30 October 2010

කලක් ඇවෑමෙන්..පෙරුම් පුරා...

හුගාක් දවසකින් මොනවත්ම ලියන්න බැරි උනා නෙව..අද ලියනවා..දැන් ලියනවා..මේ ලියනවා කියලා හිත හිත හිටියට මොකද ලියඋනේම නැහැ.

මෙවා ඔක්කෝම අර නත්තල් සීයාගේ වැරදි තමා ඉතින්..ආයේ මේ අහිංසක මංතුමාගේ වැරැද්දක් නෙවී...

මොකක් ඇහැව්වා..? නත්තල් සීයාගේ වරද මොකක්ද කියලා ඇහැව්වා..

ආ හරි හරි මම කියන්නංකෝ ඒ කොහොමෙයි කියලා...

දැන් මෙකනේ කථාව...

මං පුංචි එකා සන්දියේ..අපි දන්නවද ඔය නත්තල් කියන්නේ මොකක්ද කියලා..?නැහැනේ..අනික ඉතින් උත්පත්තියෙන්ම බෞද්ධ උන හින්දා ඔය පල්ලි..මංගල්ල..ඒවා මෙවා අපි දන්නවැයි..
ඒත් ඉතින් යාන්තං එහෙං මෙහෙං දැනුං තේරුං ලැබීගෙන ලැබීගෙන එනකොට අපේ තාත්තා දවසක් කොරපු වැඩක් තමයි මෙ නත්තල් වැඩෙ..

දවසක් හැන්දෑවක..අපේ තාත්තා අපි දෙන්නට ඒ කිව්වෙ මායි අපේ මලයටයි පේන්න පොඩි පහේ මල්ලක් ගෙනල්ලා මෙහෙම කියපි...

"හෙට නත්තල්නේ..ඔන්න ඒ හින්දා අද රෑට නත්තල් සීයා එනවා හොඳ ළමයින්ට තෑගි දෙන්න..
ඒ එනකොට අපි නිදි හින්දා ගේන තෑගි දාලා යන්ට මෙ මල්ල ඉස්සරහා දොර ගාවින් එල්ලලා තියමු"

කියලා අර මල්ල එල්ලූවා දොර කිට්ටුව පාත බිත්තියේ ගහලා තිබුනු ඇණයක...

අම්මත් ඉතින් හිනා වෙවී මෙ නාඩගම බලන් උන්නා..මටත් ඉතින් හරි මැජික්..

මල්ලිටනං මෙ ලෝකේ දෙයක් තේරුනාද මන්දා..

ඒ උනාට මාරයාත් ලේසි පාසු පුතයෙක්යෑ...

"ඉතින් තාත්තේ ඔච්චර එකේ අපි නිදා ගන්නේ නැතිව ඇහැරිලා ඉම්මුකෝ නත්තල් සීයා එනකල්.."කියපි...

හප්පච්චියේ ඒ ජිල්මාට් එකෙන් ඛෙරෙන්න අපේ තාත්තා සෑහෙන ගජබින්නාලංකාර ටිකක් අතඇරියා කියලානං මට මතකයි.
කොහොමින් කොහොම හරි නත්තල් සීයා එනකල් ඇහැරගෙන ඉන්න අදහස වෙනස් කරවලා අපිට නිදා ගන්න දීලා පහුවදා උදේ පාන්දරම මෙන්න අපිව ඇහැරවනවා...

"ලොක්කෝ..නැගිටහං..කෝ..චූටි පුතේ නැගිටින්න..බලන්න අර මල්ලේ මොනවාද නත්තල් සීයා දීලා ගිහින් තියෙන තෑගි.."කියලා අපිවත් පිකප් කරවාගෙන අර එල්ලලා තිබුණු මල්ල අරගෙන අපිට පෙන්නනවා...

කිරි අපුච්චේ...මෙන්න බොලේ මල්ලේ කේක් ගෙඩියක්..ඒ විතරක්යෑ..රතිඤ්ඤා පෙට්ටියකුත් දාලා ගිහින් නෙව සීයා..

අපිට ඉතින් මාර සතුටුයි මේ වැඩෙට...
මොනවද ඉතින් අර කේක් ගෙඩියෙන් වැඩි හරියකට වග කියලා..රතිඤ්ඤා ටිකත් තාත්තාටම කියලා පත්තු කරවාගෙන ෆුල් ආතල් එකේ ඉන්නවා එදා දවස..

කොහොමින් කොහොම හරි මෙ විදියේ අවුරුදු කීපයක්ම ගත වෙලා ගියා..පස්සෙන් පහු අපි දන්නවා මෙ කේක් ගෙඩිය ගේන නත්තල් සීයා කවුද කියලා..ඒත් ඉතින් අපිත් නොදන්නවා වගේ ඉන්නවා..ඇයි යකඩෝ ඔවා දැනගත්ත කියලා තාත්තා දැන ගත්තම අපිටම නෙව පාඩු..
ඔය මම සමහර වෙලාවට කියන්නේ සමහර දේවල් නොදැන ඉඳීමත් හොඳා තියලා ඔන්න ඔය වගේ හේතු කාරණා හින්දා තමා...

කොහොම හරි මාත් මෙ දවස් ටිකේම ලිපියක් ලියවෙවා..ලියවෙවා..කියලා බල බල ඉන්නවා...
ලැප් ටොප් මල්ලිටත් නිතර දෙවෙලේ කියනවා ලියහංකෝ මලේ කියලා..කොහේද..ලියවෙන්නෙම නැහැනේ..
සමහර දවස්වල නිදාගන්න කළින් හිතනවා රෑට ඇහැරිලා ලිපියක් ලියන්න ඔන..ලියවේවා කියලා..ම්හු ඒත් නැහැනේ..

ඒකයි මම කිව්වෙ තනිකරම මේක නත්තල් සීයාගේ වැරුද්දක් කියලා..

ඒකනේ මාත් මෙ කම්මැලි කමට ලැප් එකේ ඔහේ ලියවෙයි කියලා බලන් ඉන්නේ...
ආයේ ඉතින් මගේ වැරැද්දක් හෙම නෙවී ඕං...මං අහිංසකයා ඉංතේරුවෙම්ම...

ඉතින් ලියන්න කියලා ගත්තට මොකද මෙ ලෝකේ දෙයක් ලිය වෙන්නේ නැහැනේ...
අනේ මන්දා.. මෙ බීම අඩු කළත් හරි මගේ ලිවීමෙ ශක්තිය අඩුඋනත් හරි...
මෙලෝ රහක් නැහැ.

දැන් මෙ ලියුම ලිය ලිය ඉන්න අතරෙම කෝල් එකක් ආපි...

"හෙලෝ..කව්ද..?"

"ආ..ඔහොම තමා දැන් මතකත් නැහැ නේද..අපි මෙ ඔයා හැදුව පන්සල බලන්න කියලා කාලෙකට පස්සේ ආවා..."

බැළින්නං මගේ දහම්පාසලේ මුල්ම ගෝල බාලයෝ ටික..
අද පන්සලේ කඨින පිංකමළු...
උන් ටික කාලෙකට පස්සේ පන්සල් ඇවිත්..ඒ ආව පාර මාව මතක් වෙලා කට්ටියත් එක්ක මට කෝල් කරලා...

අර මම පන්සල් කාථාවෙ දහම්පාසලේ උගන්වන්න ගිය වෙලාවේ මට හම්බ වෙච්ච මුල්ම පිරිමි ගෝලයෝ දෙන්නෙක් ගැන කිව්වේ...කට්ටියට මතකද මන්දා අන්න ඒ දෙන්නත් ඇතුළුව සෙට් එක තමයි..අපරාදේ කියන්න බැහැ..උන් අදත් එදා වගේම තමයි...

ඒ අතරේ තව එකෙක් බනිනවා..මම ආවත් හරි තාම ඒකාට මුණ ගැහුණේ නැහැ කියලා..ඇත්ත තමයි අනිත් කොල්ලෝ ටිකනං සැරින් සැරෙට මම ඒ පැත්තේ ගිය වෙලාවට බලලා ඇවිත් තියෙනවා..ඒත් අර ආඩපාළි කිව්ව එකා හම්බ උනේම නැහැ නෙව..මොනවා කොරන්නද ඉතින්...අහගෙන හිටියා දෝස්මුරේ..මොනවා උනත් මගේ කොල්ලෝ ටික නෙව...

පන්සල් ආවාට මොකද කස්ටියට එච්චර ෆිට් එකක් නැතුවා වගේ...
උන් ඒ දවස්වල විස්තර කියවනවා...

හප්පච්චියේ මෙවුන් ටික ඒ දවස්වල පුදුම නැහිල්ලක් නැහුනේ...

දවසක් මම බුදු ගෙයි බිම කැඩුවෙ ඉරිදා දවසක උදේ..මෙ කොල්ලෝ ටික උදේ දහම් පාසලට ඇඳගෙන ඇවිත් තිබුනු ඇදුම් පිටින්ම වැඩෙට බැස්සා..අන්තිමට බිම කඩලා ශුද්ධ කරලා ගල් කියුබ් තුනක් විතර කොන්ක්‍රීට් අනලා වැඩෙ කරන්න ඇවිත් හිටිය බාසුන්නැහැලාට අත්වැඩ දීලා හවස් වෙනකොට මුළු බුදු ගෙබිමම කොන්ක්‍රීට් එක දාලා තමයි ගෙදර ගියේ..
ඇඳුම් ගන්න දෙයක් නැහැ..සිමෙන්ති බදාමයි..මඩයි...

කොහොමත් මට පොඩි කොල්ලෝ ටික පුදුම විදියට උදව් කලා...

මාත් හැම වෙලාවෙම උන් ටිකට දන්න කියන හැම දේම කියලා දුන්නා...
හැම විදියකින්ම උදව් කලා...

විභාග කිට්ටු වෙනකොට කට්ටියම පන්සලේ නවත්තගෙන කන්න බොන්න දීලා.. ඇහැරවගෙන පාඩම් කරවලා විභාග ටික ගොඩ දාලා දුන්නා..
පන්සල හතරමායිමෙ කවදාවත්ම නාපු කොල්ලෝ හිටන් අන්තිමට පන්සලේ යාවජීව සාමාජිකයෝ වෙලයි නැවතුනේ..ඒ අතරේ කතෝලික ළමයිත් කිහිප දෙනෙක් හිටියා...
අන්තිමට ඒ ළමයින්ගේ ගෙවල්වලිනුත් දානේ ගේන්න පොරකන තරමට කොල්ලෝ ටික මාත් එක්ක ආස්සරේ කරන්න උනා..

රසවත් අතීතයක් තමයි ඒ...

ඉස්සර කඨින පෙරහැර යන්න බැරි තරමට පෙරහැරේ කචල්..
මම මහණ වෙලා පළවෙනි කඨින පෙරහැර පළවෙනි වතාවට දවල් කාලේ කලා...
මාත් කැමති ගිනිබෝල එහෙම කරකවමින් රෑ කාලෙට යන පෙරහැරට තමයි..ඒත් රෑට පෙරහැර කරනවා කියන්නේ පහුවෙනිදාට ගෝරි ගොඩයි.

ඒ හින්දා ඔන දෙයක් වෙච්චදෙන් කියලා මම තනි මතේට වගේ වැඩෙ දවල් සූදානං කලා..ඒ සඳහා මට මීට පෙර අත්දැකීමක් තිබුණේ අපේ අල්ලපු ගමෙ පන්සලක කඨින පෙරහැරක සංවිධාන කටයුතු තමා...
ඒ පන්සලේ නායක හාමුදුරුවොත් පෙරහැරෙ කචල් දාන එක නවත්තන්නම බැරි තැන පෙරහැර දවල් කාලේ කරන්න පටන් ගත්තා වැඩෙ හොඳටම සාර්ථකයි.
අදටත් ඒ පන්සලේ කඨිනේ දවල්ටයි ගෙනියන්නේ..ඒත් මම නං වාර තුනක් විතර දවල් කරලා හිමිහිට රෑ පෙරහැර කරන්න පටන් ගත්තා..
කිසි අවුලක් නැහැ..ඊට පස්සේ..අදටත් වැඩෙ හොඳින් කෙරෙනවා.

දවල් පෙරහැර කරන එකට මුළින් විරුද්ධ වෙච්ච අවට පන්සල්වල හාමුදුරුවරු පවා පස්සෙන් පහු ඒ වැඩෙට බොහෝම මනාප උනා..මනාප උනා විතරක් නෙවෙයි ඒ පන්සල් අතරත් කිහිප තැනක දවල් පෙරහැර පටන් ගත්තා.

ඒ උනාට මම ආයෙමත් රෑ පෙරහැර කරන්න පටන් ගත්තා.

මුළින්ම පෙරහැර දවල් ගෙනියන්න මම තීරණය කළ වෙලාවෙ..පෙරහැරේ ලස්සන ටිකක් වැඩි කරගන්න හිතලා යකඩ කම්බිවලින් අලියෙක් හැදෙව්වා...
ළමයි හතරදෙනෙක් අළියාගේ කකුල් හතරට බස්සවලා උස්සගෙන යන විදියට හදපු අලි කෝළම හුගාක් නැගලා ගියා... අන්තිමට ළමයි විතරක් නෙවෙයි අම්මලා තාත්තලාත් මෙ අලියට පුදුම සහයෝගයක් දක්වන්න උනා..පෙරහැර ඉවර උනාට පස්සේ අලියා පන්සලේ පැත්තක තිබුණු මඩුවේ විවෙක සුවයෙන් කාලය ගත කරනවා..නැවතත් ඊළග අවුරුද්දේ රෙදි ටික කළු කරවලා හැඩ වැඩ දාලා ගන්නකං අලියා පාඩුවෙ ඉන්නවා..
දහම්පාසලේ පුංචි ඈයන්ගේ හොඳම යාළුවෙක් තමය මේ අලි නාම්බා...

