගියේ ඇයි කියලා..දෙයියනේ මට තව ලියන්න කොයි තරම් දේවල් තියෙනවද..
මම දන්නේ නැහැ මෙ කථා ටික ඔක්කෝම කියලා දාන්න මට තව කොයි තරම් කල් ඉතිරි වෙලා තියෙනවද කියලා...
පන්සල් කථාව තාම පටන් ගත්තා විතරයි..එහෙං ජුංගේ කථා වැල..ඒක මැද්දේ නවත්තලා තියෙන්නේ..ඒ අතරට බණ කතාත් පටන් අරන් කොහොමද..?
විශේෂයෙන්ම මම මගේ පංතිවල හිටපු කොල්ලන්ට කෙල්ලන්ට බණ කතා කියා දීපු ස්ටයිල් එකට...

තව ඉතින් මගේ ගරාජ් කතා..මෙසන් බාස්ලගේ කතා...මම දන්නේ නැහැ කවදා මෙවා කියන්න හම්බ වෙයිද කියලා.
ඉස්කෝලේ කථා නං අපේ තටු ආපු ඉබ්බයි..බ්ලොග් ගඩොල් ලියන ඥාව්වෝ ටිකයි ලියන හින්දා ඒවා නම් අතහැරලා දාතෑකි.

අනිත් ඒවා...
අනේ පින් ඇති කවුරු හරි ඉන්නවනං මට මෙ කොටන වැඩෙ නවත්තලා කියවන විට අකුරු ටික ඉඛෙ කෙටෙන මොකක් හරි ගැජමැටික්ස් එකක් හොයලා දියෝ...
නැත්තං ඉතින් මම ඉන්න තැනකට වරෙල්ලා නැත්තං මෙවා කවදාවත් කියලා ඉවර කරන්න වෙන්නේ නැතුවා ඔං...

06 August 2010

අප කෙතරම් දුරින්ද..?

දීඝා ජාගරතො රත්ති
දීඝං සන්තස්ස යෝජනං
දීඝො බාලානං සංසාරො
සද්ධම්මං අවිජානතං

නිරිවරාගෙන රැය ගත කරන්නට සිදු වූ අයෙකුට රැය ඉතා දීර්ඝ කාලයක් වනු ඇත.
පයින් ගමනක් යන්නෙකු එම ගමන බොහෝ දුරක් ගොස් වෙහෙස වී සිටියදී, තවත් ඉදිරියට යෑමට ඇති යොදුන වූවද මහා දුරක් වන්නේය..

එලෙසම..

සද්ධර්මය නොදත්තා වූ ප්‍රමාද වූ තැනැත්තාහට මෙසසර කෙතරම් දීර්ඝ නොවෙත්ද..?

04 August 2010

කිතුල් රා...ඛෙබදු කතා...

අද දවල් ලියලා දාපු පන්සලේ කථාව ලියලා ඉවර වෙන කොටම තමා මෙ කථාවත් මතක් උනේ..ඒ පාර මේකත් අදම ලියනවා කියලා හිතාගත්තට හවස් වෙනකල්ම බැරි උනා.
ඒ අතරේ අපේ දුමී සහෝදරයත් ලියාපු දෙයක් නිසා මට මෙක ලියලා දාන්නම ඔන උනා කියමුකෝ.

මෙ වැඩෙ සිද්ධ වෙන්නේ එක්දහස් නවසිය බර ගණන් වල තමා ඔං..එහෙම කිවුවට මොකෝ ආයිබෝං වැඩි කාලයක් එහෙම නෙවෙ ඉතින්..මට සිහි නිච්චි තියෙන හැටියට.දන්නවනේ ඉතින් මෙ වෙලාව වෙන කොට මාරයාගේ සිහිය ඒ තරම් හොඳ මට්ටමක නැති විත්තිය.. ඔව් ඔව් ඉතින් පස්වෙනි සිල් පදේ කැඩීමෙ සුපුරුදු ආනිසංසේ තමා..

කොහොම හරි මට මතක හැටියට 1997 වගේ තමා..

ඔන්න ඔය කාලේ මම දවසක් අපේ මහප්පාගේ පුත්තරයා..එහෙමත් නැත්තං මගේ අයියා වෙච්ච එකා.. ඔකා ගැන ලියන්න වෙනම ලිපියක් දාන්න වෙනවා. මොකද මම අද කෙළින පිස්සුවලට මූලික හේතුව මෑන්ස් තමා.

දැන්නම් මම දන්න විදියට මිනිහා නවසීලන්තේ ඉන්නවා යහතිං.. පොර මාර බුවා..බැරි දෙයක් නැහැ. ඒකගේ තාත්තා ඒ කිවුවෙ මගේ මහප්පා වගේම තමා...
මහප්පා වගේම තමා කිවුවට උන්දෑ මිය පරළව ගියේ මම ඉපදෙන්නත් අවුරුදු දෙක තුනකට කළිං නං තමා.

ඉතින් මෙකත් මං වගේම තමා..මාත් මෙකා වගේම තමා.

අපි දෙන්නටම පොදු ලක්ෂණ හුගාක් තියෙනවා.

ඒ අතරින් පළවෙනි එක තමා අපි දෙන්නම දන්න දෙයකුත් නැහැ..ඒ වගේම නොදන්න දෙයකුත් නැති වීම..

අපි දෙන්නම ඔය යන්තර සූත්තර ගලවලා බලන්න සහ ඒවා ආයේ කවදාවත් හදන්න තියා හිතන්නවත් බැරි විදියට කඩා බිඳ දාන්න නියම හපන්නු.
ඒ වගේම තමා ඔනම ගැජ මැටික්ස් එකක් ටික වෙලාවක් අතපත ගාලා ඒක කිරියා කොරන විදිය තේරුම් අරගන්න තියෙන හැකියාව..

අපි දෙන්නම යකඩ කෑලි වලට දැක්කුවෙ පුදුම ආදරයක් තමා.

කොහොම හරි මෙකා කාලයක් හමුදාවට ගියා..ඒ ගිහින් පුහුණුව එහෙම ඉවර කරලා ටික කාලයක් ගිහින් හමුදාවෙන් පැන්නා.
ඊට පස්සේ රට ගියා..ඒ ගිහිල්ලා අවුරුදු පහකට විතර පස්සේ ආවා..
මං වගේම තමා ආයේ ඉතුරු කොරාපු දෙයක් නැහැ.

ඒ එනකොට ගෙනාවා..ඔය වී.එච්.එස්.පටි තොගයකුයි ඒවා බලන්න ඩෙක් එකකුයි..
ඉතින් මගේ වැඩෙ ඉස්කෝලේ නොයා ඒවා බල බල ඉන්න එක තමා.
ටීවී, ෆිජ්, වොෂින් මැෂින්, රේඩියෝ ඇරුනම සල්ලි නම් බොහෝම ටිකයි ලොක්කා අරන් ආවෙ.

ආ තව දෙයක් ගෙනාවා..ඒ තමයි අතේ ගෙනාපු බී්‍රෆ් කේස් එක පුරෝලා සිගරට්..
මෑන්ට එකක් නිවෙන කොට එකක් සිගරට් ඔන..අපි දෙන්නාගේ වෙනසක් තිබුනානං ඔච්චර තමයි.
මිනිහා නැගිටින්නේ සිගරට් එකත් එක්ක.. මම සිගරට් බොන්නේ නැහැ..
මිනිහාට අරක්කු බීම ඒ තරම් ලේසි වැඩක් උනේ නැහැ..මම ඒකේ අනිත් පැත්ත.
ඒ ඇර අපි දෙන්නම කාබන් කොපි වගේ තමයි.
කොටින්ම මිනිහා මොකක්ද කරන්නේ මාත් ඉතින් ඒක කොරනවාම තමයි..

ඉතින් කොහොම හරි බුවා රට ඉඳන් ආපු කාලේ වෙනකොට මම මගේ පළවෙනි ප්‍රේම වෘන්තාන්තය අපේ අම්මාගේ සහ මල්ලීගේ මාර්ග බාධක නිසා ඇණගෙන හිටපු කාලේ..ඒ කියන්නේ මගේ ඇවැස්ස නෑනා පොඩ්ඩ මටත් හොරෙන් වෙන කෙනෙකුට බන්දලා දීපු හින්දා අසූ හාර දහසකට දුක් ගී ගයන කාලේ...
ඒ ඇරුනාම උසස්පෙළ කරන්න පටන් අරගෙන තිබුනු කාලේ..

කොහොම හරි මෙකා රට ඉඳලා ආවට පස්සේ මම ඉතින් මෙකගේ හේමලයා වගේ තමා.
මිනිහටත් ඉතින් මම නැතුව බැහැ. ලොකුමල්ලී කියාගත්ත ගමන්ම තමයි.

ඉතින් මෑන්ස් රට ඉඳන් ඇවිත් ටික දවසකින් ගරාජ් එකක් දාන්න ප්ලෑන් කොළා නෙව..
අතේ ඉතිරි වෙලා තිබ්බ සබ්බ සකලමනාවම විය පැහැදං කොරලා ඒකට ඔන කරන ටූල්ස් එහෙම..ඒ කිවුවෙ ඔය අඩුවෙ මිටියේ ඉඳලා වෑල්ඩින් කට්ටල ඩි්‍රල් මැෂින් හෙමත්..ගෙනාවා..

මෙ කාලේ වෙනකොට මාත් ඉතින් ලවු සොකෙන් පෙළෙනවා වගේම තමයි..ඉස්කෝලේ ගිහින් පන්ති කට් කර කර ඉඳලා මාට්ටු වෙලා ඔය පොඩි පොඩි පංතිි තහනම් කිරීම් වගේ දේවල් වලටත් ලක් වෙවී හිටි කාලය..

කොහොම හරි මෙකා දැන් ගරාජ් එක දාන්න හදන නිසා මාත් ඒකට සෙට් වෙන්න තමා ලක ලෑස්තිය..
ඒ අතරෙම ඉස්කෝලෙන් පැන යාමෙ වරදට අසුවෙලා මාසයක පංති තහනමකුත් මට තෑගි විදියට ලැබුනයි කියමුකෝ.. ඒකත් ලැබුනු වෙලාවෙ මම කොලේ ගෙදරටත් නොකියා ඉස්කෝලෙන් අස්වීමෙ සහතිකෙත් අරන් ආපු එකයි. තාත්තත් ඉතින් මගේ හැටි දන්නවනේ..මුකුත්ම කිවුවෙ නැහැ.

කොහොම හරි ඉතින් අපි දෙන්නා ඒ කිවුවෙ අයියයි මායි ගරාජ් එක දාන්න ඔන්න මෙන්න කියලා ඉද්දී මෙකා ගෑනු පරාණයක් එක්ක සෙට් වෙච්චි.. ඒ මගුල හරියන එකක් නොවෙන වග තේරුං ගත්ත මං ඒකට තදින්ම විරුද්ධ වෙච්ච එකේ අවසානය උනේ අපි දෙන්නා තරහා වීම තමයි. අන්තිමට මෙකා ඒ ගෑනු මනුස්සයම කසාද බැන්දා මම නෙවෙයි මගුලටවත් ගියේ.. ඒත් අන්තිමෙදී මෙකගේ වැරදි හින්දයි ගෑනු මනුස්සයගේ වැරදි හින්දයි අවුරුදු දෙකක් යනකොට මගුල කැඩුනා. මං මක්කොරන්නද මම කළින්ම කිවුවා නෙව.

මෙකා ඒ ගෑනිගේ නංගි අරන් පැන්නා..
ඒ ගෑනි මෙකගේ අල්ලපු ගෙදර කොල්ලෙක් එක්ක පැන්නා.

අන්තිමට ඒ අරන් ගිය නංගිත් වෙන මිනිහෙක් එක්ක පැන්නා..
අර අල්ලපු ගෙදර කොල්ලා අර ගෑනිට කනුව තිබ්බා.

අවසානය උන් දෙන්නට කාත් කවුරුවත් නැති වෙච්ච එක තමයි.

කොහොමින් කොහොමින් හරි දැන්නම් ලොක්කා නවසීලන්තයේ ඉන්නවා..මම ඔය මූණු පොතෙනුත් බුවාව දැක්කා.. ඒත් අපි දෙන්නා අදටත් කතා නැහැ.
මම තරහත් නැහැ..මම දන්නවා ඔකාත් මාත් එක්ක තරහා නැහැ.

මොනවා උනත් ඉතින් ඌ මගේ ජාතික වීරයෙක් නෙව.

ආ දැන් මම මෙ කොහේද ඇවිත් තියෙන්නේ.. ඔකනේ කිවුවෙ බොන්න හොඳ නැහැ කියලා කොහේද මං කිවුවට මෙනලා අහනවයෑ..ළමායි බොන්න එපා.
බිවුවොත් බීලා ඉන්න වෙලාවට බ්ලොග් ලියන්න එපා.

හරි මම ලියන්න ගියේ කිතුලක් ගැනනේ...

ඉතින් මෙක උනේ මායි අපේ ඔය කිවුව අයිය බුවායි ෆිට් එකේ ඉන්න කාලේ තමයි.

මිනිහාගේ අම්මා ඒ කිවුවෙ අපේ ලොකු අම්මාගේ ගම මතුගම..
දන්නවනේ ඉතින් කොහේද තියෙන්නේ කියලා. මතුගම තියෙන්නේ මතුගම හරිනේ..

ඉතින් දවසක් අපි දෙන්නා ගියා මතුගම..ඒ ගියෙත් ලොකු අම්මලාගේ මහ ගෙදර තිබුණු දානේ ගෙදරකට සහභාගී වෙන්න තමයි.
අපි දෙන්නම කොයි තරම් සමාජ සේවකයොද කිවුවොත් දානේ ගෙදරට දවස් දෙකකට විතර කළින් ගිහින් දානේ ගේත් ඉවරවෙලා සතියක් විතර එහෙ ඉඳලා තමයි ආවෙ.
මගෙ අම්මෙ එහෙ දාන දෙන්නේ පණස් නමට සියක් නමට..මම ඒ දැක්කමයි එහෙම දාන දෙනවා. අපේ පැතිවල ඉතින් හත් නමයි දහනමයි නෙව..

කොහොම හරි අපි මතුගම ගිහින් පළවෙනි දවසේ හවස තමයි මෙ වැඩෙ සෙට් උනේ..
ආ නෑ දෙවෙනි දවසේ මොකද අපි එහෙ ගියේ කළින් දවසේ මහ රෑ නෙව.

ඉතින් අපි දෙන්නත් දැන් එහාට වෙලා සැපසේ ඉන්න අතරේ කරන්න කියලා මෙලෝ දෙයක් නැහැ. වස කම්මැලියි..ගේ තියෙන්නෙත් මහා රබර් වත්තක් මැද..

කොහොම හරි හවස තුන විතර වෙනකොට අපි දෙන්නා ගේ පල්ලෙහාට වෙන්න රබර් වත්තේ ටිකක් ඇවිද ඇවිද ඉන්න කොට මෙකා ඒ කියන්නේ අපේ අයියා කාරයා කියනවා..

"ඈ බං ලොක්කෝ..මොකද කරන්නේ.."

"අනේ මන්දා බං ........අයියේ."

"ඒක නෙවෙයි මෙ පැත්තේ කිතුල් රා තියෙනවා බං යන්ද හොයාගෙන..?"

"තියෙනවනං යමන් බං..."

මෙහෙම කියලා අපි දෙන්නා වත්තේ පහළටම ගෑටුවා.
වත්ත පහළට ගියාම පොඩි අඩි පාරක් හම්බ වෙනවා..ඉතින් මෙ අඩිපාර දිගේ අපි යනවා..ඒ යන ගමන් උඩ බලන්නත් අමතක කලේ නැහැ..උඩ බලන්නෙද..?
ඇයි ඉතින් අපි මෙ ගහේ බඩු හොයාගෙන නෙව යන්නේ.. මෙහෙම ටික දුරක් යනකොට අපිට යන්තං ඈතින් කිතුල් ගස් මණ්ඩියක් පේන්න පටන් ගත්තයි කියමුකෝ...

"ඒ බං ලොක්කෝ..අර හරියෙනම් කිතුල් ගස් වගයක් පේන්න තියෙනවා..බඩු තියෙයිද දන්නේ නැහැ.."

"යමන්කෝ ගිහින්ම බලමු..."

දැන් ඉතින් අපි දෙන්නත් අර මොක්කුද වගේ උඩ බලාගෙන කෙළින්ම කිතුල තිබුනු දිහා හොයාගෙන ගියා.

වෙල් මැද්දෙන් වතු මැද්දෙන් ගිහිල්ලා ගිහිල්ලා පොට් එක හොයා ගත්තා යාන්තං...

අපි හිතුව විදියටම එතන රා මන්ඩියක් තමා..
ගහ මදින උන්දැත් ඒ අල්ල පනල්ලෙම හිටි හින්දා වැඩි කරදරයක් නැතිවම සප්පායං විල්ලත් පටන් ගත්තැයි කියමුකෝ...කොහොමින් කොහොමින් හරි අපි දෙන්නා පැයක් දෙකක් එතන ඉදලා ගහෙන් එවෙලේ බාලා දෙන බඩුවලින් බෝතල් දෙක තුනක් රතුළුණු ලූණු කැට බයිට් එක්ක තම්බපු මඤ්ඤොක්කා එහෙමත් හරි හරියට ගිලින ගමන් අහවර කොලා ඉතින්...

"හ්ම්..දැන් මදැයි..යමං ආපහු..."

"හා යමං යමං.."මාත් නැගිට්ටා...

ගණන් හිලවු ඛෙරලා දාලා අපි ආපහු එන්න හැරුනයි කියමුකෝ දැන් තමා දෙන්නටම රත් උනේ..
ටික දුරක් ගියපු පාර දිගේම ආපහු ආවට ටික දුරක් එන කොට අපි දෙන්නට තේරෙනවා පාර නිකං වැරදියි වැරදියි වගේ කියලා...
ඒ මදිවට දැන් දෙන්නටම මද පවනට වැඳිලා..පාර අහන්න මෙලෝ එකෙක් නැහැ.
යනකොට ඉතින් කිතුල් ගස් අගිස්ස බලාගෙන ගියාට ආපහු එන්නේ අහවල් එක බලාගෙනයෑ..
මොකද ගෙයි වහලේ පේනවා කියලයෑ..ඒ විතරක්නං මදෑ කළවරත් වැටිච්චි...

අරූ මට බනිනවා..මම ඌට බනිනවා...
පාරක් තොටක් නැතිව දැන් අපි දෙන්නත් හැරෙන හැරෙන අතට එනවා..
රබර් වතුයි.. හිටි හැටියේ හම්බවෙන පුරන් වෙච්ච කුඹුරුයි..ඒවිතරක්යෑ කුඹුරුවල නියරවල් පේන්නෙත් නැහැ..
මඩෙ එරි එරි..වැටි වැටි.. ඇවිල්ලා..ඇවිල්ලා..අන්තිමට වැටුනේ නැතෑ තාර පාරකට...

අපි යනකොට තාර පාරක් තිබුනේම නැහැයි කියමුකෝ..දැන් කොහෙන්ද මෙ තාර පාරක්..?

මෙහෙම යන එනමං නැතිව අපි දෙන්නත් එක්ක පාර මැද්දෑවට වෙලා හිටගෙන ඉන්නකොට යන්තං කොහේදෝ යන වෑන් එකක් ආපි..ඒකට අත දාලා යන්තං පාර ඇහැවුවා...

බොලේ අපි දෙන්නා ඇවිත් වැටිලා තියෙන්නේ මතුගම ගෙදර එන්න ආපු මහපාරටනේ..හැබැයි පුරස්නේ ගෙදරට හැරෙන තැනට වඩා හැතැම්මක් විතර එහායින් තමයි අපි උන්නේ..

කොහොම කොහොම හරි අර වෑන් කාරයටත් පින් දීලා අපි දෙන්නා අපි එන්න ඔන දිසාවට හැරුනා..වෑන් එක අනිත් පැත්තට..ඒ කියන්නේ එයාලා යන්න ආව පැත්තට ගියා.
අන්තිමට තවත් පැය තුන්කාලකට විතර පස්සේ අපි දෙන්නා තාර පාර දිගේ බඩගාලා..ගෙදරට හැරෙන පාර හොයාගෙන ගෙදර ආපි...

ගෙදර එවුන් බලං ඉන්නවා අපිට මොකද උනේ කියලා...
අන්තිමට අපි ගෙදර එන විදිය දැකලා උන්ට හොදටම හිනා...
ඇයි යකඩෝ... මඩ නාගෙන...දාඩිය පෙරාගෙන...පාර පුරා වැනි වැනි..යාළුවෝ දෙන්නා ගෙදර එනකොට කොහොමද ආතල් එක..?

ඔන්න ඉතින් එදා අපි දෙන්නට වෙච්ච සංගදියත් කිවුවා.
දැන් ඉතින් කවුරුවත් හිනා වෙනවා එහෙම නෙවෙයි..ඔං කිවුවා.

පන්සලේ ජීවිතේ...ආපසු ඒම...

දින කීපයකට කියා පිටත්ව ගියද දින දෙකකට පසුව අප ආපසු හැරී ආවෙමු.
එයට කිව හැකි විශේෂ හේතුවක් නොවූ මුත් බොහෝදුරට චන්දවිමල හිමියන්ගේ සොයුරාගේ හැසීරීමද අප සිත් තරමක් කලකිරවා තිබූ බවනම් කිවමනාය...

චන්ද විමල හිමියන්ගේ නිවස පිහිටා තිබුණේ කළුතර දිස්ත්‍රීක්කයත් රත්නපුර දිස්ත්‍රීක්කයත් මායිම් වන සීමාවෙ පිහිටි කඳු ආශ්‍රිත පෙදෙසක විය. එහි ළගා වීමට නම් රත්නපුර පැත්තෙන් යායුතු විය..ඒ නියම ගමන්මාර්ගය ඔස්සේය..නමුත් අප ගියේ අනික් පසිනි ඒ රත්නපුර හරහා වටයක් යෑමට අප තුළ එතරම් කැමැත්තක් නොමැති වීම හෙයිනි.

කෙසේ වෙතත් එම මාර්ගයේ ගමට යෑමෙදී ප්‍රධාන බස් මාර්ගය අතරතුර ස්ථානයකින් බැස එතැන් පටන් බස්රථ සේ ක්‍රියා කල ආසන පේළි ගසා සැකසූ ලොරි රථයක නැගී කිලෝමීටර දහයක් පමණ දුරක් කඳු මැද්දෙන් වූ මාර්ගයක මැදින් ගමන් කළ යුතු විය. එම ගමන එක්තරා කුඩා තේ කඩයක් ළගින් නිමා වූ අතර එතැනින් බැස ගත් අප දෙදෙනා ඉතිරි දුර පයින්ම ගමනාරම්භ කලෙමු.

ගමනේ හොඳම හරිය එයයි...

සම්පූර්ණ ගමනට අපට පැය එකහමාරක් පමණ ගතවූවද චන්ද විමල හිමියන් පැවසූ පරිදි එම පෙදෙස්වල ගැමියන්ට නම් එය විනාඩි විස්සක පමණ ගමනක් විය.එය ඇත්තක් බව මාහටද හැගී ගියේ විටින් විට අප පසුකර කඳු අතර වූ වනගත මාර්ගයේ ගමන් ගත් ගැමියන් කිහිපදෙනෙකු ඉතා වෙගයෙන් ගමන් ගත් අයුරු දැක ගන්නට ලැබීම නිසාමය.

ඔවුනගේ පාද සැකසී තිබුණේ එම මාර්ගවලම යෑමට සුදුසු පරිදිය. මා දුටු පරිදි එම ගැමියන් ගේ විළුඹ කිසි විටකත් බිම ගෑවෙන්නේ නැත. පාදයේ ඇගිළිතුඩු ආශ්‍රිත පෙදෙස නිතරම බිම ස්පර්ශ කරයි. තරමක් ඉදිරියට නැමී මෙන් ගමන් ගන්නා ඔවුන්ගේ ගමන මාහට සිහිපත් කලේ මා සිනමාපටවල දැක තිබූ නරඅශ්වයින්ගේ ගමනය..

පසුව දුටු ආකාරයට චන්දවිමල හිමියන්ගේ දෙමාපියන්ද එසේම සැදුම්ලත් පාදයන්ගේ හිමිකරුවන් විය. චන්ද විමල හිමියන් බොහෝ කලක් ගමෙන් බැහැරව විසූ නිසාම ඔහුට එම ස්වරූපය නොතිබුණද ඉතා විශාල යටිපතුල් හිමිව තිබුණි.

ඔවුන් එම ගමනට මොනතරම් හුරු වී සිටියාද කිවහොත්..අර මා සඳහන් කල තේ කඩයට එපිටින් ගමට කිට්ටුව තිබූ කඩ තිබුණේ කිහිපයකි. ඒවායෙහිද කිසිවක පාන් ගෙඩියක් මිලදී ගන්නට තැනක් නොවීය.. පාන් ගෙඩියක් ගැනීමට නම් පෙර කී කඩයටම යායුතු විය... එසේ එම තේ කඩයට ගොස් පාන් ගෙඩියක් මලදී ගෙන නැවත ආපසු ඒම වැනි දෙයක් කිරීමට සිදුවූවහොත් අප නම් කරන්නේ පාන් නොකා සිටීමය.. නමුත් ඔවූහු පාන් කති.

කෙසේ හෝ පාගමනින් කිලෝ මීටර හයක් පමණ ගස් ගල් උඩින් පැන ඇවිදිමින් නිවසට ගියෙමු නිවස පිහිටියේද දණහිස නාසයේ ගෑවෙන අන්දමින් ගමන් කලයුතු කඳු ගැටයක මුදුනෙහි විය..
චන්දවිමල හිමියන්ගේ දෙමාපියන් අපව ඉතා ආදරයෙන් පිළිගත් අතර දහවල් බතද පිළියෙල විණි.
හවස් වරුවෙ ගම සේ සැලකුණු කුරුඳු කැල හා කුඩා තේවතු අතර ඇවිද ගිය අපට අතරින් පතර වූ නිවාස කිහිපයක්ද හමුවිණි.
කුකුළේගල ජලාශයට ඇදෙන්නා වූ සුන්දර දියදහරක් නිවසට ආසන්නයේ විය..සිත් සේ එහි පැන පීනා ගත සිත වූ විඩාව දුරු කර ගත් අප සවස පහට පමණ නිවසට පැමිණි අතර චන්දවිමල හිමියන්ගේ එක් සොයුරකු නිවසට පැමිණ සිටි බැවින් ඔහුත් කැටුව තවත් සොයුරියකගේ නිවසට යෑමට පිටත් උණෙමු...

වයසට වඩා දිරාපත්ව සිටි දරුමල්ලන් ඇගේ එල්ලාගත් සොයුරුයගේ නිවසේ මඳ වෙලාවක් ගත කල අප චන්දවිමල හිමියන්ගේ සොයුරා එසේත් නැත්නම් මද්දු අයියා සමග ඔහු විවාපත් වීමට සූදානම්ව සිටි අවැස්ස නෑනාගේ නිවසටද ගිය අතර එම ගමන මාහටනම් වැදගත් විය.
අප දෙදෙනා එම නිවසෙහි රඳවා මද්දු අතුරුදහන් වූ අතර ටික වෙලාවකින් නැවත පැමිණ චන්දවිමල හිමියන්ට නොපෙනෙන සේ මා කැඳවාගෙන ගෙය පිටුපස පැත්තට ගියේය..චන්දවිමල හිමියන් නිවසේ විසූ උදවිය සමග බර කතාවකය..

"මල්ලී පොඩි බඩුවක් තියෙනවා ගන්නවාද දන්නේ නැහැ..."

"මොනවද මද්දු අයියේ..."

"කිතුල් රා..මෙහෙ වත්තේ ගහක් මම මදිනවා.. තාම ටික දවසයි..නියම රා..මොකද කියන්නේ..?"

දැන් මෙය කියවන ඔබලාට ඉතිරිටික සිතා ගන්නට නොහැකි විය නොහැක...
රා ටික ගහෙන් බෑ ගමන්ය... වියළි මිරිස් කැබළි කිහිපයක් රතුළුණු ගෙඩියක් දෙකක් මුසු කර තිබූ විශාල රා කෝප්පයක් මා සුරතේය.. අනික් අතේ ලූණු කැටයකි..

අමිහිරි තිත්ත රසයෙන් හෙබි කිතුල් රා නොව තාමත් තදින් පැසී නැති රා කෝප්පය මිහිරි සුවඳකින් හා රසයකින් යුතුය.. ලූණු කැටය දිවගාමින් කිතුල් රා කෝප්ප දෙකක් පමණ හිස් කරන්නට මාහට ඒ හැටි වෙලාවක් ගත නොවූ අතර මද්දු මටත් වඩා ක්‍රියාකාරී විය..

අපේ තේවාව අවසන් කර නිවැසියන්ට සමු දී චන්දවිමල හිමියන්ද කැටුව නැවතත් නිවස බලා පිටත් වීමු.
නොපැසී තිබූ කිතුල් රා බඩෙදීම පැසෙන්නට පටන් ගෙන තිබිණි. හාත්පසින් දැඩි අඳුරකි.
ගමන දුෂ්කරය..අනෙක ආපසු ආවෙ ගිය පාරෙත් නොවෙය..මද්දු ඉස්සරහිනුත් ඊළගට චන්ද විමල හිමියනුත් අවසන මාත් ගමන් කලද අදුරේම ඔවුන් පසුපස හුරට මෙන් යනවා හැර යන්නේ කොහේදැයි නිච්චියක් නැත. කදු සහිත මාර්ගය යායුත්තේ පොළව අතගාමින්ය..
ඔක්කෝටම හපන් චන්දවිමල හිමියන්ගේ නෝක්කාඩුවයි.

"ඔව්වා කැත වැඩ.."
මා නිහඩය..
"මාව අර කතාවකට පටලලා දාලා දෙන්නා පැන්නේ ඔකට තමා.."
ඒත් මා නිහඩය..
"එකට ආවානම් තනියම කරන එක හරිද.."
මට සිනහා යයි..
"තව හිනා වෙන්නත් එනවා.." දෝස් මුරයේ අවසානයක් නැත.

කෙසේ හෝ නිවසට පැමිණ රෑ බතටද වග කිවූ පසු චන්දවිමල හිමියන් හා පවුලේ අය අතර සාකච්ඡාවක් හට ගත් අතර මා එයට සම්බන්ධ නොවී සිටියේ මාහට එය අයත් නොවන නිසාය.

සාකච්ඡාව චන්දවිමල හිමියන්ගේ අනාගතය ගැනය..
සිවුරු හැරීමට එහිමියන් තුළ වූ අපේක්ෂාවට දෙමවුපියන් කිසිවක් නොකී අතර කැමැත්තක් කිරීමට අවසර දුන්නත් මෙතෙක් වෙලා හොඳින් සිටි මද්දු කියවන්නට පටන් ගති.

ඔහුගේ විරෝධය වූයේ චන්දවිමල හිමියන්ගේ සිවුරු හැරීම පිළිබඳව නොවූ අතර දෙපල පිළිබඳවය..
දැනට පවුලේ ඉතිරිව තිබූ දේපල වලින් කොටසක් හෝ බාලයා වූ චන්දවිමල හිමියන්ට අයිතිවනවාට ඔහු කැමැති නොවීය...
වාදය ඇදී ගිය අතර සියල්ලන්ගේම හිත් රිදී තිබිණි. කෙසේ හෝ එදා රෑ නින්දට ගිය අප පසුවදා නිවසින් පිටත්ව ආ අතර සැලසුම් කර තිබූ ගමන නොයා ආපසු එන්නට හැරුනේ චන්දවිමල හිමියන් සිටි තත්වය එතරම් යහපත් නොවන බව මා හට හැගුණු නිසාය...

"අපි ආපහු යමු හාමුදුරුවෝ..."

උන්වහන්සේ නිහඩවම මගේ තීරණයට එකගව මා පසුපසින් ආවේය...
නැවතත් අර දුෂ්කර ගමන් මග ඔස්සේ පැමිණි දවස අවසන් වන්නට හෝරාවක් පමණ තිබියදී පන්සලට සේන්දු විය..
අප එන මග දිහා පන්සලට වී කිසිවකු බලා සිටිනවා අප ඈතදීම දුටුවේය...
ඒ රූපරතන අයියාය...
අප දුටු ඔහුගේ මුහුණේ පහළ වූ සිනහව අතිමහත් විය...

"හම්මේ ඉක්මනටම ආවාද..ලොකු දෙයක්..මම මෙ මොනවා කරන්නද කියලා හිත හිත හිටියේ..."

......................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

02 August 2010

150 පැන්න පිරීතිය නිමිති කොටගෙන...

දන්නෙම නැතිව ලිපි එකසිය පණහටත් ආවානේ...
මම මෙ බ්ලොග් ලිවිල්ල පටන් අරගත්තේ මට මතක හැටියට ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ අග වගේ...
ඒ කියන්නේ දැන් මාස නවයකට ආසන්නයි. නවය තිහෙන් වැඩි කලාම කීයද..?270යි නේද..?

ඒ කියන්නේ දවස් දෙකකට එක ලිපියක් ගානේ වගේ වෙන්න දාලා තියෙනවා.. ඊටත් චුට්ටක් විතර වැඩියි වගේ..

අප්පච්චියේ ඇති දවසක් ඇර දවසක් ගෙදර ඇවිත් ගෙදර තියෙන රාජකාරි ටිකත් කොරන ගමන් මෙ ගාණට ලිවුවා හොඳටම මදෑ...

පස්සෙන් එළවන කට්ටියත් 119 ක්ද කොහේද ඉන්නවා. ලොකු ගාණක් නම් නෙවෙයි ඒත් ඉතින් ඒ මදෑ...

අර ලිපි වලට ආපු ගියපු ගණනත් තිස්හත්දාහ පැනගෙන යනවා..
හැබැයි ඉතින් ඒ ගාණ මාත් ඇවිත් යන ඒවාත් එක්කනේ. ඒ ගැන නම් ඒ තරම් සතුටු විය හැකි මට්ටමක් නැහැ.
විශේෂයෙන්ම මගේ ලිපි කියවලා ප්‍රතිචාර දක්වපු අය සෑහෙන පිරිසක් හිටියා.ඒ අය අතරින් කිහිප දෙනෙක් අද වෙන කොට දකින්න නැතත් අළුත් අයත් සෑහෙන්න ඉන්නවා. ඒ අය තමයි මට පෙට්රල් ගැහුවෙ...කරදරයක් නැතිව දුවන්න.

ඒත් ඉතින් මම අරමුණක් ඇතිව කරපු බ්ලොග් එකක් නෙවෙයිනේ මෙක.

මුළින්ම මෙක ලියන්න පටන් ගත්තේ හිතේ පුපුරු ගහන දුක කියන්න කෙනෙක් නැති නිසා ඒ දුක වචනවලට හරි හරවන්න බලාගෙනයි.
ඒත් ඒ දුක මට කියාගන්න පුළුවන් උනා කියලා මම හිතන්නේ නැහැ.
ඊළගට හිතාගෙන හිටියේ කේන්දර ගැන ටිකක් ලියනවා කියලයි..
ඒ කල්පනාවට වෙච්ච දෙයක් හොයා ගන්නත් නැහැ.
අතරින් පතරට කවි ලිවුවා...
හිතට එන හැම බහුබූතයක්ම අකුරුවලට හැරවෙන්න ගත්තා..

ඒවාත් එක්ක මාත් එක්ක එකට ගමන් කරන යාළු මිත්තරයෝ පිරිසකුත් ඇති උනා.
කවදාවත්ම දැකලා නැති..කිසිම දැන හැදුනුම් කමක් නැතිව හිටි හුගාක් වටින අය ජීවිතේට එකතු උනා.
මනුස්සකම තියෙන මිනිසුන් හුගාක් මෙ අවකාශයේ ඉන්නවා.
ඒ හැම දෙනාටම පින් මෙච්චර දවසක් මාත් එක්ක හිටියාට.

දසුන් මධුසංක...
රවා...
වත්..
තිස්ස අයියා...
දුකා..
දිල්...
හා පැටික්කී...
රෙවන්...
විශ්මි...
වැප්...
මධු වීරකෝන්..
වැම්පයර්..
නුවන්...
අනුරාධ...
ප්‍රසන්(අන්තිම අකුර දෙමළ නෙව)...
බිගුවා...
කතන්දර...
සන්සරසිඳු...
චෙජනා...
අන්ශ් ලකී..
මිස්සක...
කස්සා...
පබලූ...
ඉටැලි ඩිලාන්...
බුධාජීව...
හසිත...
ගල්මල්...
හසී කස්ටියම...
ඉලන්දාරියා..
හේමලයා...
සිරිබිරිස්...
ෆ්‍රීඩම්...
උන්නැහේ...
දුමී...
ටැබූ...
ගලා...

මතක් වෙන කට්ටිය වගේම මතක් නොවුන කට්ටියත් බොහෝමයි. ඒ හැමෝම මට සමාවෙන්න ඔන නමක් ගමක් අතහැරුන නම් ම්..ම්...තව කවුරු හරි කියන්නම ඕන නමක් තියෙනවා කවුද කියලා මීටර් වෙන්නේ නැහැනේ.
කමක් නැහැ මතක් උනහම කියන්නම්කෝ..

ඉතින් මෙ ලිපි එකසිය පණහ අතරේ මම හිතනවා මම එකම විධියේ නැතිව එක එක ආකාරයේ ලිපි ඇතුළත් කරලා තියෙනවයි කියලා.
මට නිතරම විවිධත්වයක් ඔන උනා..
ඒ නිසා නිතරම වෙනස් වෙනස් පැති වලට බ්ලොග් එක ගෙනියන්න උත්සහ කළා..
එයින් සාර්ථකම ඉසවුව උනේ මම හිතන විදියට ජුංගේ කතා ටික...
දැන් නම් පන්සල් කතා ටිකට හිරවෙලා ඉන්න හින්දා හුගාක් අය දන්නේ ඒ ලිපි ගැන විතරක් වෙන්න ඔන..(අළුත් අය)

මෙ සියළුම ලිපි ගැන මට සංතෝෂයි..
ඒත් මෙ සියළුම ලිපි අතර මම කැමතිම ලිපි දෙකක් තියෙනවා..

එකක් සංජීවනී ගැන ලියපු එක
අනික මංගලගේ මොංගල් අංක එක

කියවන අය නම් මෙවාට කොයි තරම් කැමති උනාද කියලා මම දන්නේ නැහැ..
ඒත් ඒ ලිපි දෙක ගැන මම තෘප්තිමත්...

ඉතින් මෙතෙක් කලක් මා සමග රැඳී ඉදිමින් මා දිරිමත් කරපු සියළු දෙනාටමත්...
වැරදි අඩුපාඩු පෙන්වා දුන් අය හැමෝටමත්, මට බැනලා කමෙන්ට්ස් දාපු අයටත් මම ස්තූතිවන්ත වෙනවා.මෙතාක් කල් මාවත් ඇදගෙන ආවාට...

ඉතින් ස්තූති ප්‍රකාශයට පස්සේ තව කතාවක් දාන්න කියලා හිතුවා...
ඒත් දැන් ආව කෝල් එකක් හින්දා ඔක්කෝම අප්සෙට්...
නැවත වතාවක් සියළු දෙනාටම ස්තූතියි.
බොහෝ කුසල් අත්වෙවා.
නිවන් සැප ලැඛෙවා..(මොකද බය උනාද..? ඔයිට වැඩිය හොඳ සුභ පැතුමක් මම වෙන දන්නේ නැහැ..)

පන්සලේ ජීවිතේ...කෙටි නිවාඩුවක්...

පසුවදාට එළිවිය... අප හිතුවාටත් වඩා වෙලපහින් සුමන හිමියන් වැඩම කර තිබුණි. වෙනදාට වඩා කළ එළියට හීල් දානයත් ලැබිණි. දානයට පින්දීමත් සුමන හිමියන් අතින්ම සිදු කරන්නට ඉඩ දී අප පසෙකට වී සිටියේ උන්වහන්සේට දායකයින්ට සමීප වීමෙ අවස්ථාව සලසා දිය යුතු නිසාවෙනි.

උදෑසන වෙනදා ආකාරයටම පන්සල් මිදුල් හැමද ඇගපත සෝදා ගත් මා දාන ශාලාවට ගොස් හිමිවරුන් දෙදෙනාටම දානය පිළිගන්වන්නට සූදානම් කලෙමි. උන්වහන්සේලා වළදවා අවසන මාත් ආහාරය ගෙන භාජන සෝදා පවිත්‍ර කොට තබා ආවාසයේ ඉදිරිපසට එන විට සුමන හිමියන් සිවුර කෙටි වන සේ හැද පෙරවා පන්සල් මිදුලේ ඒ මෙ අත සක්මන් කරමින් අවට නිරීක්ෂණය කරමින් ඉන්නා අයුරු දක්නා ලදින් මා උන්වහන්සේ සමීපයට ගියේ තව දුරටත් උන්වහන්සේ දැන හැඳින ගැනීමෙහි ලා මා තුළ වූ කුතුහලය සංසිදවා ගනුවස්ය.

"ආ ළමයා... ඉතින් වැඩ කටයුතු අහවරද..?"

"එහෙමයි හාමුදුරුවනේ..."

"මෙ පන්සල හුගාක් පරණද..?"

"එහෙම තමයි හාමුදුරුවනේ කියන්නේ..කියන විදියට නම් අවුරුදු තුන්සීයක් විතර වෙනවා."

"ඒත් කිසිම කළඑළියක් නැහැ නේද..?"

"එහෙමයි හාමුදුරුවනේ.."

"මිනිස්සු එහෙම නිතර යනවා එනවද..?"

ටිකක් විතර එනවා යනවා."

"මට ඥාණාලෝක හාමුදුරුවෝ නම් කිවුවෙ සෙනග හුගාක් පන්සලට ඉන්නවා කියලයි."

"ඒක නම් එහෙම තමයි..හරියට බැළුවොත් සෑහෙන දායක පිරිසක් ඉන්නවා..ඒත් ඉතින් එන ප්‍රමාණය නම් හාමුදුරුවන්ටම බලා ගත්තහැකි."

"ඒ උනාට ඊයේ සෑහෙන පිරිසක් හිටියා නේද..?"

"ආ ඊයේ නම් සෑහෙන පිරිසක් හිටියා තමයි.. ඒක නෙවෙ..මම අහන්නමයි හිටියේ හාමුදුරුවනේ..මොකද ඊයේ පෙරහැරට උනේ..?"

"මම දැක්කා බස් එකේ එන කොට කට්ටිය ගජරාමෙට ලෑස්ති වෙලා ඉන්නවා..ඒ ගමන මම හිමින් සැරේ අනිත් පැත්තෙන් බැහැලා පයින් තනියම ආවා.."

"ඒ මොකද හාමුදුරුවනේ...?"

"නෑ ඉතින් පෙරහැරෙ ආවා කියලා මොනවා ලැඛෙනවද..? අනික හොරෙන්ම ආවම හරියටම විස්තරේ බලා ගත්තැකිනේ..."

"ඒකත් ඇත්ත තමයි..."

"ඒක නෙවෙයි..මෙ පන්සලට හුගාක් ඉඩම් තියෙනවද..?"

"දන්නා තරමින්නම් සෑහෙන්න තියෙනවා හාමුදුරුවනේ.."

"ඒවායේ ආදයම් කලට වෙලාවට ලැඛෙනවා ඇති නේද..?"

"මොන ආදායම්ද..?"

"ඇයි ඒ ඉඩම් වගා කරලා නැද්ද..?"

"සමහර ඒවා නං වගා කරලා තියෙනවා..තවත් ඒවා හිස්.. ඒත් ඒ එකකින්වත් මෙහාට නම් මුකුත් දැනටනං ලැඛෙන්නේ නැහැ."

"ඒ ඇයි...?"

"ටිකක් මිනිස්සු බලාහත්කාරයෙන් කනවා.. තව ටිකක් ටවුමෙ පන්සලේ හාමුදුරුවෝ වගා කරලා තියෙන්නේ..ඒවා ඒ හාමුදුරුවෝ ගන්නවා..හිස් ඉඩම් ටිකට දත ගහන්න තව කීප දෙනෙක් බලං ඉන්නවා. ඒත් ටවුමෙ හාමුදුරුවෝ හින්දා එයාලට ඒක තාම කරගන්න බැරි වෙලා තියෙන්නේ..."

"ඒකත් එහෙමද..?මට ඥාණාලෝක කිවුවෙ නම් හොඳට ආදායම් තියෙනවා කියලා...එතකොට මෙ පන්සල් වත්තේ ඉඩමෙ අන්නාසි වගාවෙ ආදායමනම් මෙහාට වෙන්න ඇතිනේ..නේද..?"

"නැහැ හාමුදුරුවනේ..ඔය අන්නාසි දාලා තියෙන්නේ තිස්ස අයියා කියලා කෙනෙක්..එයා මෙයිට ගම් දෙක තුනකට එහා ඉන්නේ.. එයා වගා කරන්න ගන්න කොටම සෑහෙන මුදලක් මෙහෙ ඉඳලා රට ගිය හාමුරුවන්ට ගෙවලා..ඒ හින්දා දැනට නම් කීයක්වත් හම්බ වෙන්නේ නැහැ.."

"එතකොට අර අන්නාසි වගාව අතර දාලා තියෙන කෙසෙල් වගාව..?"

"ආ ඒ අපේ ටවුමෙ පන්සලේ හාමුදුරුවන්ගේ වැඩ..උන් වහන්සේ තිනියම වලවල් කපාගෙන මහන්සි වෙලා ඉන්දපුවා..දැන්නම් කෙසෙල් හැදෙන්නත් ළගයි. ඒවා නම් ඉතින් කොට උඩ තමයි.."

"ඒ මොකද..?"

"නෑ ඉතින් ඔවට අත තියන්න ගියොත් ඒ හාමුදුරුවෝ තරහා වෙනවා..ඊට පස්සේ වටෙ පිටෙ හාමුදුරුවරුත් එයාගේ පැත්ත ගන්නවා. දානයකට හාමුදුරුවරු හත්අට නමක් හොයා ගන්න දැනටත් රට වටෙ යන්න වෙලා තියෙන එකේ..ටවුමෙ පන්සලේ හාමුදුරුවෝ තරහා උනොත් හෙන පරිප්පුව තමයි..."

"ම්..ම්... ඒක නම් එහෙම තමයි..."

"එතකොට මෙහාට කියලා කිසිම ආදායමක් නැද්ද..?"

"තියෙනවා අපේ හාමුදුරුවනේ..."

"ඇත්තට ඒ මොනවැයි..?"

"ඔය ආවාසේ වටෙ තියෙන පොල් ගස් පහ හයයි තැඹිළි හතර පහයි..ඊට අමතරව පන්සලේ පින් කැටෙටත් මාසෙකට රුපියල් තිහක් විතර වැටෙනවා..හැබැයි ඉස්සරහ වත්තේ කොළුවා උස්සන්න කළින් ගන්න ඔන..නැත්තං පියන ගැලවිලා හින්දා ඒ සල්ලි ටික හැරෙන තැපෑලෙන් පොඩි එකා උස්සනවා.. ඊට වඩා තියෙන ආදායම ඉතින් ඔය උපාසක අම්මලා දානේ ගෙනාවම ලයිට් බිලට කියලා දීලා යන කීයක් හරි තමයි..ඒකත් ඉතින් රුපියල් දහයක් විස්සක් තමයි."

"හ්ම්ම්..." දිගු හුස්මක් හෙළු සුමන හිමියන් ආවාසය පිටුපස වූ රඹුටන් ගසට නෙත් යොමා

"මෙ රඹුටන් ගහ නම් ඉරුවොත් ගාණකට දෙතෑකි නේද..?"

"ඔක ඉරන්නේ කොහොමද හාමුදුරුවනේ අර උඩ ඉඳලා යටට දුවන ඛෙනේ පේන්නේ නැද්ද..?"

"හ්ම්..ඒකත් එහෙමයි නේද..?"

"මෙ පන්සල් වත්ත වටෙට තියෙන උණ පඳුරු කොහාටද අයිති."

"ආ ඒවා නම් පන්සල් වත්තට තමයි අයිති."

"ම්..ඒ ටික නම් සෑහෙන ගාණක් වටිනවා..."

"ඔවු හාමුදුරුවනේ..ඒත් ඉතින් ඔය ගහ දෙක කපනවා මිස දැන් වැඩිය කපන්න බැහැනේ..පෝමිට් නැතිව.."

"අප්පා මොකක්ද මෙ පන්සල...? මෙ ලෝකේ ආදායමක් නැහැනේ.."

"ආදායම් නම් ඉතින් ඒ තරම් නැහැ හාමුදුරුවනේ..ඒත් මිනිස්සු ටික එකතු කරගෙන වැඩ කරන්න පටන් ගත්තොත් නම් මෙක කරගෙන යන්න පුළුවන් වෙයි.."

"මෙ මිනිස්සු එක්ක වැඩ කරන්න පුළුවන් වෙයිද මන්දා..."

"බැරි නැහැ හාමුදුරුවනේ..හැබැයි අර ඊයේ පටන් ගත්ත විදියටනම් නෙවෙයි."

"ඒ මොකද..?"

"මෙහෙ ඉන්න මිනිස්සු එක පාරට කිවුව පළියට වැඩ කරන්නේ නැහැ. ටිකක් ඒ මිනිස්සු අතරට ගිහින් පන්සලේ දියුණුවට කටයුතු කරන ගමන් ඔන ආවාසේ ගැන බලන්න වෙන්නේ... එහෙම නැතිව ආවාසේ හදලා දෙන්න කිවුවට ඒක මෙ මිනිස්සු ඒ තරම් කනට ගන්න ජාතියක් නෙවෙයි. ඒ අය හිතන්නේ හාමුදුරුවන්ට ඔය කොහොම ඉන්න බැරිද කියලා..."

"මම හිතන්නේ නැහැ.. දැන් ඊයේ මම කිවුව දේවල් අර මිනිස්සු පිළි ගත්තනේ.."

"පිළි ගත්තට හාමුදුරුවනේ හදලා දෙන්න කවුරුවත් ඉදිරිපත් උනේ නැහැනේ...ඔනනම් ඔබවහන්සේ බලාගෙන ඉන්න හදලා දෙනකම්..හැබැයි වැඩෙ සිද්ධ වෙන එකක් නැහැ. හාමුදුරුවන්ට පුළුවන්නම් ගමට බැහැලා ගිහින් මිනිස්සු ටික එකතු කරගෙන ඇවිත් ටික ටික මිනිස්සු පන්සලට හවුල් කර ගන්න.. අන්න වැඩෙ කර ගන්න පුළුවන් වෙයි."

"එහෙම කොහොමද..? ඒ මිනිස්සුනේ මාව එක්ක ආවෙ..එයාලා දැන ගන්න ඔන මෙවා හදලා කරලා දෙන්න."

"ඒක ඇත්ත හාමුදුරුවනේ..ඒත් දැන් ඉන්න මිනිස්සුන්ට මෙවා කර කර ඉන්න වෙලාවක් නැහැ. හැමෝම බලා ඉන්නේ අරයා කරයි මෙයා කරයි කියලා..හාමුදුරුවෝවත් වැඩෙට මුල පිරුවොත් වැඩෙ ටික ටික හරි ගොඩ යයි..නැත්තං ඉතින් බලාගෙන ඉන්න තමයි වෙන්නේ..."

"අනේ මට බැහැ ඕකුංට වඳින්න යන්න...උන්ට ඔනනං කරපුවාවේ..."යි

කියූ සුමන හාමුදුරුවන් නිහඩ වූ අතර.. වෙන්නේ කුමක්දැයි හොඳාකාරවම මා මෙවන විට අවබෝධ කරගෙන උන්නෙමි. ඒ මා මෙ මාස කිහිපයට ගම් වැසියන් පිළිබඳව හොඳින් දැන හඳුනාගෙන සිටි නිසාය...

එදින දහවල් දානය ගෙන ආ පිරිස හැරුනු කොට සුමන හාමුදුරුවන් බලා සිටියද..සවස් කාලයේ කළින් දින පැමිණි දායක පිරිස පැමිණියේ නම් නැත. සුමන හිමියන් එදිනද රැය පන්සලේ පහන් නොකොට පිටව යන ලදි. මෙය අප දෙදෙනාට ගැටළුවක් වූයේ එහිමියන් යන තැනක් අපට නොපැවසීමත්..පන්සල භාර ගත්තානම් මෙහි වසන්නේ නැතිව කොහේ යන්නේදැයි සිතා ගත නුහුණු බැවිනි.

මෙසේ දෙතුන් දිනක් ගත වූ අතර ඒ එකඳු දිනක් හෝ පන්සලේ රැයක් ගත කලේ සුමන හිමියන් නම් නොවෙ.

මෙ අතර චන්දවිමල හිමියන් හා මා විසින් මෙයට පෙර සිට යොදා ගත් ගමනක් යෑමට සූදානම්වීමු.
එම ගමන නම් චන්දවිමල හිමියන්ගේ මවුපියන් බැලීමට යෑමයි.

පසු ගිය දිනවල එම ගමන යෑමට සූදානම්ව සිටි මුත් පන්සලෙහි නිසි භාරකරුවකු නොමැතිව එය දමා අප දින කිහිපයක් පිටමන්ව සිටීම නුසුදුසු බැවින් ගමන දිනෙන් දින කල් යැවුනු අතර දැන් සුමන හිමියන්හට පන්සල භාරවී ඇති හෙයින් අප එම ගමන තවත් කල් නොදා යෑමට තීරණය කළෙමු.

මෙ පිළිබඳව සුමන හිමියන් දැනුවත් කල අප දෙදෙන කෝකටත් කියා රූපරතන අයියාටත් මෙ ගැන පැවසීමු.

"රූපරතන අයියේ අපි චන්දවිමල හාමුදුරුවන්ගේ ගෙදර ගිහින් එන්න යනවා. සුමන හාමුදුරුවන් විතරයි පන්සලේ තනියම..ටිකක් බලන්න වෙයි."

මෙවන විට සුමන හිමියන් පන්සලේ රැය පහන් නොකරන බව රූපරතන අයියා සහ දයාසේන අයියා විසින් දැන හුන් නිසා මෙයට ඔවුන්ද කැමති වූයේ..අප නැති වූ විටවත් සුමන හිමියන් පන්සලේ රැඳේවියැයි සිතූ නිසාය

"ආ ඔයාලා ගිහින් එන්න අපි බලාගන්නම්."

"කෝකටත් රූපරතන අයියා නිතර ඇවිල්ලා යන්න.
පන්සලේ කාමර ඔක්කෝම ඇරලා තියෙන්නේ අපි ඒවා වහලා යන එක හරි නැහැනේ..
ඒත් කරඩුව තියෙන කබඩ් පියනේ යතුර තියලා යන එක හොඳද මන්දා.."

"ඇයි ඔයාට එහෙම මුකුත් සැකයක් තියෙනවද...?"

"නෑ මම නිකං කිවුවෙ..ඒත් මට ඒ තරම්ම ෂුවර් නැහැ.." මා පවසන්නේ කුමක්දැයි රූපරතන අයියා තේරුම් ගෙන තිබිණි.

"ඔයාට එහෙම හිතෙනවනං අපි යතුර ටවුමෙ පන්සලේ හාමුදුරුවන්ට දීලා දාමු. කොහොමත් දානයක් නැහැනේ මෙ දවස් ටිකේ..කරඩුව ඔන වෙන්න.. අනික ඔයා දැන් පන්සලේ ඉඳලා හාමුදුරුවරු ගැන අපි නොකිවුවට දන්නවනේ..."

"එහෙනං රූපරතන අයියේ මම යතුර දෙන්නම් ඒක ගුණරතන හාමුදුරුවන්ට දෙන්න."

"හා හොඳයි..."

ඉක්බිති පන්සලේ සියළුම තැන් පිළිබඳව සුමන හාමුදුරුවන්ට පැහැදිලි කර දී අප දෙදෙනා දිනක් දහවල පන්සලෙන් පිටත්ව ගියේ සුමන හිමියන් පන්සලට වැඩම කළ පසුය. අප මෙසේ යන ගමන ගැන සුමන හිමියන් තරමක් නොසතුටු වූයේ අප නැති අතර පන්සලේ රැදී සිටීමට සිදු වීම නිසාය. ඒ හැර අපගේ ගමනට කිසිවකුගෙන් බාධාවක් නොවිණි.

ආපසු එන දිනයක් අරමුණු කර නොතිබූ අප සිතා සිටියේ අවම වශයෙන් සති දෙකක්වත් පන්සලට නෑවිත් ලද නිදහසින් උපරිම වින්දනයක් විඳීමටය... ගමනට අවශ්‍ය තරමට නොවූවත් මාස කිහිපයක් තිස්සේ ටික ටික ඉතිරි කරගත් මුදලක් අප සතු වූ අතර එය බස් ගාස්තුවට සෑහිනි.
කෑම බීම ගැන එතරම් ගැටළුවක් නොවූයේ චන්දවිමල හිමියන්ගේ පැවිදි සොහොයුරන් කළුතර දිස්ත්‍රීක්කය පුරාම පන්සල් වල විසීරී සිටි බැවිනි.

දින ගණනාවක් ගත කිරීමට යැයි සිතා පිට වූවත්...අවසානයේ සිදු වූයේ එය නම් නොවෙ...

...................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "