19 September 2010

සිතේ දුක කඳුළකට හැරිලා..

දිනෙක පෙරදා..
සයුර කළඹා..
හැමූ මහ සුළී සුළං පරදා..

නුඹෙ සුසුමින්..
නුඹෙ හැඩුමින්..
මගේ සිත කැළඹී ගියා..

නෙතේ රැඳිලා..
වතේ වෙළිලා..
සිතේ දුක කඳුළකට හැරිලා..

නුඹෙ නාමෙන්..
මගේ පැතුමන්..
සදාකල් බොඳ වී ගියා..

දවස දිගයි...

අද දවස දිග වැඩිද මන්දා...
උදේ ගෙදර ආවෙ ඉක්මනට මොනවා හරි උයාගෙන කාලා නිදා ගන්න හිතාගෙන.

ඉතින් ඒ හිතුව විදියටම උයලා ඉවර වෙලා නෑවා..ඊට පස්සේ බඩටත් දාගෙන නෙට් එක පැත්තෙත් ටිකක් කරක් ගහලා නිදා ගත්තා...

නින්ද යන්නේ නැහැ..ඇගේ අමාරුවට..
අද උදේ පාන්දර වඩ පළේදී මම ඇදං වැටුනා නෙව දඩෝරියං ගාලා..
ඒකත් නාන කාමරයේ ටයිල් උඩට..ගෙම්බා පොළොවෙ ගැහුවා වගේ...

වැටෙන්න ගියේ කෙළින්ම ඔළුව පිටි පස්ස බිම වදින විදියට..ඒත් අන්තිම තත්පරේදී මට පුළුවන් උනා ටිකක් ඇග පැත්තකට හරවා ගන්න...එයින් මෙයින් බිම වැදුනේ ඇගේ දකුණු පැත්ත.
උරපත්ත වැදුනා වැදිල්ලක්..ආයේ ඔන නැහැ.යන්තං ඔළුව ඛෙරගන්න පුළුවන් උනා.

මගේ හදිසිය තමා ඔක්කෝටම මුල...

කොහොම හරි අතක් පයක් නොකැඩී බේරුනා කියමුකෝ...
ඒ වෙලාවෙ නම් ටිකයි රිදුනේ...
දැන් පුදුම සනීපයක් දැනෙන්නේ...මට හිතා ගන්න බැරි බිම වැදුනෙත් නැතිව ඔළුවෙ පැත්තක් රිදෙන්නේ කොහොමද කියලයි.ඛෙල්ල පිටිපස්සේ ඉඳන් ඉස්මුදුනට යනකල් රිදෙනවා.

මහ දවල් දැන් නින්ද යන්නෙත් නැහැ. ඒ මදිවට යන්තං නින්ද යනකොටම ෆෝන් එක කෑ ගහනවා.
යන්තං අත දික් කරලා ගත්තා ෆෝන් එක..

පුංචිගේ දෙවෙනි දෝණියැන්දෑ..
නිශාන්ති නංගී...

"ම්..ම්...මොකද..?"

"අයියා නිදාගෙනද උන්නේ..."

"නිදාගෙනනං තමයි උන්නේ..ඒත් කොහේද තමුසෙලත් එක්ක..මොකෝ කථා කලේ..?"

"අනේ අයියේ පොඩ්ඩක් නෙට් එකෙන් බලලා පොඩි බඩුවක් හොයලා දෙන්නකෝ.."

"මොකක්ද..?"

"අපේ සුදූගේ (චූටී නංගී) GAQ විභාග ප්‍රතිඵලේ..."

"ම්...විභාග දෙපාර්තමේන්තුවෙ වෙබ් එකේනං ඕලෙවල්, ඒලෙවල්, ශිෂ්‍යත්වෙ ඇර අනිත් ඒවා නැහැනේ..."

"අනේ පොඩ්ඩක් බලලා කියනවකෝ..."

මොනවා කරන්නද..අමාරුවෙන් නැගිටලා ගිහින් කොමා ගාවින් වාඩි වෙලා බැළුවා පොඩි සෙවීම් පාරක් දාලා..
ගූගල් උන්නැහේට පින් සිද්ධ වෙන්න අන්තිමට හොයා ගත්තා pdfෆයිල් එකක්..

2007/2008 GAQ...ප්‍රතිඵල ලේඛණයක්...ඒත් ඒක නිකුත් වෙලා තියෙන්නේ 2009ද කොහේද...

හ්ම්..මොකක්ද එකක් තියෙනවා..කියනවා බලන්න ඕකිගේ අංකේ..

4018...

අනේ නිශාන්ති මෙකේ 4017ත් තියෙනවා..4020ත් තියෙනවා..ඒත් 18, 19 නැහැනේ...

අනේ අයියේ බලන්නකෝ තව ටිකක්...

කොහොම හරි අන්තිමට පැය බාගයක් විතර හෙව්වට හම්බ උනේ නම් නෑ..
අන්තිමට පස්සේ සොයා බලන්නං කියන උත්තරය මත වැඩෙ අවසන් උනා.

ඊට පස්සෙත් හෙව්වා..ම්හු තාම නං නෝ උත්තර...

ආයෙමත් නිදා ගන්න බැළුවා...හරියන්නේ නැහැ...

ඒ පාර ගිහින් උදේ ගෙනත් තිබුණු ගොටුකොළ මිටිය තෝරලා, ශුද්ධ කරලා හීනියට ලියලා හැදුවා මගේ දිව්‍යය බෝජනයක් උන ගොටුකොළ සම්බෝලයක්..රතුලුණූ, අමුමිරිස් යහමින් දාලා, පොල් ටිකක් එහෙම ගාලා දාලා.

උදේ හිදෙන්න හදාපු පරිප්පුයි සහ බල කරවල,තක්කාලි දාලා බණ්ඩක්කා තෙලට හදාපු එකයි එක්ක ආයෙමත් බත් කටක් ගිලලා දාලා ආවා..මොනවා හරි ලියන්න කියලා.

අනේ මන්දා මොකුත්ම ලියන්න හිතේ කිසිම ෆිට් එකක් නැහැ.
එහෙං ඇගේ බාගයක් මගේ නෙවෙයි වගේ..
දවස ගෙවෙන්නෙත් නැහැ.

ම්..කෝල් එකක්.

හරි... මගේ ගෝල බාලයෙක්..ඒ කිවුවෙ මගේ පන්සල් ජීවිතේ ගෙවන කාලේ මට හිටපු අතිජාත ගෝලයා, මිනිහා කොහේදෝ යන ගමන් මෙ පැත්තෙන් කඩං පාත් වෙන්නයි හදන්නේ...

දැන් හරි..බුවාත් එක්ක බියර් බාර් එක පැත්තේ ගෑටුවනං හරි.

මෙ ළග පාත සෙට් වෙලා අඩියක් ගහන්න තැනක් නැති එක හරි අඩුවක්..
හදිසියකටවත් මොකෙක්වත් එක්ක යන්න තියෙන්නේ බියර් එකකට සෙට් වෙන්න විතරයි.
නිට්ටඹුව පැත්තේ ගියානං පොට් තියේ..ඒත් ඉතින් බීලා බයික් එකේ එන්න වෙන්නෙත් මහ පාරේ නෙව..
කොහේද මෙ පොලිස් මාමලා හැම තැනම ඉඳගෙන අපිට අතවනලා ළගට ගෙන්නගෙන සුව දුක් විචාරනවා නෙව...

හ්ම..හ්ම්...දැන් ඇති...
දැන්නං ඉතින් දවස කෙටි වෙයිද මන්දා...

17 September 2010

අතීතයෙන් වර්ථමානයට...Electric dreams...

අද මගේ බොහෝම කාලෙක ඉඳන් තිබුණු ආසාවක් ඉටුඋන දිනයක්. මගේ ප්‍රොෆයිල් එක බලපු ඔන කෙනෙක් දැකලා ඇති ඒකේ මගේ ප්‍රියතම සිනමා පටයක් ගැන සඳහන් කරලා තියෙනවා.

මම ඔය ෆිල්ම් එක බැළුවෙ මීට අවුරුදු ගාණකට කළින්..
හරියටම වර්ෂය කියන්න තරම් මතකයක් නැති උනත් ඒ 1994 සිට 1997 අතර දක්වා කාලය නම් තමයි.

කොහොම උනත් හරියටම වසර දහතුනක් දහසයක් අතර කාලයකට පෙර..
ඒ දවස්වල සිරස ටීවී වලට කළින් ආපු එම් ටී වී නාලිකාව තිබුණා සමහරුන්ට මතක ඇති.

U.H.F. ඇන්ටනා මුලින්ම හදුන්වා දීපු කාලේ...
අපිට ඉතින් මොන ඇන්ටනාද..?
බයිසිකල් රිම් එකකට කම්බි ඇදලා, තව ඒ මදිවට සාස්පාන් පියනක් එහෙම පටලලා හදාගත්තු මගේම ඇන්ටනාවකින් තමයි ඉතින් බැළුවෙ.
මගේ කිවුවට ඉතින් මුලින්ම ඔය වාගේ ඇන්ටනා පිළිබඳව අත්හදාබලන්න මාව යොමු උනේ අපේ තාත්තගේ විශිෂ්ඨ පරීක්ෂණවල ප්‍රථීඵලයක් විදියට තමයි.
තාත්තා නම් කරන්නේ කොහෙන් හරි කාන්දම් කෑල්ලක් හොයාගෙන ඒකට ඔය මොන මොනවා හරි පටලලා අඹ ගහ මුදුනට දාලා ඒක දිගේ පන්දලම් කම්බියක් බැදලා..ඔක අපේ තිබුණු පුංචි ටීවී කබලට හයි කොරාන රූප බලාපු එක තමයි.ඒකත් කාර් බැටරියක් චාර්ජ් කරගෙන...

අම්මා රට ඉඳන් එනකොට ගෙනාව අගල් 14 ක සෝනි ටීවී පුංචා ගෙදරට ආවෙ 1994 දී විතර...

ඊට පස්සේ යන්තම් ගෙදරට විදුලිය ලැබුණේ එවකට විදුලිබල නියෝජ්‍ය ඇමතිතුමාට(දැන්නම් උන්දෑ ගෙදර..)
පොඩි සද්දයක් දැම්මට පස්සේ තමයි..

තාත්තා පොදු පෙරමුණු කණුවක් උනත්..තාතතගේ පස්සෙන් ගිහින් දේශපාලනය කරපු..ලොකු ලොක්කෝ හදුන ගත්ත උන්නැහේලා බාර් ලයිසන් ගන්න කොට අපේ තාත්තණ්ඩියා ගෙදරට කියලා සත පහක දෙයක් කරගත්තේ නැහැ.
උන්දැ කලේ කාගේ හරි ගෙදරකට ටකරං තහඩු ටිකක් හරි ඉල්ලලා දෙන්න බලන එකයි..
පාරවල් කප්පන්න, කැඩිලා තිබුණු වැව් බන්ට් එක හදන්න මුදල් පාස් කරගන්න දත කෑව එකයි.
අපිටනං ඉතින් ඒ කාලේ මෙ දේවල්වලට ටික්ක මල පැනලා හිටියේ..ඒත් අද වෙනකොට තාත්තා එහෙම කරපු එකේ අගේ මට තේරෙනවා.
අපේ තාත්තත් ඒ පාරේ ගියානං අද මාත් සමෘද්ධි නිලධාරීන්ගෙන් එකෙක් වෙලා රජයේ මුදල් පිනට ගිල ගිල ඉන්න එකෙක් වෙන්නත් ඉඩ තිබුනා...

කොහොම හරි අපේ ගෙදරට විදුලිය නැහැ ඒ දවස්වල..අන්තිමට මම සාමාන්‍ය පෙළ ලියලා කාලයක් යනකොට තමයි යන්තං විදුලිය හම්බ උනේ.
හප්පේ ඒ දවස්වල ලාම්පු යුද්දේ..
හවස් වෙනකොට චිමිනි ලාම්පු දෙකට තෙල් දාලා, පහන් තිරය උඩට උස්සලා ලෙවල් එකට යන්තම් කපලා,
කඩදාසියක් පොගවලා චිමිනි පිහදාලා, කුප්පි ලාම්පු වලටත් තෙල් දාලා පත්තු කරන ජොබ් එක ඉතින් මට පැවරිලා තිබුණේ...
ඉඳලා හිටලා විශේෂ දවසක පැට්‍රෝල්මැක්ස් එකත් පිහදාලා, පත්තු කරන්න වෙනවා.
ඒකටනං ඉතින් මං බොහෝම මනාපයි. පොඩි ගැජමැටික්ස් තියෙන හින්දා.

පුනීලය තියලා තෙල් පුරවලා, හුළං ගහලා මැන්ටලේට ගිනි තියලා දැල්ල අඩු වැඩි කර කර නියම එළිය ගන්න සෑහෙන පළපුරුද්දක් තියෙන්න ඕන...

ඉතින් ඔන්න ඔහොම කාලෙක තමයි මම ටිකක් පීල්ලෙන් පැන්නේ...

මක් කොළත් අපේ තාත්තා ගෙදරට ලයිට් ගන්නේ නැහැ. දහහත් අවුරුද්දක් තිස්සේ විපක්ෂේ ඉඳලා ආණ්ඩුව බාරගත්තට මොකද ඒ පැරදි පැරදි හිටිය කාලේ අපේ ගෙවල් වල නිතර ආගිය කෑව බීව දේශපාලක උන්නැහේලා උනත් ඉතින් හොයලා බලලා ඔය වගේ දෙයක් කොරලා දෙනවා කියලයෑ...

මට මතකයි ඉස්සර නිතරම වගේ විජය කුමාරණතුංග මහත්තයා අපේ ගෙදර එනවා යනවා.
තාත්තා තමයි අපේ ගම් දෙකතුනම වෙනුවෙන් උන්නැහේට උදවු පදවු කොළේ..මැතිණිගෙනුත් කැපිලා හිටිය කාලේ නෙව.
දැන් නං ඉතින් එහෙම කාලයක් තිබුණද කියලා මතකත් නැතුව වාගේ ඉන්න සැටලයිට් නෝනාත් ඉතින් නිතර ආවා ගියා.ඔය දෙන්නාම ඉතින් ඒ කාලේ පැටියා වෙච්ච මාරයාව වඩාගෙනත් ඉන්නවා.
මට ඉතින් ඔය අතීතේ හොඳට මතකයි...

කොහොම උනත් ජනාධිපති උනාට පස්සේ උනත් අපේ තාත්තට සැටලයිට් නෝනාව තනියම ගිහින් හම්බ වෙන්න තරම් දැන හැදුනුම් කම තිබුණා පස්සෙන් පහු උනත්.

ඒ හැදුනුම්කම් කොහොම උනත් තාත්තම පස්සෙන් පහු ඒ ගමන නතර කරලා දැම්මා...
ඒ වෙනකොටත් සැටලයිට් නෝනා ගමන් ගත්ත මාර්ගය පිළිබඳ තාත්තා ඒ තරම් පැහැදීමකින් නෙවෙයි හිටියේ..ඒත් එයා ඒ බව අපිට අගවන්න කැමති උනේ නැහැ. නමුත් ටිකෙන් ටික ඒ සබඳතාවය අතඇරිලා ගියා.

ඒ මොන හැදුනුම්කම් තිබුණත් අපිට ලයිට් නැහැ..
ඔය අතරේ මොනවා නමුත් පුංචි පහේ චන්දයක් ආව වෙලාවක තාත්තගේ උපරිම විරෝධය මැද මම එක් අපේක්ෂක මහත්තයෙකුට කඩෙ යන්න පටන් ගත්තා..
පෙරමුණේම උනත් අර අපේ මන්තිරී වගේම නියෝජ්‍ය ඇමතිවරයා උන පුද්ගලයාට විරුද්ද පුද්ගලයෙක් උන කෙනෙක් තමයි මම තෝරගත්තේ. ඇමතිවරයාත් තමාගේ ළගම ඥාතිවරියක් චන්දෙට දාලා තිබුණා.
අන්තිමට තාත්තා ඒ ඥාතිවරියට සපෝට්..මම ඒ පක්ෂෙම අර ඥාතිවරියට ප්‍රභල අභියෝගයක් උන පුද්ගලයාට සපෝට්.
දෙන්නම උදේට ගෙදරින් පිටත් වෙලා දෙපැත්තට යනවා.
හැබැයි වෙනසකට තිබුනේ තාත්තා පයින් යනවා මාව එක්ක යන්න වෑන් කබලක් එනවා.
මොකද ඒ වෙනකොට මට පැවරිලා තිබුණු රාජකාරිය තමයි අර පුද්ගලයා වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කොරන එක.
ඉතින් උදේ නවය විතර වෙනකොට පීකර් බැඳපු වෑන් එක ඇවිත් මාව අරගෙන යනවා..මම මගදී මගේ යාළු කොල්ලේ දෙතුන් දෙනෙකුත් පටවා ගන්නවා.
ඊට පස්සේ අපේක්ෂකතුමාගේ මෙහෙයුම් කාර්යාලයට ගිහින් උදේට කාලා පොස්ටර් මිටියි, පාප්ප හැලියකුයි බුරුසු දෙක තුනකුයි අරගෙන කස්ටිය එක්ක පිටත් වෙනවා.

එතන ඉඳලා ඉතින් කළින් ඛෙදලා දුන්න පාරවල් ඔස්සේ වෑන් රථය ගමන් කරනවා..මම කට රිදෙනකල්ම ඉතින් අර අපේක්ෂක තුමාගේ වරුණාව යකඩ කටෙන් කියාගෙන යනවා. ඒ අතර හොල්ට් එකේන් එකට නවත්තනවා..මගේ බුවාලා ටික දනි පනි ගාලා බැහැලා තාප්ප ගානේ පාප්ප ගගා පොස්ටර් නාවනවා.

ඔහොම දවල් වෙනකල් ගිහින් ඒ හරියේ තියෙන පොට් එකකට යනවා දවල්ට කන්න.
ඒ තැන ඉතින් අපේ අපේක්ෂකතුමාගේ කවුරු හරි හිතවතෙක් තමයි.
උදේ පිටත් වෙනකොටම කියනවා අද දවල්ට අහවල් තැනින් කෑම..මල්ලිලා දවල් වෙනකොට එහෙට යන්න කියලා..
ඉතින් එතෙනට ගිහින් කෑමට පෙර සප්පායං වෙලා එහෙම කෑමත් කාලා ටික වෙලාවක් ඉඳලා ආයෙමත් නගිනවා වෑන් එකට.
ඔහොම ගිහින් හවස හතර විතර වෙනකොට අපේ වෑන් එක වගේම ප්‍රචාරක කටයුතුවලට ගිය අනිත් වෑන් දෙකත් එක් පැත්තකට ගමන් කරනවා..
ඒ අපේ අපේක්ෂකතුමා හවස්වරුවෙ ඇමතීමට නියමිත කුඩා රැස්වීම්වලට පෙර ගමන් යන්න.
ඒ ගියහම අපේක්ෂකතුමා එනකල් අර රැස්වීම අසලට ගිහින් අහල පහළ අයට අහවල්තුමා ළග එනවා කියලා මතක් කරනවා..ඊට පස්සේ අපේක්ෂකතුමා එන්න ඔන්න මෙන්න කියලා අර රැස්වීම තියෙන තැනට ඒ කිවුවෙ මතකනේ අර මෙසයක් තියලා..ඒක උඩින් අලියා බීම බෝතල් දෙකක් තියලා..තව පුටුවක් එහෙම තියලා(පිළිගන්න මල්මාලය ගේන්නේත් අපේක්ෂකතුමා එන වාහනේම තමයි.උන්නැහේ බැහින කොටම කවුරු හරි පටස් ගාලා ඒක එතන ඉන්න කෙනෙකුට දෙනවා..) ලෑස්ති කොරලා තියෙන කාට උනත් දැක පුරුදු ස්ථානය..අන්න එතෙනට ගිහින් පටන් ගන්නවා පූර්විකාව...
ඒකත් පොඩි කථාවක් වගේම තමයි.

අර අපේ කමල් අද්දරආරච්චි උන්නැහේ 'මෙ විරාමයෙන් පස්සේ කිය කිය අදින්නේ'..අන්න ඒ වගේ වැඩක් තමයි ඒක..
කොහොම හරි අහල පහළ උදවිය රැස්වීම් භූමියතුළ රඳවගෙන කතා කරන්න ඔන...
ඊට පස්සේ අපේක්ෂකතුමා රැගත් රිය පෙරහැර ඒ අසලට එනකොට පටාස් ගාලා වාහනේ නැගලා ඉගිල්ලෙනවා ඊළග රැස්වීම තියෙන පොට් එකට..

ආයෙත් ඉතින් අර වැඩ පිළිවෙළම තමයි...

කොහොම හරි ඔය රැස්වීම් ඉවරවෙනකොට රෑ එකොළහ විතර වෙනවා..
ඊට පස්සේ කොහේ හරි නයිට් කඩෙකින් කොත්තු පාරක් දානවා.
වියදම ඉතින් උදේම කාර්යාලයෙන් අතට හම්බ වෙලා තියෙන්නේ..
කෑවාට පස්සේ කෙළින්ම කට්ටිය ගෙවල්වලට දාලා මාත් ගේ ගාවින් බැහැ ගන්නවා.

ඔන්න ඔහොම වැඩෙ කරගෙන යන අතර දවසක් අර අපේ නි.ඇමතිවරයාගේ ගෙවල් පැත්තේත් එක දවසක් යන්න උනා.
දන්නේ නැද්ද ඉතින් ඒ දවස්වල අපේත් නාහෙට අහන්නේ නැති කාලේනේ..
මම මොකද කලේ ඩයිවර් උන්නැහේට කයලා වාහනේ නැවැත්තුවා ඇමතිතුමාගේ ගේ ඉස්සරහා...
පටන් ගත්තා මගේ එනවුන්ස්මන්ට් පාර...
දීලා ඇද්දා මයික් නැතත් අහල පහළ ඉන්න ඔක්කෝටම ඇහෙන සයිස් එකට...
කොල්ලොත් ඉතින් පුල් පිකප්..බැහැපු ගමන් ඒ හරියේ තාප්ප ලයිට් කනු ටික වහලා දැම්මා මදි නොකියන්න..
විනාඩි තුන හතරකින් වැඩෙ ඉවර කොරලා අපේ නෙවෙයි වගේ අපි යන්න ගියා.

කොහොම හරි අන්තිමේ රෑ මම ගෙදර යනකොට තාත්තා ඉන්නවා දුම්මල වරම අතට අරගෙන...

"ලොකු එකෝ...
තෝ මොකක්ද අද දවල් කරලා තියෙන පාහර වැඩෙ..."
බැනුම් කෝටියයි.

"මොනවාද ඉතින් තාත්තා කරන එකම තමයි..
තාත්තා අරුන්දැට වැඩ කරනවා වගේ..මාත් මුන්දැට වැඩ..."

"ඒකට අතන අර දෙනෝ දහක් ඉන්න තැන ගිහින් එනවුන්ස් කරන්න ඔනද..?
උඹ හින්දා මටත් ඒ මිනිහට මූණ දෙන්න බැරි වෙනවා."

"තාත්තා ඉතින් මූණ දුන්නා කියලා අපිට මොනවා ලැඛෙනවද..?
අපි තාමත් කරුවලේ..."

කථාව එතනින් ඉවරයි..

පස්සේ කොහොම හරි කණු හතරක්ම දාලා ගෙදරට ලයිට්නං හම්බ උනා.

අම්මානං කිවුවෙ මිනිහාට වැඩ කරනවාට වඩා අනිත් අයට වැඩ කළානං මිනිහා අපිට හොඳට සලකනවා කියන කථාව තමා.

ආ..මම කියන්න පටන් ගත්තේ වෙන කථාවක් නේද..?

හරි ඉතින් ලයිට් ගත්තට පස්සේ තමයි කරදරයක් නැතිව ටෙලිවිසොන් එක බලන්න හම්බ උනේ...

ඒ කලේ තමයි මම අර කිවුව චිත්තරපටිය බැළුවෙ...

ඉංගිරීසි චිත්තරපට බැළුවා උනත් ඒ ඉතින් ඔය කරාටි මරාටි තියෙන ඒවා විතරයි ඒ කාලේ..
ආ බොරු කියන්න ඔන නැහැනේ..අර නීලවර්ණ ඒවත් ඉතින් බැළුවා. ඒ ගැන කියන්නත් අප්පරමාණ කතා තියෙනවා..ඒත් දැන් ලියන්න ගියොත් කොතනින් කෙළවර කරන්න වෙයිද දන්නේ නැහැනේ...

කොහොම උනත් ෆයිට් නැති වර්ගයේ ෆිල්ම් බලන්න මම හුරු උනේ මෙ ෆිල්ම් එක බැළුවට පස්සේ තමයි..

පුදුම ලස්සන ෆිල්ම් එකක්..

ඔක්කෝටම වැඩිය චිත්තරපටිය අවසානයේ තියෙන ගීතය...
ඒක මට හීනයකින් වගේ අදටත් මතක තිබුනා.
ඒ වගේම අර ගෑණු ළමයා සහ කොම්පීතර උන්නැහේ සමාන්තරව කරන වාදනය...

එදා ඉඳන් අද වෙනකල් මම බලාගෙන හිටියේ ආයේ කවදදා ඒක බලන්න ලැඛෙන්නේ කියලා...
කොච්චර බලන් හිටියත් හරි ගියේ නැහැ.

අන්තිමට අද බයිස්කෝප් අඩවියේ පෝස්ට් එකක් දැකලා ඒකට ගියහම..මෙන්න බොලේ අර ෆිල්ම් එක...
මට නිකං නැතිවෙච්ච ගෑනි හම්බ උනා වගේ...සංතෝසයක් උපන්නා.

2GB වෙච්ච මගේ කොනෙක්ෂන් එක අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න හිතාගෙන හිටියට..මෙක දැක්ක ගමන් ඒවා කැලේ...
කවදාවත් ටොරන්ට් එකකින් ෆිල්ම් එකක් බාලා තිබුනේ නැති මං වැඩේ කොරන පිළිවෙළත් බලාගෙන කොහොම හරි දවල්ම බෑවා.

ඊට පස්සේ හවස් වරුවම ගත කලේ මෙක බලන්න..
හීනයකින් වගේ මතක තිබුණු හැම තැනක්ම නැවත නැවත බැළුවා...
ගීතය වෙනම පටිගත කර ගත්තා...දැනුත් මෙ ඒක පසුබිමින් අහන ගමන්...
කාලෙක ඉඳලා තිබුණු දොළදුකක් සංසිඳවාගත්තා වගේ සතුටුයි...
ගෝලයා,ඇතුළු බයිස්කෝප් අඩවියට අප්‍රමාණ ස්තූතියි..ඔං...

හා..දැන් ඉතින් නෙට් එන එක ටිකක් ගාණකට කරගෙන යමු.නැත්තං ඉතින් ඩයලොග් කොම්පැණිය පෝසත් වෙයි..මං දුප්පත් වෙයි..
හැබැයි ඉතින් ඉන්නේ පැදුරෙ හින්දා වැටෙන්නනං දිහාවක් ආයේ නැහැ...

13 September 2010

ගී ලියන්න මට කීවෙ...

මුකුත්ම නොලියා ඉන්නට හිතුවත්...

කොහොම ඉන්නද..?
මතක් වෙනකොට...

මම කවද්ද කවි ලිවුවෙ..
ඔයා ඒ දවස්වල කවි ලියනවා..
මට ඇහෙන්න කියවනවා.
මම ඒවායේ හොඳ නරක මට තේරෙන හැටියට කියනවා.

අන්තිමට මටත් හිතෙනවා කවියක් ලියන්න.
මම ලියනවා.
මම හිතුව තරම් වෙලාවක් මට ගියේ නැහැ..

ඊට පස්සේ මම දිගට හරහාට ලියනවා..
ඇය අසා සිටිනවා.

මෙහෙම ලියලා ලියලා අවසානයේ මම ලියනවා මෙහෙම..

"එළිපත්තේ වැල් ඇඳක්
මත නැගී බූරුවෙක්..
කවි කියා ලියයි ඌ..
වැඩක් නැති වදන් වැල්.."


ඔයා හිනා උනා..පුදුම විදියට ඔයා හිනා උනා.
මම සතුටු උනා.බූරුවෙක් වෙලා හරි ඔයාව සතුටින් තියනවට වඩා මට වෙන කිසිම දෙයක් ලොකු උනේ නැහැ.

සමහර වෙලාවට මම මෙහෙම ලිවුවා..

"නැතේ කිසි පිළිවෙළක්..
රසක් නැති පද පෙළක්..
ඒ උනත් වෙන දෙයක් වීයන්..
කියා එවනෙමි මෙවන් බහුබූතයක්.."


මම ලියන ශුගාක් දෙවල්වලට පපුව බර කරගන්න ඔයා..
ඒ කවි ළග හිනාවෙන හැටි දැක්කම මම හැමදාම ඒ විදියට ලියනවා.
මොන තරම් සුන්දර දවස්ද..නේද..?

අන්තිමට මම ඔයාගේ තාත්තා වෙනුවෙනුත් ලිවුවා..
තාත්තගේ මරණය සමරන වෙලාවෙ මම ඔයාට මෙහෙම ලිවුවා..

"මල් ගොමු තුළ ඇවිද යමින්-සමනළුන්ට දුක කියනා..
පුංචි දියණි නුඹ තාමත්- දයාබරයි එදා වගේ..
නැති වුන මුත් නුඹ මා හට- නුඹ අසලයි මා තාමත්..
රැදී සිටිනුයේ සැමදා..
සෙනේහයෙන් එදා වගේ..
නාඩන් මා පුංචි දෝණි-කිසි විටකත් කඳුළු සලා..
නුඹ හඩද්දී නුඹට වඩා-සිත රිදෙන්නෙ මගේ නිසා.."


ඔය ආයෙමත් ඇඩුවෙ නැහැ. ඒ වෙනකල් ඔයා හැමදාම වගේ තාත්තව මතක් කරනවා.තාත්තා ඔයා ළගම ඉන්නවා කියනවා. මම ඒ හැමදේම ඔයා වෙනුවෙන් කවි කළා..

ඔයා වෙනුවෙන් ඔයාගේ උපන් දිනයට මම ඔයාගේ අම්මාට කවි ලිවුවා..
ඔයා අඩනවා..ඒවා අහලා..
මතකද.. ඒ කවිය..

"ලෝකයක් දකින්නට පොපියනා හදවතින්..
දියණියක් ඇත නුඹෙ කුස තුලෙහි දයාබර..
ඇයයි මගෙ දිවි කතර කරනුයේ මල් යහන..
ඔබට මා ණයගැතියි සදාකල් සැබෑවට..

නුඹෙ දුක් වෙදනා මුදාලන මොහොතෙහිම..
මගේ දුක් නිවාලන සුරගනය පැමිණෙනුයෙ..
නුඹට ඇය දියණියයි..මට මගේ ජීවයයි..
අනේ අම්මෙ නුඹට සදා මා ණය ගැතියි..

ඔබට වාගෙම අම්මෙ ඔඛෙ පිය සැමියාට..
තුති පුදන්නට ලොවෙ වදන් නැත මා සතුව..
සදාකල් දුක් වින්ද අපිරිමිත දිවි ගමන..
සනසවා නිවාලා ඇය ඒවි මගෙ ලොවට..

දස මසක් කුස හොවා දරාගෙන දුක් ගගුළ..
ඔබ හිඳී බලාගෙන දැක ගන්න ඇගේ රුව..
පිය සෙනේ දරාගෙන ඔහු හිඳී ඔබ ළගම..
ඇගෙ දිවිය සරසන්න..රැකගන්න බලාගෙන..

ඔබ දෙපල වාගේම මමත් මග බලා ඉමි..
මගේ මුළු ලෝකයම දෝතින්ම පිළිගන්න..
එවන් වූ සුභ මොහොත එළඹෙනා යාමයට..
අපි තිදෙන පිළිගනිමු චූටි දූ කුමරියව.."


ඔයාගේ උපන් දිනය මට ඒ තරමට වැදගත් උනා.
මතකද මම ඔයාට උපන් දිනයට දුන්න තෑග්ග..
මගේ අතින්ම පබළු අමුණලා..නූල් ගොතලා වැඩ දාලා හදපු අත් පළඳනාව..
ඔයා ඒක බඳින්නෙම නැතිව ඉඳලා එක දවසක් බැඳලා ආවා මාව බලන්න.
මට එදා තේරුනා ඔයා ඇයි ඒක බඳින්න ලෝබ උනේ කියලා..

ඒ හැම දෙයක්ම මට අද වදදෙනවා..
මොන කරුමයක්ද කියන්න මම දන්නේ නැහැ..දෙයියනේ..
මොන තරම් තැළිලා පොඩි උනත් මම අදටත් ඔයා ගාව පොඩි එකෙක් විතරයි..
ඒ පොඩි එකා ඔයාවම ඉල්ලනවා.
ඌට තේරෙන්නේ නැහැ.ඔයා අද නැහැ කියලා.
ආයේ එන්නේ නැහැ කියලා.

"කියා දෙනවද එක දෙයක් මට..
ඇයිද මෙ හැටි රිදෙන්නේ සිත..
දරා ගන්නට නොහැකි තරමට..
වෙදනාවෙන් දැවෙන්නේ හද..

ලොවෙ කෙලෙසද සිටින්නේ තව..
දරාගෙන මෙ දුක් සුසුම් කඳ..
ඉතින් යන්නට අවසරයි මට..
තෙරක් නැති මරණයේ දොර වෙත.."

හුග දවසකින්...

කාලෙකට පස්සේ අද පොඩ්ඩක් සහනයක් ගන්න හිතුවා.
කස්ටිය දන්නේ නැති උනාට ඔං මම පහුගිය ටිකේ මගේ යාළුවාව ඇසුරු කලේම නැහැ..මම හිතන්නේ සති දෙකකටත් වැඩියි වෙන්න ඔන.
හේතු කිහිපයක් තිබුනා.
එකක් තමයි ඔන නැහැ කියලා හිතීම...
තවත් එකක් තමයි මට කරන්න තිබුනු වැඩක් හින්දා හොඳ සිහියෙන් ඉන්න ඔන වෙලා තිබුණා.
ඒ විතරක් නෙවෙයි ඉතින් ටිකක් අසනීපත් උනානේ...

කොහොම උනත් ඒ දවස් ටිකේ මම උන්නේ මැරිලා වගේ කිවුවොත් හරියටම හරි.
කරන්න තිබුණු වැඩෙත් යම් කිසි මට්ටමකට ඉවරයි.
අසනීප ගතියත් ඉවරයි.
බොන්න ඔනේ කියලත් හිතුනා.
ඉතින් වෙන මොනවද..හවස යක්කල ගියා බඩු ගෙනාවා..
රයිස් එකකුත් දා ගත්තා.
බයිට් කරත්තෙන් ඉස්සෝ වඩෙ,බැදපු මාළු එහෙමත් අරගත්තා.
කොල්ලා ගෙදර..දැන් ඉතින් ජීවත් වෙනවා වගේ දැනෙනවා.

මට වෙලාවකට හිතෙනවා අර ෂෙල්ටන් මුතුනමගේ කියන අවන්හලක කියන ගීතය කොයිතරම් අපූරු ගීතයක්ද කියලා...
මටත් ඒ වගේ උනානම්...

අනේ මන්දා වැඩිදත් කියලා.
කොහොම උනත් හුග දවසකින් මුකුත් නැතිව අමුවටම හිටපු හින්දා ළග නැමුවා දෙතුන් පාරක්ම..

කවුරු කොහොම කිවුවත් මෙහෙම හොඳයි අප්පා..
ඒත් ඉතින් කට්ටිය බනින්නේ මගේ හොඳට කියලා දන්නවා.
අනේ මම දන්නේ නැහැ මට දැන් ඔවා හිතන්න අමාරුයි.

මට අද අපේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ජීවිතේ මතක් උනා.
හරි අපූරු කාලයක් ඒක..
මම හිටියේ කැප්පෙටි පොළ පොලීසියේ.
උදේ පහට නැගිටින්නේ..ඒක කොයි තරම් ලේසිද කියලා හිතුනේ ගුවන් හමුදාවට ගිහින් දියතලාව කඳවුරෙදී පාන්දර හතරට නැගිටින කොට තමයි.
ඒ විතරක් නම් මදැයි..කළුතරදී රෑ දහයට නිදා ගන්නවා..
දියතලාවෙදී එකොළහට..
බඩුම තමයි.

හැබැයි ඉතින් දියතලාවෙ කෑම සහ කළුතර කෑම ගත්තම දියතලාව හොඳයි.
කළුතර කෑම ඉතින් ඔනම නැහැ.
මට මතකයි මම ඒ දවස්වල ගෙදරට දාපු ලියුමක කෑම ගැන කියලා ඇරියා.
ඔක දැනගත්තු අපේ මහප්පාගේ පුතා..ඒ කියන්නේ මගේ අයියා කෙනෙක්සහ උන්ගේ නංගීලා දෙන්නා මට එවපු ලියුම..
අප්පච්චියේ අදටත් ඒක මං ගාව තියෙනවා.
උං ඒකේ රූකඩයක් ඇදලා..
ඒ මදිවට ලියලා..
අඩෝ උඹ කොට කලිසමකුත් ගහගෙන පරිප්පු හොද්දට බැහැපං කියලා.

කළුතර පරිප්පු කියන්නේ අනිවාර්යය දෙයක්.
උදේට පරිප්පු හොඳි එක්ක පාන්..හැබැයි ආසාවට එක පරිප්පු ඇටයක් ඒ හොද්දේ නැහැ.
සුවදෙන් තමයි කියන්නේ ඒ පරිප්පු හොඳි කියලා.

දවල් කෑමටත් පරිප්පු තියෙනවා..අර උදේ හොද්දෙන් ගොඩ දාපු පරිප්පු ටික එළියට එන්නේ දැන් තමයි...හොදි බිංදුවක් නැහැ.
ඉතින් ඔයාලා හිතනවාද රෑට පරිප්පු නැහැ කියලා..
පිස්සුද..
මෙන්න රෑට දෙනවා..මොනවද..පරිප්පු..හැබැයි නිකං පරිප්පු නෙවෙයි කඩල පරිප්පු...
දැන් මෙ මම මෙ වගේ ෆිට් ශරීරයක් හදාගෙන තියෙන්නේ ඒ කෑව පරිප්පු කන්දරාවට පින් සිද්ධ වෙන්න තමයි ඔං...

මට අද කළුතර පීටීඑස් එක මතක් උනේ වෙන දෙයක් හින්දා නෙවෙයි..
එහෙදී අපි නාපු හැටි මතක් වෙලා.

අපේ හැම පොලිසියකටම වගේ නාන ළිදක් තියෙනවා.
පැය බාගයක් වැනි කාලයකදී හතළිහක් විතර ඔය ළිදෙන් නානවා කියන්නේ ලේසි පහසු කාරියක් නෙවෙයි.
බාල්දි දෙකයි ඔක්කෝටම...

ඉතින් සමහරු සබන් පෙට්ටි පියනෙනුත් නානවා.

මම මොකද කලේ වෙල්ෆෙයා ෂොප් එකෙන් ගත්තා ලොකු ප්ලාස්ටික් ජෝගුවක්..
දැන් ඉතින් ඒක තමයි මගේ බාල්දිය..
රෙදි හෝදන්නෙත් ඔකෙම තමා.
ඒ විතරක් නෙවෙයි හීටරෙ ගහලා වතුර එකක් උණු කරගෙන තේ හදන්නෙත් ඔකෙම තමා.
මල්ටි පර්පස්..
ඇත්තටම හමුදා පුහුණුවට ගිය කාලේ මගේ ඔය වැඩ පිළිවෙළ හරි උපකාරී උනා මට..
නැත්තං ඉතින් අඩි පහයි අගල් හතරක් උස පුංචි පහේ හාදයෙක් උන මාරයා කොහොමද නවසිය හතළිස් හත් දෙනෙකුගෙන් පනස් හතර වැනියා වෙලා කෝස් එක හමාර කරන්නේ..

ඒහෙම නොකළනං මටත් වෙන්නේ ජූනියර් නම්බර් එකක සදා උරුමක්කරු වෙලා මුළු කෝස් එකටම තේ ඇද ඇද ඉන්න තමයි..
හප්පා ඒ දවස්වල නැහුනු නැහිල්ලක් මට තාමත් හති.

අද නං මට හොඳටම වැඩියි වගේ..මෙයිට වඩා ලියන්න ගියොත් මොනවා ලිය වෙයිද දන්නේ නැහැ.
*********************************************************************

අපොය් මට බැහැ. දැන් මට මාව කොන්ටේ්‍රල් නැහැ.

වෙන්නට නතර කවදා කෙළෙසක හැකිද..

ඉන්නට සිතක් නැතිවද යන්නට බැරිය..
එන්නට උනේ පෙර කළ මහ කරුමෙටද..
වෙන්නට නතර කවදා කෙළෙසක හැකිද..
යන්නට නොවේ ඉන්නත් දැන්නම් බැරිය..

ගොක්වැල් ඉටිකොළද සැරසිලි නිබඳ මැවේ..
කැරම් බූරූ ගසනා අය හතර අතේ..
හතරවරම් ඇද බානා අයද පෙනේ..
ගේ මැද පෙට්ටියක තනිවම සිටිනු දැනේ..

උන්නත් කොතෙක් කල් ජීවන ඔරුව පැද..
යන්නට මොහොත හෙට දිනයෙහි එන්නේද..
එන දින සතුට යන දින සිත නොරැදුණිද..
උපතක සිරිය අවමගුලක ගැවසුණිද..

11 September 2010

පන්සලේ ජීවිතය...දිනය හෙටයි...

පහුගිය දින කිහිපය පුරාම කිසිවක්ම ලියන මානසිකත්වයක් තිබුණේ නැහැ කිවුවොත් ඒක නිවැරදියි.
ශාරීරික වශයෙන් බොහෝකොටම දුර්වල ගතියත් ඒ සඳහා බලපාන ලදි. මනසද නිරවුල් යැයි කිව නොහැකි සෙයකි.
නුමුත් ලියන්නට හිත කියයි. දෑගිළි එකග නොවෙ...අන් අයගේ ලිපි කියවීමත්..ඒවාට අදහස් පළ කිරීමත් හැරුණු කොට කේන්දර බැලීමෙ කටයුතු සඳහා තරමක අවධානයක් යොමු කරන්නට සිදු වූයේ ආර්ථීක තත්වය තරමක් යහපත් කරගැනීමේ අවශ්‍යතාවය පිණිසමය.

ඊට අමතරව යෙහෙළියකගේ උවමනාවක් ඉටු කරලීමට හැකිදැයි සොයා බැලීම සඳහා පොත පත ඇසුරේ කල් යැවීමත් අඛණ්ඩව සිදු විණි. කාරිය බැරෑරුම් මුත් හැකි උපරිම උත්සහය යෙදවිය යුතු විය.යන්තම් පොටක් පෑදීගෙන එන ලකුණු දිස් වේ.

අද දින මා විසින් ලියන ලද පන්සල් කථා මාලාවෙ සියළුම ලිපි තරමක් වෙගයෙන් කියවාගෙන ගියෙමි. මට තරමක කලකිරීමක් උපදිණ.
කථාව ඇරඹී ඇත්තේ ක්‍රීම්ක්‍රැකර් විස්කෝතුවකිනි. එය මටද අමතකව ගොස් තිබිණි. නමුත් ආරම්භයේ වූ තරම් කථාවෙ සාර්ථකත්වයක් පහුවන්නට නැති වී ගොස් ඇති සෙයක් හැගී ගිය නිසා නැවත කල්පනා කරන්නට වූවෙමි.
හේතුව සම්භ විණි.

කථාව හැකි ඉක්මනින් කියා නිම කොට කටයුත්ත අවසන් කිරීමෙ හදිසියක් ලිපි තුළීන් විද්‍යාමාන වී ඇත.
ලොකුම දුර්වලතාවයක් වූයේ ලිපිවල ඇති දීර්ඝ ස්වභාවයයි.
මා සිතනා හැටියට බ්ලොග් අවකාශයේ ලියැවෙන දීර්ඝම ලිපි කිහිපය අතරට මාගේ පසුගිය ලිපි කිහිපයද එක් විය හැකි බවයි.
ඇත්තෙන්ම එය මා කැමති දෙයක් නොවේ.
මා වූවද දීර්ඝ ලිපි කියවන්නට තරමක් මැළිය.
ඒ තත්වය නැත්තේ දුකාගේ දීර්ඝ ලිපි හා ප්‍රතිචාර කියවීමේදීත්, තිස්ස අයියාගේ ලිපියට යටින් දිවෙන ප්‍රතිචාර සාහිත්‍යය කියවීමේදීත් පමණි.
ඊට අමතරව ඇත්තේ ටැබූගේ ලිපි පමණි.
මාත් අකමැති දෙයක් අන් අය ලවා කරවීම අනුමත කරන්නේ කෙසේද..?

නමුත් ප්‍රශ්නයක් ඇත. ලිපියක් ලියන්නට ගත් කළ එය ලියන්නට අරමුණු කර ගත් සිදුවීම අවසන් වන තෙක් ලිපිය අවසන් කිරීමට මා තුළ ඇති අකමැත්තයි. ලිපිය කියවන අයට එය බලවත් අසාධාරණයක් ලෙස මා හට සිතේ.
කුට්ටි වශයෙන් එන ලිපි කියවීමෙදී මාහට එන නොසන්සුන් ගතිය තවකෙකුට දෙන්නේ කෙසේද..?
ඇත්තෙන්ම ලියනවාට වඩා නිසසංසල රැයක එළිමහනේ වාඩි වී සහෘදයින් පිරිවරා මෙ කථාව කීමට ඇත්නම් එය මට මහත් වූ පහසුවක්ය...
එවිට අසන්නාට අවසානය තෙක් අසා සිටීමට හැකි පරිදි කථාව කීමටත් සුළු සිද්ධියක් වූවද විස්තරාත්මකව කීමටත් මට පහසු වනු ඇත.
නමුත් අද මා කතන්දර කියන්නකු නොවේ...
එය ලියා තැබීමට මා හට සිදු වී ඇත...
ඉතින් සිදුව ඇති දෙයට මා කුමක් නම් කරන්නද..?

...................................................................................

පන්සල් වත්ත එළි පෙහෙළි වීමත් වෙනදා මෙන් නොව මිනිසුන් ටිකෙන් ටික පන්සල කරා ඇදී ඒමත් කෙරෙමින් පැවතිනි.
යෝජිත දිනයට සති දෙකකට පමණ පෙර නැවත ගම්මුන් රැස් කරවා නැවත වතාවක් සියළුම කටයුතු සංවිධානය කරගනු ලැබිණි. මා මෙ දිනවල කුමන කටයුත්තක නිරත වූවද ඒ සියල්ලක්ම කලේ පිරිත් පොත කට පාඩම් කරනා ගමන්ම විය.
පින්කමට සතියකට පමණ පෙර ගුණරතන හිමියන් මා කැඳවා පාඩම් කටයුතු පිළිබඳව විමසා බලන ලදි.
පැවිදි කිරීමෙදී කිවයුතු කර්ම වාක්‍යය නිසි පරිදි පාඩම් වී ඇද්දැයි වැඩිපුරම සොයා බලන ලදි.

සියල්ල හොඳින් කෙරෙමින් පැවතිණ. මෙ අතර එක් දිනක් සෑහෙන කලකින් පන්සල හතර මායිමෙ පස් නොපාගා සිටි නාරද හිමියන්ව හූරා කමින් පන්සලේ රැඳී හුන් පරපුටු ආලවක තෙමෙ පන්සලට ගොඩ වැදිණි.

ටික වෙලාවක් පන්සලේ රැඳී සිටි ඔහු අවසානයේ යන්නට සූදානම් වී චන්දවිමල හිමියන්ගෙන් මුදලක් කපා ගැනීමට සූදානම් විණි. නමුත් ඔහුගේ උත්සහය සාර්ථක නොවීය..
අවසන හෙතෙම මා ආමන්ත්‍රණය කරමින්..

"මල්ලී මහණ උනාට කමක් නැහැ, අපිත් ඉතින් මෙහෙ එන යන වෙලාවට අපිටත් ඉතින් කීයක් හරි දෙන්න ඕන"..යැයි පවසන ලදි..

මා සිටියේ අවස්ථාව ලැඛෙන තුරුය..

"ආ...........අයියේ..ඒක නම් කරන්න හම්බ වෙන එකක් නැහැ. මොකද පන්සල හදනවා ඇර වෙන කිසිම දෙයකට මම ලැඛෙන කිසිම දෙයක් නාස්ති කරන්නේ නැහැ."

"ඒකත් එහෙමද...?"

පුද්ගලයා පිටත්ව ගියේ හිත හොඳින් නම් නොවෙ..
නමුත් නියපොත්තෙන් කැඩිය යුතු දේ එසේම කිරීම පිළිබඳව මා පසුතැවුනේ නැත..
පසුව මා මෙ පිළිබඳව විලී අයියා පැමිණි විට කියා සිටින ලදි.

"මල්ලී ඔය වැඩෙ ඕකාට කරන්න තිබුනේ ඔයිට කළින්..කොහේද මෙ අපේ නාරද හාමුදුරුවෝ එක්ක ඒක කරන්න හම්බ උනේ නැහැනේ..ලොකු දෙයක්."

විලී අයියා පින්කමට දින කිහිපයක් තබා පැමිණ ගිය අතර පින්කමට පැමිණීම සඳහා නිවාඩු ලබාගත නොහැකි බව දුකින් මෙන් කියා සිටි අතර පසුව පැමිණ හැකි සෑම උදව්වක්ම කරන බව පවසන ලදි.

මෙ අතර ගුණරතන හිමියන් විසින් ආරාධනා පතක් සඳහා සැලසුම් සකස් කර ගෙන විත් මා අත තැබූ අතර මා එයත් රැගෙන ගුණරතන හිමියන් පැවසූ ස්ථානයකට ගොස් මුද්‍රණය කරවා ගෙන පැමිණියෙමි.

ආරාධනා පත් මුද්‍රණය කරවා අවසන් වූ පසු ගුණරතන හිමියන් අසල විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන්ද එක්කරවාගෙන පළාතේ සියළු පන්සල් කරා පින්කමට ආරාධනා කිරීම පිණිස දින කිහිපයක්ම යන ලදින් ඒ දිනවල සෑම කටයුත්තක්ම මවිසින් සොයා බලා කරනු ලැබීය..

මීට පෙර කිසිදු දිනක පැවිදි කිරීමෙ පින්කමක් සියැසින් තබා කුමන හෝ අයුරකින්වත් දැක නොසිටි මට මගේම මහණ පින්කමෙ කටයුතු සංවිධානය කිරීමට සිදුව තිබිණි.මට අත්දැකීම් තිබුණේ මළ ගෙවල්වල කටයුතු සංවිධානය කිරීම සඳහා පමණි.ඒ මා ගම සිටි අවදියේ කළ කටයුතුවලින් එකක් පමණක් වූ බැවිනි.
අධ්‍යාපන කටයුතු හමාර කොට රස්තියාදුවෙ සිටි කාලය තුළ මරණ ගෙයක් කොහේද ඒ සෑම තැනකම මා විය.

එක් වරක් මා මළ ගෙවල් උදෙසා එක දිගට දින දහසයකට ආසන්න කාලයක් නිදිවරා තිබුණි.සෑම දිනකම උදෑසන අටට පමණ ගෙදර ගොස් පැය දෙකක් හෝ තුනක් පමණක් නිදා ගන්නා මා නැවත මළ ගෙදරට ගොස් එහි කටයුතු සොයා බලා කරන්නෙමි.ඒ අවදියේ මළ ගෙවල්ද එක පෙළට කිහිපයක් විය.
අවසානයේ හිතවතුන් 'මළගෙවල් සංවිධායක' යන උපහාර නාමය මාහට පුද දෙන අවස්ථාව දක්වාම මා එම කටයුතුවල නිරත වීමි.එබැවින් මළගෙවල්වල කටයුතු පිළිබඳව මනා අවබෝධයක් මාතුළ විය.එම අත්දැකීම් වූවද පසුකාලීනව මා හට බොහෝ උපකාරී වූ බව නම් කිව මනාය..

ගුණරතන හිමියන්ද හැකි සෑම විටම පැමිණ කටයුතු සොයා බලන ලදි. මෙයට අමතරව මෙ පින්කම සඳහා අසල විහාරයේ ලොකු හාමුදුරුවන්ද උනන්දුවෙන් කටයුතු කරන ලදි.

ඇත්තෙන්ම උන්වහන්සේගේ උදව් උපකාර ජීවිතය තිඛෙනාතුරාවට අමතක කළ හැකි නොවේ..

මැනවින් ශුද්ධ පවිත්‍ර කරනු ලැබූ පන්සල් භූමිය උත්සව සිරි ගන්වනා ලද්දේ ගමෙ තරුණයින් විසිනි.
කිසිවකුගේ කිසිදු ආරාධනාවක් මතවත් පන්සලට ගෙන්වාගත නොවුනු ඔවූහු..
කිසිදු දැන්වීමකින් තොරවම පැමිණ අවශ්‍ය සැරසිලි කටයුතු භාර ගෙන කර දී පිටව යන ලදි.

දහම් පාසලේ මාගේ ගෝලයින් ප්‍රධාන කොට තවත් සිසුන් කිහිපදෙනෙකුම සවස් කාලයන්හී පැමිණ පන්සල් වත්තේ ගැවසෙන්නටත් සුළු සුළු අත්උදවු දීමත් සිදු කරන ලදි.

සියල්ල හරියාකාරව කෙරෙමින් පැවතිණී.

ගුණරතන හිමියන් විසින් ආරාධනාපත් මිටියක් මාගේ නිවසටද යවා ඇති බව මා හට දන්වන ලදි.
එය එතරම් මා සිත් ගත් කරුණක් නොවූවද..නිහඩව සිටියෙමි.

පින්කමට පෙර මවිසින් සුදු සරමක් සහ සුදු කමිසයක් මසා ගනු ලැබිණි.
එය මා හට අදින්නට ලැබුණේ එකම එක දිනක් පමණි. ඒ මා පැවිදි වූ දින පමණි.

දිනය ළගාවිණි..ඒ හෙට දිනයයි.

සුමෙධ හිමියන් වැඩම කරන ලද්දේ විමලසිරි හිමියන්ද කැටුවය..
ඊට අමතරව මෙතෙක් කලක් පන්සලට ආ ගිය කළුතර දිස්ත්‍රික්කයේ හිතවත් හිමිවරුන් කිහිප නමක්ම වැඩම කරන ලදි.

පින්කමට පෙර දින රාත්‍රිය සැබවින්ම අපූරු රාත්‍රියක් විණි.

එදින රාත්‍රි උයන්නට මාහට සිදු නොවීය..
ගුණරතන හිමියන් විසින් සියළු දෙනාටම කෑම ගෙන්වා දෙන ලදි.

සියල්ලෝම එක් රැස්ව කතාබස් කරමින් කල් යැවුවෙමු.
අතීත මිහිරි මතකයන් මුසු කොටගත් පැවිදි වූවන්ගේ කතා බහින් රාත්‍රිය ගතවන ආකාරයවත් දැනුනේ මා හට නොවේ...
තීරණාත්මක දිනකට අරුණළු උදාවන්නා වූ ඒ දිනයට සූදානම් වීම පිණිස අප සියළු දෙනාම මධ්‍යම රාත්‍රිය පසු වද්දී නින්දට වැටුනෙමු.

....................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

07 September 2010

අන්තරාදායකයි...

නෙතින් දොඩමළු වීය ඉඳහිට..
සිතින් වූවද විටක ළං විය..
අසම්මත බව දැන දැනම මුත්..
අසංවර සිත ගියා දස අත..

කොහේදෝ සිට පාව ඇවිදින්..
ඔබ රැදී නෙතු මායිමෙ..
සසල සිත ළග උනා ලෙන්ගතු..
වරද කා අත නොම හැගේ..

අනුන් සතු විජිතයක රැජිනක්..
දැන දැනම විත් හිතේ රැදුණත්..
හෙටක් ගැන හෝ සිතා ගන්නට..
නොහැකි පෙම් සිහිනයකි තවමත්..

03 September 2010

පන්සලේ ජීවිතේ...සංවාදයක් සහ අතීත කථාවක්... .

"චන්දවිමල හාමුදුරුවෝ මම මහණ වෙන එකට අකමැතිද..?"

"නෑ..ඒ මොකද..?"

"නෑ හවස මම අර මනුස්සයා ආ වෙලේ දුන්න මුදල භාර නොගත් නිසා මට එහෙම හිතුනා."

"නෑ ඉතින් එ මනුස්සයා ඒක දුන්නේ ඔයාටනේ.."

"ඒ උනාට හාමුදුරුවෝ මම මෙච්චර කලක් මෙතන හම්බවෙන පොඩි මුදල උනත් දුන්නේ හාමුදුරුවන්ටනේ.."

"ඒ ඉස්සරනේ දැන් මෙතන අයිතිකාරයා වෙන්නේ අයියානේ..ඒ හින්දා අයියම ඒවා තියා ගන්න.."

"චන්දවිමල හාමුදුරුවනේ.. මට සල්ලි ඔන නැහැ. ඒවා ඔබ වහන්සේ අතට ගන්න.. මම පිළිවෙළකට මෙ පන්සල හදලා දෙන්නම්.. මම හුග කාලයක් මෙකේ ඉන්නේ නැහැ. අපි මෙක ගොඩ දාමු. ඒ පින අපි දෙන්නටම තියෙයි.
ඊට පස්සේ මම යනවා. ඔබ වහන්සේට පුළුවනි මෙතන කරදරයක් නැතිව වැඩ ඉන්න."

"අනේ මෙ මට පිස්සු නැහැ මේකේ ඉන්න..මාත් පුළුවන් වෙච්ච ගමන් යනවා යන්න..."

තව දුරටත් කතා කළ හැකි යමක් නොවිණි... මීට පෙරද චන්දවිමල හිමියන් සිවුරු හැර දා යෑමට උත්හස කර තිබුණද එය අසාර්ථක වී තිබිණි.

එවිට නාරද හිමියන්ද පන්සලේ වැඩ සිටියේය...

මා මගේ ගුවන් හමුදාවෙ ගත කල අවදිය පිළිබඳ කියූ කතාවක් අසා ඒ පිළිබඳව උනන්දු වූ චන්ද විමල හිමියන්හට ගුවන් හමුදාවට යෑමෙ ආසාවක් පහළව තිබුණි.

එයට නාරද හිමියන්ද අනුකූල තාවයක් දැක්වූ හෙයින් ඒ සඳහා මා උදවු කිරීමට පොරොන්දු විණි.

ඒ අනුව උන්වහන්සේට අවැසි ගිහි ඇදුම් පැළදුම් මවිසින් සකස් කර දුනිමු.

එක් දිනක පාන්දර හතරට පමණ පන්සලෙන් පිටත් වූ අප රත්මලානේ වැඩ විසූ උන්වහන්සේගේ සහෝදර භික්ෂුවක් හමු වී එහිදී සිවුරු මුදා හැර ගිහි ඇඳුමින් සැරසී ගුවන් හමුදා මූලස්ථානය වෙත ගියෙමු.
ගිහි ඇදුමින් සැරසී ගත්තද හිමියන්ගේ ඇවතුම් පැවතුම් එක්වරම වෙනස් වන්නේ නැත. රත්මලානෙන් බසයට නැගි පසු ඉදිරිපස අසුන ළගට වී සිට ගත් හෙතෙම මදෙස බැලීය.. මා කාරණාව තේරුම් ගෙන චන්දවිමල හිමියන් නැතහොත් ඒ මොහොතේ නම් ගුණසිරි නම් වූ මා හිතවතා අසලට ගොස් කණට කොඳුරා...

ඔතනට වෙලා ඉන්න එපා දැන් කවුරුවත් සීට් එක දෙන්නේ නැහැ..අපි යං පස්සට..යැයි කියූ විට තත්වය තේරුම් ගත් ඔහු සිනාසී මාත් සමග බසයේ පසුපසට වී ඉඩ ඇති තැනකින් වාඩි වී ගමන් ගත්තේය.
මෙම සිදු වීම අප පසු කලකද සිහි කරමින් විනෝද වූයෙමු.

කෙසේ හෝ ඔහුව ගුවන් හමුදා බඳවා ගැනීමෙ පරීක්ෂනය සඳහා ඉදිරිපත් කල මා සිවුරු රෙදි රැගත් බෑගයත් සමග නැවත ආපසු පැමිණියේ හෙට දින රත්මලාන පන්සලේදී නැවත මුණ ගැසීමට කතිකා කොට ගෙනය...

නැවත දහවල් වන විට පන්සලට පැමිණි මා නාරද හිමියන්ට හා සුමෙධ හිමියන්ට සුදු වූ සියල්ල පවසා ඉන් පසු අප පෙර සේම දිනය ගත කලෙමු.

රාත්‍රී දහයට පමණ පන්සලේ ජනේලයට තට්ටුවක් දැමූ චන්ද විමල හිමියන් අප අමතනු ලැබීය...

වහා ගිහි ඇඳුමින් සැරසී සිටි ඔහුව පන්සලට ගත් අප සිදු වූ සියල්ල විමසා සිටි අතර.. නාරද හිමියන්නම් ගිහි වෙසින්ම පන්සලට පැමිණිම පිළිබඳවත් හෙට දින මා පැමිණෙන තෙක් නොසිටීම ගැනත් චන්දවිමල හිමියන්ට බැණ වැදිණි.

කෙසේ හෝ නැවත සිවුරු පෙරවාගත් චන්දවිමල හිමියන් සිදු වූ සියල්ල විස්තර කලේය...

උස මැනීම්, ඇස් පරීක්ෂා කිරීම් ආදී කායික පරීක්ෂණ අවසානයේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා වූ අවස්ථාවෙ යම් ගැටළුවක් පැණ නැගී ඇත..

එනම්....
පිරිවෙන් අධ්‍යාපනය ලද චන්ද විමල හිමියන් පිරිවෙනේ පවතින මූලික පංති පහ අවසන්ව පිරිවෙන් අවසානය නම් වූ සාමාන්‍ය පෙළ විභාගයට සමාන්තරව පැවැත්වෙන විභාගය සමත්ව තිබූ අතර එම විභාගයේ ප්‍රථීඵල මත උසස් පෙළ විභාගය කලා අංශයෙන් උගෙන තිබිණි.

උසස් පෙළද යම් තරමකින් සමත්ව තිබුණද ගුවන්හමුදාව විසින් සාමාන්‍ය පෙළ සහතිකය ඉල්ලු විට දුන් පිරිවෙන් අවසාන සහතිකය වලංගු නොවන බවත් සාමාන්‍ය පෙළ නොමැතිව බඳවා නොගන්නා බවත් පවසා ඇත.
ඉන් පසු පරීක්ෂණ භූමියෙන් පිටත්ව ගිය ගුණසිරි..යායුතු අතක් නොමැතිව කොටුව දුම්රිය ස්ථානය සොයාගෙන ගොස් දුම්රියේ නැගී නුවර බලා පිටත්ව ගොස් 'දළදාව' වැඳ පුදා..නැවත බසයක නැගී රෑ බොවන විට පන්සලට පැමිණ තිබේ...
එයින් පසු හමුදාවට බැඳීම සඳහා වූ ආශාව අත හැර තිබූ චන්දවිමල හිමියන්ට සාමාන්‍ය පෙළ විභාගය කිරීමට ඇවසි විය.
නමුත් වියදම් කිරීම ගැටළුවක් විණි. එහිදී මවිසින් නගරයේ පන්සලට ගොස් ගුණරතන හිමියන් මුණ ගැසී එයට පිළියමක් සපයා දුන්නෙමි.

ඒ දින වල ගුණරතන හිමියන්ගේ පන්සලේ සාමාන්‍ය පෙළ සදහා පෞද්ගලික ගුරුවරුන් විසින් පංති පවත්වනු ලැබූ අතර මවිසින් කළ ඉල්ලීම අනුව එම ගුරුවරුන් සමග කතා බස් කොට ගුණරතන හිමියන් විසින් නොමිලයේම චන්ද විමල හිමියන්ට ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රිසී යන විෂයන්ට ඉගෙනීමට අවස්ථාව සලසා දෙන ලදි. අනිකුත් විෂයන් සම්බන්ධව මා විසින් වගකීම භාර ගත් අතර දායිකාවක වූ ගුරුවරිකට පවසා දහය හා එකොළහ වසරට අඳාළ පාසල් පෙළ පොත්ද සපයා දුන්නෙමි.

නමුත් දින කිහිපයක් පන්ති සඳහා සහභාගී වූ උන්වහන්සේ කම්මැලි වීය..පන්ති යෑමත් ඉගෙනීමත් අතැර දැමීය..
විභාගයේ ආසාව අතැර දමා වෙන දෙයක් උනාවෙ යයි පවසා නිහඩ වීය..

උන්වහන්සේගේ තීරණයට ඉඩ දුන් මා නිහඩ වීමි.

කෙසේ නමුත් මා පැවිදිවීම පිළිබඳව මුලින් සතුටු වූ මුත් පස්සෙන් පහු උන්වහන්සේගේ වැඩි කැමැත්තක් නැති වග මාහට දැනුනි. මෙ අතර 'සුමෙධ' හිමියන්ද හදිසියේ පන්සලට වැඩම කරන ලදි.
ඒ වැඩම කොට චන්දවිමල හිමියන් සමග යම් කතාවක නිරත වූ අතර මා කුමන හෝ වැඩක නිරතව සිටියෙමි.
පසුව මා සමග කතාවට වන් සුමෙධ හිමියන්..

"මල්ලී දැන් මෙහෙ මහණ වෙනවාළු නේද..?"

"එහෙමයි සුමෙධ හාමුදුරුවනේ හිතන් ඉන්නේ..."

"ඔයා කැමති නැද්ද වෙන පන්සලක මහණ වෙන්න.. මම දන්න කියන තැන් තියෙනවා."

"ඒ මොකද සුමෙධ හාමුදුරුවෝ..?"

"නෑ නිකං..."

"මෙකනේ හාමුදුරුවනේ දැන් මම මෙහෙ හැමෝටම වචනේ දීලානේ තියෙන්නේ..ඇරත් මෙහෙ මහණ උනා කියලා ප්‍රශ්නයක් නැහැනේ."

"ඒත් මෙක ලොකු වගකීමක්නේ..ඔයාට පුළුවන් වෙයිද මෙක කරන්න..."

"කොච්චර ලොකු උනත් කරන්න වෙනවනේ සුමෙධ හාමුදුරුවෝ...දැන් පස්ස ගහන්න බැහැනේ..."

"ඒකත් ඇත්ත තමයි...මම පොඩි කාරණාවක් කියන්න අමනාප වෙන්නේ නැහැ නේද..?"

"පිස්සුද සුමෙධ හාමුදුරුවෝ...මම කොහොමද ඔබවහන්සේ එක්ක තරහා වෙන්නේ..."

"මෙකයි මල්ලී...චන්දවිමල ඒ තරම් කැමති නැහැ ඔයා මෙහෙ මහණ වෙනවට...ඒත් මිනිහා ඒක කියන්නෙත් නැහැ. මටත් මෙ හදිසියේ පණිවිඩයක් යවලා ගෙන්න ගත්තේ ඒක කියන්න."

"ඒ ඇයි හාමුදුරුවනේ..චන්දවිමල හාමුදුරුවෝ සිවුරේ ඉන්නේ නැහැ කියලනේ කියන්නේ..දැන් ඉන්න තීරණය කරලද..? එහෙම නම් මම හාමුදුරුවොත් එක්ක එන්නම්."

"නෑ..නෑ... මිනිහා ඉන්නේ නැහැ..ඒත් දන්නේ නැද්ද..? පොඩි ඉරිසියාවක් වගේ දෙයක් ඇති වෙලා..
මිනිහාට මෙවා කරන්න බැහැ."

"මම හිතුවා ඔක..ඒත් මම හිතුවෙ නැහැ ඔබ වහන්සේ ලවා මෙහෙම කියවන්න තරම් උන්වහන්සේ හිතයි කියලා.
කොහොම උනත් මට ඔබ වහන්සේලාට පිටින් යන්න බැහැ. ඒ හින්දා අපි ගුණරතන හාමුදුරුවන්ටත් කියලා චන්දවිමල හාමුදුරුවන්ට පන්සල භාර දෙමු."

"පිස්සුද මල්ලී මෙ යකා මෙක භාර ගන්න සූදානම් නැහැ."

"එහෙනම්..."

"අනේ මන්දා... මිනිහා ඉන්න කැමති නැහැ..ඒත්..."

"මෙකයි සුමෙධ හාමුදුරුවෝ..මම කවදාවත් ඔබ වහන්සේලා කියන දේ අහක දාන්නේ නැහැ. පහු ගිය කාලේ උනත් චන්දවිමල හාමුදුරුවන්වත් බලා කියාගෙන මම හිටියේ ඔබවහන්සේලා මට කරපු උදව්ව නිසයි. ඒත් අන්තිමට චන්දවිමල හාමුදුරුවෝ එක දිගට දවස් ගණන් ඇවිදින්න ගියා. පන්සලේ කවුරුවත් නැහැ. අන්තිමට කොහොමටත් වැඩි බලාපොරොත්තුවක් නැතිව හිටිය මම මහණ වෙන්න තීරණය කලේ මට කෙසේ වෙතත් මෙ ඉන්න තැනටවත් යමක් කරන්න මට පුළුවන් කියලා හිතුන නිසයි. නැත්තං මට එන්න කියලා අහල පහළ පන්සල් ඔක්කෝගෙම ඉන්න හාමුදුරුවරු කතා කරනවා."

"මම දන්නවා මල්ලී..."

"ඉතින් එහෙම තියෙද්දිත් මම මෙතන මහණ වෙන්න තීරණය කලේ මම දවසක් හරි වෙලක් කාලා සැනසීමෙන් හිටිය තැන විනාශ වෙද්දී මට විතරක් ගිහින් වෙන පන්සලකට වෙලා ඉන්න නෙවෙයි. මටත් කරන්න පුළුවන් යමක් මෙතනට කරන්න. නමුත් චන්දවිමල හාමුදුරුවෝ මෙතන ඉන්න සතුටුනම් හැමදාමත් උන්වහන්සේට උදවු පදවු කරගෙන ස්ථානෙත් බලාගෙන ඉන්න මට පුළුවන්..හැබැයි හරි කෙළින් වචනයක් දෙන්න ඔන..."

"කෙළින් වචනයක් කිවුවෙ...?"

"ඒ කිවුවෙ මෙකයි...දැන් හැම දේම සූදානම් කරලා තියෙන්නේ.. දැන් මම අත ඇරලා ගියොත් මාව විශ්වාස කරලා මෙකට ලක ලෑස්ති උන හැමෝම කලකිරිලා ආයෙමත් පන්සල අත හැරලා දානවා. එහෙම උනොත් මම මහා ගුණමකු කමක් කලා වෙනවා.. අනික මම පහුගිය දවස්වල මෙකේ තනියම ඉන්න කොට මට මිනිස්සු තමන්ගේ දරුවෙකුට වගේ සැලකුවා. එහෙවු මිනිස්සුන්ට එහෙම කරන්න හොඳ නැහැනේ.. හැබැයි චන්දවිමල හාමුදුරුවෝ මෙහෙ දිගටම ඉන්නවා කියලා ඒ මිනිස්සුන්ට වචනයක් දෙනවනම් මට පුළුවන් මෙක ගමෙ මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන්න..මොනවා උනත් ඒ මිනිස්සුන්ටත් සාධාරණයක් වෙන්න ඔන..."

"මල්ලී කියන්නේ ඇත්ත තමයි..ඒත් චන්දවිමල ගැන දන්නවනේ එයා පුළුවන් වෙච්ච ගමන් සිවුරු අරින්නයි ඉන්නේ.."

"ඒක මම දන්න හින්දා තමයි හාමුදුරුවනේ මම මෙ තීරණේ ගත්තේ..නැතුව මට මහණ වෙන්න පන්සල් නැතිව නෙවෙයි. ඔබ වහන්සේත් දන්නවනේ........ගොඩ පිරිවෙනේ පරිවෙනාධිපති හාමුදුරුවෝ නෑදෑකමින් මට මහප්පා..මට මහණ වෙනවනම් හොඳම තැන තමයි එතන. ඉගෙන ගන්නත් පුළුවන්. ඒත් මට මෙ දිගටම ඉන්න කරන වැඩක් නෙවෙයිනේ.. මට ඔන මගේ ජීවිතේටත් අත්දැකීමක් ගන්න ගමන් මෙ තැනටත් හොඳක් කරලා..මෙ මිනිස්සුන්ටත් පිහිට වෙන එකයි.."

"හරි මල්ලී මට තේරෙනවා... ඔහොම කරගෙන යං..චන්දවිමල එක්ක අමනාප වෙන්න එපා."

"හාමුදුරුවනේ.. මම චන්දවිමල හාමුදුරුවන්ව පහුගිය කාලෙත් බලාගත්තා..උන්වහන්සේ තවම හුගාක් පොඩියි. ඇගපතින් ලොකු උනාට හිතන්නේ පොඩි එකෙක් වගේ.. මම ඔවාට තරහා වෙන්නේ නැහැ. ටික දවසකින් ඔවා හරි යාවී... කොහොමටත් මම උන්වහන්සේට වචනයක්වත් කියන්නේ නැහැ."

කතාව අවසන් විය...එදින පිටත්ව ගිය සුමෙධ හිමියන් නැවත මහණ පිංකමට පෙර දින වැඩම කොට පින්කමෙ සියළුම කටයුතු වලට සහය වීය... එයින් පසු පිටත්ව ගිය හේ අද වනතුරුත් මා දුටුවෙ නැත.

පන්සලට පැමිණි සුදු හැඳගත් පුද්ගලයා දුන් මුදල නිසා මට සිතන්නට බොහෝ දේ වීය...

ඉදිරියට පන්සලේ වැඩ කටයුතු කිරීමෙදී බොහෝම ප්‍රවෙසමින් කළ යුතු විය.

ලැඛෙනා සියල්ල විනිවිද භාවයකින් යුතුව පරිහරණය කළ යුතු වූ අතර චන්දවිමල හිමියන්ටද යැපෙන්නට දෑ සපයා දිය යුතුවිය.

කෙසේ වෙතත් මා හට අර කී පුද්ගලයා දුන් රුපියල් පන්සීයය ගුණරතන හිමියන්ට දුන් විට

"ඔක ඔයා තියාගන්න ඔන වැඩකට යොදා ගන්න" යැයි කියනා ලදි.

පින්කමට ඇවසි තරමටත් වඩා මුදල් ඒ වන විටත් ගම්මුන් විසින් උන්වහන්සේ වෙත පිරිනමමින් තිබිණි.

මා එම රුපියල් පන්සියය ආරක්ෂා කොට තැබුවෙමි. මන්ද යත් විහාරයේ දියුණුව පිණිස මා වෙත යම් අයකු විසින් ලබා දුන් පළමු මුදල වූයේ එම මුදලයි.

නාදුනන මා කෙරෙහි සිය හදවතින්ම විශ්වාස කොට තම දහදිය මහන්සියෙන් උපයාගත් මුදලක් මා අත තබා යන්නට තරම් ලෙන්ගතු වූ ඒ මිනිසාහට යම් පිනක් ලැඛෙන සේ එම මුදල මතු දිනක වියදම් කෙරෙමියැයි සිතා ගත් මා සෑහෙන කාලයක් යනතුරු එය සුරැකිව තැබූ අතර මාගේ මහණ වීමෙන් තුන් වසකට ආසන්න වෙද්දී මවිසින් ආරම්භ කරන්නට යෙදුණු චෛත්‍යය ගොඩනැගීමෙ කටයුත්තේදී මම එම මුදල එම පිංකම සඳහා එකතු කලෙමි.

අවසන මා පැවිදි භූමියෙහි සිටියා වූ අවසන් මාස කිහිපය අතරතුර අර පෙර කී පුද්ගලයා මිය ගිය අතර එසේ මියෑදෙන්නට කළින් රෝගාතුර වූ අවස්ථාවෙ එහි වැඩම කොට ඔහු හට සෙත් පිරිත් කියා ආශීර්වාද කොට ඔහු කළ පිංකම පිළිබඳව සිහිපත් කර දුනිමු. ඉන් දින කීපයකින් මිය පරළව ගිය ඒ මහත්මාගේ අවසන් කටයුතු සිදු කර අවසන්ව හත් දවසින් පින්කමෙ බණට වැඩි මවිසින් මෙම කතාව රැස්ව සිටි සැමට ප්‍රකාශ කරන්නට යෙදුණේ මා නෙතින් ගලන කඳුළු බිඳු සමගින්. වට අත්තට මුහුණ මුවා කර කඳුළු සැගවූවද..මගේ හඩෙහි වූ ස්වරය සියල්ලෝ හැදින ගත්තෝය.

අද මෙ ලියන මොහොතේත් දෑසින් පනින කඳුළුවැල් නවතා ලීමට හැකිවන්නේ මා හට නොවේ...
උන්දෑ හට නිවන් සැපම ලැබේවා...!

..................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

සෑය බඳිමි...



මෙ ඉතින් පන්සලේ චෛත්‍යය හදන්න ගත්ත දවස්වල පිංතූර ටිකක්. මීට වඩා ගොඩාක් තිබුනා..ඒත් ඉතින් දැන් දාපු තැනක් නැහැ.
මෙ ටිකවත් බලමුකෝ...




පන්සලේ ජීවිතේ...අවසානය සහ ආරම්භය...

සියල්ල වේගයෙන් සිදු විය...

ගුණරතන හිමියන් මගෙන් වචනය පිට වූ මොහොතේ පටන් ක්‍රියාත්මක විය.
නමුත් මගේ අවුරුද්දකට විතර යන කථාව කා සමගවත් කිව යුතු නොවන බවත් එය ඒ කාලය ආ විට තීරණය කළ හැකි බවත් කියා සිටි හෙතෙම ඉතාමත් උනන්දුවෙන් මා මහණ කිරීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම දමමින් සිටියේය...

ඒ අනුව මාගේ කේන්දරය බැලීම පළමු කරුණ වූ අතර..
එය අසල පන්සලක හිමි නමක් වෙත පැවරිණි.
එහි වාර්ථාව මධ්‍යස්ථ විය.

මහණ කිරීම සඳහා වූ යෝග ලෙස හැදින්වෙන යෝග කිසිවක් ප්‍රභල ලෙස හඳහනේ නැති විය..නමුත් මෙ කාලය තුළ ඇති බරපතළ අපළ උපද්‍රව නිසා මහණ වීම යහපත් බව සඳහන් විය.

පළමු අවස්ථාව වෙලාවෙ හැටියට සෑහීමට ප්‍රමාණවත් විය.

දෙවැන්න දෙමාපිය අවසරය විය.

ඒ සඳහා පළාතේ තිබූ තවත් පන්සලක..ලොකු හාමුදුරුවන්ද කැටුව මාගේ නිවසට ගුණරතන හිමියන් වැඩම කරන ලද අතර මාද ඔවුන් සමග ගෙදරට ගියෙමු.

යෝජනාව සම්බන්ධව අම්මාගේ අකමැත්තක් නැති විය.
මල්ලී නම් අප හට මුහුණ දීමට ඉදිරියට නොපැමිණියේය.

දෙවන අවස්ථාවත් එසේ ජය ගත් අතර..

ඉන් පසු වූයේ ගම්මුන්ට මෙ පිළිබඳව දන්වාලීමයි.

මෙම කරුණු මෙසේ සිදු වෙමින් තිබියදී සති ගණනාවක සංචාරයකින් පසුව චන්දවිමල හිමියන් පන්සලට වැඩම කරන ලදි.

දැනට උද්ගත වී ඇති තත්වය පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළ මා මෙ පිළිබඳව උන්වහන්සේගේ මතය විමසා සිටි අතර මෙතෙක් කලක් එකට කටයුතු කර සෑහෙන හිතවත්ව සිටි උන්වහන්සේද එයට මනාප වූයේ..පන්සලේ වගකීම පවරාගෙන කටයුතු කිරීමට තිබූ අකමැත්ත නිසාම විය.

අවසන උන්වහන්සේගේද අවසරය හා ආශීර්වාදය මැද කටයුතු ඉදිරියට ඇදී ගිය අතර...මෙ පිළිබඳ ගම්මුන්ට දන්වා සිටීම සඳහා රැස්වීමක් සංවිධානය කරනු ලැබුවෙ දයාසේන අයියා සහ රූපරතන අයියාගේ සංවිධාන කටයුතු මධ්‍යයේ විය.

එම රැස් වීමට සාමාන්‍ය තරමක පිරිසක් සහභාගී වී සිටියහ...
මා පිළිබඳව මෙ වන විට දන්නා වූ පන්සලට ආ ගිය කිහිපදෙනා නම් ඉතසිතින්ම මෙම කටයුත්තට කරගැසීමට සූදානම් වූවෝය...
අතරින් පතර කිහිපදෙනෙකුට ගැටළු නොතිබුණාම නොවෙ..
එනම් පසුගිය වසර දහයක පමණ මුළුල්ලේ පන්සලේ විවිධ හිමිවරුන් වැඩ සිටියද ඒ කිසිවකුත් මෙහි රැදී සිටියේ නැති බැවින් මෙවරත් එම දෙයම සිදු වෙවීද යන්නයි.
එයට ගුණරතන හිමියන් කියා සිටියේ.. ඒ පිළිබඳව දැන්ම තීරණය කළ නොහැකි බවත් එය අනාගතයට භාර කොට දැනට ලැබී ඇති අවස්ථාව අනුව කටයුතු කරලමු යන්නයි.
කෙසේ වෙතත් ගම්මුන් වැඩි දෙනා මෙම යෝජනාවට මහත් කැමැත්තක් දැක්වූයේ මාගේ වයස නිසා බව කිව යුතුය.
මෙ වන විට මා වයස විසිහතරක පසුවිණි.
ඊට අමතරව දහම් පාසලේ උගැන්වීම තුළින් මා මෙ වන විට යම් තරමක ප්‍රසිද්ධියකට පත්ව තිිබිණි. මාගෙන් අධ්‍යාපනය ලබමින් සිටි දරුවන්ගේ දෙමාපියන් මෙහිදී විශේෂ උනන්දුවක් ඇතිව ක්‍රියා කරනු පැහැදිලිව දක්නා ලදි.
ඊට අමතරව පන්සලේ සිල් සමාදන් වූ පිරිසේ අය හා පේරු දානය රැගෙන ආ ගිය අය නම් මෙය ඉමහත් ආශාවෙන් බලාපොරොත්තුව සිටි කරුණක් විය..
ඒ අනුව ඉක්මනින් නැකැත් බලා දිනයක් තීන්දු කර ගන්නා ලදි.

මවිසින් ගුණරතන හිමියන්ට පැවිදි වීමට ඇති කැමැත්ත දන්වා මාස දෙකක් එළඹෙන්නටත් පෙර සියල්ල සකස් විණි.
ඒ අනුව අප්‍රියල් මස අවසානයේ ආරම්භ වූ මාතෘකාව ජූලි මස 03 වැනිදා මාගේ පැවිදි වීමෙ දිනය නියම වීමෙන් අවසන් විණි.

හැකි ඉක්මනින් මා හට කළ යුතු සෑහෙන රාජකාරීන් විය.

ඒ අනුව ගුණරතන හිමියන්ගේ උපදෙස් මත මෙ වන විට මවිසින් පාඩම් කටයුතු ආරම්භ කොට තිබුණි.

'කරණීය මෙත්ත සූත්‍රය..'
'රතන සූත්‍රය..'
'මහා මංගල සූත්‍රය.. ඇතුළු තුන් සූත්‍රය පාඩම් කිරීමත්..'

'සේඛියා' සහ 'දිනචර්යාව' ආදී පැවිද්දෙකුට තිබිය යුතු මූලික කොටස් පාඩම් කිරීමත්..

මහණ කිරීමෙ 'විනය කර්මයට' අඳාළ 'කර්ම වාක්‍යය' පාඩම් කිරීමත්...

පිරිත් පොතේ ප්‍රථම කොටස් හැකි තරමක් උගැන්මත්..
බොධි පූජාවකට ඇවසි කරුණුත් පාඩම් කළ යුතුම විය...

පැවරූ කොටසටත් වඩා දේ මවිසින් උගත යුතුව තිබූ බව මෙවන විටත් මා තේරුම් ගෙන තිබුණේ පැවිදි වූ දින පටන් මෙතෙක් දවස් අයාලේ ගමනක යෙදෙමින් තිබූ පන්සල සතු සියළුව රාජකාරීන් මා වෙත නිරායාසයෙන්ම පැවරෙන බව තේරුම් ගත් බැවිනි.

එබැවින් දායකයින්ගේ අවශ්‍යතා අඩුවක් නොකොට පිරිමසාලිය හැකි භික්ෂුවක් වීමට මා අදිටන් කරගෙන තිබුණි.

මෙ සියල්ලත් සමගින්ම පසුගිය මාස කිහිපයේම කරගෙන ආ පරිදි දිනකට පැය කිහිපයක් භාවනා කිරීම් සඳහාද කාලය වෙන් කරගත යුතුව තිබුණද...සෑම විටම පන්සලට පැමිණෙමින් තිබූ ජනයා නිසා එයට මහත් සේ බාධා ඇතිවිණි.

මහණ පිංකම සඳහා සාකච්ඡා කිරීමට පැවති රැස්වීමට සහභාගී වීමට නොහැකි වූ බොහෝ දෙනා වරින් වර පන්සලට ඇදෙමින් තිබිණි.
ඉන් සමහරෙක් මා කවුදැයි හඳුනා ගැනීමට පැමිණි අතර..බොහෝ දෙනා පැමිණියේ පිංකමෙ යම් දායකත්වයක් තමනට වෙන් කර ගැනීම පිණිසම විය.

දිනක් සවස් කාලයේ තරමක් උසැති සුදු කමිසයකින් හා සරමකින් සැරසී ගත් වයස අවුරුදු හැටකට මදක් වැඩි යැයි සිතිය හැකි පුද්ගලයකු පිය ගැට පෙළ නගිමින් පන්සලට ඇතුළු විය..

මා එවෙලේ සිටියේ බණ මඩුව ආසන්නයේ කුමන හෝ කටයුත්තක නිරත වෙමින්ය...

චන්දවිමල හිමියන්ද ඒ හා අසල රැදී සිටි අතර අප සිටි තැනට පැමිණි තැනැත්තා මා හා කතාවට වැටිණි.
මාගේ විස්තර සුළුවෙන් විමසා සිටි හෙතෙම පිංකමෙ කටයුතු පිළිබඳවද විමසා සිටින ලදි.

මා දන්නා තරමින් ඒ පිළිබඳව විස්තර කළ මා වැඩි දුර යමක් දැන ගැන්මට ඇවසි නම් ගුණරතන හිමියන් මුණගැසීම යහපත් බවද ප්‍රකාශ කළ අතර...

සිය කමිසයේ උඩ සාක්කුවට අත යැවූ මිනිසා ඉන් යම් මුදල් නොට්ටුවක් පිටතට ගෙන එය මා අතට දීමට සැරසුනි.
එය රුපියල් පන්සීයයයේ නෝට්ටුවක් විණි.

'ඇයි..? මා විමසීය...'

'නෑ මෙ වෙලාවෙ හැටියට මගෙන් පිංකමට තියා ගන්න සුළු ආධාරයක්...'

'මම නම් මුදල් භාරව කටයුතු කරන්නේ නැහැ..ගුණරතන හාමුදුරුවන්ට දුන්නනම්...'

'ආ ඒකට කමක් නැහැ. අපේ මෙ පන්සල ගැන මට පුදුම දුකක් පහුගිය කාලේම තිබුණේ..දැන් මෙ ළමයා මෙතන මහණ වෙන්න හදන එක දැන ගත්තහම මට පුදුම සතුටක් අතැ වුනේ..කොහොම උනත් තවම මහණ නොවුණා කියලා කාරියක් නැහැ. දැන් ඉතින් අපේ ගම තියෙන්නේ ඔය ළමයාගේ අතේ...මම අමුතුවෙන් නොකිවුවට ඔය ළමයා දන්නවනේ මෙහෙ තත්වය ගැන. ආයේ අමුතුවෙන් කාටවත් දෙන්න ඔන නැහැ. අපි ගැන හිතලා මෙතන මහණ වෙන ඔය ළමයා ගැන අපි දැන්ම ඉඳලා විශ්වාස කරන්න එපැයි. කැමති වැඩකට යොදා ගන්න මෙ මුදල තියා ගන්න ඉස්සරහටත් මම මට පුළුවන් විදියට උදවු කරන්නම්. දැනට මෙක තියා ගන්න.'

මම චන්දවිමල හිමියන් දෙස බැළුවෙමි..
අනාගත ගැටළුවක මහා පෙරනිමිති මසිතේ හට ගත්තේ එවෙලේය...

හිමියන්ගේ මුහුණ දැඩි අඳුරකින් වැසී තිබිණි.මෙතෙක් කලක් මා දැන හුන් තරමින් මෙහි පැමිණි කිසිම කෙනෙකු රුපියල් සීයයකට වඩා මුදලක් චන්දවිමල හිමියන් අත තබා නැත...
උන්වහන්සේට නොව නාරද හිමියන්ගේ තත්වයත් එසේම විය...

මා පැවිදි වීමටත් පෙරම මිනිසුන්ගේ විශ්වාසයට පාත්‍ර වීම.. යම් ගැටළුවක් විය.
මම මුදල භාරගෙන චන්ද විමල හිමියන් හට දෙන්නට උත්සහ කලෙමි.

'චන්දවිමල හාමුදුරුවෝ මුදල් භාරගන්න.'

'නෑ..නෑ..මට ඔන නැහැ... ඔයාම තියා ගන්න.'

'පිටස්තරයා' ළග සිටිනා බැවින් වැඩි යමක් කිව නොහැක..

තවත් මඳ වෙලාවක් කතා බස් කරමින් සිටි ඔහු පිටත්ව යන්නට විණි.

චන්දවිමල හිමියන්ගේ සිත තැළි ඇති බව මා හට තේරුම් ගත හැකි විය...මෙතෙක් කලක් පන්සලේ වැඩ සිටියද උන්වහන්සේ හා ගම්මුන් අතර වැඩි ඇයි හොඳයියක් නොවිණි. වරින් වර මා හා විලී අයියා උන්වහන්සේ සමාජයට ගෙන කටයුතු කිරීමට සූදානම් වූවද එයට උන්වහන්සේ දැක් වූයේ ඇල්මැරුණු ප්‍රතිචාර පමණි.

නමුත් දැන්ම සිටන්ම මිනිසුන් මා වටා රොක් වන ආකාරය උන්වහන්සේගේ සිත රිදවා ඇති බව මා හට හැගී ගිය බැවින් ප්‍රවෙශමින් කටයුතු කළ යුතු බව මා හට තේරුම් යන ලදි.

යායුතු අතක් නැතිව පාරට වන් මා මෙතෙක් කලක් උන්වහන්සේලාගේ උදවු උපකාර මත ජීවත් වූ වග අමතක කළ නොහේ... එසේම කන්නට තිඛෙන සුළු දේ පවා හරි හරියට ඛෙදා හදාගෙන අප දෙදෙනා මෙතෙක් කලක් සෝයුරන් සේ එකට සිටියෙමු.

ඇත්තෙන්ම උන්වහන්සේ මට මාගේ එක කුස උපන් සොයුරාට වඩා සමීප විය.

එවන් අයකුගේ සිත රිදවීම මනුස්සයකුට තරම් නොවේ...

රාත්‍රී කාලය උදා විණි...
මා වෙලාව බලා චන්දවිමල හිමියන් සමග කථාවට එළඹුණි...

...............................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

01 September 2010

වචන දෙකක්

දවස තිස්සෙම මෙ දිහා බලන් ඉඳලා අන්තිමට තීරණය කළා වචන දෙකක් හරි කොටලා යන්න ඔන කියලා.
නැත්තං මට මෙක ලියන එක එපාම වෙලා ගිහින් වැඩෙ නවතින්නත් ඉඩ තියේ.
අදත් ඉතින් පරණ විදියටම දවස ගෙවුවා.
ආවා..
නෑවා..
ඉවුවා..
කෑවා..
නිදියෑවා..
නෙට් ආවා..

ඔන්න ඔහොමයි ජීවිතේ...

දවසම පරණ හින්දි සින්දු හොය හොය හිටියා..
හත අටක් හොයාගත්තා.

හවස හතට විතර ගිහින් ඛෙහෙත් ටිකක් අරන් ආවා.
මගේ උගුරෙ අප්සට් එකක්..

දැන් දවස් පහක් විතර තිබුනා..අද බැරිම තැන ගිහින් ඛෙහෙත් ගත්තා. පෙති ගොඩක් දීලා දැම්මා..මාත් ඇදලා ඇරියා.
හොද වෙන්නේ නැතැයි.
හැබැයි ඩොකාට ලෙඩෙ තේරුනාද මන්දා..?
පෙරෙදා ගම්පහ ගොහින් ඩයලොග් එකෙන් අන්තර්ජාල සම්බන්ධතාවයක් ගත්තා.
මට පහු ගිය ටිකේ නෙට් එන එක එපා වෙලා තිබුනේ මෙ මොබිටෙල් මළ වදේ හින්දා.
ස්ලෝ කියන්නේ උපරිම ස්ලෝ..ඒ මදිවට කොයි වෙලාවෙ බැළුවත් ඩිස්කනෙක්ට්..මට යකා නැගලා උන්නේ...

අන්තිමට ගිහින් පරණ බිල් වගේකුත් තිබුණ ඒවා ගෙවලා අළුතින්ම සම්බන්ධතාවයකුත් අරන් ආපි.

එක පාරක් මම ඩයලොග් පසු ගෙවුම් සම්බන්ධතාවයක් අරන් මට එපා වෙලා හිටියේ..
උන් කතා කරන හැම විනාඩියටම බදු ගහලා..අන්තිමට මාසේ බිලට තවත් සීයයට එකොළහක් ගහනවා. එක පාරක් ඒ සීයට එකොළහේ බද්ද විතරක් රුපියල් එක්දහස් පන්සීය පැන්නා..මට තද වෙච්ච පාර ඒ සම්බන්ධතාවයට ආයිබෝං කියලා පෙර ගෙවුම් පැකේජ් එකක් පාවිච්චි කොරන්න පටන් ගත්තා..
අඩුම ගානේ අර සීයයට එකොළහෙත් කතා කරන්න පුළුවන්නේ...
ඊට පස්සේ තමයි දැන් පාවිච්චි කොරන මොබිටෙල් සිම් එක ගත්තේ..
ඇත්තටම මොබිටෙල් අය කිරීම් නං මට හුගාක් හොඳයි .සතියකට රුපියල් සීයක් දාලා ජාලගත වෙන එකත් ලාබයි..ඒත් ජාලගත වෙලා ඊ ළගට ලේ කෝප කරගන්න වෙන එක නරකයි. ඒ හින්දා බැරිම තැන මම ඒ විදියට ජාලෙට එන එක නවත්තලා දැන් එන්නේ ඩයලොග් හරහා තමයි.
මෙක දැනටනං මල් මසුරං..ඒත් ඉතින් තව ටික දවසක් යනකොට මෙකත් අර මොකක්ද දීලි මොකක්ද එක ගත්තා වගේ තියේවිද දන්නේ නැහැ.

කෝකටත් හෙට අනිද්දට ගිහින් ප්‍රෙෂර් එක එහෙම චෙක් කොරලා හිටින්න ඔන.
මොකද තවම මෙකේ බිල ආවෙ නැහැනේ...
අනිවාර්යයෙන් රුපියල් 850ක් විතර කොහොමත් ගෙවන්න වෙනවා..ඒක නං අවුලක් නැහැ කියමුකෝ..
ඒත් මම දන්නවනේ ඩයලොග් කාරයින්ගේ හැටි..මොන මොනවා හරි එකතු කරලා තව කීයක් හරි කපනවා ෂුවර්.

අන්න ඒ වෙලාවට තමයි අර මෙ දවස්වල දැන්වීම්වල යන දැකලා පුරුදු නංගිලා මල්ලිලාව හොයාගෙන ගිහින් දෙකක් කතා කරන්න හිතාගෙන ඉන්නේ.

කොහොම වෙතත් මෙත් මදෑ...

හ්ම්..කොහොම හරි ඔන්න වචන දෙක ටිකක් දුග උනා වගේ..හපෝ මට බැහැ..මට බැහැ..මීට වඩා තව වචනයක්වත් ලියන්න මට බැහැ.