ඒ අලියා උස්සගෙන යන එකත් ලේසි පාසු වැඩක් නෙවෙයි...ටිකක් විතර බරයි නෙව..

ඒත් අද ඔය මට කතා කරපු නඩෙ තමයි ඒ වෙනුවෙන් කර ගැහැව්වේ...

හොඳම දේ තමයි පෙරහැර සංග්‍රහ වලට නැවැත්තුවාම දෙන බිස්කට් එහෙම අලියාට දෙන විදිය...

අලියාගේ ඇත්ගොව්වා විදියට අන්දලා හිටපු අපි බට්ටා කියලා හඳුන්වපු ළමයා..ඒ කිව්වෙ අද ඔය මට දෝස්මුරේ දාපු උන්නැහේ තමයි...
ඉතින් මිනිහාට දෙන තරමක් බිස්කට් කෙසෙල් ගෙඩි..කේක් කෑලි අලියාගේ කට තියෙන පැත්තෙන් අත දාලා අලියාගේ බඩ ඇතුළට දානවා.
එහෙම දාන ඔන තරමක් කැවිලි ජාති අලියාගේ බඩ මැද්දේ තියෙන තොටිල්ලක් වගේ රෙද්දේ රැඳිලා හිටිනවා..දැන් ඉතින් අලියාගේ කකුල් හතරට පණ එනවා..
ළගට වෙලා අහගෙන ඉන්න අයට ඇහෙනවා හිටං අලියා බිස්කට් කන සද්දේ...

සමහර වෙලාවට ඇත් ගොව්වා අලියාට බනිනවා.."මූ විතරක් තනියම කනවා කෝ මට.."කියලා..

ඒ වෙලාවට අලියාගේ කට හරියෙන් අතක් යන්තං එළියට ඇවිත් ඇත්ගොව්වටත් ඔය මොන මොනවා හරි දෙනවා..ඇත් ගොව්වත් ඒ ලැඛෙන දෙයක් කාලා බඩ පුරෝ ගන්නවා...

ළමයි කට්ටිය මෙ අලියා ඇදිල්ලට අකමැති නොවෙන්න හේතුවත් ඔය ස්ටොක් කරගෙන කෑම කන්න අලියාට තිබුණු චාන්ස් එකම තමා ඔං..

පෙරහැරෙ යන අනිත් අයට කන්න ලැඛෙන්නේ පෙරහැර සංග්‍රහයකට නැවැත්තුව වෙලාවට විතරක් උනාට..කාගේ කාගෙත් ආදර සංග්‍රහ ලබන අලියා පෙරහැරෙ යන ගමනුත් කන්න තරං ඇතුලේ කෑම ජාති ගොඩ ගහගන්නවා.
ආයේ ඉතිං කාටවත් පේනවා කියලා ලැජ්ජා වෙන එකක්යෑ..ඇරලා දානවා ඇති පදං...

ඉතින් මට මෙ අලියා ගැන කතාව ලියන්න උනේ ..අරුන් ටික ඒකාවත් ආදරෙන් සිහිපත් කොරපු හින්දා නෙව...

ඉතින් දැන් මදෑ මෙ ලිව්වා...

අද ඉතින් මොනවාත් ලිව්වෙ නැති උනාට හෙට අනිද්දා දිහෑටවත් බලමුකෝ වැඩෙ කෙරෙයිද කියලා...

25 October 2010

මට නොම වැටහෙයි...

හිනා වෙන්නද..අඩන්නද..මට තේරෙන්නේ නැහැ..
මෙ දවස් ටිකේම මොන මොනවා හරි වැඩක් කරන්න හැදුවෙ කල්පනා නොකර ඉන්න ඕන හින්දයි...
කල්පනා කරනවා කියන්නේ මට හුගාක් අහිතකර දෙයක්.
ඒකේ අවසානය හිත අවුල් ජාලයක් වෙන එක විතරයි...


ජීවිතේ ගලාගෙන යනවා..
අද සඳුදා..හෙට තවත් දවසක්...ඒකත් ඉක්මනටම ගෙවිලා යාවී...
අනේ මන්දා මේවා කොතනින් නවතින දේවල්ද කියලා...

මෙ ටිකේම හිත හරිම නොසන්සුන්..මහා වරදකාරී හැගීමක් තියෙනවා..ඒත් මම වරදක් කරලා නැහැ කියලා මම දන්නවා..ඒත්...?අනේ මන්දා...

හුග කාලයකට කළින් කියවපු සුළග වගේ ඇවිදින් කියන නව කතාව නෙට් එකෙන් හොයාගෙන කියෙව්වා..මම ආසම කරපු කතාවක් ඒක..ඒ දවස්වල..ඒ කියන්නේ පාසලේ ගත කරපු අවසන් කාල සීමාව තුළ...
පාසල් ප්‍රේමය..මරදාන, පුංචි බොරැල්ල, ටවුන්හෝල්...
අතීතය සිහිනයක් පමණයි...

අන්තිමට උනේ හිතට තවත් බරක් එකතු උන එක විතරයි...

ජීවිතෙත් නව කතාවක් වගේ තමයි...

මොනවද මම මේ ලියන්නේ...අනේ මන්දා..හිතට සැහැල්ලූවක් තියෙන්නේ මෙහෙම හරි කුරුටු ගාන එක තමයි..පහුගිය අවුරුද්ද පුරාවටම මාව පිස්සෙක් නොකර තියා ගත්තේ මෙ බ්ලොග් එක..ඒත් ඒ හින්දම මම මිනිස්සු එක්ක කතා කරන එක අඩු උනාද මන්දා..ඒත් ඉතින් මොනවා කියලා කතා කරන්නද..?කතා කළොත් අවුලක්..මගේ සමහර වචන පිහි පහරවල් වගේ කියන එක මටම නොතේරෙනවා නෙවෙ..ඒත් කියන්න තියෙන දේ දෙපාරක් නොහිතා කියවෙන එක මගේ ඉස්සරම ඉඳලා පුරුද්දක් වෙලා තියෙන්නේ..මාව හොඳටම දන්න කීප දෙනෙක් ඇරෙන්න හුගාක් අය ඒ ගැන දන්නේ නැති හින්දා හිත් අමනාපකං ඇති උන අවස්ථා බොහෝමයි...
???මාව හොඳටම දන්න අය..?
එහෙම අය ඉන්නවද..?අනේ මන්දා...

වෙලාවකට හිතෙනවා බොන එක නවත්තලා දාලා ඉන්න ඔන කියලා...මට බැරි දෙයක් නෙවෙයි ඒක..කොහොමත් මම පහුගිය අවුරුදු නවයකට වැඩි කාලයක් බොන්නේ නැතිව හිටියා...
ආයෙත් ඒක කරන එක මට අමාරු දෙයක් නෙවෙයි..ඒත් මම දන්නවා ඒත් එක්කම මම මෙ ලියන එකත් නවතිනවා කියලා..
මත්වීමයි ලිවීමයි අතර හරි අපූරු සම්බන්ධතාවයක් තියෙනවා...

ජීවිතේකට අරමුණක් නැති වීමත් එක විදියක අමුතුම තත්වයක්...
එක අතකින් හරිම සැහැල්ලූවක් තියෙනවා.
බැඳීම් නැති නිදහස් අහසක පාවෙලා යනවා වගේ හැගීමක්..
ඒත් සමහර වෙලාවට ඒ නිදහස මහා හිස් කමක් බවට පත් වෙලා මොකක්දෝ අමුතුම කියාගන්න බැරි දෙයක් හිතට එනවා.
ඉතින් කොහොමද නොබී...

මම කල්පනා කරනවා..
ඒ වගේ වෙලාවට මම කල්පනා කරනවා...
ඉස්සරනම් මම ඇගිළිවල නියපොතු ඉවර වෙනකල් හපන ගමන් කල්පනා කරනවා..
ඒත් දැන් මට නියපොතු කන්නත් තහනම්නේ..

එයා මගේ අත හරින්නම බැරි පුරුදුවලින් එකක් අත හැරෙව්වනේ..

"මොකද පොඩි එකා වගේ නියපොතු හපන්නේ..නවත්තනවා ඔක..."

"හම්මෙ මෙයාගේ සැර.."


"එහෙම නෙවෙයි..නියපොතු කෙටි උනහම ඇගිළි දිගට පේන්නේ නැහැ...
මම කැමතියි ඔයාගේ ඇගිළි දිගට පේනවට...එතකොට ලස්සනයි.."


"හ්ම්..හරි හරි..එහෙනම් නවත්තන්න බලන්නම්කෝ..."

එහෙම කිව්වට මට ඒක එක පාරටම නවත්තන්න අමාරු උනා..ඒත් පළවෙනි නියපොත්ත හැපෙන කොටම මට මතක් වෙන්න පටන් ගන්නවා එයා කිව්ව දේවල්..ආයේ හපන්නේ නැහැ..මමම හිතා ගන්නවා...

දවස් ගාණකට පස්සේ

"කෝ බලන්න නියපොතු ටික..?"

"මොනවා බලන්නද..මම ඒවා හැපුවා.."

"කෝ පෙන්නන්නකෝ..."


මම හිමීහිටි අත දිග හැර පෙන්වන ගමන් ඇගේ මුහුණ දෙස බලමි..

සිහින් සිනාවත් සමග ඇස් දෙක හීනි වෙමින් ඇගේ මුහුණ මත ඇෙඳන හැඩතල දෙස විමසිල්ලෙන් බලා සිටිමි...ඒ සුන්දරත්වය..

"ආ..නේ..ඔය තියෙන්නේ ලස්සනට...
දැන් පිළි වෙළකට නිය අග්ගිස්ස කපලා ලස්සනට තියා ගන්නයි තියෙන්නේ.."


එයින් නොනැවතුණු ඇයම නියපොතු ටික පිළිවෙලකට කපා ඔපමට්ටම් කරනු ලබන්නීය...

සමහර දිනවල ඈ අවුස්සනු රිසි වූ මා කතා කරනා අතර ගමන්ම හීන් සැරෙ නියපොත්ත මුවට කිට්ටු කර සපන්නට මෙන් සැරසෙමි...

කතාව නවතන ඈ මා දෙස බලා සිටින්නේ මුහුණට ආරූඩ කර ගත් තරහාවක්ද සමගිනි..
මම අත පහත හෙළමි...

"මම දන්නවා බොරුවට තමයි කියලා..." ඇය පවසයි..මම සිනාසෙමි...

සිත අතීතයට ඇදගෙන යන මතකයන් වළදැමිය හැකිනම්...?

මම දැන් මේ මොනවා කරනවාද..?

හැමෝගෙන්ම ඈත් වෙලා...
කිසිම අනාගත බලාපොරොත්තුවක් නැති..ඉන්න හිටින්න තැනක් නැතිව...
මගේ කියා කිසිම දෙයක් නැතිව...?

ඒකටනං මොකද..? ඔය කොයි දේවළුත් තාවකාලිකයි...
එහෙනම් ඇය..?
ඇය පිළිබඳ මතකය..?

ඒ දේවල් උනත් එහෙම තමයි...

එහෙනං අත හරින්න බැරි ඇයි..?

සංසාර පුරුද්ද වෙන්න ඇති...

අපේ ජීවිත වලට වරින් වර කී දෙනෙක්නම් ඇවිත් යනවද..?ඒත් ඒ අතරින් කීයෙන් කී දෙනාද අපේ හිත්වල ජීවත් වෙන්නේ..එයිනුත් කී දෙනාද අපේ හිත්වල අයිතිය තම සන්තකයට ගන්නේ..?

ඇයත් ඒ වගේ...
පහසුවෙන් බිඳිය නොහැකි සම්බන්ධතාවයක්.

මට සම්බන්ධතාවයන් කියන්නේ අමුතු දේවල් නෙවෙයි.ඒත් ජීවිතේටම මම මෙහෙම විඳවන සම්බන්ධතාවයක් මට කවදාවත්ම තිබුණේ නැහැ.
වෙන දෙයක් නෙවෙයි සසර බැඳීමම තමයි..
ඒත් ඒක මොනවා නමුත් දෙයක් නිසා මට විඳවන්න හැදුනු සසර බැඳීමක්..

කවදාවත්ම ඇය ආපසු මා සොයා නේන්නත් ඉඩ තියෙනවා..ඒත්..?
මම කොහොමද..ඒ බලාපොරොත්තුව අත හරින්නේ..?
ඒ බලාපොරොත්තුව විතරයි මාව මෙ කාලය තුළ ජීවත් කෙරෙව්වෙ...
ඉතින් ඒ දේ නැති කරගෙන මට ජීවත් වෙන්න පුළුවන් වෙයිද..?

පහුගිය කාලේ මගේ ජීවිතේට එන්න කිහිප දෙනෙක්ම සූදානම් නොවුනාමත් නොවේ..
නමුත් මට හිත හදා ගන්න පුළුවන් කමක් තිබුනේ නැහැ.
හෙටත්..?ඒක එහෙමම නොවේවී කියලා කියන්න බැහැ.

රෑ උනා...

නිදා ගන්න හිතුවත් මම දන්නවා නින්ද යන්නේ නැහැ කියලා.

ලියන්නත් මීට වඩා දෙයක් නැහැ.

බ්ලොග් එක පටන් අරන් අවුරුද්දක් වෙන්න එනවා..ලබන අට වෙනිදට.
මේ ලිපියට පස්සේ තව ලිපි දෙකයි අඩු ලිපි දෙසීය සම්පූර්ණ වෙන්නත්...

අවුරුද්දක් මා ජීවත් කරවපු සටහන් පොත..

සමහර විට කවදාවත් මා අතින් නොලිය වෙන්න ඉඩ තිබුණු මොන තරම් දේවල් මේ නිසා ලියඋනාද..?

කවි ලියන එකනම් කොහොමවත්ම මගේ අතින් කෙරෙන දෙයක් නෙවෙයි මේ බ්ලොග් කෙරුවාව නොතියෙන්න.ඒත් දැන් කවි කීයක්නං මගේ අතින් ලියවිලාද..?ඒවා කවිද නැද්ද කියන්න මට තේරෙන්නෙත් නැහැ.ඒත් එහෙම හරි මොනවා හරි ලියවෙන්න හේතුව මේ බ්ලොග් එක තමයි.

අනිද්දා නුවර යන්න තමයි හිතාගෙන ඉන්නේ..
උදේ වැඩ ඇරිලා ගෙදරින් අටට විතර යන්නයි හිතන් ඉන්නේ..මල්වතු මහා විහාරයට යන්න ඔන..මගේ ලිපියක වැඩක් කරගන්න.
බස් එකේ යනවද..බයික් එකේ යනවද කියලා තමයි තාමත් හිතන්නේ..?
බස් එකේ යන එක පහසුයි..යන ගමන් නින්දක් එහෙම දාගෙන ගියහැකි..ඒත් නුවරට ගියාට පස්සේ එහෙ මෙහෙ යන්න තියෙන හින්දා බයික් එක තිබුනොත් හුගාක් පහසුයි...

හෙට දිහාවෙ තීරණය කරන්න ඔන...

හ්ම්..දැන් ඇති..හිත ටිකක් විතර සැහැල්ලූයි.

24 October 2010

බාඳුරා මල් කැකුළි...

අතහැරුනු දීගයක්.. අතැති නුඹ මා අසල..
රැඳී නව හීනයක්..වෙලා මා නිදි ලොවට..
ගෙවී ගොස් තුන් යමක්..උදෑසන පැමිණි කළ..
නුඹ නොවෙ මා අසල..ගෙන ගොසින් සුව සිහින..

පෙර දිනක ප්‍රේමයක්..ඇතිව හෝ නැතිව හෝ..
නුඹ ගියේ දීගයක..මව්පියන් පැතු ලෙසට..
අවසන්ව වසත්කල..ඉරි තැලූනු පසු පොළොව..
නුඹත් තනි වෙලා ඇත..පරව ගිය මලක් ලෙස..

රිදී බිඳිලා තිබුණු..හදවතට ඔසු දෙවා..
නැවුම් මල් කිනිත්තක්..ලෙසින් ගෙන සරසලා..
මා නෙළු මෙන් ලොවට..අඩගසා පෙන්වලා..
ජීවිතේ එක් මගක..යමු කියා දිවුරලා..

මලක ඇති රුව වරුණ..මනබඳින රොන් සුවඳ..
එමල හා රැදෙන්නට..කරති බඹරුනට ලොබ..
මල් සුවඳ සිහිනයකි..මලේ රුව මිරිගුවකි..
බාඳුරා මල් කැකුළි..නුඹ නිසා මා නැසුනි..

22 October 2010

දෙදෙන වෙන්ව යමු යළිත් නොඑන්නට...

සිත හිරි වට්ටන නුඹෙ සිනාවත යළි සිහියට නැගුනා..
හදවත ඉකිබිඳ සුසුම් නගනයුරු සිතට හොරෙන් දැනුනා..
නෙතු යුග අද්දර පිපුනු කඳුළු මල් කිනිති සෙමින් සැළුනා..
මරණය අද්දර හෝ හැර යන්නට නොහැකි බවක් දැනුනා..

එදා මෙදා නොව යළි කිසිදා අප හමු නොවෙනා බැවිනා...
සුසුම් සරින් නුඹ පුරවයි මා සිත සිහින අතර රැදෙනා...
යළිත් වරක් ඔබ රුව දැක ගන්නට වරම් නොමැති හින්දා..
නුඹෙ මතකයන් අමතක කරනට දිව රෑ දුක් වින්දා...

පැතුම් පතන්නට සිතුම් මවන්නට යළි කිසි දින මතුදා..
නුඹෙ නමට දුක් ගී කව් පද වැල් යළි නොලියමි කිසිදා..
සසර පුරාවට එක්ව පැමිණි මග අද මෙතනින් නවතා..
දෙදෙන වෙන්ව යමු යළිත් නොඑන්නට පෙම්කව සිඳබිඳ දා..

20 October 2010

නමක අරුත...

මේකත් මෙ අපේ සොඳුරු සිතගේ ලිපියක් දැකපු වෙලාවක ලියන්න ඔන කියලා හිතුන කතාවක්...
වැඩෙ සිද්ධ වෙලත් වැඩි දවසක් නැහැ.

ඉතින් මගේ මෙ බොලොගේ කියවන හැමෝම වගේ දන්නවනේ මංතුමා කොරන රාජකාරිය මක්කද කියලා...

ඔව් ඔව්..සිකුරුටි තමයි ඉතින්...

ඉතින් මෙ ආයතනයේ ආරක්ෂාව සඳහා මංතුමාට වගකීම පවරලා ඒකට උදව් උපකාර කොරගන්න තව හත් දෙනෙකුගේ මාර සේනාවකුත් මට දීලා තියෙනවා නෙව..(අපරාදේ කියන්න බැහැ උදව්නං කොරනවා අම්බානකට..උදව් වැඩිවෙලා දැන් මට පුදුම මහන්සියි...ඒ තරමට උදව්... උන් ඔක්කෝම සැපට සිටී..මං සැමදා දුව පනීමී..)

කොහොම හරි ඉතින් මෙ ලගදී දවසක උදේ දහයට එකොළහට විතර ඇති..
මම අම්බානකට වැඩ..වැඩ කියන්නේ ඉතින් අපේ ඇන්ඩ් කොම්පැනියේ ඩිලිවරි වාහන ටික ගේට්පාස් චැක් කොරලා එළියට දාන්න හදන වෙලාවෙ තමා...
අපේ විශේෂ රාජකාරි භාර නිලධාරියා වෙච්ච උන්නැහේ..(මිනිහා නියම මෑන්ස්.. ඩියුටිය හැර අනිත් හැම දේම තිතට කොරනවා...ඒ අතින් අපරාදේ කියන්න බැහැ..රටෙ තොටෙ සිද්ධ වෙච්ච ඔන දෙයක් මිනිහා දන්නවා රාජකාරියට අඳාල දේවල් ඇර..)
මෙ වරහන් ඇතුලේ ලියන්න ගියහම ලියන්න ගියදේත් අමතක වෙනවා නෙව...

ඉතින් අර මම කියපු වි.රා.භා.නි...(ඒකත් අපූරු කෙටි යෙදුම නේද..?)

හා හා ...ඉතින් මිනිහා වාහනවලට බඩු පටවලා(අප්‍රාණවාචී භාණ්ඩ පමණි.)ඉවර වෙලා ඒ පිළිබඳ සටහන් පොත් ටික මට දුන්නට පස්සේ මංතුමා මොකද කොරන්නේ...ඒ පොත්වලට අඳාළව ගේට්ටු අවසරපත් තියෙනවද කියලා බලලා හරිනං ඒවා සීල් කරලා ගේට්ටුව අරින්න වහන්න යොදවලා ඉන්න අපේ කණිෂ්ඨ ආරක්ෂක නිලධාරියා වෙච්ච සරාට..(සරා කියලා සම වයසේ වගේ කිව්වට ඉතින් අවුරුදු පනස් දෙකයි වයස..(බැළු බැල්මට කියන්න බැහැ..)

ඉතින් මෙ සරාට උපදෙස් දෙනවා වාහනවල මීටර් එහෙම සටහන් කරගෙන වාහන ටික එළියට දාන්න කියලා.

වැරදිලාවත් පැටවුම් ලේඛනයයි..ගේට්ටු අවසර පතයි ගැලපුනේ නැත්තං තමයි ඉතින් යුද්ධෙ පටාන් ගන්නේ...
අර පටවපු බඩු ඔක්කෝම බාලා වැරද්ද නිවැරදි කොරලා එහෙම තමයි වාහන යවන්න වෙන්නේ...

අපේ අර වි.රා.භා.නි. කොරන අප්සෙට් වැඩ හින්දා ඔය වගේ කේස් හැමදාම තියෙනවා...

ඒ මදිවට ඔය අස්සෙම රස්සාවල් හොයාගෙන එන අයයි, රාජකාරි වැඩවලට එන අයයි..රටෙ නැති මගුල් අහගෙන එන අයයි..
මිනිහෙකුට පිස්සු හැදෙන්න තරං වැඩ කන්දක් තියෙනවා...
මාත් ඉතින් ලේසියෙන් අරින්නේ නැහැ...කොහොම හරි ඒවෙලේ වැඩෙ එවෙලේම ඉවර කරලා දානවා...නැත්තං වෙන්නේ කටු කොලවල ලියාගෙන ඉඳලා ඔක්කෝම වැඩ ඉවර උනාට පස්සේ රෑ දහයෙන් පස්සේ පොත් හද හද ඉන්න.. මම ඉතින් ඔක්කෝම වැඩ දහය වෙනකොට ඉවර කොරලා ආතල් එකේ ඉන්නනේ ට්‍රයි එක...
මොනවා උනත් කොහොම හරි මම රෑ දහය වෙනකොට කට්ටිය ඔක්කෝටම කන්න බොන්න නාන්න වෙලාව හදලා දීලා මාත් නාලා කාලා පොඩ්ඩක් කකුල් දෙක උඩකින් තියාගෙන කයියක් ගහගෙන ඉන්නවා..දැන්නං ඉතින් ලැප තියෙන හින්දා නෙට් එකේ එල්ලෙනවා...
මම නිවාඩු දවසට වැඩ බලන උන්නැහේ දවසක් මම පාන්දර එකට විතර විසිට් එකක් දාන්න යනකොටත් පොත් ටික වට කරගෙන හිටු කියලා ලියනවා...

අනිත් බුවාලා ටික අර මොනවද කෑව මොක්කුද වගේ මෙ මනුස්සයා වැඩ ඉවරවෙනකල් ඉන්නවා...

ඉතින් කොහොම හරි එදා මට ඉහටත් උඩින් වැඩ තිබුනු දවසක්..ඒ මදිවට දැන් මාස අටකට විතර කළින් රෙපෙයාර් කරන්න ඇරපු මැෂින් පාර්ට්ස් එකක් ගැන විස්තර ඉල්ලවා ගිණුම් අංශයෙන්... මම ඉතින් ඒකත් බලන ගමන් අනිත් වැඩත් කර කර ඉන්නවා තේ එකක් බොන්නවත් විදියක් නැහැ..

මෙන්න මෙහෙම ඉන්න අතරෙ ගාඩ් රූම් එකට ආවා අපේ කොම්පැනියේ තේ හදන්න අතුපතු ගාන්න ඉන්න ගෑනූ මනුස්සයෙක්...
නම රමණී...ඇත්තම නම තමා මොකද ඉතින් බොරු නමක් දාන්න බැහැ. කතාව කියන්න බැරි වෙනවා...

වයස තිස් අටක් හතලිහක් විතර ඇති..ජීවිතේ බොහෝම ප්‍රශ්නවලට මුහුණ දීපු අදටත් ඒවායේ ඉවරයක් නැති, පුදුම වීරියවන්ත ගැහැණියක්. පිරිමියෙකුටවත් නැති පුදුම හයියක් තියෙන පරදින්න අකමැති ගැහැණියක්..
යන්තං අත්සන ගහන්න අකුරු අමුණලා ලියුමක් කියවගන්න ඇර හුගාක් ඉගෙන ගත්තු කෙනෙක් නෙවෙයි...

කාත් එක්ක හරි තරහා උනොත් ඒ මනුස්සයාට විරුද්ධව බොරු කේලම් හදලා මිනිහාව නැත්තටම නැති කරන්න ආයේ දෙපාරක් හිතන්නේ නැහැ වගේම තමයි..කාට හරි හිතවත් උනොත් ආයේ නොකරන උදව්වක් නැහැ.

මුල කාලවලදී මාත් එක්කත් හරියට හැප්පුනා..ඒත් අන්තිමට මගේ හැටි තේරුම් ගත්තට පස්සේ මට බකට් දාන්න එන්නේ නැහැ.
මොනවා හරි කියපු ගමන් ඒ දේ කරලා දෙනවා...මොනවා හරි ප්‍රශ්නයක් තියේනං ඇවිත් උපදේසයක් උනත් ඉල්ලන්නේ මගෙන් තමයි.අනික මම කලින් මහණ වෙලා හිටපු කතාව දන්න කොම්පැණියේ ඉන්න කිහිප දෙනාගෙන් එක් කෙනෙක් මෙ මනුස්සයා...ඒ හින්දාත් මට කාත් කවුරුවත් නැහැ කියලා දන්න හින්දාත් ඔනම වෙලාවක අම්මා අප්පා වගේ මට සලකනවා...

කොහොම හරි ඉතින් මෙ වැඩ වැඩි උන වෙලාවෙ රමණි අක්කා ඇවිත් කියෝනවා..අපේ කාන්තා ආරක්ෂක නිලධාරිනියත් එක්ක...ඒ මදිවට
අතරින් පතර

"නේද..? ...................මහත්තයා"

කියලා මගෙනුත් අහනවා...මාත් ඒ තරං අවධානයක් නැතිව

"හ්ම්..හ්ම්.."

කිය කිය උත්තර දෙනවා.
කොහොම උනත් කතාව යන්නේ නම්වල තේරුම් ගැන කියලා මට තේරුනා...වෙන වෙලාවකනං ඔකට සම්බන්ධ වෙලා කතා කරන්න පුළුවන් උනත් මෙ වෙලාවෙ තිබුනු තත්වය මත ඒ ගැන වැඩිය හිතන්න පුළුවන් කමක් තිබුනේ නැහැ..

කොහොම උනත් අන්තිමට මට ඛෙරෙන්න විදියක් නැති තරමටම දැන් කතාව නැගලා යනවා...මටත් ඉතින් කේන්ති යනකොට ආයේ බ්‍රෙක් නැහැ නෙව...

මෙ මගුල් අස්සට තව කියපංකෝ නංවල තේරුං...

කොහොම උනත් අන්තිමට රමණි අක්කා කියනවා එයාගේ නමෙ තේරුම...

"රමණී කියන්නේ ලස්සනයි කියන එකනේ...
නේද................මහත්තයා..."
කියලා අහපි...

හරියන්නේ නැහැ..කර කර හිටපු වැඩෙ නවත්තලා මම හැරුනා ඒ පැත්තට

"ඈ රමණි අක්කේ දැන් ඔය නමෙ තේරුම දැන ගන්නද ඔන...?"

මම අහනකොටම

"ඔව් ඔව් .................මහත්තයා..."

"ආ එහෙනං මම කියන්නං හැබැයි පස්සේ මට මුකුත් කියන්න එහෙම බැහැ..නේද අජන්තා..?"

කියලා මම පැත්තක හිටපු අපේ ආරක්ෂක නිලධාරිනියගෙන් හිනා වෙලා ඇහැව්වා විතරයි..අජන්තා

"අප්පේ ඔව් ඔව්.. ඔන්න මමනං දන්නේ නැහැ රමණී" කියලා හිනා වෙවීම කියලා ඇග ඛෙර ගත්තා.

ඒ මොකද කිව්වොත් ඊට කලින් දවසක මම අජන්තාගේ නමෙ තේරුමත් කවුරුවත් කියා නොදෙන විදියටම කියලා දීලා තිබුණානේ..

ආ ඒ කතාවත් කියලා ඉමුකෝ...

ඒත් ඔය වගේ කතාවක් ඇදිලා ඇවිත් නංවල තේරුං අහන්න පටන් ගත්ත දවසක අපේ කාන්තා ආරක්ෂක නිලධාරනියට ඔන උනා එයාගේ නමෙ තේරුම දැන ගන්න..
මාත් දන්නවෑ ඔවා...ඒත් ඉතින් බැහැයි කියලත් බැහැනේ...

ඉතින් මම මෙන්න මෙහෙම කව්වා...

"අජන්තා නේද...?හ්ම්..."

"හරි මෙහෙමයි ඕකේ තේරුම...
අජ..අන්තා...
අජ කියන්නෙ නම් ඉතින් එළුවට නෙව..
එතකොට අන්ත කියන්නේ කෙළවර එහෙම නැත්තං කොන කියන එකනේ...
එතකොට එළුවාගේ කොන වෙනවා...
අජන්තා දන්නවා ඇතිනේ එළුවාගේ කොන...
දැන් මෙතන අන්ත නෙවීනේ තියෙන්නේ අන්තා නේ...
ඒ හින්දා ඕක එළුවාගේ කොන නෙවී එළුදෙනගේ කොන වෙන්න ඕන...දැන් තේරෙනවානේ අජන්තාගේ නමෙ තේරුම..."


ඔන්න ඔහොමයි මම එදා නමට අරුත දුන්නේ...ගෑනි හොඳටම හිනාවෙවී හිටියා මිස මට නෙවෙයි වචනයක් කිව්වෙ...

ඒ මතකය තියෙන හින්දා අජන්තා දන්නවා දැන් රමණී අක්කාත් නාන්න තමයි සූදානම කියලා...
ඒත් ඉතින් දැන් රමණි අක්කාත් හරි ආසාවෙන් බලං ඉන්නවා නමෙ අරුත දැන ගන්න...

ඉතින් සද්ගුණවත් මංතුමා පටන් ගත්තා නමේ අරුත පහදන්න...

"දැන් රමණි අක්කේ රමණීය කියන්නේ..සුන්දර ලස්සන දේවල් වලට තමා..
ඒත් ඔයා ඇවිත් රමණිය නෙවෙයි රමණීනේ..
ඒ හින්දා අර්ථය වෙනස් වෙනවා..

දැන් ඔය පොත පතේ රමණය කියලා කියන වචනේ තේරුම රමණී අක්කා දන්නවාද..?"


"නැහැනේ ....."

"ආ ඒක තමයි...රමණය කියලා කියන්නේ ඔය ගෑණු මිනිස්සු එකතුවෙලා කොරන සෙල්ලමට නෙව...ඕකට ලෝකස්වාද රතිය කියලාත් කියනවා...

ඉතින් දැන් රමණය කියලා කියන්නේ ඒකටනං රමණී කියලා කියන්නේ ඒක කරන්නී කියන එකටනේ..."


බොහෝම උනන්දුවෙන් කතාව අහගෙන හිටපු අපේ ඈයෝ ටික සිටි සිටි ගාලා එළියට පැන්නා හිනාව තද කොරාගෙනම...

"හප්පා... ..............මහත්තයා කිවුවොත් ඔහොම කතාවක් තමයි" කියාගෙන හිනා වෙවීම රමණි අක්කාත් පැනලා දුවපි.

..........................................................

මේ තව කවුරුවත් එහෙම ඉන්නවද දන්නේ නැහැ තමංගේ නමේ තේරුම දැනගන්න කැමති...?

16 October 2010

කරුණේ අයියාගේ ඇණේ තද කිරීම...

ඉතින් ටික දවසකින් හරි හමන් දෙයක් ලියන්නත් බැරි උනා නෙව..ඒ හින්දා හිතුවා අද තව පැරණි සිද්ධියක් ගැන සිහි කරන්න...

මෙක මෙ ඇණ කතාවක්...

ඇණ කතාවක් කිව්වම මතක් උනේ මෙ දවස්වල මටත් එක්තරා ඇණයක් නිසා මළ කරදරෙ...
මෑන්ස් එන්නේ ඇනෝ කෙනෙක් විදියට...
කොහොමත් ඉතින් ඔය ඇනෝලා විදියට එන හුගාක් අය ඇණ තමයි..
මම මෙහෙම කියන කොට අපේ සුලා අයියා එහෙම මාත් එක්ක අමනාප වෙන්න එපා..සුලා අයියා කවුද කියලා අපි දන්නවානේ
ඒ හින්දා සුලා අයියාව මෙකෙන් නිදොස් කොට නිදහස් කරනු ලබනවා...

යටින් දානවා වසවර්තියා කියලා...

මෑන්ස් මට මෙ දවස්වල නොමිලේ බණ කියනවා...
මාව නිවැරදි මාර්ගයට ගන්නළු හදන්නේ..අනේ මන්දන්නේ නැහැ..
මට නං ඉතින් නිවැරදි මාර්ගයට එන්න ඔන නැහැ.මෙ ඉන්න මාර්ගේ හොඳටම හොඳා...
ඒත් ඉතින් මෙ මෑන්ස් දිගින් දිගටම මා පස්සෙන් අඩාගෙන එනවා.

මට තේරෙන විදියට මෑන්ස්ගේ මොකක් නමුත් යටි අරමුණක් තියෙනවා වගේ...

සමහර විට ඇත්තටම මට බණ දහම් කියාදෙන්න හදන උත්සහයක් වෙන්න පුළුවන්...ඒක එහෙමනං මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා..ඒ උත්සහය අත හරින්න. හිතන්නකෝ මට කියන බණ..හරියට කළයක් මුනින් අතට තියලා වතුර වක්කරනවා වගේ වැඩක් කියලා...
මෝඩයින්ට බණ කියලා වැඩක් නැහැ වගේ කියලවත් හිතන්නකෝ...

බුදු හාමුදුරුවෝවත් එළව එළවා ඇණයක් වෙන්න ගියේ නැති එකේ වසවර්තියා එහෙම කරන එක හරිම නැහැ නෙව...

අනික මට වාද කර කර ඉන්න උවමනාවක් නැහැ කොහෙත්ම...
ඒ හින්දා ඊට වඩා හොඳයි අර ත්‍රිපිටකය සිංහලෙන් වගේ අඩවියකට ගොඩ වෙලා බණක් දහමක් අහගෙන ඒවායේ වැඩවලට හවුල් වෙලා ඉන්නකෝ ඒ විදියට තමයි මට වසවර්තියාට කියන්න තියෙන්නේ...

මම ඒ කිව්වෙ අරමුණ හොඳ නම් විතරයි...

සමහර විට වෙනත් අරමුණු තියෙන්නත් පුළුවන්
කවුරුවත් බලන්නේ නැති බ්ලොග් එකක් කරන කෙනෙක් ඒ හිතේ අමාරුව යන්නත් එක්ක මගේ අඩවියට ගොඩ වෙලා ටිකක් හරි ප්‍රසිද්ධ වෙන්න ගන්න උත්සහයක් වෙන්නත් පුළුවන්..එහෙමනං ඉතින් මට කෙළින්ම කියන්න..මම මම දන්න කියන අයටත් කියන්නම් ඇවිත් ඒ අඩවියට ගොඩ වෙලා ආධාරයක් උපකාරයක් කරලා එන්න කියලා අත දීමක් හැටියට..ඒක නරක දෙයක් නෙවීනේ...

අර දැන් සීරෝ වෙලා ඉන්න හාදයත් කාලයක් බ්ලොග් එකක් කරලා කවුරුවත් එනනේ නැති උනාම අඩලා අඩලා අනිත් අයගේ අඩවි වලට පැනලා ඒවා කැත කරලා අන්තිමට ඔක්කෝම විසින් එළවලා දාලා තනිවෙච්ච කෙනෙක් නේ..
ඉතින් දැනුම් තේරුම් ඇති වසවර්තියාට එහෙම වෙන්න ඔන නැහැනේ...

ඊළගට මට හිතන්න පුළුවන් කාරණාවක් තමයි මම ලියන දේවල් වලින් පන්සල්වලට යම් අගතියක් වෙයි කියලා හිතලා මම ලියන වැඩෙ නවත්තලා දාන අරමුණින් කරනු ලබන වැඩපිළිවෙලක් කියලා...

එහෙමනං මට කියන්න තියෙන්නේ බය වෙන්න එපා...මම තමුන්නැහේලාට අගතියක් කරන්නේ නැහැ...මම මෙ ලිපි ලියලා ඉවර වෙද්දී ගිහි පැවිදි දෙපාර්ශවයම හිතන්න පුළුවන් තැනකට ගෙනියනවා මිසක් කිසිම පාර්ශවයකට අගතියක් කරන්නේ නැහැ.

අවසාන වශයෙන් හිතන්න පුළුවන් දෙයක් තමයි

මාව අවුස්සන්න බලන අන්‍යාගමික අවස්ථාවාදියෙක් කියන කාරණය...

උවමනාවක් තියෙන කෙනෙකුට බන දහම් සහ අභිධර්මය කට පාඩම් කරගන්න එක ඒ හැටි දෙයක් නොවන බව අමුතුවෙන් කියන්ක ඔන නැහැනේ...එහෙම හැකියාවක් තියෙන කවුරුන් හෝ මෙ විදියට මට බණ කියන්න ආවාම මම ඒ මනුස්සයත් එක්ක තරහා වෙලා ඒ කේන්තිය පිට කරගන්න දැනට ලියන පන්සල් ලිපිය සැරට ලියලා පන්සල්වලට විරුද්ධව මගෙන් දෙයක් ලියව ගන්න පුළුවන් කියලා හිතන කෙනෙක් වෙන්නත් පුළුවන්...

එහෙමනං කියන්න තියෙන්නේ විකුණන්නවත් මාළග ඒ ගොන්නු හිටියේ නැහැ කියන එක තමයි...

ඉතින් මීට වඩා මම ඒ ගැන ලියන්නවත් කතාකරන්නවත් යන්නේ නැහැ.
ඒ වගේමයි වසවර්තියා මොන දේ කිව්වත් මම යන්නේ මට නියමිත ගමන මිස වෙන ගමනක් නෙවෙයි.
සමහර විට ඒක මගේ උද්ධච්ඡකම වෙන්නත් පුළුවන්..අණුවනකම වෙන්නත් පුළුවන්..
ඒ කෝක උනත් ඒ දේවල් වෙනස් කරන්න වසවර්තියා උනන්දු නොවෙනවානම් හොඳයි...
ඔබට අවශ්‍ය ප්‍රසිද්ධියනම් ඒ වෙනුවෙන් මොනවා ලියලා ගියත් මම මුකුත් කියන්නේ නැහැ.

හරි ඒ කතාව ඒ ඇති...

........................................

දැන් ඇණ කතාව...

ඉතින් මෙ සිද්ධිය උනේ දැනට අවුරුදු පහළවකට දහසයකට විතර ඉස්සෙල්ලා..ඒ කියන්නේ මම සාමාන්‍ය පෙළ විභාගය ලියලා ගෙදර ඉන්න කාලේ වෙච්ච දෙයක්...

ඉතින් ඔය කාලේ මම නොයෙකුත් දේවල් කළ කාලේ නෙව...
එයින් එකක් තමයි ඔය වාහන සම්බන්ධ වැඩ...

මම කොහොමත් ආසාම අංශයක් තමයි ඔය මජං ගාගන්න වැඩ..ඒ කිව්වෙ ගරාජ්වල වැඩ...

ඉතින් මෙ කියන දවස්වල මම ආස්සරය කරපු බාසුන්නැහැ කෙනෙක් තමයි මෙ කරුණේ අයියා කියන්නේ..
බාස් කිව්වෙ මෙ මෙසන් බාස් එහෙම නෙවී..
හරියටම කිව්වොත් ඩීසල් සහ පෙට්රල් එන්ජින් මිකැනික් කෙනෙක්...
මිනිහා ගාවට මම සෙට් වෙච්ච හැටි කියන්න ගියොත් අද මෙ කතාව ඉවර කරන්න වෙන්නේ නැහැ..ඒ හින්දා මම ළග නමන්නම්කෝ...

කොහොම හරි මාර තෙමෙ මෙ බාසුන්නැහේට අත් උදව් දීගන හිටපු කාලේ වෙච්ච දෙයක් තමයි ඔං...

මෙ කතාවට තව දොස්තර මහත්තයෙකුත් සම්බන්ධ වෙනවා...
මිනිහා ඇවිත් අපේ ග්‍රාමීය රෝහලේ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වෙච්චි..
ඒ කියන කොට තමයි මතක් උනේ අපේ මල්ලී ඇවිත් පුංචි එකා සන්ධියේ...මෙ දොස්තර මහත්තයාගේ ජාති ණයකාරයෙක් තමයි..
ඒ කියන්නේ අපේ මල්ලීට ඒ දවස්වල මාස තුනෙන් තුනට උණ ගැනෙනවා..
ඒ උණට වෙන කොහෙන් ඛෙහෙත් ගත්තත් හරියන්නේ නැහැ...

එකම ප්‍රතිකාරය තමයි ඒ දවස්වල හැටියට මට මතක විදියට රුපියල් තිහක්දෝ කොහේද ගෙවලා මෙ දොස්තර මහත්තයා තමන්ගේ නිල නිවාසේ පවත්වාගෙන ගිය පෞද්ගලික ප්‍රතිකාර සායනයට ගෙනියන එක..

කවදාවත් මිනිහාට ඛෙහෙත් උගුරක්වත් බොන්න ඔන නැහැ...නිකමට හරි ගිහින් අර සල්ලි ටික බැන්ද ගමන් ලෙඩෙ සුවයි...

අඩාගෙන මැළවිලා එක්ක ගිය කොළුවා ගෙදර එන්නේ මාර ෆිට් එකේ...

හා හා ..ආයෙත් කතාව...

ඉතින් දවසක් දා අපේ කතානායකතුමා...නෑ..නෑ..ඒ කතානායක නෙවෙයි මෙ කතානායක..ඒ කිව්වෙ කරුණේ අයියා මිනිහාගේ පාඩුවෙ ඇන්ජිමකට ඔට්ටු වෙනවා...
මාත් ඉතින් සහයක ඩැනී වගේ ළගට වෙලා දහයෙ යතුර, අඩුව මිටිය දික්කර කර ඉන්නවා...
සමහර දවස්වලට ඉතින් මට පොම්පේ ගහන්නත් හම්බ වෙනවා...
පොම්පේ ගහනවා කිව්වෙ..
දන්නෝ දනිති කිව්වළු
ඒත් ඉතින් නොදන්නෝත් ඇතිනේ කිව්වළු...

ඔය ඇන්ජින්වල තියෙනවානේ ඔයිල් පොම්පේ කියලා එකක්..ඒ පොම්පේ තියෙනවා පුංචි පහේ පිස්ටන් එකක්...ඔය පිස්ටන් එක එහෙම අළුතින් දාපු වෙලාවට ටිකක් තද වැඩියි..එහෙම උනහම ඉතින් පොල්තෙල් පොඩ්ඩක් එහෙම දාලා අතින් පිස්ටන් එක ඉහල පහළ යව යව ඉන්න වෙනවා..
එපා කරපු වැඩෙ..අත කකියනවා..ඒත් ඉතින් මැරෙන්නයෑ ගහපංකෝ පොම්පේ...
සමහර වෙලාවට ඩීසල් ඇන්ජිමකට හුළං ඇද්ද වෙලාවකටත් ඔය පොම්පේ ගැහිල්ල කරනවා...

ඉතින් ඔය පොම්පේ ගැහිල්ල වගේ වැඩ ඇවිල්ලා අපි වගේ සහයක ඩැනීලාට ලැඛෙන රැග් එකක් වගේ තමයි.

තව ඔය ජාතියේ රැග් කිහිපයක්ම තියෙනවා..එකක් තමයි තෙත්තියං ගේන්න කඩෙ යෑම..
ඒක ඉතින් පුංචිම උන්ට දෙන රාජකාරියක්...

හා හා ආපහු කතාවට යං...

ඉතින් අපි අපේ පාඩුවෙ වැඩපල ටික කරං ඉන්නකොට ඔන්න එතනට එනවා...
කාර් එකක්..
කවුද..?
අපේ චරිත අංක දෙක..
දොස්තර මහත්තයා...

"ආ කරුණේ..කොහොමද..?"

"ආ මෙ අපේ දොස්තර මහත්තයානේ..ඉතින් මොකදෑ මෙ පැත්තේ..."

"අනේ බං මෙන්න මෙ කාර් එකේ බැටරිය සවුත්තු වෙලාද කොහේද දාලා වැඩි දවසකුත් නැහැ.. මෝටරෙ වදින්නෙත් හොරට...
ලයිට් ටිකත් ලෙඩ දෙනවා...
ඒ විතරක්යෑ.. එන්ජිමෙ හීට් එකත් නගිනවා..."

දොස්තර මහත්තයා කියෝගෙන යනවා...
හරියට අපි දොස්තර මහත්තයා ගාව ලෙඩ ටික කියෝගෙන යනවා වගේ...

"හා හා බලමුකෝ දොස්තර මහත්තයෝ"...කියලා කියපු කරුණෙ අයියා ඉඳගෙන හිටපු බංකු කොටෙන් නැගිටලා ඇවිත් කාර් එකේ බොනට්ටුව ඇරලා ටික වෙලාවක් එන්ජිමට එබීගෙන ඉඳලා මගෙන් දහතුනේ යතුරයි දිග ඉස්කුරුප්පු නියනයි ඉල්ල ගත්තා...
ඊට පස්සේ එන්ජිමට ආයෙත් සැරයක් එබීගෙන ඉඳලා ඇණ දෙක තුනක් සීරු මාරු කොරලා

"ආ දැන් හරි දොස්තර මහත්තයාගේ වැඩෙ හරි දැන් බලන්නකෝ වැඩෙ" කියලා පැත්තකට උනා...

දොස්තර මහත්තයත් කාරෙකට නැගලා ස්ටාර්ට් කරගෙන
එන්ජිම එහෙම ටිකක් වෙලා රෙස් කරගෙන ඉඳලා ආපහු කාරෙකෙන් බැහැලා ඇවිත් දැන්නම් බැටරි චාර්ජ් මීටරෙ එහෙම වැඩ කරනවා කියලා බොහෝම සන්තෝසෙන්...

"ඉතින් කරුණේ..කොහොමද අලාභේ..."

කරුණේ අයියා ටිකක් ඔළුව එහෙම කහලා...

"හ්ම්... දොස්තර මහත්තයෝ..ඔන්න ඔය රුපියල් දෙසීයක් විතර දෙන්නකෝ..."

"ඈ...කරුණේ ඇණ හතරක් තද කරන්න රුපියල් දෙසීයක් ගන්නවද..එක ඇණයකට රුපියල් පණහක් වෙනවනේ..."

"අපෝ නැහැ දොස්තර මහත්තයෝ..
දොස්තර මහත්තයට එහෙම කරන්න පුළුවන්ද...
මම ඇණ හතර තද කලේ නොමිලේ...
රුපියල් දෙසීය ඉල්ලුවෙ ලෙඩෙ හොයා ගත්තට විතරයි..."

ආයේ වචනයකවත් කිව්වෙ දොස්තර මහත්තයා නෙවෙයි...
කරුණේ අයියාගේ ඉහේ ඉඳලා දෙපතුලට යනකල් බලාපු දොස්තර මහත්තයා රුපියල් දෙසීයක් කරුණේ අයියාගේ අතේ තියලා යන්න පිටත් උනා..

දොස්තර මහත්තයා යන දිහාවෙ බලාගෙන හිනා වෙවී හිටය කරුණේ අයියා...

"දැන් ටික දවසකට කළින් මම අපේ පොඩි එකාට ඛෙහෙත් ටිකක් ගන්න ගිය වෙලාවෙ හැමදාම දෙන පෙති ටික දීලා රුපියල් සීයක්ම ගත්තේ...
මට ගාස්තු එපා ඛෙහෙත්වලට විතරක් රුපියල් සීයක් දෙන්නකෝ කියලා...
ඉතින් මාත් ඇණ තද කොරන්න සල්ලි ගන්න එක හරි නැහැනේ" කියලා කියපි.

13 October 2010

ඩයන් ගෝමස් ඔබට ස්තූතියි...

ලාංකීය ක්‍රිඩා ක්ෂේත්‍රයේ බොහෝ දුර යා හැකිව තිබූ මුත්..
ඒ සඳහා ඇවසි අනුග්‍රහය නොමැතිව අතරමග තම ගමන නිමා කොට අකල්හී මිලානව ගිය තාරුකාවන් ගොඩට එක්වන්නට නොදී..

මංජු වන්නි ආරච්චි

නැමැති ක්‍රිඩකයා අද දින ලැබූ ජයග්‍රහණය දක්වා කැඳවා ගෙන ආ මෙ මොහොතේ ඒ සඳහා මහා අත්වැල් සපයන්නා වූ ඔබට ජාතියක් වශයෙන් අප සියල්ලන්ම ස්තූති කළ යුතු බව යුතුය...

මංජු පමණක් නොව තවත් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අදටත් ඔබ සෙවනේ රැකවරණ ලැබ මතු දින ලක් අඹර බැබළවීම පිණිස සූදානම්ව සිටුනු ලබන බවද අප දන්නෙමු...

මා දන්නා තරමින් ඔබගේ පන්නල ස්ලිම්ලයින් ආයතනය යනු එක්තරා අන්දමක ක්ෂේම භූමියක් වැනිය...

ගමෙ ගොඩෙ ඉපිද හැකියාව හැර වෙනත් සවියක් නොමැති දැයේ බොහෝ දූ දරුවන් පිරිසකට කැපකරු පියකු වී ඔවුන් හරහා ලක්මවට කීර්තියක් අත්කර දීමෙහිලා ඔබ සතු පැතුමන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවායි පතමි...

12 October 2010

වල්මත් වූ මනුසත් ලොව..

මළින් මලට රොන් උරමින්..
ගහෙන් ගහට පියඹා ගොස්..
කෙටුව නමුත් කෙසෙල් ගහට..
හොට තාමත් නොම පැටළුන..

පරඋනු මල් ළග නැවතී..
සුවඳැති මල් පිළිකෙව් කළ..
අමන මෝඩ මරිකම් කළ...
එනමුදු කිසිදා නොහැදෙන..

වැරදුනු තැන් නොම සාදන..
තව තව වැරදිම කරමින..
වල්මත් වූ මනුසත් ලොව..
සිහිය විකල් මිනිසා මම..

10 October 2010

පන්සලේ ජීවිතේ...මිතුරු තොමෝ...

සියල්ල අවසන් වී ඇත...ආවාසය ඉදිරිපිට තබා තිබූ පුටුවෙ වාඩි වී ගත් මා අවට පරිසරය නරඹමින් සිටියෙමි.
පුටුව...
ඹව්..පන්සලක පුටුවක මෙසේ මා වාඩි වී සිටින්නේ මගේ ජීවිතයේ ප්‍රථම වතාවටය..
එහි යම් නුහුරු නුපුරුදු ස්වභාවයක් ඇත..දැන් ඉතින් එය එසේ විය යුතුය...
උදෑසන සිට සිදු වූ සියළුම සිදුවීම් අවසන පන්සලේ සිටි බොහෝ දෙනෙකු පිටත්ව යන ලදි.
ඉතිරිව ඇති ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙකු දහවල තිබූ දැඩි හිරු රැසින් ගැලවෙනු වස් ආවාසය තුළට වී කෙටි නින්දකට වැටී සිටියෝය.

තවත් පිරිමි ළමුන් කිහිප දෙනෙකු බණ මඩුව තුළ රැදී සිටිනු දක්නට ඇත.

ඒ හැර මා අසලම බිම වැතිර සිටියේ පන්සලේ සිටි කළු බැල්ලයි...
ඇය මා අසලින් සෙලවීමටවත් කැමැති නැති සෙයකි.
මෙතුවක් දවස් පන්සලේ රැඳී සිටි බැලි කික්කිය මා සමග එතරම්ම සුහද නොවීය..
නමුත් අද දහවල සියළු විනය කර්මයන් අවසන් සිවුරු පෙරවා මා බණ මඩුවෙන් පිටතට පැමිණි මොහොතේ ඉතා විශ්මිත අයුරින් මා කරා දුව ආ බැල්ලිය උගුර යටින් නගන අමුතුම ආකාරයේ ශබ්දයක් පිට කරමින් මාගේ වටා දිව යමින් බිම පෙරළෙමින් සතුටින් නටන්නට විය...
බලා සිටි අයද එයින් පුදුම වූ බව මා දුටිමි.
බැල්ලියට එසේ හැසිරෙන්නට තරම් විශේෂ හේතුවක් නොතිබුණි.

එදා පටන් මා අසලම නිතර රැඳී සිටීමට පුරුදු වූ ඇය නිරතුරු මගේ ඇස ගැටෙන මානයේ සිටීමට වග බලා ගත්තාය...
සැමදාම මා උදෑසන නවය හමාරෙ සිට දහය හමාර පමණ වන තෙක් කාලය ගත කලේ පිරිත් පොත පාඩම් කරනු වස්ය...
තරමක් හඩ නගා පිරිත් කියන්නට පුරුදු පුහුණු වෙමින් සිටිනා එම පැයකට ආසන්න කාලය තුළදී මා අසලින් සෙලවෙන්නේ බැල්ලිය නම් නොවේ...

අවසානයේ පස් වසරක පැවිදි දිවිය නිමා කරන්නට මා තීරණය කරනු ලැබ ඒ වග දායක කාරකාදීන්හට දන්වා එම ගමනට සති දෙකක් පමණ තිබියදී දිනක් උදෑසන දහයට පමණ ආවාසය ඉදිරිපිට හාන්සි පුටුවට වී කේන්දරයක් බලමින් සිටි මා අසලට පැමිණි කළු බැල්ලිය මොනවාදෝ කියන්නට මෙන් කෙදිරි ගාන්නට වූ අතර ඒ සඳහා විශේෂ හේතුවක් නොතිබිණි.
සුළු වෙලාවක් ඒ දෙස අවධානය යොමු කළ මා

"කළු... පැත්තකට වෙලා ඉන්නවා යනු වෙන් පැවසීය.."
වෙනදාටත් එසේ පැවසූ පසු ආවාසයේ ඉදිරිපස මිදුලට ගොස් පැත්තකට වී සිටින බැල්ලිය එදින තවත් සුළු මොහොතක් මා පාද අසල දිගා වී කුරු කුරු ගා පිටත්ව යන ලදි...

නැවත මා හට ඇය සිහි වූයේ දහවල් දානයෙන් පසු ඇයට කෑම දීමට සෙවූ අවස්ථාවෙදීය...
මෙ වන විට පන්සලේ ඉතිරිව සිටියේ මාත් කළු බැල්ලියත් පමණි.
අනිකුත් බැල්ලියන් දෙදෙනා පහු ගිය මාසයක් වැනි කාලයකදී මිය ගොස් තිබිණි...
කළු බැල්ලියට වඩා උන් දෙදෙනාම වසර කිහිපයක් වැඩි මහළු විය...
මා පන්සලට එන විට කළු බැල්ලිය ඉතා කුඩා පැටවකු වූ අතර අනිත් බැල්ලියන් දෙදෙනා තරමක් වැඩුනු උන් විය.

බැල්ලිය ගැන විපරම් කළද ඇසට පෙනෙන තෙක් මානයේ ඇය නොවීය...
කළුට හිමි පංගුව ඇයට කෑම දෙන සිමෙන්ති පඩිය මත තබා මා වෙනත් කටයුත්තක නිරත වී සිටියෙමි.
ඊට වඩා ඇය ගැන සොයා බැලීමට මට සිහියක් නොවූයේ..ඒ වන විට මාද සිටියේ ගැටළු රැසක් මැද වීම නිසාය... තව සති දෙකකින් මා මෙයින් වෙන්ව යා යුතුව තිබිණි. යන්නට කියා මටම කියා තැනක් නොවීය..
ඒ සඳහා උදව් උපකාර කිරීමට හෝ සිටියා නම් සිටියේද එක් අයකු පමණක් විය.
නුමුත් ඇයගෙන් උදව් ගැනීමට නොහැකි සමාජයීය ගැටළු රැසක් මා සතු විය.
එබැවින් පත්තර බලමින් කාමරයක් කුලියට ගැනීමටත් රැකියාවක් සොයා ගැනීමටත් වෙහෙසෙමින් සිටි මා හට අන් යමක් පිළිබඳව සිතා බැලීමට කාලයක් නොවීය..ඊට අමතරව පිටත්ව ගොස් ජීවත් වීම සඳහා කීයක් හෝ ඉතිරි කරගත යුතු විය..ඒ සඳහා ලැබී තිබූ සියළුම කේන්දර සටහන් බලා මුදලක් සරි කර ගත යුතුව තිබිණි.ඒ හැර මා පන්සලෙන් ඉතිරි කල යමක් නොවීය.

අවසන සවස් කාලයේත් බැල්ලිය නොවූ බැවින් තරමක් විමසිලිමත් වූ මා අවට සෝදිසි කලේ පෙරට වඩා උනන්දුවෙන්ය...

ඇය සිටියාය...

මා වාඩි වී සිටි පුටුවට අඩි විස්සක් පමණ දුරින් හරියටම මා සිටි තැන ඉදිරිපසම වූ මැංගුස් ගහ යට ඇය සිටියාය..ඒ මා හට නොපෙනෙන පැත්තට වීය...

මා පිටත් වීමට පෙර ඇය පිටව ගොස් තිබුණාය...

මීට වඩා ලිවීමට නොහැක.
සගයින් මා ලියනු බලා සිටී..මා දැසේ කඳුළු ඔවුනට පෙන්වීමට මා සතුටු නැත.
ඉතිරිය සවස් වී ලියමි.

.........................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

09 October 2010

මම තවමත් එන්නෙමි...

තවත් එක හැන්දෑ වරුවක් ගෙවී යමින් තියෙනවා..
වෙනදා වගේම මොකක්දෝ මන්දා කියන්නට නොහැකි හැගීමක් හිත යට කොනිති ගහන බව දැනුනා උනත් එය නොතේරෙනවා වගේ ඉන්න උත්සහ කරද්දී..තව දුරටත් එය කළ නොහැකි බව තේරුම් යාමෙන් පසු අන්තිමට හිතට ඔන අතටම පියාඹන්න ඉඩ දුන්නා...
අවසානයේ සුපුරුදු වේදනාවම හිත පුරා වේගයෙන් ගමන් කරද්දී වෙනදා සැනසුම සොයන්නට හිත දුන්නත් අන්තිම තත්පරයේදී එයින් ගැලවී ඉන්නට හැකියාව ලැබුණා...

දැන් පැය බාගෙකට කළින් මම හිටියේ බාර් එක ඉස්සරහා පාරේ...
බයික් එකත් නවත්තගෙන බාර් එක දිහා බලාගෙන විනාඩි දහයක් විතර ඉඳලා අන්තිමට ආපහු එන්න හැරුනා...
බොන එකත් මට දැන් එපා වෙලා..මොන කරුමයක්ද මන්දා...

එන ගමන් ඉඳිආප්ප ටිකක් අරගෙන ආවා...ඒත් කන්න තරම් පිරියක් නැහැ.
ඒක මේසේ උඩින් තියලා පටන් ගත්තා මෙක කොටන්න...
ලියන්න කියලත් මෙලෝකේ දෙයක් මතක් වෙන්නේ නැහැ..මතක් වෙන්නේ නැතුවත් නෙවෙයි... මතක් වෙන දේවල් ලිපියකට පෙළ ගස්වලා ලියන්න තරම් හිතේ නිස්කාංසුවක් නැහැ. මෙ ලියන වචනත් හරිම ගොරෝසුයි වගේ...
ලියන්න ගත්තම මට ඒක ලියනවා කියලා දැනෙන්න තියෙන්න ඕන...

ඒත් දැන් මට හිතෙන්නේ මම ලියනවා කියලා නෙවෙයි. නිකං වාර්ථා කිරීමක් වගේ කියලා...

මොනවා උනත් ඒ වාර්ථා කිරීමවත් කරනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ. මෙහෙමවත් හිත එක අතක තියා ගන්න උත්සහ කරනවා ඇර...
නැත්තං දැන් මට පසුබිමින් ඇහෙන වික්ටර් රත්නායකයන්ගේ
"අඩවන් දෑසින් පවසනු රහසින්..."
ගීතය දිගේ පියාඹන්න හිතෙනවා...ඒක දිගේ පියාඹන්න ගියොත් ආයෙමත් දැන් පැය බාගෙකට කළින් හිටපු තැනටම යන්න වෙනවා.

හරි ගීතය මාරු උනා..
"සඳකැන් වැසිලා..අඳුරේ එතිලා..."

ඇත්තටම ගීතයකට මොන තරම් දේවල් කරන්න පුළුවන්ද..?

මාව ජීවත් කරවන්න වගේම.. ජීවත් වෙන මළ මිනියක් කරන්නත් එයට හැකියි..
සමහර විට මීවිතෙන් නැති මත්වීමකට මාව අරගෙන යන වෙලාවල් පවා තියෙනවා...

පහුගිය දවස්ටික හරිම අමාරු දවස් ටිකක්...
මම අකමැති දේවල් පවා කරන්න උන දවස් ටිකක්...
එතේ ප්‍රතිඵල ඊයේ හවස ඉඳන් මට දැනෙනවා...ටිකක් කල්පනාවෙන් ඉන්න වෙනවා මෙ දවස් ටික...

ඒ ගමන දයාරත්න රණතුංග
"සිව් වසරක් තුළ පෙම් සිහිවටනය නෙතු කඳුළක් වේවා..
මින් පසු කිසිදා කිසිම සැදෑවක අප නොම හමු වේවා..."


එහෙම වෙනවනම් හොඳයි..ඒත් ආයෙමත් එක වතාවක් හෝ දකින්න නොලැබුනොත්..ඒක හිතන්නත් අමාරුයි...
ගීතය අහලාම ඉන්න ඕන...
හ්ම්...ඉවරයි...හිත දශමයෙන් දශමය හරි බර වෙන එක තමයි වෙන්නේ...

ආයෙත් වික්ටර්...

"සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්..."
හ්ම්ම්ම්...බොන එක මීට වඩා හොඳයි...
අම්මපා ..වික්ටර් රත්නායක කියන්නේ මත්පැන් ගබඩාවකට වඩා දරුණු ගීත ගබඩාවක්නේ...

දැන් හුග දවසක ඉඳන් මට ලොකු වැඩකට අත ගහන්න හිතිලා තියෙනවා...
ජීවිතේ දැනුම් තේරුම් තිබුණු කාලයක ඉඳලා හිතේ තිබුණු ආශාවක්..ඒත් එයට සූදානම් නැති හින්දා හැමදාමත් කල් දාපු වැඩක්...

කථාවක් ලියන්න...

ඒක නව කතාවක්ද..එහෙමත් නැත්නම් මොකක්ද කියන්න මම දන්නේ නැහැ.
ඒත් මම ලියන්න ඕන කියලා හිතෙනවා...
මෙක මට මුළින්ම දැනුනේ මට අවුරුදු දහ හතර විතර වෙද්දී..ඒත් මට ලියන්න තරම් අත්දැකීම් තිබුනේ නැහැ. මට ඕන උනා මුළු ලෝකෙම ගැන ලියන්න...
ඒත් ඒ ගැන ලියන්න කියලා ලෝකේ ගැන තේරුම් ගන්න උත්සහ කරමින් එදා ඉඳලා මම ආරම්භ කරපු ගමනේ අදටත් යෙදිලා ඉන්න මට තේරුම් ගිය දේ තමයි..මට ඒ දේ කරන්න බැහැ කියන එක...
ඒ හින්දා මම ඒ අදහස අතහැරලා දැම්මා..
ඊට පස්සේ මට හිතුනා මේ ලෝකෙන්ම කොටසක් වෙච්ච මා ගැන ලියපුවාම ඇතියි කියලා..ඒත් ඒකත් ලේසි නැහැ...

මම මාවම තේරුම් ගන්න ගිය ගමනෙදි මට මාවම නැති උනා...

දැන් ඉතින් මොකද කරන්නේ...?

ලියනවා...
අද නැතත්..හෙට නැතත්...
මම ලියනවා...

ලියන්න තරම් මම සුදුසුයි කියලා මට හිතුනු දවසට..
මම ඒ සඳහා සූදානම් කියලා හිතුනු දවසට...
මම ලබපු අත්දැකීම් ලිවීම සඳහා ශක්තිමත් යැයි කියලා මට හිතුනු දවසට...

මම ලියනවා...

ලියනා අන්තිම තත්පරය දක්වාම මම ආපු ඒ ගමනත් එක්ක මම අහපු, දැකපු, විඳපු... හැම දෙයක්ම එක්ක මම නොඇසූ..නොදුටු..නොවිඳපු දේත් හොයාගෙන මම ලියනවා..
ඒ තැනට එනතුරු පැමිණි ගමන් මග ලියනවා.
කවදාහරි
මම පැමිණියෙමි
කියලා මට හිතුනු දවසට මම ලියනවා.

08 October 2010

එය එසේ නිමා විය...

"අයියේ ඔයා එන්නේ නැද්ද..?"

"ම්හ්.. මට දැන් ආපහු හැරෙන්න බැහැ..ඔයා දන්නවනේ.."

"ඔව් මම දන්නවා..ඒත්..ඒත්..."

"මට තේරෙනවා..ඒකට කමක් නැහැ..."

"ඒ උනාට මට බැහැ.."

"දැන් පරක්කු වැඩියි ඔය කැමති වෙන්න.."

"ඔයා ආපහු ආවොත්.."

"මම කිව්වනේ..මම එන්නේ නැහැ."

කාලය ගලා ගියේ ඉතා වෙගයෙනි..
නොසිතූ ලෙස එක් වසරක් තුළදී..ඔව් එකම එක වසරක් තුළදී මට ආපසු යාමට සිදුවිණි..
නමුත් ඇය ඇයගේ මාවතෙහි බොහෝ දුරක් ගමන් කොට හමාරය..
නොඑන්නට සිතා සිටි මට පැමිණෙන්නට සිදු වූයේ ඇයි..
වරද මා අතමය..
සියල්ල හමාරය...

දෙතැනක තනි වූ..
දෙසිතක සිතිවිලි..
යළි කවදාවත්
හමුවන්නේ නැති..

ඔබ මා එක් වී..
එකට ගමන් ගිය..
ඒ මං මාවත්
අද හිස් වී ඇති..

ඔබටත් මට මෙන්
ඒ පෙම හිමි නැති..
ගැයු පෙම් ගීතය
අද මෙතනින් නිමි..

අවන් හලක ඉපදී මා මිය යනවානම්...

පාළුම පාළු වී ගිය..
අඳුරුම අඳුරු ලෝකය..
නිසලව තිබූ ජීවය..
මැරුණා වගෙයි සැම දෙය..

අඳුර පළවා දමා..
පාළුව දුරින් රඳවා..
ජීවය සසල කරවා..
නැවත පණ දුන් මිතුරා..

බඳවා තොරණ් දස අත..
කෙළිණා ලෙසින් සිතු ලෙස..
පුරනා අතින් අත ගෙන..
නුඹමය සතුට මීවිත...

05 October 2010

මගේ ජීවිතේ මෙ දවස්වල...ඒ මදිවට සරත් ෆොන්සේකා...

පහුගිය දවස්වල කර ගාවට වැඩ...දැන් කියලා ආයේ ඉවරයක් තියෙනවට නෙවෙයි.ඒත් ඉතින් මෙ පැත්ත පාළුවට යන්න දෙන්නත් බැහැනේ...
ඒ හින්දා පුළු පුළුවන් හැටියට ගොඩ වෙලා වචන දෙකතුනක් කොටලා දාන්න ඔන කියලා හිතුනා.
පන්සල් කථාව උනත් ලියන්න වෙලාව මදි...
ඒ විතරක් නෙවෙයි දැන් ඒකේ පළවෙනි කොටසේ නිමාව ආසන්නයටම ඇවිත් තියෙන්නේ.
ඒ කිවුවේ මහණ වීම දක්වා වූ කොටස තමයි.
ඊට පස්සේ ටික දවසකට පන්සල් කථාව නවත්තන්න මම හිතාන ඉන්නේ...
මොකද දැන් දැන් හදිසියට ලිවීම නිසා හුගාක් කොටස් සහ සිදුවීම් මට මග ඇරිලා තියෙනවා.
ඒත් ආපහු ඒවා ලියන්නත් හිතෙන්නේ නැහැ..කම්මැලිකම ඔක්කෝටම වඩා ලොකුයිනේ...
ඒ හින්දා පන්සල් කථාවෙ පළමු කොටසින් පස්සේ ටික කාලයක් මම විවෙක ගන්නවා...
අනිත් එක මම මෙ බ්ලොග් එක පටන් ගන්නකොට තුන් හිතකවත් තිබුනේ නැහැ පන්සල් කථාව ලියන්න.
ඒත් අන්තිමට නොසිතපු වේලාවක ලියන්න පටන් ගත්ත කථාවට සෑහෙන ප්‍රතිචාර පළඋනා.

ඒත් හා පැටික්කී එහෙම පන්සල් කථාව ගැන මුකුත්ම නොලියා ඉන්නත් තීරණය කරලා..ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ.
සෑහෙන්න බොන්න ඔන ප්‍රශ්නයක් ඒක.

ඒ කොහොම උනත් දැන් ඉතින් මගේ පළමු විරාමයට කාලය ඇවිත්.
ඒ අතරේ මගේ පළමු වර්ෂ පූර්ණයත් ළග ළගම එනවා...හරියටම කිවුවොත් නොවැම්බර් අටවෙනිදාද කොහේද තමයි.
එදාට මෙ බ්ලොග් එකට අවුරුද්දක් කම්මුතුයි.

ඒ විතරක් නෙවෙයි තව ලිපි දහයක් පහළවක් වගේ ගාණක් ලිවුවම ලිපි දෙසීයත් කම්මුතුයි.
ඒත් මෙ යන තත්වෙ හැටියට ඒක නං ලේසි වෙන්නේ නැහැ.දැන් ලිපියක් ලියනවා කියන්නේ මරණවා වගේ වැඩක්.
අදත් මෙ ලැප්උන්නැහේට පින් සිද්ධ වෙන්න වැඩ පොලේ නිදි කිරාන ලිවුවට මොකෝ... දැන් අම්බානක මහන්සියි.
වැඩ දවසට එක දිගට වැඩ..ගෙදර ඉන්න දවසට අනිත් වැඩ...
නිදහසේ අඩියක් ගහන්නවත් වෙලාවක් නැහැ කිවුවොත් කස්ටිය විශ්වාස කරයිද මන්දා...
ඒත් ඉතින් ඇත්ත තත්වේ ඔක තමයි.

අපොයි මංතුමාට සිද්ධ වෙච්ච දෙයක්..කොහොම හිටිය කොළුවද...?

ඒ අල්ල පනල්ලේ ජෙනරාල් උන්නැහේව හිරෙ දමාලා.
ඒ වැඩෙටනං මටත් හිතේ දුකක් තියෙනවා.
මොනවා උනත් රටට වැඩක් කොරාපු මිනිහෙක්.
ඒ උනාට මම මහින්දගේ තැන උන්නං මාත් ඔය ටිකම කරාවි.
ඇයි ඉතින් අවුරුදු ගාණක් තිස්සේ කටු කාල කාලා යන්තං මහ පුටුවෙ වාඩි වෙලා පළවෙනි අවුරුදු හය තිස්සේ යුද්ධෙකට පැටළිලා, කම්මෝ ගෝ චිකාගෝ ගේමක් දීලා..(මං එහෙම කිවුවෙ ඉතින් බැරිවෙලාවත් යුද්ධෙ හමාර කොරගන්න බැරි උනානං මහින්දටත් බඩු බනිස් වෙන හින්දා තමයි.)
යන්තං තිස් අවුරුද්දක යුද්ධෙ හමාර කොළා විතරයි..මෙන්න පොදු අපේක්ෂකයෙක් ගෙනත් අච්චර කාලයක් බැරි උන වැඩෙ මොන යකාගේ හරි පිහිටෙන් හමාර කොරාපු මිනිහා පන්නලා දාන්න දත කනවා...

සරත් උන්නැහේ යුද්ධෙ නොකලා නෙවෙයි...එහෙම කියන්න මට තියා මහින්දටවත් බැහැ.ඒත් ඔතන මහින්ද නැතිව රනිල් හරි චන්දිරිකා හරි හිටියානං...?අන්න බලන්න තිබුනා ගේම කොහොමද කියලා...

දේශපාලනය කියන්නේ අනතුරුදායක ගේම් එකක්. ඒ ගේම් එකට එන මොන මිනිහද කැමති මීයක් කඩලා අත ලෙවකාලා විතරක් සතුටු වෙන්න.

ඒ විතරක් නෙවෙයි සරත් ෆොන්සේකා කියන්නේ එහෙම් පිටින්ම දරදඩු පුද්ගලයෙක්...
එදා මහින්ද නැතිව සරත් ජනාධිපති උනානං අද වෙනකොට හිරබත් කන්නවත් මහින්ද කෙනෙක් ඉතිරි වෙන්නේ නැහැ.
ඒ විතරක් නෙවෙයි නාමල්ලගේ ඇටත් ගලවන්න තිබ්බා...
මර බය කියන දේ ඇත්තටම දැනුනාම අපි උනත් මොනවා නොකරයිද ඒකෙන් බේරෙන්න.
මහින්ද දැන් කරගෙන යන්නෙත් ඒ මර බයට උත්තර දීමක්.
ඒ හින්දා මට මහින්දට දොස් කියන්න බැහැ.
ඒත් සරත් ෆොන්සේකා අද පත් වෙලා ඉන්න තත්වය ගැන මම සතුටු වෙන්නේ නැහැ.
මෙ තත්වෙට මෙ මනුස්සයා ඇදලාදාලා අද බොරුවට පාරවල් ගානේ කෑ ගගහා යන ෙජ්විපී එකේ නායකයින් ගැනනං මට කියන්න වචන නැහැ.

අර කරදරයක් නැතිව විශ්‍රාම කාලය ගත කරන්න හිටපු මනුස්සයා ඇදගෙන ගිහින් දේශපාලන මඩ වලකට දාලා..තමංගේ ජාමේ ඛෙරගත්ත අමනුස්ස රැල දැන් පුළුවන්නං බලයි මන්ත්‍රී ධූරයත් තමන්ගේ එකෙකුට දීලා දාන්න.

ඇමරිකාව බැරිනං ඔන රටකට තානාපතිකමක් හරි අරගෙන ගිහින් පාඩුවෙ ජීවත් වෙන්න තිබුනු සරත් ෆොන්සේකා අද හිර කූඩුවක කොටු වෙලා ඉන්න එකට තනිකරම වග කියන්න ඔන ෙජ්වීපී රැල තමයි.
හමුදා පරිසරයක් තුළ අසීමිත බලයක් වින්දනය කළ...මිනිහෙකුට ඒ තත්වය අමතක කරලා ජීවත් වෙන එක ටිකක් අමාරු තත්වයක් තමයි. ඒත් සරත් උන්නැහේ හදීසි උනා වැඩියි.මිනිහට ජනාධිපති වෙන්න ඔනමනං කරන්න තිබුනේ තව අවුරුදු හයක් ඉවසන එකයි.

සද්ද නැතිව තමන් කැමති ලෝකෙ ඔනම රටකට ගිහින් ඉඳලා තව අවුරුදු හතරකින් හරි පහකින් හරි ජනාධිපතිවරණයක් ආසන්නයේ ලංකාවට ඇවිත් ස්වාධීනව චන්දේ ඉල්ලූවනං මිනිහා තමයි මෙ රටෙ ඊළග ජනාධිපති.එදාට ඒ මනුස්සයට සලකන්නේ අද මිනිස්සු සලකපු විදියට නෙවෙයි.
එහෙනං එදාට මෙ රටෙ මිනිස්සු මිනිහාව පිළිගන්නේ තමන්ව ගලවගත්ත දෙවිකෙනෙක් තමන්ගෙන් දුරස් වෙලා ඉඳලා ආපහු තමන් ගාවට ආව වගේ...
එහෙම උනානං මටත් මිනිහාට කළගුණ සලකන්න වෙනවා.
ඒත් මුල අමතක කරලා රට බේරා ගැනීම කියන උතුම් කාර්යයේදී එකට සිටි පිරිස අමතක කරලා කාගෙවත් පදයකට නටන්න හදිසි උන මෙ මනුස්සයා අන්තිමට නැවතුනේ හිර ගෙදර.

කළ හොඳ මකාගන්න මෙ මනුස්සයට ගියේ බොහෝම සුළුකාලයයි.

යුද්ධෙ ඉවර වෙද්දී මුළු රටෙම මිනිස්සුන්ගේ ගෞරවය දිනාගෙන හිටපු මනුස්සයා එක දේශපාලන තීන්දුවක් හින්දා එක රැයකින් රටෙ මිනිස්සු බාගයකට වඩා තරහා කරගත්තා.
වරද කාගේද..?දැන්...?

කවුරුහරි හිතනවනං සරත් ෆොන්සේකා හිර ගෙදරින් නිදහස් වෙලා ආව ගමන් මහා චරිතයක් වෙයි කියලා..ඇත්තටම ඒක එහෙම වෙන්නත් පුළුවන්..
ඒත් එදා වෙනකොට මහින්ද ඊට වඩා අගලක් හරි උඩින් ඉදීවි.
මොකද මහින්ද දැන් ඉන්නේ දිනන්න හැකි ආර්ථීක යුද්ධයක අතර මග...
මිනිහා ඒක සාර්ථකව කළොත්... ආයේ සරත් ගැන හිතන්න කවුද ඉතිරි වෙන්නේ...

මොනවා උනත් මිනිහා ගැන මටත් අවංකවම දුකයි...
නොමග ගිය සෙන්පති...ඔබට නිදහස හා සිහි බුද්ධිය ලැඛෙවා...

03 October 2010

පන්සලේ ජීවිතේ...යෝජනාවක්...

වසර විසිහතරකට පත්ව සිටි මාගේ ගිහි ජීවිතයේ අවසාන පැය කිහිපය ගෙවී යමින් තිබුණි. මොන අන්දමෙන් තීරණය කරගෙන සිටියද සිතේ යම් තිගැස්මක් නොතිබුණා නොවේ...
මෙතෙක් කලක් වවා සිටි කොණ්ඩය රැවුල ආදිය අහිමිවීම...ගිහි ඇදුම් පැළදුම් ආභරණ සියල්ල අදින් පසු කැප නොවේ...
කථා බහ..ගමන බිමන පමණක් නොව ජීවිතයේ සෑම අංශයක්ම මෙම නව වෙනසට ලක්විය යුතුව තිබිණි.
ස්ත්‍රීන් ඇසුර... තහනම් වචන ගොන්නේ ඉදිරි පෙළින්ම ඇත... දරා ගැන්ම පහසු නැත...
එක් සිර ගෙයකින් තවත් ඊටත් වඩා දරුණු සිරගෙදරකට මාරුවන්නක් වැනි හැගීමක්ද සිත වටා සැරිසරයි...
අවසාන පැය කිහිපය...
අසීරුම කාලයයි...

සිත දැඩිකරගත යුතුව ඇත...

එක් අවස්ථාවක් පමණක් ඇත..ඒ වසරක පමණ කාලයකට යනුවෙන් ගුණරතන හිමියන්ට මුලින්ම පවසා තිබීමයි...නමුත් ඒ පිළිබඳව දන්නෝ කවුරුන්ද..?

කෙසේ වෙතත් වෙන දෙයක් උනාවෙ යනුවෙන් සිතා ගත් මා නින්දෙන් පිබිද එළඹී ඇති දිනට මුහුණ දීමට සූදානම් වීමි.
රාත්‍රීයේ පැමිණ සිටි හිමිවරුනට අමතරව උදෑසනද නොයෙක් දෙසින් නායක හිමිවරුන් වැඩම කරන්නට වූහ...
මෙතෙක් දවස් මා අතින් සිදුවූ පන්සලේ සියළුම වතාවත් ගම් වැසියන් හා පැමිණ සිටි කුඩා හිමිවරුන් අතින් ඉටුවන්නට පටන් ගෙන තිබුණි. මා හට තිබුණේ වැඩ කටයුතු නිසි පරිදි සිදුවන්නේදැයි සොයා බැලීම පමණි.
කළින් සූදානම් කරගත් සුදු සරමින් හා කමිසයෙන් සැරසුන මා ආවාස ගෙය ඉදිරිපිට මිදුලට වී සිටියෙමි. වරින් වර පැමිණෙන භික්ෂූන් වහන්සේලාට පසග පිහිටුවා වඳිමින් මා බලා සිටියෙමි.
මෙ අවස්ථාවෙ තවත් අපූරු සිදුවීමක් සිදු විණි...

එය අතුරු මෙහෙයුමක් විණි.

අප පන්සලට තරමක් ඈතින් පිහිටි පන්සලක වයෝවෘධ හිමිනමක් මා හට අඩගසාගෙන පැත්තකට ගෙන ගොස් බොහෝම ආදරයෙන් කථාබස් කරන ලදි...
උන්වහන්සේ අපගේ පන්සල් පරපුරටම අයත් පන්සල් කිහිපයකම හිමිකාරීත්වය දැරූ හිමිනමක් වූ අතර පළාතේ සිටි භික්ෂූන් වහන්සේලා අතුරින් වයස්ගතම හිමිවරුන් කිහිප දෙනා අතරින් එක් අයකු විය.

"ඈ ළමයෝ...දැන් ඔක්කෝම හරි නේද..?"

"එහෙමයි නායක හාමුදුරුවනේ.."

"ළමයෝ මෙ පන්සල තමා අපේ මූලස්ථානේ...
මෙ පන්සලෙන් විසිරුනු හාමුදුරුවරුන් අද රටෙ හැම තැනම පන්සල් හදළා තියෙනවා..ඒ හැම පන්සලක්ම හරි දියුණුයි මෙහෙ මෙහෙම තිබුණාට..."

"එහෙමයි අපේ හාමුදුරුවනේ.."

"දැන් ළමයෝ ඔය මම ඉන්න පන්සලත් මේකෙම කොටසක් තමයි...
මට අයිති තව පන්සල් හතරක් විතර තියෙනවා..තව නඩු දාලා තියෙන පන්සල් තුනකුත් තියෙනවා..ඒවත් හෙට අනිද්දට මට හම්බ වෙනවා..."

"එහෙමයි හාමුදුරුවනේ..."

"ඉතින් ළමයෝ මම කැමතියි ඔය ළමයා මා ගාව මහණ වෙනවනම්...
මම හුගාක් විස්තර දැන ගත්තා ඔය ළමයා ගැන පහුගිය ටිකේ..ඔය වගේ ළමයි තමයි මහණ වෙන්න ඔන..මාත් මහණ උනේ කොල්ලා කාලේ...දැන් මට සෑහෙන වයසයි..ගෝලයෝනං දෙන්නෙක් විතර ඉන්නවා..ඒත් ඒ ඈයෝ සාසනේ කොයි තරං කාලයක් ඉඳීවිද මම දන්නේ නැහැ.."

"ඒ මොකද අපේ හාමුදුරුවනේ..?"

"ඒ ඈයෝ ඉතින් ඉගෙනගෙන ඉවර උනහම යන්න යයි..පොඩි කාලේ මහණ උන අයනේ..
රැඳීම අඩුයි...
ඉතින් ඔය ළමයා කැමතිනම් මාත් එක්ක යමු. මට ඔන ඔය වගේ දැනුම් තේරුම් ඇති ළමයෙක් තමයි...කොහේද මෙ ගුණරතන ඉස්සර උනා නෙව..."

"දැන් කොහොමද හාමුදුරුවනේ එහෙම කරන්නේ..මෙ ඔක්කෝම ලෑස්ති කරලා තියෙද්දීත්..
අනිත් එක මම මෙ ස්ථානෙට ණයයි හාමුදුරුවනේ...මම මෙතන හැර වෙන තැනක මහණ වෙන්න කැමැත්තක් නැහැ..."

"හ්ම්ම්...ඇත්ත තමයි..ඒත් මේක ඔය ළමයට කියලා බලන්න ඔන කියලා මට හිතුනා.මොකද මෙ තැන දියුණු කරන එක ඒ තරම් ලේසි නැහැ..මෙ ගම්වල මිනිස්සුත් ඒ තරම් හොඳ අය නෙවී...පුළුවන් තරම් වැඩ ඇරගෙන අතඇරලා දාවී..."

"ඒක ඉතින් අපිට දැන්ම කියන්න බැහැනේ හාමුදුරුවනේ..."

"මම ළමයෝ මෙ හැම ගමක්ම දන්නවා... මෙවායේ වෙච්ච දේවල් මම හොඳට දන්නවා...ඒකයි මම කිවුවේ...
අපරාදේ ඔය ළමයා වගේ කෙනෙක් මහණ වෙන එකේ ආයේ නැති නාස්ති වෙන්න දෙන්න හොඳ නැති හින්දයි..."

"එහෙමයි අපේ හාමුදුරුවනේ..ඒත් දැන් මෙ දේ නවත්තන්න බැහැ.හොඳත් නැහැ."

"හ්ම්..හ්ම්.. එහෙමනං කමක් නැහැ..එහෙනං ගුණරතනට කියන්න මාත් ගුරුවරයෙක් හැටියට දාලා මහණ කරන්න කියලා එතකොට මගේ පන්සල්වලටත් ඔය ළමයට උරුමයක් එනවා."

"ඒක හාමුදුරුවනේ මට කරන්න බැහැනේ..අපේ හාමුදුරුවොම ගුණරතන හාමුදුරුවන්ට කියලා බලන්නකෝ...උන්වහන්සේ කැමති දෙයක් කරාවිනේ..."

"හ්ම්..හොඳයි...මම තියන්නම්කෝ..."

එම සිදුවීම එතෙකින් නිමා විය...

ගුණරතන හිමියන් නායක හිමියන්ගේ ඉල්ලීම ඉටු නොකරන ලදි.

කෙසේ වෙතත් වයස්ගත ලොකු හාමුදුරුවන් එතැන් පටන් මා පැවිදි දිවිය හැරදමා පැමිණෙන තෙක්ම මාහට ඉතා ලෙන්ගතුව දරුවකුට සේ සැලකූ බව නම් කිව යුතුව ඇත.
මාගේ පන්සලේ පින්කම්වලදී සුළු දැනුම්දීමකදී වූවද අසනීප තත්වයන් පවා නොතකා පැමිණෙන උන්වහන්සේ සියළුම කටයුතු වලදී මා ධෛර්මත් කරනු ලැබුවෙ..සමහර වැඩ කටයුතුවලදී සංඝ සමාජයෙන් මා හට එල්ල වූ විරෝධතාවලදී පවා මාගේ පැත්ත ගනිමිනි.

තමුසේ ඔවා ගණන් ගන්න එපා..කවුරු මොනවා කිවුවත් ඔය විදියට නැතිව ඔය දේ කරන්න බැහැ..ඔය අනිත් අය දෙන උපදෙස් තමුසෙ කරන වැඩ නවත්තන්න දෙන උපදෙස් මිසක වැඩෙ කෙරෙන අතට දෙන උපදෙස් නෙවෙයි...පටන් ගත්ත දේ අත අරින්න එපා දිගටම කරගෙන යනවා..
උපසම්පදාවෙන් පසුව පෝය ගෙයි කටයුතුවලදී සැමදාම මාහට විනය කර්ම වලදී සොයාබලා සහය වූ ලොකු හාමුදුරුවන් සෑම විටම මාහට ආශිර්වාද කළ පියකු බඳු විය...

අවසානයේ මා සිවුරු හැර යන වග උන්වහන්සේට දැන ගැනීමට ප්‍රථමව මා එම ගමන ගිය බැවින් විනා මොහොතකට පෙර හෝ දැන ගත්තේනම් අද වන විටි මාගේ ගමන වෙනස් මගක යන්නට ඉඩ තිබුණු බව නම් මෙ වන විට නිවී සැනසිල්ලේ කල්පනා කරන මගේ සිත කියයි...

දැනට මාස කිහිපයකට පෙර ලංකාදීප පත්‍රයේ උන්වහන්සේගේ අපවත්වීම පිළිබඳව ලිපියක් පළවී තිබිණි...

ඒ ලිපිය මා ඇස ගැටුණේ අපවත් වීමෙන් සති දෙකක් පමණ ඉක්ම ගියායින් පසුවය...

පන්සල් පිළිබඳව ආශාවෙන් කටයුතු කළද උන්වහන්සේ බොහෝ දෙනාහට හිත සුව පිණිසම කටයුතු කළ අයකු බව මා පසු කාලීනව තේරුම් ගතිමි.
ඉතා දුෂ්කරව තිබූ ගම දියුණු කරලීමෙහි ලා සිය ජීවිත කාලයම කැප කළ උන්වහන්සේ අවසන් කාලයේ පවා තම අරමුණු වෙනස් කලේ නැත...
ගමෙ පාර, බස් එක, පාසල ආදිය ලබා ගැනීමෙ පටන් ඒ සෑම දෙයක්ම නඩත්තු කිරීමෙ කටයුතු ආදියද උන්වහන්සේගේ නිරන්තර අවධානය මතම සිදු විණි.
දුප්පත් දරුවන් දහස් ගණනකගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලැඛෙන මිල මුදල් විය පැහැදම් කළ උන්වහන්සේ පළතේ සියළුම දේශපාලකයන්ගෙන් අඩු නැතිවම ගමට වැඩ කරවා ගත්තේ හොඳින් මෙන්ම ඇවැසි තැන්වලදී බැණ වදිමිනි.
උන්වහන්සේගේ තරම දත් මැති ඇමතිවරුපවා උන්වහන්සේ කියූ දෙයක් දෙපාරක් කියනතෙක් බලා නොසිටියේ එහි ප්‍රථීඵලය හොඳින්ම දත් බැවිනි.

මනුෂ්‍ය චරිතවල බොහෝ හොඳ පැති මෙන්ම නරක පැතිද ඇති බව අමුතුවෙන් කිව යුතු නොවෙ...
පන්සල් ඉඩම්, හා දේපලවල අයිතිය පිළිබඳව අසීමිතව උනන්දු වූ අතරම ඒ සෑම දෙයින්ම ලැඛෙන දෑ පොදු ජන සුභසාධනය පිණිසම වැය කළ උන්වහන්සේ මගේ ජීවිතයේ මා හට හමුවූ මිනිසුන් අතර සදා අමතක නොවන සුවිශේෂී චරිතයකි.

උන්වහන්සේට නිවන් සුව ලැබේවා...!යන්න මාගේ පැතුමයි...

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "